Tuesday, February 6, 2024

ආන්තික පිරිවැය හා ආන්තික උපයෝගීතාවය

ආර්ථික විද්‍යා විශ්ලේෂණයක් ගොඩක් වෙලාවට ආන්තික විශ්ලේෂණයක්. බොහොමයක් ආර්ථික විද්‍යා විශ්ලේෂණ වල ආන්තික උපයෝගීතාවය, ආන්තික පිරිවැය, ආන්තික ඵලදායීතාවය වගේ දේවල් ගැන කතා කරනවා. නූතන ආර්ථික විද්‍යා විෂය වෙනම විෂයයක් විදිහට ගොඩ නැගෙන්නේම ආන්තික විශ්ලේෂණ ගැන අදහස් වැඩි දියුණු වෙද්දී කියා කියන්න පුළුවන්. 

ඇඩම් ස්මිත්, කාල් මාක්ස් වගේ අය ජීවත් වූ කාලයේ අද අර්ථයෙන් ආර්ථික විද්‍යාව කියා විෂයයක් තිබුණේ නැහැ. විෂය අද තිබෙන එම විෂය හා සම්බන්ධ කළ හැකි තරමට වැඩි දියුණු වුනේ ඊට බොහෝ පසු කාලයකදීයි. ඒ නිසා, නූතන ආර්ථිකයක් ඒ කාලයේ චින්තකයින් විසින් ලියා ඇති දේ ඇසුරෙන් නිවැරදිව විග්‍රහ කරන්න හෝ තේරුම් ගන්න බැහැ. නමුත් ආර්ථික විද්‍යා විෂය ගොඩ නැංවුණු ආකාරය ගැන උනන්දුවක් දක්වන අයට ඒ කාලයේ ලියැවී තිබෙන ඓතිහාසික ලේඛන වැදගත් වෙන්න පුළුවන්.

වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායය කියන්නේ ආන්තික න්‍යාය පුළුල් ලෙස පිළිගැනීමට ලක් වෙන්න පෙර එයට විකල්පයක් ලෙස යෝජනා වී තිබුණු න්‍යායයක්. මාක්ස්ගේ විශ්ලේෂණ ඉදිරියට යන්නේ වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායය මත පදනම්වයි. දැනටත් මෙම න්‍යාය වෙනුවෙන් පෙනී සිටින යම් පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන් ඉන්නේ ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාවෙන් පිටත. 

තමළු මලිත්ත පියදිගම විසින් ලියා තිබෙන "මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්" පොත මේ දවස් වල ගොඩක් කතාබහට ලක් වන, ඒ වගේම සීඝ්‍රයෙන් විකිණෙන පොතක්. පොත කියවා නැති නිසා එහි අන්තර්ගතය සම්බන්ධ විස්තරාත්මක දේවල් දන්නේ නැතත් මාතෘකාවෙන්, වත්පොතේ දැකිය හැකි තමළුගේ හඳුන්වා දීම් වලින් සහ වෙනත් අයගේ විචාර වලින් අන්තර්ගතය ගැන යම් අදහසක් ගන්න පුළුවන්. 

ග්‍රන්ථ ප්‍රකාශකයින් විසින් රුපියල් 750කට මිල කර තිබෙන මෙම පොත 20%ක වට්ටමක් එක්ක රුපියල් 600ක මුදලකට මිල දී ගන්න පුළුවන්. මම හිතන්නේ මුලින්ම 25%ක වට්ටමක් ලබා දී තිබුණා. 20% වට්ටම තවමත් තිබෙනවා. 

ආන්තික පිරිවැය කියන්නේ කිසියම් භාණ්ඩයක තවත් එක් අමතර ඒකකයක් මිල දී ගැනීම සඳහා වැය වන පිරිවැය. උදාහරණයක් විදිහට තමළුගේ පොතේ පිටපත් 10ක් ගන්න රුපියල් 6000ක මුදලකුත්, පිටපත් 11ක් ගන්න රුපියල් 6600ක මුදලකුත් වැය වනවා. ඒ අනුව, එකොළොස්වන පොත මිල දී ගැනීම සඳහා දරන්න වන ආන්තික පිරිවැය රුපියල් 600ක්.

ආන්තික පිරිවැය කියන සංකල්පයට අමතරව ආර්ථික විද්‍යාවේ සාමාන්‍ය පිරිවැය කියා සංකල්පයකුත් තිබෙනවා. එයින් අදහස් කරන්නේ මුළු පිරිවැය මිල දී ගන්නා ඒකක ගණනින් බෙදූ විට ලැබෙන අගය. රුපියල් 6600/11 = 600 නිසා තමලුගේ පොතේ පිටපත් 11ක සාමාන්‍ය පිරිවැයද රුපියල් 600ක්. 

ඉහත උදාහරණයේදී ආන්තික පිරිවැය = සාමාන්‍ය පිරිවැය = මිල වුනත් මෙය සාධාරණ නිරීක්ෂණයක් නෙමෙයි. ඔය අගයයන් තුනම එකිනෙකට සමාන වෙන්නේ පිරිවැය හා ඒකක ගණන අතර රේඛීය සම්බන්ධයක් ඇති විටෙක පමණයි. සාධාරණ වශයෙන් එය එසේ වෙන්නේ නැහැ.

කවුරු හෝ කෙනෙක් රුපියල් 600ක මුදලක් ගෙවා තමලුගේ පොතේ පිටපතක් මිල දී ගන්නේ ඇයි?

ආර්ථික විද්‍යාව අනුව කෙනෙක් එහෙම කරනවානම් කරන්නේ එයින් ලැබෙන ආන්තික උපයෝගීතාවය රුපියල් 600ට වඩා වැඩි නිසා. ඒ කියන්නේ පොතක් මිල දී ගැනීමෙන් තමන්ට ලැබෙන තෘප්තියේ මුදල් සාම්‍ය අගය. පොත ගැනත්, එහි මිල ගැනත් දැනගෙන, එය මිල දී ගැනීමේ අවස්ථාව තිබියදී යමෙක් එසේ නොකරන්නේ එසේ කිරීමෙන් තමන්ට ලැබෙන ආන්තික උපයෝගීතාවය රුපියල් 600ට වඩා අඩු නිසා.

රුපියල් 600ක් ගෙවා තමළුගේ පොත මිල දී ගන්නා කෙනෙක් ඒ හරහා ලබා ගන්නා ආන්තික උපයෝගීතාවය හරියටම රුපියල් 600ක් හෝ ඊට වඩා වැඩි මුදලක් වෙන්න පුළුවන්. එය අපිට හරියටම දැන ගන්න බැහැ. දැනගන්න පුළුවන් එකම දෙය ආන්තික උපයෝගීතාවය අවම වශයෙන් රුපියල් 600ක් කියන එක පමණයි. එහෙම නැත්නම් රුපියල් 600කට අඩු ආන්තික උපයෝගීතාවයක් වෙනුවෙන් රුපියල් 600ක් නැති කර ගන්න කෙනෙක් පෙළඹෙන්නේ නැහැ.

අපි හිතමු මේ පොත 20% හෝ 25% වට්ටම නැතිව එහි මුද්‍රිත මිල වන රුපියල් 750 බැගින් විකිණුවා කියලා. එහෙමනම් පොත මිල දී ගන්නේ එයින් අවම වශයෙන් රුපියල් 750ක ආන්තික උපයෝගීතාවයක් ලැබිය හැකි අය පමණයි. අපි හිතමු ඊට පස්සේ එක පාරටම 20% වට්ටම දුන්නා කියලා. දැන් කලින් රුපියල් 750 ගෙවා පොත මිල දී නොගත් යම් පිරිසක් පොත මිල දී ගන්නවා. එයින් අදහස් වන්නේ ඒ අයගේ ආන්තික උපයෝගීතාවය රුපියල් 600 සහ රුපියල් 750 අතර බවයි. මොකද ආන්තික උපයෝගීතාවය රුපියල් 750ට වඩා වැඩිනම් කලින්ම පොත ගන්නවා. එම අගය රුපියල් 600ට වඩා අඩුනම් පසුව වුවත් පොත මිල දී ගන්නේ නැහැ. 

ඉහත උදාහරණයෙන් පැහැදිලි කළ පරිදි තමළුගේ පොතේ වටිනාකම එය මිල දී ගන්නා පාරිභෝගිකයාට සාපේක්ෂ දෙයක්. එයට ඒ වෙනුවෙන් වැය කර තිබෙන පිරිවැය හෝ යෙදවූ ශ්‍රමය, එහෙමත් නැත්නම් "සමාජයීයව අවශ්‍ය ශ්‍රමය" කොපමණද කියන එක අදාළ නැහැ. 

පොතේ වටිනාකම කියා කියන්නේ එක් එක් පාරිභෝගිකයාට සාපේක්ෂව එහි ආන්තික උපයෝගීතාවය. මෙම අගය සහ පොතේ මිල අතර වෙනසට ආර්ථික විද්‍යාවේදී පාරිභෝගික අතිරික්තය කියා කියනවා. පාරිභෝගික අතිරික්තය ගනුදෙනුවකදී පාරිභෝගිකයෙකු විසින් ලබන වාසියක්. උදාහරණයක් විදිහට උපරිම වශයෙන් රුපියල් 2000ක මුදලකට මෙම පොත මිල දී ගන්න සූදානමෙන් ඉන්න පාරිභෝගිකයෙකුට රුපියල් 600කට පොත මිල දී ගැනීමේ අවස්ථාව ලැබුණු විට රුපියල් 1400ක පාරිභෝගික අතිරික්තයක් ලැබෙනවා.

තමළුගේ පොතේ එක් පිටපතක් මිල දී ගත් පාරිභෝගිකයෙකුට එහි ආන්තික උපයෝගීතාවය කොපමණද? බොහෝ විට ශුන්‍යයට ආසන්නයි. ඒක පොතක් වගේ දෙයකින් ලැබෙන උපයෝගීතාවයේ ස්වභාවය. ඒ නිසා, පොතේ පළමු පිටපත මිල දී ගන්න රුපියල් 2000ක් වුනත් පැකිලීමක් නැතුව වියදම් කරන කෙනෙක් රුපියල් 100කට දුන්නත් බොහෝ විට එහි දෙවන පිටපතක් මිල දී ගන්න එකක් නැහැ. 

පොතක් වගේ දෙයක උපයෝගීතාවය බොහෝ විට තිබෙන්නේ තමන් මිල දී ගන්නා පළමු පිටපතේ පමණයි. චිත්‍රපටයක් බලන එක වගේ දෙයක් වුනත් එහෙමයි. එකම චිත්‍රපටය දෙවරක් බලන අය ඉන්නේ ඉතා අඩුවෙන්. නමුත් අඹ, රඹුටන් වගේ පළතුරක් ගත්තොත් එහි දෙවන, තුන් වන ඒකක වලත් යම් ආන්තික උපයෝගීතාවයක් තිබෙනවා. හැබැයි වැඩි වැඩියෙන් මිල දී ගනිද්දී ආන්තික උපයෝගීතාවය ටිකෙන් ටික අඩු වෙලා යනවා. පාර අයිනේ කඩේකින් රඹුටන් මිල දී ගන්න කෙනෙක් රඹුටන් කන එක නවත්වන්නේ එහි ආන්තික උපයෝගීතාවය මිලට වඩා අඩු වෙලා පාරිභෝගික අතිරික්තය සෘණ පැත්තට යන සීමාවට ආවට පස්සේ.

පොතක පිටපත් දෙකක් භෞතිකව සමාන වුවත්, ඒ වෙනුවෙන් වැය කර තිබෙන පිරිවැය සමාන වුවත්, යොදවා තිබෙන "සමාජයීයව අවශ්‍ය ශ්‍රම කාලය" සමාන වුවත්, පාරිභෝගිකයින් දෙදෙනෙකුට එයින් ලැබෙන ආන්තික උපයෝගීතාවය සමාන වෙන්නේ නැහැ. එකම පාරිභෝගිකයෙකුට වුනත් පළමු පිටපතෙන් ලැබෙන ආන්තික උපයෝගීතාවය දෙවන පිටපතෙන් ලැබෙන්නේ නැහැ.

පාරිභෝගිකයෙකුගේ පැත්තෙන්, රුපියල් 600ක් කියා කියන්නේ තමළුගේ පොත වගේ පොතකට ගොඩක් හොඳ මිලක්. ඇමරිකාවේ ඉඳලා මේ මිල දිහා බැලුවොත් ඩොලර් දෙකකටත් වඩා අඩුයි. ගොඩක් දියුණු වෙළඳපොළ යාන්ත්‍රනයක් තිබෙන ඇමරිකාවේ ඩොලර් ශතයකට වුනත් හොඳ පොත් මිල දී ගන්න අවස්ථා තිබුණත් [1], අලුතෙන් නිකුත් කළ මේ වගේ පොතක් ඩොලර් දෙකකට ගන්න පුළුවන්නම්, මම වගේ කෙනෙකුට එහි සැලකිය යුතු පාරිභෝගික අතිරික්තයක් තිබෙනවා.

[1] https://economatta.blogspot.com/2016/01/blog-post.html

හැබැයි තමළුගේ පොත රුපියල් 600කට මිල දී ගන්නනම් ලංකාවේ පොත් කඩයකටම යන්න වෙනවා. ඇමරිකාවේ පොත් කඩවල ඔය පොත නැහැ. ග්‍රන්ථ සමාගම ඩීඑච්එල් හරහා ඇමරිකාවට පොත එවන නමුත් ඒ සඳහා රුපියල් 10,032.70ක ගාස්තුවක් අය කරනවා. එවිට ඩොලර් දෙකකට වඩා අඩුවෙන් විකුණන පොත මිල දී ගන්න ඩොලර් 34කටත් වඩා මුදලක් වැය වෙලා. ඇමරිකන් ඩොලර් 34ක් කියා කියන්නේ, මට සාපේක්ෂව, ඔය වගේ පොතක් වෙනුවෙන් වැඩි මිලක්. පොතේ පිටපතකින් මට එපමණ පාරිභෝගික අතිරික්තයක් ලබා ගන්න අමාරුයි. යුරෝපයේ ජීවත් වන කෙනෙකුත් මීට කිට්ටු දෙයක් සටහන් කරලා තිබෙනවා දැක්කා.

අන්තර්ගතය පැත්තකින් තියලා තමළුගේ පොතේ භෞතික ලක්ෂණ දිහා බැලුවොත් මෙය පිටු 147ක පොඩි පොතක්. ඔය ප්‍රමාණයේ පොතක් සාමාන්‍යයෙන් ඇමරිකාවේ විකිණෙන්නේ ඩොලර් හය හතකට කියලයි මම හිතන්නේ. එහෙම බැලුවත් ඩොලර් 34ක් කියා කියන්නේ අධික මිලක්. හැබැයි ඔය මිල ගෙවා පොත ඇමරිකාවට ගෙන්වා ගන්න අය ඇති. මොකද එය එක් එක් පාරිභෝගිකයාගේ ආන්තික උපයෝගීතාවය පිළිබඳ කරුණක්.

අපි හිතමු කවුරු හෝ කෙනෙක් මේ පොත රුපියල් 10,032.70ක ඩීඑච්එල් ගාස්තුව ගෙවා ඇමරිකාවට ගෙන්වා ගන්නවා කියලා. එහෙම අය ඉන්න පුළුවන්නේ. ඒ කියන්නේ පොත වෙනුවෙන් රුපියල් 10,632.70ක පිරිවැයක් දරන්න වෙනවා. එයින් ඊට වඩා වැඩි ආන්තික උපයෝගීතාවයක් ලැබෙනවා. 

ඔය විදිහට රුපියල් 10,032.70ක ඩීඑච්එල් ගාස්තුව ගෙවා ඇමරිකාවට තමළුගේ පොතේ පිටපතක් ගෙන්වා ගන්නා අයෙකුට ඒ එක්කම එහි දෙවන පිටපතකුත් ගෙන්වා ගන්න පුළුවන්. එසේ කළා කියලා ඩීඑච්එල් ගාස්තුව වැඩි වෙන්නේ නැහැ. ඒ අනුව, පළමු පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 10,632.70ක් වුනත් දෙවන පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 600ක් පමණයි. නමුත් ගොඩක් වෙලාවට මේ පොත ගෙන්වා ගන්න කෙනෙක් එහි පිටපත් දෙකක් ගෙන්වා ගන්නේ නැහැ. මොකද පළමු පිටපතේ ආන්තික උපයෝගීතාවය රුපියල් 10,632.70 ඉක්මවන කෙනෙකුට වුනත් දෙවන පිටපතේ ආන්තික උපයෝගීතාවය බොහෝ විට රුපියල් 600ට වඩා අඩුයි.

අපි හිතමු ඇමරිකාවේ ඉන්න කෙනෙකුට තමලුගේ පිටපතේ ආන්තික උපයෝගීතාවය ඩොලර් 34ක් වෙන්නේ නැහැ කියලා. නමුත් එය ඩොලර් 20ක් පමණ වෙන්න පුළුවන්. ඒ වගේ දෙන්නෙක්ට එකතු වුනොත්, රුපියල් 11,322.70කට පිටපත් දෙකක් ගෙන්වා ගන්න පුළුවන්. එවිට පිටපතක සාමාන්‍ය පිරිවැය රුපියල් 5,616.35 දක්වා පහත වැටෙනවා. ඩොලර් 18ක් පමණ. 

තමන්ගේ ආන්තික උපයෝගීතාවය ඩොලර් 34 ඉක්මවන කෙනකුට වුනත් ඔය වැඩේ කරන්න පුළුවන්. දෙවන පිටපත ඩොලර් 10කට කාට හෝ විකිණුවත් තමන්ට ඩොලර් 8ක ලාබයක් වෙලා. පොත් දෙකක් වෙනුවට තුනක්ම ගෙන්වා ගත්තොත් මීටත් වඩා වැඩි පාරිභෝගික අතිරික්තයක් ලබා ගන්න බැරිද? 

පිටපත් ගණන දෙකක් වෙද්දී ඩීඑච්එල් ගාස්තුව වෙනස් නොවුනත් තුනක් වෙද්දී එය රුපියල් 11,562 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ රුපියල් 1,529.30කින් වැඩි වෙනවා. ඒ නිසා, දෙවන පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 600ක් පමණක් වුනත්, තුන්වන පිටපතක ආන්තික පිරිවැය රුපියල් 2,129.30ක්. දෙවන පිටපත ඩොලර් දෙකකට විකිනුවත් එහි ලාබයක් තිබෙනවා. නමුත් තුන්වන පිටපතෙන් පාඩුවක් නොවෙන්නනම් එය ඩොලර් හතකට පමණ විකුනන්න වෙනවා. කොහොම වුනත් පොත් තුනක් එක වර ඇණවුම් කළොත් එක් පිටපතක සාමාන්‍ය පිරිවැය රුපියල් 4,454 දක්වා අඩු වෙනවා.

එක වර පිටපත් වැඩි ගණනක් ඇණවුම් කරන තරමට පොතේ පිටපතක සාමාන්‍ය පිරිවැය තව තව අඩු වෙනවා. මෙහි කාට හෝ ප්‍රයෝජනයට ගත හැකි ව්‍යාපාරික අවස්ථාවක් නැද්ද?

තමලුගේ පොත ඇමරිකාවට ගේන්න යන ඩීඑච්එල් ගාස්තු සැලකූ විට, මගේ අදහස අනුව, පිරිවැය අවම වීම කෙසේ වුවත්, ප්‍රශස්ත මට්ටමකට එන්නේ එකවර පිටපත් 12ක් ඇනවුම් කළොත්. එවිට සාමාන්‍ය පිරිවැය රුපියල් 2001.86 දක්වා අඩු වෙනවා. රුපියල් දෙදහසක් කියන්නේ ලංකාවේදී වුනත් පොතකට නරකම නැති මිලක්. ඩොලර් වලින්නම් හයක් හතක් වගේ. 

පිටපත් ගණන තවත් ඉහළ යද්දී ඉහත සාමාන්‍ය පිරිවැය තව දුරටත් පහළ යන නමුත් එසේ පහළ යන්නේ හෙමින්. අනෙක් අතට විකිණිය යුතු පිටපත් ගණන ඉහළ යද්දී පාරිභෝගිකයින් සොයා ගත නොහැකි වීමේ අවදානමත් වැඩි වෙනවා. පොතේ පිටපත් දොළහක් වගේ ගණනක්නම් වැඩි අපහසුවක් නැතිව ඇමරිකාව ඇතුළේ විකුණගන්න පුළුවන් වෙයි. 

ඉහත විග්‍රහය තමළුගේ පොතට වගේම ලංකාවේ පළ කරන වෙනත් පොත් වලටත් එලෙසම යොදා ගන්න පුළුවන්. ඩීඑච්එල් ගාස්තු වලට පොත කුමක්ද කියන එක අදාළ නැහැ. ඒ වගේම, ආසන්න මිලක් හා බරක් තිබෙන පොත් දෙකකින් හෝ වැඩි ගණනකින් පිටපත් දොළහක් වගේ එකතු කළත් මේ කතාව වලංගුයි. 

ග්‍රන්ථ සමාගමට ඇමරිකාවේ ජීවත් වන කෙනෙක්ව සම්බන්ධ කර ගත්තානම් තමළුගේ පොත වගේ පොතක් ඩොලර් දහයකට වඩා අඩුවෙන් විකුණන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ වෙනත් ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන ආයතනයක හිමිකරුවන්ගේ ඇමරිකාවේ ඉන්න පවුලේ සාමාජිකයෙක් ඔය වැඩේ කරනවා. 

4 comments:

  1. නෙලා ගන්න බෑ - මගේ අත දිග නෑ
    අනේ ඒත් තව මල් පිපියන්
    කෝටි ගණන් තව මල් පිපියන්!

    ReplyDelete
  2. තමළුගේ පොත ගැන ෆේස්බුක් එකේ හැමතැනම තියෙනවා තමයි. ඇත්තටම කියනවා නම් තමළුගේ පොත නොදැනුවත්වම මාකට් කරලා දෙන්නේ, ඒ පොතේ අන්තර්ගතයට හදවතින් විරුද්ධ අයම තමයි.

    ආන්තික පිරිවැය, පාරිබෝගික අතිරික්තය කියන සංකල්ප ඇතුලෙම පුද්ගල කැමැත්ත කියන කාරණය පිලිඅරගෙන ඒ මත ගොඩ නැංවෙන සංකල්ප නේද? මට හිතෙන විදිහට ලිබරල් ක්‍රමය, පුද්ගල නිදහස, නිදහස් වෙලදපොල මේ සියලු දේ, මේ සාපේක්ෂ යථාර්ථයක් මිස නිරපේක්ෂ යතාර්ථයක් නැත් කියන දාර්ශණික පදනමේ ඉදලාම පටන් ගත්ත දෙයක්.

    භාණඩයක මිල එහි වැය කල ශ්‍රමය මත පදනම් වෙනවා කියන තර්කය ඇතුලෙම තියෙන්නෙ නිර්පේක්ශ යතාර්තයක් ඇති කියන දැඩි සංකල්පයක්. මේ ක්‍රමය මත මේ නිරපේක්ශ යථාර්ථ්ය තීරණය කරන්නේ කවුද. සමහර විට දේශපාලන පක්ශයක දේශ්පාලන මණ්ඩලය වෙන්න පුලුවන්..

    මම දූරියන් කන්න කැමති නෑ...දූරියන් සම්බන්ධයෙන් මගේ නම් පාරිභෝගිය අතිරිකතය සෘණ. නිකං දුන්නත් කන්නේ නෑ. හැබැයි දුරියන් කන්න කැමති කට්ටියක් ඉන්නවා. රු 1000 ක් දීල දූරියන් ගෙඩි ගන්න අය ඉන්නවා.

    දැන ආන්තික පිරිවැය, පාරිභෝගික අතිරිකතය කියන කාරණා පිලිගන්න සමාජයක මට ඕනේ නම දූරියන් කන්නෙ නැතුව ඉන්න පුලුවන්... ඒ වගේම දූරියන් කන්න කැමති අයට රු 1000ක් දීල දූරියන් කන්නත් පුලුවන්. ස් රු 500ට දූරියන් කන්න කැමති අය ඊට වැඩි වෙයි.

    හැබැයි ආන්තික පිරිවැය පිලිගන්නෙ නැති, ඒ වෙනුවට දූරියන් වලමිල එහි ශ්‍රමයේ වටිනාකම මත තීරණය කරන්න ඕනේ කියලා හිතන සාමාජෙක රුපියල 200 -300 කට විතර දූරියන් කන්න පුලුවන් වේවී. හැබෙයි ප්‍රශ්ණේ තියෙන්නේ මං වගේ දූරියන් නොකන ඒක අප්පිරියා එවුන්ටත් රු 300 ක් විතර දීලා දූරියන් ගෙඩියක් අරගන්න වෙන එකයි. මොකද සතියේ එක් දිනක් දූරියන් විතරක් කන්න ඕනා කියලා දේශපාලන මණ්ඩලය තීරණය කරලා මගෙ කැමැත්තෙන් අකමැත්තෙන් වැඩක් නෑ. දුරියන් නිශ්පාදකයා රැක ගන්න රු300 ට මටත් දූරියන් කන්න වෙනවා. පාරිභෝගික අත්රික්තය ලෙෆ්ට්..

    ReplyDelete
    Replies
    1. //ආන්තික පිරිවැය, පාරිබෝගික අතිරික්තය කියන සංකල්ප ඇතුලෙම පුද්ගල කැමැත්ත කියන කාරණය පිලිඅරගෙන ඒ මත ගොඩ නැංවෙන සංකල්ප නේද? මට හිතෙන විදිහට ලිබරල් ක්‍රමය, පුද්ගල නිදහස, නිදහස් වෙලදපොල මේ සියලු දේ, මේ සාපේක්ෂ යථාර්ථයක් මිස නිරපේක්ෂ යතාර්ථයක් නැත් කියන දාර්ශණික පදනමේ ඉදලාම පටන් ගත්ත දෙයක්.//

      මම දර්ශනය ගැන මහා ගොඩක් දන්නේ නැහැ. නමුත් මගේ අදහස අනුව මෙහි තිබෙන්නේ "නිරපේක්ෂ යථාර්තයක් නැත" කියන දාර්ශනික පදනම නෙමෙයි. එය බාක්ලීගේ විඥානවාදය. මෙතැනදී අවශ්‍ය වන්නේ ඊට වඩා අඩු මට්ටමක උපකල්පනයක්. ඒ කියන්නේ "නිරපේක්ෂ යථාර්තයක් තිබේ" යන්න (යම් හෙයකින්) සත්‍ය වුවද එම නිරපේක්ෂ යථාර්තය එක් එක් පුද්ගලයාට ග්‍රහණය වන්නේ සාපේක්ෂවය කියන එක. මෙයින් "නිරපේක්ෂ යථාර්තයක් තිබේ" කියන එක අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ වගේම "නිරපේක්ෂ යථාර්තයක් නැත" කියන එකත් අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා, නූතන ආර්ථික විද්‍යාව පිළිගැනීමට "නිරපේක්ෂ යථාර්තයක් තිබේ" යන්න අනිවාර්යය සත්‍යයක් නොවන බව පිලිගැනීම ප්‍රමාණවත්. එය විය හැකියාවක් ලෙස පැවතීමේ ප්‍රශ්නයක් නැහැ.

      //භාණඩයක මිල එහි වැය කල ශ්‍රමය මත පදනම් වෙනවා කියන තර්කය ඇතුලෙම තියෙන්නෙ නිර්පේක්ශ යතාර්තයක් ඇති කියන දැඩි සංකල්පයක්.//
      මේක හරි. ඇත්තටම නූතන ආර්ථික විද්‍යාව සැලකුවත් නියාමනය වගේ පැති වලට යද්දී (හැම විටම නොවුනත්) ඔය දාර්ශනික ස්ථාවරය අවශ්‍ය වෙනවා.

      Delete
    2. ස්තූතියි ඉකෝන් ඔබගේ අඟනා පැහැදිලි කිරීමට

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.