Friday, March 8, 2024

මහ බැංකුව පඩි ගෙවන්නේ කොහොමද?


මහ බැංකුව විසින් මහ බැංකු සේවකයන්ගේ වැටුප් විශාල ලෙස වැඩි කර ගැනීම ගැන රටේ සැලකිය යුතු විරෝධයක් ඇති වෙලා තිබෙනවා. මම පෞද්ගලිකව දකින විදිහට මෙය සාධාරණ විරෝධයක්. වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වන අය විසින් ගෙන එන යම් පදනමක් තිබෙන තර්ක ගණනාවක් තිබෙනවා.

මේ කාරණයේදී ආණ්ඩු පක්ෂය වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයත් එකම මතයක සිටිමින් මහ බැංකුවට ප්‍රතිපක්ෂව සිටින බවකුයි පෙනෙන්න තියෙන්නේ. විවිධ කරුණු මත දිගින් දිගටම මහ බැංකුව විවේචනය කරමින් සිටි වාමාංශික පක්ෂ මේ කාරණය හා අදාළව හඬක් නගන බවක් මට නිරීක්ෂණය වුනේ නැහැ. ඇතැම් විට ඒ අය මෙය සේවකයින් විසින් හෙට්ටු කර වැටුප් වැඩි කර ගැනීමක් කියන පැත්තෙන් ගන්නවා වෙන්න ඇති. 

මේ වැටුප් වැඩි කිරීම සාධාරනීකරණය කරමින් මහ බැංකුව විසින් හෝ ඒ වෙනුවෙන් පෙනී සිටින වෙනත් අය විසින් පහත තර්ක ගෙන එනවා.

- තමන්ගේ වැටුප් වැඩි කරගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව 

- වැටුප් වෙනුවෙන් වැය කරන්නේ මහ බැංකුව විසින් උපයන මුදල් මිස බදු මුදල් නොවන බව 

- මහ බැංකුවට විශේෂිත ශ්‍රමයක් අවශ්‍ය වන නිසා එම ශ්‍රමය මිල දී ගෙන රඳවා තබා ගැනීම පිණිස මෙවැනි ඉහළ වැටුප් ගෙවන්නට සිදු වන බව

තර්ක විදිහට මේවා හරි. නමුත් මේ තර්ක සියල්ලේම නොකියන දේවල් තිබෙනවා. ඒ වගේම, මහ බැංකුව ස්වාධීන කළාට පස්සේ මුලින්ම කළේ තමන්ගේ වැටුප් වැඩි කරගන්න එක කියන කතාවත්, තාක්ෂණිකව කොහොම වුනත්, පදනමක් නැති කතාවක් නෙමෙයි.

පළමු කරුණ සම්බන්ධවද මතභේද ඇතත් එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි කියා කියන්න පුළුවන්. ඒ නිසා මම දෙවන කරුණ වෙත අවධානය යොමු කරන්නම්.

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වෙනුවෙන් හෝ මහ බැංකුවේ වෙනත් වියදම් වෙනුවෙන් රජය විසින් එකතු කරන බදු මුදල් වැය කරන්නේ නැහැ. මේ වියදම් වෙනුවෙන් වැය කරන්නේ මහ බැංකුව විසින් උපයන ආදායම්. ඇත්තටම වෙන්නේ එම ආදායම් වලින් අවසානයේදී ඉතිරි වන කොටස රජයට ලබා දෙන එකයි. 

මේ කතාව තර්කයක් විදිහට නිවැරදියි වගේම මහ බැංකුවට අමතරව තවත් බොහෝ රාජ්‍ය ආයතන හා අදාළවද නිවැරදියි. ශ්‍රීලංකන්, ලංවිම, තෙල් සංස්ථාව වගේ ආයතන පාඩු ලබද්දී රජය එම ආයතන වලට බදු මුදල් පොම්ප කරන බව ඇත්ත. නමුත්, යම් හෙයකින් එම ආයතන ලාබ ලැබුවේනම් සහ එසේ ලාබ ලබන අතර සේවකයින්ගේ වැටුප් වැඩි කරගත්තේනම් මහ බැංකුව කියන කතාවම ඔය ආයතන වලටත් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකු එහෙම ලාබ ලබනවා. ඒ නිසා එම ආයතන වෙනුවෙන් බදු මුදල් වැය වෙන්නේ නැහැ. 

නමුත්, ඉහත කී අනෙකුත් ආයතන විසින් කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරනවා. එහෙම කරලා ආර්ථිකයට අගය එකතු කිරීමක් කරනවා. ඒ ආයතන වල ලාබ විදිහට ඉතිරි වෙන්නේ (එහෙම ඉතිරි වෙනවානම්) ඒ අගය එකතු කිරීම. මේ සඳහා ආයතනයේ කළමනාකරණය වගේම සේවකයින් විසින්ද සැලකිය යුතු පරිශ්‍රමයක් දැරිය යුතුයි. ඔවුන් කාර්යක්ෂම වන තරමට ආයතනයේ ලාබ ඉහළ යනවා.

මෙන්න මේ කාරණය හා අදාළව මහ බැංකුව වෙනස්ම ආයතනයක්. මහ බැංකුවේ ලාබ ඉහළ යන්නේ එම ආයතනයේ කාර්යක්ෂමතාව වැඩි වීම නිසා නෙමෙයි. ඒක වෙනම කතාවක්.

මහ බැංකුව ආදායම් උපයන්නේ කොහොමද?

කෙටි පිළිතුර මහ බැංකුව ආදායම් උපයන්නේ සල්ලි අච්චු ගැසීම මගින්. ඊට වඩා සංකීර්ණ දිගු පිළිතුරක් තිබුණත් ඒ දිගු පිළිතුරෙන් අවසාන වශයෙන් කියැවෙන්නේද ඔය කතාවම තමයි.

ඔබට ආදායම් ඉපැයිය හැකි මාර්ග මොනවාද?

- ඔබේ ශ්‍රමය යොදවා කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කිරීමෙන් ඔබට ආදායම් උපයන්න පුළුවන්.

- ඉහත ක්‍රමයට උපයන ආදායම් වලින් කොටසක් ඉතිරි කරගෙන හෝ එසේ ඉතිරි කළ අයෙකුගේ උරුමකරුවෙකු ලෙස ලැබුණු ප්‍රාග්ධනය කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කිරීම වෙනුවෙන් ආයෝජනය කර ඔබට ආදායම් උපයන්න පුළුවන්.

ඔය ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයට ආදායම් ඉපැයුවත් එහිදී සෘජුව හෝ වක්‍රව කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු වෙනවා.

ඔය ක්‍රම දෙක හැර වෙනත් ක්‍රම නැද්ද? 

අපි හිතමු ඔබ රුපියල් ලක්ෂ කිහිපයක් වැය කර හොඳ මුද්‍රණ යන්ත්‍රයක්, කඩදාසි සහ තීන්ත මිල දී ගෙන රුපියල් 5000 නෝට්ටු අච්චු ගහනවා කියලා. රුපියල් 5000 නෝට්ටුවක් අච්චු ගහන්න යන වියදම රුපියල් 50ක් කියමු. දැන් ඔබ මේ නෝට්ටුවක් මාරු කරන වාරයක් පාසා ඔබට රුපියල් 4950ක ශුද්ධ ආදායමක් ලැබෙනවා. 

ඔය වැඩේ කරන අය නැතුව නෙමෙයිනේ. හැබැයි වැඩි කාලයක් ඔය වැඩේ එක දිගට කරන්න බැහැ. අපරාධ විමර්ශන අංශයෙන් හෝ වෙනත් එවැනි අංශයකින් ඇවිත් කුදලාගෙන ගිහින් හිරේ දමනවා. තාත්තා රටේ හිටපු ලොක්කෙක්නම්, ඉන්න ලොක්කා ඒ යාලුකමට මැදිහත් වුනොත්, සමහර විට හිරේ නොගිහින් බේරෙන්න ඉඩ ලැබෙන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ දිගටම කරන්න බැහැ. මොකද මේ විදිහට සල්ලි අච්චු ගහන එක රටේ නීතිය අනුව නීති විරෝධී වැඩක්.

අපි හිතමු මෙය කියවන ක්‍රිෂ්ණා රාමනායකගේ සුළු ව්‍යාපාරයට පමණක් මොකක් හෝ හේතුවක් නිසා රජය ඔය විදිහට සල්ලි අච්චු ගහන්න ඉඩ දුන්නා කියලා. දැන් ඔහුට පුළුවන් තමන්ගේ අනෙක් ව්‍යාපාරික කටයුතු පැත්තක තියලා සල්ලි අච්චු ගහන වැඩේ ආයතනයේ ප්‍රමුඛ කාර්යය විදිහට කරගෙන යන්න. ඔය ක්‍රමයට හොයන්න පුළුවන් ලාබ වල සීමාවක් නැති තරම්. රුපියල් 5000 නෝට්ටුවක් අච්චු ගහලා එළියට දමන වාරයක් පාසා ඔහුගේ ආයතනයට රුපියල් 4950ක ලාබයක් ලැබෙනවා. ඒ නිසාම ඔහුගේ ආයතනයේ සේවකයන්ට කැමති තරම් ඉහළ වැටුපක් ගෙවන්නත් ඔහුට පුළුවන්. එහෙම වැඩි වැටුප් ගෙවුවා කියලා ආයතනයේ ලාබ අඩු වෙන්නේ නැහැ. මොකද යම් හෙයකින් ලාබ අඩු වෙන්න යනවානම් තව සල්ලි ටිකක් වැඩිපුර අච්චු ගහලා ලාබය වැඩි කරගන්න පුළුවන්. අවශ්‍ය ලාබය තීරණය කරගන්නේ තමන් විසින්ම මිසක් වෙළඳපොළ විසින් නෙමෙයි.

ක්‍රිෂ්ණා රාමනායකගේ සහ ඔහුගේ ආයතනයේ සේවකයින්ගේ අවාසනාවට ඔහුගේ ආයතනයට රජයෙන් එවැනි අවසරයක් ලැබී නැහැ. නමුත් මහ බැංකු සේවකයින්ගේ වාසනාවට මහ බැංකුවට රජයෙන් එවැනි අවසරයක් ලැබී තිබෙනවා. ඒ අවසරය තියෙන්නේ මහ බැංකුවටම පමණයි.

සියලුම ආරක්ෂක විධිවිධාන එක්ක නියම ප්‍රමිතියේ රුපියල් 5000 නෝට්ටුවක් අච්චු ගහන්න යන වියදම රුපියල් 50ක්නම් මේ නෝට්ටුවක් මුද්‍රණය කරලා එළියට දමන වාරයක් පාසා මහ බැංකුවට රුපියල් 4950ක ශුද්ධ ආදායමක් ලැබෙනවා. ඔය වැඩේ දිගින් දිගටම කිරීම මගින් මහ බැංකුවට විශාල ශුද්ධ ආදායමක් උපයා ගන්න පුළුවන්. ඒ ආදායමෙන් සේවක වැටුප් බේරලා ඉතිරි වන කොටසක් ඇත්නම් රජයට දෙන්නත් පුළුවන්. ඒ නිසා මහ බැංකුවට වැටුප් ගෙවීම සඳහා රජය විසින් එකතු කරගන්න බදු මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. 

සල්ලි කියා කියන්නේ මුදල් නෝට්ටු පමණක් නෙමෙයිනේ. දැන් ගොඩක් ගනුදෙනු සිදුවෙන්නේ විද්‍යුත් ක්‍රමයට. එහෙම කියලත් ඔය කතාවේ වෙනසක් වෙන්නේ නැහැ. මුද්‍රණ යන්ත්‍රය, මුද්‍රණ කඩදාසි හා තීන්ත වෙනුවට පරිගණක හා මෘදුකාංග ආදේශ වෙනවා. පරිගණකයේ බොත්තමක් ඔබන සැණින් නැති මුදල් අලුතෙන් මැවී කාගේ හෝ ගිණුමකට බැර වෙනවා. මුදල් නෝට්ටු මුද්‍රණය කරන්න යන වියදමවත් යන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් රටක ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණයද ඉහළ යනවා. ඒ නිසා රටක මුදල් ඉල්ලුම සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යනවා. ඒ ඉල්ලුමට සරිලන තරමට මුදල් අලුතෙන් නිකුත් කළා කියලා උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. නමුත්, ඒ නිකුත් කරන මුදල් ප්‍රමාණයෙන් වුනත් මහ බැංකුවට සෑහෙන තරමක ශුද්ධ ආදායමක් ලබන්න පුළුවන්.

මුදල් නෝට්ටු ලෙස හෝ විද්‍යුත් ක්‍රමයට ඉහත කී ප්‍රමාණයට වඩා සල්ලි අච්චු ගසා එළියට දැම්මොත් සල්ලි බාල්දු වෙනවා. රට ඇතුළේ භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ කියන්නේ උද්ධමනය. ඩොලර් වැනි විදේශ මුදල් වල මිල ඉහළ යනවා. නමුත් ඔය ඉහළ යාම ගොඩක් ලොකුවට දැනිලා මිනිස්සු පාරට බහින තත්ත්වයක් ඇති නොවන තුරු මහ බැංකුවට අලුතෙන් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඒ සීමාව ඇතුළේ වුනත් මහ බැංකුවට සල්ලි අච්චු ගැසීම මගින් විශාල ශුද්ධ ආදායමක් උපයා ගන්න පුළුවන්. 

ඔය හේතුව නිසා මහ බැංකුව විසින් සේවකයින්ට වැටුප් ගෙවද්දී ඇත්තටම කරන්න වෙන්නේ ඔවුන්ගේ ගිණුම් ශේෂය අවශ්‍ය ප්‍රමාණයෙන් ඉහළ දමන එක පමණයි. වෙනත් ආයතනයකට වගේ ඒ වෙනුවෙන් සල්ලි එන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නය ගැන මහ බැංකුවට හිතන්න අවශ්‍ය නැහැ. ගෙවන වැටුප් ප්‍රමාණය කීය වුනත් ඒ ප්‍රමාණයෙන් රටේ මුදල් සැපයුම ඉහළ යනවා. වැඩේ ඒ තරම්ම සරලයි.

මහ බැංකුව විසින් අලුතෙන් සල්ලි අච්චු ගහලා කරන එකම වැඩේ හෝ ප්‍රධානම වැඩේ සේවකයින්ට වැටුප් ගෙවන එක නෙමෙයි. ඒ විදිහට අච්චු ගහන සල්ලි වලින් මහ බැංකුව ඩොලර් වැනි විදේශ විණිමය වෙළඳපොළෙන් මිල දී ගන්නවා. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා.

ඔය විදිහට මිල දී ගන්න ඩොලර් තමයි මහ බැංකුවේ සංචිත කියන්නේ. එම සංචිත විදේශ රටක ආයෝජනය කරලා ඩොලර් වලින් ආදායම් උපයන්න පුළුවන්. ඔය වැඩෙන් සමහර වෙලාවට පාඩු වෙන්නත් පුළුවන්. මතක ඇතිනේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය. 

විදේශ සංචිත වලින් වගේම භාණ්ඩාගාර බිල්පත් ආයෝජන වලිනුත් මහ බැංකුවට ආදායම් ලැබෙනවා. වැඩියෙන් සල්ලි අච්චු ගහලා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් තරමට මහ බැංකුවේ ආදායම් ඉහළ ගිහින් ලාබ වැඩි වෙනවා. පොලී අනුපාතික ඉහළ යන තරමටත් මහ බැංකුවේ ආදායම් ඉහළ යනවා. ඩොලරයක මිල ඉහළ යන තරමට විදේශ වත්කම් වල රුපියල් අගය ඉහළ යනවා. කෙටියෙන් කිවුවොත් රුපියල බාල්දු වෙන තරමට මහ බැංකුවේ ලාබ ඉහළ යාමේ ඉඩකඩද ඉහළ යනවා. මහ බැංකුවට අවශ්‍ය ලාබය කීයද, රුපියල අවශ්‍ය පමණ බාල්දු කිරීම මගින් ඒ අවශ්‍ය ලාබය හොයා ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ආයතනයක ලාබ ඉහළ යනවා කියා කියන්නේ ඒ ආයතනයේ කටයුතු හොඳින් සිදු වෙනවා කියන එක. නමුත් ඔය කතාව මහ බැංකුවකට හරියන්නේ නැහැ. ඇතැම් විට මහ බැංකුවක ලාබ ඉහළ යාමෙන් පෙනෙන්නේ මහ බැංකුව විසින් තමන්ගේ රාජකාරිය හරියට නොකිරීම වෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුවක ලාබ කියා කියන්නේ කිසිසේත්ම එහි කාර්යක්ෂමතාවය පිළිබඳ නිර්ණායකයක් නෙමෙයි. ඒ හේතුව නිසාම මහ බැංකුවක ලාබ ඉහළ යාම හෝ පහළ යාම එහි සේවකයින්ගේ වැටුප් වැඩියෙන් හෝ අඩුවෙන් වැඩි කිරීමට හේතුවකුත් නෙමෙයි. මහ බැංකුවක ලාබ කියන්නේ වෙනත් ආයතනයක ලාබ වලට සාපේක්ෂව නිකම්ම අංකයක් පමණයි. මහ බැංකුවක කාර්යක්ෂමතාව මැනිය හැක්කේ මුදලේ අගය කොයි තරම් දුරකට සංරක්ෂණය කර තිබෙනවාද යන්න මතයි. 

ඔය විදිහට සල්ලි අච්චු ගැසීම මගින් තමන්ටම අවශ්‍ය තරම් අරමුදල් හොයාගන්න පුළුවන් නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ නඩත්තුව වෙනුවෙන් බදු මුදල් වැය කළ යුතු නැති බව පැහැදිලියිනේ. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලෙස යොදවා තිබෙන්නේ බදු මුදල්. ඒ නිසා, මෙය රාජ්‍ය ආයතනයක්.

අනෙක් රාජ්‍ය ආයතන වගේම මහ බැංකුවද විගණනයට ලක් වෙනවා. මහ බැංකුවේ ලාබ වලට අනෙක් ආයතන වල ලාබ වලට මෙන් අර්ථයක් නැතත්, අනෙක් ආයතන වල ගිණුම් වාර්තා හදන ක්‍රමවේද අනුවම මහ බැංකුවේ ගිණුම් වාර්තාද හදනවා. ඒ අනුව, මහ බැංකුවේ ලාබ හෝ පාඩුද වාර්තා වෙනවා. පහත තිබෙන්නේ පසුගිය වසර දහයක කාලය තුළ මහ බැංකුවේ ලාබ (හෝ පාඩු).  

2013 - රුපියල් බිලියන (-24.3)

2014 - රුපියල් බිලියන (-32.3)

2015 - රුපියල් බිලියන (-19.6)

2016 - රුපියල් බිලියන 22.2

2017 - රුපියල් බිලියන 48.4

2018 - රුපියල් බිලියන 137.9

2019 - රුපියල් බිලියන 55.6

2020 - රුපියල් බිලියන 63.4

2021 - රුපියල් බිලියන 158.2

2022 - රුපියල් බිලියන (-374.3)

ඉහත පෙන්වා ඇති පරිදි, 2022 වසර මහ බැංකුව විසින් විශාල පාඩුවක් ලැබූ වසරක්. එයට හේතුව එම වසරේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අගයක් ගෙන තිබියදී ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාමයි. මහ බැංකුව සතුව ශුද්ධ විදේශ සංචිත ඇති විට, ඩොලරයක මිල ඉහළ යාමෙන් (රුපියල් වලින් බැලූ විට) වෙන්නේ වාසියක්. එහෙත්. මහ බැංකුව ණය වී ඇති විට සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. 

පසුගිය වසරේදීද මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් පැවතුණේ සෘණ පැත්තේ වුවත්, එසේ තිබියදී ඩොලරයක මිල පහළ යාම නිසාත්, පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පැවති නිසාත් මහ බැංකුව විසින් සැලකිය යුතු ලාබයක් වාර්තා කර ඇති සිතිය හැකියි.

කෙසේ වුවත්, එවැනි ලාබයක් වාර්තා වී තිබීම පෙර විස්තර කළ පරිදි මහ බැංකුවේ කාර්ය සාධනය පිළිබඳ මිනුමක් හෝ සේවකයින්ට බෝනස් ගෙවීමට හේතුවක් නෙමෙයි. මහ බැංකුවට ආදායම් ලැබෙන්නේ සල්ලි අච්චු ගැසීම සඳහා එම ආයතනයට ලබා දී තිබෙන ඒකාධිකාරී බලය නිසා. එම බලය ලබා දී තිබෙන්නේ ව්‍යවස්ථාදායකය විසින්. එනම් පාර්ලිමේන්තුව විසින්. පාර්ලිමේන්තුව විසින් එහිදී ක්‍රියාත්මක කර තිබෙන්නේ රටේ මහජනතාව සතු බලයයි. ඒ අනුව, මහ බැංකුව විසින් ආදායම් එක් රැස් කරන්නේ මහජනතාව විසින් ලබා දී තිබෙන සුවිශේෂී බලයක් නිසා මිස එහි සේවකයින්ගේ කාර්යක්ෂමතාවය නිසා නෙමෙයි. 

මෙය යම් ආකාරයකින් දේශීය ආදායම්, සුරාබදු, රේගුව වැනි ආයතන වලටද අදාළයි. එම ආයතන විසින් වියදමට සාපේක්ෂව විශාල ආදායමක් උපයනවා. එහෙත්, ඒ ආදායම උපයන්නේ රටේ බදු නීතියේ උදවුවෙන් මිසක් සේවකයින්ගේ මහන්සියෙන් හෝ දක්ෂ කමෙන් නෙමෙයි.

ඉහත කී ආයතන වල හා මහ බැංකුවේ සේවකයින්ගේ කාර්ය සාධනය නොවැදගත් බව හෝ එය එම ආයතන වල කාර්යක්ෂමතාවය කෙරෙහි බල නොපාන බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එය එසේයි. එහෙත්, ඉහත ආයතන වල වගේම මහ බැංකුවේද ආදායම් නිර්ණය කරන ප්‍රධාන සාධකය රටේ නීතියයි. ඒ නිසා, එවැනි ආයතනයක ආදායම් ඉහළ යාම (හෝ පහළ යාම) සේවක වැටුප් වැඩි කිරීම (හෝ අඩු කිරීම) සාධාරණීකරණය කළ හැකි හේතුවක් නොවෙයි.

දේශීය ආදායම්, සුරාබදු, රේගුව වැනි ආයතන වලට, කොපමණ ආදායම් ඉපදවූවද, තමන්ගේ වැටුප් වැඩි කරගැනීමේ හැකියාවක් නැහැ. (නිල නොවන අයුරින් එසේ කර ගැනීම වෙනම කරුණක්). එහෙත්, මහ බැංකුවට මුල සිටම එවැනි නීතිමය හැකියාවක් තිබුණා. මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සිටීම නිසා මෙය යම් නියාමනයකට ලක් වෙන්න ඇති. අලුත් මහ බැංකු පණතින් මහ බැංකුව ස්වාධීන කිරීමෙන් පසුව ඒ බාධකයද ඉවත් වී තිබෙනවා.

මහ බැංකුව ස්වාධීන කිරීමට අවශ්‍ය වූයේ ඒ සඳහා සාධාරණ හේතු පැවති නිසා. පෙර පැවති තත්ත්වය තුළ, රජයට මහ බැංකුවට බලපෑම් කර ඕනෑවට වඩා සල්ලි අච්චු ගස්සවා එම සල්ලි වියදම් කිරීමට අවස්ථාවක් ලැබුණා. ඇතැම් විට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නිල බලයෙන් මුදල් මණ්ඩල සාමාජිකයෙකු කරන්නට ඇත්තේ මහ බැංකුව විසින් බලය අපහරණය කර හිතුමතේ කටයුතු කිරීම පාලනය කරන්නට වෙන්න පුළුවන්. එහෙත් ඇත්තටම වුනේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් එම නිල බලය (රජය වෙනුවෙන්) අපහරණය කිරීමක්. මෙය වැළැක්වීම සඳහා මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව ස්වාධීනත්වයක් අවශ්‍ය වෙනවා.

එහෙත් එයින් අදහස් කරන්නේ රජය වෙනුවෙන් සල්ලි අච්චු ගැසීම නවත්වා තමන්ගේ වැටුප් වැඩි කර ගැනීම වෙනුවෙන් සල්ලි අච්චු ගසා ගැනීම නිවැරදි බව නෙමෙයි. මහ බැංකුවට සල්ලි අච්චු ගැසීමේ බලය ලැබී තිබෙන්නේ රටේ මහජනතාවගෙන්. එසේ සල්ලි අච්චු ගසන තරමට රටේ ජනතාවට ඒ වෙනුවෙන් මිලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, මහ බැංකුවට ජනතාවගෙන් ලැබුණු බලය ක්‍රියාත්මක කර තමන්ගේ වැටුප් වැඩි කර ගැනීමේදී, එහි නීතිමය වැරැද්දක් නොතිබුණත්, පාරදෘශ්‍ය ලෙස සහ ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් නොවන පරිදි එය කිරීම මහ බැංකුවේ වගකීමක්. මහ බැංකුවේ වැටුප් වැඩි වීම් හා අදාළ ජනතා ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ඔවුන්ට සෑහීමකට පත් විය හැකි පරිදි මේ කටයුත්ත සිදු වී නොමැති බවයි.

මහ බැංකුවේ අලුත් වැටුප් ඕනෑවට වඩා වැඩිද නැද්ද යන ප්‍රශ්නය මම මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ නැහැ. එය එසේ වුනත් නොවුනත්, මෙහිදී ජනතාවගේ පැත්තෙන් බැලූ විට වැරැද්දක් සිදු වී තිබෙනවා. ඒ වගේම, මේ වැරැද්ද නැවත නැවත සිදු වීම වලක්වන යාන්ත්‍රණයක් මේ වන විට නැහැ. 

3 comments:

  1. ඉකොනො ඔය මහ බැංකුව වැටුප් වැඩිකරගන්න භාවිත කළේ මහ බැංකු පනතේ 5, 8 සහ 23 වගන්ති අනුව බව හිතන්න පුළුවනි ඒත් එම clauses වල වියදම් පිළිබඳ සඳහනක් තිබුණත්, වැටුප් පිළිබඳ නිශ්චිත ප්‍රතිපාදන එහි නොමැති නිසා පනතේ 23 වගන්තියට අනුව වැටුප් වැඩි කර ගැනීම නිශ්චය කර ගැනීමට අයිතියක් තිබුණත් අනුමැතිය සඳහා අවසන් බලය පාර්ලිමේන්තුව සතු විය යුතු බවයි මගේ අදහස.මොකද මහ බැංකුවේ අරමුදල් යනු අවසානයේ ජනතාවගේ අරමුදල් බැවින් ඒ සඳහා ජනතාවට වගකිව යුතු බවත් ඒ අනුව මහජන මුදල් සඳහා වගකියන පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා අවශ්‍ය බවත් මගේ පුද්ගලික අදහසයි

    ඒ අතර මුග්ධ හර්ෂ ද සිල්වා කියන තකතීරු මලහොල්මන කියා තිබුනා මහ බැංකුව තමන්ම පඩි වැඩිකරගත්තෙ 2023 පනතෙන් ආපු ස්වාධීනත්වය නිසා නොව 1950 පනතෙන් ආපු ස්වාධීනත්වය මත කියා. සභාවේ තදින් සිනා... මේ වගේ වෘෂභ රාජයන් නිසා මහබැංකුවේ සේවකයන්ට රජමගුල්.

    මොනව වුණත් ඇත්තටම නිදහසෙන් පස්සෙ රුපියල දිගින් දිගටම අවප්‍රමාණ වීමෙ රහසත් මේ මහ බැංකුවේ 'ස්වාධීනත්වය' විය හැකියි. නිතර කියවෙන කතාවක් වන යටත්විජිත සමයේ රුපියල ගොඩක් ශක්තිමත් සහ ස්ථාවරයි කියන කතාව ගැන බලනකොට ඒ කාලෙ මහ බැංකුවක් තිබුණෙත් නැහැනේ නේද?

    ඕක ගැන තවත් සාකච්ඡා කළොත් කාලයක් තිස්සේ එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය මගින් මෙහෙයවන ලංකාවේ NGO වල පච ප්‍රචාර වලින් ජනතාව මට පටවපු ව්‍යාජ මත නිසා ලංකාවේ මිනිස්සු ස්වාධීන කළ යුතුයි කියලා හිතන ආයතන මූලික වශයෙන් දෙකක් තියෙනවා.

    1) අධිකරණය

    2) මහ බැංකුව

    ආර්ථික අර්බුධයක් කියන එකක් නිසා හැම ආයතනයකම වැටුප් කපලා, බදු ගහලා,සේවකයොන්ගේ පටි තද කරලා තියෙද්දි..

    ඔය කියපු ස්වාධීන ආයතනවලින් එක ආයතනයක් පහුගිය දවස්වල තමන්ට ඒ බදු කිසිවක් බල නොපාන විදියට තමන්ම නීතියක් සම්මත කරගත්තා.

    ඊළඟට ස්වාධීන මහ බැංකුව විසින් තමන් විසින්ම තමන්ගේ වැටුප් 70% කට වැඩිවන ලෙස අතිවිශාල ලෙස වැඩි කරගත්තා.

    ඊනියා මහ බැංකු පනත් සම්මත නොවී, ඔය ආයතන ස්වාධීන නොවී දේශපාලකයෙක් යටතේ තිබුනා නම් ඔය සෙල්ලම් දාන්න බැහැනේ.

    නමුත් දැන් "ස්වාධීන" මහ බැංකුවට ආණ්ඩුවේ අවසරයක් නොමැතිව කැමති විදියකට වැටුප් කරගන්න පුලුවන්.

    දවස අවසානයේ මොනවා වුනත් දේශපාලකයා මිනිස්සුන්ට වග කියනවා. ඡන්දේ ඕන නිසා මහජන මතයට බය වෙනවා.

    හැබැයි ඔය ඊනියා "ස්වාධීන" ආයතන වලට මහජන මතය අදාල නෑ.

    ඔවුන් පත් වෙන්නෙත්, ඉවත් වෙන්නෙත් මහජන ඡන්දයකින් නෙවෙයි.

    අනිත් අතට මේ ලෝකේ ඇත්තටම "ස්වාධීන" කිසිම දෙයක් නැහැ.

    හැමෝම මොකකට හරි තමන් විශ්වාස කරන හෝ තමන්ට වාසිදායක දේකට පක්ෂපාතීයි.

    "ස්වාධීන" වචනේ යොදාගන්නෙ තමන් අකමැති, තමන්ට අවාසිදායක තැන් වලින් ගැලවෙන්න විතරයි.

    රට හදන්න නම් ඔය හැම ආයතනයක්ම පුලුවන් තරම් රජයට සහ ආණ්ඩුවට "පක්ෂපාතී" කරන්න ඕන.(මොකද ඔය "ස්වාධීන" ආයතන ජනතා ඡන්දයෙන් පත්වෙන ආණ්ඩු වලට 'ස්වාධීන' වුනාට පිටරට තානාපති කාර්යාල වලට නම් අම්බානට පක්ෂපාතීයි.)

    ලංකාවේ මහ බැංකුව ස්ථාපිත කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පනතක් සම්මත කරලා, ඒ මහ බැංකු පනත සම්මත වී ඇත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජනතා පරමාධිපත්‍ය බලය මගින් නේද ? ඒ නිසා මහ බැංකුවත් අවසාන වශයෙන් ලංකාවේ මහජනයාට වගකිව යුතුයි.

    ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය දේශපාලන බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක කිරීමේ ස්වාධීනත්වය මහ බැංකුවට තිබිය යුතු වුවත් මහජනයාට වගනොකියන සහ ජනතා පරමාධිපත්‍ය බලය ඉක්මවා යන අත්තනෝමතික බලයක් මහ බැංකුවට තිබිය යුතු නැති බවයි මගේ අදහස. ඔබ මේකට විරුද්ධව නම් හේතු සහිතව එම අදහස් පැවසිය හැකිද?

    ReplyDelete
  2. මේ ලිපිය ලියන්න තිබ්බේ සතියකට වගේ කලින්, දැන් මේක යල්පැනලා ලංකාවේ.

    ReplyDelete
  3. 'සල්ලි අච්චු ගැසීම' යනු කුමක්ද? කරුණාකර මට එය පැහැදිලි කරන්න. ස්තූතියි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.