Saturday, July 20, 2024

විසි දෙවන සංශෝධනය කුමකටද?


විසි දෙවන සංශෝධනය ගැසට් කිරීම නිසා යම් කිසි ව්‍යාකූලත්වයක් ඇතැම් අය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේක එළියට දැම්මේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නද කියලා සැකයක් ඇතැම් අයට ඇති වී තිබෙනවා. 

මේ කරුණ සම්බන්ධව ආණ්ඩුව විසින් වගේම මැතිවරණ කොමිසම විසින්ද පැහැදිලි ප්‍රකාශ නිකුත් කරමින් ජනාධිපතිවරණය කල් දැමීමක් සිදු නොවන බව කියා තිබුණත්, එහෙමනම් මේ වෙලාවේ මේ සංශෝධනය එළියට ගත්තේ ඇයි කියන එක ගොඩක් අයට මතු වන සාධාරණ ප්‍රශ්නයක්. 

විසි දෙවන සංශෝධනයෙන් සිදු වෙන්නේ කුමක්ද?

ව්‍යවස්ථාවේ පෙළ වෙනස්වීම අනුවනම්, මෙය ඉතාම කුඩා සංශෝධනයක්. එයින් කෙරෙන්නේ ව්‍යවස්ථාවේ එක් වචනයක් වෙනස් කරන එක. නමුත් ඒ වචනය වෙනස් වීමේ සහ ඊට අදාළ ක්‍රියාවලියේ තිබෙන බලපෑම ඒ තරම්ම සරල නැහැ. 

රටේ ව්‍යවස්ථාදායකයට, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවට, අලුතෙන් නීති හැදීමේ, තිබෙන නීති ඉවත් කිරීමේ හා එම නීති සංශෝධනය කිරීමේ පූර්ණ බලය තිබෙනවා. නමුත් මේ වැඩේ කළ හැක්කේ දැනට පවතින නීති රාමුවට යටත්වයි. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ නොගැටෙන නීතියක්නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක රටේ නීතියක්. නමුත් කිසියම් නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ක ගැටෙනවානම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වෙනස් කරන්න අවශ්‍යනම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර කොටස් වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබිලත් මදි. ඒ සඳහා ජනමතවිචාරණයක් තියලා මහජන කැමැත්ත විමසන්නත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ කොටස් සමඟ ගැටෙන වෙනත් නීතියකට වුනත් මේ කරුණ වලංගුයි.

මේ විදිහට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමතවිචාරණයක්ද පැවැත්විය යුතු වන්නේ ව්‍යවස්ථාවේ මොන කොටස් වලට බලපෑමක් වෙනවානම්ද කියන එක සඳහන් කරලා තියෙන්නේ 83 ව්‍යවස්ථාවේ. ඒ 83 ව්‍යවස්ථාවේ වචනයක් තමයි විසි දෙවන සංශෝධනයෙන් වෙනස් කරන්න යන්නේ. 

මේ විදිහට ජනමතවිචාරණයක් අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන කොටස් වලට බලපෑමක් වන විටද? 

කෙටියෙන් කිවුවොත් තත්ත්වයන් දෙකකදී ජනමතවිචාරණයක් අවශ්‍ය වෙනවා. පළමුව ශ්‍රී ලංකා රාජ්‍යයේ මූලික ස්වභාවය අර්ථ දක්වන ව්‍යවස්ථාවේ මුල් කොටස් වලට බලපෑමක් වෙනවානම්. ඒ කියන්නේ රටේ නම, ජාතික ගීය, ජාතික කොඩිය, රටේ නිදහස් දිනය, බුද්ධාගමට ප්‍රමුඛත්වය දිය යුතු බව වගේ දේවල්. මේවා ගැන සඳහන්ව තිබෙන්නේ 1-3 හා 6-9 ව්‍යවස්ථා වල. ඒ වගේම මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වන 10 හා 11 ව්‍යවස්ථා. 

දෙවනුව පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයකට වඩා වැඩි කරගන්නවානම් හෝ ඒ සම්බන්ධව සඳහන්ව ඇති 30(2) හා 62(2) අනුව්‍යවස්ථා සංශෝධනය කරනවානම් ජනමතවිචාරණයක් අවශ්‍ය වෙනවා.

දැන් මේ විදිහට ජනමතවිචාරණයක් නැතුව ඇතැම් වෙනස්කම් කළ නොහැකි බව සඳහන්ව තිබෙන්නේ 83 ව්‍යවස්ථාවේ නිසා එම 83 ව්‍යවස්ථාව වෙනස් කළොත් ඔය ඕනෑම එකක් වෙනස් කරන්න පුළුවන්නේ. 

අපි උදාහරණයක් විදිහට ඉඩමක් කාට හරි බලා ගන්න දෙනවා කියා හිතමු. ඒකේ පැත්තක වැටක් ගහලා වැටෙන් එහා කිසිම දෙයක් වෙනස් කරන්න එපා කියනවා. නමුත් වැට වෙනස් කරන්න එපා කියන්නේ නැහැ. දැන් ඔය වැඩේ අවුලක් තියෙනවනේ. අර ඉඩම බලා ගන්න පුද්ගලයාට මුලින් වැට වෙනස් කරලා ඊට පස්සේ වැටෙන් එහා තිබුණු දේවලුත් වෙනස් කරන්න පුළුවන්. 

ඔන්න ඔය හේතුව නිසා ඉහත කී ව්‍යවස්ථා වලට අමතරව 83 ව්‍යවස්ථාවත් ජනමතවිචාරණයක් නොතියා වෙනස් කළ නොහැකි බව එම 83 ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා. හැබැයි එහෙම සඳහන් කරන එකේ අරමුණ අර මුල් කාණ්ඩ දෙකේ ව්‍යවස්ථා වල තිබෙන විධිවිධාන සෘජු මහජන කැමැත්ත නැතිව වෙනස් කරන එක වලක්වන එක. 

දැන් 22 වන සංශෝධනයෙන් වෙන්නේ 83 ව්‍යවස්ථාව වෙනස් කරන එකනේ. 83 ව්‍යවස්ථාවේ පෙළ අනුව එම ව්‍යවස්ථාවේ විධිවිධාන වෙනස් කරන්නනම් ජනමතවිචාරණයක් තියන්න වෙනවා. ජනමතවිචාරණ කතාව එන්නේ ඔය විදිහටයි. හැබැයි ඉතිං නීතිය අර්ථ දක්වන්නේ සිංහල භාෂාවේ රීති හෝ තර්ක ශාස්ත්‍රයේ රීති අනුවම නෙමෙයි. මේ සංශෝධනය කරන්න ජනමතවිචාරණයක් අවශ්‍ය නැහැ කියලා නීති තර්ක ගේන්නත් පුළුවන්. අන්තිමට තීරණය දෙන්න පුළුවන් අධිකරණයටම තමයි. 

දැන් ඔය 83 ව්‍යවස්ථාව සංශෝධනය වෙලා නැහැනේ. දහනවවන සංශෝධනය ගේන කොට තිබුණෙත් ඔය 83 ව්‍යවස්ථාවමයි. එහි වචන අනුව, "30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා" ජනමතවිචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතුයි. නමුත් දහනවවන සංශෝධනයෙන් 30(2) හා 62(2) සංශෝධනය කළේ ජනමතවිචාරණයක් තියන්නේ නැතිවයි.  ඒ මගින් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර පහකට සීමා කළා.

මම දකින විදිහටනම් දහනවවන සංශෝධනයෙන් 30(2) හා 62(2) වෙනස් කරන්න ජනමතවිචාරණයක් නොතියපු එකේ මූලධාර්මික වැරැද්දක් නැහැ. මොකද පරමාධිපත්‍ය බලය තිබෙන මහජනතාව විසින් ඔවුන්ගේ නියෝජිතයින්ට දැනටම දී තිබෙන බලය සීමා කර ගන්න නැවත මහජනතාවගෙන් අහන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ එම බලය පුළුල් කරගන්නවානම්. දහනවවන සංශෝධනයෙන් වුනේ ඒ වන විට තිබුණු බලය සීමා කර ගැනීමක්. 

දැන් ප්‍රශ්නය විසි දෙවන සංශෝධනයෙන් වෙන්නෙත් ඕකමනම් දහනවවන සංශෝධනයට අවශ්‍ය නොවුණු ජනමතවිචාරණයක් විසි දෙවන සංශෝධනයට අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක. රනිල් වික්‍රමසිංහ හා විජේදාස රාජපක්ෂ එවැනි ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව හිතන බව පේනවා. නමුත් ජයම්පති වික්‍රමරත්නට අනුව ජනමතවිචාරණයක් නොපවත්වා විසි දෙවන සංශෝධනය සම්මත කළ නොහැකියි. 

ඊළඟ ප්‍රශ්නය දහනවවන සංශෝධනය සම්මත කරගනිද්දී 83 සංශෝධනය නොකළේ ඇයි කියන එක. රනිල් වික්‍රමසිංහ කියන විදිහට මෙය ජයම්පති වික්‍රමරත්නට සිදු වූ අත්වැරැද්දක්. නමුත් ජයම්පති වික්‍රමරත්න කියන විදිහට මෙය හිතාමතා කරපු දෙයක්. එහෙම කරලා තියෙන්නේ ජනමතවිචාරණයකට යන්න වෙන එක වලක්වා ගන්න. ඒ අනුව, දහනවවන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හය සිට පහ දක්වා අඩු කර ගෙන තිබුණත්, 83 වෙනස් වී නැති නිසා එහි පෙළ අනුව නැවත එම ධුර කාලයන් වසර හයක් කරගැනීම සඳහා ජනමතවිචාරණයකට යන්න අවශ්‍ය නැහැ. මොකද ඒක සීමා කරගෙන නැහැ. දැන් විසි දෙවන සංශෝධනයෙන් කරන්න හදන්නේ ඒකත් සීමා කරගන්න එක. (විසි දෙවන සංශෝධනය නැතත්, තුනෙන් දෙකෙන් නැවත පහ හය කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද එසේ කිරීමෙන් 30(2) හා 62(2) විධිවිධාන වලට බලපෑමක් වෙනවා. ලිපිය දිගු වන නිසා ඒ පැත්ත කතා කරන එක අත ඇරියා.)

සමහර විට රනිල් වික්‍රමසිංහ කියන ජයම්පති වික්‍රමරත්නගේ අත් වැරැද්ද 83 වෙනස් කරන්න ජනමතවිචාරණයක් අවශ්‍යයි කියලා මතයක් ඉදිරිපත් කළ එක වෙන්න පුළුවන්. ඒ අනුව, ඒ වෙලාවේ 83 වෙනස් නොකර හිටියත් දැන් හොයා බැලූ විට ජනමතවිචාරණයක් නොතියා අවශ්‍ය වෙනස කළ හැකි බව පේනවා වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ කියන්නේ 83 දැක්කේ නැහැ වගේ දෙයක් ගැනනම් ඒක වෙන්න බැරි තරමේ අත්වැරැද්දක්. ව්‍යවස්ථාවක් සංශෝධනය කරද්දී ඒ වගේ මූලික වැරැද්දක් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද 83 කියන්නේ ප්‍රධානම ව්‍යවස්ථාවක්. 

කොහොම වුනත් මේ මට පේන විදිහ. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෙක් නෙමෙයි. ඒ වගේම මේ හා අදාළ පැරණි ලේඛණ සියල්ල පරිශීලනය කරන්න අවස්ථාවක් ලැබිලත් නැහැ. විශේෂයෙන්ම දහනවවන සංශෝධනයට පෙර 30(2) හා 62(2) වෙනස් කළ හැකි ආකාරය ගැන අධිකරණයේ මතය. එහි මෙහි මට නොපෙනෙන දේවල් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ  30(2) හා 62(2) වෙනස් කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවූ හේතුව 83ට අදාළ නොවන හේතුවක් තියෙනවද? මේ ගැන අදහසක් ගන්න පුළුවන් අදාළ ලේඛණය පරිශීලනය කරන්න ලැබුනොත් පමණයි. 

කොහොම වුනත් විසි දෙවන සංශෝධනයට ජනමතවිචාරණයක් අවශ්‍යද කියලා අධිකරණයෙන් ඇහුවොත් අධිකරණයට ඒ ගැන තීරණයක් දෙන්න වෙනවා. දෙපැත්තටම නීති තර්ක ගේන්න පුළුවන් නිසා පිළිතුර නිසැක පිළිතුරක් නෙමෙයි. ඒ කියන්නේ තීරණයක් එන තුරු ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව නිශ්චිතව කියන්න බැහැ. වෙනත් විදිහකින් කිවුවොත් යම් ජනමතවිචාරණ අවදානමක් තියෙනවා.

නමුත් මේ වෙලාවේ ආණ්ඩුව ජනමතවිචාරණයකට යයිද? එහෙම දෙයක් කරයි කියලා හිතන එක කිසිසේත්ම තර්කානුකූල නැහැ. මෙතෙක් එකම ආණ්ඩුක්‍රම සංශෝධනයකදීවත් ජනමතවිචාරණයකට ගිහින් නැහැ. සියල්ලම තුනෙන් දෙකේ සීමාවෙන් ගොඩින් තමයි බේරාගෙන තියෙන්නේ. මෙතෙක් කරපු සංශෝධන එක්ක බලද්දී මේ සංශෝධනය හදිසි නැති, වැදගත්කමින් අඩු එකක්. එහෙමනම් ආණ්ඩුව හදිසියේ විසි දෙවන සංශෝධනය ගෙනාපු එකේ අරමුණ කුමක්ද?

රනිල් මේ සංශෝධනය පාර්ලිමේන්තුවට දමනවා ඇත්තේ තුනෙන් දෙක ගැන සැකයක් නැත්නම් පමණයි. ඒ කියන්නේ එය කොහොමත් පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා කියන එක. කැබිනට් මණ්ඩලයේ මතය අනුව මේ සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්නම් සහ වෙන කවුරු හෝ අධිකරණයට යාමේ ප්‍රතිඵලයක් ලෙස අධිකරණය ජනමතවිචාරණයක් අවශ්‍ය වන බව කිවුවේ නැත්නම් එය ඉන් පසු ජනමතවිචාරණයකට යන්නේ නැහැ. 

මෙතැන වැදගත් දේ මේ එක්ක විපක්ෂයට මුහුණ දෙන්න වෙන අර්බුදය. මේ සංශෝධනයට විරුද්ධ වෙනවා කියන්නේ ධුර කාලය සීමා කරගන්න එකට විරුද්ඩ වීමක් නිසා ඒක කරන්න බැහැ. විරුද්ධ වීම සඳහා ඉදිරිපත් කළ හැකි ලොකුම හේතුව මේ වෙලාවේ ජනමතවිචාරණයක් තියන්න වෙන එකේ අවදානම ගන්න එක සුදුසු නැහැ කියන එක. නමුත් කවුරුවත් අධිකරණය වෙත ගියේ නැත්නම් ජනමතවිචාරණයක් තියන්න වෙන්නේ නැහැ. ජනමතවිචාරණයකට විරුද්ධව පෙනී ඉන්න අයෙකුට ජනමතවිචාරණයක් ඉල්ලලා අධිකරණයට යන්නත් බැහැ. 

විපක්ෂය අධිකරණයට ගිහින් අධිකරණය ජනමතවිචාරණයක් අවශ්‍යයි කියා තීරණය කළොත් අප්‍රසාදයට පත් වෙන්නේ අධිකරණයට ගිය එක. එහෙම ගියත් ගොඩක් වෙලාවට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව කියන්න ඉඩ තියෙන නිසා අන්තිමට නිකම්ම නරක නම විතරක් ඉතිරි වෙන්න පුළුවන් වැඩක්. ඒ වගේම, එහෙම නොගියොත් ජනමතවිචාරණයක් තියන්න වෙනවා කියන තර්කය එසැණින් බොරු වෙනවා. ඒ නිසා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන්න හේතුවක් නැහැ. අවසාන වශයෙන් ගොඩක් අයට අකමැත්තෙන් හෝ රනිල් එක්ක හිටගන්න වෙන එක පමණක් සිදු වෙන්න පුළුවන්. 

ඊට අමතරව, අවශ්‍යනම් පහසුවෙන්ම තව අවුරුද්දක් ඉන්න පුළුවන්කම තියෙද්දී එහෙම නොකර මැතිවරණයට ඉදිරිපත් වුනා කියන කතාවත් රනිල්ට කියන්න පුළුවන්. මොකද 82 අනුව පහ හය කරගන්න ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්නම්, තුනෙන් දෙකකුත් තියෙනවා කියලා පෙන්නුවට පස්සේ ඒ කතාව පහසුවෙන් ගොඩක් අයට පිළිගන්වන්න පුළුවන්. හැබැයි ඔය වගේ සූපීන් වැඩ වලින් ජනමතයේ දැනෙන වෙනසක් වෙයිද කියන එක ප්‍රශ්නයක්. 

ගොඩක් ඉස්සර ඇමරිකාවෙත් විසි දෙවන සංශෝධනයක් තිබුණා. ඇමරිකන් ජනාධිපතිධුරයට එක් අයෙකුට පත් විය හැකි වාර ගණන දෙකකට සීමා කෙරුණේ ඒ සංශෝධනයෙන්. 

9 comments:

  1. මම හිතන්නේ බොහෝ දුරට 22 වන සංශෝධනය සම්මත කරගෙන ඒකෙන් පස්සේ අධිකරණයේ මතය විමසූ විට ජනමත විචාරණයක් පැවැත්වීමට අත්‍යවශ්‍ය බව කියලා අධිකරණ තීන්දුවක් ලැබීමට ඉඩ තියෙන බව. ඒක තමයි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්නගෙත් අදහස, අසූ තුන එහෙම පාර්ලිමේන්තුවෙන් විතරක් සම්මත කර ගැනීමට නොහැකි නිසා

    කොහොම හරි ජනාධිපතිවරණය තව මාස කිහිපයකට කල්දමා ගැනීමට උත්සාහ කරන උපක්‍රමයක් බවයි පේන්න තියෙන විදිය. ඒ අතරතුර එක්සත් ජනපදයේ මැතිවරණය අවසන් වෙලා ආණ්ඩුවක් පිහිටුවා අවසන්ව තියේවි. එවිට ඒ පත්වන්නට නියමිත නව ආණ්ඩුවේ සහාය ලැබෙන අයට ලංකාවේත් ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට පුළුවන්කම ලැබෙයි. එහෙම නේද ඉකොනෝ? ඒක තමයි පේන්න තියෙන ප්ලෑන් එක. අපි බලමු මොකද වෙන්නේ කියල නේද?

    ReplyDelete
    Replies
    1. එක්සත් ජනපද මැතිවරණය තියෙන්නේ නොවැම්බර් 5. ඒ තිබ්බා කියලත් තව මාස ගණනකට ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ. ලංකාවේ ජනාධිපතිවරණය ඒ තරම් කල් දැමීමට නීතිමය හැකියාවක් නැහැ. උපරිම ඔක්තෝබර් මැද. මේ සතියේ නිවේදනය කළොත් සැප්තැම්බර් මාසය තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියන්න වෙනවා.

      Delete
  2. එහෙම විපක්ශයට පනතට සහය දෙන්න අවස්‍යතාවයක් නෑ. ඕක තිබිද්දිත් යස අගේට සිරිසේන අවුරුදු පහෙන් ගියානෙ. ඔය වගන්තියෙ තියෙන්නෙ 6ට වඩා වැඩි කර ගැනීමට කියල මිසක් පවතින ව්‍යැවස්තාව අනුව ධුර කාලය 6යි කියල නෙමෙයිනෙ.

    ReplyDelete
  3. ඇසල නිකිණි බිනර - ජනා පිනා ගෙදර
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    ReplyDelete
  4. අනික ඔය ජයම්පති දාපු රිප්ලයි එකත් රනියට සප් එකට දාපු එකක් උන් උන් කතාවෙල . ඔය රිප්ලයි එකෙන් කෙලින්ම අදිකරනයට බලපෑම කරල ඉවරයි 83 වගන්තිය වෙනස් කරන්න ජනමතවිචාරනයක් ඕන කියල. ව්‍යවස්තාව හදපු එකා ජනමත විචාරනයක් ඕන කියනවනම් අදිකරනය ජනමතවිචාරනයක් ඕන නෑ කියල කියන්න බැරි වෙන්න ඔය වැඩ සිද්ද කරන්නෙ. බොරුවට රනිල එක්ක අවුල් ගිහිල්ල පෙන්නන ගමන් යටි අරමුන ඉශ්ට කරගන්න හදන්නෙ

    ReplyDelete
  5. ශ්‍රේශටාධිකරනය හො.ම.ත.ග.යු.
    //තවද, 83 වගන්තිය සංශෝධනය කිරීමටද ජනමතවිචාරණයක් අවශ්‍ය බව මතක තබා ගත යුතුය.//
    මරු..

    ReplyDelete
  6. @ Lanka

    හොඳට මතක තියාගන්න මේ අවූරුද්දෙත් ලංකාවේ ජනාධිපතිවරණයක් තියා කිසිම මැතිවරණයක් තියන්නේ නෑ, බැරිම තැන ඕනනම් ජනමත විමසන ජනමත විචාරණයක් තියෙයි ආණ්ඩුව දිකකර ගන්නට විතරක්, ආයේ එච්චරම තමයි. රනිලා ලෝක අණ්ඩපාලයෙක්, 2013 දී විතර මම එවකට තිබුණ රාජපක්ෂ රෙජීමය තව අවුරුදු දෙකක්තුල පෙරලෙනවා කියලා හැමෝටම කිව්වා, ඒ වගේම වුණා,
    රනිල් තව අවුරුදු ගාණකට පස්සේ හරි කෙසේ හෝ ජනාධිපති වන බව මම යාලුවන්ට කිව්වේ 2015. එවුන් සේරෝම මට හිනාවුණා. 2022 අරගලයෙන් පසසේ ඒක හරි ගියා. 2023 පලාත් පාලන මැතිවරණය මේ වසරේ තියන්නේම නැහැ කියල මම කැට තියලා කිව්වාම මාලිමාවේ උන් ඇතුලු දන්න කියන හැමෝම මැතිවරණයක් තියන්නේ නෑ කියද්දී ඒත් උන් හිනා උනා. ගෝටාභය දිනනවා කියද්දී අපේ ගෙදර තාත්තාට කිව්වාම එයා කිව්වා ඔය නන්දසේන හිවලා දිනුවොත් මම දේශපාලනයෙන් ඉවත්වෙනවා කියලා. 😂😂😂. මේ සැරේ මම කියනවා මේ 2024/2025 අවුරුදු දෙක තුලත් ජනපතිවරණයක්වත් වෙන කිසිම මැතිවරණයක්වත් නෑ ඕන නම් ජනමත විචාරණයක් විතරක් තියලා ආණ්ඩුව තම ධූර කාලය දික්කර ගන්නවා කියන එක, අනිවාර්යයෙන්ම මැතිවරණය තියන්නේ නෙමයි කියලා මම කැට තියලා කියනවා. මොනවද ඔට්ටු ලක්ෂ 800 ක්‌. ඕනම ගානක් ඔට්ටු අල්ලන්න පුළුවන්, මට නම් සීන් එක ඉර හඳ වගේ ෂුවර්. අනුර කුමාරලත් යටින් රනිල් සමග දැඩිලෙස සම්බන්ධ නිසා බොරුවට උඩින් පේන විදිහට බැනලා ෂේප් එකේ රනිල්ට පාලනය කරගෙන යන්න ඉඩ දීලා නිහඬව ඉදී.

    ReplyDelete
    Replies
    1. චන්දයක් දිනන්න බැරි එකා කොහොමද බං ජනමත විචාරණයක් දිනන්නෙ? 😂😂😂

      Delete
  7. මේ වෙලාවේ 22 ගේන්න බෑ කිව්වෙ රනිල්ට වැඩිය විජේදාසට දුර පෙනෙන නිසාද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.