Wednesday, August 7, 2024

බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදය හා අරගලය

ලංකාවේ දැනට ජීවත් වන වයස්ගතම පුද්ගලයාගේ වයස කීයක්ද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් එය අවුරුදු 114කට වඩා වැඩි වෙන්න බැහැ. 1910දී ඉපදුණු කෙනෙක් තවම ජීවත් වෙනවානම් දැන් වයස අවුරුදු 114ක් වෙලා. 1931දී අවුරුදු 21ක් වෙලා.

ලංකාවේ ජීවත් වූ වයස අවුරුදු 21 ඉක්මවූ සියලුම බ්‍රිතාන්‍ය යටත් විජිත වැසියන්ට 1931දී ඡන්ද බලය හිමි වුනා. ඒ වගේ දෙයක් කලාපයේ වෙනත් කිසිම රටක සිදු වුනේ නැහැ. ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින ප්‍රජාතන්ත්‍රවාදී රට ඉන්දියාව. ඉන්දියානුවන්ට සර්වජන ඡන්ද බලය ලැබී එය පාවිච්චි කරන්න ඉඩ ලැබුණේ නිදහස ලබා ගත්තට පස්සේ 1951දී. ලංකාවට වඩා අවුරුදු විස්සකට පස්සේ. 

මිනිස් නිදහස හොඳින් තහවුරු වී තිබෙන්නේ ශක්තිමත් ද්වි පක්ෂ (හෝ බහු පක්ෂ) ක්‍රමයක් යටතේ නියමිත කාල වකවානු තුළ මැතිවරණ පැවැත්වෙන රටවල් වලයි. එවැනි ශක්තිමත් ද්වි පක්ෂ ක්‍රමයක් තිබෙන රටවල් ගණනාවක, විශේෂයෙන්ම යටත් විජිතයක්ව තිබී නිදහස ලබා ඇති රටවල, එම ද්වි පක්ෂ ක්‍රමය ගොඩ නැගුණු පොදු රටාවක් තිබෙනවා. 

මුලින්ම මිනිස්සු තමන්ගේ නායකයින් විදිහට තෝරා ගන්නේ නිදහස් සටනට නායකත්වය දුන් පිරිස. බොහෝ තැන් වලදී ඒ උරුමය ඔවුන්ගේ දරුවන්ටත් ලැබෙනවා. විශේෂයෙන්ම අපේ කලාපයේ මෙය පොදු සංසිද්ධියක්. දෙවන පක්ෂයක් හැදෙන්නේ ඒ පළමු පක්ෂයේ බෙදීමකින් හෝ කාලයත් එක්ක නිදහස් සටනේ ගැම්ම ඉවර වෙද්දී. 

ලංකාවට නිදහස ලැබෙන්නේ ඒ සඳහා ලොකු සටනක් කිරීමෙන් පසුව නෙමෙයි. ඒ නිසා, ඉන්දියාවේ මෙන්, නිදහස් සටනක් එක්ක එන "ජාතික පිබිදීම" ලංකාවේ ඒ විදිහටම ඇති වුනේ නැහැ. අනෙක් පැත්තෙන් නිදහස ලැබෙන්න කලින්ම ලංකාවට සර්වජන ඡන්ද බලය එක්ක ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලැබිලයි තිබුණේ. 

පනස් හය වෙද්දී, ශ්‍රීලනිපය බිහි වී තිබීම නිසා, කලාපයේ අනෙක් රටවල් වලට වඩා කලින් ලංකාවේ ශක්තිමත් ද්වි පක්ෂ ක්‍රමයක් ඇති වුනා. ඒ නිසා රටේ මිනිස්සුන්ට පාලකයින්ව එපා වෙද්දී මැතිවරණ හරහා සාමකාමී ලෙස ඔවුන්ව ඉවත් කර වෙනත් කණ්ඩායමක් ආදේශ කරගන්න පුළුවන් කියන එක භාවිතයෙන් හා අත්දැකීමෙන්ම පැහැදිලි වුනා. මේ තත්ත්වය උතුරට බලපෑවේනම් ටිකක් වෙනස් විදිහකට. 

ඉන්දියාවේ මේ වගේ දෙයක් වුනේ දශක කිහිපයක් ප්‍රමාද වෙලා. ඊට එක් ප්‍රධාන හේතුවක් වුනේ ඉන්දියානුවන්ට සර්වජන ඡන්ද බලය ලැබුණේ ලංකාවට වඩා දශක දෙකකට පසුව වීම. අනෙක් හේතුව ඉන්දියාවට නිදහස ගන්න ලංකාවට වඩා ගොඩක් දේවල් කරන්න සිදු වීම. 

නිදහසින් පසු කාලයක් එක දිගටම ඉන්දියාවේ බලයේ හිටියේ කොංග්‍රස් පක්ෂය. කොංග්‍රස් පක්ෂය කිවුවත් ඇත්තටම නේරු-ගාන්ධි පවුලේ පරම්පරා තුනක්. හැත්තෑ හතේ මොරාජි දේසායිගේ සන්ධාන ආණ්ඩුවෙන් මුල් වරට මේ තත්ත්වය වෙනස් වුනත්, කොංග්‍රස් විරෝධය මත එකතු වූ නොගැලපෙන රෝද ටිකක් පමණක් වූ ඒ ආණ්ඩුව කඩා වැටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඉන්දියාවේ හරියකට ද්වි පක්ෂ ක්‍රමයක් ඇති වුනේ භාරතීය ජනතා පක්ෂය ඉස්සරහට ආවට පස්සේ. දැන් ඉන්දියාවේ තියෙන්නේ බහු පක්ෂ අච්චාරුවක්. කොහොම වුනත් මේ වෙද්දී ලංකාවේ වගේම ඉන්දියාවේත් හොඳින් තහවුරු වූ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තියෙනවා.

දැන් තියෙන බංග්ලාදේශය කියන රට හැදෙන්නේ ඒ රට පකිස්ථානයෙන් වෙන් වීමත් එක්කයි. දැන් තියෙන බංග්ලාදේශයද ඇතුළත් පකිස්ථානය ඉංග්‍රීසින් විසින් හදපු රටක්. ඉන්දියාව වගේම බුරුමය හෙවත් මියන්මාරයත් එහෙම රටවල්. 

බංග්ලාදේශය කියා රටක් නොතිබුණත් කාලයක ඉඳන්ම බංගලි දේශයක් තිබුණා. අපි වංග දේශය කියා කිවුවෙත් ඔය රටට. "ඔලිඳ තියෙන්නේ බංගලි දේසේ" කියලා අපි අහලා තිබුණා. බංගලි මාල, බංගලි වළලු, බංගලි රෝස එහෙමත් අපිට පුරුදු දේවල්. ඔය බංගලි දේශය හෙවත් බෙංගාලය බංගලි භාෂාව කතා කරන බංගලියන්ගේ රට. 

බෙංගාලය නිදහසට කලින් තිබුණු බ්‍රිතාන්‍ය ඉන්දියාවේ එක් පළාතක්. බ්‍රිතාන්‍ය ඉන්දියාව කියා කියන්නේ නූතන ඉන්දියාවේ, පකිස්ථානයේ, බංග්ලා දේශයේ තැන් තැන් වල තිබුණු ඔය වගේ පළාත් ගණනාවක එකතුවක්. කාලයක් බුරුමයත් බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක්ව පැවතුනා. නමුත් මේ පළාත් අතර තැනින් තැන මහාරාජා වරුන් විසින් පාලනය කළ ස්වාධීන රාජ්‍ය 565ක් හෝ ආසන්න ගණනක් තිබුණු නිසා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ පළාත් සියල්ල එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. භූමියෙන් 40%ක් පමණ පාලනය කළේ ඔය මහාරාජාවරු. 

ඉන්දියාවට සර්වජන ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ නිදහසට පසුව වුනත්, ඊට පෙරද ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ වල මැතිවරණ පැවැත්වුණා. එහෙත් ඡන්දය දීම සඳහා සුදුසුකම් තිබුණේ ඉතා ඉහළ ආදායම් හා වත්කම් තිබුණු සීමිත පිරිසකට පමණයි. මේ මැතිවරණ වලදී , විශේෂයෙන්ම නිදහසට පෙර අන්තිමට පැවති 1945/46 මැතිවරණයේදී, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ ජය ගැනීමට ඉන්දියානු ජාතික කොංග්‍රසයට හැකි වුනත්, වත්මන් බංග්ලාදේශයේ හා පකිස්ථානයේ බහුතර ජනතා සහයෝගය ලබාගෙන ජය ගන්නට අලි ජින්නාගේ සමස්ත ඉන්දීය මුස්ලිම් කොංග්‍රසය සමත් වුනා.

මේ එක්ක බෙංගාලයේ දේශපාලන බලය ඉන්දියානු ජාතික කොංග්‍රසය හා සමස්ත ඉන්දීය මුස්ලිම් කොංග්‍රසය අතර බෙදී ගියා. ජාතිය මත පදනම් වූ ස්වාධීන බෙංගාලයක් පිළිබඳ අදහස් යටපත් වෙලා මුස්ලිම් හා හින්දු අනන්‍යතා උඩට ආවා. ඉන්දියාව හා පකිස්ථානය ලෙස රටවල් දෙකක් බිහි වෙද්දී සියවස් ගණනක් එක රටක් වූ බෙංගාලය වෙන වෙනම රටවල් දෙකක කොටස් බවට වුනා. හින්දූන් වැඩිපුර සිටි බටහිර බෙංගාලය ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙද්දී මුස්ලිම්වරුන් වැඩිපුර සිටි නැගෙනහිර බෙංගාලය පකිස්ථානයේ කොටසක් වී පසුව නැගෙනහිර පකිස්ථානය ලෙස නම් කෙරුණා.

පකිස්ථානයේ බටහිර කොටසේ (වත්මන් පකිස්ථානයේ) හිටියේ වැඩි වශයෙන් උර්දු භාෂාව කතා කළ, ශරීර ප්‍රමාණයෙන් වඩා විශාල, යුදකාමී අතීතයකට උරුම කියන ජනතාවක්. ඊට සාපේක්ෂව බංගලියන් සාමකාමී, තමන්ගේ පාඩුවේ ඉන්න, ශරීර ප්‍රමාණයෙන් කුඩා පිරිසක්. මේ වෙනස්කම් නිසා හමුදා වල ඉහළ නිල වල නැගෙනහිර පකිස්ථානය නියෝජනය වුනේ ඉතාම අඩුවෙන්. 

නැගෙනහිර පකිස්ථානයේ ජනගහණය බටහිර පකිස්ථානයේ ජනගහණයට වඩා වැඩි වුවත්, රාජ්‍ය පරිපාලනය සිදු කෙරුණේ බටහිර පකිස්ථානය තුළයි. නිදහස ලැබූ අලුතම මෙන් එකම රාජ්‍ය භාෂාව ලෙස උර්දු භාෂාව තෝරා ගැනීමත් සමග රටේ බටහිර හා නැගෙනහිර කොටස් අතර ආතතියක් හට ගත්තා. නැගෙනහිර පකිස්ථානයේ බහුතරය කතා කළේ බෙංගාලි භාෂාවයි. 

නිදහස ලැබූ වහාම ඉන්දියාව සර්වජන ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නත් පකිස්ථානය එසේ කළේ නැහැ. ඒකාබද්ධ පකිස්ථානයේ මුල් නායකයින්ගේ මතය වුනේ සාක්ෂරතාව 15%කට සීමා වූ තම රටට ප්‍රජාතන්ත්‍රවාදය නොගැලපෙන බවයි.

මේ හේතුව නිසාම, අඩු ජනගහණයක් සිටින බටහිර පකිස්ථානයට දිගින් දිගටම වැඩි ජනගණයක් සිටින නැගෙනහිර පකිස්ථානය මත සිය ආධිපත්‍යය පතුරවන්නට හැකිවුනා. මුල් වරට, 1970දී සර්වජන ඡන්ද බලය හඳුන්වා දී මැතිවරණයක් පවත්වන තුරු පකිස්ථානය බොහෝ දුරට පාලනය වුනේ හමුදා නිලධාරීන් අතිනුයි. මේ කාලය තුළ දිගින් දිගටම නැගෙනහිර පකිස්ථානයට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි.

ශරීර ස්වභාවයෙන් බෙංගාලීන් සිංහලයින්ට බොහෝ සමානයි. සිංහලයෙකුට කිසිදු අපහසුවකින් තොරව බංගලියන් අතර "සැඟවී සිටින්න" පුළුවන්. "බිදේෂි"යෙකු බව ඔවුන්ට තේරෙන්නේ භාෂාව නොදන්නා නිසා ප්‍රශ්නයකට පිළිතුරු දීමට නොහැකි වුවහොත් පමණයි. වංග බසද උතුරු ඉන්දීය භාෂා අතරින් සිංහල බසට වඩා සමීප බසක්. සිංහලයින් හා බංගලියන් අතර මා දකින තවත් සමානකමක් වන්නේ මැසිවිලි නොනගා කාලයක් තිස්සේ පීඩනයක් දරා සිටින හා යම් සීමාවකට පැමිණි පසු එය එක් වර මුදා හරින ස්වභාවයයි. ඒ වගේම ඔවුන් සාමූහිකව කටයුතු කරන්නට නැඹුරුවක් ඇති පිරිසක්.

සර්වජන ඡන්දබල පදනම මත පකිස්ථානයේ පළමු මැතිවරණය පැවැත්වුනේ 1970දීයි. ඒ ලංකාවේ එවැන්නක් සිදු වී දශක හතරකට පසුවයි. ඉන්දියාවට වඩා දශක දෙකකට පසුවයි. මෙම මැතිවරණයේදී ආසන 300ක් සඳහා නියෝජිතයින් තෝරා ගැනීමට මැතිවරණ පැවැත්වුනා. කාන්තාවන් සඳහා තවත් ආසන 13ක් වෙන්කෙරුනා.

වඩා වැඩි ජනගහනයක් සිටින නැගෙනහිර පකිස්ථානයට මැතිවරණ ආසන 162ක් හා කාන්තා නියෝජන ආසන 7ක් ලෙස ආසන 169ක් වෙන් වූ අතර, ජනගහණය අඩු බටහිර පකිස්ථානය වෙනුවෙන් වෙන් වුනේ ආසන 144ක් පමණයි. මෙම මැතිවරණයේදී කාලයක් තිස්සේ ඒකාබද්ධ පකිස්ථානය තුළ වෙනස් කොට සැලකීමට පාත්‍ර වූ බංග්ලාදේශයේ ජනතාව බංගලි ජාතිකත්වය මත මැතිවරණයට ඉදිරිපත් වන අවාමි ලීගය වඩා එක් රැස් වුනා. එහි නායකයා වූයේ වත්මන් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස මෙතෙක් මහත් බුහුමනට ලක් වූ ෂෙයික් මුජිබර් රහ්මාන්. පසුගියදා ඉල්ලා අස්වූ ෂෙයික් හසීනාගේ පියා. බෙංගාලි ජනතාවගේ මිත්‍රයා යන තේරුම තිබෙන බංගබොන්ධු යන ගෞරව නාමයද සාමාන්‍යයෙන් ඔහුගේ නම මුලට යෙදෙනවා. 

බංගබොන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගය විසින් මෙම මැතිවරණයේදී නැගෙනහිර පකිස්ථානයේ ආසන 169ක ප්‍රමාණයෙන් ආසන 167ක්ම දිනා ගත්තා. නමුත් බටහිර පකිස්ථානයේ ආසන වාමාංශික, දක්ෂිණාංශික හා මුස්ලිම් ආගමික පක්ෂ ගණනාවක් අතර බෙදී ගියා. මේ අතර ඉදිරියෙන්ම සිටි සුල්ෆිකාර් අලි භූතෝගේ පකිස්තානු ජනතා පක්ෂය විසින් ලබා ගත්තේ ආසන 86ක් පමණයි.

මේ අනුව, ඒකාබද්ධ පකිස්ථානයේ පාලන බලය නීත්‍යානුකූලව හිමි විය යුතු වන්නේ මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගයට වුවත් මෙහිදී රාජ්‍ය බලය බටහිර පකිස්ථානයේ සිට නැගෙනහිර පකිස්ථානය වෙත විතැන් වීමට නියමිතව පැවති බැවින්, අපේක්ෂා කළ හැකි පරිදිම, සාමකාමී බල හුවමාරුවක් සිදු වුනේ නැහැ. 

මේ වන විට පකිස්ථාන හමුදා ආණ්ඩුවේ ජනාධිපති ධුරය ඉසිලුවේ ජෙනරාල් යහියා ඛාන්. ඔහු එම ධුරයට පත් වුනේ ඊට පෙර එම ධුරය දැරූ ෆීල්ඩ් මාෂල් අයුබ් ඛාන්ගේ ඉල්ලා අස් වීමෙන් පසුවයි. යහියා ඛාන් රාජ්‍ය බලය නැගෙනහිර පකිස්ථානය වෙත විතැන් වීම පිළිබඳව සතුටු වුනේ නැහැ. ඔහු උත්සාහ කළේ සුල්ෆිකාර් අලි භූතෝ සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමටයි.

මෙය නැගෙනහිර පකිස්ථානය කම්පනය කරවන තීරණයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. සාමකාමී බල හුවමාරුවක් සිදු වන තුරු බලා සිටින ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේක්ෂාවන් මුළුමනින්ම බිඳ වැටුනා. මෙවැනි අවස්ථා වලදී ලේ වැගිරීම් සිදු වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. සාමකාමී අරගල මෙන්ම සාමකාමී නොවන අරගලද ලෝක දේශපාලනය තුළ වරින් වර සිදු වන සාමාන්‍ය දේවල්. මේවා වැරදි හෝ නිවැරදි ලෙස වර්ග කිරීම පහසු වැඩක් නෙමෙයි. 

මේ තත්ත්වය හමුවේ බංගබොන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ට බංග්ලාදේශය නමින් වෙනම, ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට සිදු වෙනවා. මෙය සිදු වන්නේ 1971 මාර්තු 26 දිනයි. එනම් ලංකාවේ අප්‍රේල් කැරැල්ල සිදු වූ දිනට ඉතා ආසන්න දිනකයි. මැතිවරණයෙන් පසුව දේශපාලන බලය නැගෙනහිර පකිස්ථානය වෙත ලබා නොදීමට අමතරව, ජෙනරාල් යහියා ඛාන් විසින් හමුදා යොදවා නැගෙනහිර පකිස්ථානයේ සාමකාමී විරෝධතා කෲර ලෙස මර්දනය කිරීමද මේ තීරණය කෙරෙහි බලපානවා. 

මේ හා සමඟම ෂෙයික් මුජිබර් රහ්මාන්ව අත් අඩංගුවට පත් වනවා. එයින් වෙන්නේ බංග්ලාදේශ නිදහස් අරගලය වේගයෙන් ඇවිලී යාමයි. මෙම අරගලය මර්දනය කරන හමුදාව එහිදී බෙංගාලි ජාතිකයින් විශාල ප්‍රමාණයක් මරා දමමින් හා කාන්තාවන් විශාල ප්‍රමාණයක් දූෂණය කරමින් නැගෙනහිර බෙංගාලයේ සාමූහික මතකය තුළ විශාල කාලයකට නොමැකෙන පකිස්තානු විරෝධයක් ඉතිරි කරනවා. 

ඉන්දියාවේ මැදිහත්වීම නොවන්නට ප්‍රතිඵලය වෙනස් විය හැකි වුවත්, ඉන්දියාවේ උදවුවෙන් බංග්ලාදේශය විසින් සිය නිදහස් අරගලය ජයගෙන ස්වාධීන බංග්ලාදේශයක් බිහි කරනවා. මාස අටකට වැඩි කාලයක් දිග් ගැසුණු යුද්ධයකින් පසුව, දෙසැම්බර් මාසයේදී පකිස්ථාන හමුදා ඛණ්ඩ වලට යටත් වීමට සිදු වෙනවා. ඒ වන තුරුද අත් අඩංගුවේ පසු වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ව නිදහස් කිරීමටද සිදු වෙනවා.

මේ වෙද්දී ලෝක බල තුලනය පැවතුනේ අදට වඩා බොහෝ වෙනස් ආකාරයකටයි. ඉන්දියාව හිටියේ රුසියාව සමඟ. චීනය හා ඇමරිකාව හිටියේ ප්‍රතිවිරුද්ධ පැත්තේ. සිරිමාවෝ බණ්ඩාරණායකගේ ආණ්ඩුව රුසියාව පැත්තට බර නොබැඳි පිළිවෙතක හිටියත්, මේ යුද්ධයේදී ගත්තේ පකිස්ථානයේ පැත්තයි. ඉන්දියාව පකිස්ථානයට කළ ආකාරයේ මැදිහත් වීමක් ලංකාවටද කරනු ඇතැයි සිතීම එයට හේතුව වෙන්න පුළුවන්. වසර දහ අටකට පසුව එවැන්නක් සිදු වුනත් බංග්ලා දේශය බිහි වූ ආකාරයෙන් එය දුර දිග ගියේ නැහැ. ඇතැම් විට ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් නොකරන්නට තත්ත්වය වෙනස් විය හැකිව තිබුණා.

නිදහස් බංග්ලාදේශයේ පළමු මැතිවරණය පැවැත්වුනේ 1973දී. මෙම මැතිවරණය ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගය විසින් ජය ගන්නේ කිසිදු තරඟයක් නැතිවයි. ඔහුගේ පක්ෂයට අහිමි වන්නේ ආසන 313කින් ආසන පහක් පමණයි. කොහොම වුනත් මෙය යුද්ධයේ උණුසුම නිසා සිදු වූ දෙයක්. 

මේ අයුරින් බංග්ලා දේශයේ ජනතාව ජාතිකත්වය මත පදනම්ව පකිස්ථානයට එරෙහිව එකමුතු වී සිටියත්, ඔවුන්ගේ දේශපාලනික මතවාද අතර වෙනස්කම් මතු වෙන්නට වැඩි කලක් ගත වෙන්නේ නැහැ. මුලින්ම මේ බිඳී යාම සිදු වන්නේ අවාමි ලීගයේ ශිෂ්‍ය අංශය වන බංග්ලාදේශ ඡත්‍ර ලීගය තුළයි. එහින් බිඳී යන පිරිස් විසින් ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ බිහි කරන අරමුණට සමාන අරමුණකින් ජාතික සමාජවාදී පක්ෂය හදනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ෂෙයික් මුජිබර් රහ්මාන් බලයෙන් පහ කර සමාජවාදී බංග්ලාදේශයක් හැදීමයි. 

ජාතික සමාජවාදී පක්ෂය විසින් ගොනොබාහිනි හෙවත් ජනතා හමුදාව නමින් සන්නද්ධ අංශයක්ද හදනවා. එහි ක්‍රියාකාරීන් වන්නේ බංග්ලාදේශ නිදහස් සටනට සහභාගී වූ අයයි. මේ වෙද්දී නිදහස් සටන අවසන්ව වැඩි කලක් ගත වී නැහැ. නිදහස් සටන සඳහා නායකත්වය දුන් සන්නද්ධ ගරිල්ලා ව්‍යාපාරය හැඳින්වුණේ මුක්තිබාහිනී හෙවත් විමුක්ති හමුදාව ලෙසයි. ගොනොබාහිනි සාමාජිකයින් විසින් අවාමි ලීගයේ ආධාරකරුවන්, රජයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් මරා දමන්නට පටන් ගන්නවා.

ගොනොබාහිනි ක්‍රියාකාරිකයින්ගේ භීෂණයට ප්‍රතිචාර ලෙස ෂෙයික් මුජිබර් රහ්මාන් විසින් කළේ ජාතික ආරක්ෂක හමුදාව (ජාතීයො රක්ඛි බාහිනී) නමින් සමාන්තර හමුදාවක් හදා ඒ හරහා ප්‍රති භීෂණය මුදා හැරීමයි. මෙය සමන්විත වන්නේ නිදහස් සටන්කාමීන් අතර සිටි ඔහුට පෞද්ගලිකව හිතවත් අයගෙන්. ඇතැම් විට මුලින්ම ලංකාවේ විශේෂ කාර්ය බලකාය හැදූ ආකාරයට හා අරමුණු වලට සමාන ආකාරයකින් විය හැකියි. 

මෙම ජාතික ආරක්ෂක හමුදාව විසින් විශාල ලෙස නිල නොවන ඝාතන, පැහැර ගැනීම් ඇතුළු මානව හිමිකම් කඩ කිරීම් සිදු කළ සේ සැලකෙනවා. මේ හේතුවෙන් මුජිබර් රහ්මාන්ට ජනතාව අතර තිබුණු ප්‍රසාදය ක්‍රමයෙන් අඩු වෙනවා. ජාතික ආරක්ෂක හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳව හා එම හමුදාවට ලබා දෙන ඉහළ සැලකිලි පිළිබඳව අනෙකුත් හමුදා අංශ අතරද නොසතුටක් වර්ධනය වෙනවා.

මේ කාලය ලෝකය පුරා, විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ, සමාජවාදය ජනප්‍රිය වී තිබුණු කාලයක්. ලංකාවේ තිබුණෙත් සමගි පෙරමුණු ආණ්ඩුවනේ. ඒ නිසා, ජාතික සමාජවාදී පක්ෂය හා ගොනොබාහිනියේ ක්‍රියාකාරකම් පාලනය කළත්, රටේ සමාජවාදය වෙනුවෙන් තිබුණු ඉල්ලුම නොසලකා හරින්න මුජිබර් රහ්මාන්ට හැකි වෙන්නේ නැහැ. ලංකාවේ වුවත්, ජවිපෙ පළමු කැරැල්ල මර්දනය කිරීමෙන් පසුව ආණ්ඩුව ගියේ ජාතික සමාජවාදය පැත්තටමනේ. ඒ වගේ තමයි.

ජාතික සමාජවාදය එක්ක ද්වි පක්ෂ ක්‍රමයකට පවතින්න බැහැ. ලංකාවේ සමගි පෙරමුණු ආණ්ඩුව වසර දෙකක් මැතිවරණ කල් දැම්මත් ඊට පස්සේ මැතිවරණයක් තියපු ගමන් ආසන අටකට කඩා වැටුණා කියලා මතකයිනේ. එක දිගටම බලයේ රැඳී සිටීමේ අරමුනින් මුජිබර් රහ්මන් කළේ ව්‍යවස්ථාව වෙනස් කරලා බහු පක්ෂ ක්‍රමය අහෝසි කරන එක සහ බංග්ලාදේශ ගොවි කම්කරු ජනතා ලීගය හෙවත් බාක්සාල් නමින් තනි පක්ෂයක් හදන එක. දැන් ඕනෑම කෙනෙකුට මහජන නියෝජිතයෙක් වෙන්න අවශ්‍යනම් මේ පක්ෂයේ සාමාජිකයෙක් වෙන්න සිදු වෙනවා. මෙය හැදුවේ අවාමි ලීගය එක්ක බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එකතු කරලා.

ඕක තමයි බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය මුල ඉඳන්ම ගිය පාර. ඒකාබද්ධ පකිස්ථානය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය නොලැබුණු නිසා විමුක්ති අරගලයක් කරපු නැගෙනහිර බෙංගාලයේ බංගලියන්ට අන්තිමට තමන්ගේ ස්වාධීන බංග්ලාදේශය ඇතුලෙ වුනත් හරියකට ප්‍රජාන්තන්ත්‍රවාදයක් ලැබෙන එක ගැන බලාපොරොත්තුවක් නැති වුනා. 

මෙම පසුබිම තුළ 1975 අගෝස්තු මාසයේදී ෂෙයික් මුජිබර් රහ්මාන් හා ඔහුගේ පවුලේ සමීපතම සාමාජිකයින් ඇතුළු 36 දෙනෙකුව ඔහුගේ නිවෙස තුළදීම සමූලඝාතනයට ලක් වෙනවා. මෙය කරන්නේ කනිෂ්ඨ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත හමුදා අනු ඛණ්ඩයක් විසින්. ෂෙයික් හසීනා හා ඇගේ සොහොයුරිය ෂෙයික් රෙහානා මේ වන විට බටහිර ජර්මනියේ සංචාරයක නිරතව සිටි බැවින් ඔවුන්ගේ පණ බේරෙනවා. මෙම සමූලඝාතනය ගොනොබාහිනි හා රක්ඛි බාහිනී හමුදා අතර වූ ගැටුම හා ඒ හරහා අනෙකුත් ප්‍රධාන හමුදා ඛණ්ඩ තුළ වූ බෙදීමද බලපා ඇතැයි සැලකෙනවා.

ෂෙයික් මුජිබර් රහ්මාන් විසින් ස්වාධීන බංග්ලාදේශයක් ප්‍රකාශයට පත් කළ වහාම ඔහුව අත් අඩංගුවට ගැනුණු බැවින්, එම නිවේදනය ප්‍රචාරය කිරීමට ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අවසානයේදී ෂෙයික් මුජිබර් රහ්මාන් වෙනුවෙන් මේ කටයුත්ත කරන්නේ ඉහළ හමුදා නිලධාරියෙක් වූ සියා රහ්මාන්. ඔහු ඒ වෙද්දී, කැප්පෙටිපොළ නිලමේ විසින් කළ පරිදි, තනතුර අතහැර තමන්ගේ මිනිසුන්ගේ පැත්ත ගන්න තීරණය කර අවසන්. මිනිසුන්ගේ පැත්තෙන් ඔහු යුද වීරයෙක්. 

මුජිබර් රහ්මාන්ව ඝාතනය කිරීමෙන් පසුව තවත් එවැනිම කුමන්ත්‍රණ වට කිහිපයකින් පසුව අවසානයේදී බලය මේජර් ජෙනරාල් සියා රහ්මාන් වෙත මාරු වෙනවා. ඒ අවස්ථාවේදී, ජාතික සමාජවාදී පක්ෂයට අවශ්‍ය වන්නේ සමාජවාදී බංග්ලාදේශයක් බව ඔහු තේරුම් ගන්නවා. සියා රහ්මාන් දක්ෂිණාංශික අදහස් තිබුණු කෙනෙක්.

මෙහි ප්‍රතිඵලය වන්නේ සියා විසින් ජාතික සමාජවාදී පක්ෂයේ සන්නද්ධ අංශය මර්දනය කිරීම හා බංග්ලාදේශ ජාතික පක්ෂය බිහි කිරීමයි. ඊට සමාන්තරව ඔහු බාක්සාල් විසුරුවා හැරලා නැවතත් බහු පක්ෂ ක්‍රමයකට ඉඩ සලසනවා. මේ අනුව, බංග්ලාදේශයේ ද්වි පක්ෂ ක්‍රමයට මුල පිරෙනවා. 1979දී පැවති ඊළඟ මැතිවරණයේදී අවාමි ලීගය පරාජය වී බංග්ලාදේශ ජාතික පක්ෂය බලයට පත් වෙනවා. ඔවුන් ආසන 237ක් ලබා ගන්නවා. අවාමි ලීගයට ලැබෙන්නේ ආසන 39ක් පමණයි. පසුව පක්ෂයේ හා රටේ නායකත්වයට පැමිණි බෙගම් ඛලිඩා සියා ඔහුගේ වැන්දඹු බිරිඳයි. 

හැබැයි සියා රහ්මාන්ට වැඩි කාලයක් බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ. 1981දී හමුදා කුමන්ත්‍රණයකින් ඔහුවද ඝාතනය කෙරෙනවා. ඉන් පසුව, 1982දී එර්ශාඩ් විසින් බලය පැහැර ගන්නවා. ඉන් පසුව, ඔහු ජාතීක පක්ෂය නමින් පක්ෂයක් හදලා 1986දී මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. මෙයින් ඔහු යාන්තමින් දිනුවත් ඒ මැතිවරණය සාධාරණ මැතිවරණයක් ලෙස පොදුවේ සැලකෙන්නේ නැහැ. 

ඊට පස්සේ 1988දීවත් මැතිවරණක් තියලා ඔහු එයින්ද ජයගන්නවා. එහෙත් මේ මැතිවරණ කිසිවක් සාධාරණ මැතිවරණ ලෙස සැලකෙන්නේ නැහැ. ඔය 1988 මැතිවරණයට අවාමි ලීගය හෝ බංග්ලාදේශ ජාතික පක්ෂය ඉදිරිපත් වුනේ නැහැ. එය නිකම්ම ප්‍රදර්ශනාත්මක කටයුත්තක් පමණයි. ඒ කියන්නේ ඔය දක්වාම බංග්ලා දේශයේ හරියකට මැතිවරණයක් පැවැත්විලා නැහැ. අපිට පුරුදු අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිලත් නැහැ.

හරියකට තරඟයක් තිබුණා කියලා කියන්න පුළුවන් පළමු බංග්ලාදේශ මැතිවරණය 1991 මැතිවරණය. තරඟය ප්‍රධාන වශයෙන්ම තිබුනේ අවාමි ලීගය හා බංග්ලාදේශ ජාතික පක්ෂය අතර. මේ පක්ෂ දෙක දැනටත් බංග්ලාදේශයේ ප්‍රධාන පක්ෂ. ඒ වෙද්දී ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දුව ෂෙයික් හසීනා අවාමි ලීගයේ නායකත්වය අරගෙන තිබුණා. සියා රහ්මාන්ගේ බිරිඳ බෙගම් ඛලීඩා සියා බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායකත්වයට ඇවිත් තිබුණා. ඔය පක්ෂ දෙකත් එක්ක එර්ශාඩ්ගේ ජාතික පක්ෂයත් තරඟ කළත් ඒ පක්ෂය තුන් වන තැනට ඇදගෙන වැටුනා. ඛලීඩා ශියාගේ පක්ෂය ජයග්‍රහණය කළා. 

ඊට පස්සේ තිබුණු 1996 පෙබරවාරි මැතිවරණය තවත් විහිළු සහගත මැතිවරණයක්. අනෙකුත් පක්ෂ සියල්ලම මෙන් මැතිවරණය වර්ජනය කරපු නිසා ඛලීඩා ශියාට තිබුනේ තනි අස්සයෙකුගේ රේස් එකක්. ස්වාධීන අපේක්ෂකයින්ට ගිය ආසන කිහිපයක් ඇරෙන්න ඉතුරු සියල්ල ඇයට ලැබුනත්, ඡන්ද භාවිතය 21%කට සීමා වී තිබුණා. ගොඩක් ආසන ලැබුණේ නිතරඟයෙන්. 

ඔය මැතිවරණය අනෙකුත් පක්ෂ විසින් වර්ජනය කරන්න හේතු වුනේ ඊට ආසන්නව පැවති අතුරු මැතිවරණයක් පවත්වපු අවස්ථාවේ සිදු වූ දේවල්. ඒ වගේ දේවල් නැවත නොවෙන්න භාරකාර රජයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බවයි විරුද්ධ පක්ශ වල ඉල්ලීම වුනේ. අන්තිමට ඛලීඩා ශියාට භාරකාර රජයක් යටතේ තවත් මැතිවරණයක් තියන්න වුනා. මාස පහකට පසුව තියපු ඒ මැතිවරණයෙන් ආණ්ඩු බලය ෂීක් හසීනාට ලැබුණා. නමුත් විශාල බහුතරයකින් නෙමෙයි. 

මම මුලින්ම බංග්ලාදේශයට යද්දී එහි අගමැති වී සිටියේ ෂීක් හසීනා. ඒ ඇගේ පළමු ධුර කාලය. ඉන් පසුව පැවති 2001 මැතිවරණය එරට පැවති වඩාත්ම තියුණු මැතිවරණ සටන වෙන්න පුළුවන්. ඔය මැතිවරණය ආසන්න කාලයේ මම වැඩිපුර හිටියේ බංග්ලාදේශයේ නිසා මැතිවරණ සටන සමීපව නිරීක්ෂණය කරන්න ලැබුණා. මැතිවරණ දවස් වලනම් හිටියේ ලංකාවේ. 

මේ 2001 මැතිවරණයෙන් ෂෙයික් හසීනාට ගෙදර යන්න වුනා. ඛලීඩා ශියා නැවත බලයට පත් වුනා. ආසන ක්‍රමය නිසා මන්ත්‍රී ධුර ප්‍රමාණ වල සැලකිය යුතු වෙනසක් තිබුණත් ඡන්ද ප්‍රතිශත වල තිබුණේ සුළු වෙනසක්. මේ මැතිවරණයේදී ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය එර්ශාඩ්ගේ පක්ෂය අභිබවා තුන් වන තැනට ආවා.

ඊළඟට 2008 මැතිවරණය. ඒ මැතිවරණයේදී ඛලීඩා ශියාව ගෙදර යවලා ෂෙයික් හසීනා නැවත බලයට එන්නේ විශාල ජයග්‍රහණයක් ලබමිනුයි. ඒ සඳහා අවාමි ලීගය එර්ශාඩ්ගේ ජාතික පක්ෂය එක්ක සන්ධානයක් හදනවා. ඛලීඩා ශියාගේ පක්ෂයද ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය එක්ක සන්ධානයක් හදාගෙන තරඟයට ආවත් පරාජයෙන් බේරෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. 

ඔය විදිහට ඛලීඩා ශියා එක්ක සටන් කරලා සාධාරණ මැතිවරණයක් අරගෙන බලයට පත් වෙන ෂෙයික් හසීනා ඉන් පසුව 2014 මැතිවරණය පවත්වන්නේ ඛලීඩා ශියාව නිවාස අඩස්සියේ තියලා. ඒ නිසා ඒ මැතිවරණයත් විහිළු සහගත මැතිවරණයක් වෙනවා. ඛලීඩා ශියාගේ පක්ෂය තරඟ නොකළ නිසා, ආසන ටික අමාරුවක් නැතිවම අවාමි ලීගය හා ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය විසින් බෙදා ගන්නවා. ඉන් පසුව, 2018 මැතිවරණය ආසන්නයේදී උසාවියෙන් ඛලීඩා ශියාව දූෂණ චෝදනා වලට වරදකරුවෙකු කරනවා. එය ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි බලපානවා. අන්තිමටම පැවැත්වුනු 2024 ජනවාරි මැතිවරණයට බංග්ලාදේශ ජාතික පක්ෂය ඉදිරිපත් නොවූ නිසා ඒකත් අන්තිමට තනි අස්සයෙකුගේ රේස් එකක් පමණක් වුනා. 

අන්තිමට බලද්දී බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ තරඟයක් තිබී ඇත්තේ අවස්ථා කිහිපයකදී පමණයි. මේ වගේ ක්‍රමයක් වඩා කිට්ටු තනි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයකටයි. සිංගප්පූරුවේ දිගටම තියෙන්නෙත්, කාලයක ඉඳන් රුසියාවේ තියෙන්නෙත් එවැනි ක්‍රමයක්. 

බංග්ලාදේශ ශිෂ්‍ය අරගලය ඉදිරියට ගිහින් ෂෙයික් හසීනාට ඉල්ලා අස්වෙන්න සිදු වෙන්නේ ඔය වගේ ඓතිහාසික සන්දර්භයක. කෝටා ප්‍රශ්නය ඇතුළු එහි මෑතකාලීන පසුබිම ගැන බොහෝ තැන් වල විස්තර කෙරී තිබෙන නිසා මම නැවත ලියන්නේ නැහැ. මට තේරෙන විදිහට මෙය ශිෂ්‍යයන් තුලින් ස්වභාවික ලෙස පැන නැගුනු අරගලයක්. යම් ආකාරයකින් අසූව දශකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව මතු වූ සටනට සමාන කරන්න පුළුවන්. එහිදී සාමාන්‍යයෙන් ශිෂ්‍ය සටනකට නොලැබෙන විශාල සහයෝගයක් වෛද්‍ය සිසුන් අතරින් මතු වුනා. ඒ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවය තර්ජනයට ලක් වූ නිසා. බංග්ලාදේශයේදී සිදු වුනේ වඩා වැඩි පිරිසකට රැකියා අවදානමට මුහුණ දෙන්න වීම.

අරගලය සිසුන් තුළින් පැන නැගුනු එකක් වුවත්, එහි වාසිය බෙගම් ඛලිඩා සියාගේ බංග්ලාදේශ ජාතිය පක්ෂය විසින් ලබා ගන්නට උත්සාහ කරන බවක් මුල සිටම පෙනෙන්නට තිබුණා. ඔවුන් වක්‍ර ලෙස අරගලය මෙහෙයවූවා. සිසුන් මේ පිළිබඳව සවිඥානිකව සිටියත් ෂෙයික් හසීනාව බලයෙන් පහ කිරීමෙන් ඔබ්බට සැලසුමක නොසිටි ඔවුන් සතුව ප්‍රායෝගික විකල්ප සැලසුමක් කිසි විටෙක තිබුණේ නැහැ. 

මේ වෙද්දී අරගලයට සම්බන්ධ වූ සිසුන් "දිනූ නිදහස රැක ගැනීම සඳහා" ඔවුන්ට කළ හැකි දේ කරමින් සිටිනවා. බැංකු, හින්දු කෝවිල් වැනි ස්ථාන මුර කරමින් ආරක්ෂාව සැපයීම, ගිනිබත් කළ හා විනාශ කළ තැන් ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම, රථවාහන පාලනය කරමින් මාර්ග විනය ඇති කිරීම, පැල සිටවීම හා වීදි වල චිත්‍ර ඇඳීම ඔවුන් දැනට කරන කටයුතු සමහරක්. 

බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තරමට ශක්තිමත් එකක් නොවූවත්, ගිනි දළු ක්‍රමයෙන් නිවී යද්දී බංග්ලාදේශය නැවත සාමකාමී වෙතැයි මා සිතනවා. ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමෙන් පසුව, සිසුන්ගේ අරමුණ දූෂණ චෝදනා වලට වැරදිකරු වී දඬුවම් ලබා සිටින ඛලීඩා ශියාව නැවත බලයට පත් කිරීම නොවුනත් ප්‍රායෝගිකව අවසන් ප්‍රතිඵලය එය වෙන්න වුනත් බැරිකමක් නැහැ.










10 comments:

  1. +++++++++++++++++++++++++++++👌💐🙏🫡

    ReplyDelete
  2. බොහොම දෙනෙක් බංගලි ඉතිහාසය ගැන හොයන වෙලාවෙ ඔබ මේ ලිව්ව මෑත ඉතිහාස විස්තරය අපූරුයි.
    ස්තූතියි

    ReplyDelete
  3. Thanks for very informative article. I learnt a lot from your article. However, other media report many crimes taking place in Bangladesh but you are trying to paint a better picture of the current situation. why ?

    ReplyDelete
    Replies
    1. No. I did not intend to downplay violence. Violence in Bangladesh is so disturbing and reported at many places elsewhere. I just did not want to repeat and rather wanted to fill in by adding the historical context. Violence will, hopefully, be over and this information could continue to be useful unlike any reports of violence.

      Delete
  4. ඉස්ලාමය තුල කන බොන, නාන, රෙන, .... විදිය පිලිවෙලට සූත්‍රගත කර තියෙනවා.
    එව්වා සූත්‍රගතකලේ මූලික වශයෙන් උමර් කාලිෆ්වරයායි. ඒත් එහි දේශපාලන මතවාදයක් නෑ.
    මුස්ලිම් රටවල ඇතිවන අර්බුද බැලුවාම මේ අඩුපාඩුව පැහැදිලිව පේනවා.

    ඒ වගේම ඉස්ලාමය ජාතිවාදයටත් විරුද්ධයි. ඒ නිසා තමයි ලිබියාව කියලා රටක් නැති තත්වයට පත්වුනේ. ඒත් බංගලියන් තුල ඊට වඩා ජාතිවාදය වැඩියි. ඒ නිසා වැඩේ ශේප් වෙයි.

    ReplyDelete
    Replies
    1. මේ අන්තිම කොටස හරි. පකිස්ථානය ගත්තත් එහි ගෝත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ වගේම මැදපෙරදිග එක්ක සම්බන්ධය වැඩියි. ඒ නිසා එකතු වෙන්නේ ආගම හරහා. බංග්ලාදේශය පසුව මුස්ලිම් වී ඇතත් සංස්කෘතියේ තවමත් හින්දු කෑලි ඉතිරි වී තිබෙනවා. බංග්ලාදේශය තනිකරම වගේ බෙංගාලි. හින්දු සුළුතරය වුනත් බෙංගාලි.

      Delete
  5. ලහිරු රණවීරAugust 8, 2024 at 11:09 AM

    නිවැරදි කිරීමක්! Khaleda Zia කියන්නේ Ziaur Rahman ගේ දුව නෙමෙයි බිරිඳ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! නිවැරදි කළා.

      Delete
  6. SLFP was created in 1951. It won the first election in 1956.

    ReplyDelete
    Replies
    1. You are correct. What I meant was the establishment of a two-party system. Anyway, revised the sentence slightly for clarity. Thanks!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.