Sunday, May 10, 2026

ලෝක තෙල් මිල සහ ඇමරිකානු ආර්ථිකය





තෙල් මිල ඉහළ යාම ලෝක ආර්ථිකය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනවා. නමුත් ලෝක තෙල් මිල ලෝකයේ එක් එක් රටට බලපාන්නේ එකම ආකාරයකට නෙමෙයි.

ලෝක තෙල් මිල ඇමරිකානු ආර්ථිකය කෙරෙහි බලපාන්නේ කොහොමද?

ඇතැම් අය තවමත් මේ ගැන කතා කරන්නේ 2020දී ඇමරිකානු තෙල් වෙළඳපොළේ සිදු වූ "සුසමාදර්ශීය වෙනස" ගැන අදහසක් නැතිවයි. දශක ගණනාවක් තිස්සේම ඇමරිකාව ලෝකයේ ලොකුම ඉන්ධන ආනයනකරුවෙකුව සිටියත්, 2020දී ඒ තත්ත්වය වෙනස් වී ඇමරිකාව ශුද්ධ ඉන්ධන අපනයනකරුවෙකු බවට පත් වුනා. ඉන් පසුව, ඇමරිකාව විසින් දිගින් දිගටම ඉන්ධන අපනයන වැඩි කර ගනිමින් සිටිනවා. 

මේ වන විට ලෝකයේ ලොකුම බොරතෙල් නිෂ්පාදකයා වන ඇමරිකාව විසින් දිනකට බොරතෙල් බැරල් මිලියන 14කට ආසන්නව නිෂ්පාදනය කරන අතර එයින් දිනකට බැරල් මිලියන 4 ඉක්මවා අපනයනය කරනවා. රුසියාව හා සවුදි අරාබිය විසින් දිනකට නිපදවන්නේ බොරතෙල් බැරල් මිලියන 10 බැගිනුයි. කැනඩාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5 ඉක්මවා නිපදවනවා. එයින් වැඩි කොටසක්, අවම වශයෙන් බැරල් මිලියන 3.5ක්, අපනයනය කෙරෙනවා. එකම වෙළඳපොළක් සේ සැලකිය හැකි ඇමරිකාව සහ කැනඩාව එක්ව ගත් විට, මෙම කලාපයෙන් දිනකට බොරතෙල් බැරල් මිලියන 7.5ක් පමණ අපනයනය කෙරෙනවා. 

බොර තෙල් බැරලයක මිල විශාල ලෙස ඉහළ ගිය 2007 ආසන්න කාලයේදී ඇමරිකාව විසින් දිනකට බොරතෙල් බැරල් මිලියන 12ක් පමණ ආනයනය කරමින් සිටියා. ඒ නිසා, ලෝක බොරතෙල් මිල ඉහළ යාම ඇමරිකානු ආර්ථිකයට විශාල කම්පනයක් වුනා. නමුත් දැන් තත්ත්වය වෙනස්. දැන් බොරතෙල් මිල ඉහළ යද්දී සිදු වන්නේ ඇමරිකන් ආර්ථිකය වඩ වඩා ශක්තිමත් වීම සහ ඩොලරයට තිබෙන ඉල්ලුම ඉහළ යාමයි.

සාමාන්‍ය කරුණක් ලෙස සවුදි අරාබිය, රුසියාව වැනි රටවල බොරතෙල් නිෂ්පාදන පිරිවැය ඇමරිකාවේ එම පිරිවැයට වඩා බොහෝ අඩුයි. ඒ නිසා, මිල අඩු වෙද්දී ඇමරිකාවට තරඟ කිරීම අපහසු වෙනවා. නමුත් මිල ඉහළ යද්දී මේ තත්ත්වය වෙනස් වී ඇමරිකාවේ නිෂ්පාදනය තවත් ඉහළ යනවා. පසුගිය වසර කිහිපය පුරාම සවුදි අරාබිය සහ රුසියාව විසින් උත්සාහ කළේ තෙල් මිල පහළ මට්ටමක තබා ගනිමින් ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය අඩු කිරීමටයි. ඒ නිසා, ලෝක තෙල් මිල ඉහළ යාම තුළ ඇත්තටම සිදු වන්නේ ඇමරිකාවට වාසිදායක දෙයක්. 

මෙයින් අදහස් වන්නේ තෙල් මිල ඉහළ යාම ඇමරිකාවට කිසිසේත්ම ප්‍රශ්නයක් නොවන බව නෙමෙයි. රටක් ලෙස සලකද්දී තෙල් මිල ඉහළ යාම ඇමරිකාවට වාසිදායක වුවත්, ඇමරිකානු පාරිභෝගිකයින්ගේ පැත්තෙන් මිල ඉහළ යාම ප්‍රශ්නයක්. ඇමරිකාවේ සිල්ලර ඉන්ධන මිල ලෝක තෙල් මිල අනුව වෙනස් වෙනවා. ඒ නිසා ලෝක තෙල් මිල ඉහළ යාම ඇමරිකාවේ උද්ධමනය කෙරෙහි අහිතකර බලපෑමක් කරනවා. මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව තුළ පවා රාජ්‍ය මැදිහත්වීම් සිදු වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. 

කෙසේ වුවත්, ලෝක ඉන්ධන මිල ඉහළ මට්ටමක තබා ගැනීම මගින් ඇමරිකාවට රිද්දවීම තව දුරටත් වලංගු සාධකයක් නෙමෙයි. එයින් රිදෙන්නේ ලංකාව වැනි ශුද්ධ ලෙස ඉන්ධන ආනයනය කරන රටවලටයි. ලෝකයේ වැඩිම ශුද්ධ ඉන්ධන ආනයන සිදු කරන රටවල් වන්නේ චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාවයි. 

3 comments:

  1. ඉකොනෝ ඔය ඉදිරිපත් කරපු සටහන ඇතුළේ තියෙන්නේ ආර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්ත පවා අමු අමුවේ උල්ලංඝනය කරපු, දත්ත වැරදි විදිහට අර්ථකථනය කරපු පට්ටපල් බේගලයක් බව මම වගකීමෙන් කියනවා.

    ඒවත් මේක විග්‍රහ කරනවා නම්, ඇමරිකා එක්සත් ජනපදය "ශුද්ධ අපනයනකරුවෙක්" (Net Exporter) වුණු පලියට තෙල් මිල ඉහළ යාම ඔවුන්ට වාසිදායකයි කියන එක හුදෙක් බොළඳ තර්කයක් වන්නේ ඇමරිකානු ආර්ථිකය කියන්නේ හුදෙක් බලශක්ති අපනයනය මත පමණක් යැපෙන රුසියාව හෝ සෞදිය වැනි ආර්ථිකයක් නොව, දැනට ලෝකයේ විශාලතම Nominal Amount තනි "පරිභෝජන ආර්ථිකය" (Consumer Economy) වන නිසයි. ලෝක තෙල් මිල ඉහළ යන විට ඇමරිකානු පාරිභෝගිකයාගේ වියදම් කළ හැකි ආදායම (Disposable Income) වේගයෙන් අඩු වී, ප්‍රවාහන හා නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස්, සමස්ත උද්ධමනය පාලනය කරගත නොහැකි මට්ටමට පත්වන විට ෆෙඩරල් බැංකුවට පොලී අනුපාත ඉහළ දැමීමට සිදුවීම හරහා මුළු මහත් ඇමරිකානු කොටස් වෙළඳපොළ සහ නිෂ්පාදන ක්ෂේත්‍රයම පසුබෑමකට ලක්වන බව මේ සටහන ලියූ ඉකොනෝ මහතාට අමතක වී තිබෙනවා. ඇමරිකාව තෙල් නිපදවූවත් ඔවුන් තවමත් දිනකට බොරතෙල් බැරල් මිලියන ගණනින් "ආනයනය" කරන්නේ ඔවුන් සතු පිරිපහදු (Refineries) වලට ගැලපෙන්නේ විදේශීය බර තෙල් (Heavy Crude) වන නිසා මිසක් රට ඇතුළේ නිපදවන සැහැල්ලු තෙල් (Light Sweet Crude) මදි නිසා නොවන බවත්, මිල වැඩිවීමෙන් සිදුවන උද්ධමනකාරී කම්පනය එමගින් ලැබෙන අපනයන ලාභයට වඩා දස දහස් ගුණයකින් ඇමරිකානු දළ දේශීය නිෂ්පාදිතයට (GDP) හානි කරන බවත් උදාහරණ සහිතව පෙන්වා දිය හැකියි.

    එමෙන්ම රුසියාව සහ සෞදිය මිල අඩු කර ඇමරිකාවට ගැහුවා කියන කතාවත් අමූලික බොරුවක්, මොකද ෂේල් තෙල් (Shale Oil) නිෂ්පාදන පිරිවැය ඉහළ නිසා මිල අඩුවීමෙන් ඇමරිකානු තෙල් සමාගම් බංකොලොත් වීම ඔවුන්ට දරාගත නොහැකි මූල්‍ය අර්බුදයක් වන අතර, මෙවැනි අසත්‍ය ප්‍රොපගැන්ඩාවන් හරහා තෙල් මිල වැඩිවීම ඇමරිකාවට වාසි බව කීම හරියට "ගෙදර බඩු ටික පිච්චෙනකොට ඒකෙන් ගිනි තපින්න පුළුවන් නිසා ඒක වාසියි" කියනවා වැනි අතිශය හාස්‍යජනක සහ ප්‍රායෝගික නොවන තර්කයක් බවයි මගේ අදහස.

    ReplyDelete
  2. ඉකොනෝ තරහ වෙන්න එපා මෙහෙම කිව්වාට, ඒත් ඔයා මේ ලියපු මේ සටහන ඇතුළේ තියෙන්නේ ආර්ථික විද්‍යාවේ සාර්ව ආර්ථික විචල්‍යයන් (Macroeconomic variables) එකිනෙකට බලපාන ආකාරය ගැන කිසිම අවබෝධයක් නැතිව ලියපු, සංඛ්‍යාලේඛන වැරදියට පාවිච්චි කරපු මහා මෝඩ කතාවක්. මේකේ තියෙන ආර්ථික විද්‍යාත්මක වැරදි කීපයක්, ඇමරිකාව "ශුද්ධ අපනයනකරුවෙක්" (Net Exporter) වුණා කියලා තෙල් මිල වැඩිවෙද්දී ඔවුන්ට වාසි වෙනවා කියන එක හුදෙක් Partial Equilibrium Analysis එකක් මිසක් සමස්ත ආර්ථිකයම ආවරණය වන General Equilibrium Analysis එකක් නෙවෙයි. ඇමරිකානු GDP එකෙන් 70%කට වඩා දායක වෙන්නේ පෞද්ගලික පරිභෝජනය (Consumer Spending) හරහායි. තෙල් මිල බැරලයක් ඩොලර් 10-20කින් වැඩි වෙනකොට ඇමරිකානු ගෘහස්ථ ඒකකවල වැය කළ හැකි ආදායම(Disposable Income) ක්ෂණිකව පහත වැටෙනවා. එතකොට මිනිස්සු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලදී ගැනීම නතර කරනවා, ඒකෙන් වෙන්නේ මුළු රටේම සිල්ලර වෙළඳාම සහ සේවා අංශය කඩා වැටෙන එකයි.

    උදාහරණයක් විදිහට, 2008 සහ 2022දී තෙල් මිල ඉහළ ගිය වෙලාවේ ඇමරිකානු ආර්ථිකය පට්ට පසුබෑමකට (Recession) ගියේ ඔවුන් තෙල් නිපදවන නිසා ඒක වාසියක් වුණු හින්දා නෙවෙයි, ඉන්ධන පිරිවැය නිසා අනෙකුත් සියලුම නිෂ්පාදන සහ ප්‍රවාහන පිරිවැය (Supply-side shock) ඉහළ ගිය නිසයි.

    ඊළඟට අනෙක් කාරණය තමයි Cost Push Inflation හෙවත් පිරිවැය මත පදනම් වූ උද්ධමනය. තෙල් මිල වැඩි වුණාම ඇමරිකාවේ Fed එකට සිද්ධ වෙනවා පොලී අනුපාත (Interest Rates) ඉහළ දාන්න. එතකොට ඇමරිකානු සමාගම් ගත්ත ණයවල පොලිය වැඩි වෙනවා, ආයෝජන අඩු වෙනවා, ඒ වගේම ඩොලරය අනවශ්‍ය ලෙස ශක්තිමත් වීම නිසා ඇමරිකාවේ අනෙකුත් නිෂ්පාදන අපනයනයන් (Non-oil exports) ලෝක වෙළඳපොළේ මිල අධික වෙලා ඒවායේ ඉල්ලුම වැටෙනවා. මේක ඇමරිකානු නිෂ්පාදන කර්මාන්තයට (Manufacturing sector) මරු පහරක්. ඒ වගේම, මේ සටහන ලියපු ඉකොනෝ දන්නේ නැහැ ඇමරිකාව තවමත් දිනකට බැරල් මිලියන 6-8ක් වැනි දැවැන්ත ප්‍රමාණයක් 'ආනයනය' කරන්නේ ඇයි කියලා; ඒකට හේතුව ඇමරිකාවේ තියෙන පිරිපහදු බොහොමයක් නිර්මාණය කරලා තියෙන්නේ පිටරටින් එන 'බර තෙල්' (Heavy Crude) වලට මිසක් ඔවුන් නිපදවන 'ෂේල් තෙල්' (Light Shale) වලට නොවන නිසයි. ඉතින් ලෝක මිල වැඩිවෙද්දී මේ ආනයන වියදම වැඩිවෙලා පිරිපහදු ලාභාංශ (Refining margins) අඩු වෙනවා.

    ඇමරිකන් තෙල් සමාගම් කිහිපයක් ලාභ ලැබුවා කියලා ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ. තෙල් මිල ඉහළ යාම කියන්නේ ඇමරිකානු පාරිභෝගිකයාට බද්දක් ගැහුවා වගේ වැඩක්. මේ වගේ බහුබූත ලියන අය හිතන්නේ ආර්ථිකයක් කියන්නේ නිකම්ම හරිම සරල දෙයක් කියලා මිසක් ඒක එකිනෙකට බැඳුණු සංකීර්ණ පද්ධතියක් කියලා නෙවෙයි. මේ වගේ "මොත්ත ආර්ථික විද්‍යාව" පතුරුවන ලේඛකයෝ තමයි මිනිස්සුන්ව නොමඟ යවලා අන්තිමට රටවල් බංකොලොත් කරන තැනට තල්ලු කරන්නේ IMF වගේ රටවල් විනාශ කරන ණය උගුල් වලට රටවල් අසු කරන්න හොඳයි මේ වගේ කතන්දර මිනිස්සුන්ව brainwash කරලා රවට්ටන එකට

    ReplyDelete
  3. අනේ මන්ද ඉකොනෝ ලංකාවේ ආර්ථිකය හොම්බෙන් යන්නේ බිස්නස් වලට හරිම අමාරුයි අර දිත්වා හානියෙන් පස්සේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලොකු දෙයක් කරන්න තිබුණා නේද ඒත් ඒ මොනවත් වුණේ නෑ මොරගහකන්ද පාලම විතරක් නෙවෙයි, කුණාටුවෙන් විනාශ වෙච්චි ප්‍රධාන දේවල් කිසිවක් තාම හදලා නෑ...

    මෑතකදි කඳපොල, හාවාඑළිය, දොළොස්බාගෙ පැත්තේ ගියා .. පාර මඩ අයින් කරලා සුද්ද කරලා, පාර යන්තමට ගොඩදාලා විතරයි.

    ගෙවල් නැති උන්ට තාම ගෙවල් නෑ.. සමහර ගම්වල අයට ආණ්ඩුවෙන් කියල "උඹල එකතුවෙලා සංගමයක් හදාගෙන, ඒකෙන් කොටේෂන් අරං නිවාස සංකීර්ණයක් හදාගන්න" කියලා. උන් දන්නවද අප්පා ඒවා කරන්න... තාම 60,000කින් පූර්ණ වන්දි දීලා තියෙන්නේ කීදෙනාටද කියල කිව්වොත් හිනා යනවා

    සල්ලි තියෙනවාලු, සියල්ල හරිලු, කයිවාරු විතරයි කෝච්චි පාර තව කාලෙකට හැදෙන්නෑ.. දුම්රිය දෙපාර්තමේන්තුවට ඕක බැරි කතාව බොරු. මොකද ලංකාවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වගේ තැන්වල ඉන්නේ හාවොද? ආයතන ඒකාබද්ධ වෙලා ගොඩදාපු සයිට් කොච්චර තියෙද?? මම පෞද්ගලිකව ඕක වෙන රටකට දෙන එක⁣ට අත්දෙකම උස්සල කැමතියි.

    මාස 6 වෙද්දිත් තාම නෑදෑ ගෙවල්වල, කඳවුරුවල ඉන්න අය රට මැද ඉන්නවා ඇස් දෙකෙන්ම දැකලයි කියන්නේ...

    කයිය නං විදුලි දුම්රිය දාන්න.... ආච්චිගෙ රෙද්ද...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.