Tuesday, May 12, 2026

හැකරුන්ට කප්පමක්!


ගෙවුණු බ්‍රහස්පතින්දා (මැයි 7) දින සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලෝකයේ, විශේෂයෙන්ම ඇමරිකාවේ, අධ්‍යාපන ආයතන දහස් ගණනක අධ්‍යයන කටයුතු අකර්මන්‍ය වුනා. මෙම සයිබර් ප්‍රහාරය එල්ල වූයේ ඉන්ස්ට්‍රක්චර් සමාගම විසින් සපයන කැන්වස් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියටයි.

ඇමරිකාවේ උසස් අධ්‍යයන ආයතන වලින් 41%ක් පමණත්, පාසැල් විශාල ප්‍රමාණයකුත් කැන්වස් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතා කරන අතර එම ආයතන වල උගන්වන පාඨමාලා හා අදාළ සටහන්, පැවරුම් හා විභාග ආදිය සිසුන් වෙත ලබා දෙන්නේ කැන්වස් යෙදුම් මෘදුකාංග වේදිකාව හරහායි. පසු ගිය බ්‍රහස්පතින්දා ෂයිනිහන්ටර්ස් නම් වූ සයිබර් අපරාධකරුවන් කණ්ඩායමක් විසින් මෙම පද්ධතියට අනවසර ප්‍රවේශයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

ලෝකයේ වෙනත් රටවල් ගණනාවක ඉගෙනුම් කළමනාකරණ පද්ධති වෙළඳපොළ තුළ වෙළඳපොළ ප්‍රමුඛයා වන්නේ මූඩල් යෙදුම් මෘදුකාංගය හෝ D2L, බ්ලැක්බෝඩ් වැනි වෙනත් යෙදුම් මෘදුකාංගයක් වුවද, එම අනෙකුත් රට වලටද, වෙළඳපොළ ප්‍රමුඛයා නොවේනම්, කැන්වස් යෙදුම් මෘදුකාංගටද සැලකිය යුතු වෙළඳපොළ පංගුවක් තිබෙනවා. 

සයිබර් ප්‍රහාරකයින්ට අනුව, මෙම සයිබර් ප්‍රහාරය ලොව පුරා අධ්‍යයන ආයතන නව දහසකට පමණ බලපෑමක් සිදු කර තිබෙනවා. මෙම උසස් අධ්‍යාපන ආයතන අතර ඇමරිකාවේ හාවඩ්, MIT, කොලොම්බියා, බර්කලී වැනි විශ්ව විද්‍යාල මෙන්ම ඔක්ස්ෆර්ඩ්, ටොරොන්ටෝ, ඇඩිලේඩ්, ඕක්ලන්ඩ්, හොන්කොන් පොලිටෙක්නික් වැනි ලොව පුරා රටවල් ගණනාවක පිහිටි ප්‍රධාන පෙළේ සරසවි ගණනාවක් තිබෙනවා.

ඇමරිකාව, කැනඩාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල අධ්‍යයන වර්ෂය සාමාන්‍යයෙන් අවසන් වන්නේ මැයි මාසයේදීයි. මෙම ප්‍රහාරය සිදු වූයේ බොහෝ උසස් අධ්‍යාපන ආයතන වල අවසන් විභාග පැවැත්වෙන සතියේදී වන අතර, එම හේතුවෙන් එහි බලපෑම විශාල ලෙස වැඩි වී තිබුණා.

බ්‍රහස්පතින්දා ප්‍රහාරය සිදු වූයේ අදාළ කණ්ඩායම විසින් ඊට පෙර සිදු කර ඇති දත්ත සොරකමක දෙවෙනි පියවරක් ලෙසයි. මෙම පළමු අදියරේදී කැන්වස් යෙදුම් මෘදුකාංගය හරහා සිසුන් මිලියන ගණනකගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට සමත් වූ බව දැනුම් දෙමින් අදාළ කණ්ඩායම විසින් ඉන්ස්රක්චර් සමාගම වෙතින් කප්පම් ලබා ගැනීමට උත්සාහ කළද, එයට ප්‍රතිචාර ලෙස ඉන්ස්රක්චර් සමාගම විසින් කළේ සිය පද්ධතියේ ආරක්ෂාව තර කෙරෙන ක්‍රියාමාර්ග ගැනීමයි. තමන්ගේ මුල් ඉල්ලීම නොසලකා හැරීම පිළිබඳව නොසතුටට පත් වූ හැකර් කණ්ඩායම විසින් ඉන්ස්රක්චර් සමාගමේ පාරිභෝගිකයින් වන ආයතන නව දහසකට ආසන්න ප්‍රමාණයක ලැයිස්තුවක් ප්‍රසිද්ධ කර එම ආයතන වලින් කප්පම් ඉල්ලා සිටියා.

ඉහත ආයතන වලට එම ආයතන වල රහසිගත තොරතුරු ප්‍රසිද්ධ කරනු ලැබීම වලක්වා ගැනීම සඳහා හැකරුන් සමඟ එකඟතාවයකට පැමිණීමට ලබා දී තිබුණු අවසන් දිනය අද දිනයයි (මැයි 12). මේ වන විට වාර්තා වන පරිදි, ඉන්ස්ට්‍රක්චර් සමාගම විසින් ෂයිනිහන්ටර්ස් කණ්ඩායම සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, සොරකම් කරන ලද දත්ත මකා දැමීමට ඔවුන් එකඟ වී තිබෙනවා. 

මේ සමස්ත සිදු වීම මෙවැනි තවත් සයිබර් අපරාධ ප්‍රවර්ධනය කෙරෙන පූර්වාදර්ශයක් වෙයිද? 

7 comments:

  1. @ ඉකොනෝ

    ඔය කැන්වස් LMS ප්ලැට්ෆෝම් එකට එල්ල වුණේ ඇත්ත සයිබර් ඈටෑක් එකක් නේ, ඒක ඇත්ත හැකර් ගේමක්.

    ලංකාවේ වුණේ තනිකරම හොරකම් කරලා හැකර් කතාවක් කියලා ඒක වහපු එකක් බවයි පේන්නේ එහෙම නේද? ගොඩක් මිනිස්සු ලංකාවේ කේස් එක ඇත්ත හැකර් ගේම් එකක් නෙවෙයි කියලයි විශ්වාස කරන්නේ

    දැනට අනාවරණය වී තිබෙන තොරතුරු සහ ජනතාව විශ්වාස කරන ආකාරයට ලංකාවේ සිදුවීම හැකර් ප්‍රහාරයක් නෙවෙයි, IT විද්‍යාවයි රාජ්‍ය මූල්‍ය ආර්ථික විද්‍යාවයි දෙකම එකතු කරලා කරපු පට්ට පල් බොරුවක් සහ මහා පරිමාණ ඇතුළාන්ත මංකොල්ලයක් බවයි ලංකාවේ ප්‍රචලිත මතය නමුත් ඇමරිකන් කැම්පස් එක්සෑම් ප්ලැට්ෆෝම් හැක් කරනවා වගේ සංකීර්ණ සයිබර් ක්‍රියාකාරකම් කරන්න පුළුවන් දක්ෂයෝ ඔය රාජ්‍ය පද්ධති ඇතුළේ නැති බව අපි දන්නවා, නමුත් සිදුවෙලා තියෙන්නේ NPP/JVP ආණ්ඩුවේ ලොක්කෝ තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා භාණ්ඩාගාරයේ සල්ලි ටික වෙනත් පුද්ගලික ගිණුම්වලට හරවලා, ඒක වහන්න "සයිබර් ප්‍රහාරයක්" කියන ලේබලය අලවපු එක බවයි දැන් ලංකාවේ බහුතරයක් දෙනා විශ්වාස කරන්නේ

    ලංකාවේ එක ද්විත්ව ඛේදවාචකයක් විදිහටයි පේන්නේ

    එක පැත්තකින් රටේ මූල්‍ය විගණනය සහ ඩිජිටල් ආරක්ෂාව (Cybersecurity Core Architecture) බිංදුවටම දාලා ලෝකය ඉස්සරහා ලංකාව විහිළුවක් කරලා, අනෙක් පැත්තකින් ආර්ථික විද්‍යාත්මකව රටේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය (Fiscal Policy) සහ මහජන ධනය දේශපාලන හිතවතුන් අතරේ බෙදාගෙන තියෙනවා. මුන් මේ කරන්නේ හැකර්වරුන්ට බැන බැන තමන්ගේම හොරකම සාධාරණීකරණය කරන එක මිසක් වෙන දෙයක් නෙවෙයි, ඒ නිසා සයිබර් තර්ජන කියන තාක්ෂණික වචනවලට රැවටෙන්නේ නැතිව මේ සිස්ටම් එක ඇතුළෙන්ම සිද්ධ වෙච්ච දේශපාලන මංකොල්ලය ගැන සමාජය දැනුවත් කරන්න ඕනේ.

    මේ සිදුවීමට අදාළ තාක්ෂණික පරීක්ෂණ වාර්තා හෝ ලංකාවේ මූල්‍ය විගණන වාර්තා මඟින් අනාවරණය වී ඇති නිශ්චිත කරුණු පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කරන්න ඕනේ, මේ ආණ්ඩුව නම් කරන එකක් නැහැනේ ඒ නිසාම අලුත් ආණ්ඩුවක් බිහි කරගෙන සියලුම හොරු අල්ලන්න හෝ නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න ඕනේ

    ReplyDelete
  2. @ Economatta

    ලංකාවේ පාලන බලය හිමිකරගෙන සිටින වර්තමාන දූෂිත ජාතික ජන බලවේග ආණ්ඩුව 2026 යෝජිත නව බදු සංශෝධන, රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීමට සහ ඩිජිටල් ආර්ථිකය බදු දැලට හසුකර ගැනීමට දරන සාධනීය උත්සාහයක් ලෙස පැවසූවත්, බදු ගෙවන්නන් හා සම්බන්ධ වන සිවිල් වැරදි සඳහා මාස 6ක් වැනි බන්ධනාගාර දඬුවම් සහ රුපියල් මිලියන ගණනින් දඩ පැනවීම් වැනි සාපරාධී නීති (Criminal Slabs) හඳුන්වා දීම අතිශය දැඩි මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන මර්දනකාරී පියවරකි.

    මීට පෙර මිලියන හැටකට වැඩි ආයතනවලට පනවා තිබු වැට් (VAT) ලියාපදිංචි සීමාව මිලියන 36 දක්වා පහත හෙළීම නිසා, තාක්ෂණික හෝ ගණකාධිකරණ දැනුමක් නොමැති රටපුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙකු (උදාහරණයක් ලෙස ගමේ සාමාන්‍ය සිල්ලර කඩ හිමියෙකු හෝ කුඩා ඇඟලුම් ව්‍යාපාරිකයෙකු) නොදැනුවත්කම නිසා හෝ පරිපාලනමය ප්‍රමාදයකින් බදු වාර්තාවක් (Tax Return) ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, ඔහුව සාමාන්‍ය අපරාධකරුවෙකු මෙන් සිරගත කිරීමට මෙම නව 185A වගන්තිය මඟින් අවකාශ සැලසේ.

    රටේ පවතින සංකීර්ණ බදු ක්‍රමවේදය සරල නොකර සහ ජනතාව දැනුවත් නොකර, බැංකු ගිණුම්වලට TIN අනිවාර්ය කරමින් සහ වැරදි ස්වයං-ප්‍රකාශන සඳහා රුපියල් 200,000ක දඩ ගසමින් රාජ්‍යය විසින් දියත් කර ඇති මෙම "දඩ බදු සංස්කෘතිය" හරහා සිදුවන්නේ ව්‍යාපාරික පරිසරය තවදුරටත් අධෛර්යමත් වීම සහ බදු නිලධාරීන් අතට අසීමිත බලයක් ලැබී දූෂණය තවදුරටත් ඉහළ යාම පමණි.

    මෙම නව බදු නීති ක්‍රියාත්මක වීමේදී පෞද්ගලික අංශයට හෝ කුඩා ව්‍යාපාරවලට සිදුවන බලපෑම පිළිබඳව හෝ බදු සහන ලබාගත හැකි නීත්‍යානුකූල ක්‍රමවේද ගැන වැඩිදුර විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුලුවන්ද?

    ඒ වගේම නව 2026 දේශීය ආදායම් පනතට ඉදිරිපත් කර ඇති නව සංශෝධන මගින් බදු ගෙවන්නන්ගේ මූලික පරිපාලනමය ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් දැඩි අපරාධමය දඬුවම් හඳුන්වා දීමට රජය සූදානම් වෙයි. මීට පෙර පරිපාලනමය අවශ්‍යතාවයන් ලෙස පමණක් සැලකූ ඇතැම් බදු බැඳීම් උල්ලංඝනය කරන්නන්ට එරෙහිව, මින් ඉදිරියට රුපියල් 400,000 සිට මිලියන දෙකක් දක්වා දඩ මුදලක් හෝ අවම මාස හයක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමට මෙම නව පනත් කෙටුම්පත මගින් අවස්ථාව සලසා දී ඇත. මේවා කොයි තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ද යන්න ගැනත් ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  3. වසර හතක දිගු නිශ්ශබ්දතාවයකට පසු 2019 G20 සමුළුවට පසු මුල්ම වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෂී ජින්පින් චීනයේ බීජිං නුවරදී ආයෙත් මුහුණට මුහුණ හමුවීම මුළු ලෝකයටම ලොකු බලාපොරොත්තුවක් ගෙනත් දෙන සිදුවීමක්. පහුගිය කාලේ තිබුණු බදු ප්‍රශ්න, වෙළඳ ආරවුල් සහ යුදමය අර්බුද මැද ලෝකයේ බලවත්ම නායකයෝ දෙන්නා මේ විදියට එකට වාඩිවෙලා කතා කරන එකෙන් ලෝක වෙළඳාම ස්ථාවර වෙලා බඩු මිල අඩු වෙන්න වගේම, ඉරාන සහ තායිවාන අර්බුද සමනය වෙලා ලෝක සාමය ඇති වෙන්නත් ලොකු පිටුවහලක් ලැබෙනවා. ඒ වගේම ඇපල් සහ ටෙස්ලා වැනි දැවැන්ත සමාගම්වල නායකයනුත් මේ සංචාරයට එකතු වෙලා ඉන්න නිසා, කෘතිම බුද්ධිය (AI) සහ අර්ධ සන්නායක වැනි අනාගත තාක්ෂණික ක්ෂේත්‍රයන්හි අලුත් ආයෝජන අවස්ථා රැසක් බිහි වෙන්න නියමිතයි. කෙටියෙන්ම කිව්වොත්, දෙරට අතර ඇති වන මේ නව මිත්‍රත්වය ඉදිරි කාලයේදී මුළු ලෝකයේම ආර්ථිකය, ආරක්ෂාව සහ තාක්ෂණය මොන වගේ වෙයිද කියලා තීරණය කරන වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙනවා නිසැකයි. මෙතනදී එකිනෙකාට නොදෙවැනි වන නායකත්ව පෞරුෂයන් දෙකක්, හැබැයි ෂී ඉතාමත්ම පැහැදිලිවම ටිකක් ඉහළින් ඉන්න එක පේනවා නමුත් දෙන්නාම හොඳයි, ලංකාවේ කෙබර කොට පඟර නැට්ටා වගේ හාල් පාරුවෙක් නම් මේ නායකත්වයට ළඟින් වත් තියන්න බෑ නේද? කොහොම හරි මේ දෙන්නාම එකතු වෙලා ලංකාව වගේ රට වලට තරගෙට කෙළී ද දන්නෙත් නෑ නේද?

    ReplyDelete
  4. ලෝක දේශපාලන කරළියේ ප්‍රබලයන් වන ට්‍රම්ප් සහ ෂී ජින්පින් වැනි දැවැන්තයන් තමන්ගේ බලය තහවුරු කරගන්න කතා කරද්දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දැඩි කොන්දේසි, ඉහළ බදු සහ දරාගත නොහැකි ජීවන වියදම හමුවේ අසරණ වෙලා තියෙන ලංකාවේ ආර්ථිකය දෙස බලද්දී ඇති වෙන්නේ ඇත්තටම මහත් කණගාටුවක් සහ අනුකම්පාවක්.

    ලංකාවේ දුර්වල රාජ්‍ය මූල්‍ය පාලනය නිසාම මෑත කාලයේ මුහුණ දුන් දරුණු ආර්ථික කඩාවැටීම මදිවාට, විදුලි සහ ඉන්ධන මිල මාසෙන් මාසෙට ඉහළ දමමින් මහජනතාව පිට පටවා ඇති මේ අනුකම්පා විරහිත අධික බර නිසා රටේ සාමාන්‍ය මිනිසුන් අද ජීවත් වෙන්නේ දැඩි පීඩනයකින්. ඉතින් ලෝක බලවතුන් දෙන්නා තමන්ගේ වාසිය වෙනුවෙන් එකතු වෙලා අලුත් ගෝලීය නීති හදනකොට, දැනටමත් අමානුෂික IMF කොන්දේසි නිසා හෙම්බත් වෙලා, අනාගතය අඳුරු වුණු ලංකාව වැනි අසරණ රටවල් තවත් අසරණ වෙලා, ඔවුන්ගේ වෙළඳපොළවල් සහ ණය සහන ක්‍රියාවලීන් තවදුරටත් අවදානමකට ලක්වේවිද කියන එක හදවතට මහත් වේදනාවක් ගෙන දෙන කටුක ඇත්තක්.

    මේ තත්ත්වය යටතේ ඉදිරියේදී ලංකාවේ ජීවන වියදම තවදුරටත් ඉහළ යෑම පාලනය කරගන්නේ කොහොමද කියලා විස්තර කරන්න පුළුවන්ද ඉකොනෝ

    ලංකාව වගේ රටක දුප්පත් අසරණ ජනතාවට සහන සැලසීමේ ක්‍රමවේදයන් ගැන මේ නායකයන්ගේ අවධානය යොමුකරන්නට පුළුවන් වෙයි ද?

    ReplyDelete
  5. හැකර් මකරු ලෝකය ගිල ගනීවිද
    තාක්ෂණයෙ ගමනට තිත් වැටේවිද

    ReplyDelete
  6. ඉකොනෝ, සරලවම කිව්වොත් Phishing කියන්නේ හැකර්ලා බැංකු, Facebook හෝ Google වගේ අපි විශ්වාස කරන ආයතන විදියට පෙනී සිටිමින් ව්‍යාජ ඊමේල්, SMS හෝ ලින්ක්ස් එවලා, අපේ ගිණුම්වල Password සහ බැංකු තොරතුරු රවටලා සොරකම් කරන ඩිජිටල් වංචාවකට, ඔයා කියන ඇමරිකානු පාසල් සහ විශ්වවිද්‍යාල මිලියන ගණනක් පාවිච්චි කරන Canvas LMS (Learning Management System) කියන අධ්‍යාපන පද්ධතියටත් ඔය වගේ ක්‍රම පාවිච්චි කරලා ShinyHunters කියන හැකර් කණ්ඩායම දරුණු ප්‍රහාරයක් එල්ල කරලා සිසුන් සහ ගුරුවරුන් මිලියන 275කගේ පෞද්ගලික දත්ත ටෙරාබයිට් 3.6ක්ම හොරකම් කරපු නිසා වාර අවසාන විභාග පවා අවලංගු කරන්න සිද්ධ වුණා. ඒ නිසාම, මේ වගේ ප්‍රහාරවලින් බේරෙන්න නම් එන එන ලින්ක්ස් ක්ලික් කරන්නේ නැතුව වෙබ් සයිට් එකේ නම (URL) හරියටම පරීක්ෂා කරන්න ඕන වගේම හැම එකවුන්ට් එකකටම Two-Factor Authentication (2FA) සක්‍රිය කරලා තියාගන්න එක අනිවාර්යයි.

    ඊළඟට ඔයාගේ Facebook, Google හෝ WhatsApp ගිණුම්වල මේ කියපු 2FA ආරක්ෂාව දාගන්න විදිය ගැන පෝස්ට් එකක් ලියන්න පුළුවන් නම් හොඳයි

    ලංකාවේ දේශපාලන හැකර්ලා ඡන්ද හොරකම් කරන්නෙත් ඔහොමයි අර නලින් හේවගේ මැතිවරණ වේදිකාවල කෑගහපු ලක්ෂ දොළහේ විට්ස් (Vitz) කාර් කතාව මතකද?

    ඕනෑම ආර්ථික විද්‍යා මූලධර්මයක් දන්න, නැත්නම් සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිහෙක් දන්නවා ලෝක වෙළඳපොළේ වාහනයක නිෂ්පාදන වියදම, නැව් ගාස්තු, සහ රටක පවතින විදේශ විනිමය අර්බුදය එක්ක ලක්ෂ 12 කට කාර් දෙන්න බෑ කියලා. ඒක නිකන්ම නිකන් ඡන්ද ගුන්ඩුවක් විතරයි. දැන් මොකද කියන්නේ? 'මම එහෙම කිව්වේ නෑ, කිව්වේ බදු ගැන' කියලා ඇඟ බේරගන්න හදනවා. ඒක හරියට ඇකඩමික් ශාස්ත්‍රීය ලේඛනයක වැරදි දත්ත දාලා, පස්සේ ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක් කියනවා වගේ වැඩක්.

    ඊළඟ එක තමයි අපේ අතිගරු ජනාධිපති ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවේ කරපු අර 'Ditwah' කුණාටු ප්‍රකාශය. ටකරමක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කිව්වාම, මට හිතුණේ ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මෙච්චර සරලද කියලා. ඩොලර් බිලියන ගණන් ණය වෙලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) එක්ක කොන්දේසි දාගෙන ඉන්න රටක, එක ටකරමකට ලක්ෂ දහයක් දෙන්න තරම් රාජ්‍ය භාණ්ඩාගාරය සරුසාරද?

    ඔය ටෝක් දීලා දැන් මොකද වෙලා තියෙන්නේ? මිනිස්සු ප්‍රාදේශීය ලේඛකාධිකාරී කාර්යාල ගානේ රස්තියාදු වෙනවා. 2026 ජූනි වෙනකන් කල් දාලා තියෙනවා වන්දි ඇගයීම් කරන්න.මේවා හරියට මචං... අර පර්යේෂණ යෝජනාවලියක (Research Proposal) කිසිම ප්‍රායෝගික පදනමක් නැතුව ලොකු ලොකු ප්‍රතිඵල පෙන්නලා, අන්තිමට Project එක කරගෙන යද්දී මුකුත්ම නැතිවෙනවා වගේ වැඩ. දේශපාලකයෝ කරන්නේ මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක. ඇකඩමික් පැත්තෙන් බැලුවත්, ප්‍රායෝගික පැත්තෙන් බැලුවත් මේවා පට්ටපල් බොරු බයිලා මිසක් වෙන මොනවාද? ලංකාවෙ ඇකඩමික් උන් පවා මේවා දැක දැකත් නිහඬව ඉන්න එකයි කණගාටුව...

    ReplyDelete
  7. ලංකාවේ 2026 වසරේ නව නීති සම්පාදනය අනුව වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම ලබාගැනීම අනිවාර්ය කර ඇති බදු හඳුනා ගැනීමේ අංකය හෙවත් TIN අංකය (Taxpayer Identification Number - TIN) ලබා නොගැනීම, නිසි ලෙස බදු ගොනු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ අවශ්‍ය මොහොතක පෙනී නොසිටීම අපරාධමය වරදක් ලෙස සැලකෙන සංශෝධන දේශීය ආදායම් පනතට එක්කර තිබේ.

    මෙම සංශෝධනවලට අනුව රුපියල් ලක්ෂ 4ක් දක්වා දඩයකට හෝ මාස 6ක සිරදඬුවමක් එම අපරාධමය වරද සම්බන්ධයෙන් ලබාදිය හැකි බව සඳහන් වේ.

    මෙම සංශෝධන ඇතුළත් දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත 2026 පෙබරවාරි 24 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, ලබන මැයි 19 වැනි අඟහරුවාදා මෙම සංශෝධිත පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.