Saturday, January 21, 2017

ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය හා ශනි මාරුව

අද 2017 ජනවාරි 21යි.  2014 නොවැම්බර් දෙවෙනිදා සිට වෘශ්චික රාශියේ සිටි ශනි ග්‍රහයා තව දින පහකින්, ජනවාරි 26 දින, වෘශ්චික රාශියෙන් ධනු රාශියට ගමන් කිරීමට නියමිතය. කෙසේ වුවද, මෙසේ ධනු රාශිය බලා ඉදිරියට යන ශනි ග්‍රහයා අප්‍රේල් 7 වනදා නැවත ආපසු හැරේ. එසේ ආපස්සට එන ශනි ග්‍රහයා ජූනි 21 දින ආපසු වෘශ්චික රාශියට ඇතුළු වේ. ඉන්පසු නැවතත් දිශාව මාරුකර ඉදිරියට ගොස් ඔක්තෝබර් 26 වනදා ධනු රාශියට නැවත ඇතුළු වේ. එසේ ඇතුළු වීමෙන් පසුව නැවතත් කිහිප වරක් ආපසු හැරුණත්, 2020 ජනවාරි වන තුරු ශනි ග්‍රහයා ධනු රාශියෙන් පිටවන්නේ නැත.

ශනි ග්‍රහයා වෘශ්චික රාශියට පැමිණ දෙමසකින් 2015 ජනවාරි 8 දින පැවැත්වුණු ජනාධිපතිවරණය ජයගත් මෛත්‍රීපාල සිරිසේන පසුදින ලංකාවේ හත්වන ජ
නාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරදා මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීම බොහෝ දෙනා විප්ලවයක් ලෙස හඳුන්වති.

විප්ලව ගැන කතා කරන විට ප්‍රංශ විප්ලවය හා රුසියන් විප්ලවය ගැන කතා නොකරම බැරිය. කාලයක් තිස්සේ ස්ථාපිතව පැවති රාජාණ්ඩු ක්‍රමයේ අවසානය සනිටුහන් කරන තීරණාත්මක කඩඉමක් වන්නේ ප්‍රංශ විප්ලවයයි.

ඇමරිකානු ජනපදිකයින් බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිව යුද ප්‍රකාශ කරමින් ඇමරිකා එක්සත් ජනපදය පිහිටවීමට දෙවසරකට පෙර, 1774 වසරේදී, එවකට එකුන් විසි වියැති ලාබාල තරුණයෙකුව සිටි ලුවී-ඔගස්තේ දහසයවන ලුවී නමින් ප්‍රංශයේ ඔටුනු පළන් නමුත් ඔහුට හිමි වුණේ පිරුණු භාණ්ඩාගාරයක් නොවේ.

සිය ආධිපත්‍යය ලෝකය පුරා පවත්වා ගැනීම හා තවදුරටත් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් කාලයක් තිස්සේ රටේ සම්පත් වැයකරමින් සිටි ප්‍රංශය දහසයවන ලුවී රජවන විටත් ණය බරින් බොහෝ හෙම්බත්ව සිටියේය. 1763දී අවසන් වූ  සත්-අවුරුදු යුද්ධයෙන් බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුධ සන්ධානය හමුවේ පැරදී සිටි ප්‍රංශයට එම යුද්ධයේදී ඇමරිකාවේ හා කැනඩාවේ විශාල භූමි ප්‍රමාණයක් මෙන්ම උතුරු ඉන්දියාවේ ඔවුන් සතුව පැවති බිම් පෙදෙස්ද අහිමිවීම සතුටු විය හැකි කරුණ
ක්ව නොපැවතියේය. මෙයට එකට එක කිරීමක් ලෙස, බ්‍රිතාන්‍යයට එරෙහිව සිදුකළ ඇමරිකානු නිදහස් අරගලයේදී සෘජුව හා වක්‍රව ඇමරිකානු ජනපදිකයින්ට උදවු කිරීම හේතුවෙන් ප්‍රංශයේ ආර්ථික ශක්තිය තවදුරටත් දුර්වල විය.

මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා බදු දැඩි ලෙස වැඩිකරමින් දහසයවන ලුවී රජු විසින් ගත් උත්සාහය රටේ බොහෝ දෙනෙකු විශාල ලෙස පීඩාවට පත් කළේය. සාමාන්‍ය ජනතාවට මෙසේ පටි තදකර ගැනීමට සිදු වුවත් රජ පවුල හෝ ඔවුන් වටා සිටි පූජකයින් හා ඉඩම් හිමියන් වෙතින් එවැනි කැපකිරීමක් සිදු වුනේ නැත. මේ අතර සිදුවූ ආර්ථික පීඩනය හමුවේ ජනතාව පාන් ඉල්ලා මැසිවිලි නඟද්දී, පාන් නැත්නම් කේක් කන ලෙස දැනුම් දුන් මාරි ඇන්ටනොයිට්, දහසයවන ලුවී රජුගේ බිසව, ගැන කවුරුත් වාගේ අසා තිබේ. මෙවැනි කතාවක් මාරි ඇන්ටනොයිට් විසින් කියූ බවට කිසිදු සාක්ෂියක් නැති අතර එය දැන් සැලකෙන්නේ මාධ්‍ය මඟින් දිගින් දිගටම ප්‍රචාරණය කෙරුණු ජනප්‍රිය ප්‍රබන්ධයක් වශයෙනි. කෙසේ වුවද මේ කතාවෙන් පෙන්වන්නට හදන ප්‍රංශයේ එවකට පැවති තත්ත්වය ව්‍යාජයක් නොවේ.

ලාංකිකයින්ගේ ප්‍රධාන ආහාරය බත් වනවාක් මෙන් ප්‍රංශ ජාතිකයින්ගේ ප්‍රධාන ආහාරය පාන්ය. ප්‍රංශ රජු 'රටේ ප්‍රධාන බක්කරේ' (ජාතියට පාන් සැපයීමේ වගකීම ඇති ප්‍රධාන තැනැත්තා) ලෙසද හැඳින්වුනේය. ආර්ථික අර්බුදයට සමාන්තරව රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයද පහත වැටීම විසින් රට තුළ ඇති කළේ සුළුපටු අර්බුදයක් නොවේ. මේ වන විට ප්‍රංශයේ හඳුන්වා දී තිබුණු ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් තරඟකාරී ධාන්‍ය වෙළඳපොළක් ඇති වනවා වෙනුවට ඇති වී තිබුණේ කතිපයාධිකාරී වෙළඳපොළකි. ධාන්‍ය නිෂ්පාදනය පහත වැටී ඉල්ලුම් සැපයුම් වෙනස පුළුල් වෙද්දී, ධාන්‍ය මිල වේගයෙන් ඉහළ යන්නට විය. ධාන්‍ය වෙළඳපොළ තුළ බලපෑමක් කළ හැකිව සිටි අය මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් පසුව වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් ධාන්‍ය මිලදී ගෙන වෙළදපොළට නිකුත් නොකර ගබඩා කරගැනීම නිසා ජනතාවට ආහාර හිඟය මෙන්ම ආහාර මිලද ඉතා දරුණුවට දැනෙන්නට විය.

මේ කරුණු හා තවත් කරුණු ප්‍රංශ විප්ලවයට පසුබිම සැකසීය. දහසයවන ලුවී රජු බලයෙන් පහකෙරුණු අතර අදට හරියටම අවුරුදු 224 කට පෙර 1793 ජනවාරි 21 දින ඔහුට ගිලටීනයට හිස තබන්නට විය. එම වසරේ ඔක්තෝබර් 16 දින මාරි ඇන්ටනොයිට් බිසවටද ඒ ඉරණමම අත් විය.

දහසයවන ලුවී රජුට හා මාරි ඇන්ටනොයිට් බිසවට මරණ දඬුවම හිමි කරදුන් ප්‍රංශ විප්ලවය විසින් පසුකාලීන ලෝක දේශපාලනය වෙත කළ බලපෑම ඉතා විශාලය. 1789දී එළිදැක්වුණු මිනිස් හා පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය අද ජනප්‍රිය මාතෘකාවක් වී ඇති මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය බිහි කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය. එමෙන්ම, ප්‍රංශ විප්ලවයෙන් පසුව ගත වුනු කාලය තුළ රාජාණ්ඩු ක්‍රමයට විකල්ප ලෙස ලිබරල්, ජාතිකවාදී, සමාජවාදී ආදී විවිධ අදහස් වේගයෙන් වර්ධනය විය.

යුරෝපයේ හා යුරෝපයෙන් පිටත රාජාණ්ඩු විස්ථාපනය කරමින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් ජනරජ බිහිවෙද්දී, 1917 දී සිදු වූ රුසියන් විප්ලවය ලෝක දේශපාලනය නැවතත් වෙනස් කළේය. සමාජවාදී රුසියාවේ හා සෝවියට් දේශයේ පළමු නායකයා වූ ව්ලදිමීර් ලෙනින් විසින් මාක්ස්වාදය මත පදනම් වූ සමාජවාදී මිශ්‍ර ආර්ථිකයක් සමඟ තනි පක්ෂයක පාලනයට නතු වූ, පසුව ලෙනින්වාදය ලෙස හඳුනාගැනුණු, දේශපාලන ක්‍රමයක් හඳුන්වා දුන්නේය.

අදට හරියටම වසර 93 කට පෙර 1924 ජනවාරි 21 දින ලෙනින් මිය ගියේය. ලෙනින්ගෙන් පසුව බලයට පැමිණි ජෝශප් ස්ටාලින් සෝවියට් ආර්ථිකය මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් බවට පරිවර්තනය කරමින් ජාතික සමාජවාදයක් කරා යොමු විය. ස්ටාලින් යටතේ මෙන්ම ඉන් පසුවත් විවිධ වෙනස්කම් වලට බඳුන් වුනු එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය අවසානයේදී බිඳ වැටුණේය.

දහසයවන ලුවී රජුට මරණ දණ්ඩනය හිමි වුනු හා ලෙනින් මියගිය ජනවාරි 21 දිනයේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ අදට හරියටම වසර 156 කට පෙර 1861දී එවකට මිසිසිපි ප්‍රාන්තය නියෝජනය කළ ඇමරිකානු සෙනෙට් සභිකයෙකු වූ ජෙෆර්සන් ඩේවිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. තවත් සති හතරකට පසුව, 1861 පෙබරවාරි 18 දින ජෙෆර්සන් ඩේවිස් ඇමරිකා සහසන්ධීය රාජ්‍යයන්හි (Confederate States of America) පළමු (හා එකම) ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඇමරිකානු සිවිල් යුද්ධය ඇමරිකා එක්සත් රාජ්‍යයන්ට (ජනපදයට) ජයග්‍රහණය හිමි කරදෙමින් අවසන් වූ බැවින් ජෙෆර්සන් ඩේවිස්ගේ ඉල්ලා අස්වීමට ලෝක ඉතිහාසයේ හිමි වී ඇත්තේ අඩු වැදගත් කමකි.

ඊයේ, 2017 ජනවාරි 20, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් රාජ්‍යයන්හි 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය වැඩි දෙනෙකු (විශේෂයෙන්ම ඇමරිකාවෙන් පිටත) අපේක්ෂා කළ එකක් නොවේ. කෙසේ වුවද, විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති, ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහණ විජේමුණිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන ස්ථිරවම කියන්නට පුළුවන්කම තිබුණේය. මීට පෙර, මෛත්‍රීපාල සිරිසේන ලංකාවේ ජනාධිපති වන බවද ඔහු හරියටම කියා තිබේ.


විජිත රෝහණ විජේමුණි විසින් කියා ඇති තවත් අනාවැකියක් වන්නේ (ශනි මාරුව සිදුවන) 2017 ජනවාරි 26 දිනට පෙර අනිවාර්යයයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනයට ලක් වන්නට ඉඩ ඇති බවයි. මේ මාරකයෙන් ගැලවීම සඳහා ලංකාවේ ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කර, මී හරකුන් 19 දෙනෙකු නිදහස් කළ යුතු බවත් එවැනි දෙයක් නොකළහොත් මේ මරණය කිසිදු ජගතෙකුට වැළැක්විය නොහැකි බවත් ඔහු පවසා තිබුණේය.

ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරීම අඩුම වශයෙන් 50%ක ඉඩකඩක් තිබුණු දෙයකි. ඒ නිසා, කිසිදු පදනමක් නැතිව වුවද ඔහුගේ ජයග්‍රහණය ගැන නිවැරදි අනාවැකියක් කීමට විශාල ඉඩකඩක් තිබුණේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන තිබුණේ මීට වඩා අඩු තක්සේරුවකි. බොහෝ ජනමත සමීක්ෂණ වලින් හිලරි ක්ලින්ටන්ට ට්‍රම්ප්ට වඩා වැඩි කැමැත්තක් ඇති බව පෙන්වූයේය. ඇත්තටම හිලරි ක්ලින්ටන් ලැබූ ජනප්‍රිය ඡන්ද ප්‍රතිශතය සැලකූ විට මේ සමීක්ෂණ වැරදි නැත. කෙසේ වුවද, මාධ්‍ය මඟින් අවධාරණය නොකෙරුණද හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරන බව පෙන්වූ ජනමත සමීක්ෂණ වැඩි ප්‍රමාණයක්ද ට්‍රම්ප් ජයග්‍රහණය කරන්නට 20-40%ක ඉඩක් ඇති බව පෙන්වුවේය. ඒ අනුව, ට්‍රම්ප් ජයගන්නා බවට අහඹු ලෙස කියන අනාවැකියක් හරියන්නට වුවද අඩුම වශයෙන් 20%ක පමණවත් ඉඩක් තිබුණේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ උපන් වයස 65ක් වන පිරිමියෙකුගේ ඉතිරි වී ඇති අපේක්ෂිත ආයුකාලය වසර 15කි. එනම්, එවැන්නෙකු වසර 15ක් ඇතුළත මියයාමට 50%ක පමණ ඉඩක් තිබේ. එමෙන්ම වසර 5ක් ඇතුළත මිය යාමට ඇති ඉඩකඩ 12.4%ක් පමණ වන අතර වසරක් තුළ මියයාමට ඇති ඉඩකඩ 2.6%ක් පමණ වේ. කෙසේ වුවද, 2.6%ක ඉඩකඩක් යනු රුපියල් 30ක් ගෙවා මහජන සම්පත ලොතරැයියක් මිල දී ගන්නා අයෙකුට රුපියල් 60ක ත්‍යාගයක් හිමි වන්නට ඇති ඉඩකඩට වඩා දෙගුණයකටත් වඩා වැඩි ඉඩකඩකි. අහඹු ලෙස කරන මෙවැනි ප්‍රකාශයක් හරියන්නට 1/40ක පමණ ඉඩක් තිබේ.

රාජ්‍ය නායකයෙකු ඝාතනය වන්නට ඇති ඉඩකඩ සාමාන්‍ය පුද්ගලයෙකු මිය යාමට ඇති ඉඩකඩට වඩා බොහෝ විශාලය. විවිධ සාධක ඇසුරින් තර්කානුකූලව කරුණු පෙළගස්වමින් කිසියම් රාජ්‍ය නායකයෙකු ඝාතනය වීමට ඇති ඉඩකඩ ගැන අදහස් පළ කරන්නට යමෙකුට පුළුවන්කම තිබේ.

නිදහසින් පසු ලංකාවේ සිටි රාජ්‍ය නායකයින් දොළොස්දෙනෙකුගෙන් දෙදෙනෙකුම ඝාතනය වී ඇති අතර අඩු වශයෙන් තවත් රාජ්‍ය නායකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ දැරුනේය. අසල්වැසි ඉන්දියාවේද රාජ්‍ය නායකයින් දෙදෙනෙකු පසුගිය කාලයේ ඝාතනය වී ඇති අතර එයින් අයෙකු වන රජීව් ගාන්ධිව ඝාතනය කිරීම සඳහා උත්සාහ දැරූ අය අතර රෝහණ විජේමුණිද සිටී. ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙර ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ 44 දෙනෙකුගෙන් සිවු දෙනෙකු ඝාතනය වී ඇති අතර තවත් 16 දෙනෙකු පමණ ඝාතනය කිරීමට උත්සාහ කරනු ලැබ තිබේ. වෙනත් බොහෝ රටවල වාර්තාවන්ද මීට වඩා විශාල ලෙස වෙනස් නැත. ඒ නිසා රාජ්‍ය නායකයෙකු සිය ධුරය උසුලන කාලය තුළ ඝාතනය වන්නට ඉඩ ඇතැයි යමෙකු පළකරන අහඹු අනාවැකියක් හරියන්නට 10-20%ක පමණ ඉඩක් ඇතැයි සිතීම එතරම් නරක ඇස්තමේන්තුවක් නොවේ.


ඉතා වයස්ගත නොවූ නිරෝගී පුද්ගලයෙකු කිසියම් නිශ්චිත දිනයක මිය යාමට ඇති සම්භාවිතාව එතරම් විශාල නැත. වයස අවුරුදු 65ක පිරිමියෙකු සඳහා මේ සම්භාවිතාව 1/10000 පමණ වේ. මෙය මහජන සම්පත ලොතරැයියකින් රුපියල් 10,000ක ත්‍යාගයක් හිමිවීමට ඇති තරමේ ඉඩකඩකි. ඒ නිසා යමෙකු මිය යන දිනය ලෙස හරියටම නිශ්චිත දිනයක් අහඹු ලෙස ප්‍රකාශ කළද එය නිවැරදි වීමට මහජන සම්පතක් ගන්නා අයෙකුට රුපියල් 10,000ක මුදලක් ඇදෙන තරමේ ඉඩකඩක් තිබේ. ලොතරැයි මිල වැඩි කරන්නට පෙර මහජන සම්පත මඟින් සතියකට 500 ඉක්මවා රුපියල් දහදාහේ තෑගි ලබා දුන්නේය.

අනාවැකිය මඟින් ආවරණය වන දින ගණන වැඩිවෙද්දී මෙවැනි අහඹු ප්‍රකාශයක් හරියන්නට ඇති ඉඩකඩ විශාල වේ. ජනවාරි 26 ආසන්න වෙද්දී තමන් විසින් මුල් ප්‍රකාශය කරන විටද දැන සිටි, එහෙත් සැලකිල්ලට ගනු නොලැබූ සංසිද්ධියක් (ශනි ග්‍රහයාගේ ආපසු හැරීම හෙවත් පෘථිවියේ සිටින නිරීක්ෂකයෙකුට පෙනෙන පරිදි ඈතින් පිහිටි නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂ ශනිගේ චලිතයේ දිශානතිය වෙනස් වීම) ඉදිරියට දමමින්, මේ අනාවැකිකරුවා විසින් සිය අනාවැකියේ කාලපරාසය දිගු කරගෙන තිබේ. ජ්‍යෝතිෂ අනාවැකි වල සත්‍යාසත්‍යභාවය පැත්තකින් තිබ්බත් මෙයින් පෙනෙන්නේ මේ පුද්ගලයා විසින් අඩු වශයෙන් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කිරීම හෝ කර නැති බවයි.

ලංකාවේ ලොතරැයි වලට මෙන්ම අනාවැකි කියන්නන්ටත් විශාල ඉල්ලුමක් තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මාරකයෙන් බේරීම සඳහා මීහරක් දහනව දෙනෙකු සොයාගන්නට වැඩිපුර මහන්සි වන්නට අවශ්‍ය නොවනු ඇත.

8 comments:

  1. දැන් මේ මොහොතේත් විජිතමුනි මහත්තයා මිනිසෙකුගේ මරණය පතමින් ඉන්නේ...අනාවැකි කියන උන්ට මුහුණ දෙන්න වෙන කාලකන්නි අවාසනාවන්තකමක් ඒක...

    ReplyDelete
  2. මාරි ඇන්ටොනෙට් බිසව නොකී දෙයක් මීඩියා වලින් හිට් කරලා විප්ලවේ කලා වගේ දෙයක් අපේ මීඩියා වලිනුත් කරන්න පුලුවන්. නමුත් වෙලාවට ෆේස් බුකිය ආවා, වැඩේ හබක්

    ReplyDelete
    Replies
    1. "බත් නැත්තං කොස් කොල, ක්‍රෝටන් කොල කාපං" කිව්ව කියල දැං හිට් කරන්නෙ බුකියෙ නේද?

      Delete
  3. ඔය නිදහස් කරන්න කියන්නේ මඩේ ලගිමින් දැනුත් නිදහසේ ඉන්න මී හරකුන් දහනවදෙනෙකු නොවෙයි, මූල්‍ය වංචා නිසා අත්අඩංගුවේ පසුවෙන් උංව විය යුතුයි.

    ReplyDelete
  4. ජනාධිපති වරණයක් වගේ දේක දිනීමේ සම්භාවිතාව කියන එකට අර්ථයක් තියෙනවද?.
    උදාහරණයක් හැටියට ලොතරැයි දිනුමන් ඇදීමේ සම්භාවිතාව 10% කිව්වොත්,
    ලොතරැයි 10ක් ගත්විට ඉන් එකකට දිනුමක් ඇදියහැකි කිවහැකි. ඒත් ජනාධිපතිවරණයක සම්භාවිතාව ගැන එහෙම කියන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්, ජගත්! මෙය ලොතරැයියක දිනීමේ සම්භාවිතාව ගණනය කරන තරම්ම පහසු දෙයක් නෙමෙයි. මොනවා හෝ සංඛ්‍යාලේඛණ හා උපකල්පන මත කළ යුතු දෙයක්. මේ සඳහා වැඩිපුරම ප්‍රයෝජනවත් වන්නේ ජනමත සමීක්ෂණ ප්‍රතිඵල. ජනමත සමීක්ෂණයක් සඳහා තෝරා ගන්නේ රටේ ඡන්දදායකයින්ගේ අහඹු නියැදියක්. මේ නියැදියෙන් රටේ ඡන්දදායකයින්ගේ මතය පිළිබිඹු වෙන්න විශාල ඉඩක් තියෙනවා. නමුත්, නියැදියේ ප්‍රමාණය කුඩා වන තරමට ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවය අඩුයි. ලොතරැයි වලට නැවත ආවොත් දිනීමේ සම්භාවිතාව 10% නම්, ටිකට්පත් 10ක් ගත් විට එක දිනුමක් ලැබෙන්න වැඩි ඉඩක් තිබුණත් එය ස්ථිරවම කිව නොහැකියි. එය 0,1,2,3,...10 දක්වා ඕනෑම දිනුම් ගණනක් වියහැකියි. මේ සම්භාවිතාවන් ගණනය කළ හැකියි. දිනීමේ සම්භාවිතාව 10%නම් ටිකට්පත් 10ක් ගත් විට කිසිදු දිනුමක් නොතිබීමේ සම්භාවිතාව 34.8678%ක්. හරියටම එක් දිනුමක් තිබීමේ සම්භාවිතාව 36.7420%ක්. ඒ වගේම දිනුම් දෙකක් ලැබෙන්න 19.3710%ක සම්භාවිතාවක් හා දිනුම් තුනක් ලැබෙන්න 5.7396%ක සම්භාවිතාවක් ආදී ලෙස වැඩි දිනුම් ගණනක් ලැබෙන්න ඉඩකුත් තියෙනවා. මෙයට හේතුව නියැදිය අහඹු වුවත් එය කුඩානම් එයින් 'ජනගහණය' ගැන අදහස් පළකිරීමේ හැකියාව සීමිත වීමයි. මේ ආකාරයෙන්ම ජනමතසමීක්ෂණයකින් හිලරි ක්ලින්ටන්ට 52%ක හෝ 60%ක සහයෝගයක් තියෙනවා කියන්නේ ඇය 50%ට වඩා ඡන්ද ගන්න තියෙන සම්භාවිතාවය වැඩි බව මිස එය අනිවාර්යයෙන් සිදුවන බව නෙමෙයි. ට්‍රම්ප් දිනන්නත් එහි ඉඩක් තියෙනවා. මේ සම්භාවිතාවය සංඛ්‍යානමය ක්‍රම භාවිතා කර ගණනය කළ හැකියි.

      Delete
  5. ඇනෝ කෙනෙක් දමා තිබුණු කමෙන්ට් එක පළකලේ නැහැ. ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍යනම් මගේ ලිපිය සැලකිල්ලෙන් කියෙවුවොත් එහි තිබෙනවා.

    //යමෙකු මිය යන දිනය ලෙස හරියටම නිශ්චිත දිනයක් අහඹු ලෙස ප්‍රකාශ කළද එය නිවැරදි වීමට මහජන සම්පතක් ගන්නා අයෙකුට රුපියල් 10,000ක මුදලක් ඇදෙන තරමේ ඉඩකඩක් තිබේ. ලොතරැයි මිල වැඩි කරන්නට පෙර මහජන සම්පත මඟින් සතියකට 500 ඉක්මවා රුපියල් දහදාහේ තෑගි ලබා දුන්නේය.//

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.