අද කියන්න යන්නේ කුණු කතාවක්. මීට කලින් අපේ ගෙදර විදුලි බිල ගැන ලිපියක් දැම්මා. මේක කුණු බිල ගැන.
සැලකිය යුතු මුදලක් වරිපනම් විදිහට ගෙවුවත්, අපේ නගර සභාව කුණු එකතු කරන්නේ නැහැ. වරිපනම් සල්ලි වලින් කරන වෙන දේවල් තියෙනවා. ඒ දේවල් ගැන පසුව වෙන ලිපියක ලියන්නම්.
අපේ ගෙදර කුණු එකතු කරන්නේ පෞද්ගලික සමාගමකින්. අපේ ගෙවල් මන්ඩියේ කුණු එකතු කරන ඒ වගේ සමාගම් දෙකක් තිබෙනවා. ඔය දෙකෙන් කැමති එකක් එක්ක අපට කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන්න පුළුවන්.
සමාගම් දෙකේ ගාස්තු හා සේවය සංසන්දනය කරලා හොඳ එක තෝරා ගන්න එක හරි විදිහ වුනත් මගේ තියෙන කම්මැලි කමට මමනම් එහෙම කළේ නැහැ. දැන් ඉන්න ගෙදරට එන්න කලින් හිටපු ගෙදර ඉඳිද්දී කුණු කොන්ත්‍රාත්තුව දීල තිබුන සමාගම එක්ක ගේ වෙනස් කළාට පස්සෙත් දිගටම හිටියා. ඒ නිසා, අනික් සමාගමේ ගණන් අඩුද සේවය වඩා හොඳද කියලා මම හරියටම දන්නේ නැහැ.
ඔය දාලා තියෙන බිලේ පේන විදිහට අපේ කුණු බිල ඩොලර් 182.54ක්. විදුලි බිල වගේ කුණු බිල මාසෙන් මාසෙට එන්නේ නැහැ. ඔය මාස තුනක බිල. මාසෙකට ඩොලර් හැටක් විතර වෙනවා. ඇමරිකාවේ හැටියට වුනත් සුළු ගාණක්ම කියලා කියන්න බැහැ.
කොන්ත්‍රාත්තුව අනුව අපේ ගෙදරට කුණු බක්කි දෙකක් ලැබී තිබෙනවා. එකක් සාමාන්‍ය කලවම් ගෘහස්ථ කුණු දමන්න. අනෙක් එක ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කුණු දමන්න. වීදුරු, ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුළුවන්.
ඔය කුණු බක්කි දෙකටම දමන්න බැරි කුණුත් තිබෙනවා. පරිසරයට හානිකර විය හැකි පිච්චුණු විදුලි බල්බ, බැහැපු බැටරි වගේ ඒවා. එතකොට ඉතුරු වුනු බෙහෙත් පෙති, තීන්ත (ලැකර්) වගේ ඒවත් දමන්න බැහැ. ඒවා බැහැර කරන්න වෙනම තැන් තියෙනවා. තව කැඩුණු පුටු මේස, පරණ ඉලෙක්ට්‍රොනික් බඩු වගේ ලොකු දේවල් බැහැර කරන්න අවශ්‍යනම් වෙනම ඇණවුම් කරලා ලොකු පෙට්ටියක් ගෙන්න ගන්න ඕනෑ. පෙට්ටියේ තරමට ගෙවන්නත් වෙනවා.
බිල දිහා බැලුවොත් පෙනෙයි ඩොලර් හතලිස් ගාණක් වැඩියෙන් එකතු වෙලා තියෙන්නේ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කුණු වෙනම එකතු කරන්න බව. ඒකට දමන්න කුණු වෙන් කරන්නත් වෙනවා. සැමන් ටින් එකක් වගේ එකක් කැඩුවට පස්සේ ප්‍රතිචක්‍රීයකරණය කරන බක්කියට දමන්න කලින් හොඳින් පිරිසිදු කරන්නත් ඕනෑ. තනිකරම අමතර වැඩක්. ඒ වගේම වැඩියෙන් ගෙවන්නත් ඕනෑ.
ඔය විදිහට වැඩියෙන් ගෙවලා ප්‍රතිචක්‍රීයකරණය කරන කුණු බක්කියක් ගන්න එක අනිවාර්ය නැහැ. ඒක අපේ තේරීමක්. එහෙම නොකර ඒ කුණු ටිකත් සාමාන්‍ය ගෘහස්ථ කුණු දමන බක්කියටම දමන්න පුළුවන්. වැඩෙත් ලේසියි. බිලත් අඩු වෙනවා. හැබැයි පුළුවන්කමක් තියෙන අය එහෙම කරන්නේ නැහැ.
අපිට පරිසරය ගැන අමාරුවක් තියෙනවානම් ඒකට කවුරුවත් පලි නැහැ. පරිසරය ආරක්ෂා කර ගැනීමේ මිලත් අපිටම තමයි ගෙවන්න වෙන්නේ. අනෙක් කෙනා ඒ වැඩේ කරනකම් හිටියොත් කවදාවත් වැඩේ වෙන්නේ නැහැ.
අපේ ගෙදර කුණු වලින් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කුණු හැම එකක්ම නිසි විදිහට ප්‍රතිචක්‍රීයකරණ කුණු බක්කියට දමනවා. ඒ නිසා, ඉක්මණින්ම පිරෙන්නේ ඒ කුණු බක්කිය. ගෙදර ඉතිරි වන ආහාර හා උයද්දී ඉතිරි වන ආහාර කොටස් එකතු කරලා කොම්පෝස්ට් හදන නිසා සාමාන්‍ය කුණු දමන බක්කියට කුණු එකතු වෙන්නෙම නැති තරම්.
අපේ මන්ඩියේ කුණු එකතු කරන්නේ සඳුදා දවස් වලට. ගෘහස්ථ කුණු සතිපතා එකතු කරනවා. ප්‍රතිචක්‍රීයකරණ කුණු එකතු කරන්නේ දෙසතියකට වරක්. ඉරිදා හවසට කුණු බක්කි එළියෙන් තියලා සඳුදා නැවත ඇතුළට ගන්නවා. ඔය අතරමැදි දවස්වල කුණු බක්කි පේන්න තියන්න බැහැ.
කුණු එකතු කරන එක ගැන මම සියයට සියයක් තෘප්තිමත්ද? නැහැ. මොකද අවුරුද්දකට දෙතුන් දවසක් අපේ ප්‍රතිචක්‍රීයකරණ කුණු බක්කිය එකතු කරන එක මග ඇරෙනවා. ඊට පස්සේ අන්තර්ජාලය හරහා හරි දුරකථනයෙන් හරි සමාගමට ඒ බව දැනුම් දෙන්න වෙනවා. සාමාන්‍ය කුණු එකටනම් කවදාවත් ඔය වැඩේ වෙලා නැහැ.
මේකටත් හේතුවක් තියෙනවා. මම ඉන්න ගෙවල් මන්ඩියේ ගොඩක් අය කුණු කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ අනෙක් සමාගමට. මම කොන්ත්‍රාත්තුව දීලා තියෙන සමාගම එක්ක ඉන්නේ ගෙවල් කිහිපයයි. ඒ ගෙවල් වලිනුත් ප්‍රතිචක්‍රීයකරණ කුණු බක්කියක් තියෙන්නේ තව එක ගෙදරක විතරයි. ඉතිං කුණු ලොරියට ඔය ගෙවල් දෙක මග හැරෙනවා ඇති. කලින් ගෙදර ඉන්න කොට ඒ පැත්තේ හැමෝම වගේ හිටියේ මේ සමාගමත් එක්ක නිසා ඔය ප්‍රශ්නය තිබුණේ නැහැ.
සමාගම මාරු කළානම් ප්‍රශ්නය විසඳෙනවා. ඒත් ඉතිං වඳුරෝ ගෙවල් හදන එක වගේ කුණු එක මග හැරුණු දවසට ඔය ගැන හිතුණත් පස්සේ අමතක වෙලා යනවා.
ඇමරිකාවේ කුණු එකතු කරන එක වුනත් ටයි කෝට් දාලා කරන රස්සාවක්. නිකමට වගේ කිවුවට කවුරුවත් ටයි කෝට් දාලා කුණු එකතු කරන්න එන්නේ නැහැ. ඕනෑනම් එහෙම කරන්න බැරිකමකුත් නැහැ. හැබැයි කුණු එකතු කරන්නා කුණු ලොරියෙන් බහින්නේ නැති නිසා ශීත කාලෙදී වුනත් කෝට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.
කුණු එකතු කරන්නේ කුණු ලොරියේ රියැදුරාමයි. ගේ කිට්ටු කරලා වාහනේ නැවැත්තුවට පස්සේ එයා කරන්නේ කුණු ලොරියේ රොබෝ අත ක්‍රියාත්මක කරන එක. රොබෝ අතෙන් කුණු බක්කිය අල්ලලා උස්සලා අනෙක් පැත්ත හරවලා කුණු ටික ලොරියට දාගෙන හිස් කුණු බක්කිය තිබුණු තැනින් තියනවා.
ඔය කුණු බක්කි දෙකට දමන්න බැරි පිච්චුණු විදුලි බල්බ, බැහැපු බැටරි වගේ අන්තරායකර දේවල් බැහැර කරන්න මාස හයක් දක්වා කාලයක් බලා ඉන්න වෙනවා. අවුරුද්දකට දවස් දෙකක් මේවා එකතු කරනවා. ඒ වැඩේනම් කරන්නේ බදු සල්ලි වලින්. ප්‍රමාණය යම් සීමාවකට වැඩිනම් පමණක් සල්ලි ගෙවන්න වෙනවා.
ඕක තමයි අපේ කුණු කතාව.
විදිහක් තියේද කියන්න ඉකොනෝ, අහන්නෙ උත්තර නැති හින්දයි
ReplyDeleteමිනිස්සුන්ව ප්‍රතිචක්කර කරන්න ඇහැකි කෙරෙමයක් දැන ගන්නයි
මෙහේ ඉන්නවා ඕසෙට මිනිස්සු, මකලම දැම්මත් කමක් නැතෙයි
විදිහක් තියෙ නං පටන් ගනිමු, උන් දියවන්නාවේ වැඩ හිඳිතියි
නිදි, මිනිස්සු ප්‍රතිචක්‍රීකරණය වෙන එකම නේද ප්‍රශ්නේ?
Deleteරජයේ සේවය සීමා කරද්දී - රාජ්‍ය සේවය කප්පාදු කරනවෝ....
බදු වැඩි කරද්දී - බුදු අම්මෝ මෙන්න බදු ගහනවෝ....
වෙන විදිහට ආදායම් හොයද්දී - රාජ්‍ය දේපොළ විකුනණෝ...
සල්ලි අච්චු ගහද්දී - මෙන්න සල්ලි අච්චු ගහනෝ....
බදු කපද්දී එයට විරුද්ධ වෙච්ච අය දැන් ප්‍රතිචක්‍රීකරණය වෙලා නේද? ආණ්ඩුව මාරු වුනා කියා හිතමු. ඊට පස්සේ වෙන්නේ දැන් ආණ්ඩු පක්ෂය දැන් විපක්ෂය කියන ටිකම කියන එක. ඕක ප්‍රතිචක්‍රීකරණය නෙමෙයිද?
ඔයා කියන දේත් ඇත්ත. ඉකොනෝ, මම නම් එයාලව දකින්නේ අවස්ථාවාදීකම; තමන්ට රිදෙනකොට මොක වුනත් වැරදියි කියන නරුමකම වගේ ගති තියෙන අය විදිහට. ඇත්තටම- හොරාකන පාලකයන්ට වඩා රටට විණයක් වෙලා තියෙන්නේ මේ අමනොඥ ගති ඇති ජනතාව වෙතින්.
Deleteමට නම් ප්‍රතිචක්‍රීකරණය කියන දෙයින් අදහස් වුණේ නරක; පාවිච්චියට ගත නොහැකි දේවල් ටිකක් යළි ප්‍රයෝජනවත් දෙයක් බවට හැරවීම කියන එක.
නිදි අංකල් මම හිතන්නේ ඉකොනොමැට්ටා මෙතන කියන කතාව ඇත්ත විශේෂයෙන් ලංකාවේ පාර්ලිමේන්තුවේ හෙන උගත් වගේ පෙන්නගෙන ඉන්න හර්ෂ ද සිල්වා වගේ කට්ටිය උනත් බලන්න කිසිම ප්‍රතිපත්තියක් චාරයක් නැති නිකම්ම නිකන් රට ගොන් පාට් දානවා කියලා පේනවා මේ බදු කේස් එකට එහෙම ඉතින් කෝමද රටටම ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කරන්නෙ?
Deleteමේ නිව්ස් එක දැක්කම මොකද හිතුනෙ?
//ලංකාවේ පසුගිය කාලයේ පැවති අරගලයට නායකත්වය ලබා දුන් තරුණ තරුණියන් රාශියක් ඇතුළු නව සමාජ දේශපාලනික ක්‍රියාකාරී නායකයන් ගණනාවක් ද බිහිකරමින් වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටුවේ 40ක් ද රනිල් සමග පෙරට, රවුෆ් හකීම්ටත් රිෂාද් බදියුදීන්ටත් උතුරේ ඊපීඩීපී, තමිල් මක්කල් විඩුතලෛ සහ මූර්පාක්ක මුණ්ණණි ආදී පක්ෂ ගණනාවක් සඳහා රනිල්ගෙන් ආරාධනා
මේ වන විටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල කණ්ඩායමක් ඉදිරි මහ මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තරඟ වැදීමට සූදානමින් සිටින බව හැමෝම හොඳින් දන්නවා ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අද මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ එසේ ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස දැනට ආණ්ඩුවේ සිටින අයගෙන් හතළිහක පමණ පිරිසක් බව ද මේ පිළිබඳව එම කණ්ඩායම දැනටමත් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින බවද තමාටද ඒ සමගම එකතු වෙලා කටයුතු කරන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටින බැවින් තමන්ට ද ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා විසින් ද ආරාධනා කර ඇති බවද පැවසූ ඔහු දැනට කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන විට පිල් මාරු කිරීම සුදුසු නැති නමුත් ඉදිරි මාස කිහිපය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉතාමත්ම සමීප සම්බන්ධයක් පැවැත්වීමට නියමිත අතර මේ ගැන ඉතා හොඳ අවබෝධයෙන් කටයුතු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේ මහනුවර දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.//
මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන්ද?
මෙහෙම පුවත් කොච්චර නම් අපට කියවන්න ලැබෙනවාද? මම නම් කරන්නේ කලබල නොවී ඒවා දිහා බලාගෙන ඉන්න එක....
Deleteගේ පිටිපස්සේ කුනුවලක් හාර ගන්න බැරිද
ReplyDeleteනියම ප්‍රමිතියට කොම්පෝස්ට් හදනවා වගේ දෙයක් කරන්න පුළුවන්. එහෙම නැතුව ගඳ ගගහ විවෘත කුණු වලක් තියා ගන්න බැහැ. අඩු වශයෙන් වායු ගෝලයට අහිතකර දේ එකතු වන සේ නිසා පුච්චන්නත් බැහැ. ගස් වල අතු වගේනම් වේලුනාම fireplace එකේ පුච්චන්න පුළුවන්. වැසිකිළි අපද්‍රව්‍ය පවා නගර සභාවේ මළාපවාහන පද්ධතියට යනවා මිසක් වත්තේ වලකට යන්නේ නැහැනේ. ඒකට වෙනම බිලක් එනවා. වත්තේ තණකොළ වැඩියෙන් වැවුණත් දඩයක් එනවා. ගිය අවුරුද්දේ සෞඛ්‍ය ප්‍රශ්නයක් (ගෙදර අයෙකුට කෝවිඩ්) සහ වෙනත් පෞද්ගලික ප්‍රශ්න කිහිපයක් නිසා ගෙදර පිටුපස තණකොළ කපන එක පොඩ්ඩක් පරක්කු වුණා. වටේට තාප්පයක් වැනි වැටක් තියෙන නිසා කාගෙවත් අවධානයට ලක්වෙයි කියලා හිතුවේ නැහැ. කාටත් පේන ඉස්සරහ ටික විතරක් කැපුවා. ඩ්‍රෝන වලින් ගත්ත පින්තූරත් එක්ක අවවාදයක් ආවා. අවවාදය එනකොට තණකොළ කපලා නිසාත්, පළමු අවස්ථාව නිසාත් දඩය ගත්තේ නැහැ. අවුරුද්දක පරිවාස කාලයක් දැම්මා. තවම ඉවර නැහැ. අවුරුද්ද ඉවර වෙනකම් තණකොල වැවෙන පරක්කුවට කපනවා. :)
Deleteඇමරිකාව නිදහස් රටක් කිව්වට මේවා ඇහුවම හිතෙන්නේ චීනේ, රුසියාව වගේ කියලා
Deleteතමන්ට කැමති දෙයක් කරන්න නිදහසක් නැහැ. නීති දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. වෙනස නීති හදන්නේ කවුද කියන එකයි. මේ ඇතැම් නීති අපේ ගෙවල් මන්ඩියේ අය විසින්ම හදාගත් නීති. බොහෝ විට නීති ක්‍රියාත්මක වීම හෝ නොවීම පරීක්ෂා කරන්නෙත් ඒ අයමයි. නීති කඩන්න බැරි ඒ නිසා. මේ ගැන මම කලින් ලියා තිබෙනවා. අපේ ගේ ඇතුළු ගෙවල් 80ක් පමණ අයිති වන කොටසේ සංගමයක් තියෙනවා. මතක හැටියට නිලධාරී මණ්ඩලයේ 13ක් ඉන්නවා. ඒ කියන්නේ ගෙවල් 5-6කින් එකක නිලධාරී මණ්ඩලයේ කෙනෙක් ඉන්නවා. ඒ නිසා, තණකොළ ටිකක් වැඩියෙන් වැවුණත් එය වහාම අවධානයට ලක් වෙනවා. ඉස්සරහා ගෙදර පුද්ගලයෙකුත් මේ අවුරුද්දේ නිලධාරී මණ්ඩලයේ ඉන්නවා. අනිත් එක හැමෝම පිළිවෙලට තණකොළ කපද්දී එක්කෙනෙක් නොකැපුවොත් ඒ කොටස හොඳින් කැපී පේනවා. අපේ අල්ලපු ගෙදරට ටිකක් මෑතකදී පැමිණි කාන්තාවට තණකොළ කපන එක ගැන පුදුම පිස්සුවක් තියෙන්නේ. සතියට දෙතුන් පාරක් තණකොළ කපනවා. අපේ කෑල්ල වැඩියෙන් වැවෙද්දී එයාට ඇහැට කටු අනිනවා වගේ. මුලදී මගෙන් අහලා (මම තණකොළ කපන්න හරි ආසයි කියලා බොරුවක් කියලා) අපේ කොටසත් එයාම කිහිප දවසක් කැපුවා. නොකියා කිවුවේ මටත් එයා වගේ නිතර තණකොළ කපන්න කියලා. නමුත් එහෙම තණකොළ කපන්න අවශ්‍ය නැහැ. නීතිය අනුව උපරිම අඟල් අටට වැඩි වෙන්න බැහැ. සතියකට වරක් කැපුවහම ඒ ගානට වැවෙන්නේ නැහැ. වැස්ස නැත්නම් සමහර වෙලාවට සති දෙකක් අදින්නත් පුළුවන්. ඔය කියපු සතියේ අපේ ගෙදර දරුවෙකුට කෝවිඩ් හැදුනා. අපිත් පරිස්සමෙන් හිටියේ. ඒ අතර හිම වැටිලා සීතල වුනා. මම හිතුවේ ආයේ තණකොල වැවෙන එකක් නැහැ කියලා. නමුත් කාළගුණය උණුසුම් වී තණකොල වැවුනා. නැවත හිම වැටෙන්න නියමිතව තිබුණු නිසාත්, සීතලේ තණකොළ කපන්න කම්මැලි නිසාත් මම ඒ තරම් බරපතල ලෙස ගණන් ගත්තේ නැහැ.. මම හිතන්නේ අඟල් අට පන්නපු බව දැක්ක ගමන් අනිවාර්යයෙන්ම අල්ලපු ගෙදර මනුස්සයා පැමිණිලි කරන්න ඇති. පැමිණිලි කළාම අසල්වැසි සංගමේ නිලධාරීන්ට එය පරීක්ෂා කරන්න වෙනවා. මම නිලධාරියෙක් වුනත් එය කරන්න වෙනවා. ඊට අමතරව එයා නගර සභාවටත් කියලා. තණකොළ නොකපන එක ගැන මළ පැනලා ඉන්න ඇත්තේ. එහෙම නැත්නම් නගර සභාවෙන් පරීක්ෂා කරන්න එන්නේ නැහැ. අසල්වැසි සංගමේ නිලධාරියා අවවාදයක් දුන්න නිසා මම වහාම තණකොළ කැපුවා. ඒ නිසා, නගර සභාවේ කොළේ එනකොටත් තණකොළ කපලා. මම කැපුවේ නැත්නම් සාමාන්‍යයෙන් වෙන්නේ අසල්වැසි සංගමය විසින් වෙන කෙනෙක්ට කියලා කපලා මට බිල එවන එක. නගර සභාව මට්ටමට යන්නේ නැහැ. එහෙම යන එක අසල්වැසි සංගමයටත් හොඳ නැහැ. අල්ලපු ගෙදර කාන්තාව සමහර විට හරියට රාජකාරිය කරන්නේ නැහැ කියලා අසල්වැසි සංගමය ගැනත් පැමිණිලි කරන්න ඇති. මේ වගේ දේවල් වලදී අදාළ අනෙක් පුද්ගලයාගේ නිදහස කියන එක. මගේ වත්තේ කැලේ වැවිලා සත්තු බෝ වුනාම එය අනෙක් හැම ගෙදරකටම ප්‍රශ්නයක් වෙනවා.
Deleteචීන කොමියුනිස්ට් පාර්ටි එක වගේ.
Deleteඉකොනෝ මේ වගේ දාලා තියෙන ඇමරිකාව ගැන අදහස් ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලෙම එන එකත් බලන්න ඕනි.
අර හැමදාම ෂෙයාර් වෙන පොස්ට් එක වගේ ඇමරිකන් ගමන ගැන.
මම හිතන්නේ චීන කොමියුනිස්ට් පාර්ටි එක හරහා ගම් මට්ටමේදී වෙන්නෙත් ඔය වගේ දෙයක්ම කියලා. මධ්‍යගත සැලසුමක් ඇතුළේ වුනත්, චීන/සෝවියට් ක්‍රමය ඇතුළේ ප්‍රාදේශීයව බලපාන තීරණ ගන්නේ විමධ්‍යගත ගත ලෙස කියන එකයි මගේ අදහස. වෙනස මේ තීරණ පක්ෂය විසින් මෙහෙයවන එකයි. දැන් ඔය ලංකාව සඳහා පෙසපෙ විසින් යෝජනා කරන ක්‍රමයේත් විශාල කොටසකට මම පෞද්ගලිකව කැමතියි. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක. මම කැමති නැත්තේ ඒ යෝජනා කරන ක්‍රමය ඇතුළේ මිනිස්සු යටපත් වෙලා පක්ෂයේ මතය උඩට එන එකට පමණයි. නියෝජිතයින් තෝරා පත් කරගෙන ඒ අය යටතේ පාලනය වෙන එක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.
Delete"ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලෙම" කතාවනම් මම දන්නේ නැහැ. මට ඒ ගැන අවධානයක් තිබුනෙත් නැහැ. මම ඇමරිකාව ගැන ලියන්නේ එක සීසන් එකකදී පමණක් නෙමෙයිනේ. අවුරුද්ද පුරාම ලියනවා. අනෙක් එක මෙය ඔබ විසින්ම හෝ වෙනත් කෙනෙක් විසින් අහපු ප්‍රශ්නයකට පිළිතුරක් මිසක් ලිපියේ අවධානය යොමු කර තිබෙන ප්‍රධාන කරුණත් නෙමෙයි. කොහොම වුනත් ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කාලයේ මේ වගේ ලිපි පළ කරන එක එසේ ඇප්ලයි කරන අයට ඇමරිකාව ගැන දැන ගැනීම සඳහා වඩා ප්‍රයෝජනවත් විය හැකියි. ඔබේ ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ ඔබත් ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලය ගැන විමසිල්ලෙන් සිටින අයෙක් බවයි. ඇමරිකානු ජීවිතය පිළිබඳ මේ මට්ටමේ තොරතුරු සාමාන්‍යයෙන් ඇමරිකාවට එන තුරු ලංකාවේ සිට දැනගන්න තැන් අඩුයි.
ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලේ කියලා නං විමසිල්ලෙන් නොහිටියත් නිවුස් බලන කෙනෙක්ට දැන ගන්න පුළුවන් ඉකොනෝ.
Deleteඉකොනෝත් ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලෙම උඩට එන ලිපියක් ගැන බ්ලොග් සටහනක් ලිව්වා නේද. ඇමරිකාවට ගිය ලංකික යෙක් මුහුණ දුන් කර්කශ අත්දැකීම් සහිත ලිපියක් සදහා විමසුමක්
ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලෙට ඇමරිකාව ගැන උනන්දුව ඉහළ යනවා. එවිට ඇමරිකාව ගැන ලියා ඇති හොඳ හෝ නරක ලිපි උඩට එනවා. එය ඉල්ලුම වැඩි වීම මත වෙන දෙයක්. ඊට අමතරව අනෙක් අය අධෛර්ය කිරීමේ අරමුණෙන් වැරදි, නරක තොරතුරු ප්‍රචාරය කරන එක සමහර අය හිතාමතා කරන දෙයක් වෙන්නත් පුළුවන්. එසේ හුවමාරු වන ප්‍රබන්ධයක් (කෙටිකතාවක්) හා අදාළව මම කලින් ලිපි කිහිපයක් ලියා තිබෙනවා. එවැනි ප්‍රබන්ධ වල ඇති දේ ප්‍රබන්ධ බව නොදැන ඇත්ත කියා හිතන අයත් ඉන්නවා. මම මෙහි ලියා තිබෙන්නේ ඇත්ත තොරතුරු. උඩ ලිපියේ තියෙන්නේ මගේ ඇත්ත කුණු බිල.
Deleteඉකොනොමැට්ටා ඔතන ගාබේජ් සර්විස් සමාගම් දෙකක් තිබුණාට ඇත්තටම හරි විදියට නිදහස් වෙළද පොළක් නෑ නේද? මට තේරුණේ තියෙන්නේ සමාගම් දෙකක කාටල් එකක් වගේ එකක්, හැබැයි ඒ වෙනුවට individual automated garbage truck වලින් යම් යම් ලියාපදිංචි පුද්ගලයන්ට කොන්ත්‍රාත් ලබා දෙනවා නම් වැඩේ වඩාත් කාර්යක්ෂමව වෙයි චීනයේ වගේ, ලංකාවේත් පහුගිය කාලේ automatically lifted garbage trucks නාගරික ප්‍රදේශ වල තියෙනවා ඒ වගේම garbage incineration plants, biogas plants සහ compost plant ක්‍රියාත්මක වෙනවා යුරෝපීය රටවල් වලත් එහෙමයි නමුත් ලංකාවේ රජයේ පළාත් පාලන ආයතන වල සේවකයන්ට අමතර මුදල් දෙනවා මිනිස්සු පුද්ගලිකව මාසේකට රුපියල් දාහක් විතර ජරාව දෙන්න ඕන එක ගෙදරකින් කාර්යක්ෂමව කුණු අස්කරන්න නම් එහෙම තමයි කට්ටිය හදාගෙන තියෙන්නේ පඩියට වඩා වැඩි ගානක් හොයා ගන්න පුළුවන් ඒකෙන් සී එම් සී එකේ කම්කරුවන්ට දළ වශයෙන් ඩොලර් තුනක් විතර වෙනවා ලංකාවේ කුණු වියදම් රජයේ ආයතන වල වියදමට අමතරව පුද්ගලයන්ට
ReplyDeleteලංකාවේ දැනට පවතින ආර්ථිකය ගැන කතා කරනවා නම් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ඇමරිකාවෙන්, චීනයෙන්, ඉන්දියාවෙන් හෝ යුරෝපා හවුලෙන් තව දුරටත් ණය ලබා ගැනීම වත්මන් ශ්‍රී ලාංකීය ආර්ථිකයේ අර්බුදයට විසඳුම නොවන බව, විශේෂයෙන් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ ලංකාවේ ඇතිවී තිබෙන විදේශ විනිමය අර්බදයට හොඳම විසඳුම පැනඩෝරා පත්‍රිකාවල සඳහන් ඩොලර් ප‍්‍රකෝටි ගණනක් වන ඩොලර් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගැනීම මගින් දැනට ලංකාවේ ආණ්ඩුව විසින් ඉතා අනවශ්‍ය ලෙස අධික ලෙස පැනවූ බදු අයකිරීම් නවතා දමා අධික විදුලි ගාස්තු ජල ගාස්තු ආදිය තිබුණාටත් වඩා ගොඩාක් අඩු කරන්න පුළුවන් බවත් ඒ හරහා ලංකාවේ දිළිඳු ජනතාවටද විශාල වශයෙන් සහන ලබාදෙමින් සහනාධාර රැසක් ලබාදීමට පුළුවන් බවයි.
නමුත් මට හිතන්නේ මේ කියන තරම් ලේසියෙන් රොබින් හුඩ් වගේ එහෙන් අරන් මෙහෙන් දෙන්න පුළුවන් බව කියන මේ දේවල් කරන්න බැරි කතාවක් බව, මම දන්න තරමින් පැන්ඩෝරා පත්‍රිකා කියන්නේ නිකම් විකල්ප මාධ්‍ය වාර්තාවක් විතරයි නේද ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි නෑ, සාක්ෂි තබුණත් අනික රටකින් රටකට එහෙම ලේසියෙන් සල්ලි අදින්නෙ කොහොම ද ස්විට්සර්ලන්තය සිංගප්පූරුව වගේ රටවල් වල මූල්‍ය ආයතන ලංකාවේ ආණ්ඩුව ඉල්ලන පලියට එහෙම වෙනත් රටවල පුරවැසියන් වන අයගේ මුදල් ලංකාවට දෙයිද? අනෙක් පැත්තෙන් ඒ ඩොලර් මිලියන දෙතුන් සීයක් විතර මුදල සේරම ගත්තත් ලංකාවේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න ඒ මුදල් මදි වගේ නේද මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා? මට තේරුණේ නැහැ කොහොමද ඒක කරන්නේ කියලා
//ඉකොනොමැට්ටා ඔතන ගාබේජ් සර්විස් සමාගම් දෙකක් තිබුණාට ඇත්තටම හරි විදියට නිදහස් වෙළද පොළක් නෑ නේද? මට තේරුණේ තියෙන්නේ සමාගම් දෙකක කාටල් එකක් වගේ එකක්//
Deleteඇමරිකාවේ කාටල් නීති විරෝධීයි. ඒ විදිහට ලාබ ලැබුවොත් සල්ලි නැවත පාරිභෝගිකයන්ට බෙදා දෙන්න වෙනවා. වෙළඳපොළ නිදහස්ද කියා තීරණය වෙන්නේ ඉන්න සමාගම් ගණන මතම නෙමෙයි. ඕනෑම කෙනෙකුට පහසුවෙන් තරඟයට ඇතුළු විය හැකිද කියන එක මත. ඉන්න සමාගම් ගණන තීරණය වෙන්නේ වෙළඳපොළ ස්වභාවය අනුව. සමහර විට ඒකාධිකාරයක් තියෙන එක වඩාත්ම කාර්යක්ෂම දෙය වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ෆේස්බුක් වගේ දෙකක් තියෙනවට වඩා එකක් තියෙන එක කාර්යක්ෂමයි. මම අනික් සමාගම ලාබද කියලා හොයල බලන්නෙවත් නැත්තේ බොහෝ විට වෙනසක් නැති බව දන්නා නිසා.
තනකොල කපන්න කාලෙ ආවම අල්ලපු ගෙදර ගෑනු එක්කෙනාට ගිහින් කිව්වම හරි නේද මීට පස්සෙ? මුකුත් කියන්නත් බැහැනෙ.
ReplyDeleteඇය සුදු ගැහනියක් නේද? ඔතන තියෙන්නෙ තනකොල ප්‍රශ්නෙටත් වඩා මහිතෙ රේසිස්ම් ප්‍රශ්නයක්.
නෑ. එහෙම රේසිස්ම් ප්‍රශ්නයක් නැහැ. මට ඇමරිකාවේදී එවැනි දෙයක් දැනී නැති තරම්. ඇය මුල් කාලයේදී ඉතා ප්‍රිය මනාප ලෙස කතා කළා. දැනුත් එහෙමයි. මම හරියට මගේ යුතුකම නොකළ නිසා තමයි ඇයට මළ පනින්න ඇත්තේ.
Deleteආර්ථික කරුණු ගැන ලියන අතරෙ මෙහෙම ලිපිත් ලියන එක හොඳයි බැලුවහම සේවාවන් අඩු හැම දෙයක්ම වගේ බිස්නස් වුන රටක්නෙ ඔය ඉන්නෙ නාගරික ප්‍රෙද්ශයක වෙන්න ඇතිනේද ගම්බද ප්‍රෙද්ශවල ඔච්චර නීති නැතුව ඇති නේද
ReplyDeleteඔව්. ගම්බද ප්‍රදේශ වල මෙවැනි සීමාවන් අඩුයි. හැබැයි ගොඩක්ම ගම්බදට වෙන්න. මම ඉන්න ප්‍රදේශය නාගරික ප්‍රදේශයක් වුනත් ප්‍රධාන, විශාල නගරයක් නෙමෙයි. එවැනි ප්‍රදේශ වල රෙගුලාසි මෙන්ම බදුද මීටත් වඩා වැඩියි.
Deleteඉකොනෝ
ReplyDeleteමේ පුංචි ක්ලිප් එකේ වසන්ත සමරසිංහ සහෝදරයා පැහැදිලි කරන විදියට ලංකාවේ ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 7500 ක් පමණ වෙනවා කියලා කියන්නේ ඇත්ත ද?
https://www.facebook.com/dailyceylon/videos/509428001045664/?app=fbl
ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමත් සමගම විදේශීය ණය ලබා ගැනීමට නොහැකි නිසා රජය බැංකු වලින් බිලියන දහස් ගණනක් ණය පිට ණය දේශීය ණය ගැනීම සඳහා අධික පොළී අනුපාතික වලට මුදල් එකතු කර ගන්න බවත් ඒ නිසා ලංකාවේ බැංකු පද්ධතිය නිසැක වශයෙන්ම කඩා වැටීමට නියමිත බවත් ඔහු පවසන කරුණු ඇත්තද? අපි අපේ බැංකු ගිණුම් වලට මේ වගේ භයානක තත්වයන් යටතේ කළ යුතු කුමක්ද,? මේවා ඉන්ෂුවරන්ස් අවදානම් යටතේ රක්ෂණය කළ හැකි ද?
ලංකාවේ තරුණ වෘත්තිකයන් විශේෂයෙන් වෛද්‍යවරු වැනි බුද්ධිමත් වෘත්තීයවේදීන් සිය දහස් ගණනක් රට හැර යන බවත් රජයේ සහ පෞද්ගලික අංශයේ බැංකුවලින් සේවකයන් සිය ගණනක් විදේශ ගත වන බවත් මහ බැංකුවේ සේවකයන් විශාල පිරිසක් රටහැර ගොස් ඇති බවත් මේ කියන විදිහට ලංකාවේ ආර්ථිකය තිබුණාටත් වඩා අධික ලෙස ඉතා අර්බුදකාරී තත්ත්වයක් දක්වා යන ගමනේ දී ලංකාවේ ජනතාව කළ යුතු කුමක්ද?
හරිම ලස්සන සටහනක්. හෙඩිම හරිම ප්‍රබලයි . ඒ වගේමයි තොරතුරුත් වැදගත්.
ReplyDeleteකැනඩාවේ අපේ කුණු එකතු කරන්නේ කලාපීය පරිපාලනය මගින් . අපි මුදල් ගෙවීමක් නොකලත් ඒ වෙනුවෙන් මුදල් ලැබෙන්නේ අපි ගෙවන වරිපනම් බදු වලින් . ඒ ආයතනය අපට දුන් විශේෂිත බහාලුම් වලට පුරවා මාර් ගය අද්දර තිබ්බාම සතිපතා නියමිත දිනයේ එකතු කිරීම කරන්නේ ඔබ විස්තර කර විදිහටම තමයි. කසල සහ ප්‍රතිචක්‍රීකරණය කල හැකි දෑ එකතු කරන්නේ සතියක් ඇර සතියක් විදිහටයි. අපේ නගරයේ බැටරි , ගෑස් කෑන් ඇතුළුව සාමාන්‍ය කුණු එකතු කිරීමට අඩංගු නොවන දෑ නොමිලයේ බැහැර කල හැකි මධ්‍යස්ථානයක් තියෙනවා. අපේ රියදුරු බලපත්‍රය මගින් පදිංචිය තහවුරු කලාම එහි සේවය ලබාගන්න පුළුවන්, ඒ වගේම ඉතාම අඩු මුදලකට ඔවුන් නිපදවන කොම්පෝස්ට් පොහොර එතැනින් ගන්නත් පුළුවන්.
ප්‍රතිචාර නොලිව්වාට හැමදාම ඔබේ සටහන් ආසාවෙන් කියවනවා. ඒවා සරල වගේම හරවත්.