Sunday, November 6, 2022

රජය ආදායම් වැඩි කරගන්න යන්නේ කොහොමද?

වගුව 1: රාජ්‍ය ආදායම (රුපියල් මිලියන)
20212022වෙනස %
ජාත්‍යන්තර වෙළඳාම හා ගනුදෙනු මත බදු 277,275349,03271,7577.1%
එකතු කළ අගය මත බද්ද (vat)308,213533,000224,78722.2%
මත්පැන් 138,637185,00046,3634.6%
දුම්කොළ හා දුම්වැටි 88,539110,03621,4972.1%
මෝටර් රථවාහන55,33955,000-3390.0%
සමාජ සංරක්ෂණ දායක බද්ද 35,00035,0003.5%
සමාගම් මත ආදායම් බදු 252,673475,000222,32721.9%
පුද්ගල ආදායම් බදු 20,95053,00032,0503.2%
අනෙකුත් බදු 156,393143,232-13,161-1.3%
බදු ආදායම 1,298,0191,876,000577,98157.1%
ණය ආපසු අය කර ගැනීම 271,000271,00026.8%
අනෙකුත් බදු නොවන ආදායම් 159,052260,700101,64810.0%
එකතුව 1,457,0712,470,0001,012,929100.0%

රජයේ ආදායම් වැඩි කර නොගෙන ලංකාවට වැටී ඉන්න වලෙන් ගොඩ යාම කෙසේවත්ම කළ නොහැකි බව පෙර සටහන් දෙකකින් සංඛ්‍යාලේඛණ හා කරුණු එක්ක පෙන්වා දුන්නා. නිල රාජ්‍ය ඒකාධිකාර යටතේ නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුවන තැන් වල හැර, සාමාන්‍යයෙන් රජයක ආදායම කියන්නේ බදු ආදායමයි. ලංකාව හා අදාළවද මෙහි වෙනසක් නැහැ. එහෙත්, අඩු ප්‍රතිශතයක් වුවත්, බදු නොවන ආදායම්ද ලංකාවේ රජයේ ආදායම් වල කොටසක්. 

වැටී ඉන්න වලෙන් ගොඩ යාම සඳහා රජයේ ආදායම් වැඩි කර ගැනීම අත්‍යාවශ්‍ය වුවත්, එය ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා විශාල ලෙස වියදම් සීමා කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු විය යුතුයි. වෙනත් විදිහකින් කිවුවොත් මෙය අනිවාර්ය, එහෙත් කිසිසේත්ම ප්‍රමාණවත් නැති කොන්දේසියක්. කොහොම වුනත්, මේ ලිපියත් ප්‍රධාන වශයෙන්ම ආදායම් පැත්ත ගැනයි. අනෙකුත් අවශ්‍ය වෙනස්කම් ගැන වෙන වෙලාවක අවධානය යොමු කරමු. 

ලංකාවේ ආර්ථික අර්බුදයේ පාදක හේතුව වන නිදන්ගත අයවැය හිඟය ගැන බොහෝ වර නැවත නැවත කතා කර තිබෙනවා. එම හිඟය පියැවීම සඳහා දිගින් දිගටම විදේශ ණය ගැනීම නිසා රට දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයක් කරාද තල්ලු වී තිබෙනවා. ඒ හේතුව නිසාම, මේ වන විට විදේශ ණය වලින් අයවැය හිඟය පියවා ගැනීමේ දොර ලංකාවට වැසී තිබෙනවා. වසර ගණනාවක් යන තුරු ඒ දොර නැවත ඇරෙන එකක් නැහැ. 

අයවැය හිඟයක් පැවතීම මෙන්ම එම හිඟය පියවා ගැනීම සඳහා විදේශ ණය ලබා ගත නොහැකි වීමත් බැහැර කළ නොහැකි යථාර්තයන් සේ සැලකුවහොත් ලංකාවට ඉතිරිව තිබෙන්නේ විකල්ප දෙකක් පමණයි. එකක් දේශීය ණය වලින් අයවැය හිඟය පියවා ගැනීම. දෙවැන්න සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීම. මේ එක් එක් විකල්පය හරහා යා හැකි උපරිම සීමාවන් මේ වන විට බොහෝ දුරට ලකුණු වී අවසානයි. 

රටේ බොහෝ දෙනෙකුට "ඇඟට දැනෙන්නේ" ගෙවුම් ශේෂ අර්බුදයයි. සාමාන්‍යයෙන් අයවැය හිඟය තත්කාලීනව ඇඟට දැනෙන්නේ සුවදායී ලෙසයි. ඒ නිසාම, ප්‍රශ්නයක් වන තුරු, එය සාමාන්‍ය පුද්ගලයෙකුගේ අවධානය ලබා ගන්නේ නැහැ. දියවැඩියාව හැදෙන තුරු පැණිරස කනවා වගේ වැඩක්. එයින් වෙනස්ව, ගෙවුම් ශේෂ අර්බුද ඇඟට දැනෙන්නේ වේදනාකාරී ලෙසයි.

ගෙවුම් ශේෂ අර්බුද වලට බෙහෙත් දෙන සුදුසුකම් ලත් ප්‍රවීණ වෛද්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. එහෙත්, මෙවර ලංකාව වෛද්‍යවරයා වෙත කලට වේලාවට නොගිය නිසා දැන් දොස්තරටත් වෙනදා බේත් වලින් ලෙඩේ සනීප කරන්න බැහැ. ලෙඩේ ඔඩු දුවලා. බේත් වැඩ කරන්නනම් බේත් ගන්න කලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් විය යුතුයි. ඒ සඳහා ණය හිමියන් එකඟ විය යුතුයි.

රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම ඇතුළු අනෙකුත් ප්‍රතිසංස්කරණ සිදු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ණය හිමියන්ද අපේක්ෂා කරන දෙයක්. ඒ නිසා, ලංකාවේ රජයට ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමද කළ හැක්කේ රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම ඇතුළු අනෙකුත් ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් පමණයි. ඊට අමතරව මහ බැංකුවට බලපෑම් නොකිරීම හා අයවැය හිඟය පියවීමට තවතවත් සල්ලි අච්චු නොගැසීමද මේ පාර්ශ්ව දෙක විසින්ම අපේක්ෂා කරන දෙයක්. 

තවතවත් සල්ලි අච්චු ගැසීම කළ නොහැක්කේ ඉහත දෙපාර්ශ්වය බලපෑම් කරන නිසාම නෙමෙයි. පවතින උද්ධමනය අධි උද්ධමන තත්ත්වයක් බවට පත්වීම වළක්වා ගත හැක්කේ එසේ  සල්ලි අච්චු ගැසීම පාලනය කරන්නේනම් පමණයි. එහෙත් ප්‍රශ්නය විදේශ ණය නොලැබෙන පසුබිමක සල්ලි අච්චු නොගසා දේශීය ණය වලින් පමණක් අයවැය හිඟය පියවා ගත හැකිද යන්නයි.

දේශීය ණය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු පොලී අනුපාතික මේ වන විටද 30% මට්ටම ඉක්මවා තිබෙනවා. පොලී අනුපාතික දිගින් දිගටම මෙවැනි ඉහළ මට්ටමක පැවතීම වුවත් රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව කෙරෙහි නරක විදිහට බලපාන බව පැහැදිලි කරුණක්. පොලී අනුපාතික තවතවත් ඉහළ යාම නවත්වාගත හැකි එකම ක්‍රමය අයවැය හිඟය හැකිතාක් ඉක්මණින්, හැකිතාක් කුඩා කර ගැනීමයි. 

අයවැය හිඟය අඩු කර ගැනීම සඳහා දැනට රජය සතුව සැලසුමක් තිබෙනවා. ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියද ලැබී තිබෙනවා. එහි කොටසක් ලෙස, බදු අනුපාතික ඉහළ දැමීම හා බදු පදනම් පුළුල් කිරීම ඇතුළු රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ ක්‍රියාමාර්ග ගණනාවක් යෝජනා වී තිබෙනවා. මේ ක්‍රියාමාර්ග රජයට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගද යන්න මෙම ලිපියේ විෂය පථයෙන් බැහැර කරුණක්. ලේඛකයා විසින් කරන්නේ පොදු අවකාශයේ තිබෙන තොරතුරු මත පදනම්ව රජය විසින් ආදායම් වැඩි කර ගැනීමට අදහස් කරන ආකාරය පැහැදිලි කිරීම පමණයි. ඒ ක්‍රියාමාර්ග අනුමත කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මෙයින් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. 

පෙර ලිපියක අප විශ්ලේෂණය කළ 2021 රාජ්‍ය ආදායම ඇත්ත ගණනක්. එහෙත්, 2022 වසර තවමත් අවසන්ව නැති නිසා අපට මේ වසරේ රාජ්‍ය ආදායම ගැන කතා කළ හැකි පූර්ණ නිරවද්‍ය සංඛ්‍යාලේඛණයක් නැහැ. කතා කරන්න වෙන්නේ රජයේ වඩාත්ම යාවත්කාලීන ඇස්තමේන්තුව මත පදනම්වයි. මේ ඇස්තමේන්තු නිවැරදි නොවීමට විශාල ඉඩක් තිබෙනවා. 

ඇස්තමේන්තු අනුව, පෙර වසරේ රුපියල් බිලියන 1,457ක් වූ රාජ්‍ය ආදායම මේ වසරේදී රුපියල් බිලියන 2,470 දක්වා 70%කින් පමණ ඉහළ යාමට නියමිතයි. එහෙත්, පසුගිය වසරේ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුවද රුපියල් බිලියන 2,062ක් වූ බවත්, ඇත්තටම එකතු වූ මුදල එම ඇස්තමේන්තුවෙන් 71%ක් පමණක් වූ බවත් අප අමතක කළ යුතු නැහැ. ඒ බව අමතක නොකර අපි මෙම ඇස්තමේන්තු පිළිබඳ විමසිල්ලක් කරමු.

පසුගිය වසරේදී රජය විසින් එකතු කරගත් සෑම රුපියල් 100ක් වෙනුවෙන්ම රජය විසින් රුපියල් 242ක් වියදම් කළා. එයින් රුපියල් 71ක් වියදම් කළේ පොලී ගෙවීම සඳහායි. පොලී වියදම් හැර අනෙකුත් වියදම් ඒ මට්ටමේම තියාගෙන රාජ්‍ය ආදායම 71%කින් වැඩි කර ගත හැකිනම් රජයේ ප්‍රාථමික අයවැය තුලනය කර ගත හැකියි. ඒ කියන්නේ ණය ගන්න වෙන්නේ පොලී ගෙවන්න විතරයි. කෙසේ වුවත්, මේ වසරේ වියදම්ද ඉහළ යන නිසා, ඇස්තමේන්තු නිවැරදි වී ආදායම 70%කින් ඉහළ ගියත්, එවැන්නක් සිදු වන්නේ නැහැ. දැනට සැලසුම අනුව ප්‍රාථමික අයවැය ගිණුම තුලනය වීමට නියමිතව ඇත්තේ තවත් දෙවසරකට පසුවයි. වියදම් පැත්ත ගැන ඉදිරි ලිපියකින් හෝ ලිපි කිහිපයකින් කතා කරමු.

ඇස්තමේන්තු අනුව, රුපියල් බිලියන 1,013කින් ආදායම් ඉහළ යන නමුත් බදු ආදායම් ඉහළ යන්නේ රුපියල් බිලියන 578කින් පමණයි. එයින් වැඩි කොටසක් ලැබෙන්නේ වැට් බදු වලින්. වැට් බදු ආදායමෙහි 73%ක වැඩිවීමක් ඇස්තමේන්තු කර තිබෙනවා. පසුගිය වසරේ වැට් බදු ආදායම රුපියල් බිලියන 308ක්. මේ වසරේ මෙම ආදායම රුපියල් බිලියන 533 දක්වා ඉහළ යනු ඇති බව රජයේ ඇස්තමේන්තුවයි.

අපේක්ෂිත ආදායම් වර්ධනයෙන් 22%ක් ලැබෙන්නේ වැට් බදු ආදායම් ඉහළ යාමෙනුයි. ගණන් ගැන හරියටම කියන එක අසීරු වුනත්, වැට් බදු ආදායමේ විශාල ඉහළ යාමක් සිදුවීම නොවිය හැක්කක් නෙමෙයි. එයට සාධක තුනක් දායක වෙනවා.

බදු අනුපාතික ඉහළ දැමීම - වැට් බදු අනුපාතය 12% සිට 15% දක්වා ඉහළ දමනු ලැබුවා. කෙසේ වුවත්, වෙනත් කිසිවක් වෙනස් වුනේ නැත්නම්, මෙයින් වැට් ආදායම් වැඩි විය හැක්කේ උපරිම වශයෙන් 20%කින් පමණයි.

බදු පදනම පුළුල් කර ගැනීම - වැට් බදු ගෙවිය යුතු අවම පිරිවැටුම වසරකට රුපියල් මිලියන 300 සිට වසරකට රුපියල් මිලියන 120 දක්වා පහත දැමීම නිසා අලුතෙන් බදු ගොනු විශාල ප්‍රමාණයක් විවෘත වී බදු පදනම පුළුල් වෙනවා.

උද්ධමනය - උද්ධමනය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා ඉහත සංශෝධන එකක්වත් නොකළත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට අනුපාතිකව වැට් ආදායමේ ඉහළ යාමක් සිදු වෙනවා. ඊට අමතරව කලින් අවම පිරිවැටුම නොඉක්මවූ සමාගම් ගණනාවකට පිරිවැටුම ඉහළ යාම නිසාම අලුතෙන් බදු ගොනු විවෘත කරන්න සිදු වෙනවා.

වැට් බදු වලින් පසුව රජයේ සැලසුම තුළ වැඩි බරක් තබා තිබෙන්නේ සමාගම් මත අය කෙරෙන ආදායම් බදු වලටයි. මෙය ආදායම රුපියල් බිලියන 253 සිට රුපියල් බිලියන 475 දක්වා 88%කින් ඉහළ යන බව ඇස්තමේන්තුවයි. වැට් බදු හා අදාළව මෙන්ම මෙහිදීද ඉහත සාධක තුනෙහිම දායකත්වය ලැබෙනවා. සමාගම් මත අය කෙරෙන ආදායම් බදු වලින් ලැබෙන කොටසද අපේක්ෂිත ආදායම් වැඩි වීමෙන් 22%ක්.

බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබෙන පුද්ගල අදායම් බදු රුපියල් බිලියන 21 සිට රුපියල් බිලියන 53 දක්වා 153%කින් පමණ ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන නමුත් මේ හරහා සිදුවන ආදායම් ඉහළ යාම මුළු වැඩිවීමෙන් 3%ක් පමණයි. මත්පැන් හා දුම්කොළ බදු වලින් ආදායම් වැඩි වීමට ලැබෙන දායකත්වය 7%ක් පමණ වෙනවා. ජාත්‍යන්තර වෙළඳාම හා ගනුදෙනු මත බදු වලින් තවත් 7%ක දායකත්වයක් ලැබෙනවා. 

රාජ්‍ය ආදයම් ඉහළ යාමට වැඩිම දායකත්වයක් ලැබෙන්නේ බදු නොවන ආදායම් යටතේ දක්වා ඇති, රජයට ලැබිය යුතු ණය අය කර ගැනීම මගිනුයි. එක පැත්තකින් මෙහි තිබෙන්නේ කිසියම් ආකාරයක සංඛ්‍යාලේඛණ විජ්ජාවක්. මුළු ආදායම් වැඩි වීමෙන් 27%ක්, එනම් රුපියල් බිලියන 271ක් මේ ක්‍රමයට ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි. 

මේ ආකාරයෙන් රජයට ණය ගෙවන්නේ රජයටම අයත් ආයතන කිහිපයක්. ඒ අතරින් ප්‍රධානම එක තෙල් සංස්ථාවයි. තෙල් සංස්ථාව විසින් රුපියල් බිලියන 250ක ණය ආපසු ගෙවීමක් කරනු ඇතැයි අපේක්ෂිතයි. ඒ, රජයට ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබුණු මුදලින් තෙල් සංස්ථාව විසින් ඉන්ධන ආනයනය සඳහා වැය කළ මුදල්. 

සියල්ල සාරාංශගත කර, රජය ආදායම් වැඩි කර ගන්න යන්නේ මේ විදිහට කියා කියන්න පුළුවන්.

ණය අය කර ගැනීම් - 27%

වැට් බදු - 22%

සමාගම් ආදායම් බදු - 22%

ජාත්‍යන්තර වෙළඳාම හා ගනුදෙනු මත බදු - 7%

මත්පැන් හා දුම්කොළ බදු - 7%

පුද්ගල ආදායම් බදු - 3%

සමාජ සංරක්ෂණ බද්ද - 3%

අනෙකුත් ආදායම් - 10%

6 comments:

  1. මෙලෙස බොහෝ අමාරුවෙන් එකතු කර ගන්නා අදායම වියදම් වන්නේ කෙසේද ඉකොනෝ?

    ReplyDelete
    Replies
    1. 2021දී වියදම් කළ ආකාරය පහත ලිපියේ තිබෙනවා. මේ වසර ගැන ඉදිරි ලිපියක කතා කරමු.

      වියදම් කැපිය හැක්කේ මොන විදිහටද?
      http://economatta.blogspot.com/2022/05/blog-post_2.html

      Delete
  2. Plan B කියලවත් එකක් තියෙනවද මෙකියන පාණ්ඩු ආණ්ඩුවේ
    'වංචා දූෂණ අනවැසි වියදම් කපන්න' නැතිදෝ තව හිතුවේ
    වඩ බා මුඛයකි; ඒ වගුවේ තතු නැතිවද අවධානය දිනුවේ
    පය බරවාවට බෙහෙත් පිටේ බැඳ කවදද කවුරුද පළ ලැබුවේ

    ReplyDelete
  3. දේශීය ණය කලමනාකාරනයකට ගියොත් එහි බලපෑම පහලට විහිදෙන ආකරය පිළිබදව පැහැදිලි කිරීමක් කරන්න බැරිද ?
    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී බලමු. ඒ ගැන ලියන්න කලින් එයට අදාළ වෙනත් මූලික කරුණු විස්තර කර ඉන්න වෙනවා.

      Delete
  4. බැඳුම්කර නිකුත් කිරීමෙදී ඒ ඒ ප්‍රාතමික ගැනුම්කරුවන් මිලදීගත් පොලී අනුපාත සාමාන්‍ය ජනතාවට ප්‍රසිද්ද කරනවද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.