Wednesday, March 8, 2023

මහ බැංකු කාර් එකේ බ්‍රේක් කැඩිලද?


ඊයේ ලිපියෙහි මගේ පුරෝකථනය වුනේ ඩොලරයක මිල රුපියල් 5-10 අතර ප්‍රමාණයකින් පහත වැටෙනු ඇති බවයි. එහෙත්, ඊයේ දිනය තුළ, ඊට වඩා වැඩි, රුපියල් 11.04ක, පහත වැටීමක් සිදු වී තිබෙනවා. මහ බැංකුවට ඩොලරයක මිල කෙතරම් පහතට ගන්න අවශ්‍යද කියා මම දන්නේ නැහැ. ඇතැම් විට මහ බැංකුවේ ඉලක්කය රුපියල් 300න් පහළ, රුපියල් 275 වැනි මට්ටමක් වෙන්නත් පුළුවන්. 

පසුගිය ලිපි වල තිබෙන්නේ මහ බැංකුව කරන්නට ඉඩ තිබෙන දෙය ලෙස මා දකින දෙය මිසක් විය යුතු හොඳම දෙය ලෙස මා දකින දෙය නෙමෙයි. මගේ අදහස ඩොලරයක මිල මෙතරම් වේගයෙන් හා මෙතරම් පහළට වැටෙන්නට ඉඩ සැලැස්වීම සුදුසු නැති බවයි. 

ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී බොහෝ විට කෙටිකාලීනව හොඳම දෙය සහ දිගුකාලීනව හොඳම දෙය අතර තේරීමක් තිබෙනවා. මෙම තේරීමේදී කෙටිකාලීන යහපත ඉලක්ක කිරීම තුළ සිදුවන දිගුකාලීන අයහපත ගැන සලකා මනා තුලනයක් පවත්වා ගත යුතුයි. 

පසුගිය සතිය තුළ ඩොලරය පහත වැටීම වලක්වා ගනු පිණිස මහ බැංකුව විසින් ඩොලර් මිලියන 308ක් මිල දී ගෙන තිබුණා. මේ සතිය තුළද එසේ ඩොලර් මිල දී ගන්නවා විය හැකියි. ඒ මත පදනම්ව, "මේ තරමින් හෝ ඩොලරය ඉහළින් තියෙන්නේ අපි ඩොලර් මිල දී ගත් නිසා" කියා මහ බැංකුවට කියන්න පුළුවන්. ඒ වගේ කතාවක තාක්ෂනික වැරැද්දක් නැහැ. නමුත්, එයින් ගම්‍ය වන "මහ බැංකුවට මීට වඩා කළ හැකි දෙයක් නැහැ" කියන අදහස නිවැරදි නැහැ. මහ බැංකුවට ඩොලරයක මිල සැලකිය යුතු ලෙස පහත හෙළා ගන්නට අවශ්‍ය බව සහ ඒ ඉලක්කය පෙරදැරිව කටයුතු කරන බවයි දැනට පෙනෙන්න තියෙන්නේ. 

පසුගිය ඔක්තෝබර් මාසයේදී මගේ සටහනක විස්තරාත්මක ලෙස ලියා ඇති පරිදි මගේ ගණන් හැදීම අනුව ඩොලරයක මිල තිබිය යුතු යෝග්‍ය මිල රුපියල් 393ක්. යාවත්කාලීන කිරීමෙන් පසුවද අදාළ ඇස්තමේන්තුවෙහි වෙනසක් නැහැ. මෙවැනි ගණනය කිරීම් හරියටම නිවැරදි නැති නිසා ඩොලරයක මිල පසුගිය මාස ගණනක් පුරා පවත්වාගනු ලැබූ රුපියල් 360 මට්ටමෙහිම එය පවත්වා ගත්තේනම් එය නරක දෙයක් කියා මම හිතන්නේ නැහැ. කෙටිකාලීන වාසි සලකා ඩොලරයක මිල සුළු වශයෙන් පහත වැටෙන්නට ඉඩ දීමෙහිද වරදක් නැහැ. එහෙත්, සිදුවෙමින් පවතින පහත වැටීම ඕනෑවට වඩා වැඩි හා ඕනෑවට වඩා වේගවත් පහත වැටීමක්. 

මේ මිල පහත වැටීම මහ බැංකුවට පාලනය කළ නොහැකිද? අනිවාර්යයෙන්ම පුළුවන්. පසුගිය සතිය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 308ක් මිල දී ගෙන ඇති බව ඇත්ත. එම ගණන ඩොලර් මිලියන 318ක් හෝ 328ක් නොවී ඩොලර් මිලියන 308ක් වුනේ ඇයි? මහ බැංකුවට ඩොලරයක මිල පහත වැටීම පාලනය කරන්න අවශ්‍ය වී ඇතත්, ඒ යම් සීමාවක් තුළ පමණයි. අවශ්‍යව තිබුණේනම්, ඊයේ දිනය තුළ ඩොලරයක මිල රුපියල් 11.04කින් පහත නොවැටී අඩු ප්‍රමාණයකින් පහත වැටෙන්නට ඉඩ හරින්නට මහ බැංකුවට හැකියාව තිබුණා. මහ බැංකුව විසින් එසේ කර නැත්තේ රුපියල් 11.04කින් මිල පහත වැටීම මහ බැංකුවට ප්‍රශ්නයක් වී නැති නිසයි.

මෙහෙම කරන එකෙන් මහ බැංකුව අපේක්ෂා කරන්නේ රටට ඩොලර් අද්ද ගන්නද? එහෙම වෙන්න පුළුවන්. ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙද්දී බොහෝ දෙනෙක් ඉතා ඉක්මණින් තමන්ගේ ඩොලර් රුපියල් වලට මාරු කරනවා. මේ විදිහට රටට එන ඩොලර් වලින් සිදුවන්නේ කෙටිකාලීනව එකවර සිදුවන (one-off) ඩොලර් සැපයුමෙහි ඉහළ යාමක් පමණක් වුවත්, එම කෙටිකාලීන වාසිය ඉලක්ක කර ඩොලරයක මිල යම් තරමකින් පහත වැටෙන්නට ඉඩ දීමෙහි වරදක් නැහැ. එහෙත්, මෙම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා ඩොලරයක මිල මෙතරම් පහත වැටෙන්නට ඉඩ හැරිය යුතු නැහැ. 

ආනයන හා අදාළව තවමත් තිබෙන්නේ කෘතිමව පාලනය කරනු ලැබ ඇති ඩොලර් ඉල්ලුමක්. ආනයන සීමා දිගටම තියා ගන්න බැහැ. ආනයන සීමා ඉවත් වෙද්දී ඩොලර් ඉල්ලුමද ඉහළ යනවා. එසේ ඩොලර් ඉල්ලුම නැවත ඉහළ යද්දී, ඩොලරයක මිල පහළ යන තරමට, නැවත මිල ඉහළ යාමේ විභවය ඉහළ යනවා. මිල පහළ යන වේගයෙන්ම නැවත ඉහළ යාමට මහ බැංකුව විසින් ඉඩ හරීයැයි මම හිතන්නේ නැහැ. ඔය අතර සංචාරක ඉපැයීම් ආදියද ඉහළ යනු ඇතත්, එය සිදු වනු ඇත්තේ ක්‍රමිකවයි. ඩොලරයක මිල පහළ යන තරමට ආනයන පාලන ඉවත් කිරීම සඳහා ගත වන කාලය දිගු වෙනවා. 

මෙය මහ බැංකුව ජනමතයට යටවීමක් කියා කියන්නත් පුළුවන්. ඩොලරයක මිල පහත වැටෙනු දකින්නට ආණ්ඩුව කොහොමටත් කැමතියි. ආණ්ඩුවට එය ආණ්ඩුවේ දක්ෂකමක් සේ පෙන්වන්න පුළුවන්. අනෙක් අතට විපක්ෂයේ පක්ෂ බර දමන්නේද මේ අතටමයි. ඇතැම් විපක්ෂ දේශපාලනඥයින්ට අනුව "ආණ්ඩුව 200ට තිබුණු ඩොලර් එක 380ට වැඩි කරලා දැන් ඒක 300ට අරගෙන ලොකු දෙයක් කළා කියනවා". මේ වගේ කතා හරහා නොකියා කියන්නේ "පුලුවන්නම් ඩොලර් එක නැවත 200 කරලා පෙන්නන්න. අපි ආවොත් ඔය වැඩේ කරනවා" කියන එකයි. මේ කාරණයේදී දේශපාලන පක්ෂ සියල්ලම වගේ ඉන්නේ එකම තැන. ඩොලර් එක අඩු වෙන ප්‍රමාණය මදි බව කියන අය මිසක් එසේ පහළ යාමෙහි වැරැද්දක් ඇති බවක් කියන අය ඉතාම අඩුයි. 

මහ බැංකුවේ පැත්තෙන් බැලුවහම ඩොලරයක මිල පහත දැමීම කියා කියන්නේ උද්ධමනය අඩු කර ගත හැකි ෂෝට් කට් එකක්. එය හොර පාරක් මිසක් නියම පාර නෙමෙයි. ඩොලරයක මිල පහත යාමේදී සිදු වෙන්නේ එකවර සිදුවන (one-off) තාවකාලික මිල අඩු වීමක්. එයින් දිගුකාලීනව වෙන්නේ ඉල්ලුම් පීඩන ඉහළ යන එකයි. කෙටිකාලීනව, උද්ධමනයද පාලනය කරගෙන, සල්ලි අච්චු ගසමින් පොලී අනුපාතික අඩු කර ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙය කරනවා වෙන්න පුළුවන්. 

ඩොලරයක මිල පහත වැටීම පාලනය කරන්න මහ බැංකුවට තවමත් අවස්ථාව තිබෙනවා. සමහර විට සතිය ඇතුළත මහ බැංකුව එසේ කරයි. ඊයේ දිනයේදී දැකිය හැකි වූයේ අරමුදලේ සල්ලි ලැබෙන්න යාමේ කම්පනය වෙන්න පුළුවන්. ඉතිරි දවස් දෙකත් බලමු.

අලුත් අධිපති පත් වූ අලුත බ්රේක් නැති කාර් එකක් ගැන කතාවක් කිවුවා. දැන් තත්ත්වය දිහා බැලුවහම පේන්නෙත් ඒ වගේම දෙයක්. මේක බ්‍රේක් නැති කාර් එකක් නෙමෙයි. පොඩ්ඩක් කකුල තද කරන්න විතරයි තියෙන්නේ.

ඩොලරය මේ තරම් පහත යන වාතාවරණයක් ඇති කිරීම මහ බැංකුවේ දක්ෂකමක්. නමුත්, ඒක ප්‍රදර්ශනය කරන්න යන්න අවශ්‍ය නැහැ. 

5 comments:

  1. ඩොලර් එකක රුපියල් මිල
    මේතරමට අඩු උනාට
    ආනයනික බඩුවල මිල
    ඒ අනුවම වෙනස්වේද

    ReplyDelete
  2. බ්‍රේක් ගහන්නට කකුලක් තියෙද හොඳ
    ගොඩක් කකුල්වල නං දැන් ගිහිං ලොඳ
    හොම්බෙන් යතත්, දිගටම රට කකා හිඳ
    යන්න හදන මුන්ටත් පායයිද හඳ

    ReplyDelete
  3. ඩොලර් එක පහත යන එකටත් වඩා බරපතල කාරණයක් තියෙනවා ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්, විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නමැත්තා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අයිඑම්එෆ් ණය මේ මාසයේ ලැබෙන බවට මහා ආඩම්බරයෙකින් ප්‍රකාශ කළා. උගේ කතාවට හොඳින් සවන් දුන්නු අයෙකුට ඉතාම පැහැදිලි ලෙස තේරෙන්නේ ලංකාවේ දූෂිත රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නැවත නැවතත් වැරදි පාරේ යන බවයි. ආණ්ඩුව යන පාර වැරදියි කියලා සිතන අයට විකල්පය මොකක්දැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටින අයට අපි දැන් සෑහෙන කාලෙක සිට විකල්පය කියනවා. ආණ්ඩුවට ඇහෙන් නැති එකයි ප්‍රශ්ණය. අපි සූදානම් රනිල් යන ගමන වැරදි වන්නේ ඇයි කියන එකත් ඊට පසු හරි පාර මොකක්ද කියන එකත් කියා දෙන්න.

    රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ උපාය මොකක්ද? මුලින්ම දැනටමත් ඇති ඩොලර් බිලියන පණහක් විතර වන දැවැන්ත විදේශ ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ණයහිමියන්ගෙන් ලබා ගන්නවා. ඊට පස්සේ ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කරනවා. ඊලඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක් ලබා ගෙන සංචිත වැඩි කර ගන්නවා. දැන් ඔන්න අපි බංකොලොත් භාවයෙන් මිදිලා. ඊ ලඟට?

    ඔන්න එතකොට මේ බංකොලොත් භාවයෙන් මිදීම ප්‍රයෝජනයට අරගෙන වැඩි වුණු සංචිත පෙන්වමින් අර පහුගිය යහපාලන රජයේ කාලයේ දී වගේ ණය පිට ණය අරන් නැවත නැවතත් රට ණය උගුලක සිර කිරීමයි.

    ඉදිරි වසර තුනට ලබා ගන්න දැනට සැලසුම් කරලා තිබෙන ණය බැලුවොත් මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9යි. අයි බී ආර් ඩී ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 1.5යි ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයයි. අලුතෙන් අයි එස් බී බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන 2යි. ඔක්කොම ඩොලර් බිලියන 7.4යි. මේ හැම ශතයක්ම පොලිය සමග ආපසු ගෙවන්න ඕනෑ. ඒ අතරේ 2025 සිට දැනට නතර කරලා තිබෙන ණය ආපසු ගෙවීම පටන් ගන්න ඕනි. ඒ කියන්නේ තවත් වසර පහකින් මීට වඩා දැවැන්ත ආර්ථික අර්බූදයක ලංකාව යළි සිර වෙනවා කියන එකයි. රනිල් වික්‍රමසිංහ මේ දැනුවත් වන හෝ නොදැනුවත්වම තමන්ව පින් ජනපතිධූරයකට ඔසවා තැබූ තම විදේශීය ස්වාමිවරුන් උගන්වා ඇති පරිදි මේ කරන්න හදන්නේ ලංකාවේ ආර්ථිකය පහුගිය යහපාලන රජය සමයේ සිර කල අර්බූදයට වඩා ලොකු අර්බූදයක ඊ ලඟ පරම්පරාව හිර කරලා දැනට තාවකාලිකව ගොඩ යන්නයි.

    ReplyDelete
    Replies
    1. තව වසර පහකින් මම බලයේ නෑනෙ කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් හිතනවා ඇති. 2015-2019 යුගයේ වත්මන් ජනාධිපති රනිල් අගමැති ධූරයේ සිට ලබාගත් දැවැන්ත ණය තොගයෙන් හදපු බෝම්බය තමයි නන්දසේන ගෝඨාභයගේ අතේ පත්තු වුණේ. මේ හදන්නේ ඊ ලඟ ජනාධිපතිටත් ඒ වගේම බෝම්බයක් හදලා තියලා දේශපාලනයෙන් ෂේප් එකේ සමු ගන්නයි.

      ලංකාව ආර්ථික අර්බූදයක සිර වුණේ ණය ගැනීම නිසා නම් විසඳුම තව දුරටත් ණය ගැනීම වෙන්නේ කොහොමද? හේතුව සහ විසඳුම දෙකම එකක් වෙන්න බැහැ. ඒක හරියට සීනි වැඩිපුර කාලා දියවැඩියාව හැදුනු කෙනෙකුට බෙහෙත් විධියටත් සීනිම දුන්නා වගේ වැඩක්නෙ.

      අර්බූදයට විසඳුම මොකක්ද?

      ලංකාවේ සාමාන්‍යයෙන් වසරකට භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් බිලියන 22ක් වැය කරනවා. ඒ වගේම අපනයන වලින් ඩොලර් බිලියන 12ක් ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන 7ක් සංචාරකයින්ගෙන් ඩොලර් බිලියන 4ක් වශයෙන් ඩොලර් බිලියන 23ක් සොයා ගන්නවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1ක් වැඩිපුරත් තිබෙනවා. පහුගිය දූෂිත රාජපක්ෂ වනචර දශකයේ දී ගත් ණය අනුව ලංකාවේ ණය වාරික වසරකට ඩොලර් බිලියන දෙකක් විතර තිබුණා නමුත් ඊට පස්සෙ 2015 න් පසු යහපාලන රජය විසින් ගත්ත අධික අති එස් බී ණය නිසා ඇතිවූ ප්‍රශ්නය තිබෙන්නේ සෑම වසරකම ඩොලර් බිලියන 5ක් ණය ගෙවන්න ඕනෑ. ඒකට ඩොලර් නෑ. ඉතින් ලංකාවේ අර්බූදය විසඳෙන්නේ ගෙවන ණය ප්‍රමාණය අඩු කලොත් ද? වැඩි කලොත්ද?

      ජනාධිපති රනිල් හිතන්නේ ණය තව වැඩි කර ගන්න ඕනෑ කියලා. නමුත් ණය වැඩි වුණාම ප්‍රශ්නය උග්‍ර වෙනවා. ඒ වගේම ගත්ත ණය නොගෙවා ඉන්න බෑ.

      ඒකට අපේ අදහස් අනුව නම් කරන්න තිබෙන්නේ අපනයන වැඩි කරන එකයි. එය ක්ෂණිකව කරන්න බෑ. අපනයන වැඩි වන තුරු ආනයන අඩු කරන එකයි. ඒකට හදන්න පුළුවන් හැමදේම ඔය රට ලංකාවේ හදන්න ඕනි. වවන්න පුළුවන් හැමදේම ලංකාවේ වවන්න ඕනෑ. සිරිලක දේ සිරි සැප දේ වගේ මගුලක් කියලා තම රටේ නිෂ්පාදන මිල දී ගන්න ජනතාව පොලොඹවන වැඩපිලිවෙලක් ආණ්ඩුවෙන් දියත් වෙන්න ඕනි. විශේෂ ප්‍රාගුණ්‍ය පිලිබඳ ආර්ථික විද්‍යාවේ න්‍යාය විදේශ විනිමය අර්බූදයක දී අදාල නෑ. මේකට වෙනත් විසඳුමක් යෝජනා කරන්න ඔය රනිල්ගේ දිගටම ණය ගන්න විගඩම් භයානක ක්‍රමය නවත්වල දාන්න පුළුවන් විදියට

      Delete
    2. ඉතින් ඔය 2015-2019 කාලයේදි ගත්ත ණය වලින් බහුතරය ගියේ පෙරදි ගත්ත ණය ගෙවන්න. වැඩිය ඕන නෑ අර හම්බන්තොට වරාය විකුණපු සල්ලි වලට මොකද වුනේ කියලා මෑතදි අහලා මතයක් හදන්න හදනකොටම කියලා තිබ්බා ඒකේන් තමයි ඒ වසරේ විදේශ ණය වාරිකය ගෙව්වේ කියලා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.