නොවැම්බර් මාසයේ ආනයන හා අපනයන පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් වී තිබෙනවා. අපනයන ආදායම ඩොලර් මිලියන 999ක්. ආනයන වියදම ඩොලර් මිලියන 1,389ක්. මාසය තුළ වෙළඳ හිඟය ඩොලර් මිලියන 390ක්.
අවුරුද්දේ පළමු මාස එකොළහම සැලකූ විට, අපනයන ආදායම ඩොලර් මිලියන 10,909ක්. ආනයන වියදම ඩොලර් මිලියන 15,323ක්. සමුච්ඡිත වෙළඳ හිඟය ඩොලර් මිලියන 4,414ක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු අනුව, වසරේ අපේක්ෂිත අපනයන ආදායම ඩොලර් මිලියන 12,365ක්. එම ඇස්තමේන්තුව නිවැරදි වෙන්නනම් දෙසැම්බර් මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,456ක් විය යුතුයි. එහෙත්, එම ආදායම ඒ මට්ටමට යාමේ ඉඩක් නැහැ. මෙම වසරේ සැබෑ අපනයන ආදායම අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් මිලියන 400කින් පමණ අඩු විය හැකියි.
ඒ වගේම, අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු අනුව, වසරේ අපේක්ෂිත ආනයන වියදම ඩොලර් මිලියන 17,887ක්. එම ඇස්තමේන්තුව නිවැරදි වෙන්නනම් දෙසැම්බර් මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 2,564ක් විය යුතුයි. එහෙත්, එය කිසිසේත්ම ඒ මට්ටමට යන්නේ නැහැ. මෙම වසරේ සැබෑ ආනයන වියදම ආසන්න වශයෙන් අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියනයකින් පමණ අඩු විය හැකියි.
අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු අනුව මෙම වසරේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 5,523ක් විය යුතු වුවත්, ඉහත කී පරිදි අපනයන ආදායම් ඇස්තමේන්තුවට වඩා අඩු වෙද්දී ආනයන වියදම් ඊටත් වඩා වැඩියෙන් අඩුවීම නිසා වසරේ වෙළඳ හිඟය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4.9-5.0කට වඩා වැඩි වෙන එකක් නැහැ.
වෙළඳ හිඟයක් තිබීම ලංකාවට සාමාන්‍ය තත්ත්වයක්. 1956 වසරෙන් පසුව ලංකාවේ වෙළඳ ගිණුමේ අතිරික්තයක් පැවතුණේ 1977 වසරේදී පමණයි. එයද, ආනයන කිරීම සඳහා විදේශ විණිමය නැතිකමින් ආනයන පාලනය කිරීම නිසා සිදු වූ දෙයක් මිසක් ස්වභාවිකව ඇති වූ වර්ධනයක් නෙමෙයි. කොහොම වුනත්, රටක වෙළඳ ගිණුමේ හිඟයක් තිබීම ලොකු ප්‍රශ්නයක් හෝ අමුතු දෙයක් නෙමෙයි.
වෙළඳ ගිණුමේ සටහන් කරන්නේ භාණ්ඩ ආනයනය හා අපනයනය හා අදාළ ආදායම් හා වියදම්. ඇතැම් අය වෙළඳ ගිණුමේ ශේෂයට ඕනෑවට වඩා ලොකු අවධානයක් යොමු කළත්, භාණ්ඩ ආනයනය හා අපනයනය කියන්නේ රටකට විදේශ විණිමය එන සහ රටෙන් විදේශ විණිමය යන එක් ක්‍රමයක් පමණයි.
මේ වෙද්දී ලංකාවේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම සේවා ආර්ථිකයක්. ආර්ථිකයේ විදේශ අංශය සැලකුවත්, භාණ්ඩ ආනයන හා අපනයන වලට සාපේක්ෂව සැලකිය යුතු තරමක සේවා ආනයන හා අපනයන සිදු වෙනවා. මේ ආදායම් හා වියදම් සටහන් වන්නේ සේවා ගිණුමේ. ලංකාවේ වෙළඳ ගිණුමේ ශේෂය දිගින් දිගටම සෘණ පැත්තේ තිබුණත්, සේවා ගිණුමේ හැම විටම මෙන් අතිරික්තයක් තිබෙනවා.
ඊට අමතරව, කවුරුත් දන්නා පරිදි, රටට වාර්ෂිකව විශාල ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙනවා. මෙම ප්‍රමාණය පමණක් සැලකුවත් ඉහත සඳහන් ඩොලර් බිලියන 4.9-5.0ක පමණ වෙළඳ හිඟයට වඩා වැඩියි. සේවා ගිණුමේ අතිරික්තය වෙනම තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ කියා කියන්නේ රටින් පිට ජීවත් වන හෝ සේවය කරන ශ්‍රී ලාංකිකයෝ ඒ රට වල භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයට දායක වෙලා උපයන දෙයින් ලංකාවට එවන මුදල්. මේවාත් ලංකාවට ලැබෙන ආදායම්.
රටට ඩොලර් එනවානම්, මොන විදිහෙන් ආවත්, ඒවා ඩොලර්ම තමයි. ඩොලර් එන්නේ භාණ්ඩ අපනයනයෙන්ද, සේවා අපනයනයෙන්ද එහෙම නැත්නම් ශ්‍රමික ප්‍රේෂණ විදිහටද කියන එක අදාළ නැහැ. ඩොලර් රටින් පිට වෙද්දීත්, ඔය විදිහටම, යන හේතුව අදාළ නැහැ. ඩොලරයක් රටෙන් යද්දී රටේ තිබෙන ඩොලරයක් අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ මොන විදිහකින් හෝ ඉපැයිය යුතු ඩොලරයක්. ඩොලරය උපයන්නේ භාණ්ඩ අපනයනයෙන්ද, සේවා අපනයනයෙන්ද එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකටද කියන එක වැදගත් නැහැ.
වෙළඳ ගිණුමේ හිඟයක් තිබීම ප්‍රශ්නයක් නොවුනත්, දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවානම් එය ප්‍රශ්නයක්. ජංගම ගිණුම කියා කියන්නේ වෙළඳ, සේවා, ප්‍රාථමික ආදායම් හා ද්වීතියික ආදායම් ගිණුම් වල එකතුව. මේ සියල්ලේ එකතුව විදේශ විණිමය අතිරික්තයක්නම් රටට විදේශ විණිමය ප්‍රශ්නයක් නැහැ. නමුත්, සමස්තයක් ලෙස ජංගම ගිණුමේ හිඟයක් තියෙනවානම් ඒ හිඟය පියැවෙන තරමට විදේශ ආයෝජන රටට පැමිණිය යුතුයි. එහෙම නැත්නම් විදේශ ණය ගන්න හෝ සංචිත වියදම් කරන්න වෙනවා.
ලංකාවේ විදේශ අංශයේ සැබෑ ප්‍රශ්නය දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් තිබීම. ඉන් පසුව, 1977න් පසු පළමු වරට, මේ අවුරුද්දේ ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතීමට නියමිතයි. එයින් අදහස් වන්නේ වසර තුළ උපයනු ලැබූ විදේශ විණිමය ප්‍රමාණයට වඩා අඩුවෙන් වියදම් කර ඇති බවයි. ඒ කියන්නේ, ශුද්ධ වශයෙන් විදේශ ණය ආපසු ගෙවා හෝ සංචිත වැඩි කරගෙන ඇති බවයි. 1956න් පසු එවැන්නක් සිදුව තිබෙන්නේ 1965දී සහ 1977දී පමණයි.
ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති විට විදේශ ණය අවශ්‍ය වන්නේ කලින් ගත් විදේශ ණය ආපසු ගෙවීමට හෝ සංචිත තර කර ගැනීමට පමණයි. ඒ නිසා, විණිමය අනුපාතය මත වන පීඩනය සැලකිය යුතු ලෙස අඩු වෙනවා. දිගින් දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගත හැකිනම්, රටේ මුදල් ඒකකය අවප්‍රමාණය වීම නැවතී අධිප්‍රමාණය වෙන්න පටන් ගන්නවා. සංචිත ඉහළ යනවා. විදේශ ණය අඩු වෙනවා.
කොහොම වුනත්, දැනට පවතින තත්ත්වය තිරසාර තත්ත්වයක් නෙමෙයි. එක පැත්තකින් විදේශ ණය වලින් කොටසක පොලී ගෙවීම අත් හිටවලයි තියෙන්නේ. ඒ පොලී නියම විදිහට ගෙවුවානම් ජංගම ගිණුමේ ශේෂය අඩු වෙනවා. අනෙක් අතට වාහන වැනි ආනයන තවමත් සිදු වෙන්නේ නැහැ. ඒ ආනයන සිදු වුනානම් ආනයන වියදම් මීට වඩා වැඩි වෙනවා. හැබැයි මෙවැනි සීමාකාරී තත්ත්වයක් යටතේ වුවත්, ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම සුවිශේෂී දෙයක්.
ලංකාවේ ජංගම ගිණුමේ දිගින් දිගටම හිඟයක් පැවතුණේ ඇයි?
මෙවැනි තත්ත්වයක් ඇති වුනේ රජය විසින් දිගින් දිගටම විදේශ ණය අරගෙන ඒ අරමුදල් රුපියල් කර වියදම් කිරීම නිසා. ණයට ගන්න ඩොලර් රුපියල් කරද්දී රටේ ඩොලර් සැපයුම උපයන ඩොලර් ප්‍රමාණය ඉක්මවා ඉහළ යනවා. එවිට ඩොලරයේ මිල පහළ ගිහින් ආනයන ඕනෑවට වඩා ලාබ වී ආනයන ලෙස රටින් පිට වන විදේශ විණිමය ප්‍රමාණය ඉහළ යනවා. ඒ හරහා, ණය ලෙස රටට ආ ඩොලර් ප්‍රමාණය රටින් පිට වී ඩොලර් වෙළඳපොළ තුලනය වෙනවා.
මේ ක්‍රමය මේ විදිහට පවත්වා ගන්න දිගින් දිගටම විදේශ ණය ගන්න වෙනවා. එය කළ නොහැකි වූ විට විදේශ අංශයේ අර්බුදයක් ඇති වෙනවා. ඔය වැඩේ ඔය විදිහට නොවුනානම්, ලංකාවේ විදේශ විණිමය අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.
රටේ විදේශ විණිමය ප්‍රශ්නය විසඳා ගැනීමේ පූර්ව කොන්දේසියක් විදිහට රජයේ අයවැය තුලනය කර ගත යුතු වන්නේ ඔන්න ඔය හේතුව නිසා. රජයේ ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වූ විට රජයට පැරණි ණය හා පොලී ගෙවීමට මිසක් එදිනෙදා වියදමට ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසාම, විදේශ ණය හා පොලී ගෙවන්න අවශ්‍ය ප්‍රමාණය මිසක් ඊට වඩා වැඩියෙන් විදේශ ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
මේ වගේ තත්ත්වයක් යටතේ, අලුතෙන් ගන්න විදේශ ණය පැරණි ණය වල පොලී හා වාරික ලෙස රටින් එළියට යන නිසා රජය විසින් ණයට ගන්න ඩොලර් රුපියල් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා, රටේ ඩොලර් වෙළඳපොළ උපයන ඩොලර් ප්‍රමාණය හා ගැලපෙන පරිදි තුලනය වෙනවා. එයින් කොටසක් මහ බැංකුව විසින් සංචිත ලෙස වෙළඳපොළෙන් ඉවත් කරගත් විට ජංගම ගිණුමේ අතිරික්තයක් හැදෙනවා.
රටේ විදේශ විණිමය ආදායම් වැඩි වෙන දේවල් මොකක්වත් ආණ්ඩුව විසින් කරලා නැත්නම් විදේශ විණිමය ප්‍රශ්නය විසඳෙන්නේ කොහොමද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. විදේශ විණිමය ආදායම් හොයන එක පුද්ගලයින්ගේ හා සමාගම් වල වැඩක්. රජයට ඒ සඳහා වඩා යෝග්‍ය වාතාවරණයක් හදා දෙන්න පුළුවන්. එහෙත්, විදේශ ආදායම් වැඩි කරගන්න එක රජයට සෘජුව කළ හැකි දෙයක් නෙමෙයි. ඒ වගේම, රජය විසින් එසේ නොකිරීම ප්‍රශ්නයකුත් නෙමෙයි.
රජය විසින් රජයේ අයවැය තුලනය කර ගන්නවානම්, විදේශ ණය අරගෙන රුපියල් කර රටේ විණිමය වෙළඳපොළේ තුලනය නැති නොකරනවානම්, මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීමට මැදිහත් නොවනවානම්, රටට විදේශ විණිමය ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. විදේශ විණිමය සඳහා නියම මිල ලැබෙනවානම් රටේ මිනිස්සු විදේශ විණිමය හොයනවා. ඒ හොයන්නේ භාණ්ඩ අපනයනයෙන් හෝ සේවා අපනයනයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටින් පිටවී ප්‍රේෂණ රටට එවීම මගින් වෙන්නත් පුළුවන්. මොන විදිහට ආවත් ඒ එන්නේ විදේශ විණිමය.
කලින් කී පරිදි, රජය ණය විදේශ අරගෙන වෙළඳපොළට පොම්ප කරන්නේ නැත්නම්, මහ බැංකුව විණිමය අනුපාතය කෘතිමව පාලනය කරන්නේ නැත්නම්, රටට එන විදේශ විණිමය ප්‍රමාණයෙන් දිගුකාලීනව රටේ විදේශ විණිමය අවශ්‍යතා සම්පූර්ණ වෙනවා. විදේශ විණිමය හිඟයක් ඇති වෙන්නේ නැහැ. තාවකාලිකව එවැනි තත්ත්වයන් ඇති විය හැකි වුවත් මහ බැංකුවේ ප්‍රමාණවත් සංචිත පවත්වා ගැනීම මගින් එවැනි තාවකාලික කම්පන වලට මුහුණ දෙන්න පුළුවන්.
ඇත්තටම ඉතා වටිනා ලිපියක්.
ReplyDeleteමේ ලිපියේ තියෙන කරුණු ටිකම ඇති යුද්ධෙන් පස්සෙ පීබී ජයසුන්දර, කබ්රාල් දෙබෑයො මහින්දව ඉස්සරහෙන් තියා ගෙන රට බංකොලොත් කල හැටි තේරූම් ගන්න.
ඉකෝන් කියනවා වගේ ඉතිහාසය පුරාම ලංකාවේ වෙළද ශේෂය ධන වෙලා තිබ්බෙ නෑ.. ඒ වගෙම හැමදාම වගේ ජංගම ගිණුම ධන වෙලත් තිබ්බෙ නෑ....නමුත් 2010 මහින්දගේ දෙවන කාලේ වෙනකං මේවා ඔක්කොම යම්කිසි පාලනය කර ගත හැකි මට්ටමක තිබ්බෙ... ආර්ථිකයේ ව්‍යුහාත්මක අවුල ඉතිහාසය පුරාම තිබ්බත් මහින්දගේ දෙවන කාල සීමාවෙ ඉහල පොලියකට අන්තර්ජාතික සෛවෛරී බැදුම්කර හරහා ලංකාවට ඩොලර් අදින්න ගත්තා.
ඉතිහාසය පුරාම උනා වගේ විණිමය අණුපාතය හිර කරන් හිටපු හින්දා ඩොලර් රුපියල් කරලා භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා වැඩි යීල්ඩ් රේට් එකක් ගන්නත් පුලුවන් උනා...උද්දමනය වැඩි වෙලා හිර වෙන කොට පොඩ්ඩක් විණිමය අනුපාත, රුපියල බාල්දු කලා.
ලංකාවේ රාජ්‍ය ණය, මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලි බල මණ්ඩලය, වරාය වැනි ආයතන වල හංගලා ගහන්න ගත්තා. ඒව රජයේ ගිණුම් වල දැක්වුනේ නෑ... ඒ නිසාම රජයේ ණය , දල දේශීය නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රතු එලි දැක්වෙන මට්ට්මේ තිබ්බෙ නෑ...මේ ඔක්කොම පීබී ජයසුන්දර සහ කබ්රාල් ගේ වැඩ..හොදට ඉදිකිරීම් ප්‍රොජෙක්ට්ස් ගියා. හැමෝටම සල්ලි අතට ආවා.
විණිමය අනුපාතය හිර කරන් හිටපු නිසා, ලංකාවේ මධ්‍යම පන්තියට තමන්ට ඇත්තටම හිමි නොවුනි ලක්ෂරි අයිතම පාවිච්චි කරන්න පුලුවන් උනා. කවුරුත් තමන්ට ලැබුණු ප්‍රතිලාභා වලින් ඇස් ගිණි කණ වැටිලා හිටියේ..නමුත් මේ ඔක්කොම ලංකාවේ අනාගත දරු පරපුර උකස් කරමින් අපේ ජෙනෙරේශන් එක අත්විදපු , අපිට අයිති නොවිය යුතු තිබු දියුණුවක්.
- Mayya
ඇත්තටම එකල විණිමය අනුපාතය හිර කරන් තිබ්බ හින්දා චීනෙන් ගේන ලස්සන ප්ලාස්ටික් කොස්ස, ලංකාවේ හදන කොහු කොස්සට වඩා ලාභ උනා. හැමෝම චීන කොස්සට පුරුදු උනා. ලංකාවේ දේශීය කොස්ස නැත්තටම නැති වෙලා ගියා.
ReplyDeleteමේ කාරණය නිසා ලංකාවේ වෙලද ශේෂය කවදාවත් ධන වෙන්න විදිහක් නෑ...මොකද ලංකාවෙ හදනවට වඩා පිටරටින් ගෙනැල්ලා විකුණන එක ලාභයි.කොලිටියත් හොදයි..
මහින්දලා පපුවට ගහගෙන දේශීයත්වය ගැන වේදීකා දෙදරන්න කෑ ගැහුවට, විණිමය අණුපාතය හිර කරන් ඉදීම හරහා දේශීය නිශ්පාදකයාව අවුලෙන් අවුලට දැම්මා..කොස්ස උදාහරණයක් විතරයි...අනෙක් කර්මාන්ත ක්ශේත්‍ර වලත් මේ අවුල මේ විදහට තිබ්බා....
ලංකාවේ නිශ්පාදයනට වඩා ගෙනැල්ල විකුණන එක ලාභයි සහ කොලිටි වැඩියි..
දැන් මේ විකෘතිය හරි ගිහිල්ලා තියෙනවා. ඒ විණිමය අනුපාතය කෘතිමව පාලනය කිරීම අතහැරීම නිසා. මහ බැංකුව ස්වාධීන වීමත් හොද කාරණයක්.
දැන් දැන් පිටරටින් ආනයන කරන භාන්ඩ මිල අධික නිසා ඒවාට දේශිය ආදේශක වෙලද පොලට එන්න පටන් අරං...කොලිටිය අඩු උනත් කරන්න දෙයක් නෑ....දුප්පත් රටක ඉදන් පලවෙනි ලෝකයේ සැප පහසුව ගන්න බෑ....මෙච්චර කල් එහෙම කලා තමයි..ඒ කලේ ඉපදෙන්න ඉන්න අපේ මී මුණුපුරොත් ලෝකෙට ණය කරලා....
- Mayya
දැන් නාකි මයිනන්ව, කපුටන්ට ගල් ගහලා බලේට එන්න ඉන්න උදවිය ගැනත් හිතන්න ඕනේ....උදාහරණයක් ලෙස ජෙප්පො ගත්තොත්, මේ ගොල්ලොත් කතා කරන්නේ දේශිය නිශ්පාදන වැඩි කිරීමක් ගැන. හැබැයි විණිමය අණුපාතය ගැන මේ ගොල්ලන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා ඇහුවොත් ඒක පීබී කබ්රාල් ඩබලගේ විණිමය අනුපාත මොඩල් එකම තමයි.
ReplyDeleteඑ හින්දා දේශීය කර්මාන්ත ය ගෙන පපුව බර කර ගෙන කතා කරන රතු සහෝදරයොර්හ් යන්න හදන්නෙ පිබී කබ්රාල් ලගෙ මොඩලයම තමයි...සමහර විට ඊටත් වඩා ආර්ථික සංවෘත කිරීම් සහිතව...
හොරු අල්ලන්න ඇවිත්, ආර්ථිකයේ මූලික කාරනා ගැනවත් හරි හමං ප්‍රතිපත්තියක් නැතිව එන මේ ගෝලල්ලනෙගෙ ගෝඨාබය 2 බලා ගන්න් පුලුවන් කියලා මට නිකමට වගේ හිතෙනවා.
- Mayya