Wednesday, December 27, 2023

ආර්ථිකයේ අතරමැදියාගේ භූමිකාව


ලංකාවේ වර්තමාන ආර්ථිකය මොන වගේ එකක්ද? රටේ ආර්ථිකය දියුණු කිරීම ගැන වත්පොතේ අදහස් පළ කරන ගොඩක් අය එසේ කරන්නේ ලංකාවේ වර්තමාන ආර්ථිකයේ ස්වභාවය ගැන නිසි අවබෝධයක් නැතුව. සමහර අයට අනුව රටේ ආර්ථිකය දියුණු කිරීම කියන්නේ පිටරටින් බී ළූණු ගේන එක නවත්තලා රට ඇතුළේ බී ළූණු නිපදවා ගැනීම වගේ දේවල් කිරීම. තවත් අයට අනුව, අතරමැදියා ඉවත් කරලා ගොවියා හා පාරිභෝගිකයා කෙළින්ම සම්බන්ධ කරවීම. 

බරපතල මැදිහත්වීම් නැතිව ඔය කියපු ආකාරයේ දේවල් ඓන්ද්‍රීය ලෙසම වෙනවානම් ඒවා වලක්වන්න අවශ්‍ය නැහැ. නමුත්, ඔය වගේ දේවල් බලහත්කාරයෙන් කරවලා රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. බැහැ කියන්නේ කිසිසේත්ම බැහැ. රටේ ආර්ථිකය දියුණු කළ යුතු ආකාරය ගැන බරපතල යෝජනා කරන්න කලින් රටේ ආර්ථිකය මොන වගේ එකක්ද කියලා තේරුම් අරගත්තොත් ඔය වගේ යෝජනා වල නිරර්ථක භාවය තමන්ටම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. 

රටේ ආර්ථිකයේ ප්‍රමාණය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතය (දදේනි) ඇසුරෙන්. දදේනි කියන්නේ අවුරුද්දක් හෝ කාර්තුවක් වැනි කිසියම් කාල වකවානුවක් තුළ, රට තුළ සිදු වූ සමස්ත නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම. ඒ නිසාම, රටේ සියලු දෙනා විසින්ම අදාළ කාලය තුළ ඉපැයූ සමස්ත ආදායම. රටේ කියා කිවුවත්, අවශ්‍යනම් පළාතක් වැනි රටේ කොටසක් සඳහා මේ ගණනය කිරීම් කරන්නත් පුළුවන්. මේ ලිපිය තුළ අපි මුළු රටම තනි ඒකකයක් ලෙස සලකමු. 

අලුත්ම සංඛ්‍යාලේඛණ වලින් පටන් ගත්තොත්, 2023 තුන් වන කාර්තුවේදී ලංකාවේ දදේනි රුපියල් බිලියන 6,906.9ක්. රටේ ජනගහණයෙන් බෙදුවොත්, එක් අයෙකුට සාමාන්‍ය වශයෙන් මාසයකට රුපියල් 103,900ක පමණ ආදායමක්. ඒ කියන්නේ, සාමාන්‍ය වශයෙන් එක් අයෙක් මාසයකට රටේ ආර්ථිකයට රුපියල් 103,900ක පමණ අගය එකතු කිරීමක් කරනවා. නමුත්, රටේ බොහෝ දෙනෙකු විසින් මේ මට්ටමේ අගය එකතු කිරීමක් සිදු නොකරන බවත්, සීමිත පිරිසක් විසින් සාමාන්‍ය අගයට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන නිසා මේ සාමාන්‍ය අගය මේ මට්ටමේ තිබෙන බවත් පැහැදිලි විය යුතුයි. මේ ලිපියේ අවධානය යොමු කරන්නේ ඒ කරුණ වෙත නෙමෙයි.

ආදායම් බෙදී යාමේ විෂමතා නැති නොවෙතත්, සාමාන්‍ය මූලධර්මයක් විදිහට රටේ දදේනි ඉහළ යද්දී පොදුවේ රටේ කාගේත් ජීවන තත්ත්වය ඉහළ යනවා. ඒ නිසා, වඩා වැදගත් කරුණ රටේ දදේනි ඉහළ නැංවිය හැක්කේ කොහොමද කියන එකයි. ඒ හා අදාළව මේ ලිපියෙන් විමසා බලන්නේ රටේ ආර්ථිකයට විවිධ අංශ වලින් ලබා දෙන දායකත්වය පිළිබඳවයි. 

බිලියන වලින් කියූ විට තේරුම් ගන්න අමාරු නිසා, තේරුම් ගැනීමේ පහසුව සඳහා රටේ එක් පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 100,000ක් ලෙස සලකමු. මෙය ඉහත කී රටේ මාසික ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය අගයට බොහෝ ආසන්න අගයක්. දැන් ප්‍රශ්නය මේ රුපියල් ලක්ෂය වැඩි කර ගත හැක්කේ කොහොමද?

රටේ ආර්ථිකය 2%කින් වර්ධනය වුවහොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 102,000ක් වෙනවා. රටේ ආර්ථිකය 8%කින් වර්ධනය වුවහොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 108,000ක් වෙනවා. රටේ ආර්ථිකය 2%කින් හැකිලුනොත්, ඔය රුපියල් ලක්ෂය රුපියල් 98,000ක් වෙනවා. 

රටේ ආර්ථිකය වර්ධනය වන්නේ හෝ හැකිළෙන්නේ ආර්ථිකයේ එක් එක් අංශ වර්ධනය වන හෝ හැකිළෙන ආකාරය අනුවයි. ආර්ථිකයේ මේ අංශ මොනවාද?

රටේ ආර්ථිකය ගැන කතා කරද්දී ලංකාවේ බොහෝ දෙනෙකු විසින් තවමත් මුලින්ම මතක් කර ගන්නේ කෘෂිකාර්මික අංශය. රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් වැඩ කරන්නේ කෘෂිකාර්මික අංශය තුළ වුවත් එම අංශයෙන් රටේ ජාතික ආදායමට හා ජාතික නිෂ්පාදිතයට ලැබෙන්නේ සාපේක්ෂව කුඩා දායකත්වයක්. හරියටම ගණන ඉහත රුපියල් 100,000ක මුදලින් රුපියල් 7,847.83ක් පමණයි.

කෘෂිකාර්මික අංශයේ විවිධ අනු අංශ වලින් රටේ ජාතික ආදායමට ලැබෙන දායකත්වය (ඉහත කී මාසික ඒක පුද්ගල ආදායමේ කොටස් ලෙස) පහත පරිදියි.

වී වගාව - රුපියල් 838.02

අනෙකුත් ධාන්‍ය වර්ග - රුපියල් 251.81

එළවලු - රුපියල් 1,097.03

පළතුරු - රුපියල් 752.64

පොල්, තැඹිලි ආදිය - රුපියල් 677.41

තේ (අමු දළු) - රුපියල් 453.83

රබර් - රුපියල් 174.41

අනෙකුත් දිගුකාලීන වගා - රුපියල් 244.50

කුළුබඩු ආදිය - රුපියල් 578.82

කරදිය ධීවර නිෂ්පාදන - රුපියල් 781.84

මිරිදිය ධීවර නිෂ්පාදන - රුපියල් 217.46

සත්ත්ව නිෂ්පාදන - රුපියල් 1,345.85

කෘෂිකර්මය හා අදාළ සේවාවන් - රුපියල් 191.30

දැව - රුපියල් 177.31

නිදහසෙන් පසු ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වල වී වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල බරක් තබා තිබුනත්, මුළු රටේම වී වගාව සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් රුපියල් ලක්ෂයක මාසික ඒක පුද්ගල ආදායමෙන් අඩු වෙන්නේ රුපියල් 838ක් පමණයි. ඒ කියන්නේ දදේනි අඩු වෙන්නේ 0.84%කින් පමණයි. තේ වගාව ගත්තත් කතාවේ වෙනසක් නැහැ. එහි දායකත්වය දදේනියෙන් 0.45%ක් පමණයි. (මීට අමතරව තේ දළු සකස් කිරීමේ කර්මාන්තයේ  දායකත්වය තිබෙනවා. මෙහි එය නැහැ. එය වැටෙන්නේ කාර්මික නිෂ්පාදිතය යටතට. රබර් ගත්තත් එහෙමයි.)

දැන් මේ කියන්න හදන්නේ රටේ කෘෂිකාර්මික අංශය වැදගත් නැති බව හෝ එය නොසලකා හළ යුතු බව නෙමෙයි. ඒ නිසා, කියන දේ වරදවා තේරුම් ගන්න එපා. ලෝකයේ ඕනෑම රටක් කෘෂිකර්මයට ප්‍රමුඛත්වයක් දෙනවා. මොනවා කරන්නත් කාලා ඉන්න ඕනෑ. හැබැයි කෘෂිකාර්මික අංශය දියුණු කරලා රටේ ආර්ථිකය දැනෙන තරමකින් ප්‍රසාරණය කරවන්න බැහැ. රටේ වී නිෂ්පාදනය දෙගුණ වුනත්, රටේ ආර්ථිකය 1%කින්වත් ප්‍රසාරණය වෙන්නේ නැහැ. 

රටේ සේවා නියුක්තිය පවත්වා ගැනීම සඳහා වී, තේ වගේ අංශ වල දායකත්වය ඉතාම වැදගත්. ඒ වගේම, තේ වලින් සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක්ද ලැබෙනවා. නමුත්, මේ අනු අංශ වලින් දදේනියට ලැබෙන දායකත්වය ඒ තරම්ම විශාල නැහැ. 

කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව කර්මාන්ත අංශයෙන් දදේනියට වැඩි දායකත්වයක් ලැබෙනවා. අර රුපියල් ලක්ෂයේ මාසික ආදායමට කර්මාන්ත අංශයෙන් ලැබෙන දායකත්වය රුපියල් 28,103.40ක්. ඒ කියන්නේ, සැලකිය යුතු දායකත්වයක්. මේ කොටස ඇතුළේ ඉදිරියෙන්ම තිබෙන්නේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයේ දායකත්වය. එය රුපියල් 7,567.14ක්. ඒ කියන්නේ දදේනියෙන් 7.56%ක්. මුළු කෘෂිකාර්මික අංශයේම දායකත්වයට ආසන්නව සමානයි. ආහාරපාන හා දුම්කොළ සැකසුම් වලින් තවත් රුපියල් 7,472.66ක් එකතු වෙනවා. තේ සැකසුම් කර්මාන්තයේ දායකත්වය තිබෙන්නේ මේ කොටස තුළ විය යුතුයි. ඔය අනු අංශ දෙක එකතු වුණාම කර්මාන්ත නිෂ්පාදිතයෙන් බාගයකට වඩා වැඩියි. ඉදිකිරීම් කර්මාන්තයෙන් තවත් රුපියල් 5,085.30ක් එකතු වෙනවා. කැණීම් හා ගල් කැඩීම් වලින් රුපියල් 1,406.32ක් එකතු වෙනවා. අනෙකුත් සියලුම කර්මාන්ත වලින් ඉතිරි රුපියල් 6,572.02ක මුදල එකතු වෙනවා.

ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය - රුපියල් 7,567.14

ආහාරපාන හා දුම්කොළ සැකසුම් - රුපියල් 7,472.66

ඉදිකිරීම් කර්මාන්තය - රුපියල් 5,085.30

කැණීම් හා ගල් කැඩීම් - රුපියල් 1,406.32

අනෙකුත් සියලු කර්මාන්ත අංශ - රුපියල් 6,572.02

ලංකාවේ වත්මන් ආර්ථිකය මූලික වශයෙන්ම සේවා ආර්ථිකයක්. ඉහත කී රුපියල් ලක්ෂයෙන් රුපියල් 57,541.20ක්ම ලැබෙන්නේ සේවා අංශ වලින්. බස්නාහිර පළාත වැනි නාගරික පළාත් පැත්තකින් තියලා නැගෙනහිර, වයඹ, උතුරු මැද වගේ කෘෂිකාර්මික පළාත් සැලකුවත්, ඒ පළාත් වල ආර්ථිකයට වැඩිම දායකත්වයක් සපයන්නේ සේවා අංශය මිසක් කෘෂිකාර්මික අංශය නෙමෙයි. කාර්මික අංශයේ දායකත්වය වුනත් කෘෂිකාර්මික අංශයේ දායකත්වයට වඩා වැඩියි. ඒ කියන්නේ, සේවා, කාර්මික හා කෘෂිකාර්මික අංශ වලින් ආර්ථිකයට ලැබෙන දායකත්වයේ අනුපිළිවෙල සැලකූ විට රටේ පළාත් අතර වෙනසක් නැහැ. වයඹ පළාතේ දදේනියෙන් 48.9%කුත්, අනෙක් හැම පළාතකම දදේනියෙන් බාගයකට වඩා වැඩියෙනුත් ලැබෙන්නේ සේවා අංශයෙන්. 

සේවා අංශයේ විවිධ අනු අංශ වලින් රටේ ජාතික ආදායමට ලැබෙන දායකත්වය (ඉහත කී රුපියල් ලක්ෂයක මාසික ඒක පුද්ගල ආදායමේ කොටස් ලෙස) පහත පරිදියි.

තොග හා සිල්ලර වෙළඳාම - රුපියල් 14,269.40

ප්‍රවාහනය - රුපියල් 10,558.00

බැංකු රක්ෂණ ඇතුළු මූල්‍ය සේවා - රුපියල් 7,886.01

නිවාස හා දේපොළ වෙළඳාම් - රුපියල් 3,993.74

ආහාරපාන හා නවාතැන් සැපයීම් - රුපියල් 2,015.30

පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවාවන් - රුපියල් 1,466.58

පොදු පරිපාලනය හා ආරක්ෂාව - රුපියල් 3,886.82

අධ්‍යාපනය - රුපියල් 1.841.56

සෞඛ්‍යය - රුපියල් 1,794.04

අනෙකුත් විවිධ සේවාවන් - රුපියල් 8,833.67

මේ සේවාවන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පරිගණක හා තොරතුරු තාක්ෂණ සේවාවන්, ආහාරපාන හා නවාතැන් සැපයීම් වගේ දේවල් ගත්තහම වෙන්නේ සේවා නිෂ්පාදනයක් කරලා එය පාරිභෝගිකයාට සෘජුව අලෙවි කරන එක. සමහර විට නිෂ්පාදනය සහ අලෙවිය එකම මොහොතේ සිදු වෙන්න පුළුවන්. 

මෙයින් වෙනස්ව, තොග හා සිල්ලර වෙළඳාම වගේ සේවාවන් අතරමැදි සේවාවන්. මෙහිදී සපයන සේවාව වන්නේ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සම්බන්ධ කරන එක. කැලණියේ ජීවත් වන කෙනෙක් ලඟම තියෙන සුපිරි වෙළඳසැලකින් මිසක් අම්පාරේ වී ගොවියෙක් ලඟට ගිහින් හාල් මිල දී ගන්නේ නැහැ. නිෂ්පාදකයාව සහ පාරිභෝගිකයාව සම්බන්ධ කරවන්නේ අතරමැදි තොග හා සිල්ලර වෙළෙන්දන් විසින්.

භාණ්ඩ හා මගී ප්‍රවාහනය ගත්තත් එය මේ වගේම අතරමැදි සේවාවක්. ශ්‍රමිකයෙකුට හා ශ්‍රමය මිල දී ගන්නා අයෙකුට සම්බන්ධ වෙන්න තිබෙන ස්ථානීය බාධකය ප්‍රවාහන සේවා සපයන්නා විසින් ඉවත් කරනවා. සමහර විට දෙපැත්තේ ඉන්නේ සේවා නිෂ්පාදකයෙක් හා සේවා සපයන්නෙක් වෙන්න පුළුවන්. පාසැල් වෑන් වලින් කරන්නෙත්, විනෝද චාරිකා යද්දී වෙන්නෙත් ඒක. 

බැංකු විසින් කරන්නෙත් ඔය වැඩේමයි. මෙහිදී වෙන්නේ ඉතිරි කරන්නන් හා ණය ගන්නන් සම්බන්ධ කරවීම. බැංකු නැත්නම් ඔය වැඩේ ඔය විදිහට වෙන්නේ නැහැ. 

තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය, නිවාස හා දේපොළ වෙළඳාම් හා බැංකු රක්ෂණ ඇතුළු මූල්‍ය සේවා කියන කොටස් හතර එකතු කළොත් දදේනියෙන් 36.7%ක්. මේවා අතරමැදි සේවා. මීට සාපේක්ෂව, කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ සියල්ලම එකතු කළත් ලැබෙන්නේ 36.0%ක පමණ දායකත්වයක් පමණයි. අතරමැදියෝ නැත්නම් රටේ ජාතික ආදායමෙන් තුනෙන් පංගුවකට වඩා නැති වෙනවා. කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ සියල්ල නැති වුනත් ලැබෙන්නේ එකම ප්‍රතිඵලය.

කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදන නොවැදගත් බවක් මෙයින් කිසිසේත්ම අදහස් වන්නේ නැහැ. එම නිෂ්පාදන නැත්නම් සේවා අංශ වලට පවතින්න බැහැ. නමුත් එහි අනෙක් පැත්තත් ඒ වගේම තමයි. සේවා අංශ නැත්නම් කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදන ඔය මට්ටමේ පවතින්නේත් නැහැ. 

අම්පාරේ වී ගොවියා සහ කැළණියේ පාරිභෝගිකයෙකු අතර තොග හා සිල්ලර වෙළෙන්දන් ගණනාවක් ඉන්නවා. ප්‍රවාහන සේවා සපයන්නෝ ඉන්නවා. ඒ අයට බැංකු, රක්ෂණ වැනි මූල්‍ය සේවා සපයන්නෝ ඉන්නවා. මේ අයව ඉවත් කරලා අම්පාරේ වී ගොවියාට කැළණියේ පාරිභෝගිකයා එක්ක කෙළින්ම සම්බන්ධ වෙන්න ඉඩ සලසන එක වඩා කාර්යක්ෂමද? කිසිසේත්ම නැහැ. එය වඩා කාර්යක්ෂමනම් ඒ වැඩේ මේ වෙද්දීත් වෙලා. එහෙම වෙලා නැත්තේ එය අකාර්යක්ෂම නිසා.

අම්පාරේ වී ගොවියාට සහ කැළණියේ පාරිභෝගිකයාට සම්බන්ධ වෙන්න අතරමැදියෙකු හෝ අතරමැදියන් ජාලයක් අවශ්‍යයි. මේ අතරමැදියන් ඉවත් කළ හැකි එකම ක්‍රමය ඒ වෙනුවට රජය ආදේශ කරන එක. ඒ කියන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හදන එක. එහෙම කළා කියලා පිරිවැය නැති වෙන්නේ නැහැ. පිරිවැය ඒ විදිහටම තියෙනවා.

තොග හා සිල්ලර වෙළඳාම හෝ ප්‍රවාහනය කියන්නේ අදාළ ව්‍යාපාර වල අයිතිකාරයෝ පමණක් නෙමෙයි. මේ අංශ වල සේවය කරන ශ්‍රමිකයින් විශාල පිරිසක් ඉන්නවා. ජාතික ආදායමේ අදාළ පංගුව මේ සියලු දෙනා අතර බෙදී යනවා. ඒ අය තමන් උපයන ආදායම වියදම් කරද්දී කෘෂිකාර්මික හා කර්මාන්ත නිෂ්පාදිත සඳහා ඉල්ලුම වැඩි වෙනවා. අදාළ නිෂ්පාදන අංශ වල ආදායම් ඉහළ යනවා. ඒ අනුව, සේවා අංශ විසින් ජාතික ආදායමට අගය එකතු කිරීමක් නොකළේනම්, එහි බලපෑම කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ වලටත් දැනෙනවා.

ලංකාවේ ගොඩක් අය පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම විදිහට සිල්ලර කඩයක් දමන එක, ත්‍රිරෝද රථ සේවා සපයන එක වගේ අතරමැදි සේවාවන් ගැන හිතනවා. මෙය සමහර අයගේ විවේචනයට ලක් වෙනවා. නමුත්, ආදායමක් උපයන්න පුලුවන්නම්, මෙහි කිසිම වැරැද්දක් නැහැ. ආදායමක් උපයනවා කියන්නේ ආර්ථිකයට ඊට සමාන අගය එකතු කිරීමක් කරලා. ඒ සඳහා, බී ළූණු වවන්නම අවශ්‍ය නැහැ. කඩෙන් බී ළූණු මිල දී ගන්න පුළුවන් ආදායමක් ලැබෙනවානම් එච්චරයි. 

බී ළූණු නැත්නම් ලොකු ලූනු වෙන්නේ කලින් බොම්බයි ළූණු ලෙස හැඳින්වුණු ළූණු වර්ගය. මේවා අනාදිමත් කාලයක සිට ලංකාවේ වවපුවා නෙමෙයි. බොම්බයි ළූණු කියන නමින්ම කියවෙන පරිදි මේ ළූණු වර්ගය ලංකාවට ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ කෑම වේලකට නැතුවම බැරි මයිසූර් පරිප්පු මයිසූර් පරිප්පු වුනෙත් ඔය හේතුව නිසා. මේ ආහාර වර්ග වල නම් වෙනස් වුනේ 1988/89 කාලයේදී. ජවිපෙ ඉන්දියානු විරෝධය එක්ක නිල නොවන ලෙස බොම්බයි ළූණු, මයිසූර් පරිප්පු තහනම් වෙනවා. මේ ආහාර ද්‍රව්‍ය විකුණන වෙළෙන්දන්ට මරණ තර්ජන එනවා. නමුත් ඔය කාලය වෙද්දීත් ලංකාවේ ලොකු ළූණු වවනවා. ජවිපෙ තර්ජන නිසා ලංකාවේ වවන ලොකු ළූනුත් විකුණගන්න අමාරු වෙනවා. ඔය කාලයේ තමයි රජය විසින් බොම්බයි ළූණු කියන නම වෙනුවට ලංකා ලොකු ළූණු කියන නම ආදේශ කළේ. ඔය විදිහටම මයිසූර් පරිප්පු රතු පරිප්පු වුනා.

දැන් ලංකාවේ ලොකු ලූනු වවන්නේ යම් කිසි අවස්ථාවක මේ ආහාර වර්ගය ඉන්දියාවෙන් ආනයනය කළ නිසා. නැත්නම් ලංකාවේ ලොකු ළූණු කියා දෙයක් නැහැ. දැන් ලංකාවේ වවන අර්තාපල්, කැරට්, බෝංචි වගේ ගොඩක් දේවල් මුලින් වෙනත් රටකින් ආනයනය කළ නිසා රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඒ අනුව රට ඇතුළේ නිෂ්පාදනයක්ද ඇති වූ දේවල් මිසක් අනාදිමත් කාලයක සිට ලංකාවේ තිබුණු ආහාර ද්‍රව්‍ය නෙමෙයි. 

මිනිස්සුන්ගේ රුචිකත්වය විවිධයි. එයට සීමාවක් නැහැ. අපිට කන්න අවශ්‍ය, කන්න කැමති දේවල් අපිම වවාගෙන කන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් එහෙම කරන එකේ කිසිම වැරැද්දක් නැතත්, කැමති දෙයක් කඩෙන් සල්ලි දීලා අරගෙන කන්න අවශ්‍ය කෙනෙක් එහෙම කරන එකෙත් කිසිම වැරැද්දක් නැහැ. කඩෙන් තමන්ට අවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා අවශ්‍ය ආදායම කොහොම හරි හොයාගන්න පුළුවන්නම් එච්චරයි. ආදායම හොයාගන්නේ වී වවලද, බී ළූණු වවලද නැත්නම් ත්‍රිරෝද රථ සේවාවක් සපයලාද කියන එක වැදගත් නැහැ. එය පෞද්ගලික තේරීමක්. මේ මොන දේ කළත් කරන්නේ රටේ ආර්ථිකයට අගය එකතු කිරීමක්. එක ක්‍රමයකින් අගය එකතු කරන එක වෙන ක්‍රමයකින් අගය එකතු කරන එකට වඩා බාල වැඩක් නෙමෙයි.

ආනයන ගැන කියන්න තියෙන්නෙත් ඔය කතාවමයි. වෙන රටකින් බී ළූණු ආනයනය කරන්න ප්‍රමාණවත් විදේශ විණිමය ප්‍රමාණයක් උපයන්න පුළුවන්නම් බී ළූණු රට ඇතුළේම හදන්න අවශ්‍ය නැහැ. පැහැදිලි ලෙසම එය අකාර්යක්ෂමයි. ඒ වගේම, එහෙම කළා කියලා රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වෙන්නෙත් නැහැ. 

රටක ආර්ථිකයක් දියුණු වෙන්නේ රටේ සිදුවන නිදහස් ගනුදෙනු ප්‍රමාණය ඉහළ යන තරමටයි. නිදහස් ගනුදෙනුවක් සිදුවන හැම විටකම සිදුවන්නේ රටේ තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය ඒවා වඩා ඵලදායී ලෙස යොදාගන්නා අයෙකු වෙත විතැන් වෙන එකයි. එහෙම නැත්නම් කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට වැඩිම වටිනාකමක් දෙන පාරිභෝගිකයෙකු වෙත විතැන් වෙන එකයි. අතරමැදියන් නිසා මේ විතැන් වීම වඩා වේගයෙන් හා වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. රට තුළ සිදු වන ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. දදේනිය ඉහළ යනවා. අතරමැදියෝ නැත්නම් රටේ වත්මන් ජාතික ආදායමෙන් තුනෙන් එකකට වඩා වැඩි කොටසක් නැති වෙනවා. 

3 comments:

  1. ලිබරල්වාදී කියන රනිල්ගෙ ආන්ඩුවක් යටතේ පවා මිල පාලනය, ආනයන සීමා කියන දේ ඉවත් වෙලා නෑ....බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පැණවීම සහා ඊට පස්සෙ ලොකූ සද්දයක් දමා ගෙන ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම...මේකට උදාහරණයක්

    ඇත්තටම සිද්ධ වෙන්න ඕනේ ආන්ඩුව මිල පාලනයෙන් අයින් වෙලා ඕන කෙකෙන්කුට බිත්තර හදනයි , විකුනන්නයි, ආනයන කර බෙදා හරින්නයි...ඕනා දෙයක් කර ගන්නට ඉඩ හැරීම...එදාට ඔය බිත්තර මිල සමතුලිත වෙලා බිත්තර හිගයත් නැතිවෙනවා කියන එක තේරුම් ගන්න ඒක කරලා ඇණ ගන්නකම්ම හිටියා ආණ්ඩුව.


    - Mayya

    ReplyDelete
  2. ලිපිය නැවත වරක් ඕනෑ කමින් කියෙව්වම තමයි මම උඩ දාපු කමෙන්ට් එක එච්චර අදාල එකක් නෙමෙ කියලා තේරුනේ....

    ඔබ කියන එක සත්‍යයක්...අතරමැදියා නිසා නිශ්පාදකයා සහා ගැණුම්කරුවා අතර සම්බන්ධය ඇතිවෙනවා...

    නමුත් දියුණු වෙනෙ තාක්ශණය එදිරියේ මේ අතරමැදියාගේ කාර්‍යය ඉදිරියටත් එලෙසම වලංගු වෙනවද කියන ප්‍රශ්ණය මතු කරනවා...උදාහරණයක් ලෙස ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තයක, ගොවියා හා තොග වෙලදපොල සම්බන්ධ කරන්නේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්....දවසක වෙලදපොලට එන ඵලදාව සහ මිල ගොවියගේ ෆෝන් එකට මෙසේජ් එකක් එනවා. ගොවියට තීරණය කරන්න පුලුවන් තමන්ගෙ වගා අස්වැන්න එදිනට වෙලදපොලට යවනවද නැද්ද කියන කාරණය. කෙනෙකුට කියන්න පුලුවන් මෙතැනදී වෙලා තියෙන්නෙ අතරමැදියගෙ කාර්‍ය වඩා කාර්‍යක්ශම වීමක් විතරයි කියලා..එත් විමසිලිමත්ව බැලුවොත් මෙතැන අතරමැදියගේ කාර්‍ය යම් තරමකට සීමා වීමක් සිදුවෙලා තියෙනවා..

    ලංකාවේ නම් මේ අතරමැදියා නිසා ඇතැම් විට කෘෂි නිශ්පාදනයේ මිල කෘතිමව වෙනස් වෙනවා කියලා චෝදනවක් තියෙනවා...මිනිස්සු ගොඩ දෙනෙක් මේ අතරමැදියගෙ භූමිකාවට එතරම් කැමැත්තක් නැත්තේ මේ නිසයි.
    - Mayya

    ReplyDelete
  3. මම ඉන්නේ මහරගම පමුණුවේ. ලංකාවටම වැඩි හරියක් මැසූ ඇඳුම් මෙහෙන් ගෙනියනවා කියලා කියනවා. ඒ ගැන නම් මම ස්ථිරවම යමක් දන්නෙ නෑ.

    ගිය සතියේ පමුණුවේ වෙළෙඳසලක සේවය කරන හිතවතෙක් මට කොට කලිසමක් තෑගී කළා. මම එපා කිව්වා.
    "අයියෝ, මට ඕකට මහ ලොකු වියදමක් ගියේ නෑ. මේ- මටත් එකක් ගත්තා. මහලා සාප්පුවට ගේන කෙනාගෙන්මයි ගත්තේ. දෙකටම 1,200/- වුනේ." එයා කිව්වා. ඒ සැරේ අපේ කතාව ඒ කලිසම් පැත්තට ගියා. එතකොට කියැවුණේ, ඒ වෙළෙඳ සලේ ඒ කලිසමක සිල්ලර මිල රුපියල් 1,200/- කියලා.
    නිෂ්පාදකයාගෙන් 600/-ට අරගෙන පාරිභෝගිකයාට 1.200/-ට විකුණනවා! ඉතිං...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.