Sunday, December 24, 2023

විදේශ අංශයේ තුලනය


ස්ථායීකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය ගැන සමාලෝචනය කළ පෙර ලිපියෙහි එම වැඩ පිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම හා අදාළව අප විසින් පෙර හඳුනාගත් අභියෝග හතරක් ගැන මුලින්ම මතක් කළා. ඉන් පසුව, එම අභියෝග හතරෙන් පළමුවැන්න වූ කෙටිකාලීන රාජ්‍යමූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතිය ගැන විස්තරාත්මකව කතා කළා.

ඉහත ලිපියෙහි විස්තරාත්මක කරුණු සමඟ පෙන්වා දී ඇති පරිදි, මෙම වසර අවසන් වෙද්දී වැඩ සටහනෙහි ආරම්භක රාජ්‍ය ආදායම් ඉලක්කය වූ දදේනියෙන් 11.0 කරා යාමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. එහෙත්, අපගේ ඇස්තමේන්තු අනුව, මීට ආසන්න 10.7% වැනි ඉලක්කයක් කරා යාමේ හැකියාව පෙනෙන්නට තිබෙනවා. මෙය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව වන දදේනියෙන් 10.2%ට වඩා වැඩි අගයක්. ඊට අමතරව, රාජ්‍ය වියදම් සීමා කිරීම මගින්, අරමුදල ලබා දී ඇති ප්‍රාථමික අයවැය හිඟ ඉලක්කය ඉක්මවමින්, ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කිරීමේ ඉඩකඩද පෙනෙන්නට තිබෙනවා. මේ අනුව, සංරචක ඉලක්ක වල අඩුපාඩු තිබුණත්, සමස්තයක් ලෙස අවසාන ඉලක්කය දෙස බැලූ විට පෙනී යන්නේ මුලින් අපේක්ෂා කළාට වඩා හොඳ තත්ත්වයක්.

මෙම ලිපියෙන් අප කතා කරන්නට යන්නේ දෙවන අභියෝගය වන කෙටිකාලීනව විදේශ අංශය තුලනය කර ගැනීමේ ප්‍රගතිය පිළිබඳවයි.

අප දන්නා පරිදි, මෙම ආර්ථික අර්බුදය ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයේ විදේශ අංශයේ අර්බුදයක්. රාජ්‍යමූල්‍ය අංශයේ අසමතුලිතතාව එම අර්බුදයට පාදක හේතුවක්. විදේශ අංශයේ අසමතුලිතතා සමනය කර ගැනීම සඳහා රාජ්‍යමූල්‍ය අංශයේ සමතුලිතතාව වැදගත් වන්නේ ඒ නිසා. කෙසේ වුවත්, ප්‍රධාන ප්‍රශ්නය විදේශ අංශය තුලනය කර ගැනීමයි.

ආර්ථික අර්බුදයේ ආසන්න හේතුව වූයේ විදේශ අංශයේ සමතුලිතතාව ගිලිහී විදේශ ණය වාරික හා පොලී ආපසු නොගෙවිය හැකි තත්ත්වයක් ඇති වීමයි. මෙහිදී ඇති වූ අසමතුලිතතාවයේ ප්‍රමාණය අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයෙන් පමණක් එම අසමතුලිතතාව සමනය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ සඳහා, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකරම බැරි තත්ත්වයක් ඇති වී තිබුණා.

මැදිකාලීනව විදේශ අංශය තුලනය කර ගැනීම සඳහා කළ යුතු වූ ප්‍රධානම දෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. මේ වන විට ඒ සඳහා පැරිස් සංසදයේ හා චීනයේ මූලික එකඟතාවය ලැබී තිබෙනවා. කෙසේ වුවත්, කරුණක් ලෙස, මේ වන තුරුද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වී නැහැ. එමෙන්ම වසර අවසාන වන විට එය සිදුවීමේ ඉඩක්ද පෙනෙන්නට නැහැ. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වී නැති පසුබිමක, විදේශ අංශයේ තුලනය පවත්වා ගෙන යන්නේ ණය වාරික හා පොලී ගෙවීම් දිගින් දිගටම පැහැර හරිමිනුයි. මෙය දිගුකාලීනව ස්ථායී සමතුලිතතාවයක් නෙමෙයි. එහෙත්, එය තාවකාලික සමතුලිතතාවයක්. දැනට අපට කළ හැක්කේ මෙම තාවකාලික සමතුලිතතාවය පිළිබඳව විමසා බැලීමක් කිරීම පමණයි.

අරමුදලේ ඉලක්ක අනුව වසර අවසන් වෙද්දී ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 1,184 නොඉක්මවිය යුතුයි. එහෙත්, අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු අනුව වර්ෂාවසානයේදී ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,234ක අතිරික්තයක් වාර්තා වීමට නියමිතයි. එය එසේ වුවහොත් මෙම 2023 වසර 1977 වසරෙන් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන පළමු වසර බවටත්, 1956න් පසුව එවැනි අතිරික්තයක් වාර්තා වන තුන්වන වසර බවටත් පත් වෙනවා. 

ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතීම යනු ණය ගැනීම් ආදිය නැතිව, ඇත්තටම උපයන විදේශ විණිමය ප්‍රමාණයෙන් වසරේ සියලු විදේශ විණිමය අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ඉතිරි කර ගන්නා විදේශ විණිමය ප්‍රමාණයයි. එවැනි තත්ත්වයක් පැවතීම 1956න් පසු ලංකාවට නුහුරු දෙයක්. 1956 වසරෙන් පසුව මෙවැන්නක් සිදුව තිබෙන්නේ රුපියල විශාල ලෙස අවප්‍රමාණය කළ හා මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබාගත් 1965 වසරේදී සහ ඉන් පසුව ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අවසන් කර නිල විණිමය අනුපාතය වෙළදපොළ අනුපාතය හා ගලපනු ලැබූ 1977 වසරේදී පමණයි. 

කෙසේ වුවද, මෙවැන්නක් සිදු වන්නේ ආනයන සඳහා සීමා පනවා ඇති පසුබිමකයි. එම සීමා ඉවත් වීනම් මේ තත්ත්වය වෙනස් විය හැකිව තිබුණා. 

දැන් අපි විදේශ අංශයේ එක් එක් කොටස් දෙස වෙන වෙනම විමසා බලමු.

අපනයන ආදායම් 

අරමුදලේ මුල් ඇස්තමේන්තුව අනුව වසරේ අපනයන ආදායම් ඩොලර් මිලියන 13,666ක් විය යුතු නමුත් සංශෝධිත ඇස්තමේන්තු අනුව අපේක්ෂා කළ හැක්කේ ඩොලර් මිලියන 12,365ක අපනයන ආදායමක් පමණයි. මේ අනුව, වසර තුළ අපේක්ෂිත ඩොලර් ලැබීම් වල මිලියන 1,301ක අඩුවක් පෙනෙන්නට තිබෙනවා. වසරේ පළමු මාස දහය ඇතුළත අපනයන ආදායම ඩොලර් මිලියන 9,909.8ක් පමණයි. මෙය පෙර වසරේ පළමු මාස දහයට සාපේක්ෂව 10.3%ක අඩුවක්. මෙම අඩුවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 977.9කින් අඩුවීමයි. එයට හේතුව පැහැදිලි නැහැ. 

සමස්තයක් ලෙස මෙම වසරේ අපනයන ආදායම් පෙර වසරට සාපේක්ෂව 10.3%කින් පහළ ගියහොත් වසර අවසන් වන විට වාර්තා වන අපනයන ආදායම විය හැක්කේ ඩොලර් මිලියන 11,761ක් පමණයි. පළමු මාස දහයේ සාමාන්‍ය මාසික අපනයන ආදායම අනුව ඇස්තමේන්තු කළහොත් මෙම අගය ඩොලර් මිලියන 11,893ක්. ඒ අනුව, අපගේ ඇස්තමේන්තුව වනුයේ අරමුදලේ සංශෝධිත අපනයන ආදායම් ඉලක්කය ලඟා කර ගැනීමද අසීරු විය හැකි බවයි. සැබෑ අපනයන ආදායම සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් මිලියන 400-600කින් පමණ අඩු විය හැකියි.

ආනයන වියදම් 

අරමුදලේ මුල් ඇස්තමේන්තුව අනුව වසරේ ආනයන වියදම් ඩොලර් මිලියන 20,597ක් විය යුතු නමුත් සංශෝධිත ඇස්තමේන්තු අනුව මෙම වියදම ඩොලර් මිලියන 17,887කට සීමා වෙනවා. වසරේ පළමු මාස දහය ඇතුළත ආනයන වියදම ඩොලර් මිලියන 13,933.8ක් ලෙස සටහන්ව තිබෙන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 9.6%කින් අපනයන වියදම් අඩුවීමක්. මෙම අනුපාතය අනුව, මෙම වසරේ අපනයන වියදම ඩොලර් මිලියන 16,527ක් විය යුතුයි. එම අගය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක්. පළමු මාස දහයේ සාමාන්‍ය මාසික ආනයන වියදම අනුව ඇස්තමේන්තු කළහොත් මෙම අගය ඩොලර් මිලියන 16,721ක්. සැබෑ ආනයන වියදම සංශෝධිත ඇස්තමේන්තුවට වඩා ඩොලර් මිලියන 1200-1400කින් පමණ අඩු විය හැකියි.

වෙළඳ ශේෂය 

අරමුදලේ මුල් ඇස්තමේන්තුව වූ ඩොලර් මිලියන 6,921ක වෙළඳ ශේෂ හිඟයට සාපේක්ෂව සංශෝධිත ඇස්තමේන්තුව අනුව එම හිඟය ඩොලර් මිලියන 5,523ක් පමණයි. අපගේ ඉහත ඇස්තමේන්තු අනුව මෙම හිඟය ඩොලර් මිලියන 4,800ක් පමණ විය යුතුයි. ඒ නිසා, වෙළඳ ගිණුමේ හිඟය අරමුදලේ ඇස්තමේන්තුවට වඩා අඩු වීමට මිස වැඩි වීමට ඉඩක් පෙනෙන්නේ නැහැ. 

සේවා ගිණුම 

සේවා අපනයන ආදායම් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 5,511 සිට 4,438 දක්වාත්, සේවා ආනයන වියදම් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 2,004 සිට 1,507 දක්වාත් පහත හෙළා තිබෙනවා. මේ අනුව සේවා ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 3,507 සිට 2,868 දක්වා පහත වැටී තිබෙනවා. මෙම සංශෝධිත ඇස්තමේන්තුව වැඩිදුර විමර්ශනය කළ හැකි ප්‍රමාණවත් අමතර දත්ත අප සතුව නැහැ. එහෙත් වසරේ පළමු අර්ධයේ සේවා ගිණුම් අතිරික්තය 1,242ක් වූ බවත්, දෙවන අර්ධයේ සංචාරක ඉපැයීම් වල පළමු අර්ධයට සාපේක්ෂව විශාල වෙනසක් නොතිබීමත් සැලකූ විට සේවා ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 2,500ක් පමණ වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. මෙය සංශෝධිත ඇස්තමේන්තුව වඩා ඩොලර් මිලියන 300-400කින් පමණ අඩුයි. කෙසේ වුවත්, වෙළඳ හා සේවා ගිණුම් එකට ගත් විට දැකිය හැක්කේ අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න හා තරමක් හොඳ තත්ත්වයක්.

ප්‍රාථමික ආදායම් ගිණුම

අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු වල ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය ඩොලර් මිලියන 1,993 සිට ඩොලර් මිලියන 1,715 දක්වා පහත හෙළා තිබෙනවා. පළමු මාස හය තුළ මෙම හිඟය ඩොලර් මිලියන 992ක්. පොලී අනුපාතික පහත යාම නිසා මෙම හිඟය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න විය හැකියි. ඇතැම් විට ඊට වඩා තරමක් වැඩි හා මුල් ඇස්තමේන්තුවට ආසන්න විය හැකියි. එසේ වුවද, සේවා, වෙළඳ හා ප්‍රාථමික ආදායම් ගිණුම් ඇස්තමේන්තු සමස්තයක් ලෙස ගත් විට අප දකින ප්‍රතිඵලය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු මත පදනම් වූ සමස්ත චිත්‍රයට සමානයි.

ද්වීතියික ආදායම් ගිණුම 

ශ්‍රමික ප්‍රේෂණ සටහන් වන්නේ මෙම ගිණුමේ. එම ලැබීම් ශුද්ධ ලෙස ඩොලර් මිලියන 4,233 සිට ඩොලර් මිලියන 5,602 දක්වා ඉහළ නංවා තිබෙනවා. පළමු මාස 11 තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,399.8ක් දැනටමත් ලැබී ඇති අතර දෙසැම්බර් මාසයේ ප්‍රේෂණ එකතු වූ විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න විය යුතුයි. මෙම ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 400ක් පමණ නැවත රටින් පිටට ප්‍රේෂණය කෙරෙන බව සැලකුවහොත්, ද්වීතියික ආදායම් ගිණුමේ ශුද්ධ ශේෂය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න වෙනවා.

ජංගම ගිණුම 

ජංගම ගිණුමේ ශේෂය ඉහත ගිණුම් හතරේ ශේෂයන්හි එකතුවයි. අපගේ විශ්ලේෂණය අනුව වෙළඳ ගිණුමේ හිඟය මෙන්ම සේවා ගිණුමේ අතිරික්තයද අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තු වලට වඩා අඩු වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම, ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟයද සුළු වශයෙන් වැඩි විය හැකියි. ද්වීතියික ආදායම් ගිණුමේ අතිරික්තය අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුවට ආසන්න විය යුතුයි. මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය අනුව අප දකින චිත්‍රය අනුව ජංගම ගිණුමේ ශේෂය හා අදාළව අරමුදලේ සංශෝධිත ඇස්තමේන්තුව වන ඩොලර් මිලියන 1,234ක අතිරික්තය යථාර්තයට බොහෝ දුරට කිට්ටු විය යුතු බව අපේ අදහසයි. එය එසේ වුවහොත් මෙය දදේනියෙන් 1.5%කට සමාන ජංගම ගිණුම් අතිරික්තයක්. පෙර සඳහන් කළ පරිදි, 1956න් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ 1965 හා 1977 වර්ෂ වලදී පමණයි.

කළ යුතුම දෙය වන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වන විටද සිදු වී නැහැ. එහෙත්, ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙන තිබෙන නිසා අලුතෙන් විදේශ ණය අවශ්‍ය වන්නේ පැරණි විදේශ ණය ගෙවීම සඳහා පමණයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙන තුරු එම ණය හා වාරික ආපසු ගෙවීමක් සිදු නොවන නිසා මේ තත්ත්වය යටතේ වැඩි අපහසුතාවයකින් තොරව විදේශ අංශයේ සමතුලිතතාවය පවත්වා ගත හැකියි. කෙසේ වුවත්, මෙවැන්නක් සිදු වන්නේ ආනයන වෙළඳපොළ නිදහස්ව නැති පසුබිමකයි. ඒ නිසා මෙය ස්ථාවර තත්ත්වයක් වන්නේ කෙටිකාලීනව පමණයි.

2 comments:

  1. ඔය විදියට ගාන බැලන්ස් කර කර ඉන්නව ඇර රට ඉස්සරහට ගෙනියන්න ඕන ව්‍යාහාත්මක වෙනස්ක්ම් කර්න්න් කියලයැ රනිල.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.