සුදත්ත තිලකසිරි, එහෙමත් නැත්නම් සුදා, විසින් නගරයන් නගරයට යමින් "ජනමත සමීක්ෂණ" මාලාවක් පවත්වා ගෙන යනවා. මේ වැඩේ කරන්නේ "විද්‍යාත්මක ක්‍රමවේදයකට" නෙමෙයි. ඔහුට එවැනි පුහුණුවකුත් නැතුව ඇති. හැබැයි විද්‍යාත්මක ක්‍රමවේදයකට කරන ජනමත සමීක්ෂණයකදී වගේම මේ වගේ අවිධිමත් ජනමත සමීක්ෂණයකිනුත් අප වැනි අයට ලංකාවේ ජනමතය ගැන අදහසක් ගන්න ඉඩක් ලැබෙනවා.
සුදත්ත තිලකසිරිගේ දේශපාලන පක්ෂපාතීත්වයන් මම මේ කාරණයේදී ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. එවැනි පක්ෂපාතීත්වයන් නැති අය හොයන එක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගත්ත සමාජවාදියෙක් හොයනවා වගේ අමාරු වැඩක්. සුදත්ත පැහැදිලිව කියන්නේ ඔහුගේ ජනමත සමීක්ෂණ වීඩියෝ එඩිට් නොකර එලෙසම ප්‍රසිද්ධ කරන බවයි. ප්‍රසිද්ධ කර තිබෙන වීඩියෝ දෙස බැලූ විට ඒවා එඩිට් කර ඇති බවක් පෙනෙන්නේ නැහැ.
මේ වන විට සුදත්ත විසින් පිටකොටුවේ, නුගේගොඩ, මහරගම, හම්බන්තොට හා තිස්සමහාරාමයේ ඔහුගේ සමීක්ෂණය සිදු කර තිබෙනවා. මේ එක් තැනකින්වත් ලංකාවේ ජනමතය හරියටම නියෝජනය වෙන්නේ නැහැ. ඒ වගේම මේ තැන් අහඹු ලෙස තෝරා ගත් තැන් නෙමෙයි. එහෙත්, මෙවැනි තැන් කිහිපයක ජනමතයේ පොදු රටාවන් යම් දුරකට සාධාරණීකරණය (generalize) කරන්න පුළුවන්. වැදගත්ම කාරණය සුදත්ත තිලකසිරි විසින් "අමු දත්ත" එකතු කර ඒවා එලෙසම ප්‍රසිද්ධ කිරීමයි.
මේ වගේ අමු දත්ත වලින් යම් විශ්ලේෂණයක් නොකර සෘජුව ජනමතය ඇස්තමේන්තු කරන්න බැහැ. එසේ වුවත්, අමු දත්ත හෝ විශ්ලේෂණ ක්‍රමවේදය විස්තරාත්මකව ප්‍රසිද්ධ නොකර ඉදිරිපත් කරන ඇස්තමේන්තු වලට වඩා මම මේ වගේ අමු දත්ත වලට පෞද්ගලිකව කැමතියි.
අමු දත්ත පරිශීලනය කරද්දී විශ්වාසය තියන්න වෙන්නේ එම අමු දත්ත පිළියෙල වන ක්‍රමවේදය ගැන පමණයි. මෙහිදී එය සියයට සියයක්ම මෙන් පාරදෘශ්‍ය ලෙස සිදු වී තිබෙනවා. එයින් වෙනස්ව, අමු දත්ත හෝ විශ්ලේෂණ ක්‍රමවේදය විස්තරාත්මකව ප්‍රසිද්ධ නොකර ඉදිරිපත් කරන ඇස්තමේන්තු විශ්වාස කරද්දී අමු දත්ත පිළියෙල වන ක්‍රමවේදය ගැන වගේම ඒවා විග්‍රහ කර ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදය ගැනත් අන්ධ ලෙස විශ්වාස කරන්න සිදු වෙනවා. මම පෞද්ගලිකව මේ වගේ අමු දත්ත වලට වඩා කැමති ඒ නිසා.
සුදත්ත මෙහිදී ප්‍රතිචාර දක්වන්නන්ගෙන් අහන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ තිබෙන අපේක්ෂකයින් හතර දෙනෙකුට තිබෙන කැමැත්ත පිළිබඳවයි. අපේක්ෂකයින් හතර දෙනා අනුර, සජිත්, රනිල් සහ නාමල්. ආකෘතිය අනුව මෙය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (Institute for Health Policy හෙවත් IHP) අනුරූපී සමීක්ෂණයට බොහෝ දුරට සමානයි. ඒ නිසාම, මෙම සමීක්ෂණ ප්‍රතිඵල එම ආයතනයේ සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම් වූ ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි. ප්‍රධානම වෙනස සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නාමල් වෙනුවට ඔහුගේ පක්ෂයේ "කවර හෝ අපේක්ෂකයෙක්" විකල්පය ලෙස ඉදිරිපත් කරමින් වඩා විවෘත ලෙස ප්‍රශ්නය ඇසීමයි.
පහත තිබෙන්නේ සුදත්තගේ මහරගම හා හම්බන්තොට සමීක්ෂණ ප්‍රතිඵල. මම මේ ස්ථාන දෙක තෝරා ගත්තේ එම ස්ථාන දෙක හා අදාළ සමීක්ෂණ ප්‍රතිඵල වීඩියෝවේම සාරාංශගත කර ඉදිරිපත් කර තිබෙන නිසා. මුල් සමීක්ෂණ තුන දිහා බැලුවත් ප්‍රධාන රටාවන්ගේ ලොකු වෙනසක් පේන්න නැහැ.
හම්බන්තොට ප්‍රතිඵලය
අනුර - 67 (34%)
සජිත් - 38 (19%)
රනිල් - 2 (1%)
නාමල් - 1 (1%)
වෙනත් - 91 (46%)
එකතුව - 199 (100%)
මහරගම ප්‍රතිඵලය
අනුර - 93 (33%)
සජිත් - 38 (14%)
රනිල් - 17 (6%)
නාමල් - 5 (2%)
වෙනත් - 125 (45%)
එකතුව - 278 (100%)
ඉහත "අමු දත්ත" අපට සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සමඟ සංසන්දනය කළ හැකියි.
අනුර - 50%
සජිත් - 33%
රනිල් - 9%
පොහොට්ටු අපේක්ෂකයා - 8%
එකතුව - 100%
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සහ සුදාගේ අමු දත්ත අතර සමානතා කිහිපයක්ම හඳුනා ගන්න පුළුවන්.
- ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ඉන්නවා. එය ඉතාම පැහැදිලියි.
- අනුර කුමාර දිසානායක ඉන්න තැනට කිට්ටුවක නැතත්, දෙවැනි තැන ඉන්නේ සජිත්.
- රනිල් හෝ පොහොට්ටු අපේක්ෂකයෙක් කිට්ටුව පාතක නැහැ.
කෙසේ වුවත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සහ සුදාගේ අමු දත්ත අතර කැපී පෙනෙන වෙනස් කමක් තිබෙනවා. ඒ තමයි සුදාගේ "අමු දත්ත" අනුව, විශාල පිරිසක් ඉහත කිසිවකු වෙනුවෙන් තවමත් සෘජු කැමැත්තක් පළ කරන්නේ නැති බව. හම්බන්තොට හා මහරගම නියදි අනුව එම ප්‍රමාණය 45%ක් තරම් විශාලයි.
මෙහිදී වැදගත්ම කාරණය "වෙනත්" කියා විකල්පයක් සුදා විසින් ඉදිරිපත් නොකිරීමයි. වෙනත් පිළිතුරු ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ එවැනි පසුබිමක. ඒ තත්වය තුළ, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයටද මේ ආකාරයේ "වෙනත් පිළිතුරු" ප්‍රතිචාර ලෙස නොලැබෙන්නට හේතුවක් නැහැ. අහඹු දුරකථන අංක වලට ඇමතීමෙන් පසුව ඔවුන් විසින් ජනමතය විමසන්නේද සුදා අසන ආකාරයේ ප්‍රශ්නයක් අසමිනුයි.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ඔවුන් විසින් එකතු කරගත් අමු දත්ත ප්‍රසිද්ධ කර නැහැ. ඔවුන් ඔවුන්ගේ "සකස් කළ ඇස්තමේන්තු" ඉදිරිපත් කර තිබෙන්නේ එකතු කරගත් අමු දත්ත වල "හිස්තැන් පිරවීමෙන්" පසුවයි. හරියටම කිවුවොත්, ප්‍රතිචාර දක්වන්නන්ගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ-ආර්ථික තත්ත්වය වැනි කරුණු මත පදනම්ව ඔවුන්ගේ "ලබා නොදුන් ප්‍රතිචාරය" ඇස්තමේන්තු කිරීමෙන් පසුවයි. එම "සකස් කළ ඇස්තමේන්තු" වල "වෙනත්" ගොඩක් නැත්තේ ඒ නිසා. ඒ කොටස අපේක්ෂකයින් හතර දෙනා අතර බෙදී ගිහින්. සුදාගේ "අමු දත්ත" අනුසාරයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "අමු දත්ත" පිළිබඳවද අදහසක් ගන්න පුළුවන්.
මේ ආකාරයේ "හිස් තැන් පිරවීමකදී" වෙන්නේ අපේක්ෂකයෙකු වෙනුවෙන් කැමැත්ත පළ කළ කණ්ඩායමේ රුචිකත්වයන් එසේ නොකළ කණ්ඩායම මතද ආදේශ වීමයි. එහිදී උපකල්පනය කෙරෙන්නේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ-ආර්ථික තත්ත්වය වැනි කරුණු සමාන වේනම් රුචිකත්වයන්ද සමාන විය යුතු බවයි. ප්‍රස්තුත සන්දර්භය තුළ මෙම උපකල්පනයේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා.
සුදාගේ වීඩියෝ වලින් "වෙනත්" කණ්ඩායම සිටින තැන පැහැදිලිව දැන ගන්න පුළුවන්. එම කණ්ඩායමේ වැඩි පිරිසක් සෘජු ලෙසම ඉහත අපේක්ෂකයින් සියලු දෙනාවම ප්‍රතික්ෂේප කරනවා. එම තත්ත්වය තුළ ඔවුන් කිසියම් අපේක්ෂකයෙකුට කැමැත්ත පළ කරන කණ්ඩායමෙන් වෙනස් වෙනම පිරිසක්.
සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් අරගලය තුළ සිටි පිරිස් අතරද පැහැදිලි ලෙස කණ්ඩායම් දෙකක් හඳුනා ගත හැකි වුනා. එයින් එක් කණ්ඩායමක් මෙතෙක් රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කළ, එහෙත් ජවිපෙ සම්බන්ධව එවැනි විරෝධයක් නොතිබුණු පිරිසක්. අනෙක් කණ්ඩායම, විකල්පයක් ගැන අදහසක් නොමැතිව වුවත්, ජවිපෙද ඇතුළුව සියලුම පැරණි දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් "225ම එපා" කියූ පිරිසක්. මගේ විග්‍රහය අනුව සුදාගේ අමු දත්ත වල "වෙනත්" ගොඩේ ඉන්නේ මේ මොහොතේදී ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන, එහෙත් ජවිපෙ ගොඩට එකතු වීමටද හිත හදාගෙන නැති පිරිසක් බවයි. ඒ නිසා, එම ප්‍රතිශතය අනුර, සජිත්, රනිල් හා පොහොට්ටුව අතර අනුපාතිකව බෙදා දැමීම නිවැරදි උපකල්පනයක්යැයි මා සිතන්නේ නැහැ.
එක පැත්තකින් මේ 45% විසින් පෙන්නුම් කරන්නේ දැනට නැති විකල්පයකට තිබෙන දේශපාලන අවකාශය. එහෙත්, වෙනත් ප්‍රබල විකල්පයක් ඉදිරි ජාතික මැතිවරණ වලට පෙර අලුතෙන් ගොඩ නැගීමේ ඉඩක් පෙනෙන්නට නැති නිසා එම ගොඩ දැනට තිබෙන විකල්ප අතර බෙදී යා යුතුයි. එය මොන විදිහට වෙයිද?
සිදු විය හැකි එක් දෙයක් වන්නේ මේ කණ්ඩායම කිසිවෙකුට ඡන්දය නොදී සිටීමයි. එසේ වුවහොත්, පවතින විකල්ප සතු ප්‍රතිශත ඉහළ ගොස් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සකස් කළ ඇස්තමේන්තු වලට කිට්ටු ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙත්, ජාතික මැතිවරණයකදී 45%ක පිරිසක් ඡන්දය නොදීමේ ඉඩක් නැහැ. එම ප්‍රමාණය, සුළු පක්ෂ අපේක්ෂකයින්ගේ ඡන්ද හා අවලංගු ඡන්දද ඇතුළත්ව, වැඩිම වුනොත් 20%ක් වෙයි. ඉතිරි 25%කට නොඅඩු කොටස ඉදිරියේදී ප්‍රධාන පක්ෂ වල අපේක්ෂකයින් අතර බෙදී යාමට නියමිතයි.
මේ ගොඩේ බොහෝ දුරට ඉන්නේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දී බලාපොරොත්තු කඩ කරගත් අයයි. එම කඳවුරට ආකර්ශනීය සේ පෙනෙන අලුත් මූණකට මෙම ප්‍රතිශතයෙන් යම් කොටසක් ආකර්ශනය විය හැකියි. එම ගොඩෙන් තවත් කොටසක් රැල්ල තිබෙන පැත්තට ගසා ගෙන යන්න පුළුවන්. වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්.
පසුගිය ජනාධිපතිවරණයේදී මහරගම ආසනයේ ඡන්ද වලින් 66%ක් පමණ ගෝඨාභය විසින් ලබා ගනිද්දී අනුර කුමාර 5%ක් පමණ ලබා ගත්තා. එම මැතිවරණ ප්‍රතිඵලය අනුව යමින්, වලංගු ඡන්ද ප්‍රමාණය 83%ක් සේ සැලකුවහොත්, සුදාගේ අමු දත්ත අනුව, මේ වන විට අනුර කුමාර විසින් ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ගෝඨාභය ලබාගත් 66% ප්‍රතිශතයෙන් 35%ක් පමණයි. නාමල්ගේ 2% ඉවත් කළ විට, එයින් 29%ක්ම තවමත් තිබෙන්නේ "වෙනත්" ගොඩේ. සජිත් විසින් ලබා ගත් 27% ප්‍රතිශතයෙන් 10%ක් පමණද දැන් එම ගොඩේ නැහැ. එයින් 7%ක් පමණ රනිල්ගේ ගොඩේ තිබෙනවා. ඒ අනුව, අවසාන වශයෙන් ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකුට (ජවිපෙද ඇතුළු) ලැබිය හැකි ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ අවිනිශ්චිත අවකාශයකයි.
සමස්ත චිත්‍රය දෙස බැලූ විට අනුර කුමාර තවමත් සිටින්නේ 50% සීමාවට පහළින්. එහෙත් වෙනත් කිසිවකු ඔහුගේ ළඟපාතකවත් නැහැ.
සමීක්ෂණ ප්‍රතිඵල වලින් ඔබ්බට ගියොත්, ජවිපෙ හැමදාම මෙන් ඔවුන් ගැන අධි තක්සේරුවක සිටියා. ඒ නිසා, ජවිපෙ ප්‍රකාශ පැත්තකින් තිබ්බත්, බැසිල් හා රනිල් වැනි ප්‍රතිපක්ෂයේ නායකයින්ගේ ප්‍රකාශ වලින් ජවිපෙ සම්බන්ධව ඔවුන්ගේ තක්සේරුව කුමක්දැයි පැහැදිලි වෙනවා. දැනට පවතින තත්ත්වය තුළ ජවිපෙ ගොඩ ඉක්මවීමටනම් අනෙකුත් ප්‍රධාන පක්ෂ සියල්ලටම මෙන් එකතු වෙන්නට සිදු වෙනවා. එක පැත්තකින් එය සිදු වීමේ ප්‍රායෝගික ඉඩකඩ ගොඩක් අඩුයි. අනෙක් පැත්තෙන් එවැන්නක් සිදු වුවහොත් එයින්ද ජවිපෙට වක්‍ර වාසි කිහිපයක්ම ලැබෙනවා.
අනෙක් ප්‍රධාන පක්ෂ සියල්ල එකතු වී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත්, ජවිපෙට ඔවුන්ගේ ජනප්‍රිය "හොරු ඔක්කොම එකගොඩේ" තර්කය ඉදිරියට ගෙන යාම පහසු වෙනවා. ඒ වගේම, අනෙක් සියලු කණ්ඩායම් වලට එකතු වෙන්නට සිදු වන තරමට ජවිපෙ ශක්තිමත්ය යන අදහස ඉස්මතු වෙනවා. අඩු වශයෙන් මේ හේතු දෙක නිසා දැනට පිටිය සකස් වී තිබෙන්නේ කවර තත්ත්වයක් යටතේ වුවද ජවිපෙට වාසිදායක ලෙසයි.
කෙසේ වුවත්, උතුරු නැගෙනහිර හා කඳුකර දෙමළ ඡන්ද වල හැසිරීම වැනි වෙනත් සාධක නිසා ජනාධිපතිවරණයකදී අනුර කුමාර ඉදිරියට ආවත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය 50% නොඉක්මවන්න පුළුවන්. එසේ වුවහොත් දෙවන මනාපය ගණන් කරන්නට සිදු වෙනවා. දැනට පවතින ජවිපෙ හා ජවිපෙට එරෙහි බෙදීම අනුව, ජවිපෙට දෙවන මනාප ලොකුවට ලැබෙන්න ඉඩක් නැහැ. කෙසේ වුවත්, එවැනි තත්ත්වයකදී වුවද ඉදිරියෙන් සිටීමට බැරිකමක් නැති පරතරයක් දැනට ජවිපෙ විසින් පවත්වා ගෙන යනවා.
ප්‍රසිද්ධ කර නොමැති, එහෙත් නිසි ක්‍රමවේදයකට එකතු කර ගෙන ඇති සේ උපකල්පනය කළ හැකි, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "අමු දත්ත" නිවැරදි බවත්, එහෙත් ඔවුන් විසින් ප්‍රසිද්ධ කර තිබෙන "සකස් කළ ඇස්තමේන්තු" සඳහා පාදක කරගෙන තිබෙන උපකල්පන නිවැරදි නොවන බවත් සලකා, එම ඇස්තමේන්තු වල කිසියම් අපේක්ෂකයෙකුගේ ගොඩට එකතු කර තිබෙන ඡන්ද වලින් 30%ක් "වෙනත්" ගොඩට දැම්මොත් ලැබෙන්නේ මෙවැනි ප්‍රතිඵලයක්.
අනුර - 35%
සජිත් - 23%
රනිල් + පොහොට්ටුව - 12%
වෙනත් - 30%
එකතුව - 100%
මේ අනුව, අනුරට පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගැනීමටනම් "වෙනත්" ගොඩේ ඡන්ද වලින් 15%ක් පමණ එකතු කර ගන්නට සිදු වෙනවා. සජිත්ටනම් 27%ක් පමණ එකතු කර ගන්නට සිදු වෙනවා. එජාප/ පොහොට්ටු කඳවුරේ අපේක්ෂකයෙකුද සිටියදී එවැන්නක් ප්‍රායෝගිකව ඉතාම අසීරු ඉලක්කයක්. රනිල්ට, පොහොට්ටු කඳවුරේ පූර්ණ සහයෝගය ඇතුව වුවද, එවැනි ඡන්ද ප්‍රතිශතයක් ඉලක්ක කිරීමේ ඉඩකඩක් දැනට පෙනෙන්නට නැහැ.
රනිල්ට තිබෙන එක් වාසියක් වන්නේ සජිත්ගේ ඡන්ද වලින් සැලකිය යුතු කොටසක "දෙවන මනාපය" ලබා ගත හැකි වීමයි. එහෙත්, එය වාසියක් වන්නේ සජිත් අභිබවා දෙවන ස්ථානයට පැමිණිය හැකිනම් පමණයි. දැනට එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැහැ. රනිල් + පොහොට්ටු කඳවුරේ දෙවන මනාප වලින් යම් කොටසක් සජිත්ට ලබා ගත හැකි වුවත්, එම ප්‍රමාණයේ උදවුවෙන් අනුර කුමාර සමඟ දැනට තිබෙන පරතරය ඉක්මවිය හැකිද යන්න සැක සහිතයි. දෙවන මනාපයක් ලබා ගත හැකි තරමට සජබ ඡන්දදායකයින්ට රනිල්ව ආකර්ශනීය වුවත්, පොහොට්ටු ඡන්දදායකයින්ට සජිත් ඒ ආකාරයෙන් ආකර්ශනීය නැහැ.
මේ තත්ත්වය තුළ ආණ්ඩුව මුලින් ජනාධිපතිවරණයක් පවත්වයිද? එසේ නැත්නම් මහ මැතිවරණයකට යයිද?
දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ සම්බන්ධව රටේ විශාල පිරිසකගේ ප්‍රසාදයක් ඇති බව හෝ අඩු වශයෙන් විරුද්ධත්වක් නැති බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, ඉතා සීමිත පිරිසක් හැර, ඒ ගොඩෙන් වැඩි පිරිසක් මෙම වැඩ පිළිවෙළ වෙනුවෙන් විවෘතව පෙනී සිටීමට සූදානම් බවක් පෙනෙන්නට නැහැ. මීට ප්‍රධානම හේතුව එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන දේශපාලන කඳවුරේ පරමාදර්ශ සහ වැඩ පිළිවෙළේ පරමාදර්ශ අතර තිබෙන ප්‍රතිවිරෝධයයි.
දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය විසින් කාලයක සිටම පෙනී සිටි වැඩ පිළිවෙලයි. නමුත් පොහොට්ටු කඳවුර සමඟ සිටියේ එවැනි වැඩ පිළිවෙලකට ප්‍රතිපක්ෂව කාලයක් තිස්සේ මොළ ශෝධනය කරනු ලැබූ පිරිසක්. ඒ නිසා, දැන් ඔවුන් මෙම වැඩ පිළිවෙලට කැමැත්තක් දක්වන්නේ හෝ අකැමැත්තක් නොදක්වන්නේ "වෙන කළ හැකි හැකි දෙයක් නැති නිසා" මිස ඇඟෙන්ම නෙමෙයි.
අනෙක් පැත්තෙන් සජබ විසින් දිගටම පෙනී සිටියේ මෙම වැඩ පිළිවෙලට බොහෝ දුරට සමාන වැඩ පිළිවෙලක් වෙනුවෙන් වුවත් දැන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ට ප්‍රතිවිරුද්ධ කඳවුර විසින් නිසා ඔවුන් කරන්නේ මෙම වැඩ පිළිවෙළේ අඩුපාඩු උලුප්පන එකයි.
ඉහත තත්ත්වය තුළ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ ලංකාවේ දේශපාලනය තුළ, හරියකට අම්මෙක් අප්පෙක් නැති, "අවජාතක" වැඩ පිළිවෙලක් බවට පත් වී තිබෙනවා. එම වැඩ පිළිවෙළ ගැන ස්වාධීනව විමසා බලා නිගමනයකට පැමිණිය හැකි නාගරික මධ්‍යම පාන්තිකයින් සුළු පිරිසක් හැරුණු විට, එය වැඩ කරන බව "ඇඟෙන් දැනෙන" බොහෝ දෙනෙකු සිටින්නේ කාලයක් තමන් සිර වී සිටි දේශපාලන සිර කූඩු වල සීමාවෙන් බැහැර වී එම වැඩ පිළිවෙළ වෙනුවෙන් පෙනී සිටිය නොහැකි තත්ත්වයකයි. මෙය කණගාටුදායක සිරකරුවාගේ උභතෝකෝටිකයක් (prisoner's dilemma).
සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි "අයිතියට" උරුම කිව හැකි රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයක් ජයගැනීමේ ඉඩක් දැනටනම් පෙනෙන්නට නැහැ. ජවිපෙට ප්‍රතිපක්ෂ කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින සජබ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය හැකි සජිත් ප්‍රේමදාසට අවස්ථාව දී එජාප-පොහොට්ටු කඳවුර පැත්තකට වීමේ ඉඩක්ද නැහැ. එසේ වුවද, එම කඳවුරේ ඡන්ද සියල්ල සජිත්ට ආකර්ශනය කරගත නොහැකියි. සජිත්ට සාපේක්ෂව අනුර කුමාරට එම ඡන්ද ආකර්ෂණය කර ගැනීම පහසුයි.
කෙසේ වුවත්, සරත් ෆොන්සේකා හෝ පාඨලී වැනි, සජබ හා එජාප/පොහොට්ටු කඳවුරු දෙකටම මැදින් සිටින අපේක්ෂකයෙකුට අනුර කුමාරට තරඟයක් දෙන්න පුළුවන්. එසේ නැත්නම් අලුත්ම මුහුණක් කරලියට එන්න පුළුවන්. ජවිපෙ විරෝධී කඳවුර එවැනි තේරීමක් කරයිද?
ජවිපෙ විරෝධී කණ්ඩායම් වල දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් මෙවැනි ක්‍රියා මාර්ගයක අවදානම් දෙකක් තිබෙනවා. පළමුව, යම් හෙයකින් මෙසේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් පසුවද ජවිපෙ ජය ගතහොත්, ඉන් පසු පැවැත්වෙන මහ මැතිවරණයකදී ජවිපෙ විශාල ජයග්‍රහණයක් ලැබීම නොවැලැක්විය හැකියි. කෙසේ වුවත්, එසේ නොකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයද මෙයම නිසා එම කඳවුරේ පැත්තෙන් බැලූ විට මෙවැන්නක් නරක අදහසක් වන්නේ නැහැ.
මහ මැතිවරණයක් මුලින්ම පැවැත්වීමෙන් ඉහත අවදානම ඉවත් කරගත හැකියි. බැසිල් රාජපක්ෂගේ ස්ථාවරය බව පෙනෙන්නේ එයයි. මෙය පොදුවේ පොහොට්ටුවේ ස්ථාවරය විය හැකියි. මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයක්නම්, එජාප, පොහොට්ටු හා සජබ කණ්ඩායම් වෙනම තරඟ කිරීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. ජවිපෙ තනි කණ්ඩායමක් ලෙස මුල් තැනට පැමිණියද මන්ත්‍රී ධුර වලින් බහුතරය නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා, ජවිපෙ විරෝධී කණ්ඩායම් වලට පශ්චාත් මැතිවරණ සන්ධානයක් සදා ගැනීමේ අවස්ථාව තිබෙනවා. නමුත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්නේ මේ ස්ථාවරයේද?
මෙහිදී ජවිපෙ විරෝධී කණ්ඩායම් වල දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් දැකිය හැකි දෙවන අවදානම සැලකිල්ලට ගන්න වෙනවා. කවර ක්‍රමයකින් හෝ ජවිපෙ විරෝධී කණ්ඩායම් වල ආණ්ඩුවක් පිහිටුවන්නේනම්, එම ආණ්ඩුව 2015 යහපාලන ආණ්ඩුවටත් වඩා කැඳ හැලියක් වීම නොවැලැක්විය හැකියි. එවැනි ආණ්ඩුවකට නොකරම බැරි ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කරමින් වැඩි කාලයක් පවතින්නට බැහැ. ඒ, ජවිපෙ විසින් ආණ්ඩුවක් නොපිහිටුවද, ජවිපෙ අනිවාර්යයෙන්ම ඉතා ප්‍රබල විපක්ෂයක් බවට පත් වන නිසයි. ඒ නිසා, අවසාන වශයෙන් සිදු වන්නේ යම් කාල පමාවකින් පසුව ජවිපෙ ජයග්‍රහණයකට පාර කැපෙන එක පමණයි.
මෙවැන්නක් වුවද, බැසිල් රාජපක්ෂ වැනි අයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් නරක තත්ත්වයක් නොවන්නට පුළුවන්. ඒ මගින් යම් කාලයක් හෝ බලය රඳවා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එහෙත්, ස්වකීය පෞද්ගලික අභිලාශ වලට වඩා දෘෂ්ඨිවාදී අභිලාශ වෙනුවෙන් පෙනී සිටින අයෙකු සේ හඳුනා ගත හැකි රනිල් වික්‍රමසිංහ හිතන්නේ මේ විදිහටද?
පමා වී හෝ ජවිපෙ බලයට පැමිණීම නොවැලැක්විය හැකි සේ පෙනේනම් එය කලින්ම සිදු වන්නට ඉඩ හැරීම ඇතැම් විට රනිල් වික්‍රමසිංහ වැනි අයෙකුගේ තේරීම වන්නට ඉඩ තිබෙනවා. එය එසේනම්, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නට අවශ්‍යතාවයක් නැහැ.
තුන් වන විකල්පයක් විය හැක්කේ මැතිවරණ සාමාන්‍ය පරිදි නොපවත්වා "ජිල්මාට් එකක්" දැමීමයි. පළාත් පාලන මැතිවරණ අත්දැකීම අනුව එවැන්නක් සිදු නොවිය හැකි දෙයක් නෙමෙයි. කෙසේ වුවත්, එවැන්නක් කෙරෙහි යොමු වීම දේශපාලනික ලෙස ප්‍රතිඵලදායක වන්නේ ජනමතය පසුව ආණ්ඩුව වෙත නැඹුරු වීමේ ශක්‍යතාවක් ඇත්නම් පමණයි. ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කරමින් එවැනි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකියි.
මේ හේතු නිසා, ජනමතය තිබෙන්නේ මාලිමාව පැත්තේනම්, එම ජනමතයට ඉඩ දීමට රනිල් වික්‍රමසිංහ විසින් ඉඩ හරින්නට ඉඩකඩ වැඩියි. එවිට තමන් හා එකතු වෙන ජනතාව දිගටම තමන් සමඟ රඳවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ මාලිමාවටයි. ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය දිගටම පවත්වා ගත යුතු වෙනවා.
මාලිමාව මේ අභියෝගය යම් දුරකට හඳුනාගෙන ඇති බව පෙනෙනවා. ඔවුන් මේ අභියෝගයට මුහුණ දෙන එක් ආකාරයක් වන්නේ නාමික විරෝධයක් පමණක් පෙන්වමින් පවතින ආණ්ඩුවට ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කලින්ම සිදු කිරීමට ඉඩ හැරීමයි. එය අත පුච්චා නොගෙන කොස් ඇට පුච්චා ගත හැකි ක්‍රමයක්. එහෙත්, එය ප්‍රමාණවත් උපාය මාර්ගයක් නෙමෙයි. ඉදිරි ජාතික මැතිවරණ ජය ගෙන ආණ්ඩුවක් හදන්නේ කවර පාර්ශ්වයක් වුවත්, තමන් පැළඳ ගත් ඔටුන්න කටු ඔටුන්නක් බව පෙනී යන්නට වැඩි කාලයක් ගත වන එකක් නැහැ.
https://www.youtube.com/watch?v=uFsAWgz8l7g
ReplyDeleteහීන්නූල් ටොයියො හැමතැනම අයියෝ!
ReplyDeleteමැතිවරණ සන්සොදනයක් ගෙනත් තව කාලයක් මෙහෙම ඇදගෙන ගිහින් තමන්ට වාසි අවස්ථාවක මැතිවරණයකට යන්න වගෙයි රනිල් හදන්නේ.. කොහොම උනත් මේ පාර මගේ චන්දය ජවිපෙට.
ReplyDelete//සුදත්ත තිලකසිරිගේ දේශපාලන පක්ෂපාතීත්වයන් මම මේ කාරණයේදී ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. එවැනි පක්ෂපාතීත්වයන් නැති අය හොයන එක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගත්ත සමාජවාදියෙක් හොයනවා වගේ අමාරු වැඩක්.// මේක නම් මරු කියමනක්....හරියට ගංවැතුරක් ආවත් ගෙයි අස්සෙ තියෙන කළේට වතුර පිරෙන්නේ නෑ වගේ නිදහස් වෙළදපොල ගැන නම් කියලා තේරූම් කරන්නම බෑ තමයි.
ReplyDeleteමුස්ලිම් අන්තවාදින්ගේ තර්ජන නිසා මැක්ඩොනල්ඩ් ආයතනයට රටහැර යාමට සිදුවීම ගැන අපගේ බලවත් විරෝධය පලකරමු.
ReplyDeleteමේ වගේ මෝඩ වැඩ ගැන ලියන වෙලාව අපරාදේ
ReplyDeleteවිජේබාහු
දැම්ම ජනාධිපතිවරණය තිබ්බොත් අපරාදේ කාටවත් සීයට පණහක්වත් ලැබෙන්නේ නෑ, ඒ හින්දා නිරපරාදේ රටේ සල්ලි නාස්ති කරන්න එපා කියලා තාම කවුරුවත් අධිකරණයට පෙස්සමක් දීලා නැතිය?
ReplyDeleteඉකොනො, සිරකරුවාගේ උභතෝකෝටිකය (prisoner's dilemma) යෙදුම ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
ReplyDelete🇱🇰අනුර සජිත් කරට කර - https://youtu.be/LXJS7awYCFs?si=grt_Uvmzc1KrGJva
ReplyDelete