Thursday, March 28, 2024

මහ බැංකුව පොලී අඩු කළේ ඇයි?


දින දෙකකට පෙර (මාර්තු 26) මහ බැංකුව විසින් ප්රතිපත්ති පොලී අනුපාතික 0.5%කින් අඩු කළා. ඒ අනුව, මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතික 8.5%-9.5% දක්වා පහතවැටී තිබෙනවා. මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? එහි බලපෑම් මොනවාද?

රටක මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කය වන්නේ උද්ධමනය 4%-6% සීමාව තුළ පවත්වා ගැනීමයි. ඒ කියන්නේ සාමාන්‍ය අගයක් ලෙස 5% මට්ටමේ.

උද්ධමනය 5% මට්ටමේ තබා ගැනීම සඳහා පොලී අනුපාතික දිගුකාලීනව 7%-8% වැනි මට්ටමක තබා ගැනීම ප්‍රමාණවත්. එවිට උද්ධමනයට වඩා 2%-3%කින් වැඩි පොලියක්, ඒ කියන්නේ 2%-3% පරාසයේ මූර්ත පොලී අනුපාතිකයක් පවත්වා ගැනෙනවා.

මූර්ත පොලී අනුපාතික ගොඩක් වැඩිනම් එය ආර්ථික වර්ධනය කෙරෙහි සෘණාත්මක ලෙස බලපානවා. ඒ නිසා, මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් මූර්ත පොලී අනුපාතික ඕනෑවට වඩා ඉහළ මට්ටමක තියා ගන්නේ නැහැ. හැබැයි උද්ධමන ඉලක්ක වලට යන්න බැරි වීමේ අවදානම ගනිමින් මූර්ත පොලී අනුපාතික ඕනෑවට වඩා පහළ යන්න දෙන්නේත් නැහැ.

ප්‍රතිපත්ති පොලී අනුපාතික සීරුමාරු කිරීම මගින් මහ බැංකුවක් උත්සාහ කරන්නේ ඔය අන්ත දෙක අතර තුලනයක් පවත්වා ගැනීම. ඒ කියන්නේ උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගන්නා අතරම හැකි උපරිම ආර්ථික වර්ධන වේගය පවත්වා ගැනීම. සමහර අවස්ථා වලදී ඔය දෙකෙන් එකක් ගැන වැඩිය නොහිතා අනෙක් එක ගැන පූර්ණ අවධානය යොදවන්න වෙනවා.

මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය 4%-6% සීමාව තුළ පවත්වා ගැනීම ලෙස පවතිද්දී උද්ධමනය 70% තරම් ඉහළ මට්ටමකට ගියාම මහ බැංකුවට එහි වගකීම් ඉටු කිරීමට තිබෙන හැකියාව පිළිබඳ විශ්වාසනීයත්වය බරපතල ලෙස බිඳ වැටෙනවා. ඒ වගේ අර්බුදයකින් පස්සේ මහ බැංකුවකට ආර්ථික වර්ධනය ගැන ලොකුවට නොහිතා, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවට තිබෙන හැකියාව පිළිබඳව විශ්වාසනීයත්වය ගොඩ නගන්න වෙනවා.

ඉතා කෙටි කලක් තුළ උද්ධමනය ඉලක්ක මට්ටම දක්වා අඩු කර ගැනීම මගින් මහ බැංකුව විසින් නැවතත් එහි ප්‍රතිරූපය ගොඩ නගා ගත්තා. නමුත් කලින් මහ බැංකුව අනාගත්ත අනාගැනිල්ල නිසා පොඩි එහා මෙහා වීමකින් මහ බැංකුවේ ප්‍රතිරූපය නැවත බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුව දැන් කටයුතු කරන්නේ ගිණි පෙණෙල්ලෙන් බැට කෑ පසු කණාමැදිරියන් ගැනත් පරිස්සම් වෙන ප්‍රවේශයකින්. මහ බැංකු වැටුප් ප්‍රශ්නයේදී වුනත් වැරැද්දක් වී තිබෙන බව තේරුම් ගෙන වැඩි කතා නැතිව එය හදාගන්න යොමු වීමෙන් පෙනෙන්නේ මේ පරිස්සමයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 1.3% දක්වාම අඩු වුනා. නමුත්, මහ බැංකුව හදිස්සි වෙලා පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු කළේ නැහැ. ඊට හේතුව වැට් වැඩි කිරීම වැනි හේතු නිසා මේ අවුරුද්දේ මුල් මාස වලදී උද්ධමනය නැවතත් යම් තරමකින් ඉහළ යන බව පෙනෙන්නට තිබීම. හිතපු විදිහටම 2024 ජනවාරි මාසයේදී උද්ධමනය 6.4% මට්ටමට ගියා.

විදුලි ගාස්තු අඩු කිරීම හා එළවළු මිල විශාල ලෙස පහත වැටීම නිසා මේ (2024 මාර්තු) මාසයේ උද්ධමනය 0.9% දක්වාම පහත වැටිලා. මේ තත්ත්වයත් එක්ක වසර තුළ උද්ධමනය 4%-6% සීමාවෙන් උඩට යාමේ අවදානමක් පෙනෙන්න නැහැ.

අනෙක් අතට මාස ගණනක් තිස්සේ වර්ධනය වෙමින් පැවති පෞද්ගලික අංශයට දෙන ණය ප්‍රමාණය ජනවාරි මාසයේදී තරමක් පහත වැටී තිබුණා. කාර්තු හයක් තිස්සේ එක දිගට හැකිලුනු ආර්ථිකය නැවත වර්ධනය වෙන්න පටන් ගත්තේ මේ ණය වර්ධනයේද උදවුවෙන්. ඒ නිසා, ඒ තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා මූර්ත පොලී අනුපාතික යම් තරමකින් පහත වැටෙන්න ඉඩ අරින්න වෙනවා. උද්ධමන අවදානම පහළ ගොස් ඇති නිසා මහ බැංකුවට ඒ සඳහා ඉඩක් ලැබී තිබෙනවා. බොහෝ විට වසරේ ඉදිරි කාලයේදී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවත් අඩු කරන්න ඉඩ තිබෙනවා.

උද්ධමනය අඩු වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ විදුලි ගාස්තු අඩු කිරීම. විදුලි ගාස්තු අඩු කළ හැකි වුණේ ඩොලරයක මිල පහළ ගොස් නිෂ්පාදන පිරිවැය අඩු වූ නිසා. ඒ අනුව, පොලී අනුපාතික පහළ යාම කෙරෙහි ඩොලරයක මිල අඩු වීම වක්‍ර ලෙස බලපා තිබෙනවා.

මේ වෙද්දී ඩොලරයක මිල තිබෙන්නේ රුපියල් 300 සීමාව ආසන්නයේ. ඉදිරියේදී ඩොලරයක මිලට කුමක් වෙයිද?

මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය කළමනාකරුවන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ බොහෝ විට මේ වන විට වාණිජ ණයහිමියන් සමඟ මූලික එකඟතාවයක් ඇති කර ගෙන අවසන් බවයි. මේ අනුව, වසර මැද වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වීමට ඉඩ තිබෙනවා.

ඩොලරයක මිල දවසින් දවස අඩු වෙමින් තිබෙන්නේ මහ බැංකුව විසින් දිගින් දිගටම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් සිටිද්දීයි. සංචාරක පැමිණීම් හා ශ්‍රමික ප්‍රේෂණ වල වර්ධනය හමුවේ මහ බැංකුව විසින් එසේ මැදිහත්වීම් නොකරන්නට ඩොලරයක මිල මීට වඩා වේගයෙන් පහත වැටෙනවා. මහ බැංකු අධිපතිවරයා විසින් ඉඟි කර තිබුණේ මෙසේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම නිසා මාර්තු මාසය අවසානයේදී විදේශ සංචිත ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඉදිරි කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන වාරිකයද සංචිත වලට එකතු වීමට නියමිතයි. මේ සියල්ලට අමතරව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසු රටට එන විදේශ විණිමය ප්‍රවාහ තවත් ඉහළ යන්නට ඉඩ තිබෙනවා.

ඉහත තත්ත්වයන් තුළ දැනට ලංකාවේ විදේශ අංශය තුළ පීඩනකාරී තත්ත්වයක් පෙනෙන්නට නැහැ. ඒ නිසාම, විණිමය අනුපාතය මගින් උද්ධමනය පහළට තෙරපීමත්, එයට ප්‍රතිචාර ලෙස මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති තව දුරටත් ලිහිල් කිරීමත් අපේක්ෂා කළ හැකියි. සරලව කිවුවොත් පොලී අනුපාතික තව දුරටත් පහළ යාම අපේක්ෂා කළ හැකියි.

1 comment:

  1. වසරකි ඉලෙක්ෂන්
    වෙයි හොඳ නියම සෙල්ලං
    එන පොට ගතොත් තේරුං
    ඉන්න පුළුවන් - නැතොත් සුම්මං

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.