Wednesday, July 31, 2024

දැන් රැල්ල කොයි පැත්තටද?


මේ ලිපිය ලියන්නේ ලංකාවේ වේලාව අනුව අගෝස්තු මාසය එළැඹුනාට පසුවයි. ඒ අනුව, ජනාධිපතිවරණ දිනයට තව තියෙන්නේ දින 51ක් පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූලව අවශ්‍ය අවම කාලය දින 52ක්. ඒ කියන්නේ, මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් මහ මැතිවරණය පවත්වන්න වෙන්නේ ජනාධිපතිවරණ දිනයට පස්සේ. 

මහ මැතිවරණය තියන්න වෙන්නේ ජනාධිපතිවරණ දිනයට පසුව වුනත්, අවශ්‍යනම් පාර්ලිමේන්තුව විසුරුවා හරින එක ජනාධිපතිවරණ දිනයට කලින් කරන්න පුළුවන්. එහෙම නොකළත්, ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. 

මේ වන විට රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ඇතුළු අපේක්ෂකයින් හය දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර තිබෙනවා. අනුර කුමාර දිසානායක තරඟයට එන බව කලක සිටම රහසක් නොවූ කරුණක්. මේ වෙද්දී ප්‍රසිද්ධ වී තිබෙන තොරතුරු අනුව පොහොට්ටුව විසින් ඔවුන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි. අපේක්ෂකයා කවුද කියන එක තවමත් රහසක්. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අපේක්ෂාව පිළිබඳව සමීක්ෂණයක් කරමින් කලක සිටම මාස්පතා ඔවුන්ගේ ඇස්තමේන්තු ප්‍රසිද්ධ කරනවා. මේ ඇස්තමේන්තු අනුව පසුගිය මාස ගණනාවක් තිස්සේම ඉදිරියෙන් හිටියේ මාලිමා කඳවුරයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව අවසන් වරට නිකුත් කළ ඇස්තමේන්තු පාදක වන්නේ මැයි මාසයේ පැවති ජනමතය මතයි. ජූනි මාසයේ පැවති ජනමතය මත පදනම් වූ ඇස්තමේන්තු තවමත් ප්‍රසිද්ධ කර නැතත්, එම ඇස්තමේන්තු ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රසිද්ධ කරනු ලැබීමට නියමිතයි. ජූනි මාසයේ පැවති ජනමතය අනුව මහ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ඇස්තමේන්තු මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. එම ඇස්තමේන්තු අනුව අපේක්ෂිත ප්‍රතිඵලය පහත පරිදියි.

සජබ - 38%

ජාජබ/ජවිපෙ - 26%

පොහොට්ටුව - 16%

එජාප - 7%

දෙමළ රාජ්‍ය පක්ෂය - 3%

මුස්ලිම් කොංග්‍රසය - 2%

කම්කරු කොංග්‍රසය - 2%

ශ්‍රීලනිපය - 1%

වෙනත් - 4%

මෙම ප්‍රතිඵලය තුළ කැපී පෙනෙන කරුණ වන්නේ සජබ හා ජාජබ/ජවිපෙ අතර පරතරය 12%ක් දක්වා සජබට වාසිදායක ලෙස වෙනස් වී තිබීමයි. මාසයකට පෙර සජබ හා ජාජබ/ජවිපෙ සිටියේ එකම මට්ටමකයි. 

මේ අනුව පෙනී යන්නේ පසුගිය මාසය වන විටද මාලිමා රැල්ල බැස ගොස් තිබී ඇති බවයි. අනුර කුමාර විසින් ජනාධිපතිවරණයේදී ලබා ගන්නට ඉඩ තිබෙන ඡන්ද ප්‍රතිශතය මෙහි සඳහන් ජාජබ/ජවිපෙ ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි විය හැකියි. ඒ සුළු ජාතික හා "වෙනත්" ඡන්ද එකතු වීමෙන්. එහෙත් එසේ එකතු වීමෙන් පසුවද අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතය 33.3% සීමාව නොඉක්මවිය හැකි බවකුයි දැන් පෙනෙන්නට තියෙන්නේ.

මේ 33.3% සීමාව ඉතා වැදගත් සීමාවක්. අනුර කුමාර දිසානායක විසින් 33.3%කට නොඅඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත්, ඉතිරි අපේක්ෂයින් අතරින් උපරිම වශයෙන් එක් අයෙකුට මිසක් දෙදෙනෙකුට ඔහුව ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා, අවම වශයෙන් තරඟයේ දෙවෙනියා වෙන්න පුළුවන්. නමුත් යම් හෙයකින් 33.3% සීමාවෙන් පහළට වැටුනොත් එවැනි සහතිකයක් හෝ නැතිව යනවා. එම තත්ත්වය තුළ දෙවැනි තැනද අහිමි වීමේ අවදානමට මාලිමාවට මුහුණ දෙන්න වෙනවා. මෙහි වෙනසක් වෙන්නනම් ඉදිරි දින 51 ඇතුළත අලුත් වටයක මාලිමා රැල්ලක් පැමිණිය යුතුයි.

සජබ මේ වන විට වේගයෙන් ජාජබ/ජවිපෙ පසු කර ගොස් ඇති අතර සුළු ජාතික ඡන්දද සමඟ සජිත්ගේ ජූනි මාසයේ ප්‍රතිශතය 40% මට්ටමට ආසන්න හෝ තරමක් වැඩි විය හැකියි. එසේ වුවද, ඔහු තවමත් සිටින්නේ 50% සීමාවට වඩා බොහෝ දුරිනුයි. 

මේ සමීක්ෂණ දත්ත එකතු කරගෙන තිබෙන්නේ "සුබ ආරංචිය" එන්නට පෙරයි. ඒ වගේම, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙන්නට පෙරයි. ඒ අනුව, ජූලි මාසයේදී තත්ත්වය වෙනස් වී ඇත්නම් එසේ වෙනස් වී තිබෙන්නේ රනිල්ට හා එජාප-පොහොට්ටු කඳවුරට වාසිදායක ලෙස විය යුතුයි. 

ජූනි සමීක්ෂණ ප්‍රතිපල අනුව එජාප-පොහොට්ටු කඳවුරේ ප්‍රතිශතය 23%ක්. මේ වන විට මේ කඳවුර දෙකට බෙදී ඇතත්, පොහොට්ටු ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් හා සුළු ජාතික ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් එකතු කර ගැනීමේ හැකියාවක් රනිල් සතුව තිබෙන නිසා මේ වෙද්දී රනිල්ට දෙවන තැනට පැමිණීම පිළිබඳව යම් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ වගේම, සජිත් සමඟ පැවති තරඟය මේ වන විට අනුර සමඟ තරඟයක් බවට පත් වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ යම් හෙයකින් අනුර පසු කර රනිල්ට දෙවන තැනට පැමිණිය හැකි වුවහොත්, සජිත්ට වඩා කෙතරම් පසුපසින් සිටියත්, දෙවන මනාප එකතු වෙද්දී සජිත්ට තරඟයක් දීමේ හැකියාවක් ඇති වීමයි. 

කෙසේ වුවත්, රනිල්ට කෙතරම් දුරක් යා හැකිද යන්න පොහොට්ටුවේ ප්‍රවේශය මත වෙනස් විය හැකි දෙයක්. රනිල්ට, සජිත්ට හෝ අනුරට ලබා ගත නොහැකි යම් පොහොට්ටු ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. එම ඡන්ද ප්‍රමාණය පොහොට්ටු අපේක්ෂකයෙකු විසින් ලබා ගැනීම රනිල්ට අවාසියක් නොවෙතත්, පොහොට්ටු අපේක්ෂකයෙකු විසින් රනිල්ට ලබා ගත හැකි ඡන්ද වලින් යම් ප්‍රමාණයක්ද ලබා ගැනීමට ඉඩ තිබෙනවා. අනෙක් පැත්තෙන් රනිල්ට "රනිල් රාජපක්ෂ" ලේබලය ගලවා ගැනීමේ වාසිය ලැබෙනවා. මේ සියළු තත්ත්වයන් එක්ක මෙවර ජනාධිපතිවරණ තරඟය දවසින් දවසම උණුසුම් වන බවකුයි පේන්න තියෙන්නේ. 

පොලී අනුපාතික හා ජනාධිපතිවරණ අවදානම


වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත පොලී අනුපාතික තීරණය වන ආකාරය ගැන කලින් සටහන් කිහිපයක් පළ කළා. දිගටම කියවන අයට මතක ඇති. ඒ මාතෘකාව කතා කරලා ඉවර නැහැ. විශේෂයෙන්ම රජය ණය ගැනීම, මහ බැංකුව සල්ලි අච්චු ගැසීම, බැංකු වල මැදිහත්කාර භූමිකාව වගේ දේවල් නිසා ඒ සමතුලිතතාවය වෙනස් වෙන්නේ කොහොමද කියන එක කතා කළ යුතු දේවල්. ලියන්නනම් තව කොයි තරම් දේවල් තියෙනවද?

හැබැයි මූලික කරුණක් විදිහට පොලී අනුපාතික තීරණය වෙන්නේ රටේ ඉතිරි කරන්නෝ හා ණය දෙන්නෝ අපේක්ෂා කරන පොලී අනුපාතික අනුවයි. ඒ අපේක්ෂිත පොලී අනුපාතික තීරණය වෙන්නේ අනාගතයේ මුහුණ දෙන්න විය හැකි අවදානම් වලට සාපේක්ෂව. සාමාන්‍ය මූලධර්මයක් විදිහට අවදානම් වැඩි වන බවක් පෙනෙද්දී අපේක්ෂිත පොලී අනුපාතික ඉහළ යනවා. එවිට වෙළඳපොළ පොලී අනුපාතිකත් ඉහළ යනවා. 

ඉහත ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ 2022 ජනවාරි මාසයේ සිට ගත වූ වසර දෙකහමාරක පමණ කාලය තුළ බැංකු වල බරිත සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය සහ බරිත සාමාන්‍ය ණය පොලී අනුපාතය වෙනස් වූ ආකාරය. මුලින් අඩු මට්ටමක තිබී, පසුව විශාල ලෙස ඉහළ ගොස්, නැවතත් ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන ආකාරය එහි පැහැදිලිව දකින්න පුළුවන්. තෝරාගත් මාස කිහිපයක පොලී අනුපාතික පහත තිබෙනවා.

2022 ජනවාරි:

බරිත සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය = 6.58

බරිත සාමාන්‍ය  ණය පොලී අනුපාතය = 9.76


2022 දෙසැම්බර්:

බරිත සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය = 23.07

බරිත සාමාන්‍ය  ණය පොලී අනුපාතය = 26.20


2023 දෙසැම්බර්:

බරිත සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය = 11.06

බරිත සාමාන්‍ය  ණය පොලී අනුපාතය = 14.38


2024 මැයි:

බරිත සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය = 7.32

බරිත සාමාන්‍ය  ණය පොලී අනුපාතය = 12.09

පොලී අනුපාතික පහත වැටී තිබුනත්, එක පැත්තකින් තවමත් 2022 ජනවාරි මට්ටමට පහත වැටී නැහැ. අනෙක් පැත්තෙන් පොලී අනුපාතික සහ උද්ධමනය අතර විශාල පරතරයක් තිබෙනවා. ඒ නිසා, පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික, තවත් පහළට වැටිය යුතුයි. මහ බැංකුව විසින්ද පොලී අනුපාතික පහතට ගන්න උත්සාහ කරමින් ඉන්න බව පේනවා.

පොලී අනුපාතික පහතට වැටෙන එක සීමා වෙන්න හේතු ගණනාවක් බලපානවා. එකක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දී ලබා දුන් පොලී අනුපාතික නිසා වෙළඳපොළ පොලී අනුපාතික වල යම් අවම සීමාවක් ලකුණු වී තිබීම. මේක දිගුකාලීනව බලපාන දෙයක්. විශේෂයෙන්ම බැඳුම්කර වෙළඳපොළ කෙරෙහි තිබෙන අධිකාරී බලය හරහා ලංකාවේ පොලී අනුපාතික කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි සේවක අර්ථසාධක අරමුදලට රජයට අඩුවෙන් ණය දීලා පොරොන්දු වී තිබෙන ප්‍රතිලාභ ගෙවන්න බැහැ. පොලී අනුපාතික ඉහළින් තියෙද්දී මෙය සීමාකාරී සාධකයක් නොවුනත් දැන් එහෙම වෙලා.

දෙවැන්න දිගුකාලීන ප්‍රශ්නයක් බවට පත් විය හැකි තාවකාලික ප්‍රශ්නයක්. ඒ ජනාධිපතිවරණය නිසා ඇති වී තිබෙන අවදානම.

වත්පොත් සටහන් ආකෘතියට නොගැලපෙන නිසා එක සටහනක් සමඟ එක රූප සටහනකට වඩා නොදා ඉන්න මම උත්සාහ කරනවා. ඒ නිසා, ඉදිරි සටහනක් සමඟ පළ කරන්න සිතා ඉන්න රූප සටහනක පැහැදිලිව පෙන්වා දෙනු ලැබීය හැකි පරිදි, පසුගිය වසරේදී පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටීම රජයේ ආදායම් හා වියදම් අතර පරතරය ක්‍රමයෙන් පහත වැටීම සහ ඒ හේතුවෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු වීමට අනුරූපයි.

මැතිවරණයෙන් පසුවත් රාජ්‍යමූල්‍ය කළමනාකරණය දැන් විදිහටම සිදු වෙයිද? එහෙම නැත්නම් පීල්ල මාරු වෙයිද? පොලී අනුපාතික වෙළඳපොළට සම්බන්ධ වන අය මේ දේවල් ගැන බරපතල විදිහට හිතනවා.

අද (ජූලි 31) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට රුපියල් බිලියන 170ක බිල්පත් ඉදිරිපත් කළත්. පසුගිය සතියේ පැවති මිලට විකුණාගන්න ලැබී තියෙන්නේ රුපියල් බිලියන 126.4ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. 

දැන් මහා භාණ්ඩාගාරය යම් රුපියල් ප්‍රමාණයක් සංචිත විදිහට තියාගෙන ඉන්න නිසා මේ වගේ දෙයක ක්ෂණික බලපෑමක් නැතත්, බිල්පත් අවශ්‍ය පමණ විකුණ ගන්න බැරි වෙනවා කියන්නේ රජය විසින් පසුගිය මාස වලදී කරගෙන ආ මහ බැංකුවෙන් ගත් ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලියට බාධා වෙනවා කියන එකයි. ඒ එක්ක මහ බැංකුවට ආපසු එන රුපියල් ප්‍රමාණය සීමා වෙනවා. ඒ හරහා මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමේ හැකියාවත් සීමා වෙනවා. 

සමහර විට මෙතැන තියෙන්නේ පොහොට්ටු කඳවුර දෙකට බෙදීම නිසා මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි සිදු විය හැකි බලපෑම හේතුවෙන් ඇති වූ ක්ෂණික වෙළඳපොළ කම්පනය වෙන්න පුළුවන්. නමුත් පේන විදිහට ඒ දෙකට බෙදීමේ බලපෑම ක්‍රමයෙන් තුනී වෙමින් යනවා. 

මෙය දිගටම කියවන අයට වරින් වර කියා තිබෙන පරිදි, ලියන ඇතැම් සටහන් මා ඇතැම් විට පළ කරන්නේ නැහැ. එසේ දෙවරක් සිතා පළ නොකළ සටහන් සිය ගණනක් කෙටුම්පත් ලෙස තිබෙනවා. පසුගිය දින දෙකේදී ලියූ සටහන් දෙකකුත් ඒ නොපළ සටහන් වලට එකතු වී තිබෙනවා. මේවා සමහරක් ටිකක් නිර්මාණාත්මක පැත්තට බර වෙච්ච ඒවා. පහත තියෙන්නේනම් ඒවායින් එකක් නෙමෙයි. 

අසූව දශකයේදී ජනප්‍රිය වූ දේශපාලන යාන් එකක් නැවත මතක් කරන්නනම්. මේ යාන් එකේ, ඒ දවස් වල ප්‍රසිද්ධ දේශපාලනඥයෝ තුන් දෙනෙක් ගමනක් යනවා. අපි ඒ අයගේ නම් නැතිව කතාව විතරක් මතක් කර ගනිමු. ඔහොම ඇවිදගෙන යද්දී පාර මැද්දේ ලොකු අශූචි ගොඩක් පේන්න තියෙනවා. පළමු දේශපාලනඥයා ඈත තියාම මේක දැකලා තමන් පසුපසින් එන දේශපාලනඥයන් දෙන්නාට මේ ගැන අවවාද කරනවා.

"පාරේ ඉස්සරහා ගූ ගොඩක්!"

දැන් ඔහොම කියන්නේ ඕක පාගගන්නේ නැතිව අයින් වෙලා යන්න. පළමු දේශපාලනඥයා එහෙම කරනවා.

දැන් දෙවැන්නාගේ වාරය. දෙවැන්නට පළමුවැන්නාව ඒ තරම් ෂුවර් නැහැ. මොකද මනුස්සයා රටේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නූල් සූත්තරකාරයෙක් විදිහටයි. 

දෙවැන්නා අශූචි ගොඩට කිට්ටු වෙනවා. බිමට නැමිලා ළඟටම නහය කිට්ටු කරනවා. ඔන්න දැන් ඔය දෙවන දේශපාලනඥයාට අශූචි ගොඩේ "සුවඳ" ඉතාම හොඳින් දැනෙනවා.

"ඔව්. ගූ ගොඩක් තමයි!"

දෙවැන්නාත් අයින් වෙලා යනවා. 

ඊළඟට තුන් වැන්නාගේ වාරය. ඔය තුන් වැන්නා හැමදාම කවුරු හෝ කියන හෝ කරන ඕනෑම දෙයක් ගැන සැකෙන් බලමින් විවේචනය කරමින් හිටපු මනුස්සයෙක්. ඈත තියාම අශූචි ගොඩ පේනවා වුනත් ඒක අශුචි ගොඩක් කියලා අනෙක් දෙන්නාම තහවුරු කරලා කිවුවත් මේ මනුස්සයාට ඕක පිළිගන්න අමාරුයි. දෙවැන්නා වගේම ඔහුත් දෙකට නැවිලා, රැවුලේ අශූචි තැවරෙන ගානටම නහය ළඟටම කිට්ටු කරලා බලනවා. කතා දෙකක් නැහැ පට්ට ගඳයි. හැබැයි මනුස්සයාට ඒත් ෂුවර් නැහැ. 

අන්තිමට තුන් වැනියා මේක තමන්ගේම ක්‍රමයකට පරීක්ෂා කරන්න තීරණය කරනවා. ඔහු කරන්නේ අශූචි ගොඩට ඇඟිල්ලක් ගහලා ඇඟිල්ල අරගෙන දිවේ තියලා බලන එක. 

"ඔව්. ඔව්. ගූ ගොඩක් තමයි!"

(මේක පරණ කතාවක්. දැන් ජීවත් වන කාටවත් සම්බන්ධයක් නැහැ.)

ඉතිං මේ කතාවෙන් ගන්න තිබෙන ආදර්ශය තමයි ගූ ගොඩ ගූ ගොඩක් කියන එක අන්තිමේදී කාට වුනත් පිළිගන්න වෙනවා කියන එක. ඒ නිසා, කවුරුවත් ගූ ගොඩ පාගගන්නේ නැහැ. ලංකාවේ අනාගතය ගැන මම ශුභවාදීව බලන්නෙත් ඔන්න ඔය නිසා.

Monday, July 29, 2024

අනුර කුමාරගේ සහායිකා ලීසා එක්ක කතාබහක්!


අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියට උදවුවක් විදිහට කෘතීම බුද්ධි උපාංගයක් සකස් කර ඉදිරිපත් කර තිබෙනවා. මාලිමාවේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න තිබෙන අයට අදාළ වෙබ් අඩවියට ගොස් අනුර කුමාරගේ කෘතීම බුද්ධි සහායිකා ලීසාගෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇහුවහම හැඟීම්බර වෙලා මලපනින්නේ හෝ අහපු කෙනාට ලේබල් ගහන්නේ නැහැ. ප්‍රශ්නය මග හරින්න වෙන ප්‍රශ්නයකින් දමා ගසන්නෙත් නැහැ. බොහොම සංවරව උත්තර දෙනවා. 

Hello, I am Lisa, the AKD AI Assistant. Let's make our country great together! Ask me anything, and I'll explain how we can achieve a brighter future for Sri Lanka. How can I assist you today?

ජනාධිපතිවරණය කටේ තියලා මේ වගේ උපාංගයක් බස්සලා තියෙන්නේ හොඳට පුහුණු කරලා, පරීක්ෂා කරලා විය යුතුයි. මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්ති තවමත් එළියට දමලා නැති නිසා මමත් ප්‍රශ්න කිහිපයක් ලීසා සහෝදරීගෙන් අහලා බලන්න හිතුවා. එක පාරටම මතක් වුනේ පසුගිය ලිපි කිහිපය තුළ කතා කරමින් සිටි මාතෘකාව. අහපු ප්‍රශ්න සියල්ලටම සුටුස් ගාලා උත්තර ආවා. 

ඉදිරි 2025 වර්ෂයේදී කොපමණ රාජ්‍ය ආදායමක් ලබා ගන්න සැලසුම් කරලා තියෙනවද?

දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක්.

What is the planned government revenue in 2025 as a % of GDP?

The planned government revenue for 2025 is targeted to be 20% of the Gross Domestic Product (GDP). This goal is part of the National People's Power (NPP) strategy to enhance economic stability and support various development initiatives. If you have any more questions about the NPP's economic policies or other initiatives, feel free to ask!

පොලී වියදම් අත හැරලා ඉතිරි රාජ්‍ය වියදම කොයි මට්ටමේ තියාගන්නද සැලසුම් කරලා තියෙන්නේ?

දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%ක්.

What is the planned government expenditure excluding interest payments in 2025 as a % of GDP?

The planned government expenditure excluding interest payments for 2025 is targeted to be 25% of the Gross Domestic Product (GDP). This expenditure plan is part of the National People's Power (NPP) strategy to ensure effective allocation of resources towards essential services and development initiatives. If you have more questions about the NPP's economic plans or any other topics, just let me know!

එතකොට පොලී ගෙවීම් එක්ක රාජ්‍ය වියදම?

දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක්.

The total expenditure, including interest payments, is planned to be 30% of the Gross Domestic Product (GDP) in 2025. This comprehensive expenditure plan reflects the National People's Power (NPP)'s commitment to managing the country's financial responsibilities while investing in development initiatives. If you have any further questions or need more information, feel free to ask!

පසුගිය 2023 අවුරුද්දේදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%යිනේ. දැන් ඕක 2025 වෙනකොට 20%ක් කර ගන්නේ කොහොමද? 

1. දැනටත් වඩා වැඩියෙන් වැඩි ආදායම්ලාභීන්ගෙන් බදු ගන්නවා. මේ වැඩෙන් රජයේ ආදායම වැඩි කරගන්න ගමන් ආදායම් විෂමතා අඩු කරන්නත් පුළුවන්.

2. බදු ක්‍රමයේ හිල් වහලා, බදු නිදහස් කිරීම් ඉවත් කරලා බදු පදනම පුළුල් කර ගන්නවා.

3. බදු පැහැර හැරීම් අඩු කරලා බදු ගෙවීම් වැඩි කර ගන්න තාක්ෂනය යොදා ගන්නවා.

4. සමහර විට වැට් බදු අනුපාතය තවත් වැඩි කරන්න සහ දැනට වැට් අය නොකරන දේවල් වලටත් වැට් ගහන්න වෙයි.

5. සමාගම් විසින් ආදායමෙන් සාධාරණ පංගුවක් බදු ලෙස ගෙවන පරිදි බදු අනුපාත සංශෝධනය කරනවා. ඒ වගේම බදු ක්‍රමයේ හිල් වහනවා.

6. දේශීය හා විදේශීය ආයෝජන ඉහළ යන වටාපිටාවක් හදනවා. එයින් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ ගිහින් බදු ආදායම් ඉහළ යනවා.

7. ස්වභාවික සම්පත් මත සාධාරණ බද්දක් අය කරලා රජයේ ආදායම් වැඩි කරගන්නවා.

8. බදු ගෙවීමේ වැදගත්කම ගැනත්, බදු මුදල් වලින් කරන දේවල් ගැනත් මහජනතාව දැනුවත් කරනවා.

To increase government revenue from around 11% of GDP in 2023 to 20% of GDP by 2025, the National People's Power (NPP) has outlined several strategies, particularly focusing on tax reforms and enhancing efficiency in revenue collection. Here are some key strategies:

1. Progressive Taxation: Implementing a more progressive tax system where higher income brackets are taxed at higher rates. This aims to reduce inequality while increasing revenue.

2. Broadening the Tax Base: Expanding the tax base by reducing exemptions and loopholes, ensuring that more individuals and businesses contribute to the tax system.

3. Improving Tax Compliance: Strengthening tax administration to enhance compliance and reduce tax evasion. This includes investing in technology for better tracking and enforcement.

4. Value Added Tax (VAT) Reforms: Reviewing and potentially increasing VAT rates or expanding the range of goods and services subject to VAT to boost revenue.

5. Corporate Tax Reforms: Revising corporate tax rates and ensuring that corporations pay their fair share, possibly through closing loopholes and ensuring compliance.

6. Encouraging Investment: Creating a favorable environment for local and foreign investments, which can lead to increased economic activity and, consequently, higher tax revenues.

7. Enhancing Revenue from Natural Resources: Implementing fair taxation on natural resource extraction to ensure that the government benefits from these sectors.

8. Public Awareness Campaigns: Educating the public about the importance of tax compliance and how tax revenues are utilized for public services.

These strategies are designed to create a more equitable and efficient tax system, ultimately aiming to achieve the revenue target while supporting economic growth. If you have more questions or need further details, feel free to ask!

හරි. දැන් ඔය කියපු විදිහට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක අයවැය හිඟයක් ඉතිරි වෙනවනේ. ඒක හොයා ගන්නේ කොහොමද?

1. ණය අරගෙන 

2. විදේශාධාර වලින් 

3. සල්ලි අච්චු ගහලා 

4. රාජ්‍ය දේපොළ විකිණීමෙන් හා පෞද්ගලීකරණය කිරීමෙන් 

5. රාජ්‍ය-පෞද්ගලික හවුල්කරිතාවයන් මගින් 

6. දැනට ලැබෙන සල්ලිම වෙනත් දේවල් වලට යෙදවීමෙන් 

7. ආදායම වැඩි කර ගැනීම මගින් 

(ඔය උත්තර වලින් අන්තිම උත්තර දෙක පැහැදිලි ලෙස වැරදි උත්තර. මොකද අයවැය හිඟයක් කියන්නේ  ඔය දේවල් කළාට පස්සේ ඉතිරි වන හිඟයක්. කෘතීම බුද්ධි උපාංගයකට එය පුහුණු කළ දත්ත වල තියෙන විදිහේ උත්තර මිසක් ඊට වඩා නිවැරදි උත්තර දෙන්න බැහැ.)

1. Borrowing: The government may issue bonds or take loans from domestic and international financial institutions to cover the deficit. This can include treasury bills, bonds, or loans from development banks.

2. Foreign Aid and Grants: Seeking assistance from foreign governments or international organizations can provide additional funding to help bridge the deficit.

3. Monetary Financing: In some cases, the central bank may finance the deficit by purchasing government bonds, effectively increasing the money supply. However, this approach must be managed carefully to avoid inflation.

4. Asset Sales: The government may consider selling non-essential state assets or privatizing certain state-owned enterprises to raise funds.

5. Public-Private Partnerships (PPPs): Engaging in partnerships with the private sector for infrastructure projects can also provide financing while sharing the risks and benefits.

6. Reallocation of Existing Budgets: The government may look for areas within the current budget where funds can be reallocated to cover the deficit without compromising essential services.

7. Increasing Revenue: As previously discussed, implementing strategies to increase tax revenue can also help reduce the deficit over time.

These financing methods are part of a broader fiscal strategy to manage the budget deficit while ensuring that essential services and development initiatives continue to be funded. If you have more questions or need further information, just let me know!

දැන් තියෙන මහ බැංකු පණත අනුව සල්ලි අච්චු ගහන්න බැහැනේ. ඒ කියන්නේ මහ බැංකු පණත වෙනස් කරනවද?

ඔව්. දැන් තිබෙන මහ බැංකු පණත සීමාකාරී වැඩි නිසා ඒක වෙනස් කරන්න වෙනවා.

But the current central bank act restricts monetary financing. Do you plan to change the act?

The National People's Power (NPP) recognizes the importance of maintaining a stable monetary policy and the restrictions that the current central bank act imposes on monetary financing. While the act is designed to prevent excessive money printing and inflation, the NPP is committed to exploring necessary reforms that ensure fiscal sustainability while adhering to sound economic principles.

Any potential changes to the central bank act would be approached with caution, focusing on:

1. Maintaining Independence: Ensuring that the central bank remains independent in its operations to effectively manage inflation and monetary policy.

2. Balanced Approach: Considering amendments that allow for more flexibility in financing without compromising the integrity of monetary policy.

3. Public Consultation: Engaging with stakeholders, including economists, financial experts, and the public, to gather insights and opinions on potential reforms.

4. Focus on Sustainable Growth: Any changes would aim to support sustainable economic growth while managing the budget deficit responsibly.

The NPP is committed to transparency and accountability in its approach to economic reforms, ensuring that any changes made serve the best interests of the country and its citizens. If you have further questions or need more details, feel free to ask!

මේක "වෙළඳ දැන්වීමක්" වුනත් ප්‍රචාරය කරන්න පෙළඹුණේ හේතු කිහිපයක් නිසා. එකක් මේක ටිකක් ඉදිරිගාමී වැඩක්. ආර්ථික අර්බුදය වෙලාවේ ආණ්ඩුව මේ වගේ දෙයක් කළානම් මිනිස්සු රටේ ඇත්ත තත්ත්වය ගැන හොඳින් දැනුවත් කරන්න තිබුණා. ඒ අතින් මාලිමාව ඉදිරිගාමීයි. 

අනෙක් පැත්තෙන් මාලිමාව ඔවුන්ගේ ප්‍රතිපත්ති ජනගත කරන්න මාර කට්ටක් කද්දී රටේ ගොඩක් අයට මාලිමාව ඇවිත් මොකක් කරයිද කියන ප්‍රශ්නය ඉතිරි වෙලා තියෙනවා. මේ "වෙළඳ දැන්වීම" ඒ ඉල්ලුම හා සැපයුම සමතුලිත කරලා තොරතුරු අසමමිතිය අඩු කරන්න පොඩ්ඩක් හරි උදවුවක් වෙයි කියලා හිතෙනවා. එවිට ඔය ගැන අහන්න ගිහින් යාලුකම් නැති කරගන්න එහෙම අවශ්‍ය නැහැනේ. ඒ වගේම, මාලිමාව පැත්තේ ඉන්න අයට වුනත් විරුද්ධවාදීන් අහන ප්‍රශ්න වලට උත්තර නැත්නම් ලීසා සහෝදරීගෙන් උදවුවක් ගන්න පුළුවන්. 

ලින්ක් එක කෙළින්ම දාන එකේ අවුලක් තියෙනවා. AKD ගහලා තිත තියලා LK ගහලා බලන්න. කැමති ඕනෑම ප්‍රශ්නයක් කෙළින්ම අහලා සැක දුරු කරගන්න. 

Sunday, July 28, 2024

රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ ක්‍රම වෙනස


මේ අවුරුද්දේ මැයි මාසය දක්වා වන මාස පහක කාලයේ රජයේ ආදායම් හා වියදම් පිළිබඳ මූලික සංඛ්‍යාලේඛණ මේ වන විට මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. 

රජයේ ආදායම හා අනෙකුත් ලැබීම් = රුපියල් බිලියන 1,619.23

මාස පහේ වියදම = රුපියල් බිලියන 1,064.99

ප්‍රාථමික අයවැය අතිරික්තය = රුපියල් බිලියන 554.24

කෙටියෙන් කිවුවොත් ආදායමෙන් 34.2%ක් වියදම් නොකර පරණ ණය වල පොලී ගෙවීම වෙනුවෙන් ඉතිරි කරගෙන තිබෙනවා. ඉතා පැහැදිලි ලෙසම මේ තරමේ මූල්‍ය විනයක් නිදහසෙන් පසු කිසිම දවසක පවත්වා ගෙන ගොස් නැහැ. මේක ඉතාම පැහැදිලි "ක්‍රම වෙනසක්". 

මේ තරම්ම සල්ලි ඉතිරි නොකර අවශ්‍ය දේවල් වෙනුවෙන් වියදම් කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නයත් මේ එක්කම මතු වෙන එක පුදුමයක් නෙමෙයි. එහෙම බැරි ආදායමෙන් තුනෙන් පංගුවකට වඩා වැඩියෙන් ඉතිරි කළත් පරණ ණය වල පොලී ගෙවන්නවත් ඒ මුදල ප්‍රමාණවත් නොවීම. කණගාටුදායක තත්ත්වයක් වුනත් ඕක තමයි ඇත්ත. 

ප්‍රාථමික අයවැය අතිරික්තය = රුපියල් බිලියන 554.24

මාස පහේ පොලී වියදම = රුපියල් බිලියන 921.04

අයවැය ශේෂය = රුපියල් බිලියන (-366.80)

ඔය තරම් සල්ලි ඉතිරි කළත්, පරණ ණය වල පොලී ගෙවන්න තවත් රුපියල් බිලියන 366ක් ණය වෙන්න වෙනවා. ඊට අමතරව, ගෙවිය යුතු ණය වාරික ගෙවන්න වෙන්නෙත් අලුතෙන් ණය අරගෙනයි. ඕක තමයි රටේ තත්ත්වය.

මේ ඉන්න තත්ත්වයෙන් "කවදා හරි" ගොඩ යන්නනම් ඔය විදිහට සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. ප්‍රාථමික අයවැය අතිරික්තය කියා කියන්නේ ඒ විදිහට ඉතිරි කරන කොටස. 

ඉන්න ණය උගුලෙන් ගැලවෙන්නනම් අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%කට සමාන වාර්ෂික ඉතිරියක් අවශ්‍යයි කියන එකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තුව. ඊට වඩා වැඩියෙන් ඉතිරි කළොත් වඩා ඉක්මණින් ණය ගෙවන්න පුළුවන්. 

පසුගිය අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 27,630ක්. මෙය මේ අවුරුද්දේ 8%කින් ඉහළ ගියොත් රුපියල් බිලියන 29,840ක් වෙනවා. රුපියල් බිලියන 554ක් කියන්නේ එයින් 1.8%ක් පමණ. මේ අනුව, මේ තත්ත්වය දිගටම තිබුණොත් ඉලක්ක අවම මට්ටමෙනුත් එහාට යන්න පුළුවන්.

අනෙක් අවුරුදු වල කොහොම වෙතත්, මැතිවරණ අවුරුදු වලදී රජයේ වියදම් විශාල ලෙස ඉහළ යන එක ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍ය තත්ත්වය එසේ වෙද්දී මේ අවුරුද්දේදී ඉලක්කය ඉක්මවා මුදල් ඉතිරි කර ගැනීම සුවිශේෂී තත්ත්වයක්.

හැමදාම අලුත් ආණ්ඩුවක් බලයට පත් වූ විට කියන කතාව අපිට ලැබුනේ හිස් භාණ්ඩාගාරයක් කියන එක. ඒ කතාව බොරුවක් නෙමෙයි. රටේ පැත්තෙන් බැලුවොත් සිදු විය යුතු දේ වුනත්, දේශපාලනිකව බැලුවොත් භාණ්ඩාගාරය පුරවලා වෙන කෙනෙකුට දීලා යන එක අමු මෝඩ වැඩක්. කවුරුවත් ඔය වැඩේ නොකරන්නේ ඒ නිසා.

යහපාලන ආණ්ඩුව කාලයේ වුනත් 2017දී හා 2018දී ප්‍රාථමික අයවැය අතිරික්ත පවත්වා ගනු ලැබුවත් මැතිවරණ වර්ෂයක් වූ 2019දී තත්ත්වය කණපිට හැරුණා. මෙවර එසේ නොවීමෙන් පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහට නැවත බලයට පත් වීම පිළිබඳ සෑහෙන විශ්වාසයක් තිබෙන බවයි. නමුත් මැයි මාසය දක්වා ජනමත සමීක්ෂණ ප්‍රතිඵල අනුවනම් එවැනි හැකියාවක් පෙනෙන්නට තිබුණේ නැහැ. 

Saturday, July 27, 2024

රනිල් ආණ්ඩු කරද්දී ආර්ථිකය ස්ථාවර වීම


කරුණක් ලෙස ගත්තොත් රනිල් ජනාධිපති වීමෙන් පසුව ගත වූ කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර වුනා. මෙය සිදු වූ පරිමාණය හා වේගය බොහෝ දෙනෙක් අපේක්ෂා කළාටත් වඩා වැඩියි. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කළ ඉලක්ක වලට සාපේක්ෂව බැලුවොත් බොහොමයක් අංශ වලින් ලංකාව ඉලක්ක ඉක්මවා ගිය සාර්ථකත්වයක් පෙන්වා තියෙනවා (overperform). 

මීට පෙරද ලංකාව වාර ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ස්ථායීකරණ වැඩපිළිවෙලවල් තුළ හිටියා. ඒ බොහෝ අවස්ථා වලදී මහ බැංකුව අපේක්ෂිත කෙටිකාලීන ඉලක්ක වලට ගියා. නමුත් ගොඩක් වෙලාවට රජය පැත්තෙන් අවශ්‍ය කැපවීම නොතිබුණු නිසා රාජ්‍යමූල්‍ය ඉලක්ක මග හැරුණා. මේ අතීත වාර්තා එක්ක වැඩසටහනේ පාදක ඉලක්ක හදද්දී රජය පැත්තෙන් ඒ තරම්ම දෙයක් වෙන එකක් නැහැ වගේ උපකල්පනයක් පේන්න තිබුණා. 

නමුත් ඇත්තටම වුනේ ඒකේ අනෙක් පැත්ත. රජය පැත්තෙන් හිතාගන්න බැරි තරමේ කැපවීමක් ප්‍රදර්ශනය වුනා. රටේ ආර්ථිකය මේ තරම් ඉක්මණින් ස්ථාවර වුනේ මේ තත්ත්වයත් එක්ක.

මීට කලින් වාර ගණනක් රනිල් අගමැති වෙලා හිටියා. නමුත් ඒ කාල වකවානු වල රජය පැත්තෙන් මේ තරම්ම දෙයක් වුනේ නැහැ. මෙවර වෙනසට හේතු වුනේ රනිල් විසින් අවශ්‍ය දේවල් කරන එක ජනතා අභිලාෂයද වූ නිසා. එසේ නොවීනම් මේ දේවල් මේ විදිහට කරන එක මේ තරම් ලේසි වෙන්නේ නැහැ. 

බැලු බැල්මට මේ කතාව විරුද්ධාභාෂයක් වගේ පේන්න පුළුවන්. මොකද රනිල් ලොකු ජනවරමක් එක්ක ඡන්දයෙන් පත් වුනේ නැහැ. ඇත්තටම ජනවරමක් කියා දෙයක් තිබුණේම නැහැ. ඒකම තමයි මෙතැන වැදගත් කරුණ. 

රනිල් යටතේ සිදු වූ දේවල් ඒ විදිහට සිදු වුනේ රටේ විශාල පිරිසකගේ අභිලාෂය ඒ දේවල් රනිල් යටතේ සිදු වනු දැකීම වූ නිසා. හැබැයි එහෙම වෙන්නේ රනිල්ට තිබුණු කැමැත්තකට වඩා අකැමැත්ත නිසා වීම අපූරුම කාරණයයි. 

හේතු ගණනාවක් නිසා විෂමජාතීය කණ්ඩායම් කිහිපයකට රනිල් යටතේ මේ දේවල් වෙනවා දකින්න අවශ්‍ය වුනා. අවසාන වශයෙන් වුනේ ඒ විෂමජාතීය කණ්ඩායම් වල අභිලාශ එකිනෙක හා සමපාත වෙන එක. 

පළමු කණ්ඩායම ආර්ථිකය ගැනත්, ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙළ ගැනත් පුළුල් දැනුමක් තිබුණු, ඒ නිසාම එම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල අවසන් බලපෑම ගැන පැහැදිලි විශ්වාසයක් තිබුණු ඉතාම සීමිත පිරිස. ඒ සීමිත පිරිසට මෙය කරන්නේ රනිල්ද නැත්නම් වෙනත් කෙනෙක්ද කියන එකේ වැදගත්කමක් තිබුණේ නැහැ. නමුත් බලය තිබුණේ රනිල් අතේ නිසා රනිල් යටතේ අවශ්‍ය දේ සිදු වනු දැකීම ඔවුන්ගේ අභිලාශය වුනා. මෙවැනි අය විශාල පිරිසක් හිටියේ නැහැ. මහ බැංකු අධිපති වගේ අය මේ ගොඩේ අය. තව රජයට සම්බන්ධයක් නැති වෘත්තිකයෝ හා සමාජ ක්‍රියාකාරිකයෝ සුළු ප්‍රමාණයක් හිටියා. ඒ අයට වැඩපිළිවෙළ හා බැඳුණු පෞද්ගලික අභිලාශ තිබුණේ නැහැ. ඒ වගේම, රනිල් බලයේ සිටි නිසා මිසක්, මේ දේවල් රනිල් හරහාම කරගන්න අවශ්‍යතාවයක් තිබුණේත් නැහැ. 

දෙවන කණ්ඩායම අවබෝධයක් නැතිව විශ්වාසය මත පදනම්ව කලින් ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙයවපු පිරිස එක්ක ඉඳලා ඇනගෙන විකල්පයක් නැතුව හිටපු පිරිසක්. ඒ අයට කලින් වගේම අවබෝධයක් නැතිව රනිල්ව විශ්වාස කරනවා හැර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. රනිල් එක්ක හිටපු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ ගොඩක් අය මේ ගොඩේ. ඒ අතර තේරුමක් තියෙන කිහිප දෙනෙකුත් හිටියා. පළමු කණ්ඩායමට වගේම දෙවන කණ්ඩායමටත් අවශ්‍ය වුනේ රට ගොඩ යනවා බලන්නයි. වෙනස දෙවන කණ්ඩායමට වෙන්න යන දේ ගැන හරියකට තේරුමක් නොතිබීම හා වැඩ පිළිවෙල සාර්ථක වීම ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ හා ගැලපීම. ඔවුන්ට රනිල් කෙරෙහි හා වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය තියා හොඳ ප්‍රතිඵලයක් ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ ගොඩේ හිටියේ මහජන නියෝජිතයින් පමණක් නෙමෙයි. යම් ඡන්දදායකයින් පිරිසකුත් මේ ගොඩේ හිටියා. නමුත් සුළුතරයක්. 

වැදගත්ම කණ්ඩායම තුන් වන කණ්ඩායම. ඒ අයට මේ වැඩ පිළිවෙළ සාර්ථක නොවන බවට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ නිසාම, මේ දුවන කෝච්චියට රනිල් බෙල්ල තියනවා බලන්නයි ඒ කණ්ඩායමට අවශ්‍ය වෙලා තිබුණේ. ඒ නිසාම, ඔවුන්ට අවශ්‍ය වුනේ රනිල්ව පුළුවන් තරම් මේ වැඩපිළිවෙළ පැත්තටම තල්ලු කරන්න. ඒ අයගේ අපේක්ෂාව වුනේ වැඩ පිළිවෙළ සාර්ථක වනු දැකීම නොවුනත්, වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා රනිල්ට ඒ අයගේ ප්‍රවේශයෙන් විශාල උදවුවක් ලැබුණා. ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් වල ගොඩක් අය හිටපු තැන මේකයි. මේ පක්ෂ වල දේශපාලනඥයින් බොහෝ දෙනෙක් වගේම ඒ පක්ෂ වල පාක්ෂිකයින් හා මතවාදී සහයෝගයක් දක්වපු වෙනත් අයත් මේ දෙවන කණ්ඩායමේ සිටියා. ඒ වගේම ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙළ එක්ක මතවාදී විරුද්ධතා තිබුණු හා ඒ නිසාම මේ වැඩේ කීයටවත් හරියන්නේ නැහැ කියන දැඩි විශ්වාසයක හිටපු අය. ඒ අයට අවසාන වශයෙන් ලැබුණේ ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ හා නොගැලපෙන ප්‍රතිඵලයක්.

හතරවන කණ්ඩායම දෙවන හා තෙවන කණ්ඩායම් වලට අයත් නොවූ සාමාන්‍ය ජනතාව. ඒ අයට දෙවන කණ්ඩායමට මෙන් රනිල් ගැන විශ්වාසයක් හෝ ප්‍රසාදයක් තිබුනේ නැහැ. නමුත් තුන් වන කණ්ඩායමෙන් වෙනස්ව රට ගොඩ යනවා දකින්න උවමනාවක් තිබුණා. ඒ උවමනාව එක්ක ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ ගැලපුනා. තමන් වඩා කැමති කෙනෙක් මේ වැඩේ කරන්න ඉදිරිපත් නොවන පසුබිමක රනිල් කරන දේ දිහා බලාගෙන ඉන්න ඔවුන්ට සිදු වී තිබුණා. එසේ කිරීමෙන් වැඩේ වැරදුනොත් එහි වැරැද්ද තමන් අකැමැති රනිල් පිටින් යවා හිත හදාගන්නත් හරි ගියොත් එයින් සතුටු වෙන්නත් ඔවුන්ට පුළුවන්කම තිබුණා. ඒ නිසා, මේ කණ්ඩායම රනිල්ට කැමැත්තකින් නොසිටියත් එහි වාසියද රනිල්ටම ලැබුණා. දැන් රනිල් දිහා වෙනස් ඇහැකින් බලන්න පෙළඹී තියෙන්නේ කලින් පතෝල ස්ථාවරයක හිටපු මේ හතරවන කණ්ඩායම. 

මගේ නිරීක්ෂණ අනුව රනිල් පසුගිය කාලය තුළ ගත්ත දැඩි තීරණ තුනක් නොවෙන්නට තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙන්න ඉඩ තිබුණා. මේ තීරණ කොයි තරම් නිවැරදිද, කොයි තරම් ප්‍රජාතන්ත්‍රවාදීද වගේ කරුණු ගැන විවාද කරන්න පුළුවන්. ඒ වගේම, මෙය එම තීරණ සාධාරණීකරණය කිරීමක්ද නෙමෙයි.  හැබැයි අනිවාර්යයෙන්ම මේ තීරණ තුනම ආර්ථිකය අද තිබෙන තැනට ගේන්න උදවු වූ දැඩි තීරණ. ඒ තීරණ එකක් හෝ ඒ විදිහට නොගත්තානම් තත්ත්වය මුළුමනින්ම කණපිට හැරෙනවා.

පළමු තීරණය ජනාධිපති වූ වහාම අරගලය විසුරුවා හැරීම. මේක නැග්ග ඉනිමගට පයින් ගැසීමක් විදිහට කෙනෙකුට දකින්න පුළුවන්. නමුත් "ගෝටාගෝහෝම්" කියලා පටන් ගත්ත අරගලය එහි මූලික ඉලක්කය සපුරා ගත්තට පස්සෙත් තවත් දිගට ඇදෙනවා කියන්නේ අවසාන ඉලක්කයක් නැති දෙයක්. රනිල් වැඩ පටන් ගත්තේ ඔය වැඩෙන් කියා කියන්න පුළුවන්. මේ වැඩේට රටෙන් ලොකු ප්‍රතිරෝධයක් ආවේ නැහැ. 

දෙවැනි දැඩි තීරණය පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් මුදල් වෙන් නොකිරීම. රට ඒ වෙලාවේ පැවති තත්ත්වය අනුව බිලියන දහයක් වුනත් ලොකු දෙයක් වුනත් වෙන් කරන්න බැරිම තරමේ මුදලක් කියා මම හිතන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ පළාත් පාලන මැතිවරණ පැවැත්වුවානම් එය පැවැත්වෙන්නේ ගොඩක් කණ්ඩායම් වලට නිදහසේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ හැකි වාතාවරණයක නෙමෙයි. ඒ වගේ තත්ත්වයක් යටතේ ආර්ථික ස්ථාවරත්වය කැප කරගෙන මැතිවරණයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කොයි තරම් කාර්ය භාරයක් කළ හැකිව තිබුණාද කියන එකේත් ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුනත් මම මෙය කරුණක් ලෙස සටහන් කරනවා පමණයි. වැදගත් දේ පළාත් පාලන මැතිවරණ ඉල්ලලා පාරට බහින්න සූදානම් ජනතාවක් ඒ වෙලාවේ රටේ හිටියේ නැහැ කියන එක. 

තුන් වන දැඩි තීරණය මෑතකාලීනව වර්ජන රැල්ල හමුවේ එයට මුහුණ දුන් ආකාරය. මුල් අවස්ථා දෙකට සාපේක්ෂව මේ වෙලාවේදීනම් සැලකිය යුතු පිරිසක් ඒ තීරණය එක්ක හිටපු බවයි පේන්න තිබුණේ.

මම මේ කරුණු තුන සටහන් කළේ මේ කරුණු සාධාරණීකරණය කරන්නවත් විවේචනය කරන්නවත් නෙමෙයි. හැබැයි අරගලයක් කරලා ජනාධිපතිවරයෙක් ඉවත් කරපු මිනිස්සු හිටපු රටක මේ අවස්ථා තුනෙන් එකකදීවත් එවැනි විශාල මහජන විරෝධයක් ආවේ නැහැ. වැදගත් කාරණය ඒකයි. 

මෙයට හේතුව විදිහට මම දකින්නේ ඉහත සඳහන් කළ එකිනෙකට වෙනස් කණ්ඩායම් වල අභිලාශ සමපාත වීමයි. උදාහරණයක් විදිහට එක කොටසක් වර්ජන නවත්වපු ආකාරයට ඇත්තටම කැමතියි. තවත් කොටසක් ඒ හරහා රනිල් අප්‍රසාදයට පත් වෙනවට කැමතියි. අන්තිමට වෙන්නේ ඌ මට ගැහුවත් එකයි මට ඌ ගැහුවත් එකයි වගේ දෙයක්. 

දැන් මාලිමාව සම්බන්ධවත් මේ ආකාරයෙන්ම ප්‍රතිවිරුද්ධ අභිලාශ තියෙන අයගේ අරමුණු සමපාත වීමක් පේන්න තියෙනවා. මෙයින් වඩා වැදගත් මාලිමාවට විරුද්ධ කඳවුරේ ඉන්න කණ්ඩායම. ඒ කණ්ඩායමේ අය හිතාගෙන එන්නේ මාලිමාව දිනුවොත් ඉතාම ඉක්මණින් ඇනගන්න නිසා ඒ කරදරෙත් ඊට පස්සේ ඉවරයි කියලා. නමුත් ඒක ඒ විදිහටම වෙන එකක් නැහැ. මාලිමාව දිනුවොත් ලොකුවටම ඇන ගන්න වෙන්නේ මාලිමාවෙන් පිටත හා මාලිමාව ඇතුළේ ඉතුරු වෙලා ඉන්න මාක්ස්-ලෙනින්වාදීන්ට වෙන්න පුළුවන්. 

Friday, July 26, 2024

දින පණස් හතක තරඟයේ ආරම්භය


මේ වෙද්දී ජනාධිතිවරණ දිනය ප්‍රකාශයට පත් වී අවසන්. අද (ජූලි 26) සිට දින 57කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එය තුන් කොන් සටනක් වන ලකුණුයි දැනට පෙනෙන්නට තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේක්ෂයින් හතර දෙනෙකු විසින් පළමු දිනයේදීම ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස කලින් සිටම තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරලා ඒ වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කරමින් සිටිනවා. නිල අපේක්ෂකයින් ලෙස තවත් අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් වනු ඇතත්, තරඟය තිබෙන්නේ අනුර, සජිත් හා රනිල් අතර බව පැහැදිලි කරුණක්. 

මේ ජනාධිතිවරණය පැවැත්වෙන්නේ සුවිශේෂී තත්ත්වයක් තුළයි. පළමුව, මිනිස්සුන්ට ඇඟටම දැනෙන, ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයක් ඇවිත්, ඒ ආර්ථික අර්බුදයේ පීඩනය හමුවේ මිනිස්සු පාරට බහිනවා. ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම ලෙස එවකට බලයේ සිටි ජනාධිපතිවරයාට ඉල්ලා අස් වෙන්න සිදු වෙනවා. නමුත් ඒ විදිහට පාරට බහින මිනිසුන්ට ආර්ථික අර්බුදයට පැහැදිලි විකල්ප විසඳුමක් හෝ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පිළිබඳව පොදු අදහසක් නැහැ. අවසාන වශයෙන්, අරගලයේ ප්‍රතිඵලයක් විදිහට, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් වෙනවා.

දෙවනුව, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරද්දී පුළුල් ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළක් සාර්ථක ලෙස ක්‍රියාත්මක වී රටේ ආර්ථිකය නැවතත් යහපත් දිශාවකට තල්ලු වෙනවා. විදේශ සංචිත වර්ධනය වී රුපියල ශක්තිමත් වෙනවා. ඩොලරයක මිල පහළ යනවා. ඉතිහාසය අනුව බැලුවත්, ලෝකයේ අනෙක් රටවල් හා සසඳා බැලුවත්, ඉහළම මට්ටමක තිබුණු උද්ධමනය ඉතාම අඩු මට්ටමකට පහත වැටෙනවා. උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මුලින් ඉහළ දමනු ලබන පොලී අනුපාතික තනි අංකයකට එනවා. හැකිළුණු ආර්ථිකය නැවත වර්ධනය වෙනවා. ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ "වැඩ කරන" බව මුලින් ගොඩක් අයට නොතේරුණත් එය බොහෝ දෙනෙකුට දැනෙන්න ගන්නවා. ජනාධිතිවරණය පැවැත්වෙන්නේ රට ලොකු අගාධයකට වැටිලා නැවත ඒ අගාධයෙන් එළියට පැමිණ සිටින පසුබිමක. 

ජනමතසමීක්ෂණ ප්‍රතිඵල අනුව, ජනාධිතිවරණ සටන තුළ කාලයක් තිස්සේම ඉදිරියෙන් සිටියේ මුලින්ම සටනට අවතීර්ණ වූ අනුර කුමාර දිසානායක. මේ ජනමතසමීක්ෂණ කිසිවක් සර්ව සම්පූර්ණ නොවුනත්, 3%කට ආසන්න ඡන්ද පදනමක සිටි මාලිමාව ඒ ඡන්ද පදනම විශාල ලෙස වර්ධනය කරගෙන සිටින බව පැහැදිලි කරුණක්. ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන ලොකුවටම බලාපොරොත්තු තියාගෙන ඉන්න බව පේන්නේ මාලිමාවට සහයෝගය දක්වන අයයි. ඒ බලාපොරොත්තු කඩ වුවහොත් එය ඔවුන්ට විශාල කම්පනයක් වෙන්න පුළුවන්. 

තමන්ගේ ඡන්ද පදනම විශාල ලෙස වැඩි කරගෙන සිටියත් මාලිමාව 50% සීමාවට ඇවිත් නැහැ. මම හිතන්නේ එම පක්ෂයේ ඉහළ ස්ථරයට මේ පිළිබඳ සෑහෙන තරමට නිවැරදි තක්සේරුවක් තිබෙනවා. තුන් කොන් සටනකදී දෙවන හා තෙවන මනාප වලටද වටිනාකමක් ලැබෙන නමුත් මාලිමාවට දෙවන හා තෙවන මනාප පිළිබඳ බලාපොරොත්තුවක් නැති නිසා ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ පළමු වටයේදීම අවශ්‍ය ප්‍රතිශතය ලබා ගන්නයි. ඔවුන්ට එවැනි ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය වන තවත් හේතුත් තිබෙනවා. 

ජවිපෙ කියා කියන්නේ සංවිධාන ශක්තිය අතින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට වඩා ගවු ගණනක් ඉදිරියෙන් සිටි පක්ෂයක්. ජවිපෙ ඒ ලක්ෂණය මාලිමාව ඇතුළටත් සාර්ථක ලෙස පොම්ප කර තිබෙනවා. මාලිමාව පැත්තට නැඹුරු වෙන කෙනෙක්ව ඒ පක්ෂය ලේසියෙන් අත අරින්නේ නැහැ. මොනවා හෝ වගකීම් දී ඔවුන්ව ඇද බැඳ තියා ගන්නවා. ඒ හරහා ඔවුන් තමන් වෙත අලුතෙන් එකතු වූ කණ්ඩායම් කෙසේ හෝ රඳවා තබා ගැනීමට උත්සාහ කරනවා. ඒ අතරම, කොට්ඨාශ මට්ටමින් දත්ත එකතු කරමින් හා එම දත්ත මත පදනම්ව ඉලක්ක සකස් කර ගනිමින් ඉදිරි දින 57 තුළ 50% ඉලක්කය වෙත යාමට උත්සාහ කරමින් සිටිනවා.

කෙසේ වුවත්, මාලිමාව වටා මෙසේ විශාල පිරිසක් එක්රැස් වීමට හේතු වූයේ ඔවුන්ගේ සංවිධාන ශක්තිය නෙමෙයි. විශාල පිරිසක් ප්‍රධාන පක්ෂ දෙක සමඟම කලකිරීමයි. ඒ කලකිරීමට ප්‍රධානම හේතුව වූයේ ආර්ථික අර්බුදය. ආර්ථික අර්බුදයට හේතුව සුළු පිරිසක් විසින් රටේ ධනය හොරකම් කර ගැනීම ලෙස සලකමින්, හොරකම් නොකරන පිරිසක් බලයට පත් කර ගෙන, ඒ මගින් තමන්ගේ ජීවන මට්ටම සුඛිත මුදිත කර ගැනීමට ඔවුන් මාලිමාව වටා එක්රැස් වී සිටිනවා. ඔවුන්ව දිගටම තමන් වෙත රඳවා ගන්නට මාලිමාවේ සංවිධාන උපක්‍රම පිටිවහල් වී ඇතත්, ඒ උපක්‍රම වල උදවුවෙන් අලුත් පිරිස් මාලිමාව වෙත එකතු කර ගැනීම පහසු කාර්යයක් නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය වූ වාස්තවික තත්ත්වයන් මේ වන විට අහෝසි වෙලා.

ජනමතසමීක්ෂණ ප්‍රතිඵල අනුව, දිගින් දිගටම දෙවන තැන සිටියේ සජිත් ප්‍රේමදාසයි. පසුගිය මාස වලදී සජිත් හා අනුර අතර තිබුණේ ජනමතසමීක්ෂණයේ ප්‍රකාශිත මිනුම් වරදටද වඩා අඩු පරතරයක්. සංඛ්‍යානය අනුව, එයින් අදහස් වන්නේ සජිත් අනුරට වඩා ඉදිරියෙන් සිටින්නටද සැලකිය යුතු සම්භාවිතාවක් ඇති බවයි. අනුරට මෙන් නොව සජිත්ට දෙවන මනාප සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක්ද තිබෙන නිසා, මුල් වටයේදී අනුර පළමු තැනට ආවත් බොහෝ දුරට එහි තිබෙන්නේ සජිත්ට වාසිදායක තත්ත්වයකුයි. ජනාධිපති වීම සඳහා 50%ක ඡන්ද අනිවාර්යයෙන්ම අවශ්‍ය නොවෙතත්, මාලිමා කණ්ඩායම 50%ක් ලබා ගැනීමට ඉලක්ක කරන එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ තත්ත්වයයි. 

මාලිමාවේ ඉහළ ස්ථරයේ සිටින අයගේ ප්‍රකාශ අනුව, ඔවුන් මුල සිටම මෙන් මේ ජනාධිතිවරණය දෙස බලා තිබුණේ තුන් කොන් සටනක් ලෙස නොව අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තරඟයක් ලෙසයි. මාලිමාවේ පැත්තෙන් බැලු විට මේ ප්‍රවේශයේ වැරැද්දක් නැහැ. කෙසේ වුවත්, ඔවුන් බොහෝ අවස්ථා වලදී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සජිත් වෙනුවට රනිල්ව හඳුනාගෙන තිබුණු බවක් පෙනී ගියා. ඒ රනිල් අඩු වශයෙන්  තමන්ගේ ජනාධිතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර නොතිබුණු පසුබිමකයි. 

මාලිමාව විසින් තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස රනිල්ව හඳුනා ගැනීම එක පැත්තකින් නිවැරදියි. රටේ ජනතාවගේ තක්සේරුව හරියටම දැන ගන්න ලැබෙන්නේ ජනාධිතිවරණයෙන් පසුව වුවත්, පසුගිය දෙවසරකට නොඅඩු කාලය තුළ රටේ ක්‍රියාත්මක වූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිඵල මේ වන විට ඇස් පනාපිට පෙනෙන්නට තිබෙනවා. මේ ජනාධිතිවරණයේදී කිසිදු අපේක්ෂයෙකුට සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය මග හැර යාමේ හැකියාවක් නැහැ.

මේ වන මේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියෙහි කොටස් රටේ නීතිය බවටද පත් කර අවසන්. ඒ අනුව, රනිල් වික්‍රමසිංහට යම් හෙයකින් නැවතත් ජනාධිපති විය හැකි වුවහොත් එම සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක වන බව පැහැදිලියි. 

සජබ ආර්ථික ප්‍රතිපත්තිය දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්තියෙන් විශාල ලෙස වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, එම පක්ෂයට මේ ආර්ථික ප්‍රතිපත්තිය බරපතල ලෙස විවේචනය කිරීමේ හැකියාවක් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස, මිනිස්සුන්ගේ පැත්තෙන්, රනිල්ගේ හා සජිත්ගේ ආර්ථික ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් නැතිව යනවා. එය ජනතාව කොයි අයුරකින් විනිශ්චය කරයිද යන්න පැහැදිලි නැහැ. 

මෙයින් වෙනස්ව මාලිමාව ජනතාව වෙත යන්නේ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ විවේචකයෙකු ලෙසයි. එහිදී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ඉස්මතු වන්නේ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල "හිමිකාරත්වය" වෙනුවෙන් පෙනී සිටින රනිල් වික්‍රමසිංහ මිස පැත්තක සිට "කොඩියක් වනන" සජිත් ප්‍රේමදාස නෙමෙයි. 

යම් හෙයකින් 50% ඉක්මවන ජනවරමක් ලබා ගත හැකිනම්, මාලිමාවට රටේ ආර්ථිකය හා සම්බන්ධව ඔවුන්ගේ "විද්‍යාගාර පරීක්ෂණ" සිදු කිරීම සඳහා සදාචාරත්මක හැකියාවක් මෙන්ම ප්‍රායෝගික හැකියාවක්ද ලැබෙනවා. ගෝටාබය රාජපක්ෂටද මෙවැනි "විද්‍යාගාර පරීක්ෂණ" සිදු කළ හැකි වූයේ ඒ සඳහා අවශ්‍ය ජනවරම ඔහුට ලැබී තිබුණු නිසා. වත්මන් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයින් විසින් වෙන වෙනම හෝ 50% ඉක්මවන ජනවරමක් ලබාගතහොත්, ඔවුන් කිසිවෙකුට බලයට පත් විය නොහැකි වුවද, අවශ්‍ය සදාචාරත්මක හා ප්‍රායෝගික හැකියාව මාලිමාවට ලැබෙන්නේ නැහැ. 

රනිල් වික්‍රමසිංහ කියන්නේ චරිත ලක්ෂණ අතින් ලංකාවේ සාමාන්‍ය දේශපාලනඥයෙකුට වඩා බොහෝ වෙනස් අයෙක්. මේ චරිත ලක්ෂණ වලට ලංකාවේ බොහෝ දෙනෙක් කැමති නැහැ. එමෙන්ම අවසන් වරට පැවති මහ මැතිවරණයේදී ඔහුට තමන් තරඟ කළ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වීම සඳහා අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය හෝ ලබාගත හැකි වූයේ නැහැ. එවර කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මනාප 305,744කුත්, අනුර කුමාර දිසානායක මනාප 49,914කුත් ලබා ගනිද්දී රනිල් වික්‍රමසිංහ විසින් ලබාගත්තේ මනාප 30,875ක් පමණයි. 

ජනප්‍රියත්වය ගිලිහී සිටි රනිල් වික්‍රමසිංහව මුලින් ජනප්‍රියව සිටියත් පසුව එම ජනප්‍රියත්වය අහිමි කරගෙන සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ලෙස පත් කර ගනිද්දී විපක්ෂ කඳවුර තුළ ඔහුගේ ජනප්‍රියත්වය තවත් පහළට වැටුනා වගේම ඔහුව රාජපක්ෂ පවුලේ ආරක්ෂකයෙකු ලෙස ලේබල් වීමක්ද සිදු වුනා. "රනිල් රාජපක්ෂ" යන්න ප්‍රචලිත යෙදුමක් බවට පත් වුනා. එහෙත්, මීට සමාන්තරව පොහොට්ටු කඳවුර තුළ රනිල්ට යම් වීරත්වයක්ද ආරෝපණය වෙන්නට පටන්ගෙන තිබෙනවා. ජනමතසමීක්ෂණ තුළ රනිල්ගේ ප්‍රතිශතය වේගයෙන් 15% දක්වා ඉහළ යාමෙන් පිළිබිඹු වන්නේ එයයි. 

කෙසේ වුවත්, ජනාධිපතිවරණය ජයගැනීම තවමත් ඔහුට ඉතා දුරස්ථ ඉලක්කයක්. මේ සඳහා රනිල් වික්‍රමසිංහ විසින් කඩුළු තුනක් පැනිය යුතුයි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කිරීමෙන් පෙනී යන්නේ ඔහු ආත්ම විශ්වාසයෙන් යුතුව පළමු කඩුල්ල ආසන්නයට පැමිණ සිටින බවයි.

රනිල් වික්‍රමසිංහ අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත්ව සිටින පසුබිමක වෙනත් පොහොට්ටු අපේක්ෂයෙකු සඳහා තවදුරටත් විශාල ඉඩක් ඉතිරි වී නැහැ. යම් හෙයකින් පොහොට්ටු අපේක්ෂයෙකු තරඟයට පැමිණියහොත් එවැන්නෙකු විසින් ලබා ගැනීමට ඉඩ තිබෙන ලජ්ජාසහගත ඡන්ද ප්‍රතිශතය අදාළ අපේක්ෂකයාට සහයෝගය දීමට ඉදිරිපත් වන පොහොට්ටු දේශපාලනඥයින්ට ඉදිරි මහ මැතිවරණයකදී තේරී පත් වීමට තිබෙන හැකියාව කෙරෙහිද බලපෑම් කිරීම නොවැලැක්විය හැකියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර අවම වශයෙන් දින 52ක් යන තුරු මහ මැතිවරණයක් නොපැවැත්වෙන බැවින්, ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පවත්වනු ලැබීමේ ඉඩක් නැතත් අනුර හෝ සජිත් ජයගතහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. යම් හෙයකින් රනිල් ජයගත්තද මේ තත්ත්වයේ වෙනසක් නොවිය හැකියි. ඒ නිසා, පොහොට්ටු මන්ත්‍රීවරුන්ට නැවත මැතිවරණයකට යාම පිළිබඳව මේ මොහොතේ සිතන්නම වෙනවා.

රනිල්ට සහයෝගය ඉල්ලමින් ජනතාව වෙත යන පොහොට්ටු මන්ත්‍රීවරයෙකුට කියන්නට මොකක් හෝ කතාවක් තිබෙන නමුත් වෙනත් පොහොට්ටු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටින අයෙකුට කියන්නට එවැනි කතාවක් නැහැ. අනෙක් අතට, යම් හෙයකින් රනිල් ජනාධිතිවරණය ජයගතහොත්, එළැඹෙන මහ මැතිවරණයකදී ඔවුන්ට යම් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා, පොහොට්ටු මන්ත්‍රීවරුන් තමන් වටා පෙළගස්වා ගැනීම මේ මොහොතේදී රනිල් වික්‍රමසිංහට අසීරු කාර්යයක් නෙමෙයි.

කෙසේ වුවත්, පොහොට්ටු අපේක්ෂයෙක් තරඟයට ආවොත් රනිල් හා එම අපේක්ෂකයා අතර පොහොට්ටු ඡන්ද බෙදී යන බැවින් රනිල්ටද වඩා අසීරු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. 

දෙවන හා තෙවන කඩුළු පැනීම ඒ තරම්වත් පහසු නැහැ. දෙවන වටයේදී රනිල් වික්‍රමසිංහට තරඟකරන්නට වෙන්නේ සජිත් ප්‍රේමදාස සමඟයි. ඒ තරඟය ජයගත හැකිනම් අනුර කුමාර දිසානායක සමඟ අවසන් තරඟය ඊට වඩා පහසු එකක්. 

සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ අතර තරඟය අනුර කුමාර දිසානායකට වාසිදායක එකක්. ඒ නිසාම, මාලිමාව මේ තරඟයට ඉඩ දී පැත්තකට වී බලා සිටින්නට ඉඩ තිබෙනවා. දැනට ඉදිරියෙන් සිටින සජිත්ගේ ඡන්ද රනිල් වෙත විතැන් වන තරමට එහි වාසිය අනුරට ලැබෙන නමුත් යම් හෙයකින් රනිල් සජිත් ඉක්මවා ඉදිරියට පැමිණියහොත් ඒ වහාම තත්ත්වය කණපිට හැරෙනවා. දින 57ක් තුළ එවැන්නක් නොවෙන්න පුළුවන්.

කෙසේ වුවත්, තනිතනිව තීරණ ගන්නා විශාල ඡන්දදායකයින් පිරිසක් මේ මොහොතේ ඉන්නවා. එය විශේෂ තත්ත්වයක්. මේ ගොඩක් අය ඉන්නේ යම් අර්බුදයකයි. ඒ එක පැත්තකින් පුද්ගලයෙක් ලෙස රනිල්ව "පෙන්නන්න බැරි" වුනත් තමන්ට අවශ්‍ය සාර්ව ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් සෘජුව පෙනී සිටින බවක් පෙනෙන්නේද රනිල් තුළින්ම වීම තුළයි. 

ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ වෙත නැවත ආවොත්, එය මේ අයුරින් සාර්ථක කර ගත හැකි වූයේ ඒ සඳහා වක්‍ර ලෙස හෝ ලැබුණු පුළුල් මහජන සහයෝගය නිසයි. ගොඩ ගන්නට බැරි අගාධයක් වෙත තල්ලු වෙමින් තිබුණු ආර්ථිකය නැවත ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමේ දැවැන්ත කාර්ය භාරය පසුපස ප්‍රධාන චරිත තුනක් සිටිනවා. ඒ නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන හා රනිල් වික්‍රමසිංහයි. තවත් අය හිටියත් මුලටම ඉන්නේ මේ තුන් දෙනා. අර්බුදයෙන් පසුව තමන්ගේ නායකත්ව හැකියාවන් පෙන්නූ දේශපාලනඥයින් කිහිප දෙනෙක් ලැයිස්තුවේ ඊළඟ ස්ථාන වලට දමන්න පුළුවන්. 

නන්දලාල් වීරසිංහ මහ බැංකුව භාර ගැනීම සමාන කළ හැක්කේ ගිණි නිවන භටයෙක් ගිණිගෙන දැවෙන ගොඩනැගිල්ලක් ඇතුළට රිංගන එකටයි. එහි අවදානමට සාපේක්ෂව ඔහුට ලැබුණු පෞද්ගලික ප්‍රතිලාභයක් ඇතැයි මා සිතන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වෙන විටත් මහ බැංකුව පැත්තෙන් සිදු විය යුතු මූලික දේවල් වෙලා.

ඊළඟට අනෙක් දෙදෙනාට සාපේක්ෂව අඩුවෙන් අවධානයට ලක් වන මහින්ද සිරිවර්ධනගේ කාර්ය භාරය. විස්තර කරන්න යන්නේ නැතත් මේකත් දැවැන්ත එකක්. 

හැබැයි දේශපාලන නායකත්වය සහ සහයෝගය නොලැබුනානම් ඔය දෙපැත්තෙන්ම සිදු වූ දේවල් එක සීමාවකදී හිර වෙනවා. එතැනින් එහාට යන්නේ නැහැ. ඇත්තටම රනිල් ජනාධිපති වෙන කොටත් මේ හිරවීම සිදු වෙලා. 

දැන් මෙතැනදී කෙනෙක්ට අහන්න පුළුවන් පහසු ප්‍රශ්නය රනිල් වෙනුවට වෙන කෙනෙක් ඔය තැන හිටියානම් ඔය දේවල් ඔය විදිහටම වෙන්නේ නැද්ද කියන එක. ගොඩක් වෙලාවට නොවෙන්න පුළුවන්. මොකද මේ වගේ අවදානමක් ගන්න ලොකු ආත්ම විශ්වාසයක් අවශ්‍යයි. 

අපි දේශපාලනඥයෝ පැත්තකින් තියමුකෝ. පසුගිය දෙවසර තුළ ක්‍රියාත්මක වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක වන බව පැහැදිලිව කටක් ඇරලා කියපු "විද්වත්තු" කී දෙනෙක් හිටියද? 

එහෙම අය කවුරුවත් හිටියේ නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. එවැනි විද්වතුන් යම් ප්‍රමාණයක් හිටියා. ඒ වගේම, දේශපාලනඥයෝ, සමාජ ක්‍රියාකාරීන් යම් ප්‍රමාණයක් හිටියා. ඒ අය, පෞද්ගලික වාසි නොබලා, මඩ කාගෙන නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ගොඩක් හිටියේ එහෙම ගටක් නැති අය. 

නන්දලාල් වීරසිංහට හා මහින්ද සිරිවර්ධනට මේ ගට ආවේ ඔවුන්ගේ දැනුම හා පුහුණුව එක්ක ලැබී තිබුණු දුර දැකීමේ හැකියාව තුළින් බව තේරුම් ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට ඒ ගට ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ. හැබැයි කොහොම හරි අවශ්‍ය ගට රනිල්ට තිබුණා.

මේක සෘජුව සංසන්දනය වෙන්නේ සජබ එක්ක. මොකද මාලිමාව කොහොමත් හිටියේ වෙනම ලයින් එකක. නමුත් සජබ යෝජිත වැඩපිළිවෙළ හා රනිල් ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙළ අතර වෙනස හොයන එක අර ඉස්සර රිවිරැස පත්තරේ තිබුණු ගුරුගෝල වෙනස හොයනවා වගේ වැඩක්. 

මේ වැඩපිළිවෙළ හෝ ඊට ආසන්නව සමාන වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී ඉන්න සජබට හැකි වුනත්, අභියෝගය භාර අරගෙන ක්‍රියාත්මක කරන්න ගටක් සජබට තිබී නැති බව මෑතකදී අලි සබ්‍රි විසින් කරපු එළිදරවු කිරීම් වලින් පැහැදිලි වෙනවා. අදාළ පාර්ශ්ව කිසිවක් අලි සබ්‍රි කියපු දේවල් ප්‍රතික්ෂේප කරලා නැහැ. 

දැන් මේ ජනාධිපතිවරණයේදී ජනතාව අතරට යන කිසිදු අපේක්ෂකයෙකුට ආර්ථිකය සම්බන්ධ තමන්ගේ අපේක්ෂිත ප්‍රතිපත්ති මග හැර යන්න බැහැ. (මේක ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ කියන පදනම මත මාලිමාව ඉලක්ක කර කරන විවේචනයක් නෙමෙයි. දන්නා තරමින් මාලිමාව ජනාධිපතිවරණයට කලින් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය එළියට දාන්නයි ඉන්නේ.) රනිල්ගේ ප්‍රතිපත්තිය මේ වෙද්දී නීතියක් කරලත් ඉවරයි. එතකොට වෙනත් කෙනෙකුට ඒක ඒ විදිහටම ක්‍රියාත්මක කරනවද නැත්නම් වෙනස් කරනවද කියලා පැහැදිලිව කියන්න වෙනවා. වෙනස් කරනවානම් ඒ කොහොමද කියලත් පැහැදිලිව කියන්න වෙනවා.

විශේෂයෙන්ම සජබ ගත්තහම, සජබ සතුව වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. පොඩි පොඩි වෙනස්කම් පෙන්නන්න බැරිකමක් නැතත් ඒවා අර ගුරුගෝල වෙනස්කම් වගේ ඒවා පමණයි. මිනිස්සුන්ගේ පැත්තෙන් එකම ප්‍රතිපත්තිය. එතකොට මිනිස්සුන්ගේ පැත්තෙන් මතු වෙන ප්‍රශ්නය මේ එකම ප්‍රතිපත්තිය තමන් කැමති සජිත් ලවා ක්‍රියාත්මක කරගන්නවද නැත්නම් තමන් අකැමැති එහෙත් අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩේ හරියට කරලා තිබෙන රනිල් ලවා කර ගන්නවද කියන එක. මේක මාලිමා කඳවුරෙන් පිට ඉන්න අයගේ ප්‍රශ්නයක්.

රනිල්ගේ උපන් ගෙයි ගති ඉදිරි දවස් පනස් හතේදී වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, රනිල්ගේ උපන් ගෙයි ගති සෙට් වෙන්නේ නැති අයට ඉදිරි දවස් පනස් හතේදී රනිල්ව සෙට් වෙන එකක් නැහැ. නමුත් මේ අයගෙන් කොටසක් හෝ තමන්ට රනිල්ව සෙට් වෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැන නැවත වරක් හිතන්න ඉඩ තිබෙනවා. ඔය තත්ත්වයන් එක්ක සජබ ඡන්ද යම් ප්‍රමාණයක් ඉදිරි දවස් 57 තුළ ගැලවිලා රනිල්ගේ පැත්තට ඇවිත් රනිල් දෙවන ස්ථානයට තල්ලු වෙන්න ඉඩක් තිබෙනවා. හැබැයි තවමත් ඒක වෙලා නැති නිසා තවමත් වාසිය තිබෙන්නේ සජිත්ට. 

මාලිමාව පැත්තෙන් ගත්තොත් කතාව වෙනස්. මාලිමාව පෙනී සිටින්නේ විකල්ප වැඩ පිළිවෙලක් වෙනුවෙන්. ඒක මොකක්ද වගේ දේවල් ඒ තරම් වැදගත් නැහැ. වැදහත් දේ බහුතර ජනතාව හිතන්නේ කොහොමද කියන එකයි. 

දැන් පවතින වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරනවානම් ඊට වඩා හොඳ වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් ආදේශ කරනවා කියන එක මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න මාලිමාවට සිදු වෙනවා. දැනට මාලිමාව එක්ක න්නේ එහෙම විශ්වාසයක් තියෙන අය. නමුත් තමන්ගේ ඡන්ද පදනම තවත් පුළුල් කරගන්න උත්සාහ කරද්දී මාලිමාවට අභිමුඛ වෙන්නේ එහෙම විශ්වාසයක් නැති කණ්ඩායමක්. ඒ අයට දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙලේ සාර්ථකත්වය ඇස් පනාපිට පේනවා. ඒ නිසා, තමන්ගේ බවුන්ඩරිය එහාට තල්ලු කර ගන්න එක මාලිමාවට ලේසි වැඩක් වෙන්නේ නැහැ.

ඔය තත්ත්වයන් එක්ක මේ මොහොතේදී මම දකින්නේ පැහැදිලි තුන් කොන් සටනක්. ඔය සටනෙන් සජිත්, අනුර වගේම රනිල් වුනත් ඉස්සරහට එන්න පුළුවන්. 

Thursday, July 25, 2024

ඩොලර් බිලියන සීයක් ණය වුනේ කවුද?


පසුගිය මාර්තු මාසය අවසන් වන විට ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණයේ ඩොලර් වටිනාකම බිලියන 100 ඉක්මවා තිබුණු බව ගොඩක් අය දන්න, ගොඩක් කතාබහට ලක් වුනු දෙයක්නේ. මෙම ණය ප්‍රමාණය වසරේ මුල් මාස තුන ඇතුළත ඩොලර් බිලියන හතරකින් පමණ වැඩි වී තිබුණත් එයට හේතුව ඩොලරයක මිල පහත වැටීම මිසක් අලුතෙන් ණය ගැනීම නොවන බව පෙර ලිපියක පැහැදිලි කළා. 

ඉහත පැහැදිලි කිරීම ගොඩක් අය තේරුම් අරගෙන තිබුණා. මෙය සාමාන්‍ය බුද්ධි මට්ටමක් සහ සරල ගණිත දැනුමක් තිබෙන කෙනෙකුට තේරුම් ගන්න අපහසු දෙයක් නෙමෙයි. අවශ්‍ය වන්නේ උනන්දුව පමණයි. අපේ සටහන් කියවන අය අතර එසේ නොවන අය ඉන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මේ ලිපිය ලියන්නෙත් එසේ යමක් තේරුම් ගන්න පුළුවන් සහ ඒ සඳහා උනන්දුවක් තිබෙන බහුතර පාඨකයින්ට. වරින් වර විවිධ අය රාජ්‍ය ණය ගැන එක එක විදිහේ කතන්දර ගොතලා ඒවා ජනගත කරන නිසා නැවත නැවත කළ යුතු පැහැදිලි කිරීමකුයි මේ ලිපියේ තියෙන්නේ. 

මේ ඩොලර් බිලියන 100 රාජ්‍ය අංශයේ ණය. එයට රජයේ ණය සහ මහා භාණ්ඩාගාරය ඇප වී ලබා ගෙන තිබෙන ඇතැම් රාජ්‍ය සංස්ථා වල ණයත් ඇතුළත්. කතා කරන්න යන කරුණ හා අදාළව, අපි මේ මහා භාණ්ඩාගාරය ඇප වී ලබා ගෙන තිබෙන ණය කොටස අත හැර රජයේ ණය කොටස ගනිමු. ඒ වගේම, සංසන්දනය කිරීමේ පහසුවට, මාර්තු අවසානයට නොගොස් 2023 වසර අවසානයේ නවතිමු. 

පසුගිය 2023 වසර අවසන් වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් වලින් මිලියන 28,695,949ක් හෙවත් ට්‍රිලියන 28.7ක්. වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 323.92 ලෙස සැලකූ විට, මෙම ණය ප්‍රමාණය ඩොලර් වලින් මිලියන 88,589.6ක්. මේ තරම් ප්‍රමාණයක් රාජ්‍ය ණය එකතු වුනේ කොහොමද?

රජය ආදායම ඉක්මවා වියදම් කරද්දී අඩුව පුරවන්න ණය ගන්න වෙනවා. මෙය සරල හා පැහැදිලි කරුණක්. 1950 වසර අවසානය දක්වා මේ විදිහට අරගෙන තිබුණු ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක්. එම ණය ප්‍රමාණයට ඉන් පසු වසරෙන් වසර ප්‍රාථමික අයවැය හිඟය එකතු වෙලා තමයි 2023 වසර අවසාන වෙද්දී මේ ණය ප්‍රමාණය රුපියල් මිලියන 28,695,949ක් වෙලා තියෙන්නේ. 

හැබැයි 1950 වසර අවසානයේදී තිබුණු ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක් පමණයි කියන එකෙන් අදහස් වෙන්නේ ඉතිරි මුළු ණය ප්‍රමාණයම ඉන් පසුව රජය විසින් ණයට අරගෙන වියදම් කළා කියන එක නෙමෙයි. ගත්ත ණයක් ආපසු ගෙවන තාක් කල් ඒ ණය වර්ධනය වෙනවා. උදාහරණයක් විදිහට 1950 වසර අවසානය වන විට අරගෙන තිබුණු රුපියල් මිලියන 654ක ණය ප්‍රමාණය 2023 වසර අවසානය වන විට රුපියල් මිලියන 499,779ක ණයක් වී තිබෙනවා. මෙය 764 ගුණයකින් වැඩි වීමක්.

මෙයින් අදහස් වෙන්නේ 1950 වන විට ගෙවන්න තිබුණු ණය තවම ගෙවලා නැහැ කියන එක නෙමෙයි. තාක්ෂණිකව බැලුවොත් ඒ ණය ගෙවලා සෑහෙන කාලයක් වෙනවා ඇති. නමුත් ඒ විදිහට ණය ගෙවලා තියෙන්නේ රජය විසින් ආදායමෙන් කොටසක් ඉතිරි කරලා නෙමෙයි. වෙනත් ණයක් අරගෙන. එතකොට සෛද්ධාන්තිකව බැලුවොත් වෙලා තියෙන්නේ අර පරණ ණයේ ස්වරූපය මාරුවීමක් පමණයි.

අලුතෙන් ණයක් අරගෙන පරණ ණයක් ගෙවද්දී ණයට ගත්ත මුදලට අමතරව පොලියත් ගෙවන්න වෙනවා. ඒ නිසා, පරණ ණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් අලුතෙන් ණයට ගන්න වෙනවා. ණය ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින්නම්, ඩොලරයක මිල ඉහළ යද්දී අලුතෙන් ඩොලර් මිල දී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා, ඒ හේතුවෙනුත් ගන්න අවශ්‍ය ණය ප්‍රමාණය ඉහළ යනවා. මේ ආදී හේතු නිසා ලංකාවේ සංඛ්‍යාලේඛණ වලට අනුව, ණය අලුත් කරද්දී සාමාන්‍ය වශයෙන් වසරකට 10%කින් පමණ ණය ප්‍රමාණය ඉහළ යනවා. 1950වන විට අරගෙන තිබුණු රුපියල් මිලියන 654ක ණය ප්‍රමාණය 2023 වසර අවසානය වන විට රුපියල් 499,779ක ණයක් වී තිබෙන්නේ ඔය ක්‍රමයටයි. 

තිබෙන ණය ප්‍රමාණය ඔය වදිහට වර්ධනය වනවාට අමතරව, ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගන්නා හැම අවුරුද්දකදීම ඔය ණය මල්ලට තවත් යම් මුදලක් එකතු වෙනවා. ඉන් පසු, ඒ කොටසක් දිගින් දිගටම අර 10%ක පමණ වූ සාමාන්‍ය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ලංකාවේ ප්‍රාථමික අයවැය හිඟයක් තිබී නැත්තේ 1950 වසරින් පසුව වසර හයකදී පමණයි. 

කිසියම් වසරකදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න පුලුවන්ම්, ඒ ප්‍රමාණය කොයි තරම් කුඩා වුනත්, සුළු ණය ප්‍රමාණයක් හෝ ආපසු ගෙවන්න පුළුවන්. එහෙම කළා කියලා බොහෝ විට ඒ අවුරුද්ද තුළ මුළු ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. මොකද පරණ ණය වර්ධනය වීම නිසා ණය ප්‍රමාණයේ සිදුවන ඉහළ යාම ඊට වඩා ගොඩක් වැඩියි. 

හැබැයි මේ විදිහට සුළු හෝ ණය ප්‍රමාණයක් ආපසු ගෙවීමේ වාසිය දිගුකාලීන එකක්. මොකද ඒ ණය ප්‍රමාණය ආපසු නොගෙවුවානම් වසරක් ගානේ 10%ක පමණ වේගයකින් වර්ධනය වෙලා විශාල ණයක් බවට පත් වෙනවා. සුළුවෙන් හෝ ආපසු ගෙවන එකෙන් එය නවතිනවා. ප්‍රමාණවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තොත් අවුරුදු හතර පහකින් කොහොම වෙතත්, යම් කාලයකට පසුව ණය අඩුවෙන්නට පටන් අරගෙන තවත් කාලයකට පස්සේ ණය ගෙවී අවසන් වෙනවා. 

මේ අනුව, 2023 වසර අවසානයේදී මුළු රාජ්‍ය ණය ප්‍රමාණය කියා කියන්නේ ඊට පෙර වසර වල රජයේ ප්‍රාථමික අයවැය ශේෂ වල ඒ වන විට වටිනාකම් වල එකතුව. ප්‍රාථමික අයවැය හිඟ වලින් ප්‍රාථමික අයවැය අතිරික්ත ටික අඩුවෙලා තමයි ඔය ණය ප්‍රමාණය හැදිලා තියෙන්නේ. 

පහත තිබෙන්නේ ණය ලබාගත් කාල වකවානු අනුව, 2023 අවසර අවසානයේදී ඩොලර් වලින් මිලියන 88,589.6ක් වූ ණය ප්‍රමාණය එකතු වූ ආකාරය. මතක තියාගන්න ඩොලර් වලින් ගණන් පෙන්නුවත් මේ සියල්ල ඩොලර් ණය හෝ විදේශ ණය නෙමෙයි. වැඩි ප්‍රමාණය රුපියල් ණය. අවශ්‍යනම් ඩොලරය රුපියල් 323.92 බැගින් රුපියල් ගණන ගණනය කරගන්න පුළුවන්.

1950 දක්වා - ඩොලර් මිලියන 1,542,9

1951-1955 - ඩොලර් මිලියන 549.4

1956-1960 - ඩොලර් මිලියන 1,938.5

1961-1964 - ඩොලර් මිලියන 2,175.1

1965-1969 - ඩොලර් මිලියන 2,928.8

1970-1976 - ඩොලර් මිලියන 4,819.0

1977-1988 - ඩොලර් මිලියන 27,239.6

1988-1993 - ඩොලර් මිලියන 3,960.2

1994-2001 - ඩොලර් මිලියන 10,860.0

2002-2004 - ඩොලර් මිලියන 1,838.2

2005-2014 - ඩොලර් මිලියන 14,100.9

2015-2019 - ඩොලර් මිලියන 5,833.6

2020-2022 - ඩොලර් මිලියන 11,538.5

2023 - ඩොලර් මිලියන (-535.1)

එකතුව - ඩොලර් මිලියන 88,589.6

එක් වර්ෂය තුළ ප්‍රාථමික අයවැය ශේෂය ණය ප්‍රමාණයට දායක වූ ආකාරය ප්‍රස්ථාරයේ දැකිය හැකියි. ආදායමට වඩා අඩුවෙන් වියදම් කර සුළුවෙන් හෝ ණය ගෙවා තියෙන්නේ 1954, 1955, 1992, 2017, 2018 හා 2023 වසර වලදී පමණයි. 

මේ විදිහට ආදායම ඉක්මවා වියදම් කරමින් ණය ගොඩ ගැසුවේ රටේ ආණ්ඩු මිසක් සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. හැබැයි ඒ ආණ්ඩු බලයට පත් කර ගත්තේ සාමාන්‍ය මිනිස්සු. ඒ විදිහට තමන් විසින් බලයට පත් කර ගත් ආණ්ඩු විසින් ටිකක් හෝ ණය ගෙවද්දී මිනිස්සු ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?

- 1954 හා 1955 වසර වලදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගනිද්දී බලයේ හිටියේ ඩඩ්ලි සේනානායකගේ එජාප ආණ්ඩුව. 1956 මැතිවරණයේදී රටේ මිනිස්සු එජාපය ආසන අටට බැස්සුවා. බලයට පත් වූ ආණ්ඩුව වගේම ඉන් පසුව දිගින් දිගටම බලයට පත් වූ ආණ්ඩු ගණනාවක්ම කවදාවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කළේ නැහැ. හැම වසරකදීම කළේ ආදායම ඉක්මවා වියදම් කරන එක.

- ඊට පස්සේ සුළු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනේ 1992 වසරේදී. ඒ වෙද්දී බලයේ සිටියේත් එජාප ආණ්ඩුවක්. අවුරුදු 17ක් එක දිගට බලයේ සිටි එජාපය 1993දී පරාද වුනා. 1994 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂිකාව වැඩි ඡන්ද ලබාගත්තේ ලංකාවෙන් එකම එක මැතිවරණ ආසනයක පමණයි. මහියංගණය හැර අනෙක් හැම තැනකදීම එජාපය පරාද වුනා. ඊට පස්සේ තවත් අවුරුදු ගණනාවක් යන තුරු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනේ නැහැ.

- ඊටත් පස්සේ, මෑතකාලීනව, 2017 හා 2018 වසර වලදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනා. මේක කියවන හැමෝගෙම වගේ මතකයේ තිබෙන අතීතයක්. ඒ වෙද්දී බලයේ සිටි එජාපයට ඊට පස්සේ 2020දී පැවති මැතිවරණයේදී ලැබුණේ ජාතික මට්ටමෙන් ලැබුණු මන්ත්‍රී ධුරයක් පමණයි. 

ආණ්ඩු ණය වීම ගැන විවේචනාත්මක කතා කරන "සාමාන්‍ය මිනිස්සු" ආණ්ඩුවක් ණය බරින් ටිකක් හෝ නිදහස් වෙන්න උත්සාහ කරද්දී ප්‍රතිචාර දැක්වූයේ ඔය විදිහටයි.

හැබැයි ලොකුම ප්‍රාථමික අයවැය හිඟයන් පවත්වා ගනිමින් ලොකුවටම ණය ගොඩ ගැසූ 1977-1988 කාලයේදී මෙන්ම 2005-2014 කාලයේදීත් ඒ ආණ්ඩු අනෙක් බොහෝ ආණ්ඩු වලට වඩා ජනප්‍රියව පැවතුණා. අනෙක් ආණ්ඩු වල වගේම ඒ ආණ්ඩු වලත් ජනප්‍රියත්වය අවසානයේදී පිරිහී ගිය එක වෙනම කතාවක්. 2020දී පත් කරගත්ත ආණ්ඩුවේ වුනත් ජනප්‍රියතාවය ගිලිහුණේ ඇදගන්න බැරි තරමටම ආර්ථිකය කඩා වැටුනට පස්සෙයි. නැත්නම් කවුරුවත් ණය ගැන වද වෙන්නේ නැහැ. එහෙමනම්, ඔය ණය ගැනිල්ලට වග කිව යුත්තේ ආණ්ඩු විතරයිද? ඩොලර් බිලියන සීයක් ණය වුනේ ආණ්ඩු කරපු අයමද?

වැඩියෙන් ණය වී වැඩියෙන් වියදම් කරන ආණ්ඩු අදාළ කාල වකවානු වලදී ජනප්‍රිය වෙන්න හේතුවක් තිබෙනවා. ඊට හේතුව ආර්ථික වර්ධනය ඉහළ යාම හා පරිභෝජනය ඉහළ යාම. 1977-1988 හා 2005-2014 වකවානු වලදී මේ තත්ත්වය දැකිය හැකි වුනා. රටක් ආර්ථික වර්ධනය ඉලක්ක කරන එක කිසිසේත්ම නරක නැති, කළ යුතු දෙයක්. නමුත් ප්‍රශ්නය ආර්ථික ස්ථාවරත්වය පරදුවට තබමින් ලබා ගන්නා වර්ධනය තිරසාර එකක් නොවීමයි. 

මේ විදිහේ රාජ්‍යමූලික වර්ධනයකදී රජය විසින් කරන වියදම් වලට අනුරූපව රටේ ජනතාවගේ ආදායම් ඉහළ යන නමුත් ඒ ආදායම් බදු හරහා රජයේ ආදායම් බවට පත් වුනේ නැත්නම් රාජ්‍ය අංශය අර්බුදයකට යනවා. ලංකාව වගේ රටක ගොඩක් වෙලාවට ඒ අර්බුදය විදේශ අංශයේ අර්බුදයක් විදිහට එළියට එනවා. 

දැන් නැවතත් 2023 වසරේදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම, 2024 පළමු මාස හතරේ සංඛ්‍යාලේඛණ අනුව, එම මාස හතර තුළද සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය යහපත් තත්ත්වයක් වුනත් ඔය විදිහට අවුරුද්දක් දෙකක් පමණක් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත් පමණින් රට ගොඩ යන්නේ නැහැ. මේ තත්ත්වය දිගටම පැවතිය යුතුයි.

පසුගිය වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබුණත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%ක් පමණයි. රටේ ආර්ථිකය නැවතත් අර්බුදයකට තල්ලු නොකර තිරසාරව පවත්වා ගන්නනම් මේ අගය අවම වශයෙන් 2.3% මට්ටමට අරගෙන ඒ මට්ටමේ හෝ ඉහළින් තියා ගත යුතුයි. එහෙම කළොත් රට නැවත ආර්ථික අර්බුදයකට යන එක වගේම ලංකාවට නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන එකත් වලක්වා ගන්න පුළුවන්. හැබැයි ඔය ඉලක්කය අත ඇරුණොත්නම් මොනවා වෙයිද කියා කියන්න අමාරුයි.

මේක නිශ්චිත අපේක්ෂයෙක්ට සහයෝගය දෙන්න කියලා කරන ඉල්ලීමක් නෙමෙයි. ඒවා පෞද්ගලික තීරණනේ. ඔබ කැමති අපේක්ෂකයා කවුරු වුනත්, දේශපාලන පක්ෂය කුමක් වුවත්, දැන් තියෙන ඔය සමතුලිතතාවය නැති කර ගත්තොත්, ආපහු වැටෙන්නේ හිටපු තැනටත් වඩා නරක තැනකටයි. එහෙම වෙන එක වලක්වා ගන්න අවශ්‍යනම් තමන්ගේ අපේක්ෂකයාව, තමන් සහයෝගය දෙන පක්ෂය, අවශ්‍ය තැනට තල්ලු කර ගන්නම වෙනවා. ඒ වැඩේ නොකර, මෙතෙක් කළා වගේ ආණ්ඩු වලට වරදින කොට විවේචනය කරන්න පමණක් බලා හිටියොත් වටයක් කැරකිලා නැවත හිටපු තැනමයි.

(වත්පොතෙන් කියවන වැඩි උනන්දුවක් දක්වන අයට 1950 වර්ෂයේ සිට එක් එක් වර්ෂයේ ප්‍රාථමික අයවැය ශේෂය, 2023 වන විට එය ගුණනය වී ඇති ගුණන සාධකය හා ඒ අනුව රුපියල් වලින් හා ඩොලර් වලින් වත්මන් අගය අඩංගු වගුවක් වියුණුව වෙත ගොස් බලා ගත හැකියි. මෙම අගයන්හි එකතුව රජයේ මුළු ණය ප්‍රමාණයට සමානයි.)

Tuesday, July 23, 2024

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට!

 

හරියටම වසර හතරක කාලයකට පසුව, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් නැවතත් ධන අතට හැරී තිබෙනවා. මෙයින් අදහස් වන්නේ බැංකු පද්ධතියේ සමස්ත විදේශ වගකීම් ප්‍රමාණය ඉක්මවන විදේශ වත්කම් ප්‍රමාණයක් මේ වන විට බැංකු පද්ධතිය තුළ එක්රැස් වී ඇති බවයි. 

ඉහත වසර හතරක කාලයෙන් ආර්ථිකය වේගයෙන් වල පල්ලට ගිය කාලය සහ ඉන් පසුව අමාරුවෙන් ගොඩ ආ කාලය හඳුනා ගැනීම අසීරු දෙයක් නෙමෙයි. මේ සමඟ පළ කෙරෙන ප්‍රස්ථාරය දෙස බැලූ විට මේ කාල වකවානු පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. 

බැංකු පද්ධතිය යන්නෙන් අදහස් වන්නේ වාණිජ බැංකු සියල්ල හා මහ බැංකුවයි. වාණිජ බැංකු විසින් විදේශ ණය ලබා ගැනීමේදී මෙන්ම පාරිභෝගිකයින් විසින් වාණිජ බැංකු වල මුදල් තැන්පත් කිරීමේදීද (විශේෂයෙන්ම අක්වෙරළ ශාඛාවන්හි) බැංකු පද්ධතියේ විදේශ මුදල් වගකීම් ඉහළ යනවා. ඒ නිසා, විදේශ බැරකම් සියල්ල විදේශ ණය නෙමෙයි. එහෙත් බැංකු වල විදේශ ණය සියල්ල විදේශ බැරකම් යටතට වැටෙනවා.

වාණිජ බැංකු වල විදේශ ණය ආපසු ගෙවීම සඳහාත්, තැන්පතු ආපසු ගෙවීම සඳහාත්, අවශ්‍ය පමණ විදේශ වත්කම් රඳවා ගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් මේ විදේශ වත්කම් පවත්වා ගන්නේ විදේශ බැංකුවක තැන්පතු හෝ වෙනත් ආයෝජන ලෙසයි. 

කිසියම් නිශ්චිත වාණිජ බැංකුවක හෝ සමස්තයක් ලෙස සියලුම වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් සෘණ වීම, එසේත් නැත්නම් විදේශ වගකීම් වලට වඩා විදේශ වත්කම් අඩු වීම, අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. වාණිජ බැංකු විසින් ඇතැම් කාල වකවානු වලදී කෙටිකාලීනව අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් විදේශ වත්කම් රඳවාගෙන ඉතිරි විදේශ වත්කම් (විදේශ ව්‍යවහාර මුදල්) විකුණා දමනවා. මෙම විදේශ වත්කම් (විදේශ විණිමය) ආනයනකරුවන් විසින් හෝ මහ බැංකුව විසින් මිල දී ගන්නවා. 

වාණිජ බැංකු විසින් ඇතැම් විට මෙසේ ශුද්ධ විදේශ වත්කම් සෘණ වීමට ඉඩ හරිමින් තමන් සතු විදේශ විණිමය විකුණා දමන්නේ අවශ්‍ය වූ විටෙක නැවත වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමේ අපේක්ෂාවෙන්. මහ බැංකුව විසින් මිල දී ගන්නා විදේශ විණිමය නිල සංචිත වලට එකතු වෙනවා. එහෙත් ආනයනකරුවන් විසින් මිල දී ගන්නා විදේශ විණිමය රටෙන් බැහැර වෙනවා. මෙය සැලකිල්ලට ගෙන, ප්‍රමාණවත් විදේශ සංචිත පවත්වා ගැනීම මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ කොටසක්.

වාණිජ බැංකු වලට මෙන්ම මහ බැංකුවටද විදේශ වගකීම් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන තිබෙන ණය උදාහරණයක් ලෙස පෙන්වන්න පුළුවන්. එහෙත් සාමාන්‍යයෙන් මහ බැංකුවේ විදේශ වගකීම් එහි විදේශ වත්කම් ප්‍රමාණය ඉක්මවා ඉහළ යන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සාමාන්‍යයෙන් සෘණ පැත්තට යන්නේ නැහැ.

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් 2019 වසර අවසන් වන විටද සෘණ පැත්තේ තිබුණත්, එම හිඟය ඉක්මවන ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් ඒ වන විට මහ බැංකුව සතු වූ බැවින් සමස්තයක් ලෙස බැංකු පද්ධතියේ ශුද්ධ වත්කම් ධන පැත්තේ තිබුණා. එහෙත්, 2020 අප්‍රේල් වන තුරු පැවති මේ තත්ත්වය 2020 මැයි මාසයේදී වෙනස් වුනා. එම මාසයේදී සමස්තයක් ලෙස බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණා.

මහ බැංකුව විසින් සංචිත විකුණා දමමින් ඩොලරයක මිල පාලනය කිරීමට ගත් උත්සාහය තුළ නිල සංචිත ක්‍රමයෙන් පිරිහීමේ ප්‍රතිඵලයක් ලෙස, 2021 අගෝස්තු මාසයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අතට හැරුණා. ඉන් පසුව, මහ බැංකුව විසින් දිගින් දිගටම "අතමාරු ණය" ගැනීම නිසා මෙම ශුද්ධ විදේශ වත්කම් හිඟය එන්න එන්නම ඉහළ ගියා. වත්මන් අධිපතිවරයා විසින් මහ බැංකුව භාරගත් 2022 අප්‍රේල් මාසය වන තුරුම පැවතියේ මේ තත්ත්වයයි.

කෙසේ වුවත්, 2022 වසර මැද සිට තත්ත්වය යහපත් අතට හැරෙන්නට පටන් ගත්තා. මුලින්ම වේගයෙන් අඩු වෙන්නට පටන් ගත්තේ වාණිජ බැංකු වල විදේශ වත්කම් හිඟයයි. 2023 පෙබරවාරි මාසයේදී වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරුණා. කෙසේ වුවත්, මහ බැංකුවේ විදේශ වත්කම් හිඟය වඩා විශාල වූ නිසා සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ තිබුණේ විදේශ වත්කම් හිඟයක්.

මහ බැංකුව විසින් ටිකෙන් ටික විදේශ සංචිත ගොඩ නගා ගැනීම නිසා මේ වන විට සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ විදේශ වත්කම් අතිරික්තයක් ඇති වී තිබෙනවා. මහ බැංකුවේ තව දුරටත් විදේශ වත්කම් හිඟයක් තිබුණත්, එම හිඟය ඉක්මවන විදේශ විණිමය අතිරික්තයක් මේ වන විට බැංකු පද්ධතිය තුළ තිබෙනවා. 

ගෙවුණු 2024 මැයි මාසය අවසන් වන විට, වාණිජ බැංකු සතුව රුපියල් බිලියන 322.0ක විදේශ වත්කම් අතිරික්තයක් පැවති අතර, එම අතිරික්තය මහ බැංකුවේ විදේශ වත්කම් හිඟය වූ රුපියල් බිලියන 248.0 ඉක්මවනවා. මේ අනුව, සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ රුපියල් බිලියන 93.9ක අතිරික්තයක් වාර්තා වෙනවා.

මැයි මස අවසානයේදී ඩොලරයක මිල රුපියල් 301.8883ක්ය යන්න සැලකූ විට, මෙය ඩොලර් මිලියන 311ක පමණ අතිරික්තයක්. මෙයින් අදහස් වන්නේ අපහසුවකින් තොරව මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය පියවාගෙන තවත් ඩොලර් මිලියන 311ක මුදලක් සංචිත වලට එකතු කර ගැනීම සඳහා අවශ්‍ය තරම් අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණයක් වාණිජ බැංකු පද්ධතිය තුළ එක්රැස් වී ඇති බවයි.

එසේනම් මහ බැංකුව විසින් බැංකු පද්ධතිය තුළ තිබෙන මෙම අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණය මිල දී නොගන්නේ ඇයි? 

මෙයට හේතු කිහිපයක් තිබෙනවා. පළමුව, මහ බැංකුව විසින් මේ වන විට ක්‍රියාත්මක කරන්නේ පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයක්. එහිදී වෙළඳපොලට මැදිහත්වීම් කරන්නේ කලින් ප්‍රකාශයට පත් කර තිබෙන සංචිත ගොඩ නගා ගැනීමේ ඉලක්ක හා ගැලපෙන තරමට පමණයි. මහ බැංකුව විසින් "ඕනෑවට වඩා හදිස්සි නොවී" මාස්පතා යම් විදේශ සංචිත ප්‍රමාණයක් එකතු කර ගනිමින් ඉන්නවා. එම වේගයෙන් යාම වර්ෂාවසාන සංචිත ඉලක්කයට යාම සඳහා ප්‍රමාණවත් වනවා විය යුතුයි.

දෙවනුව, වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමේදී රුපියල් නිකුත් කරන්නට සිදු වෙනවා. එම රුපියල් නැවත එකතු කර ගැනීමටනම් මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් විකුණන්නට සිදු වෙනවා. මහ බැංකුව විසින් යම් පාලනයක් ඇතුව මෙය කරමින් සිටිනවා. ඕනෑවට වඩා වැඩියෙන් වෙළඳපොළට රාජ්‍ය සුරැකුම්පත් තල්ලු කළහොත්, පොලී අනුපාතික මත පීඩනයක් ඇති වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් පහළ දමා ගැනීමේ උත්සාහයකද නිරතව සිටින බව පෙනෙන්නට තිබෙනවා.

ඒ අතරම, රුපියල් සැපයුම පාලනය කිරීම මගින් මෙම විදේශ විණිමය ආනයනකරුවන් විසින් මිල දී ගැනීමද මහ බැංකුව විසින් සාර්ථක ලෙස සීමා කර තිබෙනවා. ඒ නිසා, වාණිජ බැංකු පද්ධතිය තුළ විදේශ විණිමය එක්රැස් වෙමින් තිබෙනවා. දැනට මහ බැංකුව විසින් එම විදේශ විණිමය මිල දී ගන්නා බව පෙනෙන්නේ ඩොලරයක මිල පහළ වැටෙන්නට යද්දී පමණයි. 

එක පැත්තකින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ මැදිකාලීනව රජයේ විදේශ විණිමය අවශ්‍යතාව සීමා වී ඇති පසුබිමක, බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්ද වර්ධනය වීම මගින් කියා පාන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන්හි අයහපත් හැරවුමක් සිදු නොවුවහොත් ඉදිරි කාලයේදී විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වීමේ කිසිදු ඉඩක් පෙනෙන්නට නොමැති බවයි. මෙම තත්ත්වය තුළ ඉක්මණින්ම වාහන ආනයනය සඳහා ඉඩ දිය හැකි පසුබිමක් ඇති වී තිබෙනවා. පවතින යහපත් තත්ත්වය ඉක්මණින් නරක අතට වෙනස් විය හැක්කේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමට කිසියම් බාධාවක් පැමිණුනහොත් පමණයි. 

Saturday, July 20, 2024

විසි දෙවන සංශෝධනය කුමකටද?


විසි දෙවන සංශෝධනය ගැසට් කිරීම නිසා යම් කිසි ව්‍යාකූලත්වයක් ඇතැම් අය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේක එළියට දැම්මේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නද කියලා සැකයක් ඇතැම් අයට ඇති වී තිබෙනවා. 

මේ කරුණ සම්බන්ධව ආණ්ඩුව විසින් වගේම මැතිවරණ කොමිසම විසින්ද පැහැදිලි ප්‍රකාශ නිකුත් කරමින් ජනාධිපතිවරණය කල් දැමීමක් සිදු නොවන බව කියා තිබුණත්, එහෙමනම් මේ වෙලාවේ මේ සංශෝධනය එළියට ගත්තේ ඇයි කියන එක ගොඩක් අයට මතු වන සාධාරණ ප්‍රශ්නයක්. 

විසි දෙවන සංශෝධනයෙන් සිදු වෙන්නේ කුමක්ද?

ව්‍යවස්ථාවේ පෙළ වෙනස්වීම අනුවනම්, මෙය ඉතාම කුඩා සංශෝධනයක්. එයින් කෙරෙන්නේ ව්‍යවස්ථාවේ එක් වචනයක් වෙනස් කරන එක. නමුත් ඒ වචනය වෙනස් වීමේ සහ ඊට අදාළ ක්‍රියාවලියේ තිබෙන බලපෑම ඒ තරම්ම සරල නැහැ. 

රටේ ව්‍යවස්ථාදායකයට, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවට, අලුතෙන් නීති හැදීමේ, තිබෙන නීති ඉවත් කිරීමේ හා එම නීති සංශෝධනය කිරීමේ පූර්ණ බලය තිබෙනවා. නමුත් මේ වැඩේ කළ හැක්කේ දැනට පවතින නීති රාමුවට යටත්වයි. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ නොගැටෙන නීතියක්නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක රටේ නීතියක්. නමුත් කිසියම් නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ක ගැටෙනවානම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වෙනස් කරන්න අවශ්‍යනම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර කොටස් වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබිලත් මදි. ඒ සඳහා ජනමතවිචාරණයක් තියලා මහජන කැමැත්ත විමසන්නත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ කොටස් සමඟ ගැටෙන වෙනත් නීතියකට වුනත් මේ කරුණ වලංගුයි.

මේ විදිහට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමතවිචාරණයක්ද පැවැත්විය යුතු වන්නේ ව්‍යවස්ථාවේ මොන කොටස් වලට බලපෑමක් වෙනවානම්ද කියන එක සඳහන් කරලා තියෙන්නේ 83 ව්‍යවස්ථාවේ. ඒ 83 ව්‍යවස්ථාවේ වචනයක් තමයි විසි දෙවන සංශෝධනයෙන් වෙනස් කරන්න යන්නේ. 

මේ විදිහට ජනමතවිචාරණයක් අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන කොටස් වලට බලපෑමක් වන විටද? 

කෙටියෙන් කිවුවොත් තත්ත්වයන් දෙකකදී ජනමතවිචාරණයක් අවශ්‍ය වෙනවා. පළමුව ශ්‍රී ලංකා රාජ්‍යයේ මූලික ස්වභාවය අර්ථ දක්වන ව්‍යවස්ථාවේ මුල් කොටස් වලට බලපෑමක් වෙනවානම්. ඒ කියන්නේ රටේ නම, ජාතික ගීය, ජාතික කොඩිය, රටේ නිදහස් දිනය, බුද්ධාගමට ප්‍රමුඛත්වය දිය යුතු බව වගේ දේවල්. මේවා ගැන සඳහන්ව තිබෙන්නේ 1-3 හා 6-9 ව්‍යවස්ථා වල. ඒ වගේම මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වන 10 හා 11 ව්‍යවස්ථා. 

දෙවනුව පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයකට වඩා වැඩි කරගන්නවානම් හෝ ඒ සම්බන්ධව සඳහන්ව ඇති 30(2) හා 62(2) අනුව්‍යවස්ථා සංශෝධනය කරනවානම් ජනමතවිචාරණයක් අවශ්‍ය වෙනවා.

දැන් මේ විදිහට ජනමතවිචාරණයක් නැතුව ඇතැම් වෙනස්කම් කළ නොහැකි බව සඳහන්ව තිබෙන්නේ 83 ව්‍යවස්ථාවේ නිසා එම 83 ව්‍යවස්ථාව වෙනස් කළොත් ඔය ඕනෑම එකක් වෙනස් කරන්න පුළුවන්නේ. 

අපි උදාහරණයක් විදිහට ඉඩමක් කාට හරි බලා ගන්න දෙනවා කියා හිතමු. ඒකේ පැත්තක වැටක් ගහලා වැටෙන් එහා කිසිම දෙයක් වෙනස් කරන්න එපා කියනවා. නමුත් වැට වෙනස් කරන්න එපා කියන්නේ නැහැ. දැන් ඔය වැඩේ අවුලක් තියෙනවනේ. අර ඉඩම බලා ගන්න පුද්ගලයාට මුලින් වැට වෙනස් කරලා ඊට පස්සේ වැටෙන් එහා තිබුණු දේවලුත් වෙනස් කරන්න පුළුවන්. 

ඔන්න ඔය හේතුව නිසා ඉහත කී ව්‍යවස්ථා වලට අමතරව 83 ව්‍යවස්ථාවත් ජනමතවිචාරණයක් නොතියා වෙනස් කළ නොහැකි බව එම 83 ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා. හැබැයි එහෙම සඳහන් කරන එකේ අරමුණ අර මුල් කාණ්ඩ දෙකේ ව්‍යවස්ථා වල තිබෙන විධිවිධාන සෘජු මහජන කැමැත්ත නැතිව වෙනස් කරන එක වලක්වන එක. 

දැන් 22 වන සංශෝධනයෙන් වෙන්නේ 83 ව්‍යවස්ථාව වෙනස් කරන එකනේ. 83 ව්‍යවස්ථාවේ පෙළ අනුව එම ව්‍යවස්ථාවේ විධිවිධාන වෙනස් කරන්නනම් ජනමතවිචාරණයක් තියන්න වෙනවා. ජනමතවිචාරණ කතාව එන්නේ ඔය විදිහටයි. හැබැයි ඉතිං නීතිය අර්ථ දක්වන්නේ සිංහල භාෂාවේ රීති හෝ තර්ක ශාස්ත්‍රයේ රීති අනුවම නෙමෙයි. මේ සංශෝධනය කරන්න ජනමතවිචාරණයක් අවශ්‍ය නැහැ කියලා නීති තර්ක ගේන්නත් පුළුවන්. අන්තිමට තීරණය දෙන්න පුළුවන් අධිකරණයටම තමයි. 

දැන් ඔය 83 ව්‍යවස්ථාව සංශෝධනය වෙලා නැහැනේ. දහනවවන සංශෝධනය ගේන කොට තිබුණෙත් ඔය 83 ව්‍යවස්ථාවමයි. එහි වචන අනුව, "30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා" ජනමතවිචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතුයි. නමුත් දහනවවන සංශෝධනයෙන් 30(2) හා 62(2) සංශෝධනය කළේ ජනමතවිචාරණයක් තියන්නේ නැතිවයි.  ඒ මගින් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර පහකට සීමා කළා.

මම දකින විදිහටනම් දහනවවන සංශෝධනයෙන් 30(2) හා 62(2) වෙනස් කරන්න ජනමතවිචාරණයක් නොතියපු එකේ මූලධාර්මික වැරැද්දක් නැහැ. මොකද පරමාධිපත්‍ය බලය තිබෙන මහජනතාව විසින් ඔවුන්ගේ නියෝජිතයින්ට දැනටම දී තිබෙන බලය සීමා කර ගන්න නැවත මහජනතාවගෙන් අහන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ එම බලය පුළුල් කරගන්නවානම්. දහනවවන සංශෝධනයෙන් වුනේ ඒ වන විට තිබුණු බලය සීමා කර ගැනීමක්. 

දැන් ප්‍රශ්නය විසි දෙවන සංශෝධනයෙන් වෙන්නෙත් ඕකමනම් දහනවවන සංශෝධනයට අවශ්‍ය නොවුණු ජනමතවිචාරණයක් විසි දෙවන සංශෝධනයට අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක. රනිල් වික්‍රමසිංහ හා විජේදාස රාජපක්ෂ එවැනි ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව හිතන බව පේනවා. නමුත් ජයම්පති වික්‍රමරත්නට අනුව ජනමතවිචාරණයක් නොපවත්වා විසි දෙවන සංශෝධනය සම්මත කළ නොහැකියි. 

ඊළඟ ප්‍රශ්නය දහනවවන සංශෝධනය සම්මත කරගනිද්දී 83 සංශෝධනය නොකළේ ඇයි කියන එක. රනිල් වික්‍රමසිංහ කියන විදිහට මෙය ජයම්පති වික්‍රමරත්නට සිදු වූ අත්වැරැද්දක්. නමුත් ජයම්පති වික්‍රමරත්න කියන විදිහට මෙය හිතාමතා කරපු දෙයක්. එහෙම කරලා තියෙන්නේ ජනමතවිචාරණයකට යන්න වෙන එක වලක්වා ගන්න. ඒ අනුව, දහනවවන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හය සිට පහ දක්වා අඩු කර ගෙන තිබුණත්, 83 වෙනස් වී නැති නිසා එහි පෙළ අනුව නැවත එම ධුර කාලයන් වසර හයක් කරගැනීම සඳහා ජනමතවිචාරණයකට යන්න අවශ්‍ය නැහැ. මොකද ඒක සීමා කරගෙන නැහැ. දැන් විසි දෙවන සංශෝධනයෙන් කරන්න හදන්නේ ඒකත් සීමා කරගන්න එක. (විසි දෙවන සංශෝධනය නැතත්, තුනෙන් දෙකෙන් නැවත පහ හය කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද එසේ කිරීමෙන් 30(2) හා 62(2) විධිවිධාන වලට බලපෑමක් වෙනවා. ලිපිය දිගු වන නිසා ඒ පැත්ත කතා කරන එක අත ඇරියා.)

සමහර විට රනිල් වික්‍රමසිංහ කියන ජයම්පති වික්‍රමරත්නගේ අත් වැරැද්ද 83 වෙනස් කරන්න ජනමතවිචාරණයක් අවශ්‍යයි කියලා මතයක් ඉදිරිපත් කළ එක වෙන්න පුළුවන්. ඒ අනුව, ඒ වෙලාවේ 83 වෙනස් නොකර හිටියත් දැන් හොයා බැලූ විට ජනමතවිචාරණයක් නොතියා අවශ්‍ය වෙනස කළ හැකි බව පේනවා වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ කියන්නේ 83 දැක්කේ නැහැ වගේ දෙයක් ගැනනම් ඒක වෙන්න බැරි තරමේ අත්වැරැද්දක්. ව්‍යවස්ථාවක් සංශෝධනය කරද්දී ඒ වගේ මූලික වැරැද්දක් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද 83 කියන්නේ ප්‍රධානම ව්‍යවස්ථාවක්. 

කොහොම වුනත් මේ මට පේන විදිහ. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෙක් නෙමෙයි. ඒ වගේම මේ හා අදාළ පැරණි ලේඛණ සියල්ල පරිශීලනය කරන්න අවස්ථාවක් ලැබිලත් නැහැ. විශේෂයෙන්ම දහනවවන සංශෝධනයට පෙර 30(2) හා 62(2) වෙනස් කළ හැකි ආකාරය ගැන අධිකරණයේ මතය. එහි මෙහි මට නොපෙනෙන දේවල් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ  30(2) හා 62(2) වෙනස් කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවූ හේතුව 83ට අදාළ නොවන හේතුවක් තියෙනවද? මේ ගැන අදහසක් ගන්න පුළුවන් අදාළ ලේඛණය පරිශීලනය කරන්න ලැබුනොත් පමණයි. 

කොහොම වුනත් විසි දෙවන සංශෝධනයට ජනමතවිචාරණයක් අවශ්‍යද කියලා අධිකරණයෙන් ඇහුවොත් අධිකරණයට ඒ ගැන තීරණයක් දෙන්න වෙනවා. දෙපැත්තටම නීති තර්ක ගේන්න පුළුවන් නිසා පිළිතුර නිසැක පිළිතුරක් නෙමෙයි. ඒ කියන්නේ තීරණයක් එන තුරු ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව නිශ්චිතව කියන්න බැහැ. වෙනත් විදිහකින් කිවුවොත් යම් ජනමතවිචාරණ අවදානමක් තියෙනවා.

නමුත් මේ වෙලාවේ ආණ්ඩුව ජනමතවිචාරණයකට යයිද? එහෙම දෙයක් කරයි කියලා හිතන එක කිසිසේත්ම තර්කානුකූල නැහැ. මෙතෙක් එකම ආණ්ඩුක්‍රම සංශෝධනයකදීවත් ජනමතවිචාරණයකට ගිහින් නැහැ. සියල්ලම තුනෙන් දෙකේ සීමාවෙන් ගොඩින් තමයි බේරාගෙන තියෙන්නේ. මෙතෙක් කරපු සංශෝධන එක්ක බලද්දී මේ සංශෝධනය හදිසි නැති, වැදගත්කමින් අඩු එකක්. එහෙමනම් ආණ්ඩුව හදිසියේ විසි දෙවන සංශෝධනය ගෙනාපු එකේ අරමුණ කුමක්ද?

රනිල් මේ සංශෝධනය පාර්ලිමේන්තුවට දමනවා ඇත්තේ තුනෙන් දෙක ගැන සැකයක් නැත්නම් පමණයි. ඒ කියන්නේ එය කොහොමත් පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා කියන එක. කැබිනට් මණ්ඩලයේ මතය අනුව මේ සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්නම් සහ වෙන කවුරු හෝ අධිකරණයට යාමේ ප්‍රතිඵලයක් ලෙස අධිකරණය ජනමතවිචාරණයක් අවශ්‍ය වන බව කිවුවේ නැත්නම් එය ඉන් පසු ජනමතවිචාරණයකට යන්නේ නැහැ. 

මෙතැන වැදගත් දේ මේ එක්ක විපක්ෂයට මුහුණ දෙන්න වෙන අර්බුදය. මේ සංශෝධනයට විරුද්ධ වෙනවා කියන්නේ ධුර කාලය සීමා කරගන්න එකට විරුද්ඩ වීමක් නිසා ඒක කරන්න බැහැ. විරුද්ධ වීම සඳහා ඉදිරිපත් කළ හැකි ලොකුම හේතුව මේ වෙලාවේ ජනමතවිචාරණයක් තියන්න වෙන එකේ අවදානම ගන්න එක සුදුසු නැහැ කියන එක. නමුත් කවුරුවත් අධිකරණය වෙත ගියේ නැත්නම් ජනමතවිචාරණයක් තියන්න වෙන්නේ නැහැ. ජනමතවිචාරණයකට විරුද්ධව පෙනී ඉන්න අයෙකුට ජනමතවිචාරණයක් ඉල්ලලා අධිකරණයට යන්නත් බැහැ. 

විපක්ෂය අධිකරණයට ගිහින් අධිකරණය ජනමතවිචාරණයක් අවශ්‍යයි කියා තීරණය කළොත් අප්‍රසාදයට පත් වෙන්නේ අධිකරණයට ගිය එක. එහෙම ගියත් ගොඩක් වෙලාවට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව කියන්න ඉඩ තියෙන නිසා අන්තිමට නිකම්ම නරක නම විතරක් ඉතිරි වෙන්න පුළුවන් වැඩක්. ඒ වගේම, එහෙම නොගියොත් ජනමතවිචාරණයක් තියන්න වෙනවා කියන තර්කය එසැණින් බොරු වෙනවා. ඒ නිසා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන්න හේතුවක් නැහැ. අවසාන වශයෙන් ගොඩක් අයට අකමැත්තෙන් හෝ රනිල් එක්ක හිටගන්න වෙන එක පමණක් සිදු වෙන්න පුළුවන්. 

ඊට අමතරව, අවශ්‍යනම් පහසුවෙන්ම තව අවුරුද්දක් ඉන්න පුළුවන්කම තියෙද්දී එහෙම නොකර මැතිවරණයට ඉදිරිපත් වුනා කියන කතාවත් රනිල්ට කියන්න පුළුවන්. මොකද 82 අනුව පහ හය කරගන්න ජනමතවිචාරණයක් අවශ්‍ය නැත්නම්, තුනෙන් දෙකකුත් තියෙනවා කියලා පෙන්නුවට පස්සේ ඒ කතාව පහසුවෙන් ගොඩක් අයට පිළිගන්වන්න පුළුවන්. හැබැයි ඔය වගේ සූපීන් වැඩ වලින් ජනමතයේ දැනෙන වෙනසක් වෙයිද කියන එක ප්‍රශ්නයක්. 

ගොඩක් ඉස්සර ඇමරිකාවෙත් විසි දෙවන සංශෝධනයක් තිබුණා. ඇමරිකන් ජනාධිපතිධුරයට එක් අයෙකුට පත් විය හැකි වාර ගණන දෙකකට සීමා කෙරුණේ ඒ සංශෝධනයෙන්. 

Friday, July 19, 2024

විසි දෙවන සංශෝධනය හා ජනාධිපතිවරණය


විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරලා තිබෙනවා. මගේ අදහසනම් මේ සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ තිබෙන අවුලක් ලිහෙනවා හැර ප්‍රායෝගිකව වෙන කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියන එකයි. මේ හා අදාළව අධිකරණ මැදිහත්වීමක් සිදු විය හැකියි. එසේ වුවත්, කලින් ලබා දී තිබෙන අධිකරණ තීන්දු අනුව, මේ සංශෝධනය සිදු කිරීම සඳහා ජනමතවිචාරණයක් තියන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස. කොහොම වුනත්, මම ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි.  [පසු සටහන. 83 ව්‍යවස්ථාව සැලකිල්ලෙන් කියවූ විට, ජනමතවිචාරණයක් තියන්න අවශ්‍ය වන බව පෙනී යනවා. මේ ගැන පසුව කතා කරමු.]

ජනාධිපතිවරණය සම්බන්ධව මෙයින් බලපෑමක් සිදු නොවන බවත්, ඒ හා අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් වනු ඇති බවත්, මැතිවරණ කොමිසමේ සභාපති විසින් දැනුම් දී තිබෙනවා. ඒ කියන්නේ ජූලි 26 දිනට පෙර ගැසට් නිවේදනය එනවා කියන එක. 

ජූලි 26 දිනට පෙර ගැසට් නිවේදනය ආවොත් අගෝස්තු 16ට පෙර නාම යෝජනා ගන්න වෙනවා. රාහු කාලය නිසා සිකුරාදා දවස් අත ඇරියොත් අගෝස්තු 12-15 අතර දවසක. ලබන සතියේ සඳුදා හෝ අඟහරුවාදා ගැසට් නිවේදනය නිකුත් කළොත් පමණක් අගෝස්තු 7 හෝ 8 මේ වැඩේ වෙන්න පුළුවන්. 

ඒ අනුව, ලබන සතියේ ගැසට් නිවේදනය නිකුත් වුනොත්, සැප්තැම්බර් 26ට පෙර ජනාධිපතිවරණය තියන්න වෙනවා. පෝය දවසට පසු දින නිසා සැප්තැම්බර් 18ත් අත ඇරියොත්, සැප්තැම්බර් 19-26 අතර දවසක තමයි ජනාධිපතිවරණය තියන්න වෙන්නේ. 

ජනාධිපතිවරණයක් සාමාන්‍යයෙන් තියන්නේ සෙනසුරාදා හෝ සතියේ නිශ්චිත දවසකද? එහෙම එකක් නැහැ. සෙනසුරා ලබපු අන්තිම ජනාධිපතිවරණය තිබ්බේ සෙනසුරාදා දවසක වුනත්, ඊට පෙර ජනාධිපතිවරණ සියල්ලම පවත්වා තිබෙන්නේ සතියේ දින වල. මෙතෙක් ජනාධිපතිවරණ පවත්වා නැත්තේ ඉරිදා සහ සිකුරාදා දවස් වල පමණයි.  

1982 ඔක්තෝබර් 20 - බදාදා 

1988 දෙසැම්බර් 19 - සඳුදා

1994 නොවැම්බර් 9 - බදාදා

1999 දෙසැම්බර් 21 - අඟහරුවාදා

2005 නොවැම්බර් 17 - බ්‍රහස්පතින්දා

2010 ජනවාරි 26 - අඟහරුවාදා

2015 ජනවාරි 8 - බ්‍රහස්පතින්දා

2019 නොවැම්බර් 16 - සෙනසුරාදා

මට හිතෙන්නේ බ්‍රහස්පතින්දා දවස් වන සැප්තැම්බර් 19 හා 26 දවස් වලට ටිකක් බර වැඩියි කියලා. ප්‍රතිඵලය අවිනිශ්චිත වූ 2005 සහ 2015 ජනාධිපතිවරණ තියලා තියෙන්නේ බ්‍රහස්පතින්දා දවස් වල. බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණය තිබ්බොත් ප්‍රතිඵල එන්නේ සිකුරාදා. රට සන්සුන් වෙන්න සති අන්තය තියෙනවා. 

Thursday, July 18, 2024

ලෝකයටම ලණු දෙන රටක ලණු දෙන්නෝ සහ ලණු කන්නෝ


ඉස්සර ලංකාවේ ප්‍රධාන අපනයන විදිහට අපි ඉගෙන ගත්තේ තේ, රබර් හා පොල්. දැන් ලංකාව මේ දේවල් ඒ විදිහටම අපනයනය කරන්නේ නැහැ. විශේෂයෙන්ම රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන්නේ රට ඇතුළේ අගය එකතු කරලා. 

ලංකාව ලෝකයටම වගේ කොහු ලණු අපනයනය කරනවා. ලංකාවේ කොහු ලණු වලට ලෝකය පුරාම හොඳ ඉල්ලුමක් තිබෙනවා. පසු ගිය 2023 වසරේදී ලංකාව ලෝකයේ රටවල් 111කට කිලෝග්‍රෑම් 408,370,302ක කොහු ලණු හා එම කාණ්ඩයේ අනෙකුත් නිෂ්පාදන අපනයනය කර එමගින් ඩොලර් මිලියන 172ක (හරියටම ඩොලර් 171,964,416ක) විදේශ විණිමය ප්‍රමාණයක් උපයාගෙන තිබෙනවා. ලංකාව ලණු දීපු නැති රටක් ලෝකයේම නැති තරම්!

ගිය අවුරුද්දේ ලංකාව වැඩියෙන්ම ලණු දී තිබෙන්නේ චීනයටයි. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 89,301,836ක්. එමගින් උපයා තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 20.4ක් (හරියටම ඩොලර් 20,381,674ක්). මෙක්සිකෝවට ලණු දී තිබෙන්නේ මීට වඩා අඩුවෙන් වුනත් (කිලෝග්‍රෑම් 43,676,320ක්), වැඩිම විදේශ විණිමය ප්‍රමාණයක් උපයා තිබෙන්නේ මෙක්සිකෝවට ලණු දීලයි. එම ආදායම ඩොලර් මිලියන 23ක් (ඩොලර් 22,978,180ක්). ජපානයට කිලෝග්‍රෑම් 35,566,195ක ලණු දී ඩොලර් මිලියන 11.1ක (ඩොලර් 11,082,593ක) ආදායමක් උපයාගෙන තිබෙනවා.

උඩ ඡායාරූපයේ දැකිය හැක්කේ ජපානයේ විකුණන්නට තිබෙන ලංකාවේ නිපදවනු ලැබූ ලණු කැරලි. මේවා විකුණන්නට තිබෙන්නේ ජපානය පුරා ව්‍යාප්තව ඇති, යෙන් 100ක මිලකට බඩු විකුණන (ඇමරිකාවේ ඩොලර් කඩ හා එක්සත් රාජධානියේ පවුම් ෂොප් වැනි), දයිසෝ නම් සිල්ලර වෙළඳසැල් ජාලයකයි.

මෙහි නිෂ්පාදකයාගේ නම කියවා ගන්න අසීරුයි. කියවා ගත හැකි පරිදි මෙය නිපදවා තිබෙන්නේ වේයන්ගොඩ, නයිවල, කොළඹ පාරේ, අංක 379/4 දරන ලිපිනයේ ඇති (හෝ ඊට කිට්ටුවෙන් යන නමක් සහිත ලිපිනයක ඇති) කොයිල් ප්‍රොඩක්ට්ස් (පුද්ගලික) සමාගම හෝ ඊට කිට්ටු නමක් තිබෙන ආයතනයකයි. බොහෝ විට මුලින් තවත් වචනයක් ඇති.

කොහු ලණු හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ තිබෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ ටිකෙන් ලණු හැදිය හැක්කේත් සීමිත ප්‍රමාණයක්. ඒ ටිකෙන් වැඩි කොටසක් අපනයනය කළ විට ලංකාවේ අවශ්‍යතා සඳහා ලණු හිඟ වෙනවා. නමුත් කොහු ලණු වලින් කළ හැකි දේ කරන්න හැම විටම කොහු ලණුම අවශ්‍ය නැහැ. අඩු මිලකට ප්ලාස්ටික් ලණු මිල දී ගත හැකිනම් බොහෝ දෙනෙක් කොහු ලණු වෙනුවට ප්ලාස්ටික් ලණු මිල දී ගන්නවා. ඒ ප්ලාස්ටික් ලණු ආනයනය කරනවා වෙන්න පුළුවන්.

කොහු ලණුවක් අවශ්‍ය වැඩේ ප්ලාස්ටික් ලණුවකින් කරගත් විට බොහෝ දෙනෙකු අතේ මුදල් ඉතිරි වෙනවා. එය පාරිභෝගිකයින්ට වාසියක්. අනෙක් පැත්තෙන් කොහු ලණු නිෂ්පාදකයින්ට ඔය ලණු රට ඇතුළේ විකුණලා ගන්න බැරි මුදලක් ඒවා අපනයනය කරලා ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ වැඩෙන් පාරිභෝගිකයින්ට වගේම නිෂ්පාදකයින්ටත් වාසියි. 

කොහු ලණු අපනයනය කරලා උපයා ගන්නා විදේශ විණිමය වැය කරලා ප්ලාස්ටික් ලණු ගේන එකෙන් අවශ්‍ය වැඩෙත් වෙලා තව අමතර විදේශ විණිමය ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඕක තමයි ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන වාසිය. එහෙම නැතුව රටට අවශ්‍ය ලණු රටේම හදාගන්න ගියොත් පාරිභෝගිකයින්ට, නිෂ්පාදකයින්ට වගේම අන්තිමේදී රටටත් වෙන්නේ අවාසියක්. එහෙම ලණුනම් කන්න එපා!

ජනාධිපති හටන


තවමත් නිල වශයෙන් ලංකාවේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර නැහැ. නමුත් රටේ පවතින නීතිය අනුව, තවත් මාස තුනක් ඇතුළත (ඔක්තෝබර්ජ 16 දිනට පෙර) ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. 

නීතිය අනුව, ඊයේ (ජූලි 17) සිට, ඕනෑම මොහොතක මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ හැකියි. මැතිවරණ කොමිසමේ සභාපතිට අනුව මේ මාසය අවසන් වීමට පෙර එම කාර්යය සිදු වීමට නියමිතයි. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව උපරිම වශයෙන් දින 63ක කාලයක් ඇතුළත එම මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව, අනපේක්ෂිත දෙයක් සිදු නොවුවහොත්, සැප්තැම්බර් මාසයේ අවසාන සති දෙක ඇතුළත ජනාධිපතිවරණය පවත්වනු ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

මෙම ජනාධිපතිවරණය පිළිබඳව මීට පෙර කිසිදු ජනාධිපතිවරණයකට පෙර නොපැවති තරමේ උනන්දුවක් දැකිය හැකියි. ඊට පැහැදිලි හේතු තිබෙනවා. ඒවා කවුරුත් දන්න නිසා වීස්තර කරන්න අවශ්‍ය නැහැ. 

ආර්ථිකය ගැන කතා කරද්දී මෙන් නොව දේශපාලනය ගැන කතා කරද්දී මත ගැටුම් වලට වැඩියෙන් මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම මැතිවරණයක් ආසන්න වෙද්දී. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය වීමට නියමිත නිසා දේශපාලනයට සම්බන්ධ මාතෘකා ගැන කතා කරන එක කල් දමන එකේ තේරුමක් නැහැ. 

ලේඛකයා දේශපාලන විශ්ලේෂකයෙක් නොවුනත්, දේශපාලන විශ්ලේෂණ කියන්නෙත් ආර්ථික විශ්ලේෂණ වලම කොටසක්. ආර්ථික විද්‍යාව කියා කියන්නේ පුද්ගල චර්යාවන් ගැන හදාරන විද්‍යාවක්. සමහර අය හිතාගෙන ඉන්න විදිහට මුදල් ගැන හෝ ලාබ ගැන පමණක් හදාරන විද්‍යාවක් නෙමෙයි. ආර්ථික විද්‍යාවේදී මුදල් ගැන හැදෑරීමක් සිදු වෙන්නෙත් පුද්ගල චර්යාවන් ගැන හැදෑරීමේ දිගුවක් වීදිහටයි. ආර්ථික විද්‍යාවේදී ගොඩක් වෙලාවට වෙළඳපොළ ගැන කතා කරන්නේ වෙළඳපොලක් කියන්නේ පුද්ගල චර්යාවන්ගේ පිළිබිඹුවක් නිසා.

ජනාධිපතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් කියා කියන්නෙත් හරියටම පුද්ගල චර්යාවන්ගේ පිළිබිඹුවක්. ඒ නිසා, ආර්ථික විද්‍යාවේ මූලධර්ම යොදාගෙන ජනාධිපතිවරණයක් ගැනත් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඊට අමතරව, මැතිවරණ ප්රතිඵල පුරෝකථනය කිරීම්දී යොදා ගන්නේ ආර්ථිකමිතියේදීද යොදා ගන්නා සංඛ්‍යානමය ආකෘති හා ක්‍රමවේද. ඒ නිසා, ඔය විෂයයන් ගැන තිබෙන පොඩි පුහුණුව අනුසාරයෙන් සහ ප්‍රසිද්ධ අවකාශයේ තිබෙන තොරතුරු යොදා ගනිමින් ජනාධිපතිවරණය ගැන යම් විශ්ලේෂණයක් කරන එක අමාරු වැඩක් නෙමෙයි.

මේ ජනාධිපතිවරණයේදී උදෙන්ම අවදි වූ කුරුල්ලෙක් ඉන්නවා. ඒ අනුර කුමාර දිසානායක. හරියටම කිවුවොත් අනුර කුමාර දිසානායක උදෙන්ම අවදි වූ කුරුල්ලෙකුත් නෙමෙයි. අවදි වෙන්න නිදා ගන්න ඕනෑනේ. ජනාධිපතිවරණය හා අදාළව අනුර කුමාර දිසානායක කියන්නේ රෑ එළිවන තුරු නිදි වරා අවදිව සිටින කුරුල්ලෙක්. උදෙන්ම අවදි වූ කුරුල්ලා කියා කියන්න පුළුවන් දෙවනුව පිටියට බැහැපු සජිත් ප්‍රේමදාසටයි. 

මැතිවරණ සමීක්ෂණ ලංකාවට සාමාන්‍ය දෙයක් නෙමෙයි. නමුත් මෙවර එක් ආයතනයක් විසින් මාස ගණනාවක් පුරා ජනාධිපතිවරණය පිළිබඳව සමීක්ෂණයක් සිදු කරනවා. එහි ප්රතිඵල අනුව ඉදිරියෙන්ම සිටින්නේ අනුර හා සජිත්. රනිල් වික්‍රමසිංහ දුරස්ථ තෙවන ස්ථානයක ඉන්නවා.

බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස හඳුනාගෙන ඇතත් ඔහු තවමත් ඒ බව පැහැදිලි ලෙස නිවේදනය කර නැහැ. ජනාධිපතිවරණ තරඟය තුළ රනිල් වික්‍රමසිංහ කියන්නේ තවමත් අවදි නොවූ කුරුල්ලෙක්. සමහර විට හොරට නිදාගෙන ඉන්න කුරුල්ලෙක් වෙන්නත් පුළුවන්. 

ප්‍රමුඛ අපේක්ෂයින් දෙදෙනා අතර නැතත්, මේ මොහොතේ අපේක්ෂයෙක් විදිහට වැඩි අවධානයක් යොමු වී තිබෙන බව පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ වෙතයි. මොකක් හෝ ගේමක් ගසා ඔහු අනෙක් අපේක්ෂකයින් අභිබවා ඉදිරියට එනු ඇතැයි ඔහුට කැමැත්තක් දක්වන අය හිතාගෙන ඉන්නවා. ඒ වගේම, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ ඉන්න මාලිමා කණ්ඩායමත් රනිල්ව අභියෝගයක් විදිහට භාරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ හැසිරීම් අනුව වුනත් ජනාධිපතිවරණය ජයගැනීම පිළිබඳ යම් විශ්වාසයක් පේන්න තිබෙනවා. මේ තත්ත්වය සමීක්ෂණ වාර්තා සමඟ ගැලපිය හැක්කේ කොහොමද?

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ජනමත සමීක්ෂණ මත පදනම් වූ අලුත්ම (2024 ජූනී 24 දත්ත මත පදනම්ව, 2024 මැයි මාසය සඳහා ඉදිරිපත් කළ) ඇස්තමේන්තුව අනුව, ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ශක්තිය පහත පරිදියි.

අනුර කුමාර දිසානායක - 39%

සජිත් ප්‍රේමදාස - 38%

රනිල් වික්‍රමසිංහ - 15%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 7%

පළමු ප්‍රශ්නය මේ ඇස්තමේන්තු කොයි තරම් නිවැරදිද?

කෙටි පිළිතුර ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ දිශානතිය පිළිබඳව අදහසක් ගන්න තරම් නිවැරදියි. නමුත් හරියටම නිවැරදි නැහැ. 

මේ විදිහට ඉදිරිපත් කර තිබෙන්නේ අදාළ ආයතනය විසින් එකතු කරගත් "අමු" සමීක්ෂණ ප්‍රතිඵල නෙමෙයි. ඒවා ඇසුරෙන් එම ආයතනය විසින් සකස් කළ ඇස්තමේන්තු. එවැනි ඇස්තමේන්තු සකස් කළ හැකි සංඛ්‍යානමය ආකෘති හා ක්‍රමවේද පරිපූර්ණ නැහැ. අදාළ ආයතනයට අනුවම මෙම ඇස්තමේන්තු වල 1%-4% අතර වරදක් තිබිය හැකියි. මගේ පෞද්ගලික අදහසනම් ඉහත ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද ඊටත් වඩා වැඩි විය යුතු බවයි.

පහත තියෙන්නේ ඉහත ආයතනය විසින් තෙමසකට පෙර, 2024 මාර්තු 24 දත්ත මත පදනම්ව, 2024 පෙබරවාරි මාසය සඳහා ඉදිරිපත් කළ ඇස්තමේන්තු. 

අනුර කුමාර දිසානායක - 53%

සජිත් ප්‍රේමදාස - 34%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 7%

රනිල් වික්‍රමසිංහ - 6%

මෙම ඇස්තමේන්තු හා අලුත් ඇස්තමේන්තු සංසන්දනය කළහොත් පෙනී යන්නේ අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතය තෙමසක් තුළ 15%කින් පහත වැටී රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රතිශතය 9%කින් ඉහළ ගොස් ඇති බවයි. සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතයද 4%කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වුවත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අලුත් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරද්දී පෙර ඉදිරිපත් කළ ඇස්තමේන්තුද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, 2024 පෙබරවාරි මාසයේදී පැවති මහජන කැමැත්ත පහත ආකාරයෙන් වෙනස් වී තිබෙනවා. 

අනුර කුමාර දිසානායක - 46%

සජිත් ප්‍රේමදාස - 38%

රනිල් වික්‍රමසිංහ - 8%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 8%

මේ අනුව පැහැදිලි වන පරිදි, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස අතර ඒ වන විට 18%ක පරතරයක් තිබුණත්, දැන් ඔවුන් කියන විදිහට ඒ වෙද්දී ඇත්තටම තිබී ඇති පරතරය එයින් තුනෙන් එකක් එනම් 6%ක් පමණයි!

ඉහත ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද 1%-4% මට්ටමට වඩා වැඩි බව තේරුම් ගැනීමට මේ වෙනස වුවද ප්‍රමාණවත් විය යුතුයි. මෙය එම ආයතනය විසින් හිතාමතා කළ වරදක් කියා මා කියන්නේ නැහැ. මෙය මෙවැනි සංඛ්‍යානමය ආකෘති ඇසුරෙන් පුරෝකථන සිදු කිරීමේදී සාමාන්‍යයෙන් සිදු විය හැකි දෙයක්. 

මෙම ඇස්තමේන්තු වැනි වෙනත් ඇස්තමේන්තුද තිබේනම් අප‍ට එක් සංඛ්‍යානමය ආකෘතියක තිබිය හැකි වැරදි වෙනත් සංඛ්‍යානමය ආකෘතියක් සමඟ සසඳන්න පුලුවන්. එහෙත් ලංකාවේ වෙනත් මෙවැනි ජනමත සමීක්ෂණ සිදු වන්නේ නැහැ. 

අඩුපාඩු තිබුණත්, මෙම සමීක්ෂණ ප්‍රතිඵල අනුව දැනට ජනමතය වෙනස්වන ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්. මාලිමාවට තිබුණු සහයෝගය අඩුවෙමින් තිබීම සහ සජිත්ගේ හා රනිල්ගේ ජනප්‍රියතාවය ඉහළ යමින් තිබීම එසේ පැහැදිලිව හඳුනාගත හැකි එක් ප්‍රවණතාවක්.

සුදත්ත තිලකසිරි විසින් රට පුරා කරගෙන යන අවිධිමත් සමීක්ෂණ මාලාවෙන්ද ඉහත ප්‍රවණතා පිළිබිඹු වෙනවා. ඊට අමතරව, වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදු කරන සමීක්ෂණ මාලාවක ප්‍රතිඵලය අනුව රජයේ ප්‍රතිපත්ති අනුමත කරන ප්‍රමාණය කෙටි කලක් තුළ කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. එය සෘජුව ජනාධිපතිවරණය හා සම්බන්ධ වූ සමීක්ෂණයක් නොවුනත්, ඉහත සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ හා සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ ප්‍රතිඵල හා ගැලපෙනවා. විධිමත් ක්‍රමවේදයක් නොවුනත්, පෞද්ගලිකව ඇසුරු කරන විවිධ දේශපාලනික අදහස් දරන නියැදියක් හා කතා කරද්දී නිරීක්ෂණය වන ඔවුන්ගේ ජනමතයද මේ ප්‍රවණතා පෙන්නුම් කරනවා. ඒ නිසා, වඩා හොඳ ඇස්තමේන්තුවක් නොමැති තත්ත්වයක් යටතේ විශ්ලේෂණයක් සඳහා පාදක කරගන්නට වෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අලුත්ම ඇස්තමේන්තුවයි. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදයේ තිබෙන ප්‍රධානම අඩුපාඩුවක් සේ සැලකිය හැක්කේ "හතරටම නැති" කොටස බැහැර කර තිබීමයි. සුදත්ත තිලකසිරිගේ අවිධිමත් සමීක්ෂණ අනුව, යම් අඩුවීමක් දැකිය හැකි වුවත්, මෙම කොටස මේ වන විටද අවම වශයෙන් 25%ක් පමණ වෙනවා. එම කොටස ඉවත් කළ විට දැකිය හැක්කේ පහත තත්ත්වයයි.

අනුර කුමාර දිසානායක - 29%

සජිත් ප්‍රේමදාස - 28%

රනිල් වික්‍රමසිංහ - 11%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 5%

වෙනත් - 25%

මෙම ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද සැලකිය යුතු තරම් විශාල විය හැකි වුවත්, පහත නිරීක්ෂණ නිවැරදි නොවන තරමට විශාල විය නොහැකියි. එම නිරීක්ෂණ මේවායි.

1. දැනට පවතින තත්ත්වය තුළ කිසිදු අපේක්ෂකයෙකුට මුළු ඡන්ද ප්‍රමාණයෙන් 50%ක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එයින් අදහස් වන්නේ දෙවන හා තෙවන මනාප ගණන් කරන්නට සිදු විය හැකි බවයි.

2. ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් දෙදෙනා වන්නේ අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාසයි. රනිල් වික්‍රමසිංහ ඔවුන් දෙදෙනාට කිට්ටුවක නැහැ.

දැනට පවතින තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහට දෙවන වටයට යාමේ හැකියාවක් නැහැ. ජනාධිපති ධුරයට පත් විය හැක්කේ දෙවන වටයට යා හැකි අපේක්ෂකයන් දෙදෙනාගෙන් අයෙකුට පමණයි.

කෙසේ වුවත්, රනිල් වික්‍රමසිංහට නැවත ජනාධිපති වීමේ අපේක්ෂාවක් ඇති බව පෙනෙනවා. සජිත් ප්‍රේමදාසට හා අනුර කුමාර දිසානායකටද එවැනි අපේක්ෂා තිබෙන බව පැහැදිලි හා ප්‍රකාශිත කරුණක්. ඔවුන්ගෙන් අයෙකු අභිබවා පළමු අපේක්ෂයින් දෙදෙනා අතරට පැමිණීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහට තිබේද?

මේ සඳහා රනිල් වික්‍රමසිංහට යම් හැකියාවක් තිබුණේනම් එය වේගයෙන් ක්ෂය වෙමින් යනවා. එයට ප්‍රධානම හේතුව ඔහු තවමත් තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර තරඟයට අවතීර්ණ වී නොසිටීමයි. කෙසේ වුවත්, එය ඔහුට තනිව කළ නොහැක්කක්. යම් හෝ බලාපොරොත්තුවක් තියා ගන්නටනම් ඔහුට කළ එළි බසින්නට වෙන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ පූර්ණ සහයෝගය ලබන අපේක්ෂකයෙකු ලෙසයි.

එජාපය කියන්නේ පසුගිය මහ මැතිවරණයේදී 2% මට්ටමට වැටුණු පක්ෂයක්. මාලිමාව හා සජබය හා සසඳන විට එජාපය සතුව මේ වන විට රට පුරා ව්‍යාප්ත වූ සංවිධාන යාන්ත්‍රණයක් නැති තරම්. ඒ නිසා, පොහොට්ටුවේ පූර්ණ සහයෝගය නොමැතිව මුල් තැන් දෙකෙන් එකකට පැමිණීම රනිල් වික්‍රමසිංහට හිතන්නවත් බැරි දෙයක්. පොහොට්ටුවේ පූර්ණ සහයෝගය ලැබුනහොත් තත්ත්වය වෙනස් වෙනවා. එහෙත්, එය අනිවාර්ය අවශ්‍යතාවයක් මිසක් ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි. 

ලංකාවේ ඡන්දදායකයින් බහුතරය සාමාන්‍යයෙන් ඡන්දය භාවිතා කරන්නේ "හානිය අවම කර ගැනීමේ" පදනම මතයි. "වාසි බලාගෙන" ඡන්දය භාවිතා කිරීම අදාළ වන්නේ ඡන්දදායකයින්ගෙන් සීමිත කොටසකට පමණයි.

මේ හේතුව නිසා, ප්‍රධාන පක්ෂ දෙක අතර ඡන්ද බෙදී ගොස් තිබුණු දිගු කාලය තුළ බොහෝ විට සිදු වුනේ දිනන්නට ඉඩ නැති පක්ෂයට සහයෝගය දැක්වූ සැලකිය යුතු පිරිසක් ඡන්දය දීමෙන් වැළකීම තුළ අනෙක් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ඉහළ යාමයි. එසේ ඡන්දය නොදී සිටීම මගින් තමන් මුලින් සහයෝගය දැක්වූ පක්ෂයෙන් කැඩෙන කොටස් වෙනත් පක්ෂයක් වෙත ආකර්ෂණය වීම යම් කාලයකට පසුව සිදු වූ දෙයක්. පාවෙන ඡන්දදායකයින් කියන්නේ මේ චක්‍රය මැතිවරණ චක්‍රයට වඩා කෙටි කාලයකින් සම්පූර්ණ කරන අයයි.

ඉහත හේතුව නිසා ඡන්ද ප්‍රචාරණ කටයුතු වලදී බොහෝ විට ප්‍රමුඛ උපාය මාර්ගය වන්නේ ප්‍රතිවිරුද්ධ පිලේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම නොව තමන්ගේ පිලේ සිටින ඡන්දදායකයින් දිගටම රඳවා ගැනීමයි. මෙය සාර්ථක උපාය මාර්ගයක්. 

කාලයක් තිස්සේ සිදු වුනේ කුමක් හෝ නිසා තමන්ගේ පිලෙන් තාවකාලිකව ඉවත් වන ඡන්දදායකයින්ගෙන් කොටසක් අනෙක් ප්‍රධාන පක්ෂය වෙත විතැන් වීමයි. නමුත් මෙවර කෙටිකලක් තුළ ප්‍රධාන පක්ෂ දෙකම අසාර්ථක වීම නිසා පොහොට්ටුවෙන් විතැන් වූ සැලකිය යුතු කොටසක් මාලිමාව වෙත විතැන් වුනා. මාලිමාව දිගින් දිගටම වෙර දරන්නේ එම පිරිස දිගටම තමන් සමඟ රඳවා ගැනීමටයි.

මාලිමාව වෙත විතැන් වී ඇති පිරිසට අමතරව යම් පොහොට්ටු ඡන්ද ප්‍රමාණයක් සජබ වෙතද විතැන් වී ඇති අතර රනිල්ගේ 15% (හෝ 11%) කියන්නේද වැඩි වශයෙන්ම පොහොට්ටු ඡන්දයි. මේ ඡන්ද ජනධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහට ලැබෙනු ඇති නමුත් ඉන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයකදී එජාපයට ලැබේයයි සිතිය නොහැකියි. කෙසේ වුවද, ඔය කිසිම ගොඩකට ගොස් නැති, පොහොට්ටු ඡන්දද සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් තිබෙන බව මගේ අදහසයි.

සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ වලදී "වෙනත්" ගොඩට වැටෙන ඡන්ද සියල්ලම නොවුනත් එයින් සැලකිය යුතු කොටසක් පොහොට්ටු ඡන්දයි. මේ අයට තිබෙන ප්‍රශ්නය තමන් තවමත් පොහොට්ටුව සමඟ බව කටක් ඇර ප්‍රසිද්ධියේ කියන්නට බැරි තරමේ සමාජ පීඩනයක් තවමත් තිබීමයි. මීට අමතරව, සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ වලදී මෙන්ම සෞඛ්‍ය ප්‍රතිපත්ති සමීක්ෂණ ආයතනයේ ජනමත සමීක්ෂණ වලදීදීද අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පරිශීලනය නොකරන, වයස්ගත හා ග්‍රාමීය කොටස් ප්‍රමාණවත් තරමින් නියෝජනය වෙන්නේ නැහැ. එම කණ්ඩායම් අතර තවමත් පොහොට්ටුව සමඟ රැදී සිටින පිරිස් සිටින්නට වැඩි ඉඩක් තිබෙනවා. 

දැනට අකර්මන්‍ය වී තිබුණත් පොහොට්ටුව සතුව රට පුරා පැතිරුණු සංවිධාන ජාලයක් තිබෙනවා. එහි පහළ ස්ථරයට රෙද්දක් ඇඳගෙන ජනතාව වෙත යාමට තිබුණු නොහැකියාව මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ විසින් යම් තරමකින් නැති කර තිබෙනවා. එම යාන්ත්‍රණය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සක්‍රිය වුවහොත්, රනිල් වික්‍රමසිංහ හා ඉදිරි පෙළ අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය විශාල ලෙස අඩුවිය හැකියි. එසේ වුවද, සජබයෙන් ලොකු පළුවක් කඩා නොගෙන රනිල් වික්‍රමසිංහට දෙවන තැනට යාමේ හැකියාවක් නැහැ. ඒ වගේම, පොහොට්ටු වැඩපිළිවෙළ ඇතුළේ ඔය පහළ ස්ථරයට ලබා ගත හැකිව තිබුණු පෞද්ගලික වාසි රනිල්ගේ වැඩපිළිවෙළ ඇතුළේ පෙනෙන්නට නැති පසුබිමක පොහොට්ටු යාන්ත්‍රණය රනිල් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි. 

රටේ ආර්ථිකය කෙටි කලක් තුළ ස්ථාවර කිරීම සඳහා රනිල් වික්‍රමසිංහගෙන් ලැබුණු දායකත්වය සුවිශේෂී එකක්. මෙය අදට වඩා විශාල ලෙස අගය කෙරෙනු ඇත්තේ අනාගතයේදී. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අතේ දැනට තිබෙන බැටන් පොල්ල වෙනත් අයෙකු අතට ඉක්මණින් මාරු වන තත්වයක් යටතේදී. කෙසේ වුවත්, මේ දායකත්වය පහසුවෙන් ඡන්ද බවට හැරවෙනු ඇතැයි රනිල් වික්‍රමසිංහ සිතන්නේනම් එය මුලාවක්.

රටේ ආර්ථික අර්බුදයට හේතුව හොරකම් පමණක් නොවන බව සිතන ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, හොරු එළවීම ප්‍රමුඛ අභිප්‍රාය කරගත් විශාල පිරිසක් තවමත් රටේ ඉන්නවා. මාලිමාව වටා එකතු වූ පිරිස් තවමත් බොහෝ දුරට මාලිමාව සමඟ රැඳී ඉන්නවා. මේ අයගෙන් යම් කොටසක් මාලිමාව ජයගනු ඇතැයි පෙනුණු පසුබිමක "හානි අවම කර ගැනීමේ" ප්‍රවේශයෙන් මාලිමාව වටා එකතු වූ අයයි. මාලිමාව සම්බන්ධව බොහෝ දෙනෙකු හිතන ආකාරය සහ එම පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරීන් හැසිරෙන ආකාරය අනුව මාලිමාව ජයගන්නා බව පෙනේනම්, ඒ පැත්තට හේත්තු වෙන එක කෝකටත් හොඳ බව ලංකාවේ සැලකිය යුතු පිරිසක් හිතන ආකාරයයි.

මාලිමාව අභිබවා සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණෙන බව පෙනෙන පසුබිමක ඔවුන්ගෙන් කොටසක් මාලිමා කඳවුරෙන් හෙමින් සැරේ ලිස්සා යා හැකි අතරම එහි අනෙක් පැත්ත වුවහොත් මාලිමා රැල්ල ඉහළ යන්නත් පුළුවන්. ඒ අනුව, සජබ ඡන්ද රනිල්ගේ පැත්තට විතැන් වුවහොත් එයින් වක්‍ර ලෙස මාලිමාවට වාසියක්ද සිදු වෙනවා. කෙසේ වුවත්, දැනට පවතින තත්ත්වය තුළ අනුර කුමාර දිසානායකට (හෝ වෙනත් අපේක්ෂයෙකුට) 50% සීමාවට පැමිණීමේ හැකියාවක් පෙනෙන්න නැහැ. 

අනුර කුමාර දිසානායක විසින් මුළු ඡන්ද ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් එකක් ලබාගතහොත් රනිල් හා  සජිත් අතර බෙදී යන්නේ ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට අඩු කොටසක්. ඒ අනුව, ගණිතමය ලෙස අනුර කුමාර දිසානායකව අභිබවිය හැක්කේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි. මේ ගලඋඩ සටන තුළ දැනට ඉදිරියෙන් සිටින්නේ සජිත් බැවින් ඔහු රනිල්ට ඉදිරියට පැමිණීමට අවස්ථාවක් දීමේ ඉඩක් නැහැ. සජිත් රනිල්ට වඩා ඉදිරියෙන් සිටින තාක් සජබ සමඟ සිටින පිරිස් රනිල් කරා විතැන් වන්නේ නැහැ. එවැන්නක් සිදු විය හැක්කේ පොහොට්ටුව සක්‍රිය වී එහි උදවුවෙන් රනිල් සජිත්ගේ මට්ටමට ආසන්න වුවහොත් පමණයි. එසේ වුවහොත්, සජබ සමඟ සිටින පිරිස් රනිල්ගේ පිලට මාරු වීම ගැන දෙවරක් හිතන්නේ නැහැ. නමුත් රනිල් කඳවුරට මාස තුනක් ඇතුළත මේ තරම් පිම්මක් පනින එක ලේසි වැඩක් නෙමෙයි.

අනුර කුමාර දිසානායකට කැමැත්තක් දක්වන බොහෝ දෙනෙකු පළමු වටයේදීම ඔහුව තෝරාගන්නා බැවින් දෙවන වටයකදී ඔහුට ලබා ගත හැක්කේ සුළු ඡන්ද ප්‍රමාණයක් පමණයි. නමුත් රනිල්ට ඡන්දය දෙන සැලකිය යුතු පිරිසක් සජිත්ට දෙවන මනාපයක් දීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, අනුර කුමාර දිසානායකට ජනාධිපති වීමටනම්, පළමු වටයේදී සජිත්ට වඩා සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියෙන් ඉන්නට සිදු වෙනවා. මෙම පරතරය කුඩා එකක්නම්, පළමු වටයේදී අනුර කුමාර දිසානායක ජය ගත්තද දෙවන වටය ජයගෙන ජනාධිපති වනු ඇත්තේ සජිත් ප්‍රේමදාසයි.

රනිල් වික්‍රමසිංහ පොහොට්ටු අපේක්ෂකයා වුවද ඔහුට ආකර්ෂණය කරගත නොහැකි පොහොට්ටු ඡන්ද යම් ප්‍රමාණයක් තිබෙනවා. හරියටම කිවුවොත් වාම ජාතිකවාදී ඡන්ද. රනිල්, සජිත් හා අනුර අතරින් මේ ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ වැඩි විභවයක් තියෙන්නේ අනුරටයි. දිලිත් වැනි අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම තුළ එම ඡන්ද මාලිමාව කරා යාමට නොදී රඳවා ගැනීමට හැකි අතර එහි වාසිය ලැබෙන්නේද සජිත්ටයි. 

සියලුම තත්ත්වයන් සලකා බැලූ විට, ජනාධිපතිවරණය ජයගැනීම රනිල් වික්‍රමසිංහට දුරස්ථ ඉලක්කයක්. එවැනි තත්ත්වයක් තුළ ඔහු තරඟයට පිවිසෙයිද? එසේ නැත්නම් ධම්මික පෙරේරා වැනි අයෙකු පොහොට්ටු අපේක්ෂයා ලෙස කරලියට එයිද? 

බැඳුම්කර ණයහිමියන් එක්ක මූලික එකඟතාවයක් ඇති කරගෙන අවසන්ව ඇතත්. මේ වගේ අවිනිශ්චිත පසුබිමක බැඳුම්කර හුවමාරු නිකුතුවක් සඳහා ඉල්ලුම්පත් කැඳවුවහොත් බැඳුම්කරහිමියන්ගෙන් කොටසක් පස්ස ගහන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, මේ වැඩේ මැතිවරණ අවසන් වන තුරු කල් දැමිය යුතු බව අදාළ ජාත්‍යන්තර උපදේශකයින් හා අනෙකුත් මැදිහත්කාර පාර්ශ්වයන් විසින් යෝජනා කරන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත්, ඒ වැඩෙත් සිදු වනු ඇත්තේ ජනාධිපතිවරණයෙන් පස්සේ.