Monday, August 5, 2024

බංග්ලාදේශය කොයිබටද?


ලංකාවේ අරගලය අවසන් විය හැකිව තිබුණු විකල්ප ආකාරයකට බංග්ලාදේශයේ අරගලය අවසන්ව තිබෙනවා. අගමැති ෂීක් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසුව නිල වශයෙන් රටේ තාවකාලික පාලනය හමුදාව විසින් භාර ගෙන ඇති අතර අරගලය මෙහෙයවූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විසින්ද රට පුරා පිහිටුවා ඇති ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු හරහා විකල්ප ක්‍රියාකාරිත්වයක් මෙහෙයවමින් සිටිනවා. 

සිසුන් විසින් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ඇතුළු වීමෙන් පසුව එහි වූ භාණ්ඩ "ජනසතු වූ" ආකාරය විවිධ මාධ්‍ය වල දැකිය හැකි වුනා. කෙසේ වුවත්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් මිනිස් බාධකයක් සාදා මෙම භාණ්ඩ පැහැරගෙන යාම වලක්වා, එසේ පැහැර ගෙන ගිය භාණ්ඩ විශාල ප්‍රමාණයක් නැවත ආපසු එකතු කරගෙන ඇති ආකාරයද දැකිය හැකි වුනා. එමෙන්ම මෙම අරගලය තුළ හා ඉන් පසුව ආගම්වාද හා ජාතිවාද, විශේෂයෙන්ම හින්දු විරෝධය, මතු වීමට එරෙහිවද සිසුන් දැඩි ස්ථාවරයක සිටිනවා. 

සිසුන්ගේ ඉල්ලීම පරිදි හා බලයේ සිටි අවාමි ලීගය හැර අනෙකුත් දේශපාලන පක්ෂ වල එකඟත්වයෙන් අන්තර්වාර පාලනයක් ඉතා ඉක්මණින් පිහිටුවීමට නියමිතයි. එහි නායකත්වය සඳහා පශ්චාත් මාක්ස්වාදී ශාස්ත්‍රාලයීය උගතෙකු, ලැකානියානු අදහස් පදනම් කරගත් විශ්ලේෂකයෙකු, පරිවර්තකයෙකු හා ලේඛකයෙකු වන සොලිමුල්ලා ඛාන්ව නම් කිරීමට නියමිතයි. ඔහු කාලයක් තිස්සේ උසස් අධ්‍යාපනය බෙංගාලි භාෂාවෙන් ලබා දීම වෙනුවෙන් පෙනී සිටින අයෙක්. තරුණ සිසුන් හා තරුණයින් අතර ඔහුගේ අනුගාමිකයින් විශාල පිරිසක් සිටිනවා. 

බංග්ලාදේශ අරගලයේ මුඛ්‍ය සටන් පාඨය වූයේ රැකියා කෝටා ක්‍රමය අහෝසි කිරීම වුවත් ඒ තුළ වෙනත් පුළුල් අරමුණු දැකිය හැකිව තිබුණා. ඉන්දියානු හා බටහිර ආධිපත්‍ය විරෝධයක්ද ගැබ්ව තිබුණු මේ අරගලය එහි ඇතැම් පාර්ශ්ව විසින් නම් කර තිබුණේ සැබෑ නිදහස් අරගලය ලෙසයි. එයින් අදහස් කෙරුණේ පකිස්ථානය සමඟ සටන් කර ලබා ගත් නිදහස ඉන්දියාවේ උවමනාවට සිදු වූ දෙයක් මිස සැබෑ නිදහස් අරගලයක් නොවූ බවයි. කෙසේ වුවත්, අරගලය මෙහෙයවූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අතර හින්දු සිසුන්ද දැකිය හැකි වුනා. එමෙන්ම පිහිටුවීමට නියමිත අන්තර්වාර පාලන කමිටුවටද හින්දු ආගමිකයින් කිහිප දෙනෙකු පත් කිරීමට යෝජනා වී තිබෙනවා. 

මෙම අරගලය සංවිධානය වූ  හා ගලා ගිය ආකාරයේ බොහෝ සමානකම් තිබුණත්, ලංකාවේ අරගලයට පාදක වූයේ ආර්ථික අර්බුදය නිසා, විශේෂයෙන්ම තෙල් පෝලිම් නිසා, ඇති වූ පීඩනයයි. බලයට පැමිණීමට පෙර ඒකාධිපතියෙකු වනු ඇතැයි බොහෝ අය විශ්වාස කළ හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ අරගලය හමුවේ ප්‍රදර්ශනය කළේ බොහෝ ඉවසිලිවන්ත ප්‍රවේශයක්. ඒ තත්ත්වය අවසානයේදී වෙනස් වන තුරුම ලංකාවේ අරගලය සාමකාමීව පැවතුනා.

මෙයින් වෙනස්ව ෂීක් හසීනා විසින් මුල සිටම අරගලය දැඩි ලෙස මර්දනය කිරීමට කටයුතු කළා. එය පාලනය කරගත නොහැකි මට්ටමකට ඔඩු දිවීමට මේ ප්‍රවේශයද හේතු වුනා. 

බංග්ලාදේශ අරගලය එහි දේශපාලනය හා රාජ්‍යයේ ස්වභාවය කෙලෙස වෙනස් කරනු ඇතිද යන්න විමසිල්ලෙන් බලා සිටිය යුතු දෙයක්. බංග්ලාදේශය තුළ ඉන්දියානු විරෝධී පාලනයක් ඇති වුවහොත් එය ඉන්දියාව තුන් පැත්තකින් කොටු වීමක් වෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ඉන්දියාවේ දකුණු දොරටුව ඉන්දියාවේ මෙන්ම ප්‍රති- ඉන්දියානු බලවේග වලද වැඩි අවධානයක් දිනා ගන්නට ඉඩ තිබෙනවා.

8 comments:

  1. බංගලි දේශයේ ජාතිවාදය පරාජයවී ඉස්ලාමීය ජාත්‍යන්තරවාදී රාජ්‍යයක් බවට පත්වේවා.

    ReplyDelete
  2. බංගලාදේශයේ ප්‍රධාන සංඝනායක අක්කරෙයිපත්තුවේ සෙයිබු නානා හාමුදුරුවන් හට කරදරයක් නැද්ද ඉකොනෝ

    ReplyDelete
  3. සමහරු මේක විග්‍රහ කරලා තිබුනෙ බංග්ලාදේශය රුසියානු ආධාර මත න්‍යෂ්ටික බලාගාර දෙකක් තැනීමට යාම ගැන අමෙරිකානු විරෝධයක් හැටියට.. එහෙම බැලුවොත් මේක බටහිර විරෝදී අරගලයක් වෙන්න බෑ.. ලංකාවෙ වගේම ඇමෙරිකානු කඳවුර විසින් සිය රූකඩ පාලකයෙක්ව පත් කර ගැනීම උදේසා කරවපු අරගලයක් වෙන්න පුළුවන්..සමහරුන්ගෙ මතයට අනුව මේක ඉන්දියාව විසින් සිය කලාපීය බලය තහවුරු කරගැනීම උදේසා කරවපු අරගලයක්..ඒකත් වෙන්න පුළුව්න් මොකද දැන් මුළු දකුණු ආසියාවෙන්ම ප්‍රශ්ණයක් නැතුව තියෙන්නෙ ඉන්දියාවෙ විතරයි. ඓතිහාසික භාරත රජ්‍ය‍ය සිහිනයට ඔවුන් පාර හදනවා වෙන්නත් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. "ලංකාවෙ වගේම ඇමෙරිකානු කඳවුර විසින් සිය රූකඩ පාලකයෙක්ව පත් කර ගැනීම උදේසා කරවපු අරගලයක්"????
      "ඉන්දියාව විසින් සිය කලාපීය බලය තහවුරු කරගැනීම උදේසා කරවපු අරගලයක්"???

      "වෙන්නත් පුළුවන්" කියල කිව්වාම. සාධක නැති කටකතා/ කොන්ස්පිරසි තියරි කැටගරියට නේද වැටෙන්නෙ? කොන්ස්පිරසි තියරිවල අවුලක් නෑ. ඒවත් තියෙන්නෙ ඕනෙ.

      බංගලාදේශය, ඉරාන අරගලය ගිය පාරේ නොයාවි කියල ප්‍රාර්ථනා කරමු.

      Delete
    2. Bangladesh is not unique in dealing with Indian interference. RAW is active throughout the neighborhood. India loves to play both sides in conflicts too (see Sri Lankan Civil War and Nepal Civil War). Whether it is Modi or the Gandhi family it doesn’t matter

      Bangladesh is not unique in dealing with Indian interference. RAW is active throughout the neighborhood. India loves to play both sides in conflicts too (see Sri Lankan Civil War and Nepal Civil War). Whether it is Modi or the Gandhi family it doesn’t matter

      https://www.reddit.com/r/bangladesh/comments/1ekx13o/comment/lgpu0ju/

      Delete
    3. සෙන්නා ගේ තියරි එකත් මම දෙතුන් තැනක දැක්ක . වැඩිපුරම ගෝටා වාදීන් ඉදිරිපත් කරන මතයක් . තරමක සත්‍යයක් තියෙන්නේ මෙහෙම . ඩයස් ගේ පෝරාව මහින්දල එලවන්න කැම්පේන් කළා හැම වෙලේම . �චීන රුසියානු බලපෑම එන්න දෙන්නේ නැති කතාවෙත් යම් සත්‍යයක් තිබෙනවා . මොකද දැන් BRICS එක බටහිරට තර්ජනයක් වෙලා ඉවරයි .

      Delete
  4. ලංකාවේ වගේම බන්ග්ලාදේශයේත් සිදු වූයේ හිසක් නැති අරගලයක් . ලංකාවේ පස්සේ සවිකළ හිස තමා රනිල් වික්‍රමසිංහ . කණගාටුවකට වගේ රනිල් එන්න තිබ්බේ 2005 මහින්ද වෙනුවට. දැන් නෙමේ , නමුත් ජවිපෙ අදත් කියන්නේ මහින්ද ආපු එක හරි බවයි . ඒත් පරාජය කරන්න හදන්නේ මහින්ද හා ඔවුන් පත් කරපු රනිල් . බංගලා දේශයේ එවැනි විකාරයක් නොවේවා කියා හිතමු .

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.