Monday, August 5, 2024

ඇස්තමේන්තු වෙනස් වෙන තවත් හේතු...


සුදත්තගේ අලුත්ම ජනමත විමසුම කරලා තිබුණේ හොරණදී. මේ වගේ මත විමසුම් විධිමත් සමීක්ෂණ ලෙස සැලකිය නොහැකි බව කලින් ලිපි වල පැහැදිලි කර තිබෙනවා. නමුත් හෙළකුරු මත විමසුමේදී හෝ FB මත විමසුමකදී මෙන් මේ වගේ මත විමසුමකට බලෙන් එකතු වෙන්න බැහැ. ඒ අතින් මෙවැන්නක් විධිමත් සමීක්ෂණයකට සමානයි.

සුදත්තගේ සමීක්ෂණයට සහභාගී විය හැක්කේ අදාළ කාලය තුළ, අදාළ තැන සිටින අයට පමණයි. ඒ නිසා, මේ මත විමසුමෙන් ඒ අයගේ ජනමතය බොහෝ දුරට නිවැරදිව පිළිබිඹු වෙනවා. ඒ අනුව, ප්‍රතිඵලය මෙවැන්නක්.

අනුර = 44 (22%)
සජිත් = 57 (29%)
රනිල් = 23 (11%)
ධම්මික පෙරේරා = 12 (6%)
වෙනත් 63 = (32%)

මෙම දත්ත වලින් පෙනෙන වැදගත් කරුණක් වන්නේ "වෙනත්" කොටස තවමත් තුනෙන් එකකට ආසන්න මට්ටමක ඇති බවයි. මේ මත විමසුම හා IHP සමීක්ෂණ අතර තිබෙන තවත් එක් සමානකමක් වන්නේ IHP සමීක්ෂණ මාදිලි දෙකේදීම සමීක්ෂකයා විසින් සෘජුව ජනමතය විමසනු ලැබීමයි. එය මුහුණට මුහුණ හෝ දුරකථනය හරහා සිදු විය හැකියි. මෙහිදී සමීක්ෂකයා විසින් ප්‍රතිචාර දක්වන්නා පිළිබඳ වැදගත් පෞද්ගලික තොරතුරු බොහොමයක්ද එකතු කර ගන්නවා. ප්‍රධානම වෙනස සුදා මෙන් ප්‍රතිචාර දක්වන අයව පොදු අවකාශයක නිරාවරණය නොකිරීමයි. 

"වෙනත්" කාණ්ඩයේ සිටින සියල්ලන්ම "අතීරක" ලෙස වර්ග කළ නොහැකි වුවත්, "අතීරක" සියල්ලන්ම සිටින්නේ "වෙනත්" කාණ්ඩය තුළයි. ඊට අමතරව තවත් පිරිස් මෙම කාණ්ඩය තුළ හඳුනා ගන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධානම කොටසක් වන්නේ "මුං ඔක්කොම හොරු!" කියන කොටසයි.

බැලූ බැල්මට පෙනෙන්නේ මොවුන් පවතින දේශපාලන ක්‍රමය ගැන කලකිරී සිටින පිරිසක් බව වුවත්, ඔවුන් හා සිදුකෙරෙන අමතර ප්‍රශ්න කිරීම් වලදී ලබා දෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නේ ඔවුන්ගෙන් සැලකිය යුතු කොටසක් මේ ප්‍රතිචාරය හරහා ප්‍රදර්ශනය කරන්නේ "හොරුන්ට දෙන්න එපා" කියන අදහස සමඟ ඔවුන් එකඟ නොවන බව බවයි. තවත් විදිහකින් කිවුවොත් මෙම ප්‍රතිචාරයේ තිබෙන්නේ "ඔය හැම එකාම හොරු නිසා හොරෙක්ද නැද්ද කියන එක අපිට එතරම් වැදගත් නෑ!" වැනි අදහසක් බවයි. ඒ වගේම මේ ගොඩේ ඉන්නේ "හොරුන්ට දෙන්න එපා" කියන අදහස සමඟ අනුගත වී පැත්තකට වූ කණ්ඩායමට එකතු නොවූ පිරිසක් බවත් අමතක කරන්න බැහැ. 

මෙවැනිම තවත් කණ්ඩායමක් වන්නේ "කවුරු ආවත් අපිට වැඩක් නැහැ!" කියන කොටසයි. ඔවුන්ව විනිශ්චය කිරීම වඩා අසීරුයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදය තුළ සිදු වන්නේ ඉහත කී කාණ්ඩ තුන ඇතුළු සියලුම "වෙනත්" අයගේ අභිලාශයන් තමන්ගේ අභිලාශ පවසා ඇති අය හා සසඳමින් ඇස්තමේන්තු කිරීමයි. එම ක්‍රමයේ එක් ප්‍රධාන දුර්වලතාවයක් පිළිබඳව පෙර ලිපියේ සාකච්ඡා කළා. 

පෙර කී පරිදි සුදත්තගේ සමීක්ෂණයට සහභාගී විය හැක්කේ අදාළ කාලය තුළ, අදාළ තැන සිටින අයට පමණයි. නමුත් ඒ ස්ථානය තෝරා ගන්නේ සුදත්ත විසින් නිසා ඔහුට ප්‍රතිඵලය කෙරෙහි බලපෑමක් සිදු වන අයුරින් තමන්ගේ නියැදිය තෝරා ගැනීමේ හැකියාවක් තිබෙනවා. හොරණ නියැදියේ වැඩිපුර දැකිය හැක්කේ මැදි වයස ඉක්මවූ අයයි. එමෙන්ම, කාන්තා නියෝජනය ඉහළ මට්ටමක තිබෙනවා.

මීට සාපේක්ෂව සුදත්තගේම මුල් නියැදි වල, උදාහරණයක් ලෙස නුගේගොඩ මත විමසුමේදී, කාන්තා නියෝජනය අඩු මට්ටමක පැවති අතර, වයසින් අඩු පිරිස් වැඩිපුර සහභාගී වනු දැකිය හැකි වුනා. ඇතැම් අය ඡන්දය දැමීමට පවා සුදුසුකම් නොලැබූ ලාබාල තරුණයින්. ඒ නිසා, මේ පෙර ප්‍රතිඵල හා අලුත් ප්‍රතිඵල සැසඳීමේදී නියැදි වල වෙනස්කම් පිලිබඳව සැලකිලිමත් වන්නට සිදු වෙනවා.

මෙවැනි ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදය තුළත් තිබේද?

පහත තිබෙන්නේ පසුගිය මාස කිහිපයක IHP සමීක්ෂණ නියැදියේ ප්‍රමාණයන්.

ජනවාරි - 649
පෙබරවාරි - 644
මාර්තු - 424
අප්‍රේල් - 473
මැයි - 617
ජූනි - 462

පෙබරවාරි මාසයේදී අනුරගේ ප්‍රතිශතය ඇස්තමේන්තු කර තිබුණේ 53% ලෙසයි. මාර්තු දත්ත ලැබීමෙන් පසුව එය 46% ලෙස සංශෝධනය කෙරෙනවා. මෙය 7%ක අඩු වීමක්. මීට අනුරූපව සජිත්ගේ පෙබරවාරි ඇස්තමේන්තුව වූ 34% මාර්තු මාසයේදී 39% ලෙස සංශෝධනය කෙරෙනවා. 

ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොවීනම් මෙහිදී සිදු වූයේ  මාර්තු මාසයේදී සජිත්ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් අනුරගේ ජනප්‍රියත්වය අඩු වීම නිසා බව අපට සැකයක් නැතිව තේරුම් ගන්න පුළුවන්. නමුත්, පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී නියැදියේ ප්‍රමාණය විශාල ලෙස අඩු වෙනවා. මෙයින් ප්‍රතිඵලයට බලපෑමක් විය නොහැකිද?

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියැදිය නියැදි දෙකක මිශ්‍රණයක්. එයින් එක් නියැදියක අලුත් වැඩිහිටියන් නියෝජනය නොවන නිසා සජිත්ට වාසිදායක හා අනුරට අවාසිදායක නැඹුරුවක් සහිත ප්‍රතිඵලයක් ලැබෙන්නට ඉඩ වැඩියි. මෙයින් වෙනස්ව දුරකථන නියැදියේ ප්‍රතිඵලයෙහි අනුරට වාසිදායක හා සජිත්ට අවාසිදායක ප්‍රතිඵලයක් පෙනෙන්නට වැඩි ඉඩක් තිබෙනවා.

මුහුණට මුහුණ සමීක්ෂණ සඳහා යොදා ගන්නේ කලින් තෝරා ගත් පිරිසක් බැවින් එම නියැදිය බොහෝ දුරට ස්ථිර ප්‍රමාණයක නියැදියක් බව මගේ අදහසයි. එය එසේනම් නියැදියේ ප්‍රමාණය අඩු වැඩි වන්නේ ජංගම දුරකථන මත විමසුම් ප්‍රමාණය අනුව විය හැකියි. මේ නියැදියේ ප්‍රමාණය විශාල වෙද්දී ප්‍රතිඵලය අනුරට වාසිදායක පැත්තටත්, කුඩා වෙද්දී සජිත්ට වාසිදායක ලෙසත් වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. මා මෙයින් අදහස් කරන්නේ IHP ආයතනය විසින් හිතාමතා එවැන්නක් කරන බව නෙමෙයි. නමුත් ක්‍රමවේදය අනුව මෙවැන්නක් සිදු වීමේ හැකියාවක් තිබෙනවා.

අප්‍රේල් ප්‍රතිඵල අනුව, සජිත් මෙන්ම අනුරද සිටින්නේ 39% මට්ටමේ. මැයි මාසයේ දත්තය එකතු වීමෙන් පසුව අනුරගේ අප්‍රේල් ප්‍රතිශතය 41% දක්වා ඉහළ ගොස්, සජිත්ගේ ප්‍රතිඵලය 38% දක්වා අඩු වෙනවා. මෙයට හේතු වූයේ මැයි මාසයේදී නියැදියේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාමද?

ජූනි මාසයේදී නියැදියේ ප්‍රමාණය නැවතත් පහත වැටෙනවා. ඊට අනුරූපව අනුරගේ පෙර මාසයේ ඇස්තමේන්තුව 3%කින් පහත වැටී, සජිත්ගේ එම ඇස්තමේන්තුව 1%කින් වැඩි වෙනවා. 

මේ කරුණ වැදගත් වන්නේ ඉදිරි මාසයේදී නියැදියේ ප්‍රමාණය විශාල කරන්නට අපේක්ෂා කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සඳහන් කර තිබුණු නිසයි. බොහෝ විට සිදු විය හැකි පරිදි, මෙසේ වැඩි කෙරෙන්නේ ජංගම දුරකථන නියැදියනම්, මහ පොළොවේ තත්ත්වයන්හි කිසිදු වෙනසක් සිදු නොවුනත්, අනුරගේ ප්‍රතිශතය තරමක් ඉහළ ගොස් සජිත්ගේ ප්‍රතිශතයේ අඩු වීමක් විය හැකියි. ඒ සමඟම, රනිල්ගේ ප්‍රතිශතයේද යම් ඉහළ යාමක් සිදු වෙනවා.

කෙසේ වුවද, මහ පොළොවේ තත්ත්වයන් අනුව සිදු විය හැකි වෙනස්කම් නිසා ඇස්තමේන්තු වල ඉහත තත්ත්වය පැහැදිලිව නොපෙනෙන්න පුළුවන්. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මෙතෙක් ඔවුන්ගේ ඇස්තමේන්තු ප්‍රසිද්ධ කළේ මසකට වරක්, මසක කාල පමාවක් ඇතිවයි. මේ රටාව අනුව, සැප්තැම්බර් මාසය මුලදී ජූලි ප්‍රතිඵලය ප්‍රසිද්ධ කෙරෙනු ඇති අතර සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජූලි ප්‍රතිඵලය දැනටමත් ඔවුන් සතුව තිබෙනවා. අලුතෙන් දත්ත එකතු කර ඇස්තමේන්තු කරන්නට සිදු වන්නේ අගෝස්තු ප්‍රතිඵලයයි. ජූලි මාසයේදී නියැදිය කොපමණ විශාල කර ඇත්ද යන්න දැනගන්නට ලැබෙන්නේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කළ පසුවයි.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.