Sunday, September 29, 2024

බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි?

 



බිත්තර ආප්ප වැනි කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා බිත්තර වැනි අමුද්‍රව්‍යයක මිල වැඩි වෙද්දී අදාළ නිෂ්පාදනයේ මිල වැඩි වන නමුත් අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී එසේ වැඩි වූ මිල නැවත පෙර මට්ටමටම නොපැමිණෙන්නේ ඇයි?

කෙටි පිළිතුර, මීට හේතුව උද්ධමනය බවයි. එහෙමත් නැත්නම් උද්ධමනය කියන්නේ මෙයට බවයි.

එහෙමනම් දැන් උද්ධමනයක් නැති තත්ත්වයක් යටතේදී, බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි?

නැවතත් කෙටි පිළිතුරක් ලබා දුනහොත්, බිත්තර ආප්ප මිල ඉහළ ගියේ උද්ධමනය පැවති විටයි. එම මිල අඩු වීමටනම් ඊට සමාන අවධමනයක් සිදු විය යුතුයි. උද්ධමනය නැවතීම ප්‍රමාණවත් නැහැ. උද්ධමනය කියන්නේ රටේ සමස්ත මිල ආකෘතියම උස් තැනක ස්ථානගත වීමක්. එසේ ස්ථානගත වන මිල ආකෘතිය උද්ධමනය පාලනය කිරීමෙන් පසුව නැවත පහත වැටෙන්නේ නැහැ. 

කලින් සැලසුම් කර උද්ධමනය වලක්වා ගත යුත්තේ ඒ නිසා. අස්සයා පැන ගියාට පසුව ඉස්තාලය වැසීම මගින් කළ හැක්කේ පැන නොගිය අස්සයින්ද පැන යාම වලකා ගැනීම පමණයි. ගිය අස්සයා ගිහින් ඉවරයි. නැවත ආපසු එන්නේ නැහැ. 

පහත ලිපිය 2018 මැයි 11 පළ කළ ලිපියක්. දැන් කියවද්දී තවත් සරල කර ලිවුවානම් හොඳයි කියා හිතුණත් ඒ සඳහා වෙලාවක් වෙන් කරන්න අසීරු නිසා එලෙසම පළ කරනවා.

Saturday, September 28, 2024

අලුත් ආණ්ඩුව තවත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවාද?

දැන් තවත් අලුත් බැච් එකක් (දැන් භාෂාවෙන්නම් බැජ් එකක්) ආර්ථිකය ගැන ඉගෙන ගනිමින් ඉන්නවා. මෙය ඔවුන් වෙනුවෙන් ලියන, මූලික සංකල්ප පැහැදිලි කෙරෙන ලිපියක්. කාලයක් මෙහි පළ කෙරෙන දේවල් කියවන අයට මෙහි අලුත් දෙයක් නැතිව ඇති. මේ දේවල්ම මීට පෙර වරින් වර පැහැදිලි කර තිබෙනවා.

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවාද?

භාණ්ඩාගාර බිල්පත් කියා කියන්නේ ශ්‍රී ලංකා රජයේ (සහ වෙනත් රටවල රජයන්හි) කෙටිකාලීන ණය උපකරණයක්. ඒ කියන්නේ රජය කෙටිකාලීන ණය ලබා ගන්නා ක්‍රමය. හරියටම කිවුවොත් ප්‍රධානම ක්‍රමය. මේ ක්‍රමයට රජය විසින් උපරිම වශයෙන් වසරක් දක්වා කාලයක් සඳහා ණය ලබා ගන්නවා. වසරකට වඩා වැඩි කාලයකට ණය ලබා ගන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින්. 

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ශ්‍රී ලංකා රජය විසින් කොපමණ ණය ලබාගෙන තිබෙනවාද?

මෙම වසරේ මැද (ජූනි 30) වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන තිබුණු මුළු ණය ප්‍රමාණයේත්, ශ්‍රී ලංකා රජය ඇප වී ලබා ගෙන තිබුණු ණය ප්‍රමාණයේත් මුළු එකතුවේ ඩොලර් අගය මිලියන 100,646ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 100කට වඩා වැඩියි. නමුත් එයින් අදහස් වන්නේ මේ සියළුම ණය විදේශ ණය බව හෝ ඩොලර් වලින් ලබාගෙන තිබෙන ණය බව නෙමෙයි.

ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 5,618ක් ශ්‍රී ලංකා රජයේ ඇප වීම මත වෙනත් ආයතන (උදාහරණයක් ලෙස තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රීලංකන් ගුවන් සේවය, සතොස, ධීවර සංස්ථාව වැනි රාජ්‍ය සංස්ථා) විසින් ලබා ගෙන ඇති ණයයි. ඒ අනුව, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 95,028ක්. එයින් 60%කට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් ඩොලර් මිලියන 57,246කට සමාන ණය ප්‍රමාණයක්, මධ්‍යම රජය විසින් ලබාගෙන තිබුණු රුපියල් ණයයි. 

ඉහත සඳහන් මධ්‍යම රජයේ රුපියල් ණය වලින් වැඩි ප්‍රමාණය ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගිනුයි. එම ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 41,920ක්. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබාගෙන තිබුණු රුපියල් ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 12,739ක්. රුපියල් වලින් බිලියන 3,894.5ක්. පසුගිය (2024 අගෝස්තු) මාසය අවසන් වන විට මෙම ප්‍රමාණය රුපියල් බිලියන 3,921.5 දක්වා ඉහළ ගොස් තිබුණා. මෙම ණය උපරිම වශයෙන් වසරක කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතුයි.

ආපසු ගෙවිය යුත්තේ ණය පමණද? පොලිය ගෙවිය යුතු නැද්ද?

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ණය ගැනීමේදී සිදුවන ක්‍රියාවලිය සරල ණයක් ලබා ගැනීමේදී සිදුවන ක්‍රියාවලියට වඩා වෙනස්. මෙහිදී ණය ප්‍රමාණය යන්නෙන් අදහස් වන්නේ පොලියද ඇතුළත්ව ආපසු ගෙවිය යුතු මුළු මුදලයි. තේරුම් ගැනීමේ පහසුව පිණිස ඕනෑවට වඩා සරල කළහොත්, භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නා අයෙකු රජයට ණය දෙන්නේ ගෙවිය යුතු පොලිය කලින්ම අඩු කර ගෙනයි. 

රජය විසින් රුපියල් බිලියන 3,921.5ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇතත්, එයින් අදහස් වන්නේ ඊට සමාන මුදලක් රජයට ලැබී ඇති බව නෙමෙයි. රජයට ඇත්තටම ලැබී තිබෙන්නේ මීට වඩා අඩු මුදලක්. මෙම මුදල පොලියද ඇතුළත්ව රජය විසින් ආපසු ගෙවිය යුතු මුදලයි. එම මුදල භාණ්ඩාගාර බිල්පතක "මුහුණත අගය" ලෙස හැඳින්වෙනවා. 

භාණ්ඩාගාර බිල්පත් පොලිය තීරණය වෙන්නේ කොහොමද?

භාණ්ඩාගාර බිල්පත් පොලිය තීරණය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී. සාමාන්‍යයෙන් සතියකට වරක් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනවා. එහිදී ගැනුම්කරුවන්ට වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා ලන්සු ඉදිරිපත් කළ හැකියි. 

උදාහරණයක් ලෙස රුපියල් බිලියන 100ක මුහුණත අගයක් ඇති භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසියට ඉදිරිපත් කළා කියා අපි හිතමු. මෙයින් අදහස් වන්නේ බිල්පතක් "කල් පිරීමේදී" ආපසු ලැබෙන මුදලයි. "කල් පිරීම" යන්නෙන් අදහස් වන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබා ගන්නා ණය හා පොලිය එක වර ආපසු ගෙවන දිනය ලඟා වීමයි. 

කල් පිරෙන විට රුපියල් 100ක් ලබා ගැනීම සඳහා ගැනුම්කරුවෙකු විසින් ගෙවන්නට කැමති වන්නේ රුපියල් 100කට වඩා අඩු මුදලක්. එම මුදල රුපියල් 80ක්, 90ක් හෝ 95ක් වැනි රුපියල් 100ට වඩා අඩු ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. 

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන ගැනුම්කරුවෙකුට ලැබෙන පොලී අනුපාතය තීරණය වන්නේ වක්‍ර ලෙසයි. උදාහරණයක් ලෙස වසරකින් කල් පිරෙන රුපියල් 100ක බිල්පතක් රුපියල් 80කට වෙන්දේසියෙන් මිල දී ගන්නා අයෙකුට වසර අවසානයේදී තමන්ගේ ආයෝජනය වෙනුවෙන් රුපියල් 20ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එය 25%ක (=20/80*100%) වාර්ෂික පොලියක් ලැබීමට සමානයි. නමුත් එම බිල්පතම රුපියල් 95ක් ගෙවා වෙන්දේසියෙන් මිල දී ගත්තේනම් ලැබෙන වාර්ෂික පොලිය 5.26%කට (=5/95*100%) සීමා වෙනවා. 

භාණ්ඩාගාර බිල්පත් පොලී ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන වචනය "ඵලදා අනුපාතය" යන්නයි. ඊට හේතුව, ලැබෙන ප්‍රතිලාභය එක් එක් පුද්ගලයා විසින් බිල්පත මිල දී ගැනීමේදී ගෙවූ මුදල මත තීරණය වන්නක් වීමයි. වෙනත් අයුරකින් කිවුවොත් තමන්ගේ අරමුදල් කොයි තරම් ඵලදායී ලෙස ආයෝජනය කර ඇත්ද යන්න මෙයින් නිර්ණය වන නිසා. 

වෙන්දේසියේදී සිදුවන්නේ රුපියල් 100ක මුහුණත අගයක් සඳහා වැඩිම මුදලක ලංසු ඉදිරිපත් කරන ගැනුම්කරුවන්ට බිල්පත් නිකුත් කිරීමයි. එනම්, අඩුම ඵලදා අනුපාතයක් භාර ගන්නා ගැනුම්කරුවන්ට බිල්පත් විකිණීමයි.

ඉදිරියේදී වෙනස් වීමට නියමිතව ඇතත්, තවමත් රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පවත්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. ඇතැම් අවස්ථා වලදී වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ලංසු වල මිල බොහෝ අඩුනම් (එනම් අපේක්ෂා කරන ඵලදා අනුපාතිකය බොහෝ වැඩිනම්) සහ රජයට තාවකාලිකව රෝලක් ගසා ගැනීමේ හැකියාවක් ඇත්නම්, වෙන්දේසියට ඉදිරිපත් කරන බිල්පත් වලින් කොටසක් හෝ මුළු ප්‍රමාණයම නොවිකුණා සිටින අවස්ථාද දැකිය හැකියි.

භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැක්කේ කාටද?

මුලින්ම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරද්දී ඒවා සෘජුව මිල දී ගත හැක්කේ වාණිජ බැංකු, ප්‍රාථමික ගැනුම්කරුවන්, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන කිහිපයකට පමණයි. එහෙත්, වාණිජ බැංකු හා ප්‍රාථමික ගැනුම්කරුවන් හරහා වෙනත් ඕනෑම ආයතනයකට හෝ පුද්ගලයෙකුට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැකියි. 

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ලබා ගන්නා අරමුදල් වලින් කරන්නේ කුමක්ද?

මෙම අරමුදල් පරණ ණය හා පොලී ගෙවීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය සංස්ථා වල පාඩු පියවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, සුබසාධන වියදම් වැනි විවිධ කාර්යයන් සඳහා රජයට යොදාගත හැකියි. මෑතකාලීන ප්‍රවණතා දෙස බැලුවහොත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය සංස්ථා වල පාඩු පියවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, සුබසාධන වියදම්  වැනි දේ සඳහා බදු ආදායම් වෙන් කර ඇති බැවින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ලබා ගන්නා අරමුදල් වලින් තනිකරම වාගේ සිදු කර ඇත්තේ පරණ ණය හා පොලී ගෙවීමයි.

සෑම සතියකම මෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමක් සිදු වන බැවින්, සෑම සතියකම මෙන් භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමක්ද සිදු වෙනවා. උදාහරණයක් ලෙස ඊයේ (සැප්තැම්බර් 27) දින රුපියල් බිලියන 114.6ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් කල් පිරීමට නියමිතව තිබුණා. ඒ කියන්නේ රජය විසින් ඊට සමාන මුදලක් ආයෝජකයින්ට ගෙවිය යුතුයි.

මෙසේ රුපියල් බිලියන 114.6ක මුදලක් භාණ්ඩාගාර බිල්පත් ආයෝජකයින්ට ආපසු ගෙවීමටනම්, එම මුදල රජයට ලැබෙන ක්‍රමයක්ද තිබිය යුතුයි. බදු හරහා රජයට ආදායමක් ලැබෙන නමුත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය සංස්ථා වල පාඩු පියවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, සුබසාධන වියදම් වැනි විවිධ කාර්යයන් සඳහා එම මුදල් වැය කිරීමෙන් පසුව ණය හා පොලී ගෙවීම සඳහා වැය කළ හැකි තරමේ ඉතිරියක් වෙන්නේ නැහැ. ඒ නිසා, රජයේ එදිනෙදා වියදම් බදු වලින් පියවා ගත්තේ වුවද, පරණ ණය හා පොලී ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්නට සිදු වෙනවා. ඒ සඳහා භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කරන්නට සිදු වෙනවා. මේ ණය චක්‍රයෙක් පහසුවෙන් ගැලවෙන්න බැහැ.

කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවිය යුත්තේ රුපියල් බිලියන 114.6ක මුදලක් පමණක් වුවත්, එපමණ මුදලක බිල්පත් අලුතෙන් නිකුත් කිරීමෙන් පමණක් මෙම අරමුදල් ප්‍රමාණය එකතු කර ගැනීමේ හැකියාවක් නැහැ. ඊට හේතුව, රුපියල් බිලියන 114.6ක මුහුණත අගය ඇති බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර රජයට ලබා ගත හැකි මුදල ඊට වඩා අඩු මුදලක් වීමයි. කලින් විස්තර කළ පරිදි, මෙම ක්‍රමයේදී ආයෝජකයින් විසින් රජයට මුදල් ලබා දෙන්නේ අනාගතයේදී ලැබිය යුතු පොලිය කලින්ම අඩු කරගෙනයි. ඒ නිසා, රුපියල් රුපියල් බිලියන 114.6ක මුදලක් එකතු කර ගැනීම සඳහා ඊට වඩා වැඩි බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කරන්නට සිදු වෙනවා. ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 25 දින රජය විසින් රුපියල් බිලියන 120ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර තිබෙනවා. 

මේ අයුරින් සැප්තැම්බර් 25 දින වෙන්දේසි කළ බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 70ක් දින 91කිනුත්, රුපියල් බිලියන 40ක් දින 182කිනුත්, ඉතිරි රුපියල් බිලියන 10 දින 364කිනුත් කල් පිරෙනවා. එසේ කල් පිරෙද්දී අදාළ මුදල් ආපසු ගෙවීම සඳහා අරමුදල් සොයා ගන්නට සිදු වන්නේ මෙම ප්‍රමාණ වලටත් වඩා වැඩියෙන් ණය ගැනීම මගිනුයි. වෙන ක්‍රමයක් නැහැ. මේක ණය චක්‍රයක්!

මේ ණය චක්‍රයෙන් ගැලවෙන්න කිසිම ක්‍රමයක් නැද්ද?

එය කළ හැකි ක්‍රමය හැකි තරමින් රජයේ ආදායම් වැඩි කරගෙන හා රජයේ වියදම් සීමා කරගෙන ටිකෙන් ටික හෝ ණය ගෙවීමයි. දිගටම අඛණ්ඩව එසේ කරන්නේනම් ණය ප්‍රමාණය ටිකෙන් ටික අඩු වී යනවා. එහෙම කළත්, ණය ගෙවා ඉවර කරන්නනම් අවම වශයෙන් අවුරුදු විසිපහක්වත් යයි. තව අවුරුදු දහයක්වත් යන තුරු අනිවාර්යයෙන්ම සිදු වන්නේ තිබෙන ණය ප්‍රමාණය වසරින් වසර ඉහළ යාමයි. 

ණය තිරසාරත්වය ඇති කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ රජයේ ආදායමෙන් යම් කොටසක් ඉතිරි කරගෙන ණය ගෙවීම සඳහා යෙදවීම මගින් හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උදවුවෙන් වාර්ෂිකව රජය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය සහ පොලිය දරාගත හැකි මට්ටමක් දක්වා අඩු කර ගැනීමයි. 

Wednesday, September 25, 2024

රජයේ අඛණ්ඩත්වය, දිශානතිය හා අලුත් ලේකම් පත්වීම්


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුතෙන් ඇමති මණ්ඩලයක් හා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබෙනවා. ඇමති මණ්ඩලය පත් කිරීම හා අදාළව ඔහුට විශාල තේරීමක් කිරීමේ අවකාශයක් තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායකගේ හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරයාද ඇතුළුව පාර්ලිමේන්තුව තුළ ඔහුගේ කණ්ඩායම නියෝජනය කළේ තිදෙනෙක් පමණයි. 

දැන් මේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පැවති අමාත්‍යාංශ වල පාලනය භාරගෙන තිබෙනවා. ඒ තිදෙනාගෙන් අයෙක් වන හරිනි අමරසූරිය අගමැති සේ පත් වී තිබෙනවා. මහ මැතිවරණය අවසන්ව අලුතෙන් ආණ්ඩුවක් පත් වන තුරු ශ්‍රී ලංකා රජයේ ඉහළම ස්ථරය වන්නේ මේ හතර දෙනාගේ කණ්ඩායමයි. ඔවුන්ට සුබ පැතුම්!

මේ තත්ත්වය අනපේක්ෂිත තත්ත්වයක් නෙමෙයි. අනුර කුමාර දිසානායක ජනාධිපති සේ පත් වීමෙන් අනතුරුව ජනාධිපති හා අගමැති ඇතුළු හතර දෙනෙකු විසින් අමාත්‍යංශ ලේකම්වරුන් මගින් රජය පවත්වා ගෙන යන බව කලින්ම කියා තිබුණු දෙයක්. එම අවස්ථාවේදී එය වැරදි ලෙස අර්ථකථනය කළ තැන්ද දැකිය හැකි වුනත්, මෙය ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩත්වය පවත්වා ගත හැකිව තිබුණු සාමාන්‍ය ආකාරයයි.

ශ්‍රී ලංකා රජය කියන්නේ ජනාධිපති, අගමැති හා අමාත්ය මණ්ඩලය නෙමෙයි. ඔවුන් විධායකයේ ඉහළම ස්ථරය වුවද ප්‍රායෝගිකව ඇත්තටම රට පාලනය කරන්නේ අමාත්‍යංශ ලේකම් වරුන් විසිනුයි. එයින් ඉහළ තලයේදී බොහෝ දුරට සිදු වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තීන්හි දිශානතිය තීරණය කිරීම හා මහජන සන්නිවේදනයයි. ඇත්තටම රාජ්‍ය පාලනය සිදු වන්නේ අමාත්‍යංශ ලේකම් වරුන් අතින් වුවත් එහි වගකීම ගන්නේත්, ගෞරවය ලබන්නේත්, දෝෂාරෝපණ ලබන්නේත් අමාත්‍යවරයායි.

මේ අනුව, අවසාන වශයෙන් රාජ්‍ය පාලනය කරන්නේ අමාත්‍ය වරුන් මිස අමාත්‍යංශ ලේකම් වරුන් නොවන බව කිව හැකි අතර එය තාක්ෂනිකව නිවැරදියි. එහෙත් මහජනතාව විසින් හදිසියේ තෝරා පත් කර එවනු ලැබ අමාත්‍ය වරයෙකු වන අයෙකුට ඒ සඳහා පළපුරුද්දක් නැහැ. ඒ නිසා ඔවුන්ට "වැඩ පුහුණු වන්නට" සිදු වන්නේ අමාත්‍යංශ ලේකම් වරුන්ගේ උදවුවෙනුයි. 

රාජ්‍ය පාලනයෙහි යෙදුනු දේශපාලන පක්ෂ විසින් සාමාන්‍යයෙන් කෙනෙකු අමාත්‍ය ධුරයකට පත් කර තිබෙන්නේ මුලින් නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් ලබා දී පුහුණු වන්නට ඉඩ හැරීමෙන් පසුවයි. එසේ පුහුණු වී පසුව අමාත්‍ය වරයෙකු සේ වාර ගණනක් කටයුතු කර ඇති අයෙකුට ආරම්භයේ සිටම අමාත්‍යංශ ලේකම්වරයෙකුට උපදෙස් හෝ නියෝග දීමට මෙන්ම අලුතෙන් පුද්ගලයෙකු අමාත්‍යංශ ලේකම් සේ පත් කරගෙන ඔහු හරහා අමාත්‍යාංශය පාලනය කරන්න වුනත් පුළුවන්.

මෙවර රාජ්‍ය පාලනය භාර ගෙන තිබෙන්නේ සාපේක්ෂව අලුත්ම කණ්ඩායමක්. ඔවුන්ට ප්‍රධාන දේශපාලන පක්ෂ සතු වූ පළපුරුද්දේ වාසිය නැහැ. ඒ නිසා, අඩු වශයෙන් යම් කලයක් යන තුරු අමාත්‍යාංශ ලේකම් වරුන් මත යැපෙන්නට සිදු වෙනවා. (ඇතැම් විට අමාත්‍යාංශ වල කටයුතු අධීක්ෂණය කිරීම සඳහාත්, "වැඩ පුහුණු වීම" සඳහාත් නිල නොවන මට්ටමින් "සෙවනැලි ඇමතිවරුන්" පත් කිරීමක් දැනටමත් සිදු වී හෝ සිදු කිරීමට සැලසුම් වී තිබෙනවා විය හැකියි.)

මේ වන විට අලුතෙන් පත් කර තිබෙන අමාත්‍යංශ ලේකම් වරුන් කිහිප දෙනෙකු හැරුණු විට වැඩි පිරිසක් එම තනතුරු වල කලින් සිටි අයමයි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වැනි තනතුරු සඳහා තමන්ට විශ්වාසදායක අයෙකු පත් කර ගැනීම තේරුම් ගත හැකි හා තාර්කික දෙයක්. අනෙකුත් බොහෝ අමාත්‍යංශ ලේකම් තනතුරු වල කිසිදු වෙනසක් සිදු කර නැහැ. එයින් අදහස් වන්නේ රජයේ කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු වනවා යන්නයි.

රටේ ආර්ථිකය දැනට පවතින තත්ත්වය තුළ වැදගත්ම තනතුරු දෙකක් වන්නේ මහ බැංකු අධිපති ධුරය හා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයයි. මෙයින් මහ බැංකු අධිපති ධුරය ආණ්ඩු මාරු වෙද්දී වෙනස් වන්නක් නොවෙයි. අලුත් මහ බැංකු පණත ක්‍රියාත්මක වන්නට පෙරද පැවතියේ මේ තත්ත්වයයි. ආණ්ඩු මාරු වීමෙන් පසුව අලුත් මහ බැංකු අධිපති වරයෙකු පත් කරනු ලැබූයේ හිටපු අධිපති වරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුවයි.

කෙසේ වුවද, මෑත කාලයේදී මේ සම්ප්‍රදාය බිඳී ගියා. පළමුව, අධිපති කබ්රාල් විසින්ද ඉන් පසුව අධිපති කුමාරස්වාමි විසින්ද තමන්ගේ ධුර කාල අවසන් වීමට පෙර සිදු වූ ආණ්ඩු මාරු වලින් පසුව අළුත් ආණ්ඩුවට කැමති අධිපතිවරයෙකු පත් කිරීමට ඉඩ සලසමින් ධුරයෙන් ඉල්ලා අස් වුනා. එය වැරදි ආදර්ශයක්. තමන්ගේ පත් වීම දේශපාලන පත්වීමක් නොව වෘත්තීය පත්වීමක් බැව් සලකන්නේනම්, නෛතික ප්‍රතිපාදන අනුව ධුර කාලය ඉතිරිව තිබේනම්, ආණ්ඩු මාරු වෙද්දී එසේ ඉල්ලා අස්විය යුතු නැහැ. කෙසේ වුවත්, මේ අවස්ථා වලදී තිරයෙන් පසුපස සිදු වූ දේ අප දන්නේ නැහැ.

ආණ්ඩුව මාරු වූ පමණින් නන්දලාල් වීරසිංහ කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු නැහැ. එසේ කරන්නේනම් එය හිතාමතාම මහ බැංකු ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමක්. විශේෂ හේතු නැත්නම්, ආණ්ඩුවට ඔහුව ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාවක්ද නැහැ. එහෙත් "ක්‍රම සහ විධි" වලින් එසේ කිරීම නොකළ හැක්කක් නෙමෙයි. ආණ්ඩුව එසේ කරන්නට උත්සාහ කර ඇති බවක් කිසිසේත්ම පෙනෙන්නේ නැහැ.

මීට සාපේක්ෂව මුදල් අමාත්‍යංශ ධුරය සඳහා අලුතෙන් අයෙකු පත් කිරීම ආණ්ඩුවක් වෙනස් වෙද්දී සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. මේ අවස්ථාවේදී එවැන්නක්ද සිදු වීද නැහැ. හිටපු ලේකම් මහින්ද සිරිවර්ධනවම නැවත එම ධුරයෙහි හිඳුවා තිබෙනවා.

දැනට සාර්ථකව ක්‍රියාත්මක වන ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ හා අදාළව විශාල කාර්යභාරයක් ඉටු කළේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනයි. මෙම තනතුරු වෙනස් නොකිරීම මගින් පෙනෙන්නේ ආර්ථිකය අවදානමේ වැටෙන ආකාරයේ ලොකු අවදානමක් නොගන්නට අලුත් ආණ්ඩුව අඩු වශයෙන් ආරම්භයේදී හෝ පරිස්සම් වී ඇති බවයි.

දැනට මුදල් අමාත්‍යාංශ ධුරය භාරගෙන තිබෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්මයි. මා හිතන පරිදි දැනට රජයේ ඉහළ ස්ථරයේ සිටින සිවුදෙනා අතරින් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේද ඔහුයි. රටේ ආර්ථිකය හා අදාළව මුදල් අමාත්‍යංශ ලේකම් සමඟ සන්නිවේදනයක් කළ හැකි තරමේ හැකියාවක් ඔහු සතුව තිබෙනවා. එවැනි හැකියාවක් නොතිබුණු අයද මීට පෙර මෙම ධුරය දරා තිබෙනවා. කෙසේ වුවත්, ඔහුට ජනාධිපති සේ කටයුතු කරන අතර මුදල් ඇමති ධුරයේ කටයුතු වෙනුවෙන් වෙන් කිරීම සඳහා කොපමණ කාලයක් යෙදවිය හැකි වේද යන්නත් ගැටලුවක්. 

අලුත් ආණ්ඩුව විසින් කළ යුතු ප්‍රමුඛ කාර්යයක් වන්නේ ඉදිරි වසර සඳහා අයවැය සකස් කිරීමයි. එය සම්මත කරගැනීම සිදු වනු ඇත්තේ මහ මැතිවරණයෙන් පසුව වුවත් ඊට පෙර කළ යුතු කාර්යයයන් දැන් සිටම කරන්නට සිදු වෙනවා. මේ දේවල් කළ යුත්තේ මුදල් ඇමතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම් වරයා එකතුවයි. 

මෙහිදී මුදල් ඇමතිවරයාගේ කාර්ය භාරය වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා නිවැරදිව අමාත්‍යංශ ලේකම් වෙත සන්නිවේදනය කර ඒවා ක්‍රියාත්මක කළ හැකි ආකාරය විමසා බැලීමයි. මහජන මතය තිබෙන්නේ අනෙක් සියල්ලකටම උඩින්. 

එසේ වුවද, මහජන මතය කුමක් වුවත්, ඉක්මවිය නොහැකි තාක්ෂනික සීමාවන් කිසිසේත්ම ඉක්මවිය නොහැකියි. අමාත්‍යාංශ ලේකම් වරයෙකුගේ වගකීම වන්නේ තාක්ෂණික සීමාවන්ට යටත්ව, ආණ්ඩුවක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා හැකි තරමින් පහසුකම් සැලසීමයි. සාමාන්‍යයෙන් ආණ්ඩුවකට අමාත්‍යාංශ ලේකම් වරයෙකු ඉවත් කරන්නට සිදු වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය එම සහයෝගය නොලැබෙන විටයි.

ඇතැම් විට හිටපු අමාත්‍යංශ ලේකම් වරුන්ම නැවත පත් කිරීම අලුත් ආණ්ඩුව විසින් "වැඩ අල්ලා ගන්නා තුරු" සිදු කරන දෙයක් වෙන්න පුළුවන්. එය එසේනම්, මහ මැතිවරණයෙන් පසුව සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලයක් පත් කර යම් පුහුණුවක් ලබා ගැනීමෙන් අනතුරුව තමන්ට අවශ්‍ය පුද්ගලයින් අමාත්‍යංශ ලේකම් තනතුරු වලට පත් කරගන්නට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, ආණ්ඩුවට අවශ්‍ය කාර්යයයන් දැනට සිටිනා නිලධාරීන් හරහාම සිදු වේනම් එවැනි අවශ්‍යතාවයක් නොපෙනී යා හැකියි.

මගේ පෞද්ගලික අදහස වනුයේ මැතිවරණයට පෙරම ඉදිරි වසර සඳහා අයවැය සකස් කිරීමේ කාර්යය තුළ මුදල් ඇමති ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යංශ ලේකම් වරයා අතර හොඳ සම්බන්ධයක් ගොඩ නැගෙනු ඇති බවයි. 

හිටපු ලේකම් වරුන්ම එම ධුරයින්හි හිඳුවීම මහ මැතිවරණය අවසන් වන තුරු ගෙන ඇති "කරපිංචා" ප්‍රවේශයක්ද? මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට තවමත් කල් වැඩියි.

අමාත්‍යංශ ලේකම් තනතුරු සේ හැඳින්වුවත් මේ සියලුම තනතුරු එක සේ සමාන නැහැ. ඇතැම් තනතුරු සඳහා ආදේශක සොයා ගැනීම සාපේක්ෂව පහසු වැඩක්. එහෙත්, මුදල් අමාත්‍යංශ ලේකම් වැනි තනතුරක් සඳහා එසේ පහසුවෙන් ආදේශකයක් සොයා ගැනීමේ හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි කාර්යයක් සාර්ථක ලෙස සිදු කළ හැක්කේ දශක ගණනාවක ප්‍රායෝගික පළපුරුද්දක් ඇති අයෙකුට පමණයි. මෙතෙක් මේ තනතුර දරා ඇති සියල්ලන්ම පාහේ එවැනි අයයි.

කෙසේ වුවත්, ආණ්ඩුවකට සිය අභිමතය පරිදි කවර හෝ ආදේශකයක් සොයා ගැනීමට බැරිකමක් නැහැ. පසුගිය දශක කිහිපය ඇතුළත මහ බැංකු අධිපති ධුරය කිහිප වරක්ම මේ පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබෙනවා. එම පරීක්ෂාවන්හි ප්‍රතිඵල පිළිබඳව මා සමාලෝචන කරන්න යන්නේ නැහැ.

අයවැය ඇස්තමේන්තු සකස් කිරීම අලුතෙන් පත් වූ ආණ්ඩුවට වහාම අත ගසන්නට සිදු වන ප්‍රමුඛ කාර්යයයන් අතරින් එකක් පමණයි. ස්ථායීකරණ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාමද මහ මැතිවරණය තෙක් හෝ කල් පසු කිරීම අසීරු දෙයක්. ජනාධිපතිවරණ සතිය තුළ වුවද හිටපු ජනාධිපතිවරයා මෙම වැඩ පිළිවෙළෙහි ඉලක්ක පසුවට කල් දැම්මේ නැහැ. ඒ නිසා, දැනට ක්‍රියාත්මක ආර්ථික ස්ථායීකරන වැඩ පිළිවෙළ අලුත් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්ති සමඟ ගලපා ගැනීම කල් නොගෙන, ඉතා ඉක්මණින් කළ යුතුව ඇති දෙයක්. අයවැය ඇස්තමේන්තු සකස් කරන්නට සිදු වන්නේද මේ කාර්යයට සමාන්තරවයි. 

Sunday, September 22, 2024

නවවන ජනපතිට සුබ පැතුම්!


මේ වන විට ජනාධිපතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල නිකුත් වී අවසන්. රටේ ව්‍යවස්ථා නීතිය අනුව එම ධුරයට තේරී පත්ව සිටින්නේ අනුර කුමාර දිසානායකයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ ශක්තිය ලොවට පෙන්වමින් තවත් වරක් ඉතා සුමට බල හුවමාරුවක් සිදු වෙමින් පවතිනවා.

අනුර කුමාර දිසානායක මෙම ජනාධිපතිවරණ තරඟය ජය ගන්නේ ඉතා අසීරු හා තියුණු සටනකින් පසුවයි. මෙහිදී ඔහුගේ කඳවුර විසින් යොදාගත් උපාය මාර්ග කිසිදු අයුරකින් ලංකාවේ දේශපාලන පක්ෂ විසින් සම්ප්‍රදායිකව මැතිවරණ වලදී යොදා ගත් උපාය මාර්ග වලට සම කළ නොහැකියි. ඔවුන් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවූ ඔවුන්ගේ අතීත භාවිතාව තුළ සාර්ථකව භාවිතා කළ ඇතැම් සාර්ථක උපාය මාර්ග ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට රැගෙන එමින් සහ නූතන තාක්ෂණයේ උදවු ලබා ගනිමින් ඉතා ප්‍රතිඵලදායක මහජන සන්නිවේදනයක් සිදු කළා. 

කෙසේ වුවද, අනුර කුමාරගේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන සාධකයක් වූයේ ප්‍රතිවිරුද්ධ කඳවුර තුළ වූ බල සංයුතියේ ස්වභාවයයි. මීට පෙර ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම දැකිය හැකි වූ පැහැදිලි ද්වි-ධ්‍රැව විභේදනය මෙවර එලෙසින්ම සිදු වුනේ නැහැ. මාලිමා කඳවුර ඇතුළු තවත් බොහෝ දෙනෙකු විශ්වාස කළේ මෙවරද පෙර මෙන්ම එම ද්වි-ධ්‍රැව විභේදනය සිදු වනු ඇති බවයි. 

අනුර කුමාර විසින්ම සඳහන් කළ පරිදි ඔහුගේ දැඩි විශ්වාසය වූයේ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය ඉතා අඩු මට්ටමකට නොවැටේනම් එය 50% මට්ටම ඉක්මවීම පිළිබඳ කිසිදු සැකයක් නැති බවයි. මෙය සමාජවාදී පක්ෂ වල සාමාජිකයින් කාලයක් පුහුණු වී සිටින චින්තනයේ ස්වභාවය නිසා ඔවුන් ලෝකය තේරුම් ගන්නා ආකාරය වෙන්න පුළුවන්. 

මහ පොළොවේ පවතින තත්ත්වය දැකීම ඇස් කණ තිබෙන ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. අසීරු කාර්යය වන්නේ මහ පොළොවේ පවතින තත්ත්වයෙන් දැකීමෙන් පසුව ඒ මත පදනම්ව එයින් ඔබ්බට දේවල් දැකීමයි. එසේ දැකිය හැකි වූ ඇතැම් අයට මෙවර ජනාධිපතිවරණ තරඟයේ ස්වභාවය නිවැරදිව හඳුනා ගත හැකි වුණා. 

අනුර කුමාර මුල් වටයේ ජයග්‍රාහකයෙකු වීම මෙන්ම 50% සීමාව නොඉක්මවීමද බොහෝ දුරට ගණිතමය යථාර්තයන් ලෙස ලියැවී තිබුණු දේවල්. එම තත්ත්වය තුළ ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෙරෙහි බලපෑ හැකි තීරණාත්මක සාධකය වී තිබුණේ රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයයි. මේ හේතුව නිසා අප මුල සිටම ඒ පිළිබඳව විමසිලිමත්ව සිටියා. මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගත් ඡන්ද ප්‍රමාණය බලපා ඇති ආකාරය දැන් ඕනෑම කෙනෙකුට දැකගත හැකියි. ප්‍රතිඵලය මහ පොළොවට වැටුණු පසු කාටත් පැහැදිලිව පේනවා. 

මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණ තරඟයක් ජයගත් සෑම අපේක්ෂකයෙකු විසින්ම 50% සීමාව ඉක්මවීමට සමත්ව තිබෙනවා. මෙහි වාසිය වනුයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට 50%ක ජනතා අනුමැතියක් හිමිව ඇති සේ සැලකිය හැකි වීමයි. මෙහි නෛතික හා සදාචාරත්මක සිද්ධාන්තය වන්නේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනමත විචාරණයකට ඉදිරිපත් කර ඒ සඳහා 50%ක අනුමැතිය ලබා ගත් සේ සැලකිය හැකි වීමයි. අනුර කුමාර දිසානායක ජනාධිපති සේ තේරී පත් වන්නේ මෙම වාසිය නොමැතිවයි. 

කෙසේ වුවත්, බොහෝ කරුණු හා අදාළව ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේම ප්‍රතිපත්ති වල ඒකමිතියක් තිබීම අපට දැකිය හැකි තත්ත්වයක්. උදාහරණයක් වශයෙන්, ප්‍රතිවාදීන් කවර විවේචන සිදු කළත්, මාලිමා කඳවුරේ වගකිව යුතු අය මැතිවරණ සමයේදී පැහැදිලිව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙළ සාර්ථකව දිගටම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔවුන්ද පෙනී සිටින බවයි. 

මාලිමා අපේක්ෂකයෙකු ජනාධිපති සේ පත් වීම හා අදාළව බොහෝ අයට තිබුණු එක් කණස්සල්ලක් වූයේ ඔවුන්ගේ කණ්ඩායමට ප්‍රමාණවත් පළපුරුද්දක් නොමැති බවයි. මෙය බොරුවක් නොවුනත් විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එක් අතකින් මාලිමා (ජවිපෙ) මන්ත්‍රීවරුන් කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා ආදියෙහි කටයුතු කර තිබෙනවා. අනෙක් අතින් ඕනෑම කෙනෙකුට යම් දෙයක් අලුතෙන් කරද්දී යම් හැදෑරීමක් කරන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ කැපවීමයි. 

අනෙක් ප්‍රධාන ප්‍රශ්නය රටේ ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය නොකිරීම නිසා නැවත වරක් සියල්ලන්ටම විඳවන්නට සිදු වේද යන්නයි. රටේ ආර්ථික ස්ථායීත්වය සදහා අවශ්‍ය වන්නේ හොඳ වැඩ පිළිවෙලක්. එය ක්‍රියාත්මක කරන නායකත්වය වෙනස් වූ පමණින් ආර්ථිකයක් අස්ථායී වන්නේ නැහැ. විශේෂයෙන්ම මාලිමාව හා අදාළව ගත් විට ඔවුන් වරද්දා ගන්නා තෙක් බලා සිටිනා පිරිසක් සිටිනා බැවින් ඔවුන් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු ඇල් වතුරත් නිවා බොන ස්ථාවරයක සිටිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

නව ජනපති අනුරට මුහුණ දෙන්නට සිදුවන ප්‍රධානම අභියෝගය ලෙස මා හඳුනා ගන්නේ ආර්ථික කළමණාකරණය නොව දේශපාලන කළමනාකරණයයි. ඔහුව තෝරා පත් කරගෙන සිටින පිරිස විවිධ අපේක්ෂා ඇති ඉතාම විෂමජාතීය පිරිසක්. මාලිමා කඳවුරේ ප්‍රධාන ඉල්ලීම වුයේ "අප කෙරෙහි විශ්වාසය තබන්න" යන්නයි. 

දැන් 42%ක පිරිසක් විසින් ඉල්ලා සිටි අයුරින්ම මාලිමා කණ්ඩායම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. රටේ ජනපතිගේ ඉලක්කය විය යුත්තේ එම 42%ක පිරිසගේ විශ්වාසය නොබිඳිමින්, යම් හේතුවක් නිසා තමන් කෙරෙහි විශ්වාසය නොතැබූ 58%ක කණ්ඩායමේද විශ්වාසය දිනා ගැනීම සදහා කටයුතු කිරීමයි. අනුර ඇතුළු කණ්ඩායම සතු දේශපාලන පළපුරුද්ද මේ සඳහා උදවුවක් විය හැකි නමුත් මෙය අභියෝගාත්මක කටයුත්තක්. ඊට සාපේක්ෂව බැලූ විට ආර්ථිකය කළමනාකරණය කර ගැනීම වඩා පහසු තාක්ෂනික වැඩක්.

නව ජනපතිට අපේ සුබ පැතුම්!

පළමුව පළමු මනාපය! දෙවනුව ඉතිරි මනාප!!

දැන් ජනාධිපතිවරණයේ පළමු වටය අවසන්. පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයෙකු විසින් 50%කගේ කැමැත්ත ලබාගෙන නැහැ. දැන් තිබෙන්නේ දෙවන හා තෙවන මනාපද එකතු කර එම කැමැත්ත විමසීමේ අදියරයි. මේ ඉඩකඩ මුල සිටම තිබුණත්, මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේදීම ඡන්දදායකයින් 50%කගේ කැමැත්ත ලැබූ තරඟකරුවෙකු සිටි බැවින් දෙවන හා තෙවන මනාප සලකා බලන්නට සිදු වූයේ නැහැ. මේ අනුව, පළමු අපේක්ෂකයින් දෙදෙනාට පළමු මනාප නුදුන් ඡන්දදායකයින්ගේ දෙවන හා තෙවන මනාප වලට මෙවර "අපමණ අගයක්" ලැබී තිබෙනවා. කෙසේ වුවත්, බොහෝ දෙනෙකු දෙවන හා තෙවන මනාප භාවිතා නොකර තිබීමට ඉඩ තිබෙන බැවින් අවසන් ප්‍රතිඵලයේ වෙනසක් වීමට ලොකු ඉඩක් නැහැ.

පළමු හා දෙවන අපේක්ෂකයින් අතර පරතරය ඡන්ද 1,268,880ක් වන අතර තෙවන හා අනෙකුත් අපේක්ෂකයින් විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය 3,317,662ක්. ඒ අනුව, වෙනසක් සිදු වීමටනම් දෙවන අපේක්ෂකයා විසින්'එම ඡන්ද වලින් 38%ක පමණ වාසියක් ලබාගත යුතුයි. එවැන්නක් වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ.

ටිකක් වෙලා ගියත් ඉක්මණින්ම නිරෝගී දරුවෙක් ලැබෙයි. කේන්දර හදන එක ඉන් පසුව කරමු! එතෙක් ලංකාවේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය සමරමු!!





Saturday, September 21, 2024

මහ පාරේ මත විමසුම්

දැන් ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්. හැමෝම ප්‍රතිඵල ලැබෙන තුරු බලා ඉන්නවා. තව පැය කිහිපයකින් ප්‍රතිඵල දැනගන්න ලැබෙයි. මෙම ජනාධිපතිවරණ කාලය තුළ දැකිය හැකි වූ සුවිශේෂී දෙයක් වූයේ "මහ පාරේ මත විමසුම්".  පහත තිබෙන්නේ රට පුරා සිදු කරනු ලැබූ  මහ පාරේ මත විමසුම් ප්‍රතිඵල වල සාරාංශයක්. මේවායේ දැකිය හැකි විශාල "නොදන්නා" ප්‍රතිශතය කෙසේ බෙදී ගොස් ඇත්දැයි තවත් පැය කිහිපයකින් බලා ගන්න පුළුවන්. මෙය පළ කරන්නේ සංරක්ෂණය කිරීමේ අරමුණින්. මේ සඳහා සුදත්තගේ මෙන්ම බදුල්ල ටීවී, ගෝමි ටීවී, මොණරාගල ටීවී හා IBC ටැමිල් ටීවී නාලිකා වල මත විමසුම් තොරතුරු යොදා ගෙන තිබෙනවා. එමෙන්ම මෙම නියැදි අදාළ දිස්ත්‍රික්ක වල අහඹු නියැදි නෙමෙයි. 



Friday, September 20, 2024

සතුටුදායක ඡන්දයක්! Happy voting!!

 



තවත් පැය කිහිපයකින් ශ්‍රී ලාංකික ඡන්දදායකයින්ට රටේ නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කර්තව්‍යයට දායක වෙන්නට ඉඩ ලැබෙනවා. මෙය රටේ බොහෝ දෙනෙකු මාස ගණනාවක් තිස්සේ උනන්දුවෙන් බලා සිටි මොහොතක්.

මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රාය පිළිබඳව කාලයක් තිස්සේ වීවිධ පාර්ශ්ව විසින් විවිධ ආකාරයන්හි මත විමසුම් සිදු කළා. එම මත විමසුම් වල සීමාවන් පිළිබඳව අප විසින් ලිපි ගණනාවකින් පැහැදිලි කර තිබෙනවා. ඒවා බොහොමයක් විද්‍යාත්මක සමීක්ෂණ නෙමෙයි.

යම් තරමකින් හෝ නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසිනුයි. එහි ඇති අඩුපාඩු හා සීමාවන් පිළිබඳවද අප විසින් ලිපි කිහිපයකම විස්තර කර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින්ම අවසාන මොහොතේ ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ ආකෘතියෙහි වූ විශාල අඩුපාඩුකම් ඔවුන් විසින් හඳුනාගෙන ඇති බවයි. කෙසේ වුවත්, විද්‍යාත්මක නොවන මත විමසුමකින් වුවද සිදු විය හැකි දේ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්.

මත විමසුම් වලින් කවර ප්‍රතිඵලයක් පෙන්නුවත්, ඔබ දැනටමත් තැපැල් ඡන්දය භාවිතා කර නැත්නම්, අවසන් ප්‍රතිඵලය තීරණය කරනුයේ තවත් පැය කිහිපයකින් ඔබ විසින් ගන්නා තීරණයයි. එය තවමත් විවෘත තීරණයක්. ඔබගේ එම තීරණය ඔබට ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කිරීමට වසර ගණනාවකට වරක් පමණක් ලැබෙන දුලබ අවස්ථාවක්.

රටේ පවතින තත්ත්වය පිළිබඳව පාලකයින්ට දොස් තැබීම පහසු දෙයක්. එහෙත් ඒ පාලකයින් ඕපපාතිකව පහළ වූ අය නෙමෙයි. මහජන ඡන්දයෙන් තේරී පත් වූ අයයි. ඒ නිසා පාලකයෙකු විසින් කිසියම් වරදක් කර ඇත්නම් එහි වගකීම එවැන්නන් තෝරා පත් කරගත් අය විසින්ද භාර ගත යුතුයි. 

ඔබේ තීරණය කුමක් වුවත් ඔබේ හෘද සාක්ෂිය හඹා යන්න. 

සතුටුදායක මැතිවරණ දිනයක්!

විණිමය වෙළඳපොළ නැමියාව කුමක්ද?


පහත කොටස් උපුටා ගත්තේ 2023 ජුලි මාසයේදී පළ කළ "සංචිත වැඩි කර ගැනීමේ අභියෝගය" ලිපියෙන්.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය වන්නේ රටක අවම විදේශ සංචිත අවශ්‍යතාවය මෙන් 100%-150% අතර ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගත යුතු බවයි. පසුගිය (2022) වසර අවසානයේදී ලංකාව සිටියේ 18% මට්ටමේ. ඩොලර් මිලියන 14,208 යනු (2027දී) මෙම අවම ප්‍රමාණයයි. එනම්, 100% මට්ටමයි. 150% මට්ටම යනු ඩොලර් මිලියන 21,312ක්. 

ලංකාව මෙම අවම මට්ටම දක්වා ක්‍රමයෙන් සංචිත ගොඩ නගා ගත යුත්තේ පහත ආකාරයෙනුයි.

2023 අවසානය - ඩොලර් මිලියන 4,431 දක්වා 

2024 අවසානය - ඩොලර් මිලියන 6,128 දක්වා 

2025 අවසානය - ඩොලර් මිලියන 8,520 දක්වා 

2026 අවසානය - ඩොලර් මිලියන 10,888 දක්වා 

2027 අවසානය - ඩොලර් මිලියන 14,208 දක්වා"

වසරකට පෙරද මේ ඉලක්ක ලඟා කර ගැනීම විශාල අභියෝගයක්ව පැවතුනා. එහෙත්, 2023 වසර අවසාන වෙද්දී ශ්‍රී ලංකාව අවශ්‍ය සංචිත ඉලක්කයට ගියා. දැන්, මේ වසරේ පළමු මාස අට අවසන් වෙද්දී, 2024 ඉලක්කය ආසන්නයටම පැමිණ තිබෙනවා. 

ජූලි හා අගෝස්තු දෙමස තුළ මහ බැංකුව විසින් පිළිවෙලින් ඩොලර් මිලියන 121.0ක් හා 148.5ක් මිල දී ගෙන තිබුණා. කිසිදු විකිණීමක් සිදු කර තිබුණේ නැහැ. එසේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා අතරද ඩොලරයක මිල පහත වැටුණා. සාමාන්‍ය මූලධර්මයක් ලෙස විණිමය රෙගුලාසි නිදහස් කරන තරමට දිගුකාලීනව රටට එන විදේශ විණිමය ප්‍රවාහ ඉහළ යනවා. ඇතැම් අවදානම් තත්ත්වයන් යටතේදී පමණක් කෙටිකාලීනව එසේ නොවෙන්න පුළුවන්.

දැනටමත් සංචිත ඉලක්ක ආසන්නයට ගොස් තිබීම තුළ මහ බැංකුව විසින් තව දුරටත් මේ වසර තුළ වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමේ හැකියාව සීමා වී තිබෙනවා. මහ බැංකුව විසින් කලින්ම නිවේදනය කර තිබෙන්නේ ඉහත සංචිත ඉලක්ක ලඟා කර ගැනීමේ අරමුණින් පමණක් විණිමය වෙළඳපොළට මැදිහත් වන බවයි. 

මෙම තත්ත්වය හමුවේ වෙළඳපොළ තුළම විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම වඩා හොඳින් තුලනය වීමට ඉඩ සලසමින් මහ බැංකුව විසින් අර්බුද සමයේ අපනයනකරුවන් වෙත පනවා තිබුණු සීමාවක් දෙසතියකට පෙර ලිහිල් කළා. ඒ අනුව, ඔවුන් දැන් මාසයක් ඇතුළත තමන්ගේ අපනයන ආදායම් රටට ගෙන ආ යුතු නැහැ. ඒ සඳහා, මාස තුනක කාලයක් ලැබෙනවා.

අපනයන ආදායම් රටට ගෙන ඒම හා අදාළව වැඩි නිදහසක් ලැබුණු විට අපනයනකරුවන් විසින් කරන්නේ තමන්ගේ අරමුදල් ක්ෂණිකව රටට ගෙන ඒම වෙනුවට ඩොලරයක මිල යම් තරමකින් හෝ ඉහළ යන විටෙකදී එම අරමුදල් රටට රැගෙන එන එකයි. මේ නිසා, ඩොලරයක මිල ඉහළ යාමේ නැඹුරුවක් ඇති වූ වහාම එවැනි අරමුදල් රටට පැමිණ ඩොලර් සැපයුම ඉහළ යාමෙන් නැවත ඩොලරයක මිල පහත වැටෙනවා. එමෙන්ම, ඩොලරයක මිල පහත වැටීමේ නැඹුරුවක් ඇති විට අපනයන ආදායම් රටට ගෙන ඒම ප්‍රමාද වී ඩොලර් සැපයුම සීමා වීමෙන් සැපයුම අඩු වී මිල පහත වැටීම නවතිනවා. මෙම යාන්ත්‍රනය හරහා මහ බැංකුවේ මැදිහත්වීමක් නැතිවම විණිමය අනුපාත ස්ථාවරව තබා ගත හැකියි.

කෙසේ වුවත්, ලබන වසර මුල සිට වාහන ආනයනය සඳහා නැවත ඉඩ ලැබෙද්දී විණිමය වෙළඳපොළ තුලනය නැවත වෙනස් වීමට නියමිතයි. ඒ සමඟම රජයේ බදු ආදායම් ඉහළ යන බැවින් රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය පහළ යනවා. මෙය පොලී අනුපාතික කෙරෙහි හිතකර බලපෑමක් සිදු කරන්නට ඉඩ තිබෙනවා. අනෙක් පැත්තෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වී රටේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. මේ තත්ත්වය තුළ හා ඇමරිකාවේ පොලී අනුපාත චක්‍රය වෙනස් වීම තුළ නැවතත් රටට විදේශ ප්‍රාග්ධන ප්‍රවාහ අපේක්ෂා කළ හැකියි. ඒ නිසා, විණිමය අනුපාතය මත පීඩනයක් එල්ල වීමේ අවදානමක් දැනට පෙනෙන්නට නැහැ. 

විණිමය අනුපාතය පහත වැටීම තුළ සිදු වන එක් දෙයක් වන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ඉහළ යාමයි. දැනට ඇති කර ගෙන තිබෙන එකඟතාවය අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ඉහළ යද්දී ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගෙන් ලැබෙන ණය සහනය අඩු වෙනවා. මේ අවදානමට පිළියමක් ලෙස ණය සහනය අඩු කිරීමේ කොන්දේසි වලට අවම මූර්ත ආර්ථික වර්ධනයද කොන්දේසියක් ලෙස ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා, ආර්ථිකය අඩුවෙන් වර්ධනය වෙද්දී විණිමය අනුපාතයේ වෙනස්වීම් මත දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ඉහළ ගියහොත් එය ණය සහනයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 

Thursday, September 19, 2024

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය


මෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව තව දුරටත් විස්තර කිරීමක්. 

දැන්  විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරලා ඉවරද?

නෑ.

එහෙමනම් අද (සැප්තැම්බර් 19) වුනේ කුමක්ද?

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් කණ්ඩායමක් විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන අවසන් එකඟතාවයකට පැමිණ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඊට අමතරව ස්වෛරිත්ව බැඳුම්කරහිමි ශ්‍රී ලාංකික ආයෝජකයින් සමඟ සහ චීන සංවර්ධන බැංකුව සමඟද එකඟතාවන්ට පැමිණ තිබෙනවා. මේ එකතාවයන්ට පැමිණ තිබෙන්නේ වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ සිදු කළ සාකච්ඡා හා හෙට්ටු කිරීම් වලින් පසුවයි.

ඒ කියන්නේ ලොකුවට කිවුවට තවමත් වැඩේ එහෙමමයිද?

නෑ. මේක තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ කරගන්න අමාරු, වැදගත්ම සහ ප්‍රධානම පියවර. ඉතිරි වෙලා තිබෙන්නේ බොහෝ දුරට තාක්ෂණික කටයුතු. ඒ සඳහා මාසයක් දෙකක් යා හැකි වුවත් ඉතිරි පියවර ටික අභියෝගාත්මක නැහැ. ඉඩමක් ගන්න දෙපාර්ශ්වය එකඟ වුනාට පස්සේ ඔප්පු ලියනවා වගේ දෙයක්. හැබැයි ඊට වඩා සංකීර්ණයි.

දැන් කරන්න ඉතිරි වී තිබෙන්නේ කුමක්ද?

මේ එකඟතාවය ගැන IMF එකේ නිලධාරීන් එක්ක කතා කරලා ඔවුන්ගේ නිල නොවන අනුමැතිය දැනටමත් ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ DSA එක සමඟ ගැලපෙන බව ඔවුන් තහවුරු කර තිබෙනවා. නමුත් නිල අනුමැතිය තවමත් ලැබී නැහැ. එය ලබාගත යුතුයි. මෙය පරිපාලනමය කටයුත්තක් පමණයි. මේ විදිහටම අනෙකුත් ද්විපාර්ශ්විය ණයහිමියන් විසින්ද මේ මගින් "සමාන ලෙස සැලකීමේ මූලධර්මය" බිඳ වැටී නැති බව නිල වශයෙන් දැනුම් දිය යුතුයි. ඒකටත් කෙටි කාලයක් යයි. සමහර විට සතියක් පමණ. ඔය කරුණු දෙක ඉටු වීමෙන් පසුව බැඳුම්කර හුවමාරුවක් සඳහා අයදුම්පත් කැඳවන්නට සිදු වෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයේදී මෙන්ම මෙහිදීද සිදු වන්නේ ස්වේච්ඡා හුවමාරුවක්.

ඔය වැඩේට සියලුම බැඳුම්කරහිමියෝ කැමති වෙයිද?

කලින්ම මේ එකඟතාවයට ඇවිත් තියෙන්නේ සහ ඒ එකඟතාවය ඉතාම වැදගත් වන්නේ ඔන්න ඔය හේතුව නිසා. එකඟතාවයට පැමිණ ගිවිසුම අත්සන් කළ කණ්ඩායමේ ආයෝජකයින් 10 දෙනෙකුට බැඳුම්කර වලින් 40%ක් පමණ අයිතියි. දේශීය බැඳුම්කරහිමියන් 11 දෙනෙකුට තවත් 12%ක් අයිතියි. එතකොට බැඳුම්කර වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් කොහොමටත් හුවමාරු වෙනවා. වැඩි දෙනෙක් හුවමාරුවට කැමති වුනොත් ඉතිරි අයටද ඔවුන්ගේ තීරණයට එකඟ වෙන්න සිදු වෙනවා. ඔවුන්ගේ කැමැත්ත වෙන වෙනම ගන්න අවශ්‍ය වන්නේ නැහැ. 

ශ්‍රී ලාංකික ආයෝජකයින්ට විශේෂ සහනයක් දීලා තියෙනවද?

ඔව්. ඔවුන්ගේ ඉල්ලීම පරිදි මුළු ආයෝජන මුදලින් 30% නොඉක්මවන ප්‍රමාණයක් හෙයාකට් නැතිව ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර වලින් ලබා ගන්න පුළුවන්. මෙසේ කරද්දී "සමාන ලෙස සැලකීමේ මූලධර්මය" බිඳ වැටෙන නිසා ඒ අවස්ථාව සියල්ලන්ටම පොදුවේ ලබා දී තිබෙනවා. 

ඉතිරි වැඩ ටිකට කොයි තරම් කල් යයිද?

මගේ අදහස අනුව මාසයක් දෙකක් වගේ කාලයක් යන්න බැරිකමක් නැහැ. නමුත් IMF තෙවන විමර්ශනය වැනි කාරණා හා අදාළව දැන් වැඩේ ඉවර වුනා හා සමානයි. 

මේක ඇත්තක්ද එහෙම නැත්නම් ඡන්දයෙන් වාසියක් ගන්න කරපු ප්‍රචාරයක්ද?

ඉතා පැහැදිලිවම මේක ඇත්තක්. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් නිල නිවේදයක් නිකුත් කරලා තිබෙනවා. ඒ වගේම චීනය, ඉන්දියාව වැනි රටවල මාධ්‍ය ඇතුළුව විදේශ මාධ්‍ය ගණනාවක් මෙය වාර්තා කර තිබෙනවා. තාක්ෂණික විස්තර සියල්ල සිංගප්පුරු කොටස් හුවමාරුවේ ගොනුගත කර තිබෙනවා. 

ඡන්ද කටේම මේ වැඩේ වුනේ කොහොමද?

මේක හදිසියේ සිදු වූ දෙයක් නෙමෙයි. අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිස්සේ එක දිගටම තිරය පිටුපස සිදු වූ දැවැන්ත ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඇත්තටම පැසසිය යුතු දේ වන්නේ ඡන්ද කටේදී පවා කල් පසු කිරීමකින් තොරව මේ සැලසුම්සහගත ක්‍රියාවලිය ඒ විදිහටම කරගෙන යාමයි. 

ස්වෛරිත්ව බැඳුම්කර හා ඉතිරි චීන ණය


ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් නියෝජනය කරන ප්‍රධාන ආයෝජකයින් කණ්ඩායම සමඟත්, චීන සංවර්ධන බැංකුව සමඟත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් දෙකක් අත්සන් කර තිබෙනවා. ඩොලර් බිලියන 14.2ක ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාව අනුව, ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.2කින් අඩු වන අතර ආර්ථිකයේ වර්ධනයන් අනුව මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 4.6 දක්වා වැඩි වීමට හෝ ඩොලර් බිලියන 2.0 දක්වා අඩු වීමට පුළුවන්. පොලී අනුපාතික, සාමාන්‍ය අගයක් ලෙස, 6.4% සිට 4.4% දක්වා අඩු වෙනවා. 

මේ අනුව සාමාන්‍ය තත්ත්වයක් යටතේ 40.3%ක ණය සහනයක්ද, ආර්ථිකය වඩා හොඳ මට්ටමක පවතින තත්ත්වයක් යටතේ අවම වශයෙන් 33%ක ණය සහනයක්ද ශ්‍රී ලංකාවට ලැබෙනවා. මීට අමතරව චීන සංවර්ධන බැංකුව සමඟද ඩොලර් බිලියන 3.3ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. 

වැඩි විස්තර පසුවට.

Wednesday, September 18, 2024

අනුර 50% සීමාව ආසන්නයට!


ජනාධිපතිවරණයට පෙර සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ඉදිරිපත් කර ඇති අවසන් ඇස්තමේන්තු අනුව අනුර කුමාර දිසානායක 50% සීමාව ආසන්නයටම පැමිණ සිටිනවා. ඔහුගේ ඡන්ද ප්‍රතිශතය 48% ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර පරතරය 23% දක්වා ඉහළ ගොස් තිබෙනවා. සජිත් ප්‍රේමදාස 25% මට්ටමේ සිටිද්දී රනිල් වික්‍රමසිංහ ඊට ආසන්නව 20% මට්ටමේ සිටිනු දැකිය හැකියි.

මේ අනුව පෙනී යන්නේ අවසන් සති දෙක තුළ පාවෙන ඡන්ද බොහොමයක් අනුර කුමාර දිසානායක වෙත විතැන් වී ඇති බවයි. මෙම ඇස්තමේන්තු නිවැරදි සේ සැලකුවහොත් එයින් අදහස් වන්නේ පොහොට්ටු ඡන්ද වලින් 85%ක් පමණ මාලිමාව වෙත විතැන් වී තිබිය යුතු බවයි. සජිත් හා රනිල් අතර බෙදී ගොස් ඇත්තේ බොහෝ දුරටම සම්ප්‍රදායික එජාප ඡන්ද පදනමයි. රනිල් තරඟයට පැමිණීමෙන් පසුව සජිත් හා රනිල් අතර ඇති වූ තරඟය මාලිමාවට වාසිදායක ලෙස බලපා ඇති අයුරු පැහැදිලිව දැක ගත හැකියි. 

මැතිවරණ ප්‍රතිඵලයක් කලින් පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. කොයි තරම් උත්සාහ දැරුවද එවැන්නක් කළ හැක්කේ සැලකිය යුතු මිනුම් වරදක් සහිතවයි. මේ කාර්යය ලංකාවට අලුත් දෙයක් බැවින් එය වඩාත් අපහසුයි.

ජනාධිපතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කිරීමේ කාර්යයේදී එය වඩාත්ම නිවැරදි ක්‍රමවේදයකට සිදු කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයයි. ඒ නිසා, ප්‍රතිඵලය ගැන නිගමනයකට එළැඹීමේදී ඔවුන්ගේ ඇස්තමේන්තු වලට වැඩි බරක් තියන්නට සිදු වෙනවා. 

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන්ද පසුව සුදත්ත තිලකසිරි විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 16ක නගර 52ක ඔහුගේ "මත විමසුම්" සිදු කර තිබුණා. මෙවැනි මත විමසුම් විද්‍යාත්මක සමීක්ෂණ ලෙස කිසිසේත්ම සැලකිය හැකි නොවෙතත්, ඡන්ද භාවිතයේ දිශානතිය පිළිබඳව එවැනි මත විමසුම් වලින්ද අදහසක් ගත හැකියි. සුදත්ත විසින් ඉදිරිපත් කර තිබුණු දසදහස ඉක්මවන ඔහුගේ අහඹු නොවන නියැදියේ සමස්ත ප්‍රතිඵලයද ඉහත සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තු සමඟ ගැලපිය හැකියි.

බොහෝ දෙනෙකු උනන්දුවෙන් බලා සිටින සැබෑ ප්‍රතිඵලය දැනගන්නට තවත් වැඩි දවසක් නැහැ. 


පසු එකතු කිරීම: නම්බර්ස් ඩොට් එල්කේ ඇස්තමේන්තු 



Tuesday, September 17, 2024

දෙවෙනි මනාපේ...


වසර ගණනාවකට පසුව මෙවර ජනාධිපතිවරණයේදී දෙවන මනාප පිළිබඳව නැවත අවධානය යොමු වී තිබෙනවා. දෙවන මනාප කියා කියන්නේ පසුගිය දශක තුනකට වැඩි කාලය තුළ ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් විසින් නොසලකා හැර තිබුණු දෙයක් කියා කියන්න පුළුවන්. ඒ නිසාම ගොඩක් අයට ජනාධිපතිවරණය කටටම ඇවිත් තිබෙන මේ මොහොතේ වුනත් දෙවන මනාප වැඩ කරන විදිහ ගැන පැහැදිලි අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ. 

සාමාන්‍ය කාරණයක් විදිහට පුද්ගලයෙක්ට වැඩි තේරීම් ප්‍රමාණයක් ලැබෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. එයින් හැම විටම අනිවාර්යයෙන්ම වාසියක් නොවුනත්, කිසිම විටක අවාසියක් වෙන්නේනම් නැහැ. 

ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබිලා දැන් අවුරුදු 93ක් වෙනවා. මේ අවුරුදු 93න් අවුරුදු 50ක්ම ලංකාවේ ඡන්දදායකයා දැනගෙන හිටියේ තමන් වැඩියෙන්ම කැමති පුද්ගලයාට ඡන්දය දෙන ක්‍රමය ගැන පමණයි. එයින් එහාට තේරීමක් ඔවුන්ට තිබුණේ නැහැ. 

කාර්යාල වල වැඩ කරන අය සමහර වෙලාවට වෙනත් අයෙකුට කියලා එළියෙන් බත් පාර්සලයක් ගෙන්වා ගන්නවා. එහෙම ගේන්න සල්ලි එකතු කර ගනිද්දී අවශ්‍ය වන්නේ චිකන් කෑම එකක්ද, මාළු කෑම එකක්ද, බිත්තර කෑම එකක්ද එහෙම නැත්නම් එළවලු කෑම එකක්ද කියලා කියන්න වෙනවා.

"මට ගේන්න මාළු කෑම එකක්!"

කවුරු වුනත් කියන්නේ තමන් වැඩියෙන්ම කැමති තේරීම අරගෙන එන්න කියලයි. ඒ තේරීම ඒ විදිහටම ලැබුනොත් අවුලක් නැහැ. අවුලක් වෙන්නේ ඒ තේරීම නොලැබුනොත්.

"මොකද මේ බිත්තර කෑම? මම ගේන්න කිවුවේ මාළු කෑම එකක්නේ..."

"මාළු කෑම ඉවර වෙලා! ඒ නිසා මම බිත්තර කෑම එකක් ගෙනාවා."

"අයියෝ! මම බිත්තර කන්නේ නැහැනේ. චිකන් කෑම තිබුනේ නැද්ද?"

"තිබුණා! චිකන් කයිද කියලා දන්නේ නැති නිසා මම බිත්තර කෑම ගෙනාවා."

ඔන්න ඔය ක්‍රමය තමයි 1977 වන තුරු ලංකාවේ තිබුණු එකම මැතිවරණ ක්‍රමය. තමන් කැමතිම කෑම වර්ගය ඕඩර් කරන්න පුළුවන්. ඒක ලැබුනොත් හරි. හැබැයි නොලැබුනොත් ලැබෙන ඕනෑම දෙයක් භාර ගන්න වෙනවා.

ජනාධිපතිවරණ ක්‍රමය ලංකාවට හඳුන්වා දෙද්දී ඔය වඩාත්ම කැමති පුද්ගලයා තෝරන ක්‍රමයෙන් එහාට ගිය තේරීමක් ලංකාවේ ඡන්දදායකයාට ලැබුණා.

"මට ගේන්න මාළු කෑම එකක්! මාළු කෑම නැත්නම් චිකන් කෑම එකක් ගේන්න. ඒත් නැත්නම් එළවලු."

දැන් තිබෙන ක්‍රමය ඔය වගේ. කලින් වගේම මාළු කෑම ඕඩර් කරන්න පුළුවන්. හැබැයි හදිසියේ හරි මාළු කෑම ඉවර වෙලානම් ලැබෙන දෙයක් කන්න අවශ්‍ය නැහැ. දෙවන තේරීමට යන්න පුළුවන්. ඒකත් නැත්නම් තුන්වන තේරීමකුත් තිබෙනවා. මේක කලින් ක්‍රමයට වඩා ගොඩක් දියුණු ක්‍රමයක්. 

මේ වගේ තේරීමක් තියෙද්දී තමන්ගේ දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ නොකර ඉන්නවා කියන්නේ අන්තිම මෝඩ වැඩක්. මොකද මාළු කෑම තිබෙනවානම් කොහොමටත් මාළු කෑම ලැබෙනවා. දෙවන තුන්වන කැමැත්ත මොකක් වුනත් මාළු කෑම තිබෙනවානම් ඒක නැති වෙන්නේ නැහැ. 

පළමු කැමැත්ත ලබා ගැනීමේ හැකියාවක් තිබේනම් ඒක කොහොමටත් ලැබෙනවා. අවුලක් වෙන්නේ මොන හේතුවකින් හරි පළමු කැමැත්ත ඉටු වුනේ නැත්නම්. හදිසියේවත් මාළු කෑම ඉවර වෙලානම්, දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ කරලා නැති කෙනෙකුට ලැබෙන කෑමක් භාර ගන්න වෙනවා. ඒ නිසා, දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන්නේ කිසිදු මුදලක් නොගෙවා රක්ෂණයක් ගන්නවා වගේ දෙයක්. 

හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙක් විසින් දෙවන තුන්වන මනාප ගණන් කරන විදිහ හරියටම පැහැදිලි කරනවා. ඒ විස්තර කරන්නේ පණතේ තිබෙන ක්‍රමය. මේ විස්තර කරන ක්‍රමය හරියටම හරි වුනත් විස්තරේ ගොඩක් අයට හරියට තේරිලා නැති බව පේනවා. ඊට හේතුව ඒ ක්‍රමය ඕනෑවට වඩා සංකීර්ණ ලෙස විස්තර කර තිබීම. ඒක විස්තර කිරීමේ වැරැද්දක් නෙමෙයි. පණතේම තියෙන විදිහ.

හැබැයි පණතේ මේ විස්තරය ඔය තරම් සංකීර්ණ වුනේ පසුව කරපු සංශෝධනයකදී. මුලින් පණතේ තිබුණු ක්‍රමය කාට වුනත් තේරුම් ගන්න ලේසියි.

දැන් ක්‍රමයට වඩා තාක්ෂණිකව වෙනස් වුනත් මුලින්ම පණතේ විස්තර කර තිබුණු ක්‍රමයෙන් වෙන්නෙත් දැන් වෙන දෙයම තමයි. ඒ නිසා, මම ඒ ක්‍රමය ගැන මුලින්ම කියන්නම්. ඒ ක්‍රමය තේරුම් ගන්න පහසුයි.

මේ ක්‍රමය හඳුන්වා දුන්නේ රටේ ඡන්දදායකයින් සියලු දෙනාගේම ඡන්දයෙන් රටේ නායකයා තෝරාගන්නා ක්‍රමයකුත් එක්කයි. ඊට කලින් ඒ වගේ දෙයක් සිදු වුනේ නැහැ. රටේ නායකයාව තෝරා ගත්තේ මහජන නියෝජිතයින්ගේ ඡන්දයෙන්. ඡන්දදායකයින්ට කළ හැකි වූයේ තමන්ගේ නියෝජිතයාව තෝරාගන්නා එක පමණයි.

ඔය අලුත් ක්‍රමය හඳුන්වා දෙද්දී මනාප තුනක් ලකුණු කිරීමේ අවස්ථාවද ඡන්දදායකයින්ට ලැබුණා. ඒ අනුව, තමන් වැඩියෙන්ම කැමති පුද්ගලයා වගේම දෙවෙනියට හා තුන්වෙනියට කැමති කවුද කියලත් සඳහන් කරන්න පුළුවන්. ලකුණු කළ යුතුව තිබුණේ 1, 2, 3 ලෙසයි. අවශ්‍යනම් 1 පමණක් හෝ 1 හා 2 පමණක් ලකුණු කරන්නත් පුළුවන්. 

අපි හිතමු ඡන්ද දායකයින් ගණන 100ක් සහ අපේක්ෂයින් ගණන 5ක් කියලා. ඔවුන්ව අපි A, B, C, D හා E ලෙස හඳුන්වමු. ඒ අයට පළමු මනාප ලැබුනේ මේ විදිහට කියලා හිතමු.

A = 52

B = 40

C = 5

D = 2

E = 1

ප්‍රතිඵලය ඔය වගේනම් දෙවන තුන් වන මනාප ගණන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයාට කැමති ඡන්දදායකයින් ගණන අකැමැති ඡන්දදායකයින් ගණනට වඩා අනිවාර්යයෙන්ම වැඩියි. රටේ නායකයා වෙන්නේ රටේ වැඩි දෙනෙක් කැමති පුද්ගලයෙක්. 

නමුත් වැඩිම පළමු මනාප ගත් පුද්ගලයාට මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් හරි අඩක් සහ තවත් එකක් නැත්නම්, එයින් අදහස් වෙන්නේ ඒ පුද්ගලයාට කැමති ප්‍රමාණයට වඩා අකැමැති ගොඩ වැඩියි කියන එකයි. උදාහරණයක් විදිහට මේ වගේ.

A = 42

B = 40

C = 15

D = 2

E = 1

පරණ ක්‍රමය අනුව, ඔය වගේ වේලාවකදී කරන්නේ දෙවන මනාප ගණන් කරන එක. දෙවන මනාප ගණන් කරන්නේ C, D හා E යන තුන් දෙනාට පළමු මනාප දී තිබෙන අයගේ. මේකේ අරමුණ වෙන්නේ ඒ අය අඩු වශයෙන් Aට හෝ Bට දෙවෙනියට හෝ කැමතිද කියා පරීක්ෂා කර බලන එක. ඒ කියන්නේ ඒ අයට මාලු කෑම දෙන්න බැරි වුනත් අඩු වශයෙන් චිකන් කෑම හරි දෙන්න පුලුවන්ද කියා බලන එක.

අපි හිතමු D හා E දෙන්නාට පළමු මනාප දුන් අය කාටවත්ම දෙවෙනි මනාප දීලා නැහැ කියලා. Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා කියලා හිතමු.

A = 9

B = 2

D = 1

E = 1

දැන් කරන්නේ ඔය දෙවන මනාප A හා B දෙන්නාගේ පළමු මනාප වලට එකතු කරන එක.

A = 42 + 9 = 51

B = 40 + 3 = 43

දැන් තත්ත්වය අනුව පේන්නේ Aට අඩු වශයෙන් දෙවෙනියට හෝ කැමති ඡන්දදායකයින් ගණන අකැමැති ඡන්දදායකයින් ගණනට වඩා වැඩි බවයි. ඒ නිසා, තුන් වන මනාප ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

දෙවන මනාප එකතු කළාට පස්සේ පළමු වටයේ දෙවන තැන හිටපු අපේක්ෂයා ඉස්සරහට එන්නත් පුළුවන්. අපි හිතමු Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා තියෙන්නේ මේ විදිහට කියලා.

A = 1

B = 11

D = 1

දැන් ප්‍රතිඵලය මේ වගේනේ. 

A = 42 + 1 = 43

B = 40 + 11 = 51

ඒ කියන්නේ පළමු වටයෙන් දෙවෙනි තැන හිටියත් දෙවෙනි මනාප එකතු කළාට පස්සේ B ජයග්‍රාහකයා වෙලා.

ඔය විදිහට දෙවෙනි මනාප එකතු කළාට පස්සේත් කාටවත් 50% සහ එක නැති වෙන්න පුළුවන්. අපි හිතමු Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා තියෙන්නේ මේ විදිහට කියලා.

A = 1

B = 1

D = 6

E = 5

දැන් ප්‍රතිඵලය මේ වගේනේ. 

A = 42 + 1 = 43

B = 40 + 1 = 41

ඔය වගේ අවස්ථාවක Aට හෝ Bට පළමු හෝ දෙවන මනාප නොදුන් අයගේ තුන්වන මනාපත් ගණන් කරනවා. ඒ කියන්නේ මේ උදාහරණයේදී Cට පළමු මනාපය දී Dට හෝ Eට දෙවෙනි මනාප දුන්න 11 දෙනාගේ. අපි හිතමු ඒ තුන්වන මනාප බෙදී ගොස් තිබුනේ මේ විදිහට කියලා. 

A = 2

B = 2

D = 1

E = 1

දැන් තුන් වන මනාපත් එකතු කළාට පස්සේ ප්‍රතිඵලය මේ වගේ. 

A = 42 + 1 + 2 = 45

B = 40 + 1 + 2 = 43

තුන් වන මනාප එකතු කළාට පස්සේත් කාටවත් 50% සහ එක නැහැ. ඒ නිසා රටේ ඡන්දදායකයින් වැඩි දෙනෙක් අකැමති කෙනෙක්ව රටේ නායකයා විදිහට තෝරා ගන්න එක හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා, පළමු දෙවන හා තුන් වන මනාප සියල්ලම එකතු කළාට පස්සේ ඉදිරියෙන්ම ඉන්න පුද්ගලයාව රටේ නායකයා විදිහට තෝරා ගන්නවා. 

ඕක තමයි මූලධර්මය. නමුත් 1988 සංශෝධනයෙන් පස්සේ ඔය වැඩේ කරන විදිහ තරමක් වෙනස් වී තිබෙනවා. දැන් ක්‍රමයේදී දෙවන හා තුන්වන මනාප දෙපාරකට ගණන් කරන්නේ නැහැ. ඒ පියවර දෙකම එකවර කරලා පළමු මනාප වලට එකතු කරනවා. හැබැයි වෙන්නේ ඔය විස්තර කරපු දෙයම තමයි. 

කලින් උදාහරණයක්ම නැවත ගන්නම්.

පළමු මනාප:

A = 42

B = 40

C = 15

D = 2

E = 1

Aට හෝ Bට පළමු මනාප නොදුන් අයගේ දෙවන මනාප:

A = 1

B = 1

D = 6

E = 5

Aට හෝ Bට පළමු හෝ දෙවන මනාප නොදුන් අයගේ තුන්වන මනාප:

A = 2

B = 2

D = 1

E = 1

Aගේ සහ Bගේ දෙවන හා තුන්වන මනාප:

A =  1 + 2 = 3

B = 1 + 2 = 3

Aගේ සහ Bගේ පළමු, දෙවන හා තුන්වන මනාප:

A = 42 + 3 = 45

B = 40 + 3 = 43

පේනවනේ. දැන් ක්‍රමයේ සහ මුල් ක්‍රමයේ අවසන් ප්‍රතිඵල සමානයි. ප්‍රධානම වෙනස දෙවන හා තුන් වන මනාප එකවරම ගණන් කරලා එකතු කරන එක. එහෙම කළා කියලා ජයග්‍රාහකයා වෙනස් වෙන්නේ නැහැ.

මේ ක්‍රමයේ තිබෙන වැදගත්කම කිසිසේත්ම දිනන්නේ නැති අපේක්ෂකයෙක්ට වුනත් තමන්ගේ පළමු මනාපය දීමෙන් අවසන් ප්‍රතිඵලයට බලපෑමක් නොවීම. අපි හිතමු මම කැමතිම අපේක්ෂකයා D කියලා. නමුත් දිනන්න ඉඩ තියෙන්නේ A හෝ B. මම වැඩියෙන්ම කැමති Dට වුනත් Aටත් යම් තරමක් කැමතියි. නමුත් Bට කොහොමටවත්ම කැමති නැහැ. ඔය වගේ වෙලාවක ගොඩක් අයට තිබෙන බය තමන් වඩා කැමති Dට පළමු මනාපය දීම නිසා A පැරදිලා B දිනයිද කියන එක. 

හැබැයි ඔය වැඩේ කීයටවත් වෙන්නේ නැහැ. මොකද එක්කෝ මගේ පළමු මනාපය නැතත් A විසින් පළමු වටයේදීම 50% සහ එක අරගෙන දිනනවා. යම් විදිහකින් මම මගේ පළමු මනාපය Dට දුන් නිසා (සහ මා වැනි තවත් අය නිසා) පළමු මනාප වලින් පසුව Aගේ 50% සහ එක නැති වෙලානම්, මගේ දෙවන (සහ මා වැනි අනෙක් අයගේ) දෙවන මනාප එකතු වූ ගමන්ම 50% සහ එක හැදෙනවා. එහෙම වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මම පළමු මනාපය Aට දුන්නත් Aට 50% සහ එක හැදෙන්නේ නැහැ කියන එකයි. 

දෙවන හා තුන්වන මනාප ගණන් කරන තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ ඒ දෙවන හා තුන්වන මනාප වලටත් පළමු මනාපයක වටිනාකමම ලැබෙනවා කියන එක. වෙනත් විදිහකින් කිවුවොත් තමන්ගේ තේරීමට අවස්ථා දෙකකදීම වටිනාකම් ලැබිලා කියන එක.

සාමාන්‍ය කරුණක් ලෙස ඡන්දය නොදා සිටීමත් පුද්ගලයෙකුගේ අයිතියක්. නමුත් එයින් වෙන්නේ අනෙක් අයගේ කැමැත්ත කුමක් වුවත් එය භාර ගැනීමක්. දෙවන හා තුන්වන මනාප ප්‍රයෝජනයට නොගැනීමෙන් වෙන්නෙත් ඊට කිට්ටු දෙයක්. 

ඡන්දය නොදා සිටීම තමන්ට අවශ්‍ය චිකන් කෑමද, බිත්තර කෑමද කියා හරියට නොකියා "තියෙන ඕනෑ එකක්" කියනවා වගේ වැඩක්. පළමු මනාපය පමණක් දැමීම "චිකන් තියෙනවනම් ගේන්න. නැත්නම් තියෙන ඕනෑ එකක් කියනවා වගේ වැඩක්." තමන්ට "තියෙන ඕනෑ එකක්" ප්‍රශ්නයක් නැති කෙනෙක් ඔය තේරීම කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් තමන්ට ප්‍රමුඛතා අනුපිළිවෙලක් තියනවානම් හොදම වැඩේ එය ප්‍රකාශ කිරීම සඳහා ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එකයි. ඒකෙන් වාසියක් මිසක් කිසිදු අවාසියක් වෙන්නේ නැහැ. 

Saturday, September 14, 2024

කැමති හා අකැමැති අපේක්ෂකයෝ


මේ වෙද්දී ලංකාවේ ගොඩක් අය තමන් කැමතිම ජනාධිපති අපේක්ෂකයාව තෝරාගෙන අවසන්. ඒ කවුරු වුවත්, මේ ගොඩක් අයට තමන් කැමති අපේක්ෂකයා හැර අනෙක් අපේක්ෂකයින් සම්බන්ධව අප්‍රසාදයක් තිබෙන බවත් පෙනෙන්න තිබෙන දෙයක්. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් කාලයක සිටම එක් එක් අපේක්ෂකයාට තිබෙන කැමැත්ත හෝ අකැමැත්ත ගැන විමසනවා. මෙයින් අදහස් වන්නේ ඡන්දය දීමේ අභිප්‍රාය නෙමෙයි. ඒ දෙක දෙකක්. හැබැයි මේ වගේ අවස්ථාවක ඔය දෙක එක කිට්ටුවෙන් යන්න සෑහෙන ඉඩකඩක් තිබෙනවා. 

ජනාධිපතිවරණයේදී කෙනෙකුට මනාප තුනක් දක්වා දෙන්න පුළුවන්. පළමු මනාපය හෝ එකම මනාපය දෙන්නේ තමන් වැඩියෙන්ම කැමති අපේක්ෂකයාටනේ. හැබැයි ඒක එහෙම නොවී අඩුවෙන්ම අකැමැති අපේක්ෂකයාට පළමු මනාපය දෙන අයත් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් සියලුම අපේක්ෂයින් තමන් අකැමැති අපේක්ෂයින් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් කාට හෝ ඡන්දය දෙනවා. 

ඔය විදිහටම අපේක්ෂයින් දෙදෙනෙකුට හෝ වැඩි දෙනෙකුට කැමති (හෝ අකැමැත්තක් නැති) අය ඉන්නත් පුළුවන්. නමුත් ඒ සියලු දෙනාටම මනාප දෙන බවක් එයින් අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා, එක් එක් අපේක්ෂයාට තිබෙන කැමැත්ත හෝ අකැමැත්ත සහ ඡන්දය දීමේ අභිප්‍රාය කියන්නේ වෙන වෙනම කරුණු දෙකක්. 

මේ සමඟ පළ කරන රූප සටහනේ දැකිය හැකි "සමස්ත හිතකරත්වය" කියන එකෙන් අදහස් වෙන්නේ එක් එක් අපේක්ෂකයාට තිබෙන ප්‍රසාදයේ හා අප්‍රසාදයේ සාරාංශයක්. හතර දෙනාටම තියෙන්නේ සෘණ අගයන්. ඒ කියන්නේ මේ කවුරු ගත්තත් කැමති ප්‍රමාණයට වඩා අකැමැති ප්‍රමාණය වැඩියි කියන එක. 

අඩුම පිරිසක් අකැමැති අපේක්ෂකයා අනුර. වැඩිම දෙනෙක් අකැමැති නාමල්ට. රනිල් හා සජිත් ඔය අතර ආසන්නව එක මට්ටමේ ඉන්නවා. 

මෙම අගයන් ඇසුරෙන් අපට එක් එක් අපේක්ෂකයාට කැමති හා අකැමැති ප්‍රතිශත පිළිබඳ දළ අදහසක් ගන්න පුළුවන්.

අනුර:

කැමති ප්‍රතිශතය = 39.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 39.5% = 60.5%

වෙනස = 39.5% - 60.5% = (-21%)


සජිත්:

කැමති ප්‍රතිශතය = 34%

අකැමැති ප්‍රතිශතය = 100% - 34% = 66%

වෙනස = 34% - 66% = (-32%)


රනිල්:

කැමති ප්‍රතිශතය = 33.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 33.5% = 66.5%

වෙනස = 33.5% - 66.5% = (-33%)


නාමල්:

කැමති ප්‍රතිශතය = 5.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 5.5% = 94.5%

වෙනස = 94.5% - 5.5% = (-89%)


දැන් අපිට මේ එක් එක් එක් අපේක්ෂකයාට කැමති ප්‍රතිශත දෙස බලන්න පුළුවන්.

අනුර = 39.5%

සජිත් = 34%

රනිල් = 33.5%

නාමල් = 5.5%

එකතුව = 112.5%


එකතුව 100%ට වඩා 12.5%කින් වැඩියි. ඒ කියන්නේ 12.5%ක් එක් අයෙකුට වඩා වැඩි අපේක්ෂයින් ගණනකට කැමැත්ත පෙන්වා තිබෙනවා. පළමු වටයේ ඡන්ද සැලකුවොත් ඔය 12.5% ගොඩවල් හතරෙන් කොයි විදිහකට හෝ අඩු විය යුතුයි. ඒ 12.5% කියන්නේ කාට හෝ ලැබෙන දෙවන මනාපද?

Friday, September 13, 2024

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය


මෙම වසරේ (2024) දෙවන කාර්තුව තුළ, පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%කින් වර්ධනය වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ 1.7%ක හා සේවා අංශයේ 2.5%ක වර්ධනයක් සිදු වෙද්දී කර්මාන්ත අංශය 10.9%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තය නැවත පණ ගසා නැගිටමින් 15.5%ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණක්. 

වසරේ පළමු මාස හයේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 14,702ක් වන අතර පෙර වසරේ පළමු මාස හයේ එම අගය වූ රුපියල් බිලියන 13,422ට සාපේක්ෂව 9.5%ක නාමික වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව මූර්ත ආර්ථික වර්ධනය 5.0%ක්. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මත පදනම් වූ උද්ධමනය 4.3%ක් පමණයි. 

පළමු අර්ධයේ ආර්ථික වර්ධන වේගය 5.0% මට්ටම දක්වා ගොස් ඇති බැවින් දෙවන අර්ධයේදී ආර්ථිකය වර්ධනය නොවී පෙර වසරේ මට්ටමේම පැවතියද 2024 වාර්ෂික ආර්ථික වර්ධනය 2.5% මට්ටමට යනවා. ඒ අනුව, වසරේ ආර්ථික වර්ධන වේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර ඇති 2.0% මට්ටම ඉක්මවන බව ඉතාම පැහැදිලියි. මෙම වසරේ වාර්ෂික වර්ධන වේගය බොහෝ විට ස්ථායීකරන වැඩ සටහනේ දිගුකාලීන ඉලක්කය වන 3.1% මට්ටමද ඉක්මවා යා හැකියි. දෙවන අර්ධය තුළ වර්ධන වේගය 1.2% මට්ටමෙහි පවත්වා ගත්තද වාර්ෂික වර්ධනය 3.1% මට්ටමට යන බව සරල ගණිතයෙන් වුවද තේරුම් ගත හැකි දෙයක්. 

ආර්ථික වර්ධනය මේ අයුරින් අරමුදලේ ඇස්තමේන්තු ඉක්මවා යද්දී දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මත පදනම් වූ උද්ධමනය පවතින්නේ අරමුදලේ ඇස්තමේන්තුව වූ 9.8%ට වඩා බෙහෙවින්ම අඩු මට්ටමක් වන 4.3% මට්ටමේ. දෙවන අර්ධය තුළ මෙම අගය තවත් පහත වැටිය හැකි බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. 

ශ්‍රී ලංකාවේ අනාගත අභියෝගය වන්නේ මෙම යහපත් වර්ධනයන් දිගටම එලෙසින්ම පවත්වාගෙන යාමයි.

Wednesday, September 11, 2024

සමීක්ෂණ ප්‍රතිඵල - අගෝස්තු මාසය


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අගෝස්තු මාසය හා අදාළ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සඳහා සැප්තැම්බර් 2 දින දක්වා දිවයින පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 19,721ක දත්ත උපයෝගී කර ගෙන තිබෙනවා. 

මෙම ඇස්තමේන්තු හා ප්‍රවණතා අනුව පෙනී යන්නේ මෙම ජනාධිපතිවරණ තරඟය ඇතැම් අයගේ විශ්ලේෂණ වල සඳහන් ආකාරයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තරඟයක් වීමේ ඉඩක් කිසිසේත්ම නොපෙනෙන බවයි. එය මේ වන විට පැහැදිලි තුන් කොන් සටනක් බවට පරිවර්තනය වී අවසානයි. 

මෙම ඇස්තමේන්තු අනුව තවමත් ඉදිරියෙන් සිටින්නේ අනුර කුමාර දිසානායක වන අතර දෙවන තැන සිටින්නේ සජිත් ප්‍රේමදාසයි. කෙසේ වුවත්, තෙවන තැන සිටින රනිල් වික්‍රමසිංහ වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටීම කැපී පෙනෙන කරුණක්. එහි හානිය වැඩි වශයෙන් සජිත්ටත් ඉතා සුළු වශයෙන් අනුරටත් සිදුව ඇති බව දැකිය හැකියි. 

බැලූ බැල්මට මීට වඩා බොහෝ වෙනස් සේ පෙනෙන අනෙකුත් විවිධ "මත විමසුම්" වල දත්තද සංඛ්‍යානමය ගැලපුම් සිදු කිරීමෙන් පසුව මෙම ඇස්තමේන්තු හා සැසඳෙනවා. එමෙන්ම ප්‍රධාන කඳවුරු වල ප්‍රතිචාර වලින් පෙනී යන්නේ දැනට පවතින බලතුලනය පිළිබඳව එම කඳවුරු තුනටම අවබෝධයක් ඇති බවයි. 

මේ අනුව, පැහැදිලිව දැකිය හැක්කේ ජනාධිපතිවරණ සටන වඩා තියුණු තුන් කොන් සටනක් බවට පත්ව ඇති ආකාරයයි. මෙම ජනාධිපතිවරණය අපේක්ෂකයින් 39 දෙනාගේම ඡන්ද වලට වටිනාකමක් ලබා දෙන ජනාධිපතිවරණයක්. එවැනි තත්ත්වයක් මීට පෙර පැවතී නැහැ. 



දේශපාලන අවදානම හා පොලී අනුපාතික

 

ජනාධිපතිවරණ දිනය ආසන්න වෙද්දී ඉහළ ගොස් ඇති දේශපාලන අවදානම හමුවේ අද (සැප්තැම්බර් 11) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට රුපියල් බිලියන 180ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කළද, රජයට විකුණාගත හැකිව තිබෙන්නේ රුපියල් බිලියන 164.8ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. එම ප්‍රමාණය මිල දී ගෙන තිබෙන්නේද පොලී අනුපාතික නැවත 10% සීමාව ඉක්මවීමට ඉඩ හරිමිනුයි.

ඉදිරි සතියේ වෙන්දේසියට රුපියල් බිලියන 175ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙනවා. එය ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියයි. 

Monday, September 9, 2024

උපකල්පන වෙනස් වී ඇති ආකාරය

 

පෙර ලිපියෙහි විස්තර කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය ප්‍රයෝජනයට ගැනීමේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කර ඒ මත පදනම්ව නිගමන වලට එළැඹෙන්නට සිදු වෙනවා. සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කරන්නේ ඒ වන විට තිබෙන දත්ත මත පදනම්ව, පුරෝකථන ආකෘති යොදා ගනිමින් සාදාගන්නා ඇස්තමේන්තු මතයි. අලුත් දත්ත එකතු වෙද්දී මෙම ඇස්තමේන්තු වෙනස් වන විට උපකල්පනද වෙනස් කර ණය තිරසාරත්වය නැවත ඇගයීමට ලක් කරනවා.

සාමාන්‍යයෙන් අරමුදල විසින් මේ අයුරින් අලුත් දත්ත යොදාගෙන ණය තිරසාරත්වය නැවත ඇගයීමට ලක් කරන්නේ සයමාසික විමර්ශන සිදු කරන අවස්ථා වලදීයි. ඇගයීමෙන් පසුව ණය තිරසාරත්ව දර්ශක සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත්නම් වැඩසටහනේ ඉලක්ක හා ගැලපෙන පරිදි අලුත් නිර්දේශ ඉදිරිපත් කරනවා. මෙය සාමාන්‍යයෙන් සිදු වන ක්‍රියාවලියයි. කෙසේ වුවත්, පුරෝකථන, එම පුරෝකථන මත පදනම් වූ උපකල්පන හා එම උපකල්පන මත පදනම්ව ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය අනුව සිදු කෙරෙන නිගමන සය මසක කාලයක් තුළ විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. 

මේ සමඟ පළ කෙරෙන වගුවේ දැකිය හැක්කේ අරමුදලේ පළමු හා දෙවන විමර්ශන අතර කාලයේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම පිළිබඳ උපකල්පන වෙනස් වී ඇති ආකාරයයි. 

2023 මූර්ත ආර්තික වර්ධනය:
පළමු විමර්ශනය = (-3.6%)
දෙවන විමර්ශනය = (-2.3%)

2024 මූර්ත ආර්තික වර්ධනය:
පළමු විමර්ශනය = 1.8%
දෙවන විමර්ශනය = 2.8%

2023 දදේනි අවධමනකයේ වෙනස්වීම මත මනින උද්ධමනය:
පළමු විමර්ශනය = 20.4%
දෙවන විමර්ශනය = 17.5%

2024 දදේනි අවධමනකයේ වෙනස්වීම මත මනින උද්ධමනය:
පළමු විමර්ශනය = 10.1%
දෙවන විමර්ශනය = 9.8%

2023 ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි %):
පළමු විමර්ශනය = (-0.7)%
දෙවන විමර්ශනය = 0.6%

2024 ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි %):
පළමු විමර්ශනය = 0.8%
දෙවන විමර්ශනය = 1.0%

2023 නාමික දළ දේශීය නිෂ්පාදිතය (රු බිලියන):
පළමු විමර්ශනය = 28,033
දෙවන විමර්ශනය = 27,630

2024 නාමික දළ දේශීය නිෂ්පාදිතය (රු බිලියන):
පළමු විමර්ශනය = 31,422
දෙවන විමර්ශනය =30,917

මේ අනුව, පහසුවෙන්ම පහත නිරීක්ෂණ සිදු කළ හැකියි.
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා වැඩි වේගයකින් උද්ධමනය පහත වැටීම 
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා වැඩි ප්‍රාථමික අයවැය ශේෂයක් වාර්තා වීම.

මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ රටේ ණය තිරසාරත්වය පිළිබඳ දර්ශක මුලින් අරමුදල විසින් ඇස්තමේන්තු කළ තත්ත්වයට වඩා හොඳ මට්ටමකට පැමිණ තිබීමයි. දෙවන විමර්ශනයෙන් පසුව ලැබුණු දත්ත අනුව පෙනී යන්නේ මේ තත්ත්වය මේ වන විට තවත් හොඳ අතට හැරී තිබිය යුතු බවයි. 

කෙසේ වුවත්, මේ අයුරින් කෙටිකාලීනව සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම අරමුදල විසින් උපකල්පනය කළාට වඩා හොඳ තත්ත්වයක ඇති බව පෙනී යාමෙන් පසුව වුවද, අරමුදල විසින් ඔවුන්ගේ දිගුකාලීන පුරෝකථන හෝ උපකල්පන වෙනස් කර නැති බවද පෙනී යා යුතුයි. ඔවුන් එම උපකල්පන වලට එළැඹෙන්නේ ඔවුන්ගේ පුරෝකථන ආකෘති හා ලංකාවේ සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ දිගුකාලීන හැසිරීම මත පදනම්වයි. 

වෙනත් විදිහකින් කිවුවොත් වසරක් හෝ දෙකක් "කරලා පෙන්නීමෙන්" පසුව අරමුදල විසින් ඔවුන්ගේ කෙටිකාලීන උපකල්පන වෙනස් කරනවා. එහෙත් දිගුකාලීන උපකල්පන වෙනස් කරනු ඇත්තේ වසර ගණනාවක් එක දිගට "කරලා පෙන්නීමෙන්" පසුවයි. 

Sunday, September 8, 2024

ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද?


පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකු විසින් DSA යන යෙදුම භාවිතා කරනු දැකිය හැකි වුනා. මෙම අකුරු තුනෙන් කෙටි කර තිබෙන්නේ Debt Sustainability Analysis එනම් ණය තිරසාරත්ව විශ්ලේෂණය යන්නයි. ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද?

ඉතා කෙටියෙන් කිවුවොත් මෙයින් අදහස් වන්නේ ඉදිරි කාලයේදී කිසියම් රටක රජයකට සිය රාජ්‍ය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී සහ ණය වාරික පැහැර නොහැර නිසි කලට ගෙවීමේ හැකියාව පිළිබඳ විශ්ලේෂණයක්. 

ඇත්තටම මෙවැනි ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරන්නේ රාජ්‍ය ණය හා අදාළව පමණක් නෙමෙයි. පුද්ගලයින් හා ආයතන සම්බන්ධවත් මෙවැනි විශ්ලේෂණ සිදු කෙරෙනවා. කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් බැංකුවකින් ණයක් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමෙන් අනතුරුව අදාළ බැංකුව විසින් ණය අනුමත කරන්නේ ණය තිරසාරත්ව විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුවයි. පුද්ගලයෙක්ගේනම් වැටුප් වාර්තා, වෙනත් වත්කම් ආදිය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටින්නේ මේ නිසා. සමාගමක් හා අදාළව වුවද පසුගිය ගිණුම් වාර්තා ආදිය බැංකුවට ලබා දෙන්නට සිදු වෙනවා. 

ස්ථාපිත ආයතන හා අදාළ ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරන්නේ ඔවුන්ට ණය දෙන ආයතන විසින් පමණක් නෙමෙයි. තමන්ගේ ආයතනයේ ඉදිරි අවදානම් හඳුනා ගැනීම පිණිස එවැනි ආයතන විසින්ද මෙවැනි විශ්ලේෂණ සිදු කරනවා. රජයයන් විසින්ද රාජ්‍ය ණය හා අදාළව මෙවැනි විශ්ලේෂණ නිරන්තරයෙන් සිදු කරනවා. එසේ කරන්නේ අර්බුදකාරී අවස්ථා වලදී පමණක් නෙමෙයි. මෙය නිරන්තරව හා අඛන්ඩව සිදු වන දෙයක්. 

සිය සාමාජික රටවල රජයයන්ගේ ණය තිරසාරත්වය හා අදාළ විශ්ලේෂණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද වරින් වර සිදු කරනවා. එම අරමුදල විසින් රටකට ණය දීමට පෙර හා ඉන් පසුව මෙවැනි විශ්ලේෂණ අනිවාර්යයෙන්ම සිදු වන අතර එසේ ණය ගැනීමක් සිදු නොවන අවස්ථා වලදීද අරමුදල විසින් උපදේශනාත්මක කාර්යයක් ලෙස ස්වාධීන ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරනවා. එම විශ්ලේෂණ අදාළ රජයයන්ගේ ණය තිරසාරත්ව විශ්ලේෂණ වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය තිරසාරත්වය අර්ථ දක්වන්නේ පහත ආකාරයෙනුයි.

“In general terms, public debt can be regarded as sustainable when the primary balance needed to at least stabilize debt under both the baseline and realistic shock scenarios is economically and politically feasible, such that the level of debt is consistent with an acceptably low rollover risk and with preserving potential growth at a satisfactory level."

මෙම අර්ථදැක්වීම අනුව, සාමාන්‍යයෙන් අපේක්ෂා කළ හැකි මට්ටමේ ආර්ථික කම්පනයකට ඔරොත්තු දී ස්ථාවරව සිටීමට (එනම් ණය පැහැර හරින තත්ත්වයකට ඇද නොවැටීමට) ප්‍රමාණවත් තරමේ ප්‍රාථමික අයවැය ශේෂයක් පවත්වා ගැනීමට ආර්ථික වශයෙන් හා දේශපාලනික වශයෙන් හැකියාවක් ඇත්නම් ණය තිරසාරත්වය ඇති සේ සැලකෙනවා. එම තත්ත්වය යටතේ ආර්ථික වර්ධනය තිරසාර ලෙස සතුටුදායක මට්ටමක පවත්වා ගැනීමට හැකි විය යුතු අතර නිසි කලට ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් සපයා ගැනීමට අලුත් ණය ගැනීමේ හැකියාව හොඳ මට්ටමක පැවතිය යුතුයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය තිරසාරත්ව විශ්ලේෂණයක් සිදු කර කිසියම් රටක ණය තිරසාරත්වය පරීක්ෂාවට ලක් කරන්නේ කෙසේද?

මේ සඳහා ආකෘතියක් අවශ්‍ය වෙනවා. අරමුදල විසින් කරන්නේ මෙම ආකෘතියට තොරතුරු ඇතුළත් කර ලැබෙන ප්‍රතිඵල අනුව කිසියම් රටක ණය තිරසාරත්වය පරීක්ෂාවට ලක් කිරීමයි. ඉතාම සරල ලෙස මෙවැනි හැඳින්වීමක් කළත් මෙය විශාල වෙහෙසක් දරා කළ යුතු හා විශේෂඥ දැනුමක් අවශ්‍ය සංකීර්ණ කාර්යයයක්. 

ශ්‍රී ලංකා රජය ඇතුළු රජයයන් විසින් ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරන්නේද මේ ක්‍රමයටයි. එහෙත්, එහිදී යොදා ගන්නා ආකෘතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආකෘතියම නොවෙන්න පුළුවන්. යම් හෙයකින් එම ආකෘතියම යොදා ගත්තද, ආකෘතිය යටතේ ඇතුළු කරන පරාමිතීන් වෙනස් වීම හේතුවෙන් වෙනත් ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්.

මෙය කිසියම් පුද්ගලයෙක් බැංකුවකින් ණයක් ගැනීමේදී සිදු වන ක්‍රියාවලියට සමාන කළ හැකියි. පොලු තියන්න බලාගෙනම ණය ගන්න හදන අයත් සිටිය හැකි වුවත්, සාමාන්‍යයෙන් කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් ණයක් සඳහා අයදුම් කරන්නේ තමන්ගේ විශ්ලේෂණය අනුව එම ණය පැහැර නොහැර ගෙවිය හැකි බව පෙනෙන නිසයි. නමුත් බැංකුවේ විශ්ලේෂණය අනුව ඒ බව නොපෙනේනම් ඔවුන් ණය අනුමත කරන්නේ නැහැ.

කෙසේ වුවත්, එක් බැංකුවකින් ණයක් ලබා ගත නොහැකි පුද්ගලයෙකුට ඇතැම් විට වෙනත් බැංකුවකින් ණයක් ලබා ගැනීමට හැකි වෙනවා. ඊට හේතුව, ණය තිරසාරත්ව විශ්ලේෂණ සඳහා එක් එක් බැංකු විසින් යොදා ගන්නා ආකෘති සමාන නොවීමයි. 

විවිධ පුද්ගලයින් හා ආයතන විසින් එකම තොරතුරු මත පදනම්ව වෙනස් ආකාරයෙන් ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කිරීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. නමුත් ණයක් ගැනීම වැනි අවස්ථාවක වඩා වැදගත් වන්නේ ණය දෙන්නාගේ විශ්ලේෂණයයි. මෙය තේරුම් ගැනීම සඳහා විශේෂඥ ඥානයක් අවශ්‍ය වන්නේ නැහැ. බැංකු ණයක් අනුමත කරද්දී වැදගත් වන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව බැංකුවේ විශ්ලේෂණය මිසක් අයදුම්කරුගේ විශ්ලේෂණය නෙමෙයි.

කිසියම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගැනීමේදී බලපාන්නේද මේ රීතියයි. ශ්‍රී ලංකාව විසින් කවර ස්වාධීන විශ්ලේෂණ කළත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තීරණ ගන්නේ ඔවුන්ගේ ආකෘතිය අනුව ඔවුන් එළැඹෙන නිගමනය අනුවයි. ණය ඉල්ලන රටකට එම ආකෘතිය වෙනුවට වෙනත් ආකෘතියක් යෝජනා කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යොදා ගන්නේ පොදු ආකෘතියක් මිසක් ලංකාව වෙනුවෙන්ම හැදූ විශේෂ ආකෘතියක් නෙමෙයි. 

මේ අනුව, ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීමේදී ඔවුන්ගේ ආකෘතිය සම්බන්ධව හෙට්ටු කිරීම් කිරීමට කිසිදු හැකියාවක් නැහැ. 

මෙවර ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේ ණය පැහැර හැරි රටක් ලෙසයි. පසුගිය 16 වාරයේදීම එවැනි තත්ත්වයක් පැවතුනේ නැහැ. ඒ නිසා, අරමුදලේ ණය ලැබුණේ වුවද එහි උදවුවෙන් පමණක් රටට ණය තිරසාරත්වය ඇති කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා දැනට ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන්නට සිදු වෙනවා. එය කළ හැක්කේ ණයහිමියන්ගේ එකඟතාවයෙන්.

මේ කාර්යයේදී ණයහිමියන් විසින්ද ස්වාධීනව ලංකාව හා අදාළ ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරනවා. එසේ කරන්නේ ඔවුන්ගේ අවදානම් අඩු වන පරිදි, ඔවුන්ට වාසිදායක ලෙසයි. ශ්‍රී ලංකා රජයේ ණය තිරසාරත්ව විශ්ලේෂණ පිළිගන්නට ඔවුන් එකඟ වන්නේ නැහැ. ණය පැහැර හැරීම මගින්, එම විශ්ලේෂණ වැරදි බව ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ඔප්පු කර හමාරයි. ඒ නිසා, ශ්‍රී ලංකා රජයට තමන්ගේම ණය තිරසාරත්ව විශ්ලේෂණයක් මත පදනම්ව ණයහිමියන් සමඟ හෙට්ටු කර එකඟත්වයකට පැමිණීම අසීරු කාර්යයක්. 

මේ තත්ත්වය තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමක් නැත්නම්, එක්කෝ ශ්‍රී ලංකා රජයට ණයහිමියන්ගේ කොන්දේසි වලට එකඟ වෙන්නට සිදු වෙනවා. එසේ නැත්නම් එකඟතාවයක් ඇති නොවීමේ අවදානම ගන්නට සිදු වෙනවා. කෙසේ වුවත්, ස්වාධීන තෙවන පාර්ශ්වයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් වීම තුළින් දෙපාර්ශ්වයට යම් එකඟතාවයකට පැමිණීම සඳහා පාලමක් හැදෙනවා. ඒ නිසා, මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය සාමාන්‍ය අවස්ථාවකදී එම විශ්ලේෂණයට වඩා බොහෝ වැදගත්.

සාමාන්‍ය අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය හෝ වෙනත් කොන්දේසි සමඟ ශ්‍රී ලංකා රජයට එකඟ විය නොහැකිනම් අරමුදලෙන් ණය නොගෙන සිටීමේ විකල්පය ගැන සිතිය හැකියි. (එයින්ද අවාසි සිදුවීම හා අවදානම් ඉහළ යාම පැත්තක තියමු.) නමුත් මේ අවස්ථාවේදී එසේ කිරීමෙන් ඊට වඩා වැඩි විශාල අවදානමකට ශ්‍රී ලංකා රජයට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ, ණයහිමියන් සමඟ එකඟතාවකයට පැමිණීමේ හැකියාවද ගිලිහී යාමයි. එසේ නැත්නම් වඩා අවාසිදායක කොන්දේසි යටතේ එවැනි එකඟතාවයකට පැමිණීමට සිදු වීමයි. අරමුදලේ මැදිහත්වීම හා සහයෝහය තිබියදී වුවද ණය ප්‍රතිව්‍යුහත කිරීමේ එකඟතාවයක් ඇති කර ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි. 

ඉහත පැහැදිලි කළ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය අපට "දෙන ලද තත්ත්වයක්" සේ සලකන්නට සිදු වෙනවා. ඒ සම්බන්ධව හෙට්ටු කිරීම් කළ නොහැකියි. එය බැංකුවකින් ණයක් ඉල්ලන කෙනෙක් ඒ බැංකුවේ අවදානම් කළමනාකරණ ආකෘතිය වෙනස් කරන මෙන් ඉල්ලනවා වගේ වැඩක්. 

කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ කතා කරන්නට හා හෙට්ටු කරන්නට කිසිම දෙයක් නැති බව නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය මත පදනම්ව නිගමන වලට එළඹීමේදී යොදා ගන්නා පරාමිතීන් හා සම්බන්ධව ශ්‍රී ලංකාවට යම් හෙට්ටු කිරීමක් කළ හැකියි.

මෙය උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්නේනම්, ආදායම ප්‍රමාණවත් නොවීමේ පදනම මත බැංකු ණයක් ප්‍රතික්ෂේප වීමෙන් පසුව, ණය අයදුම්කරුවෙකුට පෙර බැංකුවට ලබා දී නොමැති වෙනත් ආදායම් ප්‍රභව පිළිබඳ තොරතුරු බැංකුවට ලබා දෙන්න පුළුවන්. එවිට බැංකුව විසින් නැවත සලකා බලා ණය අනුමත කිරීමට යම් ඉඩක් තිබෙනවා. නමුත් මෙහිදී බැංකුව විසින් යොදාගන්නේ කලින් යොදාගත් ආකෘතියමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය හා අදාළව මෙවැනි පරාමිතීන් හා අදාළව වුවද තිබෙන්නේ ඉහත උදාහරණයේ මෙන් සරල තත්ත්වයක් නෙමෙයි. එම පරාමිතීන් බොහොමයක් සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම පිළිබඳ පුරෝකථනයි. මෙම පුරෝකථන සිදු කිරීම සඳහාද අරමුදල විසින් නිශ්චිත ආකෘති යොදා ගන්නවා. එම ආකෘති ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෝ මුදල් අමාත්‍යංශය විසින් යොදා ගන්නා ආකෘති වලට හරියටම සමාන නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය සාමාන්‍යයෙන් ලංකාව වැනි රටක රජයට ස්වාධීනව හදාගත හැකි එවැනි ආකෘතියකට වඩා නිවැරදියි. ඒ නිසා බොහෝ රටවල් අරමුදලේ ආකෘතිය එලෙසම හෝ මාර්ගෝපදේශන ආකෘතියක් ලෙස යොදා ගන්නවා. නමුත් සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම පිළිබඳ පුරෝකථන කිරීම සඳහා ලංකාව වැනි රටකට වඩා නිවැරදි ආකෘති යොදා ගන්න බැරිකමක් නැහැ. 

ඊට පළමු හේතුව අරමුදල මේ ආකෘති හදන්නේ ලෝකයේ හැම රටකටම එක සේ ගැලපෙන පරිදි වීමයි. ලංකාව වෙනුවෙන් පමණක් හදන ආකෘතියක ලංකාවට අනන්‍ය ලෙස බලපාන කරුණු ඇත්නම් ඒවාද සලකා බැලිය හැකියි. දෙවන හේතුව, ලංකාවේ සාර්ව ආර්ථික විචල්‍යයන් කෙරෙහි බලපාන සාධක වල වෙනස් වීම් පිළිබඳව ශ්‍රී ලංකා රජයට හා මහ බැංකුවට අරමුදලට වඩා කලින්ම දැන ගන්නට හැකි වීමයි. 

මේ හේතු නිසා, දිගුකාලීනව බොහෝ විට අරමුදලේ පුරෝකථන වඩා නිවැරදි වුවත්, කෙටිකාලීනව ශ්‍රී ලංකා පාර්ශ්වයට වඩා නිවැරදි ලෙස සාර්ව ආර්ථික විචල්‍යයන් පුරෝකථනය කළ හැකියි. 

කෙටිකාලීන අවදානම් විශ්ලේෂණය සඳහා අරමුදල විසින් බහුවිචල්‍ය විශ්ලේෂණ ආකෘතියක් (Multivariate model) යොදා ගන්නවා. මෙහිදී සිදු වන්නේ මෑතකාලීන අතීත දත්ත මත පදනම්ව හා එම විචල්‍යයයන් මෑතකාලීනව වෙනස් වෙමින් පවතින ප්‍රවණතා අනුව ඉදිරි කාලය තුළද වෙනස් වනු ඇතැයි යන උපකල්පනය යටතේ අනාගත වෙනස්වීම් පුරෝකථනය කිරීමයි.

මෙය මෙවැනි පුරෝකථන සිදු කරන සම්මත ක්‍රමයක්. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු සකස් කර තිබෙන්නේද මෙම ක්‍රමයටයි. කෙසේ වුවත්, අලුත් දත්ත ලැබෙන විට මෙම පුරෝකථන වෙනස් වෙනවා. ඒ දත්ත අලුත් වෙද්දී විචල්‍යයන්ගේ මෑතකාලීන හැසිරීම් ප්‍රවණතා පිළිබඳ ඇස්තමේන්තුද වෙනස් වන නිසා. එහෙත්, එවැනි වෙනස්කම් සිදු වන්නේ මූලික ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය මෙන්ම පුරෝකථන ආකෘතියද නොවෙනස්ව තිබියදීයි.

මෙවැනි පුරෝකථන ආකෘතියක් අනුව, පුරෝකථන සිදු කරන්නේ කොතරම් දුරස්ථ අනාගතයක් සඳහාද යන්න අනුව, පුරෝකථන වල නිරවද්‍යතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා, මැදිකාලීනව පුරෝකථනය කළ හැක්කේ සාර්ව ආර්ථික විචල්‍යයන් විචලනය වීමට ඉඩ තිබෙන පරාසය පමණයි. කාලය වඩා ඉදිරියට යද්දී මෙම පරාසය ක්‍රමක්‍රමයෙන් පුළුල් වෙනවා. එහෙත්, අලුත් දත්ත ලැබෙන විට මෙම අවිනිශ්චිතතාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා.

මෙවැනි ආකෘතියක් තුළ සාමාන්‍යයෙන් සලකා නොබලන කරුණු (උදාහරණයක් ලෙස මැතිවරණය නිසා කොටස් වෙළඳපොළට සිදුව තිබෙන බලපෑම වැනි දේ) නිසාද කෙටිකාලීනව සාර්ව ආර්ථික විචල්‍යයන් වෙනස් වෙනවා. මෙවැනි වෙනස්කම් ගැන සලකා බලමින් පුරෝකතන "අතින් වෙනස් කිරීම" අරමුදල විසින් කරන්නේ ඉතා සුළු වශයෙන් පමණයි. ඒ නිසා, ශ්‍රී ලංකා පාර්ශ්වයට අමතර කරුණු ඉදිරිපත් කර හෝ හෙට්ටු කර අරමුදලේ නිගමන වෙනස් කර ගැනීම සඳහා තිබෙන්නේ ඉතාම සුළු අවකාශයක් පමණයි.

කෙසේ වුවත්, හැම මොහොතකම මෙන් අලුතෙන් දත්ත එකතු වන බැවින් එම දත්ත පවතින ආකෘතියට ඇතුළු කරද්දී පළමුව සාර්ව ආර්ථික විචල්‍යයන් පිළිබඳ පුරෝකථනත්, දෙවනුව ණය තිරසාරත්ව විශ්ලේෂණ ප්‍රතිඵලත් වෙනස් වෙනවා. මෙය ස්වයංක්‍රීය ලෙසම සිදු වන දෙයක්. මස හයකට වරක් අරමුදල විසින් සිදු කරන විමර්ශන වලදී මේ අයුරින් අලුත් දත්ත ඇතුළු කරමින් ණය තිරසාරත්වය පිළිබඳ තත්ත්වය නැවත සලකා බලනවා. එසේ සලකා බැලීමෙන් පසුව නිර්දේශ ඉදිරිපත් කරනවා. කෙසේ වුවත්, ණය තිරසාරත්වය පිළිබඳ නිගමන වෙනස් වන්නේ බොහෝ දුරට යාන්ත්‍රික ලෙසයි.

මාස හයකට වරක් සිදුවන මෙම විමර්ශන වලදී ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් අමතර තොරතුරු ඉදිරිපත් කරමින් හා තමන්ගේ ආකෘති මත ලැබෙන පුරෝකථන ඉදිරිපත් කරමින් අරමුදල සමඟ හෙට්ටු කිරීමක් කරනවා. හෙට්ටු කිරීමක් යන වචනය යොදාගත්තත් ඇත්තටම මේවා තාක්ෂණික කරුණු මත සිදුවන විද්වත් සාකච්ඡා මිසක් පොලෙන් දෙල් ගනිද්දී සිදුවන ආකාරයේ හෝ ඉඩමක් වාහනයක් ගනිද්දී සිදු වන ආකාරයේ හෙට්ටු කිරීම් නෙමෙයි. හෙට්ටු කිරීමක් කළ හැක්කේ තාක්ෂණික පදනමකින් පමණයි. එසේ කළද, අරමුදල විසින් ඔවුන්ගේ පුරෝකථන වෙනස් කරන්නේ කෙටිකාලීන පුරෝකථන සිය පුරෝකථන ආකෘතියෙන් බැහැරව වෙනස් කිරීම සඳහා ඔවුන්ට තිබෙන සීමිත අවකාශය තුළ පමණයි.

මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය වෙනස් කර ගැනීමටනම් ඔවුන්ගේ අදාළ ආකෘතියට ඇතුළු කෙරෙන පරාමිතීන් වෙනස් කරන්නට සිදු වෙනවා. ඒ සඳහා ඔවුන්ගේ පුරෝකථන ආකෘති අනුව පෙනෙන සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම වෙනස් විය යුතුයි. එය සිදුවන යාන්ත්‍රනය වන්නේ වත්මන් දත්ත වල හැසිරීම වෙනස් වීමයි. 

ඒ නිසා, ණය තිරසාරත්ව විශ්ලේෂණය වෙනස් කර ගැනීම සඳහා වත්මන් සාර්ව ආර්ථික විචල්‍යයන් අරමුදලේ ඉලක්ක වලටත් වඩා හොඳ මට්ටමක පවත්වා ගන්න සිදු වෙනවා. ඒ හැර වෙන ක්‍රමයක් නැහැ. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රජය හා මහ බැංකුව විසින් කර තිබෙන්නේත්, දැනට කරමින් සිටින්නේත් එයයි. ආකෘති වලින් බොහෝ දුරට යාන්ත්‍රිකව ලැබෙන දෙයක් වන රටේ ණය තිරසාරත්වය පිළිබඳ අවසන් නිගමන වෙනස් කරගත හැකි සාර්ථක හා ප්‍රායෝගික එකම ක්‍රමය එයයි. 

Saturday, September 7, 2024

ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ අපේක්ෂාවන්


පහත තිබෙන්නේ 2,700 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම්ව නම්බර්ස් ඩොට් එල්කේ මගින් සිදු කර ඇති විශ්ලේෂණයකට අනුව, එක් එක් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන අය ජනාධිපතිවරණ ප්‍රතිඵලය පුරෝකථනය කරන ආකාරයයි.

අනුරගේ ආධාරකරුවෝ:

අනුර - 50%

සජිත් - 27%

රනිල් - 15%

නාමල් - 5%


සජිත්ගේ ආධාරකරුවෝ:

සජිත් - 46%

අනුර - 24%

රනිල් - 19%

නාමල් - 8%


රනිල්ගේ ආධාරකරුවෝ:

රනිල් - 42%

සජිත් - 30%

අනුර - 21%

නාමල් - 6%


නාමල්ගේ ආධාරකරුවෝ:

නාමල් - 30%

සජිත් - 27%

රනිල් - 21%

අනුර - 18%


Friday, September 6, 2024

විවිධ ජන කාණ්ඩ වල ඡන්දය දීමේ අභිප්‍රාය


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මීට දින දෙකකට පෙර (සැප්තැම්බර් 4) ඔවුන්ගේ සමීක්ෂණ දත්ත පිළිබඳ විස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කළා. පහත තිබෙන්නේ එක් එක් ජන කාණ්ඩය ඇතුළත මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රායයි.

සිංහල 

අනුර - 41.4%

සජිත් - 30.8%

රනිල් - 23.0%


ශ්‍රී ලංකා දෙමළ 

අනුර - 24.7%

සජිත් - 51.0%

රනිල් - 22.4%


කඳුකර දෙමළ 

අනුර - 25.9%

සජිත් - 56.7%

රනිල් - 16.7%


මුස්ලිම් 

අනුර - 23.3%

සජිත් - 65.4%

රනිල් - 11.1%


පිරිමි 

අනුර - 42.7%

සජිත් - 37.4%

රනිල් - 16.7%


ගැහැණු 

අනුර - 32.3%

සජිත් - 37.2%

රනිල් - 26.1%


වයස 18-29 අතර 

අනුර - 54.4%

සජිත් - 34.7%

රනිල් - 8.5%


වයස 30-59 අතර 

අනුර - 36.8%

සජිත් - 38.2%

රනිල් - 22.0%


වයස 60ට වැඩි 

අනුර - 16.3%

සජිත් - 38.2%

රනිල් - 37.6%


අඩු ආදායම්ලාභීන් 

අනුර - 34.9%

සජිත් - 42.2%

රනිල් - 18.6%


මැදි ආදායම්ලාභීන් 

අනුර - 35.3%

සජිත් - 35.4%

රනිල් - 24.0%


ඉහළ ආදායම්ලාභීන් 

අනුර - 41.5%

සජිත් - 34.4%

රනිල් - 22.2%


මෙම දත්ත අගෝස්තු 19 දක්වා දත්ත. මෙම ප්‍රතිශත වෙනස් වෙමින් තිබුණු ප්‍රවණතාව රූප සටහනෙහි දැකිය හැකියි.

Thursday, September 5, 2024

අයිස් කන්ද දිය වෙනවා වගේද?


මම හිතන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා අදාළව ලොකු බලපෑමක් කළ හැකිව තිබුණු අයිස් කන්ද දැන් දියවෙන්න පටන් අරගෙන. තුනෙන් එකක් පමණවත් දැනටම දිය වෙලා ඇති. බොහෝ විට අවසන් ප්‍රතිඵලය මේ වෙද්දීත් ලියැවිලා අවසන්ව තියෙන්න පුළුවන්. ඒක විසි දෙවෙනිදාට බලා ගන්න පුළුවන් වෙයි.

මේක පුරෝකථනයක් නෙමෙයි. අවසන් ප්‍රතිඵලය කුමක් වෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත්, ඒක කුමක් වුනත්, මාලිමාව වගේම රනිලුත් දැනටම දිනලා ඉවරයි. 

දැන් තිබෙන බලතුලනය අනුව අනුර එක්කෝ දිනයි. නැත්නම් පරදියි. හැබැයි අනුර පැරදුනොත් දිනන අපේක්ෂකයාට දිනන්න වෙන්නේ සුවිශේෂී තත්ත්වයන් දෙකක් යටතේ. ඒ දෙකෙන්, අඩු වැදගත් කරුණ උතුරු නැගෙනහිර ඡන්ද වල උදවුවෙන් දිනන්න සිදු වීම. වඩා වැදගත් කරුණ දෙවන වටයෙන් දිනන්න සිදු වීම. 

ඔය අඩු වැදගත් කරුණ වුනත්, ඉන් පසුව ජන විඥානය කෙරෙහි විශාල බලපෑමක් කරන්න ඉඩ තිබෙන එකක්. මේ වැඩේ මීට කලින් 2015දී සිදු වුනා. සිංහල බහුතර ප්‍රදේශ සියල්ලේම වගේ මහින්ද ඉදිරියෙන් සිටිද්දී ජනාධිපති වුනේ මෛත්‍රීපාල සිරිසේන. පොහොට්ටුව හැදුනේ ඔය කම්පනය එක්කයි. 2019දී සිංහල බහුතර ප්‍රදේශ වල ඡන්ද වලින් ගෝඨාභය ජයග්‍රහණය කිරීම දක්වාම විකාශනය වුනේ ඔය කම්පනයේ පසු තරංග.

දෙවැන්න සිදු වුනොත් වෙන්නේ හිතාගන්න බැරි තරමේ කම්පනයක්. නිකමට හිතන්නකෝ අනුර පළමු වටයෙන් සැලකිය යුතු ලීඩ් එකක් අරගෙන දිනුවට පස්සේ දෙවන වටයෙන් යාන්තමින් පැරදුනොත් ඇති වෙන තත්ත්වය. මේ වගේ දෙයක් පිළිබඳ පූර්වාදර්ශයක් (precedent) ලංකාවට නැහැ. ඒ වගේ තත්ත්වයකට ලංකාවේ සමාජය මොන විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා හිතා ගන්නත් අමාරුයි. 

කොහොම වුවත් අනුර හැර වෙනත් අපේක්ෂකයෙක් දිනුවොත්, ඊට පස්සේ හැදෙන්නේ ඉතාම දුර්වල ආණ්ඩුවක්. ඒක ගෙනියන්න වෙන්නේ අමාරුවෙන් අටවාගෙනයි. එහෙම ආණ්ඩුවක් කරද්දී, කිසිම සහයෝගයක් දෙන්න සූදානමක් නැති, පුළුවන් පළමු අවස්ථාවේම ආණ්ඩුව ගෙදර යවලා රාජ්‍ය බලය ලබා ගන්න බලාගෙන ඉන්න ශක්තිමත් විපක්ෂයක් එක්ක ගැටෙන්නත් වෙනවා. ඔය තත්ත්වයන් එක්ක මෙවර අනුර පැරදුනොත් වෙන්නේ ඊළඟ වාරයේ, සමහර විට ආණ්ඩුවක සම්පූර්ණ කාලය ඉවර වෙන්නත් කලින්, මාලිමාවට ආණ්ඩු බලයට කිට්ටු කරන්න ඉඩ ලැබෙන තත්ත්වයක්. කොහොමටත් මාලිමාව දැන් තුන් වන පක්ෂයක සීමාවෙන් එළියට ඇවිත් ඉවරයි. 

තුන් වන පක්ෂයක් විදිහට දශක ගණනාවක් දේශපාලනය කරපු, අවසන් ජාතික මැතිවරණ වලදී 3% සීමාවේ හිටපු පක්ෂයක් විදිහට මාලිමාව දැනටමත් දිනලා ඉවරයි කිවුවේ ඔය හේතුව නිසා. දැන් ඉන්න තැනට ආවට පස්සේ පැරදුනත් දිනන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

රනිල්ගේ පැත්තෙන් බැලුවොත් ඒත් රනිල් දිනලා. මාලිමාව එක්ක බලද්දී රනිල් කියන්නේ තනි පුද්ගලයෙක්. රනිල් කියන පුද්ගලයාගෙන් මේ වෙලාවේ නියෝජනය වෙන්නේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති පැකේජ් එකක්. රනිල් පැරදිලා ගෙදර ගියාට පස්සෙත් ඒ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති පැකේජ් එක දිගටම ක්‍රියාත්මක වෙනවානම් ජනාධිපතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත් ඒක රනිල්ගේ ජයග්‍රහණයක්. 

මම අපේ පවුලේ වැඩිමලා. පොඩි කාලේ ඉඳලම මට විභාග වලට එහෙම ටිකක් හොඳට ලකුණු තිබුණා. මගේ පවුලේ බාල සහෝදර සහෝදරියෝ පසුව කියපු දෙයක් තමයි ඒක ඔවුන්ට විශාල පීඩනයක් වුනා කියන එක. මං හිතන්නේ මම කියන දේ තේරෙනවා ඇති. පවුලේ වැඩිමලා විශ්ව විද්‍යාලයකට තේරුණාම බාල අයට ඒකේ පීඩනය එනවා. මොකද තමන් යා යුතු අවම සීමාව කලින්ම වෙන කෙනෙක් ලකුණු කරලා. 

දැන් රනිල් කරලා තියෙන්නෙත් ඔය වැඩේ. අලුත් ආණ්ඩුවකට කාර්ය සාධනය පෙන්වන්න සිදු වන අවම සීමාව රනිල් දැනටමත් ලකුණු කරලා ඉවරයි. ඒක අභියෝගාත්මක සීමාවක්. අලුත් ආණ්ඩුවක කාර්ය සාධනය ඒ සීමාවෙන් පහළට වැටුනොත් විවේචනය කරන්න බලාගෙන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා, කාට වුනත් වැඩිය සෙල්ලම් දාන්න පුළුවන් ඉඩක් ඉතිරි වෙලා නැහැ. අවසන් ජාතික මැතිවරණ වලදී 2% සීමාවේ හිටපු රනිල් අවුරුදු දෙකකින් ඔය තරම් හරියක් කරලා ගෙදර ගියොත් එය ඔහුගේ පරාජයක් වෙන්නේ නැහැ. 

ඡන්ද ශ්‍රේණිගත කිරීම් කොහොම වුනත් අනුරගේ (මාලිමාවේ) සැබෑ ප්‍රතිවාදියා රනිල්. මේ කතාව මේ විදිහටම වගේ @Anuruddha Pradeep Karnasuriya විසින් ලියලා තිබුණා. ඔහු ලියා තිබෙන හැම දෙයකටම එකඟ වෙන්නේ නැතත්, ඔහුගේ මූලික තර්කය නිවැරදියි. ඔහු පෙන්වා දෙන විදිහට (මම හිතන්නේ මීට සමාන දෙයක් මමත් කලින් කියලා ඇති), මාලිමාව 3% සිට පටන් ගනිද්දී රනිල්ට පටන් ගන්න වෙන්නේ 2% ඉඳලා. ගොඩක් අය ඒක අමතක කරනවා වෙන්න පුළුවන්. හැබැයි මමනම් මේ කරුණ නොසලකා හැරලා නැහැ.

දැන් මෙහි තර්කය වන්නේ අනුරට වගේම රනිල්ටත් තරඟ කරන්න වෙන්නේ එකම ඡන්ද ටික වෙනුවෙන් කියන එක. ඒ කියන්නේ පොහොට්ටුවේ ඡන්ද ටික වෙනුවෙන්.

මම නිරීක්ෂණය කරපු විදිහට මුල ඉඳලම මාලිමා කණ්ඩායමේ විග්‍රහය වුනේත් මේක. එය @Anuruddha Pradeep Karnasuriyaගේ විග්‍රහය එක්ක සමපාත වීම අහම්බයක්ද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මාලිමාව දිගටම හිටියේ මේ තරඟය අවසානයට කිට්ටු වෙද්දී ප්‍රධාන තරඟකරුවන් දෙන්නෙක් අතර තරඟයක් බවට පත් වෙනවා කියන ස්ථාවරයේ. ඒ තර්කය අනුවම රනිල් 7%කට වඩා ගන්නේ නැහැ කියලා @Anuruddha Pradeep Karnasuriya කැට තියලා කියනවා. 

ඔය වගේ පුරෝකථන එක්ක එකඟ වෙන්න හෝ නොවෙන්න තරම් මට කිසිම අපේක්ෂයෙක් එක්ක ආත්මීය බැඳීමක් නැහැ. රනිල් 7%කට වඩා ගන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. රනිල් දිනන බව තවත් කෙනෙකුට කියන්න පුළුවන්. කරුණු හා දත්ත මත පදනම්ව හෝ සංඛ්‍යානය මත පදනම්ව ඔය දෙකෙන් එකක් ගැනවත් නිශ්චිත ලෙස කියන්න බැහැ. 

රනිල්ගේ පැත්තෙන් කොහොම වුනත් මාලිමාවේ පැත්තෙන් බැලුවහම මේ තර්කය හරියටම හරි. රනිල්ව පැත්තකින් තිබ්බොත්, මාලිමාව පටන් ගත්තේ 3% මට්ටමේ ඉඳලා. ඉලක්කය 50%ක්. එතකොට 47%ක අඩුවක් තිබෙනවා. ඒක නිකම් රුපියල් පනස් දාහක් අතේ තියාගෙන කාර් එකක් ගන්න විදිහ ගැන හිතනවා වගේ වැඩක්. හැබැයි මාලිමාවට මේ ඉලක්කය හඹා යාම සඳහා අවශ්‍ය වූ වාස්තවික තත්ත්වයන් නිර්මාණය වෙලයි තිබුණේ. එහෙම චාන්ස් හැමදාම ලැබෙන්නේ නැහැ. 

මාලිමාව මුල ඉඳලම ඉව ඇල්ලුවේ ගෝඨාභයගේ 52%ට. මේ ප්‍රවේශයේදී සජිත්ගේ 42% සජිත්ටම දීලා ඒ ගැන බලාපොරොත්තු අත ඇරලයි මාලිමාව හිටියේ. සජිත්ගේ ඡන්ද ප්‍රමාණය ගැන දැනටත් @Anuruddha Pradeep Karnasuriya කියන්නේ  "ඒ ඡන්ද ප්‍රමාණය ලොකු වෙනසක් නැතිව අද වෙනතුරු තියෙනවා වගේ." කියලයි.

ඔය දෙවන මතයට මම එකඟ නැහැ. කොහොම වුනත්, @Anuruddha Pradeep Karnasuriyaගේ පළමු මතය වගේම, මාලිමාවේ පැත්තෙන් ඔවුන්ගේ ප්‍රවේශයත් සාර්ථක එකක්. මොකද සජිත්ගේ ඡන්ද ගලවන එක මාලිමාවට ලේසි වැඩක් නෙමෙයි. නමුත් අයිතිකාරයෙක් නැති පොහොට්ටු ඡන්ද එකතු කරන එක ඒ තරම් අමාරු නැති වැඩක්. මේ වෙද්දී මාලිමාව ඒ වැඩේ සෑහෙන තරම් සාර්ථක ලෙස කරලා තියෙනවා.

ඒ වගේම මෙහි මූලධාර්මික කරුණකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් වාමාංශික පක්ෂ වලට කවුරු හෝ සතුරෙක්ව අවශ්‍යයි. ඔවුන් තමන්ගේ කඳවුර ගොඩ නගා ගන්නේම මේ සතුරු කඳවුරට ප්‍රතිපක්ෂව ස්ථානගත කරමිනුයි. සමහර වෙලාවට සතුරාව අර්ථ දක්වද්දී ජාතිකවාදී හෝ ජාතිවාදී මුහුණුවරක් එන්නත් පුළුවන්. ඔවුන්ට ලෝකය දකින්න පුළුවන් ඔය රාමුව ඇතුළේම තමයි. ජවිපෙ ඉතිහාසය දිහා බැලුවත් මේක පැහැදිලිව පේනවා. (වාමාංශික නොවන පක්ෂයක වුනත් මේ ලක්ෂණය තියෙන්න පුළුවන්.).

ජවිපෙ ඉතිහාසය බැලුවොත්, ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම ඔවුන් විසින් හඳුනාගෙන තිබුණේ සතුරු කඳවුරු විදිහටයි. වරින් වර තාප්පය පාත් කරපු වෙලාවල් තිබුණත් පටු ඉඩක ගහගත්ත තාප්පයක් තිබුණා. තාප්පය ඇතුළේ තිබුණු ඉඩ ප්‍රමාණයේ හැටියට තමයි ජවිපෙ 3%ට සීමා වුනේ. 

ජවිපෙ මාලිමාව වෙද්දී කළේ ඔය තාප්පය ඉස්සරහට ගෙනියන එක. ඒ එක්ක, කලින් ඇතුළට රිංගන්න බැරි විශාල පිරිසකට ඉඩ හැදුනා. පොහොට්ටු කණ්ඩායමේ උඩම තට්ටුවේ ටික දෙනෙක්ට ඇරෙන්න වෙන ඕනෑම කෙනෙකුට ඉතාම සුළු මහන්සියකින් මාලිමාවේ වේදිකාවක වාඩිවෙන්න පුළුවන් තත්ත්වයකට තමයි දැන් ඔවුන් පක්ෂය වෙනස් කරලා තියෙන්නේ. 

ප්‍රධාන පක්ෂ වලට ඔය වගේ පටු සීමා මායිම් තිබුණේ නැහැ. කලින් ජවිපෙ ක්‍රියාකාරීන් ප්‍රධාන පක්ෂ වලට යන එක දිගින් දිගටම සිදු වුනු දෙයක්. 

මාලිමාව ඔය වෙනස්කම කර ගත්තත් ජවිපෙ උරුමය නිසා මාලිමාවට ස්ථානගත වෙන්න පුළුවන් සතුරු කඳවුරකට ප්‍රතිපක්ෂවම තමයි. මේ වෙලාවේ තෝරාගත්ත සතුරු කඳවුර සජිත්ගේ කඳවුර. පොහොට්ටු කඳවුර පෝෂක කඳවුර. වෙනත් සන්දර්භයකදී වුනත්, 88/89දී පැවතුනෙත් ඔය වගේම තත්ත්වයක්. එජාපය සතුරු කඳවුර. ඒ වෙද්දී දුර්වල වෙලා හිටපු ශ්‍රීලනිපය පෝෂක කඳවුර. 

දැන් මාලිමාවට මේ තමන්ගේ පෝෂක කඳවුරෙන් පොහොට්ටු ඡන්ද එකතු කරද්දී තරඟ කරන්න වෙන්නේ රනිල් එක්කයි. ප්‍රධාන ප්‍රතිවාදියා විදිහට සජිත්ගේ කඳවුර පැත්තක තියෙද්දී මාලිමාව දිගින් දිගටම සජිත්ට ගහනවා වෙනුවට රනිල්ට ගහන ප්‍රවේශයක හිටියේ ඒ නිසායි. පෙසපෙ මාලිමාවට ගහන්නෙත් ඔය හේතුව නිසා. මොකද පෙසපෙට සාපේක්ෂව පෝෂක කඳවුර මාලිමා කඳවුර. ඉතිං ඒ නිසා @Anuruddha Pradeep Karnasuriyaගේ පළමු තර්කය හරියටම හරි.

හැබැයි මාලිමාවට තරඟය තියෙන්නේ රනිල් එක්ක කියන එකෙන් එහි විලෝමය ඒ විදිහටම අදහස් වෙන්නේ නැහැ. මොකද රනිල්ගේ පැත්තෙන් තියෙන්නේ වෙනත් තත්ත්වයක්.

රනිල් මුල සිටම සිටියේ සතුරු මිතුරු සේ කඳවුරු බෙදන ප්‍රවේශයකට වඩා සියලු කඳවුරු එක් සේසත් කරන ප්‍රවේශයක. ඒ ප්‍රවේශය සාර්ථක වීම හෝ නොවීම වෙනම කරුණක්. මාලිමාව 3% ඉඳලා පටන් ගනිද්දී රනිල්ට පටන් ගන්න වුනේ 2% ඉඳලා කියන එක ඇත්ත. නමුත් රනිල්ට පෝෂක කඳවුරු දෙකක් තිබුණා. ඔය දෙක එකතු කළොත් එතැන 94%ක්. ඒ වගේම, රනිල්ට යම් තරමකින් හෝ දෙවන මනාපයේ වාසියත් තිබුණා. ඒ නිසා, අනුරට වගේ 50% ඉලක්ක කරන්න අවශ්‍ය වුනේ නැහැ. 

නමුත්, දෙවන මනාපයේ වාසිය ගන්න පුළුවන් වෙන්නේ පළමු වටයේ මුල් අපේක්ෂයින් දෙන්නා අතරට පැමිණියොත් පමණයි. රනිල් තරඟයට එනකොට අනෙක් අපේක්ෂකයෝ දෙන්නාම සෑහෙන දුරක් දුවලා ඉවරයි. ඒ නිසා, අඩු වශයෙන් දෙවන තැනට එන්නනම්, ඉන්න දෙවෙනියාව පහු කරන්න වෙනවා.

අනුර ගොඩක් ඉස්සරහට ගිහින් තිබුණත් පොහොට්ටු ඡන්ද සියල්ලම අනුර විසින් එකතු කරගෙන තිබුණේ නැහැ. ප්‍රමාණය හරියට දැන සිටියේ නැතත් තවත් පොහොට්ටු ඡන්ද ඉතිරිව තිබෙනවා කියන එක පෙනෙන්න තිබුණු දෙයක්. ඒ වගේම, සජිත් පටන් ගත්තේ 42% ඉඳලා නෙමෙයි. ඒක වැරදි උපකල්පනයක්. 2019දී සජිත් 42%ක් ගත්තත්, 2020දී ඒ ප්‍රමාණය 24%ට බැහැලයි තිබුණේ. රනිල් තරඟයට එනකොටත් සජිත් ඒ මට්ටමෙන් ගොඩක් උඩට ගිහින් තිබුණේ නැහැ. 

ඇත්තටම කියනවානම් සජිත් හිටියේ 24% මට්ටමටත් පහළින් වෙන්නත් පුළුවන්. මොකද අරගලය එක්ක ආපු විරෝධය රාජපක්ෂලාට තරම්ම නැති වුනත් බලයේ හිටපු පක්ෂ දෙකටම ආවා. ඒ නිසා, සජිත් පටන් ගත්තේ 24%ටත් පහළ තැනකින්. සජිත් කොයි වෙලාවකවත් 42% මට්ටමට ආවේ නැහැ. 

එජාපය දෙකඩ වෙද්දී සම්ප්‍රදායික එජාප පාක්ෂිකයාට තිබුණු ප්‍රධාන ප්‍රශ්නය රනිල්ට දිනන්න බැහැ කියන එක. වැඩි පිරිසක් රනිල් එක්ක එකතු නොවී සජිත් එක්ක එකතු වුනේ ඒ නිසා. ඒ ඇරෙන්න සම්ප්‍රදායික එජාප පාක්ෂිකයාට රනිල් සහ සජිත් අතර ලොකු වෙනසක් නැහැ. 

රනිල් ඇත්තටම දැන් වුනත් නියෝජනය කරන්නේ එජාපය මිසක් පොහොට්ටුව නෙමෙයි. රනිල්ගේ භාෂාව එජාප භාෂාව. ඒ භාෂාව පොහොට්ටු ඡන්දදායකයාට ආගන්තුක භාෂාවක්. ඒ නිසා රනිල්ගේ ප්‍රචාරණය නිසා පහසුවෙන්ම එකතු වෙන්නේ සජිත්ට නොගිය එජාප ඡන්ද. ඇත්තටම සජිත්ට ගිය එජාප ඡන්ද වුනත් රනිල්ට එකතු වෙන්න පුළුවන්. 

ඒ වගේම, දැන් තිබෙන තත්ත්වය අනුව රනිල්ට වඩා වැදගත් දෙවන තැනට එන එක. ඒ සඳහා රනිල්ට තරඟය තියෙන්නේ සජිත් එක්ක. 

මේ මැතිවරණ වටයේදී මුල සිටම මාලිමාවේ ප්‍රධාන උපාය මාර්ගයක් වුනේ මාලිමාවට දිනන්න පුළුවන් කියන මතය ජනගත කිරීම. ඉන් පසුව එය මාලිමාව දිනනවා කියන එක දක්වාත්, දැන් දැන් මාලිමාවට කෝටියක් වගේ ටැග් ලයින් දක්වාත් වෙනස් කර තිබෙනවා. මේ ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇත්තටම සාර්ථකයි. මාලිමාවේ ඡන්ද ගැන ඔවුන්ට සතුටු විය නොහැකි තක්සේරුවක් දකින විට බොහෝ මාලිමා ආධාරකරුවන්ට මළ පනින්නේ මේ ප්‍රොපගැන්ඩා කැම්පේන් එක ඔවුන්ට ඉතාම වාසිදායක නිසා. 

මුලින් මාලිමාව හිටියේ කවුරුවත් නැති පිට්ටනියක. සජිත් තරඟයට ආවට පස්සේ ඒ තත්ත්වය වෙනස් වෙලා මාලිමාව කොහොමටත් දිනනවා කියන එක අභියෝගයට ලක් වුනා. ඒ එක්ක මාලිමා රැල්ලත් පසු බැස්සා. නමුත් රනිල් තරඟයට ආවාට පස්සේ නැවතත් මාලිමාවට පහසුවෙන් දිනන්න පුළුවන් කියලා බොහෝ දෙනෙකුට ඒත්තු ගිහින් තියෙනවා. ඒ එක්ක ඉතිරි වී තිබුණු පොහොට්ටු ඡන්ද වලින් තවත් කොටසක් මාලිමාව පැත්තට ගිහින් හා යමින් තියෙනවා. 

රනිල් ඉදිරියට යද්දී වෙන්නේ දිනන අපේක්ෂකයා ලෙස කලින් හඳුනාගෙන සිටි සජිත්ට දිනන්න බැහැ කියන එක වැඩි වැඩියෙන් පේන එක. එහෙම වෙද්දී පාවෙන පොහොට්ටු ඡන්ද වැඩි වැඩියෙන් අනුරට ආකර්ෂණය වෙනවා. රනිල් ඉදිරියට එන එක මාලිමාවට වාසියක් වෙන්නේ ඔය විදිහටයි. ඕක වෙනස් වෙන්නේ රනිල් දෙවැනි තැනට පැමිණ ඇති බව පැහැදිලිව පෙනුනොත් පමණයි. තවමනම් එවැනි තත්ත්වයක් පේන්න නැහැ. පොහොට්ටු ඡන්ද වැඩි වැඩියෙන් මාලිමාව පැත්තට යද්දී රනිල්ගේ පෝෂක කඳවුර එන්න එන්නම කුඩා වීමකුත් වෙනවා.

රනිල්ගේ ප්‍රවේශය එකතු කිරීමේ ප්‍රවේශයක් වුනත් ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇතුළේ දැකිය හැක්කේ මාලිමාව සතුරෙක් ලෙස පෙන්වන ප්‍රවේශයක්. ඇත්තටම මේක තමයි මාලිමාවට අවශ්‍යම ප්‍රවේශය. ජවිපෙ අතින් "සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙනවා" කියලා අනුරම කියලා තියෙනවනේ. මේවා නැවත නැවත මතක් කළා කියලා අනුරට අවාසියක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ වාසියක්. ඒ දවස් වලම වුනත්, වැඩි වැඩියෙන් බය දැනෙද්දී වුනේ මිනිස්සු ඒ පැත්තටම හේත්තු වෙන එක. උතුරේ තිබුනෙත් ඔය වගේම තත්ත්වයක්නේ. ගොඩක් අය බලන්නේ කෝකටත් හොඳයිනේ කියලා "වෙනසේ කොටස්කරුවෙක්" වෙන්න. අර අරගලයට කලාකරුවෝ එක දාගන්න ගියා වගේ. 

මම හිතන්නේ රනිල් සහ පොහොට්ටුවේ උඩ තට්ටුව ඉතිරි වී තිබෙන පොහොට්ටු ඡන්ද පිළිබඳව ඉඳලා තියෙන්නේ ලොකු අධි තක්සේරුවක විය හැකි බවයි. පේන්න තියෙන්නේ පොහොට්ටුව දිය වෙලාම ගිහින් වගේ තත්ත්වයක්. ඒ "හිටපු පොහොට්ටු" මාලිමාවට දැනටමත් ගොස් නැත්නම් අතර මං වූ ගන්ධබ්බ ඡන්ද මිසක් පොහොට්ටු ඡන්ද නෙමෙයි. මේ මැතිවරණයේදී ඒවා භාවිතා නොවෙන්න පුළුවන්. 

ගොඩක් අය ගණන් හදන්නේ මුළු ඡන්ද වලින් 83%ක් පමණ වැටෙයි කියලා උපකල්පනය කරගෙන. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී ඡන්ද භාවිතය ඔය වගේ ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් මෙවර එසේ නොවෙන්න පුළුවන්. භාවිතා වෙන ඡන්ද ප්‍රමාණය ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් කරන්න ඉඩ තිබෙනවා. ඡන්ද භාවිතය 75%ක් වුනොත්, 38%ක් එයින් බාගයකට වඩා වැඩියි.