Wednesday, October 23, 2024

අද ණයට ගත් බිලියන 125ට වුනු දේ...


අද (ඔක්තෝබර් 23) තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වුණා. එහිදී රුපියල් බිලියන 125ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කෙරුණා. ඒ පහත ආකාරයටයි. 

- දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 66,433ක බිල්පත් ප්‍රමාණයක් 9.32%ක සාමාන්‍ය ඵලදා අනුපාතිකයකට.

- දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 45,705ක බි ල්පත් ප්‍රමාණයක් 9.65%ක සාමාන්‍ය ඵලදා අනුපාතිකයකට.

- දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 12,862ක බිල්පත් ප්‍රමාණයක් 9.95%ක සාමාන්‍ය ඵලදා අනුපාතිකයකට.

දැන් මෙයින් අදහස් වෙන්නේ ශ්‍රී ලංකා රජය තවත් රුපියල් මිලියන 125,000ක් නැත්නම් රුපියල් බිලියන 125ක් ණය වුනා කියන එකයි. 

මේ ණය කෙටිකාලීන ණය. භාණ්ඩාගාර බිල්පතක කල් පිරෙන කාලය කියා කියන්නේ ණය ආපසු ගෙවිය යුතු කාලය. දැන් මේ විදිහට අද ගත්ත ණය වලින් රුපියල් මිලියන 66,433ක් දින 91කිනුත්, තවත් රුපියල් මිලියන 45,705ක් දින 182කිනුත්, ඉතිරි රුපියල් මිලියන 12,862 දින 364කිනුත් ආපසු ගෙවිය යුතුයි. ආසන්න වශයෙන් මාස 3කින්, මාස හයකින් හා අවුරුද්දකින් පසුව කියා කියන්න පුළුවන්. 

ඊළඟ වැදගත් කරුණ වන්නේ මේ විදිහට රජය තවත් රුපියල් මිලියන 125,000ක් ණය වුනා කියන එකෙන් අදහස් වෙන්නේ ඊට සමාන මුදලක් රජයට ලැබුණා කියන එක නොවන බවයි. ඊට හේතුව, භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නා අය ඒ වෙනුවෙන් මුදල් ගෙවන්නේ පොලිය කලින්ම අඩු කරගෙන නිසා. ඒ වගේම, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර හා අදාළව පොලිය ගැන කතා කරද්දී අප භාවිතා කරන්නේ ඵලදා අනුපාතිකය යන වචනයයි. 

මේ අනුව, දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 12,862ක බිල්පත් ප්‍රමාණයක් නිකුත් කළා යන්නෙන් අදහස් වන්නේ දින 364කට පසුව ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 12,862ක මුදලක් ආපසු ගෙවිය යුතු බවයි. ඒ, 9.95%ක සාමාන්‍ය පොලියක්ද සමඟ. මේ අනුව, මෙම බිල්පත් වෙන්දේසි කිරීම මගින් රජය විසින් එකතු කරගෙන ඇති අරමුදල් ප්‍රමාණය අපට ආසන්න වශයෙන් ඇස්තමේන්තු කළ හැකියි.

ලැබුණු මුදල = රුපියල් මිලියන 12,862/ (1 + (9.95/100)) = රුපියල් මිලියන 11,698.0

මෙයම වෙනත් විදිහකට කිවුවොත්, රුපියල් 100ක බිල්පතක් අලෙවි කර තියෙන්නේ සාමාන්‍ය වශයෙන් රුපියල් 90.95ක මුදලකටයි. ඒ අනුව, රජයට ලැබී ඇති මුදල = රුපියල් මිලියන 12,862*90.95/100 = රුපියල් මිලියන 11,698.0ක්.

ආයෝජකයාගේ පැත්තෙන් බැලුවොත් රුපියල් 90.95ක් ආයෝජනය කර වසරකට පසුව රුපියල් 100ක මුදලක් ලබා ගන්නවා. ඒ කියන්නේ රුපියල් 90.95කට රුපියල් 9.05ක ප්‍රතිලාභයක්. ඒ නිසා ආයෝජකයාගේ ප්‍රතිලාභ අනුපාතිකය 9.05/90.95 = 9.95%ක් වෙනවා. ඵලදා අනුපාතිකය කියන්නේ මෙම ප්‍රතිලාභ අනුපාතිකයටයි.

මේ 9.95% ප්‍රතිලාභ අනුපාතිකය සාමාන්‍ය අගයක්. ඊට හේතුව රුපියල් 100ක බිල්පත් අලෙවි කර ලබා ගෙන ඇති රුපියල් 90.95ක මුදලද සාමාන්‍ය අගයක් වීමයි. නමුත් විවිධ ගැනුම්කරුවන් විසින් මේ එකම බිල්පත වෙන්දේසියේදී විවිධ මිල ගණන් වලට මිල දී ගන්නවා. එම මිල රුපියල් 89.50, රුපියල් 90.25, රුපියල් 91.35 හෝ රුපියල් 92.17 වැනි මුදලක් වෙන්න පුළුවන්. ඒ අනුව, එක් එක් ගැනුම්කරුගේ ප්‍රතිලාභ අනුපාතිකයද වෙනස් එකක් වන අතර 9.95% යනු මෙම අනුපාතික වල සාමාන්‍ය අගයයි. 

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියකදී සිදු වන්නේ ඉදිරිපත් කරන බිල්පත් සඳහා වැඩිම මිලක් ගෙවන අයට එම බිල්පත් ලබා දීමයි. එයින් අදහස් වන්නේ අඩුම ඵලදා අනුපාතිකයකට ආයෝජනය කරන අයට බිල්පත් හිමි වන බවයි. 

දින 182ක් කියන්නේ ආසන්නව මාස හයක පමණ කාලයක්. නමුත් දින 182කින් කල් පිරෙන බිල්පත් වල සාමාන්‍ය ඵලදා අනුපාතිකය වන 9.65%යනු වාර්ෂික ප්‍රතිලාභ අනුපාතිකයයි. ඒ කියන්නේ දින 182ක ප්‍රතිලාභය ආසන්න වශයෙන් එයින් අඩක් පමණ බවයි. නමුත්, වැල් පොලිය සැලකු විට අඩකට වඩා තරමක් අඩු 4.71%ක පමණ ප්‍රතිලාභයක්. ඒ ප්‍රතිලාභය ලැබෙන්නේ රුපියල් 100ක බිල්පතක් රුපියල් 95.50කට පමණ මිල දී ගත් විටයි. 

ඉහත සාමාන්‍ය ඵලදා අනුපාතිකය අනුව රුපියල් මිලියන 45,705ක බිල්පත් අලෙවි කර රජයට ලබාගත හැක්කේ ආසන්න වශයෙන් රුපියල් 43,647.5ක පමණ අරමුදල් ප්‍රමාණයක් පමණයි.

මේ අයුරින්ම, දින-91 බිල්පත් අලෙවි කර තිබෙන්නේ රුපියල් 100ක මුහුණත අගයක් සඳහා ආසන්න වශයෙන් රුපියල් 97.80ක පමණ මුදලකටයි. ඒ අනුව, රුපියල් මිලියන 66,433ක බිල්පත් විකිණීමෙන් ලැබෙන්නේ ආසන්න වශයෙන් රුපියල් මිලියන 64,969.4ක මුදලක්. 

මේ අනුව, රුපියල් මිලියන 125,000ක බිල්පත් විකුණා රජය විසින් ලබාගෙන තිබෙන මුදල අපට ගණනය කළ හැකියි.

ලැබී ඇති මුදල = රුපියල් මිලියන (64,969.4 + 43,647.5 + 11,698.0) = රුපියල් මිලියන 120,314.9

සාමාන්‍යයෙන් බිල්පත් වෙන්දේසියකදී රජයට ලැබෙන මුදල වෙන්දේසි කරන බිල්පත් ප්‍රමාණයේ වටිනාකමට (මුහුණත අගයට) වඩා අඩු මුදලක්. වෙන්දේසි කරන මුදල යනු කල් පිරුණු පසුව ආපසු ගෙවන මුදලයි. දැන් මේ විදිහට අද රජය විසින් බිල්පත් විකුණා ලබාගෙන තිබෙන රුපියල් මිලියන 120,314.9ක මුදලින් කර තිබෙන්නේ කුමක්ද?

මීට දින 91කට පෙර ණයට ගත් රුපියල් මිලියන 60,947ක්, දින 182කට පෙර ණයට ගත් රුපියල් මිලියන 35,103ක් සහ දින-364කට පෙර ණයට ගත් රුපියල් 10,967ක් ලෙස රුපියල් මිලියන 107,017ක භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය විසින් අනිද්දා (ඔක්තෝබර් 25) ආපසු ගෙවිය යුතුයි. 

අද ලබා ගත් ණය වලින් විශාල කොටසක් වැය කෙරෙනු ඇත්තේ මේ වෙනුවෙනුයි. ඒ නිසා, අද රුපියල් මිලියන 125,000කින් ණය ප්‍රමාණය ඉහළ ගියත් අනිද්දා එම ණය ප්‍රමාණය රුපියල් මිලියන 107,017කින් අඩු වෙනවා. කෙසේ වුවත්. මෙසේ අලුතෙන් ණය ගෙන පරණ ණය පියවීමෙන් පසුවද ශුද්ධ වශයෙන් භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය රුපියල් මිලියන 17,983කින් ඉහළ යනවා. 

මේ විදිහට රජයේ ණය ප්‍රමාණය රුපියල් මිලියන 17,983කින් ඉහළ ගියත් එම ප්‍රමාණයෙන් රුපියල් මිලියන 4,885ක් අද නිකුත් කළ බිල්පත් වල පොලී ලෙස කලින්ම ගෙවා අවසන්. ඒ නිසා, භාණ්ඩාගාරයේ එකතු වෙන්නේ රුපියල් මිලියන 13,098ක් පමණයි.

සමහර අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ රජය ණය ගන්නා තරමට වත්කම් වැඩි නොවන්නේ ඇයි කියන එකයි. අද ණයට ගත් රුපියල් බිලියන 125 සැලකුවහොත් එම මුදලෙන් පරණ ණය ගෙවා, එම ණය වල අනාගත පොලියද ගෙවීමෙන් පසුව වත්කම් වැඩිකර ගැනීම වෙනුවෙන් ඉතිරි වන්නේ උපරිම වශයෙන් රුපියල් බිලියන 13ක පමණ මුදලක් පමණයි. ඉතිරි රුපියල් බිලියන 112ම ණය හා පොලී වෙනුවෙන් වැය වී අවසන්. 

එයින් අදහස් වන්නේ ඉතිරි රුපියල් බිලියන 13ට සමානව රජයේ වත්කම් ඉහළ යන බව නෙමෙයි. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, පාඩුවට පොල් විකිණීම, පාඩුවට කජු විකිණීම හෝ ශ්‍රීලන්කන් ගුවන් සේවය පවත්වාගෙන යාම වෙනුවෙන් මේ මුදල් වෙන් කළහොත් මෙහි සඳහන් රුපියල් බිලියන 13ක මුදලට සමානව හෝ වත්කම් වැඩි වෙන්නේ නැහැ. 

අද ලබාගත් ණය මුදලේ කොටස් මාස තුනකින්, මාස හයකින් හා අවුරුද්දකින් පසුව පියවිය යුතුයි. ප්‍රායෝගිකව එය සිදු වනු ඇත්තේ නැවතත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ණය ගැනීමෙන්. ඒ අනුව, මෙම ණය පියවීම පිණිසම, තවත් මාස තුනකින්, මාස හයකින් හා අවුරුද්දකින් ණය ගන්නට සිදු වෙනවා. එසේ ණය ගනිද්දී අනිවාර්යයෙන්ම රුපියල් බිලියන 125කට වඩා වැඩි ණය ප්‍රමාණයක් ලබා ගන්නට සිදු වෙනවා. ඉන් පසුව, එම ණය පියවීම සඳහා ඊටත් වඩා වැඩියෙන් ණය ගන්නට සිදුවෙනවා.

මේ ණය චක්‍රයෙන් ගැලවිය හැකි එකම ක්‍රමය බදු ආදායම් වැඩි කරගැනීම හා රජයේ වියදම් සීමා කරගැනීම මගින් ගෙවන ණය ප්‍රමාණයට වඩා පොඩ්ඩක් හෝ අඩුවෙන් අලුතෙන් ණය ගැනීමයි. එසේ කළහොත්, අඩු වශයෙන් සෛද්ධාන්තිකව, 2048 පමණ වන විටවත් ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත්, ගෙවන ණය වලටත් වඩා වැඩියෙන් ණය ගැනීම දිගටම කළහොත් දිගින් දිගටම සිදු වන්නේ ණය ඉහළ යාමයි.

කෙසේ වුවත්, ණය වැඩි වන වේගයට වඩා වැඩි වේගයකින් රටේ ආර්ථිකය වර්ධනය වුවහොත් දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ණය ප්‍රමාණය ටිකෙන් ටික පහත වැටෙනවා. එම අනුපාතය පහළ මට්ටමක තියා ගත්තොත් ණය අර්බුදයකට යන්න වෙන්නේ නැහැ. දිගුකාලීනව රටේ ආර්ථිකය වර්ධනය කර ගත හැක්කේ කොහොමද කියන ප්‍රශ්නයට මෙවර නොබෙල් තෑග්ග දිනූ ආජේමෝලු, ජොන්සන් සහ රොබින්සන් විසින් පිළිතුරු සපයා තිබෙනවා.

12 comments:

  1. මේ ආන්ඩුව වැටෙන්නෙ නෑ ඉකොනො අවු 5 ඇතුලත. ගෝටගෙ ගොන් වැඩ මුන් කරන්නෙ නෑ. ඔය පොල් බෙදනව වගෙ සමාජවාදී සන්දර්ශන ටිකක් කරන ගමන් ප්‍රොපගැන්ඩ එකයි බදු ටිකයි එක්ක ගානට බැලන්ස් කරගෙන යයි.

    ReplyDelete
    Replies
    1. නියමිත කාලයට කලින් ආණ්ඩුව වැටෙන්න විශේෂ හේතුවක් දැනටනම් නැහැ. කොහොමටත් හරියකට විපක්ෂයක් කියලා එකකුත් නැහැනේ. ඒ වගේම විපක්ෂයකට ප්‍රමෝට් කරන්න තරම් විශාල දේශපාලනික හේතුවකුත් නැහැ.

      Delete
    2. මිනිස්සුන්ට ඕන ආන්ඩුව උන් ගැන හිතනව කියල 24/365 පෙන්නන ආන්ඩුවක්. ඒ ගමන් පොඩ්ඩක් මීට වඩා රට ස්ටේබල් කරගත්තොත් ඊලඟ අවිරිදු 5ත් මුන්ගෙ තමයි. රනිල ඉතින් තව මාසයක් දෙකක් අල්ලයි උගෙ වැල් පාලම් ගැන කිය කිය
      ඌ ආපහු එයි කියල හිතාගෙන උදේ හවස ෆේස්බුක් එකේ කඩේ යන ගෑස් බයියොනම් පව්.

      Delete
  2. ඉකොනෝ

    ලංකාවේ ආරුගම්බේ වල ඊශ්‍රායල් යුදෙව් දේවස්ථානය ආශ්‍රිත අවුල එක්සත් ජනපදය විසින් අවුස්සන්නට හේතුව වර්තමාන ජවිපෙ ජාතික ජන බලවේග රජය බ්රික්ස් එකට සම්බන්ධ වීම වැලැක්වීම සහ ජාජබ රජය චීන වියට්නාම දේශපාලන ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පැවසීම නිසා එය අධෛර්යය කිරීමට එක්සත් ජනපදය සිය ඊශ්‍රායල හවුල යොදාගෙන ඇතිකරන්න හදන ප්‍රශ්නයක් බවට පලවන වාර්තා සත්‍ය ද?

    ඊළඟට ලබන නොවැම්බර මාසයේ පැවැත්වෙන එක්සත් ජනපද මැතිවරණය රිපබ්ලිකන් පක්ෂය ජයග්‍රහණය කළෝත් ලබන වසරේ සිට ලංකාවේ වර්තමාන ආණ්ඩුවට සහ දේශපාලනයට විය හැකි බලපෑම් සමග විශාල ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවිය හැකි බවට භූදේශපාලන විශ්ලේෂකයන් පවසන කතාව ඇත්ත ද?

    වර්තමාන ජාතික ජන බලවේග රජයටත් මීට පෙර රාජපක්ෂ රෙජීම දෙකටම සහ සිරිසේනට කොක්ක ගැසුව ආකාරයට අතිවිශාල මුදලක් වැයකොට චීනය කොක්ක ගැසුවොත් එක්සත් ජනපදය මෙම රජයත් පෙරලා නැවත පත් කරගන්නට ඉඩ ඇති බවට ඔබ දකින්නේ කවුද? නැවත රනිල් වික්‍රමසිංහ පත්කරයි කියලා මම හිතන්නේ නෑ මොකද ඒකා චීනය පැත්තටත් තරමක් දුරට ෆ්ලෙක්සිබල් නිසා. මම යම් පිරිස් ගැන අනුමාන කරගෙන ඉන්නවා. ඔබ හිතන දේශපාලන කණ්ඩායම සහ පුද්ගලයන් ගැන කිව හැකිද? ලංකාවෙත් ඉදිරියේ බංග්ලාදේශයේ කළා වගේ දේශපාලන පක්ෂ වලින් පිට අලුත්ම පිරිසක් පත්කර ගනීද?

    ReplyDelete
    Replies
    1. ඔව්. සත්‍යයි

      Delete
    2. ඔය සිදුවීම පිළිබඳව ලංකාවේ සහ විදේශ මාධ්‍ය වල පලවී ඇති පුවත් වල වාර්තා කරලා තියෙන විදියට ඔය අරුගම් බේ පිළිබඳ ඉන්දීය බුද්ධි අංශ (???? නැවතත්!!!!) ලංකාවේ බුද්ධි අංශවලට තොරතුරු ලබා දී ඇත්තේ ඔක්තෝබර් 7 වනදා. ඒ කියන්නෙ සති දෙකකට විතර කලින්.

      මේ සම්බන්ධයෙන් ලංකාවේ බුද්ධි අංශ ඊට කළින් දැනගෙන ඉඳලා තියෙන බවක් කිසිම තැනක සඳහන් නෑ. ආරක්ෂක අංශ මාධ්‍ය වලට ප්‍රකාශකර තියෙන්නෙත් ඒ අයත් දැනගත්තේ ඔක්තෝබර් හත් වෙනිදා සිට කියලා

      මෙතන තියෙන තවත් විශාල ප්‍රශ්නෙයක් තමයි ඇත්තෙන්ම ලංකාවෙ වෙන ඕන දෙයක් ලංකාවට කලින් ඉන්දීය බුද්ධි අංශ දැනගෙන ඉන්නවා කියන්නේ ලංකාවේ රාජ්‍යය සැලකිය යුතු ලෙස දුර්වලයි කියන එක. (මම මේ කියන්නේ මේ ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි, පොදුවේ ලංකාවේ රජය ඉතාම දුර්වල සෝමාරි අරාජික තත්ත්වයට පත්ව තිබෙනබව බලයේ සිටින පක්ෂයෙන් ස්වායත්තව.)

      කොහොම හරි පිටින් තොරතුරු ලැබිලත් ඒකට ක්‍රියාත්මක වෙනකොට ඔක්තෝබර් 7 වනදා තොරතුරු ලැබිලත් ඒ වෙනුවෙන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුනා කියන එකත් සෑහෙන සැක සහිතයි දැන් අනාවරණය වී ඇති විදියට.

      පොදුවේ බහුතර ලංකාවෙ මිනිස්සු මේ ගැන දැන ගත්තෙ ඇමෙරිකානු එම්බසිය ඒ ගැන ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කර තම රටේ පුරවැසියන්ට ආරක්ෂක පියවර ගන්න කියලා සඳහන් කළාටත් පස්සෙ.

      නමුත් ලංකාවේ ජනතාවට මේ ගැන නිවේදනයක් නිකුත් කිරීම ආරක්ෂක අංශවල වගකීම නෙවෙයිද?

      ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් බවට සියලු තොරතුරු සහිතව නම් ගම් සහිතව හැඳුනුම්පත් අංක පවා සමග විස්තර ලබා දී ඇති දෙදෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර නැත්තේ ඇයි? මේවට උත්තර දෙන්නේ කවුද? අර පාස්කු දවසේ සිදුවු සිදුවීම තම බුක්තියට අයිතිකරගෙන සිටින ආගමික නායකතුමා වගේ මේක අයිතිකර ගෙන මේකත් වවාගෙන කන්නේ කව්ද? විපක්ෂ බලවේග මේකත් වවාගෙන කන්න ඉඩ ඇත.

      Delete
    3. @ AnonymousOctober 23, 2024 at 11:46 AM

      පිටරටවලින් කියනකම් කිසි දෙයක් දන්නේ නෑ. හොදටම බුදි කොහේ හරි ඉන්න අහිංසකයෝ දෙන්නෙක් අල්ලලා පම්පෝරි ගහනවා. අලුත් ආන්ඩුවේ හරක් රටේ මර්මස්තාන වල ආරක්ෂාව ඉවත් කරලා පිස්සු කෙලිනවා. ආරක්ෂාව ලබන්න ඕන මර්මස්තාන වල ආරක්ෂාව ඉවත් කරනවා. රකින්න ඕන තැන් අනාරක්ෂිත කරනවා. පිස්සුම කෙලිනවා.

      ලංකාවේ ආරක්ෂක අංශ තවත් මෙලෝ රහක් නැති ආයතනයක්. ආණ්ඩුවේ සල්ලි අපරාදේ, පිටරටවලින් කියල ආණ්ඩුව මේක දැනගෙන තියෙන්නේ ඔක්තෝබර් 7.. ඊයේ බැරිම තැන එම්බසි වලින් නිව්ස් එක දැම්ම නිසා එතකන් උඩ බලන් ඉඳලා ඔක්කොම සෙකියුරිටි දැම්මේ ඊයේ.. ආරුගම්බේ විතරක් නෙවේ. මීගමුව, දකුණ, උඩරට ඔක්කොගෙම. පුදුම වෙන්න දෙයක් නෑ රවී ශානි කියන්නේ පාස්කු එකේදී නොසැලකිලිමත් විදියට ඉඳල එලෝලා දැම්මට පස්සේ, මලිමාවට හේත්තු වෙලා මාලිමාවේ ස්ටේජ් නැගපු නිසා ඔය තැන වලට පත්වෙච්ච රන්ජගේ වලන් හෝදන්න අහපු කබ්බෝ.. මුන් කලින් ඔය සෙකියුරිටි දැම්ම නම් එම්බසි ටික අපේ ටුවරිසම් විනාස කරගෙන ඔය නිව්ස් එක පබ්ලික් දාන්නේ නෑ. දැන් ටුවරිසම් ඉවරයි මේ අව්රුද්දෙ. දෙයක දිග පළල නොතේරෙන මලිමාවට හේත්තු වෙලා මාලිමාවේ ස්ටේජ් නැගපු ඔය වගේ මෝඩ ගොන් කබ්බෝ හොඳයි ලිපේ දාන්න දරට ගන්න.

      Delete
  3. 2023 උද්ධමනය 17.4%ක්, එතකොට මේ භාණ්ඩාගාර බිල්පත්වලට ගෙවන්නෙ 9.5%ක් පොලියක්නම්, මේක ආණ්ඩුවට කෙසේ වෙතත්, ණය දෙන අයට තමන්ගෙ මුදල් අවප්‍රමාණයක් නේද ? මට මතකයි අපේ තාත්තගෙ මිරිහානෙ මහ ගෙදර 1991 විකුණල, තාත්තට ලැබුණ මුදල බැංකුවෙ දාගෙන, පොලිය මාස්පතා තාත්තා ගන්නවා. අවුරුදු 10කට විතර පස්සෙ ඒ සල්ලි ඇත්තටම ඉතා කුඩා මුදලක් වුණා වගේ මතකයක් තියෙනවා. මම නම් ඔය ගොන් වැඩේ කලේ නෑ, මම පර්චස් 50ක ඉඩමක් ගත්තා ලක්ෂ 25කට 2014, අද වටිනාකම කෝටි හයක්. මම කිසිම දෙයක් කළේ නෑ, වත්ත වටේට තාප්පයක් ගැහුවා එච්චරයි.

    ReplyDelete
    Replies
    1. 2023 ජනවාරි 4 දින වෙන්දේසියේදී වසර-1 බිල්පත් ඵලදා අනුපාතිකය 29.16%ක්. එම කාලයට අදාළ වූ උද්ධමනය 4.0%ක් පමණයි (එනම් 2023 දෙසැම්බර් උද්ධමනය). මෙය වසර මුල බිල්පත් ආයෝජන කළ අයට විශාල වාසියක්. බිල්පත් ආයෝජන කරන්නේ අනාගත කාලයකට. එම කාලයට අදාළ උද්ධමනය දැන ගන්න ලැබෙන්නේ ආයෝජනය කල් පිරීමෙන් පසුවයි. නමුත් ඒ වෙද්දී ලාබය හෝ පාඩුව සිදු වී අවසානයි. ඒ නිසා ආයෝජකයින් මිල තීරණය කරන්නේ අපේක්ෂිත උද්ධමනය මත පදනම්ව. උද්ධමනය ඊට වඩා ඉහළ ගියොත් පාඩු වෙනවා. පහළ ගියොත් ලාබ වෙනවා. එය ආයෝජනයේදී ගන්න සිදු වෙන අවදානමේ එක් කොටසක්.

      (9.95% කියන්නේ අද සිට වසරකට බලපාන ඵලදා අනුපාතිකය. 17.4% කියන්නේ 2022 හා 2023 අතර උද්ධමනයේ සාමාන්‍ය අගය.)

      Delete
  4. වැල් පාලමේ ගිය ගමනට වැඩිය හපන්
    ගමනක් යන්න වී ඇත හරි පරෙස්සමින්
    නව ජනපතිඳු යයි දැනටම අතුරෙ ගමන්
    තව සවි ලැබෙනු ඇත ඔහුහට සති තුනකින්

    ReplyDelete
  5. පච ලපයා ජනපති වී මාසයකුත් ගතව ඇත
    ත්‍රස්ත බෝම්බ බියෙන් රටම ගිණි ගෙනම ඇත
    දෙනවා කියූ සහන තබා කෑමට පොලුත් නැත
    වැඩ බැරි සුළුතර පච ලපයා තොට හෙන වදිනු ඇත

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.