වෙබ් ලිපිනය:

Saturday, June 20, 2026

අප්‍රේල් අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


අප්‍රේල් මාසය අවසානයේදීද, රාජ්‍ය අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. එම අතිරික්තය රුපියල් බිලියන 105.03ක්. 

රාජ්‍ය ආදායම් හා ලැබීම් = රුපියල් බිලියන 1958.33

සමස්ත රාජ්‍ය වියදම = රුපියල් බිලියන 1853.30

අයවැය අතිරික්තය = රුපියල් බිලියන 105.03


පෙර වසරේ පළමු මාස හතරට සාපේක්ෂව රාජ්‍ය ආදායම් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබියදී රාජ්‍ය වියදම් ඊට අනුපාතිකව වර්ධනය නොවීම මෙවැනි අයවැය අතිරික්තයක් වාර්තා වීමට හේතු වී තිබෙනවා. වර්ධන ප්‍රතිශතයන් මෙසේයි.

බදු ආදායම = 31.7%

සමස්ත ආදායම හා ලැබීම් = 34.6%

පොලී වියදම හැර අනෙකුත් වියදම් = 19.3%

පොලී වියදම = (-4.6%)

සමස්ත වියදම = 8.2%


මූල්‍ය අරමුදල සමඟ පවත්නා ගිවිසුමෙහි ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ ප්‍රමාණවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. සමස්ත අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම එම ඉලක්කයෙන් ඔබ්බට යාමක්. පළමු මාස හතර අවසානයේදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 862.73 වැනි මට්ටමක පවතිනවා. 

ඉහත අතිරික්තයන් වාර්තා වන්නේ ඉන්ධන මිල සුබසාධනය කිරීම වෙනුවෙන් රජය විසින් මුදල් වෙන් කිරීමෙන් පසුවයි. තාවකාලික වියදමක් බැවින් මාස කිහිපයකින් පසුව එම වියදම් ඉවත් විය යුතුයි. අනෙක් අතට, පොලී අනුපාතික ඉහළ යාම නිසා පොලී වියදම් ඉහළ යාමේ නැඹුරුවක් දැකිය හැකිව තිබෙනවා. 

රාජ්‍ය අයවැය අතිරික්තයක් පැවතීම මගින් අදහස් වන්නේ රාජ්‍ය ණය අඩු වීම හා ණය තිරසාරත්වය වැඩි දියුණු වීමයි. පසුගිය දින වල පළ වූ එක් මතයක් වනුයේ ඩොලරයක මිල ඉහළ යාම නිසා රාජ්‍ය ණය ඉහළ ගොස් ඇති බවයි. ඩොලරයක මිල ඉහළ යද්දී විදේශ ණය වල රුපියල් අගය ඉහළ යන නමුත් මෙම ණය ආපසු ගෙවිය යුත්තේ රුපියල් වලින් නොවන නිසා එය ණය බර වැඩි වීමක් සේ සැලකිය නොහැකියි.

ඩොලරයක මිල ඉහළ ගිය විට විදේශ ණය ආපසු ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට රජයට වැඩි රුපියල් ප්‍රමාණයක් අවශ්‍ය වන බව සත්‍යයක්. එසේ වුවද, ඩොලරයක මිල ඉහළ යද්දී ආනයනික භාණ්ඩ මත අය කෙරෙන බදු ප්‍රමාණයද අනුපාතිකව හෝ ඊටත් වඩා වැඩියෙන් ඉහළ යන බැවින්, රජයේ ආදායම්ද ඉහළ යනවා. ඒ නිසා, ණය ගෙවීම සඳහා වැඩියෙන් රුපියල් අවශ්‍ය වීම ප්‍රශ්නයක් වීමේ ලොකු ඉඩක් නැහැ. මේ කරුණ මහ බැංකුව විසින්ද මෑතකදී පැහැදිලි කර තිබුණා. (රටට ප්‍රමාණවත් තරම් විදේශ විණිමය නොලැබේනම් ණය ගෙවීමේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එය වෙනම කරුණක්.)

පසු ගිය වසර ඇතුළත දදේනියෙන් 16.7%ක රාජ්‍ය ආදායමක් එකතු වී තිබුණා. මෙම වසරේ පළමු කාර්තුවේ දදේනිය අනුව පළමු කාර්තුවේ රාජ්‍ය ආදායමද දදේනියෙන් 16.4% වැනි ඉහළ මට්ටමක පවතින බැවින්ද, රටේ  අවිධිමත් ආර්ථිකය විධිමත් ආර්ථිකය තුළට ගැනීමට සහ එමගින් බදු පදනම පුළුල් කර ගැනීමට රජය විසින් සැලසුම් සහගත ලෙස කටයුතු කරමින් සිටින බැවින්ද, මෙම වසර අවසානයේදී සමස්ත අයවැය ශේෂය ඉලක්ක ඉක්මවන හොඳ මට්ටමක පැවතීමේ හැකියාව වත්මන් ප්‍රවණතා වලින් පෙනෙන්නට තිබෙනවා. අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායයන්හි බර නොවේනම් මෙම තත්ත්වය තව දුරටත් වැඩි දියුණු විය හැකිව තිබුණා. 

ආර්ථික අර්බුදයෙන් පසුව, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස, බදු අනුපාතික ඉහළ දමනු ලැබුවා. එය ඒ අවස්ථාවේදී කළ යුතුව තිබුණු දෙයක්. බදු පදනම පුළුල් කර ගැනීම ක්ෂණිකව කළ නොහැකි කල් ගත වන වැඩක්. මේ වන විට රාජ්‍ය ආදායම් ඉහළ යන්නේ බදු පදනම ක්‍රමක්‍රමයෙන් පුළුල් වීම නිසායි. ප්‍රමාණවත් තරමින් බදු පදනම පුළුල් කර ගැනීම මගින් බදු අනුපාතික අඩු කිරීමේ හැකියාවක් තිබෙනවා. 

රජයේ අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වියදම් පියවා ගැනීම පිණිස අනිවාර්යයෙන්ම බදු අය කරන්නට සිදු වෙනවා. ඒ සඳහා ඊට වඩා හොඳ විකල්පයක් නැහැ. එසේ බදු අය කිරීමේදී බදු ගෙවන සීමිත පිරිසක් මත පමණක් එම බර පැටවීම සාධාරණ ක්‍රමයක් නෙමෙයි. බදු පදනම පුළුල් කර ගැනීම මගින් වැඩි දෙනෙකු බදු දැල තුළට ඇතුළු කර ගෙන වඩා සාධාරණ පදනමකින් බදු බර බෙදා හැරිය හැකියි. රටේ අවිධිමත් ආර්ථිකය විධිමත් ආර්ථිකය තුළට අවශෝෂණය කර ගැනීම මගින් බදු පදනම පුළුල් කර ගත හැකියි. 

12 comments:

  1. ඉකොනෝ ඉදිරියේදී පොලී අනුපාතික සහ විනිමය අනුපාත ඉහළ යාම වීමේ සම්භාවිතාවක් පවතිනවා ද? මේ මොහොතේ ස්ථිර තැන්පතු වලට ආයෝජනය කිරීම හොඳයි වගේ පේනවා ද? ඉදිරියේ පොලී අනුපාතික අඩු වෙනවා නම් ඒකේ වාසියක් තියෙනවා නේද? මේ බදු දැල පුලුල් කිරීම හරහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කර්මාන්ත වලට බදු බර පැමිණෙන විට ඒ ආයතන කඩා වැටීමට සහ ආර්ථික වර්ධනයට එය ඍණ ලෙස බලපාන බව කියන කතා ඇත්ත ද? මේ ගැන ආර්ථික විද්‍යාව අනුව පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. යුද තත්ත්වය අවසන් වුවහොත් පොලී අනුපාතික දිගින් දිගටම ඉහළ යන එකක් නැහැ. ඩොලරයක මිලනම් දිගින් දිගටම යම් වේගයකින් ඉහළ යයි. එසේ වන අතර කෙටිකාලීනව අඩු වැඩි වීම් දෙකම වෙයි. බදු දැල පුලුල් කිරීම නිසා දැනට බදු පැහැර හැරීම මගින් වාසි ලබන අයට ඒ වාසිය නැති වෙනවා. නීත්‍යනුකූලව ම බදු නිදහස භුක්ති විඳින යම් පිරිසකටද ඒ වාසිය නැති වෙනවා. ඒ නිසා ඇතැම් ව්‍යාපාර වැහෙන්න පුළුවන්. නමුත් නිසි සේ බදු ගෙවන අයට අමතර වාසියක් ලැබෙනවා. ඒ නිසා සමස්තයක් ලෙස ආර්ථික වර්ධනයට ලොකු බලපෑමක් වෙන එකක් නැහැ.

      Delete
  2. සමහරු රජයට විරුද්දව කතා කරත් මේ රජය ගෙනයන වැඩපිළිවෙල සාර්ථකයි. නෙගටිව් ප්‍රතිචාර දක්වන්නෝ ඉච්චබන්ගත්වයට පත්වූවන් හා රාජපක්ෂ හොරුන්ගෙන් යැපුන අයයි ....

    ReplyDelete
    Replies
    1. Thakkadi danne thamanta wiruddha wena ona ekekta hora lebalaya gahanna witharayi.

      Delete
  3. ඉකොනෝ, ඔයා ඇකඩමික් කෙනෙක් විදියට සංඛ්‍යාලේඛන මත පදනම්ව ආර්ථිකය ගැන විස්තර කළත් මහපොළොවේ යථාර්ථය ඊට වඩා වෙනස්. විශේෂයෙන්ම ලංකාවේ සමාජය තුල එක්තරා සුළු කොටසක් ඉන්නවා, ඒ අය වෛරය සහ පලිගැනීම මත පදනම් වූ දේශපාලන මානසිකත්වය ගැන විග්‍රහ කළොත් ඇත්තටම සමාජ විද්‍යාත්මකව අතිශය ගැඹුරුයි.

    මේක ඇත්තටම "සමාජ වෛරී චක්‍රයක" (Cycle of Social Hatred) ප්‍රකාශනයක්, ලංකාවේ දේශපාලන කරළියේ ඉන්න ඔය "වෛරී රැල්ලේ" පෙරගමන්කරුවන්ගේ මූලික ලක්ෂණය තමයි තමන්ගේ ජීවිතවල තියෙන පෞද්ගලික අසාර්ථකත්වය සහ පීඩනය, සමාජය දෙසට තුවක්කුවක් වගේ එල්ල කිරීම, ළමා කාලයේ හෝ නව යොවුන් වියේදී ඇති වුණු අපේක්ෂා භංගත්වය සහ තුවාල, අද දේශපාලන වෛරයක් විදිහට එළියට පනිනවා. කාට හරි "කෙළවෙනවා" දැක්කම ඒ අයට ලැබෙන්නේ ව්‍යාජ තෘප්තියක්. මේ මාලිමා ජවිපෙ දේශපාලන ප්‍රවාහය අද ඒ වෛරය තමන්ගේ ඡන්ද පදනම කරගෙන ඉහළට ඇවිත් තියෙන්නේ.

    හැබැයි ඉකොනො, ලංකාවේ අතිශය බහුතරය වන නිහඬ සාමාන්‍ය ලාංකිකයා කියන්නේ වෛරයෙන්ම ජීවත් වෙන ජාතියක් නෙවෙයි. ඔවුන්ට ඕනේ සාක්කුවට දැනෙන පහසුවක්; ඉලක්කම්වලින් පෙන්නන "ප්‍රාථමික අතිරික්ත" නෙවෙයි, තමන්ගේ දරුවාට සාධාරණ මිලකට කිරිපිටි ටිකක්, ගෙදරට තෙල් ටිකක් ගන්න තියෙන හැකියාවයි.

    දැන් වෙලා තියෙන්නේ මොකක්ද? මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙද්දී, ජනතාවගේ සාක්කුවට දැනෙන "කිරිපිටි සහ තෙල්" වගේ ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට, ඒ පීඩනය සමාජය තුළම පුපුරන්න පටන් අරන්.

    ඉස්සර මේ මාලිමාවේ "ඩෝබිලා" සහ කුලී යූටියුබ්කාරයෝ කරේ, ආණ්ඩුව විවේචනය කරන ඕනෑම කෙනෙක්ව "පරණ හොරුන්ගේ ගෝලයෝ" කියලා ලේබල් කරලා මඩ ගහන එක. හැබැයි මචං, අද වෙද්දී ඒ ඩෝබිලටත් රෙදි නැති වෙලා. ඉස්සර මාලිමාව වෙනුවෙන් පණ දාගෙන හිටපු උදවියත් අද කුණුහරුපෙන් බනිනවා කියන්නේ, ජනතාවගේ ඉවසීමේ සීමාව පැනලා, ආර්ථික යථාර්ථය සහ මේ දේශපාලන බොරුකාරයන්ගේ නිරුවත එළියට ඇවිත් තියෙනවා කියන එකයි.

    මේක දේශපාලන විද්‍යාවේදී අපි හඳුන්වන්නේ The Collapse of the Populist Mirage (ජනප්‍රියවාදී මිරිඟුව බිඳවැටීම) විදිහටයි. මිනිස්සුන්ට දැන් තේරෙනවා, වෛරයෙන් සහ බොරු සංඛ්‍යාලේඛනවලින් රටක් හදන්න බැරි බව. ඉකොනෝ වගේ බුද්ධිමතුන් දැන් කරන්න ඕනේ, මේ පලිගැනීම් සහ වෛරී දේශපාලනයෙන් රට ගොඩගන්න බැරි බවත්, ඒ වෙනුවට උපායමාර්ගික ස්වාධීනත්වය (Strategic Autonomy) සහ නිෂ්පාදන ආර්ථිකයක් මත පදනම් වූ දේශපාලනයක් අවශ්‍ය බවත් මිනිස්සුන්ට තේරුම් කරලා දෙන එක බවයි මගේ අදහස, ඔයා ඉතින් හිතලා බලන්න පුළුවන් නම් ඒ ගැනත්.

    මොකද වෛරයෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් පිරිසක් ඉන්නවා තමයි, හැබැයි රටක බහුතරයක් ඉන්නේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සාමාන්‍ය මිනිස්සු. අන්න ඒ මිනිස්සුන්ව මේ "වෛරී උගුලෙන්" ගලවගන්න එක තමයි දැන් අපිට තියෙන ලොකුම අභියෝගය.

    මේ වෛරී දේශපාලන සංස්කෘතියේ අවසානය ළඟා වෙමින් තියෙන මේ මොහොතේ, රටේ සාමාන්‍ය ජනතාව මේ දේශපාලන වංචාවෙන් ගලවගෙන සැබෑ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න පුළුවන් දේශපාලන වේදිකාවක් ගොඩනගන්න අපිට පටන් ගන්න පුළුවන් කොතැනින්ද?

    ReplyDelete
  4. ඉකොනෝ අර ඩොලර් මිලියන 808 හිඟය ගැන විස්තර කියන්න පුළුවන්ද? ඔය ඩොලර් මිලියන 808 හිඟය එක්ක ද ඔය අතිරික්තය නැත්නම් ඒක නැතූව ද ඔය කියන අතිරික්තය ආවේ?

    ReplyDelete
  5. @ Economatta

    ඔය වාර්තාව සත්‍යයි කියලා ඔයාට හොඳටම ෂුවර් ද? මොකද ආණ්ඩුව සහ මහ බැංකුව මෑතක දී රටපුරා කතාබහට ලක්වුන සෘණ ඩොලර් මිලියන 808 ක දත්ත විෂමතාව "සාමාන්‍ය ගිණුම්කරණ දෝෂයක්" (Statistical Discrepancy) විදිහට විතරක් හඳුන්වලා අතපිහදා ගන්න හදපු එක තාක්ෂණිකව බරපතල වැරැද්දක්

    මොකද, මේකෙන් පැහැදිලිවම පේන්නේ රාජ්‍ය මූල්‍ය පද්ධතියේ සහ විදේශ විනිමය පාලන යාන්ත්‍රණයේ තියෙන අසාර්ථකත්වය සහ පද්ධතිමය සිදුරු (Structural Leakages) බව අපිට සාධක සහිතව ඔප්පු කරන්න පුළුවන්.

    අපි මේ ප්‍රශ්නය දෙස පක්ෂපාතීත්වයෙන් තොරව, ශාස්ත්‍රීය සහ සාර්ව-ආර්ථික විද්‍යාත්මක (Macroeconomic) දෘෂ්ටිකෝණයකින් බැලුවොත්, මේකට එක හේතුවක් රේගු දත්තවල සටහන් වෙන අපනයන වටිනාකම් (Customs-declared Export Values) සහ බැංකු පද්ධතියට සැබැවින්ම ගලා ආ යුතු අපනයන ආදායම් ප්‍රතිප්‍රේෂණ (Export Proceeds Repatriation) අතර පවතින මේ දැවැන්ත පරතරය නිර්මාණය වෙන්නේ, ආණ්ඩුව විසින් විදේශ වෙළඳාමේදී සිදුවන "වැරදි ඉන්වොයිස්කරණයන්" (Trade Misinvoicing) එනම්, බදු මඟහැරීමට හෝ මුදල් පිටකිරීමට අපනයන වටිනාකම් අඩුකර පෙන්වීම (Under-invoicing) සහ ආනයන වටිනාකම් වැඩිකර පෙන්වීම (Over-invoicing) වැනි නීතිවිරෝධී උපක්‍රම නිසි ලෙස නියාමනය නොකිරීම නිසයි.

    ඒ වගේම, රටේ සාර්ව-ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය වෙළඳපොළ කෙරෙහි පවතින විශ්වාසය පළුදු වන විට, ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් නීත්‍යානුකූල බැංකු පද්ධතිය මඟහැර උන්ඩියල් (Undiyal) හෝ හවාලා (Hawala) වැනි සමාන්තර වෙළඳපොළ (Parallel Foreign Exchange Markets) භාවිත කරමින් සිදුකරන "ප්‍රාග්ධන පලායාම්" (Capital Flight) හේතුවෙන් නිල BoP මූල්‍ය ගිණුමට (Financial Account) ලැබිය යුතු ඩොලර් බිලියන ගණනින් පද්ධතියෙන් පිටතට කාන්දු වෙනවා. සරලවම කිව්වොත්, ආණ්ඩුවේ දුර්වල දත්ත කළමනාකරණය (Data Asymmetry), ආයතන අතර පවතින අකාර්යක්ෂම සම්බන්ධීකරණය (උදාහරණයක් ලෙස රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව අතර සැබෑ කාලීන/Real-time දත්ත හුවමාරු නොවීම), සහ විදේශ විනිමය පාලන නීති ලිහිල්ව ක්‍රියාත්මක කිරීම නිසා, රටේ නිල ආර්ථික සංසරණයෙන් පිටතට ගලාගිය මේ දැවැන්ත ධනය වසාගැනීමට රජය විසින් "දෝෂ සහ අතපසුවීම්" (Errors and Omissions) කියන තාක්ෂණික ලේබලය පාවිච්චි කරනවා මිස, මේක පද්ධතියේ පවතින බරපතල පාලන සහ නියාමන අසාර්ථකත්වයක් (Regulatory and Governance Failure) මේ නිසාම ඔය වගේ වාර්තා ගැන පොදුවේ ගත්කල සමාජයේ විශ්වාසය බිඳ වැටිලා. ඒ නිසා මම නම් හිතන්නේ ඇත්තටම ඕක ප්‍රාථමික හිඟයක් පවතින එකක් විය හැකියි, හරියට 2019 සැබැවින්ම ආර්ථික වර්ධනය ඍණ -2% ක් බව පසුව අනාවරණය වුණා වගේ ඉදිරියේදී ඇත්ත සංඛ්‍යා හෙළිවෙයි ඒත් මේක බොහෝ දුරට ව්‍යාජ ලේඛනයක් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් අඩු වශයෙන් දෝෂයක්වත් නෙමෙයි. සාමාන්‍ය සංඛ්‍යාලේඛණයක්.

      Delete
  6. දැන් ඉකොන් අපට ආන්ඩුව කියනවානේ එයාලාට ඇති තරම් සල්ලි තියනවා කියලා, දැන් තෙලුත් එනවානේ අවුලක් නැතුව
    ඇයි ඉතිං එහෙනං QR එකයි ඔත්තේ ඉරට්ටේ අයින් කරන්නේ නැත්තේ? ඒ නිසා මේකත් තවත් මගඩියක් නේද?

    ReplyDelete
    Replies
    1. ඇති තරම් කොහොම වුනත් රුපියල් තියෙනවා. නමුත් ඩොලර් නැහැනේ.

      Delete
  7. ඉකොනෝ අද කොල්ලුපිටිය ප්‍රදේශයේදී හයර් දුවන ත්‍රීරෝද රථ රියැදුරෙක් ත්‍රීරෝද රථයට ගිනි තියලා ඒකටම පැනලා සියදිවි හානිකර ගෙන කියලා ඉතාමත්ම සංවේදී පුවතක් මාධ්‍ය වල හැමතැනම කතා වෙනවා. ඇත්තටම මුකුත් නෙවෙයි ප්‍රශ්නෙ.. අහස උසට වැඩි උන තෙල් මිල. ඩිලිවරි කරල හයර් දුවල ජීවත්වෙන මිනිස්සුන්ට මේ තෙල් මිල දරගන්න අමාරුයි. මේ ගැන පොඩ්ඩක් හිතන්න ඕනි.. දැන් හයර් එකක් දුවල ගන්න ගානෙන් තෙල් වලටයි වාහනේ නඩත්තුවටයි ගියම වෙන කිසිදෙයක් කරන්න බෑ.. ඉතින් කොහොමද මනුස්සයෙක් ෆිනෑන්ස් ගෙවන්නෙ. ගෙවල් වලට කන්න බොන්න දෙන්නෙ. ලෙඩකට බේත් ටිකක් ගන්නෙ. අනුරට අධික මිලට තෙල් ආනයනය කරන්නයි ඊට පස්සේ අධික බදු බර පටවලා ඒ තෙල් වලින් බදු සල්ලි එකතු කරන් රට හදන්න කියල හයර් දුවන උන්ට මැරෙන්න තමයි වෙන්නෙ. පෞත්ගලික ගමන් යන අයට සීමා අරන්න හරි පුලුවන් වාහනේ පදින එක. ඒත් රස්සාව කරන්න වාහනේ පදින අය මොනාද කරන්න. ඩිලිවරි, හයර් දුවන අය බස් එකේ යන්නද. ගමන් යන අයට වාහනෙ ගෙදර දාල සල්ලි නැත්තන් බස් එකේ හරි යන්න පුලුවන්. වාහනෙන් රස්සාව කරන අය මොනා කරන්නද...?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: