සුරංගද කොහෙද ලියා තිබුණු පරිදි මේ කාලයේදී මා සිතා සිටියේ මිනිස්සුන්ට ගෑණු ඕනෑ වෙන්නේ කෑම උයා ගැනීමට බවයි. බල්ලන්, පූසන්, ගෙම්බන්, කැරපොත්තන් හා හූනන් හැරුණු විට ගෙවල් වල ජීවත් වන සත්ත්ව කොට්ඨාශ දෙකකි. මෙයින් වැදගත් සහ ප්‍රධානම සතා මනුස්සයාය. මනුස්සයින්ගේ මූණේ රැවුල් වැවේ. මනුස්සයින්ට ලොකු වූ විට කුඹුරු මඩ කිරීමේ සිට පොල් කැඩීම දක්වා ඕනෑම වැඩක් වාගේ කළ හැකිය. එහෙත්, බැරි වැඩත් කීපයක් තිබේ. ඒවායින්, වැදගත්ම දෙය කෑම ඉවීමයි.
ගෙවල් වල වසන මනුස්සයින් නොවන, හූනන් කැරපොත්තන්ද නොවන අනෙක් සත්ත්ව කොට්ඨාශය හඳුන්වන්නේ ගෑණුන් නමිනි. ගෑණුන්ට පිරිමින් කරන වැඩ බොහොමයක්ම කළ නොහැකිය. එහෙත්, ගෑණුන්ට උයන්නට පුළුවන්ය.
මිනිස්සුන්ගේ ජීවිතයේ ප්‍රධානම සහ වටිනාම කටයුත්ත කෑම ගැනීමයි. තෘප්තිමත් මිනිස් ජීවිතයක් කියන්නේ පැණිරස කෑම දවස පුරාම ඇති තරම් කන්නට ඇති ජීවිතයකි. කවුරුත් ගෙදර නැති වෙලාවක හොරෙන් බැලූ, පුංචි අම්මා කෙනෙකුගේ රෝස පාට නිල් පාට කොළ ඇති සමරු පොතක තිබුණු කරුණු අනුව එවැනි පැණිරස ජීවිතයක් ඇත්නම් අපි වැනි පොඩි ළමයින් පමණක් නොව ඔය ලොකු අය කවුරුත් වුවද කැමතිය.
සූකිරි කන්දකින් හෙමිහිට ගලන ඉබේ
මීපැණි ගඟක් වේවා ජීවිතය ඔබේ
එහෙම තියෙනවනම් කවුද අකැමති? කූඹිනම් ප්‍රශ්නයක් තමයි.
කෑම උයා ගැනීමට කඩෙන් බඩු අවශ්‍යවේ. කඩෙන් බඩු ගැනීමට සල්ලි අවශ්‍ය වේ. සල්ලි හොයා ගැනීමට රස්සාවක් අවශ්‍ය වේ.
රස්සාවක් කිරීමට තරම් ලොකු වූ විට මිනිස්සු කරන්නේ උදේ සිට හවස් වනතුරු මහන්සි වී රස්සාව කිරීමයි. එවිට සල්ලි ලැබේ. සල්ලි තිබේනම් කඩෙන් බඩු ගැනීමට පුළුවන.
බඩු තිබුණත් හාල්, පොල් අමුවෙන් කන්නට බැරිය. (කිවුවාට බැරිමත් නැත.) ඒවා උයා ගත යුතුය. ඒත්, කරුමෙට මේ මනුස්සයා කියන සතාට උයාගන්නා හැටි තියා ප්ලේන්ටියක් හදා ගන්නා හැටිවත් නොතේරේ.
මනුස්සයාට උයාගන්නට නොතේරෙන නිසා ගෑණියෙක් ගේන්නට සිදුවේ. ගෑණුන්ට ඉවීමට අමතරව මැහුම් ගෙතුම් වැනි වෙනත් වැඩ කිහිපයක්ද කළ හැකි වුණත් ගෑණියෙක්ගෙන් ඇති ලොකුම ප්‍රයෝජනය කෑම උයාගැනීමට හැකිකමයි. උයන්නට බැරි ගෑණියෙක්ගෙන් කිසිම වැඩක් නැත. ඒ නිසා ගෑණියෙක් ගෙන ඒමට පෙර ඇයට රසට කෑම උයන්නට හැකි බව තහවුරු කර ගත යුතුය.
ගෑණියෙක් ගේන්නට කලින් ගෑණු ගොඩක් බලන්නට යන්නට සිදුවේ. කඩෙන් සාරි ගන්නකොට වගේය. ඒ හොඳම එක තෝරා ගන්නටය.
ගෑණු බලන්නට ගෙවල් වලට යන දවසට බඩ පැලෙන්නට කන්නට රස කෑම ලැබේ. කොයි ගෙදරිනුත් මේ වගේ රස කෑම ලැබෙන නිසා හොඳම තැන තෝරා ගැනීම ලේසිපාසු කටයුත්තක් නොවේ.
සීයලා ආච්චිලා කියන විදිහට ඕක කරන්නට ක්‍රමයක් තිබේ.
ක්‍රමය සරලය. කළයුත්තේ කිරිහොද්ද රස බැලීමයි.
අල හොද්දේ අල රස ඇත. පතෝල හොද්දේ පතෝල රස ඇත. ඒත් කිරිහොද්දේ පොල්කිරි, මිරිස් තුනපහ, ලුණු ගොරකා හැර වෙනත් අමතර දෙයක් නැති නිසා ඔය දේවල් ගාණට දාන්නට අතේ හුරුවක් නැත්නම් කිරිහොද්ද රහ නැත. කිරිහොද්ද රහ නැත්නම් ඒ ගෙදරින් ගෑණියෙක් ගෙනත් වැඩක් නැත. ගෑණුන්ව විකුණා ගැනීමටනම් කිරිහොද්ද පුළුවන් තරම් රහට හැදිය යුතුය.
අන්තිමේදී මනුස්සයෙක්ටත්, ඒ මනුස්සයාගේ අම්මා තාත්තාටත්, හත්මුතු පරම්පරාවේ නෑයින්ටත් කොහේ හෝ ගෙදරක කිරිහොද්ද රහ වැටුණු විට මඟුලක් සිදුවේ. මේ මඟුල කැවුම්, කොකිස්, මස්, මාළු ඉදෙන අතිශයින්ම රහ කාලයකි. මේ රස කෑම වලින් සංකේතවත් වන්නේ මෙතැන් සිට දිගටම රහට කන්නට ලැබෙන බව විය යුතුය.
මෙතැන් සිට සිදුවන කතන්දරය මේ වගේය. මනුස්සයා උදේ හිට රෑවෙන තුරු හොඳටම මහන්සි වී සල්ලි හම්බ කරයි. ගෑණිට කරන්නට තියෙන්නේ එකම එක පොඩි වැඩකි. උදේ සිට රෑවෙන තුරු බත් ඉවීමයි. මේ පොඩි වැඩේ කිරීම වෙනුවෙන් ගෑණියෙකුට බොහෝ දේ ලැබේ. ඇයට මනුස්සයා විසින් දියයුත්තේ නිකම් කෑම පමණක් නොවේ. කඩෙන් සාරි අරන් දිය යුතුය. නිදාගන්නට ඇඳෙන් බාගයක් ඉඩ දිය යුතුය. ඒ මදිවාට ටික කලක් යනවිට ගෑණුන්ගේ බඩේ ළමයිනුත් හැදේ. ඉන්පසු ඒ අයට ඕනෑ දේවල් අරන් දෙන්නටත් සල්ලි හෙවිය යුතුය.
මනුස්සයාගේ ඇති මේ ලොකුම අඩුපාඩුව නිසා ඔහු ගෙවන මිල වැඩි නැද්ද? මේ ලෝක ධර්මතාවය වෙනස් කළ නොහැකි එකක්ද?
බතක් මාළුවක් උයා ගන්නට පුරුදු වුණොත් ගෑණු ගේන්නට අවශ්‍ය නොවේ. එහෙම වුණොත්, දවසම මහන්සි වී ගෑණුන් හා ළමයින් වෙනුවෙන් සල්ලි හම්බ කරන්නට අවශ්‍ය නැත. ඇඳෙන් බාගයක් වෙන් නොකර හොඳට අතපය දිග හැර නිදාගන්නත් පුළුවන්ය. මේ නුවණ අනිත් මිනිස්සුන්ට පහළ නොවන්නේ ඇයි? සමහර විට උයන එක හිතන තරම්ම ලේසි නැතුව ඇති!
මුල් වරට බතක් ඉවීම අත්හදා බැලීමට මා තීරණය කළේ නිවසේ වැඩිහිටියන් කිසිවකු නොමැති අවස්ථාවකය. වැඩිමල් ඥාති සොයුරියන්ද හා එකතුව සෙල්ලම් ගෙවල් වල පොඩි මැටි මුට්ටි වල ඇත්ත බත් උයා තිබුණත් ඇත්තටම කන්නට බතක් ඉවීම ඊට වඩා භාරදූර කාර්යයකි. මෙය ඒ වන විටද ප්‍රගුණ කර තිබූ ප්ලේන්ටියක් හදා ගැනීමේ කුසලතාවය බොහෝ දුරට ඉක්මවන්නකි.
පැරකුම් ටින්කිරි හාල් හුන්ඩු දෙකක් මැන ගත් පසු පළමුව හාල් ගරා ගැනීමට සිදුවේ. මේ ආච්චිට හාල් ගැරිල්ල ඒ තරම්ම අමාරු නැත. ලොකු ගල් කැටයක් හමු වූ විට නාම්බුවේ ගෙවුඩයක් දැක්කා වගේ තන්තෝසය.
ලිප පත්තු කර ගැනීමද තරමක අභියෝගයකි. මේ කාලයේදී අප ජීවත් වුනේ නාගරික ප්‍රදේශයක පිහිටි නිල නිවාසයකය. ඒ නිසා, හැත්තෑ ගණන් වල වුවද, අපට ලයිට් තිබුණේය. ලයිට් තිබුණත් ලිපනම් දර ලිපකි. දර එකතු කරගැනීමට තරම් ලොකු වත්තක් නැති නිසා දර එන්නේ දර කරත්තයෙනි. දර කෑල්ලක් මුලින්ම පත්තු කර ගැනීම ලේසි නැත. පොල්කට්ටක් ඇත්නම් ඉස්ටාට් එකට හොඳය. ඒත් පොල්කට්ට වුවද පත්තු කර ගැනීම ලේසි නැත.
පොල්කට්ට ඉස්ටාට් කර ගැනීමට ලාම්පුතෙල් හොඳ බේතකි. කලින් සිටි ගෙවල් වලදී මෙන් ඇති තරම් පොල් හනසු හෝ ඔට්ටපාළු නැති නිසා එකම බේත ලාම්පුතෙල්ය. සාමාන්‍යයෙන් ගෙදර ලාම්පු පත්තු නොකළත් ප්‍රධාන වශයෙන්ම ලාම්පුතෙල් අවශ්‍ය වුනේ මේ ලිප ඉස්ටාට් කර ගැනීමේ කටයුත්තටය.
ඔය කාලයේ ලාම්පුතෙල් කරත්තයේ ලාම්පුතෙල් ගැලුමක් තුනයි පනස් හතරකි. පන්දමක් උස්සාගෙන හෙළුවෙන් දුවන මනුස්සයෙකු පින්තාරු කළ රතු පාට ලාම්පුතෙල් කරත්තය ඇදගෙන එන දුඹුරු පාට ගොනාගේ පිටට තට්ටුවක් දමමින් "බූංතේ" කියා උජාරුවෙන් කෑගහගෙන එන ලාම්පුතෙල් කරත්තකාරයාගෙන් ලාම්පුතෙල් ගැනීමට මට කොයිතරම් ආසාවක් තිබුණත් ඒ ආසාව කවදාවත් ඉටු නොවුනේ අපේ ගෙදර සිට යාර සීයක්ටත් වඩා අඩු දුරකින් තිබුණු පෙට්‍රල් ෂෙඩ් එකේ ලාම්පුතෙල් ගැලුමක් ශත හයක් අඩුවට විකිණූ බැවිනි.
හාල් ගැරීමට සහ ලිප පත්තු කිරීමට අමතරව බත් ඉවීමේ ඇති අමාරුම කෑල්ල ගාණට වතුර දැමීමයි. වතුර වැඩි වුණොත් බත බෙරි වේ. අඩු වුණොත් ඇට්ටකුණා වේ. බත් ඉවීම ප්‍රගුණ කළ මුල් දවසේ මට වුනේ ඔය දෙකෙන් දෙවැන්නයි. කෙසේ වුවත්, බත ඉදීගෙන එනවිට අදනම් කන්න වෙන්නේ බත් නොව හාල් බව මට ඒත්තු ගියේය. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් වතුර එකතු කර යාන්තමින් වැඩේ ගොඩ දාගත හැකි විය.
මහන්සිවී ගෙදර පැමිණි වැඩිහිටියෝ ගෙදර බතක් ඉදී තිබෙනු දැක මහත් උද්දාමයට පත් වූහ. මේ යුගය කඩෙන් කොත්තු ගේන යුගයක් නොවේ. කෙතරම් පසුවී බඩගින්නේ ගෙදර ආවත් කන්න වෙන්නේ බත ඉදුණු පසුවය.
යාන්තමින් වැඩේ ගොඩ දාගත් මම මේ වීර ක්‍රියාව කිරීමේදී මුහුණ දුන් අභියෝග සහ මා ඒවාට මුහුණ දුන් ආකාරය එකිනෙක විස්තර කළෙමි. මගේ විස්තර කිරීම් අවසානයේදී බතට වතුර තැබීම හා සම්බන්ධ ඉතා සරල ගුරු මුෂ්ටියක් මට ලැබුණේය. හාල් වල මට්ටමේ සිට අතේ ඇඟිලි පුරුක් දෙකක ගැඹුරට වතුර තැබූ විට බෙරි හෝ ඇට්ටකුණා නොවී බත ගාණට ඉදෙනු ඇත.
වැඩිහිටි කාන්තාවකගේ අතේ ඇඟිලි වල දිග සහ නව හැවිරිදි දරුවෙකුගේ ඇඟිලි වල දිග එක සමාන නොවීම මට ලොකු ප්‍රශ්නයක් නොවූයේ මේ සරල ආකෘතිය ප්‍රායෝගිකව හොඳින් වැඩ කළ නිසාය. එතැන් පටන් බතක් නිසි පරිදි උයා ගැනීම සූකිරි කන්දකින් පහළට ගලන මීපැණි ගඟක ඉවුරේ සිට පාන් කෑල්ලක් කන තරම් පහසු කටයුත්තක් විය. රතු කැකුළු, රටින් ගෙනා සුදු හාල්, මිල්චාට් ආදී ලෙස හාල මාරුවෙද්දීත්, මැටි මුට්ටි ඇලුමිනියම් 'රාස්පාන්' වෙද්දීත්, මුට්ටිය වහන නෑඹිලිය එසේම වෙනස් වෙද්දීත්, හුන්ඩු දෙක දෙකහමාර හෝ තුන වෙද්දීත් ඇඟිලි පුරුක් දෙකේ ආකෘතිය නිසියාකාරව වැඩ කළේය.
බත් ඉවීම වැනි භාරදූර කටයුත්තක් මේ තරම් හොඳින් කිරීමට හැකි වූ විට තමන් මහා පොරක් බව සිතීම සාමාන්‍ය දෙයකි. ඒ සමඟම ඇඟිලි පුරුක් දෙකේ නුවණින් තමන්ට කළ නොහැකි දෙයක් නැතැයි සිතේ. මේ අනුව මට තවත් අළුත් වැඩකට අත ගැසීමට සිත් විය. ඒ කොස් තැම්බීමයි. මේ තරම් අපූරුවට බත් තම්බන මට කොස් තැම්බීම කජ්ජක්ද?
මේ සඳහා මා යොදාගත්තේද පෙර මෙන්ම නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකි. කලින් පළු කළ, කොටසක් උයා ඉතිරිව තිබුණු, කොස් බෑයක් කුස්සියේ පැත්තක තිබුණේය. කොස් ඉවීම බත් ඉවීමට වඩා තරමක් සංකීර්ණය. මදුළු ගැලවිය යුතුය. මදුලෙන් ඇට ඉවත් කළ යුතුය. ඇටෙන් සිබිඩි පැන්නිය යුතුය. ඇට ඉවත් කළ මදුළු තීරුවලට කපා ගත යුතුය. ඉන්පසු සිබිඩි පැන්නූ කොස් ඇට මෙයට එක් කළ යුතුය. කොළා තමයි ඉතිං ඔය ඔක්කොම!
මේ තීරු කැපූ කොස් සහ මදුළු මුට්ටියට දමා වතුර දැමිය යුතුය. ඉන්පසු ඇත්තේ නැකතක් බලා හෝ නොබලා ලිප අවුළුවාගෙන කොස් ටික තම්බා ගැනීම පමණි.
වෘශ්චික ධනු මකර කුම්භ
කොස්ටික බෙරි නොකර තම්බ
කොස් ටික මුට්ටියට දැමූ විට මුට්ටියෙන් බාගයක් පිරුණේය. මම ඇඟිලි පුරුක් දෙකෙන් මනිමින් වතුර එකතු කළෙමි. කොස් වලට අවශ්‍ය පමණට වතුර එකතු කිරීම හාල් වලට එකතු කරන තරම් පහසු වුණේ නැත. මුට්ටිය පිරෙන්නම වතුර දැම්මත් ඇඟිලි පුරුක් දෙකනම් වැහුනේ නැත. තවත් වතුර දැමීමට මුට්ටියේ ඉඩ නැති නිසා අන්තිමට කොස් මුට්ටිය ලිපේ තබා ගිනි මෙලවුයෙමි.
පැයකටත් වඩා බලා සිටියෙමි. දර මිටියක්ම ඉවරය. ඒත් තවමත් කොස් හැලියේ වතුර හිඳී නැත. වැඩිහිටියන් නිවසට පැමිණෙන තුරුත් කොස් හැලිය ලිපේ ඉදෙමින් තිබුණේය.
මා නම් යට ගිය දවස (බරණැස් පුරවර දී) බත් උයන්න ගැහැණු ළමුනට උගන්වා තියනවා. මොකද කොස් එකට කොලේ? :D
ReplyDeleteඒක ලිපේ තාම ඉදෙනවා, රයිගම්. :)
Deleteඑදා ගෙදර හැමෝම කොස් කැඳ බිව්වලු :)
Deleteදැන් ඉතින් කිරි කොස් තමයි කන්න වෙන්නේ
ReplyDeleteකිරිකොස් අදත් කෑවා, බණ්ඩා. දැන් ඒවා ලක්ෂරි කෑම.
Delete/* සූකිරි කන්දකින් හෙමිහිට ගලන ඉබේ
ReplyDeleteමීපැණි ගඟක් වේවා ජීවිතය ඔබේ */
රෝස පාට නිල් පාට කොළ ඇති සමරු පොතක තිබුණු තවත් එකක්.
සුරතල් කරන්නට මුහුණට මුහුණ තබා
සුරතල් පුතෙකු වේවා ඔබෙ පළමු බබා!
පළමු බබා පුතෙක්නම් කොච්චර ෂෝයිද?
Deleteදෙහිවල ඇඹුල් තිබුනට මිරිකන්න එපා
Deleteමුතුකට කියා වලිකට ඇහිදින්න එපා
කෙල්ලක් දුටු මතින් ආලය දෙන්න එපා
චරිතෙට මිසක් රුපෙට රැවටෙන්න එපා...
මේ මගේ ගාව තිබුණු එහෙක තිබ්බ එකක් ..
ඔතන චරිතෙට බත් ඉවීමත් ඇතුළත්.
Deleteඋයන එකට ගෑනු පිරිමි භේදයක් ඕන නෑ.කුස්සියටම කොටුවුන ගෑනු ගැන මටනම් තියෙන්නෙ පුදුම දුකක්.
ReplyDeleteදැන් කුස්සියටම කොටු වෙලා ඉන්න ඕනෑ නෑනේ. වැඩට යනවා. පිරිමි කරන අනිත් වැඩත් කරනවා. කුස්සියට යන්න තියෙන්නේ ඕවා කරලා ඉතුරු වෙන වෙලාවට විතරයි.
Deleteවට පිට බලලද කිව්වේ.........
Deleteමෙය කියවා මම හොඳට සිනාසුනෙමු .. නිවෙස් වල ඉන්න සත්තු ගැන ...
ReplyDelete(ඔබ දැනට විවාහකනම්) ...මෙය දැක්කොත් නෝනා , අද කන්න වෙන්නේ කඩෙන් .. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
උයන එකට එතරම් අලස නොවුනත් , කපන , සුද්ද කරන , පස්සේ අස් කරන වැඩේටනම් මම මාර කම්මැලියි
ඒකට විසඳුමක් විකුණන ආයතන තියෙනවා මෙන්න https://www.plated.com/ (මේ බ්ලොග් එකේ තීම් එකට අදාළ නිසා දැම්මේ )
ගෙදර කෑම ඉවුවට පස්සේ පොස්ට් එක දැම්මේ, JP. :)
Deleteමම උයන කෑම වලට කැමති වුණත් උයන වැඩේ මටත් වැඩිපුර නොලැබෙන්නේ ක්ලීන්අප් කිරීම සම්බන්ධ මතවාදී ප්‍රශ්න නිසා තමයි.
රෙසිපි එකට හරියන ගානට කිරල නැතත් කපල කොටල තියෙන ඒවානම් මේ පැත්තේ ගන්න තියෙනවා.
video එක දැක්කේ නිකන් "ගැට ගැට ඇවිදින්" වගේ හීහී :)
ReplyDeleteමඩට පොල් කඩනවා කියන එක දන්නවද මචෝ
ReplyDeleteකුඹුර මඩ වුන දවසටත් පොල් කඩන එකද, ඇනෝ?
Deleteගැනු කොහෙද අලේ උයන්න දන්නේ. පිරිමියෙක් උයපු දවසක කාලම බලමුකෝ වෙනස. එකම අඩුවක් වෙන්නේ ගැනු මාසයක් උයන දේ පිරිමියෙක් ඉව්වොත් දවස් තුනෙන් ඉවරයි. මොකද පිරිමි උයනකොට දාන්න තියන දේ සේරම ලෙසටම දානවා.
ReplyDelete//මොකද පිරිමි උයනකොට දාන්න තියන දේ සේරම ලෙසටම දානවා.//
Deleteමේකනම් යුනිවර්සල් සත්‍යයක්.
කිරි හොදි හදනකොට යහමින් උළුහාල් දාන්නත් ඕනි. ඒ වගේම ලිප තිබ්බ වෙලාවේ ඉදන් හැදි ගාන්නත් ඕනි. රස යසටම තියෙන්න ඕනි නං තෝරගන්න පොල් ගෙඩියත් පදමටම තියන එකක් වෙන්න ඔිනි.
ReplyDeleteනලින් අය්යා........ මෙව්වා නවත්තලා බත් කඩයක් දාමුද? කිරි හොදි, චිකන් සුප්, ගර්ලික් බ්‍රෙඩ් තියන... මට දැන් එපා වෙලා මේ IT කෙරුවාව
Deleteකිරිහොද්දට බිත්තරයකුත් දාන්න පුළුවන්
Deleteඔය තියෙන්නේ කිරිහොදි.
Deleteඉකොනො..මල් හතයි ඈ..හෙහ්,හෙහ්...කාලෙකට පස්සෙ කියවපු අපූරුම ලියවිල්ලක්..
ReplyDelete/ වතුර වැඩි වුණොත් බත බෙරි වේ. අඩු වුණොත් ඇට්ටකුණා වේ. /
වතුර මදිවුනොත් රොස් වෙනව නැත්නම් අඩිය අල්ලනව කියලයි අපි නම් කිව්වෙ. ඇට්ටකුණා වෙනව කියල අපි කිව්වෙ මුට්ටියෙ හාල් මට්ටම එක ලෙවල් එකකට නොතිබුනාම එක පැත්තක බත ඉදිල තියනව. ඒත් අනික් පැත්තෙ තාම හාල්. අන්න ඒ සිටුවේෂන් එකටයි අපි කිව්වෙ ඇට්ටකුනයිසේෂන් කියල හෙහ්,හෙහ්,
/ වැඩිහිටි කාන්තාවකගේ අතේ ඇඟිලි වල දිග සහ නව හැවිරිදි දරුවෙකුගේ ඇඟිලි වල දිග එක සමාන නොවීම…./
අතේ ඇඟිලි වයස යනකොට දික් වුනාට අවුරුදු දහය වෙනකොට මහපට ඇඟිල්ලෙ අන්තිම පුරුක වර්ධනය වෙලා ඉවරයි. බතට වතුර තියාගන්ට පහසුවෙන්ට පරිණාමිකව සවභාව ධර්මයා විසින් අනුගමනය කල උපක්‍රමයක් ඒක....:)
//රොස් වෙනව නැත්නම් අඩිය අල්ලනව// එහෙම වෙන්නේ ගානට ඉවුනට පස්සේ ලිපේ ගින්දර නිවල 'හැතපෙන්න' තිබ්බේ නැත්නම් නොවේද? වතුර අඩු වුනොත් වගේම ඔය කියුව වගේ හාල් ටික පැත්තට ගිහින් තිබ්බත් වෙන්නේ ඇට්ටකුණා වීම හෙවත් බත් ඇට කොටසක් අමුවෙන් තිබීම නේද?
Delete"රොස් "කියන එක රෝස්ට් කියන විදේශීය එකෙන් ආව වෙන්න බෑනේද?
Deleteරොස් පරොස් වලින්ද දන්නෙ නෑ
රවී: මං හිතන්නේ ඔය යටින් ඉදිලා නැත්නම් බෙරිවෙලා උඩ හාල් ඉතුරු වෙන්නේ එක පාර හරියට වතුර තියාගන්න බැරුව පස්සේ දැම්මහම කියලා. ඇඟිලි කේස් එකනම් දැනගෙන හිටියේ නැහැ.
Deleteප්‍රාජේ: රෝස්ට් කියන එක වෙන්නත් බැරිම නැහැ. දැන් බලන්න වතුර කියන වචනේ වුණත් කිසිම (පානී, ජල්, තන්නි වගේ) කිසිම දකුණු හෝ උතුරු ඉන්දීය වචනයකට සමාන නැහැ. (මම දන්න තරමින්) ඒත් යුරෝපීය භාෂා වලට සමානයි (water).
හොඳ වෙලාවට අපේ කසාදයේ අරමුණ උනේ ගෑණිට කියා බත් උයවා ගැනීමවත්, මිනිහාට කියා සල්ලි හොයවා ගැනීමවත් නොවේ. ඒ කාලෙ ඉපදුනේ නැත්තෙ හොඳ වෙලාවටය. මං ලෝකෙ අකමැතිම කෑම කිරිහොදි නිසාත්, අකමැති කෑම උයන්නටද ඉතා අදක්ස වීම නිසාත් නොවිකිණෙන භාණ්ඩයක් බවට පත්වෙන්නට හොඳටෝම ඉඩ තිබුනි.
ReplyDeleteහාල් : වතුර = 2 : 3
Deleteකිරිහොදි වලට අකමැති කෙනෙක් ගැන ඇහුවමයි :)
Deleteකිරිහොදි හැදුවේ නැතුවට බස්සි බත් උයන සමීකරණේ දැනගෙන ඉඳල තියෙනවනේ.
Deleteරසම රස මතක අවුස්සන පොස්ට් එකක්.. අද මෙනු එක නම් සුපර් ඈ!
ReplyDeleteහාල් ගරන්නත් පුළුවන්,වතුර තියන්නත් පුළුවන්
ReplyDelete"ඇට්ටකකුණා"වෙන්නේ නැතිව බතක් උයන්නම්
කියලා තමයි දීපිකා නෝනත් එයා බලන්ට ආපු මනමාලයෙක්ට කියලා තියෙන්නේ.:)
මම නම් කන්න කොයි තරම් කැමති උනත් අකමැතිම කෝස් එකක් තමයි ඔය ඉවීම.
//උයන්නට බැරි ගෑණියෙක්ගෙන් කිසිම වැඩක් නැත. ඒ නිසා ගෑණියෙක් ගෙන ඒමට පෙර ඇයට රසට කෑම උයන්නට හැකි බව තහවුරු කර ගත යුතුය.// :O
ReplyDelete//කිරිහොද්ද රහ නැත්නම් ඒ ගෙදරින් ගෑණියෙක් ගෙනත් වැඩක් නැත. ගෑණුන්ව විකුණා ගැනීමටනම් කිරිහොද්ද පුළුවන් තරම් රහට හැදිය යුතුය.// :O :O
//ගෑණිට කරන්නට තියෙන්නේ එකම එක පොඩි වැඩකි. උදේ සිට රෑවෙන තුරු බත් ඉවීමයි.// :O:O:O
//ඇඟිලි පුරුක් දෙකේ දැනුම් සීමාව// :O:O:O:O
Delete//ඇඟිලි පුරුක් දෙකේ දැනුම් සීමාව// :O:O:O:O:O
//ඇඟිලි පුරුක් දෙකේ දැනුම් සීමාව// :O:O:O:O:O:O
අපුච්චේ...........මමත් හොඳම කුක් කෙනෙක්. පපඩම් බදිනවා, මිරිස් කරල් බදිනවා, ටොප් එකට. පොල්රොටී හදනවා සුපිරියට. ඉතිං මදිද? බත් උයන්න ඔය රයිස් කුකර් තියෙන්නේ. අම්මපා බත් කන්න මාළු ජාති උයන්න මැෂින් එකක් හදන්න මේ එකෙකුටවත් තවම බැරිඋනානේ.
ReplyDeleteමේ ලිපියෙන් තෝරාගත් කොටස් විතරක් ප්‍රින්ට් කරලා අපේ ජනාධිපතිතුමියට පෙන්නනවා. ඔක්කොම පෙන්නුවොත් මගේ කාඩ් කුඩු.
ලැබෙන අතුරු ප්‍රතිඵල ගැන වගකියනු නොලැබේ.
Deleteසල්ලි එකතු කිරීම, පොත් එකතු කිරීම, පාඩම් නොකර විභාග සමත් වීම ( සාමන්‍ය පෙළ තෙක්), පරණ ලී වලින් රාක්ක සෑදීම, මටත් පොදියි. මීට අමතර කළ පිස්සු වැඩක් වන්නේ පාවිච්චි කර ඉතිරි වී තිබු පේන්ට් පාව්ච්චි කර මගේ කාමරයේ පාට නිතර වෙනස් කිරීමයි. ඔබගේ විස්තර පරණ කාළයට සිත අරන් ගියා. ස්තූතියි.
ReplyDeleteඅපි වැඩිපුර හිටියේ අපේම නොවන ගෙවල්වල නිසා බිත්ති පාට කරන ඔප්ෂන් එක තිබුණේ නැහැ, ඉයන්.
Delete//"ගෑණියෙක්ගෙන් ඇති ලොකුම ප්‍රයෝජනය කෑම උයාගැනීමට හැකිකමයි. උයන්නට බැරි ගෑණියෙක්ගෙන් කිසිම වැඩක් නැත."// දැන් කාලේ රැඩිකල් ( කියලා හිතං ඉන්න ) ගෑනියෙකුට කිව්වා නම් කන පලාගන්න් තිබ්බා නොමිලේම
ReplyDeleteකලට වෙලාවට, පිරිසිදුව, පිරිමැස්මෙන්, රසවත් හා ගුනවත් ආහාරයක් පිළියෙල කරන කාන්තාවක් යනූ සකල ලෝක වාසී සියලූ පුරුෂයන්ගේ ගෞරවය දිනාගන්නා වස්තුවකී.
ReplyDeleteඇය, අම්මා ,සහෝදරිය, යෙහෙළිය, ආදරවන්තිය,බිරිඳ හෝ කෝකීවරියක් වියහැක.
ඉහත ගුනාංග සපුරන ස්ත්‍රිය තුල ආදරය,කරුණාව හා කැපකීරීම අනිවාර්යෙන් අඩංගුය.
කිසිවිටෙකත් ඔවුන්ගේ ඇසුරෙන් ඉවත්වීමට පුරුෂයින් උත්සහ නොකරයී.
(කරුනාකර මෙය කාන්තාවන්ට ලබාදෙන ලණුවක් (නො)වන බව සලකන්න.)