Tuesday, September 22, 2015

බෝර්ෂ් සුප් සහ වෙරළු අච්චාරු

පසුගිය සතියේ කිහිප දෙනෙකු විසින්ම කටට කෙළ උනන සටහන් ලියා තිබුණේය. රයිගමගේ බෝර්ෂ් සුප් එක සහ නලින් හදා තිබුණු ගාර්ලික් බ්‍රෙඩ් සමඟ එන වෙජිටබල් මික්ස් චිකන් සුප් එක මෙයින් දෙකකි. නාවල වැලිපාක් එක ළඟ හෝටලයේ 'එබිල ඔලුව පීරගන්ට පුලුවන් තරම් තෙල් තිබුණු' මස් හොද්ද ගැන රවී ලියා තිබුණේය

කොණ්ඩය පීරීමට කවදාවත් ලොකු උනන්දුවක් නොතිබුණු මට ඔළුව පීරිමටනම් උනන්දුවක් ඇති වුනේ ඉතා කුඩා කාලයේදීමය. ඒ උනන්දුව තවමත් අඩු වී නොමැත. එහෙත්, අවුරුදු හත අටේදී ඔළුව පීරමින් විසඳුම් සෙවූ බොහෝ ප්‍රශ්න වලට තවමත් නිශ්චිත විසඳුම් ලැබී නැති නිසා දැන් මා වඩා හොඳ විසඳුම් මිස නිශ්චිත විසඳුම් සොයන්නේ නැත.

මා පැමිණියේ කොහෙන්ද යන ප්‍රශ්නයට මා හැදුණු වැඩුණු සංස්කෘතියට සාපේක්ෂ පිළිතුරු වෙනත් අයට මෙන්ම මටද කුඩා කාලයේදීම ලැබුණේය. ඒ සමඟම, මට තෝරාගැනීමක් ඇති, යා හැකි තැන් ගැන ඉඟිද ලැබුණේය. සැප පමණක් ඇති, දුකක් ගැන දැන ගැනීමට නොලැබෙන තැනක සිට විඳින සැප සැපක් ලෙස සලකමින් විඳින්නේ කෙසේද යන්න මට අවුරුදු හත අටේදීම මතු වූ පැනයකි. මේ අනුව දුක් පමණක් ඇති තැනක් මඟහැර සැප පමණක් ඇති තැනකට යාම වෙනුවෙන් මහන්සි වීමේ ඕනෑ කමක් ඉතා කුඩා කාලයේදීවත් මට තිබුණේ නැත. එහෙත්, මා ඇතැම් විශේෂ තත්ත්වයන් යටතේදී හැර සම්මත 'නරක වැඩ' කිරීමට පෙළඹුනේද නැත. ඒ එවැනි දෙයින් මට සතුටක් නොලැබුණු බැවිනි.

සත්ත්ව ඝාතනයක් කරනු තබා එවැන්නක් බලා සිටීම පවා මට ඉතා අපහසු දෙයකි. ඒ ප්‍රතිපත්තිමය හේතු මත නොවේ. එහෙත්, කුඩා කළ සිටම සත්ව මාංශ වලට මගේ වූ  කැමැත්ත තවමත් අඩු වී නැත. ඒ නිසා රයිගමගේ බෝර්ෂ් සුප් එක හෝ නලින්ගේ චිකන් සුප් එක රස විඳීමට අවස්ථාවක් ලැබේනම් එය මඟ හැරීම මට පහසු කටයුත්තක් නොවනු ඇත. මේ භෞතිකව සහ සංස්කෘතිකව මා නිර්මාණය වී ඇති ආකාරයයි.

අවුරුදු අටක් හෝ නවයක් වෙද්දී මිනිසා හැදුණේ 'වඳුරන්ගෙන්'යැයි දැනගනිද්දීත් මට ප්‍රශ්න මතු වුණේය. පළමුවැන්න මෙය හරියටම සිදුවුනේ කෙසේද යන්නයි. එය තේරුම් ගැනීමට තවත් අවුරුදු හත අටක් ගත විය. දෙවැනි, අතුරු ප්‍රශ්නයක් වූයේ වඳුරන් කන්නේ කොළ පමණක් නම් මිනිසුන් මස් මාළු කන්නේ ඇයි යන්නයි. මේ දෙක ගලපමින් පොඩි කාලයේදීම මම මගේ ප්‍රශ්න දෙකම විසඳන පිළිතුරක්ද සොයා ගත්තෙමි. මිනිසා වඳුරන්ගෙන් වෙනස්ව බුද්ධිමත් වී ඇත්තේ මස් කෑම නිසා ලැබුණු අමතර පෝෂ්‍ය පදාර්ථයක් හේතුවෙනි.

එක් එක් අයගේ වෙනස් රුචි අරුචිකම් වලට ගරු කිරීමට තරම් පරිණත භාවයක් නොතිබුණු ගැටවර සහ තරුණ වයසේදී ශාක ආහාර වලින් පමණක් යැපෙන මගේ ඇතැම් මිතුරු මිතුරියන්ට එරෙහිව තර්කයක් ලෙස මම මේ මතය ඉදිරිපත් කළ කාලයක් තිබුණේය. මේ මැටි අදහස වෙනත් බොහෝ දෙනෙකුද පිළිගන්නා තර්කානුකුල අදහසක් බව මා දැන ගත්තේ බොහෝ කාලයකට පසුවය.

ආහාර දාමයේ අඩියේම සිටි වානරයින් එහි අඩියේ සිට මුදුන දක්වා වූ පුළුල් පරාසයක් අත් කර ගැනීම මානව පරිණාමයට සමාන්තරව සිදු වී ඇති දෙයකි. මේ අනුව, ශාක භක්ෂක වානරයින් මාංශ ආහාර අනුභවය ඇරඹීම පරිණාමයේ තීරණාත්මක කඩඉමකි. මේ තරමටම, නැත්නම් මෙයටත් වඩා, තීරණාත්මක කඩඉමක් වන්නේ මිනිසා ආහාර පිස ගැනීම ප්‍රගුණ කිරීමයි. බෝර්ෂ් සුප්, චිකන් සුප් හෝ තෙල් පෑදුණු මස් කරියක් දුටු විට මිස අමු කුකුළු මස් හෝ හරක් මස් හෝ පණ ඇති සතෙකු දුටු විට අපේ කටට කෙළ උනන්නේ නැත.

අප යනු අප කන දේවල්යැයි කියමනක් තිබේ (We are what we eat). මෙය ඇත්තක් වන්නේ අපේ උදරයේ සහ අනෙකුත් තැන් වල සමට යටින් තැන්පත් වී ඇති මේද තට්ටු නිසාම නොවේ. ජීව විද්‍යාත්මක සහ සංස්කෘතික පරිණාමයේ අප අද සිටින තැනට පැමිණ සිටින්නේ අවුරුදු ලක්ෂ ගණනක් තිස්සේ අප ආහාරයට ගත් දේවල්ද නිසාය.

සාපේක්ෂව කුඩා මොළයක් ඇති හෝමෝ නැලඩිගේ සංස්කෘතික චර්යාවන් මඟින් තරමක අභියෝගයට ලක් වී ඇතත් මිනිසා අනෙකුත් සතුන්ගෙන් වෙන් කරන ප්‍රධානම සාධකයක් වන්නේ ඔහුගේ ප්‍රමාණයෙන් විශාල මොළයයි. විශාල මොළයක මෙතරම් වැදගත්කමක් ඇත්නම් අනෙකුත් සතුන් පරිණාමය වීමේදී ඔවුන්ට මෙවැනි විශාල මොළයක් නොලැබුණේ ඇයි?

මෙයට හේතුව මේ විශාල මොළය වෙනුවෙන් ගෙවිය යුතු විශාල පිරිවැයයි. ආර්ථික විද්‍යා භාෂාවෙන්නම් 'නොමිලේ දිවාආහාර නොලැබේ'.

මිනිසෙකු කිසිවක් නොකර නිකම් සිටින විට ශරීරය පවත්වා ගැනීම සඳහා වැයවන ශක්තියෙන් විශාල ප්‍රමාණයක් වැයවන්නේ ඔහුගේ මොළය වෙනුවෙනි. මේ වැඩිපුර ශක්තිය සොයා ගත හැකි ක්‍රමයක් නොතිබුණානම් අයවැය හිඟය ක්‍රමයෙන් ඉහළ යෑමෙන් මේ සත්ත්ව විශේෂය වඳවී යා හැකිව තිබුණි.

මොළය හැරුණු විට ශක්තිය වැඩිපුරම අවශ්‍ය වන අනෙක් උපාංගය වනුයේ ආහාර ජීර්ණ පද්ධතියයි. ආහාර පිසගැනීමේ පුරුද්ද නිසා අපට අනෙක් සතුන්ට මෙන් ලොකු ආහාර ජීර්ණ පද්ධතියක් අවශ්‍ය නොවේ. ආහාර පිසගත් විට ඉතා කාර්යක්ෂම ලෙස කෙටි කාලයක් තුල ශරීරයට අවශෝෂණය කරගත හැකිය. මේ අනුව, මොළය ක්‍රමයෙන් විශාල වෙද්දී ආහාර ජීර්ණ පද්ධතිය ඒ හා සමාන්තරව කෙටි වීම නිසා අපට ශක්ති හිඟයකට මුහුණ පෑමට සිදුනොවීය. ඒ නිසා අපේ ශක්ති අවශ්‍යතා වෙනුවෙන් අපට දැන් පැය විසි හතරම උලාකමින් ගත කිරීමට අවශ්‍ය නොවේ.

මෙසේ වඩා කාර්යක්ෂම වන සේ පරිණාමය වී ඇති අපි සාමාන්‍යයෙන් අමු මස් වලට වඩා බෝර්ෂ් සුප් වලට කැමතිය. අමු වෙරළු ගැට වලට වඩා වෙරළු අච්චාරු වලට කැමැත්තෙමු.

ගාලික් බ්‍රෙඩ් සුදුළූනු ගඳ ඇයි?

ප්‍රශ්නය මල්මිගේය. සුදුළූනු පොඩි නොකර උත්තරයක් දෙන්නට බැරි කමක් නැත. ගාලික් බ්‍රෙඩ්වලින් එන්නේ ඒවා හැදී ඇති දේවල්වල ගඳයි. මේ කරුණ හා අදාළව හෝමෝ සේපියන්ස්ලා ගාලික් බ්‍රෙඩ් වලින් වෙනස් වන්නේ නැත.

වෙරළු ගැට වලට සහ අමු මස් වලට වඩා කැමති හෝමෝ සේපියන්ස්ලාද අප අතර සිටිති.

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

24 comments:

  1. උදේම ඔබ මාව කල්පනා කරන්න පෙලඹුවා

    අර මස් කතාව100% නිවැරදි නෑ නේද
    මම දන්න තරමට චිම්පන්සියෝ බැබුන් ලා මස් කනවා


    මට හිතෙනවා මනුස්සයෝ ඇති වීම අහඹුවක් කියලා
    අසාර්තක මොඩල් නැති උනා අපි ඉතිරි උනා

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, JP. ප්‍රමුඛ මතය අහඹු ජාන විකෘතියක් කියන එක තමයි. මේ දේවල් කවුරුවත් තවම හරියට දන්නේ නැහැ. කණ්ඩායම් ලෙස දඩයම් කිරීම ඇරඹීමට බොහෝ පෙර, ප්‍රාථමික ආයුධ භාවිතය ඇරඹුන පසු (නිකම්ම නිකන් පොඩි ගලක් වගේ) අනෙත් සත්තු කාල ඉතුරු කරලා ගිය ඇට කටු තලලා ඒවා ඇතුලේ තිබුණු මිදුළු ආහාරයට ගැනීම නිසා (වානර කාලෙදිම) කලින් නොලැබුණු ප්‍රෝටීන් වර්ග ලැබුණු බවට මතයක් තියෙනවා. මෙය ප්‍රමුඛ මතයක් නොවුණත් කිහිප තැනකම මා දැක තියෙන අදහසක්. (මේ තමයි සතුන් නොමරා මස් කෑමේ පරිණාමික ඉතිහාසය) හැබැයි ආහාර දාමයේ අපේ තැන පසුකාලීනව වෙනස්වීම වඩා පැහැදිලි දෙයක්. අපේ ඇතැම් වත්මන් චර්යාවන් මේ මඟින් පැහැදිලි කළ හැකියි.

      Delete
    2. මාත් කියන්න ආවේ ඒකමයි. ඊයේ මා හදිසියේ දුටු ඇටෙන්බරෝ ගේ ඩොකක, චිම්ප්ස් ලා කුඩා සතුන් මරා කන හැටි දුටුවා!

      Delete
    3. රිලව් ( Torque monkey) මස් බිත්තර කන සර්ව භක්ශක ලක්ෂණ පෙන්නනව.
      ඒත් වඳුරො ( Leaf monkey/ Grey langur එහෙම නෑ.

      රිලවුන්ගේ ප්‍රචණ්ඩත්වයත් තග් බවත් වඳුරන්ට වඩා මිනිසුන්ට ලඟයි.

      Delete
    4. චිම්පන්සිට වඩා බොනබෝ (Bonobo, formerly "pigmy chimpanzee" ) මිනිසාට genetically ලඟයි.

      ඒත් බොනබෝ චිම්පන්සිලා තරම් aggressive නෑ.

      නිගමනය (තිබේනම්) නොදනිමි :- D

      Delete
    5. ප්‍රා
      බොනබෝලා ගැනවැඩසටහනක් බැලුවා
      උන් මාතෘමූලිකයි. උන් පාක්ෂික බව පෙන්වන්නේ නායිකාවට සම ලිංගික උදව් කරලා
      එහෙමයි කිව්වේ :)

      Delete
    6. මේ අනෙක් වානර විශේෂ ආහාරයට ගන්නේ ආහාර දාමයේ පහළම ඉන්න සත්තුන්ව නේද? එක වෙනසක් වන්නේ ආහාර දාමයේ උඩට යන විට පහළට සාපේක්ෂව තියෙන්නේ වැඩිපුර සකස්කළ ආහාර (processed food). දැන් තත්ත්වය අනුව නරක වුනාට ශක්ති හිඟය පියවා ගැනීමට අරගල කළ අවුරුදු මිලියන ගාණක අතීතය පුරාම සකස්කළ ආහාර කියන්නේ විශාල අගයක් ඇති දෙයක්. අනිත් එක ප්‍රාජේ ඉදිරිපත් කරන කරුණු. මමත් ඔබට වඩා විශාල දෙයක් දන්නේ නැති වුනත් පරිණාමය සිදුවන විදිහ අනුව මේ දේවල් විය හැකියි නේද? සමහර වෙලාවට සමහර දේවල් අතින් අපේ ඥාති සොහොයුරෙක් අපේම සොහොයුරෙකුට වඩා අපිට කිට්ටු විය හැකියි. මේ ගූගල් කළාම උඩටම ආපු ලින්ක් දෙකක්. මම කලින් කියවපුව නෙමෙයි.
      http://www.livescience.com/24875-meat-human-brain.html
      http://www.livescience.com/23671-eating-meat-made-us-human.html

      Delete
  2. ප්‍රශ්නයක් අහන්නද මෝඩ එකක් වෙන්නත් පුළුවන්? අපි වන්දුරන්ගෙන් පැවත එනවානම් අවුරුදු ලක්ෂ ගානක් ගිහිනුත් තවමත් වඳුරෝ ඉන්නේ ඇයි.

    ReplyDelete
    Replies
    1. "වදුරන්ගෙන්" කියන වචනය නිවැරදි වෙන්නේ දළ අදහසක් වශයෙන්. දැනට අපිට හමුවන වානර විශේෂ සහ මිනිසුන් වසර මිලියන් ගණනකට පෙර එකම සත්ව වර්ගයක් කීම වඩා නිවැරදියි. පරිණාමය සිදුවන ආකාරය ඉතාම කෙටියෙන්, ඉතාම සරලව කිවුවොත් මේ වගේ දෙයක්. හිමාල තරණයට යන කණ්ඩායමක් අතරමං වෙනවා. මේ අය අමාරුවෙන් ජීවිතය බේරා ගන්නවා. මේ කණ්ඩායමේ කාන්තාවකට කිසියම් අහම්බයකින් ජාන විකෘතියක් සිදුවී ඇඟ පුරා රෝම සහිත දරුවෙකු ලැබෙනවා. දැන් මේ දරුවා හිමාලයේ දේශගුණයට අනිත් අයට වඩා හොඳින් ඔරොත්තු දෙනවා. මේ විකෘතිය ඔහුගේ දරුවන්ටත් යනවා. විකෘතිය සහිත අය ශීතල දේශගුණයේදී අනිත් අයට වඩා නිරෝගීයි. ඒ නිසා කාලයක් යන විට මුළු ජනගහණයම රෝම සහිත අය බවට පත් වෙනවා. අවුරුදු දශලක්ෂ ගණනක් (අනෙක් අය සමඟ ලිංගිකව එක් නොවී) වෙනම සිටියොත් මෙවැනි විකෘති ගණනාවක් සිදුවී මේ කණ්ඩායම වෙනත් සත්ව විශේෂයක් බවට පත් වෙනවා. මෙය බොහෝ කල් ගතවන හෙමින් සිදුවන දෙයක්.

      Delete
    2. මම මධ්‍යස්ථ.
      මචන් බන්ඩෝ මිනිසා වානරයාගෙන් පරිනාමය වුනේ නෑ . මිනිසාත් වානරයාත් පොදු පූර්වජයෙකුගෙන් පරිනාමය වුනා. අපි දෙගොල්ල දෙපැත්තට වුනා.පාරවල් දෙකක ගියා.
      චිම්පන්සියගෙයි මිනිසගෙයි ජාන 99% ක් සමානලුනෙ.
      මම නම් හිතන්නෙ මිනිසා පිළිමල් මහපට ඇගිල්ලයි දෑත් සංචරනෙන් නිදහස් වීමයි ඔහුගෙ ජයග්‍රහනයෙ රහස කියල

      Delete
    3. මධ්‍යස්ත හරි.

      Delete
  3. පරිණාමය පිළිබඳ කතිකාවතකින් වෙරළු අච්චාරු සොයා ගොස් අවසන සුුදුළුණු පොඩිකරන තැනටම ගෙන්ත් නවත්තලා.
    හිත නොතලා වැඩ කරන්නෙ මෙහෙමයි. මාත් වෙරලු අච්චාරැු ඊයේ රස විදින්න ගිහින් එහි රසයට යටන් තිවුණු නීරසක් දැකලා යමක් අද කොටනවා කියා ආවා. මා හිතන්නේ දැන් මං මොනවත් කිය යුතු නෑ.

    ReplyDelete
    Replies
    1. ඇගේ වාක්‍යය තුළ මට අවශ්‍ය අදහස ඉතා මැනවින් සංක්ෂිප්තව තිබූ බැවින් එය ඩැහැගත්තෙමි. වෙනත් අරමුණු නැත.

      Delete
  4. වෙරළු ගැට වලට සහ අමු මස් වලට වඩා කැමති හෝමෝ සේපියන්ස්ලාද අප අතර සිටිති/// මෙන්න මේක නං ඉස අතගාල දරුණු ගණයේ පන්සල් ටොක්කක් ඇනිල්ලක්

    ReplyDelete
    Replies
    1. පරිණාමයේ එක් එක් අවදියේදී අපේ ආහාර රුචියත් වෙනස් වෙනවනේ, නේද? ගස් උඩ ඉන්න කාලේ වෙරළු ගැට විතරක් නෙමෙයි වෙරළු මල් සුවඳටත් කටේ කෙළ උනන්න ඇති.

      Delete
    2. ගැහැණු ආසම සුවඳලු වෙරළුමල් සුවද? ඇත්තද දන්නේ නෑ.

      Delete
  5. වඳුරෝ ගැන ප්‍රා ගෙනුත් සුදුළුණු ගැන නලින්ගේනුත් පරිණාමය ගැන ඉකොනො ගෙනුත් එකම පොස්ට් එහෙකදී ඉගෙන ගත්තා.. බ්ලොග් කියවන්න ආස මේ නිසයි :)

    ReplyDelete
    Replies
    1. මේ සුදුළුැණු පොඩිකරන්න එපා යකු.

      Delete
  6. ඉකොනොමැට්ස්,
    මේක නම් පෝස්ට් එකා අදාළ නෑ.
    මා හිතුනා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න. ඒකේ වාසි අවාසි වගේම පාවිච්චි කිරීමේ ටිප්ස් අන්ඩ් ට්‍රික්ස් දාලා පෝස් එකක් ලියන්න බැරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. හිමිහිට ට්‍රයි එකක් දෙන්නම්, හරී. හැබැයි ඔය වැඩේට හරියන කෙනා මම නොවිය හැකියි.

      Delete
  7. මම ම.ම
    ප්‍රොෆයිල් එකෙන් එන්න බෑ. නැනෝ සිම් එක පරන ෆෝන් එකට දාන්න බෑ. බ්ලොග් එකේ ඊමේල් එකේ වෙරිෆිකේෂන් කෝඩ් එක නැනෝ සිම් එකේ.ෆෝන් එක ආපහු ගන්නකම් ඇනෝ තමයි එන්න වෙන්නෙ.

    මමත් ඔබ වගේමයි කොණ්ඩය පීරන්න ආසාවක් නැතත් පොඩි කාලෙ ඉදන්ම ඔළුව නම් පීරුව.මගෙ බ්ලොග් එකෙත් තියෙන්නෙ මගෙ කුතුහලය හා සියල්ල ප්‍රශ්න කිරීම.

    මිනිසා ඇතිවීම අහම්බයක් නොවෙයි. ඒ වගේම මස්වලට ඇති රුචියත් මිනිසා සතෙක් බවකියාපාන්නක්. මම සත්තු මරනවට විරුද්ධයි හැබැයි මස් කන්න ආසයි.සත්තු මරන්නෙ නෑ කීවට එහෙමමත් නෑ. කැරපොත්තො මීයො වගෙ ලොකු උන් මරන්න බැරි වුනාට මදුරුවන් තලන්න තරම් දරුණු සිතක් ඇති එකෙක් මම.

    ReplyDelete
  8. මම බොර්ෂ් කන්නත් මස් කන්නත් කැමතියි. හැම මසක් ම නොවේ. හැබැයි ලංකාවට ආවහම එළවලුම තමා වැඩිපුර කන්නේ. ලොකු සිලෙක්ෂන් එකක් තිබෙන නිසා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget