ඇමරිකාවේ සියැටල්හි සිට ඇලස්කාව බලා ගමන් ගත්, අඩි 75ක් දිග 'උතුරු කුමාරි' (Northern Belle) යාත්‍රාව 2010 අප්රේල් 20 වනදා හවස් වරුවේදී ලොකු රැල්ලක වැදී එක්වරම පැත්ත පෙරලුනේය. ඇතැම් විට එහි ප්‍රවාහනය කෙරෙමින් තිබුණු භාණ්ඩ සමතුලිතතාවය වෙනස් වූ විට නැවත ස්ථාවර වන පරිදි නිසි පිළිවෙලට අසුරා නොතිබුණා විය හැකිය.
ඇලස්කා බොක්කේදී මෙසේ උතුරු කුමාරිය පැත්ත පෙරලෙන විට යාත්‍රාවේ කප්පිත්තා වූ රොබට් රෝයර් ඇතුළු සිවු දෙනෙකු එහි වූහ. හදිස්සියට කොරොස් කටේවත් අත දාගැනීම අමාරුය. ගැටගසා තිබුණු ජීවිතාරක්ෂක බෝට්ටු ලිහා ගැනීමට අපහසු වූයෙන් රොබට් රෝයර් හැර ඉතිරි තිදෙනාම කළේ ජීවිතාරක්ෂක ඇඳුම් ඇඳගෙන මුහුදට පැනීමයි.
යාත්‍රාවේ වූ හදිසි අනතුරකදී තමන් සිටින ස්ථානය රේඩියෝ සංඥාවක් මඟින් ස්වයංක්‍රීයව සන්නිවේදනය කළ හැකි (Emergency Position Indicating Radio Beacon -EPIRB) බීකනය ක්‍රියාත්මක කර නොතිබුණේය. ඒ නිසා, අනෙක් තිදෙනා සමඟ වහාම මුහුදට පනින්නට ඉක්මන් නොවූ රොබට් රෝයර් ඇමරිකානු වෙරළාරක්ෂක හමුදාවට අනතුර හා තමන් සිටින ස්ථානය දැනුම්දීමට වෙලාව ගත්තේය. ඔහුගේ අනතුරු හැඟවීම නිසා අනෙක් තිදෙනාගේ දිවි ගැලවුනත් රොබට්ට සිය ජීවිතය අහිමි විය.
පහත වීඩියෝවේ ඇත්තේ රොබට්ගේ මේ අවසන් අනතුරු හැඟවීමයි.
ගුවන් යානාවක් හෝ මුහුදු යාත්‍රාවක් අනතුරට පත් වූ විට එය දැනුම් දෙන සංකේතය "මේ ඩේ! මේ ඩේ!! මේ ඩේ!!!" යන්නයි. මේ වචනයේ මුල "මට උදවුකරන්න" යන තේරුම ඇති "මේ ඩේ!" (m’aider) යන ප්‍රංශ වචනයි. ප්‍රංශ ශබ්දය අනුකරණය කරන ඉංග්‍රීසීහු එය MayDay ලෙස ඉංග්‍රීසියෙන් ලියන්නට පටන් ගත්හ. 1927දී මේ කේතය ජාත්‍යන්තර සම්මතයක් ලෙස තීරණය කෙරිනි.
තාක්ෂණික වචනද වැඩිපුර යොදාගනිමින් ඉංග්‍රීසියෙන් ලියූ මගේ පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දක්වමින් එක් පාඨකයකු සටහන් කර තිබුණේ එහි ලියා ඇති සියල්ල කෙසේ වෙතත් 'නැව ගිලෙන්නට යන බව'නම් තේරෙන බවයි. ලිපියේ අදහස වචන කිහිපයකට කෙටි කිරීමට ඊට වඩා හොඳ ක්‍රමයක් නැත.
"මේ ඩේ" හෙවත් මැයි දිනය ලෙසද හැඳින්වෙන ලෝක කම්කරු දිනය අදයි. මැයි දිනයට දින දෙකක් තිබියදී, රජය විසින් ගිලෙන්නට යන නැව බේරාගන්නට ඉදිරිපත් වන මෙන් කළ ඉල්ලීමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. මේ අනුව, ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් ලැබෙන්නට නියමිතය. ඒ සමඟම ඩොලර් මිලියන 650ක වෙනත් බහු පාර්ශ්වීය හා ද්වී පාර්ශ්වීය ණය පැකේජයක්ද ලැබෙන බැවින් ඩොලර් බිලියන 2.2ක පමණ අරමුදලක් ණය ලෙස ලැබේ.
මේ අරමුදල් මඟින් නැව ගිලෙන්නට නොදී බේරාගන්නට හැකි වනු ඇති බව මගේ අදහසයි. ඒ අනුව, කෙටිකාලීනව ප්‍රශ්නය විසඳී තිබේ. එහෙත්, දිගුකාලීනව ප්‍රශ්නය එසේමය. නැව ගිලීම වැළැක්වීම ප්‍රමාණවත් නැත. අවසානයේදී, එය පිළිසකර කර ගමන යා යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීම සඳහා රජය විසින් අත්සන් කෙරෙන ගිවිසුමෙහි ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක්ම තිබේ. මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් පනවා ඇති කොන්දේසි නොවේ. ඔවුන් එකඟ වී ඇති, රජය විසින් ඉදිරිපත් කළ, රජයේ සැලසුම්ය. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිනම් එය රටේ දිගුකාලීන යහපතට හේතු වනු ඇත.
කෙසේවුවද, යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම දේශපාලනිකව පහසු කරුණක් නොවනු ඇත. පෙනෙන්නට ඇති පරිදි, මේ යෝජනා එජාපයේ යෝජනාය. එම යෝජනා හා අදාළව රජයේ ශ්‍රීලනිප පාර්ශ්වයෙන් ප්‍රතිරෝධයක් ඇති බව පෙනේ. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රීලනිප පාර්ශ්වයට පැහැදිලි අවබෝධයක් ඇති බවක් නොපෙනේ.
ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන මුළුමනින්ම කෙසේවුවත් සාපේක්ෂව වඩා හොඳ අවබෝධයක් අගමැති වරයා ප්‍රධාන රජයේ එජාප පාර්ශ්වයට ඇති බව පෙනේ. එහෙත්, ඒ සඳහා යෝජිත විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී මතු විය හැකි දේශපාලනික ගැටළු පිළිබඳව එම පාර්ශ්වය ගැඹුරෙන් සිතන බවක් නොපෙනේ. රජයේ ශ්‍රීලනිප පාර්ශ්වයට මේ තත්ත්වය ගැන වඩා හොඳ අවබෝධයක් තිබේ.
අද රටේ දේශපාලනික තත්ත්වය ජේආර් විසින් 1977දී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන විට පැවති තත්ත්වය නොවේ. ආර්ථික ප්‍රශ්න වලට වහා පිළියම් සෙවිය යුතුය. එහෙත්, එසේ කිරීමේදී හැකිතාක් පාරදෘශ්‍ය වෙමින් ජනතාව සමඟ සක්‍රිය සංවාදයක් පවත්වා ගැනීමද අත්යවශ්‍ය කරුණකි. ඊට පෙර රජය තුළ සිටින එජාප හා ශ්රිනිප පාර්ශ්ව අතර ඉදිරි ආර්ථික සැලසුම් පිලිබඳ සම්මුතියක් ඇති විය යුතුය. (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ යෝජනා සිංහල පත්තරයක පළ කිරීම හොඳ ප්‍රවේශයක් වන්නට පුළුවන.)
රජයේ ප්‍රධාන පක්ෂ දෙකට අයත් කොටස් විසින් සංවිධානය කෙරෙන මැයි රැළි තුනක් අද පැවැත්වේ. මේ මැයි දිනය ශ්‍රී ලංකා දේශපාලනයේ කිසියම් හැරුම් ලක්ෂ්‍යයක් සටහන් කරන්නට ඉඩ ඇති දිනයකි. ඉහත කී ප්‍රධාන මැයි රැළි තුනෙන් එකකදීවත් ප්‍රමුඛත්වය ලැබෙන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා නොවේ. ජාත්‍යන්තර කියා කීවත් මැයි දිනයේදී සැමරෙන සිදුවීම සිදුවූ ඇමරිකාවේ කම්කරු දිනය සැමරෙන්නේ අද නොවේ. සැප්තැම්බර් මාසයේදීය. මෙහි ඇත්තේ මා ඒ ගැන පෙර ලියූ සටහනකි.
චිකාගෝහි පිහිටි ලොවපුරා කම්කරු දිනය සැමරීමට මුල් වූ සිදුවීම හා අදාළ තැන් දැක බලාගන්නට මට කලක සිට 'උණක්' තිබුණේය. වසර ගණනාවකට පෙර චිකාගෝ නගරයට ගිය අවස්ථාවක මේ සඳහා උත්සාහයක් දැරුවත් මෙවැනි සිදුවීමක් ගැන අඩු වශයෙන් බොහෝ දෙනෙකු අසා තිබුණේවත් නැති නිසා මගේ අදහස ඉටු නොවීය. කෙසේ වුවද, පසුගිය වසරේ සියළු අවශ්‍ය තොරතුරු සොයාගෙන මම එහි ගියෙමි. ලොකුම අමාරුවේ වැටුනේ හැමතැනම ස්මාරක පිරුණු මේ විශාල සුසාන භූමියට ඇතුළු වූ පසුවය. කෙසේවුවද, මේ ස්මාරකය ඇති තැන ජීපීඑස් ඛණ්ඩාංක අන්තර්ජාල අඩවියක සටහන් කර තිබුණු නිසා කෙසේ හෝ අදාළ ස්මාරකය දැක ගැනීමට හැකිවිය.
(Image: http://www.seattletimes.com/)



