වෙබ් ලිපිනය:

Showing posts with label රත්තරන්. Show all posts
Showing posts with label රත්තරන්. Show all posts

Tuesday, July 15, 2025

රන් කියන්නේ හොඳ ආයෝජනයක්ද?


පහත තිබෙන්නේත් පසුගිය සටහනකට දමා තිබුණු ප්‍රතිචාරයක්.

"රන් බාර් එකකින් 1975 දී ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන් වුණා.

රන් බාර් එකකට 2025 දීත් ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන්.

1975: $64,000/බාර්

2025: $1,300,000/බාර්

රත්තරන් මිල වැඩි වෙලා නෑ.

ගෙවල් මිල වැඩි වෙලා නෑ.

මහ බැංකු ක්‍රමය නිසා ෆියට් ඩොලරයේ අගය අඩු වෙලා සහ ඒ හා සමානව වේතන වැඩි වෙලා නෑ.

නමුත් 1975 වගේ නෙමේ දැන් ඇමෙරිකාවේ තරුණ පරපුරට ගෙයක් ගන්න ඉතා අපහසු වෙලා."

මම හිතන විදිහට මේ ප්‍රතිචාරයේ මූලික අදහස 1975-2025 අතර කාලයේදී ඇමරිකාවේ නිවාස මිලට සාපේක්ෂව රන් මිල ස්ථාවරව පැවතී ඇතත්, ඇමරිකන් ඩොලරයක මිල විශාල ලෙස අඩු වී ඇති බවයි. එම මූලික අදහස පමණක් සැලකුවොත් කරුණුමය වශයෙන් මෙහි ඇති දේ නිවැරදියි. 

නිවුයෝර්ක් සරසවියේ මහාචාර්ය දමෝදරන් විසින් මහත් පරිශ්‍රමයකින් පිළියෙල කර ඇති සංඛ්‍යාලේඛණ අනුව, 1975-2024 කාලයේදී ඇමරිකාවේ නිවාස මිල 13.08 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙය නිවාස මිලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම එම අනුපාතයෙන් අඩු වීමක් ලෙසත් සලකන්න පුළුවන්. නමුත් මෙම කාලය තුළ රන් මිල 14.00 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ආසන්න වශයෙන් ගත් විට රන් මිල හා නිවාස මිල වැඩි වී තිබෙන්නේ එකම අනුපාතයකින්. ඇත්ත වශයෙන්ම රන් මිල තරමක් වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, 1975දී නිවසක් මිල දී නොගෙන ඒ සඳහා ප්‍රමාණවත් වූ තමන් සතු වත්කම් රන් වල ආයෝජනය කළ අයෙකුට 2024දී එම රන් මුදල් කර පහසුවෙන්ම නිවසක් මිල දී ගත හැකියි. යමෙක් තමන් සතු වත්කම් ඩොලර් නෝට්ටු ලෙස තබා ගත්තේනම්, 1975දී එවැනි නිවෙස් 13ක් මිල දී ගැනීම සඳහා ප්‍රමාණවත් වූ මුදල් ප්‍රමාණය තිබුණත් එය නොකළ හැකියි. 

සංසන්දනය හා ඒ මත පදනම් වූ ගණනය නිවැරදි වුවත්, මේ සංසන්දනය සිදු කෙරෙන්නේ වැරදි උපකල්පනයක් මතයි. එනම් මිනිසුන් තමන්ගේ වත්කම් ඩොලර් නෝට්ටු වල ආයෝජනය කරන බවයි. සිහි බුද්ධියක් තිබෙන කෙනෙක් තමන්ගේ වත්කම් ඩොලර් නෝට්ටු ලෙස තියා ගන්නේ නැහැ. එසේ තබා ගන්නේ එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි. 

ෆියට් මුදල් ක්‍රමයක් යටතේ මුදල් වල වටිනාකම අඩුවෙනවා කියන එක ඇත්ත. නමුත් තමන් සතු මුදල් කිසියම් වෙනත් වත්කමක ආයෝජනය කිරීම මගින් එහි හානිය ඉක්මවන වාසියක් ලබා ගැනීමේ හැකියාවක් පුද්ගලයෙකු සතුව තිබෙනවා. 1975දී මුදල් ගෙවා නිවසක් මිල දී ගත හැකි තරමේ ධනයක් තිබුණු කිසිම කෙනෙක් තමන්ගේ එම ධනය මුදල් නෝට්ටු සේ වසර 50ක් තියා ගන්නේ නැහැ. රන් වල ආයෝජනය කිරීමද මෙහිදී පුද්ගලයෙකු සතු විකල්පයක්. නමුත් කොටස් ආයෝජනය හා බැඳුම්කර ආයෝජන වැනි ඊට වඩා හොඳ ආයෝජනද තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් 1975දී තමන්ගේ මුදල් දස අවුරුදු බැඳුම්කර වල ආයෝජනය කළේනම් වසර 50කට පසුව එම මුදල 18.84 ගුණයකින් වැඩි වෙලා. රන් වල ආයෝජනය කළේනම් එම වැඩිවීම 14.00ක් පමණයි. මධ්‍යම මට්ටමේ අවදානමක් සහිත (Baa) සාංගමික බැඳුම්කර වල ආයෝජනය කළේනම් එම මුදල 62.44 ගුණයකින් වැඩි වෙලා. 1975දී ගෙයක් ගත හැකිව තිබුණු මුදලින් 2024දී ගෙවල් හතරක් අරගෙන ඒ ගෙවල් වලට ගෘහභාණ්ඩ ගන්නත් සල්ලි ඉතිරි වෙනවා. වැඩි අවදානමක් නැති (S&P 500) කොටස් වල ආයෝජනය කළේනම් මෙම මුදල 235.05 ගුණයකින් වැඩි වෙලා. වඩා වැඩි අවදානමක් සහිත (Small cap) කොටස් වල ආයෝජනය කළේනම් මුදල 435.90 ගුණයකින් වැඩි වෙලා. 1975 එක ගෙයක් ගත හැකිව තිබුණු මුදලින් ගෙවල් 33කටත් වඩා ගන්න පුළුවන්!

ෆියට් මුදල් ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව රන් කියන්නේ වත්කමක් මිසක් මුදලක් නෙමෙයි. වත්කම් වල ප්‍රතිලාභ වෙනත් වත්කම් සමඟ මිස මුදල් වල ප්‍රතිලාභ සමඟ සංසන්දනය කරන්න බැහැ. මුදල් කියන්නේ ගෙවීම් සඳහා යොදා ගන්නා උපකරණයක් මිසක් ආයෝජන උපකරණයක් නෙමෙයි.

ආයෝජන උපකරණයක් ලෙස රන් කොයි තරම් හොඳද? 

රන් වල ආයෝජනය කිරීමේ ප්‍රතිලාභය අඩු නිසාම රන් නරක ආයෝජනයක් කියන නිගමනයට එන්න බැහැ. මෙහිදී අප‍ට අවදානම ගැනද සලකා බලන්න වෙනවා. මූල්‍යකරණයේදී සහ මූල්‍ය ආර්ථික විද්‍යාවේදී වත්කම් ප්‍රතිලාභ වල සම්මත අපගමනය එහි අවදානම පිළිබඳ නිර්ණායකයක් ලෙස යොදා ගන්නවා.  පහත තිබෙන්නේ 1975-2024 කාලයේදී විවිධ වත්කම් වර්ග වල වාර්ෂික ප්‍රතිලාභ වල ජ්‍යාමිතික සාමාන්‍ය අගය සහ සම්මත අපගමනයයි. වරහන් තුළ තිබෙන්නේ සම්මත අපගමනය.

නිවාස හා දේපොළ - 5.38% (5.71%)

රන් - 5.42% (23.74%)

භාණ්ඩාගාර බැඳුම්කර (වසර 10) - 6.05% (10.14%)

සාංගමික බැඳුම්කර (Baa) - 8.62% (8.74%)

සමාගම් කොටස් (S&P 500) - 12.26% (16.34%)

සමාගම් කොටස් (Small cap) - 12.92% (25.46%)

මේ අනුව පෙනී යන්නේ මෙම තෝරා ගැනීම් අතරින් රන් යනු නරකම ආයෝජනය බවයි. රන් වලට වඩා අවදානම බොහෝ අඩු වසර 10 භාණ්ඩාගාර බැඳුම්කර වල ප්‍රතිලාභය පවා රන් වලට වඩා අඩුයි. රන් වලට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන කොටස් ආයෝජන වල අවදානම පවා රන් ආයෝජන වල අවදානමට වඩා අඩුයි. එමෙන්ම රන් මිල මේ තරම්ම විචලනය වීම මගින් පෙන්නුම් කරන්නේ රන් වල වටිනාකම තීරණය වන්නේ සමපේක්ෂණය මත බවයි. එනම්, ඩොලර් නෝට්ටු වල මෙන්ම, රන් වලද සැබෑ වටිනාකමක් නොමැති බවයි.

නිවාස මිල වසරින් වසර ඉහළ යාමට මුදල් සැපයුමෙහි බලපෑමක් තිබුණත් එයට ප්‍රධාන හේතුව ෆියට් මුදල් ක්‍රමයක් පැවතීම නෙමෙයි. රන් සම්මතයක් තිබුණු කාලයේදීද මෙය මෙසේම සිදු වුනා. 1935-1967 කාලය තුළ ඇමරිකාවේ නිවාස මිල වසරකට සාමාන්‍ය වශයෙන් 4.06%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ වසර 33ක කාලයක් තුළ 3.72 ගුණයක මිල වැඩි වීමක්. මෙම කාලයේදී රන් වල මිල වෙනස් වුනේ නැහැ. ඒ කියන්නේ 1967දී නිවසක් මිල දී ගැනීම සඳහා 1935දී අවශ්‍ය වූ රන් ප්‍රමාණය මෙන් 372%ක් අවශ්‍ය වුනා. මෙයින් අදහස් වන්නේ නිවාස මිලට සාපේක්ෂව අදාළ කාලයේදී රන් 73%කින් බාල්දු වූ බවයි. මෙහිදී සිදු කර තිබෙන්නේද මුදල් හා වත්කම් සංසන්දනයක් නිසා මේ සංසන්දනය නිවැරදි නැහැ. 1935දී නිවසක් මිල දී ගැනීමට තරම් වත්කම් තිබුණු අයෙකුට එම මුදල් කොටස් වෙළපොළෙහි (Small cap) ආයෝජනය කිරීම මගින් 271 ගුණයකින් වර්ධනය කරගත හැකිව තිබුණා. එමගින් එක ගෙයක් වෙනුවට ගෙවල් 73ක් පමණ මිල දී ගත හැකිව තිබුණා. 

ධනවාදී ක්‍රමයක් පවතිද්දී රටක ධනය උත්පාදනය වීම හොඳින් සිදු වෙනවා. නමුත් එහිදී සුළු පිරිසක් අතේ ධනය ඒකරාශීවීමද සිදු වෙනවා. රට පොහොසත් වූ පමණින් රටේ සෑම අයෙකුගේම ආදායම් ඉහළ යන්නේ නැහැ. ධනවත් වන සීමිත පිරිස නිසා ඉහළ යන ඉල්ලුමෙන් නිවාස දේපොළ වල මිල ඉහළ යද්දී ඒ වේගයෙන්ම අඩු ආදායම් ලබන අයගේ වැටුප් වැඩිවීමක් අනිවාර්යයෙන් සිදු වන්නේ නැහැ. මෙය ධනවාදී ක්‍රමයේම ප්‍රශ්නයක් මිසක් මුදල් ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. 

Sunday, July 13, 2025

රටවල් ධනවත් වීම සහ රන් වාසිය


ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් වනවාක් මෙන්ම ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. සංකීර්ණ ප්‍රශ්න වලට සරල පිළිතුරු දෙන්න අමාරුයි. මේ ප්‍රශ්නයටනම් සරල පිළිතුරක් දෙන්නම බැහැ. නමුත් අපි හුදෙක් සාකච්ඡාවක් ආරම්භ කිරීමේ අරමුණින් පමණක්, කාට වුනත් බැලූ බැල්මටම "මෝඩ විග්‍රහයක්" ලෙස පෙනෙන, සරල පැහැදිලි කිරීමක් එක්ක මේ ප්‍රශ්නය දිහා බලමු. 

පසුගිය 2024 වර්ෂයේ ඇමරිකාවේ ඒක පුද්ගල දදේනිය 85,912ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 4,516ක් පමණයි. මේ නිර්ණායකය දිහා බැලුවොත්, ඇමරිකානුවෙක් ශ්‍රී ලාංකිකයෙක් මෙන් 19 ගුණයක් ධනවත්. එහෙම වෙලා තියෙන්නේ ඇයි?

පළමුවෙන්ම අපට ඔය වෙනස පෙනෙන්නේ සංසන්දනයක් කරන නිසා. සංසන්දනය කරන්නේ ඇමරිකන් ඩොලර් මත පදනම් වූ නිර්ණායකයක් යොදා ගෙනයි. ඇමරිකානුවෙකුගේ ධනවත්කම මැනිය හැකි බොහොමයක් දේවල් වලට කිසියම් ඇමරිකන් ඩොලර් වටිනාකමක් තිබෙනවා. නමුත් ලාංකිකයෙකුගේ ධනවත් කම මැනිය හැකි බොහොමයක් දේවල් වලට සෘජු ඇමරිකන් ඩොලර් වටිනාකමක් නැහැ. ඒවාට තියෙන්නේ රුපියල් වටිනාකමක්.

ලංකාවේ දදේනිය මනින්නේ රුපියල් වලින්. සංසන්දනය කිරීම සඳහා අප එම අගය ඇමරිකන් ඩොලර් වලට හරවනවා. එය කරන්නේ පවත්නා විණිමය අනුපාතය යොදා ගෙන. පවත්නා විණිමය අනුපාතය යොදා ගැනීමේ අඩුපාඩු නිවැරදි කෙරෙන ක්‍රය ශක්ති සාම්‍ය විණිමය අනුපාතය කියා එකකුත් තිබෙනවා. නමුත් මෙහිදී අප කතා කරන්න යන්නේ පවත්නා විණිමය අනුපාතය යොදා ගැනීමේ වැරැද්ද ගැන නෙමෙයි. ඒ නිසා අපි පවත්නා නාමික විණිමය අනුපාතය වෙතම අවධානය යොදවමු. 

පසුගිය 2024 වසරේ ලංකාවේ ඒක පුද්ගල දදේනිය රුපියල් 1,364,235ක්. මෙම අගය ඇමරිකන් ඩොලර් 4,516ක් වෙන්නේ රුපියල් 302ක් ඇමරිකන් ඩොලරයකට සමාන සේ සැලකූ විටයි. එසේ නොමැතිව, යම් ආකාරයකින් ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 302කට සමාන නොවී රුපියල් 16කට සමාන වීනම්, ලංකාවේ ඒක පුද්ගල ආදායමද ඇමරිකාවේ මට්ටම කිට්ටුවටම ඇවිත්. 

දැන් අපිට ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය වෙනුවට එහි ව්‍යුත්පන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 16කට සමාන නොවී රුපියල් 302කට සමාන වී තිබෙන්නේ ඇයි?

ඇතැම් රටවල් දුප්පත් වීම සහ තවත් රටවල් ධනවත් වීම සහ විවිධ රටවල මුදල් ඒකක වල සාපේක්ෂ වටිනාකම් අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලකට වඩා ඇමරිකන් ඩොලරයක් වටින්නේ ඇයි?

ශ්‍රී ලංකා රුපියල් වගේම ඇමරිකන් ඩොලර් කියා කියන්නෙත් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි මුදල් වර්ග. මෙවැනි කිසියම් මුදල් වර්ගයකට වටිනාකමක් ලැබෙන්නේ එවැනි වටිනාකමක් තිබෙන බව බොහෝ දෙනෙකු විසින් සාමූහිකව විශ්වාස කරන නිසා. ඒ හැරෙන්න වෙනත් වැදගත් හේතුවක් නැහැ. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය පිළිබඳව එම විශ්වාසය වැඩියි. ඒ නිසා, එහි වටිනාකමද වැඩියි.

ගනුදෙනු සහ හුවමාරු ඉතාම ස්වභාවික දේවල්. සත්තු එක්ක පවා ගනුදෙනු කරන්න පුළුවන්. කෙසෙල් ගෙඩියක් දීම මගින් වඳුරෙක්ව කිසියම් දෙයක් කරන්න පොළඹවා ගන්න පුළුවන්. මස් කෑල්ලක් දී බල්ලෙක්ගෙන් වැඩක් ගන්න පුළුවන්. අඩු වශයෙන් යම් පුහුණුවකින් පසුව සතුන් මේ විදිහේ ගනුදෙනු කරනවා. නමුත් රුපියල් හෝ ඩොලර් දී බල්ලෙක්ගෙන් හෝ වඳුරෙක්ගෙන් වැඩක් ගන්න බැහැ. 

කිසියම් හේතුවක් නිසා කුඩා කළ සිටම මිනිස් සමාජයෙන් මුලුමනින්ම දුරස්ථව සිටි පුද්ගලයෙක් හෝ ජන කණ්ඩායමක් හදිසියේ සම්මුඛ වුවහොත් රුපියල් හෝ ඩොලර් දී ඔවුන් සමඟ ගනුදෙනු කළ හැකි වෙයිද? පැහැදිලිවම නොහැකියි. නමුත් කිසියම් ආහාර වර්ගයක් වැනි දෙයක් දී ගනුදෙනුවක් ආරම්භ කරන්න බැරිකමක් නැහැ. මුදල් වලට වටිනාකමක් තිබෙන්නේ අපගේ සාමූහික විශ්වාසය නිසා පමණයි.

ඇතැම් අයගේ අදහස රුපියල් හෝ ඩොලර් වලට සැබෑ වටිනාකමක් නොමැති වුවත් රන් වලට එවැනි වටිනාකමක් ඇති බවයි. රන් වලට තිබෙන්නේත් රුපියල් හෝ ඩොලර් වලට තිබෙන ආකාරයේම වටිනාකමක්. වෙනසක් ඇත්නම් එය ඉතාම සුළු වෙනසක්. 1799දී කොනාඩ් රීඩ්ට හමු වූ රාත්තල් 17ක රත්තරන් කුට්ටිය කාලයක්ම පාවිච්චි කළේ දොර අඩයක් ලෙසයි. ඒ වැඩේට රත්තරන් කුට්ටියක් ඩොලර් නෝට්ටු මිටියකට වඩානම් තරමක් හොඳයි. 

රත්තරන් ආභරණ සේ භාවිතා වන බව කෙනෙකුට කියන්න පුළුවන්. ඒකට හේතුවත් රත්තරන් වලට ලොකු වටිනාකමක් ඇති බවට වන පොදු පිළිගැනීම. රත්තරන් පළඳින අය එසේ කරන්නේ තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන්නයි. සන්නාම සහිත ඇඳුම් වලට ඉහළ මිලක් ගෙවනවා වගේ දෙයක්. සමහර අය රත්තරන් සේ පෙනෙන ඉමිටේෂන් ආභරණ පළඳින්නේ ඒ නිසා. රත්තරන් වලට තියෙන්නේ සැබෑ වටිනාකමක්නම් කවුරුවත් ඉමිටේෂන් ආභරණ පළඳින්න පෙළඹෙන්නේ නැහැ. 

ඉතිහාසයේ සෑහෙන කාලයක් රන් හා රිදී මුදල් ලෙස භාවිතා වුනා. ඒ ඒ කාලයේ ඒ සඳහා වඩා හොඳ විකල්ප නොතිබුණු නිසා. ඩොලර් රුපියල් වැනි මුදල් වර්ග වලින් මේ වෙද්දී ඒ කාර්ය භාරය ඊට වඩා හොඳින් කෙරෙනවා. රන් රිදී වැනි ලෝහ වර්ග සැලකුවත්, ඩොලර් රුපියල් වැනි මුදල් වර්ග සැලකුවත් මේවායේ තිබෙන්නේ සාමූහික විශ්වාසය මත පදනම් වූ සංස්කෘතික වටිනාකමක්. 

දැන් ලෝකය පුරාම ඉන්න මිනිස්සු ඇහැට නොපෙනෙන, අතින් අල්ලන බැරි බිට්කොයින් වැනි දේවල් වලටත් වටිනාකමක් තියෙනවා කියලා සාමූහිකව විශ්වාස කරනවා. කිසිදු නෛසර්ගික වටිනාකමක් නොමැති, ඇහැට නොපෙනෙන, ස්පර්ශ කළ නොහැකි, ක්‍රිප්ටෝ මුදලක වටිනාකම පිළිබඳව සාමූහිකව විශ්වාස කිරීම සහ ඇහැට නොපෙනෙන, ස්පර්ශ කළ නොහැකි දෙවි කෙනෙකු පිළිබඳව හෝ කර්මය වැනි සංකල්පයක් පිළිබඳව සාමූහිකව විශ්වාස කිරීම අතර ලොකු වෙනසක් නැහැ. 

අඩු වශයෙන් වසර තුන් දහසක පමණ කාලයක් පුරා වෙළඳාම් හරහා ලෝකයේ රටවල් සම්බන්ධ වී තිබෙනවා. මෙම වෙළඳාම් වලදී ගෙවීම් මාධ්‍යයක් ලෙස රන් හා රිදී යොදා ගැනුනා. ඒ නිසාම එම ලෝහ වර්ග වල වටිනාකම පිළිබඳ සාමූහික විශ්වාසයක් ගොඩ නැගුණා. ලෝකයේ බොහෝ සංස්කෘතීන් මේ සාමූහික විශ්වාසයේ කොටස්කරුවන් බවට පත් වුණා. එහෙත් මේ ජාත්‍යන්තර වෙළඳ ජාලයට සම්බන්ධව නොසිටි සංස්කෘතීන්ද තිබුණා.

කැලිෆෝනියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් රෂ් ඇති වූ දහනවවන සියවසේ මැද භාගය වන තුරුම ලෝකයේ ඇතැම් පෙදෙස් වලින් පොළොව මතුපිට තිබී රත්තරන් හමු වුනා. ඉන් පසුව පොළොව මතුපිට රත්තරන් අවසන් වී රන් රිදී "නිපදවීම" වියදම් අධික කර්මාන්තයක් බවට පත් වුණා. පොළොව මතුපිට තිබී රත්තරන් හමු වෙද්දී එය සිදු වුනේ අහම්බෙන්, වාසනාවට හෝ පිං මහිමය නිසා කියා කියන්න පුළුවන්. 

ජාත්‍යන්තර වෙළඳාමට වඩා වැඩියෙන් නිරාවරණය වී සිටි රටවල රන් හා රිදී වල වටිනාකම පිළිබඳ අදහසද කලින්ම පැතිරුණා. අඩු වශයෙන් සමාජයේ ඉහළ ස්ථරය රන් හා රිදී වලින් ගනුදෙනු කළා. ඒ නිසාම, පොළොව මතුපිට තිබුණු රන් හා රිදී කාගේ හෝ අවධානයට යොමු වී මුදල් වුනා. ලංකාවේ පොළොව මතුපිටින් හමු වූ රන් හා රිදී ගැමුණු රජුගේ කාලයේදීම මුදල් වී අවසන් වුනා වෙන්න පුළුවන්.

ස්වදේශිකයින් ජාත්‍යන්තර ගනුදෙනු සමඟ ගැට ගැසී නොසිටි උතුරු ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ මෙවැන්නක් සිදු වුනේ නැහැ. එම කලාප වල මතුපිට රන් ඉතිරිව තිබුණා. මෙහි වාසිය එම රටවලට සංක්‍රමණය වූ යුරෝපීයයන්ට ලැබුණා. එය එම රටවලට ධනවත් වීමටද උදවුවක් වුනා.

රන් හා රිදී ඕනෑම රටකින් අහම්බයෙන් හමු විය හැකි දෙයක්ව තියෙද්දී එය යම් ආකාරයක "දිව්‍යමය" දෙයක්. කවුරු හෝ උත්සාහ කළා කියලා රන් හෝ රිදී නිපදවා ගන්න බැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ රටකින් රන් හෝ රිදී හමු වෙන්නේ රජුගේ පිං මහිමයෙන්, එහෙමත් නැත්නම් රජු දෙවියන්ට ප්‍රිය වීමෙන්, වැනි ප්‍රවාදයකට සාමූහිකව විශ්වාස කළ හැකි තරමේ වලංගු භාවයක් තිබෙනවා. රටේ කොහේ හෝ තැනකින් අහම්බෙන් රන් හෝ රිදී හමු වෙන එක පැහැදිලි කරන්න ඊට වඩා ගොඩක් හොඳ ප්‍රවාදයක් හදාගන්න අමාරුයි. 

මේ හේතුව නිසාම රටක මිනිස්සු හෝ රටක් ධනවත් වෙන එකත් කිසියම් බාහිර හේතුවක් නිසා සිදු වෙන දෙයක් බවත්, එය වෙනස් කර ගැනීමේ හැකියාවක් මිනිසුන්ට නොමැති බවත් පැහැදිලි වෙනවා. කාලයෙන් කාලයට සමහර රටවල් ධනවත් වීම සහ දුප්පත් වීම වෙනස් කළ නොහැකි දෙයක් ලෙස භාර ගන්න වෙනවා. වෙනස් කර ගන්න කළ හැක්කේ රජු දැහැමි වීම හෝ රජු දෙවියන්ට ප්‍රිය වන ලෙස හැසිරීම වැනි සීමිත දේවල් ටිකක් පමණයි. ඒ නිසාම, මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් බාහිර දෙයක් වන රන් සැපයුම එක්ක හෝ රිදී සැපයුම එක්ක අනෙකුත් වටිනාකම් ගැට ගහන එක ගැන ලෝකයේ විවිධ සංස්කෘතීන් වල මිනිසුන්ට පහසුවෙන් එකඟ වෙන්න පුළුවන්.

ඔය වගේ ලෝක සම්මතයක් තියෙද්දී ලෝකයේ සමහර රට වලින් හිටිවනම විශාල රන් හෝ රිදී සංචිත හමු වෙනවා. ඒ නිසා, ජාත්‍යන්තර වෙළඳාමේදී එවැනි රටවලට විශේෂ වාසියක් ලැබෙනවා. පොළොවෙන් නිකම්ම වගේ ලැබෙන රන් හෝ රිදී එක්ක වෙනත් වටිනා දේවල් හුවමාරු කර ගැනීම මගින් එවැනි රටවල මිනිසුන්ගේ කෙසේ වෙතත් අඩු වශයෙන් රජ පවුල් වල ජීවන තත්ත්වය ඉහළ නංවා ගන්න පුළුවන්. රන් හෝ රිදී නැති රටක රජ කෙනෙකුට මේ තත්ත්වය අවාසියි. එවැනි රටවල රජු සාපේක්ෂව දුප්පත් කියන්නේ රටත් සාපේක්ෂව දුප්පත් කියන එකයි. ඉතිහාසයේ සෑහෙන කාලයක් රටක දුප්පත්කම හෝ ධනවත්කම කියන්නේ රජුගේ දුප්පත්කම හෝ ධනවත්කම.

රන් හෝ රිදී නැති රටක රජ කෙනෙකුට මේ තත්ත්වයට අභියෝග කරන්න හේතුවක් නැහැ. තමන්ගේ රටෙන් වුනත් රන් හෝ රිදී හමු වීමේ යම් විභවයක් තිබෙනවා. නමුත් එසේ හමු නොවෙන්නේ තමන්ට දෙවියන් ප්‍රිය නැති නිසා. එහෙම නැත්නම් තමන්ගේ තියෙන පවුකාර කමට. වැරැද්ද තමන්ගේමනම් පවතින තත්ත්වය භාර ගන්න වෙනවා.

රන් හා රිදී "නිපදවීම" කර්මාන්තයක් වූ විට මේ තත්ත්වය වෙනස් වෙනවා. මේ වටිනා ලෝහ තව දුරටත් දිව්‍යමය දේවල් වෙන්නේ නැහැ. ඒවා මිනිසුන් විසින් ශ්‍රමය යොදවා නිපදවා ගත යුතු දේවල්. එවිට අර මුල් කතන්දරය අභියෝගයට ලක් වෙනවා. රන් හා රිදී කියා කියන්නෙත් හාල් පොල් වගේ ශ්‍රමය යොදවා නිපදවා ගත හැකි දෙයක්නම්, හාල් පොල් වල නැති අමුතු දෙයක් රන් රිදී වල තියෙන්නේ හේතුවක් නැහැ. වටිනාකම් පිළිබඳ ශ්‍රම න්‍යාය යෝජනා වෙන්නේ ඔය විදිහට රන් රිදී වල තිබෙන වටිනාකමේ දිව්‍යමය ස්වභාවය තව දුරටත් සාමූහිකව විශ්වාස කරන්න බැරි වෙද්දීයි.

මිනිස් චින්තනයේ මේ විදිහේ සුසමාදර්ශී වෙනසක් සිදු වුනාට පස්සේ ලෝකයේ රන් සම්මුතියක් පවතින්න හේතුවකුත් නැහැ. එය අනිවාර්යයෙන්ම බිඳ වැටිය යුතුයි. නමුත් සාමූහික මිනිස් විශ්වාස එක වර වෙනස් නොවන නිසා ඒ සඳහා යම් කාලයක් ගතවෙන්න පුළුවන්. 

අවසාන වශයෙන් රන් සම්මත බිඳ වැටී ෆියට් මුදල් නිර්මාණය වීම අහම්බයක් හෝ වැරැද්දක් නෙමෙයි. එවැන්නක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුව තිබුණා. කොයි තරම් විවේචන තිබුණත් ෆියට් මුදල් ක්‍රමය කියන්නේ රන් සම්මතයට වඩා ගොඩක් දියුණු මුදල් ක්‍රමයක්. ෆියට් මුදල් වල වටිනාකම තීරණය කරන දිව්‍යමය බාහිර බලවේගයක් නැහැ. වටිනාකම තීරණය කරන්නේ මිනිස්සු. 

රන් සම්මත ක්‍රමය ඒකාධිකාරී ක්‍රමයක්. ඊට සාපේක්ෂව ෆියට් මුදල් ක්‍රමයේදී මුදල් වර්ග අතර තරඟයක් තිබෙනවා. වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනාගත හැකි මුදල් වර්ගයක වටිනාකම ඉහළ යනවා. එවැනි මුදල් වර්ගයක් භාවිතා කරන රට ධනවත් වෙනවා. 

නමුත් සාමූහික විශ්වාසය මත පදනම් වන මුදල් වැනි දෙයක් හා අදාළව ඒකාධිකාරයක් හැදෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. සියවස් ගණනක් රන් සම්මත ක්‍රමය පැවතුනේ ඒ නිසා. මුදල් කියන්නේ භාණ්ඩයක් නෙමෙයි. සම්මතයක්. අඩි, රාත්තල් හෝ මීටර, ග්‍රෑම් වගේ දෙයක්. ඒ නිසා ලෝකයේම කෙසේ වුවත් කිසියම් ප්‍රදේශයක එකම සම්මතය පවතින එක වඩා කාර්යක්ෂමයි. 

කිසියම් රටක් ගත්තොත් බර මනින, දුර මනින සම්මත තිබෙනවා. රටක් ඇතුළේ මෙවැනි සම්මත ගණනාවක් නැත්තේ රාජ්‍ය බලහත්කාරයක් නිසා නෙමෙයි. එක සම්මතයක් භාවිතා කිරීම කාටත් පහසු නිසා. රටක් තුළ විවිධ මුදල් වර්ග භාවිතා කිරීම වෙනුවට එක් මුදල් වර්ගයක් භාවිතා වීම ප්‍රචලිතව තිබෙන්නේත් මේ නිසා. මෙය සීමිත ඒකාධිකාරයක් සේ දැකිය හැකි වුනත්, එය ස්වභාවික ඒකාධිකාරයක්. කිසියම් මුදල් වර්ගයකට කිසියම් භූගෝලීය සීමාවක් තුළ ඒකාධිකාරයක් තිබුණත් ඒ සීමාවෙන් එහා තවත් එවැනිම මුදල් වර්ග තිබෙන නිසා නිරන්තර තරඟයකට මුහුණ දෙන්න වෙනවා. විණිමය අනුපාත වලින් පිළිබිඹු වෙන්නේ රට රටවල මහ බැංකු මේ තරඟය තුළ කොයි තරම් සාර්ථක වී ඇත්ද යන්නයි.

මහ බැංකු ක්‍රමය සහ ෆියට් මුදල් ක්‍රමය විවේචනය කරන අය බොහෝ විට එසේ කරන්නේ අතීතකාමය සහ වෙනස්වීමට තිබෙන අකැමැත්ත නිසා. අතීතයේ පැවති රන් සම්මත, නිදහස් බැංකු ක්‍රමය වගේ ක්‍රම එක්ක බලද්දී මහ බැංකු ක්‍රමය දියුණු සහ තව දුරටත් දියුණු වෙමින් පවතින ක්‍රමයක්. පැරණි ක්‍රම බිඳ වැටී මහ බැංකු ක්‍රමය ඇති වී තිබෙන්නේ ඒ නිසා. 

අනාගතයේදී මහ බැංකු ක්‍රමය බිඳ වැටී රන් සම්මත යුගයේ පැවති ආකාරයේ වෙනත් ලෝක ඒකාධිකාරයක් ඒ වෙනුවට ආදේශ වෙන්න පුළුවන්. එහෙම වෙන්නනම්, මිනිස් ක්‍රියාකාරකම් මගින් වටිනාකම පාලනය නොවන කිසියම් "දිව්‍යමය" දෙයක් ඒ වෙනුවෙන් ආදේශ විය යුතුයි. කෘතීම බුද්ධිය දියුණු වෙද්දී එවැන්නක් වෙන්න පුළුවන්. නමුත් දැනට තිබෙන ලෝක සන්දර්භය තුළ, ඉතිහාසයේ යම් යම් කාල වල පරීක්ෂාවට ලක් වී ප්‍රතික්ෂේප වූ විකල්ප වලට සාපේක්ෂව, මහ බැංකු ක්‍රමය සහ ෆියට් මුදල් ක්‍රමය දියුණු ක්‍රමයක්. 

Saturday, July 12, 2025

රන්පත්විල රන් සහ රිදීගම රිදී

 

බදු නොගසා මහ සෑය හදන්න අරමුදල් සොයා ගත් ආකාරය ගැන කලින් ලිපියේ කතා කළානේ. ඒ ලිපියේ විස්තර කර තිබෙන පරිදී, මහා වංශයට අනුව, රත්තරන් හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් තුනක් ඊසාන දිගින් පිහිටි ආචාර විදියෙන්. රිදී හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි අම්බට්ඨකොළ දනවුවෙන්. 

වෙනත් සම්මතයන්ද තිබුණත්, යොදුනක් කියන්නේ අද සම්මතය අනුව කිලෝමීටර දහතුනකට ආසන්න දුරක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව, අනුරාධපුර සිට ඊසාන දිගට ඔය යොදුන් තුන යද්දී රන්පත්විල කියන ගම හමු වෙනවා. ගැමුණු රජ සමයේ ආචාර විදිය ඔය රන්පත්විල වෙන්න පුළුවන්. ඒ වගේම දකුණට හරියටම යොදුන් අටක් යද්දී තමයි රිදීගම හමුවෙන්නේ. අනුරාධපුර සිට රිදීගම පසු කර දිගටම යන ගැලකට මලය රටට යන්නත් පුළුවන්. ඒ අනුව, රිදීගම කියන්නේ ගැමුණු රජ සමයේ අම්බට්ඨකොළ දනවුව වෙන්න පුළුවන්. (පාඨක ප්‍රතිචාරයකට අනුව පුරා විද්‍යා සාධක වලින් මෙවැන්නක් තහවුරු වී තිබෙනවා.)

මහ සෑය හදන්න සල්ලි හොයන විදිහ ගැන ගැමුණු රජු දහ අතේ කල්පනා කර කර ඉඳිද්දී රටෙන් හමු වුනේ රන් හා රිදී පමණක් නෙමෙයි. තඹවිට ප්‍රදේශයෙන් විශාල තඹ නිධියකුත් හමු වෙනවා. ඔය කාලයේ තඹ කියන්නෙත් සල්ලි. 

දැනටත් ලංකාවේ තඹවිට කියා ගමක් තිබෙනවා. එය තියෙන්නේ සබරගමු පළාතේ මාවනැල්ල පැත්තට වෙන්න. අනුරාධපුරයේ සිට යොදුන් දොළහක් පමණ දකුණට වෙන්න. මහා වංශයේ සඳහන් තඹවිට මේ තඹවිට වෙන්න බැහැ. එය පිහිටා තිබී ඇත්තේ අනුරාධපුර සිට යොදුන් හතක් නැගෙනහිර පැත්තට වෙන්නයි. සමහර විට මුල් තඹවිට සිට සපරගමුවට සංක්‍රමණය වූ අය දැන් තිබෙන තඹවිට පදිංචි වුනා වෙන්න පුළුවන්. එසේ නැත්නම් ඒ ප්‍රදේශයෙනුත් තඹ හමු වුනා වෙන්න පුළුවන්. 

රන් රිදී හා තඹ පමණක් නෙමෙයි. නුවරින් සතර යොදුනක් ගිනිකොණ පිහිටි සමන් වැව් ගමෙන් මැණික් හමු වෙනවා. සත් යොදුනක් උතුරින් පිහිටි පෙල වැව්ව ගමෙනුත් මැණික් ලැබෙනවා. පස් යොදුනක් බටහිරෙන් පිහිටි උරුවෙල් පටුනෙන් මුතු හා පබළු ලැබෙනවා. මේ විදිහට රන්, රිදී, තඹ, මුතු, මැණික් ආදී හැම දෙයක්ම එක වර ලැබෙන්න පුළුවන්ද? පිනට පහළ වුනා වගේ කතාවක් මෙය කියවන ගොඩක් අය පිළිගන්න එකක් නැහැ. මෙහෙම දෙයක් වුනා කියා පිළිගන්නනම් වඩා හොඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා.

ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ කුමක් හෝ හේතුවක් නිසා එකවරම මේ දේවල් වලට ඉල්ලුමක් ඇති වූ විටයි. 

කලින් ලිපියක අපි වාලම්පුරි ගැන කතා කරලා තියෙනවා. දකුණට කැරකුණු හක් බෙලි කටුවක තිබෙන විශේෂ ප්‍රයෝජනය කුමක්ද? එහෙම කිසිම විශේෂ ප්‍රයෝජනයක් නැහැ. නමුත් වාලම්පුරියක් විශාල මුදලක් වටිනවා. ඒ අපි වාලම්පුරියකට ලොකු වටිනාකමක් තිබෙනවා කියලා හිතන නිසා. 

ටිකක් හිතලා බැලුවොත් රන්, රිදී, තඹ, මුතු, මැණික් ආදී ගොඩක් දේවල් වලින් ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඔය දේවල් ඔය තරම් වටින්නේ අපි එහෙම හිතන නිසා. රත්තරන් වටිනා දෙයක් බව "නොදන්නා" සංස්කෘතියකට රත්තරන් වල කිසිම වටිනාකමක් නැහැ. යුරෝපීයයන් ඇමරිකාවට එන තුරු ඇමරිකාවේ ස්වදේශිකයින් සියවස් ගණනක් රත්තරන් උඩ ඇවිද්දා. ඔවුන්ට රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ.

ගැමුණු රජ සමයේ ලංකාවේ ජීවත් වූ ගැමියෙකුට රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දෙයකින් තිබෙන ප්‍රයෝජනය කුමක්ද? එවැනි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා කවුරුවත් ඕවා හොයන්න මහන්සි වෙන්නේ නැහැ. මේ දේවල් වලට වටිනාකමක් ලැබෙන්නේ හුවමාරු වටිනාකමක් විදිහටයි. එය සිදු වෙන්නේ ගනුදෙනු සංස්කෘතියක් ඇතුළේ.

නමුත් හදිසියේ එකවරම ගැමුණු රජු මහ සෑය හදන්න පටන් ගන්නවා. රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දේවල් එකතු කර දීමෙන් රජුට ඒ සඳහා උදවුවක් වෙන බව මිනිස්සු දැනගන්නවා. මෙය යුද්ධයක් දිනලා ජාතික ප්‍රබෝධයක් ඇති වී තිබෙන කාලයක්. මහ සෑය කියන්නේ මිනිස්සුන්ගෙත් කැමැත්තක් තිබෙන දෙයක්. ඒ නිසා මිනිස්සු තමන්ට හමු වෙන රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දේවල් රජ ගෙදරට ගිහින් දෙනවා. මෙය තවත් අය දැන ගන්නවා. මිනිස්සු මේ දේවල් හොයනවා. වැඩේ රැල්ලක් වෙනවා. රැල්ලට වැඩ කරන එක දැන් වගේම ඒ දවස් වලත් නොවෙන්න හේතුවක් නැහැනේ. ඔය හේතුව නිසා කෙටි කාලයක් ඇතුළත රට හැම තැනින්ම රජ මාලිගයට වස්තු සම්පත් එකතු වෙනවා. 

Friday, July 11, 2025

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි...


තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත් මහ සෑය හදන්න මුල් ගල් තැබුවේත්, එහි ධාතු නිධානය සිදු කළේත් ඇසළ පෝය දිනකයි.

වියදම් පැත්තෙන් බැලුවොත් මහ සෑය හැදීම තරමක් බරපතල වැඩක්. මේ සඳහා වැය වුනු මුළු මුදල කොපමණද කියා වාර්තා කර නැතත් එය විශාල වියදමක් බව පැහැදිලියි. ගැමුණු රජු විසින්ම හදපු ලෝවාමහාපාය වෙනුවෙන් කෝටි 30ක මුදලක් සහ මිරිසවැටිය වෙනුවෙන් කෝටි 119ක මුදලක් වැය වී තිබෙනවා. අද භාවිතා වන වචන වලින්නම් පිළිවෙලින් මිලියන 300ක් සහ මිලියන 1,190ක්. මේ ගණන් මහා වංශයේ තියෙනවා. මහ සෑය හදන්නත් ඔය කිට්ටුව වියදමක් යන්න ඇති.

මේ ගණන් සඳහන් කර තිබෙන්නේ කවර මුදල් වර්ගයෙන්ද කියා නිශ්චිතව සඳහන්ව නැහැ. වටිනාකම් ගැන කතා කරද්දී මුදල් ඒකකයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. එවැන්නක් අවශ්‍ය වන්නේ විවිධ මුදල් ඒකක වල වටිනාකම් සංසන්දනය කිරීමක් කරද්දීයි. 

ලංකාවේ මුලින්ම ප්‍රචලිතව තිබෙන මුදල් වර්ගය කහවණු. කහවණු ඉන්දියානු මුදල් වර්ගයක්. මම සෑහෙන කාලයකට පෙර හිතාගෙන හිටියේ කහවණු කියන වචනයේ කහවර්ණ වැනි තේරුමක් තියෙනවා කියලයි. ඒ වගේ නමක් රන් කාසියකට ගැලපෙනවා. නමුත් කහවණුව රන් කාසියක් නෙමෙයි. එය රිදී කාසියක්. කහවණු වෙන්නේ කර්ෂපාණ කියන වචනය. පාණ යන්නෙහි මුදල් යන අර්ථය තිබෙනවා. කර්ෂ කියන්නේ බර මනින ඒකකයක්. ඒ අනුව, කහවණුවක වටිනාකම වන්නේ කර්ෂ එකක් බර රිදී වල වටිනාකම. 

ලංකාවේ වත්මන් රුපියල ඉන්දියානු රුපියලේ ව්‍යුත්පන්නයක් වන්නා සේම කහවණු ලංකාවට පැමිණ තිබෙන්නේත් ඉන්දියාවෙන්. නමුත් මේ රිදී කාසි එක්කම තඹ කාසිත් ලංකාවේ භාවිතා වී තිබෙනවා. ඒවා ලංකාවේ හදාගත් ඒවා වෙන්න ඇති. මේ කාසි වර්ග වලට එකිනෙකට සාපේක්ෂ වටිනාකම් තියෙන්නත් ඇති. ඒ නිසා, මිලියන 300ක් කියා කියන්නේ කහවණු හෝ වෙනත් කාසි මිලියන 300ක්ම නෙමෙයි. එපමණ වටිනා සේ සැලකුණු කාසි යම් ප්‍රමාණයක්. 

ඒ කාලයේ මිලියන 300ක් හෝ මිලියන 1,190ක් කියා කියන්නේ කොපමණ වටිනාකමක්ද කියලා අපි අද තේරුම් ගන්නේ කොහොමද? මහ සෑය සහ ථූපාරාමය අතර බිම ගොඩ කර මට්ටම් කරන්න ලක්ෂයක් වියදම් වී තිබෙනවා. මීටර් 600-700ක වගේ දුරක්නේ. මහ සෑයේ සෙල්මුවා මල් අසුන් තුනක් හදන්න ලක්ෂ තුනක් වැය වී තිබෙනවා. මේ ගණන් එක්ක සංසන්දනය කරද්දී කෝටි 30ක් හෝ කෝටි 119ක් කියා කියන්නේ කොපමණ මුදලක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. අනුපාතිකව බැලූ විට මේ ගණන් වල ගැලපීමක් තිබෙනවා. නමුත් කෝටි 30ක් කියන්නේ කහවණු කාසි කෝටි 30ක් ලෙස සැලකුවොත් මේ ගණන් පෙනෙන්නේ අතිශයෝක්ති ලෙසයි.

මේ කාලයේ මුදල් වල වටිනාකම් නිර්ණය වුනේ ලෝහ බර අනුවමද? එහෙම නැත්නම් ලක්ෂයේ, කෝටියේ කාසි හෝ ලෝහ නොවන වෙනත් මුදල් වර්ග භාවිතයේ තිබුණාද? ලක්ෂ හා කෝටි ගණන් වලින් වටිනාකම් ඉදිරිපත් කර තිබෙන්නේ ඒ නිසාද? 

පුරාවිද්‍යා කැණීම් වලදී හමු වී තිබෙන කාසි වල විවිධ සංකේත තිබෙනවා. පොදු පිළිගැනීම ඒ සංකේත අයිතිය හඟවන සංකේත බවයි. එහෙම නැතුව මේ සංකේත වලින් දැන් වගේම වටිනාකම් අදහස් වුනාද? යම් ආකාරයකින් එය එසේ වීනම් එය වඩා දියුණු මුදල් ක්‍රමයක්. 

වියදම කොපමණ වුණත් මහ සෑය හැදීමේ වියදම විශාල වියදමක් විය යුතුයිනේ. මේ වැඩේ කරන්නේ රටේ ලොකු සිවිල් යුද්ධයක් කිරීමෙන් පසුවයි. යුද්ධයක් කියා කියන්නේ වැය අධික කටයුත්තක්. යුද්ධයකින් පසුව රාජ්‍ය භාණ්ඩාගාර හිස් වෙනවා. ඒ වගේම, සාමාන්‍ය මිනිස්සු වුනත් ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා. ඔය වගේ මිනිස්සුන්ට අමාරු වෙලාවක මහ සෑය හදන එකේ වියදම බදු ගහලා මිනිස්සුන්ගෙන් අය කරගන්න බැහැ.

"දෙමළුන් මඩනා මා විසින් මේ ජනයා පෙළන ලද්දේය. (එහෙයින්) ජනයාගෙන් අය උපයනු නොහැක්කේය. ඒ අය ගැනීම හැර සෑය කරවන්නා වූ මම කෙසේ දැහැමෙන් ගඩොල් උපයමි".

ගැමුණු රජු ඔන්න ඔය ප්‍රශ්නයට මුහුණ දෙනවා. මහ සෑය හදන්නත් ඕනෑ. එය පොරොන්දුවක්. සල්ලිත් නැහැ. සල්ලි හොයා ගන්න බදු ගහන්නත් බැහැ. එහෙමනම් අන්තිමට මහ සෑය හදන්න සල්ලි හොයා ගත්තේ කොහොමද? 

ඔන්න ඔය අවස්ථාවේදී ලංකාවෙන් රත්තරන් හමු වෙනවා. මම දන්නා තරමෙන් මෙය ලංකාවෙන් රත්තරන් හමු වූ බවට තිබෙන එකම වාර්තාව. හමු වූ තැන ඇතුළු අනෙකුත් විස්තර මහා වංශයේ නිශ්චිතව සඳහන් කර තිබෙනවා. 

"පුරයෙන් ඊසානදිග තුන් යොදුනක් මත්තෙහි ආචාර වීදි නම් වූ ගම සොළොස් කිරියක් පමණ වූ භූමි ප්‍රදේශයෙහි ප්‍රමාණයෙන් නා නා ප්‍රකාර වූ ස්වර්ණ බීජයෝ උපන්හ. උඩත් පිරිසෙයින් වියත් පමණද යටත් පිරිසෙයින් අඟුල් පමණද වූහ. ස්වර්ණයෙන් පිරුණා වූ ඒ භූමිය ඒ ගම් වැස්සෝ දැක තලියක් පිරූ රන් ගෙන ගොස් රජ හට සැල කළහ."

මේ කාලයට සාපේක්ෂව ගොඩක් මෑත කාලයක් වන 1799දී ඇමරිකාවේ නෝත් කැරොලීනා ප්‍රාන්තයේ ගමක ගොවිපොළක සෙල්ලම් කරන අවුරුදු දොළහක පිරිමි ළමයෙකු වන කොනාඩ් රීඩ්ට බිම තිබිලා රාත්තල් 17ක පිරිසිදු රත්තරන් කුට්ටියක් හමු වෙනවා. ඊටත් පස්සේ 1848දී කැලිෆෝර්නියාවෙන් රත්තරන් හමු වෙනවා. ඊට පස්සේ තමයි කැලිෆෝර්නියා ගෝල්ඩ් රෂ් එක පටන් ගන්නේ. මේ ගැන පෙර ලිපියක විස්තර තිබෙනවා. මේ වාර්තා සහ මහා වංශ වාර්තාව අතර වෙනසක් තියෙනවද? 

ඉතිහාසයේ වැඩි කාලයක් රත්තරන් හමු වුනේ ඔය විදිහට තමයි. කැලිෆෝර්නියා ගෝල්ඩ් රෂ් එක සිදු වන කාලය දක්වා වගේම. එහෙම නැතුව භූ විද්‍යා සමීක්ෂණ කරලා රත්තරන් හොයා ගත්තේ නැහැ. ඒ වගේ දේවල් සිදු වුනේ පසු කාලයකදීයි. මහා වංශ වාර්තාව අනුව, ආචාර වීදියෙන් අඟලක සිට වියතක් පමණ දක්වා වූ රත්තරන් හමු වෙනවා. සාමාන්‍යයෙන් රත්තරන් ඔය විදිහට හමු වෙද්දී ඔය ප්‍රමාණයේ කුට්ටි හමු වෙනවා.

වැදගත්ම කාරණයක් වන්නේ මේ විදිහට හමුවෙන රත්තරන් රත්තරන් බව ගම් වැසියන් විසින් හඳුනාගෙන රජුට දැනුම් දීම. පොළොවෙන් ඔය විදිහට හමු වෙන රත්තරන් රත්තරන් කියා හඳුනා ගන්න අමාරුයි. කොනාඩ් රීඩ්ට බිම තිබිලා හමු වූ රාත්තල් 17ක පිරිසිදු රත්තරන් කුට්ටිය ඔහු හෝ වෙනත් අයෙක් රත්තරන් කියලා හඳුනා ගත්තේ නැහැ. එය රැගෙන ගොස් කාලයක්ම දොරට අඩයට තියපු එකයි සිදු වුනේ. නමුත් ගැමුණු රජුගේ කාලයේදී ආචාර වීදියේ ගම් වැසියන්ට මේ දැනුම තිබී ඇති බව පේනවා. 

ඔය කාලයේ මුදල් විදිහට වැඩිපුරම භාවිතා වුනේ රන් නෙමෙයි, රිදී. මහ සෑය හදන විදිහ ගැන ගැමුණු රජු සිතමින් සිටිද්දී ලංකාවෙන් රන් වගේම රිදීත් හමු වෙනවා. රිදී හමු වෙන්නේ නුවරින් දකුණු පස අට යොදුන් මත්තෙහි අම්බට්ඨකොළ නම් දනවුවක පිහිටි ලෙණකයි. මේ රිදී හමු වුනු ආකාරයත් මහා වංශයේ ඉතා විස්තරාත්මක ලෙස සටහන් කර තිබෙනවා. 

මලය රටෙන් හිඟුරු ආදිය ගෙන ඒම සඳහා වෙළෙන්දෙක් බොහෝ ගැල් ගෙන ඒ රට බලා යනවා. ඔහොම යන අතරේ ගැල් පංතිය ඔය ලෙණ තිබෙන කිට්ටුව නවත්තලා කෑමට දෙයක් හොයනවා. එහිදී ඔවුන්ට ගෙඩි පිරුණු කොස් ගහක් හමු වෙනවා. ඔය වෙලාවේ ඔය කිට්ටුව භික්ෂුන් වහන්සේලා (රහතන් වහන්සේලා) හතර දෙනෙක් ඉන්නවා. මේ වෙළෙන්දා ඔවුන්ට වරකා මදුළු පිළිගන්වනවා. වෙළෙන්දන් විසින්ද වරකා ආහාරයට ගන්නවා.

ඔය ස්වාමීන් වහන්සේලා හතර දෙනාගෙන් තිදෙනෙක් දානය පිළිගෙන පිටව යද්දී එක් හිමිනමක් ඒ ස්ථානයේම සිට දානය වළඳනවා. ඉන් පසුව, අර රිදී තිබෙන ලෙන් ප්‍රදේශය හරහා ආපසු ගැල් වෙත යා හැකි විකල්ප මාර්ගයක් වෙළෙන්දාට පෙන්වනවා. මහා වංශයට අනුව මෙසේ කරන්නේ ඔහුට රිදී නිධිය දකින්නට සැලැස්වීමේ අරමුණින්. වෙළෙන්දා රිදී හඳුනාගෙන වහාම අනුරාධපුරයට ගොස් මේ බව රජුට දැනුම් දෙනවා. 

ලෙන් ආශ්‍රිතව ජීවත් වූ බෞද්ධ භික්ෂූන්ට සාමාන්‍ය ගම් වැසියෙකුට කලින් ස්වභාවිකව තිබෙන රන්, රිදී හමුවෙන්න ඉඩකඩ වැඩියි. නමුත් බෞද්ධ භික්ෂුවකට මේ වගේ දේවල් වලින් වැඩක් නැහැ. ඒ තියා, ඇමරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ මුලින් ජීවත් වූ ස්වදේශිකයින්ට පවා රිදී රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ. මේ ප්‍රදේශ වලට පැමිණි යුරෝපීයයන්ට පහසුවෙන් එකතු කර ගත හැකි පරිදි රිදී රත්තරන් ඉතිරි වී තිබුණේ ඒ නිසා. ගැමුණු රජු මහ සෑය හදන විදිහ ගැන කල්පනා කර කර ඉන්න බව දැන සිටි අදාළ භික්ෂුව තමන් දැන සිටි රිදී සංචිතය ගැන වෙළෙන්දා හරහා රජුට දැනගන්න සැලැස්සුවා වෙන්න පුළුවන්.

මහා වංශයේ විස්තරය මෙතැනින් ඉවර වෙන්නේ නැහැ. මම ගත්තේ තෝරා ගත් කොටසක් පමණයි. ඔය විදිහට හමු වූ රිදී හා රත්තරන් වලින් පමණක් මහ සෑය හැදීමේ වියදම සම්පූර්ණයෙන්ම ආවරණය වුනා කියලා මහා වංශය කියන්නේ නැහැ. ඒ සඳහා බොහෝ දෙනෙකුගේ මුදල් හා ශ්‍රම පරිත්‍යාග උපයෝහී කරගෙන තිබෙනවා. මෑත කාලයේදී රුවන්වැලි සෑය පිළිසකර කිරීම සිදු වුනෙත් බොහෝ දුරට පෞද්ගලික ධන පරිත්‍යාග වලින්. හැබැයි බදු ගැහුවේ නැති බවනම් මහා වංශය පැහැදිලිව කියනවා.

රිදී රත්තරන් වගේම මුතු මැණික් ඇතුළු තවත් දේවල් රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු වී ඇතත් ඒවායින් රුවන්වැලි සෑය හදන්න බැහැ. ඒ සඳහා මෙවැනි වත්කම් වලින් ගෙවීම් කළ හැකි ආකාරයේ දියුණු ගනුදෙනු ආර්ථිකයක්ද තිබිය යුතුයි. 

වෙබ් ලිපිනය: