වෙබ් ලිපිනය:

Showing posts with label පොල්. Show all posts
Showing posts with label පොල්. Show all posts

Sunday, March 9, 2025

රිළවුන් වැඩි වුනත් එකයි...


එක කතාවක වඳුරෙක් ගමනක් යනවා. ඔහොම යද්දී ගඟක් හමු වෙනවා. දැන් ප්‍රශ්නය ගඟෙන් එහාට යන්නේ කොහොමද කියන එක. 

වඳුරා ගඟෙන් එගොඩ විය හැකි ක්‍රමයක් ගැන කල්පනා කරද්දී ගඟේ කිඹුලන් සිටින බවත් පේනවා. දැන් වැඩේ තවත් සංකීර්ණයි!

වඳුරාට පීනන්න බැහැ. ගඟෙන් එහාට පනින්නත් බැහැ. ලොකු ගඟක්. හැබැයි වඳුරා වැඩේ අතාරින්නේ නැහැ. වඳුරා කරන්නේ ගඟ අයිනේ ඉන්න කිඹුලෙක්ව කතාවට අල්ල ගන්න එක.

"කිඹුල් හාමි, මේ ගඟේ කිඹුල් හාමි තනියමද ඉන්නේ?"

"මොන පිස්සුද? මේ ගඟේ කිඹුල්ලු සිය ගාණක් ඉන්නවා!"

"ඒකනම් කීයටවත් වෙන්න බැහැ. කැලේ ඉන්න වඳුරෝ තරමට ගඟේ කිඹුල්ලු ඉන්න විදිහක් නැහැ."

"මොකද බැරි? කැලේ වඳුරන්ට වඩා ගඟේ කිඹුල්ලු වැඩියි!"

"මමනම් කීයටවත් පිළිගන්නේ නැහැ!"

වඳුරා කිඹුලත් එක්ක වාදයක පැටලෙනවා.

"හරි කැලේ වඳුරෝ කීයක් ඉන්නවද?"

කාලෙකට හරියකට සංගණනයක් කරලා නැති නිසා වඳුරා ඔය ගණන දන්නේ නැහැ. හැබැයි මේ වඳුරාට නොදන්නා දේවල් වුනත් දන්නවා වගේ පෙන්නලා වෙනත් අයව රවට්ටන එක ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා. 

"හරියටම එකසිය හැටක්. මේ මාත් එක්ක!"

වඳුරා ඔය වගේ කටට ආපු ගණනක් කියලා දමනවා. 

"අයියෝ එකසිය හැටද? ගඟේ කිඹුල්ලු ඊට වඩා ගොඩක් වැඩියි!"

"ඔය කිවුවට පේන්න නැහැනේ. කොහොමද ඔප්පු කරන්නේ?"

ඔන්න දැන් වඳුරා සහ කිඹුලා එකඟතාවයකට එනවා. කිඹුලාට තියෙන්නේ ගඟේ ඉන්න සියලුම කිඹුල්ලුන්ට කතා කරලා උන්ව ගඟ හරහට පෝලිම් ගස්සන එක. කොහෙවත් ඉන්න වඳුරෙකුට සෙකන්ඩ් වෙන්න කැමති නැති නිසා කිඹුල්ලු ටික ගඟ හරහට පෝලිමට එකතු වෙනවා. ගඟේ කිඹුල්ලු ගණන ඇත්තටම එකසිය හැටට වඩා වැඩියි. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් මැච් එකක්. කොහොම හරි දැන් ගඟ හරහට කිඹුල් පාලමක්!

වඳුරාට තියෙන්නේ කිඹුල්ලු ටික ගණන් කරන එක. වඳුරා කිඹුල්ලුන්ගේ පිටවල් උඩින් අඩිය තියමින් කිඹුල්ලු ගණන් කරනවා. අන්තිම කිඹුලාව ගණන් කරලා ඉවර වෙද්දී වඳුරා එහා පැත්තේ!

"දැක්කා නේද? වඳුරන්ට වඩා කිඹුලෝ වැඩියි!"

කිඹුලා කින්ඩි හිනාවක් දාලා වඳුරාගෙන් අහනවා. කිඹුලන්ට කිට්ටු වෙන්න බැරි දුරකට ගියාට පස්සේ වඳුරාත් කින්ඩි හිනාවක් දමනවා.

"වඳුරන් වැඩි වුනත් එකයි 

කිඹුලන් වැඩි වුනත් එකයි 

මට ඕනෑ කළේ එකයි

එගොඩට පැන ගන්න එකයි"

ඔය පරණ කතාව මතක් වුනේ ලංකාවේ රිලා සමීක්ෂණයත් එක්ක. සමීක්ෂණ ප්‍රතිඵල ආවාට පස්සේ වැඩිපුර ඉන්නේ රිලවුද නැත්නම් මිනිස්සුද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙයි. කොහොම වුනත් වඩා වැදගත් ගඟෙන් එගොඩට පැන ගන්න එක මිසක් රටේ රිලවු කීයක් ඉන්නවද කියන එක නෙමෙයි.

රටේ රිලා ප්‍රශ්නයක් තිබෙන බව බොහෝ දුරට ප්‍රචලිත පොදු අදහසක්. රට පුරා විදුලිය බිඳ වැටීම පැත්තකින් තිබ්බත්, පොල් ගණන් යාම පිළිබඳව චෝදනා එල්ල වුනේ රිලවුන්ට. ඒ කතාව ඇත්තක් නොවුනත්, රිලවුන් ඇතුළු වන සතුන් අස්වනු පාලු කිරීමේ ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවා. 

හාල්, පොල් ප්‍රශ්න ගැන දැන් ඒ තරම්ම කතා කෙරෙන්නේ නැහැ. මිල ගණන් වල ලොකු වෙනසක් වී නැතත් මිනිස්සු පවතින තත්ත්වයට පුරුදු වෙලා. ආණ්ඩුවත් ප්‍රශ්නය වෙළඳපොළට බාර දීලා හිමිහිට පැත්තකට වෙලා ඉන්නවා. ඇත්තටම වෙන කරන්න දෙයකුත් නැහැ. 

හාල් ප්‍රශ්නය සැපයුම විචලනය වීමේ ප්‍රශ්නයක් මිසක් අතරමැදියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසාම, අස්වනු එක්රැස් වෙද්දී මිල ස්ථාවර වන බව පැහැදිලි කරුණක්. ආණ්ඩුව ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්වීම් කරන බවක් පෙන්නුවත්, ප්‍රදර්ශනාත්මක ලෙස කරපු දේවල් මිසක් වෙළඳපොළ බරපතල ලෙස විකෘති වන දේවල් කරන්න ගියේ නැහැ. මිල පාලනය තිබුණේ බොහෝ දුරට නමට පමණයි. ඒ නිසාම, ප්‍රශ්නය ඒ තරම්ම අවුල් වුනේ නැහැ.

පොල් ප්‍රශ්නයත් ඇත්තටම රිලා ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම, සැපයුම බරපතල ලෙස අඩු වීම නිසා ඇති වූ ප්‍රශ්නයකුත් නෙමෙයි. පසුගිය දෙවසර පොල් සැපයුම විශාල ලෙස ඉහළ ගිය දෙවසරක්. පොල් සැපයුම වැඩිවීම සහ රටේ විණිමය අර්බුදයත් එක්ක පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පසුගිය දෙවසර තුළ විශාල ලෙස ඉහළ ගියා. ඒ වගේම එම නිෂ්පාදන අපනයනද ඉහළ ගියා. නමුත් පොල් සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් වැඩියෙන් තිබුණු නිසා දේශීය පොල් මිල දිගටම අඩු මට්ටමක තිබුණා.

දැන් සැපයුමේ යම් අඩුවීමක් සිදු වී තිබෙනවා. නමුත් එය පෙර දෙවසරට සාපේක්ෂව සිදු වූ අඩුවීමක් මිසක් දිගුකාලීනව පැවති තත්ත්වයට සාපේක්ෂව සැපයුම අඩුවීමක් නෙමෙයි. දේශීය මිල ගණන් ඉහළ ගොස් තියෙන්නේ ඒ සැපයුම අගය එකතු කළ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන නිසා. මේ තත්ත්වය තුළ ආණ්ඩුව විසින් පොල් නිෂ්පාදන ආනයනය කරන්න ගත් තීරණය කරුණු කීපයක් නිසාම හොඳ තීරණයක්. 

පොල් සම්බෝල සහ කිරි හොදි හා අදාළව බොහෝ දෙනෙකුගේ සමච්චලයට ලක් වූ ප්‍රකාශය සිදු කළ විදිහේ අවුලක් තිබුණත් එය මෝඩ කතාවක්ම නෙමෙයි. දිගුකාලීනව ආහාර පිසීමේදී අමු පොල් වෙනුවට පොල් කිරි ටින් සහ ශීත කළ පොල් ආදේශ වීම සිදු විය යුතු දෙයක් වගේම සිදු වීම නොවැලැක්විය හැකි දෙයක්. ඒ නිසා, අනාගතය ගැන සැලසුම් කරද්දී පොල් සම්බෝල කිරි හොදි මානසිකත්වයේ ඉඳලා සැලසුම් හැදිය යුතු නැහැ. ඒ වගේම, පොල් සම්බෝල සහ කිරි හොදි වල සංස්කෘතික මානය බැහැර කර කටයුතු කරන්නත් බැහැ. 

ආහාර පිසීමේදී පොල් බිඳ පොල් ගෑම විශාල ශ්‍රම නාස්තියක්. නමුත් මෙය වැඩිපුරම බලපාන්නේ රැකියා කරන කාන්තාවන්ට. කාලය තිබෙන අයට පොල් ගෑම සංස්කෘතික කටයුත්තක් සහ විනෝදාංශයක්. වයස්ගත ජෝඩු තනිව ඉන්න ගොඩක් ගෙවල් වල ගැහැණිය විසින් තනිව ඉවුම් පිහුම් කටයුතු කරද්දී පිරිමියා එයට යම් දායකත්වයක් ලබා දෙන එක් ක්‍රමයක් වන්නේ පොල් ටික ගාලා දෙන එකයි. ලංකාවේ මේ වගේ පවුල් දැන් ගොඩක් තිබෙනවා වගේම, එවැනි පවුල් වැඩි වෙමින් තිබෙනවා. ඔය වගේ විශ්‍රාමිකයින්ට කාලය ගත කළ හැකි දේ සොයා ගැනීමේ ප්‍රශ්නයක් මිසක් කාලය සොයා ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් උදෙන්ම අවදි වී වැඩට ගොස් රෑ බෝ වී ආපසු එන යුවලක් හා අදාළව තත්ත්වය වෙනස්.

ඊළඟ ප්‍රශ්නය පොල් සම්බෝලයක හෝ කිරි හොද්දක ගුණාත්මක භාවය. හරියකට පොල් සම්බෝලයක් කිරි හොද්දක් හදන කෙනෙක් ඒ සඳහා ඕනෑම අහමු පොල් ගෙඩියක් තෝරා ගන්නේ නැහැ. කිරි හොද්දකට හෝ සම්බෝලයකට පොල් ගෙඩියක් තෝරා ගැනීමේ කලාවක් තිබෙනවා. හැබැයි කාර්ය බහුලත්වය එක්ක මේ දේවල් ක්‍රමයෙන් වෙනස් වීමත් නොවැලැක්විය හැකියි.

ලංකාවේ මිනිස්සු ගෙවල් වල පොල් පරිභෝජනය කරන එක, විශේෂයෙන්ම පොල් පොල් ලෙසම මිල දී ගැනීම, බලහත්කාරයෙන් නවත්වන්න බැහැ. ඔවුන් ආදේශක වලට ක්‍රමයෙන් පුරුදු වෙයි. නමුත් එය ඔවුන්ගේ තේරීම් පිළිබඳ ප්‍රශ්නයක්. මෙවැන්නක් දිරිමත් කළ යුතු නිවැරදි ක්‍රමය වන්නේ තේරීම් වැඩි ප්‍රමාණයක් ඔවුන්ට ලබා දීමයි.

ලංකාවේ භාවිතා වන පිටි කළ පොල් කිරි වලින් හදන කෑම වලින් සාමාන්‍ය පොල් කිරි වල රසය ගන්න අමාරුයි. ආදේශක ප්‍රචලිත වෙන්නනම්, ඒවා හොඳ ආදේශක විය යුතුයි. පිටි කළ පොල් කිරි වලට සාපේක්ෂව බලද්දී පොල් කිරි ටින් වල ගුණාත්මක භාවය ගොඩක් ඉහළයි. පොල් කිරි ආශ්‍රිත නිෂ්පාදන හා අදාළව තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. 

ලංකාවේ පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන දිරිමත් කිරීම සඳහා කළ යුත්තේ හොඳ ආනයන ආදේශක රටට එන්න ඉඩ හැර ඒවා සමඟ තරඟයක් පවත්වා ගැනීමයි. මෙම කර්මාන්තය ලංකාවට ස්වභාවික වාසියක් තිබෙන කර්මාන්තයක් නිසා ලංකාවට මෙවැනි තරඟයකින් හානියක් සිදු වෙන්නේ නැහැ. අපනයන වෙළඳපොළ ගැන හිතනවානම් කොහොමටත් මේ තරඟයට මුහුණ දෙන්න වෙනවා. 

අඩු මිලට හොඳ ආනයන ආදේශක රටට එන තරමට, ඒ හා තරඟ කළ හැකි දේශීය නිෂ්පාදන රට ඇතුළේ හැදෙයි. ඒ වගේම, දේශීය පාරිභෝගිකයා වැඩි වැඩියෙන් මේ ආදේශක වලට පුරුදු වෙයි. වරින් වර සිදු වන සැපයුම් විචලන නිසා මිල විශාල ලෙස උච්ඡාවචනය වීමේ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුම වන්නේද පොල් සඳහා තිබෙන අගය එකතු කළ ආදේශක වලට වැඩි වැඩියෙන් පුරුදු වීමයි. 

පොල් මිල වැඩි වීමට හේතුව රිලා ප්‍රශ්නය නොවුනත් රිලා ප්‍රශ්නයක් රටේ තිබෙනවා. ඒ ගැන කිසියම් තක්සේරුවක් කිරීම සඳහා රිලා ගණනයක් කිරීම නරක දෙයක් නෙමෙයි. මේ කරන්න යන්නේ රිලා සංගණනයක් නෙමෙයි. ඒ වගේම, විද්‍යාත්මක නියැදි සමීක්ෂණයක් බවක් පෙනෙන්නෙත් නැහැ. නමුත් මේ ක්‍රමය දළ ඇස්තමේන්තුවක් සකස් කර ගැනීම සඳහා යොදා ගැනෙන ප්‍රචලිත ක්‍රමයක්. 

එකතු කරගන්නා දත්ත සහ එම දත්ත එකතු කරගන්නා ප්‍රදේශ පිළිබඳ නිශ්චිත තොරතුරු තිබේනම් මෙවැනි අහඹු නොවන දත්ත අනුසාරයෙන් වුවද හොඳ ඇස්තමේන්තුවක් සකස් කර ගත හැකියි. මැතිවරණ වලට පෙර සුදත්ත වැනි අය මත විමසුම් සමීක්ෂණ කළේ මීටත් වඩා අවිධිමත් ලෙසයි. නමුත් එම දත්ත ඇසුරෙන් වුවද හොඳ ඇස්තමේන්තුවක් සකස් කිරීමේ හැකියාවක් තිබුණා. දැන් සිදු කරන්නට යන ආකාරයේ ගණනයක් කිසියම් කාලයකට පසුව එම ස්ථාන වලදීම නැවත සිදු කිරීම මගින් ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවය විශාල ලෙස වැඩි කර ගත හැකියි. ඒ සඳහා යොදා ගන්නා සංඛ්‍යානමය ක්‍රමවේද තිබෙනවා. 

Thursday, January 2, 2025

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද?

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2024 දෙසැම්බර් මාසයේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 168.90ක්. 2023 දෙසැම්බර් මාසයේදී එම මිල රුපියල් 111.67ක්. ඒ කියන්නේ වසරක කාලයක් ඇතුළත 51.24%ක මිල ඉහළ යාමක්!

මේ විදිහට වසරක් ඇතුළත පොල් මිල 51.24%කින් ඉහළ ගිහින් තියෙන්නේ රටේ සමස්ත මිල මට්ටම 1.7%කින් පහත වැටෙද්දී. ඒ කියන්නේ අවධමනයක් තියෙද්දී. දෙසැම්බර් මාසය තුළ පමණක් පොල් මිල 15.10%කින් ඉහළ ගිහින් තිබෙනවා. 

මීට සාපේක්ෂව, වසරක කාලය සහ මාසයක කාලය තුළ හාල් මිල ඉහළ ගොස් තියෙන්නේ පහත පරිදියි. 

පසුගිය වසරක කාලය:

රතු කැකුළු - 15.08%

සුදු කැකුළු - 11.25%

සුදු නාඩු - 8.81%

රතු නාඩු - 10.19%

සම්බා - 14.48%


පසුගිය මාසයක කාලය:

රතු කැකුළු - 5.77%

සුදු කැකුළු - 6.61%

සුදු නාඩු - 4.09%

රතු නාඩු - 4.91%

සම්බා - 1.63%

පොල් මිල වගේම හාල් මිලත් ඉහළ ගිහින් තිබුනත්, හාල් මිල ඉහළ යාමෙහි පොල් මිල ඉහල යාමේ පෙනෙන තරම්ම අමුත්තක් නැහැ. නමුත්, මේ මිල ඉහළ යාම් දෙකට ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාර වලින්.

හාල් මිල ඉහළ යාම සම්බන්ධව කර්මාන්තයේ අතරමැදියන්ට සෘජුව චෝදනා එල්ල කෙරෙනවා. ඊට හේතුව එම කර්මාන්තයේ අතරමැදියන් අතර පහසුවෙන් ඇඟිල්ල දික් කළ හැකි, ඇහැට පෙනෙන පුද්ගලයින් සිටීම. නමුත් පොල් කර්මාන්තයේ ඒ වගේ පහසුවෙන් ඇඟිල්ල දික් කර පෙන්විය හැකි අතරමැදියෝ නැහැ. ඒ නිසා, ඒකේ වැරැද්ද පටවලා තියෙන්නේ පැත්තක ඉන්න රිලවු මත. 

හාල් මිල ඉහළ යාමේ ප්‍රශ්නය වගේම පොල් මිල ඉහළ යාමේ ප්‍රශ්නයත් වසර හතරකට පමණ වරක් චක්‍රීය ලෙස ඇති වන, සාමාන්‍යයෙන් එකටම එන, ප්‍රශ්න දෙකක්. මේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුව කාලගුණ රටාවන්හි දැකිය හැකි චක්‍රීය විචලනයන් නිසා සැපයුම චක්‍රීය ලෙස විචලනය වීම. නමුත් ලංකාවේ හාල්, පොල් පරිභෝජනයේ ස්වභාවය අනුව ඔය දෙකේම දේශීය ඉල්ලුම බොහෝ දුරට නියතයි. 

ඉල්ලුම නියතව තියෙද්දී සැපයුම විචලනය වන කර්මාන්තයක ඉල්ලුම්-සැපයුම් පරතරයේ විචලනය වීම් අනුව මිල විචලනය වීම සාමාන්‍ය තත්ත්වයක්. ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩු වෙද්දී මිල වැඩි වෙනවා. ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වෙද්දී මිල අඩු වෙනවා. මිල වැඩි වෙද්දී පාරිභෝගිකයෝ කෑ ගහනවා. මිල අඩු වෙද්දී නිෂ්පාදකයෝ කෑ ගහනවා. කවුරු හෝ කෑ ගහන කණ්ඩායම එක්ක ඒ වෙලාවේ විපක්ෂයත් කෑ ගහනවා. 

ලංකාවේ සාමාන්‍ය පාරිභෝගිකයාට වගේම සුළු පරිමාණ ගොවීන්ටත් ඉල්ලුම හා සැපයුම අනුව මිල විචලනය වීම ගැන හොඳ අවබෝධයක් නැහැ. කිසිම දේශපාලන කඳවුරක් ඔවුන්ව දැනුවත් කරන්නෙත් නැහැ. ඒ වෙනුවට හැම විටම මෙන් කරන්නේ ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දික්කරන්න ඔවුන්ව පුහුණු කරන එක. ඒ නිසාම, මෙහි ආණ්ඩුව විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් තිබෙන බව මිනිස්සු හිතනවා.

වත්මන් ආණ්ඩුවේ ඉන්නේ මේ විදිහේ ප්‍රශ්න වෙළඳපොළ විසින් ස්වයංක්‍රීය ලෙස විසඳනු ලැබීමට එරෙහිව දිගින් දිගටම ජනතාව දැනුවත් කළ සහ සක්‍රිය රාජ්‍ය මැදිහත්වීම් හරහා පාරිභෝගිකයින්ට වගේම නිෂ්පාදකයින්ටත් සහන සැලසීමේ හැකියාව ගැන දිගින් දිගටම කතා කළ සහ දැනටත් කතා කරන කණ්ඩායමක්. ඒ නිසාම, හාල් පොල් මිල ගණන් ඉහළ යද්දී මිනිස්සු රාජ්‍ය මැදිහත්වීමක් අපේක්ෂා කරනවා.

ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම කාලයක් තිස්සේ හාල් කර්මාන්තයේ අතරමැදියන්ට චෝදනා කළ පිරිසක්. ඒ වගේම ඒ සම්බන්ධව යමක් නොකිරීම ගැන පෙර ආණ්ඩු වලට චෝදනා කළ පිරිසක්. ප්‍රශ්නයට හේතුව අතරමැදියන් කියා, ඇතැම් විට අවංකවම, තවමත් හිතන පිරිසක්. වෙළඳපොළ ගැන අවබෝධයක් නැති අයෙක් ඔය විදිහට හිතන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

හාල් කර්මාන්තයේදී මෙන් පොල් කර්මාන්තයේදී වැරැද්ද පැටවිය හැකි අතරමැදියන් සොයා ගන්න අමාරුයි. ඒ නිසා, වැරැද්ද පටවලා තියෙන්නේ රිලවු මත. නමුත් ප්‍රශ්නය තියෙන්නේ විපක්ෂ කණ්ඩායමකට ඔය විදිහට හේතුවක් ඉදිරිපත් කරලා ප්‍රශ්නය විසඳීමේ වගකීම ආණ්ඩුව පැත්තට තල්ලු කළ හැකි වුනත්, ආණ්ඩු බලය තිබෙන කණ්ඩායමකට එසේ කළ නොහැකි වීමයි. මිනිස්සුන්ට විසඳුම් මිසක් හේතු ඉදිරිපත් කිරීම් වලින් වැඩක් නැහැ. 

මේ හේතුව නිසා හාල් මිල හා පොල් මිල මත පදනම්ව බොහෝ අය ආණ්ඩුවට පොල් ගහනවා. තව සමහර අය ආණ්ඩුව පොල් ගානවද කියලත් අහනවා. 

පැහැදිලි ලෙසම ලංකාවේ රිලා ප්‍රශ්නයක් තිබෙනවා. ඉත්තෑ, මොණර ආදී ප්‍රශ්නත් තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳිය යුතු ප්‍රශ්න. නමුත් වත්මන් හාල් මිල ඉහළ යාමට හේතුව අතරමැදියන් නොවන්නාක් මෙන්ම පොල් මිල ඉහළ යාමට හේතුව රිලා ප්‍රශ්නයද නෙමෙයි. ඒ වගේම, මැතිවරණ වලින් පස්සේ එක පාරටම රටේ රිලා ගහණය වැඩි වුනේ නැහැ. මොකද මැතිවරණ ප්‍රචාරණයට හෝ ඡන්දය දමන්න කියලා පිටරටින් රිලවු ආවෙවත්, ඇවිත් ලංකාවේ නැවතුනේවත් නැහැනේ. ඔය ඉන්නේ මැතිවරණ වලට කලිනුත් රටේ හිටපු රිලවුම තමයි. 

ආණ්ඩුව විසින් පොල් මිල ඉහළ යාමේ ප්‍රශ්නය නිෂ්පාදන ප්‍රශ්නයක් ලෙස හඳුනා ගන්නා බව පේනවා. නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කළ යුතු දේවල් කළ යුතු වුවත්, මේ ප්‍රශ්නය නිෂ්පාදනය අඩු වීමේ ප්‍රශ්නයක් නෙමෙයි. අණ්ඩර දෙමළයක් මෙන් එක පාරට පෙනී යා හැකි වුවත්, යම් දුරකට මෙය නිෂ්පාදනය වැඩි වීම නිසා ඇති වූ ප්‍රශ්නයක්. ඒ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්.

මේ සමඟ පළ කෙරෙන කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන හදා තිබෙන පොල් ගස් දෙකක රූපය සමාජ ජාලා වල සංසරණය වූ එකක්. එහි සඳහන් පරිදි "සීයා යද්දී" පොල් ගස් තිබිලා තියෙන්නේ ඔය විදිහටයි. මෙයින් කියන්න හදන්නේ මේක "සීයා" දීලා ගිය ප්‍රශ්නයක් බවයි. 

ඔය කතාව කියන්නේ සමච්චලයට බව ඉතාම පැහැදිලියි. එහි කියන්න හදන දෙය "සීයා යද්දී" පොල් ගස් තිබුණේ ඔය විදිහට නෙමෙයි කියන එකයි. හැබැයි ඇත්තටමනම් සීයාගේ කාලයේ පොල් ගස් ඔය විදිහට නොතිබුණත් සීයාගේ අවුරුදු දෙක ඉතිහාසයේ වැඩිම පොල් අස්වැන්නක් ලැබුණු අවුරුදු දෙකක්. 

පහත තිබෙන්නේ මහ බැංකුවේ දත්ත අනුව, පසුගිය අවුරුදු දහයක කාලයේ ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදිතය පොල් ගෙඩි මිලියන වලින්.

2014 - 2,870

2015 - 3,056

2016 - 3,011

2017 - 2,450

2018 - 2,623

2019 - 3,086

2020 - 2,792

2021 - 3,120

2022 - 3,391

2023 - 3,170

ඔය අවුරුදු දහයක කාලය ඇතුළත වැඩිම පොල් අස්වැන්නක් ලැබී තියෙන්නේ 2022දී. දෙවෙනි වැඩිම අස්වැන්න 2023දී.

මේ විදිහට සීයාගේ කාලයේදී පොල් අස්වැන්න වැඩි වුනේ සීයාගේ පිං මහිමයෙන් කියලාවත්, සීයා කෙමක් කරපු නිසා කියලාවත් මම කියන්නේ නැහැ. පොල් අස්වැන්න වැඩි වුනේ අඩු වශයෙන් සීයාගේ ආණ්ඩුවෙන් කරපු විශේෂ දෙයක් නිසාවත් නෙමෙයි. තනිකරම මෙන්, ආණ්ඩුවකට පාලනය කළ නොහැකි, ස්වභාවික හේතු නිසා. හැබැයි කරුණක් ලෙස එම වසර දෙකේදී පොල් අස්වැන්න විශාල ලෙස ඉහළ ගියා. ඔය අවුරුදු දෙකේදීත් රටේ රිලවු හිටියා. 

දැන් පොල් අස්වැන්න අඩු වී තිබෙන්නේත්, මේ ආණ්ඩුවේ හෝ කලින් පැවැති ආණ්ඩුවේ වැරැද්දක් නිසා නෙමෙයි. රිලා ප්‍රශ්නය නිසාත් නෙමෙයි. වසර 3-4කට පමණ වරක් සිදු වන කාලගුණ රටාවන්ගේ චක්‍රීය විචලන වල බලපෑම නිසා.  2015/16, 2019, 2022/23 පොල් අස්වැන්න වැඩියි. 2014, 2017, 2020 වගේ අවුරුදු වල පොල් අස්වැන්න අඩුයි. 2024 පොල් අස්වැන්න අඩු වෙන අවුරුද්දක්. පොල් අස්වැන්න අඩු වෙද්දී මිල ඉහළ යනවා. ඔය චක්‍රයම හාල් වලටත් බලපානවා.

පොල් අස්වැන්න වෙනස් වී සැපයුම අඩු වැඩි වෙද්දී දේශීය පොල් ඉල්ලුම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. පහත තිබෙන්නේ දේශීය පොල් පරිභෝජන ඉල්ලුම පොල් ගෙඩි මිලියන වලින්.

2014 - 1.830

2015 - 1,874

2016 - 1,787

2017 - 1,656

2018 - 1,794

2019 - 1,807

2020 - 1,826

2021 - 1,833

2022 - 1,848

2023 - 1,850

වාර්ෂික පොල් ඉල්ලුමේ සාමාන්‍ය අගය පොල් ගෙඩි මිලියන 1,810ක්. මෙහි සම්මත අපගමනය පොල් ගෙඩි මිලියන 60ක් පමණයි. මීට සාපේක්ෂව වාර්ෂික පොල් සැපයුමේ සාමාන්‍ය අගය පොල් ගෙඩි මිලියන 2,957ක් වුවත් සම්මත අපගමනය පොල් ගෙඩි මිලියන 278ක්. ප්‍රශ්නයේ මුල තියෙන්නේ ස්වභාවික හේතු නිසා සිදු වන ඔන්න ඔය විචලනය. 

ලංකාවේ ජනතාව, විශේෂයෙන්ම සිංහල ජනතාව, සියවස් ගණනක් තිස්සේ පොල් ආහාරයට ගන්නවා. ලංකාව ඒක පුද්ගල පොල් පරිභෝජනය ඉහළම රටක්. ඒ වගේම, ලංකාවට කවදාවත් පරිභෝජනය පිණිස පොල් ආනයනය කරන්න සිදු වී නැහැ. රටේ පොල් නිෂ්පාදනය හැමදාමත් පරිභෝජන අවශ්‍යතාවයට වඩා ඉහළින් තිබුණා.

ලංකාවේ බොහොමයක් ගෙවල් වල, නාගරික ප්‍රදේශ වල පවා, අඩු වශයෙන් පොල් ගහක් හරි තියෙනවා. පොල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වෙන්නේ කුඩා පොල් ඉඩම් වලයි. ගෙදර පොල් ගහක් හෝ කීපයක් තිබෙන අය සාමාන්‍යයෙන් තමන්ගේ ගෙදර ගස් වල පොල් පරිභෝජනය සඳහා ගන්නවා. කඩෙන් පොල් මිල දී ගන්නේ මදි පාඩුවට. 

ගෙදර පොල් ගස් කීපයක් පමණක් තිබෙන ගොඩක් අය පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොල් තිබුනා කියලා තමන්ගේ පොල් විකුණන්නේ නැහැ. පොල් නොකඩා පොල් වැටෙනකම් සිටීම, වැටෙන පොල් වේලෙන්න ඇරීම, ඉඳහිට කුරුම්බා වල්ලක් බා ගැනීම වගේ දේවල් වලින් සැපයුම සහ පරිභෝජන අවශ්‍යතාවය අතර වෙනස තුලනය වෙනවා. කාලයකට කලින්නම් ගෙවල් වලම තෙල් හිඳින වැඩේත් සිදු වුනා.

පොල් අස්වැන්න අඩු වෙද්දී කුරුම්බා බාන එක වගේ දේවල් සීමා වෙනවා. තැඹිලිත් පොල් වෙන්න අරිනවා. යාන්තම් පැහෙද්දී පොල් කඩවනවා. ඔය වගේ දේවල් කරලා සැපයුම අඩු වෙන එක යම තරමකින් පාලනය කරන්න පුළුවන්. පරිභෝජනය වුනත් යම් තරමකින් සීමා කරන්න පුළුවන්. 

ලංකාවේ ගොඩක් ගෙවල් වල ඔය විදිහට නිවාස ඒකකය ඇතුළේම පොල් ඉල්ලුම සහ සැපයුම සෑහෙන මට්ටමකට තුලනය වන නිසා ඒ ගෙවල් වලින් කඩෙන් පොල් මිල දී ගන්න තිබෙන ඉල්ලුම සීමිතයි. එහෙත් මේ පාරිභෝගික කණ්ඩායමට අමතරව හැමදාම කඩෙන් පොල් ගන්න වෙනම පිරිසක් ඉන්නවා. 

පොල් අස්වැන්න එක සීමාවක් ඉක්මවා පහත වැටුණු විට වෙන්නේ අර සාමාන්‍යයෙන් කඩෙන් පොල් මිල දී නොගන්න හෝ අඩුවෙන් මිල දී ගන්න විශාල පිරිසට එක වරටම කඩේ පොල් අවශ්‍ය වීම. මේ හේතුව නිසා, පොල් අස්වැන්න යම් සීමාවක් ඉක්මවා අඩු වුනාට පස්සේ වෙළඳපොළේ පොල් ඉල්ලුම එක වරම කිහිප ගුණයකින් ඉහළ යනවා. ඒක වෙන්නේ පොල් පරිභෝජනයේ ඉහළ යාමක් නැතිවයි. බොහෝ විට පරිභෝජනය අඩු වෙන අතරදී. 

මේ විදිහට පොල් ඉල්ලුම එක පාරටම ඉහළ යන්නේ ලොකු පොල් වතු වලත් අස්වැන්න අඩු වෙලා වෙළඳපොලට එන පොල් සැපයුම අඩු වෙලා තිබෙන වෙලාවකයි. එක පැත්තකින් සැපයුම අඩු වෙද්දී අනෙක් පැත්තෙන් ඉල්ලුම ඉහළ යනවා. මෙහි ප්‍රතිඵලය මිල එකවර විශාල ලෙස ඉහළ යාමයි. 

මෙය වාණිජ කෘෂිකර්මයට සාපේක්ෂව ගෘහාශ්‍රිත කෘෂිකර්මය ව්‍යාප්තව තිබීමේ අතුරුපලයක් කියා කියන්නත් පුළුවන්. ගෙවල් වල පොල් ගස් හිටවා නොගෙන හැමෝම කඩෙන්ම පොල් මිල දී ගන්න පුරුදු වී සිටියානම් මේ තරමේ මිල විචලනයක් සිදු වන්නේ නැහැ. ගෘහාශ්‍රිත කෘෂිකර්මයේදී පොල් ගස් වලට සාත්තු කිරීමක් නොකෙරෙන නිසා මෙහි බලපෑම තවත් වැඩියි. (මෙය ගෘහාශ්‍රිත කෘෂිකර්මය අධෛර්යමත් කිරීම සඳහා දෙන උපදෙසක් නෙමෙයි). 

ඔය චක්‍රය අනෙක් පැත්තට යද්දී ගෙවල් වලින් එන පොල් ඉල්ලුම ටිකෙන් ටික අඩු වෙලා යනවා. ගෙදර ගහේ පොල් හැදෙද්දී කඩෙන් පොල් මිල දී ගන්න අවශ්‍ය නැහැ. හැමදාම කඩෙන් පොල් මිල දී ගන්න පාරිභෝගිකයෝ ටික පමණක් ඉතිරි වෙනවා. අනෙක් පැත්තෙන් පොල් සැපයුම ඉහළ ගිහින්, අතිරික්තයක් හැදිලා පොල් මිල පහත වැටෙනවා.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, 2020 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 96.67ක්. නමුත් 2019 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී එම මිල 56.75ක් පමණයි. ඒ කියන්නේ වසරක් ඇතුළත 70.6%ක මිල ඉහළ යාමක්. 

නමුත් 2023 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 105.71ක් පමණයි. ඒ කියන්නේ 2020-2023 අතර වසර තුනක කාලය ඇතුළත පොල් මිල ඉහළ ගිහින් තියෙන්නේ 9.4%කින් පමණයි. ඒ ඔය අවුරුදු තුන ඇතුළත සාමාන්‍ය මිල මට්ටම 83.3%කින් ඉහළ යද්දී. ඒ කියන්නේ ඔය වසර තුනක කාලය ඇතුළත පොල් මිල නාමිකව 9.4%කින් වැඩි වී තිබුණත්, අනෙක් භාණ්ඩ හා සේවා මිල ගණන් එක්ක බලද්දී විශාල මිල අඩු වීමකුයි සිදු වෙලා තියෙන්නේ.

මේකට හේතුව කලින් කියපු "සීයාගේ කාලයේදී" සිදු වූ නිෂ්පාදනය ඉහළ යාම. නමුත් එය වාරිකව සිදු වූ දෙයක් පමණයි. දැන් නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමට පහත වැටෙද්දී පොල් මිල රටේ පැවති උද්ධමනය හා ගැලපෙන මට්ටමකට ඉහළයමින් තිබෙනවා. මේ වැඩේ කෙටි කාලයක් තුල සිදු වෙන නිසා පාරිභෝගිකයින්ට දැනෙනවා. නමුත් ඔය වැඩිවීම දිගින් දිගටම සිදු වෙන එකක් නෙමෙයි. යම් මට්ටමකට වැඩි වෙලා ස්ථාවර වුනාට පස්සේ තවත් අවුරුදු තුනක් පමණ ඒ මට්ටමේ තියෙයි.

හාල් මිල විචලනය වෙන්නෙත් ඔය විදිහටම තමයි. ඒක අතරමැදියන් විසින් සැලසුම් කර කරන මිල වැඩි කිරීමක් නෙමෙයි. 

රිලවු ප්‍රශ්නය විසඳිය යුතු ප්‍රශ්නයක් වුනත් ඒ ප්‍රශ්නය විසඳුවා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඇතැම් විට ප්‍රශ්නය තවත් උග්‍ර වෙන්න වුනත් පුළුවන්. 

රිලවු නිසා සිදු වන අස්වනු හානිය පාලනය වුනොත් නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඉහළ යයි. එය හොඳ දෙයක්. එහෙත් ඒ නිසා සැපයුමේ සිදු වන කාලික විචලනයන් නවතින්නේ නැහැ. නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය වැඩි වෙද්දී ඊට අනුරූපව විචලනයන්ද වැඩි වෙන එකයි සාමාන්‍යයෙන් වෙන්නේ. චක්‍රයේ අස්වනු ඉහළ යන අවස්ථාවේදී මිල දැනටත් වඩා පහත වැටෙයි. ඒ නිසාම, අනෙක් අදියරේදී එකවරම දැනටත් වඩා මිල ඉහළ යයි. මිල අඩු වෙන එක ගැන කවුරුවත් කතා කරන එකක් නැහැ. නමුත් එක වර මිල වැඩි වෙද්දී නැවතත් ඔය දැන් කෙරෙන සාකච්ඡාව මතු වෙයි.

දැනට තිබෙන හාල් ප්‍රශ්නය වගේම පොල් ප්‍රශ්නයත්, ආණ්ඩුව කිසිවක් නොකළත්, ස්වභාව ධර්මය සහ වෙළඳපොළ විසඳීමට නියමිතව තිබුණු ප්‍රශ්න. ඒ සඳහා යම් කාලයක් යයි. සමහර විට තව මාස හයක් පමණ ගත වෙන්න පුළුවන්. ඊට පස්සේ තව වසර දෙක තුනකට හාල් මිල හෝ පොල් මිල මාතෘකා බවට පත් වීම නවතියි. 2028 පමණ වෙද්දී නැවතත් මේ ප්‍රශ්න දෙක උඩට එයි. ඕකට හොඳම විසඳුම බොරු බිල්ලෝ මවන්නේ නැතිව වෙළඳපොළ යාන්ත්‍රණය ගැන ජනතාව දැනුවත් කරන එක. එහෙම කළොත් අඩු වශයෙන් ඊළඟ චක්‍රයේදී මිනිස්සු මේ නැති ප්‍රශ්නය නැති ප්‍රශ්නයක් බව තේරුම් ගනියි. 



Thursday, October 24, 2024

එලොව පොල් හා මෙලොව පොල්

මෙය කියවන කී දෙනෙක් එලොව පොල් දැකල තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි කුඩා කාලයේදීනම් ගොඩක් අයට කවුරු හරි කෙනෙක් එලොව පොල් පෙන්නලා තියෙනවා. සමහර විට තමන් විසිනුත් තවත් අයට එලොව පොල් පෙන්නලා තියෙනවා.

සරසවි වල නවක වදය නැවැත්වීම පිණිස නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න යන බවක් තැන් කිහිපයක දැක්කා. සරසවි නවක වදය ලංකාවේ රජයේ සරසවියකට ගිහින් තියෙන ගොඩක් අයගේ අත්දැකීමක්. හැබැයි ඔය නවක වදය කියන එක තියෙන්නේ සරසවි වල පමණක් නෙමෙයි. පාසැල් ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන, හමුදා වගේ තවත් ගොඩක් තැන් වල ඔය වැඩේ වෙනවා. 

නවක වදය වගේ දේවල් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නේ තමන් අත් දැකපු ක්‍රමය හරි වුනත් වැරදි වුනත් ඒ විදිහටම පවත්වාගෙන යාමට සමාජයන්හි තිබෙන නැඹුරුව නිසා. සමාජ විද්‍යාවේදී මෙය විස්තර කරන ඉංග්‍රීසි වචනය "Path dependence" කියන එක. මම දැනට සිංහලෙන් "භාව පරායත්තතාව" කියා කියන්නම්. කවුරු හෝ කෙනෙක් නිවැරදි පාරිභාෂික වචනය දන්නවානම් කියන්න.

"භාව පරායත්තතාව" නිසා මිනිසුන් විසින් ගන්නා අනාගතයට බලපාන තීරණ වලට වර්තමානයේ පවතින තත්ත්වයන් පාදක කරගන්නවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට වර්තමානය අනාගතයෙහි ප්‍රතිනිර්මාණය වෙනවා. අවසාන වශයෙන් වෙන්නේ සමාජයක් අතීතයේ සිරකරුවන් වෙන එක. 

ටිකක් සරල කරලා කිවුවොත්, වෙනස් වෙන්න තිබෙන අකැමැත්ත නිසා කාලයක් තිස්සේ කරගෙන ආපු දේවල් ඒ විදිහටම කරන්න මිනිස්සු පෙළඹෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට කාලයක් තිස්සේ අත් විඳින නරක අත්දැකීම් වලින් ගැලවෙන්න තිබෙන අවස්ථාව මග හැරෙනවා. මේ තත්ත්වය රටක දිගුකාලීන ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන ආකාරය මෙවර නොබෙල් තෑග්ග දිනූ ආජෙමෝලු , ජොන්සන් සහ රොබින්සන් විසින් පැහැදිලි කර තිබෙනවා.  

කාලයක් තිස්සේ රජයෙන් නොමිලේ ලැබෙන සහල් සලාකයකට හුරු වූ මිනිස්සුන්ට ඒ සහල් සලාකය නැතිව ජීවත් වන විදිහ හිතා ගන්න අමාරුයි. කාලයක් තිස්සේ රජයේ ස්ථිර රැකියාවක් කළ අයෙකුට පෞද්ගලික අංශයේ රැකියාවක රැකියා අවදානම එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. කාලයක් තිස්සේ පාලන මිලකට බඩු ගන්න පුරුදු වී සිටින සමාජයකට ඉල්ලුම හා සැපයුම අනුව මිල වෙනස් වෙන තත්ත්වයක් ගැන හිතාගන්න අමාරුයි. ඔය වගේ ගොඩක් නිදර්ශන සපයන්න පුළුවන්. 

පාසැල් වැනි තැන් වල තිබෙන නවක වදයට ආසන්න තත්ත්වයන් බුලි කිරීම ලෙස හඳුන්වන්න පුළුවන්. බුලි කිරීම කියන එකෙන් අදහස් වෙන්නේ "කළුවා" "තඩියා" "බට්ටී" වගේ නමක් කියන එක වැනි ලංකාවේනම් "සාමාන්‍ය" දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පවුලක වැඩිමහල් අයෙක් විසින් බාල සහෝදර සහෝදරියන් බුලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අහල පහළ ගෙදරක කෙනෙක්. මේ වගේ දේවල් ඉතාම පොඩි වයස් වලදී පවා වෙනවා. 

එලොව පොල් පෙන්වන එකත් ඔය වගේ වැඩක්. මෙහිදී බුලි කරන්නා විසින්, බොහෝ විට තමන්ට වඩා වයසින් හා ශරීර ප්‍රමාණයෙන් කුඩා කෙනෙකුගෙන්, මෙවැනි ප්‍රශ්නයක් අහනවා.

"එලොව පොල් දැකල තියෙනවද?"

"නෑ"

"එහෙනං පෙන්නන්නද?"

ඊට පස්සේ කරන්නේ ඔලුවේ දෙපැත්තෙන් කන් දෙක වැහෙන්න අත් දෙක තියලා උස්සන එක. ඔන්න එතකොට එලොව පොල් පේනවා. එක පාරක් එලොව පොල් දැකපු කෙනෙක් ආයෙත් එලොව පොල් බලන්න කැමති වෙන්නේ නැහැ. නමුත් පසුකාලීනව තමන්ට වඩා කුඩා කෙනෙකුට එලොව පොල් පෙන්නන්න පෙළඹෙන්න පුළුවන්. ඊට හේතුව "භාව පරායත්තතාව".

සමහර අය කියන විදිහට මේ දවස් වල කඩේ පොල් ගණන් අහද්දීත් එලොව පොල් පේනවා. ඔය "හාල් ගණන්" "පොල් ගණන්" කතාව අවුරුදු කීපයකට වරක් අහන්න ලැබෙන කතාවක්. 

ලංකාවේ පොල් මිල තීරණය වෙන්නේ බොහෝ දුරටම ඉල්ලුම හා සැපයුම මතයි. ඉල්ලුම බොහෝ දුරටම ස්ථාවරයි. නමුත් සැපයුම කාලගුණික තත්ත්වයන් අනුව විචලනය වෙනවා. ඒ අනුව, පොල් ගෙඩියක වෙළඳපොළ මිලද සැපයුමට අනුරූපව උච්ඡාවචනය වෙනවා.

මේ සමඟ පළ කර තිබෙන ප්‍රස්ථාරයෙන් දැකිය හැකි පරිදි, දිගුකාලීන සාමාන්‍යය සැලකුවහොත් ලංකාවේ පොල් නිෂ්පාදිතය වසරකට ගෙඩි මිලියන 2,800ක් පමණ. නමුත් මෙය වසරකට ගෙඩි මිලියන 200කින් පමණ අඩු හෝ වැඩි වෙනවා. සමහර විට වසරකට ගෙඩි මිලියන 400කින් හෝ ඊටත් වැඩි ගණනකින් සැපයුම වෙනස් වෙන්න පුළුවන්.

මේ විදිහට ලංකාවේ පොල් නිෂ්පාදනය විචලනය වෙන ආකාරයේ යම් චක්‍රීය බවක් දකින්න පුළුවන්. ආසන්න වශයෙන් වසර හතරකට පමණ වරක් නිෂ්පාදනය ඉහළ යනවා. ඒ වගේම ආසන්න වශයෙන් වසර හතරකට පමණ වරක් නිෂ්පාදනය පහළ යනවා. මෙය මම වසර විස්සකට පමණ පෙර නිරීක්ෂණය කර තිබුණු දෙයක්. මේ තත්ත්වය ඉන් පසුවද එලෙසම තිබී ඇති බව පේනවා. වසර හතරකට වරක් කිවුවත් වසර 3-5 වගේ කාලයකින් මේ චක්‍රය පුනරාවර්තනය වෙන්න පුළුවන්. 

දැකිය හැකි රටාව අනුව මීට හේතුව එල් නිනෝ - ලා නිනා චක්‍ර වල බලපෑම වෙන්න පුළුවන්. නමුත් මම කාලගුණ විද්‍යාව හදාරලා නැහැ. මේ ලිපියේ අවධානය යොමු කරන්නේ පොල් වලට වුනත් සහල් හා අදාළවද මේ චක්‍රයේ බලපෑම දැකිය හැකියි. 

ප්‍රස්ථාරයෙන් දැකිය හැකි පරිදි 1995, 2000, 2004, 2008, 2012, 2015, 2019, 2022 වසර වලදී ලංකාවේ පොල් නිෂ්පාදනය ආසන්න වසර වල සාමාන්‍ය අගයට වඩා වැඩි වී තිබෙනවා. 1998, 2002, 2006, 2010, 2013, 2017, 2020 වසර වලදී නිෂ්පාදනය අඩු වී තිබෙනවා. මෙම රටාව අනුව, 2024/2025 ආසන්න වන විට පොල් නිෂ්පාදනය අඩු විය යුතුයි. ඒ නිසා, ඉදිරියට එන්නේ පොල් ගණන් යන කාලයක්. ඒ වගේම, මේ හේතුව නිසාම, සහල් මිලද ඉහළ යා යුතුයි. 

මේ ආකාරයෙන් සැපයුම පහත වැටීම නිසා පොල් මිල ඉහළ යාමේ බලපෑම අවම කර ගැනීමට කළ හැකි හොඳම දෙය ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ මිල තීරණය වීමට ඉඩ හැරීමයි. එයට බාධා කරන තරමට සිදු විය හැක්කේ මිල පීඩනය තවත් ඉහළ යාමයි. මේවැනි වෙළඳපොළකට මැදිහත්වීම් සිදු කිරීමෙන් කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවද යහපතක් සිදු වන්නේ නැහැ. 

ලංකාවේ පොල් පරිභෝජනය වසරකට ගෙඩි මිලියන 1,850ක් පමණ. නිෂ්පාදනය අඩු වසරකදී වුවද, රටේ නිෂ්පාදනය මීට වඩා වැඩියි. පසුගිය (2023) වසර සැලකුවහොත් ලංකාවේ පොල් නිෂ්පාදිතය ගෙඩි මිලියන 3,170ක්. මෙම අමතර සැපයුම ප්‍රධාන වශයෙන්ම පොල් කිරි කුඩු සහ ක්‍රීම්, පොල්තෙල් හා දිසිදි පොල් (Desiccated coconut) නිපදවීම සඳහා යොදා ගැනෙනවා. 

පොල් ගෙඩි විශාල කාලයක් කල් තබා ගන්න බැරි වුනත් පොල් කිරි කුඩු සහ ක්‍රීම්, පොල්තෙල් හා දිසිදි පොල් වැඩි කාලයක් නරක් නොවී තියා ගන්න පුළුවන්. ඒ නිසාම, පොල් සැපයුම ඉහල ගොස් මිල අඩු වන වසර වලදී මෙම නිෂ්පාදන කරන අයට වැඩි ලාබයක් ගන්න ඉඩ සැලසෙනවා. පොල් සැපයුම අඩු වී මිල ඉහළ යද්දී එම ලාබ නැති වෙනවා. ඒ නිසාම, මිල වැඩි වෙද්දී මෙවැනි අගය එකතු කිරීම් සිදු කරන නිෂ්පාදකයින් පොල් මිල දී ගන්නේ අඩුවෙන්. ඒ හේතුවෙන් ඉල්ලුම අඩු වී වෙළඳපොළ විසින්ම මිල නියාමනය කෙරෙනවා.

අනෙක් අතට, පොල් සැපයුම ඉහළ ගොස් මිල පහත වැටෙද්දී අගය එකතු කිරීම් සිදු කරන නිෂ්පාදකයින් පොල් වැඩියෙන් මිල දී ගන්නවා. ඉල්ලුම ඉහළ යනවා. ඒ නිසා මිල පහත වැටීම සීමා වෙනවා. පොල් තෙල් හා ආදේශක වැනි දේ ආනයනයට බාධා නැති වූ තරමට මේ ස්වයංක්‍රීය ල නියාමනය වඩා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා. 

මෙය වෙළඳපොළ විසින් ස්වයංක්‍රීය ලෙස මිල නියාමනය කරන එකම විදිහ නෙමෙයි. පොල් බහු වාර්ෂික භෝගයක් බැවින් පොල් වගාකරුවෙකුට සාමාන්‍ය වසරකදී වැය කරන්නට වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රමයේ පිරිවැයයි. ගස් වල පොල් හැදෙන්නේ අඩුවෙන් වුනත් වැඩියෙන් වුනත් කඩන්න යන්නේ එකම මහන්සිය නිසා අවශ්‍ය වන ශ්‍රමයේ වෙනසක් නැහැ. පොල් අඩුවෙන් හැදෙන වසරකදී මිල ප්‍රමාණවත් තරමින් ඉහළ ගියේ නැත්නම් වෙන්නේ පොල් කඩන එකම පාඩු වී සැපයුම අඩු වීමයි. මිල ඉහළ යාම තුළින් කෙටිකාලීනව සැපයුමේද යම් නියාමනයක් සිදු වෙනවා. මිල ඉහළ යාමට ඉඩ නොදුනහොත් මෙය සිදු වන්නේ නැහැ. 

(කියවන්න: "බැල ගෙඩියටත් කෙලවන මිල පාලනය" - 2020 ඔක්තෝබර් 15)

රජය සැලසුම් කර පොල් නිෂ්පාදනය වැඩි කළහොත් මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැද්ද?

කවර හෝ ආකාරයකින් රටේ පොල් නිෂ්පාදනය වැඩි කළහොත් වෙන්නේ ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවයක් ඇති වී පොල් අතිරික්තයක් ඇති වීමයි. එම අතිරික්තය අවශෝෂණය කර ගැනීම සඳහා පොල් කිරි කුඩු සහ ක්‍රීම්, පොල්තෙල් හා දිසිදි පොල් නිෂ්පාදනය ඉහළ යා යුතු වෙනවා. පොල් නිෂ්පාදනය ඉහළ යාම හෝ මෙවැනි අගය එකතු කළ නිෂ්පාදන වැඩි වැඩියෙන් සිදුවීම නරක දෙයක් නෙමෙයි. එහෙත්, එය පොල් මිල වසර කිහිපයකට වරක් විශාල ලෙස වැඩි වීමට පිළියමක් වන්නේ නැහැ.

පොල් මිලෙහි සිදුවන උච්ඡාවචනයන් නිසා අතරමැදියන්ට පොල් අඩු කාල වලදී අඩුවට පොල් මිල දී ගෙන මිල වැඩි වූ පසු වැඩි මිලකට විකිණීමට අවස්ථාව ලැබෙනවා. ඔවුන් එසේ කරන්න පෙළඹෙන්නේ ලාබයක් බලාගෙනයි. මෙවැනි අතරමැදියන් වැඩි වන තරමට පොල් සැපයුම වැඩි කාල වලදී වෙළඳපොළෙන් පොල් ඉවත් වී සැපයුම අඩු කාල වලදී වෙළදපොළට පොල් එනවා. එයින් ඇත්තටම සිදු වන්නේ මිල උච්ඡාවචනයන් අඩු වීමයි. මෙය පාරිභෝගිකයින්ට මෙන්ම නිෂ්පාදකයින්ටද වාසිදායක තත්ත්වයක්. ඒ වගේම, පොල් පොල් ලෙසම දිගු කාලයක් තබාගත නොහැකි නිසා, මේ අතරමැදියන් හරහා අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය වීමක්ද සිදු වෙනවා. සහල් වෙළඳපොළේ අතරමැදියන් හරහා සිදු වෙන්නේද මීට කිට්ටු දෙයක්. 

Thursday, October 15, 2020

බැල ගෙඩියටත් කෙලවන මිල පාලනය


ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙද්දී "ඔය වැඩෙන් වෙන්නේ ගමක පොල් ගෙඩියක් කඩා ගන්නවත් මනුස්සයෙක් නැති වෙන එක" කියලා සමහර අය විරුද්ධ වුනා කියනවනේ. ඔය පොල් කඩන වැඩේ කාලයක් ලංකාවේ විශාල පිරිසක් නිරතව හිටපු වෙන කරන්න දෙයක් නැති අයට කළ හැකි වූ රැකියාවක්. අපි පොඩි කාලේ විභාගයකදී ලකුණු ටිකක් අඩු වුනොත් වැඩිහිටියෝ කියන්නේ "ඔහොම කරලනම් කවද හරි පොල් කඩන්න තමයි වෙන්නේ" කියලා. මම හිතන විදිහට මේ රස්සාව අද සමාන කරන්න පුළුවන් වෙන්නේ ත්‍රිරෝද රථ රස්සාව වගේ එකකටයි.

ඒ දවස් වල පොල් කඩන රස්සාව කරපු අයට අපි සල්ලි දුන්නේ නැහැ. නගින ගහකට ගෙඩිය ගානේ දෙන එකයි කළේ. ඔයාකාරයට පොල් කැඩීමේ කුලිය විදිහට දුන් ගෙඩියට බැල ගෙඩිය කියලයි කිවුවේ. දැන් කල්පනා කරලා බැලුවහම වචනයේ තේරුම බැලයාගේ එහෙම නැත්නම් සේවකයාගේ පංගුව වගේ එකක් බව පේනවා. ඔය වචනය ගූගල් එකේවත් නැත්තේ සමහර විට අපේ පැත්තේ ප්‍රාදේශීය යෙදුමක් නිසාද දන්නේ නැහැ.

මේ "අපේ පැත්ත" තිබුණේ පොල් ත්‍රිකෝණය ඇතුළේ හෝ මුහුදක් අයිනේ නෙමෙයි. ඒ නිසා අපේ පොල් ගස් වල සාර සොබාවට ගෙඩි හැදුනේ නැහැ. එහෙම හැදුනේ ගේ කිට්ටුව තිබුණු වැඩි සාත්තු සප්පායම් ලැබූ ගස් කිහිපයක පමණයි. වත්තේ ගෙදරින් ඈතට වෙන්න තිබුණු, ඔහේ හැදෙනවට හැදුණු සමහර ගස් වල වල්ලක ගෙඩි දෙක තුනකට වඩා තිබුණේ නැහැ. ඔය වගේ ගෙඩි දෙක තුනක් තියෙන ගහක පොල් කඩවලා බැල ගෙඩිය දීලා ගෙඩියක් හෝ දෙකක් ගන්න එකේ තේරුමක් නැති නිසා ඒ වගේ ගස් වල තියෙන ගෙඩි කීපය කඩවන්නේ නැතුව වේලිලා වැටෙන්න අරින එකයි කළේ. 

සමහර හවුල් ඉඩම් වලට අයිතිකාරයෝ විශාල ගණනක් හිටියා. කඩන පොල් අයිතිකාරයින් අතර බෙදෙනවා. ඒ ඇතැම් අයිතිකාරයින්ගේ පංගුවේ තරමට වාරයකට පොල් ගෙඩියකට දෙකකට වඩා ලැබෙන්නේ නැහැ. සමහර ඉඩම් වල පොල් මුර ක්‍රමයක් තිබුණා. ඉඩමේ පළමු පහෙන් පංගුවේ කොටස් අයිතිකාරයින්ට එක අවුරුද්දක පොල් ලැබෙනවා. ඉන් පසු දෙවන පහෙන් පංගුවේ අයිතිකාරයින්ට. සිංහල අවුරුද්දට පස්සේ පොල් මුරේ මාරු වෙනවා. මුරේ ඉවර වුනාට පස්සේ ආයේ මුරයක් ඉන්නේ අවුරුදු පහකට පස්සේ. ඔය එක පහෙන් පංගුවකටත් අයිතිකාරයෝ සෑහෙන ගණනක් හිටියා. ඉතිං පොල් ටික කඩලා බෙදුවට පස්සේ ලොකුම පොල් ගොඩ අයිතිවෙන්නේ පොල් කඩපු මනුස්සයාටයි.

සාමාන්‍යයෙන් ගහක ගෙඩි ටික කඩලා එකතු කළ ගමන්ම පොල් කඩන මනුස්සයා බැල ගෙඩිය පැත්තකට කර ගන්නවා. ඒ නිසා, ලොකු හෝ පොඩි ගෙඩි ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. ගහේ පොල් ලොකුනම් බැල ගෙඩියත් ලොකුයි. ගහේ පොල් පොඩිනම් බැල ගෙඩියත් පොඩියි.

පොල් ගහකට නැග්ගට පස්සේ කඩන ගෙඩි ප්‍රමාණය අනුව මහන්සිය ලොකුවට අඩු වැඩි වෙන්නේ නැහැනේ. ගහේ එක පොල් ගෙඩියක් තිබුණත් ගෙඩි විස්සක් තිහක් තිබුණත් ගහට නගින මහන්සිය එකයි. නමුත්, ගහට නැගලා පොල් කැඩීම නිසා නිර්මාණය වන වටිනාකම කඩන පොල් ගෙඩි ගණන අනුව වෙනස් වෙනවා. 

පොල් වත්තේ අයිතිකාරයාට වැදගත් වන්නේ කැඩෙන පොල් ගෙඩි ගණනයි. පොල් ගෙඩි ගණන ඉහළ යන තරමට සමානුපාතිකව ඔහුට හෝ ඇයට ලැබෙන දෙය ඉහළ යනවා. පොල් කඩන ශ්‍රමිකයාගේ පැත්තෙන් බැලුවොත් වැදගත් වන්නේ නගින පොල් ගස් ගණන මිසක් කඩන පොල් ගෙඩි ගණන නෙමෙයි. 

දැන් මේ අනුව බැළුවහම පොල් කැඩීමේ රස්සාව හා අදාළ ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරයේ පැහැදිලි වෙනස්කමක් දෘශ්‍යමාන වෙනවනේ. පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැහැ. ඒ නිසා ඔහු හදන්නේ ගෙඩි අඩුවෙන් තියෙන ගහකට හරි නැගලා තමන්ගේ ගාස්තුව ගන්නයි. නමුත්, පොල් ගස් අයිතිකාරයාට පොල් කඩන්නාගේ ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ගහේ යම් අවම ගෙඩි ප්‍රමාණයක් තියෙනවානම් පමණයි. ඔය දෙපාර්ශවයේ අවශ්‍යතා සමතුලිත වීම අනුව පොල් කැඩෙන ගස් ගණන තීරණය වෙනවා. 

ඒ කියන්නේ පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැත්තේත් නැහැ. කවුරු හරි පොල් කඩන්න කිවුවොත් ගහේ ගෙඩි ගණන ගැන වද නොවී ඔහු ගහට නගින බව ඇත්ත. නමුත්, ඔහුට ඒ විදිහට පොල් කඩන්න අවස්ථාවක් ලැබෙන එක ගහේ තිබෙන පොල් ගෙඩි ගණන අනුව තීරණය වෙනවා. ඒ නිසා, වක්‍රව ගහේ තියෙන ගෙඩි ගණන ඔහුට වැදගත්. 

පොල් කඩන්නාගේ දවසක ආදායම තීරණය වෙන්නේ ඔහු දවසකට නගින පොල් ගස් ගණන අනුව. ඒ නිසා, තමන්ගේ මහන්සියෙන් ආදායම වැඩි කර ගැනීමේ අවස්ථාවක් ඔහුට තිබෙනවා. හැබැයි මේ ආකාරයට මහන්සි වී තමන්ගේ ආදායම වැඩි කර ගන්න පුළුවන් සීමාවක් තිබෙනවා. මොකද ඔහුට නගින්න ලැබෙන ගස් ගණන තීරණය කරන්නේ පොල් ගස් අයිතිකාරයා. 

පොල් ගස් අයිතිකාරයාගේ තීරණයට බලපාන්නේ ගහක තිබෙන පොල් ගෙඩි ගණන පමණක් නෙමෙයි. පොල් ගෙඩියක මිලත් එයට බලපානවා. පොල් ගොඩක් ගණන්නම් සාපේක්ෂව අඩු පොල් ගෙඩි ප්‍රමාණයක් තිබෙන ගහක වුවත් ගෙඩි කඩවන්න ඔහු මැලි වෙන්නේ නැහැ. ඒ වගේම පොල් මිල අඩුනම් ඔහු කෙනෙක්ව ගහට යවලා පොල් කඩවන්නේ වැඩි පොල් ප්‍රමාණයක් ගහේ තිබුණොත් පමණයි.  ඒ නිසා, පොල් කඩන්නාට නගින්න ලැබෙන පොල් ගස් ප්‍රමාණය පොල් මිල මතත් තීරණය වෙනවා. ඒ අනුව, ඔහුට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් පොල් මිල මත තීරණය වෙනවා.

ලැබෙන බැල ගෙඩි ප්‍රමාණය ඉහළ යාම නිසා, පොල් මිල වැඩි වෙද්දී පොල් කඩන්නාගේ ආදායම වක්‍ර ලෙස ඉහළ යනවා. ඒ වගේම, පොල් ගෙඩියක මිල වඩා වැඩි නිසා අර බැල ගෙඩි විකුණා ලැබිය හැකි ආදායම පොල් මිල ඉහළ යද්දී සෘජුවමත් වැඩි වෙනවා. වාසි දෙකයි.

පොල් කඩන්නාට වැඩියෙන් මහන්සි වෙලා වැඩි පොල් ගස් ගණනක් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම, මොන විදිහකින් හරි වඩා කාර්යක්ෂම ලෙස පොල් ගස් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්නත් පුළුවන්. ඒ නිසා, පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය යම් පමණකට ඔහුගේ අතේ තිබෙන දෙයක්. හැබැයි මුළුමනින්ම නෙමෙයි. ඔහුගේ පාලනයට යටත් නැති, වෙනත් බාහිර සාධක මත ඔහුගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. ඒ අනුව, ඔහුගේ ආදායමත් වෙනස් වෙනවා.

පොල් මිල වෙනස් වෙද්දී පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. පොල් මිල වෙනස් වෙන්නේ රටේ පොල් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම අනුව. එය පොල් කඩන්නාගේ පාලනයට යටත් නැති කරුණක්.

ඉඩෝර කාලෙකදී පොල් හැදෙන්නේ අඩුවෙන්. ඒ නිසා, පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන අවස්ථා ගණනත් අඩු වෙනවා. ගස් වල පොල් නැත්නම් කඩන්නේ මොනවාද? ඒ කියන්නේ ඉඩෝර කාලෙකදී පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙනවා.

ඉඩෝර කාලෙකදී පොල් අඩුවෙන් කැඩෙන කොට පොල් සැපයුම පහළ ගිහින් පොල් මිල ඉහළ යනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි වල වෙළඳපොළ වටිනාකමත් ඉහළ ගිහින් ඔහුගේ ආදායම වැඩි වෙනවා. ඒ වගේම, පොල් ගස් අයිතිකාරයාට පොල් අඩු ගස් වලත් ගෙඩි කඩවන්න ඉහළ පොල් මිල නිසා පෙළඹුමක් ඇති වෙනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් යම් තරමකින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඉඩෝරය නිසා පොල් කඩන්නාට වෙන්න ගිය පාඩුව මගහැරෙනවා.

පොල් සරුවට හැදෙන කාල වලදී පොල් කඩන්නෙකුට වැඩ වැඩියි. ලැබෙන බැල ගෙඩි ගණනත් වැඩියි. නමුත්, පොල් මිල අඩු නිසා පොල් කඩන්නාගේ ආදායම මහා ලොකුවට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් වැඩියෙන් හැදුනා කියලා පොල් කඩන්නෙකුට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ඉක්මවන විශාල ආදායමක් ලබා ගන්න වෙළඳපොළ ඉඩ අරින්නෙත් නැහැ. පොල් හොඳට හැදෙන කාල වලදී වගේම, පොල් අඩුවෙන් හැදෙන කාල වලදීත් පොල් කඩන්නෙකුට ලැබෙන ආදායම විශාල ලෙස උච්ඡාවචනය නොවන පරිදි වෙළඳපොළ යාන්ත්‍රනය විසින් ස්වභාවික ලෙසම නියාමනය කරනවා.

පොල් අස්වැන්න අඩු වැඩි වෙද්දී නිදහස් වෙළඳපොලක ඉල්ලුම හා සැපයුම මත වෙනස් වන පොල් මිල නිසා පොල් කඩන්නාගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයත් අනුරූපී ලෙස වෙනස් වෙලා ඔහුගේ ආදායමත් නිසි සේ සකස් වෙනවා. මේ ස්වභාවික නියාමන යාන්ත්‍රනය නිසා පායනා කාලෙකදී පොල් අඩුවෙන් කැඩුනත්, ඊට සමානුපාතිකව පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුගේ දරුවන්ට පොල් අවාරයේදී හාමතේ ඉන්න වෙන්නේ නැහැ.

පොල් අවාරෙකදී රජය මැදිහත් වෙලා පොල් වලට පාලන මිලක් දැම්මහම මොකද වෙන්නේ? ගස් වල පොල් අඩු නිසා පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන්නේ සීමිත ගස් ප්‍රමාණයක පමණයි. මිල අඩු නිසා පොල් ගස් අයිතිකාරයා වැඩි ගස් ප්‍රමාණයක පොල් කඩවන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුට ලැබෙන්නේ බැල ගෙඩි අඩු ප්‍රමාණයක්. අනෙක් අතට මේ බැල ගෙඩි ටික විකුණන්න වෙන්නේ අඩු මිලකට. පොල් කඩන්නාගේ ආදායම දෙයාකාරයකින්ම අඩු වෙලා. පොල් ගහෙන් වැටිච්ච මිනිහට මිල පාලන ගොනා අනින්නේ ඔය විදිහටයි.

රජය වෙළඳපොළට මැදිහත්වීම නිසා බඩේ පාර වදින්නේ පොල් කඩන රස්සාව කරන අයට විතරක් නෙමෙයි. ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුට රාජ්‍ය මැදිහත්වීම් නිසා බඩේ පාර වදිනවා. ඒ අතරිනුත්, සුවිශේෂී කුසලතා අවශ්‍ය නොවන, පොල් කැඩීම වැනි රැකියා කරන අයට බලපෑම වැඩියි.

Wednesday, September 30, 2020

එලොව පොල් දැකල තියෙනවද?


"මොකද නිකම් එලොව පොල් පෙනිල වගේ?"

කවුරු හරි තේරුමක් නැතිව ඔහේ බලාගත්තු අතේ බලා ඉන්නකොට දකින අය ඔහොම අහනවා. ඔය ප්‍රශ්නය අහන සමහර අය පොඩි කාලේ එලොව පොල් දැකල ඇති. මමනම් දැකල තියෙනවා.

මම පොඩි කාලේ එලොව පොල් දැකල තියෙනවා වගේම වෙන අයට එලොව පොල් පෙන්නලත් තියෙනවා. ඕක අපි පොඩි කාලේ කරපු සෙල්ලමක්. සෙල්ලමක් කිවුවට සෙල්ලමක්මත් නෙමෙයි. ඕක ඇත්තටම බුලි කිරීමක්. 

සාමාන්‍යයෙන් එලොව පොල් පෙන්නන එක අවුරුදු නවයක දහයක වයසේ ළමයි තමන්ට වඩා අවුරුදු දෙක තුනක් බාල ළමයින්ට කරන දෙයක්. අයියා කෙනෙක් මල්ලි කෙනෙක්ට වගේ. 

ඕක පටන් ගන්නේ මෙහෙමයි.

"මල්ලි එලොව පොල් දැකල තියෙනවද?"

"නෑ"

"පෙන්නන්නද?"

"හා" 

"එහෙනම් එන්න"

දැන් මල්ලි ළඟට ආවහම අයියා කරන්නේ මල්ලිගේ පිටිපස්සෙන් ඇවිත් අත් දෙක හැඳි දෙකක් වගේ බොකුටු කරලා මල්ලිගේ කන් වැහෙන විදිහට දෙපැත්තෙන් තියලා තද කරලා මල්ලිව උස්සන එකයි. ඔය විදිහට ඉස්සුවහම මල්ලිට එලොව පොල් පේන්න පටන් ගන්නවා. ආයේ දෙවන පාරකට අයියා කෙනෙකුට ඒ මල්ලිට එලොව පොල් පෙන්නන්න ලැබෙන්නේ නැහැ.

"මල්ලි එලොව පොල් දැකල තියෙනවද?"

"ඔව්. දැකල තියෙනවා!"

කතාව එතැනින් ඉවරයි. අයියලා මල්ලිලාගේ ප්‍රශ්නයක්නේ. දුරදිග යන්නේ නැහැ. හැබැයි මල්ලි බලාගෙන ඉන්නේ අයියා වගේ ලොකු වෙලා එයාටත් එලොව පොල් පෙන්නන්න කවුරු හරි මල්ලි කෙනෙක් හම්බ වෙනකම්. 

එලොව පොල් මොන වගේද? එලොව පොල් වල වට ප්‍රමාණය අඟල් 12-13 අතරද? නැත්නම් අඩුද වැඩිද? එලොව පොල් වල වට මනින්නේ අඟල් වලින් නෙමෙයිද? සෙන්ටි මීටර් වලින්ද? එලොව පොල් ගෙඩියක මිල කියද? 

ඔය ප්‍රශ්න අහන්න වෙන්නේ එලොව පොල් දැකපු කෙනෙක්ගෙන්ම තමයි. 

පෙරේදා මූඩිස් සමාගම විසින් ලංකාවේ ආණ්ඩුවටත් එලොව පොල් පෙන්නලා. මුදල් අමාත්‍යංශයේ නිවේදනය දිහා බැලුවහම පෙනෙන්නේ එම සමාගම විසින් ආණ්ඩුවට ඉතා හොඳින් එලොව පොල් පෙන්වලා බවයි. 

ණය අවදානම් ශ්‍රේණිය C කාණ්ඩයට වැටෙනවා කියා කියන්නේ ඉතාම බරපතල තත්ත්වයක්. මෙතෙක් කල් ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම කරගෙන ආවේ අලුත් ණය ගනිමින් පරණ ණය පියවන එකයි. ඉදිරි කාලයේදී ඒ වැඩේ කලින් තරම් පහසුවෙන් කරන්න ලැබෙන එකක් නැහැ. තව දවස් හතරකින් කල් පිරෙන ඩොලර් බිලියනයක බැඳුම්කරය වෙනුවෙන් මුදල් ගෙවන්න සිදු වෙනු ඇත්තේ තිබෙන සීමිත සංචිත වලිනුයි. ප්‍රශ්නය බරපතල වෙන්න පටන් ගනු ඇත්තේ ඉන් පසුවයි.

ආණ්ඩුවට සල්ලි අච්චු ගහලා දේශීය ණය ගෙවන්න පුළුවන්. නමුත්, රුපියල් මිසක් ඩොලර් අච්චු ගහන්න බැහැ. ඒ වගේම රුපියල් අච්චු ගහන්න පුළුවන් වුනත්, එසේ කිරීමෙන් එහි ප්‍රතිවිපාක වලටත් මුහුණ දෙන්න වෙනවා.

මහින්ද රාජපක්ෂ මුලින්ම ජනාධිපති වීමෙන් පසුව 2004-2005 කාලයේදී ඔය සල්ලි අච්චු ගැහිල්ල ජයටම කළා. වැඩේ කෙළවර වුනේ රටේ උද්ධමනය 30% පන්නලා. සල්ලි අච්චු ගැහීම වෙනුවට විදේශ ණය ගැනීම විකල්පයක් හැටියට තෝරා ගත්තේ ඒ විදිහට වැඩේ පත්තු වුනාට පසුවයි. දැන් වෙලා තියෙන්නේ සල්ලි අච්චු ගැහීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැති වීමයි.

කෝවිඩ් පිටින් දාලා දැනටමත් මහ බැංකුව විශාල සල්ලි ප්‍රමාණයක් අච්චු ගහලයි තියෙන්නේ. මෙහි ප්‍රතිඵලයක් විදිහට රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යමින් තිබෙනවා. උද්ධමනය කියන්නේ එයටයි. පොල් මිල ඉහළ යාමත්, මුළුමනින්ම නොවුනත්, උද්ධමනයේ ප්‍රතිඵලයක්.

උද්ධමනය කියා කියන්නේ කිසියම් රටක භාණ්ඩ හා සේවා වල මිල සමස්තයක් ලෙස ඉහළ යන එකටයි. භාණ්ඩ වල මිල ගණන් ඉහළ යන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් රටක උද්ධමනය ගැන දැන ගන්න පුළුවන්. නමුත්, රටක විකිණෙන හැම භාණ්ඩයකම හා සේවාවකම මිල වෙනස් වල ආකාරය නිරීක්ෂණය කරන්න ප්‍රායෝගිකව අමාරු නිසා ඒ වෙනුවට කරන්නේ තෝරාගත් භාණ්ඩ හා සේවා සීමිත ප්‍රමාණයක මිල ගණන් අඛණ්ඩව නිරීක්ෂණය කරන එකයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය කියා කියන්නේ ඒ ආකාරයට උද්ධමනය මනින්න හදාගත් නිර්ණායක දෙකක්.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් කොළඹ වැසියෙකු සාමාන්‍යයෙන් මිල දී ගන්නා භාණ්ඩ හා සේවාවන් වල මිල නිරූපණය කෙරෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් මුළු රටේම තත්ත්වය පිළිබිඹු වෙනවා. උද්ධමනය හේතුවෙන් රටේ ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ යා හැකි වුවත්, උද්ධමනය මනින ආකාරය අනුව එය පාරිභෝගික මිල දර්ශකයකින් නිරූපණය වෙන්නේ අදාළ භාණ්ඩය එම පාරිභෝගික මිල දර්ශකය හැදීමට යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ කොටසක්නම් පමණයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසට අයිතම 246ක් ඇතුළත්. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි අයිතම 287ක් තිබෙනවා. ඒ නිසා මේ දර්ශක යොදාගෙන මනින උද්ධමනය වෙනස් වෙන්නේ ඔය අයිතමයන්ගෙන් එකක මිල වෙනස් වුනොත් පමණයි. ඒ අයිතම අතරිනුත් ඇතැම් අයිතම වලින් තිබෙන බලපෑම අනෙක් ඒවායේ බලපෑමට වඩා ගොඩක් වැඩියි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි වැඩිම බරක් තිබෙන අයිතමය ගෙවල් කුලී වියදමයි. එය 11.55%ක්. මේ අනුව, වසරක් තුළ ගෙවල් කුලී වියදම් 10%කින් වැඩි වුනොත්, ඒ හේතුව නිසා උද්ධමනය 1.16%කින් ඉහළ යනවා. ගෙවල් කුලී වියදම් වලින් පසුව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වැඩිම බරක් තිබෙන්නේ පොල් වලටයි. එය 3.21%ක්. වසරක් තුළ පොල් මිල 10%කින් ඉහළ ගියොත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුසාරයෙන් මනින උද්ධමනය 0.32%කින් ඉහළ යනවා. වසරක් තුළ පොල් මිල 30%කින් ඉහළ ගියොත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුසාරයෙන් මනින උද්ධමනය 1%කින් පමණ ඉහළ යනවා.  

මේ ආකාරයට පොල් වැනි දෙයක මිල අඛණ්ඩව නිරීක්ෂණය කිරීමේදී මතුවන ගැටළුවක් වන්නේ හැම පොල් ගෙඩියක්ම එක සමාන නොවීමයි. මේ මාසයේ ලොකු පොල් ගෙඩියක මිලත්, ඒ ළඟ මාසයේ පොඩි පොල් ගෙඩියක මිලත් යොදා ගත්තොත් මිල වෙනසින් නිරූපණය වෙන්නේ පොල් ගෙඩියේ ප්‍රමාණයේ වෙනස්වීම මිසක් මිල වෙනස් වීම නෙමෙයි. ඒ නිසා, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලොකු, මධ්‍යම හා කුඩා ලෙස පොල් වර්ග කර කාණ්ඩ තුනක් යටතේ මිල ගණන් එකතු කර ගෙන පසුව ඒ මිල ගණන් යොදා ගෙන පොල් ගෙඩියක සාමාන්‍ය මිල හදා ගන්නවා. මේ වැඩේ කරද්දී වැඩේ හරියට  කෙරෙන්න මිල ගණන් එකතු කරන නිලධාරීන්ට නිශ්චිත නිර්ණායක ලබා දිය යුතුයි. නැත්නම්, එක් එක් පුද්ගලයා තමන්ගේ කැමැත්ත පරිදි ලොකු, මධ්‍යම හා කුඩා ලෙස පොල් වර්ග කරන්න පුළුවන්. එහෙම කරලා හරියන්නේ නැහැනේ.

පහත තිබෙන්නේ පසුගිය අගෝස්තු මාසයේදී එසේ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගත් පොල් මිල ගණන්. 


ලොකු - රුපියල් 83.96

මධ්‍යම - රුපියල් 75.77

කුඩා - රුපියල් 64.20

සාමාන්‍ය අගය - රුපියල් 74.64


වසරකට පෙර 2019 අගෝස්තු මාසයේදී පොල් මිලගණන් මේ විදිහයි.


ලොකු - රුපියල් 54.24

මධ්‍යම - රුපියල් 47.49

කුඩා - රුපියල් 39.17

සාමාන්‍ය අගය - රුපියල් 46.07


මේ අනුව පෙනෙනවා 2019 අගෝස්තු සිට 2020 අගෝස්තු දක්වා වූ වසරක කාලය තුළ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 46.07 සිට රුපියල් 74.64 දක්වා 58.9%කින් ඉහළ ගොස් තිබෙන බව. සැප්තැම්බර් තුන් වන සතිය අවසන් වෙද්දී පොල් මිල ගණන් මෙහෙමයි.


ලොකු - රුපියල් 88.70

මධ්‍යම - රුපියල් 79.80

කුඩා - රුපියල් 70.23

සාමාන්‍ය අගය - රුපියල් 79.57


මෙය පෙර වසරට සාපේක්ෂව 64.0%ක වැඩිවීමක්. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි පොල් වලට 3.21%ක බරක් තිබෙන බව මම කලින් කිවුවනේ. ඒ කියන්නේ පොල් මිල 64.0%කින් වැඩි වුනහම උද්ධමනය 2.05%කින් ඉහළ යනවා. 

දැන් පොල් සඳහා උපරිම මිලක් නියම කළාම වෙන්නේ මොකක්ද?


ලොකු - රුපියල් 70

මධ්‍යම - රුපියල් 65

කුඩා - රුපියල් 60

සාමාන්‍ය අගය - රුපියල් 65


උද්ධමනය එක පාරටම පහළ යනවා වගේම එතැනින් එහාට වැඩි වෙන්නේත් නැහැ. හැබැයි මතක තියා ගන්න පොල් මිල කියන්නේ උද්ධමන දර්ශකය ඇතුළේ රටේ සමස්ත භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නියෝජනය කරන නියෝජිතයෙක් මිසක් උද්ධමනය නෙමෙයි. ඒ නිසා, මේ ආකාරයට උද්ධමන දර්ශකය ටින්කරින් කළා කියලා ඇත්තටම රටේ උද්ධමනය අඩු වෙන්නේ නැහැ. එය වැහෙනවා පමණයි. 

අර ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබිච්ච ආකාරය ගැන කතාවක් තියෙන්නේ. ඇත්තද බොරුද කියලනම් මම දන්නේ නැහැ. ඩොනමෝර් කොමිසම විසින් ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන එක සුදුසුද කියා තීරණය කරන්න කලින් රටේ ගොවියෝ, ධීවරයෝ ඇතුළු විවිධ කණ්ඩායම් හමුවෙන්න ගියා කියනවා. ඔහොම යනවා කිවුවට ලංකාවේ කවුරු හරි නායකයෙක්නේ එක්ක යන්නේ. කට්ටිය කාර් එකේ ගිහින් කුඹුරක් අයිනේ, වැල්ලක් ළඟ වගේ අහඹු තැනක වාහනය නවත්වනවා. ඉන් පසු කොමිසමේ සාමාජිකයෝ බැහැලා ගිහින් ගොවියන්, ධීවරයින් වගේ සාමාන්‍ය පුද්ගලයින්ගෙන් අදහස් විමසනවා.

ඔය විදිහට කොමිසමේ සාමාජිකයින් එක්ක කතා කරපු ලංකාවේ ගොවීන්ට, ධීවරයින්ට එහෙම ලංකාවේ වගේම ලෝකයේ සමාජ දේශපාලනික තත්ත්වයන් ගැන බොහොම හොඳ අවබෝධයක් තිබුණු බවත්, ආපු සුද්දන් එක්ක කිසිදු අපහසුවක් නැතිව හොඳ ඉංග්‍රීසියෙන් කතා කළා කියලත් කියනවා. කොමිසමේ සාමාජිකයෝ පිටත් වුනාට පස්සේ අර ගොවියෝ හා ධීවරයෝ අමුඩ ගලවලා ටයි කෝට් ඇඳගෙන ආපහු කොළඹ ආවලු.

ඔය කතාව බොරුවක් වෙන්න ඇති. හැබැයි ලංකාවේ එතෙක් මෙතෙක් වෙලා තියෙන දේවල් දිහා බැලුවහම කතාවේ ඇත්තක් තියෙන්නත් පුළුවන්. කුඹුරක් අයිනේ අහම්බෙන් හමුවෙන්න ගොවියෝ විදිහට අන්දලා සරසවි ශිෂ්‍යයෝ තිබ්බා කියලා රටේ සාමාන්‍ය ජනතාවගේ උගත්කම වැඩි වෙන්නේ නැතුවා වගේම පොල් මිල කෘතීම ලෙස සීමා කළා කියලා රටේ සැබෑ උද්ධමනය අඩු වෙන්නෙත් නැහැ. සැබෑ උද්ධමනය බලාගන්න තිබෙන අවස්ථාව නැති වෙන එක පමණයි වෙන්නේ.

පොල් මිල පාලනය කරන්න ගත්ත තීරණයෙන් පෙනෙන්නේ ආණ්ඩුව මූඩිස් ආයතනය විසින් පෙන්වන්න කලින්ම එලොව පොල් දැකලා බවයි. ෆේස්බුක් වාක්‍යයකින් ලිපිය අවසන් කරන්නම්.

යාලුවනේ, ඔයාලා එලොව පොල් දැකල තියෙනවද?

(දැකලා නැත්නම් බය වෙන්න එපා. හිච්චි කාලේ එලොව පොල් බලපු මල්ලිලා දැන් ලොකු වෙලා!)

වෙබ් ලිපිනය: