පසුගිය ජන හා නිවාස සංගණනයේ දත්ත මත පදනම්ව සිදු කර තිබෙන ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය 1.3 දක්වා පහත වැටී තිබෙනවා. කිසියම් ජනගහණයක් ස්ථාවරව පැවතීම සඳහා අවශ්‍ය වන අවම සාඵල්‍යතා අනුපාතය 2.1ක් ලෙස සැලකෙන අතර ඉහත අගය එම අගයට වඩා බෙහෙවින්ම අඩු අගයක්.
පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය පහත වැටී තිබෙන්නේ පහත පරිදියි.
1981: 3.3
2012: 2.4
2024: 1.3
සාඵල්‍යතා අනුපාතය පහත වැටීම, ලංකාවට අනන්‍ය නොවූ, ලෝකය පුරාම දැකිය හැකි ප්‍රවණතාවක්. ලෝක බැංකු දත්ත අනුව, ලෝකයේම සාඵල්‍යතා අනුපාතය පහත වැටී ඇත්තේ පහත පරිදියි.
1963: 5.3
1970: 4.8
1981: 3.7
1990: 3.3
2000: 2.7
2010: 2.6
2024: 2.2
ඉහත ලෝක බැංකු දත්ත අනුව, ලෝකයේම සාඵල්‍යතා අනුපාතය තවමත් 2.1 මට්ටමට වඩා යාන්තමින් වැඩි වුවත්, රටවල් වැඩි ගණනක එම අනුපාතය 2.1 මට්ටමට වඩා අඩුයි. ලෝකයේ සාමාන්‍ය අනුපාතය තවමත් 2.2 මට්ටමේ තිබෙන්නේ අප්‍රිකානු කලාපයේ හා අරාබි ලෝකයේ එම අනුපාත තවමත් ඉහළ මට්ටමක පවතින බැවිනුයි.
නැගෙනහිර ආසියාව සහ පැසිෆික් දූපත්: 1.3
උතුරු ඇමරිකාව: 1.6
යුරෝපය සහ මධ්‍යම ආසියාව: 1.6
ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්: 1.8
දකුණු ආසියාව: 2.0
අරාබි ලෝකය: 3.1
අප්‍රිකාව: 4.3
ලෝකයේ භූගෝලීය කලාප අතරින් අඩුම සාඵල්‍යතා අනුපාත වාර්තා වන්නේ නැගෙනහිර ආසියා කලාපය තුළයි. එම කලාපයේ රටවල් ගණනාවක අඩු සාඵල්‍යතා අනුපාත දැකිය හැකියි.
දකුණු කොරියාව: 0.7
හොංකොං: 0.8
සිංගප්පූරුව: 1.0
චීනය: 1.0
ජපානය: 1.1
අඩු සාඵල්‍යතා අනුපාතයක් පැවතීම හේතුවෙන් ජපානයේ ජනගහණය 2010දී එහි උපරිමයට ලඟා වීමෙන් පසුව ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. චීන ජනගහණයද, 2021 වසරේදී එහි උපරිමයට ලඟා වීමෙන් පසුව අඩු වෙමින් තිබෙනවා. 2022දී වාර්තා වූ ලංකාවේ ජනගහණය (22,181,000) බොහෝ විට ලංකාවේ ජනගහණයේ උපරිම අගයයි.
ලංකාවේ විවිධ ජනවර්ග අතරින් අඩුම සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වන්නේ ප්‍රධානම ජනවර්ගය වන සිංහලයින් අතරයි. වැඩිම අනුපාතය ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම් ජනවර්ගය අතරින් වාර්තා වෙනවා. කෙසේ වුවද, එම අනුපාතය පවතින්නේද 2.1 මට්ටමට වඩා අඩු මට්ටමකයි.
සිංහල: 1.2%
ශ්‍රී ලංකා දෙමළ: 1.5%
ඉන්දියානු දෙමළ/ කඳුකර දෙමළ: 1.7%
ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම්: 2.0%
දිස්ත්‍රික්ක අනුව බලද්දී කොළඹ දිස්ත්‍රික්කයේ සාඵල්‍යතා අනුපාතය 1.0%කට සීමා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එම අනුපාතය 1.1%ක්. කළුතර, ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක වල 1.2%ක සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වෙනවා. ජනගහණය වැඩි නිරිතදිග තෙත් කලාපයේ අඩු සාඵල්‍යතා අනුපාතයන් වාර්තා වෙද්දී ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රික්ක වල 1.7%ක සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වෙනවා.
රටේ සාඵල්‍යතා අනුපාතය මේ තරමටම අඩු වීමට බලපා ඇති ප්‍රධාන කාරණයක් වන්නේ දරුවන් බිහි කළ හැකි වයසක සිටින කාන්තාවන් අතර විවාහක කාන්තා ප්‍රතිශතය පහත වැටීමයි. 2012-2024 අතර වයස අවුරුදු 15 ඉක්මවූ කාන්තාවන් අතර විවාහක කාන්තා ප්‍රතිශතය 67.9% සිට 63.6% දක්වා පහත වැටී තිබෙනවා. වයස අවුරුදු 15 ඉක්මවූ විවාහක කාන්තාවන්ගේ සාඵල්‍යතා අනුපාතය 2.7 මට්ටමේ තිබෙනවා.
විවාහක කාන්තාවන්ගේ සාඵල්‍යතා අනුපාතය:
සිංහල: 2.5%
ශ්‍රී ලංකා දෙමළ: 3.0%
ඉන්දියානු දෙමළ/ කඳුකර දෙමළ: 3.3%
ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම්: 3.4%
සාමාන්‍ය අගය: 2.7%
අඩු සාඵල්‍යතා අනුපාතයක් පැවතියද රටක ජනගහණය යම් කාලයක් යන තුරු වර්ධනය විය හැකියි. ඊට හේතුව ජනගහණ වර්ධන ගම්‍යතාවයයි. මෙය පැහැදිලි කර ගැනීම සඳහා කාන්තාවක විසින් දරුවන් බිහිකරන සාමාන්‍ය වයස අවුරුදු 25 ලෙසත්, ආයු අපේක්ෂාව අවුරුදු 75 ලෙසත් සලකමු.
පළමු පරම්පරාව:
උපත: 1950
දරුවන් බිහි කිරීම: 1975
සාඵල්‍යතා අනුපාතය: 4.0
අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 2
මරණය: 2025
ගැහැණු දරුවන් හරහා දෙවන පරම්පරාව:
උපත: 1975
දරුවන් බිහි කිරීම: 2000
සාඵල්‍යතා අනුපාතය: 2.0
එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 1
අපේක්ෂිත මුළු ගැහැණු දරුවන් ගණන: 1*2 = 2
මරණය: 2050
ගැහැණු දරුවන් හරහා තුන්වන පරම්පරාව:
උපත: 2000
දරුවන් බිහි කිරීම: 2025
සාඵල්‍යතා අනුපාතය: 1.0
එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 0.5
අපේක්ෂිත මුළු ගැහැණු දරුවන් ගණන: 0.5*2 = 1
මරණය: 2075
මේ අනුව පෙනෙන පරිදි, 2025 වන විට සාඵල්‍යතා අනුපාතය 1.0 දක්වා අඩු වී තිබුණත්, එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන 0.5ක් පමණක් වුවත්, පළමු පරම්පරාවේ එක් ගැහැණියක මිය යන විට ඒ වෙනුවට එක් ගැහැණු ජනිතයෙකු බිහි වෙනවා. ඒ නිසා, 2000 වන විට සාඵල්‍යතා අනුපාතය 2.0 මට්ටම තෙක් පහත වැටී තිබුණත්, 2025 වන විටද ජනගහණය අඩු වීමක් සිදු වන්නේ නැහැ. එය සිදු වන්නේ 2050දී දෙවන පරම්පරාව මිය යන විටයි. ඒ කියන්නේ සාඵල්‍යතා අනුපාතය අවම මට්ටමට වඩා පහත වැටී වසර 50කට පමණ පසුවයි.
ඉහත හේතුව නිසා, ඉදිරි වසර කිහිපය ඇතුළත ලෝක සාඵල්‍යතා අනුපාතය 2.1 මට්ටමෙන් පහළට වැටීමට නියමිතව ඇතත්, 2084 වසර පමණ වන තුරු ලෝක ජනගහණය වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ජනගහණ වර්ධන ගම්‍යතාවය හේතුවෙන් ලංකාවේ සාඵල්‍යතා අනුපාතය අඩු වුවද රටේ ජනගහණය තවත් කාලයක් යන තුරු වර්ධනය වීමට නියමිතව තිබුණත්, එය එසේ සිදු නොවීමට ප්‍රධානම හේතුව සංක්‍රමණ විශාල ලෙස සිදු වීමයි.