වෙබ් ලිපිනය:

Friday, April 28, 2023

උද්ධමනය විශාල ලෙස පහත බසී!


උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පැවති හා වේගයෙන් ඉහළ යමින් තිබුණු පසුගිය වසරේ මැද කාලයේ සිටම අප විසින් දිගින් දිගටම විශ්වාසනීය ලෙස කියූ පරිදි අප්‍රේල් උද්ධමනය විශාල ලෙස අඩු වී තිබෙනවා. මාර්තු මාසයේදී 50.3%ක් වූ උද්ධමනය අප්‍රේල් වන විට 35.3% දක්වා 15.0%කින්ම අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය 30.6% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 37.6% දක්වාත් අඩු වී තිබෙනවා. 

මේ උද්ධමනය වේගයෙන් අඩු වෙන්නට පටන් ගත්තා පමණයි. මැයි මාසයේදී 25% ආසන්න මට්ටමකටත්, ජූනි මාසයේදී 13% ආසන්න මට්ටමකටත් උද්ධමනය අඩු වීමට නියමිතව ඇති අතර ජූලි මාසය වන විට බොහෝ විට උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙනවා. ප්‍රස්ථාරයේ දැකිය හැකි පරිදි පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මිල මට්ටම ස්ථාවරව පවතින අතර, සැප්තැම්බර්-අප්‍රේල් අතර මාස හතක කාලය තුළ මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 1.6%කින් පමණයි.

ප්‍රධානම අභියෝගය වූ උද්ධමනය පාලනය කිරීමේ අභියෝගය මේ වන විට ජයගෙන අවසන්ව ඇතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ  අභියෝගය තවමත් එලෙසම තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි සාර්ථකත්වය මුළුමනින්ම මෙන් රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් වීම මතයි.

Friday, April 21, 2023

ජැමෙයිකා සම්මුතිය සහ පෙට්‍රෝ ඩොලර්


හැත්තෑව දශකයට පෙර ලෝකයේ ප්‍රචලිතව තිබුණේ රන් සම්මතය මත පදනම් වූ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයයි. එහෙන් මේ වන විට ලෝකයේ බොහෝ රටවල තිබෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක්. 

පාවෙන විණිමය අනුපාත ක්‍රමය ලොව පුරා තහවුරු වන්නේ 1971-1976 කාලය තුළ ලෝක මුදල් ක්‍රමයෙහි සිදුවන වෙනස්කම් එක්කයි. මෙම ක්‍රමයේ ආරම්භය 1944 බ්‍රෙටන් වුඩ් සම්මුතියයි. 1971දී ඇමරිකාව රන් සම්මතයෙන් ඉවත් වීමෙන් පසුව බ්‍රෙටන් වුඩ් සම්මුතිය තව දුරටත් පවත්වා ගත නොහැකි වෙනවා. ඉන් පසුව, 1976 ජැමෙයිකා සම්මුතියෙන් රන් සම්මතය හා ස්ථිර විණිමය අනුපාත ක්‍රමය වෙනුවට පාවෙන විණිමය අනුපාත ක්‍රමය යෝජනා වෙනවා.

ජැමෙයිකා සම්මුතියේ ප්‍රකාශිත ඉලක්කයක් වන්නේම ජාත්‍යන්තර මුදල් ක්‍රමයෙන් තිරසාර ලෙසම රත්තරන් ඉවත් කිරීමයි. ඒ මගින්, එතෙක් ජාතික මුදල් ඒකක සහ රත්තරන් අතර පැවති සම්බන්ධය අහෝසි වෙනවා. රත්තරන් මිල වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන මිලක් බවට පත් වෙනවා. රත්තරන් තවත් පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වෙනවා. සියවස් ගණනක් පුරා රත්තරන් වලට මුදල් ලෙස තිබුණු පිළිගැනීම සැලසුම් සහගත ලෙස නැති කර දමනු ලබනවා. 

ජැමෙයිකා සම්මුතියේ එකඟතා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අරමුදල සතු වූ රත්තරන් විශාල තොගයක් විකුණා දමනවා. සම්මුතිය අනුව, ලෝකයේ ප්‍රධාන මහ බැංකු වලටද රත්තරන් තොග විකිණීමට සහ නැවත මිල දී නොගැනීමට යෝජනා කෙරෙනවා. ඒ වන විටද ලෝකයේ බොහෝ රටවල නොනිල ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණු පාවෙන විණිමය අනුපාත ක්‍රමය විධිමත් හා නීත්‍යානුකූල ක්‍රමයක් බවට පත් කෙරෙනවා. 

දශකයකට ආසන්න කාලයක් ලංකාවේ නොනිල ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණු පාවෙන විණිමය අනුපාත ක්‍රමය 1977දී නිල ක්‍රමය බවට පත් වෙන්නේ මේ පසුබිම තුළයි. එහෙම නැතුව 1977දී සිදු වුනු ආණ්ඩු මාරුව නිසාම නෙමෙයි. 

ලංකාව දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයකින් පීඩා විඳි 1967 වසරේ සිටම ලංකාවේ තිබුණේ ද්විත්ව විණිමය අනුපාත ක්‍රමයක්. තේ, රබර්, පොල් අපනයනය කළ අය රජය විසින් නියම කළ අඩු මිලකට තමන් ඉපැයූ විදේශ විණිමය අනිවාර්යයෙන්ම රජයට විකිණිය යුතු වුනා. අනෙක් අපනයනකරුවන්ට පමණක් 65%ක් පමණ වැඩි වෙළඳපොළ මිලට තමන්ගේ විදේශ විණිමය විකිණිය හැකි වුනා. 

රජය විසින් තෝරාගත් ආනයනකරුවන්ට පමණක් නිල විණිමය අනුපාතයට විදේශ විණිමය මිල දී ගත හැකි වුවත්, අනෙකුත් අයට රජය විසින්ම විදේශ විණිමය විකිණුවේ විශාල ලාබයක් තියාගෙන 65%ක පමණ වැඩි මිලකටයි. සැබෑ විණිමය අනුපාතය ලෙස සැලකිය හැකි වූයේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වූ මිලට ආසන්න වූ එම මිල වුවත්, නිල විණිමය අනුපාතය ලෙස සටහන් වුනේ කෘතිම මිලක්. 1977දී මෙම ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අහෝසි කර එකම විණිමය අනුපාතයක් හඳුන්වා දෙනු ලැබුවා. එමෙන්ම, විණිමය අනුපාතය පා නොකළත්, දිනපතා විචලනය වීමට ඉඩ සලස්වනු ලැබුවා. 

ලංකාව නිල වශයෙන් විණිමය අනුපාතය පා කළේ 2001දී. කෙසේ වුවත්, ඒ පා කිරීමත් නමට පමණක් කළ පා කිරීමක්. 

ජැමෙයිකා සම්මුතියෙන් පසුව ලෝකයේ බොහෝ රටවල් ස්ථිර විණිමය අනුපාත ක්‍රමය අත හැරියත් හැම රටක්ම එසේ කළේ නැහැ. මෙහිදී මැදපෙරදිග කලාපය කැපී පෙනෙනවා. මැදපෙරදිග රටවල් බොහොමයක් විසින්ම තමන්ගේ මුදල් ඒකක රත්තරන් හා ගැට ගසා තබනු වෙනුවට ඇමරිකන් ඩොලරය සමඟ ගැසුවා. මේ සම්බන්ධය බොහොමයක් මැදපෙරදිග රටවල් විසින් මේ දක්වාම පවත්වා ගෙන යනවා.

සවුදි අරාබිය- 1975 වසරේ සිට සවුදි රියාලය නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා ඇතත්, ප්‍රායෝගිකව රියාලය ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබ තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් සවුදි රියාල් 3.75කට සමානයි.  (SDR මුදල් ඒකකයක වටිනාකම තීරණය වන්නේ ඇමරිකන් ඩොලර්, යුරෝ, යෙන්, බ්‍රිතාන්‍ය පවුම් සහ යුවාන් වල වටිනාකම මතයි.) 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 1978 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයද නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා ඇතත්, ප්‍රායෝගිකව ඩිරාමයද ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබ තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් ඩිරාම් 3.6725කට සමානයි.

කුවේටය - කුවේට් ඩිනාරය 1975 සිට ඇමරිකන් ඩොලරය ඇතුළු ජාත්‍යන්තර මුදල් ඒකක කිහිපයක් අඩංගු දර්ශකයකට ගැට ගසා තිබෙනවා. 2002-2007 කාලය තුළ කුවේට් ඩිනාරය සෘජුවම ඇමරිකන් ඩොලරය හා ගැට ගසා තිබුණා.

ඕමානය - 1973 වසරේ සිට ඕමාන් රියාලය ඇමරිකන් ඩොලරයට ගැට ගසා තිබෙනවා. 1986 සිට ඕමාන් රියාලයක වටිනාකම ඇමරිකන් ඩොලර් 2.6008 ලෙස නොවෙනස්ව තිබෙනවා.

බහරේන් - බහරේන් ඩිනාරයද 1980 සිට නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයටත්, ප්‍රායෝගිකව ඇමරිකන් ඩොලරයටත් ගැට ගසා තිබෙනවා. ඇමරිකන් ඩොලරයක් බහරේන් ඩිනාර් 0.376ක් වෙනවා.

කටාර් - කටාර් රියාලය 1975 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ SDR මුදල් ඒකකයට ගැට ගසා තිබී, 2001දී නීතියක් මගින්ම ඇමරිකන් ඩොලරයට ගැට ගසනු ලැබුවා. කටාර් රියාලයක් ඇමරිකන් ඩොලර් 3.64ක්.

ගල්ෆ් සහයෝගීතා කවුන්සලයට අයත් ඉහත රටවල් සියල්ල එකතු වී 2010 වසර වන විට පොදු මුදල් ඒකකයක් භාවිතා කිරීමේ ඉලක්කයක් 2001 වසරේදී  ඇති කරගත් නමුත්, තවමත් මෙම රටවලට ඒ සඳහා එකඟතාවයකට පැමිණීමට හැකි වී නැහැ. බහරේන්, කුවේට්, කටාර් හා සවුදි අරාබිය යන රටවල් තවමත් මෙම ඉලක්කය තුළ ක්‍රියාකාරීව සිටිනවා. ගල්ෆ් සහයෝගීතා කවුන්සලයට අයත් රටවල් හයෙන් එකක්වත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නෙමෙයි.

ඇමරිකන් ඩොලරය හා ගැට ගසා ඇති මුදල් ඒකකයක වටිනාකම තීරණය වන්නේ ඇමරිකන් ඩොලරයක වටිනාකම මතයි. ඒ නිසාම, එවැනි මුදල් ඒකකයක් ඇති රටක උද්ධමනය වන්නේද ආසන්න වශයෙන් ඇමරිකාවේ පවතින උද්ධමනයයි. 

මැදපෙරදිග රටවල් ගණනාවක් විසින්ම තමන්ගේ ජාතික මුදල් ඒකකය ඇමරිකන් ඩොලරය හා ගැට ගසා තිබීම අහම්බයක් නෙමෙයි. මේ රටවල් වල ප්‍රධාන ආදායම් මාර්ගය ඉන්ධන අපනයනයයි. කාලයක් තිස්සේම ඉන්ධන මිල දී ගත් ප්‍රධානම ගැනුම්කරු ඇමරිකාවයි. අනෙක් අතට ඉන්ධන අපනයනය කර ලැබෙන මුදල් ආයෝජනය කළ හැකිව තිබුණු සුරක්ෂිතම මුදල් ඒකකය ඇමරිකන් ඩොලරයයි. 

ඇමරිකාවට ඉන්ධන ආනයනය කර උපයන ඇමරිකන් ඩොලර් පහසුවෙන්ම වෙනත් රටවලදී ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි වූවාක් මෙන්ම ආයෝජනය කිරීමටද හැකි වුනා. තමන්ගේ මුදල් ඒකක ඇමරිකන් ඩොලරය හා ගැට ගැසීමෙන් මැදපෙරදිග රටවලට තමන්ගේ මුදල් වලටද ඇමරිකන් ඩොලරයේ සුරක්ෂිතතාව ආදේශ කර ගත හැකි වුනා. ඒ නිසා මේ රටවල් වෙනත් රටවලට තෙල් අපනයනය කරද්දීද ඇමරිකන් ඩොලර් වලින්ම මිල කර ඇමරිකන් ඩොලර් එකතු කර ගැනීමට පෙළඹුණා. ඉන්ධන මිල ඇමරිකන් ඩොලර් වලින් තීරණය වීම නිසා ඇති වන මිල ස්ථායීතාවය ඇමරිකාවටද වාසියක් වුනා. ඒ නිසා, මේ ක්‍රමය කාලයක් පැවතුණා.

කොහොම වුනත් දැන් මේ සමීකරණය වෙනස් වෙලා. ඇමරිකාව තවදුරටත් ඉන්ධන ආනයනකරුවෙක් නෙමෙයි. දැන් ලෝකයේ ලොකුම ඉන්ධන ආනයනකරු චීනයයි. ඒ නිසාම, ඉන්ධන මිල ස්ථායීව තබා ගැනීමේ උවමනාව වැඩිපුරම තියෙන්නේ චීනයටයි. නැවතත් ඉන්ධන වලින් ස්වයංපෝෂිතව සිටින ඇමරිකාවට තවදුරටත් මැදපෙරදිග තෙල් අවශ්‍ය නැහැ. 

අනෙක් අතට, ඉන්ධන වෙනුවෙන් මුදල් ගෙවීමේදී එසේ ගෙවන මුදල් ඒකකය තීරණය කිරීමට ඇමරිකාවට තිබුණු හැකියාව තවදුරටත් අදාළ නැහැ. කලකට පෙර ඇමරිකාව සතු වූ හෙට්ටු කිරීමේ හැකියාව දැන් චීනය සතුව තිබෙනවා. ඒ නිසා, චීනයට පෙට්‍රෝ ඩොලර් සමඟ තරඟයට පෙට්‍රෝ යුවාන් දැමිය හැකි අවකාශයක් හැදී තිබෙනවා.

Sunday, April 16, 2023

බ්‍රික්ස් මුදල් ඒකකය සහ ඇමරිකන් ඩොලරය


අලුත් අදහසක් නොවුනත්, බ්‍රික්ස් රටවල් පහ එකතු වෙලා ජාත්‍යන්තර මුදල් ඒකකයක් හදන කතාව නැවතත් උඩට ඇවිත් තිබෙනවා. මේ විදිහට අලුත් මුදල් ඒකකයක් හදන්න යන්නේ ඇමරිකන් ඩොලරයට විකල්පයක් ලෙසයි. 

මෙය ඩොලරයට විකල්ප හැදීමට දරා තිබෙන එකම හෝ පළමු උත්සාහය නෙමෙයි. මීට පෙර මේ විදිහට යෝජනා කළ ඇතැම් විකල්ප පසුව සැබෑ විකල්ප බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරින්, සාර්ථකම විකල්පය යුරෝව කියා කියන්න පුළුවන්. බිට්කොයින් වල සිට පසු ගිය වසර කිහිපය තුළ නිර්මාණය කරනු ලැබ ඇති ක්‍රිප්ටෝ මුදල් ඒකක සියල්ලම වගේත් ඩොලරයට විකල්ප ලෙස මතු වී ඇති මුදල් ඒකක ලෙස හඳුන්වන්න පුළුවන්.

ඉහත මුදල් ඒකක වලට අමතරව ඇමරිකාව ඇතුළේම ඩොලරයට විකල්ප ලෙස භාවිතා වන මුදල් ඒකක විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ගැන ඇමරිකාවෙන් පිටත ලොකු සාකච්ඡාවක් සිදු වෙන්නේ නැහැ. මෙවැනි විකල්ප ගණනාවක් තිබුණත් ඇමරිකන් ඩොලරයට තිබෙන ප්‍රමුඛ තත්ත්වය තවමත් එලෙසම තිබෙනවා. 

ඇමරිකන් ඩොලරයට පෙර ලෝකයේ ප්‍රමුඛ මුදල් ඒකකය වුනේ බ්‍රිතාන්‍ය පවුමයි. ආසන්න වශයෙන් දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙන් පසුව ක්‍රමයෙන් බ්‍රිතාන්‍ය පවුම වෙනුවට ඇමරිකන් ඩොලරය ආදේශ වී ඩොලරය මුල් තැනට පැමිණියා. මේ තත්ත්වය තවමත් එලෙසම තිබෙනවා.

ලෝකයේ මහ බැංකු වල විදේශ වත්කම් වලින් 58%ක් පමණ තවමත් ඇමරිකන් ඩොලර්. කලකට පෙර මෙම ප්‍රතිශතය 70% වැනි මට්ටමක තිබුණා. සංචිත මුදල් ඒකකයක් ලෙස ඇමරිකන් ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකක ආදේශ වෙමින් ඇතත්, ඇමරිකන් ඩොලරයට තිබුණු ප්‍රමුඛ ස්ථානය තවමත් එලෙසම තිබෙනවා. 

ජාත්‍යන්තර ගනුදෙනු වලින් අඩකට වඩා තවමත් සිදු වෙන්නේ ඇමරිකන් ඩොලර් වලින්. මේ ගනුදෙනු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිදු වන්නේ ඇමරිකාවෙන් පිටතදී වෙනත් රටවල් දෙකක් අතරයි. බැඳුම්කර ඇතුළු ජාත්‍යන්තර ණය ගනුදෙනු වලින් අඩකට වඩා සිදු වන්නේද ඇමරිකන් ඩොලර් වලින්. විදේශ විණිමය හුවමාරු ගනුදෙනු වලින් 90%ක පමණදීම ගනුදෙනුවේ එක පැත්තක් ඇමරිකන් ඩොලර්.

පහතින් තිබෙන්නේ 2022 වසර අවසන් වන විට ලෝකයේ මහ බැංකු වල විදෙස් සංචිත ලෙස පවත්වා ගත් ප්‍රධාන මුදල් ඒකක වල ප්‍රමාණයි. 

මුළු සංචිත ප්‍රමාණය - ඩොලර් බිලියන 11,089.0 (100.0%)

ඇමරිකන් ඩොලර් - ඩොලර් බිලියන 6,471.3 (58.4%)

යුරෝ - ඩොලර් බිලියන 2,270.4 (20.5%)

ජපාන යෙන් - ඩොලර් බිලියන 610.9 (5.5%)

බ්‍රිතාන්‍ය පවුම් - ඩොලර් බිලියන 548.7 (4.9%)

චීන යුවාන් - ඩොලර් බිලියන 298.4 (2.7%)

කැනේඩියානු ඩොලර් - ඩොලර් බිලියන 263.7 (2.4%)

ඕස්ට්‍රේලියන් ඩොලර් - ඩොලර් බිලියන 217.5 (2.0%)

ස්විස් ෆ්‍රෑන්ක් - ඩොලර් බිලියන 25.3 (0.2%)

වෙනත් - ඩොලර් බිලියන 382.9 (3.5%)

මෙම සංයුතියෙහි දැකිය හැකි විශේෂ කරුණක් වන්නේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය නියෝජනය කරන චීනයේ මුදල් ඒකකයට තිබෙන සාපේක්ෂව අඩු ජාත්‍යන්තර පිළිගැනීමයි. මේ පිළිබඳව චීනයට ඇති කණස්සල්ල තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙමෙයි. බ්‍රික්ස් මුදල් ඒකක යෝජනාව හරහා ප්‍රධාන වශයෙන්ම මතු වන්නේ මෙම කණස්සල්ලයි. 

එක්සත් රාජධානියට වඩා විශාල ආර්ථිකයක් තිබෙන ඉන්දියාවට මෙන්ම, ඕස්ට්‍රේලියාවට වඩා විශාල ආර්ථිකයන් නියෝජනය කරන රුසියාවට හා බ්‍රසීලයටද මෙවැනිම කණස්සලක් නොතිබෙන්නට හේතුවක් නැහැ. බ්‍රික්ස් කණ්ඩායම සමඟ සිටින දකුණු අප්‍රිකාවේ ආර්ථිකයනම් ඉහත රටවල් හතරේ ආර්ථිකයන්ට සාපේක්ෂව එතරම් විශාල නැහැ.

කිසියම් රටක මුදල් ඒකකයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීමෙන් අදාළ රටට වාසි ගණනාවක් ලැබෙනවා. ඒ අතරින් ප්‍රධාන වාසිය ආයෝජන ගලා ඒම හරහා මුදල් ඒකකයට ඇති වන ඉල්ලුම නිසා පොලී අනුපාතික ඉතා අඩු මට්ටමක පවත්වා ගනිමින් ණය ලබා ගන්නට හැකි වීමයි. දෙවන වාසිය විදේශ ණය වුවද තමන්ගේ මුදල් ඒකකයෙන්ම ලබාගත හැකි නිසා විණිමය අනුපාතය වෙනස් වීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු නොවීමයි. 

ඉහත වාසි තිබුණත්, මෙහි අවාසිද තිබෙනවා. ප්‍රධානම අවාසිය තමන්ගේ මුදල් ඒකකය ඕනෑවට වඩා ශක්තිමත් වීම නිසා අපනයන තරඟකාරීත්වය පවත්වාගත නොහැකි වීමෙන් දිගින් දිගටම පවතින වෙළඳ ශේෂ හිඟයක් ඇති වීමයි. කාලයක සිට දිගටම පවතින ඇමරිකාවේ වෙළඳ ශේෂ හිඟය මගින් පෙන්නුම් කරන්නේ මෙම අවාසියයි.

එකම හේතුව නොවුනත්, ඇමරිකන් ඩොලරයට තිබෙන පිළිගැනීම පසුපස ඇති ප්‍රධානම සාධකය ඇමරිකානු ආර්ථිකයයි. ඇමරිකානු ආර්ථිකය බ්‍රිතාන්‍ය ආර්ථිකය අභිබවා ප්‍රමුඛ ලෝක ආර්ථිකය බවට පත් වීමත්, ඇමරිකන් ඩොලරය බ්‍රිතාන්‍ය පවුම අභිබවා ප්‍රමුඛ මුදල් ඒකකය වීමත් සමාන්තරව සිදු වූ සිදුවීම් දෙකක්. 

චීන ආර්ථිකය තවමත් ඇමරිකන් ආර්ථිකයට වඩා කුඩා වුවත්, බ්‍රික්ස් රටවල් පහේ ආර්ථිකයන් සියල්ල එකතු කළ විට ඇමරිකන් ආර්ථිකයට වඩා විශාලයි. ඒ වගේම, චීන ආර්ථිකය පමණක් වුවද යුරෝපීය සංගමයේ රටවල් සියල්ලේම ආර්ථිකයන්ට වඩා විශාලයි. පහත තිබෙන්නේ 2021 තත්ත්වයයි.

චීනය - ඩොලර් බිලියන 17,734යි 

ඉන්දියාව - ඩොලර් බිලියන 3,176යි 

රුසියාව - ඩොලර් බිලියන 1,779යි 

බ්‍රසීලය - ඩොලර් බිලියන 1,609යි 

දකුණු අප්‍රිකාව - ඩොලර් බිලියන 419යි 

බ්‍රික්ස් රටවල් පහ - ඩොලර් බිලියන 24,717යි 

ලෝක ආර්ථිකයේ පංගුව - 25.6%යි 


ඇමරිකන් ආර්ථිකය - ඩොලර් බිලියන 23,315යි 

ලෝක ආර්ථිකයේ පංගුව - 24.2%යි 


යුරෝපීය සංගමයේ ආර්ථිකය - ඩොලර් බිලියන 17,177යි.

ලෝක ආර්ථිකයේ පංගුව - 17.8%යි 


එසේනම් බ්‍රික්ස් රටවල් පහ එකතු වී මුදල් ඒකකයක් හැදුවොත් ඩොලරය කඩා වැටෙයිද? අඩු වශයෙන් යුරෝවෙන් ඩොලරයට ආ තරමේ තරඟයක් ඇති වෙයිද? 

බ්‍රික්ස් රටවල් පහ එකතු වී මුදල් ඒකකයක් හදා ගත්තා කියා මෙවැනි තත්ත්වයක් ඇති වීමේ ඉඩක් නැහැ. ඊට ප්‍රධානම හේතුව මෙවැන්නක් "නොගැලපෙන රෝද" එකතු කර හදන කරත්තයක් වීමයි. මෙය යුරෝව හදද්දී පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

යුරෝව හදද්දී වගේම දැනටත් යුරෝපීය රටවල් අතර වෙළඳාමෙන් විශාල පංගුවක් එම රටවල් අතරම සිදු වූ වෙළඳාමයි. යුරෝපීය රටවල් අතර වෙළඳාම සඳහා ඇමරිකන් ඩොලරය වැනි කොහේවත් තිබෙන මුදල් ඒකකයක් යොදා ගැනීමට විශේෂ හේතුවක් තිබුණේ නැහැ. මේ කතාව බ්‍රික්ස් රටවල් වලටද වලංගු වුවත්, එම රටවල් අතර සිදු වන වෙළඳාමේ පරිමාව ඉතා කුඩා එකක්. පහත තිබෙන්නේ 2021දී එක් එක් බ්‍රික්ස් රට විසින් අනෙකුත් රටවල් හතරට සිදු කළ අපනයන ප්‍රමාණයේ වටිනාකමයි. 

චීනය - ඩොලර් බිලියන 239.8යි 

ඉන්දියාව - ඩොලර් බිලියන 38.6යි 

රුසියාව - ඩොලර් බිලියන 83.4යි 

බ්‍රසීලය - ඩොලර් බිලියන 95.5යි 

දකුණු අප්‍රිකාව - ඩොලර් බිලියන 18.7යි 

බ්‍රික්ස් රටවල් පහ - ඩොලර් බිලියන 476.0යි 

ලෝක වෙළඳාමේ පංගුව - 2.1%යි 

මේ අනුව, බ්‍රික්ස් රටවල් එකතු වී අලුත් මුදල් ඒකකයක් හදාගෙන එම රටවල් අතර සිදුවන ගනුදෙනු 100%ක්ම එම අලුත් මුදල් ඒකකයෙන් කළත්, එම ගනුදෙනු සියල්ල ලෝක වෙළඳාමෙන් 2.1% පමණයි. මීට සාපේක්ෂව ඇමරිකාවේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඩොලර් බිලියන 4,686.1ක් හෙවත් ලෝක වෙළඳාමෙන් 21.0%ක් තරම් විශාලයි. ඒ වගේම, බ්‍රික්ස් රටවල් පහ ඇමරිකාව සමඟ කරන වෙළඳාම පමණක්ම වුවත් බ්‍රික්ස් රටවල් අතර සිදුවන වෙළඳාම මෙන් දෙගුණයක් හෙවත් ලෝක වෙළඳාමෙන් 4.2%ක්. 

බ්‍රික්ස් රටවල් පහේ දළ දේශීය නිෂ්පාදිත එකතුවෙන් 71.7%ක්ම චීනයේ දළ දේශීය නිෂ්පාදිතයයි. එමෙන්ම, මෙම රටවල් අතර වෙළඳාමෙන් 91.0%ක්ම සිදු වන්නේ චීනය සමඟයි. චීනය හැර අනෙක් රටවල් අතර සිදු වන වෙළඳාම මුළු බ්‍රික්ස් වෙළඳාමෙන් 9.0%ක් පමණයි. ඒ නිසා, කිසියම් සූත්‍රයකට අනුව මෙම රටවල් පහේ මුදල් ඒකක සම්බන්ධ කරමින් අලුත් මුදල් ඒකකයක් හැදුවත්, එහි වටිනාකම බොහෝ දුරට තීරණය වන්නේ චීන යුවානයේ වටිනාකම මතයි. අනෙක් මුදල් ඒකක වලට තිබිය හැක්කේ නාමික බලපෑමක් පමණයි. ඒ නිසා, මෙවැනි මුදල් ඒකකයක් හඳුන්වා දීම යනු ප්‍රායෝගිකව චීන යුවානය ජනප්‍රිය කරවීමකට වඩා වැඩි දෙයක් නෙමෙයි.

චීන යුවානය සංචිත මුදල් ඒකකයක් ලෙස ජනප්‍රිය නොවීමට ප්‍රධානම බාධාව වන්නේද චීනයමයි. මෙය අනෙක් බ්‍රික්ස් රට වල මුදල් ඒකක වලටද අදාළ කරුණක්. බ්‍රික්ස් රටවල් කිසිවක ප්‍රාග්ධන ගිණුම් විවෘත නැහැ. එයට සාපේක්ෂව ජනප්‍රිය මුදල් ඒකක හිමි අනෙකුත් රටවල ප්‍රාග්ධන ගිණුම් විවෘතයි. සංවෘත ප්‍රාග්ධන ගිණුමක් ඇති රටක මුදල් ඒකකයක මිලෙන් එහි නියම මිල නිරූපණය වන්නේ නැහැ. ඒ නිසාම, එවැනි මුදලකට සංචිත මුදල් ඒකකයක් ලෙස විශ්වාසය ගොඩ නගා ගැනීමේ හැකියාවක්ද නැහැ.

චීනය කවර හෝ දිනක ප්‍රාග්ධන ගිණුම විවෘත කළහොත් චීනය වෙත බාහිර ප්‍රාග්ධනය ගලා ඇවිත් චීන යුවානය ශක්තිමත් වෙනවා. චීන යුවානය ඩොලරය සමඟ පහසුවෙන් තරඟ කළ හැකි සංචිත මුදල් ඒකකයක් බවට පත් වෙනවා. එහෙත්, ඒ සමඟම චීනයේ අපනයන තරඟකාරීත්වයද නැති වෙනවා. අපනයන මුල් කරගත් චීනයේ ආර්ථික වර්ධනයද මන්දගාමී වෙනවා. 

චීනය හෝ අනෙකුත් කිසිදු බ්‍රික්ස් රටක් මෙම අත්‍යවශ්‍ය පියවර තබන්නට සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසාම, චීන යුවානය හෝ අලුතෙන් හදා ගන්නා බ්‍රික්ස් මුදල් ඒකකයක් සංචිත මුදල් ඒකකයක් ලෙස ජනප්‍රිය වීමේ ලොකු ඉඩක් නැහැ. එසේ ජනප්‍රිය වීමම එක්තරා ආකාරයකින් චීනය විසින් ආර්ථික අර්බුදයකට පාර කපා ගැනීමක්. 

ප්‍රාග්ධන ගිණුම විවෘතව නොතිබීමට අමතරව චීන ව්‍යවසාය මත චීන රජයේ මැදිහත්වීම්ද යුවානය ජනප්‍රිය කරවීමට තිබෙන විශාල බාධාවක්. චීන රජයට අවශ්‍ය විටෙක යුවානයේ වටිනාකම මෙන්ම චීනයේ ඇති යුවාන් වත්කම් වල වටිනාකම්ද විශාල ලෙස වෙනස් වන ආකාරයේ බලපෑමක් කළ හැකියි. මෙම අවදානම හමුවේ යුවානය කෙරෙහි බාහිර විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ.

කෙසේ වුවත්, ඩොලරයේ ලෝක අධිපත්‍යයෙහි ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා. ප්‍රධානම ප්‍රශ්නය ඇමරිකාවේ දේශපාලන අධිකාරිය විසින් ඩොලරය දේශපාලන අවියක් ලෙස භාවිතා කිරීමයි. ඩොලරය ලෝකයේ වඩාත්ම විශ්වාසනීය මුදල් ඒකකය බවට පත් වී තිබෙන්නේ ඇමරිකන් ආර්ථිකයේ ශක්තිය මත පදනම්ව මිස ඇමරිකන් දේශපාලන අධිකාරයේ බලපෑම් නිසා නෙමෙයි. එහෙත්, දේශපාලන අරමුණු මත ඇමරිකන් රජය විසින් වරින් වර විවිධ රටවලට සම්බාධක පමුණුවද්දී සිදුවන්නේ ඩොලරය පිළිබඳව ගොඩ නැගී ඇති මෙම විශ්වාසනීයත්වය බිඳ වැටීමයි. 

ඇමරිකාවේ භාණ්ඩාගාර නිලධාරීන් විසින් ඇමරිකානු රජය විසින් ඩොලරයේ ශක්තිය දේශපාලන අවියක් සේ යොදා ගැනීම පිළිබඳව ඔබාමා, ට්‍රම්ප් මෙන්ම බයිඩන් පරිපාලනයටද අනතුරු අඟවා ඇතත්, වෙනත් රටවල මෙන්ම ඇමරිකාවේද දේශපාලන තීරණ වලදී වැඩි අවධානයක් යොමු වන්නේ කෙටිකාලීන ඉලක්ක වලටයි. බ්‍රික්ස් මුදල් ඒකකයක් හැදීම වැනි යෝජනා එන්නේ මෙවැනි හේතු නිසායි. 

Friday, April 14, 2023

අවුරුදු චක්‍රය


මේ වෙද්දී තවත් සිංහල අලුත් අවුරුද්දක් උදා වෙලා. මෙවර සිංහල අවුරුදු උදාව හෙවත් සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සිදු වුනේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව ලංකාවේ වේලාවෙන් අප්‍රේල් මස 14 දින පස්වරු 2:29ටයි. එම මොහොතේදී ශක වර්ෂයෙන් 1944 වසර ගෙවී 1945 වසර උදා වුනා. 

මේ වන විට, සිංහල අලුත් අවුරුද්ද උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 13 දින හෝ 14 දිනයි. පහතින් ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ එම ව්‍යවහාර දින දසුන අනුව මේෂ සංක්‍රාන්තිය හෙවත් නව අවුරුදු උදාව සිදු වූ මොහොතයි.

2009 අප්‍රේල් 14 පෙරවරු 12:47

2010 අප්‍රේල් 14 පෙරවරු 6:58

2011 අප්‍රේල් 14 පස්වරු 1:01

2012 අප්‍රේල් 13 පස්වරු 7:20

2013 අප්‍රේල් 14 පෙරවරු 1:29

2014 අප්‍රේල් 14 පෙරවරු 7:37

2015 අප්‍රේල් 14 පස්වරු 1:47

2016 අප්‍රේල් 13 පස්වරු 7:48

2017 අප්‍රේල් 14 පෙරවරු 2.04

2018 අප්‍රේල් 14 පෙරවරු 8.13

2019 අප්‍රේල් 14 පස්වරු 2.09

2020 අප්‍රේල් 13 පස්වරු 8.23

2021 අප්‍රේල් 14 පෙරවරු 2.33

2022 අප්‍රේල් 14 පෙරවරු 8.41

2023 අප්‍රේල් 14 පස්වරු 2.59

මේ අනුව පෙනෙන්නේ මේ වන විට අප්‍රේල් 13 දිනක අවුරුදු උදාව සිදුවන්නේ ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව අධික අවුරුදු වලදී පමණක් බවයි. එසේ නැත්නම් එය සිදුවන්නේ අප්‍රේල් 14 දිනකයි. එහෙත්, මෙය හැමවිටම මේ අයුරින්ම සිදුවී නැහැ. ඉදිරියේදී එලෙසම සිදුවන්නේද නැහැ. දශක තුන හතරකට පෙර, මා කුඩා කාලයේදී, අවුරුදු උදාව වැඩි වශයෙන්ම සිදුවුනේ අප්‍රේල් 13 දිනකයි.

සිංහල අවුරුදු දිනය ග්‍රෙගෝරියන් දින දසුන අනුව, වසරින් වසර ඉදිරියට තල්ලු වෙනවා. ඒ, සිංහල අවුරුද්දක් ග්‍රෙගෝරියන් අවුරුද්දකට වඩා මඳක් දිග වැඩි නිසා. පසුගිය වසර වල අවුරුදු උදාවන් අතර ගතවූ කාලය පිරික්සූ විට මෙය පැහැදිලි වෙනවා.

2009/10 : දින 365 පැය 6 විනාඩි 11

2010/11 : දින 365 පැය 6 විනාඩි 03

2011/12 : දින 365 පැය 6 විනාඩි 19

2012/13 : දින 365 පැය 6 විනාඩි 09

2013/14 : දින 365 පැය 6 විනාඩි 08

2014/15 : දින 365 පැය 6 විනාඩි 10

2015/16 : දින 365 පැය 6 විනාඩි 01

2016/17 : දින 365 පැය 6 විනාඩි 16

2017/18 : දින 365 පැය 6 විනාඩි 09

2018/19 : දින 365 පැය 5 විනාඩි 56

2019/20 : දින 365 පැය 6 විනාඩි 14

2020/21 : දින 365 පැය 6 විනාඩි 10

2021/22 : දින 365 පැය 6 විනාඩි 08

2022/23 : දින 365 පැය 6 විනාඩි 18

මේ අනුව, සූර්යයාගේ සාපේක්ෂ චලිතය මත පදනම්ව ගණනය කෙරෙන සිංහල අවුරුද්දක් සාමාන්‍යයක් ලෙස දින 365ක් සහ  පැය 6කට වඩා විනාඩි 9-10ක් පමණ දීර්ඝ බව පෙනෙනවා. 

ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ සාමාන්‍ය වසරක දින ගණන 365ක් වුවත් වසර 4කට වරක් දින 366කින් යුත් අධික අවුරුද්දක් එළැඹෙනවා. ඒ නිසා, සිංහල අවුරුද්දේ දිග හරියටම දින 365ක් සහ පැය 6ක් වීනම්, ග්‍රෙගෝරියන් දින දසුන අනුව වසර හතරක කාලයකට පසුව සිංහල අවුරුදු උදාව සිදු විය යුත්තේ එකම මොහොතකදීයි. එහෙත්, සිංහල අවුරුද්ද දින 365ක් සහ  පැය 6කට වඩා විනාඩි 9-10ක් පමණකින් දීර්ඝ නිසා ග්‍රෙගෝරියන් දින දසුන අනුව මේ මොහොත වසර හතරක චක්‍රයක් තුළ විනාඩි 37කින් පමණ කල් යනවා.

ඉහත හේතුව නිසා සිංහල අවුරුද්ද දවසකින් ඉදිරියට යාමට සියවස් එකහමාරක් පමණ ගත වන නමුත් වෙනත් හේතුවක් නිසා සිංහල අවුරුද්ද මීට වඩා වේගයෙන් ඉදිරියට යනවා. ග්‍රෙගෝරියන් දින දසුන අනුව 1900 වසර වැනි සියවස් වසරක් අධික අවුරුද්දක් වන්නේ සියවස් හතරකට වරක් පමණයි. මේ අනුව, වසර 400ක කාලයක් තුළ සිංහල අවුරුදු උදාව තවත් අමතර දින තුනකින් ඉදිරියට යනවා. සිංහල අවුරුද්ද මේ වන විට අප්රේල් මස 13 හෝ 14 දිනක උදාවන්නේ වසර ගණනක් පුරා මෙසේ ඉදිරියට තල්ලු වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

ක්වේරෝස් පියතුමා විසින් සටහන් කර ඇති පරිදි (පෙරේරා පියතුමාගේ ඉංග්‍රීසි පරිවර්තනය, වෙළුම 1 පිටුව 107) පෘතුගීසි සමයේදී බක් මහ එළැඹී ඇත්තේ මාර්තු මාසයේදීයි. එමෙන්ම, වෙසක් හා පොසොන් උත්සව පැවතී ඇත්තේ පිළිවෙලින් අප්‍රේල් හා මැයි මාස වලදීයි. රොබර්ට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී සිංහල අවුරුදු උදාව සිදු වී තිබෙන්නේ මාර්තු මස 27, 28 හෝ 29 වන දිනකයි. ("Their New year is always either the 27th, or the 28th, or the 29th of March"- An Historical Relation of the Island Ceylon in the East Indies. CHAP IV.) 

රොබර්ට් නොක්ස් විසින් හා ක්වේරෝස් පියතුමා විසින් මේ දින වාර්තා කර ඇත්තේ ජුලියන් කැලැන්ඩරය අනුවයැයි සැලකුවහොත්, නිරයන ජ්‍යෝතිෂය අනුව මේ කාලයේ මේෂ සංක්‍රාන්තිය සිදුවිය යුතුව තිබුණු, ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අප්‍රේල් 8 ආසන්න දිනයක් සමඟ මෙය තරමකට ගැලපෙනවා. එහෙත්, ජේ ඩබ්ලිවු බෙනට් විසින් වාර්තා කර ඇති පරිදි 1841 දී සිංහල අවුරුදු දිනය සමරා ඇත්තේ මාර්තු මස 21 වෙනි දිනයි. ඒ දිනය ගැලපෙන්නේ සායන ජ්‍යෝතිෂය සමඟයි.

සිංහල අවුරුදු උත්සව දිනය මෙන්ම වෙසක් දිනයද ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දින බවට පත් කෙරුණේ 1885 මාර්තු 27 දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟිනුයි. කොටහේනේ දීපදුත්තාරාමයේ පැවති පෙරහැරට අන්‍යාගමිකයින් විසින් පහර දීමෙන් පසු ඇති වූ ආගමික ගැටුම් හමුවේ කිසියම් සංහිඳියාවක් ඇති කිරීමේ අරමුනින් මෙම නිවාඩු දින ලබා දීම සිදු වෙනවා. ශක වර්ෂ 1805 (ක්‍රිස්තු වර්ෂ 1885/86) ඈපා පංචාංග ලිත අනුව එම වසරේ මේෂ සංක්‍රාන්තිය සිදු වී ඇත්තේ අප්‍රේල් මස 11 දිනයි. ඒ අනුව, 1885 අවුරුදු නිවාඩුව අප්‍රේල් මස 11 වන දිනත්, මේ අයුරින්ම වෙසක් නිවාඩුව අප්‍රේල් මස 28 දිනත් ලබාදී තිබෙනවා. බෞද්ධ කොඩිය පළමුව එළි දක්වා ඇත්තේද 1885 අප්‍රේල් 28 එළැඹුණු වෙසක් පුන් පෝ දිනයේදීයි.

නිවර්තන වසර සමඟ ආසන්නව ගලපමින් සාදා ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ අවුරුද්දක් නක්ෂත්‍ර වසරක කාලය සමඟ ගලපමින් සකසා ඇති සිංහල අවුරුද්දකට වඩා මඳක් කෙටි නිසා ඉදිරි වසරකදී සිංහල අවුරුදු උදාව අප්‍රේල් 13 දිනක සිදුවනු ඇත්තේ අධික අවුරුදු වලදී පමණයි. උදාහරණයක් ලෙස ඉදිරි 2024 වසරේදී මෙය සිදු වීමට නියමිතයි. 

එහෙත් මෙයද සිදුවනු ඇත්තේ 2024 වසරද ඇතුළුව තවත් වසර පහකදී පමණයි. බොහෝ විට අවසන් වරට අප්‍රේල් 13 දිනක සිංහල අවුරුද්ද උදාවනු ඇත්තේ 2040 වසරේදීයි. ඉන් පසුව, 2083 වැනි වසරකදී සිංහල අවුරුදු උදාව අප්‍රේල් 15 දක්වා තල්ලු වී, ඉදිරි සියවස ආරම්භ වීමෙන් පසුව, 2103 වැනි වසරකදී සිංහල අවුරුදු උදාව අප්‍රේල් 16 දක්වා තල්ලු වීමට නියමිතයි.

මේ විදිහට සිංහල අවුරුද්ද වසරින් වසර ඉස්සරහට යන්නේ ඇයි?

මෙය තේරුම් ගන්නටනම් අවුරුද්දක් කියන්නේ කුමක්ද කියා තේරුම් ගත යුතුයි. අවුරුද්දක් කියා කියන්නේ අනාගතය පුරෝකථනය කිරීම හා සැලසුම් කර ගැනීම සඳහා මිනිසා විසින් හදාගත් සංකල්පයක්. දවස හා මාසය කියන්නේත් මේ වගේ සංකල්ප දෙකක්.

බොහෝ විට මිනිසා විසින් මුලින්ම හදා ගන්න ඇත්තේ දවස කියන සංකල්පයයි. එය පෘථිවියේ භ්‍රමණය නිසා ඇති වන දිවා රාත්‍රී චක්‍ර වලට සම්බන්ධයි. රෑ වුනාට පස්සේ නැවත එළි වෙනවා කියන එක මිනිස්සුන්ට මුලින්ම නිවැරදිව පුරෝකථනය කරන්න පුළුවන් වූ දෙයක් වෙන්න ඇති.

දවස කියන සංකල්පය හදාගත්තට පස්සේ මාසය කියන සංකල්පයත් හදා ගන්න ඇති. එය හැදෙන්නේ හඳේ චක්‍රයත් එක්ක. අවුරුද්ද කියන සංකල්පය හැදෙන්නේ ඊටත් පස්සේ සෘතු වෙනස්කම් එක්ක සම්බන්ධ වෙලා. මේ සංකල්ප, එකම විදිහටම නොවුනත්, ලෝකය පුරා විවිධ තැන් වල ජීවත් වූ මිනිසුන් විසින් වෙන වෙනම හදාගෙන තිබෙනවා. 

සමහර සංස්කෘති වල දවස පටන් ගන්නේ ඉර උදාවෙන්. තවත් සමහර සංස්කෘති වල ඉර බැසීමේ ඉඳලා. නමුත් පදනම දිවා රාත්‍රී චක්‍රය. ඔය විදිහටම සමහර සංස්කෘති වල පසළොස්වක දවසෙන් මාසය අවසන් වෙනවා. තවත් සමහර සංස්කෘති වල අමාවක දවසෙන් මාසය අවසන් වෙනවා. නමුත් එකම චක්‍රය. 

දවස හා මාසය වගේම අවුරුද්ද කියන සංකල්පය හැදෙන්නෙත් ස්වභාව ධර්මය එක්ක වුනත් අවුරුද්දක් සලකුණු කරන චක්‍රය හරියටම හඳුනා ගන්න එක දවස හෝ මාසය හඳුනා ගන්නා තරම්ම පහසු දෙයක් නෙමෙයි. ඒ නිසා, අවුරුද්ද හරියට හඳුනා ගන්න යම් කාලයක් ගත වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ විවිධ සංස්කෘති වල මෙය එක විදිහටම වෙලා නැහැ. අවුරුද්ද හඳුනා ගන්න උදවුවෙන කාලගුණ චක්‍ර දිවා රාත්‍රී චක්‍ර හෝ හඳේ චක්‍ර තරම් නිශ්චිත නොවීම ඊට හේතුවයි. 

කාලගුණ චක්‍ර හැදෙන්නේ ඉර වටා සිදු වන පොළොවේ චලිතය නිසා. මේ චක්‍රය හරියටම විස්තර කරන්නේ නිවර්තන වර්ෂයෙන්. නමුත් කාලගුණ චක්‍ර මිසක් ඉර වටා සිදු වන පොළොවේ චලිතය සෘජුව නිරීක්ෂණය කරන්න බැහැ. ඒ වැඩේට යොදා ගෙන තිබෙන්නේ නිරීක්ෂණය කළ හැකි තාරකා රටාවන්ගේ චලිතයන්. මේ රටාවන් සමපාත වෙන්නේ නක්ෂත්‍ර වර්ෂය එක්ක. නක්ෂත්‍ර වර්ෂය සහ නිවර්තන වර්ෂය අතර තිබෙන පොඩි වෙනස බොහෝ කාලයක් යන තුරු මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වූ දෙයක්.

ග්‍රෙගෝරියන් දින දසුනට හා ව්‍යවහාර වර්ෂ වලට පාදක වී තිබෙන නිවර්තන වසරක සාමාන්‍ය දිග දින 365ක් පැය 5ක් මිනිත්තු 48ක් හා තත්පර 46ක්. සිංහල අවුරුද්දට පාදක වී තිබෙන නක්ෂත්‍ර වසරක් නිවර්තන වසරකට කාලය දින 365ක් පැය 6ක් මිනිත්තු 9ක් හා තත්පර 10ක්. නිවර්තන වර්ෂයක් නක්ෂත්‍ර වර්ෂයකට වඩා විනාඩි 20කුත් තත්පර 24ක් පමණ දිගින් වැඩියි. මේ වෙනසට හේතුව පෘථිවිය තමා වටා භ්‍රමණය වන අක්ෂයද වසර 26,000කට ආසන්න කාලයකදී සම්පූර්ණ කරන චක්‍රීය චලිතයක යෙදී සිටීමයි. 

උත්තර අර්ධගෝලයේ පිහිටි රටවල වසන්ත සෘතුව ආරම්භ වන වසන්ත විෂුවය වෙනත් වර්ෂ ක්‍රම ගණනාවක මෙන්ම සිංහල අවුරුද්දේද සම්භවයයි. මේ වන විට වසන්ත විෂුවය සිදු වන්නේ මාර්තු 21 හෝ ආසන්න දිනකයි. එනම් සිංහල අවුරුදු දිනට දින 24කට පමණ පෙරයි. මේ වෙනසට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ නිවර්තන වර්ෂය හා නක්ෂත්‍ර වර්ෂය අතර විනාඩි 20ක පමණ කාල වෙනස නොසලකා හැරීමයි. ඊට අමතරව නිවර්තන වර්ෂය මැන ගැනීමේදී ග්‍රෙගෝරියන් දින දසුන හා ඊට පෙර ජුලියන් දින දසුන තුළ සිදුව ඇති මිනුම් වරදත්, සිංහල අවුරුද්ද ගණනය කිරීම සඳහා නක්ෂත්‍ර වසර මැන ගැනීමේදී සිදුව ඇති මිනුම් වරදත් මෙම වෙනස අඩු වැඩි කර තිබෙනවා. 

අපට පසු ගණනය කර සොයා ගත හැකි පරිදි, ක්‍රිස්තු වර්ෂ 543 මාර්තු 19 ආසන්න දිනක මේෂ සංක්‍රාන්තිය මෙන්ම වසන්ත විෂුවයද එකවර සිදු වී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 543 කියා කීවත් මේ වන විට ඩයනීසියස් එක්සීජියස් විසින් මුල් වරට ක්‍රිස්තු වර්ෂ නම් වූ සංකල්පය හඳුන්වාදී වසර 18ක් ගතවී තිබුනා පමණයි. ඒ වන විට ක්‍රිස්තු වර්ෂ දැන් මෙන් ප්‍රචලිත වී තිබුණේ නැහැ. පොළොවේ පෙනෙන වාර්ෂික සෘතු විපර්යාස චක්‍රයේ ඇරඹුම් දිනය සේ සැලකිය හැකි වසන්ත විෂුවය සිදු වන දිනය ආකෘතිගත කිරීම සඳහා අහසේ පෙනෙන සංක්‍රාන්ති චක්‍රයේ මේෂ සංක්‍රාන්ති දිනය ගැලපීම සිදු වෙන්න ඇත්තේ මීට ආසන්න කාලයකයි. 

අද අපි දන්නා පරිදි, නක්ෂත්‍ර වර්ෂයක දිග දින 365ක් පැය 6ක් මිනිත්තු 9ක් හා හා තත්පර 9.76ක් වුවත්, සූර්ය සිද්ධාන්තය ඇතුළු පැරණි ජ්‍යෝතිෂ ග්‍රන්ථ සම්පාදනය කළ විද්වතුන් දැනසිටි නක්ෂත්‍ර වර්ෂයක දිග අද අප දන්නා තරමටම නිරවද්‍ය වූයේ නැහැ. මේ ග්‍රන්ථ අතරින් දැනට ඉතිරිව ඇති පැරණිම ග්‍රන්ථය වන සූර්ය සිද්ධාන්තයට අනුව, නක්ෂත්‍ර වසරක දිග දින 365ක් පැය 6ක් මිනිත්තු 12ක් හා තත්පර 36.56ක්. අනෙක් ග්‍රන්ථ වල සඳහන් කාලයද මේ කාලයට ආසන්නයි. මෑතක් වන තුරුම, සියවස් ගණනාවක් පුරා, මේෂ සංක්‍රාන්තිය සිදුවන අවස්ථාව ගණනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ මේ කාලය මිස දැන් අප දන්නා නිවැරදිම කාලය නෙමෙයි. 

ඒ කාලයේදී භාවිතා වුනු ජුලියන් දින දර්ශනයේ වසරක සාමාන්‍ය දිග දින 365කුත් පැය 6ක් පමණක් නිසා, ජුලියන් දින දර්ශනයට සාපේක්ෂව, එම වසරේ සිට වසරකට මිනිත්තු 12ක් හා තත්පර 36.56 බැගින් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව ඉදිරියට ගොස් තිබෙනවා. 1582දී ග්‍රෙගෝරියන් දින දර්ශනය හඳුන්වාදෙන විට වසර 1039ක් තිස්සේ වසරකට මිනිත්තු 12ක් හා තත්පර 36.56 බැගින් (ජුලියන් දින දර්ශනයට සාපේක්ෂව) දින 9ක් පමණ ඉදිරියට පැමිණි මේෂ සංක්‍රාන්තිය මාර්තු 26 ආසන්න දිනක සිදු වී තිබෙනවා. රොබර්ට් නොක්ස්ගේ හා ක්වේරෝස් පියතුමාගේ වාර්තා වල ඇති සිංහල අවුරුදු දිනය මේ දිනය සමඟ සැසඳීමෙන් පෙනී යන්නේ 1582 වසරින් පසුවද ජුලියන් දින දර්ශනය ලංකාවේ දිගටම භාවිතා කර ඇති බවයි. 

බ්‍රිතාන්‍යය විසින් 1752දී ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතා කිරීම නීත්‍යානුකූලව ආරම්භ කරමින් පණතක් හඳුන්වා දුන් කාලය වෙද්දී ජුලියන් දින දර්ශනය අනුව ලංකාවේ සිංහල අවුරුද්ද ඇරඹී තිබෙන්නේ මාර්තු 27 ආසන්න දිනයකයි. එමෙන්ම, 1751 දක්වා බ්‍රිතාන්‍යයේ (ස්කොට්ලන්තයේ හැර) අවුරුද්ද ඇරඹුණේද ජනවාරියේදී නොව මාර්තු 26 දිනයි. නව පණත හඳුන්වාදීමත් සමඟ බ්‍රිතාන්‍යයේ හා යටත් විජිත වල නීත්‍යානුකූලව වසරේ ආරම්භය ජනවාරි පළමුවනදා වූවා පමණක් නොව දින 11ක් කැලැන්ඩරයෙන් ඉවත් කෙරුණා. 

ලංකාව තුළ ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සිංහල අවුරුද්ද අප්‍රේල් 9 පමණ දක්වා කල් ගොස් තිබෙනවා. එයට අනුරූපව වෙසක් පෝය ඇතුළු අනෙකුත් පෝය දිනද, ව්‍යවහාර දින දර්ශනයට සාපේක්ෂව, කල් ගොස් තිබෙනවා. 

නිවර්තන අවුරුද්ද අනුව සකසා ඇති ග්‍රෙගෝරියන් අවුරුද්ද නිවර්තන අවුරුද්දට වඩා මිනිත්තුවකට ආසන්න කාලයක් (තත්පර 58ක් පමණ) කෙටි වුවත්, ජුලියන් අවුරුද්දකට වඩා මිනිත්තු 10කුත් තත්පර 48ක් දිගින් වැඩි නිසා ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතයට ගැනීමෙන් පසුව සිංහල අවුරුද්ද ජුලියන් අවුරුද්ද පැවති සමයේදී සිදුවූවාට වඩා දෙගුණයක පමණ වේගයෙන්, වසරකට මිනිත්තු 23.4ක් පමණ කාලයකින් ඉදිරියට යනවා. එහෙත් මෙය දිගු කාලයක් තුළ සාමාන්‍ය වශයෙන් සිදු වන්නක් මිස වසරින් වසර එක ලෙස සිදු වන දෙයක් නෙමෙයි. 

මේ වන විට මේෂ සංක්‍රාන්තිය සිදුවන දිනය ගණනය කිරීම සඳහා සූර්ය සිද්ධාන්තයේ සඳහන් වර්ෂයක කාලය වෙනුවට නිවර්තන වර්ෂයක නිවැරදි දිග යොදා ගන්නා බව පෙනෙනවා. ඒ නිසා, ඉහත වෙනස මිනිත්තු 19ක් පමණ දක්වා අඩු වී තිබෙනවා. මේ අනුව, ග්‍රෙගෝරියන් දින දර්ශනය තුළ සාමාන්‍ය වශයෙන් වසර 71කට පමණ වරක් සිංහල අවුරුද්ද හා සිංහල චන්ද්‍රමාස දවසකින් ඉදිරියට තල්ලු වෙනවා.

හැබැයි එයින් අදහස් වන්නේ මෙය වසර 71ක චක්‍රයක් ලෙස සිදුවන බව නෙමෙයි. ඒ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ චක්‍රය විධිමත් නොවන එකක් නිසා. වසර 1200ක කාලයක් සැලකුවොත්, 400, 800, 1200 අවුරුදු වලදී හැර, සියයෙන් බෙදෙන අනෙක් අවුරුදු 9දීත්, ඊට අමතරව ආසන්න වශයෙන් වසර 157කට වරක් ලෙස තවත් 7-8 වරකුත් ලෙස දින 16-17කින් සිංහල අවුරුද්ද ඉදිරියට යනවා. එවිට සාමාන්‍ය වශයෙන් වසර 71කට ආසන්න කාලයක්. 

Thursday, April 13, 2023

සුබ අලුත් අවුරුද්දක්!

හෙට (2023 අප්‍රේල් 14) තවත් සිංහල අලුත් අවුරුද්දක් උදාවෙනවා. මෙවර සිංහල අවුරුදු උදාව හෙවත් සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සිදු වන්නේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 14 දින පස්වරු 2:29ටයි. ඒ මොහොතේදී ශක වර්ෂයෙන් 1944 වසර ගෙවී 1945 වසර උදා වෙනවා. 


මේ සමඟ පළ කර ඇති පළමු ඡායාරූපයෙන් පෙනෙන්නේ මීන රාශිය ලෙස හඳුනාගන්නා තාරකා රටාවයි. හඳුනාගැනීමේ පහසුව සඳහා අදාළ තාරකා ඉරිවලින් යා කර තිබෙනවා. මේ තාරකා රටාව නූලකින් බැඳුණු මාළුන් දෙදෙනෙකු ලෙස මුලින්ම බැබිලෝනියානුවන් විසින් හඳුනා ගනු ලැබූ අතර මීන යන සංස්කෘත නම මෙන්ම ඒ සඳහා බටහිර භාවිතා වන ලතින් නමද (Pisces) මාළුවා/ මාළු යන අරුත සපයනවා (දෙවන රූපය බලන්න).


මේ තාරකා එක් පොකුරක් ලෙස පොළොවට මෙසේ පෙනුණත් ඒවා ඇත්තටම තියෙන්නේ එකිනෙකට ආලෝක වර්ෂ ගණනක් දුරිනුයි. එම තාරකා වලින් දහයකම හඳුනාගත් ග්‍රහලෝක තිබෙනවා. මීන රාශි මණ්ඩලයේ දීප්තිමත්ම තාරකාව වන ඊටා පිසියම් (Eta Piscium) ආලෝක වර්ෂ 294ක් ඈතින් පිහිටා ඇති කහ යෝධයෙක්. ඉර මෙන් 26 ගුණයක් විශාල, 3.5-4 ගුණයක ස්කන්ධයක් ඇති එහි දීප්තිය ඉරේ දීප්තිය මෙන් 316 ගුණයක් [1].

දෙවෙනියට දීප්තිමත්, ඉර මෙන් දහ ගුණයක් විශාල හා 61 ගුණයක් දීප්තිමත් ගැමා පිසියම් තාරකාවද කහ යෝධයෙක් වන අතර ආලෝක වර්ෂ 138ක් දුරින් පිහිටා තිබෙනවා. ආලෝක වර්ෂ 106ක් දුරින් පිහිටා ඇති ඔමේගා පිසියම් ඉර මෙන් 20 ගුණයක් විශාල වන අතර, අයෝටා පිසියම් තරුව ආලෝක වර්ෂ 44.73ක් දුරින් පිහිටා ඇති ඉරට වඩා තරමක් විශාල තරුවක්.

මේ තාරකා පද්ධතියේ ඉතිරි තාරකා ඔමික්රොන් පිසියොන්, ඇල්ෆා පිසියම්, එප්සිලෝන් පිසියම්, ඩෙල්ටා පිසියම්, තීටා පිසියම්, නියු පිසියම්, බීටා පිසියම් (අරාබි බසින් ෆුම් අල්-සම්මක් හෙවත් මාළු කට), කප්පා පිසියම්, ලැම්ඩා පිසියම්, සීටා (zeta) පිසියම්, 19 පිසියම් (TX පිසියම්), 107 පිසියම්, 96G පිසියම්, 54 පිසියම්, 6G පිසියම් හා වැන් මානන්ගේ තරුව ලෙස නම් කර තිබෙනවා. තාරකා රටාවේ ෂඩාශ්‍රය සැදී ඇත්තේ ගැමා, කප්පා, ලැම්ඩා, අයෝටා, තීටා හා 19 පිසියම් තරු හයෙනුයි. ආලෝක වර්ෂ 148ක් ඈතින් පිහිටි සීටා පිසියම් (ζ Psc) යනු ජ්‍යෝතිෂයේදී රේවතී නැකත ලෙස හඳුනාගන්නා තාරකාවයි.


මීන රාශිය ලෙස හඳුනාගන්නා තාරකා රටාවට සාපේක්ෂව, මේෂ රාශියට අදාළ තරු රටාව සාපේක්ෂව ඉතා සරල එකක් (තෙවන ඡායාරූපය). මෙය බැබිලෝනියානුවන් විසින් මුලින්ම ගොවියෙකු ලෙස හඳුනාගත් නමුත් පසුව ගොවියා එළුවෙකු වෙනවා (සිවුවන රූපය). 


මේෂ රාශිය ලෙස හඳුනාගන්නා තාරකා මණ්ඩලයේ හඳුනාගත් ග්‍රහලෝක සහිත තාරකා පහක් තිබෙනවා. මෙහි ප්‍රධාන තාරකා ඇල්ෆා ඒරියටිස්, බීටා ඒරියටිස්, ඩෙල්ටා ඒරියටිස්, ගැමා ඒරියටිස්, සී ඒරියටිස් හා එප්සිලෝන් ඒරියටිස් ලෙස හැඳින්වෙනවා. බීටා හා ගැමා ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ පළමු නැකත වන අස්විද නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකා රටාවයි. 35 ඒරියටිස්, 39 ඒරියටිස් හා සී ඒරියටිස් හෙවත් 41 ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ දෙවන නැකත වන බෙරණ නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකා රටාවයි. 

අරාබි බසින් රාස්-අල්-හමාල් (එළු හිස) ලෙස හැඳින්වෙන ඇල්ෆා ඒරියටිස් තරුව ආලෝක වර්ෂ 66ක් දුරින්ද, බීටා ඒරියටිස් ආලෝක වර්ෂ 59.6ක් දුරින්ද, ගැමා ඒරියටිස් ආලෝක වර්ෂ 160ක් දුරින්ද, ඩෙල්ටා ඒරියටිස් ආලෝක වර්ෂ 168ක් දුරින්ද, සී ඒරියටිස් හෙවත් බෙරණ තරුව ආලෝක වර්ෂ 160ක් දුරින්ද, එප්සිලෝන් ඒරියටිස් ආලෝක වර්ෂ 293ක් දුරින්ද පිහිටා තිබෙනවා.

මීන හා මේෂ රාශි ඇතුළු රාශි දොළහත්, නැකැත් ලෙස සිංහලෙන් හඳුන්වන නක්ෂත්‍ර තාරකා මණ්ඩල විසිහතත් අහසේ ස්ථානගත වී ඇති ආකාරය අනුව නැගෙනහිර ක්ෂිතිජයෙන් චක්‍රීය රටාවකට මතු වෙනවා. හඳ එළිය වැඩි දවසක දැකිය නොහැකි වුවත්, හඳ එළිය අඩු, වලාකුළුද අඩු දවසක අහස නිරීක්ෂණය කළොත් මේ රාශි දොළහ මෙන්ම නැකැත් විසිහතද හඳුනාගැනීමට බැරිකමක් නැහැ. එහෙත්, මෙම රාශි හා නැකැත් සියල්ලම එකවර දැකීමේ හැකියාවක් නැහැ. පියවි ඇසින් දැක හඳුනාගත හැකි රාශි හා නැකැත් දවස හා වෙලාව අනුව තීරණය වෙනවා. 

මේෂ රාශිය මෙන්ම මීන රාශියද අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකියි. සූර්යයාද අපට නිරීක්ෂණය කළ හැකියි. එහෙත්, මේෂ සංක්‍රාන්තිය අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකියි. හෙට (අප්‍රේල් 14) මේෂ සංක්‍රාන්තිය සිදු වන විට ලංකාවට හවස් කාලයයි. ඒ වෙලාවේ ඉර අහසේ පෙනෙන්නට තිබුණත්, ඉර එළිය නිසා මීන රාශිය හෝ මේෂ රාශිය පියවි ඇසින් දැකිය නොහැකියි. ඒ නිසාම මේෂ සංක්‍රාන්තිය සිදුවන ආකාරයද පියවි ඇසින් දැකිය නොහැකියි

මේ වසරේ මේෂ සංක්‍රාන්තිය සිදුවන්නේ දිවා කාලයේ වුවත්, ලබන (2024) වසරේදී මෙය සිදු වීමට නියමිතව ඇත්තේ ලංකාවේ වේලාවෙන් පස්වරු නවයට පමණ නිසාත්, හඳ එළිය අඩුවෙන් ඇති අමාවක පෝය පසු වී දින කිහිපයකට පසු දිනක නිසාත්, වැසි දිනයක් නොවුවහොත් පහසුවෙන්ම අහසේ තාරකා රටා පියවි ඇසින් දැක හඳුනාගත ගත හැකියි. එහෙත්, ඒ වෙලාවේ මීන හා මේෂ රාශි මෙන්ම ඉරද තිබෙන්නේ පොළොවේ අනෙක් පැත්තේ නිසා මේෂ සංක්‍රාන්තිය දෑසින් දකින්නට කෙසේවත් ඉඩක් නැහැ.

මේෂ සංක්‍රාන්තිය යනු පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට "දැකිය හැකි" පරිදි සූර්යයා මීන රාශියේ හා මේෂ රාශියේ සීමා වෙන් කරන බෙදුම් ඉර පසු කිරීමයි. මෙය සිදුවන්නේ රාත්‍රී කාලයකනම්, පොළොවට ආවරණය වන නිසා, කෙසේවත් දැකිය නොහැකියි. දිවා කාලයේ මෙය සිදු වුවද, සූර්යයාගේ ආලෝකය නිසා මීන හා මේෂ රාශි නියෝජනය කරන තාරකා පන්ති පියවි ඇසින් දැකිය නොහැකියි. හරියටම සිදුවන මොහොත කෙසේවත් දැකිය නොහැකි වුවත්, මෙම සංසිද්ධිය ආසන්න ලෙස හෝ පියවි ඇසින් දැකිය හැක්කේ දිවා කාලයක මේෂ සංක්‍රාන්තිය සිදු වී, හරියටම ඊට ආසන්න මොහොතක පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වුවහොත් පමණයි. එයද ඉතාම දුලබ සිදුවීමක්. ඒ නිසා, මේෂ සංක්‍රාන්තිය යනු වියුක්තව සිතා මනසින් දැකිය යුතු දෙයක්. 

වසර දහස් ගණනකට පෙර ජීවත් වූ විද්‍යාර්ථින්ටද මේෂ සංක්‍රාන්තිය කවදාවත් පියවි ඇසින් දැකිය හැකි වූයේ නැහැ. එහෙත්, දිවා කාලයේ ඉරේ ගමනත්, රාත්‍රී කාලයේ තාරකා වල ගමනත් නිරීක්ෂණය කිරීම මගින් පියවි ඇසට නොපෙනෙන අවස්ථා වල අදාළ ග්‍රහවස්තු හා තාරකා වල සාපේක්ෂ චලිතය ආකෘතිගත කිරීම මගින් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව හරියටම නිගමනය කිරීමට ඔවුන්ට හැකි වුනා. සංයුක්ත නිරීක්ෂණ මත පදනම්ව වියුක්ත ආකෘතියක් ගොඩනගා ගෙන වසර දෙදහසකට පමණ පෙර ඔවුන්ට මෙවැනි ගණනය කිරීමක් කළ හැකි වීම අපූරු දෙයක්.

මේෂ සංක්‍රාන්තිය සමරන සියල්ලන්ටම සුබ අළුත් අවුරුද්දක්!

(මෙම ලිපිය 2017 අප්‍රේල් 13 දින පළ කළ ලිපියක් තරමක් සංශෝධනය කර නැවත පළ කිරීමක්.)

Sunday, April 9, 2023

ධන බද්ද හා ධන සම්ප්‍රේෂණ බද්ද


ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී "දේශීය විසඳුම්" හෝ "විකල්ප විසඳුම්" වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා.

බදු කැපිල්ලෙන් රාජ්‍ය ආදායම් විශාල ලෙස පහත වැටුණා. අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගොස් ණය ගැනීමේ අවශ්‍යතාවය විශාල ලෙස ඉහළ ගියා. වැඩියෙන් ණය ගන්න යද්දී පොලී අනුපාතික අනුරූප ලෙස ඉහළ යාමට ඉඩ හැරිය යුතු වුවත්, ඒ වැඩේ සිදු වුනෙත් නැහැ. ඒ නිසා, හිඟය පියවන්න වුනේ මහ බැංකුවෙන් ණය ගැනීමෙන් හෙවත් සල්ලි අච්චු ගැසීමෙන්. 

වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහද්දී රුපියලේ සාපේක්ෂ වටිනාකම අඩු වෙනවා. එවිට එය නිරූපණය වන පරිදි ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ හැරිය යුතුයි. එය නොකළ නිසා ඩොලර් ලාබ වෙලා වේගයෙන් රුපියල් ඩොලර් වුනා. රටේ ඩොලර් සංචිත සිඳී ගොස් ඩොලර් අර්බුදයක් ආවා. ප්‍රශ්නයේ මුල තිබුණේ අවිචාරවත් බදු කැපිල්ල.

බදු කැපිල්ලටද පසුබිමක් තිබුණා. විශාල අයවැය හිඟයක් පවත්වා ගැනීම, පොලී අනුපාතික පහළින් තියා ගැනීම සහ විණිමය අනුපාතය ඕනෑවට වඩා ශක්තිමත්ව තියා ගැනීම 2015ට පෙරද වසර ගණනක් තිස්සේ සිදු වූ නිසා 2015 වන විට ලංකාව ආර්ථික අර්බුදයක් කිට්ටුවටම ඇවිත් තිබුණා. IMF ගිහින් එම ආර්ථික අර්බුදය වලක්වා ගනු ලැබුවා. ඒ සඳහා බදු වැඩි කර අයවැය හිඟය අඩු කරන්න සිදු වුනා. ඩොලරය ඉහළ යන්න දෙන්න වුනා. ආර්ථික වර්ධනය සීමා වෙන්න ඉඩ හරින්න සිදු වුනා. 

ඉහත පිරිමැසුම් ක්‍රියාමාර්ග කිසිවක් ආකර්ශනීය දේවල් වුනේ නැහැ. බදු කැපිල්ල, පොලී අනුපාතික පහළින් තියා ගැනීම, ඩොලරයක මිල පාලනය කිරීම ආදී හැම දෙයක්ම සිදු වුනේ ඔය පසුබිමේ. සම්මත දැනුම ප්‍රතික්ෂේප කරමින් ක්‍රියාත්මක කළ මෙම "ගෘහස්ථ විසඳුම්" වල ප්‍රතිඵල ලොකු මිලක් ගෙවීමෙන් පසුව ශ්‍රී ලාංකිකයින් විසින් තේරුම් ගත්තා.

මේ වෙද්දී බදු ඉහළ දැමීම මගින් වැරැද්ද නිවැරදි කර තිබෙනවා. බදු වැඩිවීම රටට දැනෙන නමුත් උද්ධමනය තරමටම දැනෙනවා කියා මම හිතන්නේ නැහැ. උද්ධමනය දිගටම පැවතියේනම් එහි හානිය අනිවාර්යයෙන්ම වඩා වැඩියි. දැනටමත් බදු ඉහළ දමා අවසන් බැවින් "පීඩා කිරීමේ කාලය" බොහෝ දුරට අවසානයි. පැනවීමට තව දුරටත් ඉතිරිව තිබෙන්නේ ධන බද්ද හා ධන සම්ප්‍රේෂණ බද්ද පමණයි. 

ධන බද්දක් යනු කුමක්ද?

ලංකාව ඇතුළු ලෝකයේ බොහොමයක් රටවල් ආදායම් බදු අය කරනවා. එහෙත් ධන බදු (wealth tax) අය කරන්නේ ලෝකයේ රටවල් අතරින් අතළොස්සක් පමණයි. ඇතැම් විට ධන බදු ප්‍රාග්ධන බදු (capital tax) ලෙසද හැඳින්වෙනවා. ධන බදු තේරුම් ගැනීම සඳහා පහසුම ක්‍රමය ධන බදු හා ආදායම් බදු සංසන්දනය කිරීමයි.

ධන බදු අය කරන්නේ ධනය මතයි. ආදායම් බදු අය කරන්නේ ආදායම මතයි. ධනය හා ආදායම අතර තිබෙන්නේ කවර ආකාරයක සම්බන්ධයක්ද?

ආර්ථික විද්‍යාවේදී (මෙන්ම භෞතික විද්‍යාව වැනි වෙනත් විද්‍යාවන්හි හා ගිණුම්කරණය වැනි තාක්ෂණික විෂයයන් තුළ) හමු වන විචල්‍යයන් සංචිත විචල්‍යයන් (stock variables) සහ ධාරා විචල්‍යයන් (flow variables) ලෙස වර්ග කළ හැකියි. සංචිත විචල්‍යයකින් පෙන්වන්නේ, පොකුණක ඇති ජල ප්‍රමාණය මෙන්, කිසියම් නිශ්චිත මොහොතක පවතින තත්ත්වයයි. මෙයින් වෙනස්ව ධාරා විචල්‍යයකින් පෙන්වන්නේ, දිය ඇල්ලකින් පහතට වැටෙන ජලය මෙන්, නිශ්චිත අවස්ථා දෙකක් අතර සිදුවන දෙයක්. 

ධනය යනු සංචිත විචල්‍යයක්. ආදායම් යනු ධාරා විචල්‍යයක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ පොල් ගස් ගණන ධනයක්. ඒ පොල් ගස් වලින් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් පොල් ගෙඩි ගණන ආදායමක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ කිකිළියන් ගණන ධනයක්. ඒ කිකිළියන්ගෙන් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් බිත්තර ප්‍රමාණය  ආදායමක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ කුඹුරු ඉඩම් ප්‍රමාණය ධනයක්. ඒ කුඹුරු ඉඩම් වලින් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් වී ප්‍රමාණය  ආදායමක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබ සතුව බැංකුවේ තිබුණු මුදල් ප්‍රමාණය ධනයක්. ඒ මුදල් වෙනුවෙන් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලැබුණු පොලිය ආදායමක්.

ධනය වැඩිවන තරමට එම ධනය වෙනුවෙන් ප්‍රතිලාභ සේ ලැබෙන ආදායමද සාමාන්‍යයෙන් ඉහළ යනවා. ආදායම වැඩි වන තරමට ධනය වැඩි වීමේ ඉඩකඩ ඉහළ යන නමුත් එසේ වන්නේ පරිභෝජනය ආදායමට වඩා අඩුනම් පමණයි. පරිභෝජනය ආදායමට වඩා වැඩිනම් සිදු වන්නේ ධනය ක්‍රමයෙන් අඩු වීමයි. 

ධනය මත බදු අය කිරීම සමාජවාදී අදහසක්. එහෙත් සමාජවාදී අදහසක් වන්නට පෙර සිටම පැවති පෞරාණික අදහසක්. මෙහි ප්‍රධාන අරමුණ ආදායම් විෂමතා අඩු කිරීමයි. ආදායම් බදු වලින්ද ආදායම් විෂමතා අඩු කිරීම ඉලක්ක කරන නමුත් බොහෝ විට ධන බදු වල එකම අරමුණ ආදායම් විෂමතා අඩු කිරීමයි. ධන බද්දක් කියන්නේ දක්ෂිණාංශික මතධාරීන් විසින් දැඩි ලෙස විරුද්ධ වන බද්දක්.

ධන බද්දක් අය නොකිරීමට හේතු ගණනාවක් තිබෙනවා. මේ හේතු නිසාම දැන් ලෝකයේ බොහෝ රටවල් ධන බදු අය කරන්නේ නැහැ. මුලින් ධන බදු අය කළ රටවල්ද පසුකාලීනව ධන බදු අහෝසි කර තිබෙනවා. යුරෝපයේ රටවල් ගණනාවක් විසින්ම කලකට පෙර ධන බදු අය කර ඇතත්, පසුව එම ධන බදු අහෝසි කර තිබෙනවා. යුරෝපීය රටවල් අතරින් මේ වන විට ධන බදු අය කරන්නේ නෝර්වේ, ස්පාඤ්ඤය හා ස්විට්සර්ලන්තය පමණයි. 

අසල්වැසි ඉන්දියාව විසින් 1957 සිට ධන බද්දක් අය කළත් 2016 අප්‍රේල් 1 දින සිට එම බද්ද අහෝසි කළා. පකිස්ථානය 1963දී ධන බද්දක් පනවා 2002දී එය අහෝසි කළා. 1958 වසරේ සිට ලංකාවද ධන බද්දක් අය කළා. 1992දී මෙම බද්ද අහෝසි කරනු ලැබුවා. 

පසුගිය දශක දෙක තුනක පමණ කාලය තුළ ලෝකයේ රටවල් ධන බද්ද අහෝසි කරමින් සිටියත් ඉතා මෑතක සිට නැවතත් මෙම බද්ද පිළිබඳව යම් උනන්දුවක් ඇති වී තිබෙනවා. ඇමරිකාවේ බර්නි සැන්ඩර්ස් සහ ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි පක්ෂ හා කණ්ඩායම් විසින් මෑතකදී ධන බදු පැනවීම යෝජනා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.

ධන බද්දක් නොපැනවිය යුත්තේ ඇයි?

ධන බද්දකට විරුද්ධව ගෙන එන ප්‍රධාන තර්ක පහත පරිදි පෙළ ගැස්විය හැකියි.

1. එකම ආදායම මත දෙවරක් බදු ගෙවන්නට සිදු වීම- ධනය කියා කියන්නේ පරිභෝජනය නොකර ඉතිරි කරගත් ආදායම්. ආදායම් බදු ගෙවීමෙන් පසුව ධන බදු ගෙවනවා කියන්නේ එකම ආදායම මත නැවත නැවත බදු ගෙවීමක්. මෙය ආර්ථික ප්‍රශ්නයකට වඩා සදාචාරාත්මක ප්‍රශ්නයක් කියා කිව හැකියි.

2. ඉහත හේතුව නිසා ආයෝජන අධෛර්යමත් වීම - තමන්ගේ ආදායම පරිභෝජනය කර අවසන් කරන කෙනෙකුට ධන බදු ගෙවන්නට සිදු වන්නේ නැහැ. ධන බදු ගෙවන්නට සිදු වන්නේ පරිභෝජනය සීමා කර ආදායම ආයෝජනය කරන අයටයි. මෙය ආර්ථික කරුණක්.

3. ව්‍යවසායකත්වය අධෛර්යමත් වීම - ව්‍යවසායකයෙකුට බොහෝ විට සැලකිය යුතු කාලයක් යන තුරු තමන් සිදු කරන ආයෝජනය හෝ අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. මෙම කාලය තුළ ධන බදු ගෙවන්නට සිදු වීමෙන් ව්‍යවසායකත්වය අධෛර්යමත් වෙනවා.

4. ධනය රටින් බැහැරට ගලා යාම - ධන බදු අය කරන රටවල ඇති ධනය එසේ නොකරන රටවල් වෙත විතැන් කිරීම වාසිදායකයි. මෙහි ප්‍රතිඵලය රට තුළ ඇති ප්‍රාග්ධනය රටින් පිටතට ගලා යාමයි. ඉහත සාධක දෙක මෙන්ම මෙම සාධකයද රටක ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. 

5. ධන බද්ද අය කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා- ලෝකයේ රටවල් ගණනාවක් විසින්ම ධන බද්ද අහෝසි කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ඉහත සඳහන් සදාචාරාත්මක හා ආර්ථිකමය හේතු වලට වඩා මෙම ප්‍රායෝගික හේතුවයි. බොහෝ අවස්ථා වලදී ධන බදු අය කර ගැනීමේ පරිපාලන වියදම් එකතු වන ධන බදු වලට වඩා වැඩි මට්ටමක පැවතී තිබෙනවා. 

ඉහත හේතු නිසා ධන බදු අය කිරීමට පහසුවෙන්ම විරුද්ධ විය හැකි වුවත්, ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා පිළියම් සෙවීමේදී ධන බද්දක් අය කිරීම ගැන සිතා බැලිය යුතු බව මා විසින් පෞද්ගලිකවම යෝජනා කර ඇති දෙයක්. ලංකාවට මේ අවස්ථාවේදී ධන බද්දක් සුදුසු බව මගේ අදහස වූයේ සහ වන්නේ ලංකාවේ දැනට පවතින සුවිශේෂී තත්ත්වයන් තුළයි. මෙම යෝජනාව මේ වන විට ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ යෝජනාවක් බවට පත් වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද පිළිගෙන තිබෙනවා. මෙය අරමුදලේ යෝජනා හැම විටම එකම වට්ටෝරුවක්ය යන පොදු චෝදනාවටටද පිළිතුරක්.

මා එසේ සිතුවේ සහ සිතන්නේ ඇයි?

1. ලංකාවේ බොහෝ දෙනෙකු විසින් පොදු දේපොළ අවභාවිතා කර ඇති බව, සාමාන්‍ය වචන වලින් කිවුවොත් හොරකම්, දූෂණ, කොමිස් ලබා ගැනීම් ආදී ක්‍රම වලින් අයථා ලෙස ධනය උපයා ඇති බව, ප්‍රචලිත හා ජනප්‍රිය අදහසක්. ප්‍රමාණය ඇතැම් අය කියන තරම් නොවිය හැකි වුනත්, මේ කතාව බොරුවක් නෙමෙයි. මෙසේ අයථා ලෙස උපයා ඇති ආදායම් බදු දැලට අසු වී නැහැ. එහෙත් එවැනි ආදායම් වලින් සැලකිය යුතු කොටසක් වත්කම් බවට පත් වී ඇති බැවින් ධන බද්දක් මගින් නොලැබුණු ආදායම් එකතු කර ගත හැකියි. අයථා ලෙස උපයා ඇති ධනය පිළිබඳ ඇස්තමේන්තුවක් හෝ ලබා ගැනීම සඳහා මෙවැනි බද්දක් හොඳ ප්‍රවේශයක්. දේශපාලන පලිගැනීම් මට්ටමට නොගොස්, හොරකම්, දූෂණ, කොමිස් ආදිය හරහා උපයා ඇති ධනය ගැන සොයා බලා නැවත අය කර ගැනීම නීතිමය හා පරිපාලනමය ලෙස ඉතා අපහසු කාර්යයක්. යම් කාලයක් එක දිගට ධන බද්දක් අය කිරීම මගින් මේ කාර්යය වක්‍ර ලෙස වඩා ඵලදායී ආකාරයකින් කළ හැකියි.

2. බදු පැහැර හැරීමද ලංකාවේ කාලයක් තිස්සේ සිදුව ඇති සාමාන්‍ය දෙයක්. හොරකම්, දූෂණ ආදිය නොකර සාධාරණ ලෙස උපයන ආදායමක් වෙනුවෙන් වුවද හෙවිය යුතු බදු නිසි සේ ගෙවා නැත්නම් එහි තිබෙන්නේ කාලයක් තිස්සේ රජයට හා ජනතාවට කර ඇති වංචාවක්. ධන බද්දක් මගින් මෙසේ නොගෙවූ බදු වක්‍ර ලෙස අය කර ගත හැකියි.

3. හොරකම්, දූෂණ ආදිය සිදුකර නැතත්, බදුද හරියට ගෙවා ඇතත්, කාලයක් තිස්සේ රජය විසින් ප්‍රමාණවත් තරම් බදු අය නොකිරීමේ වාසිය ලබමින් ධනය එක්රැස් කරගත් විශාල පිරිසක් ඉන්නවා. ධන බද්දක් මගින් පසුගිය කාලය තුළ ප්‍රමාණවත් තරමින් බදු අය නොකිරීමේ අවාසිය ආපසු හැරවිය හැකියි. 

4. ලංකාවේ පවතින පසුබිම තුළ නිසි ලෙස ක්‍රියාත්මක ධන බද්දක් මගින් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ හැකි බව මගේ අදහසයි. ලංකාවේ ව්‍යවසායකත්ව ආයෝජන සිදුවන්නේ ඉතා අඩුවෙන්. ඒ වෙනුවට බොහෝ දෙනෙකු විසින් කරන්නේ මූර්ත වත්කම් මත ධනය ආයෝජනය කර වටිනාකම ඉහළ යාමේ වාසිය ලබා ගැනීමයි. නිසි ලෙස සැලසුම් කරන ධන බද්දක් මගින් මෙය අධෛර්යමත් කර ව්‍යවසායකත්ව ආයෝජන ප්‍රවර්ධනය කළ හැකියි. 

5. ඉහත අයුරින්ම ඇතැම් පරිභෝජන ස්වරූපයේ ආයෝජන අධෛර්යමත් කළ හැකියි. ඉහත කරුණ හා මෙම කරුණ පසුව වැඩිදුරටත් විස්තර කරන්නම්.

6. ශ්‍රී ලාංකිකයින්ට සිය ප්‍රාග්ධනය රටින් බැහැරට පහසුවෙන් විතැන් කිරීමේ හැකියාවක් නැහැ. දැනට රටින් බැහැර වන බොහෝ දෙනෙකු ශ්‍රමය මත පදනම් වූ ආදායම් ලබන්නන් මිස වත්කම් මගින් ආදායම් උපයන්නන් නෙමෙයි. ඒ නිසා ධන බද්දක් අය කළ පමණින් ධනය රටෙන් විතැන් වීමක් ලොකුවට සිදු වීමේ ඉඩක් නැහැ.

මෙවැනි බද්දක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානම ප්‍රශ්නය ධන බදු අය කර ගැනීමේ වාසියට සාපේක්ෂව ඒ සඳහා යන පරිපාලන වියදම ඉහළ මට්ටමක පැවතීමයි. මෙය ශ්‍රී ලංකා රජය විසින් ජයගත යුතුව ඇති අභියෝගයක්. අරමුදලේ තාක්ෂනික සහයෝගයද ලබමින් අවශ්‍ය මූලික කටයුතු කිරීම සඳහා දෙවසරක කාලයක් ඉතිරිව තිබෙනවා. 

ඉහත සිවුවන හා පස්වන කරුණු වෙත නැවත ආවොත්, එක් උදාහරණයක් ලෙස, ලංකාවේ බොහෝ දෙනෙකු විසින් වාහන මිල දී ගන්නේ පරිභෝජන භාණ්ඩයක් ලෙස සලකමින් නොව වත්කමක් එකතු කර ගැනීමක් ලෙසයි. නිවාස වියදම් ගැනද කිව හැක්කේ මෙයයි. ලංකාවේදී මෙවැනි වත්කම් වල වටිනාකම ඉහළ යාමක් මිස ක්ෂය වීමක් නොවන නිසා වත්කමකින් ආදායමක් නොලැබීමේ අවාසිය නිශේධනය වෙනවා. 

එහෙත්, වාහනයක් ආනයනය කිරීමේදී එකවර විශාල බදු මුදලක් අය කිරීමේ ක්‍රමය වෙනුවට (හෝ එම බද්ද තිබියදීම) වාහනයේ අයිතිය මත මාසිකව සැලකිය යුතු බදු මුදලක් අය කරන්නේනම් වත්කමක් ලෙස සලකමින් වාහනයක් තියා ගැනීම ගැන දෙවරක් සිතන්නට සිදු වෙනවා. 

ඉඩම් හා ගෙවල් ගැන වුවත් තත්ත්වය මෙයයි. එක්කෝ වත්කම් බදු (ධන බදු) වියදම උපයන ආදායමක් මෙම වත්කම් මගින් සොයා ගන්නට සිදු වෙනවා. නැත්නම් එම බදු මුදල පරිභෝජන වියදමක් සේ සලකන්න වෙනවා. ආදායමක් ඉපැයීම සඳහා හෝ සැබෑ පරිභෝජන අවශ්‍යතා පිණිස මෙවැනි වත්කමක් නඩත්තු කරන අයෙකුට මෙය ප්‍රශ්නයක් නොවුනත්, වටිනාකම ඉහළ යාම සලකමින් මෙවැනි වත්කම් නඩත්තු කරන අයට දෙවරක් සිතන්නට ධන බද්ද විසින් බල කරනවා. එවැන්නන් මෙවැනි වත්කම් විකුණා දමද්දී අවසාන වශයෙන් එවැනි වත්කම් නවතින්නේ වඩා ඵලදායී ලෙස මෙම වත්කම් ප්‍රයෝජනයට ගන්නා අය ලඟයි.

වගා නොකර නිකම් තියා ගන්නා වගා කළ හැකි ඉඩමක් ගැන හෝ කුලියට නොදී වසා ඇති ගෙයක් ගැන හිතන්න. මෙවැනි වත්කමකින් ආදායමක් නොලැබුණත් නිකම් තියාගෙන සිටීමේ වියදමක් නැති නිසාත්, වටිනාකම වැඩි වනු මිස අඩු නොවන නිසාත් එසේ කිරීමේ පාඩුවක් නැහැ. එහෙත්, වත්කම් බද්දක් ගෙවන්නට සිදු වූ වහාම තත්ත්වය වෙනස් වෙනවා. අවම වශයෙන් වත්කම් බද්ද හා ගැලපෙන ආදායමක් නොලැබේනම් පාඩුවක් සිදු වන නිසා අදාළ දේපොළ කුලියට හෝ බද්දට දීමට සිදු වෙනවා. එසේ කළ නොහැකිනම් විකුණන්නට සිදු වෙනවා.

ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ගේ ඉතිරි කිරීම් ආදායම් නූපයන වත්කම් වල ආයෝජනය කරනවා. වත්කම් බද්දක් මගින් මෙය අධෛර්යමත් කෙරෙනවා. එහිදී සමාගම් කොටස් වැනි ආයෝජන දිරිමත් වීමක් සිදු වෙනවා. මේ හේතු නිසා හරියට සැලසුම් කරන වත්කම් බද්දක් මගින් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය නැවත පණ ගස්වන්න පුළුවන්. 

ධන සම්ප්‍රේෂණ බද්දක් යනු කුමක්ද?

ධන බද්දකට අමතරව ධන සම්ප්‍රේෂණ හා උරුම බදුද යෝජනා වී තිබෙනවා. විරෝධතා ඇතත්, මෙම බදු ධන බදු තරම්ම විවාදිත නැහැ. 

ධන සම්ප්‍රේෂණ බදු වල ඉලක්කයද ආදායම් විෂමතා අවම කිරීමයි. ආදායම් විෂමතා පැවතීම වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ යමෙකු විසින් උපයන ධනය අදාළ පුද්ගලයාගේ අයිතියක් බවයි. මේ තර්කයම ධනය උපයන්නෙකුගෙන් පැවත එන අයටද අදාළ කර ගත හැකිද? මහන්සි වී වැඩ කර ධනය ඉපැයූ අයෙකුගේ උරුමකරුවෙකු වීම නිසාම යමෙකු ධනවතෙකු වීම සාධාරණද?

ඇතැම් විට යමෙක් ධනය උපයන්නේම තමන්ගේ උරුමකරුවන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් විය හැකියි. එය එසේනම් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය ප්‍රශ්නයක් කියා කියන්න බැහැ. නමුත්, අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය නිසා පුද්ගලයින් ඉපදෙන්නේම සමානයින් ලෙස නෙමෙයි. මෙහි වැරැද්දක් තිබෙනවා. ධන සම්ප්‍රේෂණ බද්දක් මගින් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය සීමා කර ආදායම් විෂමතා අඩු කළ හැකියි. ධන බද්දට ජනතා සහයෝගයක් නැති බොහෝ රටවල පවා ධන සම්ප්‍රේෂණ බදු ක්‍රියාත්මකව තිබෙනවා. ඒ වගේම, ධන සම්ප්‍රේෂණ බද්දක් අය කිරීම ධන බද්දක් අය කරන තරම්ම අපහසු නැහැ. 

ප්‍රායෝගිකව ධන බදු මෙන්ම ධන සම්ප්‍රේෂණ බදුද අය කෙරෙන්නේ ධනවතුන් මතයි. මෙහිදී ධනවතුන් අර්ථදැක්විය යුතු වෙනවා. ධනවතෙකු අර්ථදක්වන සීමාව දේශපාලනික කරුණක්. එසේ අර්ථ දැක්වීමෙන් පසුව, බදු අය කර ගැනීම සඳහා ඔවුන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු එකතු කරන්නට සිදු වෙනවා. මෙය ආදායම් දත්ත එකතු කිරීමට සාපේක්ෂව අසීරු කටයුත්තක්. ඒ සඳහා පෙර සූදානමක් අවශ්‍යයි. අවශ්‍ය පෙර සූදානම සඳහා රජයට දෙවසරක කාලයක් තිබෙනවා.

Saturday, April 8, 2023

ප්‍රාථමික අයවැය තුලනය වන ආකාරය


ගෙවුනු 2022 අවුරුද්දේ රජයේ ආදායම් හා වියදම් ගැන පෙර සටහනක විස්තර කළා. පහත තිබෙන්නේ එම ආදායම් හා වියදම් වල සාරාංශයක්.

ආදායම් සහ ප්‍රදාන එකතුව දදේනි % ලෙස - 8.3%යි.

පොලී ගෙවීම් හැර වියදම් දදේනි % ලෙස - 12.0%යි

පොලී වියදම් දදේනි % ලෙස - 6.5%යි.

ප්‍රාථමික අයවැය හිඟය දදේනි % ලෙස - 3.7%යි.

සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස - 10.2%යි.

යෝජිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව, 2025 වසර වන විට ඉහත තත්ත්වය වෙනස් වී දැනට දදේනියෙන් 3.7%ක හිඟයක්ව පවතින වන ප්‍රාථමික අයවැය ශේෂය දදේනියෙන් 2.3%ක අතිරික්තයක් වීමට නියමිතයි. එය සිදු වන්නේ රාජ්‍ය ආදායම දදේනියෙන් 14.9% දක්වා වැඩි වීමෙනුයි. මෙය සිදු වන්නේ පහත ආකාරයෙනුයි.

බදු ප්‍රතිසංස්කරණ නොමැතිව අපේක්ෂා කළ හැකි වූ ආදායම - 8.1%

මූල්‍ය සේවා මත වැට් බද්ද වැඩි කිරීම - 0.1%

සමාජ සංරක්ෂණ බද්ද - 0.8%

පුද්ගල ආදායම් බදු ආකෘතිය වෙනස් කිරීම - 0.6%

ලාභාංශ මත රඳවා ගැනීමේ බදු වැඩි කිරීම - 0.2%

සමාගම් බදු වැඩි කිරීම - 0.2%

සමාගම් බදු සඳහා බදු සහන ඉවත් කිරීම - 0.3%

වැට් බද්ද 12% දක්වා වැඩි කිරීම - 0.7%

වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම - 0.5%

වැට් බදු සඳහා අවම සීමාව අඩු කිරීම - 0.06%

වැට් බදු සහන ඉවත් කිරීම - 1.4%

ඉන්ධන බදු වැඩි කිරීම - 0.3%

විදුලි සංදේශ බදු වැඩි කිරීම - 0.02%

සූදු ක්‍රීඩා හා ඔට්ටු දැමීම් බදු වැඩි කිරීම - 0.03%

මත්පැන් හා දුම්වැටි බදු වැඩි කිරීම - 0.4%

මත්පැන් හා දුම්වැටි බදු උද්ධමනය හා ගැලපීම - 0.2%

තෑගි හා උරුම බද්ද - 0.2%

ධන බද්ද - 1.0%

මහ බැංකුවේ ලාභාංශ අහිමිවීම - (-0.1%)

ආදායම් එකතුව - 14.9%


පොලී හැර රජයේ වියදම - 12.6%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 2.3%

පොලී වියදම් දදේනි % ලෙස - 7.3%යි.

සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස - 5.0%යි.

ඉහත බදු අතරින් තෑගි හා උරුම බද්ද සහ ධන බද්ද හැර අනෙකුත් බදු සියල්ලම මේ වන විටද පනවා අවසන්. තෑගි හා උරුම බද්ද සහ ධන බද්ද පැනවීමට නියමිතව තිබෙන්නේ 2025 ජනවාරි 1 දින සිටයි. 

Friday, April 7, 2023

සුබසාධන ණය සහ ව්‍යාපෘති ණය


විවෘත ආර්ථිකය කියා කියූ විට ගොඩක් අය එක පාරටම මතක් කර ගන්නේ ජේආර් ජයවර්ධන කියන පුද්ගලයා සහ 1977 වර්ෂයයි. ඒ ආකාරයෙන්ම, සංවෘත ආර්ථිකයක් ගැන කතා කරද්දී සමගි පෙරමුණු ආණ්ඩුව මතක් කර ගන්නවා. සමාජවාදය ගැන කියද්දී ජවිපෙ සම්බන්ධ කර ගන්නවා. දැන් අලුතෙන්ම, IMF වැඩපිළිවෙළ ගැන කතා කරද්දී රනිල්ව සම්බන්ධ කර ගන්නවා. ප්‍රස්තුත ප්‍රතිපත්ති වලට හා පුද්ගලයින්ට කැමති අය වගේම විරුද්ධ අයත් ඔය වැඩේ කරනවා. එය එසේ කරන අයගේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමෙයි. 

මෙසේ බොහෝ දෙනෙකු විසින් ආර්ථික ප්‍රතිපත්ති හා අනන්‍ය ලෙස දකින්නට පුරුදු වී සිටින පුද්ගලයින් හෝ පක්ෂ විසින් එම ප්‍රතිපත්ති වෙනස් කරන අවස්ථා වලදී එසේ දකින අය අමාරුවේ වැටෙනවා. එවැනි අයගේ ගැලවිල්ලට "ලෝක තත්ත්වය අනුව වෙනස් වීම", "ප්‍රායෝගිකවාදය", "මහ පොළොවේ යථාර්තය" වැනි ආවරණද තිබෙනවා. 

විවෘත ආර්ථිකය කියන එක ජේආර් හොයාගත් දෙයක් නෙමෙයි. ලංකාව නිදහස ලබන විට ලංකාවේ කාලයක් තිස්සේ පැවති නිදහස් ආර්ථිකයක් තිබුණා. ආනයන අපනයන කරන්න වගේම ආයෝජන කරන්නත් බාධාවක් තිබුණේ නැහැ. රටට විදේශ විණිමය ප්‍රශ්නයක් තිබුණේත් නැහැ. නිදහසින් පසුව වසර අටක පමණ කාලයක් යන තුරුද මේ තත්ත්වය ලොකුවට වෙනස් වුනේ නැහැ. ආර්ථිකය සංවෘත වෙන්න පටන් ගත්තේ ආසන්න වශයෙන් 1956 වසරේ සිටයි. 

ලංකාව සමාජවාදය පැත්තට බරවීම, ව්‍යාපාර රජයසතු කිරීම ආදිය එක්ක රටට එන ආයෝජන නැවතුණා. තිබුණු ආයෝජනත් රටෙන් එළියට යන්න පටන් ගත්තා. මෙය රටේ ගෙවුම් ශේෂ තුලනය කෙරෙහි නරක ලෙස බලපෑවා.

ජේආර් ජයවර්ධන සහ මුල්කාලීන එජාප ආණ්ඩු ව්‍යාපාර රජයසතු කිරීම ඇතුළු අනෙකුත් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් හෝ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියේ නැතත්, සමාජවාදයට බර වූ ශ්‍රීලනිප සභාග ආණ්ඩු මෙන්ම, විශාල රාජ්‍ය මැදිහත්වීම් විශ්වාස කළා. තුලිත රාජ්‍ය අයවැයක් පිළිබඳව විශ්වාස කළේ නැහැ. නිදහස ලබන්නට ආසන්නව, 1947දී ජේආර් ජයවර්ධන මුදල් ඇමති වූ කාලයේ සිටම, ලංකා රජය විසින් දිගින් දිගටම අය ඉක්මවා වැය කරන්නට පටන් ගත්තා. 

විණිමය අනුපාතය ස්ථිරව තියාගෙන රජය විසින් ආදායම ඉක්මවා වියදම් කරද්දී ගෙවුම් ශේෂ ප්‍රශ්නයකටද මුහුණ දෙන්නට සිදු වෙනවා. නිදහසට පෙර විශාල කාලයක් විණිමය අනුපාතය නොවෙනස්ව තබා ගත හැකි වූයේ එම කාලයේ රාජ්‍ය අයවැය තුලනය කරගත් නිසයි. සිංගප්පූරුව වැනි රටවල මුදල් ඒකකය එන්න එන්නම ශක්තිමත් වෙන්නේ සිංගප්පූරු රජය විසින් දිගින් දිගටම අයවැය අතිරික්තයක් පවත්වා ගන්නා නිසයි. 

වසර පහෙන් පහට ආණ්ඩු මාරු වෙද්දී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියෙහිද විශාල දෝලනය වීම් දැකිය හැකි වුවත්, ඇතැම් දේවල් ආණ්ඩු මාරු වෙද්දී වෙනස් වී නැහැ. ශ්‍රීලනිප ආණ්ඩු මෙන්ම එජාප ආණ්ඩුද විශ්වාස කළේ රජය ණය වී ප්‍රාග්ධන ආයෝජන කිරීමේ වැරැද්දක් නැති බවයි. ඒ, ණය වල තරමට රට තුළ වත්කම් හැදෙන නිසයි. මුල් කාලීන ආණ්ඩු විසින් බොහෝ විට උත්සාහ කර තිබෙන්නේ රාජ්‍ය ආදායම් හා වර්තන වියදම් තුලනය කර ගනිමින් ප්‍රාග්ධන වියදම් සඳහා ණය ලබා ගන්නයි.

ලංකාවේ ලොකුම රාජ්‍ය ආයෝජනය සේ සැලකිය හැකි මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කෙරුණේ සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ. මුලින් සැලසුම් කර තිබුණේ මෙම ව්‍යාපෘතිය වසර 30කින් අවසන් කිරීමටයි. ආණ්ඩුව වෙනස් වූ පසු ජේආර් ජයවර්ධන මේ ව්‍යාපෘතිය අතහැර දැම්මේ නැහැ. ඒ වෙනුවට කළේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ලෙස නම් කර මෙම ව්‍යාපෘතිය වඩා ඉක්මණින් අවසන් කරන එකයි. 

දේශීය වෙළඳපොළ ඉලක්ක කිරීම හා ආනයන ආදේශනය සම්බන්ධව එකම අදහසක නොසිටියත්, කාර්මීකරණයේ වැදගත්කම පිළිබඳවද එජාප හා ශ්‍රීලනිප ආණ්ඩු අතර එකඟතාවයක් තිබුණා. ලංකා ටයර් සංස්ථාව, ලංකා වානේ සංස්ථාව ආදිය හැදුනේ ජේආර් ජයවර්ධන රාජ්‍ය ඇමතිව සිටි ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කාලයේදීයි. හැමවිටම මෙන්, පක්ෂ භේදයක් නොමැතිව, ලංකාවේ මුල්කාලීන ආණ්ඩුවල අදහස වූයේ රජය ණය වී ප්‍රාග්ධන ආයෝජන කිරීමේ වරදක් නැති බවයි. 

රජය ණය වීම සමාජවාදී අදහසක් නෙමෙයි. එහෙත් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම සමාජවාදී අදහසක්. සාමාන්‍ය මූලධර්මයක් ලෙස පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුළ අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීමේ ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. සුබසාධනය කළ යුතු අඩුආදායම්ලාභීන් කියා කොටසක් හඳුනාගත හැකි වන්නේම ධනවාදී ක්‍රමයක් තුළයි. අඩු ආදායම්ලාභීන් සුබසාධනය ධනවාදී ආර්ථික ක්‍රමය තුළ ක්‍රියාත්මක වන සමාජවාදී අදහසක්. මෙය ලෝකයේ හැම රටකම මෙන් යම් තරමකින් හෝ සිදුවන දෙයක්. ඒ වගේම, සමාජවාදී අදහසක් වීමට බොහෝ පෙර සිටම පැවති විශ්වීය අදහසක්. 

රජයකට තිරසාර ලෙස අඩු ආදායම්ලාභීන් සුබසාධනය කළ හැක්කේ ඉහළ ආදායම්ලාභීන්ගේ වියදමෙන් පමණයි. ඒ සඳහා ඉහළ ආදායම්ලාභීන් මත වැඩි බදුබරක් පනවන්නට වෙනවා. සුබසාධනය ජනප්‍රිය දෙයක් වුවත් බදු අය කිරීම ජනප්‍රිය නැහැ. සර්වජන ඡන්ද ක්‍රමයක් තුළ බලයට පත් විය හැක්කේ ජනප්‍රිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කණ්ඩායමකටයි.

ඉහත හේතු නිසා, ලංකාවේ සමාජවාදයට නැඹුරු වූ ආණ්ඩු බදු ගහන්න බය වුනා. වෙළඳපොළ විශ්වාස කළ ආණ්ඩු සුබසාධන වියදම් කපන්න බය වුනා. බදු ගහන්න බය නොවූ සමාජවාදයට නැඹුරු වූ ආණ්ඩු වලට පවා සුබසාධන වියදම් වල බර දරාගත හැකි තරම් බදු අය කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ තරමට බදු ගහන්නනම් ධනවතුන් හා ආදායම් උපයන්නන් ප්‍රමාණවත් තරම් රටේ සිටිය යුතුයි. අවසාන වශයෙන් එජාප ආණ්ඩු වගේම ශ්‍රීලනිප ආණ්ඩු විසින්ද කළේ ණය වෙමින් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීමයි. මා දන්නා තරමින් මුල් කාලයේදී මේ ක්‍රමයට විරුද්ධව හඬක් නගා ඇති කණ්ඩායමක් නැති තරම්. 

රජය ආදායම් ඉක්මවා වියදම් කිරීම නිසා ඇති විය හැකි ප්‍රශ්න පිළිබඳව මහ බැංකුව විසින් එම ආයතනය පිහිටවූ මුල්  වසරේදීම පෙන්වා දී අවවාද කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දිගින් දිගටම පෙන්වා දී තිබෙනවා. වෙනත් විශේෂඥයින් විසින්ද වරින් වර පෙන්වා දී තිබෙනවා. එහෙත් මේ අදහස් වලට කිසිදු ජන පදනමක් තිබී නැහැ. රජය විසින් ණය වෙමින් සුබසාධනය කිරීම ශ්‍රී ලාංකිකයාට අවශ්‍ය වූ දෙයයි. එය වඩා හොඳින් කරන කණ්ඩායමට හැම විටම ලංකාවේ ආණ්ඩු බලය ලැබුණා. 

හැත්තෑ හතෙන් පසුව රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමක් වහාම සිදුවුණේ නැහැ. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගණනාවක බර තවදුරටත් දිගින් දිගටම රාජ්‍ය ණය බරට එකතු වුනා. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය ලොකුවටම සිදු වුනේ 1990 දශකය තුළයි. 

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නිසා රජයේ ණය බර ඉහළ යද්දී රාජ්‍ය ආයෝජන ඉහළ යාම නිසා ව්‍යාපෘති ණය විශාල ලෙස ඉහළ ගියා. මීට අමතරව පරිභෝජන ද්‍රව්‍ය ආනයනය කර අඩු මිලට හෝ නොමිලේ ලබා දීම සඳහා ලබාගත් ද්‍රව්‍ය ණය තව දුරටත් දිගින් දිගටම ලබා ගැනීම නිසා එම ණයද ණය බරට එකතු වුනා. 

මේ ද්‍රව්‍ය ණය සඳහා එක් උදාහරණයක් ලෙස ඇමරිකාවෙන් කාලයක් තිස්සේ ලබාගත් PL 480 ණය පෙන්වා දිය හැකියි. මෙම සහන ණය ක්‍රමය යටතේ ලංකාව 1956 සිට 1990 පමණ දක්වාම ආහාර ආනයනය කළා. ඇතැම් වසර වල සහල් සහ ඉරිඟුද ආනයනය කර ඇතත් වැඩිපුරම ආනයනය කළේ තිරිඟු පිටි. 1980දී ත්‍රිකුණාමලයේ ප්‍රීමා කම්හල පිහිටවීමෙන් පසුවනම් තිරිඟු. 

හැත්තෑ හත වන තුරු ලංකාවේ සියල්ලන්ටම මෙන් නොමිලේ සහල් ඇතුලු ආහාර සහනාධාර ලැබුණා. නොමිලේ සහල් නොලැබුනේ ඉහළම ආදායම් ලැබූ, රජයට ආදායම් බදු ගෙවූ, 5%කට පමණයි. මෙම ආහාර සහනාධාර ලබා ගැනීම පිණිස රජයෙන් "හාල්පොතක්" ලබා දුන්නා. හැත්තෑ හතෙන් පසුව රටේ ඉහළ ආදායම් ලබන 50%ට හාල්පොත නැති වුනා. ඉන්පසුව, සෑහෙන කාලයක් යන තුරුම, එජාප විරෝධී කඳවුරේ සිටි ශ්‍රීලනිප හා අනෙකුත් වාමාංශික පක්ෂ වල ප්‍රධානම සටන් පාඨයක් වූයේ එජාප ආණ්ඩුව විසින් හාල්පොත නැති කිරීමයි. 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයාගේ ප්‍රධානම මැතිවරණ පොරොන්දුවක් වූයේත් හාල්පොත නැවත දෙනවා කියන එකයි.

සියල්ලන්ටම හාල්පොත නැති වුනත් අඩුආදායම්ලාභීන්ට තව දුරටත් හාල්පොත ලැබුණා. පසුව හාල්පොත වෙනුවට ආහාර මුද්දර (හා භූමිතෙල් මුද්දර) ක්‍රමය ආවා. ආහාර මුද්දර ජනසවිය වී ජනසවිය සමෘද්ධි වුනේ ඊටත් පසුවයි. ආහාර මුද්දර ලැබුණු අයට නොමිලයේ ආහාර ලැබුණා. මෙසේ නොමිලයේ ලබාගත හැකි වූ ආහාර අතර PL 480 යෝජනා ක්‍රමය යටතේ ණයට ගත් තිරිඟු පිටිද තිබුණා. අදාළ යෝජනා ක්‍රමය යටතේ ණය ආපසු ගෙවීම සඳහා වසර හතක පමා කාලයකින් පසුව වසර තිහක කාලයක් ලැබුණා. ඇතැම් විට මේ ණය මේ වන විටද ගෙවා අවසන්ව නැතිවා විය හැකියි. ගෙවා ඇත්නම් ඒ ණය ගෙවීම සඳහා ගත් ණය ස්වෛරිත්ව බැඳුම්කර වැනි වෙනත් ණයක් බවට පත් වී ඇති. 1956 වසරේ සිට එක දිගටම ඇමරිකාවෙන් ලබාගත් PL 480 ණය (වන්දි නොගෙවා ඇමරිකානු තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව පැවති කෙටි වාරණ කාලයකදී හැර) ලංකාව විසින් ලෝකයේ ධනවාදී හා සමාජවාදී කඳවුරු වල රටවල් ගණනාවකින් ලබාගත් ද්‍රව්‍ය ණය සඳහා එක් උදාහරණයක් පමණයි. 

රාජ්‍ය ව්‍යවසාය ලෙස අද බොහෝ දෙනෙකු විසින් හඳුනාගන්නා ආයතන බොහොමයක් 1970-77 කාලයේ හදපුවා නෙමෙයි. මෙම ආයතන බොහොමයක් 1970 වන විටද ක්‍රියාත්මකව තිබුණා. ඒ වගේම, 1977දී මෙම රාජ්‍ය ව්‍යවසාය වසා දැම්මෙත් නැහැ. දේශීය වෙළඳපොළ පමණක් ඉලක්ක කළ, රාජ්‍ය ආයෝජන මත පමණක් විශ්වාසය තැබූ සංවර්ධන උපාය මාර්ගය නිසා 1970-77 කාලයේ රජයට විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුනා. ඒ කාලයේ කළ බොහොමයක් දේවල් පැවති තත්ත්වය තුළ වෙන කළ හැකි දෙයක් නැති කමට කළ දේ මිස රටේ දිගුකාලීන යහපත තකා කළ දේවල් නෙමෙයි. මේක 2021දී ලංකාව ණය ආපසු ගෙවා ණය අඩු කරගත්තා කියනවා වගේ කතාවක්. 

පැවති තත්ත්වයෙන් දිගුකාලීනව ගොඩ යාම සඳහා පෞද්ගලික විදේශ ආයෝජන රටට ගෙන්වා ගැනීමට සමගි පෙරමුණු ආණ්ඩුවටත් අවශ්‍ය වුනා. නමුත් ඊට පෙර කාලයක් තිස්සේ පෞද්ගලික දේපොළ වන්දි නොගෙවා පැහැර ගෙන තිබීම නිසා විදේශ ආයෝජකයින්ට රට තුළ ආයෝජන කිරීමට බියක් තිබුණා. එම බිය නැති කළ හැකිව තිබුණේ අවශ්‍ය නීතිමය වෙනස්කම් සිදු කර, නැවත ආයෝජන රජයට පවරා නොගන්නා බවට රජය විසින් ලබාදෙන සහතිකයක් මගින් පමණයි. 

රජය විසින් එවැනි සහතිකයක් ලබා දී විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට සමගි පෙරමුණු ආණ්ඩුවටම අවශ්‍ය වූවත්, ආණ්ඩුව තුළ වූ කඹ ඇදිල්ල නිසා මේ යෝජනාව ක්‍රියාත්මක කළ හැකි වූයේ නැහැ. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර, අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා සහිතව 1972දී ඉදිරිපත් කළ විදේශ ආයෝජන ධවල පත්‍රිකාව සභාග ආණ්ඩුව තුළ සිටි වාමාංශික පක්ෂ විසින් ඔවුන්ගේ වෘත්තීය සමිති වලද උදවුවෙන් පරාජය කළ නිසා එම යෝජනා නීතියක් බවට පත් වූයේ නැහැ. 

අවසාන වශයෙන් විදේශ ආයෝජකයින්ට මේ සහතිකය ලැබුණේ ආණ්ඩුව මාරු වීමෙන් පසුවයි. ප්‍රීමා කම්හල වැනි ඒ කාලයේ ලෝකයේ විශාලතම කම්හල් ලංකාවේ ඉදි වුනේ මෙම සහතිකය රජයෙන් ලැබීමෙන් පසුවයි. ඉන්පසුව දිගින් දිගටම රටට විදේශ ආයෝජන ගලා ආවා. විදේශ විණිමය හිඟයද නැති වුනා. නමුත්, රාජ්‍ය අයවැය හිඟය තවදුරටත් පුළුල් වීම සහ එය පියවීමට ණය ගැනීම නිසා රාජ්‍ය ණය අර්බුදය විසඳෙනවා වෙනුවට වඩා දරුණු අදියරකට ගමන් කළා. අද තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය 1956-65 කාලයේදී නිර්මාණය වී 2010-2015 කාලය තුළ උග්‍ර වූ අර්බුදයක්. එහෙත්, අද තිබෙන රාජ්‍ය ණය අර්බුදය බොහෝ දුරට 1977-1989 කාලයේ නිර්මාණය වූ අර්බුදයක්. අද රාජ්‍ය ණය බරින් තුනෙන් පංගුවක් පමණ එම කාලයේ ලබාගත් ණයයි. 

රජය ණය වී මහවැලි ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති වෙනුවෙන් වැය කළ මුදල් වලින් රටට ප්‍රතිලාභ අත් වී තිබෙනවා විය හැකියි. එදා මෙන් දැන් ලංකාව සහල් ආනයනය කරන්නේ නැහැ. ඒ වගේම දැන් ලංකාවේ හැම නිවසකම මෙන් විදුලි බලය තිබෙනවා. එහෙත්, රජය මුදල් ආයෝජනය කිරීම නිසා රටට වන වාසියක් රජයට වාසියක් වන්නේ මුල් ආයෝජනය බදු ආදායම් ලෙස රජයට ආපසු ලැබෙන්නේනම් පමණයි. බදු ආදායම් ලෙස මුල් ආයෝජනය හා පොලිය නැවත රජයට නොලැබෙන තාක් ව්‍යාපෘතියක් පාඩු ලබන ව්‍යාපෘතියක්. 

හැත්තෑ හතෙන් පසු ලංකාවේ ආර්ථිකයේ ඇතැම් අංශ නැවත විවෘත කරනු ලැබීම නිසා රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ ගියා. කාර්මික නිෂ්පාදිතය ඇතුළුව නිෂ්පාදිතයද ඉහළ ගියා. නමුත් 1991දී මේ දේවල් කළ ඉන්දියාව මෙන් ලංකාව මීට සමාන්තරව ණය තිරසාරත්වය ගැන සැලකිලිමත් වූයේ නැහැ. හැත්තෑ හතෙන් පසුව සිදු වුනේ රජය තවත් විශාල වීමයි. 1976දී දදේනියෙන් 28.6%ක් වූ රාජ්‍ය වියදම් 1980දී 42.7% දක්වා ඉහළ ගියා. අයවැය හිඟය 8.4% සිට 19.2% දක්වා ඉහළ ගියා. 

මේ කාලයේදී අද මෙන් පොලී වියදම් රාජ්‍ය වියදම් වල විශාල කොටසක් වී තිබුණේ නැහැ. මේ වියදම් බොහෝ දුරට අදාළ වර්ෂයේ වියදම්. 1980 වසරේදී පොලී වියදම් හැර රාජ්‍ය වියදම දදේනියෙන් 35.2%ක්. ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 15.8%ක්. සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටි ආණ්ඩු මෙන්ම, රජය විශාල කිරීම මගින් 1977දී බලයට පත් වූ ආණ්ඩුවද වත්මන් ආර්ථික අර්බුදයට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. 

අඩුආදායම්ලාභීන් සුබසාධනය කිරීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත්, රජයකට අඩුආදායම්ලාභීන් සුබසාධනය කළ හැක්කේ ඒ සඳහා දායක වන පිරිසක් සිටීනම් පමණයි. ණයවෙමින්  සුබසාධනය කිරීම අවසාන වශයෙන් කෙළවර වන්නේ ඛේදවාචකයකින්.

Wednesday, April 5, 2023

ලංකාව හා අසල්වැසියෝ

ලෝක බැංකු වෙබ් අඩවියෙහි 1960 වසරේ සිට රට රටවල ඒක පුද්ගල ආදායම් පිළිබඳ දත්ත තිබෙනවා. 1960 වසර සඳහා දත්ත තිබෙන ආසියානු රටවල් 15ක් අතරින් ලංකාව සිටින්නේ 7වන තැනයි. ලංකාවට ඉහළින් සිටින රටවල් අතරින් ලංකාව නිදහස ලබද්දී ලංකාවට පහළින් සිටි රටක් ඇත්නම් ඒ දකුණු කොරියාව පමණයි.

1960

ජපානය- 475.3

සිංගප්පූරුව- 428.1

හොංකොං- 424.1

පිලිපීනය- 263.8

මැලේසියාව- 244.6

දකුණු කොරියාව- 158.3

ශ්‍රී ලංකාව- 142.8

කාම්බෝජය- 115.0

තායිලන්තය- 103.8

චීනය- 89.5

බංග්ලාදේශය- 84.8

ඉන්දියාව- 83.0

පකිස්ථානය- 81.6

ඇෆ්ඝනිස්තානය- 62.4

නේපාලය- 50.0

කෙසේ වුවත්, 1978 වසර වන විට තායිලන්තය මෙන්ම ඉන්දියාව, පකිස්ථානය හා ඇෆ්ඝනිස්තානයද ලංකාව පසු කර ඉදිරියට ගිහින්. දැන් චීනයත් ලංකාව පසු කර ගිහින්.

හැබැයි 2021 වන විට ලංකාව නැවතත් ඉන්දියාව, පකිස්ථානය මෙන්ම ඇෆ්ඝනිස්තානයද පසුකර ඉදිරියට ගිහින්. ඒ විතරක් නෙමෙයි පිලිපීනයද පසු කරලා. 

2021

සිංගප්පූරුව- 72,794.0

හොංකොං- 49,800.5 

ජපානය- 39,312.7

දකුණු කොරියාව- 34,997.8

චීනය- 12,556.3

මැලේසියාව- 11,109.3

තායිලන්තය- 7,066.2

ශ්‍රී ලංකාව- 4,013.7

පිලිපීනය- 3,460.5

බංග්ලාදේශය- 2,457.9

ඉන්දියාව- 2,256.6

කාම්බෝජය- 1,625.2

පකිස්ථානය- 1,505.0

නේපාලය- 1,208.2

ඇෆ්ඝනිස්තානය- 368.8

එකම කාලයක නිදහස ලැබූ ඉන්දියාව, පකිස්ථානය හා ලංකාව යන රටවල් තුනම මුල් කාලයේ අනුගමනය කළේ සමාජවාදයට බර වූ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක්. ලංකාව වැනි කුඩා රටකට සාපේක්ෂව ඉන්දියාව වැනි විශාල රටකට සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක හානිය අඩුයි. ඒ නිසා, දෙරටම සංවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරද්දී ලංකාව ඉන්දියාවට සාපේක්ෂව ටිකෙන් ටික පස්සට ගියා (එකම හේතුව නොවුනත්). 1978 වන විට ඒක පුද්ගල ආදායම අනුව ඉන්දියාව මෙන්ම පකිස්ථානයද ලංකාවට වඩා තරමක් ඉදිරියෙන් සිටියා. 

1978

ශ්‍රී ලංකාව - 188.1

ඉන්දියාව - 206.1

පකිස්ථානය - 238.2

ලංකාව ඉන්දියාවට හා පකිස්ථානයට පෙර, 1977දී, ආර්ථිකය සාපේක්ෂව නිදහස් කළා. ඒ එක්කම ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාව හා පකිස්ථානය පසු කර වේගයෙන් වර්ධනය වුනා. 1998 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ හා පකිස්ථානයේ එම අගයයන් මෙන් දෙගුණයක් වෙලා.

1998

ශ්‍රී ලංකාව - 850.8

ඉන්දියාව - 412.5

පකිස්ථානය - 427.5

ලංකාවට වඩා වසර 15කට පමණ පසුව වුවත්, ඉන්දියාවද ආර්ථිකය විවෘත කළා, ඉන්පසුව ඉන්දියාවද ලංකාවේ වේගයෙන්ම වර්ධනය වුනා. එහෙත්, ඉන්දියාවට වඩා වසර පහළොවක් ඉක්මන් වීමේ වාසිය තවමත් ලංකාවට තිබෙනවා.

ඉන්දියාවේ ආර්ථිකය විවෘත කළ කාලයේම පකිස්ථානයේ ආර්ථිකයද විවෘත කළත් වසර දෙක තුනකින් පසුව බෙනාසීර් භූතෝ විසින් නැවතත් එම ප්‍රතිපත්තිය ආපසු හරවනු ලැබුවා. පකිස්ථාන ආර්ථිකයේ ඉන්දියාව හා සැසඳිය හැකි වෙනස්කම් සිදු වුනේ තවත් වසර දහයකට පමණ පසුවයි. 

හැත්තෑ හතේදී ලංකාවේ සිදු වුනු වෙනස්කම් ඉන්දියාව තුළ සිදු වුනේ අනූ එකේදී. පකිස්ථානයේනම් දෙදාහේදී. රටවල් තුනේ ඒක පුද්ගල ආදායම් සැසඳූ විට මේ ප්‍රමාද වීමේ අවාසිය හොඳින්ම දකින්න පුළුවන්.

වඩා වැදගත් හැකි ඉක්මණින් අවදි වී ගමන පටන් ගන්න එකයි. නමුත්, එහෙම කළත්, කලින්ම ගමන පටන් ගත් අයව අල්ලන එක ලේසි නැහැ. 

(සියලුම ගණන් ඇමරිකන් ඩොලර් වලින්)

ආසියාවේ දෙවන පෝසත් රට


ඉතිහාසය කියා කියන්නේ කාලයකට පෙර ඇත්තටම සිදු වුනු දේම නෙමෙයි. කාලයකට පෙර ඇත්තටම සිදු වුනු දේ කියා ගොඩක් අය හිතන්න කැමති දෙය. ඇතැම් වෙලාවට මිනිස්සු ඇහැට පෙනෙන ඇත්ත නොදැක මවාගත් බොරුවක් දකින්න කැමතියි. බොරු දිගින් දිගටම ප්‍රචාරය කළාම ඒ බොරු ඇත්ත වෙලා ඊට පස්සේ ඉතිහාසය බවට පත් වෙනවා. 

නිදහස ලබද්දී ලංකාව ආසියාවේ දෙවන පෝසත්ම රට කියන එකත් ඔය විදිහේ ජනප්‍රිය බොරුවක්. අද තිබෙන රටවල් සියල්ලම ඒ දවස් වල තිබුණේ නැහැ. දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කළේ තිබුණු රටවල් වලිනුත් සීමිත රටවල් ප්‍රමාණයක් පමණයි. 

නූතන ආර්ථික විද්‍යාව නොපිළිගත් මාක්ස්වාදී රටවල් දළ දේශීය නිෂ්පාදිතය කියන අදහසවත් පිළිගත්තේ නැහැ. වෙළඳපොළ මත පදනම් නොවූ වෙනම ආර්ථික ක්‍රමයක් තිබුණු සමාජවාදී රටවල දළ දේශීය නිෂ්පාදිතය නිවැරදිව ගණනය කිරීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. එහෙම ගණනය කරන එකේ තේරුමක් තිබුණෙත් නැහැ.

දළ දේශීය නිෂ්පාදිතයට විකල්පයක් විදිහට සමාජවාදී රටවල් විසින් ගණනය කළේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය කියා එකක්. එහිදී ගණන් ගැනුණේ භාණ්ඩ නිෂ්පාදනය පමණයි. මාක්ස්වාදීන් විසින් සේවා නිෂ්පාදන නිෂ්පාදන සාධකයක් වන ශ්‍රමය සමඟ අනන්‍ය ලෙස දකිනවා මිස භාණ්ඩ නිෂ්පාදනය වැනි නිෂ්පාදනයක් ලෙස සැලකුවේ නැහැ. ඒ වගේම, මාක්ස්වාදය අනුව, භාණ්ඩයක එය නිෂ්පාදනය කිරීම සඳහා යොදවන ශ්‍රමය හැර වටිනාකම් නිෂ්පාදනයක් දැක්කෙත් නැහැ. 

පාරිභෝගිකයින්ට වැඩක් තිබුණත් නැතත්, ද්‍රව්‍ය (භාණ්ඩ) නිෂ්පාදනය වැඩි වෙලානම් දළ ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි වුනා. නිෂ්පාදන ඉලක්ක තිබුණේ දළ ද්‍රව්‍ය නිෂ්පාදිතය වැඩි කර ගැනීමටයි. ලංකාව ඔය ක්‍රමයට දළ ද්‍රව්‍ය නිෂ්පාදනය ගණනය කළේ නැතත්, ටයර් සංස්ථාවේ නිෂ්පාදන ඉලක්ක හදලා තිබුණෙත් ඔය මූලධර්මය අනුවයි. දැන් සමහර අය නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන්නෙත් අවුරුදු සීයකටත් වඩා පරණ ආගමික අදහස් මත පදනම්ව, පහුගිය කාලයේ නූතන ආර්ථික විද්‍යාවේ සිදු වූ වෙනස්කම් ගැන කිසිම අදහසක් නැතුවයි. ද්‍රව්‍යවාදීන්ට අනුව ලෝකය කියන්නේ ඇහැට පේන්න තිබෙන ද්‍රව්‍ය පමණයි.

ඒ කාලයේ සිංගප්පූරුව කියා රටක් තිබුණේ නැහැ. සිංගප්පූරුව මැලේසියාවේ කොටසක්. මැලේසියාවම ගත්තත් ඒක පුද්ගල ආදායම අනුව ලංකාවට වඩා ගොඩක් ඉදිරියෙනුයි හිටියේ. ජපානයට පවා ඉදිරියෙන්. කොළඹ නගරයේ ඒක පුද්ගල ආදායම ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා කිහිප ගුණයක් වැඩියි වගේම ඒ කාලයට සාපේක්ෂව දියුණු නගරයක් වූ සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම සමස්තයක් ලෙස මැලේසියාවේ ඒක පුද්ගල ආදායමටත් වඩා ඉහළින් තිබුණා. එහෙම නැතුව සිංගප්පූරුව හෝ මැලේසියාව ලංකාව පහු කරගෙන ගියේ නැහැ. ඒවා කාලයක් තිස්සේ නැවත නැවත කීමෙන් පළමුව ඇත්ත බවටත්, දෙවනුව ඉතිහාසය බවටත් පත් කර තිබෙන බොරු.

කොහොම වුනත්, ඒ දවස් වල ලංකාවට වඩා පසුපසින් සිටි තායිලන්තය හා කොරියාව වැනි රටවල් ලංකාව පහු කරගෙන ගියා. ඒ දවස් වල දළ දේශීය නිෂ්පාදිතය ගණනය නොකළත් සාපේක්ෂව මෑත කාලයකදී පවා ලංකාවට වඩා පසු පසින් සිටි චීනයත් ලංකාව පහු කරගෙන ඉදිරියට ගියා. ඉන්දියාව තවමත් ලංකාවට පසුපසින් සිටියත් ඉන්දියාව හා ලංකාව අතර ඒක පුද්ගල ආදායම් වෙනස තව කොපමණ කාලයක් මේ විදිහට තියෙයිද කියන එක අනාගතයට භාර කරුණක්.

(පසු සටහන: වගුවේ තිබෙන්නේ ඒක පුද්ගල ශුද්ධ ජාතික නිෂ්පාදිතය. ශුද්ධ ජාතික නිෂ්පාදිතය = දළ දේශීය නිෂ්පාදිතය - ක්ෂය වීම්. ආදායම් ලෙස ඉතිරි වන කොටස.)

Tuesday, April 4, 2023

රාජ්‍ය අයවැය තුලනය හා විසෙන් විස නැසීම


පහළින් තියෙන්නේ ගෙවුණු 2022 වර්ෂය තුළ රජයේ ආදායම් හා වියදම්. ඇස්තමේන්තු හෝ පුරෝකථන නෙමෙයි. ඇත්තම ගණන්.

බදු ආදායම - රුපියල් බිලියන 1,751.1යි 

බදු නොවන ආදායම - රුපියල් බිලියන 228.1යි 

ප්‍රදාන -  රුපියල් බිලියන 33.4යි 

ආදායම් සහ ප්‍රදාන එකතුව - රුපියල් බිලියන 2,012.6යි


පොලී ගෙවීම් හැර වර්තන වියදම් - රුපියල් බිලියන 1,954.4යි

ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 952.9යි

පොලී ගෙවීම් හැර වියදම් එකතුව - රුපියල් බිලියන 2,907.4යි


ප්‍රාථමික අයවැය හිඟය - රුපියල් බිලියන 894.8යි.  

පොලී වියදම් - රුපියල් බිලියන 1,565.2යි.

සමස්ත අයවැය හිඟය - රුපියල් බිලියන 2,460.0යි.


දළ දේශීය නිෂ්පාදිතය - රුපියල් බිලියන 24,147.7යි.

ආදායම් සහ ප්‍රදාන එකතුව දදේනි % ලෙස - 8.3%යි.

පොලී ගෙවීම් හැර වියදම් දදේනි % ලෙස - 12.0%යි

පොලී වියදම් දදේනි % ලෙස - 6.5%යි.

ප්‍රාථමික අයවැය හිඟය දදේනි % ලෙස - 3.7%යි.

සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස - 10.2%යි.

රජයේ සමස්ත ආදායම් හා අනෙකුත් ලැබීම් දදේනියෙන් 8.3% මට්ටමේ තිබියදී පොලී ගෙවීම සඳහා පමණක් දදේනියෙන් 6.5%ක් ගෙවන්නට සිදු වී ඇති තත්ත්වයක සිට සමස්ත අයවැය තුලනය කර ගැනීමක් ගැන සිතීම සිහිනයක්. මෙය හඹා යා හැකි සිහිනයක් වුවත්, ඒ සඳහා අවම වශයෙන් වසර තිහ හතළිහක කාලයක් යා හැකියි. මෙවැන්නක් වසර දහයකින් පහළොවකින් කළ නොහැකියි. 

සමස්ත රාජ්‍ය අයවැය තුලනය කරගත නොහැකිය යන්නෙන් අදහස් වන්නේ අයවැය තුලනය කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අලුතෙන් ණය ගන්නට සිදු වෙනවා කියන එකයි. එසේ අලුතෙන් ණය ගන්නට සිදුවන්නේ පරණ ණය ගෙවීම සඳහා අලුතෙන් ගන්නට සිදුවන ණය වලට අමතරවයි. පසුගිය වසරේ රජයේ අයවැය හිඟය පියවා ගත්තේ පහත පරිදියි.

මහ බැංකුවෙන් ලබාගත් ණය - රුපියල් බිලියන 1,338.4යි.

වාණිජ බැංකු වලින් ලබාගත් ණය - රුපියල් බිලියන 300.3යි.

අනෙකුත් දේශීය ණය - රුපියල් බිලියන 396.4යි

දේශීය ණය එකතුව - රුපියල් බිලියන 2,035.1යි 

විදේශ ණය - රුපියල් බිලියන 424.8යි

එකතුව - රුපියල් බිලියන 2,460.0යි.

පොලී ගෙවීම්ද ඇතුළුව අයවැය හිඟය පියවීම සඳහා ගත යුතු වූ ණය ප්‍රමාණය 10%ක් පමණ වුවත්, පරණ ණය ගෙවීම සඳහා දදේනියෙන් 27%ක පමණ වූ තවත් ණය ප්‍රමාණයක් අවශ්‍ය වී තිබුණා. රජයට ණය පැහැර හරින්නට සිදු වුනේ රාජ්‍ය ආදායම මෙන් හතර ගුණයකටත් වැඩි, දදේනියෙන් 37%ක් පමණ වූ, වසරේ ණය සේවාකරණ අවශ්‍යතාවය තරමට අලුතෙන් ණය ගත නොහැකි වූ නිසයි. 

පරණ ණය ගෙවීමට පමණක් අලුතෙන් ණය ගනිද්දී වුවත්, විණිමය අනුපාතය වෙනස් වීම වැනි හේතු නිසා ණය ප්‍රමාණය ඉහළ යනවා. අලුත් ණය අරගෙන පරණ ණය වල පොලී ගෙවද්දී ණය ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ප්‍රාථමික අයවැය හිඟයක් ඇති විට ණය ප්‍රමාණය ඊටත් වඩා වැඩි වෙනවා. ලංකාවේ ණය ප්‍රමාණය තවතවත් වැඩිවීම සැලකිය යුතු කාලයක් (දශක කිහිපයක්) යන තෙක් කිසිසේත්ම නොවැලැක්විය හැකි දෙයක් වුවත් එසේ වැඩි වන ණය ප්‍රමාණය පාලනය කළ හැකියි. 

ණය වැඩිවීම පාලනය කර ගත හැකි පළමු හා පහසුම ක්‍රමය ප්‍රාථමික හිඟය ප්‍රාථමික අතිරික්තයක් කර ගැනීමයි. දෙවන ක්‍රමය පොලී වියදම් අඩු කර ගැනීමයි. පොලී වියදම් අඩු කරගත හැකි පළමු ක්‍රමය ණය ප්‍රමාණය අඩු කර ගැනීමයි. දෙවන ක්‍රමය පොලී අනුපාතික අඩු කර ගැනීමයි. පළමුවැන්න කිසිසේත්ම නොකළ හැකි දෙයක් නිසා කළ හැකි දෙය දෙවැන්නයි.  

කළ යුත්තේ පොලී අනුපාතික අඩු කර ගැනීමනම් මහ බැංකුව පොලී අනුපාතික වැඩි කළේ ඇයි කියන එක බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. මෙයට කෙටි පිළිතුර මහ බැංකුව පොලී අනුපාතික වැඩි කළේ පොලී අනුපාතික අඩු කර ගැනීමට බවයි.

විසෙන් විස නසනවා කියන එක ලංකාවේ ගොඩක් අය අසා තිබෙන දෙයක්. ආර්ථිකය පාලනය කිරීමත් බොහෝ විට විසෙන් විස නැසීමක්. උද්ධමනය අඩු කර ගැනීම සඳහා විදුලි ගාස්තු, බදු ආදිය වැඩි කරන්න වෙනවා. රටට විදේශ විණිමය ආකර්ෂණය කර ගැනීම සඳහා රටෙන් එළියට නිදහසේ විදේශ විණිමය ගෙන යාමට ඉඩ සලසන්න වෙනවා. අපනයන ආදායම් වර්ධනය කර ගැනීමට වැඩියෙන් ආනයන කරන්න ඉඩ දෙන්න වෙනවා. නිෂ්පාදනය කාර්යක්ෂම කර ගැනීමට අකාර්යක්ෂම සමාගම් වැහෙන්න ඉඩ හරින්න වෙනවා. මේවා සිදු වෙන ආකාරය අදාළ සිද්ධාන්ත නොදැන නිකම්ම සිතා තේරුම් ගන්න අමාරුයි. 

දිගුකාලීනව පොලී අනුපාතික අඩු මට්ටමක තබා ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේදී පොලී අනුපාතික වැඩි කළ යුතුයි. මේ වන විට ලෝකය පුරාම මහ බැංකු විසින් කරමින් සිටින්නේ මෙයයි. නියම වෙලාවට නොවුණත්, ප්‍රමාද වී හෝ පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතිනවා. මේ වැඩේ කලින්ම කළානම් උද්ධමනය හෝ පොලී අනුපාතික මෙපමණ ඉහළ යන්නේ නැහැ. පහත රූප සටහනේ තිබෙන්නේ මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කරද්දී වුවද, වෙළඳපොළ පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති ආකාරයයි. 

ඉදිරි මාස තුන තුළ උද්ධමනය 15-20% මට්ටමට පහත වැටෙද්ද්දී පොලී අනුපාතිකද එම පරාසය දක්වා ක්‍රමයෙන් පහත වැටීමට නියමිතයි. උද්ධමනය 5% මට්ටම දක්වාත්, පොලී අනුපාතික 7%ට වඩා අඩු මට්ටමක් දක්වාත් අඩු කර එම මට්ටම් වල ස්ථාවර ලෙස තබා ගැනීම IMF වැඩ පිළිවෙළෙහි ඉලක්කයයි. 

Monday, April 3, 2023

කඩා වැටුණු නිෂ්පාදන ආර්ථිකය



සමහර අය කියන විදිහට හැත්තෑ හතට කලින් ලංකාවේ විශාල නිෂ්පාදන ආර්ථිකයක් තිබී හැත්තෑ හතෙන් පසුව එය නැති වී ගොස් තිබෙනවා. පැරකුම් යුගය වගේ සියවස් ගණනක් ඈත කාල වකවානු ගැන දැන ගන්න තියෙන්නේ සීමිත මූලාශ්‍ර පමණක් වුනත්, හැත්තෑ හතට කලින් කාලය ඒ වගේ දුරස්ථ කාල වකවානුවක් නෙමෙයි. එම කාලයේ ආර්ථිකය ගැන නිශ්චිත තොරතුරු තිබෙනවා.

හැත්තෑ හතට පෙර කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සහ  ඒ තුළ නිෂ්පාදන ආර්ථිකයේ දායකත්වය පහත වගුවේ හරියටම තිබෙනවා. 1976 වර්ෂය ගත්තොත් නිෂ්පාදන ආර්ථිකය රුපියල් මිලියන 3,527.6ක් පමණයි. ඩොලරයක් රුපියල් 8.41 ලෙස ගත්තහම ඩොලර් මිලියන 419.5ක්. 1976 ඩොලරයක් 2022 ඩොලර් 5.14ක් පමණ වටිනවා. ඒ අනුව, මෙම නිෂ්පාදිතයේ 2022 වටිනාකම ඩොලර් මිලියන 2,156ක් වෙනවා.

හැත්තෑ හතට කලින් ලංකාවේ තිබුණු ඩොලර් මිලියන 2,156ක නිෂ්පාදන ආර්ථිකය හැත්තෑ හතෙන් පස්සේ නැති වෙලා ගියාද?

දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇවිත් ආර්ථිකය විශාල ලෙස සංකෝචනය වුනාට පස්සෙත්, 2022දී ලංකාවේ කාර්මික නිෂ්පාදිතය රුපියල් බිලියන 7,309ක්. ඩොලර් මිලියන 22,517ක්. ඒ කියන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකය හැත්තෑ හතට කලින් තිබුණු ප්‍රමාණය මෙන් දහ ගුණයකටත් වඩා වැඩියි. මේ මට්ටමේ තිබෙන්නේ වසර තුළ පමණක් 16%ක අඩු වීමක් සිදු වුනාට පස්සේ. 

හැත්තෑ හතෙන් පස්සේ සමහර අකාර්යක්ෂම රාජ්‍ය ආයතන වැහිලා ගියා. නමුත් පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් සමස්තයක් ලෙස නිෂ්පාදන ආර්ථිකය විශාල ලෙස වර්ධනය වෙන එකයි වුනේ. ඒ කාලයේ නිෂ්පාදන ආර්ථිකය කියා කියන්නේ කිසිම තරඟකාරිත්වයක් නොතිබුණු, අපනයන වෙළඳපොළක් නොතිබුණු, ආනයන පාලනය නිසාම පමණක් රට ඇතුළේ විකුණා ගත හැකි වූ නිෂ්පාදන. හැත්තෑ හතෙන් පස්සේ හැදෙන්නේ ලෝකය එක්ක තරඟ කළ හැකි, දේශීය වෙළඳපොළට අමතරව ලෝකය පුරාම විකිණිය හැකි නිෂ්පාදන. 

Sunday, April 2, 2023

හැත්තෑ හතට කලින් විදේශ ණය

 

හැත්තෑ හතෙන් පසුව ලංකාවේ විදේශ ණය ඉහළ යාම කවුරුත් දන්නා දෙයක්. පහත වගුවේ තිබෙන්නේ හැත්තෑ හතට පෙර, 1955 පමණ සිට, ලංකාවේ විදේශ ණය ක්‍රමයෙන් ඉහළ ගිය ආකාරයයි. මෙයින් අවධානයට වඩාත්ම යොමු විය යුත්තේ ද්‍රව්‍ය ණය ලෙස සඳහන්ව ඇති තීරුවයි.

ද්‍රව්‍ය ණය යනු මෙම කාලය තුළ රජය විසින් නොමිලේ හෝ අඩු මිලට සහනාධාර ලෙස බෙදා දුන් හාල්, සීනි, පිටි ආදිය ආනයනය කිරීම සඳහා ලබා ගත් පරිභෝජන ණයයි. පසුකාලීනව මෙම ණය හා පොලී ගෙවා තිබෙන්නේ නැවත නැවත අළුතෙන් විදේශ ණය ගැනීම මගිනුයි. ඒ අනුව, මෙම පරිභෝජන ණය ප්‍රමාණය ස්වෛරිත්ව බැඳුම්කර ලෙස හෝ වෙනත් ස්වරූපයකින් අද දක්වාම ඉතිරිව තිබෙන අතර වැල් පොලී එකතු වීමෙන් ලබා ගත් ප්‍රමාණයට සාපේක්ෂව විශාල ණය ප්‍රමාණයක් බවට පත් වී තිබෙනවා. 

සමගි පෙරමුණු රජය බලයේ සිටි කාලයට අනුරූප, 1969 සිට 1976 දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ජපානය ඇතුළු ධනවාදී හා සමාජවාදී රටවලින් ලබා ගෙන තිබෙන ද්‍රව්‍ය ණය ප්‍රමාණය පමණක් රුපියල් දශ ලක්ෂ 2,636.3ක් වන අතර මෙසේ වැඩි වූ ද්‍රව්‍ය ණය ප්‍රමාණය 1976 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.9%කට සමාන ප්‍රමාණයක්. 

Saturday, April 1, 2023

හැත්තෑ හතට කලින් රාජ්‍ය ව්‍යවසාය


සමහර අය කියන්නේ ලංකාව දැන් වැටී ඉන්න තැනට වැටෙන්න හේතුව හැත්තෑ හතේදී ආර්ථිකය විවෘත කිරීම බවයි. තවත් අය කියන්නේ අවුරුදු හැත්තෑ පහක් තිස්සේ ලංකාවේ ධනවාදී ක්‍රමයක් තිබුණු බවයි. කාලයක් තිස්සේ සංවිධානාත්මක ලෙස ජනගත කර තිබෙන ඔය වගේ බොරු අදහස් ලංකාවේ අති මහත් බහුතරය විසින් පිළිගන්නවා. හැත්තෑ හතේදී ලංකාව ඒ වන විට පැවති තත්ත්වයට සාපේක්ෂව තරමක් විවෘත වුනා. වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට යම් ඉඩක් ලැබුණා. නමුත් රටේ ආර්ථිකයේ සංවෘත හා සමාජවාදී ලක්ෂණ බොහොමයක් අද දක්වාම තවමත් එලෙසම තිබෙනවා. 

ධනවාදී ක්‍රමයක් කියා කියන්නේ පෞද්ගලික අංශය මුල් වී, ලාබ ලැබීම අරමුණු කරගෙන, තරඟකාරිත්වයට මුහුණ දෙමින්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම සිදු කරන ක්‍රමයක්. මධ්‍යගත සැලසුමකට අනුව, රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම කිරීම සමාජවාදී ක්‍රමයයි. 

පළමුවැන්න මිනිස් සංස්කෘතිය දියුණු වීමේදී ස්වභාවික ලෙසම පරිණාමය වූ ක්‍රමයක්. හැමදාම දිගින් දිගටම වෙනස් වන ක්‍රමයක්. දෙවැනි ක්‍රමය මාක්ස්ගේ (සහ තවත් අයගේ) ඉගැන්වීම් මත පදනම්ව කෘතිම ලෙස ගොඩ නගන ලද "ආගමික" ක්‍රමයක්. දෙවැනි ක්‍රමය ඇතැම් රටවල පූර්ණ වශයෙන් හෝ ඊට ආසන්නව ක්‍රියාත්මක කර තිබෙන්නේ බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීම හා/හෝ පවත්වාගෙන යාම මගින් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් කවදාවත් එකට ගිහින් නැහැ. 

ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් කවදාවත් එකට ගිහින් නැත්තේ එම ක්‍රමය පවත්වාගෙන යාමට රටක බහුතරය සාමාන්‍යයෙන් කැමති නොවන නිසයි. මෙම ප්‍රකාශයට ව්‍යතිරේඛ තිබිය හැකි නමුත් සාමාන්‍ය තත්ත්වය මෙයයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් එකට නොගියත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ඇතැම් ජනප්‍රිය සමාජවාදී අදහස් එකට යනවා. එවැනි ජනප්‍රිය සමාජවාදී අදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටවලද ක්‍රියාත්මක වෙනවා.

ඉහත කතාව ධනවාදයටද එක සේ වලංගුයි. හැම දෙයක්ම වෙළඳපොළට තීරණය කරන්නට ඉඩ දී රජය මුළුමනින්ම පැත්තකට වීම කිසිම රටක කවදාවත්ම සිදු වී ඇති දෙයක් නෙමෙයි. වඩාත්ම ධනවාදී රට සේ සැලකිය හැකි ඇමරිකාවේ පවා රාජ්‍ය මැදිහත්වීම් සිදු වෙනවා. එහෙත් මෙවැනි රාජ්‍ය මැදිහත්වීම් තිබෙන්නේ අවම මට්ටමකයි. ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් යටතේ, බහුතර කැමැත්ත මත, රජය වෙළඳපොළට මැදිහත් වන අවස්ථා තිබෙනවා. ඇතැම් විට එසේ මැදිහත් වන්නේ සමාජවාදී අභිලාශ පෙරදැරිවයි. ඇතැම් විට වෙනත් හේතු මතයි. 

ධනවාදයට නැඹුරු බොහොමයක් රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. සමාජවාදී ක්‍රමය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ කිසියම් ආකාරයක ඒකාධිපතිත්වයක් සමඟයි. එහෙත් ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ, බොහෝ තැන් වලදී එකිනෙක ගැටෙන, වෙනම දේවල් දෙකක්. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ හැමවිටම මෙන් සමාජවාදී අදහස් වලටද නියෝජනයක් ලැබෙනවා. 

ධනවාදයේ පදනම මිනිස් නිදහස හා සමානාත්මතාවයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමද එයයි. ඒ නිසාම ධනවාදියෙකුට ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කිරීමේ තාර්කික හැකියාවක් නැහැ. මේ නිසාම, ධනවාදය තුළ සමාජවාදී අදහස් වලට තිබෙන තැන කවදාවත්ම මුළුමනින්ම නැති වෙන්නේ නැහැ. 

රටක් විවෘත හෝ සංවෘත වීම වෙනමම කතාවක්. රටක් ධනවාදී වූ පමණින්ම එය පූර්ණ වශයෙන් විවෘත රටක් වන්නේ නැහැ. ඒ වගේම, සංවෘත ආර්ථික පවත්වා ගැනීම සමාජවාදී අදහසක්ද නෙමෙයි. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය හා සංවෘත ආර්ථික ක්‍රමය එක් වී හැදෙන ජාතික සමාජවාදය තිබිය හැකි නරකම සංයෝගයයි. මිනිසුන් දැඩි ලෙස පීඩාවට පත් වීම පිළිබඳ නරකම උදාහරණ දැකිය හැක්කේ ජාතික සමාජවාදී ක්‍රමය තුළයි. 

ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණේ නිදහස ලැබෙන්නත් ගොඩක් කලින්. එය ඉංග්‍රීසීන්ගේ යම් අත්හදාබැලීමක් වෙන්නත් පුළුවන්. එංගලන්තයේ වගේම ඇමරිකාවේත් ලංකාවට සමාන පරිපූර්ණ සර්වජන ඡන්ද ක්‍රමයක් ඇති වුනේ ලංකාවට පසුවයි. 

ලංකාවේ මුලින්ම ඇති වුනු දේශපාලන පක්ෂ සමාජවාදය මත පදනම් වූ දේශපාලන පක්ෂ. එම පක්ෂ වලට රට තුළ මතවාදී බලයක් තිබුණා. සැලකිය යුතු ජන බලයක්ද තිබුණා. මැතිවරණ දේශපාලනය තුළ සමාජවාදී පක්ෂයකට ප්‍රධානම දේශපාලන බලවේගය ලෙස මතු වෙන්න බැරි වුනත් සමාජවාදී පක්ෂ දිගින් දිගටම සභාග ආණ්ඩු ඇතුළේ බලවත්ව සිටියා.

එජාපය ජයගත් නමුත් බහුතර ආසන ලබා නොගත්, 1947 මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂය පාර්ලිමේන්තු ආසන දහයක්ද, ලංකා කොමියුනිස්ට් පක්ෂය ආසන තුනක් ද ලෙනින්වාදී බොල්ෂෙවික් පක්ෂය ආසන පහක්ද ලෙස ආසන 95කින් 18ක් ලබා ගත්තා. ඉන් පසුව, 1956 මැතිවරණයේදී ආසන ගණන අනුව දෙවන විශාලතම පක්ෂය වී විපක්ෂ නායක ධුරය ලබා ගන්නේ ලංකා සමසමාජ පක්ෂය. විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය වගේ පක්ෂ ආණ්ඩුව ඇතුළේ. ඉන් පසුව 1964දී වගේම 1970දීත් මුදල් ඇමති වෙන්නේ සමසමාජ පක්ෂයේ නායක ඇන් ඇම් පෙරේරා. 

ජනතා විමුක්ති පෙරමුණ විසින් දෙවරක්ම ලංකාවේ රාජ්‍ය බලය පැහැරගෙන පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් හදන්න උත්සාහ කළත් ඒ වැඩේ සාර්ථක වුනේ නැහැ. ඒ නිසාම, කවදාවත්ම ලංකාවේ පූර්ණ සමාජවාදී ක්‍රමයක් හැදුනේ නැහැ. නමුත් ආණ්ඩු ඇතුළේ හා ආණ්ඩුවෙන් පිටත ප්‍රබල ලෙස සමාජවාදී අදහස් නියෝජනය වීම නිසා ලංකාවේ ආර්ථික ක්‍රමය සැලකිය යුතු තරමකින් සමාජවාදී පැත්තට නැඹුරු වුනා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ සමාජවාදී විය හැකි උපරිම මට්ටමටම ලංකාව සමාජවාදී වී තිබෙනවා කිවුවොත් නිවැරදියි.

මීට කලින් කොමියුනිස්ට් ප්‍රකාශනය ගැන ලිවුවේ මේ ගැන විමසීමක් කිරීමේ පහසුවට. හැම සමාජවාදියෙක්ම ඔය ලැයිස්තුව අතට අරගෙන එයින් එකින් එක ක්‍රියාත්මක කරන්න යනවා කියන එක අදහස් නොවුනත් ඔය ලැයිස්තුවෙන් ප්‍රායෝගිකව සමාජවාදී අදහස් කියන්නේ මොනවාද කියන එක බොහෝ දුරට නිරූපණය වෙනවා. 

1.  පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කර ඉඩම් වෙනුවෙන් ලැබිය යුතු බදු කුලී සියල්ල රජය විසින් ලබා ගැනීම.

මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත් පෞද්ගලික ඉඩම් අයිතිය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න බැහැ. පුලුවන් සීමාව දක්වා ඔය වැඩේ කරලා තිබෙනවා. වතු ජනසතු කිරීමේදී වුනේ මේකයි. නමුත් ඒ වැඩෙන් වුනේ හොඳට තිබුණු වතු පාළු වෙලා, වංචා දූෂණ හොරකම් වලට පාර කැපිලා, අපනයන ආදායම් අඩු වෙලා, රජයේ ආදායම් වෙනුවට පාඩු එකතු වෙලා විශාල ආර්ථික හානියක් සිදු වුන එක පමණයි. තව අක්කර පණහේ නීතිය වගේ නීතිත් ගෙනාවා. මතක හැටියට දැනටත් ලංකාවේ ඉඩම් වලින් 77%ක් පමණ අයිති රජයටයි. පරම්පරා කීපයක් ජීවත් වුනු ඉඩම් වල සම්පූර්ණ අයිතියක් ගොඩක් අයට නැහැ. වසර කිහිපයකට පෙර මේ ඉඩම් අයිතිකරුවන්ට ලැබෙන පරිදි සංශෝධන ගේන්න හදපු අවස්ථා වලදී සමාජවාදී දේශපාලන පක්ෂ එම ප්‍රතිසංස්කරණ වලට විශාල විරෝධයක් දැක්වූවා. ඉදිරියේදී වුනත් වෙන්න ඉඩ තියෙන්නේ ඒකයි.

2.  ඉහළ ආදායම් ලබන්නන් මත වැඩි බරක් පැටවෙන පරිදි ආදායම් බදු අය කිරීම.

මේක සමාජවාදී අදහසක් වුනත් ජනප්‍රිය අදහසක්. ඒ නිසා ලෝකයේ හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ දිගටම වගේ ක්‍රියාත්මක වී තිබෙන දෙයක්. දැන් IMF වැඩ සටහනෙන් වෙන්නෙත් මේ පැත්තට යාමක්. හැබැයි මේ කාරණයේදීනම් සමහර සමාජවාදී පක්ෂ ඉන්නේ ධනවාදය පැත්තේ. 

3.  උරුමයෙන් දේපොළ අයිති වීම සම්පූර්ණයෙන් අහෝසි කිරීම.

මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත් මේ වැඩේ කරන්න බැහැ. නමුත් යම් සීමා කිරීම් කරලා තිබෙනවා. කලින් කියපු අක්කර පණහේ නීතිය වගේම ගෙවල් හතේ නීතිය වගේ නීති උදාහරණයි. කලින් සමාජවාදී ආණ්ඩු යටතේ තිබී පසුව අහෝසි වී ඇති, දැන් අලුතෙන් දමන්න යන ධන (සම්ප්‍රේෂණ) බද්දත් මේ ගොඩට දමන්න පුළුවන් එකක්.

4.  රට හැර යන්නන්ගේ හා කැරලිකරුවන්ගේ සියලු දේපොළ රාජසන්තක කිරීම.

මේ වැඩේ ලංකාවේ සිදු වෙලා තිබුණත් ඒකට හේතුවනම් සමාජවාදී අදහස් නෙමෙයි. ඒ වගේම, වෙනත් හේතු නිසා සමාජවාදී පක්ෂ මේ වැඩේට විරුද්ධ වෙලා තිබෙනවා. මේක අද සන්දර්භයේ ඒ තරම් වැදගත් කාරණයක් නෙමෙයි.

5.  ණය ලබා දීමේ ක්‍රියාවළිය රජය යටතේ පාලනය වන එක් බැංකුවක ඒකාධිකාරයට මුළුමනින්ම නතු කිරීම.

පෞද්ගලික අයිතිය යටතේ තිබුණු ලංකා බැංකුවේ සියලු කොටස් රාජ්‍ය අයිතියට ගන්නේත්, ෆෙඩරල් සමුපකාර බැංකුවේ කොටස් රජයට අරගෙන මහජන බැංකුව හදන්නේත් මේ මූලධර්මය අනුවයි. දැනටත් මේ බැංකු දෙක රටේ ප්‍රධානම බැංකු දෙකක්. ඒකාධිකාරය නැති වෙමින් ඇතත් මේ සමාජවාදී නෂ්ඨාවශේෂ තවමත් ඉතිරිව තිබෙනවා. ඒ වගේම සියලුම රක්ෂණ සමාගම් රජයට ගෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හදන්නෙත් මේ මූලධර්මය අනුවයි. 

6.  සියලුම ජනමාධ්‍ය හා ප්‍රවාහනය රජයේ තනි පාලනයට යටත් කිරීම.

මේ දෙකම සියයට සියයක්ම වගේ කරලා තිබෙන දේවල්. ප්‍රවාහනය කෙළින්ම රජයේ තනි පාලනයට යටත් කළා. ජනමාධ්‍යත් රජයට ගත්තා. දැනටත් මෙම ජනමාධ්‍ය ආයතන පාඩු ලබමින් බදු මුදල් වලින් නඩත්තු වෙනවා.

7.  රජයේ අයිතිය යටතේ කම්හල් ඇතුළු නිෂ්පාදන උපකරණ ව්‍යාප්ත කරන අතර පොදු සැලසුමක් යටතේ මුඩු බිම් වගා කිරීම හා පස සරු කිරීම.

කලින් කියපු ටයර් සංස්ථාව ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් ගණනාවක්ම ඇති කළේ ඔය මූලධර්මය අනුව. ඒ වගේම, "පොදු සැලසුමක් යටතේ මුඩු බිම් වගා කිරීම හා පස සරු කිරීම" කියන එක ලංකාවේ ඒ විදිහටම ක්‍රියාත්මක වුනා.

8. සියලු දෙනාටම වැඩ කිරීම අනිවාර්ය කරමින් කාර්මික හමුදා හා වගා හමුදා ගොඩ නැගීම.

මේක ප්‍රජාතන්ත්‍රවාදී නොවන මර්දනකාරී රජයකට පමණක් කළ හැකි වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කරන්න අමාරුයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කළ හැකි සීමාව තුළ ඔය වැඩේ කරන්න උත්සාහ කරලා තිබෙනවා. හාල් පොලු මිරිස් පොලු දැම්මේ ඔය වැඩේට. 

9. කෘෂිකර්මය හා කර්මාන්ත එකිනෙක සම්බන්ධ කරමින් ගම් සහ නගර අතර වෙනස අවම වන පරිදි ජනගහණය ව්‍යාප්ත කිරීම.

මේකත් කලින් එක වගේම ප්‍රජාතන්ත්‍රවාදී නොවන මර්දනකාරී රජයකට පමණක් කළ හැකි වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කරන්න අමාරුයි. හාල් පොලු මිරිස් පොලු දැමීම තුළ ඔය ඉලක්කයත් තිබුණා.

10. සියළු ළමුන්ට රජයේ පාසැල් වල මුදල් අය නොකර අධ්‍යාපනය ලබා දීම.

මේ වැඩේ කොහොමටත් ලංකාවේ සිදු වෙනවා. ලෝකයේ අනෙක් හැම රටකම වගේමත් සිදු වෙනවා. 

කෙටියෙන් කතාව මේකයි. සමහර සමාජවාදී ඉලක්ක වලට මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත්ම යන්න බැහැ. යන්න පුළුවන් ඉලක්ක හැම එකකටම වගේ ලංකාව ගිහින් තියෙනවා. දිගටම කළ හැකි වූ දේවල් දැනටත් සිදු වෙනවා. අසාර්ථක වූ දේවල් පසුව අත හැර දමා තිබෙනවා. මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට අලුතෙන් කළ හැකි, කලින් අත්හදා නොබැලූ දේවල් කිසිවක්ම නැති තරම්. කළ හැකි ඕනෑම දෙයක් කලින් අසාර්ථක වූ දෙයක් නැවත අත්හදා බැලීමක් පමණයි. 

රජය විසින් ව්‍යාපාර කිරීම කාලයක් තිස්සේ අත්හදා බලා තිබෙන දෙයක්. 

සුබසාධනවාදය හා ආදායම් විෂමතා අඩු කිරීමේ උත්සාහයන් ලංකාවේ අයවැය හිඟයට දායක වී ඇතත් එය එකම හේතුව නෙමෙයි. නිදහසට පෙරද පහළ ආදායම් ස්ථර වල පිරිස් සුබසාධනය කෙරුණා. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රජය විශාල වියදමක් දැරුවා. එහෙත්, අයවැය තුලනය වුනා. ඇත්තටම දැන් වෙලා තියෙන්නේ සුබසාධනයද අවශ්‍ය පමණ හෝ අවශ්‍ය පරිදි සිදු නොවීමයි. 

නිදහසින් පසු සාර්ව-ආර්ථික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් අපට අයවැය හිඟය පුළුල් වීමට හේතු වූ කරුණු ගණනාවක් එකින් එක හඳුනාගත හැකියි. එසේ හඳුනාගෙන අවුරුදු 75ක් කරන්න බැරි වූ ඇතැම් දේවල් අත හැර දැමිය හැකියි. මේ මුළු කාලය තුළම කාටවත් හරියකට කරන්න බැරි වූ දේවල් පුද්ගලයින්ගේ ප්‍රශ්න නොව ක්‍රමයේ ප්‍රශ්න බව හඳුනා ගෙන අත හැර දමන්න තවත් ප්‍රමාද විය යුතු නැහැ. මේ ලැයිස්තුව තුළ පැහැදිලිව හඳුනාගත හැකි එක් දෙයක් වන්නේ රාජ්‍ය පාලනය යටතේ ඇති ව්‍යවසායයි.

බොහෝ දෙනෙකු හිතන විදිහට රාජ්‍ය අංශය මේ තරම් අකාර්යක්ෂම වී තිබෙන්නේ හැත්තෑ හතේදී ඊනියා නිදහස් ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුවයි. දේශපාලකයා හා රාජ්‍ය සේවකයා දූෂිතයෙකු වී තිබෙන්නේද එයින් පසුවයි. දේශපාලකයින් හොරුන් නොවූ බව කියන හැත්තෑ හතට පෙර යුගයේ රාජ්‍ය ව්‍යවසාය ලාබ ලැබුවාද?

පහත වගුවේ තුන්වන සහ හයවන තීරුවල තිබෙන්නේ හැත්තෑ හතට පෙර කාලයේ සමස්තයක් ලෙස ලංකාවේ රාජ්‍ය ව්‍යවසායයන්හි ආදායම් හා වර්තන වියදම්. ප්‍රාග්ධන වියදම් හා එම ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ පැත්තකින්ම තිබ්බත් අවම වශයෙන් අදාළ ආයතන වල ආදායමෙන් වර්තන වියදම් හෝ ආවරණය වී නැහැ. ඒ කියන්නේ හොරකම්, දූෂණ චෝදනා නැති, ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති සමාජවාදීන් මුදල් ඇමති ධුරය දැරූ කාල වකවානු වලදීත් රාජ්‍ය ව්‍යවසාය පාඩුවට මිස ලාබයට දුවා නැහැ. රට මේ තරම් ණය වුනේ ඇයි කියන එකට එකම පිළිතුර මෙය නොවූවත් මෙය ප්‍රධානම හේතුවක්. 

දැන් මේ ඇතැම් ආයතන පෞද්ගලීකරණය කළාට පසුව ප්‍රශ්නය විසඳිලාද? පැහැදිලිවම ඔව්. ඔය ආයතන ඔය ආකාරයෙන් පාඩු ලබමින් දිගින් දිගටම නඩත්තු කළානම් රටේ ණය ගොඩ ගැසී, එම ණය ගෙවා ගන්න බැරි වී රට අර්බුදයට යන්නේ මීට වඩා ගොඩක් කලින්. 

වෙබ් ලිපිනය: