වෙබ් ලිපිනය:

Thursday, February 22, 2024

පෞද්ගලික සමාගමක් හඳ අල්ලයි!


මීට ටික වේලාවකට පෙර ඇමරිකානු පෞද්ගලික සමාගමක් විසින් සාර්ථක ලෙස සඳ මත යානයක් ගොඩ බැස්සුවා. මෙය ඉතිහාසයේ මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාවයි. මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් දේශය, චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල රජයයන් විසින් සාර්ථක ලෙස සඳ වෙත යානා ගොඩ බස්වා ඇතත්, මෙය පෞද්ගලික සමාගමක් විසින් සඳ මත යානයක් සාර්ථක ලෙස ගොඩ බැස්වූ පළමු අවස්ථාවයි. එමෙන්ම, මේ සමඟ වසර 51කට පසුව ඇමරිකාව නැවතත් සඳ වෙත පිවිසෙනවා. 

මෙසේ සඳ මත පිවිසුනේ ඉන්ටියුටිව් මැෂින්ස් (Intuitive Machines) සමාගමේ ඔඩිසස් යානයයි. එම සමාගම ඉදිරි වසර වලදී සඳ වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරය තුළ තරඟ කරන ඇමරිකානු සමාගම් අතරින් එක් සමාගමක්. 

ඇමරිකානු රජය (නාසා ආයතනය) විසින් 2026 වසරේදී නැවතත් සඳ වෙත මිනිසුන් යැවීමට සැලසුම් කර ඇති අතර මෙවර මෙය කරන්නේ සඳ වෙත ගොස් එහි පා සලකුණු සටහන් කොට ආපසු පැමිණීමේ අරමුණින් නෙමෙයි. ඉන් පසුව, දිගින් දිගටම සඳ ගමන් සිදු වනු ඇති අතර, සඳෙහි දිගු කලක් නැවතී සිටිය හැකි මූල කඳවුරක් ඉදි කර එහි සිට අඟහරු වෙත ගමන් සැලසුම් කිරීම වැඩ සටහනේ ඉලක්කයයි. 

මේ කටයුත්තේදී සඳ වෙත විශාල භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වෙනවා. මෙය සිදු වන්නේ පෞද්ගලික අංශය හරහා. පෞද්ගලික සමාගම් අතර තරඟය නිසා ප්‍රවාහන වියදම් අඩු කර ගත හැකි වීම ඊට හේතුවයි. ඉන්ටියුටිව් මැෂින්ස් සමාගම මෙම භාණ්ඩ ප්‍රවාහන කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට නියමිත එක් සමාගමක්.

Wednesday, February 21, 2024

ඇමරිකාවේ ආර්ථික වර්ධනය


පසුගිය 2023 වසර තුළ ඇමරිකාවේ ආර්ථිකය 2.5%කින් වර්ධනය වී තිබෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල පුරෝකථන වලට වඩා වැඩි වර්ධන වේගයක්. උද්ධමනය පාලනය කිරීම පිණිස පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යද්දී මෙවැනි ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයක්.

ආර්ථික වර්ධනය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයයි. උද්ධමනය නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය ඊට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙනවා. පසුගිය වසර තුළ ඇමරිකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 1,612.3කින් හෙවත් 6.3%කින් වර්ධනය වී තිබෙනවා. (2022දී ලංකාවේ මුළු දළ දේශීය නිෂ්පාදිතයම ඩොලර් බිලියන 77.1ක් පමණයි.)

ඉහත වර්ධනයෙන් පසුව, 2023 වසරේ ඇමරිකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 27,356.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2023 වසර මැද ඇමරිකාවේ ජනගහණය මිලියන 335,208ක්. ඒ අනුව, ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 81,610ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිල ඇස්තමේන්තු අනුව, පෙර වසරේ (2022) මෙම අගය ඩොලර් 77,178ක්.

ඉහත සංඛ්‍යලේඛන වලින් පෙනෙන පරිදි, පසුගිය වසර තුළ පමණක් ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,432කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම වැඩි වීම පමණක් වුවද, 2022දී ලංකාවේ ඒක පුද්ගල ආදායම වූ ඩොලර් 3,474ට වඩා වැඩි අගයක්. ඒ නිසා, ලංකාවේ ඒක පුද්ගල ආදායම වසරක් තුළ 100%කින් වර්ධනය වුවද, ඒක පුද්ගල ආදායමේ මෙවැනි වැඩි වීමක් සිදු වන්නේ නැහැ. 

ඉහළ ඒක පුද්ගල ආදායමක් තිබෙන රටවල ආර්ථිකය අඩු වේගයෙන් වර්ධනය වුවද ඒක පුද්ගල ආදායම වසරක් තුළ සැලකිය යුතු ලෙස ඉහළ යනවා. ඊට අනුරූපව එම රටවල ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව ප්‍රසාරණය වෙනවා. එහි වාසිය ලබා ගනිමින්, එවැනි රටවල පාරිභෝගිකයින් ඉලක්ක කර අපනයන කිරීම අඩු ඒක පුද්ගල ආදායමක් ලබන රටකට දියුණු විය හැකි වේගවත්ම ක්‍රමයයි. 

ලංකාව වැනි රටක නිෂ්පාදිතය ප්‍රමාණාත්මකව දෙගුණ කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. එහෙත්, අපනයන වෙළඳපොළ ඉලක්ක කිරීම මගින් කළ හැකි නිෂ්පාදිතයේ වටිනාකම වැඩි කර ගැනීම කළ හැක්කක්. 

රටක නිෂ්පාදිතය එක වර විශාල ලෙස වැඩි කළ නොහැකි වුවත්, වැඩි ඒක පුද්ගල ආදායමක් ලබන රටවල පාරිභෝගියන්ට විකිණිය හැකි දේ, එසේ විකිණිය නොහැකි නිෂ්පාදන වෙනුවට ක්‍රමයෙන් ආදේශ කිරීම මගින් ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයද ක්‍රමයෙන් ඉහළ දමා ගත හැකියි. මෑත දශක වල සංවර්ධනය වූ රටවල් බොහොමයක් සංවර්ධනය වී තිබෙන්නේ මේ ක්‍රමයටයි. 

Saturday, February 17, 2024

ඊළඟ ජනාධිපති කවුද?

අද ජනාධිපතිවරණයක් පැවතුණි නම්, ඔබ ඡන්දය ලබා දෙන්නේ කාටද?

ඉහත ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy හෙවත් IHP) විසින් වසර කිහිපයක සිට අඛණ්ඩව සිදු කරන ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයෙහි එක් ප්‍රශ්නයක්. ප්‍රශ්නයට පිළිතුරු ලෙස තේරීම් හතරක් තිබෙනවා. 2023 දෙසැම්බර් මාසය තුළ 522 දෙනෙකු විසින් ඉහත ප්‍රශ්නයට ලබා දී තිබෙන පිළිතුරු සහ ඊට පෙර 2021 ජනවාරි 1 දින සිට 2024 ජනවාරි 7 දින දක්වා සිදු කර තිබෙන සම්මුඛ පරීක්ෂණ 14,941ක් මත පදනම්ව, එම ආයතනය විසින් සකස් කර ප්‍රසිද්ධ කර තිබෙන සමීක්ෂණ ප්‍රතිඵල පහත පරිදියි.

අනුර කුමාර දිසානායක - 50%

සජිත් ප්‍රේමදාස - 33%

රනිල් වික්‍රමසිංහ - 9%

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් - 8%


මහ මැතිවරණයක් පැවැත්වුනහොත් ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳවද ඉහත සමීක්ෂණයේදී විමසා තිබෙනවා. 


කෙසේ වුවත්, මෙම ලිපියෙහි අප විසින් වැඩි අවධානයක් යොමු කරන්නේ ජනාධිපතිවරණය හා අදාළව අසා ඇති ප්‍රශ්නය වෙතයි. අපගේ ඉලක්කය වන්නේ මෙම සමීක්ෂණ ප්‍රතිඵල සකස් කර තිබෙන ක්‍රමවේදය පැහැදිලි කිරීම සහ විමසුමට ලක් කිරීම මිස, දේශපාලන විග්‍රහයක් කිරීම නෙමෙයි. එහෙත්, ස්වභාවය අනුවම මෙය දේශපාලන කරුණක් බැවින් අමාරුවෙන් දේශපාලනය බැහැර කර අදහස් දැක්වීමටද අප උත්සාහ කරන්නේ නැහැ. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy හෙවත් IHP) විසින් ඉහත කී මත විමසුම් සමීක්ෂණය වසර තුනකට නොඅඩු කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. ඇමරිකාව වැනි රටවල මෙවැනි මත විමසුම් සමීක්ෂණ ගණනාවක් අඛණ්ඩව සිදු වෙතත්, ලංකාවේ මෙවැන්නක් මීට පෙර සිදු වී නැහැ. අපගේ ස්වාධීන නිගමනය වනුයේ ඇමරිකාව වැනි රටක කරන මෙවැනි සමීක්ෂණයකට සාපේක්ෂව ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයෙහි ක්‍රමවේදයේ විශාල ගැටළු නොමැති බවයි. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අදාළ කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම එහි අධ්‍යක්ෂ රවීන්ද්‍ර රන්නන්එළිය මෙවැනි කටයුත්තක් සැලසුම් කිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා පළපුරුද්ද ඇති අයෙක්. මෙයින් අදහස් වන්නේ මෙම සමීක්ෂණය අඩුපාඩු නැති, අංග සම්පූර්ණ මත විමසුම් සමීක්ෂණයක් බව නෙමෙයි. මෙහි ක්‍රමවේදයේ පැහැදිලි අඩුපාඩු හා අපැහැදිලි තැන් ගණනාවක් හඳුනා ගත හැකියි. මහාචාර්ය ආනන්ද ජයවික්‍රම විසින් එවැනි අඩුපාඩු පිළිබඳව පුළුල් විමසුමක් සිදු කර තිබෙනවා

ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය ඇසුරෙන් ඉහත ඇස්තමේන්තු සකස් කර ඇති ආකාරය මෙන්ම ඒ පිලිබඳව ආනන්ද ජයවික්‍රමගේ විවේචනද අතිශයින්ම තාක්ෂනිකයි. අදාළ විෂය පිළිබඳව සැලකිය යුතු මට්ටමක පුහුණුවක් නොමැතිව මෙම ක්‍රමවේදය හෝ ඒ සම්බන්ධව සිදු කර තිබෙන විවේචන තේරුම් ගැනීම පහසු නැහැ. ලංකාවේ හෝ වෙනත් රටක සාමාන්‍ය පාඨකයෙකුට එවැනි පුහුණුවක් තිබීමේ ඉඩකඩ ඉතා අඩුයි. මේ ලිපිය එවැනි මට්ටමකට නොයන, සාමාන්‍යයෙන් මෙම පිටුව කියවන පාඨකයින් ඉලක්ක කර ලියන්නක්. 

"In 2022, there were 16,692,398 (16.692398 mn) voters in the country according to the Election Commission. Thus, an average sample of 553 voters is 0.0033% of total voters or simply 3.3 voters per 100,000 voters."

ඉහත සඳහන්ව තිබෙන්නේ ක්‍රමවේදය සම්බන්ධව ආනන්ද ජයවික්‍රමගේ විවේචනයක්. මීට සමාන විවේචන වෙනත් අය විසින්ද සිදු කර තිබුණා. අපි ගැටලුව සරල ලෙස පහත ආකාරයෙන් ඉදිරිපත් කරමු.

මිලියන 16.7ක ඡන්දදායක පිරිසක් විසින් ඡන්දය භාවිතා කිරීමට ඉඩ ඇති ආකාරය ගැන ඔවුන්ගෙන් 500 දෙනෙකුගේ (ආසන්න වශයෙන්) නියැදියක් ඇසුරෙන් දැන ගත හැකිද?

සරල පිළිතුර, පුළුවන්. කලාතුරකින් සිදු කරන සංගණන හැරුණු විට අනෙකුත් බොහොමයක් සංඛ්‍යාලේඛණ සකස් කරන්නේ නියැදි සමීක්ෂණ මතයි. එසේ කළ නොහැකිනම් සංඛ්‍යානය කියන විෂයයෙන් වැඩක් නැහැ. එහෙත්, මෙම කාර්යය සාර්ථක වීමටනම් ඉහත ජනගහණයෙන් අහඹු නියැදියක් ලබා ගත යුතුයි.

අදාළ ක්‍රමවේද අනුගමනය කරමින් 500 දෙනෙකුගෙන් යුත් එවැනි අහඹු නියැදියක් ලබා ගත්තා කියා හිතමු. උදාහරණයක් ලෙස, ලිපිය ආරම්භයේ ඇති ප්‍රශ්නයට ඔවුන් පිළිතුරු දුන් ආකාරය පහත පරිදි විය හැකියි. 

අනුර කුමාර දිසානායක - 250 හෙවත් 50%

සජිත් ප්‍රේමදාස - 165 හෙවත් 33%

රනිල් වික්‍රමසිංහ - 45 හෙවත් 9%

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 40 හෙවත් 8%

ඉහත සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, අද (හෝ අදාළ දිනයේ) ජනාධිපතිවරණයක් පැවතුණි නම්, අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරන බව ස්ථිරව කිව හැකිද?

පිළිතුර, එසේ කිව නොහැකියි. එසේ කිව නොහැක්කේ නියැදියේ ප්‍රමාණය 500ක් තරම් අඩු නිසා නෙමෙයි. මෙම ප්‍රමාණය 5000 හෝ 50,000 වුවද නියැදිය අනුසාරයෙන් මැතිවරණ ප්‍රතිඵලය ගැන පුරෝකථනය කළ හැක්කේ එවැන්නක් සිදු වීමේ සම්භාවිතාව මත පදනම්ව පමණයි. ඉහත ප්‍රතිඵලය අනුව, අනුර කුමාර දිසානායක විසින් 50%ක ඡන්ද ප්‍රමාණයක් ගෙන ජනාධිපති වීමට 50%ක සම්භාවිතාවක් තිබෙනවා. 

එමෙන්ම, අනුර කුමාර දිසානායක විසින් අවම වශයෙන් 45%, 50%, 55% හෝ වෙනත් එවැනි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට තිබෙන සම්භාවිතාවද ගණනය කළ හැකියි.

45%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 98.7%
50%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 50.0%
55%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 1.3%

සජිත් ප්‍රේමදාස හා අදාළවද මෙවැනි ගණනයක් කළ හැකියි.

30%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 92.3%
33%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 50.0%
35%ක් ලබා ගැනීමේ සම්භාවිතාව - 17.1%

සාමාන්‍යයෙන් නියැදි සමීක්ෂණයක් මත පදනම්ව ජනගහණයේ හැසිරීම ගැන පුරෝකථන කළ හැක්කේ ඔය විදිහට යම් සම්භාවිතාවන් යටතේයි. එහෙම නැතුව ජනගහණයේ හැසිරීම ගැන හරියටම කියන්න බැහැ. වෙන්න 99%ක ඉඩක් තියෙන දෙයක් වගේම වෙන්න 1%ක ඉඩක් තියෙන දෙයක් වුනත් වෙන්න පුළුවන්. හැබැයි පළමුවැන්න වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

ඉහත විස්තර කළ පරිදි නියැදි සමීක්ෂණ ඇසුරෙන් පුරෝකථන කළ හැක්කේ යම් ඇස්තමේන්තු වරදක් එක්කයි. නියැදියේ ප්‍රමාණය වැඩි කර ගැනීමෙන් ඇස්තමේන්තු වරද අඩු කර ගන්න පුළුවන්. නමුත් නියැදියේ ප්‍රමාණය වැඩි කරද්දී සමීක්ෂණය සඳහා යන පිරිවැයද අනුපාතිකව ඉහළ යනවා. ඒ වියදම එක්ක බලද්දී, මාසයකට 500ක් කියා කියන්නේ නියැදියක් සඳහා නරක ප්‍රමාණයක් නෙමෙයි. 

මිලියන 16.7ක ඡන්දදායක පිරිසකගේ හැසිරීම ගැන දැන ගන්න 500ක අහඹු නියැදියක් ගත් විට ඒ නියැදිය තුළ ජනගහණය හරියටම නිරුපණය නොවෙන්න පුළුවන්. ඒ නිසාම, ප්‍රතිඵලය ජනගහණය හා අදාළ ප්‍රතිඵලයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඉහත සම්භාවිතා ගණනය කර තිබෙන්නේ මේ බව සැලකිල්ලට අරගෙනයි. 

කොහොම වුනත්. මේ විදිහට 500 බැගින් වන නියැදි ගණනාවක් ගත්තොත් ඒ හැම නියැදියක්ම "වැරදි නියැදි" වෙන්න බැහැ. උදාහරණයක් විදිහට ඔය වගේ නියැදි පහක් ගත් විට අනුර කුමාර දිසානායකට එම නියැදි වලින් ලැබී තිබෙන "ඡන්ද" ප්‍රතිශතය 45%-55% අතර සීමාවේනම්, තව නියැදි පහක් හෝ වැඩි ගණනක් ගත්තත් ඔය තත්ත්වයේ වැඩි වෙනසක් නැහැ කියලා උපකල්පනය කරන්න පුළුවන්. ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය වැනි සමීක්ෂණයක් දිගින් දිගටම කරද්දී ලැබෙන ප්‍රතිඵල වල විශාල වෙනසක් නැත්නම් නියැදියේ ප්‍රමාණය ප්‍රශ්නයක් වී නැහැ කියන එක පැහැදිලි වෙනවා.

හැබැයි ඉහත කී පරිදි, සමීක්ෂණය දිගින් දිගටම කරද්දී ලැබෙන ප්‍රතිඵල ආසන්නව සමාන වීම මත පදනම්ව නියැදියේ ප්‍රමාණය ප්‍රශ්නයක් වී නැති බව කිව හැක්කේ එම නියැදි වෙනස් නියැදිනම් පමණයි. එකම නියැදිය දිගින් දිගටම ප්‍රශ්න කළොත් මුලින් වුනු වැරැද්දක් ඇත්නම් එය දිගටම යනවා. එහෙම නැත්නම්, පරණ නියැදි වල තොරතුරු අනුසාරයෙන් අළුත් නියැදියේ ඇස්තමේන්තු වරද අඩු කර ගන්න පුළුවන්. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් එවැන්නක් කර ඇති බවයි පෙනෙන්න තියෙන්නේ.

නැවත ඉහත සම්භාවිතා වෙත ආවොත්, එම සම්භාවිතා ගණනය කර තිබෙන්නේ 500ක නියැදිය ජනගහණයේ අහඹු නියැදියක් ලෙස සලකලා. හැබැයි ප්‍රායෝගිකව ඔය විදිහේ අහඹු නියැදි හොයා ගන්න අමාරුයි. විවිධ හේතු නිසා නියැදියක අහඹුතාවය නැති වෙනවා. 

සංඛ්‍යානයේ ඔය ලෙඩේටත් බෙහෙත් තියෙනවා. නියැදි වල අහඹුතාවය නැති වී තිබෙන්නේ මොන මොන හේතු නිසාද කියලා හොයා ගත්තට පස්සේ අවශ්‍ය නිවැරදි කිරීම් කරන්න පුළුවන්. මෙහිදී දත්ත විශේලේෂකයාට යම් නිදහසක් ලැබෙන නිසා අපක්ෂපාතීව වැඩේ කරන එක වැදගත්. ඕනෑම පුද්ගලයෙකු අතින් තමන්ගේ පක්ෂපාතීත්වයන් අවිඥානිකව හෝ ප්‍රතිඵලයට බලපෑමක් කරන්න පුළුවන්.

කලින් කිවුවා වගේ ආනන්ද ජයවික්‍රම විසින් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදයේ අඩුපාඩු ගණනාවක් පෙන්වා දී තිබෙනවා. නමුත් මේවා බොහොමයක් සිදු වීමේ ඉඩක් තිබෙන වැරදි මිසක් අනිවාර්යයෙන්ම සිදු වී තිබෙන වැරදි නෙමෙයි. මෙවැනි වැඩක් නිවැරදිව කරන වෙනත් ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින්ව කරනවා වගේම සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින්ද ඔවුන්ගේ සමීක්ෂණ දත්ත වල අඩුපාඩු හඳුනාගෙන නිවැරදි කර තිබෙනවා. 

මේ හැම එකක්ම පියවරෙන් පියවර විස්තර කර එම විස්තර ප්‍රසිද්ධ කර නැතත්, පර්යේෂකයින් විසින් ඒ මට්ටමේ විස්තර කිරීම් කරන එක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ වගේ වැඩකදී තමන්ගේ කීර්ති නාමය පරදුවට තියන්න වෙන නිසා නමක් තිබෙන පර්යේෂකයෙක් තමන් කරන දේ ගැන පුළුවන් තරම් සැලකිලිමත් වෙනවා. 

මීට අමතරව අසා තිබෙන ප්‍රශ්නයේ සැලසුමේ ප්‍රශ්න තිබෙනවා. මෙයත් ආනන්ද ජයවික්‍රම විසින් පෙන්වා දී ඇති දෙයක්. උඩින්ම තිබෙන ප්‍රශ්නයට පිළිතුරු ලෙස ලබා දී තිබෙන්නේ තේරීම් හතරක් පමණයි. නමුත් සැබෑ ජනාධිපතිවරණයකදී ඡන්දය කටු ගෑම, ඡන්දය නොදැමීම, වෙනත් කුඩා පක්ෂ වලට ඡන්දය දීම වැනි තේරීම් තිබෙනවා. මෙහි ඒ අයට තේරීමක් නැහැ. මගේ පෞද්ගලික අදහස අනුව, එවැනි අය තමන්ට දී තිබෙන විකල්ප අතරින් අනුර කුමාර දිසානායකව තෝරා ගන්න වැඩි ඉඩක් තිබෙනවා. 

නියැදිය තෝරා ගැනීමේදී බොහෝ දුරට යොදා ගෙන තිබෙන්නේ අහඹු ලෙස දුරකථන අංක වලට කතා කිරීමේ ක්‍රමයයි. මෙය සම්මත ක්‍රමයක්. එහෙත්, මෙහිදී ප්‍රතිචාර දක්වන්නන් ජනගහණයේ අහඹු නියැදියක් නෙමෙයි. මෙය නොදන්නා දෙයක් නොවන නිසා ජනගහණයේ ජාති, ආගම්, වයස ආදී දේවල් ඇසුරෙන් නිවැරදි කිරීමක් කර ඇතත් මෙසේ තෝරා ගන්නා නියැදියක් හා රටේ සමස්ත ජනගහණය අතර එම නිවැරදි කිරීම් වලින් නිවැරදි නොවන සියුම් වෙනස්කම් තිබෙනවා. 

දුරකථන සමීක්ෂණයක් වෙනුවෙන් කාලය යොදවන අය හා සමාජ ජාලා වල නිතර සැරිසරන අය ආසන්න වශයෙන් එකම කොටසක් සේ සලකන්න පුළුවන්. මෙම කුලකය තුළ අනුර කුමාර දිසානායකට වගේම රනිල් වික්‍රමසිංහටත් යම් වාසිදායක තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ වගේම, ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගොඩක් අඩු වී තිබෙන පසුබිමක රනිල් වික්‍රමසිංහට හා පොදුජන පෙරමුණට කැමැත්තක් දක්වන අය ඒ බව ප්‍රකාශ කරන්න යම් මැලිකමක් දක්වන්න පුළුවන්. අනෙක් අතට අනුර කුමාර දිසානායකට කැමැති, පාක්ෂිකයින් නොවන, ඇතැම් අය වුනත් ඒ බව කියන්න මැලි වෙන්න පුළුවන්.

ඉහත කී ආකාරයේ හේතු නිසා සිදු විය හැකි වැරදීම් සමීක්ෂණයක් කරන කෙනෙකුට හඳුනා ගන්න අමාරුයි. සමීක්ෂණයට සහභාගී වන අය මොනවා කිවුවත් ඒ කියපු දේ නිවැරදියි කියා සලකන්න වෙනවා. ඒ හැරුණු විට, සමීක්ෂණය කරන ආයතනයට කළ හැකි තරම් නිවැරදිව මේ සමීක්ෂණය කර ඇති බවයි මටනම් පේන්නේ. මේ ප්‍රතිඵලය මට "හිතෙන" ප්‍රතිඵලය සමඟ හරියටම ගැලපෙන්නේ නැහැ. නමුත්, මට "හිතෙන" දෙයට වඩා සමීක්ෂණ ප්‍රතිඵලයක් නිවැරදි වෙන්න තිබෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

(යාවත්කාලීන කිරීම: ගණනයේ වරදක් තිබී පසුව නිවැරදි කළා.)

Wednesday, February 14, 2024

පොලී අනුපාතික තනි අංකයකට!



අද (පෙබරවාරි 14) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික තනි අංකයක් දක්වා පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ එම පොලී අනුපාතිකයි.

දින 91 - 9.79%

දින 182 - 9.82%

දින 364 - 10.02%

ඊයේ (පෙබරවාරි 13) පැවති භාණ්ඩගාර බැඳුම්කර වෙන්දේසියේදී 2026 හා 2028 වසර වලදී කල් පිරෙන බැඳුම්කර අලෙවි වූයේද සැලකිය යුතු තරම් අඩු ඵලදා අනුපාතිකයකටයි.

2026 දෙසැම්බර් 15 කල් පිරෙන 11.25% කූපන් බැඳුම්කර - 10.81%

2028 දෙසැම්බර් 15 කල් පිරෙන 11.50 කූපන් බැඳුම්කර - 11.90%

ඉහත 2026 දෙසැම්බර් 15 කල් පිරෙන 11.25% කූපන් බැඳුම්කරය එහි කූපන් පොලී අනුපාතිකයට වඩා අඩු ඵලදා අනුපාතිකයකට අලෙවි වීම විශේෂත්වයක්.  ඒ අනුව, රුපියල් 100ක බැඳුම්කරයක් වෙනුවෙන් රජයට ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවා. ආර්ථික අර්බුදය පැවති පසුගිය කාලය පුරාම සිදු වුනේ එහි අනෙක් පැත්තයි. 

මීට අමතරව, කාලයකට පසුව, මාස 6 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය වන 10% මට්ටමෙන් පහතට වැටී තිබෙනවා.

Tuesday, February 13, 2024

නයිටිංගේල් සහ රතු රෝස මල

 


දර්ශනය හදාරන ශිෂ්‍යයෙකුට ඔහුගේ මහාචාර්යවරයාගේ දියණිය කෙරෙහි ආදරයක් ඇති වෙනවා. ක්‍රෂ් එකක් කියමු. ඒ කියන්නේ ඔහුගේ උපයෝගීතාවය වැඩි කරගත හැකි දෙයක් සඳහා නොසංසිඳුණු ඉල්ලුමක් ඇති වෙනවා.

දැන් මේ ශිෂ්‍යයා තමන්ගේ හිතේ ඇති වුනු ආදරය හිමි ගන්නා ආකාරය ගැන හිත හිතා ඉන්න කාලයේදී, ඒ කියන්නේ වටේ යමින් ට්‍රයි කරන කාලයේදී, ඔහුට ඒ සඳහා අනගි අවස්ථාවක් ලැබෙනවා. නොසංසිඳුණු ඉල්ලුමක් ඇති විට ඒ ඉල්ලුම සපුරා ගත හැකි අවස්ථාවන් ගැන හොයා බැලීමක්ද වෙනවනේ. ඒ රජකුමරාගේ බාල් නැටුමට ඈ සමඟ සහභාගී වීම. 

නමුත් මේ සඳහා මහාචාර්යවරයාගේ දියණියගේ කැමැත්ත ලැබෙන්නේ එක් කොන්දේසියක් සම්පූර්ණ කළොත් පමණයි. ඒ ඇයට රතු රෝස මලක් දීම. මිලක් නොගෙවා නිකම්ම යමක් ලබා ගන්න බැහැනේ. No free lunch! වෙනත් තරුණියන් වගේම මේ තරුණියද ගණන් උස්සනවා. සමහර විට කඩේ යැවීමක් වෙන්නත් පුළුවන්.

"If I bring her a red rose she will dance with me till dawn. If I bring her a red rose, I shall hold her in my arms, and she will lean her head upon my shoulder, and her hand will be clasped in mine."

"මම ඇයට රතු රෝස මලක් දුන්නොත්, ඈ මා සමඟ රැය පහන් වන තුරු නටයි. මම ඇයට රතු රෝස මලක් දුන්නොත්, මා ඇගේ බඳ වටා අතක් දමා ගෙන සිටිද්දී ඇය මගේ අනෙක් අත ඇගේ අතේ පටලවාගෙන මගේ උරහිස වෙත හිස තියයි."

නිකම්ම මනෝ පාරක් පමණක් වුනත් කොයි තරම් සුන්දර හැඟීමක්ද?

හැබැයි කොස්සක් තියෙනවා. ශිෂ්‍යයාගේ වත්තේ එකම එක රතු රෝස මලක්වත් නැහැ. ඒ කියන්නේ රෝස මලකට ඉල්ලුමක් තිබුණාට සැපයුමක් නැහැ. 

රතු රෝස මලක් හොයා ගන්න විදිහක් නැති බව මතක් වෙද්දී කුමාරයාගේ ඇස් කඳුලෙන් පිරෙනවා. මොකද මේ ශීත කාලය. ගස් වල කොළ හැලිලා. නැවත රෝස මල් පිපෙන්නේ වසන්ත කාලයේදී. රෝසමල් වලට තියෙන්නේ වාරික සැපයුමක් (seasonal supply). නමුත් බාල් නැටුම තියෙන්නේ හෙට. රෝස මල අවශ්‍ය හෙට. මාස තුනක් බලා ඉන්න බැහැ. අවශ්‍ය වෙලාවට සැපයුමක් නැත්නම් එයින් ඉල්ලුම සැපිරෙන්නේ නැහැ. අර තරුණිය රතු රෝස මලක් ඉල්ලුවේ රතු රෝස මල් නැති බව දැනගෙනමද දන්නේ නැහැ. 

ශිෂ්‍යයාට ඔහු ඉගෙන ගත්ත දර්ශනය මතක් වෙනවා. දාර්ශනිකයෝ ලියලා තියෙන හැම මගුලක්ම ඔහුට කට පාඩම්. හැබැයි ඒ එකකින්වත් ඔහුගේ දුක නිවෙන්නේ නැහැ. ඔහුගේ හිත දුකින් පිරිලා. සතුට කියන දේ තීරණය කරන්නේ කොයි තරම් පොඩි දේවල්ද?

"Ah, on what little things does happiness depend! I have read all that the wise men have written, and all the secrets of philosophy are mine, yet for want of a red rose is my life made wretched."

සමහර විට අනුන්ගේ ප්‍රශ්න වලදී මේ ශිෂ්‍යයා බොහොම පණ්ඩිතමානී විදිහට දාර්ශනික පිළිතුරු දීලා ඇති. නමුත් දැන් ප්‍රශ්නය තමන්ගේ. පිළිතුර දාර්ශනික වන්නේ ප්‍රශ්නය අනුන්ගේ වන තුරු පමණයි කියනවනේ. දැන් දාර්ශනික විසඳුම් හරියන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ප්‍රායෝගික, වෙළඳපොළ විසඳුමක්.

***

නයිටිංගේල් කුරුල්ලකුට මේ ශිෂ්‍යයාගේ විලාපය ඇහෙනවා. මේ නයිටිංගේල් කුරුල්ලා නිකම්ම නිකම් නයිටිංගේල් කුරුල්ලෙක් නෙමෙයි. ලොකු අරමුණක් වෙනුවෙන් ජීවිතය කැප කරපු නයිටිංගේල් කුරුල්ලෙක්. නයිටිංගේල් කුරුල්ලාගේ උපයෝගීතාවය තියෙන්නේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම ඇතුළේ. එම අරමුණ ඉටු වන තුරු නයිටිංගේල් කුරුල්ලා අසතුටෙන්. තමන්ගේ අරමුණ වෙනුවෙන් හැකි ඕනෑම මිලක් ගෙවන්න නයිටිංගේල් කුරුල්ලා සූදානම්.

නයිටිංගේල් කුරුල්ලාගේ ජීවිතයේ එකම අරමුණ සැබෑ ප්‍රේමවන්තයෙක් හොයා ගන්න එක. එහෙම කෙනෙක් නැති බව දැන දැනත් නයිටිංගේල් කුරුල්ලා හැම රැයකම සැබෑ ප්‍රේමවන්තයෙක් ගැන සිංදු කියනවා. එහෙම කරන එකෙන් හරි යම් උපයෝගීතාවයක් ලැබෙනවා ඇතිනේ. හැම රැයකම  සැබෑ ප්‍රේමවන්තයෙක් ගැන කතා ගොතලා තරු වලට කියනවා. නයිටිංගේල් කුරුල්ලාගේ කතා අහන්න කවුරුවත් නැත්නම්, වෙළඳපොළ ඉල්ලුමක් නැත්නම්, වෙන කරන්න දෙයක් නැහැනේ. 

නයිටිංගේල් කුරුල්ලාගේ ඔය කතා වත්පොතේ පළ කළානම්, කවුරු හෝ ලයික් එකක් දමනවා. ෆලෝවර්ස්ලා එකතු වෙනවා. නමුත් මේ සිද්ධිය වෙන්නේ දහනව වන සියවසේදී. ඒ කාලයේ එහෙම එකක් නැහැ. විසිවන සියවස එළඹෙද්දී මේ සුරංගනා කතාව ලියපු අයිරිෂ් ජාතික ඔස්කා වයිල්ඩ් මිය යනවා. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 46ක් පමණයි. ඊට වසර කිහිපයකට පෙර සමලිංගික සේවනය කිරීමේ වරදට ඔහුට සිර දඬුවම් ලබා දෙනවා. ඒ කාලයේදී සමලිංගික සේවනය නීති විරෝධීයි. මේ සිර දඬුවම නිසා ඔස්කා වයිල්ඩ්ගේ සෞඛ්‍යය බොහෝ සේ පිරිහෙනවා. 

උත්සාහවන්තයා ජයගනී කියනවනේ. රට වටේ සිංදු, කතා කිය කිය යන නයිටිංගේල් කුරුල්ලාට අන්තිමට තමන් හොයා හොයා හිටපු සැබෑ ප්‍රේමවන්තයා  හමු වෙනවා. ඒ තමයි අර දර්ශනය හදාරන ශිෂ්‍යයා. මහාචාර්ය වරයාගේ දුවට හිතින් ආදරය කරන තරුණයා. 

'Here at last is a true lover,' said the Nightingale. 'Night after night have I sung of him, though I knew him not: night after night have I told his story to the stars, and now I see him."

***

ඔන්න දැන් නයිටිංගේල් කුරුල්ලාට ඉලක්කයක් තියෙනවා. ඒ තමයි අර ශිෂ්‍යයාගේ ආදරය වෙනුවෙන් රතු රෝස මලක් හොයලා දෙන එක. අපිට කොහෙන්ද පූසෝ නයිටිංගේල් කුරුල්ලෝ කිවුවලු! හැබැයි අර ශිෂ්‍යයාටනම් එහෙම කුරුල්ලෙක් හිටියා. 

නයිටිංගේල් කුරුල්ලාට වටිනාකම් වල සාපේක්ෂ බව ගැන මතක් වෙනවා. තමන් ගී කියා සතුටු වන ආදරය තවත් කෙනෙකුට ගෙන දෙන්නේ දුකක්. 

ආදරය කියන්නේ පුදුම දෙයක්. මුතු මැණික් තියා පිළිකා සෛල නාශනය කළ හැකි බව කියන දෙළුම් දීලාවත් ආදරය මිල දී ගන්න බැහැ. ආදරය වෙළඳසැල් වල විකුණන්න නැහැ.

'What I sing of he suffers: what is joy to me, to him is pain. Surely Love is a wonderful thing. It is more precious than emeralds, and dearer than fine opals. Pearls and pomegranates cannot buy it, nor is it set forth in the market-place. it may not be purchased of the merchants, 'or can it be weighed out in the balance for gold.'

හැබැයි ඔහොම කිවුවට ආදරයත් හුවමාරු වෙනවා. ගනුදෙනු වෙනවා. ආදරයට වුනත් වටිනාකමක්, මිලක් තියෙනවා. ඔය වගේ දේවල් විග්‍රහ කර ගන්න පුළුවන් තරමට ඒ දවස් වල විෂය දැනුම වැඩි දියුණු වී නොතිබුණු නිසා, ඒ වෙද්දී දාර්ශනිකයෝ ලියලා තිබුණු හැම දෙයක්ම හදාරලා තිබුණු කෙනෙක්ට වුනත් ඔහොම හිතෙන එකේ පුදුමයක් නැහැ. 

***

දැන් මෙහි පාර්ශ්ව දෙකක් ඉන්නවා. රතු රෝස මලක් ලැබුණොත් ශිෂ්‍යයාට සතුටු විය හැකියි. ශිෂ්‍යයාට සතුටු විය හැකිනම් එයින් නයිටිංගේල් කුරුල්ලාට සතුටු විය හැකියි. 

ගනුදෙනු සිදු වන්නේ මිල දී ගන්නෙකු හා විකුණන්නෙකු අතර පමණක් නෙමෙයි. කෙනෙක් වෙනත් කෙනෙකුට උදවුවක් කරද්දී වෙන්නෙත් ගනුදෙනුවක්. එහිදී මුදල් හෝ භාණ්ඩ හුවමාරුවක් වීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. පාර්ශ්ව දෙකේම උපයෝගීතාවය වැඩි වෙනවානම් එය නිදහස් ගනුදෙනුවක් කියා කියන්න පුළුවන්. ආදරය කියන්නෙත් ඔය විදිහේ ගනුදෙනුවක්. ආදරය විරුද්ධ ලිංගිකයින් අතර (හෝ සමලිංගිකයන් අතර) සිදු වන්නක් වෙන්නත් අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඕනෑම කෙනෙකුට ආදරය කරන්න. 

කෙනෙක් ස්වේච්ඡාවෙන් වෙනත් අයෙකුට උදවුවක් කරන්නෙත් එයින් තමන්ගේ උපයෝගීතාවය වැඩි වන නිසා. ඒ අර්ථයෙන්, මුදල් නොගෙන උදවුවට කරන දේවල් වලිනුත් අවසාන වශයෙන් උදවුව කරන පුද්ගලයාට ලැබෙන්නේ ලාබයක්. උදවුව ලබන පුද්ගලයාට කොහොමටත් ලාබයක් වෙලානේ. ඒ නිසා මෙවැනි ගනුදෙනුවක් සහ මිල දී ගන්නෙකු හා විකුණන්නෙකු අතර සිදුවන ගනුදෙනුවක් අතර ලොකු වෙනසක් නැහැ.

ඔන්න දැන් අපේ නයිටිංගේල් කුරුල්ලා ස්වේච්ඡාවෙන් අර ශිෂ්‍යයාට උදවු කරන්න යනවා. නයිටිංගේල් නම දාගත්ත ෆයිටිං ගර්ල්ලාත් ඉන්නවනේ. මෙයා එහෙම එක්කෙනෙක් නෙමෙයි. හැබැයි වැඩේ ලේසි නැහැ. රතු රෝස මලක නිෂ්පාදන පිරිවැය හොඳටම වැඩියි!

"If you want a red rose,' said the Tree, 'you must build it out of music by moonlight, and stain it with your own heart's-blood. You must sing to me with your breast against a thorn. All night long you must sing to me, and the thorn must pierce your heart, and your life-blood must flow into my veins, and become mine."

රතු රෝස මලක් ලබා ගන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි. මේ වැඩේට නයිටිංගේල් කුරුල්ලා විසින් තමන්ගේ හදවත ටිකෙන් ටික රෝස කටුවක් මත තද කරමින් රෑ එළිවෙන තුරු ගී ගැයිය යුතුයි. රෝස ගහේ නහර වලට ලේ ගලා ගිහින් පණ ඇවිත් රතු රෝස මලක් පුබුදු කරවන්න පුළුවන් වන්නේ නයිටිංගේල් කුරුල්ලා විසින් එවැනි කැප කිරීමක් කළොත් පමණයි. අමාරු තේරීමක්!

නයිටිංගේල් කුරුල්ලාට තමන්ගේ අරමුණ ඉටු කර ගත හැකි මාර්ගයක් දැන් තිබෙනවා. නමුත් ආවස්ථික පිරිවැය ගොඩක්ම වැඩියි. උද්ධමනය අඩු කරන්න පොලී අනුපාතික වැඩි කරපු එකේ ආවස්ථික පිරිවැය මොකක්ද කියලා හිතෙනවා.

නයිටිංගේල් කුරුල්ලාට මුලින්ම ලොකු දෙගිඩියාවක් ඇති වෙනවා. 

"මරණය කියන්නේ රතු රෝස මලක් වෙනුවෙන් ඕනෑවට වඩා වැඩි මිලක් නෙමෙයිද?"

ඔව්. ජීවිතය ගොඩක් වටිනවා තමයි. නමුත් ආදරයේ වටිනාකම ඊට වඩා වැඩියි. මිනිස් හදවතක වටිනාකම එක්ක බැලුවහම කුරුල්ලෙක්ගේ හදවතේ වටිනාකම කුමක්ද? නිදහස් ගනුදෙනුවක් වෙන්නේ ඔන්න ඔය සංසන්දනයත් එක්ක.

"Death is a great price to pay for a red rose,' cried the Nightingale, 'and Life is very dear to all. It is pleasant to sit in the green wood, and to watch the Sun in his chariot of gold, and the Moon in her chariot of pearl. Sweet is the scent of the hawthorn, and sweet are the bluebells that hide in the valley, and the heather that blows on the hill. Yet Love is better than Life, and what is the heart of a bird compared to the heart of a man?"

කරන්න පුළුවන් ලොකුම කැපවීම ක‍රන්න සූදානම් වී නයිටිංගේල් කුරුල්ලා ශිෂ්‍යයාගෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි. සැබෑ ආදරවන්තයෙක් වෙන්න. මොකද ආදරය තියෙන්නේ දර්ශනයට වඩා ඉහළ තැනක. 

***

නයිටිංගේල් කුරුල්ලා ශිෂ්‍යයාට කියපු අණ්ඩර දෙමළය ඒ වෙලාවේ ඔහුට තේරෙන්නේ නැහැ. නමුත් උදේ ජනේලය අරිද්දී ජනේලය අද්දර රතු රෝස මලක් පිපිලා. කවදාවත්ම දැකලා නැති තරම් ලස්සන රතු රෝස මලක්. මේ රෝස වර්ගයට අනිවාර්යයෙන්ම දිග විද්‍යාත්මක නාමයක් තිබිය යුතුයි! මොන තරම්නම් වාසනාවක්ද?

"Why, what a wonderful piece of luck! he cried; 'here is a red rose! I have never seen any rose like it in all my life. It is so beautiful that I am sure it has a long Latin name;' and he leaned down and plucked it."

නයිටිංගේල් කුරුල්ලා හදවතේ ඇනුණු රෝස කටුවක් එක්ක තණ බිස්සේ මැරී වැටිලා. නිකම් ලැබෙන දේවල් ලබා ගන්න ගොඩක් අයට ඒ දේවල් වෙනුවෙන් කවුරු හෝ පිරිසක් විසින් මිලක් ගෙවිය යුතුයි කියන එක ලේසියෙන්ම අමතක වෙනවා.

***
ඔය තරම් දෙයක් වුනාටත් පස්සේ ශිෂ්‍යයාගේ ප්‍රශ්නය විසඳෙනවාද? 

රෝස මල කඩා ගන්නා ශිෂ්‍යයා එයද සමඟ මහාචාර්ය වරයාගේ නිවස වෙත දිව යනවා. නමුත්, අවසාන වශයෙන් ලැබෙන්නේ ඔහු අපේක්ෂා කළ පිළිතුර නෙමෙයි. ඒ වෙද්දී මාලිගාවේ දුක් ගන්නා රාළගේ බෑණා මහාචාර්ය වරයාගේ දියණියට වඩා වටිනා තෑග්ගක් දීලා. මල් වලට වඩා වැඩියෙන් ඇත්ත මැණික් වටිනා බව කවුරුත් දන්නා දෙයක්!

"...the Chamberlain's nephew has sent me some real jewels, and everybody knows that jewels cost far more than flowers."

අන්තිමට ශිෂ්‍යයාට තරුණියගෙන් ලැබෙන්නේ ඔය ආර්ථික විද්‍යා පාඩම පමණයි!

ශිෂ්‍යයා විසින් පාරට වීසි කරන රතු රෝස මල කරත්ත රෝදයකට අසු වී තැලී යනවා. ඒ එක්කම, එහි වටිනාකම් චක්‍රය අවසන් වෙනවා. රෝස මලක වගේම ආදරයේත් වටිනාකම ඔය වගේ සාපේක්ෂ හා වෙනස් වන දෙයක් නෙමෙයිද?

"What a silly thing Love is,' said the Student as he walked away. 'It is not half as useful as Logic, for it does not prove anything, and it is always telling one of things that are not going to happen, and making one believe things that are not true. In fact, it is quite unpractical, and, as in this age to be practical is everything, I shall go back to Philosophy and study Metaphysics."

"ආදරය කියන්නේ මොන තරම් මෝඩ දෙයක්ද? එය තර්ක ශාස්ත්‍රයෙන් බාගයක්වත් වටින්නේ නැහැ. ආදරය කියන්නේ ප්‍රායෝගික නැති දෙයක්. මේ කාලයේ හැම දේටම වඩා වටින්නේ ප්‍රායෝගික වීමයි."

ශිෂ්‍යයා නැවතත් දර්ශනය හදාරන්න යනවා. ඔය කාලය වෙද්දී ආර්ථික විද්‍යාව විෂයයක් විදිහට හරියට දියුණු වෙලා තිබුණේ නැහැ. එහෙම දියුණු වෙලා තිබුණානම් සමහර විට දර්ශනය වෙනුවට ආර්ථික විද්‍යාව හදාරන එක ගැන හිතයි.

***

උඩ තිබෙන්නේ ඇමසන් වෙබ් අඩවියේ විකුණන්නට තිබෙන රෝස මලක්. මෙය විකිණෙන්නේ ඩොලර් පණහක පමණ මුදලකට. ඒ කියන්නේ රුපියල් වලින් 15,500ක පමණ මුදලකට. රෝස මලක මිල රුපියල් පහළොස්දාහක් වෙන්නේ කොහොමද?

ඔය වගේ රතු රෝස මලක් ගහක නිකම්ම පිපෙන්න පුළුවන්. නමුත් ඒ වගේ රතු රෝස මලක් ඔය විදිහට වෙළදපොළට එද්දී විශාල අගය එකතු වීමක් සිදු වෙලා. මේ ස්වභාවික රෝස මල වසර පහක් හෝ හයක් පමණ ඔය තත්ත්වයෙන් තියා ගත හැකි පරිදි සංරක්ෂණය කරලයි තියෙන්නේ. 

මේ අගය එකතු කිරීම පසුපස තාක්ෂනය දියුණු කිරීමක්, ඒ සදහා මුදල් ආයෝජනය කිරීමක් හා එම මුදල් වල අවදානම ගැනීමක් තිබෙනවා. ඒ සියල්ල පිරිවැය ලෙස රෝස මලේ මිලට එකතු වෙනවා. ඊට අමතරව එය අඩංගු භාජනයේ මිල, බෙදා හැරීමේ පිරිවැය ආදිය මෙන්ම නිෂ්පාදකයාගේ හා අතරමැදියන්ගේ අපේක්ෂිත ලාබද එම මිලට එකතු වෙනවා. නමුත් රෝස මලේමිල යනු ඒ සියල්ලම වුවද නෙමෙයි. එය පාරිභෝගිකයා විසින් ගෙවන්නට සූදානම් මිල, එනම් පාරිභෝගිකයාගේ සාපේක්ෂ වටිනාකම, අනුව ඉහළ යනවා. වැලන්ටයින් දිනය වැනි දිනක මේ මිල ගොඩක් වැඩියි.

වැලන්ටයින් දිනය එළැඹෙන්නේ උතුරු ඇමරිකාවේ ශීත කාලය තුළයි. ඒ කාලයේදී රෝස ගස් වල මල් පිපෙන්නේ නැහැ. එහෙත්, ශීත කාලයේදී වුනත් රතු රෝස පුබුදුවන්න වෙළඳපොළට පුළුවන්. 

"සැබෑ ආදරවන්තයෙක් වෙන්න. මොකද ආදරය තියෙන්නේ දර්ශනයට වඩා ඉහළ තැනක!"

පින්ලන්තයේ පින්වන්තයෝ...


පසුගිය සටහන සමඟ රූප සටහනක් පළ කර ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. නිතර මෙහි යන එන පාඨකයින් කිහිප දෙනෙකු විසින්ම එම ප්‍රශ්න තුනට පිළිතුරු දී තිබුණා. ඔවුන් සියලු දෙනාටම ස්තුතියි! එම ප්‍රශ්න හා පිළිතුරු ගැන කතා කරන එක මොහොතකට පමා කරමු.

පින්ලන්තය හා අදාළව මේ ප්‍රශ්න ඇසුවේ විශේෂ හේතු කිහිපයක් නිසා. දැනට වසර දොළහක පමණ සිට "ලෝක සතුටු වාර්තාව" නමින් වාර්ෂික වාර්තාවක් එළි දැක්වෙනවා. මෙම වාර්තාවෙහි ජීවත්වීම සඳහා සුදුසුම රටවල් අනුපිළිවෙලින් ශ්‍රේණිගත කෙරෙනවා. පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීම් වල වගේම, ඊට පෙර වසර පහක කාලය තුළද මෙම ලැයිස්තුවෙහි උඩින්ම සිටි රට පින්ලන්තයයි. එහි ශ්‍රේණිගත කර ඇති රටවල් 137ක් අතරින් ලංකාවේ ස්ථානය 112.

පින්ලන්තය වගේ පට්ට සීතල රටක් ලැයිස්තුවේ උඩට එන්නේ කොහොමද?

රටක ජනතාවගේ ජීවන තත්ත්වය මැනීම සඳහා යොදා ගන්නා වඩාත්ම ප්‍රචලිත නිර්ණායකය ඒක පුද්ගල ආදායමයි. එහෙත්, ඒක පුද්ගල ආදායම දෙස බැලීමෙන් පමණක් රටක ජනතාවගේ ජීවන තත්ත්වය මැනිය නොහැකි බව පැහැදිලි තාර්කික පදනමක් තිබෙන විවේචනයක්. සතුටු වාර්තාවේ සතුටු දර්ශකයෙහි ඒක පුද්ගල ආදායමද ජීවන තත්ත්වය පිළිබඳ මිනුමක් ලෙස සලකන නමුත් එවැනි තවත් මිනුම් පහක්ද සලකා බලනවා. 

1. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 

2. සමාජ සහයෝගය 

3. ආයු අපේක්ෂාව 

4. ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස 

5. පරිත්‍යාගශීලී බව 

6. දූෂණ පිළිබඳ ආකල්ප 

පින්ලන්තය පළමු තැනට එන්නේත්, ලංකාව 112/137 ලෙස ශ්‍රේණිගත වන්නේත් ඉහත නිර්නායක හයම සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. මෙම එක් එක් නිර්ණායකය අනුව, පින්ලන්තයේ හා ලංකාවේ ස්ථාන පහත පෙන්වා තිබෙනවා.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය:

පින්ලන්තය- 18

ලංකාව- 73


සමාජ සහයෝගය:

පින්ලන්තය- 2

ලංකාව- 71


ආයු අපේක්ෂාව:

පින්ලන්තය- 23

ලංකාව- 53


ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස:

පින්ලන්තය- 1

ලංකාව- 80


පරිත්‍යාගශීලී බව:

පින්ලන්තය- 80

ලංකාව- 85


දූෂණ පිළිබඳ ආකල්ප:

පින්ලන්තය- 2

ලංකාව- 81


මේ අනුව පෙනෙන්නේ පින්ලන්තය පළමු තැනට තල්ලු වී තිබෙන්නේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස, දූෂණ පිළිබඳ ආකල්ප හා සමාජ සහයෝගය නිසා බවයි. ලංකාවේ සමස්ත ස්ථානය එක් එක් කාණ්ඩ යටතේ සිටින ස්ථාන සියල්ලටම වඩා අඩු එකක් වීමද විශේෂත්වයක්.

පින්ලන්තයට අමතරව, අනෙකුත් ස්කැන්ඩිනේවියන් රටවල් හතරටද ලැයිස්තුවේ ඉහළ තැන් හිමි වී තිබෙනවා. පහත තිබෙන්නේ ලැයිස්තුවේ මුල් රටවල් දහය.

1. පින්ලන්තය 

2. ඩෙන්මාර්කය 

3. අයිස්ලන්තය 

4. ඊශ්‍රායලය 

5. නෙදර්ලන්තය 

6. ස්වීඩනය 

7. නෝර්වේ 

8. ස්විට්සර්ලන්තය 

9. ලක්සම්බර්ග් 

10. නවසීලන්තය


නිර්ණායක හයෙන් හතරකින්ම පින්ලන්තයට වඩා ඉදිරියෙන් සිටින සිංගප්පූරුව ඉහත රටවල් දහය අතර නැහැ. එරටට හිමිව තිබෙන්නේ ලැයිස්තුවේ 25 වන ස්ථානයයි. පහත තිබෙන එක් එක් නිර්ණායකය තුළ සිංගප්පූරුව සිටින තැන දෙස බැලූ විට එයට හේතුව තේරුම් ගන්න අපහසු වන එකක් නැහැ.  

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය - 2

සමාජ සහයෝගය - 50

ආයු අපේක්ෂාව - 3

ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස - 32

පරිත්‍යාගශීලී බව - 51

දූෂණ පිළිබඳ ආකල්ප - 1


දූෂණ පිළිබඳ ආකල්ප අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රට සිංගප්පූරුවයි. එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව දෙවන තැනද, ආයු අපේක්ෂාව අනුව තෙවන තැනද සිටින අතර පරිත්‍යාගශීලී බව අනුවද පින්ලන්තයට වඩා ඉදිරියෙන් සිටිනවා. එහෙත්, ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස හා සමාජ සහයෝගය පින්ලන්තයේ තරමට නැති නිසා, පින්ලන්තය ලැයිස්තුවේ මුල් තැනට යද්දී සිංගප්පූරුව එහි 25 වන තැනට වැටෙනවා.

ඉහත නිරීක්ෂණය ඇසුරෙන් වත්මන් ලෝකයේ ජීවන තත්ත්වය පිළිබඳ පරමාදර්ශ ගැන අදහසක් ගන්න පුළුවන්. එහිදී සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආකෘතියට සහ ලිබරල් ජීවන විලාසිතා වලට වැඩි බරක් වැටී තිබෙනවා. මෙය වත්මන් ලෝකයේ අධිපතිවාදී ආකෘතිය ලෙසද හැඳින්විය හැකියි. මෙම අධිපතිවාදී ආකෘතිය හොඳින්ම අනුගමනය කරන රටවල් අතර ස්කැන්ඩිනේවියන් රටවල් ඉදිරියෙන්ම සිටිනවා.

ඉහත හේතු නිසා සහ තවත් හේතු නිසා පින්ලන්තය වැනි ස්කැන්ඩිනේවියන් රටවල් බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ පරමාදර්ශී රටවල් බවට පත් වී තිබෙනවා. වාමාංශික අදහස් දරන්නන් මෙන්ම දක්ෂිනාංශික අදහස් දරන්නන්ද මේ අතර සිටීම විශේෂත්වයක්.

වාමාංශික අදහස් දරන්නන් විසින් බොහෝ විට පින්ලන්තය වැනි රටවල් සමාජවාදී රටවල් ලෙස හැඳින්වීමට උත්සාහ කරන අතර දක්ෂිනාංශික අදහස් දරන්නන් විසින් මෙම රටවල් ධනවාදී රටවල් බව පෙන්වා දීමට මහන්සි වෙනවා. මෙයින් පෙනෙන්නේ මේ කණ්ඩායම් දෙකේම කොටස් ස්කැන්ඩිනේවියානු ආකෘතිය සාර්ථක ආකෘතියක් ලෙස පිළිගන්නා බවයි. (කෙසේ වුවත්, මේ අදහස දරන්නේ වාමාංශික හා දක්ෂිනාංශික අදහස් දරන්නන් අතරින් සාපේක්ෂව මධ්‍යස්ථ මතධාරීන් පමණයි. අන්ත දෙකේ සිටින්නන්ට මෙම ආකෘතිය පිළිබඳ විවිධ ප්‍රශ්න තිබෙනවා.)

ලිපියේ අරමුණ ඉහත කී දේශපාලන අදහස් ගැන කතා කිරීම නෙමෙයි. මෙහි අරමුණ කවර හෝ හේතුවක් නිසා පින්ලන්තය පිං ලන්තයක් සේ සලකන අය පින්ලන්තය දැන් සිටින තැන සිටීම පිළිබඳව ඉදිරිපත් කරන ප්‍රවාද ගැන කතා කිරීමයි. 

"පින්ලන්තය දියුණු වුනේ පරිප්පු වලට නිවිති දාලා කන්නෙ නැති නිසා. බොරු නම් පරිප්පු නිවිති දාලා කන/නොකන රටවල් වල දියුණුව සසඳන්න."

ඉහත තිබෙන්නේ වත්පොතේ හුවමාරු වන පාඨයක්. මෙහි අරමුණ සමච්චලය බව කාට වුනත් පැහැදිලියි. නමුත්, පින්ලන්තය දැන් සිටින තැන සිටීම පිළිබඳව ඉදිරිපත්ව ඇති වෙනත් ඇතැම් ප්‍රවාද හා මේ ප්‍රවාදය අතර වැඩි වෙනසක් නැහැ. 

උදෘතයෙන් යෝජනා කර තිබෙන සංසන්දනය කිසිවෙකු විසින් කළහොත් පරිප්පු වලට නිවිති එකතු කිරීම රටක දියුණුවට හේතු වන ආකාරය කෙනෙකුට පහසුවෙන්ම පෙන්වා දෙන්න හෝ "ඔප්පු කරන්න" පුළුවන්. මේ වගේ දේවල් හඳුන්වන්නේ ව්‍යාජ සහසම්බන්ධතා (spurious correlations) ලෙසයි. මේ උදාහරණයේදී ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් වුවත්, ව්‍යාජ සහසම්බන්ධතා සහ හේතුඵල සම්බන්ධතා (causal effects) වෙන් කර හඳුනා ගැනීම විශාල පුහුණුවක් අවශ්‍ය දෙයක්.

සාමාන්‍ය කරුණක් ලෙස, ආර්ථික විද්‍යාවේදී දත්ත ඇසුරෙන් පරීක්ෂාවට ලක් කරන ප්‍රවාදයක් කියා කියන්නේ ඕනෑම කතන්දරයක් නෙමෙයි. පිළිගත හැකි උපකල්පන හා සම්මත ප්‍රවාද ඇසුරෙන් යෝජනා කරන ප්‍රවාදයක්. එවැනි ප්‍රවාදයක් දත්ත ඇසුරෙන් පරීක්ෂාවට ලක් කළ පසු අසත්‍යකරණයට ලක් නොවේනම් එය වැඩ කරන ප්‍රවාදයක් සේ සැලකිය හැකියි. එහෙත්, එසේ පිළිගත හැකි උපකල්පන හා සම්මත ප්‍රවාද ඇසුරෙන් යෝජනා කරන ප්‍රවාදයක් නොවන ඕනෑම හිතළුවක් දත්ත ඇසුරෙන් තහවුරු කළ පමණින් එය හිතළුවක් පමණක් නොවන්නේ නැහැ.

දැන් අපි පෙර සටහනේ මුල් ප්‍රශ්නයට පැමිණියහොත්, පින්ලන්තයේ ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙන බව අපට දත්ත ඇසුරෙන් නිරීක්ෂණය කළ හැකි දෙයක්. බොහෝ දෙනෙකු විසින් නිවැරදිව එම නිරීක්ෂණය සිදු කර තිබුණා. එක් පාඨකයෙකු විසින් දත්ත විශ්ලේෂණය කර ඔහුගේ විශ්ලේෂණය විද්‍යුත් තැපෑලෙන් යොමු කරලත් තිබුණා. උනන්දුව ගැන ස්තුතියි!

මෙය ඇත්තටම මෙලෙස සිදු වන බව වඩා විශ්වාසයෙන් කිව හැක්කේ සම්මත ආර්ථික විද්‍යා ප්‍රවාද අනුව මෙය එසේ විය යුතු නිසයි. නමුත්, එම ප්‍රවාද අනුව මෙවැන්නක් සිදු විය යුත්තේ හා සිදු විය හැක්කේ පින්ලන්තයට පමණක් නෙමෙයි.එක් පාඨකයෙකු විසින් නිවැරදිව පෙන්වා දී තිබුණු පරිදි අනෙකුත් ස්කැන්ඩිනේවියන් රටවල මෙන්ම එම කලාපයෙන් පිටත පිහිටි ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රටවලද මීට කිට්ටු රටාවක් නිරීක්ෂණය කළ හැකියි. 

එක් අයෙකු විසින් ජනගහණ වර්ධනය ගැන සඳහන් කර තිබුණා. එය නිවැරදි තර්කයක්. එහෙත්, ජනගහණ වර්ධනයද සලකා ඒක පුද්ගල ආදායමේ වර්ධනය සැලකුවද මෙවැනිම රටාවක් දැකිය හැකියි.

දැකිය හැකි රටාව එලෙසම දිගටම පවතීයැයි උපකල්පනය කර අනාගතයේ සිදු විය හැකි දෙය ඇස්තමේන්තු (extrapolate) කළහොත්, වසර ගණනාවක් යද්දී මෙම රටවල ආර්ථික වර්ධනය ශුන්‍යය පසු කර සෘණ පැත්තට යා යුතුයි. මෙයින් අදහස් කරන්නේ තාවකාලික විචලනයන් ගැන නෙමෙයි. දිගුකාලීන ප්‍රවණතාව (trend) ගැන. එහෙත්, දත්ත රටාවන්ට හේතු වන හේතුඵල සම්බන්ධතා නිවැරදිව ග්‍රහණය කර නොගෙන දත්ත රටා ඇසුරෙන් පමණක් කළ හැකි මෙවැනි ඇස්තමේන්තු සාමාන්‍යයෙන් නිවැරදි වන්නේ නැහැ. 

පළමුව, එක් පාඨකයෙකු විසින් නිවැරදි ලෙස සටහන් කර තිබුණු පරිදි, ආර්ථික වර්ධන වේගය අඩු වුවද, එයින් අදහස් වන්නේ රටේ ආර්ථිකය යම් වේගයකින් වර්ධනය වන බවයි. රටක ඒක පුද්ගල ආදායම ඉහළ යද්දී ආර්ථික වේගය ක්‍රමයෙන් අඩු විය යුතු බව පිළිගත් ප්‍රවාදයක්. මෙයට හේතු විස්තර කළ හැකියි. පෙර ලිපි ගණනාවක මෙම හේතු විස්තර කර තිබෙනවා. වෙනත් හේතු ගණනාවක් තිබිය හැකි වුවත්, පින්ලන්තය ඇතුළු වැඩි ඒක පුද්ගල ආදායමක් තිබෙන රටවල ආර්ථික වර්ධනය ක්‍රමයෙන් පහළ යාම වඩාත්ම පහසුවෙන් පැහැදිලි කළ හැක්කේ ඉහත සඳහන් ප්‍රවාදය ඇසුරෙනුයි. මෙම ප්‍රවාදය අනුව, රටක් දියුණු වෙද්දී එරට ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් අඩුවන නමුත් එය සෘණ පැත්තට යන්නේ නැහැ. 

පින්ලන්තයේ 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 50,816ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 3,354ක්. අපි හිතමු පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම 1%කින් පමණක් වර්ධනය වී ලංකාවේ ඒක පුද්ගල ආදායම 10%ක් වැනි ඉහළ වේගයකින් වර්ධනය වුනා කියලා. 

දැන් පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඩොලර් කීයකින් වැඩි වෙනවාද? එම වැඩිවීම ඩොලර් 508ක්. නමුත්, ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩි වන්නේ ඩොලර් 335කින් පමණයි. ඒ කියන්නේ, පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම 1%කින් පමණක් වර්ධනය වී ලංකාවේ ඒක පුද්ගල ආදායම 10%ක් වැනි ඉහළ වේගයකින් වර්ධනය වුනත්, වැඩියෙන් ඉහළ යන්නේ පින්ලන්තයේ ඒක පුද්ගල ආදායමයි. ඒ නිසා, දෙරට අතර ඒක පුද්ගල ආදායම් පරතරය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.

ඔය හේතුව නිසා අඩු ආදායම් මට්ටමක ඉන්න රටකට වැඩි වේගයෙකින් වර්ධන වෙන්න පුළුවන් වුනත්, එහෙම වර්ධනය වෙලා වැඩි ආදායම් මට්ටමක ඉන්න රටක ජීවන තත්ත්වය ලඟා කර ගන්න එක ලේසි වැඩක් නෙමෙයි.

ලංකාව 10%ක වේගයකිනුත්, පින්ලන්තය 1%ක වේගයකිනුත් එක දිගටම වර්ධනය වුනොත් කවදා හරි දවසක ලංකාව පින්ලන්තය පහු කරනවා නේද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. ඔව්. ලංකාව 10%ක වේගයෙන් එක දිගටම වර්ධනය වුනොත් එහෙම වෙන්න පුළුවන්. නමුත් මම කලින් කියපු ප්‍රවාදය අනුව එය එසේ වෙන්නේ නැහැ. 

ආර්ථික මට්ටම ටිකෙන් ටික ඉහළ යද්දී වර්ධන වේගයත් ටිකෙන් ටික අඩු වෙනවා. අඩු ආදායම් මට්ටම් වල ඉන්න රටවල් වලට වැඩි ආදායම් මට්ටම් වල ඉන්න රටවල් දිහා බලලා ඔවුන් අනුගමනය කිරීම මගින් වැඩි වේගයකින් වර්ධනය වෙන්න පුළුවන්. නමුත් වැඩි ආදායම් මට්ටම් වල ඉන්න රටවල් වලට එහෙම කරන්න බැහැ. ඔවුන් තමන්ගේ ආර්ථිකයන් තවත් වර්ධනය කර ගත හැකි ආකාර තමන් විසින්ම සොයා ගත යුතුයි. මේක හදපු පාරක යන එක සහ පාරක් අලුතෙන් හදාගෙන යන එක වගේ වෙනසක්. 

Sunday, February 11, 2024

පින්ලන්තයේ ආර්ථික වර්ධනය

 

පින්ලන්තය කියන්නේ වත්පොතේ වේගයෙන් සංසරණය වන හෝ සංසරණය වූ "විග්‍රහයන්" කිහිපයකටම පාදක කරගෙන තිබෙන බව පෙනෙන රටක්. 

ඉහත රූප සටහනේ දැකිය හැක්කේ පසුගිය වසර 62ක කාලය තුළ පින්ලන්තයේ ආර්ථික වර්ධන වේගය වෙනස් වූ ආකාරය. මේ රූප සටහන ඉදිරිපත් කරනු හැර, එය විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්න තුනක් අහනවා.

1) ඉහත රූප සටහන අනුව දිගුකාලීනව පින්ලන්තයේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙමින් තිබෙනවාද? අඩු වෙමින් තිබෙනවාද? නොවෙනස්ව එකම මට්ටමක තිබෙනවාද?

2) ඉහත ප්‍රවණතාව අනුව, තවත් වසර 60කට පසුව ආර්ථික මට්ටම අනුව ලෝකයේ රටවල් අතර පින්ලන්තයේ තැන දැන් තිබෙන තැනට වඩා ඉහළින් තිබෙයිද? පහළින් තිබෙයිද? දැන් තිබෙන තැනම තිබෙයිද?

2) ඔබ ඉහත (1) හා (2) ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු පැහැදිලි කරන්නේ කොහොමද?

ඔබට හිතෙන දේ ප්‍රතිචාර ලෙස සටහන් කරන්න. වෙනත් තැන් වල ඇති දේ උපුටා පළ කරන්නේනම් ඒ බව සඳහන් කරන්න. 

Thursday, February 8, 2024

මහ බැංකුවේ අලුත්ම තීරණය


ඊයේ (පෙබරවාරි 7) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමයි. 

මේ අනුව, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වාණිජ බැංකුවකට දිනකට මහ බැංකුවෙන් ලබා ගත හැකි වූ ණය ප්‍රමාණය පිළිබඳ උපරිම සීමාව ඉවත් කර ඇති අතර, මාසයක කාලයක් තුළ නිත්‍ය තැන්පතු පහසුකම ලබා ගත හැකි වාර ගණන 5 සිට 10 දක්වා ඉහළ නංවා තිබෙනවා. 

මේ වන විට මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 10%ක් වන අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 9%ක් වෙනවා. මෙම පොලී අනුපාතික දෙක මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් මුදල් වෙළඳපොළ පොලී අනුපාතික, එනම් කෙටිකාලීන පොලී අනුපාතික, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට වඩා වැඩි විය යුතු අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතයට වඩා අඩු විය යුතුයි. 

නිත්‍ය ණය පහසුකම් අනුපාතය යටතේ මහ බැංකුවෙන් ණය ගැනීමේ අවස්ථාව තිබියදී වාණිජ බැංකුවකට ඊට වඩා වැඩි පොලියකට වෙළඳපොළෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. එමෙන්ම, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට මහ බැංකුවේ මුදල් තැන්පත් කළ හැකිව තිබියදී ඊට වඩා අඩු පොලියකට වෙනත් අයෙකුට ණය දීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, ඉහත පොලී අනුපාතික දෙක වෙනස් කිරීම මගින් මහ බැංකුවට වෙළඳපොළ පොලී අනුපාතික පාලනය කළ හැකියි. 

කෙසේ වුවද, මුදල් සැපයුම වෙනස් නොකර, වෙළඳපොළ පොලී අනුපාතික වල තාවකාලික විචලනයන් පාලනය කිරීම පමණක් ඉලක්ක කරන්නේනම්, මහ බැංකුවට වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතිකයට වඩා ඉහළින් නිත්‍ය ණය පහසුකම් අනුපාතයත්, එම සමතුලිත පොලී අනුපාතිකයට වඩා පහළින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයත් පවත්වා ගන්නට සිදු වෙනවා. එවිට, වාණිජ බැංකුවකට ද්‍රවශීලතා හිඟයක් හෝ අතිරික්තයක් ඇති වූ විට මහ බැංකුවේ නිත්‍ය පහසුකම් ප්‍රයෝජනයට නොගෙන, වඩා වාසිදායක වෙළඳපොළ ගණුදෙනුවක් කළ හැකි බැවින්, කිසියම් වාණිජ බැංකුවකට මහ බැංකුව වෙත පැමිණීමට සිදු වන්නේ වෙළඳපොළ ගනුදෙනුවක් සඳහා පාර්ශ්වකරුවෙකු සොයා ගැනීමට නොහැකි වූ විට පමණයි. 

රජය විසින් දේශීය මුදල් වෙළඳපොළෙන් කරන ණය ගැනීම් ඉහළ යද්දී දේශීය මුදල් වෙළඳපොළේ ද්‍රවශීලතාව අඩු වී පොලී අනුපාතික ඉහළ යනවා. එවිට මහ බැංකුව විසින් එක්කෝ සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතික හා ගැලපෙන පරිදි ඉහළ දැමිය යුතුයි. එසේ නැත්නම්, පොලී අනුපාතික ඉහළ යාම පාලනය කරමින් මුදල් සැපයුම ඉහළ යාමට ඉඩ හැරිය යුතුයි. 

ඉහත දෙවැන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වෙළඳපොළ පොලී අනුපාතයට වඩා අඩුවෙන් මුදල් ලබා ගැනීමට වාණිජ බැංකු වලට ඉඩ සැලසීමයි. මෙහිදී, එසේ මහ බැංකුවෙන් අඩු පොලියකට ලබා ගන්නා අරමුදල් වැඩි පොලියකට රජයට ණයට දීම මගින් ලාබයක් ලබා ගැනීමේ අවස්ථාව වාණිජ බැංකු වලට ලැබෙනවා. කෙසේ වුවත්, රජය වැඩියෙන් ණය ගැනීම නිසා පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම පෞද්ගලික අංශයටද බලපාන නිසා, රටේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා, ඇතැම් තත්ත්වයන් යටතේ, මහ බැංකුවකට එසේ පොලී අනුපාතික පාලනය කරන්නට සිදු වෙනවා. 

ඉහත සාමාන්‍ය තත්ත්වයට අමතරව, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට රජය විසින් බලපෑම් කිරීම නිසා නිත්‍ය පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළ දමනු නොලැබීම අපට වරින් වර දැක ගත හැකි වූ තත්ත්වයක්. මහ බැංකු ස්වාධීනත්වය තහවුරු කිරීම මගින් ඉලක්ක කෙරුණේ එවැනි තත්ත්වයන් ඇති වීම වලක්වා ගැනීමයි.

පහළින් තියෙන්නේ 2022 අප්‍රේල් පළමු සතිය වන විට, ඒ කියන්නේ වත්මන් මහ බැංකු අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගන්න කොට, පැවති තත්ත්වය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:

නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 7.5%

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 6.5%

බැංකු පොලී අනුපාතික:

බරිත සාමාන්‍ය නව ණය අනුපාතය - 10.73%

බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතය - 7.68%

බරිත සාමාන්‍ය නව ස්ථිර තැන්පතු අනුපාතය - 8.06%

භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:

දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 12.92%

දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 12.25%

වාණිජ බැංකු වලට මහ බැංකුවෙන් 7.5% පොලියට අරමුදල් සපයාගන්න පුළුවන්කම තියෙද්දී තැන්පතු වෙනුවෙන් ඊට වඩා ගොඩක් ලොකු පොලියක් ගෙවන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා, තැන්පතු වෙනුවෙන් ගෙවන්නේ ඊට කිට්ටු පොලියක්. ඒ පොලියට වඩා 3%ක් පමණ වැඩි පොලියකට ණය දෙනවා. පොලිය ඊට වඩා ගොඩක් වැඩි කරලා පෞද්ගලික අංශයට ණය දෙන්න බැහැ. හැබැයි රජයට ඊට වඩා වැඩි පොලියකට ණය දෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙද්දී බැංකු විසින් කළේ තැන්පතු ලෙස එකතු කරගන්නා අරමුදල් වගේම මහ බැංකුවෙන් ණයට ගන්න සල්ලිත් රජයට ණයට දෙන එක. 

කොහොම හරි, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අතර සැලකිය යුතු පරතරයක් ඒ වෙද්දී හැදිලා තිබුණා. ඒ වගේ පරතරයක් නඩත්තු වෙද්දී මුදල් සැපයුම දිගින් දිගටම ප්‍රසාරණය වෙනවා. මොකද ටැප් එක ඇරියා වගේ මහ බැංකුවෙන් අඩු පොලියට ලැබෙන සල්ලි අනෙක් පැත්තට ලාබයක් තියාගෙන රජයට ණයට දෙන්න බැංකු වලට පුළුවන්.

අලුත් අධිපතිවරයා ධුරයේ වැඩ භාරගත් වහාම මෙන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කරනවා. ඒ මගින් උත්සාහ කරන්න ඇත්තේ ඉහත විකෘතිය නැති කරන එක වෙන්න ඇති. පහත තිබෙන්නේ ඉන් පසු, අප්‍රේල් මාසය අවසානයේදී පොලී අනුපාතික වෙනස් වී තිබුණු ආකාරය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:

නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 14.5%

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 13.5%

බැංකු පොලී අනුපාතික:

බරිත සාමාන්‍ය නව ණය අනුපාතය - 13.72%

බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතය - 15.35%

බරිත සාමාන්‍ය නව ස්ථිර තැන්පතු අනුපාතය - 15.63%

භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:

දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 23.48%

දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 23.95%

මහ බැංකුවේ විසින් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඒ වන විට පැවති භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වල මට්ටමට ඔසොවන එක. හැබැයි එහෙම කළා කියලා ඔය දෙක අතර තිබුණු විශාල පරතරය නැති වුනේ නැහැ. ඒ වෙනුවට වුනේ එම පරතරය තවත් වැඩි කරමින් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගිය එකයි. මෙය පෙර ලිපියක විස්තර කර තිබෙන ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ ප්‍රශ්නයක්.

මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කිරීමට අනුරූපව වාණිජ බැංකු විසින් තැන්පතු පොලී අනුපාතිකද වැඩි කළත් ඒ හරහා එකතු කර ගත හැකි වූ අමතර අරමුදල් ප්‍රමාණයට වඩා වැඩි ණය ඉල්ලුමක් රජය පැත්තෙන් ආපු නිසා අන්තිමට වුනේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අතර පරතරය ඒ විදිහටම නඩත්තු වුන එක. ඒ තත්ත්වය යටතේ වාණිජ බැංකු විසින් මහ බැංකුවෙන් අඩු පොලියට ණය අරගෙන රජයට වැඩි පොලියට ණයට දීම සහ ඒ හේතුවෙන් දිගින් දිගටම මුදල් සැපයුම ප්‍රසාරණය වීම මහ බැංකුවට පහසුවෙන් වළක්වාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා.

ඉහත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේදී නිත්‍ය ණය පහසුකම් හා අදාළ ප්‍රමාණාත්මක සීමාවන් දැම්මා. මේ අනුව, බැංකුවකට මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ ලබා ගත හැකි වූ අරමුදල් ප්‍රමාණය එම බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණයෙන් 90%කට සීමා කෙරුණා. ඒ වෙද්දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4%ක්. ඒ කියන්නේ අවම වශයෙන් තැන්පතු වලින් 4%ක් මහ බැංකුවේ තැන්පත් කර පවත්වා ගෙන යා යුතුයි. හැබැයි අනෙක් අතට මහ බැංකුවෙන් නිත්‍ය ණය පහසුකම යටතේ ණය ලබා ගන්න පුළුවන්. 2023 ජනවාරි මාසයේදී කළේ මෙය සීමා කරන එක.

මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ඔය විදිහට සීමා කළාම බැංකු වලට යම් ද්‍රවශීලතා ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. තැන්පතු පොලී වැඩි කරගෙන අවශ්‍ය අරමුදල් වෙළඳපොළෙන්ම හොයා ගන්න වෙනවා. මෙයට උදවුවක් ලෙස නිත්‍ය තැන්පතු පහසුකම භාවිතා කිරීමද මාසයකට වාර පහකට සීමා කෙරුණා. එසේ කළ විට ද්‍රවශීලතා අතිරික්තයක් තිබෙන බැංකු වලට තමන්ගේ අතිරික්ත සල්ලි මහ බැංකුවේ තැන්පත් කිරීමේ අවස්ථාව සීමා වන නිසා ද්‍රවශීලතා හිඟයක් තිබෙන බැංකුවක් හොයලා ඒ සල්ලි ණයට දෙන්න වෙනවා.

කොහොම වුනත් මේ වෙද්දී රජය පැත්තෙන් විශාල වෙනස්කම් වෙලා රජයේ ණය ඉල්ලුම විශාල ලෙස අඩු වෙලා නිසා, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අතර පරතරයද 1% පමණ මට්ටමක් දක්වා විශාල ලෙස අඩු වෙලා තිබෙනවා. පහත තිබෙන්නේ පසුගිය සතිය වන විට පැවති තත්ත්වය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:

නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 10%

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 9%

භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:

දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 10.96%

දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 11.07%

මේ තත්ත්වය යටතේ මහ බැංකුවට ඉහත ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමට ඉඩප්‍රස්ථා ලැබී තිබෙනවා. ඒ එක්කම, වාණිජ බැංකු වලට මුහුණ දෙන්නට වූ ද්‍රවශීලතා අවදානම සැලකිය යුතු ලෙස අඩු වෙනවා. හදිසියකට මහ බැංකුවෙන් අවශ්‍ය පමණ අරමුදල් ලබා ගත හැකි නිසා ඔවුන්ට බයක් සැකක් නැතුව තමන් සතු අරමුදල් ණයට දෙන්න පුළුවන්.

සාමාන්‍ය මූලධර්මයක් ලෙස බැංකු විසින් ණය ලෙස ලබා දෙන අරමුදල් නැවත බැංකු පද්ධතියටම එනවා. මේ ක්‍රියාවලිය හරහා මුදල් මැවීමක් සිදු වෙනවා. එහිදී මුදල් සැපයුමේ යම් ඉහළ යාමක් සිදු වෙනවා. මේ තත්ත්වයන් එක්ක නැවතත් කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර සීමාවකට පහත වැටෙන්න පුළුවන්. මහ බැංකුව විසින් ඉලක්ක කරන බව පෙනෙන්නේද එයයි. 

නිශ්චිතව කිවුවොත්, කෙටි කාලයක් ඇතුළත භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික තනි අංකයක් දක්වා අඩු වීමට නියමිතයි. ඒ කියන්නේ ස්ථිර තැන්පත් පොලී අනුපාතික වලටද එයම වෙනවා කියන එක. එසේ වෙද්දී ණය පොලී අනුපාතිකද 12%-13% වැනි මට්ටමක් දක්වා පහත වැටෙයි. නමුත් තවමත් පරණ තැන්පතු සඳහා ගෙවන සාමාන්‍ය ස්ථිර තැන්පතු පොලී අනුපාතික 14% ඉක්මවන මට්ටමක තිබෙන නිසා ණය පොලී අඩුවීම සිදු වනු ඇත්තේ මාස කිහිපයක ප්‍රමාදයකින් පසුවයි. 

Wednesday, February 7, 2024

පොලී අනුපාතික විශාල ලෙස පහත වැටේ!


අද (2024 පෙබරවාරි 7) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. ඒ පසුගිය සතියේද එවැනිම පහත වැටීමක් සිදු වීමෙන් පසුවයි. පහත තිබෙන්නේ අද වෙන්දේසියේ පොලී අනුපාතික.

දින 91 - 10.96%

දින 182 - 11.07%

දින 364 - 10.73%

දෙසතියකට පෙර (2024 ජනවාරි 23) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදීද බිල්පත් අලෙවි වූයේ මීට වඩා සැලකිය යුතු තරම් ඉහළ පොලී අනුපාතික වලටයි. 

දින 91 - 13.35%

දින 182 - 13.41%

දින 364 - 12.78%

මාස විස්සකට පෙර (2022 අප්‍රේල් 7 දින), වත්මන් මහ බැංකු අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව, උද්ධමනය ඉක්මණින් අඩු කර ගැනීම ඉලක්ක කර ගනිමින්, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාමට ඉඩ සැලැස්වූවා. පහත තිබෙන්නේ ඔහු ධුරයේ වැඩ භාර ගෙන මාස හතරකට පසුව (2022 සැප්තැම්බර් 7) පොලී අනුපාතික පැවති මට්ටමයි.

දින 91 - 32.89%

දින 182 - 31.29%

දින 364 - 30.50%

කෙසේ වුවද, මේ වන විට පොලී අනුපාතික වත්මන් අධිපතිවරයා වැඩ භාර ගන්නා විට පැවති මට්ටමට සාපේක්ෂව වුවද විශාල ලෙස පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ ඒ වන විට (2022 අප්‍රේල් 6 දින) පැවති පොලී අනුපාතිකයි.

දින 91 - 14.12%

දින 182 - 15.36%

දින 364 - 15.69%

උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවක් සතු ප්‍රධානම මෙවලම පොලී අනුපාතිකයි. වත්මන් අධිපතිවරයා විසින් ධුරය භාර ගැනීමෙන් අනතුරුව එම අවිය නිවැරදි ලෙස ප්‍රයෝජනයට ගැනුනා. 

පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම බොහෝ දෙනෙකුගේ කණස්සල්ලට හා විවේචනයට හේතු වුවත්, එමගින් 73.7% වැනි (ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව) ඉහළ මට්ටමක පැවති උද්ධමනය කෙටි කලක් තුළ මහ බැංකුවේ ඉලක්ක මට්ටම දක්වා පහත දමා ගැනීමට හැකි වුනා. 

ආසන්න කාලයකදී උද්ධමනය මෙවැනි ඉහළ මට්ටමක පැවති බොහෝ රටවල එම ඉහළ උද්ධමනය තවමත් පාලනය වී නැහැ. පොලී අනුපාතික නිසි සේ ප්‍රයෝජනයට ගනිමින් ලංකාවේ උද්ධමනය පාලනය කිරීමෙන් අනතුරුව දැන් පොලී අනුපාතිකද දිගුකාලීනව පැවති සාමාන්‍ය මට්ටම දක්වා පහත වැටෙමින් තිබෙනවා.

කෙසේ වුවද, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තියට අමතරව, පොලී අනුපාතික පහත වැටීම කෙරෙහි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් වලින් විශාල බලපෑමක් සිදු වී තිබෙනවා. මේ වන විට රජයේ ආදායම් වැඩි කර ගැනීම හා වියදම් පාලනය හරහා ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගෙන ඇති බැවින් පරණ ණය හා පොලී ගෙවීම සඳහා හැර රජය පවත්වා ගෙන යාම සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා, රජය විසින් අලුතෙන් ණය ලෙස ලබා ගන්නේ පරණ ණය හා පොලී වෙනුවෙන් දේශීය මුදල් වෙළඳපොළට පොම්ප කරන රුපියල් ප්‍රමාණයට වඩා අඩු රුපියල් ප්‍රමාණයක්.

ඉහත තත්ත්වය තුළ දේශීය මුදල් වෙළඳපොළේ රුපියල් ද්‍රවශීලතාවය ඉහළ යමින් තිබෙනවා. මහ බැංකුව විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම හරහා මෙම අතිරික්ත ද්‍රවශීලතාවයෙන් කොටසක් අවශෝෂණය කර ගන්නා නමුත් අනෙක් අතට මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමද සිදු කරමින් සිටින නිසා නැවතත් වෙළඳපොළේ රුපියල් ද්‍රවශීලතාවය ඉහළ යනවා. ජනවාරි මාසය තුළ රටේ නිල සංචිත තව දුරටත් ඉහළ යාම මගින් හා ඩොලරයක මිල පහත යාමෙන් පෙන්නුම් කරන්නේ මහ බැංකුව විසින් දිගින් දිගටම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් සිටින බවයි.

රජයේ ණය ගැනීම් සීමා වෙද්දී බැංකු පද්ධතිය තුළ ඉතිරි වන අතිරික්ත රුපියල් ප්‍රමාණය පෞද්ගලික අංශයට ණය ලෙස දීමට බැංකු වලට සිදු වෙනවා. මෙහිදී ණය සැපයුම පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉක්මවීමේ ප්‍රතිඵලයක් ලෙස එම ණය පොලී පහත වැටීමක්ද සිදු වෙමින් පවතිනවා. 

Tuesday, February 6, 2024

ආන්තික පිරිවැය හා ආන්තික උපයෝගීතාවය

ආර්ථික විද්‍යා විශ්ලේෂණයක් ගොඩක් වෙලාවට ආන්තික විශ්ලේෂණයක්. බොහොමයක් ආර්ථික විද්‍යා විශ්ලේෂණ වල ආන්තික උපයෝගීතාවය, ආන්තික පිරිවැය, ආන්තික ඵලදායීතාවය වගේ දේවල් ගැන කතා කරනවා. නූතන ආර්ථික විද්‍යා විෂය වෙනම විෂයයක් විදිහට ගොඩ නැගෙන්නේම ආන්තික විශ්ලේෂණ ගැන අදහස් වැඩි දියුණු වෙද්දී කියා කියන්න පුළුවන්. 

ඇඩම් ස්මිත්, කාල් මාක්ස් වගේ අය ජීවත් වූ කාලයේ අද අර්ථයෙන් ආර්ථික විද්‍යාව කියා විෂයයක් තිබුණේ නැහැ. විෂය අද තිබෙන එම විෂය හා සම්බන්ධ කළ හැකි තරමට වැඩි දියුණු වුනේ ඊට බොහෝ පසු කාලයකදීයි. ඒ නිසා, නූතන ආර්ථිකයක් ඒ කාලයේ චින්තකයින් විසින් ලියා ඇති දේ ඇසුරෙන් නිවැරදිව විග්‍රහ කරන්න හෝ තේරුම් ගන්න බැහැ. නමුත් ආර්ථික විද්‍යා විෂය ගොඩ නැංවුණු ආකාරය ගැන උනන්දුවක් දක්වන අයට ඒ කාලයේ ලියැවී තිබෙන ඓතිහාසික ලේඛන වැදගත් වෙන්න පුළුවන්.

වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායය කියන්නේ ආන්තික න්‍යාය පුළුල් ලෙස පිළිගැනීමට ලක් වෙන්න පෙර එයට විකල්පයක් ලෙස යෝජනා වී තිබුණු න්‍යායයක්. මාක්ස්ගේ විශ්ලේෂණ ඉදිරියට යන්නේ වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායය මත පදනම්වයි. දැනටත් මෙම න්‍යාය වෙනුවෙන් පෙනී සිටින යම් පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන් ඉන්නේ ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාවෙන් පිටත. 

තමළු මලිත්ත පියදිගම විසින් ලියා තිබෙන "මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්" පොත මේ දවස් වල ගොඩක් කතාබහට ලක් වන, ඒ වගේම සීඝ්‍රයෙන් විකිණෙන පොතක්. පොත කියවා නැති නිසා එහි අන්තර්ගතය සම්බන්ධ විස්තරාත්මක දේවල් දන්නේ නැතත් මාතෘකාවෙන්, වත්පොතේ දැකිය හැකි තමළුගේ හඳුන්වා දීම් වලින් සහ වෙනත් අයගේ විචාර වලින් අන්තර්ගතය ගැන යම් අදහසක් ගන්න පුළුවන්. 

ග්‍රන්ථ ප්‍රකාශකයින් විසින් රුපියල් 750කට මිල කර තිබෙන මෙම පොත 20%ක වට්ටමක් එක්ක රුපියල් 600ක මුදලකට මිල දී ගන්න පුළුවන්. මම හිතන්නේ මුලින්ම 25%ක වට්ටමක් ලබා දී තිබුණා. 20% වට්ටම තවමත් තිබෙනවා. 

ආන්තික පිරිවැය කියන්නේ කිසියම් භාණ්ඩයක තවත් එක් අමතර ඒකකයක් මිල දී ගැනීම සඳහා වැය වන පිරිවැය. උදාහරණයක් විදිහට තමළුගේ පොතේ පිටපත් 10ක් ගන්න රුපියල් 6000ක මුදලකුත්, පිටපත් 11ක් ගන්න රුපියල් 6600ක මුදලකුත් වැය වනවා. ඒ අනුව, එකොළොස්වන පොත මිල දී ගැනීම සඳහා දරන්න වන ආන්තික පිරිවැය රුපියල් 600ක්.

ආන්තික පිරිවැය කියන සංකල්පයට අමතරව ආර්ථික විද්‍යාවේ සාමාන්‍ය පිරිවැය කියා සංකල්පයකුත් තිබෙනවා. එයින් අදහස් කරන්නේ මුළු පිරිවැය මිල දී ගන්නා ඒකක ගණනින් බෙදූ විට ලැබෙන අගය. රුපියල් 6600/11 = 600 නිසා තමලුගේ පොතේ පිටපත් 11ක සාමාන්‍ය පිරිවැයද රුපියල් 600ක්. 

ඉහත උදාහරණයේදී ආන්තික පිරිවැය = සාමාන්‍ය පිරිවැය = මිල වුනත් මෙය සාධාරණ නිරීක්ෂණයක් නෙමෙයි. ඔය අගයයන් තුනම එකිනෙකට සමාන වෙන්නේ පිරිවැය හා ඒකක ගණන අතර රේඛීය සම්බන්ධයක් ඇති විටෙක පමණයි. සාධාරණ වශයෙන් එය එසේ වෙන්නේ නැහැ.

කවුරු හෝ කෙනෙක් රුපියල් 600ක මුදලක් ගෙවා තමලුගේ පොතේ පිටපතක් මිල දී ගන්නේ ඇයි?

ආර්ථික විද්‍යාව අනුව කෙනෙක් එහෙම කරනවානම් කරන්නේ එයින් ලැබෙන ආන්තික උපයෝගීතාවය රුපියල් 600ට වඩා වැඩි නිසා. ඒ කියන්නේ පොතක් මිල දී ගැනීමෙන් තමන්ට ලැබෙන තෘප්තියේ මුදල් සාම්‍ය අගය. පොත ගැනත්, එහි මිල ගැනත් දැනගෙන, එය මිල දී ගැනීමේ අවස්ථාව තිබියදී යමෙක් එසේ නොකරන්නේ එසේ කිරීමෙන් තමන්ට ලැබෙන ආන්තික උපයෝගීතාවය රුපියල් 600ට වඩා අඩු නිසා.

රුපියල් 600ක් ගෙවා තමළුගේ පොත මිල දී ගන්නා කෙනෙක් ඒ හරහා ලබා ගන්නා ආන්තික උපයෝගීතාවය හරියටම රුපියල් 600ක් හෝ ඊට වඩා වැඩි මුදලක් වෙන්න පුළුවන්. එය අපිට හරියටම දැන ගන්න බැහැ. දැනගන්න පුළුවන් එකම දෙය ආන්තික උපයෝගීතාවය අවම වශයෙන් රුපියල් 600ක් කියන එක පමණයි. එහෙම නැත්නම් රුපියල් 600කට අඩු ආන්තික උපයෝගීතාවයක් වෙනුවෙන් රුපියල් 600ක් නැති කර ගන්න කෙනෙක් පෙළඹෙන්නේ නැහැ.

අපි හිතමු මේ පොත 20% හෝ 25% වට්ටම නැතිව එහි මුද්‍රිත මිල වන රුපියල් 750 බැගින් විකිණුවා කියලා. එහෙමනම් පොත මිල දී ගන්නේ එයින් අවම වශයෙන් රුපියල් 750ක ආන්තික උපයෝගීතාවයක් ලැබිය හැකි අය පමණයි. අපි හිතමු ඊට පස්සේ එක පාරටම 20% වට්ටම දුන්නා කියලා. දැන් කලින් රුපියල් 750 ගෙවා පොත මිල දී නොගත් යම් පිරිසක් පොත මිල දී ගන්නවා. එයින් අදහස් වන්නේ ඒ අයගේ ආන්තික උපයෝගීතාවය රුපියල් 600 සහ රුපියල් 750 අතර බවයි. මොකද ආන්තික උපයෝගීතාවය රුපියල් 750ට වඩා වැඩිනම් කලින්ම පොත ගන්නවා. එම අගය රුපියල් 600ට වඩා අඩුනම් පසුව වුවත් පොත මිල දී ගන්නේ නැහැ. 

ඉහත උදාහරණයෙන් පැහැදිලි කළ පරිදි තමළුගේ පොතේ වටිනාකම එය මිල දී ගන්නා පාරිභෝගිකයාට සාපේක්ෂ දෙයක්. එයට ඒ වෙනුවෙන් වැය කර තිබෙන පිරිවැය හෝ යෙදවූ ශ්‍රමය, එහෙමත් නැත්නම් "සමාජයීයව අවශ්‍ය ශ්‍රමය" කොපමණද කියන එක අදාළ නැහැ. 

පොතේ වටිනාකම කියා කියන්නේ එක් එක් පාරිභෝගිකයාට සාපේක්ෂව එහි ආන්තික උපයෝගීතාවය. මෙම අගය සහ පොතේ මිල අතර වෙනසට ආර්ථික විද්‍යාවේදී පාරිභෝගික අතිරික්තය කියා කියනවා. පාරිභෝගික අතිරික්තය ගනුදෙනුවකදී පාරිභෝගිකයෙකු විසින් ලබන වාසියක්. උදාහරණයක් විදිහට උපරිම වශයෙන් රුපියල් 2000ක මුදලකට මෙම පොත මිල දී ගන්න සූදානමෙන් ඉන්න පාරිභෝගිකයෙකුට රුපියල් 600කට පොත මිල දී ගැනීමේ අවස්ථාව ලැබුණු විට රුපියල් 1400ක පාරිභෝගික අතිරික්තයක් ලැබෙනවා.

තමළුගේ පොතේ එක් පිටපතක් මිල දී ගත් පාරිභෝගිකයෙකුට එහි ආන්තික උපයෝගීතාවය කොපමණද? බොහෝ විට ශුන්‍යයට ආසන්නයි. ඒක පොතක් වගේ දෙයකින් ලැබෙන උපයෝගීතාවයේ ස්වභාවය. ඒ නිසා, පොතේ පළමු පිටපත මිල දී ගන්න රුපියල් 2000ක් වුනත් පැකිලීමක් නැතුව වියදම් කරන කෙනෙක් රුපියල් 100කට දුන්නත් බොහෝ විට එහි දෙවන පිටපතක් මිල දී ගන්න එකක් නැහැ. 

පොතක් වගේ දෙයක උපයෝගීතාවය බොහෝ විට තිබෙන්නේ තමන් මිල දී ගන්නා පළමු පිටපතේ පමණයි. චිත්‍රපටයක් බලන එක වගේ දෙයක් වුනත් එහෙමයි. එකම චිත්‍රපටය දෙවරක් බලන අය ඉන්නේ ඉතා අඩුවෙන්. නමුත් අඹ, රඹුටන් වගේ පළතුරක් ගත්තොත් එහි දෙවන, තුන් වන ඒකක වලත් යම් ආන්තික උපයෝගීතාවයක් තිබෙනවා. හැබැයි වැඩි වැඩියෙන් මිල දී ගනිද්දී ආන්තික උපයෝගීතාවය ටිකෙන් ටික අඩු වෙලා යනවා. පාර අයිනේ කඩේකින් රඹුටන් මිල දී ගන්න කෙනෙක් රඹුටන් කන එක නවත්වන්නේ එහි ආන්තික උපයෝගීතාවය මිලට වඩා අඩු වෙලා පාරිභෝගික අතිරික්තය සෘණ පැත්තට යන සීමාවට ආවට පස්සේ.

පොතක පිටපත් දෙකක් භෞතිකව සමාන වුවත්, ඒ වෙනුවෙන් වැය කර තිබෙන පිරිවැය සමාන වුවත්, යොදවා තිබෙන "සමාජයීයව අවශ්‍ය ශ්‍රම කාලය" සමාන වුවත්, පාරිභෝගිකයින් දෙදෙනෙකුට එයින් ලැබෙන ආන්තික උපයෝගීතාවය සමාන වෙන්නේ නැහැ. එකම පාරිභෝගිකයෙකුට වුනත් පළමු පිටපතෙන් ලැබෙන ආන්තික උපයෝගීතාවය දෙවන පිටපතෙන් ලැබෙන්නේ නැහැ.

පාරිභෝගිකයෙකුගේ පැත්තෙන්, රුපියල් 600ක් කියා කියන්නේ තමළුගේ පොත වගේ පොතකට ගොඩක් හොඳ මිලක්. ඇමරිකාවේ ඉඳලා මේ මිල දිහා බැලුවොත් ඩොලර් දෙකකටත් වඩා අඩුයි. ගොඩක් දියුණු වෙළඳපොළ යාන්ත්‍රනයක් තිබෙන ඇමරිකාවේ ඩොලර් ශතයකට වුනත් හොඳ පොත් මිල දී ගන්න අවස්ථා තිබුණත් [1], අලුතෙන් නිකුත් කළ මේ වගේ පොතක් ඩොලර් දෙකකට ගන්න පුළුවන්නම්, මම වගේ කෙනෙකුට එහි සැලකිය යුතු පාරිභෝගික අතිරික්තයක් තිබෙනවා.

[1] https://economatta.blogspot.com/2016/01/blog-post.html

හැබැයි තමළුගේ පොත රුපියල් 600කට මිල දී ගන්නනම් ලංකාවේ පොත් කඩයකටම යන්න වෙනවා. ඇමරිකාවේ පොත් කඩවල ඔය පොත නැහැ. ග්‍රන්ථ සමාගම ඩීඑච්එල් හරහා ඇමරිකාවට පොත එවන නමුත් ඒ සඳහා රුපියල් 10,032.70ක ගාස්තුවක් අය කරනවා. එවිට ඩොලර් දෙකකට වඩා අඩුවෙන් විකුණන පොත මිල දී ගන්න ඩොලර් 34කටත් වඩා මුදලක් වැය වෙලා. ඇමරිකන් ඩොලර් 34ක් කියා කියන්නේ, මට සාපේක්ෂව, ඔය වගේ පොතක් වෙනුවෙන් වැඩි මිලක්. පොතේ පිටපතකින් මට එපමණ පාරිභෝගික අතිරික්තයක් ලබා ගන්න අමාරුයි. යුරෝපයේ ජීවත් වන කෙනෙකුත් මීට කිට්ටු දෙයක් සටහන් කරලා තිබෙනවා දැක්කා.

අන්තර්ගතය පැත්තකින් තියලා තමළුගේ පොතේ භෞතික ලක්ෂණ දිහා බැලුවොත් මෙය පිටු 147ක පොඩි පොතක්. ඔය ප්‍රමාණයේ පොතක් සාමාන්‍යයෙන් ඇමරිකාවේ විකිණෙන්නේ ඩොලර් හය හතකට කියලයි මම හිතන්නේ. එහෙම බැලුවත් ඩොලර් 34ක් කියා කියන්නේ අධික මිලක්. හැබැයි ඔය මිල ගෙවා පොත ඇමරිකාවට ගෙන්වා ගන්න අය ඇති. මොකද එය එක් එක් පාරිභෝගිකයාගේ ආන්තික උපයෝගීතාවය පිළිබඳ කරුණක්.

අපි හිතමු කවුරු හෝ කෙනෙක් මේ පොත රුපියල් 10,032.70ක ඩීඑච්එල් ගාස්තුව ගෙවා ඇමරිකාවට ගෙන්වා ගන්නවා කියලා. එහෙම අය ඉන්න පුළුවන්නේ. ඒ කියන්නේ පොත වෙනුවෙන් රුපියල් 10,632.70ක පිරිවැයක් දරන්න වෙනවා. එයින් ඊට වඩා වැඩි ආන්තික උපයෝගීතාවයක් ලැබෙනවා. 

ඔය විදිහට රුපියල් 10,032.70ක ඩීඑච්එල් ගාස්තුව ගෙවා ඇමරිකාවට තමළුගේ පොතේ පිටපතක් ගෙන්වා ගන්නා අයෙකුට ඒ එක්කම එහි දෙවන පිටපතකුත් ගෙන්වා ගන්න පුළුවන්. එසේ කළා කියලා ඩීඑච්එල් ගාස්තුව වැඩි වෙන්නේ නැහැ. ඒ අනුව, පළමු පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 10,632.70ක් වුනත් දෙවන පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 600ක් පමණයි. නමුත් ගොඩක් වෙලාවට මේ පොත ගෙන්වා ගන්න කෙනෙක් එහි පිටපත් දෙකක් ගෙන්වා ගන්නේ නැහැ. මොකද පළමු පිටපතේ ආන්තික උපයෝගීතාවය රුපියල් 10,632.70 ඉක්මවන කෙනෙකුට වුනත් දෙවන පිටපතේ ආන්තික උපයෝගීතාවය බොහෝ විට රුපියල් 600ට වඩා අඩුයි.

අපි හිතමු ඇමරිකාවේ ඉන්න කෙනෙකුට තමලුගේ පිටපතේ ආන්තික උපයෝගීතාවය ඩොලර් 34ක් වෙන්නේ නැහැ කියලා. නමුත් එය ඩොලර් 20ක් පමණ වෙන්න පුළුවන්. ඒ වගේ දෙන්නෙක්ට එකතු වුනොත්, රුපියල් 11,322.70කට පිටපත් දෙකක් ගෙන්වා ගන්න පුළුවන්. එවිට පිටපතක සාමාන්‍ය පිරිවැය රුපියල් 5,616.35 දක්වා පහත වැටෙනවා. ඩොලර් 18ක් පමණ. 

තමන්ගේ ආන්තික උපයෝගීතාවය ඩොලර් 34 ඉක්මවන කෙනකුට වුනත් ඔය වැඩේ කරන්න පුළුවන්. දෙවන පිටපත ඩොලර් 10කට කාට හෝ විකිණුවත් තමන්ට ඩොලර් 8ක ලාබයක් වෙලා. පොත් දෙකක් වෙනුවට තුනක්ම ගෙන්වා ගත්තොත් මීටත් වඩා වැඩි පාරිභෝගික අතිරික්තයක් ලබා ගන්න බැරිද? 

පිටපත් ගණන දෙකක් වෙද්දී ඩීඑච්එල් ගාස්තුව වෙනස් නොවුනත් තුනක් වෙද්දී එය රුපියල් 11,562 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ රුපියල් 1,529.30කින් වැඩි වෙනවා. ඒ නිසා, දෙවන පිටපතේ ආන්තික පිරිවැය රුපියල් 600ක් පමණක් වුනත්, තුන්වන පිටපතක ආන්තික පිරිවැය රුපියල් 2,129.30ක්. දෙවන පිටපත ඩොලර් දෙකකට විකිනුවත් එහි ලාබයක් තිබෙනවා. නමුත් තුන්වන පිටපතෙන් පාඩුවක් නොවෙන්නනම් එය ඩොලර් හතකට පමණ විකුනන්න වෙනවා. කොහොම වුනත් පොත් තුනක් එක වර ඇණවුම් කළොත් එක් පිටපතක සාමාන්‍ය පිරිවැය රුපියල් 4,454 දක්වා අඩු වෙනවා.

එක වර පිටපත් වැඩි ගණනක් ඇණවුම් කරන තරමට පොතේ පිටපතක සාමාන්‍ය පිරිවැය තව තව අඩු වෙනවා. මෙහි කාට හෝ ප්‍රයෝජනයට ගත හැකි ව්‍යාපාරික අවස්ථාවක් නැද්ද?

තමලුගේ පොත ඇමරිකාවට ගේන්න යන ඩීඑච්එල් ගාස්තු සැලකූ විට, මගේ අදහස අනුව, පිරිවැය අවම වීම කෙසේ වුවත්, ප්‍රශස්ත මට්ටමකට එන්නේ එකවර පිටපත් 12ක් ඇනවුම් කළොත්. එවිට සාමාන්‍ය පිරිවැය රුපියල් 2001.86 දක්වා අඩු වෙනවා. රුපියල් දෙදහසක් කියන්නේ ලංකාවේදී වුනත් පොතකට නරකම නැති මිලක්. ඩොලර් වලින්නම් හයක් හතක් වගේ. 

පිටපත් ගණන තවත් ඉහළ යද්දී ඉහත සාමාන්‍ය පිරිවැය තව දුරටත් පහළ යන නමුත් එසේ පහළ යන්නේ හෙමින්. අනෙක් අතට විකිණිය යුතු පිටපත් ගණන ඉහළ යද්දී පාරිභෝගිකයින් සොයා ගත නොහැකි වීමේ අවදානමත් වැඩි වෙනවා. පොතේ පිටපත් දොළහක් වගේ ගණනක්නම් වැඩි අපහසුවක් නැතිව ඇමරිකාව ඇතුළේ විකුණගන්න පුළුවන් වෙයි. 

ඉහත විග්‍රහය තමළුගේ පොතට වගේම ලංකාවේ පළ කරන වෙනත් පොත් වලටත් එලෙසම යොදා ගන්න පුළුවන්. ඩීඑච්එල් ගාස්තු වලට පොත කුමක්ද කියන එක අදාළ නැහැ. ඒ වගේම, ආසන්න මිලක් හා බරක් තිබෙන පොත් දෙකකින් හෝ වැඩි ගණනකින් පිටපත් දොළහක් වගේ එකතු කළත් මේ කතාව වලංගුයි. 

ග්‍රන්ථ සමාගමට ඇමරිකාවේ ජීවත් වන කෙනෙක්ව සම්බන්ධ කර ගත්තානම් තමළුගේ පොත වගේ පොතක් ඩොලර් දහයකට වඩා අඩුවෙන් විකුණන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ වෙනත් ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන ආයතනයක හිමිකරුවන්ගේ ඇමරිකාවේ ඉන්න පවුලේ සාමාජිකයෙක් ඔය වැඩේ කරනවා. 

Monday, February 5, 2024

ඇමරිකාවේ තෙල් මිල හැදෙන හැටි

 

වෙනත් ඕනෑම භාණ්ඩයක මිල වගේම ඉන්ධන වෙනුවෙන් පාරිභෝගිකයාට ගෙවන්න සිදු වන මිලද තීරණය වෙන්නේ අදියර කිහිපයකින් අගය එකතු වෙලා. එම අගය එකතු වීම පහත ආකාරයෙන් විස්තර කළ හැකියි.

බොරතෙල් නිපදවීමේ පිරිවැය හා නිෂ්පාදකයින්ගේ ලාබය -> පිරිපහදු කරන්නන්ගේ පිරිවැය සහ ලාබය -> බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම කරන්නන්ගේ පිරිවැය හා ලාබය -> රජයට ගෙවිය යුතු බදු

ලංකාවේ "මිල සූත්‍රය" පිළියෙල කර තිබෙන්නේද අදියරෙන් අදියර සිදු වන මෙම අගය එකතු කිරීම මත පදනම්වයි. ඒ හැර, එම මිල සූත්‍රය පිළිබඳ වැඩි විස්තර මා දන්නේ නැහැ.

ඇමරිකාවේ ලංකාවේ මෙන් මිල සූත්‍ර ක්‍රමයක් නැතත්, අදියරෙන් අදියර සිදු වන අගය එකතු වීම පිළිබඳ දත්ත මත පදනම්ව ඇමරිකාවේ බලශක්ති තොරතුරු පාලනාධිකාරිය විසින් ඉහත සටහන් පිළියෙල කර තිබෙනවා. පළමු සටහන 2013-2022 කාලයේ සාමාන්‍ය අගයයන් මත පදනම්ව. දෙවැන්න 2022 දත්ත මත පදනම්ව. 

ඉහත ගණන් තිබෙන්නේ ඉන්ධන ගැලුමක ඇමරිකන් ඩොලර් මිල මත පදනම්වයි. මෙය කියවන පාඨකයින් ගැලුම් වලට හා ඇමරිකන් ඩොලර් වලට එතරම් සංවේදී නැති නිසා, ඇමරිකාවේ මිල ගණන් රුපියල් වලට හා ලීටර වලට හැරවූ පසු ඇමරිකාවේ ඉන්ධන ලීටරයක මිල සකස් වෙන්නේ පහත ආකාරයටයි. 

මෙම ගණනයේදී මා විසින් අද විණිමය අනුපාතය මත පදනම්ව ඩොලරයක මිල රුපියල් 312.24 ලෙස සලකනවා. එමෙන්ම, ඉන්ධන ගැලුමක මිල පසුගිය සතියේ ඇමරිකාවේ සාමාන්‍ය මිල වූ ඩොලර් 3.062 ලෙස සලකනවා. එම මිල 2022 මිලට වඩා අඩු, එහෙත් 2013-2022 සාමාන්‍ය මිලට වඩා වැඩි අගයක්. අගය එකතු වීම ගණනය කිරීම සඳහා 2022 ප්‍රතිශත යොදා ගන්නවා.

බොරතෙල් නිපදවීමේ පිරිවැය හා නිෂ්පාදකයින්ගේ ලාබය = රුපියල් 144.22 (57.1%)

පිරිපහදු කරන්නන්ගේ පිරිවැය සහ ලාබය = රුපියල් 44.70 (17.7%)

බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම කරන්නන්ගේ පිරිවැය හා ලාබය = රුපියල් 31.32 (12.4%)

රජයට ගෙවිය යුතු බදු = රුපියල් 32.33 (12.8%)

පාරිභෝගිකයා ගෙවන මිල = රුපියල් 252.57 

ඇමරිකාවේ වෙළඳපොළ තරඟය නිසා ඉහත දෙවන හා තෙවන කොටස් සෑහෙන තරම් අඩු මට්ටමකයි තියෙන්නේ. එහෙත්, පළමු කොටස තීරණය වන්නේ ලෝක මට්ටමේදී. එහිදී ඔපෙක් වැනි ඒකාධිකාර විසින් මිල කෙරෙහි විශාල බලපෑමක් කරනවා. 

Saturday, February 3, 2024

අනම්‍ය ඉල්ලුමක් කියා කියන්නේ කුමක්ද?


පසුගිය ලිපියට ලැබුණු විවිධ ප්‍රතිචාර අතර පැහැදිලි කිරීම් අවශ්‍ය වන විචේචන කිහිපයක්ද තිබුණා. එක් අයෙකු යෝජනා කර තිබුණේ කිව යුතු දෙය සාරාංශ කර කෙටියෙන් කිව යුතු බවයි. මෙය වරින් වර විවිධ අය අපට යෝජනා කරන දෙයක්. බොහෝ අය මේ යෝජනාව කරන්නේ යහපත් චේතනාවකින් සහ අප ලියන දේ වැඩි පිරිසක් වෙත යා යුතුය යන අරමුණින්. 

සාමාන්‍යයෙන් වත්පොතේ සටහන් කියවන බොහෝ අය දිග "හෑලි" කියවන්න කැමති නැහැ. ගොඩක් අය කැමති "වොයිස් කට්" ආකෘතියට. ඒ ආකෘතියේ දේවල් කියන අය වත්පොතේ වගේම වත්පොතෙන් බැහැර බාහිර සමාජයේද ඕනෑ තරම් ඉන්නවා.

අප මුල සිටම උත්සාහ කළේත්, උත්සාහ කරන්නේත්, "වොයිස් කට්" මත පදනම්ව තීන්දු තීරණ ගන්නා සමාජය තුළ ඊට වඩා විමසිලිමත්ව කියවා බලා, කාලය වැය කර කරුණු සොයා බලා, තීන්දු තීරණ ගැනීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරන්නයි. අනෙක් අයගේ සටහන් කෙසේ වුවත් අප ලියන සටහන් අතරින් වැඩි දෙනෙකු බෙදා හදා ගන්නේද විස්තරාත්මක පැහැදිලි කිරීම් ඇති ඒවායි. එය සතුටට කරුණක්. 

පසුගිය ලිපියෙන් විස්තර කළ ප්‍රධානම දෙය එම ලිපියේම තිබෙන පහත ඡේදය තුළ කෙටියෙන් කියැවෙනවා.

"වෙළඳපොළ නිදහස තහවුරුව තිබියදී සැපයුම්කරුවන් එක් අයෙක්, දෙදෙනෙක්, පස් දෙනෙක් හෝ සිය දෙනෙක් බිහි වෙන්න පුළුවන්. ඒ අනුව, ඒකාධිකාරයක්, තරඟකාරී වෙළඳපොළක් හෝ ඔය දෙක අතර තිබෙන කතිපයාධිකාරයක් වැනි ඕනෑම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එය තීරණය වෙන්නේ පිරිවැය ආකෘතිය සහ ඉල්ලුම මත. නමුත්, ආකෘතිය තීරණය වුනාට පස්සේ කුමක් හෝ සමතුලිත මිලක් තිබෙනවා. සැපයුම්කරුවෝ කොයි තරම් ප්‍රමාණයක් හිටියත් තරඟය නිසා ඒ මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යන්නේ නැහැ. අවම පිරිවැය මට්ටමකදී තරඟය නවතිනවා."

ඔබ පෙර ලිපිය නොකියැවූ අයෙකුනම් සහ ඔය ටික දැනගැනීම හොඳටම ප්‍රමාණවත්නම්, මෙතැනින් නවතින්න. ඔය ටික පැහැදිලි නැත්නම් පෙර ලිපිය කියවන්න. පෙර ලිපිය කියැවීමෙන් පසුවද ඔය ටික පැහැදිලි නැත්නම් එම ලිපිය නැවත හෙමිහිට කියවන්න. අවශ්‍යනම් එහි තිබෙන ගණනය කිරීම් ඔබ විසින්ම කර බලන්න. 

ඉහත ඡේදයෙහි උපුටා දක්වා ඇති කොටස විස්තරාත්මක ලෙස පැහැදිලි කළේ වෙළඳපොළ නිදහස බොහෝ දුරට තහවුරුව ඇති රටවල වුවද බොහෝ විට තරඟකාරී වෙළඳපොලවල් හැදෙන්නේ නැති බවත්, කතිපයාධිකර හැදෙන බවටත් සිදු කෙරෙන විවේචනය නිසා. මේ කියන දෙය කරුණක් ලෙස ඇත්ත. එහෙම වෙන්නේ කවර තත්ත්වයන් යටතේද කියන එක පෙර ලිපියෙහි පැහැදිලි කර තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය වෙනස් කළ යුතු දෙයක් හෝ විකෘතියක් නොවන බවද එහි පෙන්වා දී තිබෙනවා. 

පෙර ලිපියේ කරුණු වලට එරෙහිව ඉදිරිපත්ව තිබුණු තරමක් බරපතල සහ සාධනීය විවේචනයක් වූයේ එහි සඳහන්ව තිබුණු දේ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයකට වලංගු නොවන බවයි. මෙය යම් පදනමක් තිබෙන විවේචනයක්. ඒ නිසාම, පැහැදිලි කිරීමක් අවශ්‍ය වන විවේචනයක්.

අනම්‍ය ඉල්ලුමක් කියා කියන්නේ කුමක්ද?

මම අපගේ විවේචකයෙකුගේ ප්‍රතිචාරයක් මෙහි උපුටා දමන්නම්.

"මේ ලිපිය අදාල වෙන්නෙ නම්‍ය භාණ්ඩ (අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ) වලට විතරයි. අනම්‍ය (අත්‍යාවශ්‍ය භාණ්ඩ) වල මිල ඉහල දැම්ම කියල ඉල්ලුම වේගයෙන් අඩු වෙන්නෙ නෑ. උදාහරණයක් ලෙස ඉන්ධන. තෙල් මිල ටිකක් වැඩි කලා කියල ඉල්ලුම වේගයෙන් අඩු වෙන්නෙ නෑ. වෙන්නෙ අත්‍යාවශ්‍ය නොවන වියදම් අඩුවෙන එක. ඒ කියන්නෙ තෙල් ගහල ගමන් ගියාම ‍යන ගමන් තේ එකක් බොන එක නතර කරනව. අද පාරෙ බැලුවොත් කඩ ගොඩක් වැහිල තියෙන්නෙ ඒකයි. ලංකාවෙ ඉන්ධන මිල ගොඩක් වැඩි වෙලා තියෙන්නෙ කොච්චරද කියනවනම් අත්‍යාවශ්‍ය භාණ්ඩත් ඉල්ලුම අඩු වෙන තරමටම. ඒකෙන් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටෙන තරමටම..."

මෙහි නිවැරදිව සඳහන් කර ඇති පරිදි, මිල ඉහළ යද්දී ඉල්ලුම එතරම් අඩු නොවේනම් එය අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. මිල ඉහළ යද්දී ඉල්ලුම විශාල ලෙස අඩු වේනම් එය නම්‍ය (ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. මිල ඉහළ යද්දී ඉල්ලුම කිසිසේත්ම අඩු නොවේනම් එය පූර්ණ අනම්‍ය (පූර්ණ අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ අර්ථ දක්වනවා. එහෙත්, එවැනි පූර්ණ අප්‍රත්‍යස්ථ ඉල්ලුම් ඇති භාණ්ඩ නැති තරම්. ප්‍රායෝගිකව කොයි තරම් "අත්‍යාවශ්‍ය" භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම වුවද මිල ඉහළ යද්දී යම් තරමකින් හෝ අඩු වෙනවා.

භාණ්ඩයක මිල 1%කින් ඉහළ යද්දී ඒ සඳහා වන ඉල්ලුම අඩු වන්නේ 1%කට වඩා අඩුවෙන්නම් එය අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. ඉල්ලුම හරියටම 1%කින් අඩු වේනම් එය ඒකක නම්‍ය (ඒකක ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් ලෙසත්, ඊට වඩා වැඩියෙන් අඩු වේනම් එය නම්‍ය (ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් ලෙසත් සැලකෙනවා. සාමාන්‍යයෙන් අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් තිබෙන්නේ අත්‍යවශ්‍ය සේ සැලකෙන භාණ්ඩ වලටයි. මූලික ආහාර හා ඉන්ධන ආදිය බොහෝ විට අත්‍යවශ්‍ය භාණ්ඩ සේ සැලකෙනවා.

කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම කොයි තරම් ප්‍රත්‍යස්ථද යන්න එහි ප්‍රත්‍යස්ථතා සංගුණකය ඇසුරෙන් පෙන්විය හැකියි. අවකලනය යොදා නොගෙන සරල ලෙස අර්ථ දැක්වුවහොත් ප්‍රත්‍යස්ථතා සංගුණකය යනු භාණ්ඩයක මිල 1%කින් ඉහළ යද්දී ඒ සඳහා වන ඉල්ලුම කවර ප්‍රතිශතයකින් ඉහළ යන්නේද යන්නයි.

ගණිතය හදාරා ඇති අය සඳහා මෙය වඩා නිවැරදිව, ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකයේත් මිල හා ඉල්ලුම අතර අනුපාතයේත් ගුණිතය ලෙස අර්ථදැක්විය හැකියි.

ප්‍රත්‍යස්ථතාව (ε) = ∂Q/∂P.(P/Q)

ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකයෙන් අදහස් වන්නේ අනෙකුත් සාධක සියල්ල නොවෙනස්ව ඇති තත්ත්වයන් යටතේදී මිලෙහි සිදුවන ඉතා කුඩා (සීමාව ශුන්‍යය දක්වා යන) වෙනස් වීමකදී ඉල්ලුම කොපමණ වෙනස් වේද යන්නයි. මිල ඉහළ යද්දී සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම සුළු වශයෙන් හෝ පහළ යන නිසා මෙම පාර්ශ්වීය අවකල සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක්.

මිල සහ ඉල්ලුම හැම විටම ධන අගයන් නිසාත්, ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක් නිසාත්, ඉහත අර්ථදක්වා ඇති ප්‍රත්‍යස්ථතා සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක් වුවත් මෙය කවුරුත් දන්නා දෙයක් නිසා බොහෝ විට පහසුවට සෘණ ලකුණ ගැන නොසලකා සංගුණකයේ මාපාංකය ගැන පමණක් කතා කරනවා. 

ප්‍රත්‍යස්ථතාව ඇසුරෙන් කතා කළහොත් ප්‍රත්‍යස්ථතා සංගුණකය 0-1 අතරනම් (සෘණ ලකුණ නොසලකා) එය අප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ලෙසත්, 1 ඉක්මවන්නේනම් ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ලෙසත් සැලකෙනවා. 

භාණ්ඩයක ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාව ඇස්තමේන්තු කළ හැකි දෙයක් වුවත් එය ලියුම් කවරයක පිට පැත්තේ කළ හැකි ගණනය කිරීමක් නෙමෙයි. විශාල ශ්‍රමයක් හා පුහුණුවක් අවශ්‍ය වැඩක්. ඊට හේතුව, මිල සහ ඉල්ලුම වෙනස් වෙද්දී ප්‍රායෝගිකව තවත් බොහෝ සාධක වෙනස් වන නිසා එම සාධක වලින් මිල කෙරෙහි වන බලපෑම් ඉවත් කිරීම පහසු කාර්යයයක් නොවීමයි.

උදාහරණයක් ලෙස එකවර ඉන්ධන මිල දෙගුණ වුනා කියා සිතමු. මීට සමාන්තරව අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් මෙන්ම ආදායම්ද දෙගුණ වී ඇත්නම් ඉන්ධන සඳහා වන ඉල්ලුමෙහි කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් උද්ධමනය නිසා දිගුකාලීනව සිදු වන්නේ මෙවැන්නක්. නාමික මිල ගණන් ඉහළ ගියත්, මූර්ත වෙනසක් සිදු වන්නේ නැහැ. ඒ වගේම, ඉන්ධන මිල දෙගුණ වෙද්දී අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් මෙන්ම ආදායම්ද හතර ගුණයක් වුවහොත් සිදු වන්නේ ඉන්ධන සඳහා වන ඉල්ලුම අඩු වීම නොව වැඩි වීමයි. 

භාණ්ඩයක ඉල්ලුම වෙනස් වීම කෙරෙහි බලපාන්නේ සාපේක්ෂ මිල වෙනස් වීමයි. මීට අමතරව ආදායම වෙනස් වීම, ජනගහණය වැඩි වීම, ආදේශක හා අනුපූරක වල මිල වෙනස් වීම් වැනි තවත් විවිධ හේතු නිසා භාණ්ඩයක මිල වෙනස් වෙනවා. ප්‍රත්‍යස්ථතාව ගණනය කළ හැක්කේ මෙම සියලුම බලපෑම් නිවැරදිව හඳුනාගෙන එම බලපෑම් ඉවත් කිරීමෙන් පසුවයි.

හාවඩ් සරසවියේ වෙබ් අඩවියේ ඇති සටහනකට [1] අනුව, භාණ්ඩ හා සේවා කිහිපයක ප්‍රත්‍යස්ථතාව මෙසේයි.

[1] https://scholar.harvard.edu/files/alada/files/price_elasticity_of_demand_handout.pdf

ලුණු - 0.1

ගැසොලින් - 0.2

කෝපි - 0.25

වෛද්‍ය සේවා - 0.6

චිත්‍රපට - 0.9

පෞද්ගලික අධ්‍යාපනය - 1.1

අලුත් ග්‍රීන්පීස් - 2.8

අලුත් තක්කාලි - 4.6

මෙම ඇස්තමේන්තු අනුව, ලුණු, ගැසොලින් හා කෝපි සඳහා තිබෙන්නේ අප්‍රත්‍යස්ථ ඉල්ලුමක්. චිත්‍රපට හා පෞද්ගලික අධ්‍යාපනය සදහා වන ඉල්ලුම ඒකක ප්‍රත්‍යස්ථ ඉල්ලුමකට ආසන්නයි. අලුත් ග්‍රීන්පීස්, අලුත් තක්කාලි ආදිය සදහා තිබෙන්නේ ප්‍රත්‍යස්ථ ඉල්ලුමක්.

සාමාන්‍යයෙන් ලුණු වැනි ආදායමට සාපේක්ෂව අඩු මුදලක් වැය කරන්නට සිදු වන දේවල්, කෝපි වැනි ඇබ්බැහිකාරක හා ගැසොලින් වැනි අත්‍යාවශ්‍ය දේවල් වල සඳහා වන ඉල්ලුම අනම්‍ය ඉල්ලුමක්. අලුත් තක්කාලි වැනි ආදේශක තිබෙන දේවල් සඳහා තිබෙන්නේ නම්‍ය ඉල්ලුමක්.

කෙසේ වුවත්, "අත්‍යාවශ්‍ය භාණ්ඩ" කියන එක සාපේක්ෂ අදහසක්. අත්‍යාවශ්‍ය දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම අවස්ථාව අනුවද වෙනස් වෙනවා. පොදු ප්‍රවාහන පහසුකම් ඉතාම අඩු ඇමරිකාවේ පෞද්ගලික වාහනයක් කියන්නේ නැතිවම බැරි දෙයක්. එහෙත්, පොදු ප්‍රවාහනය වඩා හොඳ මට්ටමක ඇති රටක තත්ත්වය වෙනස්. 

කෙනෙකුගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව ආදායම් මට්ටම අනුවද සීමා වෙනවා. ඇමරිකානුවෙකුගේ ආදායමෙන් ආහාර සඳහා වැය කළ යුත්තේ 15%ක පමණ කොටසක්. ඒ නිසා, මිල තරමක් ඉහළ ගියත් ආහාර ඉල්ලුම ලොකුවට අඩු වෙන්නේ නැහැ. නමුත් ලංකාව වැනි රටක කුකුළු මස් මෙන්ම බිත්තර වැනි දෙයක් පවා බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍ය නොවන "සුඛෝපභෝගී" භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒ නිසා, ඉහත සඳහන් ප්‍රත්‍යස්ථතා සංගුණක සෑම රටකටම පොදු අගයයන් නෙමෙයි.

ඉන්ධන මිල ඉහළ යද්දී ලංකාවේ ඉන්ධන ඉල්ලුම අඩු වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම අඩු වෙනවා. මෝටර් රථයක් හෝ ත්‍රිරෝද රථයක් තිබෙන පහළ මධ්‍යම පාන්තිකයින් කිහිප දෙනෙක්ට කතා කළොත් එය එසේ වී ඇති බව තහවුරු කරගන්න අමාරු වෙන එකක් නැහැ. 

මිල ඉහළ යද්දී මිනිස්සු තමන්ගේ ඉන්ධන පරිභෝජනය අඩු නොකර එලෙසම පවත්වා ගනිමින් ඒ හිලවුවට කන බොන දේවල් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය දේවල් සීමා කරනවා කියන එක විහිළු කතාවක්. හැබැයි මම පෞද්ගලිකව සමීක්ෂණයක් කරලානම් නැහැ. කරන්න අදහසකුත් නැහැ. ඒ නිසාම, ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ මිල ඉහළ යද්දී ඉල්ලුම කොයි තරම් අඩු වෙනවද කියන එක ගැන මට හරියටම කියන්න බැහැ. එහෙත් එයින් අදහස් වන්නේ මේ වෙළඳපොළේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාව ඕනෑම අගයක් විය හැකියි කියන එක නෙමෙයි. වෙනත් තැන් වල දත්ත යොදා ගෙන සිදු කර තිබෙන ඇස්තමේන්තු ඇසුරෙන් මේ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්. 

මගේ පෙර ලිපිය සමඟ ඉදිරිපත් කර තිබෙන පැහැදිලි කිරීමේ පහසුව සඳහා යොදාගත් උදාහරණයේ දත්ත අනුව එය සැසඳෙන්නේ ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ඇති භාණ්ඩයකටයි. එම උදාහරණයේ මිල රුපියල් 5කින් අඩු වෙද්දී, ඉල්ලුම ඒකක 10කින් අඩු වෙනවා. ඒ අනුව, එහි අවකල සංගුණකය -2ක් වෙනවා. වෙනත් සාධක වෙනස් වී නැති සේ සැලකුවොත් මෙය පාර්ශ්වීය අවකල සංගුණකය ලෙස සලකන්න පුළුවන්. ඒ අනුව, මිල රුපියල් 360 මට්ටමේදී ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය -6ක් (= -2*360/120) වෙනවා. එය සැලකිය යුතු තරමේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවයක්. බොහෝ භාණ්ඩ සඳහා වන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය මීට වඩා අඩුයි. ඒ නිසා, ප්‍රතිචාරයේ විවේචනයට පදනමක් තිබෙනවා. 

කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම අප්‍රත්‍යස්ථනම්, ඒ කියන්නේ එහි ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය 1ට වඩා අඩුනම්, මිල වැඩි කරද්දී සැපයුම්කරුගේ ආදායම ඉහළ යනවා. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය 1ට වඩා වැඩිනම් වන්නේ ඕකේ අනෙක් පැත්ත. ඒ කියන්නේ ආදායම අඩු වෙනවා. ඒ නිසා, භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම ප්‍රත්‍යස්ථද අප්‍රත්‍යස්ථද කියන එකේ පැහැදිලි වෙනසක් තිබෙනවා. 

මේක තේරුම් ගන්න අමාරු නැහැ. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය හරියටම 1නම්, මිල 1%කින් ඉහළ යද්දී ඉල්ලුම 1%කින් අඩු වෙනවා. ඒ නිසා, මිල ඉහළ යාමෙන් ආදායම 1%කින් වැඩි වුනත්, ඉල්ලුම 1%කින් අඩු වූ නිසා නැවත ආදායම (ආසන්නව) මුල් මට්ටමටම එනවා. නමුත්, මිල 1%කින් වැඩි කළ විට ඉල්ලුම 5%කින් අඩු වුනොත් අවසාන වශයෙන් (ආසන්නව) 4%කින් පමණ ආදායම අඩු වෙනවා. අනෙක් අතට, මිල 1%කින් ඉහළ යද්දී ඉල්ලුම අඩු වෙන්නේ 0.25%කින් පමණක්නම්, මිල ඉහළ දැමීම මගින් ආදායම (ආසන්නව) 0.75%කින් වැඩි කර ගන්න පුළුවන්.

එහෙමනම්, ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය අඩු භාණ්ඩ වල සැපයුම්කරුවෝ තමන්ගේ ආදායම් හා ඒ මගින් ලාබය වැඩි කර ගැනීම සඳහා දිගින් දිගටම මිල වැඩි නොකරන්නේ ඇයි? මෙවැන්නක් සිදු නොවෙන්නේ තරඟය නිසා. එක් අයෙක් මිල වැඩි කළත් අනෙක් සැපයුම්කරුවෝ මිල වැඩි කළේ නැත්නම් වෙන්නේ මිල වැඩි කළ සැපයුම්කරුගේ ඉල්ලුම නැත්තටම නැති වී යන එකයි. 

ඒක හරි කියමුකෝ. නමුත් එහෙම වෙන්නනම් තරඟයක් තිබිය යුතුයිනේ. වෙළඳපොළේ තියෙන්නේ ඒකාධිකාරයක්නම් මොකද වෙන්නේ? පෙර ලිපියට විවේචනය ආවේ ඒකාධිකාර හා අදාළවනේ.

ප්‍රායෝගික ලෝකයට ආවොත් ලෝකයේ ඇතැම් රටවල ඉන්ධන වැනි වෙළඳපොළවල් වල ඒකාධිකාර තිබුණත් ඒවා රාජ්‍ය ඒකාධිකාර මිස ලාබ ලැබීම ඉලක්ක කළ ව්‍යාපාර වල ඒකාධිකාර නෙමෙයි. රජය විසින් වෙළඳපොළ මෙහෙයවන රටවල රාජ්‍ය ඒකාධිකාර තිබෙනවා. එහිදී ඉලක්කය ලාබ පුළුවන් තරම් වැඩි කර ගැනීම නොවන නිසා මේ වැඩේ වෙන්නේ නැහැ. එසේ නොවන රටවල සැපයුම්කරුවන් ගණනාවක් සිටින නිසා සහ ඔවුන් අතර තරඟයක් තිබෙන නිසා මේ වැඩේ වෙන්නේ නැහැ.

ඒකත් හරි කියමුකෝ. ඔහොම කිවුවට ඔය හැම රටකම සැපයුම්කරුවෝ මහා විශාල ගණනක් නැහැනේ. ප්‍රායෝගිකව බොහෝ විට කතිපයාධිකාර දැකිය හැකියි. ඒ නිසා සැපයුම්කරුවන් සියලු දෙනා කාටලයක් ලෙස කටයුතු කර දිගින් දිගටම මිල ඉහළ දමන්න බැරි නැද්ද?

යම් හෙයකින් සැපයුම්කරුවන් සියලු දෙනා කාටලයක් ලෙස කටයුතු කළොත් එය ඒකාධිකාරයකින් වෙනස් නොවන නිසා අපි කෙළින්ම ඒකාධිකාරයක් ගැනම සලකා බලමු. උදාහරණයක් විදිහට IOC වගේ තරඟකරුවන් වෙළඳපොළට ඇතුළු වෙන්න කලින් තෙල් සංස්ථාව ගෙඩි පිටින්ම තනි සමාගමකට විකිණුවා කියා හිතමු. ඔන්න දැන් ලාබ ලැබීම අරමුණ කරගත් සමාගමක ඒකාධිකාරයක් තියෙනවා. දැන් මිලට මොකද වෙන්නේ?

තෙල් වල ඉල්ලුම ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් නෙමෙයිනේ. ඒ කතාව හරි. අපි හිතමු ප්‍රත්‍යස්ථතාවය 0.25 පමණ කියලා. ඒ කියන්නේ, සරල ප්‍රකාශයක් ලෙස, මිල 1%කින් ඉහළ දැම්මොත් ඉල්ලුම අඩු වෙන්නේ 0.25%කින් පමණයි. ඒ අනුව, ආදායම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඒ නිසා, දිගින් දිගටම මිල වැඩි කරගෙන, වැඩි කරගෙන යන්න පුළුවන්ද?

ඔය විදිහට දිගින් දිගටම මිල වැඩි කරගෙන, වැඩි කරගෙන යන්න පුළුවන්නම්, එයින් අදහස් වෙන්නේ වෙළඳපොළ පරිමාවේ සීමාවක් නැහැ කියන එක. නමුත්, වෙළඳපොළ පරිමාවේ සීමාවක් තිබෙනවා. මිල යම් මට්ටමක් දක්වා වැඩි වෙද්දී මිනිස්සු වෙනත් මිල දී ගැනීම් අඩු කරලා තෙල් පරිභෝජනය කලින් මට්ටම ආසන්නයේම පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් එහෙම වෙනත් මිල දී ගැනීම් අඩු කරලා තෙල් පරිභෝජනය වෙනුවෙන් මුදල් ඉතිරි කර ගත හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. යම් මිල මට්ටමකදී ඉල්ලුම සීමා වෙනවා. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය නම්‍ය වෙන්න පටන් ගන්නවා. 

උඩ ඉදිරිපත් කර තිබෙන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය පෙන්වන ගණිතමය ප්‍රකාශය ඇසුරෙන් වුවත් මෙය පැහැදිලි කරන්න පුළුවන්. 

ප්‍රත්‍යස්ථතාව (ε) = ∂Q/∂P.(P/Q)

ඉහත ප්‍රකාශයේ පාර්ශ්වීය අවකල සංගණක කොටස නියතයක් සේ සැලකුවොත් මිල ඉහළ යද්දී (P/Q) කොටස එන්න එන්නම වැඩි වෙන නිසා ප්‍රත්‍යස්ථතාව එන්න එන්නම වැඩි වෙනවා. ඊට අමතරව, මිල ඉහළ යද්දී ටිකෙන් ටික අඩු වන නිසා ප්‍රත්‍යස්ථතාව තවත් ඉහළ යනවා. ඔහොම වැඩි වෙලා අනම්‍ය ඉල්ලුම අන්තිමට නම්‍ය ඉල්ලුමක් වෙනවා. 

මගේ පෙර ලිපියේ උදාහරණයේ වගේම සාමාන්‍ය මූලික පාඨ ග්‍රන්ථ උදාහරණ වලත් අවකල සංගණක කොටස නියතයක් වුවත් (ඉල්ලුම් වක්‍රය රේඛීය එකක් වුවත්), ඇත්තටම මේ පාර්ශ්වීය අවකල සංගණක කොටසද නියතයක් නොවන නිසා ඉහත පැහැදිලි කිරීම අසම්පූර්ණ එකක් වුවත්, පාර්ශ්වීය අවකල සංගණක කොටස ටිකෙන් ටික අඩු වෙද්දී වුනත් (P/Q) කොටස ඊට වඩා වේගයෙන් වැඩි වන නිසා අන්තිමට අනම්‍ය ඉල්ලුම නම්‍ය ඉල්ලුමක් වෙනවා. 

හැබැයි ඔය ටික වෙන්න කලින් ඒකාධිකාරී සැපයුම්කරුවෙකුට සෑහෙන තරමක මිල වැඩි කිරීමක් කරන්න පුළුවන්. කලින් ලිපියේ පැහැදිලි කළ දේවල් වඩා වැදගත් හා අදාළ වෙන්නේ එහෙම වෙද්දී. ඔය විදිහට මිල වැඩි කර ගෙන යද්දී ආදායම වැඩි වී ලාබ වැඩි වෙනවා. වෙළඳපොළ නිදහස්නම් ඒ ලාබ දකින තවත් සැපයුම්කරුවෝ වෙළඳපොළට ඇතුළු වෙනවා. 

මෙවැනි වෙළඳපොළකට දෙවැන්නෙකු ඇතුළු වූ පමණින් මිල අඩු වන බවට සහතිකයක් නැතත් කලින් එක් සැපයුම්කරුවෙකු විසින් ලබාගත් ලාබය දෙවැන්නෙකු සමඟ බෙදා ගන්න වෙනවා. ප්‍රතිචාරයේ සඳහන් කර ඇති විදිහට මිල විශාල ලෙස වැඩි කළත් ඉල්ලුම එතරම් වැඩි වෙන්නේ නැත්නම් ඔය වෙළඳපොළට තව තවත් සැපයුම්කරුවෝ එනවා. එහෙම ඇවිත් යම් කිසි අවස්ථාවකදී මිල තරඟය පත්තු වෙනවා. එක් පාඨකයෙකු විසින් සඳහන් කර තිබුණු, ලංකාවේ ජංගම දුරකථන වෙළඳපොළට පස් වැනියෙකු ආ පසු සිදු වී තිබෙන දෙය මෙයට උදාහරණයක්.

මේ විදිහට මිල තරඟයට බහින්නේ දෙවැන්නාද, හතර වැන්නාද නැත්නම් දහ වැන්නාද කියා නිශ්චිතව කියන්න බැහැ. නමුත් සැපයුම්කරුවන් වැඩි වෙද්දී යම් අවස්ථාවක ඔය වැඩේ වෙනවා. වෙළඳපොළ නිදහස්නම් මිල තරඟය පත්තු වන තුරු අලුත් සැපයුම්කරුවෝ එනවා. මේ නිසා, පාරිභෝගිකයාට ලබා ගත හැකි හොඳම මිල ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පූර්ණ තරඟකාරී වෙළඳපොළක්ම ඇති වෙන්න අවශ්‍ය නැහැ.

මෙය සිදු නොවන්නේ, ලංකාවේ තෙල් වෙළඳපොළේ මෙන්, අලුත් සැපයුම්කරුවන් පැමිණීමේ ඉඩකඩ රජය විසින් පාලනය කරන්නේනම් පමණයි. එවැනි වෙළඳපොළක් නිදහස් වෙළදපොළක් නෙමෙයි. අපේ පෙර ලිපිය වගේම මේ ලිපියේත් කතා කර තිබෙන්නේ නිදහස් වෙළඳපොළක් ගැන. 

Friday, February 2, 2024

තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද?


තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය හිතාගෙන ඉන්නේ වෙළඳපොළ තරඟය වැඩි වෙද්දී භාණ්ඩයක මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යා යුතුයි කියලා. 

තරඟකාරිත්වය වැඩි වෙද්දී භාණ්ඩයක මිලට ඇත්තටම වෙන්නේ කුමක්ද?

තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ නිකම්ම නිකම් වියුක්ත අදහසක් පමණක් නෙමෙයි. ලෝකයේ ඇත්තටම පවතින වෙළඳපොළ ආකෘතියක්. එහෙත්, ලෝකයේ පවතින හැම වෙළඳපොළක්ම තරඟකාරී වෙළඳපොළක් නෙමෙයි. බොහෝ තැන් වල අපට ප්‍රායෝගිකව දැකිය හැකි කතිපයාධිකර වැනි තවත් වෙළඳපොළ ආකෘති ගණනාවක් තිබෙනවා. මේ වෙළඳපොළ ආකෘති අතරින් තරඟකාරී වෙළඳපොළවල් හා ඒකාධිකාර කියා කියන්නේ අන්ත දෙකක් කියා කිව හැකියි. 

සමහර අවස්ථා වලදී රාජ්‍ය මැදිහත්වීම් නිසා ඒකාධිකාර හා කතිපයාධිකාර හැදෙනවා. ඊට අමතරව, වෙළඳපොළ නිදහස හොඳින් තහවුරු වී ඇති විටද, විවිධ ස්වභාවික හේතු නිසා ඒකාධිකාර හා කතිපයාධිකාර හැදෙනවා. මේ දෙවන තත්ත්වය බොහෝ විට නරක තත්ත්වයක් නෙමෙයි. 

ඒකාධිකාරයක් තේරුම් ගන්න එක වෙනත් වෙළඳපොළ ආකෘතියක් තේරුම් ගන්නවාට වඩා පහසුයි. ඒකාධිකාරයක් තේරුම් ගත් පසුව ඊට සාපේක්ෂව අනෙකුත් වෙළඳපොළ ආකෘති වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

ඒකාධිකාරයක් කියන්නේ එක් සැපයුම්කරුවෙකු පමණක් සිටින, එහෙත් පාරිභෝගිකයින් විශාල පිරිසක් සිටින වෙළඳපොළ ආකෘතියක්. ඒකාධිකාර හා සම්බන්ධවද බොහෝ වැරදි මත ජනගත වී තිබෙනවා. ඒකාධිකාරයක් ඇති සැපයුම්කරුවෙකුට හිතේ හැටියට මිල වැඩි කර වැඩි වැඩියෙන් ලාබ ලබා ගත හැකි බව එවැනි එක් ප්‍රචලිත වැරදි අදහසක්. ඒකාධිකාරයක් යටතේ වුවත් සැපයුම්කරුවෙකුට මිල ඉහළ දැමීම මගින් ලාබ වැඩි කර ගත හැකි උපරිම සීමාවක් තිබෙනවා. 

මෙය තේරුම් ගැනීම සඳහා අපි කිසියම් මනඃකල්පිත භාණ්ඩයක් උපයෝගී කර ගනිමු. වෙනත් බොහොමයක් භාණ්ඩ හා සේවා වලට වගේම මේ භාණ්ඩයටත් කිසියම් වෙළඳපොළ ඉල්ලුමක් තිබෙනවා. භාණ්ඩයේ මිල ඉහළ යද්දී මේ ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම් න්‍යාය කියන්නේ එයටයි. 

පහත තිබෙන්නේ මෙම භාණ්ඩයේ මිල රුපියල් 370 සිට රුපියල් 320 දක්වා වෙනස් වෙද්දී ඒ සඳහා වන ඉල්ලුම වෙනස් වන ආකාරයයි. 

370 - 100

365 - 110

360 - 120

355 - 130

350 - 140

345 - 150

340 - 160

335 - 170

330 - 180

325 - 190

320 - 200

අපි හිතමු මේ භාණ්ඩයේ පිරිවැය රුපියල් 300ක් කියලා. ඒ කියන්නේ මෙම පිරිවැය, එනම් රුපියල් 300, සහ භාණ්ඩයේ විකුණුම් මිල අතර වෙනස සැපයුම්කරුගේ දළ ලාබය. රුපියල් 370 බැගින් විකිණුවොත් එකකින් රුපියල් 70ක් ලාබයි. රුපියල් 360 බැගින් විකුණුවොත් එකකින් රුපියල් 60ක් ලාබයි.

දැන් මේ වෙළඳපොළ ඒකාධිකාරී වෙළඳපොළක්නම් සැපයුම්කරුට වෙනත් කාගෙන්වත් තරඟයක් නැහැනේ. ඒ නිසා, සැපයුම්කරුට තමන්ගේ ලාබය ඉහළ යන පරිදි මිල නියම කරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් ඇති විට සැපයුම්කරු විසින් කරන්නේ පුළුවන් තරම් ඉහළ මිලක් අය කරන එකද?

කිසිසේත්ම නැහැ. මොකද මිල ගොඩක් වැඩි කළොත් ඉල්ලුම අඩු වෙනවා. එකකින් ලාබය වැඩි වුනත් විකිණෙන්නේ අඩුවෙන් නිසා ලාබය අඩුයි. අනෙක් අතට ගොඩක් මිල අඩු කළොත් වැඩියෙන් විකුණන්න පුළුවන් වුනත්, එකකින් ලැබෙන්නේ සුළු ගණනක්නම් අන්තිමට ලොකු ලාබයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඒකාධිකාරී සැපයුම්කරුවෙකුට ඔය අන්ත දෙක අතර තේරීමක් කරන්න වෙනවා.

ඉහත උදාහරණයේදීනම් ඒකාධිකාරී සැපයුම්කරුවෙකු විසින් භාණ්ඩය මිල කරන්නේ රුපියල් 360 ලෙසයි. එහිදී එකකින් රුපියල් 60ක ලාබයක් ලැබෙනවා. ඒකක 120ක් විකිණෙන නිසා රුපියල් 7200ක දළ ලාබයක් ලැබෙනවා. 

භාණ්ඩයේ මිල රුපියල් 365 දක්වා වැඩි කළොත් එකකින් රුපියල් 65ක ලාබයක් ලැබෙන නමුත් විකිණෙන්නේ ඒකක 110ක් පමණක් නිසා අන්තිමට ලැබෙන දළ ලාබය රුපියල් 7150ක් පමණයි. අනෙක් අතට භාණ්ඩයේ මිල රුපියල් 355 දක්වා අඩු කළොත්, ඒකක 130ක් විකුණාගන්න පුළුවන් වුනත් එකකින් ලැබෙන්නේ රුපියල් 55ක් පමණක් නිසා ලැබෙන දළ ලාබය කලින් මෙන්ම රුපියල් 7150ක් දක්වා අඩු වෙනවා. රුපියල් 7200ක් ලැබෙන්නේ හරියටම රුපියල් 360ට මිල කළොත් පමණයි. ඊට වඩා අඩුවෙන් මිල කළත්, වැඩියෙන් මිල කළත් වෙන්නේ ලැබෙන ලාබය අඩු වෙන එක.

ඔය විදිහට රුපියල් 360 බැගින් ඒකක 120ක් විකුණා රුපියල් 7200ක දළ ලාබයක් ලැබුවා කියා කියමු. නමුත් මේ ලාබය දළ ලාබයක් මිසක් ශුද්ධ ලාබයක් නෙමෙයි. ශුද්ධ ලාභය වෙන්නේ ඔය දළ ලාබයෙන් ස්ථාවර පිරිවැය අඩු කලාට පසුව ඉතිරි වන මුදල. ස්ථාවර පිරිවැය රුපියල් 3500ක්නම් ශුද්ධ ලාබය රුපියල් 3700ක්. ස්ථාවර පිරිවැය රුපියල් 4000ක් නම් ශුද්ධ ලාබය රුපියල් 3200ක් පමණයි.

කිසියම් වෙළඳපොළක් ඒකාධිකාරයක් වෙනවද නැත්නම් තරඟකාරී වෙළඳපොළක් වෙනවද කියන එක එම වෙළඳපොළ හා අදාළ ස්ථාවර පිරිවැය කොපමණද කියන එක මත තීරණය වෙනවා. 

ඉහත උදාහරණයේදී පවතින වෙළඳපොළ ඉල්ලුම හා භාණ්ඩයේ විචල්‍ය පිරිවැය අනුව ලැබිය හැකි උපරිම දළ ලාබය රුපියල් 7200ක් පමණයි. ඔය වෙළඳපොළට තවත් තරඟකරුවෙක් එකතු වුනොත් මෙම දළ ලාබය දෙදෙනෙකු අතර බෙදී යනවා. එවිට එක් අයෙකුට ලැබෙන දළ ලාබය උපරිම වශයෙන් රුපියල් 3600ක් පමණයි. 

මේ විදිහට සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටින විට, විචල්‍ය පිරිවැය රුපියල් 3500ක් පමණක්නම් එය ආවරණය කර ගත්තාට පස්සේ තවත් රුපියල් 100ක් ශුද්ධ ලාබය විදිහට ඉතිරි වෙනවා. නමුත්, විචල්‍ය පිරිවැය රුපියල් 4000ක්නම් දළ ලාබය රුපියල් 3600ක් වුවත් අන්තිමට රුපියල් 400ක ශුද්ධ පාඩුවකුයි වෙන්නේ. විචල්‍ය පිරිවැය මෙවැනි ඉහළ මට්ටමකට ඇති විටෙක වෙළඳපොළක් ඒකාධිකාරයක් ලෙස පවතිනු මිස එයට දෙවැන්නෙක් එකතු වී තරඟයක් ඇති වෙන්නේ නැහැ. එය ස්වභාවික තත්ත්වයක් මිසක් විකෘතියක් නෙමෙයි. 

මේ වගේ තත්ත්වයක් යටතේදී ඒකාධිකාරයක් තිබීමෙන් පාරිභෝගිකයාට වෙන්නේ වාසියක්. මොකද ඒකාධිකාරය නැත්නම් පාරිභෝගිකයාට භාණ්ඩය ලබා ගැනීමේ අවස්ථාවම අහිමි වී යනවා. ඒක ඊට වඩා පාඩුවක්. ඕනෑම වෙළඳපොළක් මුලින්ම හැදෙන්නේ ඒකාධිකාරයක් විදිහටයි. තවත් අය එකතු වෙන්නේ ඉන් පසුව වෙළඳපොළ පුළුල් වී ඉල්ලුම වැඩි වුනාට පස්සේ. ස්ථාවර පිරිවැය දරා ගත හැකි සැපයුම්කරුවන් දෙදෙනෙකුට ප්‍රමාණවත් වෙළඳපොළ ඉල්ලුමක් හැදෙන තුරු වෙළඳපොළ නිදහස හොඳින්ම තහවුරු කර ඈතත් ඒකාධිකාරයක් පවතිනු මිස දෙවැන්නෙක් වෙළදපොලට ඇතුළු වෙන්නේ නැහැ. 

ස්ථාවර පිරිවැය රුපියල් 3600කට නොවැඩිනම් පමණක් මෙම වෙළඳපොළේ දෙවැන්නෙකුට ඉඩක් තිබෙනවා. නමුත්, තුන් වැන්නෙකුට ඉඩක් නැහැ. තුන් වැන්නෙකුට ඉඩක් ලැබෙන්නනම් ස්ථාවර පිරිවැය රුපියල් 2400කට වඩා අඩු විය යුතුයි. හතරවැන්නෙකුට ඉඩක් ලැබෙන්නේ ස්ථාවර පිරිවැය රුපියල් 1800 නොඉක්මවන්නේනම් පමණයි. ස්ථාවර පිරිවැය රුපියල් 1440 දක්වා අඩු වුනොත් පස්වැන්නෙක්ටත් එකතු වෙන්න පුළුවන්. ඔය ආකාරයකට කිසියම් වෙළඳපොළක වෙළඳපොළ ආකෘතිය තීරණය වෙන්නේ ඉල්ලුමේ ප්‍රමාණය සහ පිරිවැය ආකෘතිය අනුවයි. එය පැවතිය හැකි කාර්යක්ෂමම තත්ත්වය මිසක් "ජාවාරම්කාර මාෆියාවක්" නිසා වෙන දෙයක් නෙමෙයි. වෙළඳපොළ නිදහස තහවුරු වී නැති විට රාජ්‍ය මැදිහත්වීම් නිසා ජාවාරම්කාර මාෆියා හැදෙන්න පුළුවන්එ වීම වෙනම දෙයක්.

ඉහත වෙළඳපොළට දෙවැන්නෙකු එකතු වූ පසු එක් සැපයුම්කරුවෙකුගේ ශුද්ධ ලාබය රුපියල් 100ක් විය හැකි නමුත් එය අනිවාර්යයෙන්ම රුපියල් 100ක් විය යුතු නැහැ. එසේ වෙන්නේ සැපයුම්කරුවන් දෙදෙනා සහයෝගීතාවයෙන් කටයුතු කළහොත් පමණයි. ඔවුන් දෙදෙනා එකනෙකා සමඟ තරඟ කළහොත් වෙන්නේ දළ ලාබය ස්ථිර පිරිවැයට සමාන වන තුරු මිල අඩු වෙන එකයි. එහිදී එම මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. නමුත්, මෙවැන්නක් අනිවාර්යයෙන්ම වන බවට සහතිකයක් නැහැ.

අපි හිතමු ස්ථාවර පිරිවැය රුපියල් 3500ක් කියා. දැන්, සැපයුම්කරුවන් දෙදෙනා සහයෝගයෙන් කටයුතු කළහොත් මිල රුපියල් 360 මට්ටමේම පවතිනවා. එක් අයෙකු ඒකක 60ක් විකුණා රුපියල් 3600ක දළ ලාබයක් හා රුපියල් 100ක ශුද්ධ ලාබයක් ලබා ගන්නවා. නමුත් දෙදෙනා තරඟ කළහොත් මිල රුපියල් 350 දක්වා අඩු වෙනවා. එහිදී එක් ඒකකයකින් ලැබෙන ලාබය රුපියල් 50 දක්වා අඩු වුනත්, ඉල්ලුම ඉහළ ගොස් එක් අයෙකුට ඒකක 70ක් විකුණන්නට ඉඩ ලැබෙන නිසා රුපියල් 3500ක දළ ලාබයක් ලැබෙනවා. එහෙත්, ස්ථාවර පිරිවැය ඉවත් වූ පසු ශුද්ධ ලාබයක් නැහැ. ඒ නිසා, මිල තරඟය එතැනින් නවතිනවා. මේ අවස්ථාවේදී පාරිභෝගිකයාට ලැබෙන මිල ලැබිය හැකි හොඳම මිලයි. වෙළඳපොළේ සිටින්නේ තරඟකරුවන් දෙදෙනෙකු පමණක් වුවත් එම හොඳම මිල පාරිභෝගිකයාට ලැබෙනවා. 

කිසියම් වෙළඳපොළක වෙළඳපොළ පරිමාවට සාපේක්ෂව එක් සැපයුම්කරුවෙකුගේ ස්ථාවර පිරිවැය බොහෝ වැඩිනම් එවැනි වෙළඳපොළක් ඒකාධිකාරයක් හෝ කතිපයාධිකාරයක් ලෙස පවතිනු මිස පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. සැපයුම්කරුවන් ප්‍රමාණය තීරණය වන්නේ පිරිවැය ආකෘතිය මතයි. තරඟකාරී වෙළඳපොළක් බිහි විය හැක්කේ වෙළඳපොළ පරිමාවට සාපේක්ෂව එක් සැපයුම්කරුවෙකුගේ ස්ථාවර පිරිවැය බොහෝ අඩුනම් පමණයි.

අපි හිතමු ඉහත වෙළඳපොළේ ස්ථාවර පිරිවැය රුපියල් 40ක් පමණයි කියා. ස්ථාවර පිරිවැය මේ වගේ අඩු මට්ටමක ඇති විට එම වෙළඳපොළට දිගින් දිගටම සැපයුම්කරුවෝ එකතු වෙනවා. අපි හිතමු ඒ විදිහට සැපයුම්කරුවෝ 100 දෙනෙකු එකතු වුනා කියලා. දැන් වෙළඳපොළ තරඟය නිසා භාණ්ඩයේ මිල රුපියල් 320 දක්වා පහළ යනවා. එම මිලට භාණ්ඩයේ ඒකක 200ක් විකිණිය හැකි වුවත් සැපයුම්කරුවන් 100 දෙනෙකු සිටින නිසා එක් අයෙකුට විකිණිය හැක්කේ ඒකක දෙකක් පමණයි. එකකින් ලාබය රුපියල් 20ක් පමණක් නිසා මුළු දළ ලාබය රුපියල් 40ක් පමණයි. එයින් ස්ථාවර පිරිවැය ආවරණය වෙනවා. නමුත් ඊට වඩා ලාබයක් නැහැ. තවත් තරඟකරුවෙක් ආවොත් කාට හෝ එක් අයෙකුට පාඩු වෙනවා. එම තරඟකරු ඉවත් වී නැවත සැපයුම්කරුවන් ගණන 100ක් වෙනවා. 

සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණක් සිටින විට ඒ දෙදෙනා සහයෝගයෙන් කටයුතු කිරීම හා තරඟ කිරීම යන දෙකෙන් ඕනෑම එකක් වෙන්න පුළුවන්. නමුත් සහයෝගයෙන් කටයුතු කරන්න වැඩි ඉඩක් තිබෙනවා. එහෙත්, සැපයුම්කරුවන් 100ක් සිටින විට ඒ සියලු දෙනා අතර සහයෝගයක් ඇති වීමේ ඉඩකඩ ඉතාම අඩුයි. ඒ නිසා මේ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම මෙන් භාණ්ඩයේ මිල එය විකිණිය හැකි අවම මිල මට්ටම දක්වා අඩු වෙනවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ එවැනි වෙළඳපොළක්. අවම වශයෙන් සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටින විටද මේ මට්ටමේම තරඟකාරිත්වයක් ඇති වීමේ ඉඩක් ඇතත් එය එසේ සිදු වන බවට කිසිම සහතිකයක් නැහැ. 

වෙළඳපොළ නිදහස තහවුරුව තිබියදී සැපයුම්කරුවන් එක් අයෙක්, දෙදෙනෙක්, පස් දෙනෙක් හෝ සිය දෙනෙක් බිහි වෙන්න පුළුවන්. ඒ අනුව, ඒකාධිකාරයක්, තරඟකාරී වෙළඳපොළක් හෝ ඔය දෙක අතර තිබෙන කතිපයාධිකාරයක් වැනි ඕනෑම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එය තීරණය වෙන්නේ පිරිවැය ආකෘතිය සහ ඉල්ලුම මත. නමුත්, ආකෘතිය තීරණය වුනාට පස්සේ කුමක් හෝ සමතුලිත මිලක් තිබෙනවා. සැපයුම්කරුවෝ කොයි තරම් ප්‍රමාණයක් හිටියත් තරඟය නිසා ඒ මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යන්නේ නැහැ. අවම පිරිවැය මට්ටමකදී තරඟය නවතිනවා.

දැන් අපි හිතමු ඉහත උදාහරණයේ විචල්‍ය පිරිවැය රුපියල් 300 සිට රුපියල් 310 දක්වා ඉහළ ගියා කියලා. මෙහිදී ඒකාධිකාරයක් ඇති විට වෙන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් ඇති විට වෙන්නේ කුමක්ද?

ඒකාධිකාරයක් යටතේ කලින් මිල තීරණය වුනේ රුපියල් 360 ලෙසයි. එම මිලට ඒකක 120ක් විකිනුනු අතර එකකින් රුපියල් 60 බැගින් රුපියල් 7200ක දළ ලාබයක් ලැබුණා. දැන් කලින් වගේම එකකින් රුපියල් 60ක ලාබයක් තියා ගන්නනම් මිල රුපියල් 370 දක්වා වැඩි කරන්න වෙනවා. නමුත් එවිට විකිණෙන්නේ ඒකක 100ක් පමණක් නිසා දළ ලාබය රුපියල් 6000 දක්වා පහත වැටෙනවා. අනෙක් අතට මිල වැඩි නොකළොත්, කලින් ප්‍රමාණයම විකිණෙන නමුත් එකකින් ලැබෙන්නේ රුපියල් 50ක් පමණක් නිසා දළ ලාබය ලෙස ඒත් ලැබෙන්නේ රුපියල් 6000ක් පමණයි. 

ඔය දෙකම නොකර මිල රුපියල් 355 දක්වා පමණක් වැඩි කළොත් වෙන්නේ කුමක්ද? දැන් ඒකක 110ක් විකිණෙනවා. එකකින් රුපියල් 55ක් බැගින් රුපියල් 6050ක දළ ලාබයක් ලැබෙනවා. ඒ කියන්නේ ඒකාධිකාරයක් පවත්වා ගන්නා සැපයුම්කරු විසින් තමන්ගේ ලාබය උපරිමයක් කර ගන්නනම් මිල වැඩි කළ යුත්තේ රුපියල් 355 දක්වා පමණයි. වෙනත් විදිහකින් කිවුවොත් පිරිවැය රුපියල් 10කින් ඉහළ ගියත් මිල වැඩි වෙන්නේ රුපියල් 5කින් පමණයි.

ඒකාධිකාරයක් වෙනුවට තරඟකාරී වෙළඳපොළක් තිබුණානම් වෙන්නේ කුමක්ද? ඒකාධිකාරයක් පවතිද්දී මෙන් තරඟකාරී වෙළඳපොළක සැපයුම්කරුවෙකුට පිරිවැය ඉහළ යාමේ කම්පනය අවශෝෂණය කර ගන්න බැහැ. ඒ නිසා, රුපියල් 10ක පිරිවැය ඉහළ යාම මුළුමනින්ම පාරිභෝගිකයා මත පටවන්න වෙනවා. ඒ අනුව, කලින් රුපියල් 320ක් වූ භාණ්ඩයේ මිල රුපියල් 330 දක්වා ඉහළ යනවා. ඒ අනුව, විකිණෙන මුළු ඒකක ගණන 180 දක්වා පහත වැටෙනවා. රුපියල් 40ක ස්ථාවර පිරිවැය ආවරණය කරගන්නනම් එක් සැපයුම්කරුවෙකු විසින් අඩු වශයෙන් ඒකක 2ක්වත් විකිණිය යුතු නිසා දැන් මේ වෙළඳපොළේ රැඳී සිටිය හැක්කේ තරඟකරුවන් 90 දෙනෙකුට පමණයි. ඉතිරි 10 දෙනාට වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. 

අනෙක් අතට යම් හෙයකින් ඔය විචල්‍ය පිරිවැය අඩු වුනොත් ඊට අනුරූපව මිල පහළ ගිහින් ඉල්ලුම ඉහළ යනවා. එහිදී තවත් අලුත් සැපයුම්කරුවන්ට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. මේක තරඟකාරී වෙළඳපොලක ස්වභාවය. පිරිවැය විචලනය වීමට අනුරූපව සැපයුම්කරුවන් ගණන වගේම භාණ්ඩයේ මිලද විචලනය වෙනවා. ස්ථාවර පිරිවැය අඩු නිසා, අලුත් සැපයුම්කරුවන්ට එකතු වෙන්න පහසුයි. ඒ වගේම, පිරිවැය පොඩ්ඩක් ඉහළ ගිය ගමන් යම් සැපයුම්කරුවන් පිරිසකට වෙළඳපොළෙන් ඉවත් වෙන්න වෙනවා. මොකද එවැනි කම්පනයක් දරා ගත හැකි තරමේ සුපිරි ලාබ මෙවැනි වෙළඳපොළක නැහැ.

මෙයින් වෙනස්ව ඒකාධිකාරයක් ඇති විට පිරිවැය විචලනය වන තරමටම මිල විචලනය වෙන්නේ නැහැ. පිරිවැය ඉහළ යද්දී එයින් කොටසක් සැපයුම්කරු විසින් දරා ගන්නවා. ඒක කරන්නේ පාරිභෝගිකයාට තිබෙන ආදරයකට නෙමෙයි. ලාබ උපරිමයක් වෙන්නේ එසේ කළ විට නිසා. අනෙක් අතට, පිරිවැය අඩු වන තරමට මිල අඩු කරන්නේත් නැහැ. මොකද එහෙම නොකළා කියලා පාරිභෝගිකයින්ට යන්න වෙන තරඟකරුවෙක් නැහැ. 

ඒකාධිකාරයක ඉඳලා තරඟකාරී වෙළඳපොළක් දක්වා වෙළඳපොළක් පරිණාමය වෙද්දී වෙන්නේ ස්ථාවරව තිබුණු මිල වැඩි වැඩියෙන් විචලනය වෙන එක. හොඳම උදාහරණය ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ. මෙම වෙළඳපොළේ සැපයුම්කරුවන් විශාල පිරිසක් ඉන්න නිසා දැඩි තරඟය හමුවේ මිල තීරණය වෙන්නේ පිරිවැය අනුව ලබා දිය හැකි අවම මට්ටමේ. මිල ඒ මට්ටමට ආවට පස්සේ පිරිවැයෙහි සිදුවන සුළු වෙනසක් වුවත් පාරිභෝගියාට පටවන්න වෙනවා. මොකද එවැනි සුළු වෙනසක් වුවත් දරා ගැනීමේ හැකියාවක් සැපයුම්කරුවෙකුට නැහැ. පිරිවැය ඉහළ යද්දී සියළුම සැපයුම්කරුවෝ එකවර මිල වැඩි කරනවා.

ඒකාධිකාරයක් ඇති විට මෙවැන්නක් වෙන්නේ නැහැ. ඒකාධිකාරී සැපයුම්කරුට තමන්ගේ සුපිරි ලාබ වලින් පිරිවැය කම්පන අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒ හේතුව නිසාම, පිරිවැය ඉහළ යද්දී ඊට අනුරූපව මිල ඉහළ යනවානම් එයින් පෙනෙන්නේ තරඟකාරිත්වය හොඳ මට්ටමක තිබෙන බව. එසේ නොවේනම් එයින් පෙන්වන්නේ පිරිවැය කම්පන අවශෝෂණය කරගෙන ලාබ වැඩි කර ගත හැකි ඒකාධිකාරී බලයක් තිබෙන බව.

වෙබ් ලිපිනය: