වෙබ් ලිපිනය:

Tuesday, October 3, 2017

කූඹියන්ගේ ගේම කුමක්ද?


මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශනය කෙරෙන කූඹියෝ ටෙලි නාට්‍යය ගැන විශාල සංවාදයක් ඇති වී තිබේ. මේ සංවාදය බොහෝ දුරට එක් දිශාවකට විහිදුනු එකකි. මේ ටෙලි නාට්‍යය අගය කරන අය මිස විවේචනය කරන අය පෙනෙන්නට නැත. එය එසේ වීමේ පුදුමයක්ද නැත. කෙසේ වුවද, කූඹියෝ ටෙලි නාට්‍යයට පිස්සු වැටී ඉන්නේ සමාජයේ එක් ස්ථරයක් පමණක් වන්නටද පුළුවන.

තවමත් විකාශනය වී තිබෙන්නේ කූඹියෝ ටෙලි නාට්‍යයේ කොටස් දොළහක් පමණි. සම්පූර්ණයෙන් නරඹන්නේ නැතිව මෙවැනි නිර්මාණයක් ඇගයීම හෝ විවේචනය කිරීම එතරම් සුදුසු දෙයක් නොවූවත්, මේ නාට්‍යයේ කොටස් කිහිපයක් හෝ නැරඹු අයෙකු වුවද ඒ ගැන කතා කරන්නට පෙළඹීම තේරුම් ගන්නට අපහසු නැත.

සරලවම කියනවානම් කූඹියෝ පට්ටම පට්ටය. එය අබියස සාපේක්ෂව ජනප්‍රියව පැවති මේ දින වන විකාශනය වන වෙනත් සිංහල ටෙලිනාට්‍ය වොට් සීයේ බල්බයක් අබියස පත්තු කළ ඉටිපන්දම් බවට පත් වී තිබේ. කූඹියෝ ටෙලි නාට්‍යය ලොකු ඉඩෝරයකට පසු වැටුණු මහ වැස්සකි. එහි කතා දෙකක් නැත.

පුරුද්දක් ලෙස සිංහල ටෙලිනාට්‍ය නොබලන, එහෙත් අතරින් පතර බලන මට මෙහි එක් කොටසක් අහම්බෙන් බලන්නට ලැබුණු පසු ක්ෂණිකව ඇති වුනු ඇබ්බැහිය අවසන් වුණේ මෙතෙක් විකාශනය කර ඇති කොටස් සියල්ල එක දිගට බැලීමෙන් පසුවය. මෑත කාලයේදී කිසිදිනෙක සිංහල ටෙලි නාට්‍යයකට මා මෙතරම් ඇබ්බැහි වී නැත.

කූඹියෝ ටෙලි නාට්‍යය අගය කරන බොහෝ දෙනෙකු එසේ කරන්නේ එහි රඟපෑම් ඉතා විශිෂ්ඨ මට්ටමක තිබේය යන පදනමිනි. මෙහිදී වැඩිපුරම අගය කෙරෙන්නේ ප්‍රියන්ත මහඋල්පත චරිතය රඟපාන කලණ ගුණසේකරගේ රඟපෑමයි. ටෙලිනාට්‍යයේ කතානායකයා වන ජෙහාන් ප්‍රනාන්දු හෙවත් සාගරගේ චරිතය රඟපාන තුමිඳු දොඩන්තැන්නගේ රඟපෑම්ද ඊට දෙවෙනි නැත. සෙසු චරිත සඳහාද තෝරාගෙන ඇත්තේම ලංකාවේ දැනට සිටින ප්‍රවීණම නළු නිලියන් නිසා ඔවුන්ගේ රඟපෑම් ගැනද අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. රඟපෑම් වලට අමතරව මෙහි සංගීතය, දෘශ්‍ය උපක්‍රම, දර්ශන පසුබිම් හා කැමරා කෝණ, ආලෝකකරණය ආදියද විශිෂ්ඨ මට්ටමක තිබේ.

කෙසේ වුවද, මටනම් මේ ටෙලිනාට්‍යයේ විශේෂත්වය තිබෙන්නේ මේ එක දෙයක්වත් නොවේ. එහි තිර රචනයේ හා අධ්‍යක්ෂනයේය. එයින්ද, මේ ටෙලිනාට්‍යයේ සාර්ථකත්වය පසුපස ඇති මූලිකම කරුණ එහි තිර රචනයයි. උඩින් කී අනෙක් කරුණු විශිෂ්ඨ මට්ටමක නොතිබුණානම් මේ ටෙලි නාට්‍යය මෙතරම් ජනප්‍රිය නොවිය හැකිව තිබුණේය. එහෙත්, රඟපෑම්, අධ්‍යක්ෂණය ආදිය මෙවැනිම විශිෂ්ඨ මට්ටමක තිබුණේ වුවද තිර රචනය මෙතරම් සාර්ථක එකක් නොවූයේනම් එහි කතා කරන්නට මෙතරම් දෙයක් ඉතිරි නොවිය හැකිව තිබුණි. අනෙක් අතට, මේ තිර පිටපතෙන් ටෙලිනාට්‍යයක් නොහැදී එය මුද්‍රිත පොතක් පමණක් වූයේ වුවද එහි කතා කරන්නට තරම් දෙයක් ඉතිරි වනු ඇත.

කූඹියෝ තේමාව මෙතෙක් සිංහල ටෙලිනාට්‍ය වල සාකච්ඡාවට ලක් වුණු තේමා වලට වඩා මුළුමනින්ම වෙනස් එකකි. එහි කතාව දිවෙන්නේ ගේම් කාරයෙක් වටාය.

ගේම් කාරයින් කියන්නේ පොලිස් කාරයින්, දොස්තරලා හා කොන්දොස්තරලා මෙන්ම ලංකාවට හොඳින් හුරුපුරුදු චරිතයකි. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ හැම එකකම ගේම් කාරයින් ලෙස ප්‍රසිද්ධ වූ පුද්ගලයෝ සිටිති. ව්‍යාපාරික ක්ෂේත්‍රය ගත්තද එසේමය. රජයේ හෝ පෞද්ගලික ආයතනයක් වැනි ඕනෑම තැනක මෙන්ම කලා හා ක්‍රීඩා වැනි ක්ෂේත්‍රයන්හිද ගේම් කාරයින්ගේ අඩුවක් නැත.

ගේම් කාරයෙක් කියන්නේ ඇත්තටම කවුද? ගේම් කාරයින් අතර අපරාධකාරයින් සිටිය හැකිවුවත් හැම විටම ගේම් කාරයෙක් කියන්නේ අපරාධකාරයෙක්ම නොවේ. ඉංග්‍රීසියෙන් "con artist" කෙනෙකු ලෙස හඳුන්වන චරිතය සිංහලෙන් ගේම් කාරයෙකු ලෙස හැඳින්වීම කෙතරම් උචිතද යන්නද සැක සහිතය.

ගේම් කාරයෙකුට වෙනත් අයෙකුගේ තීරණ මත බලපෑම් කිරීමේ සුවිශේෂී දක්ෂතාවයක් තිබේ. එවැන්නෙකු එසේ කරන්නේ විශ්වාසය දිනාගැනීම හරහා මිස බලහත්කාරය යෙදීම මඟින් නොවේ. මේ සඳහා වෙනත් අය හිතන ආකාරය තේරුම් ගැනීමටත්, වෙනත් අයගේ දුර්වල තැන් හඳුනාගැනීමටත් ප්‍රවීණතාවයක් තිබිය යුතුය. දේශපාලන, ව්‍යාපාරික හෝ වෙනත් ඕනෑම අංශයකින් ඉදිරියට එන බොහෝ දෙනෙක් යම් තරමක ගේම් කාරයෝය. ඒ නැතත්, අප කා තුළත් පොඩි හෝ ගේම් කාරයෙක් සිටී. වෙනසක් ඇත්නම් ඒ එක් එක් පුද්ගලයා විසින් සැලසුම් කරන ගේම් වල ස්වභාවයේය. එහෙත්, ගේම් කාරයින් ලෙස සමාජයේ ප්‍රසිද්ධ වන්නේ දිගින් දිගටම සාර්ථක ලෙස ගේම් දී නමක් හදාගන්නා හා ගේම් වලින්ම ජීවත් වීම පුරුද්දක් කරගත් අයයි.

කූඹියෝ කතාව ආරම්භ වන්නේ පෞද්ගලික බස් රථයක් තුළ සිදුවන කතාවේ ප්‍රධාන චරිත තුනේ හමුවකිනි. කොළඹ පිටකොටුවේ ගුණසේන පොත් සාප්පුව කිට්ටුවෙන් පාදුක්ක බස් රථයකට ගොඩවන ජෙහාන් (තුමිඳු දොඩන්තැන්න) අසුන්ගන්නේ රූමත් තරුණියක වුවද වෙනත් බොහෝ සිංහල ටෙලිනාට්‍ය වල දැකිය හැකි මේකප් සුන්දරියක් හෝ ගම්බද ලලනාවක් ලෙස නොව 125 බස් රථයකදී සාමාන්‍යයෙන් හමුවිය හැකි තරුණියක ලෙස නිරූපණය කර ඇති හිරුනි (යුරේනි නොෂිකා) වාඩි වී සිටින අසුනට යාබදවය. ජෙහාන් හිරුනි සමඟ ඉන්දියානු උච්චාරණයෙන් ඉංග්‍රීසියෙන් කතා කර කොළඹ මහජන පුස්තකාලය පිහිටි තැන විමසයි. වැඩිදුර විස්තර අහන හිරුනිට ජෙහාන් තමන්ව හඳුන්වා දෙන්නේ ලංකාවේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන පර්යේෂණයක් කිරීමට පැමිණ සිටින බංග්ලාදේශ ජාතිකයෙකු ලෙසිනි.

අහම්බෙන් හමුවූ පිටරැටියාට උදවු කරන්නට පැනලාම ඉදිරිපත් වන හිරුනි ඉබ්බන්වල හෝ සලාකා හරියේදී බස් එකෙන් බහින්නේ තමන්ගේ දුරකථන අංකයද ජෙහාන්ගේ අතේ තබමිනි. ඉදිරි අසුනේ සිටින තරුණයෙකු (ප්‍රියන්ත) අමතමින් මේ පිටරටින් ආ මහත්තයාට පුස්තකාලය ලඟින් බහින්නට නිවැරදි නැවතුම පෙන්වන මෙන් ඉල්ලීමක් කිරීමටද ඇය අමතක නොකරයි.

ඉදිරි අසුනේ සිටින ප්‍රියන්ත මහඋල්පතගම (කළණ ගුණසේකර) ඇඟලුම් කම්හලක රියදුරු රැකියාවක් කරන්නට ගමෙන් නගරයට පැමිණි, ලොකු උගත්කමක් නැති තරුණයෙකි. ඇඟලුම් කම්හල වසා දැමීම නිසා ඔහුගේ රැකියාව අහිමි වී තිබේ. දැන් ඔහු යන්නේ වෙනත් රැකියාවක් හොයා ගැනීමේ අරමුණින් මහත්තයෙක් හමුවන්නටය. ජෙහාන් හා ප්‍රියන්ත අතර සිදුවන කෙටි පිළිසඳර අවසන් වන්නේ ප්‍රියන්ත ජෙහාන්ගේ සහායකයෙකු බවට පත් වීමෙනි.

ප්‍රියන්තට හමුවන ජෙහාන් සුළු ව්‍යාපාරයක නිරතව සිටින්නෙකි. ජෙහාන්ගේ වචන වලින්ම කියනවානම් ඔහු කරන්නේ සුපිරි වෙළඳසැලකට ගොස් බඩු ගන්නට තරම් විවේකයක් නැති කොළඹ හතේ නෝනලා වෙනුවෙන් ඉංග්‍රීසියෙන් කඩේ යාමයි.

ජෙහාන්ගේ ව්‍යාපාරය තනිකරම වන් මෑන් ෂෝ එකකි. එහෙත්, ඔහුගේ පාරිභෝගිකයින්ට ඒ බව නොපෙන්වීමට ඔහු සැලකිලිමත් වෙයි.

පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් නමින් හඳුන්වන, එහෙත් එනමින් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර නැති, ජෙහාන්ගේ "ආයතනයේ" වෙබ් අඩවිය හරහා හෝ දුරකථන මාර්ගයෙන් පාරිභෝගිකයෙකුට තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය බඩු මෙන්ම එම බඩු මිල දී ගත යුතු සුපිරි වෙළඳසැල හා බඩු අවශ්‍ය වන දිනය දැනුම් දිය හැකි අතර එසේ දැනුම් දීමෙන් අනතුරුව අවශ්‍ය දිනට බඩු ගෙදරටම ලැබේ. පෙනෙන්නට ඇති පරිදි, මෙහිදී පාරිභෝගිකයින් විසින් අවදානමක් නොගන්නා අතර බඩු වෙනුවෙන් මුදල් ගෙවිය යුත්තේ එම බඩු නිසි පරිදි ගෙදරටම ප්‍රවාහනය කර දීමෙන් පසුවය. මේ සේවාව වෙනුවෙන් පාරිභෝගිකයින් විසින් බඩු වල මිලෙන් 10%ක මුදලක් පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් "සමාගමට" ගෙවිය යුතු අතර අඩුම වශයෙන් රුපියල් 3000ක බඩු ඇණවුම් කළ යුතුය. සේවාවේ යම් අඩුපාඩුවක් ඇත්නම් ආයතනයට පැමිණිලි කිරීමටද පුළුවන්කම තිබේ.

ප්‍රියන්තව හමුවන තුරු පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් සමාගමේ ඇණවුම් භාර ගැනීම, භාණ්ඩ මිලදී ගැනීම, ඩිලිවර් කිරීම මෙන්ම පැමිණිලි විභාග කිරීම ඇතුළු සියලු කටයුතු සිදුවන්නේ තනිකරම ජෙහාන්ගේ අතින් වුවත් ඔහු සිය පාරිභෝගිකයින් සතුටු කරමින් ඒ කටයුත්ත ඉතා සැලකිල්ලෙන් හා මහන්සියෙන් කරයි. ආයතනය වෙත අලුත් පාරිභෝගිකයින් ආකර්ශනය වන්නේ එහි සේවාවන්හි ගුණාත්මක භාවය කටින් කට ප්‍රචාරය වීම හරහාය.

බැලූ බැල්මටම පෙනෙන පරිදි මේ ව්‍යාපාරය ඉතා සාධාරණ ව්‍යාපාරයකි. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බොහොමයක කටයුතු සිදුවන ආකාරය මෙහි සිදුවන ආකාරයෙන් විශාල ලෙස වෙනස් නොවේ. කිසියම් ව්‍යාපාරයක් කුඩා "වන් මෑන් ෂෝ" එකක් බව පෙනෙන්නට ඇති විට එවැනි තැනකින් බඩු ගන්නට ලංකාවේ බොහෝ පාරිභෝගිකයින් කැමති නැත. හොඳ වැටුපක් ගෙවුවත් එවැනි තැනක සේවය කරනවාට වඩා, අඩු පඩියක් ගෙවන නමක් ඇති තැනක සේවය කරන්නට බොහෝ දෙනා කැමතිය. ඒ නිසා, බොහෝ කුඩා ව්‍යාපාරික ආයතන වලට පාරිභෝගිකයින් හමුවේ වඩා විශාල ව්‍යාපාරයක් ලෙස පෙනී සිටින්නට සිදුවේ. අඩුම වශයෙන් මා සේවය කර ඇති හෝ සම්බන්ධව සිට ඇති ලංකාවේ හා බංග්ලාදේශයේ කුඩා සමාගම් හෝ ව්‍යාපාර හතරකම තිබුණේ මෙවැනි තත්ත්වයක් නිසා මෙය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් බව මගේ විශ්වාසයයි.

මට පෞද්ගලිකව අත්දැකීම් ඇති ඉහත කී ආයතන කිහිපයේම අයිතිකරුවන් විසින් වරින් වර විවිධ නම් වලින් පාරිභෝගිකයින් ඇමතීම සාමාන්‍ය තත්ත්වයක් විය. ඇතැම් විට, පාරිභෝගික සේවා කළමණාකරු අළෙවි කළමනාකරු වෙත දුරකථන ඇමතුම යොමු කරයි. තවත් විටෙක සාමාන්‍යාධිකාරී වෙත යොමු කරයි. එහෙත්, විවිධ නම් වලින් දුරකතනයට පිළිතුරු දෙන්නේ එකම පුද්ගලයාය. මෙසේ කිරීමෙන් ආයතනයට ඇත්ත ප්‍රමාණයට වඩා ලොකුවට පෙනී සිටින්නට හැකිවීමට අමතරව තවත් වාසි රැසක් ලැබේ.

පළමුව, ඇමතුම ගන්නා විටම ඉල්ලන පුද්ගලයාගේ නම අනුව ඇමතුම එන්නේ කාගෙන්දැයි දැනගෙන සූදානම් වන්නට ඉඩ ලැබේ. දෙවනුව, කිසියම් සිද්ධියක් සම්බන්ධව අසතුටෙන් සිටින පාරිභෝගිකයෙකුගේ පැමිණිල්ල විභාග කර අවශ්‍යනම් පහසුවෙන්ම සේවකයා සේවයෙන් ඉවත් කර දමන්නට වුවද පුළුවන. ඒ සඳහා කළ යුත්තේ නම වෙනස් කිරීම පමණි. ව්‍යාපාරයක් ආරම්භ කරන විටම එය නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි නොකිරීමද ලංකාවේ අසාමාන්‍ය දෙයක් නොවේ. ආරම්භයේදී මෙවැනි දේ කළත්, බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් හා ආයතන විසින් මෙවැනි දේ කරන්නේ ඔලුව උස්සා ගන්නා තුරු පමණි.

කෙසේ වුවද, කිසිසේත්ම විය නොහැකි දේවල් නොවුණත්, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් නොකරන "හොර වැඩ" කිහිපයක්ද ජෙහාන් විසින් කරයි. පළමුව, ඔහු විසින් පදිංචිව සිටින හා ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානය ඔහුට අයිති නැති, ඔහු විසින් කුලියට ගෙනද නැති තැනකි. එහි හිමිකරු කවුදැයි ඔහුවත් නොදනී. මෙය මෙවැනි ව්‍යාපාරික කටයුත්තක යෙදෙන සාමාන්‍ය පුද්ගලයෙකු විසින් නොගන්නා මට්ටමේ අවදානමකි.

ඇතැම් විට, කිසිවෙකු ප්‍රයෝජනයට නොගන්නා "නිකම් තිබෙන" ගොඩනැඟිල්ල රෑට නිදාගන්නටවත් තැනක් නැති ජෙහාන් විසින් ප්‍රයෝජනයට ගැනීමේ කිසිදු සදාචාරාත්මක වරදක් නැතැයි මේ ටෙලිනාට්‍යය නරඹන ඇතැම් ප්‍රේක්ෂකයින්ද සිතනවා විය හැකිය. ලංකාවේ සමාජය දේපොළ අයිතිවාසිකම් ප්‍රමාණවත් තරමින් පිළිගන්නා හෝ තහවුරු කරන සමාජයක් නොවේ.

දෙවනුව, පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් වෙත ලැබෙන ඇණවුම් වෙනුවෙන් බඩු මිල දී ගැනෙන්නේ පාරිභෝගිකයින් විසින් ඉල්ලා සිටින සුපිරි වෙළඳසැල් වලින් නොවේ. එළවළු ආදිය පොළක් වැනි සාමාන්‍ය තැනකින් මිලදී ගන්නා ජෙහාන් එම බඩු ඇත්තටම මිලදී ගත්තේ සුපිරි වෙළඳසැලකින් බව පෙන්වීමට වංචනික ලෙස බිල්පත් මුද්‍රණය කරමින් සිය පාරිභෝගිකයින් රවටයි.

මේ කරුණු දෙකෙන් පෙනෙන්නේ ජෙහාන්ට දක්ෂ ව්‍යාපාරිකයෙකු ලෙස දියුණු වීමේ ශක්‍යතාව තිබුණත් ඔහුට එවැනි දිගුකාලීන අරමුණක් නැති බවයි. ඔහුගේ හැසිරීම වඩා සමාන වන්නේ තමන්ගේ වෙනත් සැබෑ ඉලක්කයක් හඹා යන අතරතුර එය ආවරණය කරගැනීමට කුමක් හෝ දෙයක් තාවකාලිකව කරමින් සිටින දේශපාලන ව්‍යාපාරයක යටිබිම්ගත සාමාජිකයෙකු හෝ රහස් ඔත්තු සේවා සාමාජිකයෙකු වැනි අයෙකුගේ හැසිරීමටය.

ධනවාදී ආර්ථික ක්‍රමයක වාසිය ලබමින් ගොඩ යන්නට හදන තරුණයෙක් බව පෙනුණත් ජෙහාන්ගේ දැක්ම මාක්ස්වාදී එකකි. දෙල්කඳ පොළේ හා ඒ ආසන්නව ඇති කීල්ස් සුපිරි වෙළඳසැලක විකිණීමට තබා ඇති භෞතික වශයෙන් එක සමාන බෝංචි කිලෝ දෙකක් එකිනෙකෙන් වෙනස් වන්නේ කෙසේද යන්න මාක්ස්වාදී ආර්ථික විද්‍යාව විශ්වාස කරන වෙනත් අයෙකුට මෙන්ම ජෙහාන්ටද අවබෝධ කර ගත නොහැකිය. ඒ නිසා, සුපිරි වෙළඳසැලේ බෝංචි කිලෝවක් වෙනුවට පොළේ බෝංචි කිලෝවක් ආදේශ කිරීමේ සදාචාරාත්මක වරදක් නැති බවත්, ඒ නිසා එසේ කිරීමෙන් වාසියක් ලැබීමේ වැරැද්දක් නැති බවත් ඔහු සිතයි.

භාණ්ඩයක මිල තීරණය වන්නේ එහි භෞතික ලක්ෂණ මත පදනම් වූ ප්‍රයෝජ්‍ය අගයක් මත නොව එක් එක් පාරිභෝගිකයා විසින් එයට ලබා දෙන වටිනාකම් අනුව බව තේරුම් ගැනීමට ජෙහාන්ට හැකියාවක් නැත. ඒ නිසා, පාරිභෝගිකයින් විසින් සුපිරි වෙළඳසැලේ විකුණන බෝංචි කිලෝවට වැඩි වටිනාකමක් දීමට හේතු ඔහු බාගෙට විශ්ලේෂණය කර වැරදියට අවබෝධ කරගනී. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස ජෙහාන්ට සිය ඉංග්‍රීසියෙන් කඩේ යාමේ ව්‍යාපාරය වසා දමන්නට සිදුවේ.

එක් ව්‍යාපාරයක් කඩා වැටුණද අනික් අතට තවත් කටයුත්තකට අත ගසන්නට තරම් ව්‍යාපාරික ඥානයක් ජෙහාන්ට තිබේ. ඔහුට දක්ෂ ව්‍යවසායකයෙකු සතු ලක්ෂණ වන අවස්ථා හඳුනා ගැනීමේ හැකියාව, අවදානම් කළමනාකරණ හැකියාව, අඩු පිරිවැයකින් සම්පාදනය කරගත හැකි භෞතික හා මානව සම්පත් හඳුනා ගැනීමේ හැකියාව, ඉවසීම, මහන්සි වී වැඩ කිරීමේ හැකියාව, ප්‍රධාන අරමුණ පැත්තක දමා වෙනත් අරමුණු පස්සේ නොයාම, වඩා වටිනා දෙයක් වෙනුවෙන් අඩුවෙන් වටිනා දේ (බත් පිඟානේ ඇති කරවල කෑල්ලක් වැනි) කැපකිරීමේ හැකියාව ආදී ලක්ෂණ ගණනාවක් තිබේ.

එහෙත්, අවාසනාවකට ජෙහාන්ගේ මාක්ස්වාදී හැදියාව ඔහුගේ ව්‍යවසායකත්වයට බාධා කරයි. වයස අවුරුදු තිස්පහක් වුවත් දෘෂ්ඨිවාදී ලෙස ජෙහාන් ගමකින් නගරයට පැමිණි, තමන්ට භුක්ති විඳිය නොහැකි සම්පත් භුක්ති විඳින පංතියට වෛර කරන, යම්තාක් දුරකට හීනමානයකින්ද පෙළෙන බව පෙනෙන ක්‍රම විරෝධියෙක් වන අතර සරසවියේ කලා පීඨයක දෙවන වසරේ පමණ සිටින ග්‍රාමීය පහළ මධ්‍යම පාන්තික පසුබිමක් ඇති ඉගෙනීම වෙනුවට වෙනත් අරමුණු වලට ප්‍රමුඛතාවය දෙන තරුණයෙකුගෙන් වෙනස් වන්නේ නැත. කතාවේ දැනට විකාශනය වී ඇති කොටස් අනුව ජෙහාන් සරසවියේ ජනසන්නිවේදන උපාධිය හැදෑරීමට අම්පාර දිස්ත්‍රික්කයෙන් පැමිණි අයෙකි.

දැනට කතාව අනුව, නියමිත කාලය අවසන් වෙද්දී ජෙහාන් විසින් උපාධිය සම්පූර්ණ කර නැතත්, වසර තුනකට පසු උපාධිය සම්පූර්ණ කර තිබේ. කතාවේ ස්වභාවය අනුව ඉදිරියේදී ජෙහාන්ගේ අනන්‍යතාවය නැවතත් වෙනස් වෙන්නට වුවද බැරිකමක් නැත. ඒ අනුව, ඔහු උපාධිය සම්පූර්ණ නොකළ අයෙක් හෝ ඇතැම් විට සරසවි සිසුන් ආශ්‍රිතව ජීවත් වූ සරසවි සිසුවෙකු නොවූ අයෙකු වුවද විය හැකිය. ලංකාවේ ආරක්ෂක තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක තිබියදී හමුදාවේ ඉහළ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කිසිදු හැඳුනුම්පතක් නොපෙන්වා ප්‍රධාන හමුදා හා නාවික හමුදා කඳවුරු වල නිලදරු නිවස්න වෙත සතිපතා මෙන් යමින් රිසි සේ රසමසවුලෙන් හා මත්පැනින් සප්පායම් වීමේ හැකියාව තිබුණු පුද්ගලයින් මා පෞද්ගලිකවම ඇසුරු කර තිබේ.

ගේම් කාරයෙකු ලෙස හඳුන්වා දෙනු ලැබුවත් කූඹියෝ ටෙලි නාට්‍යය තුළ ජෙහාන්ගේ චරිතය ගොඩනඟන්නේ ඒ කෙරෙහි කිසියම් වීරත්වයක්ද ආරෝපණය වන පරිදිය. මේ අනුව, එක් වර පෙනෙන්නේ පහළ මධ්‍යම පන්තියෙන් පැමිණි, එහෙත් ඉතා  සුවිශේෂී දක්ෂතා ඇති පුද්ගලයෙකු වන ජෙහාන්ට ගේම් කාරයෙක් වී එදා වේල හොයා ගත්තේ නැත්නම් ගොඩයන්නට ක්‍රමයක් නැති බවයි. අඩු වශයෙන් ඔහුට ඉන්න තැනක් හෝ කන්න විදිහක් නැත. එහෙත්, ඔහුගේ අරමුණ ආර්ථික දියුණුවනම් ඔහුට ඒ කරා යන්නට විශාල බාධාවන් ඇති බවක් නොපෙනේ. ඔහුට දැනටම තිබෙන බව පෙනෙන විශාල සම්බන්ධතා ජාලය පමණක් වුවද ඒ සඳහා ප්‍රමාණවත්ය.

කතාවේ පෙන්වන පරිදි ජෙහාන් යනු "කුරුඳුවත්තේ බැල්ලියන්" රවටා කීයක් හෝ හොයා ගැනීම වරදක් ලෙස නොසිතුවත් තමන්ගේ "පංතියේ" අයට වරදක් නොකරන අයෙකි. ව්‍යාපාරය බිඳ වැටුණත් ඔහු ප්‍රියන්තගේ වැටුප් නොගෙවා සිටින්නේ නැත. වත්තේ කුඩුකාර තරුණ තරුණියන් අළෙවි නිලධාරීන් ලෙස පුහුණු කර ටයි පටි අන්දවා ඔහුගේ සඟරාව විකුණන්නට යවන සමාජ ශෝධකයෙක් හා පහළ පන්තියට සේවය කරන්නෙක් ලෙස ජෙහාන්ගේ චරිතය බැලූ බැල්මට පෙනුණත් ඇත්තටම ඔහු කරන්නේ වෙනත් ශූර ව්‍යාපාරිකයෙකු මෙන් හැකිතරම් අඩු මිලකට ශ්‍රමය මිල දී ගනිමින් ලාබ ලැබීමයි. මෙය ලංකාවේ ඇතැම් වාමාංශික පක්ෂ විසින් මොළ ශෝධනය කිරීම මඟින් අඩු මිලකට හෝ ඇතැම් විට නොමිලේම ශ්‍රම සම්පත් සම්පාදනය කර ගැනීමට සමාන කළ හැකිය.

ජෙහාන් විසින් කරන්නේ, මතුපිටින් පෙනෙන පරිදි, තමන්ගේ ශූර ඥානයෙන් ලොකු සල්ලි ගස් හොලවා වැටෙන සල්ලි තමන්ගේ පංතියේ අය සමඟ බෙදාගැනීම නොවේ. ඇත්තටම සිදුවන්නේ ජෙහාන් විසින් ගේම් කාරයෙකු ලෙස විශාල අවදානමක් ගනිමින්, තමන් සමඟ සිටින ප්‍රියන්ත වැනි වෙනත් අයද අවදානමේ හෙලමින් හා ඒ අවදානමට ගැලපෙන මිලට වඩා අඩු මිලක් ඔවුන්ට ගෙවමින් අඩු මිලට ශ්‍රමය සම්පාදනය කර ගනිමින් කීයක් හෝ හොයා ගන්නා අතර ඉහළ පන්තියේ පුද්ගලයින්ගේ වඩා ලොකු ගේම් වල ඉත්තෙක් වීම පමණි. මෙහි ඇත්තම ගේම් කාරයින් ජෙහාන්ගෙන් සේවය ලබා ගන්නා අයයි. ඔවුහු පැත්තක සිට, ලොකු අවදානමක්ද නොගෙන තමන්ට අවශ්‍ය දේවල් ජෙහාන් ලවා කරවා ගනිති.

කූඹියෝ තිර රචනය තුළ ජෙහාන්ගේ චරිතය හරහා ප්‍රවර්ධනය කෙරෙන වීර චරිතය ඇතැම් දේශපාලන පක්ෂ විසින් ප්‍රවර්ධනය කරන දර්ශීය පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ සමඟ බොහෝ දුරට සමපාත වේ. ජෙහාන් "පරිභෝජනවාදියෙකු" නොවේ. එහෙත්, ඔහු කන බොන මනුස්සයෙකි. ඔහු තමන්ගේ පන්තියට ලැදිය. එමෙන්ම, කෙතරම් වාසි ලැබිය හැකි වුවත් ඉහළ පන්තිය සමඟ ඔහු පෑහෙන්නට නොයයි. තමන්ට සුරක්ෂිත අනාගතයක් තහවුරු කරගැනීමට ප්‍රවේශ මාර්ගයක් ලෙස පෙනෙන "බදුලු කුමාරිය" ජෙහාන් විසින් ප්‍රතික්ෂේප කරන්නේ "මානුෂික සබඳතා" හා "මුදල්" අතර පැහැදිලි ඉරක් ඇති බව එසේ විශ්වාස කරන අයට පෙන්වා දෙමිනි. ඔහුගේ එදිනෙදා ජීවිතය ගෙවෙන්නේ සිය සබඳතා ජාලය පුළුල් කර ගනිමින් හා අදහස් පරාරෝපණය කරමිනි.

නාට්‍යයේ තේමා ගීතය අනුවනම්, ජෙහාන් විසින් කරන්නේ "පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ" රැස් කිරීමකි. ජෙහාන් විසින් මෙසේ මහන්සියෙන් රැස් කරන්නේ මොනවාද? එසේ රැස් කිරීමේ අරමුණ කුමක්ද?

කිසියම් කලා කෘතියක් තුළ නිර්මාණය කෙරෙන චරිතයක පරිකල්පන ශක්තියේ උපරිම සීමාව එහි රචකයාගේ පරිකල්පනයේ උපරිම සීමාවට වඩා වැඩි විය නොහැකිය. කූඹියෝ චරිත සැබෑ වුවත් සංකීර්ණ චරිතයි. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිතය වන ජෙහාන්ට තමන් ඉදිරිපිට සිටින මිනිසෙකු සිතන ආකාරය විශ්ලේෂණය කර උපාය මාර්ගික ප්‍රතිචාර දැක්වීමේ සුවිශේෂී හැකියාවක් තිබේ. ජෙහාන්ට සමාජය විනිවිද දැකිය හැකිය. අවුලක් නැතිව සමාජයේ විවිධ ස්ථර වල සිටින අය ඇසුරු කළ හැකිය. නාගරික වත්තක හැදෙන ජූඩ්ට, මහඋල්පතගම ප්‍රියන්තට මෙන්ම ඉහළ පන්තියේ වෘත්තීයවේදියෙක් හා ව්‍යාපාරිකයෙක් වන අරවින්දට ජෙහාන්ව ඇසුරු කිරීමේදී කිසිදු ආතතියක් නොදැනේ.

මේ ආකාරයේ සංකීර්ණ චරිතයක් නිර්මාණය කළ හැක්කේ අඩුම වශයෙන් ජෙහාන්ගේ තරමට සමාජය විනිවිද දැකිය හැකි හා සමාජ අත්දැකීම් ඇති අයෙකුට පමණි. වෙනත් අයුරකින් කිවහොත් ජෙහාන්ට වඩා හොඳ ගේම් කාරයෙකුට හෝ එවැනි කණ්ඩායමකට පමණි. එසේනම්, කූඹියෝ නිර්මාණය පසුපස ටෙලි නාට්‍යයෙන් ඔබ්බට යන නොපෙනෙන ගේමක් තිබෙනවාද? ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් විකාශනය වී අවසන් වන තුරු නිගමනයකට පැමිණෙන්නට අප හදිස්සි විය යුතු නැත.

21 comments:

  1. ඔය නාට්‍යයේ ඊලග වෙන්නේ ජෙහාන් ගේමක් දෙනවා ෆිනෑන්ස් ගෙවන්නේ නැති මැරයෙක්ගේ කාරෙකක් උස්සලා කොම්පැනියට බාර දෙන්න.

    ඊට පස්සේ වෙන්නේ පෙරටුගාමී වගේ වාමාංශික පක්ෂයකට දේශපාලන වශයෙන් ගේම් දෙන විදිය ගැන උදව් කරන්න ජෙහාන් එකග වෙන එකක් සල්ලි වලට. කතාව එතනින් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඔව්... මමත් ඒ කොටස් ටික බැලුවා

      Delete
    2. ඒ කියන්නේ අනුග්‍රාහකයෙක් හොයා ගන්න සෑහෙන උත්සාහයක් දරා ඇති බවයි. ලංකාවේ පෞද්ගලික අංශය සමඟ කිට්ටුවෙන් සම්බන්ධව සිටි කාලයේනම් මෙවැනි අවස්ථා ලැබුණා.

      Delete
  2. රඟපෑම අතින් නම් ඔවුන් ඇත්තටම යමක් කරනවා. ඒ ගැන නම් විවාදයක් නැහැ.

    මටත් ඔබ ඔය කියන විවේචනය තිබ්බා. නමුත් ඔබ වගේ ලස්සනට පෙලගහල ලියන්න දන්නේ නැති නිසා කට වහගත්තා. මම මේ කතාව සම්පුර්ණයෙන් බැලුව, කොහෙන්ද හම්බ උන නිසා. සම්පුර්ණ කතාව අනුව මටත් මේ විවේචනයම තියෙනවා.
    නමුත් වෙනසක් කරපු නාට්‍යයක් බව හැබෑව

    ReplyDelete
    Replies
    1. පැහැදිලි වෙනසක්නම් තියෙනවා. කතා කරන්න ගොඩක් දේවලුත් තියෙනවා.

      Delete
  3. ඔය කතාව හදපු එකාමයි ඕක ගැන සමාජ ජාල වල කියවන්නේ. මටනම් ඔය කතාව අනිත් කතා වගේමයි පෙන්නේ වැඩකට නැති තුට්ටු දෙකේ කතාවක් හදපු එකා සමාජ ජාල වල ෆේක් හදන් හොදයි කියන නිසා හැමෝම බල බල වීරයෝ වෙන්න විවේචනය කරනවා.

    ReplyDelete
    Replies
    1. කතාව හදපු එකා ඒ ගැන කියවන එක කවුරුත් වගේ කරන පොදු දෙයක්නේ.

      Delete
  4. බිල්ඩිම කාට අයිතිද කියල දන්නැති උනත් ලයිට් වතුර බිල් ගෙවන්නෙ කවුද කියන එකයි මටනං තිබුණ ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුනා හෙහ් හෙහ්

      Delete
    2. ආණ්ඩුවෙන් "නිකං" දෙන දේවල් දෙන්නේ කවුද කියන එක නොහිතන අයට ඕක ප්‍රශ්නයක් නෙමෙයි.

      Delete
    3. ඔච්චර ගේම් දෙන එකාට ලයිට් වතුර හොරෙන් ගන්න එක මහ දෙයක්ද බං.....

      Delete
  5. සිංහල ටෙලිනාට්‍ය බලන එක අත් ඇරලා ගොඩක් කල්. ඒත් මේක නම් බලන්න හිතුනා ඔබේ ලිපිය කියෙවූවට පස්සේ. ස්තුතියි ඉකොන්!

    ReplyDelete
    Replies
    1. Let me know if I have disappointed you by suggesting this! I personally like this genre.

      Delete
    2. Absolutely not! addicted and now on Epi4. Thanks again econ!

      Delete
  6. මම ඊයේ එක දිගටම මෙතෙක් කතා ඔක්කොම බැලුවා.. හෙහ් කාලෙකින් වෙනසක් තියෙන නාට්‍යයක්..

    ReplyDelete
  7. http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/6780-%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%94-%E0%B6%91%E0%B6%B4%E0%B7%8F


    ආරක්‍ෂිත ලිංගික හැසිරීම් ගැන කතාව සම්පූර්ණයෙන්ම අපතේ ගොස් නැති හැඩයි.

    ReplyDelete
    Replies
    1. මේකනම් කෙළින්ම ගල් යුගයෙ පුරුද්දක් කියන්න පුළුවන්. දැන් හරි ඔය වෙනස වුන එක ලොකු දෙයක්. උපත් පාලන කොපු හෑන්ඩ් බෑග් එකේ තිබීම නිසා ගණිකාවක් වෙන රටක ඉතුරු හරිය කියන්න දෙයක් නෑනේ.

      Delete
  8. අරුණ පත්තිනිගේ ගේ ලියපු ශ්‍රෝණි මේඛලා කියවන්න

    ReplyDelete
    Replies
    1. අවස්ථාවක් ලැබුණොත් බලමු. මේ ගැන තවත් කොතැනක හෝ දැක්කා මතකයි.

      Delete
  9. හොඳයි කියල කිහිප තැනක දුටු නිසා බලන්න යොමුවුණා. යම් අභව්‍ය තැන් තිබුනත් ලුලා නැති වලට කනයා පණ්ඩිතයා කියන්නා සේ නරාවලක් වී ඇති ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ යම් කලාත්මක ගොඩ නැගීමක් විදියට දකින්න පුළුවන්.

    ReplyDelete
  10. පශ්න මතුවන තැන් කීපයක් තිබුණත් කාලීන සංසිද්ධි වටා දිවෙන කතාවක් දුවන නාට්‍ය එක්ක බලපුවාම හො‍ද කතාවක් එකක් අර හෝටලය පුපුරවා ලීසිං කාරෙක පන්නන තැන අනෙක හොරට උනත් පරණ බල්ඩිමක මෙචිචර කාලයක් කොහොමද ඉන්නෙ කියන එක

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: