වෙබ් ලිපිනය:

Monday, October 9, 2017

බනානා සංගීතය, සමාජ මාධ්‍ය හා ලිංගික අධ්‍යාපනය


ටික කලකට පෙර සිදු වූ වික්ටර් රත්නායකගේ විවාහය සමාජ මාධ්‍ය වල ලොකුවටම හිට් විය. වික්ටර් රත්නායක ප්‍රසිද්ධ, ප්‍රවීණ හා ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගේ විවාහය එයින් පරිබාහිර පෞද්ගලික කටයුත්තක් විය. මේ විවාහය නිසා වික්ටර්ගේ ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය තවත් ඉහළ ගියත් එය නිරායාසයෙන් සිදු වූවක් මිස වික්ටර් විසින් සැලසුම්ගත ලෙස සිදු කළ දෙයක් නොවේ. මෙය විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ලංකාවේ හා ලෝකයේ ඇතැම් කලාකරුවන් තමන්ගේ ප්‍රසිද්ධිය අඩුවන විට එවැනි දේවල් කරන අවස්ථාද දුලබ නැති බැවිනි. වික්ටර් විසින් එසේ කළේනම් වුවද එහි ඇති වැරැද්දක්ද නැත.

වාර්තා වී තිබුණු තොරතුරු අනුව වික්ටර්ගේ විවාහය සිදුව තිබුණේ ක්ෂණික තීරණයක් ලෙස නොවේ. ඔහු විසින් නීත්‍යානුකූල ලෙස විවාහ කරගෙන තිබුණේ වසර ගණනක් තිස්සේ ඇසුරු කරමින් සිටි කාන්තාවකි. කෙසේ වුවද, මේ විවාහය බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. ඒ විවේචන තවත් බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. මේ සංවාදය බොහෝ දුරට සිදුවුණේ සමාජ මාධ්‍ය ඇතුළේය. මේ හේතුවෙන් වික්ටර් රත්නායකගේ ප්‍රසිද්ධිය විශාල ලෙස ඉහළ ගියත් ඔහු ඒ ප්‍රසිද්ධිය මුදල් කරන්නට පෙළඹුණේ නැත. එසේ කළේනම් ඔහුට සැලකිය යුතු මුදලක් උපයාගත හැකිව තිබුණේය.

වික්ටර් රත්නායක විසින් යම් හෙයකින් තමන්ගේ විවාහය හේතුවෙන් ලැබුණු ප්‍රසිද්ධිය මුදල් කළේනම් එය වරදක් වන්නේවත්, එසේ නොකිරීම නිසා ඔහු විශිෂ්ඨයෙකු වන්නේවත් නැත. එය ඔහුගේ පෞද්ගලික තීරණයක් පමණි.

කෙසේ වුවද, වික්ටර් රත්නායකගේ විවාහය නිසා ඔහුට ලැබුණු ප්‍රසිද්ධිය ඔහු විසින් මුදල් කර නොගැනීම නිසා ඇති වුණු නොසන්සිඳුණු ඉල්ලුම සපුරමින් මුදල් හොයන්නට ඉරාජ් ඉදිරිපත් විය. ඇතැම් අය කියන පරිදි ඉරාජ්ගේ ගීතයේ සංවාදයට ලක් වෙන්නේ පොදු ප්‍රශ්නයකි. අමරසිරි පීරිස්ගේ 'මගේ පුංචි රෝස මලේ ගීතයේ' තේමාවද ඉරාජ්ගේ අලුත් ගීතයේ තේමාවට තරමක් ආසන්නය. තේමාව පොදු එකක් වුවත් නොවුවත්, ඉරාජ් විසින් තමන්ගේ අලුත් ගීතය අලෙවි කිරීම සඳහා වික්ටර් රත්නායකට ඔහුගේ විවාහය නිසා ලැබුණු ප්‍රසිද්ධිය ප්‍රයෝජනයට ගෙන ඇති බව පැහැදිලි කරුණකි.

ඉරාජ් කියන්නේද විශාල රසික පිරිසක් සිටින ප්‍රසිද්ධ ගායකයෙකි. වෙනත් බොහෝ ගායකයින්ගේ ගීත මෙන් ඉරාජ්ගේ අලුත් ගීත බොහොමයක් ශ්‍රව්‍ය අත්දැකීමක් ලෙස පමණක් රස විඳිය නොහැකිය. ඉරාජ් විසින් පැකේජ් කර අලෙවි කරන කලා නිර්මාණ බොහොමයක් වීඩියෝවක් ලෙස රස විඳිය යුතු, සාමාන්‍ය ගීතයකට වඩා වැඩි දෙයකි. ඒ නිර්මාණ වල ගීතයේ පද මාලාව, සංගීතය හා ගායනයට අමතරව, බොහෝ විට මේ අංග වලටත් වඩා වැඩියෙන්, රූප රචනය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ කරුණ බැහැර කර ඉරාජ්ගේ නිර්මාණ දෙස බැලිය නොහැකිය.

ඉරාජ් යනු මගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ ඉහළින් සිටින්නෙකු නොවේ. වික්ටර් රත්නායක ඒ ලැයිස්තුවේ සාපේක්ෂව ඉහළින් සිටින ගායකයෙකි. ඒ මගේ රුචිකත්වය සමඟ මේ දෙදෙනාගේ නිර්මාණ ගැලපෙන ආකාරය අනුව මිස ඉරාජ්ගේ නිර්මාණ "බාල" ඒවා ලෙස මා විසින් ලේබල් කරන නිසා නොවේ. කලා නිර්මාණයක ගුණාත්මක භාවය රසිකයාට සාපේක්ෂ දෙයකි.

ඉරාජ්ගේ නිර්මාණ වල ඔහුගේම අනන්‍යතාවයක් තිබේ. ඒ අනන්‍යතාවයට කැමැත්තක් දක්වන විශාල පිරිසක් සිටී. ඔහු වෙනත් ගායකයින් සාමාන්‍යයෙන් කතා නොකරන ලිංගික තේමා ගැන ඔහුගේ නිර්මාණ හරහා කතා කරයි. එම නිර්මාණ වලට යොදා ගන්නා රූප රචනා සන්දර්භයට ගැලපේ. බොහෝ විට මෙවැනි කරුණු ඔහු අමුවෙන්ම කියයි. අමුවෙන්ම පෙන්වයි. ඔහු එසේ කරන හෝ කර ඇති එකම කලාකරුවා නොවේ. කියන්නට තියෙන දෙය අමුවෙන්ම කියා දමන තවත් බොහෝ කලාකරුවෝ අතීතයේ සිටම සිටියහ. දැනුදු සිටිති.

ඉරාජ් මගේ ප්‍රියතම ගායකයෙකු නොවුවත් ඔහුගේ නිර්මාණ රස විඳින්නට මට බැරිකමක් නැත. යම් හේතුවකින් ඔහුගේ ගීත වීඩියෝවක් නැරඹීමට යොමු වූ අවස්ථා කිසිවකදී මා එය සම්පූර්ණයෙන් නරඹන්නේ නැතිව අතරමඟ නවතා නැත. එහෙත්, වරක් ඇසූ හෝ නැරඹු ඉරාජ්ගේ ගීතයක් නැවත අහම්බෙන් රස විඳින්නට නොලැබුණේනම් මා විසින් දිගින් දිගටම තබා දෙවන වරට හෝ අසා/ නරඹා ඇති බවක් මතක නැත. එමෙන්ම ඔහුගේ මුල් කාලයේ නිර්මාණ කිහිපයක් හැර අලුත් නිර්මාණ කිසිවක් මගේ මතකයේ රැඳීද නැත. වරක් ඇසූ ගීතයක් හෝ නැරඹු ගීත වීඩියෝවක් නැවත නැවත රස විඳින්නට මා පෙළඹෙන්නේ එය රස විඳි පළමු වරම කිසියම් කම්පනයක් ඇති කරන්නට සමත් වන්නේනම් පමණි. එවැනි ගීත ඕනෑ තරම් තිබේ. මට නොදැනුනත්, ඉරාජ්ගේ ගීත වලින්ද එවැනි කම්පනයක් දැනෙන අය සිටින්නට පුළුවන.

ඉරාජ්ගේ අලුත් ගීත වීඩියෝව විශාල ලෙස හිට් විය. එමෙන්ම එය සමාජ මාධ්‍ය වල විශාල ලෙස විවේචනයටද ලක් විය. ඒ විවේචනද සමාජ මාධ්‍ය වල විවේචනයට ලක් විය.

ඉරාජ්ගේ වීඩියෝව විවේචනය කළ අය එසේ කිරීමට අඩු වශයෙන් වෙනස් හේතු තුනක් තිබුණේය. පළමුව, මෙය වික්ටර් රත්නායකට මඩ ගැසීමක් ලෙස හැඳින්වුනේය. දෙවනුව, මේ වීඩියෝවේ සංකේතාත්මක ලෙස කෙසෙල්ගෙඩි හා සොසේජස් යොදාගෙන තිබුණු රූප රාමු විවේචනයට ලක් විය. තෙවනුව, මුදල් පිණිස "අම්මා අප්පා වුවත් විකිණීමේ" ප්‍රවේශය විවේචනයට ලක් විය.

මේ වීඩියෝව හිතාමතාම වික්ටර් රත්නායකට මඩ ගැසීම ප්‍රධාන අරමුණ කරගෙන සැදූවක්යැයි මා විශ්වාස කරන්නේ නැත. එමෙන්ම, ඉරාජ්ගේ නිර්මාණ දෙස සමස්තයක් ලෙස බැලූ විට දෙවන කරුණේද අමුත්තක් නැත. අදාළ රූප රාමු ඔහුගේ ශෛලියට ගැලපේ. එහෙත්, තුන් වන කරුණ බොරුවක්ම නොවේ. ඉරාජ් විසින් කර ඇත්තේ වෙළඳපොළ ඉල්ලුම හඳුනාගෙන විකිණිය හැකි දෙයක් නිර්මාණය කිරීමය. එහිදී ඔහු සම්මත සීමාවන් තුළ හිර වී නැත. මේ කටයුත්තේදී වෙළඳපොළ තුළ ඉරාජ් විසින් අපේක්ෂිත ඉලක්කය සපුරාගෙන තිබේ.

ඉරාජ් මෙහිදී වැරැද්දක් කර තිබේද? ඇතැම් අයට අනුව වැරැද්ද තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා ලැබී ඇති අසීමිත නිදහසේය. ඉරාජ් විසින් මේ තත්ත්වය තමන්ගේ වාසියට හරවා ගෙන තිබේ.

ඉරාජ් විසින් සමාජ මාධ්‍ය සිය වාසිය වෙනුවෙන් යොදාගෙන ඇති බව ඇත්තකි. එහෙත් ඔහු විසින් කිසිවක් බලහත්කාරයෙන් කාගේවත් ඇඟේ ගසා නැත. ඔහු විසින් සිදු කර ඇත්තේ පවතින ඉල්ලුමක් සැපිරීමයි.

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත ගැන හාරා අවුස්සන්නට බොහෝ මිනිසුන්ට උනන්දුවක් තිබේ. මේ උනන්දුව සමාජ ජාලා නිසා ඇති වූවක් නොවේ.

වික්ටර්ගේ විවාහය ඇතැම් අයව කම්පනයට ලක් කළේය. ඒ ඔවුන්ගේ සම්මත සමඟ එය නොගැලපුණු බැවිනි. එවැන්නන්ගේ විරෝධය තවත් අයව කම්පනයට ලක් කළේය. මෙවැනි පෞද්ගලික සිදුවීම් මෙන්ම පසුගිය කාලයේ සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විශාල පිරිසක් මිය යාම වැනි ඛේදවාචකද විශාල පිරිසක් කම්පනය කළේය.

ඉරාජ් හෝ වෙනත් අයෙක් විසින් මීතොටමුල්ල සිදුවීම සිදු වූ අලුත ඒ ගැන ගීතයක් නිර්මාණය කළේනම් එයද ජනප්‍රිය විය හැකිව තිබුණේය. එමෙන්ම, මීතොටමුල්ල මරණ විකුණාගෙන කෑම ගැන එවැන්නෙකුට ඇතැම් අයගේ විවේචන එල්ල විය හැකිවද තිබුණේය.

කලකට පෙර ඇන්ටන් ජෝන්ස් විසින් මෙවැනි ඛේදවාචක ගැන 'අමුවෙන්ම' විස්තර කරන ගීත ගණනාවක්ම අවස්ථාව බලා එළියට දමමින් ආර්ථික වාසියක් ලැබුවේය. ඇන්ටන් ජෝන්ස් විසින් එසේ විකිණූ ගීත අතර වන "ප්‍රේමවතී මනම්පේරි තරුණිය",  "කන්දේ හැපුණු මහ වනන්තරේ", "සයුර බලා බඳ ලෙලවා" වැනි ගීත අදටත් ජනප්‍රියව තිබේ. හැත්තෑව දශකය පමණ වන තුරු ලංකාවේ විශාල ලෙස ජනප්‍රියව තිබුණු කවි කොළ වෙළඳපොළ තුළ තනිකරම සිදු වුණේ මෙවැනි එදිනෙදා ජනප්‍රිය සිද්ධි ගැන බොහෝ දෙනෙකුට තිබුණු උනන්දුව මුදල් කර ගැනීමයි. අද සමාජ ජාලා හරහා සිදුවන දෙය ඒ කාලයේදී කවි කොළ වැනි වෙනත් මාධ්‍ය හරහා සිදුවිය.


ඉරාජ් විසින් කළේ පැවති රික්තකයක් පිරවීමයි. වෙනත් අයට පෙර මේ රික්තකය පිරවීම නිසා ඔහුට පුරෝගාමියාගේ වාසිය ලැබුණේය. මෙහිදී සමාජ මාධ්‍ය විසින් ඉටු කළ කාර්ය භාරය වුණේ ඔහුගේ ගීත වීඩියෝව ඒ සඳහා ඉල්ලුමක් ඇති තැන් වලට  යොමු කරන්නට මෙවලමක් වීම පමණි.

සමාජ මාධ්‍ය සැලකිය හැක්කේ අවම පරිපාලන රෙගුලාසි ප්‍රමාණයකට යටත්, වාරණයකින් තොර හෝ වාරණය ඉතාම අඩුවෙන් සිදුවන නිදහස් මාධ්‍ය ලෙසිනි. එවැන්නක් හේතුවෙන් අත්වෙන අවසන් ප්‍රතිඵලය වඩා කාර්යක්ෂම එකක් මිස අකාර්යක්ෂම එකක් වන්නට හේතුවක් නැත. කවර මිනුම් දණ්ඩක් භාවිතා කරමින් නියාමනය කළත් අවසන් වශයෙන් නියාමනය විසින් ඉඩ සලසන්නේ අකාර්යක්ෂමතාවයන්ටය.

ඇතැම් අය සිතන පරිදි ඉරාජ්ට මේ වීඩියෝව ප්‍රචාරණය කරන්නට ඉඩ ලැබීමේ කුමක් හෝ වරදක් තිබේ. මේ වරද නියාමනයක් නැති අසීමිත නිදහසද?

නිදහස් වෙළඳපොලක් මෙන්ම සමාජ මාධ්‍ය වැනි නිදහස් මාධ්‍යද ස්වයං නියාමනයට ලක්වේ. එය ස්වභාවිකවම සිදුවන දෙයක් මිස කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් කළ යුතු දෙයක් නොවේ.

ඉරාජ්ගේ වීඩියෝව නිසා කිසියම් තාවකාලික අසමතුලිතතාවයක් ඇති වූයේනම් ඉතා ඉක්මණින් ස්වභාවික ලෙසම එය නැවත සමතුලිත විය යුතුය. ඒ සඳහා කිසිවකු මැදිහත් වීම අවශ්‍ය නොවේ. ඉරාජ්ට පක්ෂව මෙන්ම ප්‍රතිපක්ෂවද ක්ෂණිකව අදහස් දක්වන්නට බොහෝ දෙනෙකුට ඉඩ සැලසුණේ සමාජ මාධ්‍ය නිසාය.

මේ වීඩියෝව නිසා ඉරාජ්ට එරෙහිව විශාල ජනමතයක්ද ඇති වුණේය. වීඩියෝවේ පෙනී සිටි නිලියකට කොරියාවේදී ප්‍රශ්න වලට මුහුණ දෙන්නටද සිදු වී තිබේ. මේ අනුව, පෙනෙන්නේ ඉරාජ්ගේ වීඩියෝව එළියට දැමීමෙන් පසු ඔහුගේ නිර්මාණ වලට විරුද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ටද ඉල්ලුමක් ඇති වී ඇති බවයි.

ඉල්ලුමක් ඇති වූ විට එහි වෙළඳපොළ අවස්ථාවක්ද තිබේ. මෙවැනි වෙළඳපොළ අවස්ථාවක් මුලින් හෝ පසුව යම් කිසිවකු විසින් හඳුනා ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. මේ වන විට එය සිදු වී තිබේ. දැනටම විශාල ලෙස හිට් වී ඇති අම්බලම වීඩියෝව එයට හොඳම සාක්ෂියයි.

අම්බලම වීඩියෝව එළියට එන්නේ ඉරාජ් විරෝධය අලෙවිකරණ උපායක් ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. මෙයට කැමති නැති අයෙකුට මෙය තනිකරම මඩ වීඩියෝවක් ලෙස හඳුවන්නට පුළුවන. එහෙත්, එයට පක්ෂ අයෙකුට මෙය ලිංගික අධ්‍යාපනය ලබාදෙන, උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන වීඩියෝවක් ලෙස හඳුවන්නට වුවද බැරිකමක් නැත. වීඩියෝවේ පෙන්වන පරිදි උපත් පාලන කොපු යතුරු කැරැල්ල සමඟ එකට සාක්කුවේ දමාගෙන සිටින විට තෙරපුම නිසා එහි කඩතොළු ඇති වී, ඒ හේතුව නිසා ලිංගිකව එක්වන විට පුපුරා යාමෙන් ගැබ් ගැනීම හෝ සමාජ රෝග වැළඳීම වැනි අනපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නට ඇති ඉඩකඩ ඉහළ යා හැකිය යන්න නැවුම් අදහසකි.


සමාජ මාධ්‍ය හරහා එළියට එන්නේ සාමාන්‍ය මිනිසුන් හිතන පතන ආකාරයයි. සමාජ මාධ්‍ය නොතිබුණා කියා හෝ වාරණය කළා කියා මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වන්නේ නැත. කිසියම් කලා නිර්මාණයකට හෝ මතවාදයකට ඉල්ලුමක් තිබේනම් සමාජ මාධ්‍ය නැතත් එය කවර ආකාරයකින් හෝ මතුවීම වැළැක්විය නොහැකිය. මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වේනම් එය සමාජ මාධ්‍ය තුළද ස්වභාවික ලෙසම පිළිබිඹු වනු ඇත.

13 comments:

  1. මේ මාතෘකාව ගැන කියවපු සමබරම ලිපිය. ලිපියේ මම දකින වටිනාම අදහස තමයි "කලා නිර්මාණයක ගුණාත්මක භාවය රසිකයාට සාපේක්ෂ දෙයකි." යන්න. මේ සිදුවීම සහ ඒ පිලිබඳ ඇතිවුන කතාබහේ සංක්ෂිප්ත අදහස මේ තනි පෙළින් මැනෙවින් නිරුපණය වෙන බවයි මගේ හැගීම. කාලීන සහ ආන්දෝලනාත්මක මාතෘකා ඉතා සෞම්‍ය ලෙස, කරුණු මැනෙවින් පෙළගස්වමින් ලියන්න ඔබට තිබෙන හැකියාව විශිෂ්ටයි ඉකෝන්. ජයවේවා !!!

    ReplyDelete
  2. නියම විග්‍රහයක්.

    ReplyDelete
  3. Nice work Econo, well written & balanced article. Agree with you for most of your thoughts in this regard, well done mate.

    ReplyDelete
  4. Everything is great..but the greatest is the very last sentence..

    ReplyDelete
  5. ලෝකයේ මිනුම් දඬු කාලයත් සමග වෙනස් වෙලා.. ඉස්සර දුර මැන්නේ කිලෝමීටර්, යොදුන්, හැතැක්ම වලින් උනාට දැන් දුර මනින්නේ විනාඩි වලින්. ඒ නිසා සංගීත රසය ඇහෙන් විඳීම ගැන විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. ඒ ඒ පුද්ගලයාගේ මිම්මට අනුව ඒ ඒ පුද්ගලයින් තමා වටා තිබෙනා දෑ සඳහා මිනුම් දඬු සකස්කරගනිමින් සිටිනවා. ඒත් ඒක වරායක් ඇහුව ගමන් මිනිස්සුන්ගේ මතකයේ පදිංචි වෙන නිර්මාණ දැන් දැන් එලියට එන්නේ නැහැ. ඉන්දියාවේ සංගීතය එක්ක ලංකාවේ සංගීතය සංසන්දනය කරන්න බැරි වුනාට ඉන්දියාව නව තාක්ෂනය එක්ක තමුන්ගේ අනන්‍ය සංගීතය ජ්‍යාත්‍යන්තරය වෙත ගෙනියමින් ඉන්නව. අපේ එවුන් නව තාක්ෂනය එක්ක අපේ සංගීතය වලපල්ලට දක්කමින් ඉන්නව.

    ReplyDelete
  6. රසවත් හා සමබර ප්‍රකාශනයක්. මෙතන කාටවත් විවේචන නැහැ.
    ඇති වූ තත්වය ගැන හොඳ විවරනයක්.

    ඇත්තෙන්ම විවෙචනයට කල් වුනත් ඉරාජ් යනු වෙළඳ පොල හැසීරීම හොඳින් තේරුම් ගත හැකි වෙළෙඳෙක්
    ඔහුට ප්‍රති ප්‍රහාර දුන් වීඩියෝවත් එවැන්නෙකුගේම වැඩක්.

    ReplyDelete
  7. විරාජ් සංගීත නිර්මණකරණයේ යෙදෙන්නේ වෙළඳපොළ ලාභාංශ මතත් එක ගීතයක් කර එකරයින් කුමක් හෝ ජිල්මාට් දම එය ජනප්‍රිය කර පසුව කාලයකට ඩවුන් ගොස් නැවතත් ගිල්මට් එකක දමමින් ජනප්‍රිය වීමට දගලන්නේකුයි මට සිතේ මෙය මගේ පුද්ගලික මතයයි.
    විචාරක දියණිය

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: