වෙබ් ලිපිනය:

Tuesday, November 29, 2016

බදු වැඩි කර විදේශ ණය ගෙවිය නොහැකිද?

ආර්ථික විද්‍යාව තරමක් තරමක් දුරට හැදෑරු අයෙකුට සරල කරුණක් ලෙස පෙනෙන ඉහත ප්‍රශ්නය බොහෝ දෙනෙකුට එතරම්ම සරල නැති, 'කොමන් සෙන්ස් එකෙන්' පමණක් තේරුම් ගත නොහැකි කරුණක් බව පෙනේ. මෙය ඔවුන්ගේ වරදක් නොවේ. අප ලබන අධ්‍යාපනයේ ප්‍රශ්නයකි. රජයට සල්ලි අච්චු ගසා පඩි වැඩි කරන්නට බැරි ඇයිද යන්න වුවද නිවැරදිව තේරුම් නොගත් අය සාපේක්ෂ උගත් කමක් ඇති සමාජ ස්ථර වල පවා අඩු නැත. ලංකාවේ වැඩි දෙනෙකුට මූලික ආර්ථික විද්‍යා දැනුමක් ලබා ගැනීමට වුවද කවර හෝ අවස්ථාවක් නොලැබෙන පසුබිමක එය එසේ වීමේ කිසිදු පුදුමයක් නැත.

අප බොහෝ දෙනෙක් දන්නා පරිදි රජයේ ණය කොටස් දෙකකි. ඒ දේශීය ණය හා විදේශීය ණයයි. පසුගිය 2015 වසර අවසාන වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503ක් විය. එයින් රුපියල් බිලියන 4,959ක් හෙවත් 58%ක් දේශීය ණයයි. ඉතිරිය වන රුපියල් බිලියන 3,544ක් හෙවත් 42%ක් විදේශීය ණයයි.

ණය යනු ආපසු ගෙවිය යුතු මුදලකි. ණය ලබාගන්නා අවස්ථාවේදී, ණය දෙන්නා සහ ණය ලබාගන්නා අතර මේ ණය මුදල ආපසු ගෙවන ආකාරය ගැන එකඟතාවයක් ඇතිවේ. එම එකඟතාවය ණය මුදල කිසියම් කාලයකින් පසුව එකවර ආපසු ගෙවීමක් හෝ කාලයක් තිස්සේ වාරික ලෙස ගෙවීමක් විය හැකිය. ආපසු ගෙවීමේදී, ලබාගත් මුල් මුදලට අමතරව එකඟ වූ පොලී මුදලක්ද ගෙවිය යුතුය. මේ පොලී මුදලද එක වර හෝ වරින් වර ගෙවන්නක් විය හැකිය.

ඉහත ණය මුදල් ප්‍රමාණ සංසන්දනය කිරීමේ පහසුව තකා රුපියල් වලින් පෙන්වූවත් රජයේ ණය සියල්ලම රුපියල් ණය නොවේ. මේ ණය වලින් කොටසක් ලබාගෙන ඇත්තේ ඩොලර්, යෙන් වැනි විදේශ ව්‍යවහාර මුදලකිනි. එසේ වෙනත් ව්‍යවහාර මුදලකින් ලබාගත් ණය ආපසු ගෙවිය යුත්තේද අදාළ මුදල් වර්ගයෙනි. එමෙන්ම, එවැනි ණය මුදලක් සඳහා ගෙවිය යුතු පොලිය ද අදාළ ව්‍යවහාර මුලින්ම ගෙවිය යුතුය. වෙනත් අයුරකින් කිවහොත් රුපියල් වලින් ණය ගත් විට ණය හා පොලිය රුපියල් වලින්ම ගෙවිය හැකි වුවත්, ඩොලර් වලින් ණය ගත් විට ණය හා පොලිය ගෙවිය යුත්තේ ඩොලර් වලිනි. යෙන් වලින් ගත් ණය පොලිය සමඟ ආපසු ගෙවිය යුත්තේ යෙන් වලිනි.

රජයේ දේශීය ණය බොහෝ දුරට රුපියල් ණය වන අතර විදේශීය ණය බොහෝ දුරට වෙනත් විදේශීය ව්‍යවහාර මුදලකින් ලබාගත් ණයයි. මෙහිදී 'බොහෝ දුරට' කියා කියන්නේ එය හැම විටම එසේම නොවන බැවිනි.

රජයේ විදේශ ණය ප්‍රමාණයෙන් රුපියල් ණය ප්‍රමාණය 8.6%ක් පමණි. ඉතිරි 91.4%ම ලබාගෙන ඇත්තේ කිසියම් විදේශ ව්‍යවහාර මුදලකිනි. එයින් වැඩිම ප්‍රමාණය එනම් 48.9%ක් හෙවත් රුපියල් බිලියන 1,734ක් (එක්සත් ජනපද) ඩොලර් වලින් ලබාගත් ණයයි. තවත්, රුපියල් බිලියන 470ක් (13.2%) යෙන් වලින්ද, රුපියල් බිලියන 181ක් (5.1%) යුරෝ වලින්ද, රුපියල් බිලියන 735ක් (20.7%) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ඒකකය වන එස්ඩීආර් වලින්ද, ඉතිරි 3.5% වෙනත් විවිධ ව්‍යවහාර මුදල් ඒකක වලින්ද ලබාගෙන තිබේ. අනෙක් අතට, රජයේ දේශීය ණය වලින් රුපියල් බිලියන 690ක් හෙවත් 13.9%ක් ද ලබාගෙන ඇත්තේ කිසියම් විදේශ ව්‍යවහාර මුදලකිනි. මේ අනුව, පසුගිය වසර අවසානය වන විට රජය විසින් ගෙවිය යුතුව තිබුණු මුළු දේශීය හා විදේශීය ණය ප්‍රමාණයෙන් රුපියල් ණය ප්‍රමාණය 54% පමණ වන අතර ඉතිරි 46% කිසියම් විදේශ ව්‍යවහාර මුදලකින් ගෙවිය යුතු ණයයි. මෙහිදී, රුපියල් බිලියන වලින් සියළු ණය මුදල් දක්වා ඇත්තේ 2015 අවසානයේදී පැවති විණිමය අනුපාතික උපයෝගී කරගෙන විදේශ ව්‍යවහාර මුදලින් ගෙවිය යුතු ණය රුපියල් වලට හරවමිනි. ඒ නිසා, විණිමය අනුපාතික වෙනස් වන විට මෙම ණය ප්‍රමාණද (රුපියල් වලින් ගණන) වෙනස් වේ. උදාහරණයක් ලෙස රුපියල ඩොලරයට සාපේක්ෂව 10%කින් අවප්‍රමාණය වන විට රුපියල් ණය වෙනස් නොවුණත්, ඩොලර් ණය 10%කින් වැඩි වේ. ඒ ඩොලර් වලින් එම ණය ප්‍රමාණය නොවෙනස්ව තිබියදීමය.

දේශීය වුවද, විදේශීය වුවද ණය ආපසු ගෙවන්නටනම් රජය ආදායම් ඉපදවිය යුතුය. බදු හරහා එකතු කරන මුදල් රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. බදු වැඩි කළ විට සාමාන්‍යයෙන් රජයේ ආදායම වැඩි වේ. රජයේ වියදම් වෙනුවෙන් මුදල් වෙන් කිරීමෙන් අනතුරුව කිසියම් අතිරික්තයක් ඇත්නම් මේ ආදායම කලින් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහා යොදාගත හැකිය.

රජයේ බදු ආදායම් ඇතුළු අනෙකුත් ආදායම් බොහොමයක්ම ලැබෙන්නේ රුපියල් වලිනි. ඒ නිසා, අතිරික්ත ආදායමක් ඇත්නම් රජයේ රුපියල් ණය ආපසු ගෙවීම සාපේක්ෂව සරල කටයුත්තකි. එහෙත්, විදේශ ව්‍යවහාර මුදලින් ගත් ණය ආපසු ගෙවීමටනම් මේ රුපියල් ආදායම ඩොලර්, යෙන්, යුරෝ වැනි වෙනත් ව්‍යවහාර මුදලකට පරිවර්තනය කිරීමට සිදුවේ. මේ සඳහා මෙවැනි විදේශ ව්‍යවහාර මුදල් අතේ ඇති, රුපියල් අවශ්‍ය අය සොයාගත යුතුය.

රටට විදේශ ව්‍යවහාර මුදල් රැගෙන එන ප්‍රධාන කණ්ඩායම් වන්නේ අපනයනකරුවන් හා විදෙස් ශ්‍රමිකයින්ය. සංචාරකයින් වැනි වෙනත් පිරිස්ද සිටිති. අපනයනකරුවන්ට ආදායම් ලැබෙන්නේ ඩොලර්, යුරෝ වැනි විදේශ ව්‍යවහාර මුදලකින් වුවත් ඔවුන්ට සේවක පඩිනඩි ආදිය වෙනුවෙන් රට තුළ වැය කරන්නට රුපියල් අවශ්‍යය. එමෙන්ම, විදෙස් ශ්‍රමිකයින් විසින් විදෙස් ව්‍යවහාර මුදලින්
රටට එවන අරමුදල් රට තුළ වියදම් කිරීම සඳහා ඔවුන්ගේ පවුල්වල අයට රුපියල් අවශ්‍යය. මෙවැනි අය විදෙස් ව්‍යවහාර මුදල් රුපියල් වලට මාරු කරන විට රටේ බැංකු පද්ධතිය තුළ එම ව්‍යවහාර මුදල් එකතු වේ. රජයට තමන් සතු රුපියල් බැංකුවකට දී මේ විදෙස් ව්‍යවහාර මුදල් ලබාගෙන විදේශ ණය ගෙවා දැමිය හැකිය.

කෙසේ වුවද, රටේ බැංකු වලට රුපියල් ලබාදී විදෙස් ව්‍යවහාර මුදල් ඉල්ලා සිටින්නේ රජය පමණක් නොවේ. විදෙස් ව්‍යවහාර මුදල් ඉල්ලා සිටින වෙනත් කණ්ඩායම් බොහොමයකි. ආනයනකරුවන් ඒ අතර ප්‍රධානම කණ්ඩායමයි. ආනයනකරුවන්, රජය ඇතුළු විදෙස් ව්‍යවහාර මුදල් සොයන පිරිස් වලට රට තුළට ආනයනකරුවන් හා විදෙස් ශ්‍රමිකයින් වැනි කණ්ඩායම් විසින් රැගෙන එන සීමිත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණය සඳහා තරඟ වදින්නට සිදුවේ. මෙහිදී ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිත තාවයක් ඇතිවී විදෙස් ව්‍යවහාර මුදල් වල මිල හෙවත් විණිමය අනුපාතිකය ඉහළ යයයි. රුපියල අවප්‍රමාණ වෙයි. එවිට, රජය විසින් නිශ්චිත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වන නිසා බදු වැඩි කර ආදායම් වැඩිකර ගැනීමේ වාසියෙන් සැලකිය යුතු කොටසක් නැතිව යයි. ඒ සමඟම, විදෙස් ව්‍යවහාර මුදලින් රැගෙන ඇති ණය තොගයේ රුපියල් අගය ඉහළ යාම නිසා ණය බර
තවත් වැඩිවේ.

මේ තත්ත්වය මඟ හරවා ගැනීමට 'ගොඩ වෙදකමක්' ලෙස මහ බැංකුව මැදිහත් වී විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහතින් තබා ගැනීම ලංකාව විසින් වරින් වර කරන දෙයකි. එසේ කිරීමෙන් විදෙස් විණිමය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිතවීමට ඇති ඉඩකඩ ඇහිරෙන නිසා රටට වරින් වර ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්නට සිදුවේ. පසුගිය කාලයේ රුපියල අවප්‍රමාණ වීමට ඉඩ හැර තිබුණත් මේ වන විට මහ බැංකුව විසින් (එක්සත් ජනපද ඩොලර්) විණිමය අනුපාතිකය රුපියල් 150 මට්ටමේ රඳවා ගැනීමට උත්සාහයක් දරන බවක් පෙනෙන්නට තිබේ. එසේ රැවුලත් කැඳත් බේරා ගැනීමට දරන උත්සාහයේ කොටසක් ලෙස ආනයන සීමා කිරීම සඳහා රජය යම් යම් පියවර ගනු පෙනේ.

ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයේ ප්‍රධාන මුහුණත් දෙකකි. එකක් රජයේ අයවැය හිඟයි. දෙවැන්න ගෙවුම් ශේෂ හිඟයි. දීර්ඝකාලීනව ආර්ථික ස්ථාවරත්වය කරා ළඟා වීමටනම් මේ අර්බුද දෙකටම පිළියම් යෙදිය යුතුය. බදු වැඩි කිරීම වැනි ක්‍රමවලින් රජයේ ආදායම වැඩි කරගැනීම රටේ විදේශ ණය පියවීමට ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවේ. ඒ සඳහා ගෙවුම් ශේෂ ප්‍රශ්නයද විසඳිය යුතුය. කෙසේවුවද, මෙසේ රජයේ ආදායම වැඩි කරගැනීම රටේ විදේශ ණය පියවීමට ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවූවත්, අනිවාර්ය අවශ්‍යතාවයකි. දේශීය වුවද, විදේශීය වුවද ණය ගෙවා දැමීම සඳහා රජය සතුව සම්පත් අතිරික්තයක් තිබිය යුතුය. ඒ නිසා, දේශීය ණය ගෙවීමට මෙන්ම විදේශීය ණය ගෙවීම සඳහාද බදු වැඩි කිරීම උදවුවකි.


(Image: http://www.ibtimes.co.in/sri-lanka-offers-infrastructure-equity-china-do-away-part-8-billion-debt-673970)

Saturday, November 19, 2016

මේ ගෙවී යන්නේ ජාත්‍යන්තර පරිප්පු වසරයි!


පසුගිය ලිපියෙන් ඇමරිකාවේ පරිප්පු සමරන හැටි ගැන ගැන ලිවුවෙමි. එම ලිපියේ නොලියැවුණු වැදගත් පරිප්පු කතාවක් වන්නේ මෙම ගෙවී යන්නට ආසන්න 2016 වසර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පරිප්පු, කඩල, මුං ඇට, සෝයා බෝංචි ආදිය පොදුවේ හැඳින්වෙන මාෂබෝග (pulses) වෙනුවෙන් වෙන් කර ඇති ජාත්‍යන්තර මාෂබෝග වසර බවයි.

මෙම 2016 වසර ජාත්‍යන්තර මාෂබෝග වසර ලෙස නම් කරමින් 2013 දෙසැම්බර් 20 දින පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ හැට අට වන මහා සභා සැසියේදී මෙසේ නම් කිරීමට පදනම් වූ හේතු පාඨය ඉදිරිපත් කර තිබුණේ මෙසේය.

-පරිප්පු, කඩල, කව්පී, බෝංචි ආදී මාෂබෝග ලොව පුරා ජනතාවගේ මෙන්ම සතුන්ගේද ශාක ප්‍රෝටීන් හා ඇමයිනෝ අම්ල අවශ්‍යතාව සපුරන ඉතා වැදගත් ආහාර කාණ්ඩයකි.

-ලෝක ආහාර වැඩ සටහන සහ අනෙකුත් ආහාර ආධාර වැඩසටහන් මාෂබෝග පොදු ආහාර පැසක ඉතා වැදගත් කොටසක් ලෙස සලකයි.

-ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය ඉලක්ක කරගත්, තිරසාර ආහාර නිෂ්පාදනය දිරිමත් කිරීමේදී මාෂබෝග වලට විශේෂ අවධානය යොමු විය යුතුය.

-මාෂභෝග අයත් වන්නේ පසට නයිට්‍රජන් එකතු කරමින්, පස සරු කරන අතරම පරිසරයටද හිතකර රනිල ශාඛ කුලයටය.

-ලොව පුරාම සෞඛ්‍ය සංවිධාන විසින් අධික ස්ථුලතාවය අඩු කරගැනීමටද, දියවැඩියාව, හෘද රෝග හා පිළිකා වැළඳීමේ හැකියාව අඩුකරගැනීමටද ඉවහල් වන සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස මාෂබෝග නිර්දේශ කරයි.

-මාෂබෝග වලින් ලබාගන්නා ප්‍රෝටීන් වඩා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමද, ලෝක මාෂබෝග නිෂ්පාදනය ඉහළ නැංවීමද, බෝගමාරු ක්‍රමය වඩා හොඳින් ප්‍රයෝජනයට ගැනීමද, මාෂබෝග වෙළඳාම හා අදාළ අභියෝග වලට විසඳුම් සෙවීමද දිරිමත් කරමින් අදාළ පාර්ශ්ව අතර සම්බන්ධතා ගොඩනැඟීමට මෙසේ මාෂබෝග වසරක් නම් කිරීම නිසා අනන්‍ය අවස්ථාවක් උදාවේ.

-තිරසාර කෘෂිකර්මය වැඩි දියුණු කිරීමද, මාෂබෝග වල පෝෂණ ගුණ ගැන පොදු ජනතාවගේ දැනුම ඉහළ නැංවීමද අවශ්‍යතාවයකි.

ඉහත අරමුණු ඇතුව 2016 වසර ජාත්‍යන්තර මාෂබෝග වසර ලෙස නම් කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයටය. ඒ අනුව, එම සංවිධානය විසින් වසර තුළ ලෝකයේ විවිධ රටවල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉල්ලා සිටි පරිදි, මාෂබෝග පිළිබඳ දැනුම හා අවධානය ඉහළ නැංවීමට ඉකොනොමැට්ටා විසින්ද යාන්තම් අවුරුද්ද ඉවර වෙන්නට පෙර සුළුවෙන් වුවත් දායක වෙමින් මේ ලියන්නේ වසරේ දෙවන පරිප්පු ලිපියයි. ඉකොනොමැට්ටාගේ ලිපි වලට වඩා රසවත් පරිප්පු ලිපියක් තිලකසිතේ කලින්ම පළවී තිබුණේය.


(Image: http://prepareias.in/current_affair/19/12/2015/2016-international-year-of-pulses)

Wednesday, November 16, 2016

පරිප්පු කෑම සමරන ඇමරිකාව

පරිප්පු කියන්නේ ලංකාවේ කෑම වේලක නොවරදින නියතයකි. මෙහි විශේෂත්වය වන්නේ රටේ පහසුවෙන් වැවෙන කෘෂිකාර්මික බෝග ගණනාවක් තිබියදී අපේ මේ ජනප්‍රියම ආහාරය ලංකාවේ නොවැවෙන, සම්පූර්ණ අවශ්‍යතාවයම ආනයනය කරන කෑමක් වීමයි. මෙය රටේ ඕනෑ තරම් සතුන් සිටියදී, රාජ්‍ය ලාංචනයේ රටේ ජීවත් නොවන සතෙකුට තැන දී තිබීම වැනි දෙයකි. මිනිස්සුන්ගේ වැඩි කැමැත්ත හැම විටම ලැබෙන්නේ තමන් ජීවත් වන රටේ වැවෙන බෝග වලට හෝ ජීවත්වන සතුන්ට නොවේ. එහි ඇති වැරැද්දක්ද නැත.

ලෝකයේ වැඩියෙන්ම පරිප්පු නිෂ්පාදනය කරන රට කැනඩාවයි. ලංකාවේ බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් විය හැකි මේ කරුණ ඇතුළු තවත් පරිප්පු විස්තර රැසක් ගැන අද තිලකසිතේ ලියැවී තිබේ. ලෝකයේ පරිප්පු නිපදවන රටවල් අතරින් ඇමරිකාවට ලැබෙන්නේ පස්වන තැනයි.

"ලෝකයෙ රටවල් අතරින්
පරිප්පු සැමරීම පිණිස
ලොකු ජාතික උත්සවයක්
වාර්ෂිකව පවත්වන්නෙ 
මොන රටේද? මොන රටේද?"

"ඇමරිකාවෙ ඇමරිකාවෙ
ඇමරිකාවෙ එහෙම වුනත්
හැමදාමත් පරිප්පු කන
ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ!"

පරිප්පු නැති හෝටලයක් නැති ලංකාවේ පරිප්පු වලට ලැබෙන්නේ තිලකසිතේ ලියැවී ඇති ආකාරයේ අඩු සැලකිල්ලක් වුනත්, ඇමරිකාවේ නම් පරිප්පු සමරන්නට වාර්ෂිකව ජාතික උත්සවයක් පැවැත්වේ. දින දෙකක් පුරා, විශාල ජන සහභාගිත්වයකින් වොෂින්ටන් ප්‍රාන්තයේ පුල්මන් නගරයේ පැවැත්වෙන මේ ජාතික උත්සවය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ තෙවන සති අන්තයේ සිකුරාදා හා සෙනසුරාදා දිනවලය. 



මේ වසරේදී විසි හත් වන වරට පැවැත්වුණු මේ උත්සවයට වෙනදා මෙන්ම පරිප්පු තේමා කරගත් පෙරහැරක් (පැරේඩ් එකක්), සංගීත සංදර්ශයක්, මැරතන් තරඟයක්, ගැලුම් 350කට වඩා වැඩි විශාල පරිප්පු හොද්දක් හැදීම, පරිප්පු වලින් සාදන විවිධ කෑම තරඟයක් ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් විය.

ඇමරිකාවේ නිපදවන පරිප්පු වලින් 18%ක් නිපදවෙන්නේ වොෂින්ටන් ප්‍රාන්තයේ නැගෙනහිර කොටස හා අයිඩාහෝ ප්‍රාන්තයේ බටහිර කොටස ඇතුළත් පැලෝස් නිම්නයේය. මේ උත්සවය මුලින්ම ආරම්භ කළ 1989 වසරේදී ඇමරිකාවේ නිපදවූ පරිප්පු වලින් 98%ක්ම නිපදවා ඇත්තේ මේ ප්‍රදේශයේය.

මේ උත්සවය පිලිබඳ වැඩි විස්තර මෙහි තිබේ.



වෙබ් අඩවිය 

වත්පොත් පිටුව 

(Images: https://www.flickr.com/photos/theslowlane/3960111687/?ytcheck=1, https://www.facebook.com/LentilFest/photos/pb.170900016292854.-2207520000.1444326623./568427673206751/?type=3&theater)

Friday, November 11, 2016

මළවුන්ගේ ආත්ම වලට එය කළ හැකිද? Ghosts can't do it!

තරුණ, රූමත් කේට් විවාහ වී සිටියේ ඇයට වඩා වසර තිහකින් වැඩිමල් ධනවතෙකු වූ ස්කොට් සමඟය. හෘදයාබාධයක් වැළඳීමෙන් පසු තවදුරටත් සිය තරුණ බිරිඳ හා එක්ව සතුටු විය නොහැකි වීම නිසා ජීවිතය එපා වන ස්කොට් සිය දිවි නසා ගනී. කෙසේ වුවද, මියගිය ස්කොට්ගේ ආත්මය දිගටම කේට් සමඟ සම්බන්ධතා පවත්වාගනී. එහෙත්, ස්කොට්ගේ ආත්මය සමඟ කතා කළ හැක්කේත්, එම ආත්මය දැකිය හැක්කේත් කේට්ට පමණි. කේට් සමඟ මෙසේ සම්බන්ධතා පවත්වාගත්තත් මියගිය ස්කොට්ට කේට් සමඟ අවශ්‍ය කටයුත්ත කරගැනීමේ හැකියාවක් නැත. ඔහු ඒ සඳහා උපක්‍රම සොයයි.

කේට් හා ස්කොට් අපට හමුවන්නේ 1989දී තිරගත වූ "ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට්" (Ghosts Can't Do It) හොලිවුඩ් චිත්‍රපටියෙනි. බෝ ඩෙරෙක් හා ඇන්තනි ක්වින් ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටය ජෝන් ඩෙරෙක් විසින් අධ්‍යක්ෂණය කළ අතර ප්‍රවීන ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් සහාය අධ්‍යක්ෂනයෙන් දායක විය. ලංකාවේ බෙන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙන්ම මාල දිවයිනේද දර්ශන රූපගත කර ඇති මේ චිත්‍රපටයේ හෙන්රි ජයසේන, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු තවත් නළු නිලියන් රැසකගේ රඟපෑම් අපට දැකබලා ගන්නට පුළුවන.

"ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට්" චිත්‍රපටය 1990 වසරේ නරකම චිත්‍රපටය සඳහා ලැබෙන රාසීස් සම්මානයෙන් (රන් රාස්බෙරි සම්මානය) පුද ලැබූ අතර එම වසරේ නරකම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානයද ලැබුණේය. මේ චිත්‍රපටයේ කේට්ගේ චරිතය රඟපෑ බෝ ඩෙරෙක් වසරේ නරකම නිළිය ලෙසද, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චරිතය රඟපෑ ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ නරකම සහාය නළුවා ලෙසද සම්මානයට පාත්‍ර විය. තමාගේම චරිතය රඟපා නරකම රඟපෑම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වන්නට හැකි වීම සුවිශේෂී කරුණකි.

දශක දෙකහමාරකට පෙර සහාය නළුවෙකු ලෙස එවැනි නරක රඟපෑමක් කළත්, ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රඟපෑ ප්‍රධාන චරිතයේ භූමිකාවනම් එතරම් නරක නැත. "මේක් ඇමරිකා ග්‍රේට් එගේන්" යන ස්ලෝගනය සාර්ථකව යොදාගනිමින් ඔහු ඇමරිකාව තවදුරටත් ඔවුන්ගේ සීයලා තාත්තලා ජීවත් වූ "ග්‍රේට්" රට නොවන බව ඇමරිකානුවන්ට මතක් කර දෙමින් ඔවුන්ගේ ඇමරිකානු අභිමානයට පොඩ්ඩක් රිදෙන පරිදි කෙනිත්තුවේය. වෙනත් චරිත වෙනුවට තමන්ගේම චරිතය රඟපාන්නට විශේෂ කැමැත්තක් දක්වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ මතක් කිරීම නිසා ඔහුට ලැබුණු ප්‍රතිඵලය නරක නැත.

ඩොනල්ඩ් ට්‍රම්ප් රඟපෑ චිත්‍රපට අතර වඩා ජනප්‍රිය චිත්‍රපටයක් වන්නේ "හෝම් එලෝන් -2" චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ නිවුයෝර්ක්හි ප්ලාසා හෝටලයේ හිමිකරු ලෙස ඔහු රඟපෑවේද ඔහුගේම චරිතයයි. ඩොනල්ඩ් ට්‍රම්ප් චරිතයට ඇමරිකාවෙන් පිටත ඇති අඩු ජනප්‍රියත්වයෙන් පෙනෙන්නේ ඔහුගේ "හෝම් එලෝන්" කමයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්
ඇමරිකානු ජනාධිපති චරිතය රඟපාන්නේ කෙසේදැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු.

(Image: http://okmagazine.ro/people/in-cifre-curiozitati-despre-donald-trump)

Thursday, November 10, 2016

හිලරි ක්ලින්ටන්ට නොලැබී ගිය ඡන්ද


ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. ඒ ඇමරිකානු පුරවැසියන්ගේ ඡන්දයෙනි. ඇමරිකානු ජනාධිපතිවරණයකදී ඡන්දය භාවිතා කළ හැක්කේ ඇමරිකානු පුරවැසියන්ට පමණි.

කෙසේවුවද, ඇමරිකානු ජනාධිපති සටන ගැන උනන්දුවක් දැක්වූයේ ඇමරිකානුවන් පමණක් නොවේ. හිලරි ක්ලින්ටන්ගේ මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේද ජයග්‍රහණය පැතූ ඇමරිකන් පුරවැසියන් නොවූ, බොහෝ විට කිසිදා ඇමරිකාවට පැමිණ හෝ නැති විශාල පිරිසක් ලොව වටා විසිර සිටියහ. මේ අයට ඇමරිකානු ජනාධිපතිවරයා තෝරාගැනීමේදී ඡන්දය දීමට ඉඩ ලැබුනේනම් කුමක් විය හැකිව තිබුණේද?

ජනමත සමීක්ෂණ ආයතනයක් වන  YouGov විසින් රටවල් 19 ක සිදුකළ ජනමත සමීක්ෂණ අනුව පෙනී ගියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩි සහයෝගයක් ඇත්තේ ඇමරිකාවේ පමණක් බවයි. ඇමරිකාවෙන් පිටත සමීක්ෂණය සිදුකළ සෑම රටකම වාගේ අතිමහත් බහුතරයකගේ ජනප්‍රිය අපේක්ෂකයා වූයේ හිලරි ක්ලින්ටන්ය. එම රටවල ජනතාවට ඡන්ද අයිතිය තිබුනේනම් ඩොනල්ඩ් ට්‍රම්ප් පැත්ත පළාතකවත් නැත.

'දී ඉකොනොමිස්ට්' සඟරාවේ පළවූ මේ සමීක්ෂණ ප්‍රතිඵල  අනුව, ඉන්දියානුවන් අතර ට්‍රම්ප්ට තිබුණේ 20%ක සහයෝගයක් පමණි. වියට්නාමයේදී මේ සහයෝගය 12%ක්ද, මැලේසියාවේදී 9%ක්ද වූ අතර ඩෙන්මාර්කයේදී 4%ක් පමණක් විය.



මේ රටවල් 19 අතරට ලංකාව අයත්ව තිබුණේ නැත. ඇතැම් විට ලංකාවේදී ට්‍රම්ප්ට අනෙක් රටවලදීට වඩා කැමැත්තක් ලැබෙන්නට ඉඩ තිබුණි.

(Image: http://abcnews.go.com/US/stories-missed-weekend/story?id=39293473)

Wednesday, November 9, 2016

අනාවැකි බොරු කළ ඇමරිකානු ජනාධිපතිවරණය


ඇමරිකාවේ මීළඟ ජනාධිපති ලෙස රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබේ. ඒ සමඟම, ඇමරිකානු ව්‍යවස්ථාදායකය වන කොංග්‍රසයේ සෙනෙට් සභාවේ මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේද බලය රිපබ්ලිකන් පක්ෂයට හිමි වී තිබේ. මෙය විය හැකිව තිබුණු දෙයක් වුවත් වැඩි දෙනෙකු බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොවේ.

ඇමරිකානු මැතිවරණ ක්‍රමය අනුව රිපබ්ලිකන් පක්ෂයට මෙවැනි විශාල බලයක් ලැබී තිබුණත් පරාජිත ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජයග්‍රාහක ට්‍රම්ප්ට වඩා වැඩි ඡන්ද ගණනක් ලබා ඇති බව ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පෙනෙන්නට තිබේ. මෙය මීට පෙර 2000 ඇමරිකානු
ජනාධිපතිවරණයේදීද ඇති වූ තත්ත්වයකි.

මෙවර මැතිවරණයෙන් හිලරි ක්ලින්ටන්ටත් වඩා විශාල කැපී පෙනෙන පරාජයක් ලබා ඇත්තේ ජනමත සමීක්ෂණකරුවන්ය. ඔවුන් බහුතරයක් පුරෝකථනය කළේ හිලරි ක්ලින්ටන් ජයග්‍රාහිකාව වනු ඇති බවයි. මැතිවරණ ඔට්ටු තබන්නන් වැඩිදෙනෙකු සිටියේද මේ මතයේය. මැතිවරණ දිනය ආසන්නයේ බුකිකරුවන් මැතිවරණ ඔට්ටු භාර ගනිමින් සිටි අනුපාත පහත පරිදිය.

ක්ලින්ටන් 1:5
ට්‍රම්ප් 4:1
අනෙකුත් අපේක්ෂකයින් 500:1

මේ බුකිකරුවන් ඔට්ටු භාරගන්නේ ලාභ ලබන්නට මිස පාඩු ලබන්නට නොවේ. ඒ නිසා, මේ ඔට්ටු මුදල් අනුපාත සකස් වන්නේ  දෙපැත්තට ඔට්ටු තබන්නන් සමතුලිත ක
ලාභයක් ලැබිය හැකි පරිදිය. ඉහත අනුපාත අනුව මුදල් ගෙවා ලාභයක් ලැබිය හැක්කේ ඔට්ටු තබන්නන් එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් තබන ඔට්ටු මුළු ඔට්ටු මුදලින් පහත ප්‍රතිශත නොඉක්මවන්නේනම් පමණි.

ක්ලින්ටන් වෙනුවෙන්: 83.3%ට (5/6) අඩු ඔට්ටු ප්‍රමාණයක්
ට්‍රම්ප් වෙනුවෙන්: 20%ට අඩු (1/5) ඔට්ටු ප්‍රමාණයක්
අනෙකුත් අපේක්ෂකයින් වෙනුවෙන්: 0.2%ට අඩු (1/501) ඔට්ටු ප්‍රමාණයක්

මේ ගණන් වල එකතුව 103.5%ක් වන නිසා මෙසේ ඔට්ටු භාරගන්නා බුකිකරුවෙකුට මුළු ඔට්ටු ප්‍රමාණයෙන් 3.5%ක් පමණ ලාභ ලෙස එකතු වේ.

ඉහත අනුපාත වලින් පෙනෙන්නේ ඔට්ටු තබන්නන් 80-85% අතර ප්‍රමාණයක් හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරනු ඇතැයි සිතා ඇති බවයි. සමස්තයක් ලෙස ජනමත සමීක්ෂණ වලින් පෙන්නුම් කළේද මෙවැනිම තත්ත්වයකි. මේ ජනමත සමීක්ෂණ බොහොමයක්ම තෝරාගත් අහඹු ඡන්දදායක නියැදි මත පදනම් විය. එසේ නොවන විට නියැදිය අහඹු නියැදියක් ලෙස සැලකිය හැකි වන පරිදි බර තැබීම් කරනු ලැබ තිබේ. එසේනම්, මේ ජනමත සමීක්ෂණ ප්‍රතිඵල බොහොමයක් නිවැරදි නොවූයේ ඇයි?

බොහෝවිට මෙයට හේතුවන්නට ඇත්තේ ට්‍රම්ප්ට හා ක්ලින්ටන්ට ඡන්දය දුන් ඡන්දදායකයින් අතර පැවති සමීක්ෂකයෙකුට නිරීක්ෂණය නොවන වෙනස් කමකි. ක්ලින්ටන්ට ඡන්දය දීමට තීරණය කර සිටි අයගෙන් වැඩි ප්‍රතිශතයක් ට්‍රම්ප්ට ඡන්දය දීමට තීරණය කර සිටි අයට සාපේක්ෂව ඒ බව නොපැකිල ප්‍රකාශ කරද්දී ට්‍රම්ප් පාර්ශ්වයේ අය එසේ කර ඇත්තේ අඩුවෙන් බව පෙනේ. මෙයට ඒ දෙදෙනාගේ ප්‍රතිපත්ති වෙනස්කම් හා අනෙකුත් හැසිරීම් වල වෙනස්කම් හේතු වූවා විය හැකිය. එසේ වූ විට, 'තවමත් තීරණය කර නැති' ලෙස ලේබල් වන ගොඩේ වැඩිපුර රැඳෙන්නේ ට්‍රම්ප් පාර්ශ්වයේ අයයි. මෙය ජනමත සමීක්ෂකයින්ට නිරීක්ෂණය නොවන නිසා ඔවුන්ට සලකන්නට වෙන්නේ මේ 'තවමත් තීරණය කර නැති' කණ්ඩායම අපේක්ෂයින් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් වැඩි නැඹුරුවක් නොමැති කණ්ඩායමක් ලෙසයි.

කෙසේවුවද, මා නොදන්නා වෙනත් ක්‍රමවේද උපයෝගී කරගෙන ට්‍රම්ප් ජයගනු ඇති බව ස්ථිරවම පැවසූ අයද සිටිති.


(Image: http://www.businessinsider.com/donald-trump-trademarked-make-america-great-again-2015-5)

Tuesday, November 8, 2016

දිගම දවස

නොවැම්බර් මාසයේ පළමු ඉරිදා දිනය උතුරු ඇමරිකාවේ ජීවත්වන බොහෝ දෙනෙකුට අවුරුද්දේ දිගම දවසයි. දවසකට සාමාන්‍යයෙන් ඇත්තේ පැය 24ක් වුවත් මේ දවසට පැය 25කි. මෙවැනිම, අවුරුද්දේ කෙටිම දවසක්ද තිබේ. ඒ මාර්තු මාසයේ දෙවන ඉරිදාය. එදින, පැය 23කින් දවස අවසන් වේ.

උණුසුම් කාලය ඇරඹෙද්දී මාර්තු මාසයේ දෙවන ඉරිදා අලුයම දෙකට ඔරලෝසු පැයකින් ඉදිරියට කරකවන නිසා උතුරු ඇමරිකානුවන් වැඩි දෙනෙකුට දවසේ පැයක් අහිමි වේ. එසේ අහිමි වන්නේ අලුයම දෙකේ සිට තුන දක්වා වන පැයයි. පසුගිය ඉරිදා නැවත ආපසු ලැබුණේ සති 34කට පෙර ඇමරිකානුවන්ට එසේ නැති වූ පැයයි.

මේ වැඩිපුර පැයත් සමඟ නොවැම්බර් මාසයේ පළමු ඉරිදා අලුයම එකත් දෙකත් අතර කාලය පැය දෙකකි. ඒ නිසා මේ කාලාන්තරය තුළ, අලුයම 2.30 වැනි වෙලාවක් අනන්‍ය වෙලාවක් නොවේ. එවැනි 'එකම වෙලාවක' එකම තැන ඉපදුණු දෙදෙනෙකුගෙන් එක් අයෙක් අනෙකාට වඩා පැයකින් වැඩිමල් විය හැකිය. ඒ නිසා මෙවැනි වෙලාවක් ගැන සඳහන් කරන තැනක එම වෙලාව අනන්‍ය ලෙස හඳුනා ගැනීම සඳහා මේ කියන්නේ සම්මත වෙලාවෙන් අලුයම 2.30 ගැනද නැත්නම් දිවා ආලෝක සුරැකුම් වෙලාවෙන් අලුයම 2.30 ගැනද යන්නද සටහන් කළ යුතුය.

මේ වසරේ උතුරු ඇමරිකාවේ දිවා ආලෝක සුරැකුම් කාලය මාර්තු මස 13 වැනි දින ඇරඹුණු අතර පසුගිය නොවැම්බර් 6 වැනි දින අවසන් විය.

ඔරලෝසු ආපසු කරකවා දින දෙකකට පසු ගෙවෙන අද දිනය ඇමරිකාවේ මැතිවරණ දිනයයි.


ජනාධිපතිවරයා වෙනස් වූ පමණින් ඔරලෝසු ආපසු කරකැවෙනවාක් මෙන් ඇමරිකාවේ බොහෝ දේ ආපසු හැරවෙන්නේ නැතත් රටට හා ලෝකයට සැලකිය යුතු බලපෑමක් එමඟින් සිදුවිය හැකිය.  

අද දිනය පැය විසිහතරේ සාමාන්‍ය දිනයක් වුවත් මීළඟ ඇමරිකානු ජනාධිපති ලෙස ධවල මන්දිරයට යාමට බලා සිටින හිලරි ක්ලින්ටන්ට සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ටනම් අද හා හෙට දින ඔවුන්ගේ ජීවිතයේ දිගම දින සේ දැනෙනවා නොඅනුමානය.

(Image: https://commons.wikimedia.org/wiki/File:Victory-Cigar-Congress-Passes-DST.jpeg)

Monday, November 7, 2016

අලිද බූරුවෝද?


බොහෝ දෙනෙකු අවධානයෙන් බලා සිටින ඇමරිකානු ජනාධිපතිවරණය ඇතුළු ප්‍රධාන මැතිවරණ ගණනාවක් පැවැත්වෙන ඇමරිකාවේ මැතිවරණය දිනය හෙටට (නොවැම්බර් 8) යෙදී ඇත. ඇමරිකානු ජනාධිපතිවරයා තෝරා ගන්නේ සෘජු මහජන ඡන්දයෙන් නොවේ. එක් එක් ප්‍රාන්තයේ ඡන්දදායකයින් විසින් සිය ඡන්දයෙන් තෝරාගන්නා නියෝජිතයින් 538 දෙනෙකුගේ ඡන්දයෙනි. මේ නිසා 2000 ජනාධිපතිවරණයේදී සිදු වූවාක් මෙන් රටේම වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබන අපේක්ෂකයා ජනාධිපති ලෙස තේරී පත් නොවන්නට වුවද පුළුවන.

මැතිවරණ දිනය යෙදී ඇත්තේ හෙටට වුවත් මා වාසය කරන ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත ගණනාවක මැතිවරණ දිනයට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබේ. ඒ අනුව, මා දැනටමත් මගේ ඡන්දය ප්‍රකාශ කර අවසන්ය. මගේ ප්‍රාන්තයේ පසුගිය ඔක්තෝබර් 12 දින සිට අද දක්වාම මෙසේ කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබුණේය.

පෙර ඡන්දය දීම සඳහා ලොකු පෝලිමක් නැති බව මා සිතා සිටියත් මා වැරදි බව මා දැනගත්තේ ඡන්ද පොළට යාමෙන් අනතුරුවය. තාප්ප පුරා පෝස්ටර්, පාර පුරා කොඩි වැල් හෝ හන්දියක් හන්දියක් ගානේ ප්‍රචාරක රැස්වීම් නැතත් මෙවර ඡන්දය දැමීම සඳහා විශාල උනන්දුවක් ඇති බව පෝලිමට එකතු වන විටම පෙනී ගියේය. ඡන්ද විමසීම පස්වරු හත දක්වා පැවැත්වෙන නිසා මා එහි ගියේ පස්වරු හයට ආසන්නවය. අන්තිමේදී මට ඡන්දය ප්‍රකාශ කරන්නට ලැබෙන විට වෙලාව පස්වරු නවයයි තිහද පසු වී තිබුණි. ඒ, පස්වරු හතට පෙර ඡන්ද පොළට පැමිණ සිටි සියල්ලන්ම ඡන්දය ප්‍රකාශ කරන තුරු ඒ කටයුත්තට ඉඩ දුන් බැවිනි.

අපේ ඡන්ද පොලේ ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වුනේ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයක් උපයෝගී කරගනිමිනි. කවුරුත් දන්නා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් ඇතුළු රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් අපේක්ෂකයින්ට මෙන්ම ඇමරිකාවේ නැඟී එන තෙවන පක්ෂය වන ලිබටේරියන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගැරී ජොන්සන් ඇතුළු කණ්ඩායමේ අපේක්ෂකයින්ට ඡන්දය දීමේ අවස්ථාව අපේ ප්‍රාන්තයේ ඡන්දදායකයින්ට තිබුණේය. අවශ්‍යනම් මුලින්ම පක්ෂය තේරූ විට එම පක්ෂයේ අපේක්ෂකයින් සියළු දෙනාටම ඡන්දය සලකුණු වේ. එසේ නැත්නම්, එක් එක් තනතුරු වෙනුවෙන් වෙනස් පක්ෂ වල අප්ක්ෂකයින්ට ඡන්දය දීමේ හැකියාවද තිබේ. හරිත පක්ෂයේ අපේක්ෂිකාව වැනි තවත් අපේක්ෂක අපේක්ෂිකාවන් ගණනාවකගේ නම් අපේ ප්‍රාන්තයේ ඡන්ද පත්‍රිකාවේ නැතත් අවශ්‍ය අයෙකුට එවැන්නෙකුගේ නම ලියා ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

අපේ ඡන්ද පත්‍රිකාවේ තිබුණු පක්ෂ සලකුණු එම පක්ෂ වල වැඩි දෙනෙකු දන්නා සලකුණුම නොවේ. ඔවුන් මැතිවරණ වලදී භාවිතා කරන වෙනත් පක්ෂ සලකුණුය. ඒ අනුව, ඩිමොක්‍රටික් සංකේතය ලෙස බූරුවා වෙනුවට කුකුළාත්, රිපබ්ලිකන් අලියා වෙනුවට රාජාලියත්, ලිබටේරියන් පන්දම වෙනුවට ලිබර්ටි ප්‍රතිමාවත් යොදාගෙන තිබුණේය.

මෙවරද පෙර මෙන්ම මැතිවරණයෙන් ජය ගැනීමට ඉඩ ඇත්තේ ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂයක අයෙකි. ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වන හිලරි ක්ලින්ටන් තරමක් ඉදිරියෙන් සිටින බව පෙනුනත් ඇය හා රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පරතරය අවසන් දින කිහිපය තුල පටුවෙමින් පැවතුණේය. ගැරී ජොන්සන් ජයගන්නට ඉඩක් නැතත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය පෙරට වඩා වැඩි වන්නට ඉඩ තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරණ සටන තවමත් විවෘත තරඟයකි.

Sunday, November 6, 2016

තරුණ විරැකියාව


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණය අනුව පසුගිය වසර අවසන් වන විට ලංකාවේ විරැකියා අනුපාතිකය 4.3% ක් විය. පිරිමින් අතර මේ අනුපාතිකය 2.6% ක් පමණි.

කෙසේ වුවද, වයස් කාණ්ඩ අනුව විරැකියා අනුපාතිකයේ විශාල වෙනස්කම් පවතී.

අවුරුදු 15-24 වයස් කාණ්ඩයේ විරැකියා අනුපාතිකය 16.7% ක්ද, අවුරුදු 25-29 වයස් කාණ්ඩයේ එම අනුපාතිකය 10.9% ක්ද වෙද්දී අවුරුදු 30ට වැඩි අය අතර මේ විරැකියා අනුපාතිකය 1.7% පමණි.

පිරිමින් පමණක් සැලකුවහොත්, අවුරුදු 15-24 වයස් කාණ්ඩයේ විරැකියා අනුපාතිකය 13.4% ක්ද, අවුරුදු 25-29 වයස් කාණ්ඩයේ එම අනුපාතිකය 4.8% ක්ද වෙද්දී අවුරුදු 30ට වැඩි අය අතර මේ විරැකියා අනුපාතිකය 0.8% පමණි.

ගැහැණු පිරිමි කාණ්ඩ දෙකේම විරහිත භාවයෙන් පෙළෙන්නන් අතරින් 80-85% අතර ප්‍රතිශතයක් වයස අවුරුදු 35ට අඩු අයයි. ලංකාවේ ශ්‍රම බලකායට අළුතින් එකතු වන, රැකියා පළපුරුද්දක් නැති, තරුණයෙකුට හෝ තරුණියකට ගැලපෙන කෙසේ වෙතත් කවර හෝ රැකියාවක් සොයා ගැනීම විශාල අභියෝගයකි. මේ හේතුවෙන් ඔවුන්ට 'ජීවිතය ආරම්භ කරන්නට වෙන්නේත්', විවාහ වී දරුවන් ලැබීම හා තමන්ගේම නිවසක් ගැන සිතන්නට වෙන්නේත්, සියල්ලටම වඩා රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්නට වෙන්නේත් බොහෝ කලක් බලා සිටීමෙන් පසුවය.

යුද්ධය පැවති කාලයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවක සෙබලෙකු වීම රැකියා විරහිත තරුණයෙකුට තිබුණු එක් විකල්පයකි. උතුරේ තරුණයෝ මේ අයුරින්ම එල්ටීටීඊ සංවිධානයේ සෙබළුන් වන්නට ඇත. රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් සොයා ගැනීම අභියෝගයක් වන, සමාජ විරෝධී කටයුතු වල නිරතවී ආදායම් උපයන්නට අකැමැති තරුණයෙකුට (හෝ තරුණියකට වුවත්) ශ්‍රම බලකායට එක්වීමට ඇති එක් මාර්ගයක් වන්නේ තෙසක්රිය සේවා සපයන්නෙකු වීමයි.

අද පළවී ඇති පුවතකට අනුව, "අවුරුදු 35 ට අඩු තරුණයන් එම රැකියාවේ නිරත වීම තහනම් කිරීම ඉදිරි අයවැය යෝජනාවලියෙන් යෝජනා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී".

Friday, November 4, 2016

ඉදිරි සතියේ ඇමරිකාවේ පෙරළි රැසක්!

පසුගිය ඔක්තෝබර් මස 16 වන දින සිකුරුට අයිති තුලා රාශියට පැමිණි රවි නීච විය. මෙසේ තුලා රාශියේ රවි නීච වීමෙන් පසු එළඹෙන තෙවන හෝ සිවුවන කුජවාරය සාමාන්‍යයෙන් ඇමරිකාවේ ලොකු පෙරළි සිදුවන දවසකි. යුද්ධයට අධිපති කුජ කොහොමටත් පෙරළිකාරයෙකි. විශේෂයෙන්ම මේ වසර වැනි අධික අවුරුදු වල මේ බලපෑම ඉතාම වැඩිය. මේ අනුව, ලබන සතියේ ඇමරිකාවේ රාජ්‍ය නායකයන් ඇතුළු විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ ක්ෂේත්‍ර වල ඉහළ තනතුරු රැසක් මෙන්ම තවත් සිවිල් තනතුරු ගණනාවක්ම වෙනස් වීමට නියමිත බව ස්ථිරවම පැවසිය හැකිය.

නොවැම්බර් 8 මේ වසරේ ඇමරිකාවේ මැතිවරණ දිනයයි. ඇමරිකාවේ ප්‍රධාන මැතිවරණ ගණනාවක් එකවර පැවැත්වෙන එම දිනය ඇමරිකාවේ නීතියෙන්ම තීරණය වී ඇති දිනයකි. ඒ නිසා, රටේ දැනට සිටින පාලකයින්ගේ අභිමතය පරිදි, ඔවුන්ට දේශපාලන වාසි ලැබෙන පරිදි හෝ ඔවුන්ගේ කේන්ද්‍ර වලට ගැලපෙන පරිදි ඇමරිකාවේ මැතිවරණ පවත්වන දින වෙනස් කළ නොහැකිය. මේ ප්‍රධාන මැතිවරණ සියල්ල පැවැත්විය යුත්තේ නොවැම්බර් මස පළමු සඳුදායින් අනතුරුව එළඹෙන අඟහරුවාදා දිනයි. එනම් නොවැම්බර් මස 2-8 අතර එළැඹෙන අඟහරුවාදා දිනයි. මේ වසරේ එම දිනය වන්නේ නොවැම්බර් 8 වෙනිදාය.

ලබන නොවැම්බර් 8 දින ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඇමරිකාවේ ජනාධිපතිවරණය සෑම වසර 4 කටම වරක් එළැඹෙන මැතිවරණ දිනයේදී පැවැත්වේ. එහෙත්, ඇමරිකාවේ ජනාධිපතිවරණය මෙදින පැවැත්වෙන එකම මැතිවරණය නොවේ.

ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය වන කොන්ග්‍රසයේ ප්‍රධාන කොටස් දෙකකි. ඒ සෙනෙට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි. සෙනෙට් සභාවේ සාමාජිකයින් 100කි. ඒ, එක් ප්‍රාන්තයක් නියෝජනය කිරීම සඳහා නියෝජිතයින් දෙදෙනෙකු බැගිනි. මේ නියෝජිතයින්ගේ ධුර කාලය වසර 6කි. ඔවුන්ගේ ධුර කාලය එවැනි දීර්ඝ කාලයක් වන්නේ නිතර වෙනස්වන මහජන කැමැත්තට ඕනෑවට වඩා යට නොවී රටට දිගුකාලීනව හොඳ තීරණ ගැනීමට ඉඩහැරීම සඳහාය. කෙසේ වුවද, සෙනෙට් සභිකයන් සියළු දෙනාම එක් වර තෝරා ගැනෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ, සෙනෙට් සභිකයින් මුළු ගණනින් තුනෙන් එකක් දෙවසරකට සැරයක් අළුතින් තෝරා පත්කර ගැනීමයි. ඒ අනුව, ලබන සතියේ සෙනෙට් සභිකයෝ 34 දෙනෙකු අළුතින් තෝරා පත් කර ගැනෙනු ලැබෙති. මේ අතරට මා සිටින ප්‍රාන්තයේ එක් සභික ධුරයක්ද ඇතුළත්ය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 435කි. මේ ගණන ජනගහනයට සමානුපාතිකව ප්‍රාන්ත අතර බෙදීයයි. මෙහි නියෝජිතයෙකුගේ ධුර කාලය වසර 2ක් පමණි. මේ කෙටි ධුර කාලයේ අරමුණ රටේ මහජනතාවගේ අදහස් වෙනස් වන විට එම අදහස් ව්‍යවස්ථාදායකය තුළ නිවැරදිව නියෝජනය වන බව තහවුරු කිරීමයි. සෑම ඉරට්ටේ වසරකම යෙදෙන මැතිවරණ දිනයේ මුළු ඇමරිකාව පුරාම මේ නියෝජිතයින් අළුතින් තෝරා ගැනේ.

ජනාධිපති හා උප
ජනාධිපති ධුර වැනි විධායකයේම කොටසක් ලෙස සැලකෙන ප්‍රාන්ත මහ ඇමති වරුන් ඇතුළු නියෝජිතයින්ගේ ධුර කාලයද (ප්‍රාන්ත දෙකක හැර) වසර හතරකි. මෙවර මැතිවරණ දින ප්‍රාන්ත මහ ඇමතිවරුන්ද ගණනාවක් අලුතෙන් තෝරා පත්කර ගැනෙති. මේ අතරට මා වාසය කරන ප්‍රාන්තයද ඇතුළත්ය. එමෙන්ම, ප්‍රාන්තයේ ප්‍රධාන තනතුරු වන නීතිපති, විගණකාධිපති වැනි තනතුරු සඳහාද, වඩාත් ප්‍රාදේශීය තනතුරු වන පාසැල් පාලක මණ්ඩල සඳහා නියෝජිතයින් පත් කර ගැනීම සඳහාද ඡන්ද විමසීම් මෙදිනම පැවැත්වේ. ඇමරිකාවේ විධායක හා ව්‍යවස්ථාදායක ශාඛා වල ප්‍රධාන තනතුරු මෙන් අධිකරණ ශාඛාවේ තනතුරු මහජන ඡන්දයෙන් නොපිරවුණත්, දැනට ධුරය දරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා එම ධුරයේ දිගටම සිටිය යුතුද නැත්නම් වෙනත් අයෙකු පත් කළ යුතුද යන්න තීරණය කිරීමේ අවස්ථාවද මා වසන ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත රැසක ඡන්දදායකයින් සතු අයිතියකි.

මෙයට අමතරව, මා පෙර ලිපියක විස්තර කළ පරිදි, සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුව මහජන තීන්දුවට යටත් කෙරෙන නීති කෙටුම්පත් හා යෝජනා ජනමතවිචාරණයන්ට ලක්වීමද මෙදිනම සිදුවේ. මේ සියල්ල එක්ව ගත් කළ මගේ ඡන්ද පත්‍රිකාව පිටු හයකි.

මැතිවරණ දිනය තවමත් එළැඹුණේ නැතත් මානම් දැනටත් මගේ ඡන්ද භාවිතා කර අවසන්ය. ඒ ගැන පසුව ලියමි.


(Image: Dhevee.org)

Thursday, November 3, 2016

අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම්...

සංගීතය ගැන දන්නා කිසිම කෙහෙම්මලක් නැතත්, අමරදේවයන් නික්ම ගොස් ඇති මේ මොහොතේ කෙටියෙන් හෝ සටහනක් නොතබාම නොහැකිය.

ටික කලකට පෙර බ්ලොග් ලොව හමා ගිය ගීත රැල්ලට හසුවුණු ඉකොනොමැට්ටා විසින් පලකළ ගීත දහසයක ලැයිස්තුවෙන් තුනක්ම ගයන්නේ අමරදේවයන් විසිනි. මේ ගීත ගණන තුනක් වූයේ ඉකොනොමැට්ටා තේරුවේ අනුපිළිවෙලින් ප්‍රියතම ගීත සොළොසක ලැයිස්තුවක් නොව ගීත සොළොසක ප්‍රියතම පැකේජයක් වීම නිසාය. මේ දෙකේ වෙනස ගැන ඉකොනොමැට්ටා කලින්ම ලිවුවේය. එසේ නොකර තනි තනිව ගීත ගෙන ශ්‍රේණිගත කළේනම් අමරදේවට මීට වඩා වැඩි ඉඩක් වෙන්වනු ඇත.

අමරදේවගේ ගීත වලට ඉකොනොමැට්ටාගේ ඇති කැමැත්ත ගැටවර වියේ සිටම එන්නකි. ඒ කාලය පීචං ප්‍රබුද්ධ භේදය ලොකුවටම තිබුණු කාලයකි. අමරදේව හා නන්දා මාලිනිය වැනි අය ප්‍රබුද්ධ ගොඩේ උඩින්ම සිටිද්දී, ජෝතිපාල හා නිහාල් නෙල්සන් වැනි අය හිටියේ පීචං ගොඩේය. මේ පීචං ගායකයින්ට ගැලරියේ සිට විසිල් ගහන රසිකයෝද නොඅඩුව සිටියහ. (විසිල් නොගැහුවත්, එවැනි ගායකයින්ගේත් ඉකොනොමැට්ටා කැමති ගීත රැසක් තිබේ.)


ඉකොනොමැට්ටා අමරදේවගේ ගීත ප්‍රිය කළේ ප්‍රබුද්ධ වෙන්නට අවශ්‍ය වූ නිසා නොවේ. අමරදේව රිද්මයට හදවතින්ම බැඳුණු නිසාය. ඒ බැඳීම එදාමෙදාතුර වෙනස් වුණේ නැත. කෙසේවුවද, අනුන්ට පෙනෙන්නට රාක්ක ගණන් පොත් ගොඩගසන්නන් මෙන්ම ප්‍රබුද්ධ බව පෙන්වන්නට අමරදේව අහන අය ඒ කාලයේද සිටියහ.

මා හිතන ලෙස මේ ප්‍රබුද්ධ පීචං භේදය පැමිණියේ ඉන්දියාවෙනි. උත්තර භාරතීය රාගධාරී සංගීත ශීල්පීහු බොහෝ විට අනෙකුත් සංගීත සම්ප්‍රදායයන් පහත් කොට සලකති. මගේ අදහස පරිදි අනන්‍ය හා පුළුල් සංගීත සම්ප්‍රදායක් නොතිබුණු ලංකාවට ගැලපෙන සංගීත සම්ප්‍රදායක් සකස් කිරීම සඳහා අමරදේවයන් විසින් ලබාදුන් දායකත්වයට වැඩිම ආභාෂයක් ලැබුණේ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙනි. ඒ ඔහු සංගීතය හැදෑරුවේ ලක්නව්හි භාත්ඛන්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් බැවිනි. කෙසේවුවද, අමරදේව සංගීතයේ දකුණු ඉන්දීය, බටහිර හා බයිලා සංගීත ආභාෂය මෙන්ම දේශීය ජනගී ආභාෂයද තිබුණේය. ඔහුට පෙර සිංහල සංගීතය පෝෂණය කළ, ශාන්ති නිකේතනයේ උගත් ඇතැමුන් තුළ වඩා ඉස්මතු වූයේ රාබීන්ද්‍ර ශාන්ගීත් ආභාෂයයි.

මේ රාබීන්ද්‍ර ශාන්ගීත් සම්ප්‍රදායද මා ඉතා කැමති සංගීත සම්ප්‍රදායකි. එම සම්ප්‍රදායේ ගී වැඩිපුර රස විඳින්නට ලැබුණේ මා බංග්ලා දේශයේ ගතකල ටික කාලයේදීය. මේ ගී වලට පෙම් බැඳ සිටි මා දිනක් ධාකාහි ප්‍රධාන පෙලේ හෝටලයක අවන්හලක සජීවී සංගීතයට සවන් දෙමින් සිටියෙමි. මා සමඟ සිටි අපේ ආයතනය හා අනුබද්ධ බංග්ලාදේශ සමාගමේ ප්‍රධානියා එහි සංගීතය සැපයූ ගායකයා වෙත කිසියම් මුදලක් විසි කර කැමති ගීතයක් ඉල්ලීමේ අවස්ථාව මට ලබා දුන්නේය. මට එක් වරම සිහියට ආවේ මා කැමතිම රාබීන්ද්‍ර ශාන්ගීත් ගීයකි. මගේ මුවින් වචනය ගිලිහෙන පමාවටම ලොකු වරදක් වූ බව මට තේරුණේය. එක් වරම ගල් වූ ගායකයා සිය කටහඬ අවදි නොකරම මා දෙස බලා සිටී.

"සමාවෙන්න! ඔහු විදේශිකයෙක්!"

මගේ සගයා වහාම ගායකයාගෙන් සමාව ඉල්ලුවේය. එසේ නොකීවානම් ඔහු සිය සර්පිනාවද අකුලාගෙන පිටවනු නොඅනුමානය. උත්තර භාරතීය රාගධාරී සංගීත ශිල්පියෙකුගෙන් රාබීන්ද්‍ර ශාන්ගීත් ගීයක් ඉල්ලීම එතරම්ම ලොකු අපහාසයක් බව මම එතෙක් දැන නොසිටියෙමි. සිය සංගීත සම්ප්‍රදාය වෙනුවෙන් බත්පත අතහරින ගායකයන් ඉන්නේ ඉන්දියානු චිත්‍රපට වල පමණක් නොවේ. ඉන්දියාවේදී රාබීන්ද්‍ර ශාන්ගීත් සම්ප්‍රදාය සාමාන්‍යයෙන් වැටෙන්නේ පීචං ගොඩටය.



ඉහත සිදුවීමේදී හමුවූ 'ප්‍රබුද්ධ' ගායකයාගෙන් වෙනස්වූ අමරදේවටනම් සිය රසිකයෙකුගේ සම්මත 'පීචං' හැසිරීමක් හමුවේ වුවත් කෝප නොවී ඉවසිල්ලෙන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තිබී ඇති බව පෙනේ.

අමරදේවනම් ගායකයා බිහිවීමේ කතාවම ඉල්ලුම හා සැපයුම පිළිබඳ කතාවකි. ඇල්බට් පෙරේරා අමරදේව වන්නේත්, මුදල් සම්මාදම් කර භාත්ඛන්ඩේ යවා මේ ගායකයාව බිහිකරගන්නට ජනතාව යොමුවන්නේත් රටේ අමරදේව වැනි ගායකයෙකුට ලොකු ඉල්ලුමක් පැවති නිසාය. අමරදේව මේ බරපැන සැපයූ මිනිස්සුන්ගේ බලාපොරොත්තු කඩකළේ නැත. 

මගේ කියවීම අනුව, අමරදේව කිසියම් ස්ථායී සමතුලිතතාවයක සිටි ගායකයෙකි. ඔහු උපන් වසරේ ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයුකාලය සැලකූ විට අමරදේව දිගු කලක් ජීවත් වූ අයෙකි. හෘදයාබාධයකින් මියගොස් ඇතැයි සඳහන්වන ඔහු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම ගැන පරමාදර්ශයක් නොවෙතත්, ජීවිතය විඳීම නිසි ලෙස කළමනාකරණය කරගත් ගායකයෙකි. එමෙන්ම, මා දන්නා තරමින් අමරදේව ජීවිතයේ අවසන් කාලයේ අනුන්ට දෙස් දෙවොල් තබමින් රජයෙන් හෝ මහජනතාවගෙන් ආධාර ඉල්ලූ කලාකරුවෙක්ද නොවේ. මා මේ කරුණු ලියන්නේ ලංකාවේ බොහෝ කලාකරුවන් එවැනි තැනකට වැටෙන නිසාය. වඩාත්ම වැදගත් කරුණනම් ගායකයෙකු ලෙස අමරදේවයන් එක දිගට දශක ගනනක් ස්ථායීව සිටීමයි.

බොහෝ කලාකරුවන්ට මරණයෙන් පසු පමණක් ලැබෙන ගරු සම්මාන හා උපහාර සිය ජීවිත කාලය තුලදීම ලබා ගන්නට තරම් අමරදේව වාසනාවන්ත විය. එහෙත් අමරදේව කිසිසේත්ම අධිතක්සේරුවකට ලක්වූ කලාකරුවෙකු නොවේ. ඔහු සිටියේ ඔහු සිටිය යුතු නියම තැනයි. සමාජය හෝ කිසියම් පිරිසක් විසින් ඕනෑවට වඩා පුම්බනු ලබන කලාකරුවන්ට වැඩිකලක් එක දිගට ජනප්‍රියව සිටිය නොහැකිය.

අමරදේවගේ ගීත වලට කැමති රසිකයින්ට පහත සබැඳිය වෙත ගොස් අද දවස පුරාම අමරදේවගේ ගීත රස විඳිය හැකිය.

http://sinhalasongs.org/WebRadio/


(Image: http://archives.dailynews.lk/2009/12/09/art01.asp)

Wednesday, November 2, 2016

රාජ්‍ය පාලනයේ අලි ලකුණ


ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබූ කාලයේ සිට අඛණ්ඩව ලංකාවේ ජාතික කොඩියේ මෙන්ම රාජ්‍ය ලාංචනයේද සිංහයෙකු සිටී. එහෙත්, සත්ත්වෝද්‍යාන වල හැර ලංකාවේ වෙනත් තැන්වල නිදහසේ ජීවත්වන සිංහයින් නැත. ලංකාවේ සිංහයින් ජීවත්ව සිට ඇති බවට පුරා විද්‍යාත්මක සාධක ඇතත් ඒ රටේ ලිඛිත ඉතිහාසය ඇරඹුණු කාලයට බොහෝ කලිනි.

රටේ ලිඛිත ඉතිහාසය ඇරඹුණු කාලයේ ලංකාවේ සිංහයින් නොසිටියත් අලියෝ සිටියහ. සිංහයෙකුගෙන් ඇරඹුණු සිංහල ජාතියේ ඉතිහාසය ගැන කියන මහා වංශයේද සිංහයා ගැන මුලින්ම කියවෙන තැනට පෙර අලියෙක් ගැන සඳහනක් තිබේ. කෙසේ වුවද, ඒ මහා වංශ ඉතිහාස කතාවට කෙළින්ම අදාළ නොවන තැනකය.

මහා වංශය අනුව ඉතිහාසය ඇරඹුණු අළුත, විජය ඇතුළු පිරිසට පාදපරිචාරිකාවන් ආනයනය කෙරෙද්දී ලැබුණු තුටු පඳුරු අතර අලි ඇත්තුද සිටිති. ලංකාවෙන් අලි ඇතුන් ඇල්ලීම, අපනයනය කිරීම මෙන්ම ආනයනය කිරීමද විජය යුගයටත් පෙර සිටම සිදු වූවා විය හැකිය. මහ පැරකුම්බා සමයේ ලංකාව අරමණ දේශය ආක්‍රමණය කරන්නේද අලි ප්‍රශ්නයක් මුල් කර ගෙනය. ලංකාව ගැන ලියැවී ඇති ඓතිහාසික වාර්තා අතර අලි ගැන ලියැවී නැති වාර්තා නැති තරම්ය.

කෙසේවුවද, පෘතුගීසීන් ලංකාවට එන කාලය වන විට ලංකාව පාලනය කළ රජවරුන්ගේ කොඩි වල වැජඹුණේ සහශ්‍ර ගණනක සිට ලංකාවේ සුලභව සිටි අලි නොව ලංකාවේ එවකට නොසිටි සිංහයින්ය. ඒ වන විට මහාවංශ ප්‍රවාදය විශ්වාස කළ රටවැසියන් ඔවුන්ගේ මනසේ ජීවත් වූ සිංහයාට දුන් ආර්ථික වටිනාකම මහ පොළොවේ ජීවත් වූ අලියාට දුන් ආර්ථික වටිනාකමට වඩා වැඩි වීම මෙයට හේතු වන්නට ඇත.

ලංකාව ආක්‍රමණය කළ යුරෝපීයයන්ට රටවැසියන්ගේ ඔළුගෙඩි තුළ ජීවත් වූ සිංහයින්ට වඩා, රටින් පිටත බාහිර ලෝකය ආර්ථික වටිනාකමක් දකින අලියා වැදගත් වීම හෝ වෙනත් හේතුවක් නිසා ලංකාවේ පෘතුගීසි, ලන්දේසි මෙන්ම ඉංග්‍රීසි පාලකයින්ගේ රාජ්‍ය ලාංචන වල ඉඩ ලැබුනේ සිංහයාට නොව අලියාටය. ඒ අනුව, ලංකාවේදී සියවස් ගණනක් නැති සිංහයෙක්ට ලබාදුන් තැන යුරෝපීයයන් විසින් අලියාට ලබා දුන්නේය. 





(පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලනයන් යටතේ ලංකාවේ රාජ්‍ය මුද්‍රා වල සිටි අලි සහ බ්‍රිතාන්‍ය ලංකාවේ කොඩියේ අලියා. රූප සියල්ල විකිපීඩියාවෙනි.)


නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය ලාංචනයේ සිටි අලියා වෙනුවට නැවතත් සිංහයා ආදේශ විය. ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංචනයේ මෙන්ම ජාතික කොඩියේද, පළාත් කොඩි නවයෙන් හතරකද සිංහයින් සිටියත් ඒ එකකවත් අලි නැත.

කෙසේ වුවද නිදහසින් පසු ගත වූ කාලයෙන් අඩක් පමණ ලංකාව පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ සංකේතය අලියාය.

සහශ්‍ර ගණනක සිට අලින්ගේ නිජබිමක් වන ලංකාවේ මෙන්ම, සහශ්‍ර ගණනකට පෙර වඳ වී යාම නිසා දැන් නිදහස් අලි ජීවත් නොවන ඇමරිකාවේ දේශපාලනයේද අලියාට ලොකු තැනක් තිබේ. ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන රිපබ්ලිකන් පක්ෂයේ සංකේතය අලියාය.

ලෝකයම බලා සිටින, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් අතර මීළඟ ඇමරිකන් ජනාධිපති ධුරය සඳහා වන සටන අවසන් වන්නට තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයකි. මේ අතර බැඳුම්කර සිදුවීම කෝප් වාර්තාව සමඟ නැවතත් කරලියට පැමිණීමත් සමඟ ලංකාවේ රාජ්‍ය පාලනය තුළ එක්සත් ජාතික පක්ෂයේ භූමිකාවද නැවතත් ප්‍රශ්නකාරී වී තිබේ.

ලංකාවේ මෙන්ම ඇමරිකාවේ දේශපාලනයේද අලින්ගේ භූමිකා දෙස අපි දෑස් දල්වා බලා සිටිමු.


(ඇතැම් සිංහල බ්ලොග් ලියන්නන් හා කමෙන්ට්කරුවන් පසුගිය කාලයේ ක්‍රියා කළ ආකාරය සැලකිල්ලට ගනිමින් ඉකොනොමැට්ටා මෙතෙක් අනුගමනය කළ කමෙන්ට් ප්‍රතිපත්තිය වෙනස් කළ බව කණගාටුවෙන් දැනුම් දෙන්නට සිදු වී තිබේ. ඒ අනුව, ඔබේ කමෙන්ට්ස් ඉකොනොමැට්ටාගේ අනුමැතියට යටත් කරනු ලැබ ඇති අතර මෙහි පළ කරන්නේ ඒවා අතරින් ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි තෝරා ගන්නා කමෙන්ට්ස් පමණි. ඒ අනුව, ඉකොනොමැට්ටාගේ අදහස් සමඟ ගැටෙන, ඉකොනොමැට්ටාව විවේචනය කරන හා ඉකොනොමැට්ටා ඔහේ ලියන තර්කානුකූල නොවන හා පදනමක් නැති කරුණු පෙන්වා දී ඉකොනොමැට්ටාව හිර කරන කමෙන්ට් පළ නොවන්නටත්, ඉකොනොමැට්ටා ලියන ඕනෑම කෙහෙම්මලක් අගය කරන, ඉකොනොමැට්ටාගේ පිට කසන කමෙන්ට් පළ වන්නටත් වැඩි ඉඩකඩක් තිබේ. කමෙන්ට් කියවා අනුමත කිරීම හෝ නොකිරීම කරන්නට වෙන්නේද ඉකොනොමැට්ටාට ඒ සඳහා වෙලාවක් ලැබුණු විටකය.)

Image: 123RF.com

වෙබ් ලිපිනය: