වෙබ් ලිපිනය:

Sunday, September 17, 2023

බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද?


මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා. 

බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

බැඳුම්කරයක් කියන්නේ කිසියම් රජයක් හෝ සමාගමක් විසින් නිකුත් කරන ණය උපකරණයක්. මෙවැන්නක් වෙළඳපොළේ විකිණීම මගින් රජයක් හෝ සමාගමක් විසින් තමන්ගේ අරමුදල් හිඟ පියවා ගන්නවා. ඕනෑම බැඳුම්කරයක "මුහුණත අගයක්" සහ "කල් පිරෙන දිනයක් තිබෙනවා".

මුහුණත අගය - කල් පිරෙන දිනයේදී බැඳුම්කරයේ අයිතිකරුට ලැබෙන මුදලක් 

කල් පිරෙන දිනය - බැඳුම්කරකරයේ අයිතිකරුට එහි මුහුණත අගයට සමාන මුදලක් ආපසු ලැබෙන අනාගත දිනයක්.

කූපන් බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

කූපන් රහිත බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට අනාගතයේදී ලැබෙන්නේ එහි මුහුණත වටිනාකම පමණයි. එහෙත්, කූපන් බැඳුම්කර සඳහා කල් පිරෙන දිනය දක්වා කිසියම් "කූපන් පොලියක්" ලැබෙනවා. මෙම කූපන් පොලිය බැඳුම්කරයක මුහුණත වටිනාකමේ ප්‍රතිශතයක්. සාමාන්‍යයෙන් වසරකට දෙවරක් කූපන් පොලී ගෙවනවා. මෑතකදී සිදු වූ බැඳුම්කර හුවමාරුවට පෙර ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබුණු ස්වෛරිත්ව බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර සියල්ලද, සංවර්ධන බැඳුම්කර වලින් වැඩි ප්‍රමාණයක්ද නිකුත් කර තිබුණේ ස්ථාවර හා කාලයත් සමඟ වෙනස් නොවන කූපන් පොලියක් යටතේයි. 

උදාහරණයක් ලෙස, 2015 මාර්තු 1 දින රුපියල් මිලියන 10,058ක මුහුණත වටිනාකමැති භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලැබුවා. මෙම බැඳුම්කර කල් පිරෙන්නේ වසර 30කට පසුව 2045 මාර්තු 1 දිනයි. එම කාලය අතරතුර බැඳුම්කරහිමියන්ට 12.5%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙනවා. රුපියල් සියයක මුහුණත් අගයක් සඳහා වරකට රුපියල් 6.25 බැගින් වසරකට දෙවරක් මෙම කූපන් පොලී ආදායම ඔවුන්ට ලැබෙනවා. බැඳුම්කරයක් නිකුත් කිරීමෙන් පසුව එහි මුහුණත අගය, කල් පිරෙන දිනය හෝ කූපන් පොලිය ගෙවන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. 

ඇතැම් බැඳුම්කර සඳහා ලබා දෙන කූපන් පොලිය කල් පිරෙන කාලය තුළ වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස හුවමාරු පදනම මත පසුගිය සතියේදී නිකුත් කළ 2027 මාර්තු 15 දින කල් පිරෙන බැඳුම්කර සඳහා වසර තුනක් යන තුරු 12%ක කූපන් පොලියක්ද අවසන් වසරේදී 9%ක කූපන් පොලියක්ද හිමිවෙනවා. මෙය ස්ථාවර, එහෙත් කාලයත් සමඟ වෙනස් (අඩු) වන කූපන් පොලී ක්‍රමයක්. 

ඇතැම් විට විචල්‍ය කූපන් පොලී යටතේද බැඳුම්කර නිකුත් කරනවා. ඇතැම් සංවර්ධන බැඳුම්කර නිකුත් කර තිබුණේ මෙම ක්‍රමයටයි. සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරුවට මෑතකදී නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළේද විචල්‍ය කූපන් පොලියක් යටතේයි. එම බැඳුම්කර වෙනුවෙන් ලැබෙන කූපන් පොලිය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව වෙනස් වෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත හැක්කේ කෙසේද?

වාණිජ බැංකු වලට, ප්‍රාථමික අලෙවිකරුවන්ට හා සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන වලට භාණ්ඩාගාර බැඳුම්කර මුලින්ම වෙළඳපොළට නිකුත් කරන විට තරඟකාරී මිලකට වෙන්දේසියෙන් ඒවා මිල දී ගත හැකියි. මෙය භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවශ්‍යනම් බැංකුවක් හෝ ප්‍රාථමික අලෙවිකරුවෙකු හරහා ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත හැකියි. ඉදිරියේදී වෙනස් වීමට නියමිතව ඇතත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ අයුරින් භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොළට නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.

අයුරින් කවුරු හෝ විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බැඳුම්කරයක් අවශ්‍යනම් කල් පිරෙන තුරු තියා ගන්න පුළුවන්. එසේ නැත්නම්, කල් පිරෙන්නට පෙර වෙනත් අයෙකුට විකුණන්න පුළුවන්. බැඳුම්කරයක් කල් පිරෙද්දී එහි මුහුණත අගය ලැබෙන්නේ අවසන් අයිතිකරුටයි. මෙසේ කලින් මිල දී ගත් බැඳුම්කර ගනුදෙනු වන වෙළඳපොළ භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. මෙය වාහන වල "සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක" වැනි ඉතා සක්‍රිය වෙළඳපොළක්. කෙසේ වුවද, මෙවැනි ද්වීතියික වෙළඳපොළ ගනුදෙනු සිදුවන්නේද බැංකු හෝ ප්‍රාථමික අලෙවිකරුවන් හරහායි. එම ගනුදෙනු සියල්ල එසැණින් මහ බැංකුවේ සටහන් වන නිසා අයිතිය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයන් ඇති වන්නේ නැහැ. කූපන් පොලී ගෙවන කිසියම් දිනයක බැඳුම්කරයක නීත්‍යනුකූල අයිතිකරුට එහි කූපන් පොලී ආදායම ලැබෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභය එහි කූපන් පොලියද?

ස්ථිර තැන්පතු ගිණුමක ප්‍රතිලාභය එහි පොලී අනුපාතයට සමානයි. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කරයක අයිතිකරුට ලැබෙන ප්‍රතිලාභය එහි කූපන් පොලියට සමාන නැහැ. ප්‍රතිලාභය තීරණය වන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල මතයි. 12%ක වාර්ෂික කූපන් පොලියක් ගෙවන බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් රුපියල් 100 බැගින්ම මිල දී ගත් අයෙකුට හරියටම 12%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙත්, බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක වෙළඳපොළ මිල හරියටම රුපියල් 100ක් වීම ඉතා කලාතුරකින් පමණක් සිදු වන දෙයක්.

බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක් රුපියල් 80කට (අවමිලට) මිල දී ගත් අයෙකුට මෙන්ම එයම රුපියල් 120කට (අධිමිලට) මිල දී ගත් අයෙකුටද කූපන් පොලී ලෙස වසරකට ලැබෙන්නේ රුපියල් 12ක එක සමාන මුදලක්. පළමුවැන්නාට මෙහි 15%ක ප්‍රතිලාභයක් ඇති නමුත් දෙවැන්නාගේ ප්‍රතිලාභය 10%ක් පමණයි. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභ ලබා ගැනීමට එය කල් පිරෙන තුරු සිටිය යුතුද?

ඉහත පැහැදිලි කළ පරිදි කූපන් සහිත භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත් දින සිටම මාස හයකට වරක් කූපන් පොලී ආදායම් ලැබෙනවා. එහෙත්, එහි මුහුණත අගය ලැබෙන්නේ කල් පිරුණු විටයි. බැඳුම්කරය මිල දී ගෙන තිබෙන්නේ අධිමිලටනම් එහිදී ආපසු ලැබෙන්නේ යට කළ මුදලට වඩා අඩු මුදලක්. අවමිලට මිල දී ගත් අයෙකුට එහිදී වැඩි මුදලක් ආපසු ලැබෙනවා. කෙසේ වුවත්, බැඳුම්කර හිමිකරුවෙකුට බැඳුම්කරයක් කල් පිරෙන්නට පෙර ඕනෑම වෙලාවක එය ද්වීතියික වෙළඳපොළේ විකුණා මුදල් කළ හැකියි. එහිදී සිදුවන ලාබය හෝ අලාබය තීරණය වන්නේ ඒ මොහොතේ වෙළඳපොළ මිල සහ තමන් මිල දී ගත් මිල මතයි. මෙය අලුත් හෝ පරණ වාහනයක් මිල දී ගෙන නැවත විකිණීමට සමාන දෙයක්. 

භාණ්ඩාගාර බැඳුම්කර වල වෙළඳපොළ මිල වෙනස් වෙන්නේ කොහොමද?

සාමාන්‍ය මූලධර්මයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. මෙය තේරුම් ගන්න අපහසු නැහැ. භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ලැබෙන කූපන් පොලිය 12%ක් කියා අපි හිතමු. වෙළඳපොළ පොලී අනුපාතික 10% දක්වා අඩු වුනොත්, ඊට වඩා වැඩි කූපන් පොලියක් ගෙවන 12% බැඳුම්කර සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඒ අනුව, එහි මිල ඉහළ යනවා. වෙළඳපොළ පොලී අනුපාතික 15% දක්වා වැඩි වුනොත්, 12% කූපන් බැඳුම්කර වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. 

බැඳුම්කරයක කූපන් පොලිය කීයක් වුනත් ඉහත සංසිද්ධියේ වෙනසක් නැහැ. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. කෙටි කාලයක් තුළ විශාල ලෙස පොලී අනුපාතික ඉහළ ගිය නිසා 2022 වසර අවසන් වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් මිල දී ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බැඳුම්කර තොගයේ වටිනාකම 40%කින් අඩු වී තිබුණා. බැංකු ඇතුළු අනෙකුත් ආයතන සතු වූ බැඳුම්කර වල මිලද මේ අයුරින්ම පහත වැටී තිබුණා. එය වාහන මිල අඩු වෙද්දී කොයි වාහනයේ මිලත් අඩු වෙනවා වගේ වැඩක්. කෙසේ වුවත්, උද්ධමනය අඩු වෙද්දී සහ දේශීය ණය ප්‍රසස්ථකරණ යෝජනා ප්‍රකාශයට පත් වෙද්දී ද්වීතියික වෙළඳපොළෙහි බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ ගියා. 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී සිදු වුනේ කුමක්ද?

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක මුහුණත අගය කප්පාදු කරනු ලැබුවේ නැහැ. එමෙන්ම, දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක කූපන් පොලී කප්පාදු කරනු ලැබුවේද නැහැ. කවුරු හෝ එසේ කියනවානම් එය දැන හෝ නොදැන ප්‍රචාරය කරන වැරදි තොරතුරක්. මෙහිදී ඇත්තටම සිදු වුනේ දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර ස්වේච්ඡාවෙන් අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමක්. මේ වන විට මෙම හුවමාරුව අවසන් වී තිබෙනවා. 

මෙම හුවමාරුව සිදු කිරීම නිසා එසේ කළ අයට පාඩුවක් වී තිබේද?

හුවමාරු කර ගැනීමේදී රජයට ආපසු භාර දුන් සියලුම බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,002.7ක්. නිකුත් කර තිබූ බැඳුම්කර සියල්ලම රජය විසින් ආපසු ලබාගත්තේනම් අපට හුවමාරුවෙන් පසුව එම බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න ලැබෙන්නේ නැහැ. කළ හැක්කේ උපකල්පන කිරීම පමණයි. සංවර්ධන බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ එවැන්නක්. නමුත්, මෙහිදී හුවමාරු කර ගැනුණේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 37%ක් පමණක් නිසා එසේ හුවමාරු කර ගැනුණු බැඳුම්කර සියල්ලෙන්ම යම් ප්‍රමාණයක් (සමස්තයක් ලෙස බැඳුම්කර වලින් 63%ක්) තවමත් වෙළඳපොළේ තිබෙනවා. ඒ නිසා, අපට පහසුවෙන්ම මේ අයුරින් රජය විසින් ආපසු ලබාගත් බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න පුළුවන්. එම වටිනාකම (හුවමාරුව සිදුවීමෙන් පසුව) රුපියල් බිලියන 3,002.7ක්. ඒ වෙනුවට, අලුතෙන් ලැබුණු බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,007.1ක්. ඒ අනුව, මෙම හුවමාරුවෙන් එම හුවමාරුවට එකඟ වූ පාර්ශ්ව වලට කිසිදු පාඩුවක් වී නැති බව ඉතාම පැහැදිලියි.

සරල උදාහරණයක් ගත්තොත් රජය විසින් කළේ වෙළඳපොළේ තිබුණු තැඹිලි අරගෙන ඒ වෙනුවට කුරුම්බා දෙනවා වගේ වැඩක්. රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කරගත්තානම් එම තැඹිලි වල දැන් මිල කීයක් විය හැකිව තිබුණාද යන්න ගැන උපකල්පන කරමින් විවිධ අයට පාඩුව ගණන් හැදිය හැකිව තිබුණා. විගණකාධිපති විසින් 2015 බැඳුම්කර නිකුතුවේ පාඩුව ගණන් හැදුවේ මේ විදිහට. මේ වගේ අවස්ථාවක කවුරු හෝ විසින් කරන උපකල්පන වැරදි බව ඉතා පැහැදිලි වුනත් එය ඔප්පු කරන්න අමාරුයි. නමුත් බැඳුම්කර හුවමාරුවේදී රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කර නොගත් නිසා දැන් අපට තැඹිලි මිල මෙන්ම කුරුම්බා මිලද පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව, ලාබ පාඩු බලා ගත හැකියි. ඒ සඳහා, තැඹිලි මිල කීයක් විය හැකිව තිබුනාද කියා උපකල්පනය කරන්න අවශ්‍ය නැහැ. 

හුවමාරුවෙන් පාඩුවක් වුනේ නැත්නම් බැංකු හා අනෙකුත් ආයතන තමන්ගේ බැඳුම්කර හුවමාරු කරගන්න ඉල්ලුම් නොකළේ ඇයි?

බැඳුම්කර ලෙස පොදුවේ කතා කළත් සියලුම බැඳුම්කර සමාන නැහැ. ලිපියේ මුලින්ම විස්තර කළ පරිදි, බැඳුම්කර ඒවායේ කල් පිරීමේ කාලය අනුව එකිනෙකට වෙනස් වෙනවා. වෙළඳපොළේ වූ බැඳුම්කර 2023 සිට 2045 දක්වා කල් පිරෙන ඒවා. 

ඕනෑම විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් විසින් බැඳුම්කර මිල දී ගන්නේ දිගුකාලීන ආයෝජනයක් ලෙසයි. ඒ නිසා, ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ හැකි තරම් දිගු කාලයකට ආයෝජනය කරන්නයි. එයින් වෙනස්ව, බැංකු විසින් කරන්නේ හදිසියකට මුදල් කිරීම සඳහා වසර කිහිපයකට බැඳුම්කර වල ආයෝජනය කරන එකයි. හුවමාරුවේදී අලුතෙන් නිකුත් කෙරුණු බැඳුම්කර වර්ග 12 කල් පිරෙන්නේ 2027 සිට 2038 දක්වා කාලය තුළයි. එම කාලය රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ආදායම් වැඩි කරගෙන ණය ආපසු ගෙවිය හැකි කාලයයි. 

තමන්ගේ අරමුදල් ආපසු ලබා ගැනීම සඳහා වසර 3 සිට වසර 15 දක්වා කාලයක් (සාමාන්‍ය වශයෙන් වසර 9ක කාලයක්) බලා සිටීම විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, බැංකු වලට හා අනෙකුත් ව්‍යාපාරික ආයතන වලට කොයි තරම් ඉහළ ප්‍රතිලාභයක් ලැබුනත් තමන්ගේ මුදල් එවැනි දීර්ඝ කාලයකට හිර කිරීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව, මෙම හුවමාරුවෙන් පාඩුවක් වේද නොවේද යන්න පිළිබඳව හුවමාරුවට පෙර හරියටම දැනගත හැකි ක්‍රමයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ යමෙක් අවදානමක් ගන්නේ කලාතුරකින්. දැන් තත්ත්වය අනුව බැලුවත්, පාඩුවක් සිදු වී නැතත් ගිණිය හැකි තරමේ ලාබයක්ද සිදු වී නැහැ.

ගහේ තැඹිලි වල්ල මෝරන තුරු සිට තැඹිලි-පොල් පොල් විදිහට ප්‍රයෝජනයට ගන්න ඉන්න කෙනෙක් අකැමැත්තක් නැතුවම තමන්ගේ තැඹිලි වල්ල පොල් වෙනුවට හුවමාරු කර ගන්නවා. නමුත්, තැඹිලි වල්ල මෝරන්න කලින් බාගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට තැඹිලි වෙනුවට මෝරපු පොල් වැඩක් නැහැ. 

පාඩුවක් නැතිව හුවමාරුව කළ හැකි වීනම් රජය විසින් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් මත 30% බද්දක් පැනවූයේ ඇයි?

මෙය ඔවුන්ව පොළඹවා ගැනීම සඳහා කළ දෙයක් බව ඉතාම පැහැදිලියි. මෙම බද්ද පැනවුයේ නැතත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් විසින් යම් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනවා. බද්ද පැනවීමෙන් පසුවද බදු සහනය ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම හුවමාරු කළ යුතු නැති බැඳුම්කර වර්ග ගණනාවක්ද හුවමාරු කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් අරමුදල් හා වෙනත් අය විසින් අයැදුම් කර තිබීමෙන් එය පැහැදිලි වෙනවා. එසේ වුනානම් ඔවුන් කරන්නේ වැඩි වෙළදපොළ මිලක් තිබෙන බැඳුම්කර ඉතිරි කරගෙන අඩු මිලක් ඇති ඒවා පමණක් හුවමාරු කර ගැනීම සඳහා අයැදුම් කරන එකයි. එය ලොකු තැඹිලි තියාගෙන පොඩි තැඹිලි පමණක් කුරුම්බා සමඟ හුවමාරු කරගන්නවා වගේ වැඩක්. එවැන්නක් වුනානම්, එයින් රජයට විශාල පාඩුවක් වෙනවා. 30% බද්ද පැනවීම මගින් රජය කළේ අයැදුම් කිරීමට පෙර එසේ "බැඳුම්කර තේරීම" පාලනය කරන එකයි. 

අනාගතයේ පොලී අනුපාතික ඉහළ ගියොත් මේ හුවමාරුව කළ අයට පාඩුවක් වෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. නමුත්, එය දිගුකාලීන ආයෝජන කිරීමේදී ගන්න වෙන සාමාන්‍ය අවදානමක් මිසක් බැඳුම්කර හුවමාරුව නිසා සිදු වන පාඩුවක් නෙමෙයි. දැනට පවතින වෙළඳපොළ මිල කියන්නේ අනාගතයේ සිදු විය හැකි ලාබ පාඩු සියල්ල පිළිබඳ මේ මොහොතේ තිබෙන නිවැරදිම පිළිබිඹුවයි. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගියහොත් හුවමාරුවට ලැබුණු බැඳුම්කර වල මිල පහත වැටිය හැකියි. වෙළඳපොළ පොලී අනුපාතික පහළ ගියහොත් එම මිල ඉහළ යා හැකියි. පොලී අනුපාතික ඉහළ යා හැකි බව පෙනේනම් මේ අවස්ථාවේදී මෙම බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා මුදල් කිරීම මගින් අනාගතයේ සිදු විය හැකි පාඩුව වලක්වා ගත හැකියි. නමුත් යම් හෙයකින් පොලී අනුපාතික අඩු වුවහොත් ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයයි. 

විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වලට පාඩුවක් වී නැත්නම් රජයේ ණය අඩු වුනේ කොහොමද?

බැඳුම්කර හුවමාරුව නිසා රජයේ ණය අඩු වෙන්නේ නැහැ. එය වැරදි අවබෝධයක් හෝ බොරු කතාවක්. සිදු වෙන්නේ ණය බර අඩුවීමක් මිසක් ණය අඩු වීමක් නෙමෙයි. ඔබේ වැටුප රුපියල් 25,000ක්නම්, නිවාස ණය වාරිකය රුපියල් 10,000ක් නම්, බැංකුව සමඟ කතා කර එම ණය වාරිකය රුපියල් 8,000ක් කර ගත් විට ඔබේ ණය බර අඩු වෙනවා. නමුත්, එයින් ඔබේ ණය අඩු වෙන්නේ නැහැ. ඔබට එම වාරිකය වැඩි කාලයක් ගෙවන්න සිදු වෙනවා. ඒ නිසාම, බැංකුවට පාඩුවක් වෙන්නෙත් නැහැ. 

මේ වැඩේට සේවක අර්ථසාධක අරමුදල පමණක් ගාව ගත්තේ ඇයි?

අසත්‍ය ප්‍රකාශයක්. හුවමාරු කෙරුණු රුපියල් බිලියන 3,264.5ක බැඳුම්කර ප්‍රමාණයෙන් සේවක අර්ථසාධක අරමුදලේ කොටස රුපියල් බිලියන 2,667.5ක් පමණයි.

මීට අමතරව ඉදිරියේදී වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් කපනවද?

පට්ටපල් බොරුවක්. දැන් භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව සිදු කර අවසානයි. මීට අමතරව, අනාගතයේදී අරමුදලින් එක සතයක්වත් කැපීමේ සැලසුමක් නැහැ. 

ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල් ටිකෙන් ටික අඩු වී යනවාද?

කිසිසේත්ම නැහැ. සේවක අර්ථසාධක අරමුදල අඩු වශයෙන් තව වසර 20-30ක්වත් යන තුරු වසරින් වසර වර්ධනය වෙනවා. අලුතෙන් ලැබෙන දායක මුදල් එයට එක හේතුවක් වුනත්, එම දායක මුදල් කොටස ඉවත් කළත් අරමුදල වර්ධනය වෙනවා. හුවාමාරු කළ බැඳුම්කර කොටස පමණක් සැලකුවත්, 2023, 2024, 2025 හා 2026 පළමු අර්ධය තුළ 12%ක කූපන් පොලියක් අරමුදලට ලැබෙනවා. එයින් පසුව 9%ක් ලැබෙනවා. මේ අනුව, අරමුදල දිගින් දිගටම ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ වලට කුමක් වෙයිද?

සේවක අර්ථසාධක අරමුදලේ සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ තීරණය වන්නේ අරමුදලේ ආයෝජන වලට ලැබෙන ප්‍රතිලාභ අනුවයි. 2026 දක්වා හුවමාරු කළ බැඳුම්කර වෙනුවෙන් 12%ක කූපන් පොලියක් ලැබෙනවා. මුලින් පැහැදිලි කළ පරිදි මෙම කූපන් පොලිය ගණනය කරන්නේ බැඳුම්කර වල මුහුණත අගය මතයි. හරියටම ගණන් දන්නේ නැතත්, සේවක අර්ථසාධක අරමුදල විසින් බැඳුම්කර බොහොමයක් මිල දී ගෙන තිබෙන්නේ අවමිලට නිසා අරමුදලට ලැබෙන සැබෑ ප්‍රතිලාභය 12%ට වඩා වැඩියි. 2026න් පසු කාලය සැලකුවද 9%ට වඩා වැඩියි. එහෙත්, සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවන්නට පෙර රජයට 14%ක් බද්දක් ගෙවිය යුතුයි. මෙම කරුණු සැලකිල්ලට ගත් විට 2027 වසර පමණ දක්වා සාමාජික ශේෂ මත 9%ක ප්‍රතිලාභ ලබා දීමේ ඉඩක් තිබෙන නමුත් ඉන් පසුව එම අනුපාතය තරමක් අඩු විය හැකියි. මෙය තීරණය වන්නේ රටේ පවතින උද්ධමනය හා පොලී අනුපාතික මතයි. උද්ධමනය අඩු වෙද්දී පොලී අනුපාතික අඩු වෙනවා. පොලී අනුපාතික විශාල ලෙස අඩු වුවහොත් අලුතෙන් එකතු වන දායක මුදල් සහ ආයෝජන ආදායම් නැවත ආයෝජනය කරන්න වෙන්නේ අඩු පොලියකටයි. ඒ අනුව, සාමාජික ප්‍රතිලාභද අඩු විය හැකියි. උද්ධමනය හා පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබුණොත් ලැබෙන ප්‍රතිලාභයද ඉහළ යයි. එහෙත්, එය අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන සැබෑ වාසියක් නෙමෙයි. සැබෑ වාසිය වන්නේ උද්ධමනයට වඩා වැඩියෙන් ලැබෙන ප්‍රමාණයයි. උද්ධමනය 5% ලෙස තිබියදී 8%ක ප්‍රතිලාභයක් ලැබිය හැකිනම් එය උද්ධමනය 13% මට්ටමේ තිබියදී 15%ක ප්‍රතිලාභයක් ලැබෙනවාට වඩා වාසිදායකයි. 

Friday, September 15, 2023

"පාඩුව" හරියටම මෙන්න!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර යටතේ මේ වන විට නිකුත් කර ඇති සහ වෙළඳපොළ තුළ හුවමාරු වන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 61ක් අලුත් බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබූ අතර ඒ සඳහා ලැබුණු අයැදුම්පත් අනුව එම බැඳුම්කර වර්ග 61න් වර්ග 49කින් යම් කොටසක් බැගින් අලුත් බැඳුම්කර වර්ග 12 සමඟ හුවමාරු කෙරුණා. මෙම අලුත් බැඳුම්කර වර්ග 12 මෙන්ම ඒ වෙනුවෙන් හුවමාරු කෙරුණු බැඳුම්කර වර්ග 49හි හුවමාරු නොකළ කොටසද මේ වන විට ද්වීතියික වෙළඳපොළෙහි සක්‍රිය ලෙස අලෙවි වනවා.

කිසියම් භාණ්ඩයක "නියම" මිල සේ සැලකිය හැක්කේ එම භාණ්ඩය වෙළඳපොළ තුළ විකිණිය හැකි මිලයි. මෙම නියමය භාණ්ඩාගාර බැඳුම්කර වලටද වලංගුයි. එම පදනම මත, හුවමාරු කිරීමේදී රජයට ආපසු ලබාදුන් බැඳුම්කර වල නියම වටිනාකම මෙන්ම ඒ වෙනුවෙන් ආපසු ලැබුණු බැඳුම්කර වල නියම වටිනාකමද දැන් අපට පහසුවෙන්ම ගණනය කළ හැකියි. මෙම මිල ගණන් අතර වෙනස හුවමාරුව නිසා සිදු වූ ලාබය හෝ පාඩුවයි.

අලුත් බැඳුම්කර නිකුත් කරනු ලැබ වෙළඳපොළ තුළ ඒවා හුවමාරු වන තුරු මෙම හුවමාරුවේ ලාබ හෝ පාඩු පිළිබඳව කිසිවකුට නිවැරදිව කිව හැකි වූයේ නැහැ. වෙළඳපොළ මිල කියන්නේ නිරීක්ෂණය කළ යුතු දෙයක් මිස කලින් හරියටම පුරෝකථනය කළ හැකි දෙයක් නෙමෙයි. 

මෙම හුවමාරුව සිදු වීමට පෙර මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබුණේ එයින් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වලට 4.8%ක අපේක්ෂිත පාඩුවක් සිදු විය හැකි බවයි. වෙනත් අය මෙය 47% දක්වා වන අපේක්ෂිත පාඩුවක් ලෙස ගණන් බලා තිබුණා. අපගේ පෞද්ගලික අදහස වූයේද මහ බැංකුවේ ඇස්තමේන්තුව ඉක්මවන  7%-15% පරාසයේ අපේක්ෂිත පාඩුවක් සිදු විය හැකි බවයි. 

කෙසේ වුවද, අලුත් බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ තුළ හුවමාරු වීමෙන් පසුව පෙනී යන පරිදි මෙම හුවමාරුවෙන් ඒ සඳහා අයැදුම් කළ පාර්ශ්ව වලට කිසිදු අලාබයක් සිදු වී නැහැ. සමස්තයක් ලෙස මෙම හුවමාරුව නිසා එයට සහභාගී වූ අයගේ වත්කම් සුළු වශයෙන් (රුපියල් බිලියන 4.9කින් හෙවත් 0.16%කින්) ඉහළ ගොස් තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදල හා අදාළව වෙනම ගණන් බැලීමක් කිරීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නැතත්, එම අරමුදලේ ලාබ පාඩු පිළිබඳ තත්ත්වයද මීට වඩා ලොකුවට වෙනස් වීමේ ඉඩක් නැහැ. 

හුවමාරු කළ බැඳුම්කර එසේ හුවමාරු නොකළේනම්, ඒවා අතරින් වැඩි කූපන් පොලියක් සහිත බැඳුම්කර මේ වන විට රුපියල් 123.45 දක්වා වන මිලකට විකිණිය හැකිව තිබුණත්, අඩු කූපන් පොලී සහිත බැඳුම්කර රුපියල් 74.18 දක්වා වන අඩු පොලියකට විකුණන්නට සිදු වෙනවා. සමස්තයක් ලෙස මෙසේ හුවමාරු කළ බැඳුම්කර සියල්ලම "තොගයක් ලෙස" විකිණුවේනම් විකුණන්නට වෙන්නේ රුපියල් 93.69ක මිලකටයි. මේ වෙනුවෙන් ලැබුණු අලුත් බැඳුම්කර "තොගයක් ලෙස" රුපියල් 93.84කට විකිණිය හැකියි. වෙනත් විදිහකින් කියනවානම්, හුවමාරුවට සහභාගී වූ අයෙකුට අවශ්‍යනම් හුවමාරුවේදී අලුතින් ලැබුණු බැඳුම්කර වෙළඳපොළෙහි විකුණා කලින් තමන් සතු වූ බැඳුම්කර වර්ග වලින් එම ප්‍රමාණ මිල දී ගන්න පුළුවන්. 

මේ සමඟම, බැංකු කඩා වැටීමේ කතාව වගේම, මේ හා අදාළව ප්‍රචාරය වූ ප්‍රවාද, දුස්තොරතුරු මෙන්ම අපගේ පූර්ව ඇස්තමේන්තුද ඇතුළු ඇස්තමේන්තු සියල්ල තේරුමක් නැති දේවල් බවට පත් වෙනවා. කතාව සංකීර්ණ වැඩිනම්, සරලව, මෙම හුවමාරුව නිසා සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වල කිසිම දැනෙන වෙනසක් සිදු වී නැහැ. ඒ කතාවත් මෙතැනින් සමාප්තයි!

ආර්ථික වර්ධනය- 2023 දෙවන කාර්තුව

 


කාර්තු තුනක් තිස්සේ එක දිගටම ඉලක්කම් දෙකේ ප්‍රතිශත අගයකින් හැකිළුණු ශ්‍රී ලංකා ආර්ථිකය 2023 දෙවන කාර්තුවේදීද පෙර වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව හැකිළී ඇතත්, එම හැකිලීම 3.1%කට සීමා වී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ මෙම කාර්තුවේදී, එනම් 2023 තෙවන කාර්තුවේදී, ආර්ථිකයේ යම් හෝ වර්ධනයක් ඇති වීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි බවයි. 

පෙර කාර්තුවේදී 5.0%කින් හැකිළුණු සේවා අංශයේ හැකිලීම 0.8%කට සීමා වී ඇති අතර, පෙර කාර්තුවේදී 23.4%කින් හැකිළුණු කර්මාන්ත අංශය 11.5%කින් හැකිළී තිබෙනවා. පෙර කාර්තුවේදී 0.8%කින් වර්ධනය වූ කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී තිබෙනවා. 

කෙසේ වුවද, 2023 දෙවන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරකම් සිදුව ඇත්තේ වසර පහකට පෙර, එනම් 2018 දෙවන කාර්තුවේදී පැවති මට්ටමට වඩා 16.8%ක් අඩුවෙන්. ආර්ථිකය නැවත වර්ධනය වීමට පටන් ගත්තේ වුවද එසේ වර්ධනය වනු ඇත්තේ අහිමි වූ දශකයක හානිය සමඟයි. වෙනත් විදිහකින් කිවුවොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී ඇති ස්ථායීකරණ වැඩ සටහන තුළ ආර්ථිකය නැවතත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වුවද, 2028 වන විට නැවත යා හැකි වනු ඇත්තේ වසර දහයකට පෙර 2018දී සිටි තැනටයි. 

Thursday, September 14, 2023

සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව?


මහ බැංකුව විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර දැනුම් දී ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල සතු වූ රුපියල් බිලියන 3,220ක භාණ්ඩාගාර බැඳුම්කර වලින් රුපියල් බිලියන 2,667.5ක ප්‍රමාණයක් අලුතෙන් නිකුත් කර තිබෙන බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. එම ප්‍රමාණයට 14% බදු සහනය දිගටම පවත්වා ගැනීම සඳහා හුවමාරු කළ යුතු වූ අවම ප්‍රමාණය (78%ක්) මෙන්ම ඊට අමතරව රුපියල් බිලියන 149.9ක බැඳුම්කර ප්‍රමාණයක්ද ඇතුළත්. අමතර ප්‍රමාණයද සමඟ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 83%ක් අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. 

මීට දින දෙකකට පෙර නිකුත් කළ මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති නිවේදනය අනුව, සමස්තයක් ලෙස විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු වූ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් 84%ක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනු ලැබ එම අයැදුම්පත් පිළිගෙන තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ අනෙකුත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් බොහොමයක්ද සේවක අර්ථසාධක අරමුදල විසින් හුවමාරු කරගත් බැඳුම්කර ප්‍රතිශතයට නොඅඩු ප්‍රතිශතයක් අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන ඇති බවයි. ඊට අමතරව, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් නොවන අනෙකුත් ආයතන විසින්ද යම් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කරගෙන තිබෙනවා විය හැකි වුවත්, එසේ කර ඇත්නම් එම ප්‍රමාණය සාපේක්ෂව සුළු ප්‍රමාණයක් විය යුතුයි.

මේ සමඟ පළ කර තිබෙන වගුවෙහි පෙන්වා තිබෙන්නේ බැඳුම්කර හුවමාරුවෙන් පසු රජයේ මුදල් ප්‍රවාහ වෙනස් වන ආකාරයයි. රජය විසින් 2023-2043 කාලය තුළ ආපසු ගෙවිය යුතුව තිබුණු ආපසු ලබාගත් බැඳුම්කර වල මුහුණත අගය වන වන රුපියල් බිලියන 3,204.5ක මුදල, අලුත් බැඳුම්කර වල මුහුණත අගය ලෙස එලෙසම ආපසු ගෙවිය යුතු වුවත්, එම මුදල් ප්‍රමාණය දැන් ආපසු ගෙවන්නට වෙන්නේ 2027-2038 කාලය තුළ සමාන වාරික වලින් බැවින් එහි සහනය රජයට ලැබෙනවා. 

ආපසු ලබාගත් බැඳුම්කර වෙනුවෙන් රජය විසින් කූපන් පොලී ලෙස රුපියල් බිලියන 2,055.8ක් ගෙවිය යුතුව තිබුණා. හුවමාරුවෙන් පසුව, රජයට අලුත් බැඳුම්කර වල කූපන් පොලිය ලෙස ඊට වඩා රුපියල් බිලියන 771.7ක් වැඩියෙන් ගෙවන්නට සිදු වෙනවා. එහෙත්, ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ වීමට සාපේක්ෂව මෙම අමතර කූපන් පොලිය ගෙවීම රජයට වාසියක්. හරියටම කිවුවොත් අපේක්ෂිත වාසියක්. එම අපේක්ෂිත වාසිය කුමක්ද යන්න තීරණය වන්නේ බැඳුම්කර හුවමාරුව නිසා ශුද්ධ මුදල් ප්‍රවාහයන්හි (net cashflow) සිදුව ඇති වෙනස මතයි. එම වෙනස වගුවෙහි අවසාන සිරස් තීරුවේ පෙන්වා තිබෙනවා. 

ඉහත ශුද්ධ මුදල් ප්‍රවාහයේ වත්මන් අගය (present value) ශුන්‍ය වීමටනම් 5.5% වැනි වට්ටම් අනුපාතිකයක් (discount factor) යොදා ගෙන මුදල් ප්‍රවාහ වට්ටම් කළ යුතුයි. එහෙත්, එම අගය ලංකාවේ කිසිවෙකු විසින් ප්‍රමාණවත් සේ සලකන ප්‍රතිලාභ අනුපාතයක් නොවන නිසා හුවමාරුවට සම්බන්ධ වූ අරමුදල් වල වත්මන් වටිනාකමෙහි අපේක්ෂිත වෙනස අඩු වීමක් මිස වැඩි වීමක් අපේක්ෂා කළ නොහැකියි. වට්ටම් අනුපාතිකය 9% ලෙස සැලකුවහොත්, අරමුදල් වල වත්මන් අගය 7.8%කින් පමණ අඩු වෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ අපේක්ෂිත ප්‍රතිලාභ සම්බන්ධව මහ බැංකුව විසින් අද (සැප්තැම්බර් 14) දින ඉදිරිපත් කර තිබෙන තොරතුරු මත පදනම්ව අප විසින් සිදු කළ ගණනය කිරීම් වලට අනුව, 2038 දක්වා කාලය තුළ අරමුදලට සිදු වන සමස්ත අලාභය 7.8%ක්. හුවමාරුව නොකර 30% අනුපාතයෙන් බදු ගෙවීමට තීරණය කළේනම් මෙම අලාභය 20.8%ක්. මුදලින් රුපියල් බිලියන 209ක් පමණ වන ඉහත 7.8% අලාභය ගැලපෙන්නේ 9%ක වට්ටම් අනුපාතයක් සමඟයි. එහෙත්, මේ වන විට වෙළඳපොල විසින් අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය 13% තරම් විශාල විය හැකියි. 

අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වෙළඳපොළ තුළ හුවමාරු වෙද්දී එම බැඳුම්කර වල වත්මන් වෙළඳපොළ වටිනාකම හරියටම දැනගන්නට ලැබෙනවා. මේ අනුව, අපට අපේක්ෂිත අලාභය පිළිබඳව වෙළඳපොළ මත පදනම් වූ ඇස්තමේන්තුවක් සකස් කිරීමට ඉඩ ලැබෙනවා. වෙළඳපොළ අපේක්ෂාවන් කිසිසේත්ම සියයට සියයක් නිවැරදි නැතත්, තනි පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ඇස්තමේන්තු විශ්වාස කරනවාට වඩා වෙළඳපොළ විශ්වාස කිරීම වඩා සාර්ථක ප්‍රවේශයක්. අපගේ අදහස වනුයේ වෙළඳපොළ මත පදනම් වන සේවක අර්ථසාධක අරමුදල ඇතුළු බැඳුම්කර හුවමාරුවට සම්බන්ධ වූ අයගේ අලාභය මහ බැංකුවේ ඇස්තමේන්තුවට වඩා වැඩි විය යුතු බවයි. 

පවතින වෙළඳපොළ අපේක්ෂාවන් අනුව, මෙම අපේක්ෂිත අලාභය 12%කට ආසන්න අලාභයක් විය හැකියි. වැඩි දවසක් නොගොස් හරියටම බලා ගන්නට ඉඩ ලැබෙන නිසා මෙම අපේක්ෂිත අලාභය ඇස්තමේන්තු කිරීමට හදිසි විය යුතු නැහැ.

Tuesday, September 12, 2023

හුවමාරු කළ බැඳුම්කර ආපසු ගෙවන හැටි!



කලින්ම හිතාගත හැකි වූ පරිදිම, භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයැදුම් කර තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් බව පෙනී යනවා. අනෙකුත් ආයතන විසින් අයදුම් කර ඇත්නම් එම ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක් විය යුතුයි. විශ්‍රාම පාරිතෝෂික අරමුදල් මේ සඳහා පෙළැඹී තිබෙන්නේ 14% බදු සහනය වෙනුවෙන් බවද පෙනී යනවා. කෙසේ වුවත්, ණය හුවමාරුවට අයැදුම් කළ ආයතන සම්බන්ධ නිශ්චිත තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නැහැ. 

මේ සමඟ පළ කෙරෙන ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කර තිබෙන්නේ හුවමාරුවට පෙර හා හුවමාරුවෙන් පසු අදාළ මුදල ආපසු ලැබෙන ආකාරයයි. මෙහිදී ණය කප්පාදුවක් සිදු වී නැති නිසා, රුපියල් බිලියන 3,204.5ක් වන හුවමාරු කළ බැඳුම්කර වෙනුවෙන් ලැබිය යුතු මුදල සතයක්වත් අඩු නැතුව ආපසු ලැබෙන නමුත් එසේ ලැබෙන්නේ මුලින් මුදල් ආපසු ලැබිය යුතුව තිබුණු දවස් වලදීම නෙමෙයි.

බැඳුම්කර හුවමාරුව සිදු නොවුනානම්, 2025-2028 වසර වලදී රජයට විශාල මුදලක් ආපසු ගෙවන්නට සිදු වෙනවා. පැවති තත්ත්වය තුළ රජයට එම මුදල් ආපසු ගෙවාගත නොහැකි වී ණය පැහැර හරින්නට සිදු වීමේ අවදානමක් තිබුණා. ණය තිරසාරත්වය නැති වීම යන්නෙන් අදහස් වන්නේ එයයි. එසේ වීනම්, මේ වන විට සිය බැඳුම්කර හුවමාරු කරගැනීම සඳහා ඉල්ලා ඇති අයට මෙන්ම අනෙකුත් අයටද තමන්ගේ මුදල් ආපසු නොලැබිය හැකිව තිබුණා.

හුවමාරුව සිදු වීමෙන් පසුව එක් එක් වසර තුළ රජයට ආපසු ගෙවන්නට සිදු වන්නේ දරාගත හැකි ණය ප්‍රමාණයක්. ඒ වගේම, එසේ ණය ආපසු ගෙවීම සඳහා අරමුදල් සොයා ගැනීමට ප්‍රමාණවත් කාලයක් රජයට ලැබෙනවා. මෙම කාලයේ වාසිය අරගෙන පැහැර හැරි බදු අය කර ගැනීම, හොරකම් කළ සල්ලි එකතු කර ගැනීම, පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන බවට පත් කිරීම, එම ආයතන විකිණීම වැනි මේ ආණ්ඩුවේ හා ඉදිරි ආණ්ඩු වල ප්‍රතිපත්ති වලට ගැලපෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන්. 

මෙන්න තවත් ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිඵලයක්!


රුපියල් බිලියන 3,208.1ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම සඳහා එම බැඳුම්කරහිමියන් විසින් අර්පණය කර ඇති අතර එම අර්පණ වලින් රුපියල් බිලියන 3,204.5ක ප්‍රමාණයක් පිළීගෙන තිබෙනවා. මෙම ප්‍රමාණය හුවමාරුව සඳහා සුදුසුකම් ලත් බැඳුම්කර ප්‍රමාණයෙන් 37%ක් වන අතර, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු වූ සුදුසුකම් ලත් බැඳුම්කර වලින් 84%ක් සඳහා අර්පණයන් පිළිගෙන තිබෙනවා. අදාළ හුවමාරුව අනිද්දා (සැප්තැම්බර් 14) සිදු චෙනවා.

වැඩි විස්තර පසුවට.

Sunday, September 10, 2023

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම- අලුත්ම තත්ත්වය


මෙම ලිපිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව පසුගිය සතිය තුළ සිදු වූ දේවල් පිළිබඳව මෙන්ම මෙම සතිය තුළ සිදු විය හැකි දේවල් පිළිබඳව කෙරෙන සමාලෝචනයක්. ලිපියෙන් බොහෝ දුරට කෙරෙන්නේ දැනටමත් පොදු අවකාශයේ ඇති තොරතුරු සාරාංශගත කර නැවත ඉදිරිපත් කිරීමක්.

පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතේ පළමුවන උපලේඛනය සංශෝධනය කෙරුණා. ඒ අනුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF), අනුමත කරනු ලැබූ අර්ථසාධක හෝ විශ්‍රාම වැටුප් අරමුදල්, හා අනුමත කරනු ලැබූ සමාපන අරමුදල් (termination funds) මත අය කෙරෙන ආදායම් බදු අනුප්‍රමාණය 30% දක්වා වැඩි කෙරුණු අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වන අරමුදල් සඳහා අදාළ වන ආදායම් බදු අනුප්‍රමාණය තවදුරටත් 14% ලෙසම පවත්වාගනු ලැබෙනවා. මෙම වෙනස්කම් 2023 සැප්තැම්බර් 1 දින සිට ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. 

ඉහත සංශෝධනය මේ වන විට රටේ නීතිය බවට පත් වී අවසානයි. ඒ අනුව, අදාළ සංශෝධනයේ පසුබිම කුමක් වුවත්, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු වෙනත් ඕනෑම අයෙකුට එම නීතියට යටත්ව කටයුතු කිරීමට සිදු වෙනවා. 

ඉහත නීතිය අනුව, "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීම" යන්නෙන් අදහස් වන්නේ සුදුසුකම් ලත් අරමුදලක් සතුව තිබෙන 2023 වසර තුළ කල් පිරෙන සුදුසුකම් ලත් බැඳුම්කර අතරින් එක් එක් ශ්‍රේණියේ බැඳුම්කර වලින් අවම වශයෙන් 50%ක් සහ 2024-2032 කාලය තුළ (එම වර්ෂ දෙකද ඇතුළුව) කල් පිරෙන බැඳුම්කර සියල්ල අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අර්පණය කිරීම සහ එම අර්පණයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පිළිගනු ලැබීමයි.

ඉහත සඳහන් සුදුසුකම් ලත් අරමුදල් යන්නට සේවක අර්ථසාධක අරමුදලද ඇතුළත්. අර්පණයන් ඉදිරිපත් කිරීම සඳහා හෙට (සැප්තැම්බර් 11) දින පස්වරු 4 දක්වා කාලය ලබා දී ඇති අතර පසු දින (සැප්තැම්බර් 12) ප්‍රතිඵල නිවේදනය කෙරෙනවා. 

සේවක අර්ථසාධක අරමුදලෙහි භාරකරු වන ශ්‍රී ලංකා මහ බැංකුවට එම අරමුදල් වලට "අත නොතබා" සිටිය නොහැකියි. ඔවුන්ගේ වගකීම වනුයේ සාමාජිකයින්ට වැඩිම ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම අරමුදල් ආයෝජනය කිරීම සහ එම ආයෝජන කල් පිරෙන විට එලෙසම නැවත නැවත ආයෝජනය කිරීමයි. 

මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන ඇස්තමේන්තු අනුව, ඉහත සඳහන් බදු සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස 2038 දක්වා වන කාලය තුළ සේවක අර්ථ සාධක අරමුදලේ බැඳුම්කර ආයෝජන වල වටිනාකම 21.6%කින් අඩු වෙනවා. ඒ අනුව, සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 7.7% දක්වා අඩු වෙනවා. එහෙත්, "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීම" මගින් ඉහත අලාභය 4.8% දක්වා අඩු කරගත හැකි අතර සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 9.1% මට්ටමෙහි පවත්වා ගත හැකියි.

මහ බැංකුවේ ගණන් බැලීම් අනුව සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීමට නියමිත බව ඉතාම පැහැදිලියි. ඇතැම් බාහිර විශ්ලේෂකයින් විසින් මේ අයුරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී වීම සේවක අර්ථසාධක අරමුදලට අවාසිදායක බව පෙන්වීමට උත්සාහ කර ඇතත් අපගේ අදහස වනුයේ එම ඇස්තමේන්තු දෝෂ සහගත බවයි. එමෙන්ම, මෙම බැඳුම්කර හුවමාරු ක්‍රියාවලිය නිසා අරමුදලේ බැඳුම්කර ආයෝජන වල වටිනාකම 47%කින් අඩු වන බවද එම බාහිර විශ්ලේෂකයින් විසින් පෙන්වා දී තිබෙනවා.

ණය හුවමාරුව සඳහා අර්පණයන් ඉදිරිපත් වී, එම අර්පණයන් සියල්ලම හෝ කොටසක් මහ බැංකුව විසින් භාර ගැනීමෙන් අනතුරුව සැප්තැම්බර් 14 දින බැඳුම්කර හුවමාරුව සිදු වෙනවා. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී වන ආයතන එදින අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වර්ග 12ක හිමිකරුවන් බවට පත් වෙනවා. ඔවුන්ට පසු දින සිටම මෙම බැඳුම්කර වෙනත් අයට විකිණීම සඳහා අර්පණය කළ හැකියි. වෙනත් අයට මෙම අලුත් බැඳුම්කර මිල දී ගැනීම සඳහා අර්පණය කළ හැකියි. ඒ අනුව, දෙපාර්ශ්වයේ එකඟත්වය මත මෙම බැඳුම්කර විකිණීම හා මිල දී ගැනීම මගින් හුවමාරු කරගත හැකියි. 

ඉහත සඳහන් පරිදි අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වල මිල වෙළදපොළ තුළ තීරණය වෙද්දී එම බැඳුම්කර වෙනුවෙන් අනාගතයේදී ලැබෙන මුදල් ප්‍රවාහ වල වත්කම් වටිනාකමද වෙළඳපොළ තුළ නිර්ණය වී දෘශ්‍යමාන වෙනවා. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලට හෝ වෙනත් එවැනි අරමුදලකට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හේතුවෙන් සිදු වූ පාඩුව නිශ්චිත ලෙස ගණන් බැලීමට ඉඩ සැලසෙනවා. ඒ නිසා, එම පාඩුව මහ බැංකුවේ ඇස්තමේන්තුව වන 4.8% වඩා කිට්ටු වේද එසේ නැත්නම් වෙරිටේ රිසර්ච් ඇස්තමේන්තුවට (47%) වඩා කිට්ටු වේද යන්න දැක බලාගැනීම සඳහා බලා සිටිය යුත්තේ වැඩිම වුනොත් තවත් දෙසතියකට නොවැඩි කාලයක් පමණයි. එම පාඩුව දැක ගැනීමෙන් පසුවම ඒ ගැන වැඩිපුර කතා කරමු. 

පාඩුව කොපමණ වුවත්, අපේක්ෂිත පාඩුවක් සිදු වන බව පොදු පිළිගැනීමයි. එමෙන්ම, මෙවැනි පාඩුවක් නොවැලැක්විය හැකි වූ බවද පොදු පිළිගැනීමක්. එහෙත්, මේ පාඩුවේ බර සේවක අර්ථසාධක අරමුදල ඇතුළු "සුදුසුකම් ලත් අරමුදල්" මත පමණක් නොපටවා සියලු බැඳුම්කර හිමියන් අතර බෙදා හැරිය යුතු වූ බව සැලකිය යුතු පිරිසකගේ අදහසක්. 

මෙම අදහස දැරූ ඇතැම් අය සාධාරණත්වය සොයා අධිකරණය වෙත ගියා. එවැනි එක් අයෙක් චතුරංග අබේසිංහ. ඔහු මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ බදු සංශෝධනයෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වන බව සඳහන් කරමින් අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළා (S.C. (SD) No.63/2023). ස්වස්තිකා අරුලිංගම් හා ජයන්ත දෙහිඅත්තගේ විසින් තවත් මෙවැනිම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අතර (S.C. (SD) No.6412023) පෙත්සම් දෙකෙහි කරුණු වල සමානත්වය සලකා බලමින් මෙම පෙත්සම් දෙකම එක වර විභාගයට ගැනුණා. පෙත්සම් දෙකෙහිම වග උත්තරකරු වූයේ නීතිපතිවරයායි. 

ජනාධිපති නීතිඥ බුවනෙක අළුවිහාරේ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වූ ඉහත මූලික අයිතිවාසිකම් නඩුවට මැදිහත්කරුවෙකු ලෙස පෙත්සමක් ඉදිරිපත් කරමින් ලංකා බැංකුවද සම්බන්ධ වුනා. මහ බැංකු අධිපති විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා. මෙහිදී සලකා බලනු ලැබූ මූලික කරුණ වූයේ බැඳුම්කර හිමියන් අතරින් තෝරාගත් පිරිසකට පමණක් වෙනස් ලෙස සැලකීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙහි සඳහන් නීතිය ඉදිරියේ සියල්ලන්ටම සමාන ලෙස සැලකිය යුතුය යන මූලධර්මය කඩ වී ඇත්ද යන්නයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කළේ ඉහත බදු සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය හෝ වෙනත් කිසිදු වගන්තියක් උල්ලංඝනය වී නොමැති බවයි. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගත හැකි බවයි. මෙය මේ වන විට සිදු වී තිබෙනවා.

මෙම නඩුව වැදගත් නඩුවක් සේ සැලකිය හැකියි. එහිදී ඉදිරිපත් වූ හා සලකා බලනු ලැබූ කරුණු අප කෙටියෙන් විමසා බලමු.

තෝරාගත් පිරිසකට පමණක් බද්දක් පැනවීම නීතිය ඉදිරියේ සියල්ලන්ටම සමාන ලෙස සැලකිය යුතුය යන මූලධර්මය උල්ලංඝනය කිරීමක්ද?

අධිකරණයේ මතය අනුව, නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන ලෙස සැලකිය යුතුය යන්නෙන් අදහස් වන්නේ සියලුම නීති වල සියලුම කොටස් වලින් සියලුම පුද්ගලයින් එක ලෙස ආවරණය විය යුතු බව නොවේ. තර්කානුකූල හේතුවක් මත කිසියම් නීතියක් මගින් පුද්ගල වර්ගීකරණයක් කිරීම සඳහා රාජ්‍යය සතු බලය එමගින් ඉවත් නොකරයි.

Article 12(f) of the Sri Lankan Constitution does not insist that every piece of legislation must have universal application and it does not take away from the State the power to classify persons for the purposes of legislation, but the classification must be rational.

මෙහිදී අදාළ නීතිය පරීක්ෂාවන් දෙකක් සමත් කළ යුතුයි. පළමුවැන්න, මෙහිදී සිදු කෙරෙන වර්ගීකරණය පැහැදිලිව හඳුනාගත හැකි වෙන් කිරීමක්ද යන්නයි. දෙවැන්න, එසේ වෙන් කිරීම මගින් කිසියම් නීතියකින් අපේක්ෂා කරන අරමුණ ඉටු වේද යන්නයි. 

කිසියම් පුද්ගලයෙකු මත බද්දක් පැනවීමේදී එසේ කිරීම සඳහා අනෙකුත් සියල්ලන් මතද එවැනිම බද්දක් පැනවිය යුතු නැති බව තීතිය තුළ මැනවින් ස්ථාපනය වී ඇති මූලධර්මයකි. ඒ නිසා, බද්දක් පැනවීමේදී පුද්ගල වර්ගීකරණය මගින් වෙනස් කොට සැලකීම ඒ හේතුව නිසාම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සිදු නොකරයි.

මේ අනුව, අධිකරණය විසින් සලකා බැලිය යුතු වූයේ මෙම නීතියේ උපකාරයෙන් බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් හා අනෙකුත් බැඳුම්කරහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් බැහැර කිරීම සඳහා තර්කානුකූල හේතු තිබේද යන්නයි.

මහ බැංකු අධිපති විසින් අධිකරණය වෙත කර ඇති කරුණු දැක්වීම අනුව විශාල විනාශයක් වලක්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු වන අතර පෙත්සම්කරුවන් විසින් මෙය නොපිළිගනිමින් කරුණු ඉදිරිපත් කර නැහැ. මෙම කරුණු අප විසින් පෙර විස්තර කර ඇති රටේ ආර්ථික අර්බුදය පිළිබඳ සවිස්තරාත්මක කරුණු බැවින් මා මෙම කරුණු නැවත විස්තර කරන්නේ නැහැ.

බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් හා අනෙකුත් බැඳුම්කරහිමියන් මත පැටවෙන බර සුදුසුකම් ලත් අරමුදල් මත පැටවෙන බර හා සසඳමින් ලංකා බැංකුව විසින් පහත කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කාර පාර්ශ්ව වෙතින් මෙම කරුණු වලට ප්‍රතිපක්ෂව කරුණු ඉදිරිපත් කිරීමක් සිදු වී නැහැ. 

බැංකු වලට සිදුව ඇති හා සිදු වන පාඩුව:

-බැංකු විසින් දැනටමත් 50% ඉක්මවන බදු ගෙවයි. මේ අනුව, බැංකු වල ලාබයෙන් එම බැංකු විසින් ලබා ගන්නා ලාබයටද වඩා වැඩි කොටසක් රජය විසින් දැනටමත් ලබා ගනී. 

-මේ හරහා බැංකු විසින් රජයේ රාජ්‍යමූල්‍ය ස්ථායීකරණ වැඩ පිළිවෙළට සහාය වී ඇත.

-මහ බැංකුවේ නියමය මත වසංගත සමයේදී බැංකු විසින් ණයහිමියන්ට ණය ආපසු ගෙවන කාලය කල් දමන්නට ඉඩ දී ඇත. 

-බැංකු වල ආපසු නොලැබෙන ණය අනුපාතය විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඒ නිසා, සුළු වෙනසකින් රටේ මූල්‍ය ස්ථායීත්වය බිඳ වැටිය හැකියි.

-බැංකු පද්ධතිය හොඳින් ක්‍රියාත්මක නොවුනහොත් රටේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමද අපහසු වේ.

-රටේ බැංකු ගිණුම් මිලියන 57.2ක් ඇති අතර එම බැංකු ගිණුම් වල ඇති අරමුදල් සුරක්ෂිතව පවත්වා ගැනීම ඉතා වැදගත්ය.

-බැංකු පද්ධතිය බිඳ වැටුනොත් සිදු වන්නේ ඉතා විශාල විනාශයකි.

-සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසාත්, ඉදිරියේදී ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසාත්, බැංකු වලට විශාල පාඩුවක් සිදු වේ.

ප්‍රාථමික අලෙවිකරුවන් සහ අනෙකුත් සමාගම්:

-මොවුන් දැනටමත් 30%ක ආදායම් බද්දක් ගෙවයි. ඒ හරහා, රජයේ රාජ්‍යමූල්‍ය ස්ථායීකරණ වැඩ පිළිවෙළට සහාය වී ඇත.

-ඔවුන් සතු මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 153ක් පමණක් වන අතර රක්ෂණ සමාගම් සතුව තවත් රුපියල් බිලියන 322ක බැඳුම්කර ඇත. මෙම ප්‍රමාණය රුපියල් බිලියන 8,722ක මුළු බැඳුම්කර ප්‍රමාණයට සාපේක්ෂව සුළු ප්‍රමාණයක් වුවත් එම ප්‍රමාණය ආයතන 380ක් අතර බෙදී ගොස් ඇත. මෙම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ණය සේවා අවශ්‍යතාවයට සිදුවන නොගිණිය හැකි තරමේ බලපෑමට සාපේක්ෂව අදාළ පරිපාලන කටයුතු වෙනුවෙන් විශාල කාලයක් යොදවන්නට සිදුවන නිසා මෙම කණ්ඩායම් ඇතුළත් කර ගැනීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වේ. එම ප්‍රමාදය නිසා සිදු වන අවාසියට සාපේක්ෂ ලැබෙන වාසිය ප්‍රමාණවත් නැත. 

-එමෙන්ම, ආර්ථිකය සංකෝචනය වීම නිසා ඉහත සමාගම් වලටද සැලකිය යුතු පාඩුවක් සිදු වී ඇත.

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාර අරමුදල:

-දැනට ගෙවන්නේ 14%ක බද්දක් පමණයි.

-මෙම අරමුදල් වල ඇති තැන්පතු ක්ෂණිකව ඉවත් කරගැනීමේ අවදානම නීති මගින් වලක්වා ඇති නිසා ද්‍රවශීලතා අවදානමක් නැත.

-මෙම අරමුදල් ස්වෛරිත්ව බැඳුම්කර වල හෝ සංවර්ධන බැඳුම්කර වල ආයෝජනය කර නොමැති බැවින් එම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාඩුවක් සිදු නොවේ. 

මෙම සංසන්දනයන්ට හා තොරතුරු එරෙහිව පෙත්සම්කාර පාර්ශ්ව විසින් කරුණු ඉදිරිපත් කිරීමක් කර නැහැ. ඒ අනුව, "සුදුසුකම් ලත් අරමුදල්" වලට වෙනස් ලෙස සැලකීම සඳහා රජයට තර්කානුකූල හේතු ඇති බවත්, එසේ කිරීමෙන් ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් අධිකරණයේ මතයයි.

From the foregoing reasons that we have adumbrated in the determination, we proceed to hold that neither the Bill nor any of its provisions is inconsistent with Article 12 or any provisions of the Constitution. 

වෙබ් ලිපිනය: