ගෙවුණු ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව පෙනී යන පරිදි 2026 තුන් වන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය මහ බැංකුවේ උද්ධමන ඉලක්කය වන 5% ඉක්මවා යාමෙන් පසු, එහි උපරිම විචලන සීමාව වන 7% මට්ටමද ඉක්මවා යාමේ අවදානමක් දකින්නට තිබෙනවා. කෙසේ වුවද, මහ බැංකුව විසින් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් දිගුකාලීනව උද්ධමනය 5% මට්ටම දක්වා අඩු වීමට නියමිතයි.
Friday, July 31, 2026
උද්ධමනය 7% සීමාවෙන් ඉහළට!
ගෙවුණු ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව පෙනී යන පරිදි 2026 තුන් වන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය මහ බැංකුවේ උද්ධමන ඉලක්කය වන 5% ඉක්මවා යාමෙන් පසු, එහි උපරිම විචලන සීමාව වන 7% මට්ටමද ඉක්මවා යාමේ අවදානමක් දකින්නට තිබෙනවා. කෙසේ වුවද, මහ බැංකුව විසින් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් දිගුකාලීනව උද්ධමනය 5% මට්ටම දක්වා අඩු වීමට නියමිතයි.
Tuesday, June 30, 2026
උද්ධමනය 6.8% දක්වා ඉහළට!
ගෙවුණු ජූනි මාසයේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන ලංකාවේ නිල උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2026 දෙවන කාර්තුවේ (අප්‍රේල්, මැයි හා ජූනි) සාමාන්‍ය උද්ධමනය 5.9%ක් ලෙස වාර්තා වෙනවා. මහ බැංකුව විසින් රජය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව, කාර්තුවක සාමාන්‍ය උද්ධමනය 5.0% මට්ටමේ තබා ගැනීමට ඉලක්ක කළ යුතු අතර, එම අගය 3%-7% සීමාව තුළ රඳවා ගත යුතුයි.
උද්ධමනය 6.8% දක්වා ඉහළ යාමට ප්‍රධානම හේතුව ඉන්ධන මිල ඉහළ යාම සහ ඒ හේතුවෙන් සිදුව ඇති ප්‍රවාහන සේවා ගාස්තු, විදුලි ගාස්තු ආදියේ ඉහළ යාම වුවත්, පොදුවේ මිල ගණන් ඉහළ යාමද නොසලකා හැරිය නොහැකියි. පැට්‍රෝල්, ඩීසල්, භූමිතෙල්, LP ගෑස් හා විදුලි ගාස්තු ඉහළ යාම 6.77%ක උද්ධමනයෙන් 2.93%කට දායක වී තිබෙනවා. මේ වන විට ඉන්ධන මිල ගණන් අඩු කර ඇති බැවින්, උද්ධමනය තව දුරටත් ඉහළ යාමේ අවදානමක් පෙනෙන්නට නැතත්, ඉදිරි මාසය තුළද 5% සීමාවෙන් ඉහළ රැඳී තිබිය හැකියි.
Thursday, April 30, 2026
උද්ධමනය - අප්‍රේල් 2026
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 අප්‍රේල් මාසයේ උද්ධමනය 5.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 2.8% මට්ටමේ පැවතියද, ආහාර නොවන උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ යාම මෙයට ප්‍රධානම හේතුව සේ සැලකිය හැකි අතර ඉන්ධන මිල ඉහළ යාම පොදුවේ ප්‍රවාහන ගාස්තුද ඉහළ නංවා තිබෙනවා.
අප්‍රේල් මාසය තුළ පමණක් සමස්ත මිල මට්ටම 3.0%කින් ඉහළ ගොස් ඇති අතර, ඉතිරි 2.4% පෙර මාස 11ක කාලය තුළ සිදු වූ මිල ඉහළ යාමයි. දැනට පවතින ලෝක යුද වාතාවරණය තුළ ලංකාවේ ඉන්ධන හා විදුලි ගාස්තු තව දුරටත් ඉහළ යාමේ විභවයක් මිස අඩු වීමේ නැඹුරුවක් නොපෙනෙන බැවින් කෙටිකාලීනව උද්ධමනය තව දුරටත් ඉහළ යා හැකියි.
Tuesday, March 31, 2026
අටවන වරටත් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහේ!
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 මාර්තු මාසයේ උද්ධමනය 2.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2026 පළමු කාර්තුවේ සාමාන්‍ය උද්ධමන වේගය 2.0%ක් සේ සටහන් වෙනවා.
ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව අතර තිබෙන ගිවිසුම අනුව, මහ බැංකුව විසින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 3%-7% සීමාව ඇතුළත රඳවා ගනිමින් 5%ක සාමාන්‍ය උද්ධමන වේගයක් ඉලක්ක කළ යුතුයි. මෙම උද්ධමන ඉලක්කය පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කාර්තුවකට (මාස තුනකට) වරක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර 2023 ඔක්තෝබර් 3 දින මේ හා අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මහ බැංකුවට ඉලක්කය තුළ රැඳී සිටින්නට හැකි වූයේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සිට 2026 පළමු කාර්තුව දක්වා එක දිගට කාර්තු අටක්ම මහ බැංකුවට රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වූයේ නැහැ.
මෙහිදී සිදු වූයේ උද්ධමනය එකඟ වූ ඉලක්ක සීමාව ඉක්මවා යාම නොව ඉලක්කයට වඩා පහතින් පැවතීමයි. 2026 පළමු කාර්තුවේදීද උද්ධමන ඉලක්කය ගිලිහී ඇති බැවින් මහ බැංකුවට නැවත වරක් රජයට කරුණු දැක්වීමට සිදු වෙනවා.
මහ බැංකුවට දෙවසරක කාලයක් පුරා රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට නොහැකි වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඉන්ධන සහ විදුලි ගාස්තු ආදියේ මිල රජය විසින් පහත හෙළීමයි. අනෙක් ප්‍රධාන හේතුව වූයේ ඩොලරයක මිල පහත වැටීමයි.
මේ වන විට ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු වී ඇති බැවින් සහ ඩොලරයක මිලද ඉහළ යමින් ඇති බැවින්, උද්ධමනයේද වැඩි වීමක් සිදු වෙමින් තිබෙනවා. ඒ අනුව, 2026 දෙවන කාර්තුව තුළ මහ බැංකුවට සිය උද්ධමන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට හැකි වේයැයි සිතිය හැකියි.
පසුගිය මාර්තු මාසය තුළ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇතත්, සහල්, පොල්, එළවලු වැනි ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල පහත වැටීම හේතුවෙන් උද්ධමනය කෙරෙහි සිදු විය හැකිව තිබුණු ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් සැලකිය යුතු කොටසක් නිශේධනය වී තිබෙනවා.
Wednesday, December 31, 2025
උද්ධමනය හා ජංගම ගිණුම
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1%ක් ලෙස වාර්තා වෙනවා. ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදීද උද්ධමනය පැවතුනේ 2.1% ලෙසයි. ඒ අනුව, වසරේ අවසන් කාර්තුවේ සාමාන්‍ය අගයද 2.1%ක්. මේ අනුව, සුළි කුණාටුවේ බලපෑමෙන් පසුවද, උද්ධමනය තවමත් මහ බැංකුවේ ඉලක්ක පරාසයේ අවම සීමාව වන 3%ට වඩා අඩු අගයක්.
සුළි කුණාටුවේ බලපෑම නිසා ආහාර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණද, උද්ධමනයෙහි වෙනසක් නොවීමට ප්‍රධාන හේතු දෙකක් බලපා තිබෙනවා. එයින් පළමුවැන්න වන්නේ ආහාර මිල ගණන් දෙසැම්බර් මාසය තුළ 3.9%කින් ඉහළ ගොස් තිබුණද, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ වල මිල මාසය තුළ සමස්තයක් ලෙස නොවෙනස්ව තිබීමයි. දෙවන හේතුව වන්නේ පසුගිය 2024 දෙසැම්බර් මාසයේදීද ආහාර මිල ගණන් 3.9%කින් ඉහළ යාමයි. උද්ධමනය ගණනය කරන්නේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව බැවින්, මෙම දෙසැම්බර් මාසය තුළ ආහාර මිල ඉහළ යාමේ බලපෑමද නිශේධනය වී තිබෙනවා. ඒ අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති මට්ටමේම නැවතී තිබෙනවා.
මේ අනුව පෙනී යන්නේ සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව වුවද උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නොමැති බවයි. කෙටිකාලීනව එවැනි ප්‍රශ්නයක් නැතත්, මුදල් සැපයුම ප්‍රසාරණය වෙමින් පවතින ආකාරය අනුව, මහ බැංකුවට උද්ධමන අවදානම ගැනද සැලකිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මේ ගැන පසුව වෙනම ලිපියක කතා කරමු.
තවත් යහපත් ප්‍රවණතාවක් වන්නේ මාස දෙකක් එක දිගටම සෘණ අතට හැරී තිබුණු ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරී තිබීමයි. නොවැම්බර් මාසය තුල ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 82ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, ජංගම ගිණුමේ නොවැම්බර් දක්වා මාස එකොළහක ශේෂය ඩොලර් මිලියන 1,677.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වාහන ආනයන වෙනුවෙන් නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 281ක් වැය වී ඇති අතර, වසරේ පළමු මාස එකොළහක කාලය ඇතුළත ඩොලර් මිලියන 1,746ක් වැය වී තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන දෙක ඉක්මවා යා හැකි බවයි. මුලින් ඇස්තමේන්තු කර තිබුණේ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් බිලියනයක් පමණ අවශ්‍ය වනු ඇති බවයි.
විදේශ අංශය, විශේෂයෙන්ම විදේශ සංචිත, මුලින් අපේක්ෂා කළ ඉලක්ක වලට සාපේක්ෂව අයහපත් මට්ටමක තිබීමටත්, රාජ්‍ය ආදායම් මුලින් සිදු කළ ඇස්තමේන්තු සැලකිය යුතු ලෙස ඉක්මවා යාමටත් හේතු වී තිබෙන්නේ මේ අයුරින් වාහන ආනයන සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. ඉදිරි වසර තුළ වාහන ආනයන සාමාන්‍ය මට්ටමක් දක්වා අඩු වෙද්දී රාජ්‍ය ආදායම් කෙරෙහි වූ සාධනීය බලපෑම මෙන්ම විදේශ අංශය කෙරෙහි වූ නිශේධනීය බලපෑමද ආපසු හැරීමට නියමිතයි.
වසර අවසාන වීමට තවත් දින දෙකක් තිබියදී සංචාරක පැමිණීම් ප්‍රමාණය 2,344,978ක් ලෙස වාර්තා වෙනවා. මෙම ගණන මෙතෙක් වසරකදී වාර්තා වී ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. නොවැම්බර් මාසය තුල සංචාරකයින් 212,906 දෙනෙකු රටට පැමිණ ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රටට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 184,158 දෙනෙකු පමණයි. සංචාරකයින් ප්‍රමාණයේ මෙවැනි වර්ධනයක් දැකිය හැකි වුවද, එමගින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 272.9ක මුදලට සාපේක්ෂව, පසුගිය නොවැම්බර් මාසය තුළ ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 251.6ක් පමණයි. දෙසැම්බර් මාසයේ තත්ත්වයද බොහෝ විට මෙවැන්නක් විය හැකියි.
සංචාරක ආදායම් වල පමණක් නොව මුහුදු හා ගුවන් ප්‍රවාහන සේවා සහ පරිගණක සේවා සැපයීම් වැනි අනෙකුත් සේවා ආදායම් වලද පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩුවක් දකින්නට පුළුවන්. එසේ තිබියදී වුවද, ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු ඉහළ යාම සහ භාණ්ඩ අපනයන ආදායම් ඉහළ යාම ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරවීමට උදවු කර තිබෙනවා.
පසු ගිය ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව දැනට සිදුවන ප්‍රධානම සහ වැදගත්ම වෙනස වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව ඩොලරයක මිල ඉහළ යාමට බාධා නොකරමින් ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීමයි. එය දිගටම එලෙස සිදු වන්නේනම් විදේශ අංශයේ අර්බුදයක් ඇති වීමට හේතුවක් නැහැ.
ඉදිරි වසරේදී නැවත හමු වෙමු. අප හා රැඳී සිටින ඔබ සැමට සුබ නව වසරක්!
Thursday, September 4, 2025
මහ බැංකුවක කාර්ය භාරය
මෙම ලිපි මාලාවෙහි පෙර ලිපි තුනෙහි විස්තර කළ වැදගත් කරුණු කිහිපයක් සාරාංශගත කළහොත්, පළමුව, මුදල් සැපයුම, ඉතා පැහැදිලි ලෙසම, උද්ධමනය හෝ අවධමනය කෙරෙහි බලපාන නමුත් එම සම්බන්ධය නිශ්චිත ගණිතමය සම්බන්ධයක් ලෙස ඉදිරිපත් කිරීම සියයට සියයක්ම සාර්ථක කාර්යයක් නෙමෙයි. මේ සම්බන්ධය ආකෘතිගත කිරීම පිණිස කාලයක් තිස්සේ මුදල් ප්‍රමාණ සමීකරණය ප්‍රචලිතව උපයෝගී කරගෙන ඇති නමුත් ප්‍රායෝගිකව එහි සීමාවන් ගණනාවක් තිබෙනවා.
දෙවනුව, මුදල් සැපයුම යන සංකල්පය ප්‍රායෝගිකව අර්ථදැක්වීම එන්න එන්නම වඩා අසීරු වෙමින් තිබෙනවා. ඊට හේතුව, ගෙවීම් සිදු කරන ක්‍රමවේදයන්හි මෑතකාලීනව වේගවත් පරිවර්තනයන් සිදු වී තිබීමයි. මේ තත්ත්වය තුළ ඉහත සම්බන්ධය තවත් දුර්වල වී තිබෙනවා. ජාත්‍යන්තර ගනුදෙනු ඉහළ යාම මේ තත්ත්වය තවත් සංකීර්ණ කර තිබෙනවා.
තෙවනුව, මුදල් සැපයුම කෙරෙහි මහ බැංකුවේ සෘජු බලපෑම කාලයත් සමඟ ක්‍රමක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතිනවා. වත්මන් සන්දර්භයෙහි මුදල් සැපයුම බොහෝ දුරට තීරණය වන්නේ මහ බැංකුවෙන් බැහැර වෙළඳපොළ තුළයි.
පහත තිබෙන්නේ පසුගිය (2024) වසර අවසානයේදී ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙහි (M2b) සංයුතියයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කිරීම පිණිස ඉලක්ක කිරීමට උත්සාහ කරන මුදල් සැපයුම පිළිබඳ නිර්ණායකය වන්නේද, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ විචලනයන් හා වැඩිම සම්බන්ධයක් පෙන්වන්නේද මෙම M2b පුළුල් මුදල් සැපයුමයි. සියලුම අගයන් රුපියල් බිලියන වලින්.
ව්‍යවහාර මුදල් - 1,051.3 (7.3%)
ජංගම ගිණුම් තැන්පතු - 874.5 (6.1%)
ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු - 12,396.1 (86.6%)
එකතුව - 14,321.7 (100.0%)
වත්මන් සන්දර්භයේදී මේ ඕනෑම වර්ගයක මුදල් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකියි. මෙම මුදල් වර්ග අතරින් මහ බැංකුවට ඒකාධිකාරයක් තිබෙන්නේත්, මහ බැංකුව විසින් සෘජුව නිකුත් කර තිබෙන්නේත්, ව්‍යවහාර මුදල් පමණයි. එහෙත් එම ප්‍රමාණය පුළුල් මුදල් සැපයුමෙන් 7.3%ක් පමණයි. මුදල් සැපයුමෙන් 92.7%ක්ම ගොඩ නැගී තිබෙන්නේ බැංකු පද්ධතිය හා ඔවුන්ගේ පාරිභෝගිකයින් අතර සිදු වන අන්තර්ක්‍රියා වලින්.
ලෝකයේ බොහෝ රටවල මෙන්ම ඇමරිකාව තුළද ව්‍යවහාර මුදල් භාවිතය බෙහෙවින්ම අඩු වී ඇතත්, ඩොලර් නෝට්ටු ලෝකය පුරාම ගනුදෙනු සඳහා භාවිතා කෙරෙන බැවින්, ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ මෙම අනුපාතය තරමක් වැඩියි. ව්‍යවහාර මුදල් ප්‍රමාණය (2024 අවසානයේදී) ඇමරිකාවේ M1 මුදල් සැපයුමෙන් 12.8%ක් වූ අතර, M2 මුදල් සැපයුමෙන් 10.9%ක්ව පැවතුණා.
චීනය මේ වන විට ව්‍යවහාර මුදල් භාවිතයෙන් බොහෝ දුරට ඈත්ව සිටින රටක්. එරට ඉහත අනුපාතය 4.1%ක් පමණයි. ව්‍යවහාර මුදල් භාවිතයෙන් මුළුමනින්ම මෙන් ඈත් වී ඇති ස්වීඩනයේ මෙම අනුපාතය 1.1%ක් පමණයි. තවමත් ව්‍යවහාර මුදල් ගණුදෙනු වැඩිපුර සිදු වන ඉන්දියාවේ වුවද මෙම අනුපාතය 13.6%ක්. මේ අනුව, ලංකාවේ මෙන්ම ලෝකයේද, ව්‍යවහාර මුදල් භාවිතය පිළිබඳ වත්මන් තත්ත්වය අවබෝධ කර ගැනීම අපහසු කරුණක් නෙමෙයි.
මහ බැංකුව විසින් සංසරණයට එකතු කර තිබෙන මුදල් ප්‍රමාණය ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙන් 7.3%ක් පමණක්නම්, ඉතිරි 92.7% නිර්මාණය වූයේ කෙසේද? මෙය සිදුව තිබෙන්නේ වාණිජ බැංකු සහ ඔවුන්ගේ පාරිභෝගිකයින් අතර සිදු වන ගනුදෙනු හරහා සිදුව තිබෙන මුදල් මැවීමේ ක්‍රියාවලිය තුළිනුයි. වෙනත් රටක් සැලකුවද තත්ත්වය මෙවැන්නක්. මහ බැංකු මැදිහත් වී නියාමනයක් සිදු නොකරන්නේනම් මේ මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා මුදල් සැපයුම අසීමිත ලෙස ඉහළ යා හැකියි. ඊට අනුරූපව උද්ධමනයද ඉහළ යා හැකියි.
මුදල් ප්‍රමාණ සමීකරණය වෙත නැවත පිවිසියහොත්, අදාළ සම්බන්ධය මෙවැන්නක් බව අප දන්නවා.
උද්ධමනය = මුදල් සැපයුමේ වර්ධන වේගය - අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධන වේගය
කිසියම් රටක උද්ධමනය 10%ක් හෝ ඊට වඩා අඩු මට්ටමක තිබේනම්, එයට මුදල් සැපයුම වර්ධනය වීමේ බලපෑම මෙන්ම මූර්ත ආර්ථික වර්ධනයේ බලපෑමද දායක වන ආකාරය පැහැදිලිව පෙනෙනවා. එමෙන්ම, එම මට්ටම නොඉක්මවන උද්ධමනයකට මුදල් ප්‍රවේගය වෙනස් වීම වැනි කරුණුද බලපෑ හැකියි. එහෙත්, රටක මූර්ත ආර්ථික වර්ධන වේගය 10% මට්ටම ඉක්මවන්නේ කලාතුරකින්. මුදල් ප්‍රවේගය විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, කිසියම් රටක අධි උද්ධමන තත්ත්වයක් ඇත්නම් එයට මුළුමනින්ම මෙන් හේතු වී තිබෙන්නේ මුදල් සැපයුමේ වර්ධනය බව තේරුම් ගන්න අපහසු නැහැ.
අධි උද්ධමනයක් (hyper inflation) සේ සැලකෙන්නේ සාමාන්‍ය මිල මට්ටම මාසයක් තුළ 50% ඉක්මවා යන තත්ත්වයක්. මෙය 12875%ක වාර්ෂික උද්ධමනයකට සමානයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් 70% මට්ටමේ උද්ධමනය ඉහළ උද්ධමනයක් වුවත් අධි උද්ධමනයක් නෙමෙයි. එය 12875% සීමාවට කිට්ටුවෙන්වත් යන්නේ නැහැ.
උද්ධමනය මෙවැනි අධි උද්ධමන මට්ටමකට යාමේදී මූර්ත ආර්ථික වර්ධන වේගය හෝ මුදල් ප්‍රවේගයේ වෙනස්වීම වැනි කරුණු වලින් ඒ සඳහා සිදු කෙරෙන බලපෑම නොසලකා හැරිය හැකි තරම් අඩුයි. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීමේදී අවධානය යෙදිය යුතු එකම සාධකය මුදල් සැපයුමේ වර්ධනයයි. එහෙත්, උද්ධමනය තනි අංකයක පවත්වා ගැනීමේ උත්සාහයකදී මුදල් සැපයුමේ වර්ධනය දෙස පමණක් බලමින් එය කළ නොහැකියි.
සිම්බාබ්වේ හා වෙනිසියුලාව වැනි රටවල මෑත වකවානු වලදී අධි උද්ධමන තත්ත්වයන් ඇති වූයේ එම රටවල මහ බැංකු තිබියදීයි. එහෙත්, මහ බැංකු විසින් සිය වගකීම නිසි ලෙස ඉටු නොකිරීම මහ බැංකු ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ බොහොමයක් මහ බැංකු විසින් උද්ධමනය සාර්ථක ලෙස පාලනය කරමින් තමන්ගේ මුදල් ඒකක පිළිබඳ විශ්වාසය නඩත්තු කිරීමට සමත්ව තිබෙනවා.
පුළුල් මුදල් සැපයුමෙහි සංයුතිය දෙස බැලූ විට, පහසුවෙන්ම, උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩු වන්නේය යන තර්කය බිඳ දමන්න පුළුවන්. උද්ධමනයක් ඇත්නම්, පුළුල් මුදල් සැපයුමෙහි ව්‍යවහාර මුදල් කොටසේ මූර්ත වටිනාකම අඩු වෙනවා. එහෙත් එම කොටස පුළුල් මුදල් සැපයුමෙන් 7.3%ක් පමණයි. මෙම පංගුවද ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. ව්‍යවහාර මුදල් භාවිතය නුදුරු කලකින් ලෝකයෙන් අතුරුදහන් වීමට නියමිතව ඇති දෙයක්. ස්වීඩනය වැනි ඇතැම් රටවල ව්‍යවහාර මුදල් භාවිතයක් ඇත්තේම නැහැ.
ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙන් 86.6%ක්ම පවතින්නේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු ලෙසයි. ජංගම ගිණුම් කොටස 6.1%ක්. මා දන්නා තරමින් ලංකාවේ බැංකු ජංගම ගිණුම් වෙනුවෙන් පොලී ගෙවීමක් සිදු කරන්නේ නැහැ. එහෙත් ලෝකයේ වෙනත් රටවල් වල මේ වන විට මේ තත්ත්වයද වෙනස් වී තිබෙනවා. ජංගම ගිණුම් ශේෂද ඇතුළුව, ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙන් 12.4%ක වටිනාකම උද්ධමනය හේතුවෙන් අඩු වන්නේයැයි සැලකුවද, ඉතිරි 86.6% කොටසට මේ තර්කය අදාළ වන්නේ නැහැ. එය තීරණය වන්නේ උද්ධමනය ඉක්මවන පොලී අනුපාතයක් මෙම තැන්පතු වෙනුවෙන් ලැබෙන්නේද යන්න මතයි.
ඉතිරි කිරීම් වෙනුවෙන් උද්ධමනය ඉක්මවන පොලී අනුපාතයක් ලැබේනම්, උද්ධමනය කොපමණ වුවද, අවසාන වශයෙන් සිදු වන්නේ මුදල් වල වටිනාකම ඉහළ යාමයි. ලංකාවේ මුදල් සැපයුමෙන් 86.6%ක් හා අදාළවම තත්ත්වය මෙයයි. ඕනෑම අයෙකුට තමන්ගේ ද්‍රවශීල වත්කම් වලින් ව්‍යවහාර මුදල් ලෙස තබා ගන්නා කොටස ස්වාධීනව තීරණය කළ හැකි බැවින් උද්ධමනයේ හානිය පහසුවෙන්ම වලක්වා ගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස මේ වන විට ලංකාවේ උද්ධමනය 1.2%ක්. එයින් අදහස් වන්නේ ව්‍යවහාර මුදල් වල හා ජංගම ගිණුම් තැන්පතු වල වටිනාකම වසරකට 1.2%කින් අඩු වන බවයි. එහෙත්, සාමාන්‍ය අගයක් ලෙස, තැන්පතු පොලිය 6.24%ක්. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයුමේ එම කොටසේ වටිනාකම 5.04%කින් ඉහළ යන බවයි. මේ අනුව, සමස්ත ප්‍රතිඵලය කුමක්ද?
මුදලේ වටිනාකම වෙනස් වීම = 5.04%*86.6% - 1.2%*13.4% = 4.2%
කෙසේ වුවද, මේ තර්කය මගින්, උද්ධමනය හමුවේ ඕනෑම අවස්ථාවක මුදලේ වටිනාකම ඉහළ යන බවක් අදහස් කෙරෙන්නේ නැහැ. එය තීරණය වන්නේ මූර්ත පොලී අනුපාතිකය මතයි. මූර්ත පොලී අනුපාතිකය යනු පොලී අනුපාතික සහ උද්ධමනය අතර වෙනසයි.
මූර්ත පොලී අනුපාතිකය සෘණ අගයක්නම්, ඒ කියන්නේ, පොලී අනුපාතිකය උද්ධමනයට වඩා අඩුනම්, උද්ධමනය නිසා සිදු වන හානිය ප්‍රතිපූරණය කර ගැනීමේ හැකියාවක් පුද්ගලයෙකුට නැහැ. ඒ නිසා, මුදලේ වටිනාකම පවත්වා ගැනීම සඳහා, වත්මන් මහ බැංකුවක් විසින් කළ යුත්තේ මූර්ත පොලී අනුපාතික අවශ්‍ය තරම් ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි. මහ බැංකු විසින් ඇත්තටම කරන්නේද එයයි.
මුදල් සැපයුම සීමා කිරීම මගින් මහ බැංකුවකට මූර්ත පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ සැලැස්විය හැකියි. කෙසේ වුවද, නාමික පොලී අනුපාතික මෙන්ම උද්ධමනයද තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටත වෙළඳපොළ තුළයි. මහ බැංකුවකට කළ හැක්කේ නියාමකයෙකු හා මැදිහත්කරුවෙකු ලෙස ඒ මත බලපෑමක් කිරීම පමණයි.
උද්ධමනය තීරණය වන්නේ මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම මතයි. මුදල් ඉල්ලුම තීරණය කරන්නේ සමස්තයක් ලෙස රටේ සියලුම පුද්ගලයින් හා ආයතන විසිනුයි. මුදල් සැපයුමෙන් වැඩි කොටසක් තීරණය කරන්නේද වාණිජ බැංකු විසිනුයි. මහ බැංකුවට සෘජුව පාලනය කළ හැක්කේ ව්‍යවහාර මුදල් කොටසයි. ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් සැපයුමෙහි තවත් කොටසක් පාලනය කළ හැකියි. මෙම දෙවන ක්‍රමයද ලෝකය විසින් ක්‍රමයෙන් බැහැර කරමින් යන, වෙළඳපොළ මත පදනම් නොවන, දැඩි නියාමන ක්‍රමයක්. ඇමරිකාව මේ වන විට සංචිත අවශ්‍යතාවය මුළුමනින්ම ඉවත් කර ඇති අතර, ලංකාවේ වුවද මෙම අනුපාතය 2%ක් පමණයි.
සංචිත මුදල් ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුව විසින් නිකුත් කර ඇති ව්‍යවහාර මුදල් ප්‍රමාණයේ සහ මහ බැංකුව විසින් තබා ගෙන ඇති වාණිජ බැංකු වල අරමුදල් ප්‍රමාණයේ එකතුවයි. 2024 අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණයම M2b පුළුල් මුදල් සැපයුමෙන් 10.7%ක් පමණයි.
මුදල් ඉල්ලුම තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටතදීනම් සහ මුදල් සැපයුමෙන් 90%ක් පමණම තීරණය වන්නේද මහ බැංකුවෙන් පිටතදීනම්, පොලී අනුපාතික තීරණය වන්නේද මහ බැංකුවෙන් පිටත වෙළඳපොළ තුළ බව පැහැදිලි විය යුතුයි. මහ බැංකුවට සිදු කළ හැක්කේ එක් සැපයුම්කරුවෙකු ලෙස මෙම වෙළඳපොළ මිල මත බලපෑම් කිරීම පමණයි.
මෙය සමාන කළ හැක්කේ වී සංචිතයක් තබා ගෙන එහි උදවුවෙන් රජය විසින් සහල් මිල මත බලපෑම් කිරීම වැනි දෙයකටයි. රජයට බලපෑමක් කළ හැකි වුවත්, අවසාන වශයෙන් මිල තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. කෙසේ වුවද, වී සංචිතය අවසන් වෙද්දී රජයට මෙසේ වෙළඳපොළට බලපෑම් කිරීමේ හැකියාව නැති වෙනවා. එහෙත්, මහ බැංකුවට පහසුවෙන්ම අලුතෙන් මුදල් සංසරණයට එකතු කළ හැකි බැවින් මෙවැනි සීමාවක් නැහැ.
මුදල් සංසරණයට එකතු කිරීම මගින් මහ බැංකුවට මුදල් සැපයුම මත කොපමණ බලපෑමක් කළ හැකිද?
මුදල් ඉල්ලුම අනුව, මහ බැංකුවෙන් පිටත පාර්ශ්වයන් විසින් මුදල් සැපයුමෙහි ඔවුන්ගේ පංගුව 20%කින් වැඩි කිරීමට දායක වන්නේයයි සිතමු. ඔවුන්ගේ මෙම පංගුව 90%ක් සේ සැලකුවහොත්, මේ හේතුවෙන් මුදල් සැපයුම 18%කින් ඉහළ යනවා. මහ බැංකුව විසින් මහ බැංකුවේ කොටසද 20%කින් වැඩි කළහොත්, මුදල් සැපයුම 20%කින් ඉහළ යනවා. ඒ කියන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ මහ බැංකුවට කළ හැක්කේ සංචිත මුදල් සැපයුම පාලනය කර ගැනීම මගින් මුදල් සැපයුම වර්ධනය වන වේගය 20% සිට 18% දක්වා අඩු කිරීම පමණයි. මේ අනුව, සංචිත මුදල් සැපයුම පාලනය කර ගැනීම මගින් පමණක් මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීම සඳහා ඇති හැකියාවේ සීමාවද හඳුනා ගන්න පුළුවන්.
අනෙක් අතට රටේ මුදල් ඉල්ලුම වෙනස් නොවන සහ මහ බැංකුවෙන් පිටත පාර්ශ්වයන් විසින් මුදල් සැපයුමෙහි ඔවුන්ගේ පංගුව නොවෙනස්ව තබා ගන්නා තත්ත්වයක් සලකා බලමු. මෙවැනි තත්ත්වයක් තුළ, මහ බැංකුව විසින් සංචිත මුදල් ප්‍රමාණය 40%කින් වැඩි කළහොත්, පුළුල් මුදල් සැපයුම මත එයින් සිදුවන බලපෑම කුමක්ද? එය 4%ක් පමණයි. ඒ නිසා, මෙවැනි තත්ත්වයක් යටතේ සංචිත මුදල් සැපයුම 40%කින් ඉහළ ගියද, එයින් උද්ධමන තත්වයක් අනිවාර්යයෙන්ම ඇති වන්නේ නැහැ.
ඇමරිකාව වෙත ගියොත්, 2008 ජූනි මාසය අවසන් වන විට සංචිත මුදල් සැපයුම ඩොලර් බිලියන 840.2ක්. 2021 දෙසැම්බර් වන විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 6,413.1 දක්වා ඉහළ ගිහින්. වසර 13.5ක කාලයක් තුළ 7.63 ගුණයක වර්ධනයක්. සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 16.24%ක්. එහෙත් මෙම කාලය තුළ පුළුල් මුදල් සැපයුම වර්ධනය වී තිබෙන්නේ 2.82 ගුණයකින් පමණයි. මෙය 8.0ක වාර්ෂික වර්ධන වේගයක්.
ඉහත වසර 13.5ක කාලය තුළ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් තිබෙන්නේ, සමස්තයක් ලෙසම, 29.1%කින් පමණයි. මෙය 1.91%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක්. ඇමරිකාවේ මහ බැංකුව එරට හා රටින් පිටත ඩොලර් භාවිතා කරන පුද්ගලයින්ට දැනුම් දී තිබෙන්නේ උද්ධමනය සාමාන්‍ය අගයක් ලෙස 2% ආසන්නව පවත්වා ගන්නා බවයි. සංචිත මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධන වේගය 16.24%ක් වුවද, ෆෙඩරල් සංචිත බැංකුව විසින් අදාළ කාලය තුළ උද්ධමනය සාමාන්‍ය අගයක් ලෙස පොරොන්දු වූ මට්ටම ආසන්නයේ පවත්වාගෙන ගොස් තිබෙනවා. අවසාන වශයෙන් අවශ්‍ය වන්නේ එයයි.
මෙසේ මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධන වේගය සහ සාමාන්‍ය උද්ධමනය අතර විශාල වෙනසක් තිබීමෙන් පැහැදිලිව පෙනෙන්නේ උද්ධමනය තීරණය කරන එකම නිර්ණායකය සංචිත මුදල් සැපයුමේ වර්ධනය නොවන්නාක් මෙන්ම මුදල් සැපයුමේ වර්ධනයද නොවන බවයි. මෙය විචල්‍ය ගණනාවක් මත තීරණය වන්නක්.
සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳව සාමාන්‍ය ජනයා දැනුවත්ව සිටිය යුතු වුවත්, ප්‍රායෝගිකව ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී එවැනි දැනුවත් භාවයන් ඉක්මවා යන විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙනවා. එසේ නොවන අවස්ථාද තිබුණත්, සාමාන්‍යයෙන් මහ බැංකු වල තීරණ ගන්නා අය එවැනි විශේෂඥ දැනුමක් හා පළපුරුද්දක් ඇති අයයි. ඇමරිකාවේ සංචිත මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධන වේගය 16.24%ක් වුවද, උද්ධමනය ඉලක්ක මට්ටම වන 2% ආසන්නව පවත්වා ගැනීමට සමත්වීම මගින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් ප්‍රදර්ශනය කර තිබෙන්නේ එම විශේෂඥ දැනුමේ වටිනාකමයි.
පුළුල් මුදල් සැපයුමෙන් විශාල පංගුවක් තීරණය වන්නේ මහ බැංකුවේ පාලනයෙන් තොරවනම්, මහ බැංකුවකට උද්ධමනය අඩු කර ගත හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. උද්ධමනය හැදෙන්නේ වෙළඳපොළ තත්වයන් තුළයි. වෙනත් විදිහකින් කිවුවොත්, එය හොඳ නියාමනයක් නැති ධනවාදී ක්‍රමයක් තුළ නෛසර්ගිකව සිදු වන දෙයක්. මෙහිදී ධනවාදී ක්‍රමයක් යන අර්ථදැක්වීමට සීමිත හෝ නිදහස් මූල්‍ය වෙළඳපොළක් ඇති ඕනෑම ක්‍රමයක් ඇතුළත්.
මෙම අර්ථකථනයෙන් බැහැර වන්නේ ණය දීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම එක් මධ්‍යගත ආයතනයක් හරහා පමණක් සිදු වන සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය පමණයි. කොමියුනිස්ට් ප්‍රකාශනයේ කියවුනේත්, පැරණි සෝවියට් දේශයේ තිබුණේත්, චීනය වැනි සමාජවාදී රටවල කලකට පෙර තිබුණේත් එවැනි ක්‍රමයක්. දැනට මෙවැනි ක්‍රමයක් තිබෙන්නේ උතුරු කොරියාවේ පමණයි. මේ අර්ථයෙන්, චීනයේ දැන් තිබෙන්නේද ධනවාදී ක්‍රමයක්.
ධනවාදී වෙළදපොළක් ප්‍රසාරණය වෙද්දී එයට අනුරූපව මුදල් ඉල්ලුමද ඉහළ යනවා. මේ ඉල්ලුම සපුරමින් ණය දීමේ ක්‍රියාවලිය හරහා මුදල් සැපයුම ප්‍රසාරණය කිරීමට පෞද්ගලික වාණිජ බැංකු කටයුතු කරනවා. අරමුණ ලාභ ලැබීමනම්, රජයට අයත් වාණිජ බැංකු විසින්ද මේ කටයුත්තට දායක වෙනවා. නියාමනයක් නොමැතිනම්, මේ ක්‍රියාවලියේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඇති වීම නොවැලැක්විය හැකියි.
කාලයකට පෙර මුදලේ වටිනාකම රන් වටිනාකම හා ගැලපීම මගින් රජයයන් විසින් මේ නියාමනය සිදු කළා. මේ වන විට මහ බැංකු ක්‍රමය තුළ එය වඩා සාර්ථක ආකාරයකින් සිදු වෙනවා. අතරින් පතර අධි උද්ධමන තත්ත්වයන් ඇති වුවත්, සමස්තයක් ලෙස ලෝකයේ මහ බැංකු විසින් උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගනිමින් සිටිනවා.
ඉහත විස්තර කළ පරිදි, මුදල් සැපයුමෙන් වැඩි කොටසක් තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටත බැවින් එසේ මුදල් සැපයුම වර්ධනය වන සාමාන්‍ය වේගයට වඩා ගොඩක් අඩු වේගයක් ඉලක්ක කිරීම මහ බැංකුවකට ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ නිසාම, උද්ධමනය හා අදාළවද, පවත්වා ගත හැකි ඉලක්කයට යම් සීමාවක් තිබෙනවා. මේ ඉලක්කය පහතට ගැනීම කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සිදු කළ යුතු දෙයක්. ඒ සඳහා දිගු කාලයක් උද්ධමනය ස්ථාවරව පවත්වා ගැනීම මගින් මුදල් පිළිබඳ විශ්වාසය ගොඩ නැගිය යුතු වෙනවා.
මුදල් සැපයුමෙන් වැඩි කොටසක් තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටත බැවින්, මේ තත්ත්වය තුළ අවධමනයක් වුවද ඇති විය හැකියි. උද්ධමනය මෙන් නොව, අවධමනය මහ බැංකුවකට පහසුවෙන් පාලනය කළ හැකියි. ඊට හේතුව, මුදල් සැපයුම අඩු කිරීම අපහසු කාර්යයක් වුවත්, මුදල් අලුතෙන් සංසරණයට එකතු කිරීම මගින් මුදල් සැපයුම ඉහළ දැමීම පහසු කාර්යයක් වීමයි. මහ බැංකුව ස්වාධීනනම්, රජය මගින් මහ බැංකුවක මේ හැකියාව අපහරණය නොකරන්නේනම්, උද්ධමනය ඉලක්ක මට්ටමේ පවත්වා ගැනීම පිණිස මහ බැංකුව විසින් සංචිත මුදල් වැඩි කිරීම ප්‍රශ්නයක් වන්නේ නැහැ.
ශුන්‍ය උද්ධමන ඉලක්කයක් වෙනුවට කිසියම් පහළ තනි අංකයක උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීමේ වැදගත්කම වනුයේ, එසේ කිරීම මගින් උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවන විට එය පාලනය කර ගැනීමේ යම් හැකියාවක් මහ බැංකුවකට ලැබීමයි. මෙහිදී උද්ධමනය අවශ්‍ය මට්ටමේ පවතීනම් මහ බැංකුව විසින් සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු කරනවා. උද්ධමනය ඊට වඩා අඩුනම් වැඩි මුදල් ප්‍රමාණයක් එකතු කරනවා. උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩුනම්, එසේ එකතු කරන මුදල් ප්‍රමාණය අඩු කරනවා.
නමුත්, අවශ්‍ය අවස්ථාවකදී මෙසේ අලුතෙන් එකතු කරන මුදල් ප්‍රමාණය අඩු කළ හැකි වන්නේ සාමාන්‍ය වශයෙන් වාර්ෂිකව මහ බැංකුව විසින් මුදල් සැපයුමට කිසියම් එකතු කිරීමක් කරන්නේනම් පමණයි. ඒ කියන්නේ, යම් මට්ටමක උද්ධමනයක් පවත්වා ගන්නේනම් පමණයි.
සංවර්ධිත රටකට 2% වැනි උද්ධමන මට්ටමක් මේ ආකාරයෙන් නඩත්තු කළ හැකි වුවත්, ලංකාව වැනි වේගවත් ආර්ථික වර්ධනයක් ඉලක්ක කරන රටකට එවැනි පහළ ඉලක්කයක් නඩත්තු කිරීමේ හැකියාවක් නැහැ. මෙහිදී මතක් කළ යුත්තේ මුදලේ වටිනාකම පවත්වා ගත හැකි පරිදි මූර්ත පොලී අනුපාතික ප්‍රමාණවත් මට්ටමක තබා ගත යුතු වුවත්, මූර්ත පොලී අනුපාතික සීමාව ඉක්මවා වැඩි වුවහොත්, ණය වර්ධනය සීමා වීමේ බලපෑමෙන් අවසාන වශයෙන් ආර්ථික වර්ධනයද සීමා වන බවයි.
උද්ධමන ඉලක්කය 2% වුනත්, 10% වුනත්, මහ බැංකුව විසින් එම ඉලක්කය පවත්වා ගනු ලබන්නේනම් සහ මූර්ත පොලී අනුපාතික නිවැරදිව කළමනාකරණය කරන්නේනම් එයින් මුදලේ වටිනාකම අඩු වීමක් හෝ හානියක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව, පොලී අනුපාතික මගින් මුදලේ වටිනාකම අඩුවීම ප්‍රතිපූරණය වීමයි. එහෙත්, මහ බැංකුවට ප්‍රකාශිත උද්ධමන ඉලක්කය පවත්වා ගත නොහැකි වන අවස්ථා වලදී පොලී අනුපාතික මගින් මුදලේ වටිනාකම අඩුවීම ප්‍රතිපූරණය නොවෙන්න පුළුවන්. එය එසේ වේනම්, එය මහ බැංකුවේ කාර්ය භාරය නිසි සේ සිදු නොවීමක්.
Monday, September 1, 2025
මුදල් ප්‍රමාණ සමීකරණය
මේ කොටසින් අපි අර්වින් ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණය ගැන කතා කරමු. දැන් ඒ තරම්ම භාවිතයට ගන්නේ නැතත්, කාලයක් මහ බැංකු විසින් මුදල් සැපයුම තීරණය කිරීම සඳහා මේ සමීකරණය යොදා ගත්තා.
මුදල් ඉල්ලුම කිසිවෙකුට තනිව තීරණය කරන්න බැහැ. නමුත් කිසියම් ප්‍රදේශයක තිබෙන්නේ එකම මුදල් වර්ගයක් පමණක්නම් සහ එම මුදල් වර්ගය සපයනු ලබන්නේ මහ බැංකුවක් විසින්නම්, ඒ මහ බැංකුවට මුදල් සැපයුම තීරණය කරන්න පුළුවන්. ඒ නිසාම, මුදල් ඉල්ලුම හරියටම දන්නවානම්, මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම ගලපන්න පුළුවන්. මුදල් සැපයුම තීරණය වන්නේ රන් හෝ රිදී සැපයුම වැනි බාහිර සාධකයක් මතනම්, මෙවැනි ගැලපීමක් සිදු කිරීමේ හැකියාවක් නැහැ.
ප්‍රශ්නය වන්නේ මුදල් ඉල්ලුම දැන ගන්නේ කොහොමද කියන එකයි. මුදල් ප්‍රමාණ සමීකරණය මේ සඳහා ප්‍රවේශයක් සපයනවා.
අපි පෙර කොටසේ කතා කළ පරිකල්පනීය දූපතට යමු. මේ දූපතට පැමිණෙන ආක්‍රමණිකයින් පිරිසක් විසින් දූපත් වැසියන්ට මුදල් භාවිතය හඳුන්වා දෙනවා. දූපත් වැසියෝ මුදල් වලින් ගනුදෙනු කරන්න ඉගෙන ගන්නවා. නමුත් කිසියම් හේතුවක් නිසා ටික කාලයකට පස්සේ ඔවුන් දූපතෙන් යනවා. ඒ යන්නේ දූපතේ සංසරණයට එකතු කර තිබුණු මුදල් ටිකත් එකතු කරගෙන.
කෙසේ වුවත්, ආක්‍රමණිකයින් දූපතෙන් ගියාට පස්සේ එහි වැසියෙකු වූ ජෝන්ට ඔවුන්ට අමතක වී දමා ගොස් තිබුණු මුදල් ටිකක් හමු වෙනවා. අපි රුපියල් කාසි කියලම කියමු. රුපියල් කාසි දහයක මල්ලක්. මේ රුපියල් කාසි වලට දැන් දූපත ඇතුළේ වටිනාකමක් තිබෙනවා. ඒ දූපත් වැසියන්ගේ පිළිගැනීම නිසා ඇති වූ වටිනාකමක්.
ජෝන් මේ මුදල් වලින් කාසි අටක් වැය කර බර්නිගෙන් එළදෙනක් මිල දී ගන්නවා. බර්නි අතට රුපියල් අටක් යනවා. ටික කාලයකට පසුව බර්නි එම මුදලින් රුපියල් හයක් වැය කර රුපියල් තුන බැගින් එමලිනාගෙන් එළුවන් දෙදෙනෙකු මිල දී ගන්නවා. එමලිනා එම රුපියල් හයෙන් රුපියල් තුනක් වැය කර බර්නිගෙන් කුකුළන් තුන් දෙනෙක් මිල දී ගන්නවා. ඉතිරි රුපියල් තුන වැය කර ජෝන්ගෙන් මාස තුනක් දිනපතා කිරි මිල දී ගන්නවා. වසරක කාලයක් තුළ සිදු වන්නේ මෙම ගනුදෙනු ප්‍රමාණය පමණයි.
දැන් මේ විදිහට වසරක කාලයක් ඇතුළත සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම රුපියල් 20ක් (= 8 + 6 + 3 + 3). එහිදී හුවමාරු වූයේ රුපියල් දහයක මුදලක් පමණයි. ඇත්ත වශයෙන්ම රුපියල් දහයෙන් රුපියල් දෙකක් හුවමාරු වුනේම නැහැ. රුපියල් දහයක් වෙන්නේ ඒ රුපියල් දෙකත් එක්ක. ඉතිරි රුපියල් අටෙන් හයක් තුන් වරක් අතින් අත මාරු වුනා. අනෙක් රුපියල් දෙක එක් වරක් අතින් අත මාරු වුනා. ඒ කියන්නේ අවස්ථා 20කදී රුපියලේ කාසි අතින් අත මාරු වී තිබෙනවා. සාමාන්‍ය අගයක් ලෙස එක් රුපියලේ කාසියක් (දිගටම ජෝන් අතේම තිබුණු රුපියල් දෙකද ඇතුළුව) දෙවරක් අතින් අත මාරු වී තිබෙනවා.
ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණයෙහි මුදල් වල සංසරණ ප්‍රවේගය කියා සංකල්පයක් තිබෙනවා. කෙටියෙන් මුදල් ප්‍රවේගය කියා කියමු. මෙයින් අදහස් වන්නේ නිශ්චිත කාලයක් තුළ, එක් රුපියලක් (හෝ එවැනි වෙනත් මුදලක්) සාමාන්‍ය වශයෙන් කොපමණ වාරයක් ගනුදෙනු සඳහා භාවිතා වුනාද කියන එකයි. මෙම අගය සංසරණයට එකතු කර තිබෙන මුදල් ප්‍රමාණයෙන් ගුණ කළ විට ලැබෙන පිළිතුර, අර්ථදැක්වීම අනුවම, අදාළ කාලයේදී සිදු වූ මුදල් ගනුදෙනු වල වටිනාකමට සමානයි.
කිසියම් රටක ගනුදෙනු සිදු වන්නේ එක් මුදල් වර්ගයකින් පමණක්නම් සහ එම මුදල් සංසරණයට එකතු කර තිබෙන්නේ මහ බැංකුවක් වැනි ඒකාධිකාරයක් විසින්නම්, සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය පහසුවෙන්ම, හරියටම දැනගන්න පුළුවන්. බිට්කොයින් වැනි නූතන මුදල් වර්ග කිසියම් නිශ්චිත කාලයක් තුළ කොපමණ වාරයක් අතින් අත මාරු වුනාද කියලා පහසුවෙන්ම හරියටම දැන ගන්න පුළුවන් වුනත්, ලෝහ කාසි වැනි සම්ප්‍රදායික මුදල් හා අදාළව මෙවැන්නක් පහසුවෙන් කරන්න බැහැ. නමුත් කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම දන්නවානම්, එම අගය මුදල් සැපයුමෙන් බෙදලා මුදල් ප්‍රවේගය වක්‍ර ලෙස හොයා ගන්න පුළුවන්.
කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම මැනිය හැකි ක්‍රමයක් තියෙනවද?
රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ආසන්න වශයෙන් කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම සේ සලකන්න පුළුවන්. විශේෂයෙන්ම හුදෙකලා දූපතක් වැනි සංවෘත ආර්ථිකයක් සැලකුවොත්, ගනුදෙනු ලෙස හුවමාරු වෙන්නේ කිසියම් කාලයක් තුළ රට තුළ නිපදවනු ලබන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එම භාණ්ඩ හා සේවා වල තත්කාලීන වෙළඳපොළ වටිනාකමයි. ඒ නිසා, නාමික දළ දේශීය නිෂ්පාදිතය ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් සේ සලකන්න පුළුවන්. මේ අනුව, නාමික දළ දේශීය නිෂ්පාදිතය මුදල් සැපයුමේත්, මුදල් ප්‍රවේගයේත් ගුණිතයට සමාන විය යුතුයි.
නාමික දළ දේශීය නිෂ්පාදිතය = මුදල් සැපයුම x මුදල් ප්‍රවේගය
සාමාන්‍යයෙන් වසරෙන් වසර රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරනවා. ඒ වගේම, මුදල් සැපයුමේ වෙනස් වීම පිළිබඳවත් දත්ත තිබෙනවා. ඒ නිසා, ඔය සංඛ්‍යාලේඛණ දෙක ඇසුරෙන් මුදල් ප්‍රවේගය ඇස්තමේන්තු කර එහි වෙනස්වීම පරීක්ෂා කරන්න පුළුවන්. මේ පරීක්ෂාව මගින් තහවුරු කර ගැනීමෙන් පසුව, එක්තරා කාලයකදී පිළිගැනීමට ලක් වූ කරුණක් වන්නේ දිගුකාලීනව නාමික දළ දේශීය නිෂ්පාදිතය හා මුදල් සැපයුම වෙනස් වන පරිමාණයට සාපේක්ෂව මුදල් ප්‍රවේගය වෙනස් නොවන බැවින් මුදල් සැපයුම පාලනය කිරීම හා අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී මුදල් ප්‍රවේගය නියතයක් සේ සැලකිය හැකි බවයි. එසේ උපකල්පනය කිරීමෙන් පසුව මුදල් ප්‍රවේගය මැනීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ.
මුදල් ප්‍රවේගය වෙනස් නොවන නියතයක්නම්, මුදල් සැපයුම වැඩි වන විට නාමික දළ දේශීය නිෂ්පාදිතයද ඉහළ යා යුතුයි. ඒ නිසා, මුදල් සැපයුම වර්ධනය වන වේගයෙන්ම නාමික දළ දේශීය නිෂ්පාදිතයද වර්ධනය විය යුතුයි. එහෙත්, නාමික දළ දේශීය නිෂ්පාදිතය හේතු දෙකක් නිසා වර්ධනය විය හැකියි. පළමුවැන්න මූර්ත ආර්ථික වර්ධනයයි. දෙවැන්න උද්ධමනයයි.
මුදල් සැපයුමේ වර්ධන වේගය = මූර්ත ආර්ථික වර්ධන වේගය + උද්ධමනය
මේ අනුව, අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධන වේගය මත පදනම්ව, මුදල් සැපයුමේ වර්ධන වේගය පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කිරීමට හැකි විය යුතුයි.
උද්ධමනය = මුදල් සැපයුමේ වර්ධන වේගය - අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධන වේගය
මුදල් සැපයුමේ වර්ධනය මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන බව ඩේව්ඩ් හියුම්, රිචඩ් කැන්ටලින් වැනි අය වැනි අය පවා පෙන්වා දී තිබුණු පැරණි අදහසක් වුවත්, මෙය සිදු වන යාන්ත්‍රනය විස්තර කරමින් එම අදහසට ජවයක් ලබා දුන්නේ ජෝන් මෙනාඩ් කේන්ස් විසිනුයි. ඒ මහා ආර්ථික අවපාතය සමයේදී. ඒ වන විට පිළිගැනුණු අදහස වූයේ මුදල් සැපයුම මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු නොකරන බවයි. මුදල් සැපයුම වර්ධනය වෙද්දී, ඒ වේගයෙන්ම මූර්ත නිෂ්පාදිතයද වර්ධනය වේනම්, ඒ හේතුවෙන් උද්ධමනයක් ඇති වීමේ ඉඩක් නැහැ.
කේන්සියානු අදහස් ප්‍රචලිත වීමට පෙර ප්‍රධාන ධාරාව තුළ පිළිගැනීමට ලක්ව තිබුණු, මුදල් සැපයුම මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු නොකරන්නේය යන සම්භාව්‍ය ආර්ථික විද්‍යා අදහසේ පදනම වූයේ මුදල් සැපයුම වැඩි වීම නිසා නිෂ්පාදන සාධක වල හෝ තාක්ෂණයේ වෙනසක් සිදු වීමේ හැකියාවක් නොතිබීමයි. මෙම අදහස අනුව, මූර්ත ආර්ථික වර්ධන වේගය ආර්ථිකයක් සතු නිෂ්පාදන සාධක ප්‍රමාණය මත තීරණය වන්නක් බැවින් මුදල් සැපයුම වැඩි කර ආර්ථිකය වර්ධනය කිරීමේ හැකියාවක් නැහැ. එහෙත් කේන්ස් විසින් පෙන්වා දුන්නේ ආර්ථිකය තුළ නිෂ්පාදනය සඳහා යොදා නොගැනෙන නිෂ්පාදන සාධක තිබේනම්, මුදල් සැපයුම වැඩි කිරීම මගින් එම නිෂ්පාදන සාධක නිෂ්පාදනය සඳහා යොදා ගැනීම උත්තේජනය කර මූර්ත ආර්ථික වර්ධන වේගය වැඩි කළ හැකි බවයි.
සම්භාව්‍ය අදහස අනුව, මුදල් සැපයුමේ වර්ධන වේගය මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බල නොපාන බැවින් එහි අවසන් ප්‍රතිඵලය වනුයේ උද්ධමනයයි. කේන්සියානු අදහස අනුව, මුදල් සැපයුම වැඩි කිරීම මගින් යම් තත්ත්වයන් යටතේදී, යම් සීමාවක් දක්වා මූර්ත ආර්ථික වර්ධන වේගය ඉහළ දැමිය හැකියි. එසේ වුවද, එම සීමාවෙන් ඔබ්බට මුදල් සැපයුම වැඩි කිරීමෙන් සිදු වන්නේ උද්ධමනය ඉහළ යාම පමණයි.
මේ අනුව පෙනී යන පැහැදිලි කරුණක් වන්නේ, ඉහත කවර මතවාදය අනුව වුවද, මුදල් සැපයුමේ වර්ධන වේගය මූර්ත ආර්ථික වර්ධන වේගය ඉක්මවා යන්නේනම්, මුදල් ප්‍රමාණ සමීකරණය අනුව, එම වෙනසට සමාන උද්ධමනයක් ඇති විය යුතු බවයි. ඒ නිසා, මුදල් සැපයුමේ වර්ධන වේගය පාලනය කිරීම මගින්, මහ බැංකුවකට උද්ධමනය පාලනය කළ හැකි විය යුතුයි.
නමුත් මෙහිදී මතු වන ඊළඟ ප්‍රශ්නය වනුයේ මුදල් සැපයුම කියන්නේ කුමක්ද කියන එකයි. අපේ පරිකල්පනීය දූපතේ සරල උදාහරණයෙහි මුදල් කියන්නේ ලෝහ කාසි වර්ගයක්. එකම වර්ගයක කාසි වෙනුවට විවිධ වටිනාකම් වල කාසි සංසරණයට එකතු කළත්, කාසි වෙනුවට නෝට්ටු එකතු කළත්, මූලික අදහසේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. රුපියල් සීයක මුදල් නෝට්ටුවක් අතින් අත මාරු වීම රුපියලේ කාසි සීයක් අතින් අත මාරු වීමට සමාන සේ සලකන්න පුළුවන්. නමුත්, වාණිජ බැංකු බිහිවීමෙන් පසුව ඇති වන තත්ත්වයන් සලකා බලද්දී, මුදල් වල ඉහත අර්ථ දැක්වීම පිළිබඳ ගැටලුවක් මතු වෙනවා.
විශේෂයන්ම ගනුදෙනු සඳහා චෙක්පත් භාවිතා කිරීම ප්‍රචලිත වී තිබීම තුළ ගනුදෙනු පියවීම සිදු වන්නේ කාසි හා නෝට්ටු වලින් පමණක් නෙමෙයි. ආකෘතිමය ලෙස වෙනස් කාසි හා නෝට්ටු ගෙවීම් සහ චෙක්පත් ගෙවීම් යන අවස්ථා දෙකේදීම යම් ආකාරයක මුදල් භාවිතයක් සිදු වෙනවා.
වාණිජ බැංකු වල මුදල් තැන්පත් කිරීමෙන් පසුව එම මුදල් මුදල් සේ ආපසු ලබා නොගෙන චෙක්පත් මගින් ගෙවීම් කිරීම ප්‍රචලිත වීමෙන් පසුවද මුදල් සැපයුම සංසරණයේ ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණය පමණක් සේ සැලකුවහොත් ගනුදෙනු පරිමාවෙන් කොටසක් මග හැරෙනවා. එම කොටසද නාමික දළ දේශීය නිෂ්පාදිතයට අයත් කොටසක්. ඒ නිසා, කාසි හා නෝට්ටු වලට අමතරව චෙක්පත් හරහා ගෙවීම් සඳහා යොදා ගත හැකි ජංගම ගිණුම් තැන්පතුද මුදල් සැපයුමෙහි කොටසක් සේ සලකන්නට සිදු වෙනවා. එහෙත්, කාසි හා නෝට්ටු මෙන්, මෙම ජංගම ගිණුම් තැන්පතු ප්‍රමාණය ඒකාධිකාරී මහ බැංකුවකට වුවද සෘජුව පාලනය කිරීමේ හැකියාවක් නැහැ.
මේ වන විට මේ තත්ත්වය වඩා සංකීර්ණ වී තිබෙනවා. දැන් බොහෝ දෙනෙකු ගෙවීම් කරන්නේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්, අන්තර්ජාලය හරහා කරන ගෙවීම්, ජංගම දුරකථනය හරහා කරන ගෙවීම් ඇතුළු විවිධ ක්‍රම වලින්. ඒ නිසා, මුදල් සැපයුමේ අර්ථදැක්වීම විශාල ප්‍රශ්නාර්ථයක්. මේ හේතුව නිසාම බොහෝ රටවල මුදල් සැපයුම පිළිබඳ අර්ථදැක්වීම් එකකට වඩා තිබෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා මුදල් සැපයුම පාලනය කළ යුත්තේනම්, මහ බැංකුවක් විසින් ඉලක්ක කළ යුත්තේ විවිධ මුදල් සැපයුම් අතරින් කවර මුදල් සැපයුමද? මෙය ප්‍රශ්නයක්.
තමන්ගේ දේශපාලනික හෝ වෙනත් අභිලාශ හා ගැලපෙන ප්‍රවාද ආගමික ලෙස අදහන පිරිස් අපට බොහෝ විට දකින්නට ලැබෙනවා. මේ සඳහා හොඳම උදාහරණය මාක්ස්වාදීන්. මෙවැනි අය තමන් අදහන ප්‍රවාදයේ සීමාවන් පැහැදිලිව දෘශ්‍යමාන වෙද්දී පවා ප්‍රවාදයේ සීමාවන් හඳුනා ගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ප්‍රවාදය ඇත්ත සේ සලකමින්, දෘශ්‍යමාන තත්ත්වය විකෘතියක් ලෙස අර්ථ දැක්වීමයි. මෙවැනි පිරිස් වාමාංශික අන්තයේ මෙන්ම දක්ෂිණාංශික අන්තයේද ඉන්නවා. මුදල්වාදය අදහන ඇතැම් අයට අනුව, මුදල් සැපයුම කවර ආකාරයෙන් මැන්නත් එහි වෙනසක් නැහැ. මෙය සාවද්‍ය අදහසක්.
මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බලා ඉහත කරුණ සනාථ කරගන්න අමාරු නැහැ. ඒ අනුව, පැහැදිලි වන්නේ මුදල් සැපයුම පිළිබඳ විවිධ මිනුම් කාලයත් සමඟ විචලනය වී තිබෙන්නේ එකම ආකාරයකින් නොවන බවයි. එසේනම්, මුදල් ප්‍රමාණ සමීකරණය අනුව යමින් මහ බැංකුව විසින් ඉලක්ක කළ යුත්තේ කවර මුදල් සැපයුමද?
මුදල් ප්‍රමාණ සමීකරණය මගින් විස්තර කරන්නේ මුදල් සැපයුම දිගුකාලීනව උද්ධමනය කෙරෙහි බලපාන ආකාරයයි. ඒ නිසා, කෙටිකාලීනව විවිධ මුදල් මිනුම් වල හැසිරීම් වෙනස් වීම හේතුවෙන් ප්‍රවාදය අභියෝගයට ලක් වන්නේ නැහැ. නමුත් මෙහිදී සලකා බලා තිබෙන්නේ වසර 34ක් වැනි දීර්ඝ කාලයක්. මෙම කාලය තුළ සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය 4.23 ගුණයකින්ද, සංචිත මුදල් (M0) 3.84 ගුණයකින්ද, පටු මුදල් සැපයුම (M1) 4.13 ගුණයකින්ද ඉහළ යද්දී, M2 පුළුල් මුදල් සැපයුම 11.4 ගුණයකින්ද, M2b පුළුල් මුදල් සැපයුම 11.9 ගුණයකින්ද ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, මුදල් සැපයුම සේ සැලකිය යුත්තේ කවර මිනුමද යන්න මත පෙනෙන චිත්‍රය සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා.
කෙසේ වුවද, අවසාන ඉලක්කය වන්නේ උද්ධමනය පාලනය කිරීම නිසා අපට ඉහත මිනුම් අතරින් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා වඩා හොඳින් ගැලපෙන මිනුම තෝරා ගත හැකියි. එහෙත්, මෙයද කියන තරම් පහසු වැඩක් නෙමෙයි.
ඉහත කාලයේදී නාමික දළ දේශීය නිෂ්පාදිතය 8.03 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. වසරකට 14.2%ක සාමාන්‍ය වර්ධන වේගයක්. මෙම වේගය මූර්ත ආර්ථික වර්ධන වේගයේ සහ උද්ධමනයේ එකතුවයි. මේ අනුව පෙනී යනු ඇත්තේ මහ බැංකුව විසින් සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය, සංචිත මුදල් හෝ පටු මුදල් සැපයුම ඉලක්ක කළේනම්, ඉලක්ක කළ උද්ධමනයට වඩා වැඩි උද්ධමනයක් ඇති විය හැකිව තිබුණු බවයි. එමෙන්ම, M2 පුළුල් මුදල් සැපයුම හෝ M2b පුළුල් මුදල් සැපයුම ඉලක්ක කළේනම්, ඉලක්ක කළ උද්ධමනයට වඩා අඩු උද්ධමනයක් ඇති විය හැකිව තිබුණු බවයි.
ඉහත කිසිදු මිනුමක් මුදල් ප්‍රමාණ සමීකරණය හා හරියටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා, හුදෙක් මුදල් සැපයුමේ වර්ධනය දෙස පමණක් බලමින් උද්ධමනය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවක් නැහැ. මෙයට එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ ඇතැම් මුදල්වාදීන් විසින් උපකල්පනය කරන පරිදි මුදල් ප්‍රවේගය නියතයක් නොවීමයි. විවිධ මුදල් සැපයුම් හා අදාළ මුදල් ප්‍රවේග එකම ආකාරයකින් වෙනස් නොවීම මේ තත්ත්වය වඩා සංකීර්ණ කරනවා.
මුදල් ප්‍රමාණ සමීකරණයේ ප්‍රයෝජ්‍ය වටිනාකම සීමා කරන තවත් සාධකයක් වනුයේ ජාත්‍යන්තර වෙළඳාමේ බලපෑමයි. ලෝකයේ කිසිම රටක අපේ උදාහරණයෙහි ඇති පරිකල්පනීය දූපතේ වැනි හුදෙකලා වූ ආර්ථිකයක් නැහැ. ලංකාව වැනි බොහොමයක් රටවල් වල දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය කරන්නේ රටින් පිටත සිටින අයයි. එමෙන්ම රට තුළ පරිභෝජනය කෙරෙන බොහෝ දෑ ආනයනික භාණ්ඩයි. ඒ නිසා, රට තුළ සිදු වන ගනුදෙනු ප්‍රමාණය සහ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අතර සම්බන්ධය කැඩී යනවා.
රට තුළ ආනයනික භාණ්ඩ මිල දී ගන්නා ලංකාවේ පාරිභෝගිකයෙකු විසින් ඒ වෙනුවෙන් මුදල් ගෙවන්නේ රුපියල් වලින් වුවත් අවසාන වශයෙන් අදාළ භාණ්ඩයේ නිෂ්පාදකයාට මුදල් ගෙවන්නේ රුපියල් වලින් නොවන නිසා රුපියල් වලින් විදේශ විණිමය මිල දී ගන්නට සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විණිමය අනුපාතයද උද්ධමනය කෙරෙහි බලපෑම් කරනවා. වෙනත් විදිහකින් කිවුවොත් රුපියල් ගනුදෙනු ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් පමණයි.
ඇමරිකාව වැනි රටකට මේ ප්‍රශ්නය වෙනත් ආකාරයකින් බලපානවා. ඇමරිකාව විදේශ රටවල් සමඟ කරන ගනුදෙනු සිදු වන්නේද ඔවුන්ගේ මුදල් ඒකකය වන ඇමරිකන් ඩොලර් වලින්. එහෙත් ඇමරිකන් ඩොලර් භාවිතා වන්නේ ඇමරිකාව තුළ හෝ ඇමරිකාව සමඟ සිදු කෙරෙන ගනුදෙනු සඳහා පමණක් නොවන බැවින් ඩොලර් සඳහා වන ඉල්ලුම ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ පරිමාව ඉක්මවා යන්නක්.
වෙනස තිබෙන්නේ කවර අතට වුවත්, අවසාන ප්‍රතිඵලය වනුයේ ගනුදෙනු වල වටිනාකම දළ දේශීය නිෂ්පාදිතය ඇසුරෙන් මැන ගත නොහැකි වීමයි. ඒ නිසාම, මුදල් ඉල්ලුම නිවැරදිව තක්සේරු කළ නොහැකි වීමයි.
මුදල් ඉල්ලුම මෙන්ම මුදල් සැපයුමද නිවැරදිව මැන ගැනීම පහසු නොවන්නාක් මෙන්ම මුදල් ප්‍රවේගය නියතයක්ය යන්න ඒ තරම් නිවැරදි උපකල්පනයක් නෙමෙයි. ආර්ථිකයේ චක්‍රීය විචලනයන් සමඟ මුදල් ප්‍රවේගයද වෙනස් වෙනවා. මේ හේතූන් නිසා, මුදල් ප්‍රමාණ සමීකරණයේ පදනම අභියෝග කළ නොහැකි සර්වසාම්‍යයක් වුවද, ප්‍රායෝගික භාවිතාවේදී එය උපයෝගී කර ගත හැක්කේ කිසියම් මාර්ගෝපදේශනයක් සපයා ගැනීම සඳහා පමණයි.
මහා අවපාතයෙන් පසුව, 1930 දශකයේදී කේන්සියානු අදහස් ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාව බවට පත් වුනා. එහෙත්, 1950 පමණ වන විට ප්‍රධාන ධාරාව තුළ මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ මුදල්වාදය ඉස්මතු වෙන්න පටන් ගත්තා. 1970 දශකය මුලදී ඉහළ උද්ධමනයක් තිබියදී විරැකියා අනුපාතයද ඉහළ මට්ටමක පැවතීම තුළ කේන්සියානු අදහස් පහසුවෙන්ම අභියෝගයට ලක් කළ හැකි වාතාවරණයක් ඇති වීම නිසා මුදල්වාදයට විශාල පිළිගැනීමක් ලැබුණා. මෙම කාලයේදී ලෝකයේ ප්‍රධාන මහ බැංකු ගණනාවක්ම මුදල් ප්‍රමාණ සමීකරණය අනුව යමින් සෘජුව මුදල් සැපයුම පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කිරීමට උත්සාහ කළා.
මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ උපදෙස් පරිදි, එවකට ෆෙඩරල් සංචිත බැංකුවේ අධිපතිව සිටි පෝල් වෝකර් විසින් 1979-1982 කාලයේදී උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වෙනුවට කෙළින්ම මුදල් සැපයුම ඉලක්ක කිරීමට තීරණය කළා. මීට පෙර මෙන්ම මෙම අසාර්ථක පරීක්ෂණයෙන් පසු කාලයේදීද මහ බැංකු විසින් සාමාන්‍යයෙන් උද්ධමනය පාලනය කළේ පොලී අනුපාතික පාලනය කිරීම මගිනුයි. ඒ හා අදාළ වැඩි විස්තර වෙනත් ලිපියකින්.
පෝල් වෝකර් පරීක්ෂණය සිදු කළ 1979-1982 කාලය තුළ ඇමරිකාවේ පොලී අනුපාතික ඉතා විශාල ලෙස විචලනය වීම නිසා මූල්‍ය ක්ෂේත්‍රයේ විශාල අස්ථාවරත්වයක් ඇති වුනා. අවසන් වශයෙන් මේ පරීක්ෂණය අත හැර දමනු ලැබුවා. මීට සමාන්තරව මාග්‍රට් තැචර්ගේ ආණ්ඩුව යටතේ එක්සත් රාජධානියේද, ජර්මනිය, කැනඩාව, ස්විට්සර්ලන්තය වැනි රටවලද මේ පරීක්ෂණය සිදු කෙරුණා. එහෙත් ඒ කිසිදු තැනක මුදල් සැපයුම පාලනය කිරීම මගින් සෘජුව උද්ධමනය පාලනය කිරීමේ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. සෘජුව මුදල් සැපයුම පාලනය කිරීම මගින් උද්ධමනය කළමනාකරණය කිරීම ලෝකයේ ප්‍රධාන ආර්ථික ගණනාවකම ප්‍රයෝගිකව පරීක්ෂා කරනු ලැබ, ඉතා කෙටි කලකින්ම අත හැර දමා ඇති අසාර්ථක ක්‍රමයක්.
මෙයින් පෙන්වා දෙන්නේ මුදල් සැපයුම වැඩි වීම උද්ධමනයට හේතු නොවන බව හෝ මුදල් සැපයුම පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කළ නොහැකි බව නෙමෙයි. මූලික අදහස මුදල් සැපයුම සෘජුව පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කරන්නට උත්සාහ කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බවයි. ඊට සාපේක්ෂව, පොලී අනුපාතික පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කිරීම දශක ගණනාවක් තිස්සේ අත්හදා බලා තිබෙන සාර්ථක ක්‍රමයක්. එහිදීද අවසාන වශයෙන් මුදල් සැපයුම පාලනය කිරීමක් සිදු වන නමුත් එය සිදු වන්නේ වක්‍ර ලෙසයි. මේ ගැන ඉදිරි ලිපියකින් වැඩි විස්තර කතා කරමු.
Sunday, August 31, 2025
සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය
සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වෙනවා කියන එක මේ වෙද්දී ලංකාවේ පොදු දැනුමක් වී අවසානයි. ඔය වැඩේ වුනේ ආර්ථික අර්බුදයෙන් පස්සේ. ඊට කලින් මේ ගැන බරපතල සංවාදයක් තිබුණේ ආර්ථික විද්‍යාව විධිමත්ව හදාරා තිබුණු සීමිත පිරිසක් අතර පමණයි.
නමුත් මේ විදිහට පොදු දැනුමක් වී තිබෙන්නේ සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වෙනවා කියන මූලික අදහස පමණයි. එය සිදු වෙන්නේ කොහොමද කියන එක තවමත් ඒ පොදු දැනුමේ කොටසක් වෙලා නැහැ.
සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වන ආකාරය විවිධ අය තේරුම් අරගෙන තිබෙන්නේ විවිධ ආකාර වලිනුයි. එයට මේ දැනුම සමාජගත කිරීම සඳහා ඕනෑවට වඩා සරල ආකෘති යොදා ගෙන තිබීමත් එක් හේතුවක්. ඒ වැඩේට අපද දායක වී තිබෙනවා.
යම් අදහසක් මුලින්ම සමාජගත කරද්දී අවශ්‍ය වැදගත්ම කරුණට පමණක් අවධානය යොමු කරමින් සරලව පැහැදිලි කිරීම සහ හැම දෙයක්ම විස්තර කිරීම අතර තේරීමක් තිබෙනවා. අවශ්‍ය වන්නේ කෙටි කලකින් වැඩි දෙනෙකු දැනුවත් කිරීම වූ විට පළමු ක්‍රමය තෝරා ගන්න සිදු වෙනවා. නමුත් එහි දිගුකාලීන බලපෑම් දිහා බැලුවොත් සමහර දේවල් බාගෙට දැන ගැනීම නොදැන සිටීමටත් වඩා භයානක වන අවස්ථාත් දැකිය හැකියි.
මේ සම්බන්ධය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අපි කුඩා දූපතක් වෙත යමු. දැන් මේ කරන්නේත් සරල පැහැදිලි කිරීමක්ම තමයි.
ආරම්භයේදී ඔය දූපතේ අද අර්ථයෙන් මුදල් කියා දෙයක් නැහැ. දූපතේ මිනිසුන් අතර සිදු වන සීමිත ගනුදෙනු සිදු වන්නේ භාණ්ඩ හුවමාරු ලෙසයි. රජුට බදු ගෙවන්නේත් භාණ්ඩ වලින්.
ඔහොම තියෙද්දී ඔය දූපත විදේශිකයින් පිරිසක් විසින් යටත් කර ගන්නවා. එම විදේශික රජයේ හමුදාවට වැටුප් ගෙවන්නේ කිසියම් මුදල් වර්ගයකින්. මේ මුදල් දැන් රට පාලනය කරන ආක්‍රමණික කණ්ඩායමේ නායකයා විසින් තමන්ගේ රටින් රැගෙන ආ මුදල්. ඒවා එකම වර්ගයක ලෝහ කාසි. ඒ ලෝහ කාසි ගෙවා නැවේ තිබෙන ආහාර වැනි දේ මිල දී ගන්න පුළුවන්. ඒවාත් මුල් රටින් රැගෙන ආ ආහාර. ආහාර වල අයිතිය තිබෙන්නේත් ආක්‍රමණික කණ්ඩායමේ නායකයාටයි.
ඉතා ඉක්මණින් නැවේ ආහාර අවසන් වෙනවා. නමුත් විදේශිකයින් සතුව මුදල් තිබෙනවා. ඔවුන් එම මුදල් ගෙවා ස්වදේශිකයින්ගෙන් ආහාර මිල දී ගන්න උත්සාහ කළත් ඔවුන් එවැනි හුවමාරුවකට කැමති වෙන්නේ නැහැ. ඔවුන්ට මේ මුදල් වලින් වැඩක් නැහැ. ඔවුන්ගේ සංස්කෘතිය හුවමාරු සංස්කෘතියක් නෙමෙයි.
මේ වෙලාවේ රටේ අලුත් පාලකයා වන ආක්‍රමණික කණ්ඩායමේ නායකයා විසින් සියලුම රටවැසියන්ට බද්දක් පනවනවා. එම බද්ද ගෙවිය යුත්තේ මුදල් වලින්. නමුත් ස්වදේශිකයින් සතුව මුදල් නැහැ. ඒ නිසා ඔවුන්ට මුදල් ලබා ගැනීම සඳහා විදේශිකයින් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීමට සිදු වෙනවා. ඒ හරහා රටේ නිපදවන භාණ්ඩ වලට මුදල්මය වටිනාකමක් ලැබෙනවා.
බදු ගෙවද්දී භාණ්ඩ හුවමාරුව හරහා ස්වදේශිකයින් අතට පත් වෙන මුදල් නැවත අලුත් රජය සතු වෙනවා. ඒ නිසා, ඒ මුදල් වලින් නැවත නැවත වැටුප් ගෙවිය හැකියි. වැටුප් ලබන අයට ඒ වැටුප් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කළ හැකියි. භාණ්ඩ හා සේවා විකුණන අයට ඒ මගින් බදු ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගත හැකියි.
මේ විදිහට මුදල් මත පදනම් වූ සීමිත ගනුදෙනු ආර්ථිකයක් හැදී රටේ නිපදවන භාණ්ඩ හා සේවා වලට මුදල් වටිනාකමක් ලැබීමෙන් පසුව ගනුදෙනු ආර්ථිකය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. දැන් ස්වදේශිකයෙකුට තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය නොවුනත් මුදල් පිණිස භාණ්ඩ හා සේවා නිපදවන්න පුළුවන්. ඒ වගේම, ඒ මුදල් ගෙවා තමන්ට අවශ්‍ය, තමන් සතු නැති, භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. ඊට අමතරව මුදල් වලින් වත්කම් එකතු කරන්න පුළුවන්.
ඔය විදිහේ ගනුදෙනු ආර්ථිකයක් හැදුනට පස්සේ රජය විසින් මුලින් පනවපු බද්ද ඉවත් කළත් මුදල් භාවිතය නැති වෙන්නේ නැහැ. ගනුදෙනු කිරීමේ හැකියාව සහ අනාගත ගනුදෙනු සඳහා ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව නිසාම මුදල් වලට වටිනාකමක් ඇති වෙනවා. ඒ සඳහා අදාළ මුදලේ නෛසර්ගික වටිනාකමක් තියෙන්න අවශ්‍ය නැහැ.
අපි හිතමු මුලින්ම නැවෙන් ගෙනාවේ සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි කියලා. ඔය මුදල් ප්‍රමාණය ඉවර වෙනකම් රජයට පුළුවන් මුදල් සැපයුම වැඩි කරන්න. බදු ගෙවීම සඳහා පමණක් මුදල් අවශ්‍ය වන මුල් අවස්ථාව සැලකුවොත්, අවුලක් නැතිව මුදල් සැපයුම වැඩි කළ හැක්කේ බදු ලෙස එකතු කර ගත යුතු මුදල් ප්‍රමාණය දක්වා පමණයි. මිනිස්සුන්ට ඊට වඩා මුදල් අවශ්‍ය වන්නේ නැහැ. මුදල් සැපයුම ඊට වඩා වැඩි කළොත් ඒ මුදල් වැටුප් සේ ලබා ගන්නා අයට මුදල් සමඟ හුවමාරුවට භාණ්ඩ හා සේවා ලබා ගන්න අමාරු වෙනවා. එවැනි අය භාණ්ඩ හා සේවා මිල දී ගන්න තරඟ කරද්දී භාණ්ඩ හා සේවා වල මිල වැඩි වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් උද්ධමනයක් ඇති වෙනවා.
නමුත් ගනුදෙනු ආර්ථිකයක් හැදී එය ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තට පස්සේ ඒ හේතුවෙන් මුදල් ඉල්ලුම දවසින් දවස ඉහළ යනවා. ඒ නිසා, උද්ධමනයකට මුහුණ නොදී මුදල් සැපයුමත් දවසින් දවස ඉහළ දමන්න පුළුවන්. අලුතෙන් රාජ්‍ය සේවකයින් බඳවා ගන්න පුළුවන්. මේ මගින් රජය විශාල කර ගන්න පුළුවන්.
ඔහොම ගිහින් නැවේ ගෙනාපු සල්ලි සියල්ලම සංසරණයට එකතු කර අවසන් කළාට පස්සේ වෙන්නේ කුමක්ද? නැවේ ගෙනාපු සල්ලි ඉවර නිසා මුදල් සැපයුම තවත් වැඩි කරන්න බැහැ. නමුත් රටේ ගනුදෙනු ව්‍යාප්ත වෙද්දී මුදල් වලට තිබෙන ඉල්ලුම එන්න එන්නම ඉහළ යනවා. ඒ නිසා, තිබෙන මුදල් ප්‍රමාණය ලබා ගන්න තරඟය වැඩි වෙලා මුදල් වල වටිනාකම ඉහළ යනවා. මුදල් වලට සාපේක්ෂව භාණ්ඩ හා සේවා වල මිල අඩු වෙනවා. ඒ කියන්නේ අවධමන තත්ත්වයක් ඇති වෙනවා.
දැන් එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ තමයි උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වෙන්නේ කිසියම් මුදල් වර්ගයකට තිබෙන ඉල්ලුම හා සැපයුම මත කියන එක. ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් උද්ධමනයක් ඇති වෙනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් අවධමනයක් ඇති වෙනවා. මෙය වෙනත් භාණ්ඩයක හෝ සේවාවක මිල ඉල්ලුම හා සැපයුම අනුව වෙනස් වීමට සමානයි.
මෙහි තිබෙන්නේ පරිකල්පනීය විස්තරයක් වුනත්, ඉංග්‍රීසි කාලයේදී ලංකාවේ ගනුදෙනු සංස්කෘතිය ව්‍යාප්ත වෙද්දී සිදු වූ දෙයත් මීට බොහෝ දුරට සමානයි. මුදල් ඉල්ලුම එන්න එන්නම වැඩි වුනා. නැවේ ගෙනාපු සල්ලි ඉවර වෙද්දී "තව නැවු වලින් සල්ලි ගේන්න පුළුවන් වූ නිසා" මුදල් සැපයුමත් එන්න එන්නම වැඩි වුනා. ඉල්ලුම හා සැපයුම වෙනස් වෙන ආකාරය අනුව මුදල් වල වටිනාකම වෙනස් වී උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වුනා.
මේ විස්තරයේ තිබෙන පරිකල්පනීය දූපතේ මුදල් සැපයුම තීරණය කරන්නේ රජය විසින්. රජයක හෝ මහ බැංකුවක ඒකාධිකාරය යටතේ තනි මුදල් වර්ගයක් භාවිතා කරන රටකට මේ විස්තරය ගැලපෙනවා. නූතන ලෝකයේ බොහොමයක් රටවල් එවැනි රටවල්. (එවැනි ඒකාධිකාරයක් තිබුණත් ඒ ඒකාධිකාරයට තිබෙන සීමාවන් ගැන පසුව වෙනත් ලිපියකින් අවධානය යොදවමු.)
මුදල් සැපයුම පාලනය කරන රජයකට හෝ මහ බැංකුවකට එය හරියටම තීරණය කරන්න පුළුවන්. ඒ නිසා, මුදල් ඉල්ලුම දන්නවානම් හරියටම මුදල් ඉල්ලුම සහ මුදල් සැපයුම ගලපන්න පුළුවන්. එවිට උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ විදිහට මුදල් ඉල්ලුම හරියටම දැන ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මහ බැංකුවකට හෝ රජයකට කෙටිකාලීනව මුදලේ අගය ස්ථාවරව තබා ගැනීමේ හැකියාවක් නැහැ. එක්කෝ උද්ධමනයක් ඇති වෙනවා. නැත්නම් අවධමනයක් ඇති වෙනවා.
කෙටිකාලීනව මුදලේ අගය ස්ථාවරව තබා ගැනීමේ හැකියාවක් නැති වුනත්, මුදල් සැපයුම පාලනය කිරීම හා අදාළව මහ බැංකුවකට හෝ රජයකට ඒකාධිකාරී බලයක් තිබේනම්, දිගුකාලීනව මුදලේ අගය ස්ථාවරව තියා ගන්න පුළුවන්. එසේ නැත්නම් දිගුකාලීනව ස්ථාවර වේගයකින් මුදලේ අගය අඩු වෙන්න ඉඩ හරින්න පුළුවන්. ඒ කියන්නේ උද්ධමනය දිගුකාලීනව ස්ථාවර මට්ටමක පවත්වා ගන්නවා කියන එක. මේ පරිකල්පනීය උදාහරණයේ මෙන් ඒකාධිකාරී බලයක් නැතත්, ලෝකයේ මහ බැංකු බොහොමයක් විසින් දැන් කරන්නේ මේ වැඩේ.
ඉතිහාසයේ මුල් යුගයේ කෙසේ වෙතත් යුරෝපීයයන් ලංකාවට පැමිණෙන කාලය වෙද්දී, දළ අදහසක් ලෙස, ලංකාවේ තිබුණේ රජුගේ අයිතියට යටත් වූ පොදු දේපොළ ක්‍රමයක්. ඔය ක්‍රමය ඇතුළේ සාමාන්‍ය මිනිසුන් අතේ විශාල ලෙස වත්කම් සමුච්ඡනය වීමක් සිදු වුණේ නැහැ. නමුත් වෙනත් ඇතැම් සමාජ වල, විශේෂයෙන්ම යුරෝපයේ, පෞද්ගලික දේපොළ ක්‍රමය වඩා ප්‍රචලිතව තිබුණා. එවැනි රටවල වත්කම් ගබඩා කර ගැනීමේ මාධ්‍ය ලෙස රන් හා රිදී වැනි දුලබ ලෝහ භාවිතා වුනා. මෙවැනි ලෝහ වර්ග ගනුදෙනු සඳහාද යොදා ගැනුණා. ඒ සඳහා රජු හෝ රජය මගින් සම්මත කාසි නිකුත් කර ඒවාට බාහිරින් වටිනාකමක් ලබා දෙන්න අවශ්‍ය වුනේ නැහැ.
මුදල් වල වටිනාකමේ ප්‍රභවය එහි ලෝහ සංයුතිය මිස ඒ මත ඇති රජුගේ මුද්‍රාව වැන්නක් නොවේනම් මුදල් සැපයුම ඒකාධිකාරයක් වන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට මුදල් "හොයා ගෙන" සංසරණයට එකතු කළ හැකියි. ඒ නිසා, මුදල් ඉල්ලුම වගේම මුදල් සැපයුමද විචලනය වෙනවා. මේ අනුව, අවධමනයක් හෝ උද්ධමනයක් ඇති වීම හෝ පැවතීම කිසිවෙකුට පාලනය කළ නොහැකියි.
යුරෝපීයයන් ඇමරිකාව සොයා ගැනීමෙන් පසුව වටිනා ලෝහ සංචිත, විශේෂයෙන්ම එවකට මුදල් ලෙස වඩාත්ම ප්‍රචලිතව තිබුණු රිදී, විශාල ලෙස හමු වූ බැවින් යුරෝපය තුළ මුදල් සැපයුම වැඩි වී මුදලේ වටිනාකම අඩු වුනා. භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා. උද්ධමනයක් ඇති වුනා. මේ විදිහට උද්ධමනයක් ඇති වෙද්දී තමන්ගේ වත්කම් රන් හා රිදී වලින් තබා ගෙන සිටි අයගේ එම වත්කම් වල වටිනාකමද පහත වැටුණා. උද්ධමනය නිසා හානියක් වෙනවා කියන අදහස පසුව ප්‍රචලිත වන්නේ ඔය යුගයේ නිරීක්ෂණ මත පදනම්වයි. උද්ධමනය කියා කිවුවත්, ඔය කාලය වෙද්දී උද්ධමනය කියන පසුකාලීන සංකල්පය වැඩි දියුණු වෙලා නැහැ.
මේ යුගයේ නිරීක්ෂණත් එක්ක පෙනී ගිය කරුණක් වූයේ මුදල් සැපයුම, නිශ්චිතව කිවුවොත් රන් හෝ රිදී සැපයුම, ඉහළ යද්දී පොදුවේ ජනතාව වඩ වඩා ධනවත් වීමක් සිදු නොවන බව සහ ඒ වෙනුවට මුදලේ වටිනාකම පහළ යාම හේතුවෙන් අවසාන වශයෙන් මුදල් සැපයුම ඉහළ යාමේ විශේෂ වාසියක් රටට හෝ එහි ජනතාවට නොමැති බවයි. ප්‍රංශ චින්තකයෙකු වන ෂෝන් බෝදන් (Jean Bodin) විසින් 1568දී මේ බව පෙන්වා දුන්නා. එම අදහස ඉදිරිපත් කළේ උද්ධමනයට හේතුව මුදල් බාල කිරීමය යන එවකට ප්‍රචලිතව පැවති අදහසට විකල්ප අදහසක් ලෙසයි. බෝදන්ටත් කලින් මාටින් ද අස්පෙල්ක්වේතා (Martín de Azpilcueta ) වැන්නන් මේ අදහස ඉදිරිපත් කර තිබුණත්, අදහස ඉදිරියට ගෙන ගියේ ෂෝන් බෝදන්.
පසුව ජාන් ලාක් (John Locke), ඩේව්ඩ් හියුම්, රිචඩ් කැන්ටලින් වැනි අය මේ අදහස වැඩි දියුණු කළා. ජෝන් ස්ටුවට් මිල්, ඇල්ෆ්‍රඩ් මාෂල් වැනි අය තවත් එකතු කිරීම් කළා. මේ සියලුම අය ප්‍රධාන වශයෙන් අවධානය කළේ මුදල් සැපයුම සහ පොදුවේ මිල ගණන් ඉහළ යාම අතර සම්බන්ධයටයි. එසේ නැත්නම් එය සිදු විය හැකි යාන්ත්‍රනයටයි.
කලකට පසුව, 1911දී අර්වින් ෆිෂර් විසින් මේ අදහස වඩා සම්පූර්ණ හා තර්කානුකූල ගණිතමය සමීකරණයක ආකාරයෙන් ඉදිරිපත් කළා. මෙය පසුව මුදල් ප්‍රමාණ සමීකරණය ලෙස ප්‍රචලිත වුනා. මුදල් ප්‍රමාණ සමීකරණයේ පදනම සරල සර්වසාම්‍යයක්. මුදල් ප්‍රමාණ සමීකරණය පිළිබඳව මීළඟ ලිපියෙන් විස්තරාත්මකව කතා කරමු.
ඔය කාලය වන විට ඇමරිකාවේ මහ බැංකුවක් තිබුණේ නැහැ. ඒ නිසා, මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරයක් තිබුණේත් නැහැ. ෆෙඩරල් සංචිත බැංකුව පිහිටවූයේ 1913 වසර අවසානයේදීයි. මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරයක් නොමැති තත්ත්වයක් යටතේ මුදල් සැපයුම තීරණය වුනේ රන් සැපයුම මතයි. ඒ වෙද්දී රන් කැණීම කර්මාන්තයක් බවට පත් වී තිබුණා.
රන් සංසරණයට එකතු කිරීමේ ඉහළ ආවස්ථික පිරිවැය නිසා පසුකාලීනව රන් සැපයුම ඉහළ ගියේ අඩු වේගයකින්. ඒ නිසාම, රන් සැපයුම හා ගැට ගැසී තිබුණු මුදල් සැපයුම ඉහළ ගියේද අඩු වේගයකින්. නමුත් යුරෝපයේත්, විශේෂයෙන්ම "අලුත් ලෝකය" වූ ඇමරිකාවේත් ගනුදෙනු ආර්ථික වේගයෙන් ප්‍රසාරණය වෙමින් පැවති නිසා මුදල් සැපයුමේ වර්ධනය ඉක්මවන වේගයකින් මුදල් ඉල්ලුම වර්ධනය වුනා. මෙහි ප්‍රතිඵලය වූයේ උද්ධමනයට වඩා අවධමනය සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වීමයි.
උද්ධමනය හේතුවෙන් මුදල් වල වටිනාකම විශාල ලෙස පහත වැටුණු, යුරෝපය විසින් අලුත් ලෝකය සොයා ගත්, 16 වන සියවසේදී මෙන්ම එහි විලෝමය සිදු වූ 19 වන සියවසේදීද මේ දේවල් සිදු වූයේ මධ්‍යගත අධිකාරයක් විසින් මුදල් සැපයුම පාලනය කළ තත්ත්වයක් යටතේදී නොව එවැන්නක් සිදු නොවූ තත්ත්වයක් යටතේදීයි.
විශේෂයෙන්ම 1500-1650 අතර කාලයේදී බටහිර යුරෝපයේ භාණ්ඩ මිල ගණන් 4-6 ගුණයකින් ඉහළ ගියා. ස්පාඤ්ඤය විසින් දකුණු ඇමරිකාවේ වත්මන් බොලීවියාවෙන් එකතු කරගත් රිදී හා රන් යුරෝපයට රැගෙන ඒම නිසා මුලින්ම ස්පාඤ්ඤයේ ඇති වූ උද්ධමනය පසුව පෘතුගාලය, ඉතාලිය, ප්‍රංශය වැනි රට වලට ව්‍යාප්ත වී අවසාන වශයෙන් එංගලන්තය, ජර්මනිය හා ස්කැන්ඩිනේවියාව දක්වා ව්‍යාප්ත වුනා.
මෙසේ සියවස් එකහමාරක පමණ කාලයක් එක දිගට පැවති උද්ධමනය යුරෝපයේ ධනවතුන්ගේ වත්කම් වල වටිනාකම විශාල ලෙස පහත හෙලුවා. ඔය කාලය යුරෝපයේ ධනවතුන් සීමිත පිරිසක් අතේ විශාල ධනයක් එක් රැස් වී තිබුණු, ආදායම් විෂමතා විශාල ලෙස ඉහළ ගොස් තිබුණු කාලයක්. මිල ගණන් 4-6 ගුණයකින් ඉහළ යනවා කියන්නේ රන් හෝ රිදී සේ තබාගත් වත්කම් වල වටිනාකමෙන් 75%-83% අතර කොටසක් අහිමි වෙනවා කියන එකයි. නමුත් මෙලෙස වත්කම් අහිමිවීමක් සිදු වන්නේ ඒ වත්කම් රන් හෝ රිදී සේ තබාගත් නිසා.
මිල ගණන් ඉහළ යාම නිසා නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි මූර්ත වත්කම් වල වටිනාකම අඩු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස එළදෙනකගේ හෝ අශ්වයෙකුගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. මෙවැනි මූර්ත වත්කම් වර්ධනය වනවා වගේම ඊට අමතරව උද්ධමනය නිසා නාමික වටිනාකම් ඉහළ යාමක්ද සිදු වෙනවා. උද්ධමනය නිසා ධනය අහිමි වීම නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි මූර්ත වත්කම් වෙනුවට, නාමික වටිනාකමක් පමණක් ඇති රන් රිදී ගොඩ ගසා ගෙන සිටි අයට මුහුණ දෙන්නට සිදු වූ ප්‍රශ්නයක්.
වාර්ෂික සාමාන්‍යයක් ලෙස බලන්නේනම් මේ කාලයේ පැවති උද්ධමනය 1-1.5% අතර අගයක්. අද තත්ත්වයන් හා සංසන්දය කළහොත් පෙනී යනු ඇත්තේ මෙය ඉතා අඩු මට්ටමක උද්ධමනයක් බවයි. නමුත් සියවස් ගණනාවක් මිල ගණන් ස්ථාවරව පැවතීමෙන් පසුව ඇති වූ මෙම තත්ත්වය යුරෝපයේ සමාජය, විශේෂයෙන්ම ධනවතුන්ව, විශාල ලෙස කම්පනය කළ සුවිශේෂී තත්ත්වයක්. චීනය වැනි රටවල මීට බොහෝ පෙරද මෙවැනි උද්ධමන තත්ත්වයන් ඇති වී තිබුණත් යුරෝපයට ඒ අත්දැකීම ලැබී තිබුණේ නැහැ.
කෙසේ වුවත්, ලෝහ වල සාපේක්ෂ වටිනාකම් අඩු වීම නිසා ලෝහ කැනීම සඳහා වූ උනන්දුව අඩු වීමත්, යුරෝපයේ ගණුදෙනු ආර්ථිකය ප්‍රසාරණය වී මුදල් ඉල්ලුම ඉහළ යාම මෙන්ම යටත් විජිතකරණය හරහා ගණුදෙනු ආර්ථිකයේ භූගෝලීය වපසරිය වර්ධනය වීමත් නිසා 1650 පමණ වන විට නැවතත් යුරෝපයේ මිල මට්ටම් ස්ථාවර වුනා. උද්ධමන යුගය අවසන් වුනා. ලංකාවේ පෘතුගීසි පාලන යුගය යුරෝපයේ උද්ධමන යුගයක්. ලන්දේසි පාලන කාලය යුරෝපයේ මිල ගණන් බොහෝ දුරට ස්ථාවරව පැවති යුගයක්.
ඉහත කී පරිදි යුරෝපයේ මිල ගණන් බොහෝ දුරට ස්ථාවරව පැවතීමට හේතුව මුදල් වල වටිනාකම වෙනස් වීමට අනුරූපව රන් හා රිදී වැනි වටිනා ලෝහ කැණීම සඳහා වූ පෙළඹවීමද වෙනස් වීමයි. මුදල් ඉල්ලුමට වඩා මුදල් සැපයුම ඉහළ යද්දී රන් හා රිදී වල වටිනාකම පහත වැටී කැණීම සඳහා වූ පෙළඹවීම අඩු වුනා. මේ හේතුවෙන් සැපයුම පාලනය වී නැවතත් මිල ඉහළ ගියා. මිල ඉහළ යද්දී නැවතත් රන් රිදී සොයා ගැනීම සඳහා වන උනන්දුව ඉහළ ගියා.
කෙසේ වුවත්, දහනව වන සියවසේ අග භාගයේදී දෙවන කාර්මික විප්ලවය හමුවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ ගොස් මුදල් ඉල්ලුම වේගයෙන් ඉහළ යද්දී ඊට අනුරූපව මුදල් සැපයුමේ ඉහළ යාමක් සිදු වූයේ නැහැ. ඒ වන විට, පහසුවෙන් හා අඩු වියදමකින් ලබා ගත හැකි රන් සංචිත අවසන් වෙලා. මෙහි ප්‍රතිඵලය වූයේ දැනෙන තරමේ විශාල හා දශක ගණනාවක් පැවතුණු අවධමන කාලයක්. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපනය කෙරෙන්නේ ඇමරිකාවේ හා යුරෝපයේ පැවති මෙම අවධමන යුගයේ අවසානය සනිටුහන් වෙද්දීයි. මේ සියල්ල සිදු වන්නේ වසර පන්සීයකට පමණ පෙර සිට වසර සීයකට පෙර දක්වා වූ අතීත කාලයකදීයි.
ඉතිහාසයේ ඉහත කාලය සැලකුවහොත්, ඉඩම් වැනි වත්කම් හිමි ධනවතුන් සහ ශ්‍රමය පමණක් හිමි දුප්පතුන් ලෙස සමාජයේ පැහැදිලි කොටස් දෙකක් සිටියා. දුප්පතුන් අතේ මුදල් එක්රැස් වී තිබුණේ නැහැ. ඔවුන්ට ජීවත් වීමට සිදු වී තිබුණේ එදිනෙදා උපයන ආදායමෙන්. එයින් වෙනස්ව, ධනවතුන් සතුව එක්රැස් කරගත් වත්කම් තිබුණා. සාමාන්‍ය කරුණක් ලෙස ධනය හා බලය එකට යන බව අප දන්නා කරුණක්. ජීවත්වීම පිණිස රැකියාවක් සොයන, සංවිධානය නොවූ, දුප්පතෙකුට ධනවතෙකු හා හෙට්ටු කර වැඩි වැටුපක් ලබා ගැනීමේ හැකියාව සීමිතයි. ඊට සාපේක්ෂව ධනවතෙකුට ශ්‍රමය වෙනුවෙන් ශ්‍රමිකයින්ට ගෙවන මිල තීරණය කිරීමේ හැකියාවක් තිබුණා. මේ තත්ත්වයන් දැනට වුවත් මුළුමනින්ම අහෝසි වී නැතත්, ඉහත කාලයේදී වඩා පැහැදිලිව පෙනෙන්නට තිබුණා.
රන් රිදී වැනි වටිනා ලෝහ හෝ එවැනි ලෝහ වල වෙළදපොළ වටිනාකම මත වටිනාකම නිර්ණය වූ මුදල් එක්රැස් කරගෙන සිටියේ සමාජයේ ධනවතුන් විසිනුයි. දුප්පතුන් සතුව එසේ එක්රැස් කරගත් ධනයක් තිබුණේ නැහැ.
මුදල් වල වටිනාකම ලෝහ වටිනාකම අනුව තීරණය වෙද්දී, එක දිගට උද්ධමනයක් පැවති වකවානු වලදී ධනවතුන්ගේ වත්කම් අඩු වුනා. එක දිගට අවධමනයක් පැවති වකවානු වලදී ඔවුන්ගේ වත්කම් වල වටිනාකම ඉහළ ගියා. මෙය ශ්‍රමය පමණක් හිමිව තිබුණු දුප්පතුන්ට බලපෑවේ කෙසේද?
උද්ධමනය නිසා භාණ්ඩ මිල ඉහළ යද්දී දුප්පතුන්ට කලින් ලබා ගත් වැටුපෙන් ජීවත් වීමට හැකි වූයේ නැහැ. ඒ නිසා, ධනවතුන්ට ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට සිදු වුනා. නමුත් එවැනි වැටුප් වැඩිවීමක් ඔවුන්ට විශේෂ වාසියක් වූයේ නැහැ. ලැබෙන ආදායම අනෙක් අතට භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය වුනා.
අවධමනය දුප්පතුන්ට බලපෑවේ කොහොමද? අවධමන තත්ත්වයක් පවතිද්දී කලින් වැටුපම ලැබුණේනම්, එම වැටුපෙන් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිල දී ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. මේ හේතුවෙන් භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් මිල ගණන් ඉහළ යනවා. නමුත් මිල ගණන් ඉහළ යාමක් කියන්නේ උද්ධමනයක් මිසක් අවධමනයක් නෙමෙයි. ඒ නිසා, එක දිගට අවධමනයක් පැවතීමෙන් පෙනී යන්නේ මෙවැන්නක් සිදු නොවූ බවයි. එක දිගට අවධමනයක් පැවතීමට හේතුව මිල ගණන් අඩු වෙද්දී ඊට අනුරූපව ශ්‍රමය වෙනුවෙන් ලැබෙන මිලද පහත වැටීමයි.
උද්ධමනයක් එක දිගට පවතිද්දී ධනවතුන්ට ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල වැඩි කරන්නට සිදු වෙනවා. එමෙන්ම, අවධමනයක් පවතිද්දී, ඔවුන්ට ශ්‍රමයේ මිල අඩු කිරීමට ඉඩකඩ ලැබෙනවා. ඒ අනුව, උද්ධමනය හෝ අවධමනය නිසා ප්‍රාග්ධනය අහිමි ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයේ ලොකු වෙනසක් සිදු වන්නේ නැහැ.
මාක්ස්වාදයට පදනම් වූයේ මේ නිරීක්ෂණයයි. එනම්, ධනවතුන්ට ශ්‍රමිකයින්ට ඔවුන්ට ජීවත්වීම සඳහා අවශ්‍ය අවම මිල පමණක් ගෙවමින් ඔවුන්ගේ ශ්‍රමය මිල දී ගත හැකි බවයි. අවම වශයෙන් ඉතිහාසයේ එක් යුගයක් හා අදාළව මේ නිරීක්ෂණය පදනමක් නැති එකක් නෙමෙයි.
උද්ධමනයක් හෝ අවධමනයක් පැවතීම ප්‍රාග්ධනය අහිමි ශ්‍රමිකයෙකුගේ ජීවන තත්ත්වය කෙරෙහි විශාල බලපෑමක් කරන්නේ නැහැ. කෙටිකාලීනව බලපෑමක් සිදු විය හැකි වුවත්, ඊට හේතුව ඔවුන්ගේ සීමිත හෙට්ටු කිරීමේ හැකියාව මිසක් උද්ධමනය හෝ අවධමනය නෙමෙයි. එය ආර්ථික කරුණකට වඩා දේශපාලනික කරුණක්. දිගුකාලීනවනම් බලපෑමක් වන්නේම නැහැ.
එහෙත්, තමන්ගේ වත්කම් රන් හෝ රිදී වැනි වටිනා ලෝහ වලින් හෝ එවැනි ලෝහයක ව්‍යුත්පන්නයක් වූ මුදලකින් තබා ගන්නා ධනවතෙකුට උද්ධමනය පැහැදිලි අවාසියක්. අවධමනය වාසියක්. එය එසේ වන්නේ රන් හෝ රිදී වල තිබෙන්නේ සැබෑ වටිනාකමක් නොවන නිසා. මේ අතින් රන් හා රිදී ෆියට් මුදල් වලට සමානයි. රන්, රිදී, ෆියට් මුදල්, බිට්කොයින් ආදී කිසිවක් සැබෑ ආයෝජන නෙමෙයි. සැබෑ ආයෝජනයක් හෙවත් මූර්ත ආයෝජනයක් සේ සැලකිය හැක්කේ අනාගතයේදී භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කර ගත හැකි යන්ත්‍ර සූත්‍ර, කෘෂිකාර්මික උපකරණ, වෙනත් යටිතල පහසුකම් ආදියයි. එවැනි ආයෝජන වල ප්‍රතිලාභ කෙරෙහි උද්ධමනයේ හෝ අවධමනයේ කිසිදු දිගුකාලීන බලපෑමක් නැහැ.
මේ සඳහන කළත්, මේ ලිපියේ සහ ඉදිරි ලිපි වල ප්‍රධාන ඉලක්කය සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය අතර සම්බන්ධය පැහැදිලි කිරීමයි. වර්තමාන සන්දර්භය තුළ උද්ධමනයේ හා අවධමනයේ වාසි අවාසි කාටද කියන එකත් වෙනම ලිපියක විස්තරාත්මකව කතා කරමු. ඊට කලින්, පෙර සඳහන් කළ, මුදල් ප්‍රමාණ සමීකරණය පිළිබඳව පැහැදිලි කර ගනිමු.
මේ සමඟ පළ කරන රූපය අලුතෙන් නිකුත් කර තිබෙන රුපියල් 2000 නෝට්ටුවේ නිදර්ශකයක්. මෙය අනුර කුමාර දිසානායකගේ අත්සන සහිතව නිකුත් කෙරෙන මුල්ම මුදල් නෝට්ටුව විය හැකියි.මෙම නෝට්ටුව ඉදිරි කාලය තුළ විශාල වශයෙන් සංසරණය වීමට නියමිතයි. එහෙත් එය ආර්ථික විද්‍යා අර්ථයෙන් සල්ලි අච්චු ගැසීමක් හෝ මුදල් සැපයුම වැඩි කිරීමක් නෙමෙයි. මහ බැංකුව විසින් මෙම නෝට්ටු සංසරණයට එකතු කරනු ඇත්තේ පැරණි නෝට්ටු සංසරණයෙන් ඉවත් කර විනාශ කිරීමෙන් පසුව ඒ වෙනුවටයි.
Thursday, August 14, 2025
ඇමරිකාවේ තීරු බද්ද ගෙවන්නේ කවුද?
ඇමරිකාවේ අලුතෙන් පනවපු තීරු බදු පිළිබඳව ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර සිටම ජනාධිපති ට්‍රම්ප් විසින් කියපු කතාව වුනේ "අපි කරන්නේ ඇමරිකානුවන්ට බදු ගහන එක වෙනුවට විදේශිකයින්ගෙන් බදු අය කරන එක" වගේ කතාවක්. මීට ප්‍රතිපක්ෂව, ඇමරිකාවේ හා ලෝකයේ ලිබරල් කඳවුර විසින් දිගින් දිගටම කියපු කතාව වුනේ "මේ බදු ගෙවන්න වෙන්නේ ඇමරිකන් පාරිභෝගිකයාට" කියන එකයි. බටහිර මාධ්‍ය වලින්ද ඔය අදහසට බරක් තබා ඇති බව දැකිය හැකියි.
මූලික ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඔය අන්ත දෙකම ඇත්ත නෙමෙයි. ඕනෑම බද්දක බර, ගෙවන්නේ කවුරු විසින් වුනත්, අවසාන වශයෙන් පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යනවා. මෙය සිදු වන්නේ කවර අනුපාතයකින්ද කියන එක තීරණය වන්නේ මිල ප්‍රත්‍යස්ථතා මතයි.
ඇමරිකාවේ ආනයනික භාණ්ඩ හා අදාළව පාරිභෝගිකයා ඉන්නේ ඇමරිකාවේ වුවත් නිෂ්පාදකයා ඉන්නේ වෙනත් රටක. ඒ නිසා, ඇමරිකන් තීරු බද්දේ බර බෙදී යාම ඇමරිකානුවන් සහ විදේශිකයින් අතර බදු බර බෙදී යාමක්ද වෙනවා. බද්ද අය කර ගන්නේ ඇමරිකන් රජය විසින් නිසා අවසාන වශයෙන් සිදු වෙන්නේ ඇමරිකන් රජය විසින් විදේශිකයින්ගෙන් කවර හෝ මුදලක් එකතු කර ගැනීමක්. ඒ අතරම, ඇමරිකන් පාරිභෝගිකයින්ටත් බද්දේ බරෙන් කොටසක් දරන්න සිදු වෙනවා.
අපි හිතමු ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන අර්තාපල් කිලෝවක් මත රුපියල් 50ක අලුත් බද්දක් රජය විසින් අය කරනවා කියලා. සාමාන්‍ය කරුණක් ලෙස මේ විදිහේ බද්දක් අය කළ විට රට ඇතුළේ අර්තාපල් කිලෝවක් විකිණෙන මිලත් ඉහළ යනවා.
ලංකාවේ අර්තාපල් නිෂ්පාදනයක් නැත්නම්, අර්තාපල් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් පමණක්නම් සහ අර්තාපල් කියන්නේ පාරිභෝගිකයින්ට මිල දී නොගෙන ඉන්නම බැරි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක්නම්නම්, උපරිම වශයෙන් රුපියල් 50කින් දේශීය අර්තාපල් මිල ඉහළ යන්න පුළුවන්. අනෙක් අතට දේශීය අර්තාපල් ගොවීන්ට ඉන්දියාව එක්ක තරඟකාරී ලෙස ඉන්දියාවට වඩා අඩු මිලකට රටට අවශ්‍ය තරම් අර්තාපල් නිපදවීමේ හැකියාවක් තිබෙනවානම් ඔය බද්ද දැම්මා කියලා දේශීය අර්තාපල් මිල සතයකින්වත් වැඩි නොවෙන්න පුළුවන්. ඔය දෙකම තර්කානුකූලව සිදු විය හැකි දේ වුනත් ප්‍රායෝගිකව සිදු වන්නේ ඔය අන්ත දෙක අතර දෙයක්.
අර්තාපල් වෙනුවට ඉන්ධන වගේ දෙයක් සැලකුවොත් ලංකාව ඇතුළේ නිෂ්පාදනය කිරීමක් වෙන්නේ නැහැ වගේම එසේ කිරීමේ හැකියාවක්ද නැහැ. ඒ වගේම ඉන්ධන කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා, ඉන්ධන ලීටරයක් මත රුපියල් 50ක තීරු බද්දක් දැම්මොත් එහි බර වැඩි වශයෙන්ම වැටෙන්නේ පාරිභෝගිකයින් මතයි. නමුත් ඉන්ධන වගේ දෙයක් සැලකුවත්, මිල වැඩි වෙද්දී ඉල්ලුම සුළු වශයෙන් හෝ අඩු වෙනවා.
ඉල්ලුම අඩු වෙද්දී සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වෙනවා. ඒ නිසා, සැපයුම්කරුවන් විසින් ලාබ වැඩි කර ගැනීමේ අරමුණින් මිල තරමක් හෝ අඩු කරනවා. තෙල් සංස්ථාව විසින් මේ වැඩේ නොකළත්, ලාබ වෙනුවෙන් ලංකාවේ ඉන්ධන විකුණන IOC හෝ සිනොපෙක් වැනි සමාගමක් අනිවාර්යයෙන්ම ඔය වැඩේ කරනවා. ඒ නිසා, රුපියල් 50ක බද්දෙන් ශත කීපයක් හෝ අවසාන වශයෙන් නිෂ්පාදකයාටත් දරාගන්න වෙනවා. පාරිභෝගිකයා මත පැටවෙන බර රුපියල් 50ට වඩා ශත කිහිපයකින් හරි අඩුයි.
ලංකාවේ ආදේශක තිබෙන දේවල් වල මිලට ඔය විදිහේ තීරු බද්දක් නිසා සිදු වන බලපෑම ගොඩක්ම අඩුයි. පොල් වගේ දෙයක් සැලකුවොත්, ආනයනික පොල් මත රුපියල් 50ක බද්දක් දැම්මා කියලා රුපියල් 50ක් වැඩියෙන් පොල් විකුණන්න බැහැ. ආනයනික පොල් ලංකාවේ විකුණනවානම් විකුණන්න වෙන්නේ දැනට රටේ පොල් විකිණෙන මිලට ආසන්න මිලකටයි. ඕනෑනම් රුපියල් පහක් වගේ වැඩියෙන් විකුණන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ බද්දේ බර දේශීය පාරිභෝගිකයා මත නොවැටෙන තරම්.
තීරු බද්දක බලපෑම පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යන ආකාරය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙනවා. ඒ නිසා, ඇමරිකාව මෑතකදී කළා වගේ පොදුවේ සියලුම භාණ්ඩ වලට තීරු බදු ගහද්දී එහි සමස්ත බලපෑම ඇස්තමේන්තු කරන එක සංකීර්ණ වැඩක්. ධවල මන්දිරය විසින් උපකල්පනය කරලා තිබුණේ බදු නිසා මිල මත ඇති වන බලපෑම 25%ක් කියලයි. එයින් අදහස් වන්නේ ඇමරිකන් රජය විසින් තීරු බදු ලෙස ඩොලර් 100ක් අය කර ගනිද්දී එයින් ඇමරිකන් පාරිභෝගිකයාට ගෙවන්න වෙන කොටස ඩොලර් 25ක් පමණයි කියන එකයි. ඉතිරි ඩොලර් 75 විදේශ රටවල් වලින් අය කෙරෙන බද්දක්. නමුත් සමහර අය පෙන්වා දී සහ තර්ක කර තිබුණේ මෙම අනුපාතය 93%ක් තරම් ඉහළ අනුපාතයක් බවයි.
තීරු බද්දක බලපෑම පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යන බව න්‍යායාත්මකව පෙන්වා දිය හැකි වුවත් ඒ කවර අනුපාතයකින්ද කියා සොයා ගන්න වෙන්නේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පමණයි. ඉහත කී 25% හා 93% වැනි ඇස්තමේන්තු වලට පදනම් වී තිබුණේ එවැනි දත්ත විශේලේෂණ. එහෙත්, අදාළ ඇස්තමේන්තු සකස් කර තිබුණු තත්ත්වයන් මෑතකාලීන ඇමරිකන් තීරුබදු පැනවීමට හරියටම සමාන තත්ත්වයන් නෙමෙයි.
පසුගිය (2025) ජූනි මාසයේදී ඇමරිකාවේ තීරුබදු ආදායම ඩොලර් බිලියන 27 දක්වා ඉහළ ගියා. එය පෙර වසරේ ජූනි මාසයට සාපේක්ෂව ඩොලර් බිලියන 21ක වැඩි වීමක්. මේ වන විට නිකුත් වී ඇති 2025 ජූලි සංඛ්‍යාලේඛණ අනුව, එම මාසයේ තීරු බදු ආදායමද ඩොලර් බිලියන 28 දක්වා ඩොලර් බිලියන 21කින් වැඩි වී තිබෙනවා. මේ අනුව, පසුගිය මාස දෙකේ වැඩි කළ තීරු බදු වල බලපෑම ඩොලර් බිලියන 42ක් සේ සැලකිය හැකියි.
ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 30ක් පමණ වෙනවා. මාස දෙකට ඩොලර් ට්‍රිලියන 5ක් පමණ. ඒ අනුව, වැඩි වූ තීරු බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.84%ක්. දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානුවන් විසින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වැය කළ මුදල සේ සැලකුවහොත්, ඉහත සඳහන් ඩොලර් බිලියන 42ක තීරු බදු බර මුලුමනින්ම දැරුවේ ඇමරිකන් පාරිභෝගිකයින් විසින්නම්, ඒ හේතුව නිසා සමස්ත මිල මට්ටම 0.84%කින් පමණ ඉහළ යා යුතුයි. ඔවුන් මත පැටවුණේ එම බරෙන් කොටසක් පමණක්නම් සමස්ත මිල මට්ටමෙහි අනුපාතික ඉහළ යාමක් සිදු වී තිබිය යුතුයි.
මේ වන විට ප්‍රකාශිතව ඇති පාරිභෝගික මිල දර්ශක දත්ත අනුව, 2025 ජූනි මාසයේදී සමස්ත මිල මට්ටමේ ඉහළ යාම 0.3%ක් පමණද, ජූලි මාසයේදී එම ඉහළ යාම 0.2%ක් පමණද වෙනවා. එකතුව 0.48%ක්. ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරන්නේ උද්ධමනය 2% මට්ටමේ තබා ගැනීමට බැවින් මාස දෙකක කාලයක් ඇතුළත මිල මට්ටම 0.33%කින් ඉහළ යාම එම ඉලක්කය හා ගැලපෙන සාමාන්‍ය තත්ත්වයක්. පසුගිය දෙමස තුළ මිල මට්ටම තුළ දැකිය හැක්කේ ඊට වඩා සුළු වැඩි වීමක් පමණයි. ඒ නිසා, ජූනි මාසයේදී මෙන්ම ජූලි මාසයේදීද ඇමරිකාවේ උද්ධමනය 2.7% මට්ටමට සීමා වී තිබෙනවා. මීට සාපේක්ෂව, 2022දී ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියා.
මේ අනුව දැනට පෙනී යන්නේ අලුත් තීරු බදු වලින් වැඩි කොටසක් ඇත්තටම ගෙවා තිබෙන්නේ ඇමරිකන් පාරිභෝගිකයින් විසින් නොවන බවයි. ධවල මන්දිරයේ 25% ඇස්තමේන්තුව ඇතැම් විට නිවැරදි වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය ඇමරිකන් ආණ්ඩුවට දැන් යන මාර්ගයේම තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට ධෛර්යය සපයන්නක්.
මෙම දත්ත ප්‍රකාශයට පත් කෙරෙන්නට පෙර, තීරු බදු පැනවූ අළුතම, අප විසින් කියා ඇති එක් දෙයක් මෙම දත්ත වලද උදවුවෙන් නැවත අවධාරණය කළ හැකියි. එනම්, ඇමරිකාවේ අලුත් තීරුබදු නිසා ඇමරිකන් පාරිභෝගිකයින්ට දැනෙන බලපෑමක් සිදු නොවන බවයි. එමෙන්ම ඇමරිකන් ආණ්ඩුවට ඇමරිකාවේ පාරිභෝගිකයින් කෙරෙන් පීඩනයක් ඇති වීමේ ඉඩක් නොමැති බවයි.
Wednesday, July 16, 2025
ලංකාවේ කළ හැකි මූල්‍ය ආයෝජන
Tuesday, July 1, 2025
අවධමනය අවසන් වී උද්ධමනය නැවත එන්නේ ඇයි?
මාස දහයක කාලයක් එක දිගට පැවති අවධමනය මේ මාසයෙන් අවසන් වීමට නියමිතයි. එමෙන්ම, ඉන් පසුව නැවතත් උද්ධමනය දැක ගත හැකි වීමටද නියමිතයි. මීට හේතුව දෙවසරක පමණ කාලයක් "අවධමනය නිෂ්පාදනය කළ" මහ බැංකුව විසින් මේ වන විට "උද්ධමනය නිෂ්පාදනය කරමින්" සිටීමයි.
Monday, June 30, 2025
අවධමන රැල්ලේ අවසන් මාසය
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද -0.6ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. මේ එම දර්ශකය අනුව එක දිගටම අවධමනයක් වාර්තා වන දසවන මාසයයි. එහෙත් අපට විශ්වාසයෙන් යුතුව කිව හැක්කේ මෙම ජූනි මාසය අවධමන රැල්ල අවසන් කරන මාසය බවයි.
ශ්‍රී ලංකාවේ නිල උද්ධමන දර්ශකය වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව ජූනි මාසයේදීද අවධමනයක් පෙන්නුම් කළත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මැයි මාසයේදීම අවධමනය අවසන් වී නැවත උද්ධමන තත්ත්වයක් ඇති වී තිබෙනවා.
අලුත් මහ බැංකු පණත මගින්, මුදල් ප්‍රතිපත්ති හා අදාළව, මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ, උද්ධමනය එකඟ වූ මට්ටමේ පවත්වා ගැනීම මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, උද්ධමනය එම මට්ටමේ නොපවතීනම් මහ බැංකුවට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට සිදු වෙනවා.
මහ බැංකුව එකඟ වී තිබෙන්නේ උද්ධමනය 5% මට්ටමේ තියාගන්නයි. මෙහිදී උද්ධමනය සේ අර්ථ දක්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ කාර්තුවක හෙවත් මාස තුනක කාලයක සාමාන්‍ය අගයයි. එක දිගට කාර්තු දෙකක්ම එම අගය 3% මට්ටමෙන් පහළට වැටී ඇත්නම් හෝ 7% මට්ටමෙන් ඉහළට ගොස් ඇත්නම් මහ බැංකුව විසින් තමන්ගේ කාර්යය නිසි පරිදි ඉටු කර නැති සේ සැලකෙනවා.
මහ බැංකුව ඉහත කී උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමට එකඟ වී එම එකඟතාවය ගැසට් කළේ 2023 ඔක්තෝබර් මාසයේ 3 වෙනිදායි. ඉන්පසු එළැඹුණු පළමු සම්පූර්ණ කාර්තුව 2024 පළමු කාර්තුවයි. එනම්, ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුනයි. 2024 මාර්තු මාසයේදී උද්ධමනය 3% සීමාවෙන් පහළට ආවත්, මාස තුනේ සාමාන්‍ය අගය 4.4% මට්ටමේ පැවතුණා. ඒ කියන්නේ මහ බැංකුව එම කාර්තුවේදී උද්ධමන ඉලක්කය ලඟා කරගත්තා.
එහෙත් ඉහත තත්ත්වය දැකිය හැකි වුනේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය 1.4% දක්වා පහත වැටී 2024 තුන්වන කාර්තුවේදී 0.8% දක්වා තවත් පහත වැටුණා. ඒ කියන්නේ එක දිගටම කාර්තු දෙකක් උද්ධමන ඉලක්කය ගිලිහුණා. මෙය සැලකෙන්නේ නිල වශයෙන් මහ බැංකුව විසින් උද්ධමන ඉලක්කය මග හැරගැනීමක් ලෙසයි.
මේ අයුරින් කාර්තු දෙකක්ම ඉලක්ක පරාසයේ පහළ සීමාවෙන් පහළ තිබුණු උද්ධමනය 2024 හතරවන කාර්තුව වෙද්දී තවත් පහළට වැටී අවධමන තත්වයක් ඇති වුනා. හතරවන කාර්තුවේ සාමාන්‍ය අගය -1.5%ක්. එම අවධමන තත්ත්වය 2025 පළමු කාර්තුව දක්වා දිගු වුනේ -3.6ක අවධමනයක් වාර්තා කරමින්. මෙම මට්ටම ඉලක්කයට වඩා 8.6%කින් අඩු මට්ටමක්. කෙසේ වුවත්, මේ වන විට ප්‍රකාශිතව ඇති සංඛ්‍යාලේඛණ අනුව, 2025 දෙවන කාර්තුවේදී අවධමනය -1.1කට සීමා වී තිබෙනවා.
අවධමන රැල්ල මෙම (2025 ජූනි) මාසයෙන් අවසන් වීමට නියමිතව ඇතත්, තෙවන කාර්තුවේදීද උද්ධමනය 3% සීමාව ඉක්මවා නොයන්නට ඉඩ තිබෙනවා. එය සිදු වනු ඇත්තේ සිවුවන කාර්තුව තුළයි. මේ අනුව, දැනටමත් එක දිගටම කාර්තු පහක් තිස්සේ ගිලිහී ගොස් ඇති මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ඉදිරි කාර්තුව තුළද ගිලිහී යන්නට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, මේ වෙද්දී මහ බැංකුව විසින් "උද්ධමනය නිපදවමින්" සිටින බැවින් සිවුවන කාර්තුව තුළ මහ බැංකුව විසින් ඉලක්කය කරා යාමට නියමිතයි.
"සල්ලි අච්චු ගැසීම" මගින් මහ බැංකුවට උද්ධමනය නිපදවිය හැකියි. සල්ලි අච්චු ගැසීම යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. සංචිත මුදල් යනු සංසරණයේ ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණයේත්, මහ බැංකුවේ ගිණුම් වල ඇති බැංකු සහ රජය සතු මුදල් ප්‍රමාණයේත් එකතුවයි.
මහ බැංකුව ස්වාධීන කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ "සල්ලි අච්චු ගැසීම" නවත්වා ඇති බව නොව, කොපමණ සල්ලි අච්චු ගැසිය යුතුද යන්න මහ බැංකුවට ස්වාධීනව තීරණය කළ හැකි බවයි. මහ බැංකුවක ව්‍යාපාරික කාර්යය මෙන්ම නිල කාර්යය වන්නේද "අවශ්‍ය පමණ" සල්ලි අච්චු ගැසීමයි. ලංකාවේ සන්දර්භයේදී මෙම "අවශ්‍ය ප්‍රමාණය" වන්නේ මහ බැංකුවට ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයයි. හරියටම කිවුවොත්, උද්ධමනය 5% මට්ටමේ තබා ගැනීම සඳහා අච්චු ගැසිය යුතු සල්ලි ප්‍රමාණයයි.
මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසිය යුත්තේ උද්ධමනය පහළ, ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් වුවත්, මහ බැංකුවේ ස්වාධීනත්වය නැති වීම හේතුවෙන් රජයේ අයවැය පියවීමේ අරමුණින් සහ රජයේ පිරිවැය අඩු මට්ටමක තබා ගැනීම සඳහා පොලී අනුපාතික පහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින් සල්ලි අච්චු ගසන්නට මහ බැංකුවට සිදු වුනා. එහි ප්‍රතිඵලය වූයේ උද්ධමනය පාලනය කර ගත නොහැකි මට්ටමකට ඉහළ යාමයි.
උද්ධමනය පාලනයෙන් ගිලිහුණු විට එය නැවත අවශ්‍ය මට්ටමට පහත හෙළා ගැනීම ඉතා අසීරුයි. මේ සඳහා හොඳම තත්කාලීන උදාහරණයක් වන්නේ මේ වන විටද 43.5% මට්ටමේ උද්ධමනයක් පවතින ආජන්ටිනාවයි. රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත් තත්ත්වයක පැවතියද, මෙම වසර අවසන් වෙද්දී පවා ආජන්ටිනාවට උද්ධමනය තනි අංකයකට අඩු කර ගැනීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. එරට ණය පොලී අනුපාතික තවමත් 40% සිට 140% දක්වා වන ඉහළ පරාසයක විචලනය වනු දැකිය හැකියි.
එහෙත්, රාජ්‍යමූල්‍ය අංශයෙන් ලැබුණු සහයෝගයේ උපකාරයද ලබමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉතා කෙටි කලකින් ලංකාවේ උද්ධමනය පාලනය කර ගැනීමට සමත් වුනා. මෙහිදී මහ බැංකුව විසින් ඉතා දැඩි මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යනු දැකිය හැකි වූ අතර සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම වගේ නවත්වා දමනු ලබා තිබුණා. කෙසේ වුවත් මේ වන විට මහ බැංකුව විසින් නැවතත් "අවශ්‍ය ප්‍රමාණයට" සල්ලි අච්චු ගසමින් සිටිනු දැකිය හැකියි.
Monday, June 23, 2025
අවධමනය ඉවරද?
Sunday, June 1, 2025
උද්ධමනය, පොලී අනුපාතික හා විදේශ අංශය
සතියකට පමණ පෙර අප විසින් මෙසේ සටහන් කළා: "අපගේ ඇස්තමේන්තු පරිදි, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, දැනටමත්, එනම් මෙම (2025 මැයි) මාසයේදී, අවධමන තත්ත්වය ඉවත් වී තිබිය හැකියි. එහෙත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා සලකා බලන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව, විදුලි ගාස්තු වැඩි නොකළහොත්, අගෝස්තු මාසය තෙක්ම අවධමන තත්ත්වයක් පැවතිය හැකි වුවත්, විදුලි ගාස්තු සංශෝධනයක් ඊට පෙර සිදු වීමට ඉඩ තිබෙනවා. එය සිදු වුවත් නැතත්, අගෝස්තු මාසයේ සිට උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යාමට නියමිතයි."
මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 මැයි මාසයේ අවධමනය 0.7%කට සීමා වී තිබෙනවා. පසුගිය මාසයේදී මෙම අගය පැවතුණේ 2.0% මට්ටමේ. මැයි මාසයට අදාළ ජාතික පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් කෙරෙන්නේ තවත් සති තුනකින්. අවධමනය දැනටමත් අවසන්ව ඇති බව ඒ අනුව බොහෝ විට පෙනෙන්නට පුළුවන්.
නිල දර්ශකය වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසය වන විට අනිවාර්යයෙන්ම අවධමනය තත්ත්වය ඉවත් වීමට නියමිතව ඇති අතර, ඊට පෙරම, ඇතැම් විට ඉදිරි මාසයේදී වුවද, අවධමන කාලය අවසන් විය හැකියි. එවැන්නක් සිදු වීම සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය වන්නේ නැහැ. විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම අවධමනය අවසන් වෙනවා.
කෙසේ වුවත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත් මට්ටමක පවතින හා "සල්ලි අච්චු ගැසීමක්" සිදු වීමේ ඉඩක් නොමැති පසුබිමක උද්ධමනය මැදිකාලීනව හෝ දිගුකාලීනව අපේක්ෂිත 5% මට්ටම ඉක්මවා යාමේ අවදානමක් පෙනෙන්නට නැහැ. උද්ධමනය වැඩි වනු ඇත්තේ අපේක්ෂිත ඉලක්ක මට්ටම දක්වා පමණයි. එමෙන්ම, දිගුකාලීනව 5% උද්ධමන ඉලක්කය තව දුරටත් අඩු කර ගැනීමට හැකි වීමේ විභවයක්ද මේ වෙද්දී පෙනෙන්නට තිබෙනවා.
ඉහත තත්ත්වය මූල්‍ය වෙළඳපොළ ආයෝජකයින් විසින්ද විශ්වාස කරන බව පෙනෙන්නට තිබෙනවා. එක් පැත්තකින් මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත්ව පවත්වා ගත යුතු අතර එම එකඟතාවය බිඳ නොදමන ස්ථාවරයක මේ ආණ්ඩුව ඉන්නවා. පෙනෙන්නට ඇති ආකාරයට මේ ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යනු ඇත්තේ රටේ ආර්ථිකයේ ස්ථාවරත්වය අවදානම් කලාපයකට යාම වලක්වා ගනිමිනුයි. අනෙක් අතට සල්ලි අච්චු ගැසීම, ණය ගැනීම ආදිය කාලයක් තිස්සේම මේ ආණ්ඩුවේ විවේචනයට ලක් වූ දේවල්.
රාජ්‍යමූල්‍ය කළමනාකරණය තුළ දැකිය හැකි ස්ථායීතාවය මේ වන විට පොලී අනුපාතික තුළ පිළිබිඹු වෙමින් තිබෙනවා. කෙටිකාලීන පොලී අනුපාතික අඩු වී ස්ථාවර වීම මාස ගණනාවකට පෙර සිදු වූ දෙයක්. එය ආරම්භ වූයේ ආණ්ඩු මාරුවට පෙරයි. මැතිවරණ කාලයේදී යම් අස්ථාවරත්වයක් දැකිය හැකි වුවත්, පසුව එම තත්ත්වය නැවතත් හොඳ පැත්තට වෙනස් වුනා. දැන් මෙම යහපත් ප්‍රවණතාවය මැදිකාලීන පොලී අනුපාතික තුළද පිළිබිඹු වන්නට පටන් ගෙන තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 29) පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සැලකිය යුතු තරම් අඩු පොලියකට රුපියල් බිලියන 200ක බැඳුම්කර ප්‍රමාණයක් අලෙවි වුනා. 2028 ජූලි 1 දින කල් පිරෙන 9%ක කූපන් පොලියක් සහිත බැඳුම්කර ඒවායේ මුහුණත අගය ඉක්මවන අධි මිලකට අලෙවි වී ඇති අතර ඒ අනුව ඒවායේ ඵලදා අනුපාතිකය 8.85%කට සීමා වී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ මූල්‍ය අරමුදල සමඟ දැනට පවතින එකඟතාව අවසන් වන තුරු රටේ ආර්ථිකය ඉතාම හොඳ මට්ටමක පවතිනු ඇති බවට වන වෙළඳපොළ අපේක්ෂාවයි.
දැනට ක්‍රියාත්මක වන සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව, 2028 වන විට ශ්‍රී ලංකා රජයට නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් වානිජ ණය ලබා ගත හැකි තත්ත්වයක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම ණය ලබා ගත යුතු බවක් එයින් අදහස් වන්නේ වන්නේ නැහැ. නමුත් කවුරුවත් ණය නොදෙන නිසා ණය නොගැනීම සහ ණය ගැනීමට අවශ්‍ය නැති නිසා ණය නොගෙන සිටීම කියන්නේ තනිකරම කරුණු දෙකක්.
මූල්‍ය අරමුදල සමඟ වූ වැඩ පිළිවෙළ අවසන් වීමෙන් පසුව, 2029 දෙසැම්බර් 15 කල් පිරෙන බැඳුම්කර සඳහා ගෙවිය යුතු ඵලදා අනුපාතිකය 9.47% දක්වා පහත වැටී ඇති අතර, 2034 කල් පිරෙන බැඳුම්කර සඳහා ගෙවිය යුතු පොලී අනුපාතිකද 10.46% දක්වා පහත වැටී තිබෙනවා. මෙම තත්ත්වය ඉතා හොඳ තත්ත්වයක් වුවත් තවත් හොඳ අතට හරවා ගැනීමේ විභවයක් පවතින තත්ත්වයක්.
රජයේ ප්‍රාථමික අයවැය අතිරික්තය ඉහළ යන තරමට සහ දිගු කාලයක් පවතින තරමට මූල්‍ය වෙළඳපොළට ශුද්ධ වශයෙන් පැමිණෙන අරමුදල් ප්‍රමාණය ඉහළ යනවා. මෙය සල්ලි අච්චු ගැසීමේ අවාසි හෝ අවදානම් කිසිවක් නොමැතිව එහි වාසි පමණක් ලැබෙනවා වැනි තත්ත්වයක්. මූල්‍ය වෙළඳපොළට ගලා එන අමතර අරමුදල් නිසා පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙන අතර එසේ පොලී අනුපාතික පහත වැටෙද්දී රජයේ පොලී වියදම් අඩු වී ණය ගැනීමේ අවශ්‍යතාවය තව තවත් අඩු වෙනවා. මෙය සගුණ චක්‍රයක් (Virtuous Circle). විෂම චක්‍රයක විලෝමය.
මූල්‍ය වෙළඳපොළට ගලා එන අමතර අරමුදල් නිසා පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙනවා කියන්නේ පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ යාමේ විභවය වැඩි වෙනවා කියන එක. මේ හේතුවෙන් ආර්ථික වර්ධනය කෙරෙහි යහපත් බලපෑමක් වෙන්න පුළුවන්. එහි උපරිම ප්‍රතිඵල ලබා ගන්නනම් ආයෝජන සඳහා තිබෙන මූල්‍යමය නොවන වෙනත් බාධාවන් හැකි තරම් ඉවත් විය යුතුයි. ඉතාම සරල උදාහරණයක් විදිහට කප්පම් ගැනීම් වැනි දේවල්. මූල්‍ය වෙළඳපොළ සංවර්ධනය දිරිමත් කිරීමත් ඉතාම වැදගත්. ආයෝජන කියා කියන්නේ මහා පරිමාණ ආයෝජන පමණක් නෙමෙයි. ගමේ හන්දියේ රොටී කඩයක් දැම්මත් ඒකත් ආයෝජනයක්.
උද්ධමනය සහ පොලී අනුපාතික වල ඉතා යහපත් හැරවුම් දකින්න ලැබෙද්දී විදේශ අංශයේ දැකිය හැක්කේද එවැනිම සාධනීය තත්ත්වයක්. 2025 අප්‍රේල් මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 178.5ක අතිරික්තයක් වාර්තා වී ඇති අතර මෙය 2024 අප්‍රේල් මාසයේදී පැවති අතිරික්තයට සාපේක්ෂව 135%ක වර්ධනයක්. 2024 අප්‍රේල් මාසයේදීද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වුනත් එම ප්‍රමාණය ඩොලර් මිලියන 75.9ක් පමණයි. මෙහි විශේෂත්වය වන්නේ පෙර වසරේදී වාහන ආනයනය සඳහා ඉඩක් නොතිබුණත් මෙම වසරේ අප්‍රේල් මාසයේදී මෙවැනි ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වන්නේ වාහන ආනයනය සඳහා බාධාවක් නොමැති තත්ත්වයක් යටතේ වීමයි. අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 717.5ක වෙළඳ හිඟයක් වාර්තා වී ඇතත්, සංචාරක ක්ෂේත්‍රයෙන් සහ ශ්‍රමික ප්‍රේෂණ මගින් එම හිඟය ඉක්මවන ආදායමක් ලැබී තිබෙනවා.
ලංකාවට තවත් අවුරුදු හතර පහකින් සංවර්ධික රටක් වෙන්න බැහැ. එවැනි ආදායම් මට්ටමකට යන්න දශක ගණනාවක් යනවා. නමුත් ලංකාවට පුළුවන් තරම් ඉක්මණින් ගොඩයන්න අවශ්‍යනම් යා යුතු මාර්ගය දැන් යන මාර්ගයයි. රජය විසින් හැකි තරම් ප්‍රමාණවත් ප්‍රාථමික අතිරික්තයක් දිගටම පවත්වා ගන්නේනම්, එම අතිරික්තය ණය ආපසු ගෙවීම සඳහා යොදවද්දී බැංකු පද්ධතියට අරමුදල් දිගින් දිගටම එකතු වෙනවා. එවිට පොලී අනුපාතික පහත වැටෙනවා. පෞද්ගලික අංශයට වැඩි වැඩියෙන් ණය ගන්න ඉඩකඩ ලැබෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වන්නේ නැහැ. ඉතිරි කිරීම් වලින්ම ඒ වැඩේ කෙරෙනවා.
පොලී අනුපාතික යම් සීමාවකින් පහළට වැටුනොත් ඉතිරි කිරීමේ යාන්ත්‍රණයේ තවත් විශාල වෙනසක් වෙනවා. එවිට ස්ථිර තැන්පතු ආදියේ මුදල් දමන්න තිබෙන උනන්දුව අඩු වී කොටස් වෙළඳපොළ ආයෝජන, පෞද්ගලික අංශයේ බැඳුම්කර ආදියට ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේම සල්ලි යොදවා, අවදානමක් අරගෙන ආයෝජනයක් කරන්න තිබෙන පෙළඹුමත් වැඩි වෙනවා. සාමාන්‍ය ඉතිරි කිරීම් සඳහා ඉහළ පොලියක් ලැබෙද්දී බොහෝ දෙනෙක් වැඩි අවදානම් ගන්න පෙළඹෙන්නේ අඩුවෙන්.
අනෙක් පැත්තෙන් ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම. මෙය මූල්‍ය අරමුදල සමඟ වූ වැඩ පිළිවෙළේ කොන්දේසියක් නෙමෙයි. එම වැඩපිළිවෙළ සකස් කර තිබෙන්නේ වැඩපිළිවෙළ අවසන් වෙද්දී නැවත ස්වෛරිත්ව බැඳුම්කර ණය ගන්න පුළුවන් වෙන විදිහට. ණය වලින් තුලනය කරගන්න පුළුවන් නිසා ජංගම ගිණුමේ යම් හිඟයක් තිබීම ප්‍රශ්නයක් ලෙස සලකලා නැහැ.
මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළේ ක්‍රමයට ආර්ථිකය ස්ථාවරව පවත්වා ගන්න පුළුවන් වුනත්, එහිදී ආපසු යන්නේ අර්බුදයට කලින් හිටපු චක්‍රය ඇතුළටමයි. එයින් එළියට යන්නම් දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් තියා ගන්න උත්සාහ කරන්න වෙනවා. වාහන ආනයන සිදු වෙද්දී මේ අවුරුද්ද්දේ ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න පුළුවන් වෙනවා කියන්නේ ඒ වැඩේ දිගටම කරන්න බැරිකමක් නැහැ.
දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න පුළුවන්නම් රටේ විදේශ ණය ටිකෙන් ටික අඩු වෙනවා. ප්‍රාථමික අතිරික්තයක් දිගටම පවත්වා ගන්න නිසා රජයට විදේශ ණය ගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. මෙහි ප්‍රතිඵලය රුපියලේ විදේශ අගය ටිකෙන් ටික ශක්තිමත් වීමයි. ඒ කියන්නේ රටේ ඒක පුද්ගල ආදායමේ ඩොලර් අගය වේගයෙන් ඉහළ යනවා කියන එක. ඒ වගේම රටේ දදේනියේ ඩොලර් අගයත් වේගයෙන් ඉහළ යනවා කියන එක.
රාජපක්ෂ දශකයේදීත් රුපියල ශක්තිමත් වීම නිසා දදේනියේ ඩොලර් අගය වගේම ඒක පුද්ගල ආදායමේ ඩොලර් අගය වේගයෙන් ඉහළ ගියා. එහි වාසිදායක ප්‍රතිඵල පෞද්ගලිකව දැනුනු හැටි ගොඩක්ම තරුණ අයට හැර අනෙක් අයට හොඳින් මතක ඇති. නමුත් ඒ වාසිදායක ප්‍රතිඵල ලබා ගත්තේ විදේශ ණය විශාල ලෙස ගොඩ ගැහෙද්දී. යහපාලන කාලයේදී ස්වෛරිත්ව බැඳුම්කර බවට පරිවර්තනය වුනේ ඒ ණය. වසර කිහිපයක වාසිදායක ප්‍රතිඵල වෙනුවෙන් ගෙවූ මිලනම් කාටවත් අමතක නැතිව ඇති.
දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් තියා ගන්න පුලුවන්නම් කලින් වටයේ මුහුණ දුන් අවදානම් නැතිව ඒ වටයේ යහපත් ප්‍රතිඵල ඒ විදිහටම ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මහ බැංකුව විසින් දැනට ඉලක්ක කරන්නේ දිගටම ඒ පාරේ යන්න කියලයි.
Friday, January 17, 2025
දෙවන පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය සහ විදුලි බිල
මෙය එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති කරුණු තුනක් ගැන සටහනක්. යෝජිත දෙවන තෙල් පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය ගිවිසුම අලුත් කිරීම සහ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම කියන කරුණු තුන සහ මේ දේවල් වල අපේක්ෂිත බලපෑම ගැන. පළමු කරුණු දෙකම චීනයට සම්බන්ධයි.
මුලින්ම මම 2023 නොවැම්බර් 27 දින පළ කළ "දෙවන පිරිපහදුව චීනයට" ලිපියේ මුල් කොටස උපුටා දක්වන්නම්.
"ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි.
දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කොට හම්බන්තොට ඉදි කෙරෙන අලුත් පිරිපහදුවේ ධාරිතාව නිශ්චිතව නොදන්නා නමුත් එය අවම වශයෙන් බොරතෙල් බැරල් 100,000ක්. මෙහි ඉලක්කය ලංකාව තුළ බොර තෙල් පිරිපහදු කර අපනයනය කිරීම සහ නැව් වලට ඉන්ධන සැපයීමයි."
ඔය දැන් ආවා කියන ආයෝජනය ඕකම තමයි. නමුත් මුදල ඩොලර් බිලියන 3.7 දක්වා අඩු වී තිබෙනවා. ඇතැම් විට යෝජිත පිරිපහදුවේ ධාරිතාව කලින් සැලසුම් කළාට වඩා අඩු වෙලා වෙන්න පුළුවන්. එය එසේනම්, එය ලංකාවට අවාසියක්.
මේ ආයෝජනය අරන් ආවේ රනිල්ද, අනුරද කියන එක ගැනත් දැන් යම් විවාදයක් ඇති වෙලා තිබෙනවා. ඒ තරම් තේරුමක් නැති ප්‍රශ්නයක් වුනත්, රනිල්ට හෝ අනුරට අවශ්‍ය වුනා කියලා ඔය වගේ ආයෝජන රටට ගේන්න බැහැ. මේ වගේ ආයෝජන ලංකාවට එන්නේ චීනයට ක්‍රමෝපායිකව අවශ්‍ය නිසා. රනිල්, අනුර, සජිත්, නාමල් වගේ කවුරු හිටියත් චීනයට අවශ්‍යනම් ඔය වැඩේ විය හැකිව තිබුණා. අනුර යටතේ ආයෝජනය එන එකේ ප්‍රධාන වෙනස මේ ගැන විවේචන නැති වී තිබීම.
ඔය ආයෝජනය ගැන මුලින්ම කියවුණු කාලයේ මාලිමාව පැත්තෙන්ම ආපු විවේචනයක් වුනේ රුපියල් වෙළඳපොළට එන මේ වගේ ආයෝජන වලින් රටට වැඩක් නැහැ කියන එක. මේ තර්කයට පදනමක් නැතුවම නෙමෙයි. රුපියල් වෙළඳපොළට එන විදේශ ආයෝජන වලින් ලංකාවට ලැබෙන්නේ සාපේක්ෂව අඩු වාසියක්. නමුත් වැදගත් කරුණ එය තව දුරටත් වාසියක් මිස පාඩුවක් නොවීමයි.
පළමුව, මේ ආයෝජනය නිසා ආරම්භයේදී රටට එන මුදල සැලකුවොත්, ඒ මුදල බොහෝ දුරට ආනයන ලෙස නැවත චීනයටම ආපසු යන මුදලක්. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා ශ්‍රමයේ පංගුව ලෙස වුවද විශාල මුදලක් රටේ ඉතිරි වෙන එකක් නැහැ. නමුත් දේශීය අමු ද්‍රව්‍ය හා ශ්‍රමය යම් තරමකින් හෝ යොදා ගන්න අවශ්‍ය වන නිසා සංචිත වලට හෝ අනෙකුත් විදේශ විණිමය අවශ්‍යතා වෙනුවෙන් යම් හෝ මුදලක් ඉතිරි වෙයි.
මේ වැඩෙන් මුල් වසර වලදී සිදු වනු ඇත්තේ ආනයන වියදම් ඉහළ ගොස් වෙළඳ හිඟය තවත් වැඩි වෙන එකයි. ඒ හේතුව නිසාම, දැනට අතිරික්තයක්ව පවතින ජංගම ගිණුමේ ශේෂය නැවතත් හිඟයක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් එම හිඟය පියවන්න අවශ්‍ය විදේශ විණිමය ප්‍රමාණය චීනයෙන් රටට එන නිසා මෙය විදේශ විණිමය තුලනය කෙරෙහි නරක විදිහට බලපාන්නේ නැහැ.
චීන ණය සහ අනෙකුත් ණය අරගෙන ආයෝජන කරද්දීත් සිදු වුනේ ඔය වැඩේට කිට්ටුවෙන් යන වැඩක්. එක පැත්තකින් ආනයන වැඩි වෙද්දී අනෙක් පැත්තෙන් විදේශ ණය විදිහට විදේශ විණිමය රටට ඇවිත් විණිමය වෙළඳපොළ තුලනය වුනා. නමුත් එය සිදු වුනේ අනාගත ණය ගෙවීමේ වගකීම් නම් වූ කාල බෝම්බයේ නූල පත්තු කරමිනුයි. කාල බෝම්බය පිපිරුණු ආකාරය අපි හැමෝම හොඳින්ම දැක්කා.
ණය ගැනීමට කිට්ටුවෙන් යන දෙයක් වුනත් දැන් මේ පිරිපහදුව සඳහා අවශ්‍ය අරමුදල් එන්නේ ආයෝජන ලෙස මිස ණය ලෙස නෙමෙයි. ඒ නිසා, රටට විණිමය අර්බුදයකට මුහුණ දෙන්න වෙන්නේ ඔය ආයෝජනය ආපසු අරගෙන ගියොත් පමණයි. මේ වගේ ආයෝජන වල ස්වභාවය නිසාම එවැන්නක් සිදු වෙන්නේ නැහැ. රටේ විදේශ බැරකම් ඉහළ ගියත්, තෙල් පිරිපහදුව රටට අයිති නැති වත්කමක් ලෙස රට ඇතුළේ ඉතිරි වෙනවා.
ගොඩක් අයට ප්‍රශ්නයක් වී තිබුණේ තෙල් විකුණන්නේ රුපියල් වලින් වුවත්, මේ වගේ සමාගම් විසින් ඔවුන්ගේ ලාබ ඩොලර් ලෙස රටෙන් අරගෙන යනවා කියන එක. කතාව ඇත්ත. නමුත් වැදගත් ප්‍රශ්නය මේ හේතුව නිසා ශුද්ධ වශයෙන් විදේශ විණිමය රටෙන් එළියට යාමක් සිදු වෙනවද කියන එක. බැලූ බැල්මට පෙනෙන්නේ නැති විය හැකි වුවත්, එවැන්නක් වෙන්නේ නැහැ.
ලංකාවේ බොර තෙල් නැති නිසා ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවය සඳහා අවශ්‍ය වන බොරතෙල් ප්‍රමාණය කොහොමටත් ආනයනය කරන්න සිදු වෙනවා. ඒ වෙනුවෙන් විදේශ විණිමය වැය කරන්න සිදු වෙනවා. ඒ විදේශ විණිමය යම් ක්‍රමයකින් හොයා ගන්නත් සිදු වෙනවා. රටේ ඉන්ධන පිරිපහදු කිරීමේ ධාරිතාවය සීමිත නිසා, පිරිපහදු කළ ඉන්ධනද සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනය කරන්න වෙනවා. ඒ වෙනුවෙන්ද විදේශ විණිමය උපයා ගන්න සිදු වෙනවා.
චීන පිරිපහදුව ලංකාවට ආවාට පස්සේ වෙන්නෙත් ඔය ටිකමයි. කලින් තෙල් සංස්ථාව හරහා එළියට ගිය විදේශ විණිමය ප්‍රමාණයෙන් කොටසක් දැන් සිනොපෙක් සමාගම හරහා රටෙන් එළියට යනවා. මෙහි විශේෂ වාසියක් හෝ පාඩුවක් නැහැ.
එතකොට ලාබ කොටස? ඔව්. ලාබ කොටසත් විදේශ විණිමය ලෙස එළියට යන්න පුළුවන් තමයි. නමුත් තව දුරටත් දේශීය ඉන්ධන මිල තීරණය කරන්නේ තෙල් සංස්ථාව හරහා ශ්‍රී ලංකා රජය නිසා සිනොපෙක් සමාගමට හෝ වෙනත් සමාගමකට ඊට වඩා වැඩියෙන් ඉන්ධන විකුණන්න බැහැ.
තෙල් සංස්ථාව තෙල් විකුණන්නේ යාන්තමින් පිරිවැය ආවරණය වන මිලකටයි. අනෙක් තරඟකරුවන්ට ඒ මිලටම තෙල් විකුණලා ලාබයකුත් හොයා ගන්න වෙනවා. ඒ සඳහා හැකි තරම් අඩු මිලකට තෙල් ආනයනය කරන්න වෙනවා. එහිදී විදේශ විණිමය ඉතිරියක් වෙනවා. අවසාන වශයෙන් ඒ ඉතිරි වන විදේශ විණිමය ටික හෝ එයින් කොටසක් තමයි ලාබ විදිහට රටෙන් එළියට යන්නේ. ඒ නිසා, ශුද්ධ වශයෙන් මෙයින් විණිමය තුලනය කෙරෙහි ලොකු බලපෑමක් වෙන්න ඉඩක් නැහැ.
ප්‍රායෝගිකව, සිනොපෙක් වැනි සමාගම් වලට රට ඇතුළේ තව දුරටත් ව්‍යාප්ත වීමේ උවමනාවක් තිබෙන නිසා ඔවුන්ගේ ලාබ රටෙන් ගෙන නොයා නැවත රට තුළම ආයෝජනය කරන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම, මෙම සමාගම් වල ලාබ වලින් රජයට බදු එකතු වෙනවා. එය රාජ්‍යමූල්‍ය තුලනය කෙරෙහි හිතකර ලෙස බලපානවා. පාරිභෝගිකයින්ට වාසියක් ලැබෙන එකනම් ඉක්මණින්ම වෙන එකක් නැහැ. එය සිදු වනු ඇත්තේ තව දුරටත් වෙළඳපොළ ප්‍රමුඛයා වන තෙල් සංස්ථාවේ කාර්යක්ෂමතාවය වැඩි වන ආකාරය අනුවයි. හැබැයි යම් කාලයකට පසුව හෝ එය සිදු විය යුතුයි.
පසුගිය වසරේ ප්‍රසිද්ධ වී තිබුණු තොරතුරු අනුව යෝජිත දෙවන පිරිපහදුවේ ධාරිතාවය ලංකාවේ පිරිපහදු ඉන්ධන අවශ්‍යතා හිඟය ඉක්මවා යන්නක්. ඒ අනුව, සැලසුම වී තිබුනේ රට තුළ ඉන්ධන පිරිපහදු කර අපනයනය කිරීමයි. රට අසලින් යන නැව් වලට ඉන්ධන සැපයීමද ඉන්ධන අපනයනය කිරීමට සමාන දෙයක්. මෙවැන්නක් සිදු වන තරමට, ඒ හේතුවෙන් රට තුළ සිදු වන අගය එකතු කිරීම ඉහළ යනවා. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යනවා. ආයෝජනයේ ප්‍රමාණය කොපමණද යන්න වැදගත් වන්නේ ඒ නිසා. මුලින් යෝජනා වී තිබුණු ඩොලර් බිලියන 4.5 ආයෝජනය ඩොලර් බිලියන 3.7 දක්වා අඩු වී තිබෙන්නේ පිරිපහදු ධාරිතාවයේ අඩු වීමක්ද සමඟනම්, එසේ නැති වෙන්නේ මෙම ගනුදෙනුවේ වාසිදායකම කොටසකුයි. කෙසේ වුවත්, දේශීය ඉන්ධන වෙළදපොළ ඉලක්ක කර පිරිපහදුව හැදුවත් එයින් අපේක්ෂිත වාසිය අඩුවීමක් මිස පාඩුවක් සිදු වන්නේ නැහැ.
මුලින් සඳහන් කළ දෙවන කරුණට ගියොත්, චීනයෙන් ලබාගත් යුවාන් බිලියන දහයක මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමේ කාලය තවත් වසර තුනකින් දීර්ඝ කරගෙන තිබෙනවා. මේ අනුව, 2027 වසර අවසන් වන තුරුම එම ණය මුදල ආපසු ගෙවිය යුතු වන්නේ නැහැ.
මේ යුවාන් වලින් වැඩක් ගන්නේ නැත්නම් ආපසු නොගෙවා තියාගෙන ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය කෙනෙකුට අහන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කිවුවොත් රටක නිල විදේශ සංචිත කියා කියන්නේනම වැඩක් නොගෙන තියාගෙන ඉන්න අරමුදල්. මේ අරමුදල් තියාගෙන ඉන්නේ හදිසියකදී ප්‍රයෝජනයට ගන්න බව ඇත්ත. නමුත් ඕනෑම රටක් උත්සාහ කරන්නේ එවැනි හදිසි ඇති නොවන බවට වග බලා ගැනීමටයි.
දැන් ලංකාවේ ඉලක්කය වී තිබෙන්නේ ටිකෙන් ටික සංචිත ගොඩ නගා ගැනීම මිසක් තියෙන සංචිත "ප්‍රයෝජනයට ගැනීම" නෙමෙයි. ඒ නිසා ප්‍රායෝගිකව චීන මුදල් හුවමාරු ණය වලින් වෙන්නෙත් ඉතිරි සංචිත වලින් සිදු වන දෙයමයි. ඒ කියන්නේ විණිමය වෙළඳපොළ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා එම සංචිත උදවු කර ගැනීම. මෙම ගිවිසුම අලුත් කිරීම නිසා ලංකාවට "නියම ක්‍රමයට" සංචිත ගොඩ නගා ගැනීමට තවත් අවුරුදු තුනක කාලයක් ලැබෙනවා. ඒ කියන්නේ සංචිත ඉලක්ක වලට යාම වඩා පහසු වෙනවා. ඩොලරයක මිල ඉහළ යාමේ අවදානම අඩු වෙනවා. එහි හොඳ වගේම නරකත් තිබෙන එක වෙනම කරුණක්.
තුන්වන කරුණ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම. අනුමත වුවහොත්, මෙය සැලකිය යුතු අඩු කිරීමක්. ගාස්තු අඩු කිරීම සිදු කර තිබෙන්නේ පිරිවැය පදනම සලකා බලමින් කියා මම හිතනවා. එය එසේ නොවුනත්, මේ ලිපියේ අරමුණ ඒ ගැන සාකච්ඡා කිරීම නෙමෙයි.
යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින අවධමන තත්ත්වය කලින් අපේක්ෂා කළ පරිදි ඉක්මණින් "යථා තත්ත්වයට" පත් වෙන එකක් නැහැ. සංකල්පීය ලෙස ගත්තොත් උද්ධමනය කියන්නේ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීමම නෙමෙයි. නමුත් උද්ධමනය මනින්නේ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීම ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුවට 5% උද්ධමන ඉලක්කයක් ලබා දී තිබෙන්නේත් මෙම දර්ශකය හා සම්බන්ධ කරමිනුයි.
උද්ධමනය හා පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීම ආසන්න ලෙස හෝ එකට යන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව මල ගණන් වෙනස් වන්නේනම් පමණයි. නමුත් විදුලි ගාස්තු වෙනස් වෙන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව නෙමෙයි. එය සිදුවන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හරහා පරිපාලනමය තීන්දු ලෙසයි. ලංකාවේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි පරිභෝජන ඉල්ලුම පහත වැටී නැති අතර විදුලිබල සැපයුමේ විශාල වැඩිවීමක්ද සිදු වී නැහැ. එහෙත් විදුලි ගාස්තු අඩු වී තිබෙනවා. වර්ෂාපතනය වැඩිවීමේ බලපෑමක් ඇති.
මහ බැංකුවට මිල මට්ටම ස්ථාවරව පවත්වා ගත හැක්කේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම පාලනය කිරීම මගිනුයි. එය කරන්නේ පොලී අනුපාතික වෙනස් කිරීම මගින්. කලින් පෙනෙන්නට තිබුණේ මහ බැංකුව විසින් පොලී අනුපාතික 8% මට්ටමේ පවත්වා ගැනීමට ඉඩ තිබුණු බවයි. උද්ධමනය 5% මට්ටමකට ගැනීම සඳහා පොලී අනුපාතික තව දුරටත් අඩු කළ යුතු වූයේ නැහැ. එහෙත්, විදුලි ගාස්තු සැලකිය යුතු ලෙස අඩු වුවහොත් මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් අඩු කිරීමේ ඉඩක් දැන් පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව, පොලී අනුපාතික 7.5% වැනි මට්ටමකට පහත වැටීමේ ඉඩක් අපට පෙනෙන්නට තිබෙනවා.