වෙබ් ලිපිනය:

Showing posts with label උද්ධමන ඉලක්කය. Show all posts
Showing posts with label උද්ධමන ඉලක්කය. Show all posts

Tuesday, July 21, 2026

මහ බැංකුවේ උද්ධමන ඉලක්කය කුමක් විය යුතුද?


පසු ගිය මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලය සඳහා උද්ධමන ඉලක්කය නිර්ණය කිරීමට පෙර ඒ පිළිබඳව මහජන අදහස් විමසා තිබුණා. මේ සඳහා ලබා දී තිබුණු කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. එම අදහස්ද සලකා බැලීමෙන් පසුව, නුදුරු කාලයේදී මහ බැංකුව සහ රජය විසින් ඉදිරි කාලය හා අදාළ උද්ධමන ඉලක්කය පිළිබඳව එකඟතාවකට පැමිණෙනු ඇතැයි සිතිය හැකියි.

වත්මන් උද්ධමන ඉලක්කය 

පසුගිය වසර තුනක කාලය තුළ මහ බැංකුව විසින් 5%ක සාමාන්‍ය උද්ධමන වේගයක් පවත්වා ගැනීම සඳහා රජය සමඟ එකඟතාවයක් ඇති කරගෙන තිබුණා. මෙම එකඟතාවය අනුව, උද්ධමනය සේ සැලකුණේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික වෙනස් වීමෙහි මාස තුනක සාමාන්‍ය අගයයි. කාර්තුවෙන් කාර්තුවට මෙම ඉලක්කය පිළිබඳව විමසා බැලීමක් සිදු කෙරුණු අතර ඉලක්කයෙන් 2% ඉක්මවන අපගමනය වීමක් ඉලක්කය ගිලිහීමක් ලෙස සැලකුණා. පසුගිය කාලය වෙත ආපසු හැරී බැලීමේදී පැහැදිලි වන්නේ මහ බැංකුවට එම කාලය තුළ බොහෝ කාර්තු වලදී ලබා දී තිබුණු උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවයි. පසුගිය කාර්තු දහයක කාලය සැලකුවහොත්, මහ බැංකුවට උද්ධමන ඉලක්කය පවත්වා ගත හැකි වී තිබෙන්නේ කාර්තු දෙකකදී පමණයි.

උද්ධමන ඉලක්කය පරීක්ෂා කිරීම සඳහා වඩා යෝග්‍ය නිර්ණායකය කුමක්ද?

මෙහිදී මේ සඳහා සලකා බැලිය හැකි විකල්ප දෙකක් තිබෙනවා. පළමුවැන්න දැනට යොදා ගන්නා කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. දෙවැන්න ජාතික පාරිභෝගික මිල දර්ශකයයි. පළමුවැන්න ඓතිහාසිකව ශ්‍රී ලංකාවේ නිල උද්ධමන දර්ශකය ලෙස දිගටම යොදාගෙන ඇති අතර, මෙය මාසය අවසන් වෙද්දී ගණනය කරනු ලබනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය ගණනය කර ඉදිරිපත් කරනු ලබන්නේ මාසයක් ගත වී සති තුනකට පසුවයි. කෙසේ වුවද, රටේ මහ බැංකුව විසින් ඉලක්ක කළ යුත්තේ රටේම උද්ධමනය මිස කොළඹ නගරයේ උද්ධමනය පමණක් නොවන නිසා උද්ධමන ඉලක්කය සේ යොදා ගැනීම වඩා යෝග්‍ය වන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය බව අපගේ අදහසයි. වඩා ස්ථාවර දර්ශකයද එයයි. සති තුනක ප්‍රමාදය අවාසියක් වුවත්, මිල මට්ටමේ හැසිරීම පිළිබඳව ජාතික පාරිභෝගික මිල දර්ශකය ඇසුරෙන් මහ බැංකුවට අදහසක් ලබා ගත හැකි බැවින් එය ගැටලුවක් වන්නේ නැහැ. 

දර්ශකය තෝරා ගැනීමෙන් පසුව දෙවන තේරීමක්ද තිබෙනවා. ඒ, මතුපිට උද්ධමනය සහ මූලික උද්ධමනය අතරයි. මතුපිට උද්ධමනය යනු දර්ශකය ඇසුරෙන් සාමාන්‍ය පරිදි ගණනය කරන උද්ධමනයයි. එහෙත් එහි ඇතැම් සංරචක පිළිබඳව මහ බැංකුවට පාලනයක් නැහැ. ලෝක ඉන්ධන මිල අනුව රටේ තෙල් මිල ඉහළ යාම නිදර්ශනයක් සේ පෙන්වා දිය හැකියි. මූලික උද්ධමනය යනු මහ බැංකුවට පාලනය කළ නොහැකි කොටස් ඉවත් කර නැවත ගණනය කරන අගයක්. 

ඉහත තේරීම් දෙක අතරින් වඩා යෝග්‍ය තේරීම වනුයේ මතුපිට උද්ධමනයයි. රටේ ජනතාවට වැදගත් වන්නේ මතුපිට උද්ධමනය වීම ඊට හේතුවයි. එසේ මතුපිට උද්ධමනය ඉලක්ක කරන අතර, මහ බැංකුවට ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට අපහසු අවස්ථා වලදී කරුණු ඉදිරිපත් කිරීම සඳහා මූලික උද්ධමනය යොදා ගත හැකියි. ඉලක්කය ලෙස දැනට යොදා ගන්නේද මතුපිට උද්ධමනයයි.

මීට අමතරව දර්ශකය පිළිබඳ තුන්වන තේරීමක්ද තිබෙනවා. ඒ, දැනට සිදු කරන පරිදි, මාසික උද්ධමන අගය වෙනුවට එහි මාස තුනක සාමාන්‍ය අගය යොදා ගැනීම සුදුසුද යන්නයි. මගේ අදහස වනුයේ තව දුරටත් එසේ කිරීම යෝග්‍ය බවයි. මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති මගින් මිල දර්ශකයක කෙටිකාලීන විචලනයන් පාලනය කළ නොහැකි වීම ඊට ප්‍රධාන හේතුවයි. 

උද්ධමන ඉලක්කය කොපමණ විය යුතුද?

මෙම කරුණ විමසා බැලීමේදී දැනට පවතින 5% ඉලක්කය උපරිම සීමාවක් සේ සැලකිය හැකියි. ඊට වඩා වැඩි ඉලක්කයක් කිසිවෙකු විසින් යෝජනා කරන්නේයැයි මා සිතන්නේ නැහැ. එමෙන්ම, සංවර්ධිත රටවල් විසින් ඉලක්ක කරන 2% විමසා බැලිය යුතු අවම සීමාව සේ සැලකිය හැකියි. 

මෙම ඉලක්කය පිළිබඳ මගේ අදහස වනුයේ 5% ඉලක්කය තව දුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බව සහ එසේ කිරීම යෝග්‍ය බවයි. එහෙත්, ඉලක්කය එක වරම 2% මට්ටම දක්වා පහත හෙලීම සුදුසුයැයි මා සිතන්නේ නැහැ. මගේ අදහස වනුයේ අවම වශයෙන් 4% දක්වා මෙම ඉලක්කය පහත හෙළිය යුතු බවයි.

ලංකාවට 2%ක උද්ධමනයක් ඉලක්ක කළ හැකිනම්, ඩොලරයක මිල දිගුකාලීනව ස්ථාවරව පවත්වා ගත හැකියි. ඊට වඩා වැඩි ඕනෑම උද්ධමන ඉලක්කයකින් අදහස් වනුයේ වාර්ෂිකව, ඩොලරයට සාපේක්ෂව, රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හරින්නට සිදු වන බවයි. එහෙත්, 4%ක උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම මගින් ඉන්දියානු රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවත්වා ගත හැකියි. ඊට හේතුව ඉන්දියාවේ උද්ධමන ඉලක්කය 4%ක් වීමයි. මෑතකදී ඉන්දියාව විසින් මෙම 4% ඉලක්කය 2031 දක්වා පවත්වා ගැනීමට තීරණය කළා. අවශ්‍යනම් ඉන්දියාවේ ඉලක්කයට වඩා අඩු, 3% වැනි මට්ටමක් ඉලක්ක කිරීමද ඒ තරම් අපහසු නැති බව අපගේ අදහසයි. ඉන්දියාවේ ඉලක්කයට වඩා අඩු උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම මගින් කලාපයට පැමිණෙන විදේශ ආයෝජන තරඟකාරී ලෙස ආකර්ෂණය කර ගත හැකියි.

උද්ධමන ඉලක්කය ඕනෑවට වඩා පහත හෙළීමේ ප්‍රශ්නය වනුයේ එසේ කිරීම සඳහා පෞද්ගලික ණය වර්ධනය සීමා කිරීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කිරීමයි. එහෙත්, දැනට සිදු වන පරිදි, දැඩි රාජ්‍යමූල්‍ය විනයක් දිගටම පවත්වා ගත හැකිනම්, මුදල් සැපයුමේ වර්ධන වේගය අඩු මට්ටමක පවත්වා ගන්නා අතරම, පෞද්ගලික ණය වර්ධන වේගය සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතීමට ඉඩ හැරීම අපහසු කාර්යයයක් නෙමෙයි.

ඉලක්කය කොපමණ විචලනය වීමට ඉඩ දිය යුතුද?

විචලන සීමාව අඩු වන්නේනම් හොඳ වුවත්, දැනට පවතින 2% විචලන පරාසය වුවද මහ බැංකුවට අභියෝගයක්ව පවතින බැවින් එය තව දුරටත් අඩු කර ගැනීම ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. එබැවින් වඩා සුදුසු වන්නේ විචලන පරාසය නොවෙනස්ව දැන් මට්ටමේම පවත්වා ගැනීමයි.

මේ අනුව, අපගේ යෝජනාව වනුයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව ගණනය කරන මතුපිට උද්ධමන අගයේ මාස තුනක සාමාන්‍ය අගය, ඉදිරි වසර තුනක කාලය තුළ එක එක් කාර්තුව තුළ, 2%ක විචලන පරාසයකට යටත්ව, 4% හෝ 3% මට්ටමේ පවත්වා ගැනීම වඩාත්ම යෝග්‍ය බවයි. මෙම අගයන් දෙක අතරින්ද, රටේ විදේශ අංශය ශක්තිමත් කර ගැනීම ගැන සිතන්නේනම් වඩා යෝග්‍ය වනුයේ 3% මට්ටම වන අතර අපගේ අදහස අනුව 4% යනු මහ බැංකුව විසින් ඉලක්ක කළ යුතු උපරිම මට්ටමයි.

කෙසේ වුවත්, මහ බැංකුවේ හැසිරීම් අනුව දැනට පෙනෙන්නේ උද්ධමන ඉලක්කය 3% වැනි මට්ටමක් දක්වා පහත හෙළීමට මහ බැංකුවේ වැඩි කැමැත්තක් නොමැති බවයි. 

Tuesday, March 31, 2026

අටවන වරටත් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහේ!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 මාර්තු මාසයේ උද්ධමනය 2.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2026 පළමු කාර්තුවේ සාමාන්‍ය උද්ධමන වේගය 2.0%ක් සේ සටහන් වෙනවා. 

ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව අතර තිබෙන ගිවිසුම අනුව, මහ බැංකුව විසින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 3%-7% සීමාව ඇතුළත රඳවා ගනිමින් 5%ක සාමාන්‍ය උද්ධමන වේගයක් ඉලක්ක කළ යුතුයි. මෙම උද්ධමන ඉලක්කය පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කාර්තුවකට (මාස තුනකට) වරක්. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර 2023 ඔක්තෝබර් 3 දින මේ හා අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මහ බැංකුවට ඉලක්කය තුළ රැඳී සිටින්නට හැකි වූයේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සිට 2026 පළමු කාර්තුව දක්වා එක දිගට කාර්තු අටක්ම මහ බැංකුවට රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වූයේ නැහැ. 

මෙහිදී සිදු වූයේ උද්ධමනය එකඟ වූ ඉලක්ක සීමාව ඉක්මවා යාම නොව ඉලක්කයට වඩා පහතින් පැවතීමයි. 2026 පළමු කාර්තුවේදීද උද්ධමන ඉලක්කය ගිලිහී ඇති බැවින් මහ බැංකුවට නැවත වරක් රජයට කරුණු දැක්වීමට සිදු වෙනවා.

මහ බැංකුවට දෙවසරක කාලයක් පුරා රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට නොහැකි වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඉන්ධන සහ විදුලි ගාස්තු ආදියේ මිල රජය විසින් පහත හෙළීමයි. අනෙක් ප්‍රධාන හේතුව වූයේ ඩොලරයක මිල පහත වැටීමයි.

මේ වන විට ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු වී ඇති බැවින් සහ ඩොලරයක මිලද ඉහළ යමින් ඇති බැවින්, උද්ධමනයේද වැඩි වීමක් සිදු වෙමින් තිබෙනවා. ඒ අනුව, 2026 දෙවන කාර්තුව තුළ මහ බැංකුවට සිය උද්ධමන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට හැකි වේයැයි සිතිය හැකියි.

පසුගිය මාර්තු මාසය තුළ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇතත්, සහල්, පොල්, එළවලු වැනි ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල පහත වැටීම හේතුවෙන් උද්ධමනය කෙරෙහි සිදු විය හැකිව තිබුණු ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් සැලකිය යුතු කොටසක් නිශේධනය වී තිබෙනවා.

Wednesday, January 28, 2026

උද්ධමන ඉලක්කය කීයක් විය යුතුද?


ලංකාවේ කවුරුත් දන්න සාමාන්‍ය කරුණක් විදිහට ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය කාලයත් එක්ක දිගින් දිගටම ඉහළ යනවා. ඒ අතර, ඇමරිකන් ඩොලරයක මිල පහත යන අවස්ථාද තිබුණත්, දිගුකාලීනව හැම විටම මෙන් සිදු වෙන්නේ මිල ඉහළ යන එකයි. 

ඇමරිකන් ඩොලරයක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. විවිධ සාධක ගණනාවක් මත ඉල්ලුම හා සැපයුම තීරණය වෙනවා. මෙහි ඒ සාධක එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මේ පිළිතුර මගින් දිගුකාලීනව ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ ඇයි කියන ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් ලැබෙන්නේ නැහැ. 

මේ විදිහට දිගුකාලීනව ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය දිගින් දිගටම ඉහළ යාමට හේතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරන උද්ධමන මට්ටමට වඩා වැඩි උද්ධමන මට්ටමක් ඉලක්ක කිරීමයි. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් 2%ක සාමාන්‍ය වාර්ෂික උද්ධමනයක් ඉලක්ක කරද්දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලය පුරාම ඉලක්ක කර තිබෙන්නේ ඊට වඩා වැඩි උද්ධමන මට්ටමක්.

මෙහි කතා කරන්නේ උද්ධමන ඉලක්කය ගැන මිසක් සැබෑ උද්ධමනය ගැන නෙමෙයි. 2022 ජූනි මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියා. 2022 සැප්තැම්බර් මාසයේදී ලංකාවේ උද්ධමනය 67.4% දක්වා ඉහළ ගියා. නමුත් ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියේත්, ලංකාවේ උද්ධමනය 67.4% දක්වා ඉහළ ගියේත් අදාළ මහ බැංකු වලට එවැනි තත්ත්වයක් ඇති වනු දකින්න අවශ්‍ය වූ නිසා නෙමෙයි. යමක් ඉලක්ක කළ පමණින් හැම විටම ඒ ඉලක්ක සාක්ෂාත් කරගන්න බැහැ. 

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් කාලයක් තිස්සේම ඉලක්ක කරන්නේ උද්ධමනය 2% මට්ටමේ තියා ගන්නයි. නමුත් ලංකාව දැනට ඉලක්ක කරන්නේ උද්ධමනය 5% මට්ටමේ තියා ගන්නයි. මේ විදිහට ඇමරිකාව ඉලක්ක කරන උද්ධමනයට වඩා වැඩි උද්ධමනයක් ඉලක්ක කරනවා කියන්නේ ඒ රටේ මුදල් ඒකකය දිගින් දිගටම ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීමට ඉඩ සලස්වනවා කියන එක. 

ඇමරිකාව 2%ක උද්ධමනයක් ඉලක්ක කරනවා කියන්නේ හිතාමතාම ඩොලරයක වටිනාකම වසරකට 2%කින් අඩු වීමට ඉඩ සලස්වනවා කියන එකයි. ඇමරිකාව වගේම එක්සත් රාජධානිය, කැනඩාව, යුරෝ කලාපය ඇතුළු තවත් රටවල් ගණනාවක්ම 2%ක උද්ධමනයක් ඉලක්ක කරන නිසා අදාළ මුදල් ඒකක වල වටිනාකමද වසරකට 2%කින් අඩු වෙනවා. නමුත් මේ විදිහට ඒ මුදල් ඒකක වල වටිනාකම අඩු වෙද්දී ඊට සමානව ඇමරිකන් ඩොලරයේ වටිනාකමද අඩු වෙන නිසා දිගුකාලීනව ඒ මුදල් ඒකක ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙන්නේ නැහැ.  

මෙයින් අදහස් වෙන්නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව විණිමය අනුපාතය ස්ථාවරව තිබෙනවා කියන එක නෙමෙයි. ඉල්ලුම හා සැපයුම අනුව දිනපතාම විණිමය අනුපාත විචලනය වෙනවා. නමුත් දීර්ඝ කාලයක් සැලකූ විට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

මේ සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ 1997 ජනවාරි 2 දින සහ 2026 ජනවාරි 2 දින වලදී ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා විවිධ මුදල් ඒකක වලින් ගෙවිය යුතු වූ මුදල සහ එම මුදල් ප්‍රමාණය වෙනස් වූ අනුපාතයයි. ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම වසර 29කට පෙර සඳහා කැනේඩියන් ඩොලර් 1.374ක් ගෙවන්න සිදු වී තිබෙනවා. කොයි තරම් උච්ඡාවචනයන් සිදු වුනත් වසර 29කට පසුව නැවතත් එම මිල ඒ මට්ට්මටමට පැමිණ තිබෙනවා. 

ඔය අතරවාරයේ කැනේඩියන් ඩොලරයක් ඇමරිකන් ඩොලරයකට වඩා වැඩියෙන් මිල වූ අවස්ථා තිබුණා. ඇමරිකන් ඩොලරයක් සඳහා දැන් මිලට වඩා වැඩියෙන් ගෙවිය යුතු වූ අවස්ථාත් තිබුණා. ඔය වගේ විචලනයන් සිදු වුනත්, රටවල් දෙකේ වෙළඳපොළවල් විවෘතව තිබීම, විණිමය වෙළඳපොළට මහ බැංකු මැදිහත් නොවීම සහ දිගුකාලීනව රටවල් දෙකම 2%ක උද්ධමනයක් ඉලක්ක කිරීම හේතුවෙන්, දිගුකාලීනව විණිමය අනුපාතය ස්ථාවර මට්ටමක තිබෙනවා. 

ලෝකයේ ප්‍රධාන රටවල් බොහොමයක් උද්ධමනය 2% මට්ටමේ තියාගන්න ඉලක්ක කරනවා. ඒ නිසා, ඒ රටවල මුදල් ඒකක වල වටිනාකම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කෙටිකාලීනව විචලනය වුනත් දිගුකාලීනව ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

ඉහත වගුව දෙස බලද්දී ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව පසුගිය වසර 29ක කාලය තුළ යම් තරමකින් හෝ ශක්තිමත් වී තිබෙන්නේ චීනය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය යන රටවල මුදල් ඒකක පමණයි. මේ රටවල් තුන අනෙක් රටවල් වලට වඩා වෙනස් වන විශේෂ කරුණ වන්නේ එම රටවල් තුනේම දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තිබීමයි. මේ ගැන පෙර ලිපි වල කතා කර තිබෙන නිසා මෙම ලිපියෙහි වැඩිපුර කතා කරන්නේ නැහැ. 

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව දිගුකාලීනව අවප්‍රමාණය වී ඇති මුදල් ඒකක දෙස බැලුවත්, බොහොමයක් මුදල් ඒකක හා අදාළව එය සැලකිය යුතු තරමේ අවප්‍රමාණය වීමක් නෙමෙයි. වගුවේ මුදල් ඒකක අතරින් වැඩිපුරම අවප්‍රමාණය වී තිබෙන්නේ ශ්‍රී ලංකා රුපියලයි. ඉන් පසුව, දකුණු අප්‍රිකාවේ, ඉන්දියාවේ සහ මෙක්සිකෝවේ මුදල් ඒකක දකින්න පුළුවන්. 

දකුණු අප්‍රිකාව මෑතක් වන තුරුම ඉලක්ක කළේ 4.5%ක පමණ (3%-6% පරාසයේ) උද්ධමනයක්. මාස කිහිපයකට පෙර දකුණු අප්‍රිකාව මෙම ඉලක්කය 3% දක්වා (2%-4% පරාසය) අඩු කර තිබෙනවා. ඉන්දියාව ඉලක්ක කරන්නේ 4%ක (2%-6% පරාසය) උද්ධමනයක්. මෙක්සිකෝව ඉලක්ක කරන්නේ 3%ක (2%-4% පරාසය) උද්ධමනයක්. මේ රටවල් තුනේ පොදු සාධකයක් වන්නේ ඇමරිකාවේ උද්ධමනය වන 2% මට්ටම ඉක්මවන උද්ධමනයක් ඉලක්ක කිරීමයි. එම රටවල මුදල් ඒකක ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව කාලයත් සමඟ දිගින් දිගටම අවප්‍රමාණය වන්නේ ඒ නිසා.

උද්ධමන ඉලක්කය 4.5%ක් වූ දකුණු අප්‍රිකාවේ මුදල් ඒකකයට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයක මිල 3.51 ගුණයකින් ඉහළ යද්දී, උද්ධමන ඉලක්කය 4%ක් වූ දකුණු අප්‍රිකාවේ මුදල් ඒකකයට සාපේක්ෂව එම මිල 2.51 ගුණයකින්ද, උද්ධමන ඉලක්කය 3%ක් වූ මෙක්සිකෝවේ මුදල් ඒකකයට සාපේක්ෂව 2.26 ගුණයකින්ද ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක් සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය 5.46 ගුණයකින් ඉහළ ගොස් තිබෙන්නේ ලංකාවේ උද්ධමන ඉලක්කය ඉහත හැම රටකටම වඩා ඉහළ මට්ටමක පැවති නිසයි. 

අලුතෙන් සම්මත කරගත් මහ බැංකු පණත අනුව, 2023 ඔක්තෝබර් 3 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර අත්සන් කළ ගිවිසුමක් මගින් මහ බැංකුවට 5%ක උද්ධමන ඉලක්කයක් ලබා දුන්නා. 2023 ඔක්තෝබර් 5 දින මෙම ගිවිසුමේ ප්‍රධාන කරුණු ගැසට් කර තිබෙනවා. ගැසට් නිවේදනය අනුව අදාළ ගිවිසුම අවලංගු වන දිනයක් නැතත්, මහ බැංකුවේ අනෙකුත් ප්‍රකාශන අනුව මෙම එකඟතාවය ඇති කරගෙන තිබෙන්නේ වසර තුනක කාලයක් සඳහායි. ඒ අනුව, ඉදිරි කාලයේදී අදාළ ඉලක්කය නැවත විමර්ශනය කර රජය සහ මහ බැංකුව අතර අලුත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. 

ගිවිසුම අලුත් කරද්දී 5% උද්ධමන ඉලක්කය තවදුරටත් ඒ මට්ටමේම පවත්වා ගත යුතුද?

ක්ෂණිකව කළ හැකි දෙයක් නොවුනත්, ශ්‍රී ලංකාව විසින් දිගුකාලීනව උත්සාහ කළ යුත්තේ උද්ධමන ඉලක්කය 2% මට්ටම දක්වා අඩු කර එම ඉලක්කය පවත්වා ගෙන යාමයි. එසේ කළ හැකිනම්, ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම දිගුකාලීනව ස්ථාවරව තියා ගන්න පුළුවන්. එසේ කළ හැකිනම්, ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරය අනුව විණිමය අනුපාතය තව දුරටත් දිනපතා වෙනස් වනු ඇති නමුත්, දැන් මෙන් දිගුකාලීනව ඩොලරයක මිල ඉහළ යාමක් සිදු වෙන එකක් නැහැ. නමුත් ඒ තත්ත්වයට යන්නනම් උද්ධමන ඉලක්කය 2% මට්ටම දක්වා අඩු කර ගත යුතුයි.

හේතු ගණනාවක් නිසා ලංකාවේ උද්ධමන ඉලක්කය එකවරම 2% මට්ටම දක්වා අඩු කරන්න බැහැ. නමුත් ඉදිරි වසර තුනක කාලය සඳහා මෙම ඉලක්කය 4% මට්ටම දක්වා අඩු කිරීම කළ නොහැකි දෙයක් නෙමෙයි. 

දැනට මහ බැංකුවට දී තිබෙන උද්ධමන ඉලක්කය 5% වන අතර එය 3%-7% පරාසය තුළ විචලනය විය හැකියි. මෙම පරාසය 2%-6% දක්වා පහතට ගන්න බැරිකමක් නැහැ. ඉන්දියාවේ උද්ධමන ඉලක්කය වන්නේද 2%-6% පරාසයම බැවින්, ලංකාවේ ඉලක්කය එම මට්ටම දක්වා අඩු කළහොත්, දිගුකාලීනව ඩොලරයක මිල තවදුරටත් (අඩු වේගයකින්) ඉහළ යනු ඇති නමුත් ශ්‍රී ලංකා රුපියල සහ ඉන්දියානු රුපියල අතර විණිමය අනුපාතය දිගුකාලීනව වෙනස් වෙන්නේ නැහැ. එහි වාසි ගණනාවක් තිබෙනවා. 

ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව අතර තිබෙන ගිවිසුම අනුව, උද්ධමන ඉලක්කය පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කාර්තුවකට (මාස තුනකට) වරක්. 2023 ඔක්තෝබර් 3 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මහ බැංකුවට ඉලක්කය තුළ සිටින්නට හැකි වූයේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සිට 2025 අවසාන කාර්තුව දක්වාම මහ බැංකුවට රජය විසින් ලබා දුන් ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වී නැහැ.

මෙහිදී සිදු වූයේ උද්ධමනය ඉලක්කය ඉක්මවා යාම නොව ඉලක්කයට වඩා පහතින් පැවතීමයි. ඒ නිසා, විරෝධයක් හෝ විවේචනයක් ආවේ නැහැ. එසේ වුවත්, මෙයින් පෙනෙන පළමු කරුණ වන්නේ මහ බැංකුවට උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම තවමත් අපහසු බවයි. දෙවන කරුණනම්, ලංකාවට දිගුකාලීනව උද්ධමනය 5%ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමේ හැකියාවක් තිබෙන බවයි. එබැවින්, පළමු කරුණ මත පදනම්ව +/- 2% පරාසය එලෙසම තබා ගන්නා අතර ඉලක්කය 4% දක්වා අඩු කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක්. 

ඉන්දියාව උද්ධමන ඉලක්කය සංශෝධනය කරන්නේ වසර පහකට වරකුයි. ඉදිරි මාස කිහිපය ඇතුළත ඉන්දියාව විසින් 2031 දක්වා වසර පහක කාලය සඳහා උද්ධමන ඉලක්කය තීරණය කිරීමට නියමිතයි. දැනට පළ වී ඇති අදහස් අනුව පෙනී යන්නේ ඉන්දියාව 4% ඉලක්කය වෙනස් නොකරනු ඇති බවයි. යම් හෙයකින් ඉන්දියාව එම ඉලක්කය අඩු කළහොත්, ඉදිරි සංශෝධනයකදී ලංකාවට ඒ ගැන සලකා බලන්න පුළුවන්. ඉදිරි වසර තුන සඳහා වන ඉලක්කය 1%කින් අඩු කළ හැකිනම් දැනට එය ප්‍රමාණවත්. 

ඉදිරි වසරේ විශේෂ තත්ත්වයක් පැවතියත්, දැනට රජයේ ඉලක්කය වන්නේ දිගුකාලීනව ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.6% මට්ටමේ පවත්වා ගැනීමයි. එයින් අදහස් වන්නේ දිගුකාලීනව බැංකු පද්ධතියෙන් රජයට ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය ක්‍රමයෙන් අඩු වන බවයි. ඒ නිසා, පෞද්ගලික අංශයේ ණය වර්ධනය ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක පවත්වා ගන්නා අතරම මුදල් සැපයුමේ වර්ධනය පාලනය කර ගැනීමේ හැකියාවක් සහ එමගින් අඩු උද්ධමනයක් ඉලක්ක කිරීමේ හැකියාවක් මහ බැංකුවට තිබෙනවා. මෙම තත්ත්වය තුළ 5%ක උද්ධමනයක් ඉලක්ක කිරීමෙන් වුවද, පෞද්ගලික අංශයේ ණය වර්ධනය සීමාව ඉක්මවා ඉහළ යන්න පුළුවන්. ඒ නිසා, දැනට තිබෙන 5% ඉලක්කයට වඩා 4% ඉලක්කය ගැලපෙනවා. ඒ වගේම, අවශ්‍යනම් උද්ධමනය 2% මට්ටම දක්වා අඩු මට්ටමක පවත්වා ගැනීමටද මහ බැංකුවට ඉඩ ලැබෙනවා.

ලංකාවේ උද්ධමනය කළමනාකරණය කිරීමේදී මහ බැංකුවට මුහුණ දෙන්නට වන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඉන්ධන මිල, විදුලි ගාස්තු ආදිය වෙළඳපොළ තුළ තීරණය නොවීමයි. මෙම වෙළඳපොළවල් නිදහස් වීමේ ඉඩක් ළඟපාතක පෙනෙන්නට නොමැති පසුබිමක මේ සඳහා විකල්ප විසඳුමක් වන්නේ මිල ස්ථායිකරණ අරමුදල් පිහිටුවීමයි. එවැන්නක් සිදු විය යුත්තේ රජය පැත්තෙනුයි. පසුගිය කාලයේ මහ බැංකුවට උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව වූයේද මෙවැනි පාලිත මිල ගණන් වල සිදු වූ මහ බැංකුවේ පාලනයෙන් තොර වෙනස් වීමයි. පසුගිය කාලයේ එය සිදු වූයේ උද්ධමනය ඉලක්කයට වඩා අඩු වන ආකාරයකින් වුවද, එහි අනෙක් පැත්තද සිදු විය හැකියි.

ඉන්දියානු රුපියල වේගයෙන් ලෝකයේ ශක්තිමත් මුදල් ඒකකයක් බවට පත් වෙමින් තිබෙනවා. ආනයන අපනයන පැත්තෙන් වගේම ආයෝජන පැත්තෙන් බැලුවත් ලංකාවට ප්‍රායෝගිකව ප්‍රවේශ වීමට පහසු ඉන්දියාව ප්‍රධාන කලාපීය වෙළඳපොළ වෙතයි. විනිමය අනුපාතයේ ඒකමිතියක් තිබීම එය පහසු කරනවා පමණක් නොව කලාපයෙන් බාහිර පාර්ශ්වයන්ට ලංකාව ඉන්දියානු ආර්ථික කලාපයේම තවත් සංරචකයක් ලෙස දකින්නටද උදවු කරනවා. 

ඓතිහාසික විකාශනය අනුව, ලංකාවේ රුපියල සැලකිය හැක්කේ ඉන්දියානු රුපියලේ දරුවෙක් ලෙසයි. එහෙත්, ඉන්දියානු පෙකණි වැල කැපූ තැන් පටන් සිදු වී තිබෙන්නේ මේ දරුවා අයාලේ යාමයි. ලෝකයේ පවතින වත්මන් ප්‍රවණතා අනුව ලොකු පිළිගැනීමක් නොමැති මුදල් ඒකක වලට අනාගතයේදී අනිවාර්යයෙන්ම ප්‍රධාන මුදල් ඒකකයක් සමඟ යම් ආකාරයකින් ගැට ගැසෙන්නට සිදු වෙනවා. එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය මූලික පියවරක් වන්නේද ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලට සාපේක්ෂව ස්ථාවරව පවත්වා ගැනීමයි. උද්ධමන ඉලක්කය 4% දක්වා අඩු කිරීම මගින් ඒ සඳහා අවශ්‍ය මුල් පියවර තියන්න පුළුවන්.

වෙබ් ලිපිනය: