Friday, January 1, 2016

සතපහකින් කළ හැකි දේ...

උඩ රූපයේ ඇත්තේ ඇමරිකාවේ භාවිතා වෙන සතපහේ කාසියක දෙපැත්තයි. එය ව්‍යක්ත ව්‍යවහාරයේදීද සාමාන්‍යයෙන් හඳුන්වන්නේ 'නිකල්' යනුවෙනි. රටක කාසි එය නිපදවා ඇති ලෝහය අනුව හඳුන්වනු ලැබීම ජනප්‍රිය භාවිතාවකි. කෙසේවුවද, ඇමරිකන් සතපහේ කාසිය නිමවා ඇත්තේ තනිකරම නිකල් වලින් නොවේ. එහි සංයුතියෙන් හතරෙන් තුනක් තඹ වන අතර ඉතිරි හතරෙන් එක නිකල්ය. රිදී පැහැයක් ගන්නා මේ මිශ්‍ර ලෝහය (alloy) කුප්‍රෝනිකල් (cupro-nickel) ලෙස හැඳින්වේ. ඇතැම් විට චීන රිදී හා ජර්මන් රිදී ලෙසද මේ මිශ්‍ර ලෝහය හැඳින්වේ.

ඇමරිකාව තුළදී ව්‍යක්ත ව්‍යවහාරයේදී නිකල් (Nickel) යන වචනයෙන් අදාල ලෝහය හෝ සතපහේ කාසිය හැඳින්වුනද, අව්‍යක්ත ව්‍යවහාරයේදී (slang) මේ වචනයට තවත් තේරුම් තිබේ. ඇතැම් විට මේ වචනයෙන් අදහස් වන්නේ අඩුම මිලකට ලබා ගතහැකි නීති විරෝධී මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයකි. තවත් විටක මේ වචනයෙන් වසර පහක සිර දඬුවමක් අදහස් කෙරේ.

ඩොලර් පනස්පන්දහස ඉක්මවූ ඒක පුද්ගල ආදායමක් ඇති ඇමරිකාවේ වැසියෙකුට නිකල් එකක් ලොකු මුදලක් නොවේ. එහෙත්, ඇමරිකාව තුළදී නිකල් එකකට පමණක් නොව සාමාන්‍ය ව්‍යවහාරයේදී 'පෙනී' ලෙස හඳුන්වන සතයේ කාසියකට වුවද වටිනාකමක් තිබේ. ඇමරිකාව තුළදී ඩොලර් දහයක නෝට්ට්ටුක් දී ඩොලර් 9.99ක් වටිනා භාණ්ඩයක් මිලදී ගතහොත් ඉතිරි සතය කිසිවිටක නොලැබී නොයයි. එමෙන්ම මේ සතය ඉල්ලා සිටි විට ඇතැම් රටවල වෙනවාක් මෙන් කඩේ මුදලාලි විසින් පාරිභෝගිකයාට දෙකක් ඇණ එළියට ඇද දැමීමනම් කිසිවිටක සිදු නොවේ. ඇත්තටම එය ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් වුවද කිසිවිටෙක ඇති නොවේ. මෙය වෙනත් බටහිර රටවලටද පොදු දෙයකි.

සතෙන් සතය හෝ සතපහෙන් සතපහ එකතු කර ඩොලරයක් හදනවාට අමතරව ඇමරිකන් සතපහකින් ගතහැකි වැඩක් තිබේද? ඇත්තටම තිබේ.

තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම මඟින් කාර්යක්‍ෂමතාව ඉහළ නංවන ඇමරිකන් ආර්ථික ක්‍රමයත්, තාක්ෂණයේ දියුණුවත් හේතුවෙන් සතපහකට ඉතා හොඳ තත්ත්වයේ ඇති, භාවිතා කළ පොත් පහක් එකක් සතය බැගින් ඇමසන් වෙබ් අඩවියෙන් මිලදී ගැනීමට පුළුවන. කෙසේ වුවද, තැපැල් ගාස්තුව ලෙස ඩොලර් 3.99ක් ගෙවීමට සිදුවන බැවින් මේ පොතක් නිවසට ගෙන්වා ගැනීමට යන මුළුවියදම ඩොලර් හතරක් වෙයි. පහතින් ඇත්තේ පසුගිය දෙසතිය තුළ එසේ ඇමසන් වෙබ් අඩවියෙන් සතය බැගින් ගෙවා මිලදී ගත හැකිව තිබුණු පොත් පහකි. තැපැල් ගාස්තු හැර, පොත් පහටම ගෙවිය යුත්තේ සතපහකි.

1. Rich Dad Poor Dad - Robert Kiyosaki


2. Wave - Sonali Deraniyagala

3. Sofie's World - Jostein Gaarder

4. Kon-Tiki: Across the Pacific in a Raft - Heyerdahl, Thor

5. The Winds of Sinhala - De Silva, Colin

තෙල් මිල ඉතා අඩු මට්ටමක පවතින මේ දින වල ඇමරිකාව තුළ පෙට්‍රල් ගැලුමක් මිලදී ගැනීමට වැය වන්නේ ඩොලර් දෙකකට වඩා අඩු මුදලකි. පෙට්‍රල් ගැලුමකින් වාහනයක් කිලෝමීටර හතළිහක් පමණ ධාවනය කිරීම අසීරු කරුණක් නොවේ. මේ අනුව, මේ දිනවල සතපහක පැට්‍රල් වලින් කිලෝමීටරයක පමණ දුරක් මෝටර් රථයක් ධාවනය කරවිය හැකිය.

දැනට ඇමරිකන් ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 146ක් පමණ වේ. මේ අනුව, ඇමරිකන් සතපහක් රුපියල් 7.30ක් පමණ වේ. ලංකාවේදී රුපියල් 7.30කින් කළ හැක්කේ කුමක්ද?


මේ තියෙන්නේ ලංකාවේ සතපහේ කාසියකි. ලංකාවේ සතපහේ කාසියකින්නම් දැන් සතපහක වැඩක් නැත. ඒ වුණත්, මේ සතපහටත් කලකට පෙර ලොකු දේවල් කරන්නට පුළුවන් විය. සතපහ සතපහට වැටුණේ අපේ ආර්ථික ප්‍රතිපත්ති වලට පින් සිදුවන්නටය.

මේ තියෙන්නේ මෙසේ උජාරුවට සිට දැන් සතපහටම වැටී සිටින අපේ සතපහේ කතාවයි.

සතපහක උපත

85 comments:

  1. සමහරු හූනු බිත්තර ලෙසත්, තවත් සමහරු කඩි බිත්තර ලෙසත් හැඳින්වුන කුඩා සීනිබෝල වර්ගය අහුරක්, සතයක් දී මිලදීගත් කාලය මතක් වුණා. සතපහක් දී, පිටකොටුවේ සිට කොටුවට ඩබල් ඩෙකර් බස් එකේ ගියහැටි මතක් වුනා. සත 55 ක් දී ගැලරියේ චිත්‍රපටි බලපු කාලය මතක් වුනා. සත 25 ක් දී, සයිවර් කඩේකින්, තුන් දෙනෙක් බඩ පිරෙන්න තෝසේ කාපු හැටි මතක් වුනා, ටැක්සියකට රුපියල් 5 ක් දී පිටකෝට්ටේ සිට මරදානට ගිය කාලය මතක්වුනා.

    අපේ මුදල් ඒකකයේ ක්‍රය ශක්තිය ක්‍ෂය වීමේ ප්‍රතිශතය කොහොමද කියලා විස්තර කරන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ තත්ත්වය තිබුණෙ ඒ තරම්ම නුදුරු අතීතයෙද? (නැත්තං විචාරකට තුමාට පුබ්බේ නිවාසානුස්සති ඥාණය තියෙනවද)

      Delete
    2. 1960 දශකය ගැනයි කිව්වේ. 1968 දී අපේ ලොකු අක්කා මනමාලියක් වී කොළඹ යනවිට කෑගල්ලේ සිට කොළඹට කාර් එකක හයර් එක රු 60 - 80 අතර. මම ඉපදුනේ 1954 දී.

      Delete
    3. 1967 -71 දක්වා මා විද්‍යොදය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තා. ගෙදරින් මාසෙටම ලැබුනේ රුපියල් 100යි. බෝඩිමට ඒකෙන් රුපියල් 85ක් දුන්නාම ඉතිරි රුපියල් 15න් මාසෙම හොඳින් ගත කළා. නුගේගොඩ ඉඳලා විජේරාම හන්දියට බස් එකේ ශත 10යි.කිරිමණ්ඩලේ කිරි හලේ චොකලට් කිරි බෝතලයක් ශත 20යි.හාෆ් ෂිට් පැකට් එක රුපියල් 5යි. කොළඹ ඉඳලා නුවරට බස් ගාස්තුව රුපියල් 2.25යි නුවර ඉඳලා නුවරඑළියට ගන්නෙත් එ ගානමයි.
      මම මුලින්ම රැකියාවට ගියේ 1973දි. ඒක විධායක තනතුරක් නිසා ලැබුණු වැටුප මසකට රුපියල් 500යි. ඒකෙන් ආදායම් බදුත් අය කරලා තිබුනා.
      අපේ රටේ ආර්ථික පිරිහීම ඇතිවීම පටන් ගත්තේ 1977 විවුර්ත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුවය.1977 ට ඉස්සර වෙලා ඇමරිකන් ඩොලර් එකකට ගෙව්වේ රුපියල් 8යි. විවුර්ත ආර්ථිකය හඳුන්වා දීමේදී ඒක රුපියල් 16 කළා. අද එ ඩොලර් එකම ගන්න රුපියල් 143ක් ඕනෑ.

      මේ මායාව හඳුනා ගෙන කරන්න තියෙන්නෙ බදු මිල සහ වැටුප් අඩු කිරීමයි.

      Delete
    4. Wmk Samarasekara,

      මට මතකයි ශත 5 කින් බුල්ටෝ කීපයක් කෑවා. ශත 25 කින් පොප්සිකල් එකක් කනවා මතකයි.

      ඔබෙන් දැනගතයුතු දෙයක් තිබෙනවා.

      //1977 විවුර්ත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුවය.1977 ට ඉස්සර වෙලා ඇමරිකන් ඩොලර් එකකට ගෙව්වේ රුපියල් 8යි. විවුර්ත ආර්ථිකය හඳුන්වා දීමේදී ඒක රුපියල් 16 කළා. අද එ ඩොලර් එකම ගන්න රුපියල් 143ක් ඕනෑ.//

      මේ අනුව 70 ත් 1977 අතර මෙරට ලබාතිබු ප්‍රගතිය කුමක්ද ?
      මා මෙයුගයේ මතකයක් නැතත් මගේ මවු පියන් කියන්නේ ඔවුන් ඉතා දුක්විදි බවයි. ඔවුන් කියනවා පොලින් වල සිට පාන් ගන්න සිදුවූ බව, මට ඔබ තුමා පැහැදිලිකරනවද රටට ආනයනය කිරීම නතර වී ඇති විට, විදේශ වලට මුදල් ඇදී නොයන විට රටේ දේශීය නිෂ්පාදකයන්ට ඕන හැටියට නිෂ්පාදනය පුළුල් කල හැකිව තිබුනානම් ඇයි පොලින් ඇති වුනේ ?

      රටේ ආනයන සිදුවෙන් නැත්නම් ඩොලරයේ අගය අඩු බව ඕනෑම කෙනෙකුට පැහැදිලියි. 1977 පසු රටේ ඇතිවූ යුද්ධයත් නිසි ප්‍රරිපාලන ක්‍රමයක් ඇති කලානම් අපිට මේ ප්‍රශ්නය ඇති නොවනු ඇති බවයි මම හිතන්නේ එය විවුර්ත ආර්ථිකයේ ප්‍රශ්නයක් නම් සිංගප්පුරුව, මලෙසේයාව ජපානය දිවුණු වුනේ කොහොමද ?

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. බය්යන්ට සහ ටොය්යන්ට අමතරින් ජාතියක් තමයි, ‘77 දී තමයි සේරම නරක් වුනේ‘ කිය කියා අඬන වර්ගය. මේ 77 නස්තල්ජියා අය ගොඩක් ඉන්න නිසා මම අළුත් අවුරුද්දේ ව්‍යාපාරයක් පටාන් ගන්නයි අදහස; හුබස් මැටි හකුරු, මැටි පාං, භූමිතෙල් චීත්ත රෙද්දෙන් මැහූ ජංගි රෙන්දෙට අඟල් දෙකයි මිනි ගවුං, ... තවත් ඩිමාන්ඩ් අයිටම්ස් එහෙම තියේනං ලිස්ට් එකට දාන්න

      Delete
    7. /සමහරු හූනු බිත්තර ලෙසත්, තවත් සමහරු කඩි බිත්තර ලෙසත් හැඳින්වුන කුඩා සීනිබෝල වර්ගය අහුරක්,සතයක් දී මිලදීගත් කාලය/

      හූනු බිජු නෙවෙයිද? ඊයේ අහුරු භාගෙක විතර පැකැට් එකක් රු 30කට ගත්තා.

      Delete
    8. ආර්ථිකය කඩා වැටුනේ 77 ආර්ථික ප්‍රතිපත්ති නිසා නෙවෙයි ඇණේ. බුදුහාමුදුරුවෝ කියලා තියනවා වයසක මිනිහෙක් තරුණ කාන්තාවක විවාහ කරගත්තොත් මොකද වෙන්නේ කියලා. දැන් ඒ කියමන අපේ රටට ගෙනා 77 විවෘත ආර්ථිකයට ආරෝපණය කරලා හිතලා බලන්න.

      Delete
    9. මට වැටහෙන විදියට නම් 1070 සමගි පෙරමුණට 2/3 බලය ලැබුනේ රටේ පොදු ජනයා එ් පෙරමුණේ ප්‍රතිපත්ති ගැන සතුටු වෙලා නෙමෙයි නමුත් 1965/70 unp හත් හවුල් පාලනයෙන් බැටකාල ඒකෙන් ඇති පදම් විඳවපු නිසයි. අඩුවැඩි ලෙසින් සමගි පෙරමුණ කරවූ ඉහල පෙලේ සිංහල දේශපාලකයන්ට තිබුන රට මෙහෙයවීමේ දිශාව ගැනවූ දැක්ම පොදු ජනතාව අතරට නොව පොදු පෙරමුණේම මැද සහ පහල පන්තියේ දේශපාලකයන් අතරටවත් ගෙන යාමට සමත්වූ සන්නිවේදන ජාලයක් ඔවුන්ට තිබුනේ නැහැ.ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් සහ ජනතාව සිටියේ අඳුරේ.71 කැරැල්ලේ බලපෑම නිසා රජය සිටියේ සියල්ල චක්‍රලේඛ,සහ පනත් මගින් කල හැකිය යන මානසිකත්වයේ. මේ නිසා ඒ රජය ඇතිකළ හාල්,මිරිස් නිදහසේ ප්‍රවාහනයට බාධා කිරීම (හාල් පොලු මිරිස් පොලු) සතියකට දෙදිනක් (අඟහරුවාදා,බ්‍රහස්පතින්දා) බත් කෑම තහනම් කිරීම සාමාන්‍ය මිනිසා දුටුවේ තමන්ට කල හිරිහැරයක් විදියටයි. නමුත් එය පිටුපස තිබු ස්වාධින ආර්ථික හා වාණිජ දර්ශනය ජනතාවට වටහා දීමට ඉහළ පෙලේ දේශපාලකයන් අසමත් වුනා. මේ ඉහල පෙලේ දේශපාලකන් අතර තමන් විසින් කරන වැඩවල මනා සම්බන්ධීකරණයක් තිබුනේ නැහැ.මේ නිසා ආර්ථික වර්ධනය ඇති නොවුනා පමණක් නොව සුළුජාතික( දෙමල සහ මුස්ලිම්) දේශපාලකයන්ට තම අභිමතාර්ථ ඉටු කර ගැනීමට කෙටි කාලින හා දිගු කාලින වැඩසටහන් දිගටම ගෙනයාමට ඉඩ ලැබුනා. එකේ ප්‍රතිඵල අද පෙනෙන්න තියෙනවා. රජයේ ප්‍රතිපත්ති ජනතාවට අර්ථ නිරුපනය කරන්නේ නිලධාරියෝ. අපේ රටේ සිටින මැට්ටෝ වැඩිහරියක් ඉන්නේ පරිපාලන සේවයේ. තමන්ට පහලින් ඉන්න එකාට පුප්පන්නයි ඉහල එකාට ගොට්ට අල්ලන්නයි විතරයි දන්නෙ. එක්කෝ පිටරක තියෙන දෙයක් අපේ රටට ගැලපෙන්නේ කෙසේද කියා හොයන්නේ නැතිව ඒක ගෙඩිය පිටින්ම රටට දානවා. එක්කෝ පිටරට තියෙන දෙයක් හරියට හොයා බලන්නේ නැතිව තම තනි මතය අනුව ඒක කපල කොටලා දාල රටට දෙනවා. මේ දෙකෙන්ම උනේ ඒ වටිනා ක්‍රම අපේ රටේදී අසාර්තක වුන එක විතරයි. මෙතැනදී නිලධාරින් ටයි පටි මාරු කරලා ශේප් උනත් රටට වුනු හානිය හදන්න කියා කවුරුත් හිතන්නේ නැහැ. මේ නිසා 1975 විතර වෙන කොට රටේ විනයක් තිබුනේ නැහැ.රජයට ඔත්තු සේවා මෙන්ම ප්‍රති ඔත්තු සේවා තිබුනේ නැහැ.එහෙම තිබුනා නම් රුසියාවේ විප්ලවයෙන් පසු රට ඉදිරියට ගෙන යාමට මහත් කැපවීමකින් ක්‍රියා කල සේවක කමිටු,දේශපාලන කමිටු ආදිය අපේ රටේදි පලදා වර්ධන කමිටු ජනතා කමිටු ලෙසින් ක්‍රියා කරද්දී ඒවායෙන් ජනතාවට අහයපතක් මිස යහපතක් සිදු නොවන බවත් හිංසාවක් මිස සහනයක් නොලැබෙන බවත් දන ගන්න තිබුනා. එමෙන්ම ජපානයේ ආර්ථිකයේ අදත් දැවැන්තයෙකු ලෙස ක්‍රියා කරන විවිධ සේවා සමුපකාර අපේ රටේ හරියට පැලපදියම් නොවුනේ කියලා දැන ගන්න ඉඩ තිබුනා.මේ සියලු කරුණු නිසා පිඩාවට පත් ජනතාව 1977දි 5/6 ක බලයක් දි jr ලොක්කා පත්කරගත්තා.
      මේ රට විනාශ කල පින්ගුත්තරයා jr ය. ලෝකෙ කොහෙවත් රටක නැති විධයට ආර්ථිකය විවුර්ත කළා.බැමි ඔක්කොම් ලිහලා දැම්මා . විනිමය නිදහසේ පාවෙන්න හැරියා.න්‍යායට අනුව ඒක හරි උනත් එහෙම නිදහස් ආර්ථිකයක් අද පවා ලෝකෙ කොහෙවත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒගොල්ල වෙනත් පාලන ක්‍රම මගින් නිදහස් ආනයනයට වැට බඳිනවා.අපේ මාළු යුරෝපිය වෙළඳ පලට නිදහසේ යවන්න පුළුවන්. හැබැයි ඒකට ඉඩ දෙන්න නම් අපේ බෝට්ටු මහ මුහුදේ තියෙන තැන එගොල්ලන්ට හොයා ගන්න පුළුවන් gsp තාක්ෂනය ඒ බෝට්ටු වල තියෙන්න ඕනෑ කියල කොන්දේසියක් දාල.අපේ බෝට්ටු වල එක නැහැ.ඒ මැෂින් හයි කලාම කියයි ඒක operate කරන්න අවශ්‍ය ශිල්පින් බෝට්ටු වලට දාන කල් අපේ මාළු ගන්නේ නැහැ කියල. ජපානයත් නිදහසේ හාල් එ රටට ගෙන්න ඉඩ දීලයි තියෙන්නෙ නමුත් ඒවා ජපැනිකා කොලිටියට අනුව තියෙන්න ඕනෑ. අපි ජපැනිකා කොලිටිය එනම් කළු ඇට නැති, කෝටු දෙකින් ඇල්ලීමට පිළිවන් තරමින් බත් ගුලි ඉදෙන හාල් හදන්නේ නැහැ.අපි හදන්නේ ඇඟිලි තුඩු වලින් අල්ලන්න පුළුවන් බත් ඇටෙන් ඇටේ වෙන් කර ගන්න පුළුවන් හාල්. ඒ නිසා අපේ හාල් ජපානයට යවන්න බැහැ. රුපියල පහල දමපුවාම ආනයන අඩු වෙලා අපනයන වැඩිවෙනවා කියල න්‍යායේ තිබුනත් ඇත්තෙන්ම වෙන්නේ විදේශිකයන් අඩු ඩොලර් ප්‍රමාණයක් ගෙනල්ලා වැඩි ප්‍රතිලාභ ගන්න එක විතරයි.
      විවුර්ත ආර්ථිකයෙන් සිංගප්පුරුව දියුණු උනේ ඇමරිකාව විසින් වියට්නාම් යුද්ධයට ගෙනගිය නැව් හමුදාවට අවශ්‍ය සේවා සැපයීම සිංගප්පුරුව විසින් කරපු නිසයි. අපිට හම්බන්තොට වරාය හදන්න තිබුනේ. 1960 ගණන් වලදී. එහෙනම් අද අපි ගොඩ.

      ඇනයාට පෙනෙන විදියට මේක බයියන්නේ හා ටොයියන්නේ ගැටලුවක් නෙමෙයි. මේක වැඩ කාරයන්ගේ (උගතුන්ගේ) සහ අනුන් කරපු වැඩ තමන්ගේ කියල රටට පෙන්වන නමුත් වැඩ කරන්න දන්නේ නැති (සහතික පත් දරන්නන්ගේ) ප්‍රශ්නයක්. සාමාන්‍ය පෙළ සිට ඉහලට සමත්වූ බවට සහතික දරන එහෙත් බුද්ධිමතුන් නොවන අය සහ සහතික ඇති හා නැති බුද්ධිමතුන් අතර ප්‍රශ්නයක්.මහා සේනානායක තුමාට සහ මැතිනියට සහතික පත් නොතිබුනාට ඔවුන් බුද්ධිමතුන්.

      සමරසේකර

      Delete
    10. //අපේ මුදල් ඒකකයේ ක්‍රය ශක්තිය ක්‍ෂය වීමේ ප්‍රතිශතය කොහොමද කියලා විස්තර කරන්නකෝ.//
      මේ ගැන සහ මෙය සිදුවුණු ආකාරය ගැන හිමිහිට කතාකරන්න තමයි හිතාගෙන ඉන්නේ. කමෙන්ට් වල තියෙන අනිත් මාතෘකානම් ඔක්කොම එකපාර කතාකරන්න බැරිතරමට පුළුල් වැඩියි.

      Delete
    11. Wmk Samarasekara,

      ඔබ සමග 100% එකග උනේ නැතත් ඔබ පෙන්වා දෙන කරුණු ඉතා වැදගත්.
      එකගවිය නොහැකි දේ මම කියන්නම් එනම්

      01. 1949-1955 දශකයේ ශ්‍රී ලංකාවේ ආසියාවේ පවතින හොදම පරිපාලන ක්‍රමය පැවති බව ලී කවන් යු සදහන් කරනවා, මෙය පිරිහුනේ සිංහල පමණක් රජබස කිරීම නිසා නොවෙයිද ? සිංහලයකු ලෙස මා මෙය දකින්නේ සිංහලයන්ට කරන ලද විශාලම වංචාව බවයි. කල යුතුව තිබුනේ සියලු පාසැල් වල ඉංග්‍රීසි ප්‍රවර්දනය කිරීමයි (සිංගප්පුරුවේ සිදුවුනේ එයයි )

      ඔබ සදහන් කරනවා //අපේ රටේ සිටින මැට්ටෝ වැඩිහරියක් ඉන්නේ පරිපාලන සේවයේ.// මා මිට 100% එකගයි නමුත් ඔබ කියන්නේ නෑ මෙය සිදුවුනේ කුමන ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නිසාද කියල.

      02. මා දකින විදියට ශ්‍රී ලංකාව දියුණු කල නොහැකි වීමට කෙටි උදාහරණයක් මා ඔබට ලබාදෙන්නම්. ශ්‍රී ලංකාවට container trailers ආනයනය කරනවා මේ සමාගම් වලින් 30% බදු සහනයක් ලබාදෙනවා රජය, නමුත් ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ සිටිනවා container trailers නිෂ්පාදනය කරන ආයතන තිබෙනවා, ඔවුන් විදේශ වලට අපනයනත් කරනවා, මෙවැනි සමාගම් තිබියදී අවශ්‍ය කොටස් ආනයනය කරන්න සිදුවූ විට ඔවුන්ට 30% බද්දක් ගෙවියයුතු වෙනවා.

      මෙය සිදුවී ඇත්තේ ඉතා සරල ලෙසයි එනම් රජයේ ඉහල පුද්ගලයකුට අල්ලස් දීම මගින් විදේශීය තරග කරුවට හැකිවෙනවා ශ්‍රී ලංකාව තුල සිටින නිෂ්පාදකයන් විනාශ කිරීමට.

      ප්‍රශ්නය මිනිසුන් බලපෑම් කරන්නේ නෑ ශ්‍රී ලංකික නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට, මෙනිසා රටේ රැකියා බිහිකළ නොහැකි වෙනවා, ජනතාව ලෙස මෙවැනි සිදුවීම් වලට දැඩි ලෙස විරුද්ධ වියයුතුයි.

      Delete
    12. සමරසේකර මහත්තයා, 70-77 ආණ්ඩුව බිඳ වැටීමට හේතු ගැන ඔබ වගේම ඒ කාලයෛ් රජයේ විවිධ තනතුරු දරපු අය කියන කතා මම අසා තියනවා, ඒ වාගේම සේාවියට් රුසියාවේ එවැනිම අයගේ කතාන්දරත් අසා තියනවා. දෙගොල්ලන්ටම පොදු දෙයක් තම ඔබ විශ්වාස කළ ආර්ථික විප්ලවය හෙවත් ඔබලා ලවා කරවූ ආර්ථික පර්යේෂණය අසාර්තක වූ බව ඔබ තාමත් නොදන්නා බවයි.

      ඔබගේ කොමෙන්ටුවේ කරුණු ඔබගේ තර්කයට ඉවහල් වෙන්නේ කෙසේදැයි මට තේරෙන්නේ නෑ, ගොඩක් වෙලාවට මම ලියන දේවලුත් එහෙම වෙන්නැති. අපි අපගේ දක්ෂ ලියන්නා ‘ඉකොනොමැට්ටා‘ ගෙන් අපට යතා කාලයේ මේවා පැහැදිලි කර ගැනීමට මග පෙන්නා දෙන්න කියා අයැද සිටිමු.

      Delete
    13. සියල්ල හොඳින් කියවා බැලුවොත් සමරසේකර මහතා කියන දෙයේහි සත්‍යයක් ඇති බව මෙන්ම ඇණයා කියන දෙයෙ හිද සත්‍යයක් ඇති බව පෙනේ. ජේ ආර් ට සම්පුර්ණයෙන් වරද පැටවිය නොහැක්කේ ජේ ආර් එය කරන තුරු බලා සිට එංගලන්තයේ තැචර් ද ජේ ආර් අනුගමනය කිරීමයි. මේ බව මට ඉහල ටොරි නායකයෙකු වරක් කීවා මතකයි. එංගලන්තයේ එය හරි යාමටත් ලංකාවේ වැරදිමටත් හේතුව සමරසේකර මහත් කිව්වක් මෙන් ලංකාවේ මොන දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වුනත් ඉන්නේ එකම හොරු සැට් එකක් වීමයි. (මෙයින් තැචර් කල හැමදේම හරි කියා ම නොකියන තර මම තැචර් විරෝධියෙක්මි. නමුත් ය එංගලන්තයේ ආර්ථික දියුණුව ලබා ගත් අතර රැකියා ප්‍රශ්නයද සෑහෙන්න විසඳා නිවාස හිමියන් ගන්නද වැඩි කළාය.)

      Delete
    14. සමාවෙන්න .... ඔබ සැමගේ සාර ගර්භ සකච්චාවල් අතරට සරල යමක් සදහන් කිරීමට සිදුවුවට.

      විචාරක මහතා ... මා ඔබට වඩා වසර 12 ක් වයසින් අඩු අයෙක්. (1966 උපන් අයෙක්) මම අටේ - නමය පන්ති වල ඉන්න කාලේ වගේ (ඒ කීවේ 1977 - 1978 වසර වල) ගැලරි ticket එකක මිල සත පනස් පහක් වගේ තමා මතක. ගැලරි ticket එකක මිල 1974 දීත් සත 55 ක් බව හොදටම මතකය් (මොකද බෝඩිමේ හිටිය ලොකු පන්ති වල හිටිය අය්යල ගැලරි ticket එකක මිල සත 55 ක් බව කීවා හොදටම මතකය්.)

      මම මේ කල්පනා කලේ, ගැලරියේ ticket මිල සැහෙන කාලයක් යනකල් වෙනස් උනේ නැතිද. අනික ගැලරියේ බාග ticket නොතිබ්බ හන්ද වැඩිහිටි ළමා කියා වෙනෙසකුත් නැහැනේ.

      ඒ දවස් වල බස් වල ticket එකක අවම මිල සත දහයක්. ඒක නම් බාග ticket එකක්. අපි හිටිය ගෙවල් ලග ඉදල ඉස්කෝලේ ලගට සත 15 ය්. හැබය් නුවර ටවුමේ බැහැල ගියොත් සත 20 ක් යනවා. මට ඒ දවස් වල තිබුණ ප්‍රශ්නයක් තමා කෙලින් ගියාම සත 15 ක් වෙච්ච එකේ, නුවර බැස්සම ඇයි ඉතිරි ටික සත 5 ට යන්න බැරි කියන එක.:D

      Delete
    15. /ඇයි ඉතිරි ටික සත 5 ට යන්න බැරි කියන එක/
      ඔබට විතරක් නොවේ එය මටත් පුංචි සංදියේ තිබුණු ලොකුම ගැටළුවක්, අද අපිට තියන ගොඩක් ගැටළුත් ඒවා පිළිබඳ විශාරදයන්ට පෙනෙනවා ඇත්තේ ඔයාකාරයෙන් වෙන්නැති.

      Delete
    16. මේවා විස්තරාත්මකව කතා කළ යුතු දේවල්. අප ආ ගමන්මඟ දෙස ආපසු හැරී බැලිය යුත්තේ දැන් සිටින තැන නිවැරදිව හඳුනාගන්න. දැන් සිටින තැන හරියට හඳුනාගත යුත්තේ අනාගතයේ සිදු විය හැකි දේ තේරුම් ගැනීමට සහ එය වඩා හොඳ තැනක් කිරීමට අපි එකිනෙකාට කළහැකි සුළු හෝ දෙයක් තිබේනම් එය කිරීමට. අදහස් වල වෙනස්කම් තිබුණත් හැමෝම කමෙන්ට් දාලා තියෙන්නේ මෙවැනි අරමුණකින් කියන එක මගේ අදහසයි. හැමෝම කියන දේ වල යමක් තියෙනවා.

      මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ තමතමන්ට නිදහසේ අදහස් දැක්වීමේදී උදවුවට ගතහැකි නිවැරදි දත්ත, තොරතුරු සහ න්‍යායාත්මකව හෝ මගේ අත්දැකීම් ඇසුරින් 'සිදුවිය හැකි දේ' ඉදිරිපත් කරන්න. මෙහි මතු වී ඇති කරුණු වලට දැනට කෙටි පිළිතුරක් දෙනවානම්, රුපියල් සත හඳුන්වාදුන් 1870 සිට වසර 90ක් පමණ යන තුරු රුපියලේ වටිනාකම අඩුවුණේ ඉතාම හෙමින්. (1860 සහ 1960 මිලගණන් කොයිතරම් සමානද කියන එක මම පසුව පෙන්වන්නම්). රුපියලේ වටිනාකම පිරිහෙන්න පටන් ගත්තේ හැටේ දශකයේ පමණ සිටයි. සමඟි පෙරමුණු කාලයේ මෙය බලෙන් යටපත් කරගෙන සිටියා.

      ජේආර් බලයට පැමිණි පසු ඩොලරයේ අගය 8 සිට 16 දක්වා යාමේදී වුණේ එක්වරම එහි සැබෑ මිල නිරූපණය වීමයි. (මෑතකදී වුණෙත්, හරියටම ඒ විදිහටම නොවුණත්, එවැනි දෙයක්.) එතැන් සිට රුපියල පිරිහුණේ ඉතාම වේගයෙන් (මම පසුව දත්ත ඉදිරිපත් කරන්නම්). මෙය විවෘත ආර්ථිකයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒත්, අපේ ආර්ථික ආකෘතියේ ප්‍රශ්නයක් තමයි. අර විචාරකගේ "වයසක මිනිහෙක් තරුණ කාන්තාවක විවාහ කරගත්තොත්" කියන උපමාව නරක එකක් නෙමෙයි. මෙතැන වයසක මිනිහට තරුණ කාන්තාවෝ ඕනෑ වෙන්නේ විවෘත ආර්ථිකය නිසා නෙමෙයි. ඒත්, විවෘත ආර්ථිකය කැමති කෙනෙක් තරුණ කාන්තාවක් විවාහ කර ගැනීම බලෙන් වළක්වන්නේ නැහැ.

      මෙය දිග වුණත් කෙටි පිළිතුරක් පමණයි.

      Delete
    17. AnonymousJanuary 2, 2016 at 7:48 AM

      ඔය වගේම මට තිබුණු ප්‍රශ්නයක් තමයි සත විසිපහේ ටිකට් එකේ බාගේ ටිකට් එක සත පහළොවක් වෙන්නේ කොහොමද කියන එක.

      Delete
    18. උඩ කමෙන්ට් එකේ ලොකු කෑල්ලක් හැලිලා. ආයෙම ටයිප් කරන්න වෙනවා. සුද්දා අපිට දීලා ගියේ හිස් භාණ්ඩාගාරයක් නෙමෙයි. අපට ඉතිරි කර ගිය විදෙස් සංචිත ප්‍රමාණය අපේ විදෙස් ණය මෙන් 9 ගුණයක්. ණය සියල්ල ගෙවුවත් සෑහෙන ගණනක් ඉතිරියි. අවුරුදු ගණනක්ම අපි කළේ මේ සංචිත වියදම් කිරීම සහ වැඩියෙන් ණය ගැනීම. ඒත් 1962 වන විටත් අපේ විදෙස් ණය ඩොලරයකට සංචිත ඩොලර් 1.60ක් පමණ තිබුණා. මුලින්ම අපේ විදෙස් සංචිත විදෙස් ණය වලට වඩා අඩුවුණේ 1963දී. එතෙක් අපට සුද්දා ඉතිරි කර ගිය සංචිත වල පිහිටෙන් රුපියල ස්ථාවරව පවත්වා ගත හැකි වුණත් ඉන්පසු එය එන්න එන්නම අමාරු වුනා.

      අපේ අපනයන ආදායම අවසන් වරට ආනයන අවශ්‍යතා වලට වඩා අඩුවෙන් තිබුණේ 1956දී. එතැන් සිට දිගටම තිබුණේ (1977 හැර) සෘණ වෙළඳ ශේෂයක්. 1970 වන විට අපේ විදෙස් ණය සංචිත ප්‍රමාණය මෙන් 10 ගුණයක්. 1975 වන විට මෙය 1:13 දක්වා වෙනස් වී ඉතාම නරක අතට හැරුණා. මේ තත්ත්වය යටතේ ආනයන සීමා කිරීම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. ආනයනය කරන්න කෝ ඩොලර්? මේ ආනයන සීමා නිසා 1977 වසරේදී මේ අනුපාතය 1:3 දක්වා වැඩිවුණත් එය කෘතීම තත්ත්වයක්. එයින් ඇතිවූ අපහසුතා ගැන මා කිවයුතු නැහැ.

      Delete
    19. අවසන් වරට අපේ රජයකට අයවැය අතිරික්තයක් තිබුණේ 1955දී. ඉන්පසුව අපි දන්නේ අයවැය හිඟයක් ගැන පමණයි. මේ හිඟය පියවා ගත්තේ ණය ගැනීමෙන් සහ ඒ ණය පියවීමට වසරින් වසර අළුතින් ණය ගැනීමෙන්. අයවැය හිඟයක් දිගටම පැවතීම නිසා ණය එන්න එන්නම වැඩිවුනා. 1960 දශකය තුළත් ණය සැලකිය යුතු ලෙස වැඩිවුණා. සමඟි පෙරමුණු යුගයේදී මෙය යම් පාලනයක් යටතේ, ස්ථාවරව පවත්වා ගත්තා. (ණය ගැනීම හැම විටම නරක දෙයක් නෙමෙයි. එය තීරණය වන්නේ ණය ගන්නේ ඇයි කියන කරුණ අනුවයි. ණය ගන්නේ අනාගතයේ ආදායම් උපදවන, ඵලදායී ආයෝජන වෙනුවෙන්නම් ඒ ණය ගෙවීමට තව ණය ගන්න වෙන්නේ නැහැ.) සමඟි පෙරමුණු යුගයේ සැබෑ ප්‍රශ්නය නිෂ්පාදනය වැඩිනොවීම සහ ඒ නිසා ආදායම වැඩි නොවීම. (අරමුණ වුනේම නිෂ්පාදනය වැඩිකිරීම වීම මෙහි ඇති irony එකයි.)

      1978දී ජේආර් පටන් ගනිද්දිම රටේ විදෙස් ණය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දෙගුණයක් දක්වා වැඩි කෙරුණා. එයින් පසු දිගටම සිදුවුණේ මේ ණය ප්‍රමාණය වැඩිවීම. මේ වන විට රජයේ බදු ආදායමෙන් 90%ක් පමණම (මම හරියට ගාණ හැදුවේ නැහැ) වැය වන්නේ ණය වාරික සහ පොලී ගෙවීමට. අනෙක් හැම දෙයක්ම කරන්න වෙන්නේ අළුතින් ගන්න ණය වලින්.

      විදෙස් ණය එක දිගට වැඩි වැඩියෙන් ගැනීමෙන් තාවකාලිකව රුපියල ස්ථාවරව තබාගත හැකියි. එහෙත් මෙය දදයක් කසනවා වැනි වැඩක්. හිරවුන ගමන් පහුගිය ටිකටත් හරියන්න පිරිහෙනවා. දැන් වෙන්නෙත් තරමක් දුරට එවැනි දෙයක්.

      Delete
    20. @ AnonymousJanuary 2, 2016 at 7:48 AM

      හොඳ කරුණු විමසීමක්. ඔව්, ගැලරියේ ටිකට් එක මිල වැඩි නොකර තිබුනේ දෙවැනි පන්තියේ, පළමුවැනි පන්තියේ, ODC, බැල්කනි, ටිකට් මිල වැඩි කරලා, ඒ මුදලෙන් ගැලරියේ පාඩුව ආවරණය කරගැනීමෙන්. ගැලරියට එන අය නාවොත් පාඩුයි. ඒ අය තමා සිනමාහලේ කැන්ටිමෙන් වැඩිපුර මොනවා හරි ගන්නෙත්.

      ඔය බස් ගාස්තු අයකරන්නේ ඒ ඒ මාර්ගයේ බෙදාගත් කොටස් අනුවයි. ඒකට කියන්නේ සෙක්ෂන් කියලා. ඒ සෙක්ෂන් එකක් ඇරඹෙන/අවසන් වන තැන දක්වා සහ එතනින් ආරම්භවන බස් ගාස්තුව අතර වෙනසක් තියනවා. අදත් එහෙමයි.

      නිකම් හිතලා බලන්න හැම හෝල්ට් එකෙන්ම බහිමින්, ඊළඟ හෝල්ට් එක දක්වා ටිකට් ගනිමින්, බස් එකක ගියොත්, කොපමණ විශාල බස් ගාස්තුවක් යනවද?

      Delete
    21. අප මුහුණ දෙන ප්‍රශ්න සමඟි පෙරමුණු රජයේ, විවෘත ආර්ථිකයේ, මහින්ද චින්තනයේ හෝ යහපාලනයේ වැරදි ලෙස ලඝු කරන්න මම කැමති නැහැ. මේ හැම පාලනයක්ම අදාළ කාලයේ සමාජයේ තේරීම්. දේශපාලඥයින් බිහිවෙන්නේ සමාජය තුළින් සමාජයේ අවශ්‍යතා අනුව. අනෙක් අතට පරිපාලන නිලධාරීන් කියන්නේත් මේ සමාජයේම නිෂ්පාදන. ආර්ථිකය හැසිරවීම හා අදාළව නිදහසින් පසු පැවති සහ පවතින සෑම රජයකටම අතගහන්න වුණේ කලින් සිටි අය මුහුණ දුන්නාට වඩා සංකීර්ණ ගැටළුවකට. පරිපාලන නිලධාරීන් ගත්තත් එහෙමයි. කණගාටුවට කරුණ වන්නේ ඒ හැමෝම ඉවත් වෙන්නේ ප්‍රශ්නය තවත් සංකීර්ණ කිරීමෙන් අනතුරුව වීමයි. (උතුරේ ප්‍රශ්නයට අදාළවත් සෑහෙන කාලයක් වුණේ ඕකමනේ.) තවමත් සමාජය විසින් ඉල්ලා සිටින්නේ (විචාරකගේ වචන වලින්) "තරුණ කාන්තාවෝ". ඉල්ලන දේ නුදුන්නොත් ගෙදර යන්න වෙන බව පාලකයෝ දන්නවා. ඒ නිසා 'එදාවේල' ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙන්න හරිම අමාරුයි.

      Delete
    22. ඉකොනොමැට්ටා,

      ඔබේ විග්ග්‍රහය හරිම අපුරුයි! 1955 දී කොරියන් යුද්දය නිසා රබර් මිල ඉහළයාම අතිරික්තයට හේතුව බවයි මට මතක.


      //1860 සහ 1960 මිලගණන් කොයිතරම් සමානද කියන එක මම පසුව පෙන්වන්නම්//
      මෙය හැකිනම් ඉතාම වටිනවා.

      //අපට ඉතිරි කර ගිය විදෙස් සංචිත ප්‍රමාණය අපේ විදෙස් ණය මෙන් 9 ගුණයක්.//

      මේක තමයි ඉතාම වැදගත් කොටස, අපි මෙය විනාස කලේ සහනාධාර දීම මගින් සහ ප්‍රාග්ධන භාණ්ඩ (වරායවල්, ගුවන්තොරුපොලවල්, මහාමාර්ග) දියුණු නොකිරීමෙන්.

      Delete
    23. @ ලාංකික සිතුවිලි,
      මට නම් තිහෙන්නේ අපි සිංගප්පුරුවට වඩා අපේ සදාකාලික සතුරා වන ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගැනීම තමයි සුදුසු. ඉන්දියාවේ භාෂා 124ක් තියෙනවා. ප්‍රාන්ත 26ක් තිබෙනවා.රාජ්‍ය භාෂාව උර්දු. ඒත් ඕනෑම ඉන්දියන් ජාතිකයෙක් පස්වන ශ්‍රේණියෙන් ඉහලට ඕනෑම විෂයකින් ඉහලට ඉගන ගන්නවා නම් ඉගෙන ගතයුත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ කියන්නේ ඉන්දියාවේ අධ්‍යාපන භාෂාව ඉංග්‍රීසි.ඉන්දියන් ජාතිකයෝ ඉංග්‍රීසි උච්චාරණය කරන්නේ ඔවුන්ට උවමනා විදියට.දකුණට ලං වෙන්න වෙන්න ඒ අයගේ කටින් වචන පිට වෙන්නේ express කෝච්චියක් වාගේ කට දිහා බලා නොහිටියොත් මොකුත් තේරෙන්නෙ නැහැ. අපිට වැරදුනේ අපි අපේ අද්යාපන භාෂාව සිංහල හා දෙමල කරපු එක නිසයි .
      සමරසේකර

      Delete
    24. සමරසේකර මහත්තය,

      හරියට හරි. ඉන්දියාවේ තත්වය මම දැනසිටියේ නෑ. මම විතරක් නෙමෙයි ඔබ පැහැදිලි කරන ඉන්දියාවේ තත්වය ගැන කිසිම රුපවනිනි වැඩසටහනක මට අසන්න ලැබිලා නෑ, මේ අනුව පේනවා අපි කොතරම් පසුගාමිද කියල.

      ඔබ මෙය පහැදිලි කරපු විදිය වටිනවා, මා සිදුකරන මෘදුකාංග ප්‍රවර්දනයේ දී මට ශ්‍රී ලංකාව තුලින් කිසිම අබියෝගයක් එල්ලවී නෑ නමුත් ඉන්දියාවේ දැඩි තරගකාරිත්වයට මා මුහුණ දෙනවා. ශ්‍රී ලංකාව තුල මේ විෂය ගැන දැනුම ඇති අය සෙව්වත් භාශා ප්‍රශ්නය නිසා දක්ෂ අය සොයාගැනීම අපහසුයි.

      Delete
  2. Replies
    1. දැන් සතපණහක වුණත් වැඩි වටිනාකමක් නෑ නේද?

      Delete
    2. සත පණහ? සත පනහ තියා රුපියල් පනහෙන් මොකක්ද කරන්න පුළුවන්?

      Delete
  3. ලෝකෙ කොයි රටෙත් අනෙක් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව පොත් වල මිල ගණන් හරිම අඩුයි නේද? ලංකාවේ සමහර වටිනා පොතක් මිල කරල තියෙන ගානින් කොත්තුවක් වත් කන්න බැහැ. දුකත් හිතෙනව එහෙම බැලුවම මෙච්චර බුද්ධිමය දේපලක් කුණු කොල්ලෙට මාකට් වෙන හැටි.

    ReplyDelete
    Replies
    1. මේක තමයි ඉල්ලුම සැපයුම කියන්නේ, ඇනෝ. පොත් වලට වඩා කොත්තු වලට ඉල්ලුම වැඩියි.

      Delete
  4. මම ඊයෙ පින්තූර සහ කතන්දර කියන රුසියන් පොත ගත්තා ප්‍රගති ප්‍රකාශකයන්ගෙං. රුපියල් 900 යි - ඩිස්කවුන්ට් 20% යි. ඒ වගේ රුසියන් පොත් රුපියල් දහයට, පහට වගේ ගන්න තිබුණ කාලෙයක් තිබුණා අසූවෙ අනූවෙ විතර.

    ReplyDelete
    Replies
    1. දැදිගම වී රුද්‍රිගු - රාදුගා ප්‍රකාශකයෝ … මතකද උඹට අපේ පුංචි කාලේ ???

      Delete
    2. රාදුගා - දේදුන්න

      Delete
    3. සෝවියට් යුගයේදී ඔවුන් නිෂ්පාදන වියදමට හෝ ඊටත් අඩුවෙන් පොත් විකුණුවා.

      Delete
    4. පත්තර,
      අපේ පුංචි කාලෙ නේ? හෙහ් හෙහ්... මං යනව ප්‍රගති ප්‍රකාශකයො ගාවට මාසෙකට සැරයක්. අපේ පුංචි කාලෙ තිබ්බ පොත් ආපහු ගන්න, අපේ පුංචිරාළට...

      ඇණේ,
      රාදුගා කියන්නෙ මයෙ හිතේ රුසියාවෙ තිබ්බ ආයතනය. ඒකෙ ලංකාවෙ නියෝජිතය තමයි ප්‍රගති ප්‍රකාශකයෝ

      ඉකොන්,
      ඇත්ත. සෝවියට් උදවිය පොත් වික්කෙ නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන්. ඒ වගේම සාහිත්‍යය සෝවියට් වාදී කර තිබුණා. හොඳම උදාහරණය අම්මා පොත. ඒක මුල් පොතට වඩා සියුම් ලෙස වෙනස්. ලාබෙට විකිණීමෙන් ඔවුන් සෝවියට් මතය ලොව පුරා පැතිරවීමට උත්සාහ ගත්තා...

      Delete
    5. ලංකාවේ නියෝජිතයා වෙලා හිටියේ පීපල්ස් පබ්ලිෂින් හවුස් නේද? කුමාරන්රත්නම් පාරේ.

      //ඒක මුල් පොතට වඩා සියුම් ලෙස වෙනස්.// මම ඒ ගැන වැඩි තොරතුරක් දන්නේ නැහැ. එහෙම කරන්න ඉඩ තිබුණු බවනම් පැහැදිලියි.

      Delete
  5. සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක්, මහේෂ්!

      Delete
  6. Just spending my time, spinning my rhymes and singing for nickels and dimes by Nana Mouskouri.

    ReplyDelete
  7. ඔය සත පහ දහය ආදී කාසි ඊයං කොල කෑලි එක්ක මිනී පෙරහරේ පෙට්ටියට උඩින් විසිකෙරේ.
    ලංකාවෙ තඹ සතේ පහුගිය කාලෙ රුපියල් පනස්දහසක් වුනා.

    ReplyDelete
    Replies
    1. තඹ සතේ ඒ තරමටම මාකට් වුනාද? ලංකාවේ තඹ සතයක් මේ වනවිට ඊ-බේ එක හරහා ඩොලර් 9.99 කට (රුපියල් 1460 කට පමණ) අලෙවි වෙනවා.

      Delete
  8. අර පොත් වැඩේ ගැන හොයලා බලන්ටෝනැ.
    ජයවේවා..!!

    ReplyDelete
  9. ලිස්ට් එකේ පොත් 5න් දෙකක් පහුගිය දවස් වල ප්‍රමෝට් වුනා;

    3. Sofie's World, කියෝනවා, කිලෝ මීටරේට පිටු භාගේ ගානේ, කොළඹ හිටියානම් කිලෝමීටරේට පිටු 20-30 කියවන්නත් තිබ්බා. 2. Wave - Sonali Deraniyagala ලිස්ට් එකේ, ඩොලර් 4 කට ලංකාවට පොත් 5 නේවේ දෙකක් ආවත් ඇති,හාඩ් කොපි කියවන්න ආසාවක් ආවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඇමසන් පොත් වෙළෙන්දෝ ලංකාවට ඇණවුම් භාරගන්නේ නෑ. හේතුවනම් දන්නේ නෑ.

      Delete
  10. pasu kaalaye
    sathaya, sathadeka, sathapaha, sathadahaya yana kaasi wenath wada walata wadi mudhalakata alavi wunaa mathakai.

    ReplyDelete
    Replies
    1. ඔවු, සෙනරත්. දැන් මේ කාසි වල ලෝහ වටිනාකම නාමික වටිනාකමට වඩා වැඩියි.

      Delete
  11. අසරණ සත පහ.අපිට මතක කාලෙ ඉඳන් සත පහක වැඩක් නෑ.ඉස්සර තාත්තලා නං සතේට ගල්කූරු 03ක් ගත්තළු

    ReplyDelete
    Replies
    1. සතපහ කියන්නේ එක්තරා කාලෙකදී සැලකියයුතු වටිනාකමක් තිබුණු මුදලක්. විචාරක, සමරසේකර වැනි අයට මතක තියෙන කාලයේ එහි වටිනාකම ගැන ඔය උඩ ලියල තියෙන්නේ. මේ වසර පණහක් හෝ එයටත් අඩුකාලයක් තුළ වුණු වෙනස.

      Delete
  12. මේ ලිපියේ අන්තර්ගතය තේරුම්ගන්න පුළුවන් කීදෙනෙක් ආර්ථිකය හසුරුවන උත්තරීතර පාර්ලිමෙන්තුවේ සිටිත්ද???

    ReplyDelete
    Replies
    1. නොතේරෙනකමමත් නෙමෙයි අමබලන්ගොඩ ප්‍රශ්නේ.

      Delete
  13. මේ වගේ හොඳ ලිපි ලියැවෙන සුබ නව වසරක් වේවා ඉකෝ . එක දිගට නාවාට ඉඩක් ලද හැටියේ මේ පැත්තේ ඇවිත් දැනුමක් සතුටක් එකතු කර ගන්නවා

    ReplyDelete
  14. මේ වගේ හොඳ ලිපි ලියැවෙන සුබ නව වසරක් වේවා ඉකෝ . එක දිගට නාවාට ඉඩක් ලද හැටියේ මේ පැත්තේ ඇවිත් දැනුමක් සතුටක් එකතු කර ගන්නවා

    ReplyDelete
    Replies
    1. ඉඳහිට ආවත් ආපු වෙලාවට කමෙන්ට් එකට දෙකක්ම දාල යන නිසා අඩුව මැකෙනවා. :)

      Delete
  15. සතපහට 1970 ගනන් වල පොල් ්ටාෆී එකක් ගන්න පුලුවන්

    ReplyDelete
  16. ඊයේ මම 1.19 හා පන්ස .99 බඩු දෙකක් ගත්ත ලාංකික දෙමල කඩයකින්. ඉතිරි සත දෙක දුන්නේ නැහැ. වෙනත් කඩ වල ඉතිරි සතය අනිවාර්යයෙන්ම දෙනවා. සතයේ වටිනාකම එංගලන්තයේත් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ආසියානු අයගේ කඩවල තමයි ඔය වගේ දේවල් වෙනස් විදිහකට වෙන්නේ. මම ඉඳහිට යන වියට්නාම් කඩයක කවරයක් දෙන්නෙත් බොහොම අකැමැත්තෙන්. එක කවරෙටම ඔක්කොම ඔබනවා.

      Delete
  17. සත පහෙන් කරපු වැදගත්ම වැඩේ කාස්ටින්ග් කර්ව්ස් ඇඳපු එක

    ReplyDelete
    Replies
    1. අපිත් ඔය වැඩේට සතපහක් තමයි පාවිච්චි කළේ.

      Delete
  18. මටනං සතපහ මතක ඉස්කෝලේ ගෙනියන්න ඕන වෙලා එකතුකළ කියලා විතරයි .

    ReplyDelete
    Replies
    1. දැන් පාසැල් ළමුන්ට සහපණහ මතක හිටිනු ඇත්තේත් ඔය විදිහට තමයි.

      Delete
  19. සත පහයි පොප්සිකල්. සත දහයයි අයිස් චොක්. සත පහයි බුල්ටෝ, එතකොට සතෙයි සත දෙකත් තිබුනා... දැන් නම් රටත් සත පහකට වටින්නේ නෑ.. තව ටික කලෙකින් 10000 නෝට්ටුත් ගහවි..

    ReplyDelete
    Replies
    1. රුපියලේ ඉදිරි කාලය ඒ තරම් හොඳ වෙන එකක් නැහැ.

      Delete
  20. //ඇමරිකාව තුළදී ඩොලර් දහයක නෝට්ට්ටුක් දී ඩොලර් 9.99ක් වටිනා භාණ්ඩයක් මිලදී ගතහොත් ඉතිරි සතය කිසිවිටක නොලැබී නොයයි. එමෙන්ම මේ සතය ඉල්ලා සිටි විට ඇතැම් රටවල වෙනවාක් මෙන් කඩේ මුදලාලි විසින් පාරිභෝගිකයාට දෙකක් ඇණ එළියට ඇද දැමීමනම් කිසිවිටක සිදු නොවේ. ඇත්තටම එය ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් වුවද කිසිවිටෙක ඇති නොවේ. මෙය වෙනත් බටහිර රටවලටද පොදු දෙයකි.//

    බටහිර රටවල විතරක් නෙවෙයි ආසියාතික රටවල් වන ජපානය සහ තායිලන්තයෙත් මම මේ සිදුවීම දකිනවා.
    ජපානයේ යෙන් 10 000 නෝට්ටුවක් යෙන් 1 ගෙවීම සදහා කිසිම ප්‍රශ්ණයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අයකැමි අහනවා මේක මාරු කරලා යෙන් 1 ගත්තට කමක් නැද්ද කියලා. මොකද ඉතුරු දෙන්න වෙන්නෙ නෝට්ටු 9 කින් සහ කාසි 14 කින්. කමක් නැත්නම් අනිවාර්යෙන්ම ඒක මාරු කරනවා. ඒත් මේ කාසි භාවිතය කරදර නිසා ගොඩක් වෙලාවට තමන්ට කාසි වලින් ගෙවන්න පුළුවන් පොඩි මුදල කාසි වලින් දීලා ඉතුරු සල්ලි කොල වලින් හෝ 500, 100 වගේ කාසි වලින් ගන්න එක පුරුද්දක්.

    ඒ වගේමයි පොත් තමයි අඩුම මිළකට ගන්න පුළුවන් දේ

    ReplyDelete
    Replies
    1. මේ යෙන් එක සහ රුපියල හුවමාරු වූ ආකාරය:
      1950-1967 දක්වා සතයකට
      1967-1975 දක්වා සත දෙකකට
      1976-1977 සත තුනකට (සතපහක් නොවටින යෙන් එක!)
      1983 සත දහයකට
      1988 සත විසිපහකට
      1998 සත පණහකට
      2008 රුපියලකට
      මේවන විට රුපියල් 1.22කට

      Delete
  21. ලංකාවේ නම් දැන් සත පහ සතේට වැටිලා තියෙන්නේ.

    ReplyDelete
  22. දැන් ලංකාවෙ පොඩි කාසි භාවිතාවක් ඇත්තෙම නැතිවුනත් යුරෝපයේ සහ ඇමෙරිකාවෙ තාම සතයට පවා වටිනාකමක් තිබෙනවා.නමුත් බොහෝ වෙලාවට දියුණු රටවල ගනුදෙනු සඳහා කාසි හෝ නෝට්ටු භාවිතාවක් නොමැති තරම්.මා හිතන්නේ එය නිරෝගී ආර්ථිකයක ලක්ෂණයක් කියලයි.
    ඉකෝන්ට තවත් වැදගත් ලිපි ලියැවෙන සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔවු, හැලපේ. රටක ගෙවීම් පද්ධතිය දියුණු වන විට කාසි හා නෝට්ටු වෙනුවට වෙනත් ගෙවීම් මාධ්‍ය භාවිතය වැඩිවෙනවා. මෙයින් සමස්ත ආර්ථිකයේ කාර්යක්ෂමතාව වැඩි කරනවා.

      Delete
  23. http://tinypic.com/view.php?pic=s5z4hg&s=9#.VogJMPlEmUl

    ReplyDelete
  24. කණගාටුවට කරුණ නම් අපි "සත්පහකින් අච්චර වැඩ කල හැකිව තිබු කාලය" ට පසුව ඉපදීමයි.. ඒ නිසා සතපහකින් අරවා අච්චරක් ගත්තා, මෙව්වා මෙච්චරක් ගත්තා වගේ කතා අපිට නම් "සුරංගනා කතා" වාගෙය.

    කොහොම වෙතත් එහෙම තිබු අතීතයක් අපිට මතක් කරවීම ම බොහොම අගනේය...

    ReplyDelete
    Replies
    1. රුපියලවත් සුරංගනා කතා වලට නොගිහින් බේරුනොත් ලොකු දෙයක්!

      Delete
  25. උඹේ මේ රචනාවන් තවත් දියුණුවෙන නව වසරකට සුභ පැතුම්....

    ReplyDelete
  26. ඉකොනොමැට්ටා
    ලැබුවාවූ 2016 නව වසර ඔබට සහ ඔබේ පවුලට සෞභාග්‍යමත් වසරක් වේවා යයි පතමි.
    අප අතීතයේ තිබු අවස්තාවන් හරිහැටි පාවිච්චි නොකිරීමෙන් ඇතිවූ හානිය ගැන කම්පා වෙනවා වෙනුවට කල යුතුව ඇත්තේ අතීතයෙන් ප්‍රයෝජන ගෙන අනාගතය සැලසුම් කිරීමය.
    සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කිරීම සුදුසුය. නමුත් අඩුවැඩි වශයෙන් විදේශිකයෝ මෙහි එන්නේ ඔවුන්ගේ රටේ ඔවුන්ට හුරු පුරුදු රස භුක්ති විඳීමට කියා ඇති මායාවෙන් මිදිය යුතුය. අපේ chef කෙනෙක් කොතරම් උත්සාහ කලත් එංගලන්තයේ ගෘහනියක සාදන අන්දමේ බිත්තර scramble එකක් මෙහෙදී දිය නොහැක. එහෙම කරන්න පුළුවන් නම් හැටන්හිදී බිමට ලැබෙන රසවත් තේ කෝප්පයක් ඒ තේ කොලම යොදා කොළඹදී සකස් කර ගතව හැකිවිය යුතුය.
    බටහිර රටකට වඩා තවමත් අපේ රටේ ජිවන වියදම අඩුය. එබැවින් විශාල වශයෙන් සංචාරකයන් මේ කාලයේ අපේ රටට එන්නේ මුදල් ඉතිරි කිරිමටය. සාමාන්‍ය ආහාර පාන වලින් ඔවුන් සැහිමට පත් වන අතර ආරක්ෂාව අතින් ගත් කල ඉන්දියාවේ මෙන් නොව පොදු ප්‍රවාහන වලින් තනිව ගමන් කිරීමට හැකි බව ඔවුන් පවසති. අප මෙවැනි සංචාරකයන්ට පහසුකම් ප්‍රවර්ධනය කිරීමෙන් විදේශයන්ට මුදල් ආපසු ගලා යාම අඩු කර ඔවුන් ගෙන එන මුදලින් රටේ සංවර්ධනයට අවශ්‍ය විනිමය උපයා ගත හැක. මෑතකදී පැවැත්වූ ආන්දෝලනාත්මක සංගීත සැන්දෑව මෙන් ලැබෙන මුදල් සියල්ල ආපසු විදේශයන්ටම පොම්ප කාන මානසිකත්වයෙන් මිදිය යුතුය.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. යුද්ධය නිමාවීමෙන් පසු ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම විශාල ලෙස වැඩිවුණා. මෙය පසුගිය වසර කිහිපය තුළ අපේ දළ ජාතික නිෂ්පාදිතය ඉහළ දැමීමටත් උපකාරී වුණා. ඉදිරියටත් සංචාරකයින් එන එක වැඩිකර ගැනීම කළ හැකි දෙයක් වුණත් මේ වේගයෙන්ම එය දිගටම වැඩිකර ගැනීම ප්‍රායෝගික නැහැ. සංචාරකයින්ගේ පැමිණීම 2013දී 26.7%කින් වැඩිවුණත් 2014දී වැඩි වුණේ 19.8කින් පමණයි. දැනගන්නට ඇති පරිදි පසුගිය 2015 වසර තුළ වැඩිවීම 17.8%යි. මේ වේගය ක්‍රමයෙන් අඩු වේවි. දකුණු ආසියානු රටවලට සංචාරකයෝ එන ප්‍රමාණය සාමාන්‍යයෙන් වසරකට වැඩිවෙන්නේ 7%කින් පමණ. උත්සාහ කළොත් ඊට වඩා ටිකක් වැඩි වේගයක් දිගටම පවත්වා ගන්න පුළුවන් වෙයි. ඔබටත් සුබ නව වසරක්!

      Delete
  27. කැනඩාවේ සතය අච්චු ගැසීම ලඟදි නතර කළා. සෑම භාණ්ඩයකම මිලත් ඒ අනුව ගැලපෙන පරිදි වෙනස් කළා (Eg: $ 9.95 instead of $ 9.99).

    ReplyDelete
    Replies
    1. ඒ වන විට කැනඩා සතයක ලෝහ වටිනාකම සත 1.6ක් වී තිබෙනවා.

      Delete
  28. සාපේක්ෂකව දියුණු යැයි සැලකෙන කොරියාව, ජපානය වැනි රටව, මෙය කියවන මොහොතේ
    USD 1 = KRW 1186
    USD 1 = JPY 119
    මෙය ඔවුන්ට ගැටලුවක් නෙවෙයිද? එසේ නම් ඔවුන්ට මෙය ගැටලුවක් නොවීමටත් අපට එය ගැටලුවක් වීමටත් ඇති හේතුව පැහැදිලි කර දිය හැකිද?
    මෝඩ ප්‍රශ්නයක් ද? කොහොම උනත් ඔබට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. මෝඩ ප්‍රශ්න කියලා දෙයක් නැහැ, ඇනෝ. විණිමය අනුපාතය කියන්නේ නිකම් අංකයක්. එය 1ද 1000ද යන්න එතරම් වැදගත් නැහැ. කාලයත් සමඟ එය වෙනස් වෙන ආකාරයයි වැදගත්. මේ වෙනස්වීම බැලුවහම ඔබට වෙනස තේරෙයි.

      2000 ජනවාරි 01:
      ඇමරිකන් ඩොලර් 1 = කොරියන් වොන් 1128.0 = යෙන් 101.70 = ඉන්දියන් රුපියල් 43.55 = ශ්‍රී ලංකා රුපියල් 72.30

      2015 දෙසැම්බර් 31:
      ඇමරිකන් ඩොලර් 1 = කොරියන් වොන් 1169.26 = යෙන් 120.27 = ඉන්දියන් රුපියල් 66.19 = ශ්‍රී ලංකා රුපියල් 143.65

      (මූලාශ්‍රය: http://www.federalreserve.gov/releases/h10/hist/)

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget