Wednesday, September 30, 2015

අක්බාර් මුදලාලිගේ කෑම සහ ගෙදර කෑම

පේරාදෙණිය සරසවියේ අක්බාර් ශාලාවේ කෑම කා ඇති අය බ්ලොග් ලියන්නන් අතර නොඅඩුව සිටිති. පේරාදෙණියේ සරසවි බිම මැදින් ගලා යන මහා වාලුකා නදිය ඉංජිනේරු පීඨය අනෙකුත් පීඨ වලින් වෙන් කරයි. ඉංජිනේරු පීඨය හැර අනෙකුත් පීඨ සියල්ලම පිහිටා ඇත්තේ මහවැලි ගඟේ එක් ඉවුරක, ගලහ පාර දෙපැත්තේය. ගං ඉවුරේ අනෙත් පස ලෙව්කේ මැතිඳු මෙන් තනියම සිටගෙන සිටින ඉංජිනේරු පීඨය මහවැලි නදියට අමතරව ගම්පොළ පාරෙන්ද අනෙක් පීඨ වලින් වෙන් වේ.

අනූව දශකයේ මුල කාලයේ, නේවාසික ශාලා රැසක් ඇති පේරාදෙණිය සරසවියේ ගඟෙන් මෙගොඩ පිහිටි එකම නේවාසික ශාලාව අක්බාර්-නෙල් ශාලාව වූ අතර ගඟෙන් මෙගොඩ පිහිටි වැඩි පිරිසකට කෑම ගැනීමට පහසුකම් තිබුණු එකම ආපන ශාලාව වූයේද අක්බාර් කැන්ටිමයි. ඉංජිනේරු පීඨ ආපන ශාලාවේ තිබුණේ සීමිත ඉඩකඩකි.

අක්බාර්-නෙල් ශාලාවේ නේවාසිකව සිටි හෝ නොසිටි ඉංජිනේරු පීඨ සිසුන් බහුතරයක් දිවා ආහාරය ගත්තේ අක්බාර් කැන්ටිමෙනි. සාමාන්‍යයෙන් ඉංජිනේරු පීඨ කාල සටහන් වල 'හිල්' නැත. දිවා ආහාර පැය හැරුණු විට අනෙක් සෑම වැඩ කරන පැයකම දේශනයක් හෝ විද්‍යාගාර සැසියක් සඳහා සහභාගී විය යුතුය. මේ නිසා බහුතරයක් ඉංජිනේරු සිසුන්ට දිවා ආහාරය ගැනීමට සිදුවන්නේ දහවල් දොළහේ සිට එක දක්වා කාලය තුළදීය. ගෙදරින් කෑම ගෙන එන හෝ කෑම උයා ගන්නා සුළුතරයද, පීඨ කැන්ටිමෙන් හෝ ගඟෙන් එගොඩ, මෙගොඩට කිට්ටුවම තිබුණු වූස් කැන්ටිමෙන් හෝ ගෙම්බා කැන්ටිමෙන් කෑම ගැනීමට යන ටික දෙනෙකුද අඩු කළත් දිවා ආහාර පැය තුළ අක්බාර් කැන්ටිමෙන් කෑම ගන්නා පිරිස (ඒ කාලයේ) දහසකට ආසන්න විය යුතුය. වෙනත් පීඨ වල සිසුන් හා සිසුන් නොවන්නන්ද යම් ප්‍රමාණයක් එකතු කළ විට මේ ඇස්තමේන්තුව නරක එකක් නොවේ.

මේ පිරිසට කෑම ලබා දීමට ඇති කාලය ඇත්තටම පැයකටත් වඩා අඩුය. දොළහට දේශන නිමවී අක්බාර් කැන්ටිමට පැමිණීමට අඩු වශයෙන් විනාඩි පහක්වත් ගතවන අතර, කෑම ගෙන නියමිත වේලාවට ඊළඟ දේශනයට සහභාගී වීමටනම් එකට විනාඩි විස්සකට පෙරවත් කෑම පිඟාන ලබාගත යුතුය. මේ අනුව ගණනය කර බැලූ විට අක්බාර් මුදලාලිට එක් පාරිභෝගිකයෙකුට කෑම ලබා දීමට තිබුණේ තත්පර දෙකක පමණ කාලයකි. මේ අයගෙන් අඩක්වත්  අඩු ගැනීමට නැවත පෝලිමට එක් වන අතර අඩු එකකට වඩා කන අයද සිටිති. මුදල් ලබා ගැනීම හෝ ආහාර ලබා දීම සඳහා සමාන්තර කවුන්ටර තිබුණේද නැත. අඩු සඳහා පමණක් වෙනම පෝලිමක් තිබුණේය. මේ අනුව, මගේ උපකල්පන වල අඩුපාඩු සැලකුවද මුදල් අය කර බත් පිඟානක් ලබා දීමට අක්බාර් මුදලාලිට සහ සේවකයින්ට තිබුණු කාලය තත්පර තුනකටනම් වැඩි විය නොහැක. මෙය පහසු කටයුත්තක් නොවන බව නොකිවමනාය.

මේ කාලයේ පේරාදෙණියේ කැම්පස් බත් පිඟානක මිල රුපියල් හතරයි පණහකි. අඩුවක් එකයි පණහකි. නගරයේ හෝටලයක දිවා ආහාර වේලක් මේ කාලයේදී රුපියල් විස්සක් පමණ විය. මේ අනුව කැම්පස් බත බොහෝ සේ ලාබ වුවද ඒ මිලට එය ලබා දීම අපහසු නොවූයේ උයන භාජන වල සිට විදුලි බිල්පත් ගෙවීම දක්වා වියදම්ද, සේවකයන්ගේ නවාතැන් වියදම් ආදියද දැරුවේ සරසවිය මඟින් බැවිනි. අක්බාර් මුදලාලිගේ වියදම බොහෝ දුරට අමු කෑම ද්‍රව්‍ය සඳහා යන විචල්‍ය පිරිවැයයි. අනෙක් අතට, පාලනාධිකාරිය මඟින් නියාමනය කර තිබුණේ මූලික ආහාර වේලක මිලයි. මීට අමතරව විකුණන්නට තිබුණු අන්නාසි කෑලි, ගොටුකොල සම්බෝල, බැදපු මාළු කූරි වැනි බොහෝ දෙනා මිල දී ගත් විශේෂ දීසි වලින් වැඩි ලාභයක් ලබා ගැනීමට අවස්ථාව තිබුණේය.

කැන්ටිම කිරීමේ තිබුණු අපහසුම කාර්යය පාරිභෝගිකයින් කළමනාකරණය කර ගැනීමයි. දිවා ආහාර පැය කළමනාකරණය කර ගැනීම මෙහිදී ඉතා වැදගත් විය. මේ සඳහා අවශ්‍ය වූ ප්‍රාගුණ්‍යය ලබා ගත හැකි වූයේ පළපුරුද්දෙන්ම පමණි.

පිඟානට වැටෙන බත් හැඳි දෙක හෝ ඇඟිලි පුරුක් බාගයක ප්‍රමාණයේ මස් කෑලි තුන හතරක් සමඟ එන මස් හොද්ද ප්‍රමාණවත් නැති බව කියා 'අදින' සරසවි සිසුන් විරල නැත. මේ වෙලාවට "මේ ගාණට මස් රාත්තල් බාගයක් දෙන්න පුලුවන්ද, හලෝ?" වැනි දෙයක් නිකමටවත් කියවුණොත් සිදුවන්නේ කුමක්ද කියා කිවයුතු නැත. අක්බාර් මුදලාලිගේ සේවකයින්ට මෙවැනි අවස්ථා වලට මුහුණ දීම ගැන සුවිශේෂී පළපුරුද්දක් තිබුණේය. ඔවුහු මෙවැනි අවස්ථාවලදී කිසිවිටෙකත් මැසිවිලි නොනැගූහ. මස් භාජනයට යන හැන්ද වහාම නැවත පිඟානට එනු අදාල සිසුවාට පෙනේ. තාවකාලිකව සතුටට පත් වන ඔහුට පිඟානේ මස් වැඩි වී නැති බව පෙනෙන්නේ මේසයට වාඩි වී කන්නට පටන් ගත් පසුය.

මෙවැනි ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කර තිබුණේ මුදලාලිලා කිහිප දෙනෙකු පමණක් නිසා වාර්ෂිකව ටෙන්ඩර් දැම්මත් නැවත නැවතත් කැන්ටිම බොහෝ විට ලැබුණේ එකම පිරිසකටය. නුපුරුදු කෙනෙකු ටෙන්ඩරය ගත්තත් සිසුන් කළමනාකරණය කරගත නොහැකිව 'ඇනගැනීමට' වැඩි දවසක් ගත නොවේ.

සරසවිය මඟින් සියළු මූලික පහසුකම් ලබා දුන්නද හෝටලයක බත් පිඟානක් විකුණන මිලෙන් තුනෙන් එකකට තරු පහේ කෑම වේලක් ලබා දිය නොහැකිය. මේ නිසා සරසවි රෙගුලාසි අනුව ලබා දිය යුතු වූ එළවළු වර්ග තුනට බොහෝ විට අයත් වුණේ කොහෙන් හෝ හොයාගත් ලාබ එළවළුවක් හෝ මැල්ලුමකි. බොහෝ සිසුන් මේසයට වාඩිවන්නේම මේ 'ඩිෆෝල්ට්' එළවළු කුණු බක්කියට දැමීමෙන් පසුවය. අක්බාර් කෑම වේල දිව පිනා යන රසවත් දිව බොජුනක් නොවූ බව නොකිවමනාය.

ඒ දිනවල අක්බාර් කැන්ටිමෙන් දිනපතා කෑම ගත් සිසුන් අතර ජනප්‍රියව තිබූ කියමනක් වූයේ "කවදාහරි දවසක අපේ ගෑණු අක්බාර් මුදලාලිගේ පින්තුරය ගෙදර එල්ලාගෙන මල්, පහන්, හඳුන්කූරු පත්තු කරනු ඇති" බවයි. "අපේ ගෑණු අපට රහට කෑම උයා දිය යුතු බවට" වූ මනෝභාවය අමතක කළහොත් මෙයින් අදහස් කළේ "අවුරුදු හතරක් අක්බාර් මුදලාලිගේ ජරාව කෑමට හුරුවූ අපේ බඩවැල් වලට අපේ අනාගත ගෑණු උයන කෙතරම් නීරස කෑමක් වුවද විරෝධතාවක් නොදක්වා පිළිගත හැකි වනු ඇති බැවින් එහි ගෞරවය අපේ අනාගත බිරින්දෑවරුන්ගෙන් අක්බාර් මුදලාලිට ලැබිය යුතු" බවයි.

අක්බාර් මුදලාලිට මගේ බැචාලාගේ බිරින්දෑවරුන් කිසිවෙකු මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් මා පිළිගන්නේ නැත. එමෙන්ම, අපේ ජනාධිපතිතුමාගේ පුතාගේ නිදන කාමරයේ එල්ලා ඇති පරණ ජනාධිපතිතුමාගේ පුත්තුන්ගේ ඡායාරූපයකට දිනපතා නොවරදවා මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් එයද  මා පිළිගන්නේ නැත.

(Photo credit: www.panoramio.com)

Sunday, September 27, 2015

ඇඟිලි පුරුක් දෙකේ දැනුම් සීමාව

කෑම පිසගැනීමට ඉගෙන ගැනීම හෝමෝ සේපියන්ස්ලාගේ පරිණාමයේ ඉතා වැදගත් පියවරක් විය. මගේ පරිණාමයේදී වෙනත් බොහෝ වැදගත් පියවර මෙන්ම මේ පියවරද මා තැබුවේ ජීවිතයේ පළමු දශකය අවසන් වීමට පෙරය.

සුරංගද කොහෙද ලියා තිබුණු පරිදි මේ කාලයේදී මා සිතා සිටියේ මිනිස්සුන්ට ගෑණු ඕනෑ වෙන්නේ කෑම උයා ගැනීමට බවයි. බල්ලන්, පූසන්, ගෙම්බන්, කැරපොත්තන් හා හූනන් හැරුණු විට ගෙවල් වල ජීවත් වන සත්ත්ව කොට්ඨාශ දෙකකි. මෙයින් වැදගත් සහ ප්‍රධානම සතා මනුස්සයාය. මනුස්සයින්ගේ මූණේ රැවුල් වැවේ. මනුස්සයින්ට ලොකු වූ විට කුඹුරු මඩ කිරීමේ සිට පොල් කැඩීම දක්වා ඕනෑම වැඩක් වාගේ කළ හැකිය. එහෙත්, බැරි වැඩත් කීපයක් තිබේ. ඒවායින්, වැදගත්ම දෙය කෑම ඉවීමයි.

ගෙවල් වල වසන මනුස්සයින් නොවන, හූනන් කැරපොත්තන්ද නොවන අනෙක් සත්ත්ව කොට්ඨාශය හඳුන්වන්නේ ගෑණුන් නමිනි. ගෑණුන්ට පිරිමින් කරන වැඩ බොහොමයක්ම කළ නොහැකිය. එහෙත්, ගෑණුන්ට උයන්නට පුළුවන්ය.

මිනිස්සුන්ගේ ජීවිතයේ ප්‍රධානම සහ වටිනාම කටයුත්ත කෑම ගැනීමයි. තෘප්තිමත් මිනිස් ජීවිතයක් කියන්නේ පැණිරස කෑම දවස පුරාම ඇති තරම් කන්නට ඇති ජීවිතයකි. කවුරුත් ගෙදර නැති වෙලාවක හොරෙන් බැලූ, පුංචි අම්මා කෙනෙකුගේ රෝස පාට නිල් පාට කොළ ඇති සමරු පොතක තිබුණු කරුණු අනුව එවැනි පැණිරස ජීවිතයක් ඇත්නම් අපි වැනි පොඩි ළමයින් පමණක් නොව ඔය ලොකු අය කවුරුත් වුවද කැමතිය.

සූකිරි කන්දකින් හෙමිහිට ගලන ඉබේ
මීපැණි ගඟක් වේවා ජීවිතය ඔබේ

එහෙම තියෙනවනම් කවුද අකැමති? කූඹිනම් ප්‍රශ්නයක් තමයි.

කෑම උයා ගැනීමට කඩෙන් බඩු අවශ්‍යවේ. කඩෙන් බඩු ගැනීමට සල්ලි අවශ්‍ය වේ. සල්ලි හොයා ගැනීමට රස්සාවක් අවශ්‍ය වේ.

රස්සාවක් කිරීමට තරම් ලොකු වූ විට මිනිස්සු කරන්නේ උදේ සිට හවස් වනතුරු මහන්සි වී රස්සාව කිරීමයි. එවිට සල්ලි ලැබේ. සල්ලි තිබේනම් කඩෙන් බඩු ගැනීමට පුළුවන.

බඩු තිබුණත් හාල්, පොල් අමුවෙන් කන්නට බැරිය. (කිවුවාට බැරිමත් නැත.) ඒවා උයා ගත යුතුය. ඒත්, කරුමෙට මේ මනුස්සයා කියන සතාට උයාගන්නා හැටි තියා ප්ලේන්ටියක් හදා ගන්නා හැටිවත් නොතේරේ.

මනුස්සයාට උයාගන්නට නොතේරෙන නිසා ගෑණියෙක් ගේන්නට සිදුවේ. ගෑණුන්ට ඉවීමට අමතරව මැහුම් ගෙතුම් වැනි වෙනත් වැඩ කිහිපයක්ද කළ හැකි වුණත් ගෑණියෙක්ගෙන් ඇති ලොකුම ප්‍රයෝජනය කෑම උයාගැනීමට හැකිකමයි. උයන්නට බැරි ගෑණියෙක්ගෙන් කිසිම වැඩක් නැත. ඒ නිසා ගෑණියෙක් ගෙන ඒමට පෙර ඇයට රසට කෑම උයන්නට හැකි බව තහවුරු කර ගත යුතුය.

ගෑණියෙක් ගේන්නට කලින් ගෑණු ගොඩක් බලන්නට යන්නට සිදුවේ. කඩෙන් සාරි ගන්නකොට වගේය. ඒ හොඳම එක තෝරා ගන්නටය.

ගෑණු බලන්නට ගෙවල් වලට යන දවසට බඩ පැලෙන්නට කන්නට රස කෑම ලැබේ. කොයි ගෙදරිනුත් මේ වගේ රස කෑම ලැබෙන නිසා හොඳම තැන තෝරා ගැනීම ලේසිපාසු කටයුත්තක් නොවේ.

සීයලා ආච්චිලා කියන විදිහට ඕක කරන්නට ක්‍රමයක් තිබේ.

ක්‍රමය සරලය. කළයුත්තේ කිරිහොද්ද රස බැලීමයි.

අල හොද්දේ අල රස ඇත. පතෝල හොද්දේ පතෝල රස ඇත. ඒත් කිරිහොද්දේ පොල්කිරි, මිරිස් තුනපහ, ලුණු ගොරකා හැර වෙනත් අමතර දෙයක් නැති නිසා ඔය දේවල් ගාණට දාන්නට අතේ හුරුවක් නැත්නම් කිරිහොද්ද රහ නැත. කිරිහොද්ද රහ නැත්නම් ඒ ගෙදරින් ගෑණියෙක් ගෙනත් වැඩක් නැත. ගෑණුන්ව විකුණා ගැනීමටනම් කිරිහොද්ද පුළුවන් තරම් රහට හැදිය යුතුය.


අන්තිමේදී මනුස්සයෙක්ටත්, ඒ මනුස්සයාගේ අම්මා තාත්තාටත්, හත්මුතු පරම්පරාවේ නෑයින්ටත් කොහේ හෝ ගෙදරක කිරිහොද්ද රහ වැටුණු විට මඟුලක් සිදුවේ. මේ මඟුල කැවුම්, කොකිස්, මස්, මාළු ඉදෙන අතිශයින්ම රහ කාලයකි. මේ රස කෑම වලින් සංකේතවත් වන්නේ මෙතැන් සිට දිගටම රහට කන්නට ලැබෙන බව විය යුතුය.

මෙතැන් සිට සිදුවන කතන්දරය මේ වගේය. මනුස්සයා උදේ හිට රෑවෙන තුරු හොඳටම මහන්සි වී සල්ලි හම්බ කරයි. ගෑණිට කරන්නට තියෙන්නේ එකම එක පොඩි වැඩකි. උදේ සිට රෑවෙන තුරු බත් ඉවීමයි. මේ පොඩි වැඩේ කිරීම වෙනුවෙන් ගෑණියෙකුට බොහෝ දේ ලැබේ. ඇයට මනුස්සයා විසින් දියයුත්තේ නිකම් කෑම පමණක් නොවේ. කඩෙන් සාරි අරන් දිය යුතුය. නිදාගන්නට ඇඳෙන් බාගයක් ඉඩ දිය යුතුය. ඒ මදිවාට ටික කලක් යනවිට ගෑණුන්ගේ බඩේ ළමයිනුත් හැදේ. ඉන්පසු ඒ අයට ඕනෑ දේවල් අරන් දෙන්නටත් සල්ලි හෙවිය යුතුය.

මනුස්සයාගේ ඇති මේ ලොකුම අඩුපාඩුව නිසා ඔහු ගෙවන මිල වැඩි නැද්ද? මේ ලෝක ධර්මතාවය වෙනස් කළ නොහැකි එකක්ද?

බතක් මාළුවක් උයා ගන්නට පුරුදු වුණොත් ගෑණු ගේන්නට අවශ්‍ය නොවේ. එහෙම වුණොත්, දවසම මහන්සි වී ගෑණුන් හා ළමයින් වෙනුවෙන් සල්ලි හම්බ කරන්නට අවශ්‍ය නැත. ඇඳෙන් බාගයක් වෙන් නොකර හොඳට අතපය දිග හැර නිදාගන්නත් පුළුවන්ය. මේ නුවණ අනිත් මිනිස්සුන්ට පහළ නොවන්නේ ඇයි? සමහර විට උයන එක හිතන තරම්ම ලේසි නැතුව ඇති!

මුල් වරට බතක් ඉවීම අත්හදා බැලීමට මා තීරණය කළේ නිවසේ වැඩිහිටියන් කිසිවකු නොමැති අවස්ථාවකය. වැඩිමල් ඥාති සොයුරියන්ද හා එකතුව සෙල්ලම් ගෙවල් වල පොඩි මැටි මුට්ටි වල ඇත්ත බත් උයා තිබුණත් ඇත්තටම කන්නට බතක් ඉවීම ඊට වඩා භාරදූර කාර්යයකි. මෙය ඒ වන විටද ප්‍රගුණ කර තිබූ ප්ලේන්ටියක් හදා ගැනීමේ කුසලතාවය බොහෝ දුරට ඉක්මවන්නකි.

පැරකුම් ටින්කිරි හාල් හුන්ඩු දෙකක් මැන ගත් පසු පළමුව හාල් ගරා ගැනීමට සිදුවේ. මේ ආච්චිට හාල් ගැරිල්ල ඒ තරම්ම අමාරු නැත. ලොකු ගල් කැටයක් හමු වූ විට නාම්බුවේ ගෙවුඩයක් දැක්කා වගේ තන්තෝසය.

ලිප පත්තු කර ගැනීමද තරමක අභියෝගයකි. මේ කාලයේදී අප ජීවත් වුනේ නාගරික ප්‍රදේශයක පිහිටි නිල නිවාසයකය. ඒ නිසා, හැත්තෑ ගණන් වල වුවද, අපට ලයිට් තිබුණේය. ලයිට් තිබුණත් ලිපනම් දර ලිපකි. දර එකතු කරගැනීමට තරම් ලොකු වත්තක් නැති නිසා දර එන්නේ දර කරත්තයෙනි. දර කෑල්ලක් මුලින්ම පත්තු කර ගැනීම ලේසි නැත. පොල්කට්ටක් ඇත්නම් ඉස්ටාට් එකට හොඳය. ඒත් පොල්කට්ට වුවද පත්තු කර ගැනීම ලේසි නැත.

පොල්කට්ට ඉස්ටාට් කර ගැනීමට ලාම්පුතෙල් හොඳ බේතකි. කලින් සිටි ගෙවල් වලදී මෙන් ඇති තරම් පොල් හනසු හෝ ඔට්ටපාළු නැති නිසා එකම බේත ලාම්පුතෙල්ය. සාමාන්‍යයෙන් ගෙදර ලාම්පු පත්තු නොකළත් ප්‍රධාන වශයෙන්ම ලාම්පුතෙල් අවශ්‍ය වුනේ මේ ලිප ඉස්ටාට් කර ගැනීමේ කටයුත්තටය.

ඔය කාලයේ ලාම්පුතෙල් කරත්තයේ ලාම්පුතෙල් ගැලුමක් තුනයි පනස් හතරකි. පන්දමක් උස්සාගෙන හෙළුවෙන් දුවන මනුස්සයෙකු පින්තාරු කළ රතු පාට ලාම්පුතෙල් කරත්තය ඇදගෙන එන දුඹුරු පාට ගොනාගේ පිටට තට්ටුවක් දමමින් "බූංතේ" කියා උජාරුවෙන් කෑගහගෙන එන ලාම්පුතෙල් කරත්තකාරයාගෙන් ලාම්පුතෙල් ගැනීමට මට කොයිතරම් ආසාවක් තිබුණත් ඒ ආසාව කවදාවත් ඉටු නොවුනේ අපේ ගෙදර සිට යාර සීයක්ටත් වඩා අඩු දුරකින් තිබුණු පෙට්‍රල් ෂෙඩ් එකේ ලාම්පුතෙල් ගැලුමක් ශත හයක් අඩුවට විකිණූ බැවිනි.

හාල් ගැරීමට සහ ලිප පත්තු කිරීමට අමතරව බත් ඉවීමේ ඇති අමාරුම කෑල්ල ගාණට වතුර දැමීමයි. වතුර වැඩි වුණොත් බත බෙරි වේ. අඩු වුණොත් ඇට්ටකුණා වේ. බත් ඉවීම ප්‍රගුණ කළ මුල් දවසේ මට වුනේ ඔය දෙකෙන් දෙවැන්නයි. කෙසේ වුවත්, බත ඉදීගෙන එනවිට අදනම් කන්න වෙන්නේ බත් නොව හාල් බව මට ඒත්තු ගියේය. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් වතුර එකතු කර යාන්තමින් වැඩේ ගොඩ දාගත හැකි විය.

මහන්සිවී ගෙදර පැමිණි වැඩිහිටියෝ ගෙදර බතක් ඉදී තිබෙනු දැක මහත් උද්දාමයට පත් වූහ. මේ යුගය කඩෙන් කොත්තු ගේන යුගයක් නොවේ. කෙතරම් පසුවී බඩගින්නේ ගෙදර ආවත් කන්න වෙන්නේ බත ඉදුණු පසුවය.

යාන්තමින් වැඩේ ගොඩ දාගත් මම මේ වීර ක්‍රියාව කිරීමේදී මුහුණ දුන් අභියෝග සහ මා ඒවාට මුහුණ දුන් ආකාරය එකිනෙක විස්තර කළෙමි. මගේ විස්තර කිරීම් අවසානයේදී බතට වතුර තැබීම හා සම්බන්ධ ඉතා සරල ගුරු මුෂ්ටියක් මට ලැබුණේය. හාල් වල මට්ටමේ සිට අතේ ඇඟිලි පුරුක් දෙකක ගැඹුරට වතුර තැබූ විට බෙරි හෝ ඇට්ටකුණා නොවී බත ගාණට ඉදෙනු ඇත.

වැඩිහිටි කාන්තාවකගේ අතේ ඇඟිලි වල දිග සහ නව හැවිරිදි දරුවෙකුගේ ඇඟිලි වල දිග එක සමාන නොවීම මට ලොකු ප්‍රශ්නයක් නොවූයේ මේ සරල ආකෘතිය ප්‍රායෝගිකව හොඳින් වැඩ කළ නිසාය. එතැන් පටන් බතක් නිසි පරිදි උයා ගැනීම සූකිරි කන්දකින් පහළට ගලන මීපැණි ගඟක ඉවුරේ සිට පාන් කෑල්ලක් කන තරම් පහසු කටයුත්තක් විය. රතු කැකුළු, රටින් ගෙනා සුදු හාල්, මිල්චාට් ආදී ලෙස හාල මාරුවෙද්දීත්, මැටි මුට්ටි ඇලුමිනියම් 'රාස්පාන්' වෙද්දීත්, මුට්ටිය වහන නෑඹිලිය එසේම වෙනස් වෙද්දීත්, හුන්ඩු දෙක දෙකහමාර හෝ තුන වෙද්දීත් ඇඟිලි පුරුක් දෙකේ ආකෘතිය නිසියාකාරව වැඩ කළේය.

බත් ඉවීම වැනි භාරදූර කටයුත්තක් මේ තරම් හොඳින් කිරීමට හැකි වූ විට තමන් මහා පොරක් බව සිතීම සාමාන්‍ය දෙයකි. ඒ සමඟම ඇඟිලි පුරුක් දෙකේ නුවණින් තමන්ට කළ නොහැකි දෙයක් නැතැයි සිතේ. මේ අනුව මට තවත් අළුත් වැඩකට අත ගැසීමට සිත් විය. ඒ කොස් තැම්බීමයි. මේ තරම් අපූරුවට බත් තම්බන මට කොස් තැම්බීම කජ්ජක්ද?

මේ සඳහා මා යොදාගත්තේද පෙර මෙන්ම නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවකි. කලින් පළු කළ, කොටසක් උයා ඉතිරිව තිබුණු, කොස් බෑයක් කුස්සියේ පැත්තක තිබුණේය. කොස් ඉවීම බත් ඉවීමට වඩා තරමක් සංකීර්ණය. මදුළු ගැලවිය යුතුය. මදුලෙන් ඇට ඉවත් කළ යුතුය. ඇටෙන් සිබිඩි පැන්නිය යුතුය. ඇට ඉවත් කළ මදුළු තීරුවලට කපා ගත යුතුය. ඉන්පසු සිබිඩි පැන්නූ කොස් ඇට මෙයට එක් කළ යුතුය. කොළා තමයි ඉතිං ඔය ඔක්කොම!

මේ තීරු කැපූ කොස් සහ මදුළු මුට්ටියට දමා වතුර දැමිය යුතුය. ඉන්පසු ඇත්තේ නැකතක් බලා හෝ නොබලා ලිප අවුළුවාගෙන කොස් ටික තම්බා ගැනීම පමණි.

වෘශ්චික ධනු මකර කුම්භ
කොස්ටික බෙරි නොකර තම්බ 

කොස් ටික මුට්ටියට දැමූ විට මුට්ටියෙන් බාගයක් පිරුණේය. මම ඇඟිලි පුරුක් දෙකෙන් මනිමින් වතුර එකතු කළෙමි. කොස් වලට අවශ්‍ය පමණට වතුර  එකතු කිරීම හාල් වලට එකතු කරන තරම් පහසු වුණේ නැත. මුට්ටිය පිරෙන්නම වතුර දැම්මත් ඇඟිලි පුරුක් දෙකනම් වැහුනේ නැත. තවත් වතුර දැමීමට මුට්ටියේ ඉඩ නැති නිසා අන්තිමට කොස් මුට්ටිය ලිපේ තබා ගිනි මෙලවුයෙමි.

පැයකටත් වඩා බලා සිටියෙමි. දර මිටියක්ම ඉවරය. ඒත් තවමත් කොස් හැලියේ වතුර හිඳී නැත. වැඩිහිටියන් නිවසට පැමිණෙන තුරුත් කොස් හැලිය ලිපේ ඉදෙමින් තිබුණේය.

Thursday, September 24, 2015

ඔබේ වීරයාගේ මිල කීයද?

හෝමෝ සේපියන්ලා වන අපට ලොකු බලාපොරොත්තු, සිහින තිබේ. එහෙත්, බොහෝ විට අපට මේ බොහොමයක් සිහින සැබෑ කර ගැනීමට නොලැබේ. අප සිහින දකින, එහෙත් අපට ලඟා වීමට නොහැකි වූ ඉලක්ක වලට ළඟා වූ අය අපේ වීරයෝ වෙති.

රවීගේ වීරයින් ලැයිස්තුවේ උඩින්ම ආගමික ශාස්තෘ වරයෙක් සිටී. වෙනත් අයගේ ලැයිස්තුවල වෙනත් ආගමික ශාස්තෘ වරු සිටිති. එමෙන්ම, දේශපාලනඥයෝ, කලාකරුවෝ, ක්‍රීඩකයෝ, දාර්ශනිකයෝ ආදීහුද මෙවැනි වීර ලැයිස්තු වල සිටිති. පැය අටේ වැඩමුරය වෙනුවෙන් චිකාගෝහිදී දිවිදුන් කම්කරු නායකයින් ඇතැම් අයගේ වීරයන් වන අතර, පොප් රජු ලෙස විරුදාවලි ලත් මයිකල් ජැක්සන් තවත් අයගේ වීරයෙකි.

අපි බොහෝ දෙනෙකු වීරයෝ වීමට කැමැත්තෙමු. ඒ සඳහා, ඇතැම් විට අප කරන්නේ අපේ වීරයෙකුව අනුගමනය කිරීමයි. වෙනත් ඕනෑම අවශ්‍යතාවයක් සපුරා ගැනීම සඳහා මෙන්ම වීරයකු වීමේ අවශ්‍යතාවය වෙනුවෙන්ද මිලක් ගෙවීමට අප සුදානම්ය. මෙමඟින් ඉල්ලුමක් ජනිත වේ.

ඉල්ලුමක් ඇති තැන එය සපයන්නෙකුට ඉඩකඩක් විවෘත වේ.



චේ ගුවේරා බොහෝ දෙනෙකුගේ වීරයෙකි. ටී ෂර්ටයක චේගේ රුව ගසා ගැනීමෙන් තමන්ටත් තරමක් දුරට හෝ මේ වීරයාගේ තැනට ලං විය හැකියැයි සිතන අය සිටිති. එය හඳුනාගන්නා නිෂ්පාදකයෙක් එවැනි ටී ෂර්ටයක් වෙළඳපලට ඉදිරිපත් කරයි. මෙවැන්නක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකු ඇඳුමක් ඇඳීමේ අවශ්‍යතාවය සමඟ වීරයෙක් (හෝ පොරක්) වීමේ අවශ්‍යතාවයද සපුරා ගනී. ඒ නිසා ඇඳුමක් සඳහා සාමාන්‍යයෙන් ගෙවන මිලට වඩා රුපියල් පණහක් හෝ සීයක් වැඩිපුර ගෙවීමට ඔහු හෝ ඇය නොපැකිලේ.

චේ වීරයෙකු ලෙස සලකන තවත් ඇතැමුන් චේ වැනි වීරයෙකු වීම සඳහා ඔහුගේ රුව සහිත ටී ෂර්ටයක් පැළඳීම ප්‍රමාණවත් නොවේයැයි සිතති. ඔවුන් චේ වැනි වීරයෙකු වීම සඳහා ඊට වඩා විශාල මුදලක් ගෙවීමට සුදානම්ය.

කොලොම්බියාවේ අල්වාරෝ චේගේ රුව සහිත ඇඳුමක් වෙනුවෙන් පෙසෝ කිහිපයක් වැඩිපුර ගෙවා පොඩි වීරයෙකු වෙද්දී, ඔහුගේ මිතුරු පාව්ලෝට වැඩි මිලක් ගෙවා ලොකු වීරයෙකු වීමට අවශ්‍ය වේ. කොලොම්බියාවේ ජාතික විමුක්ති හමුදාව මේ සඳහා ඔහුට අවස්ථාවක් සපයයි. තමන්ගේ සරසවි අධ්‍යාපනය, හොඳ රැකියාවක් කිරීමට ඇති අවස්ථාව, මිතුරන් සමඟ විනෝද වීමට ඇති කාලය ආදී සියල්ල අතහරිමින් ලොකු මිලක් ගෙවන පාව්ලෝ ජාතික විමුක්ති හමුදාවෙන් ගෙවන සුළු මාසික දීමනාවෙන් අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගනිමින් වීරයෙකු වීමේ සතුට විඳියි. ඔහුගේ ජීවිතය අහිමි වීමේ අවදානමද මේ මිලට එකතු වේ.

පොඩි කාලේ ක්‍රිකට් ගැන හාන්කවිසියක් නොදැන සිටි තුෂාරගේ දැන් ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ඔහුට ක්‍රිකට් වලින් ඉහළට ගිය සංගක්කාර වීරයෙකි. වීරයෙකු අනුගමනය කිරීමෙන් පොඩි වීරයෙකු විය හැකිය.

ඇන්ලීන් කිරිපිටි පැකට්ටුවක් රුපියල් හයසීයට විකිණෙද්දී ඇන්ලීන් පානය කළ තුෂාර මේ මිල රුපියල් හයසිය පණහක් වෙද්දී පාවිච්චිය නවත්තයි. ඇන්ලීන් පැකට්ටුවකට තුෂාර දෙන වටිනාකම රුපියල් හයසීයට වැඩිවුණත් හයසිය පණහට වඩා අඩුය. නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති නිසා ෆොන්ටෙරා සමාගමට තවදුරටත් ඇන්ලීන් පැකට්ටුවක් රුපියල් හයසියයකට විකිණිය නොහැක. මේ නිසා තුෂාර තවදුරටත් ඇන්ලීන් බොන්නේ නැත. ඒ නිසා සමාගමට ලාභයක්ද නැත.

සංගක්කාර තමන්ගේ මහන්සියෙන් වීරයෙකුව නිෂ්පාදනය කර තිබේ. මේ වීරයාගේ කොටස් ඔහුගේ රසිකයින් ළඟ ගබඩා කර තිබේ. මෙය සංගක්කාර සතු ප්‍රාග්ධනයකි. ඔහු සතු ප්‍රාග්ධනය ඔහුට අවශ්‍ය විටක මුදල් කළ හැකිය. ඔහුට පෙර මෙසේ ප්‍රාග්ධනය එකතු කළ ක්‍රිකට් ක්‍රීඩකයින් වූ රණතුංගලා සහ ජයසූරියලා ඔවුන් සතුව තිබූ ප්‍රාග්ධනය මැතිවරණ වලදී මුදල් කළහ. සංගක්කාර ප්‍රසිද්ධියේ ඔහුගේ බිරිඳව සිපවැළඳ ගන්නා විට ඔහු කලක් තිස්සේ එකතු කළ ප්‍රාග්ධනයෙන් කොටසක් වැයවේ. එහෙත්, වැඩි ප්‍රමාණය තවමත් ඉතිරි නිසා සංගක්කාර තවමත් වීරයෙකි.

සංගක්කාර ෆොන්ටෙරා සමාගම වෙනුවෙන් වෙළඳ දැන්වීමකට පෙනී සිටී. ඇන්ලීන් කිරිපිටි බීමෙන් තමන් මෙන් වීරයෙකු වීමට හැකි බව ඔහු තමන්ගේ රසිකයින්ට පැහැදිලි කර දෙයි. කිරිපිටි වලට රුපියල් හයසීයකට වඩා ගෙවීමට කැමති නැති තුෂාර, සංගක්කාර වැනි වීරයෙකු වීම සඳහා රුපියල් දෙසීයක් ගෙවීමට කැමතිය. ෆොන්ටෙරා සමාගම මේ දෙක එකතු කර පැකේජයක් සදා රුපියල් හත්සීයකට මිල කරයි. තුෂාර මේ පැකේජය මිල දී ගනී. ඔහු මේ පැකේජයට ගෙවීමට සූදානම් වන මුදලට වඩා රුපියල් සියයක් අඩුවෙන් ඔහුට එය ලැබේ.

ෆොන්ටෙරා සමාගම ඔවුන්ගේ නිෂ්පාදන වියදමට වඩා රුපියල් පණහක් තුෂාරගෙන් එකතු කර ගනී. මෙයින් විසිපහක් සංගක්කාරට යයි. ෆොන්ටෙරා සමාගමට තවත් විසිපහක් ඉතිරි වේ. සියල්ලෝම සතුටෙනි.


වීරයන් වෙඩි තබා, බෝම්බ ගසා හෝ සුදු වෑන් යවා විනාශ කළ නොහැකිය.

ඔබේ වීරයා වෙනුවෙන් ඔබ ගෙවන මිල වැඩියි වගේද?

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Tuesday, September 22, 2015

බෝර්ෂ් සුප් සහ වෙරළු අච්චාරු

පසුගිය සතියේ කිහිප දෙනෙකු විසින්ම කටට කෙළ උනන සටහන් ලියා තිබුණේය. රයිගමගේ බෝර්ෂ් සුප් එක සහ නලින් හදා තිබුණු ගාර්ලික් බ්‍රෙඩ් සමඟ එන වෙජිටබල් මික්ස් චිකන් සුප් එක මෙයින් දෙකකි. නාවල වැලිපාක් එක ළඟ හෝටලයේ 'එබිල ඔලුව පීරගන්ට පුලුවන් තරම් තෙල් තිබුණු' මස් හොද්ද ගැන රවී ලියා තිබුණේය

කොණ්ඩය පීරීමට කවදාවත් ලොකු උනන්දුවක් නොතිබුණු මට ඔළුව පීරිමටනම් උනන්දුවක් ඇති වුනේ ඉතා කුඩා කාලයේදීමය. ඒ උනන්දුව තවමත් අඩු වී නොමැත. එහෙත්, අවුරුදු හත අටේදී ඔළුව පීරමින් විසඳුම් සෙවූ බොහෝ ප්‍රශ්න වලට තවමත් නිශ්චිත විසඳුම් ලැබී නැති නිසා දැන් මා වඩා හොඳ විසඳුම් මිස නිශ්චිත විසඳුම් සොයන්නේ නැත.

මා පැමිණියේ කොහෙන්ද යන ප්‍රශ්නයට මා හැදුණු වැඩුණු සංස්කෘතියට සාපේක්ෂ පිළිතුරු වෙනත් අයට මෙන්ම මටද කුඩා කාලයේදීම ලැබුණේය. ඒ සමඟම, මට තෝරාගැනීමක් ඇති, යා හැකි තැන් ගැන ඉඟිද ලැබුණේය. සැප පමණක් ඇති, දුකක් ගැන දැන ගැනීමට නොලැබෙන තැනක සිට විඳින සැප සැපක් ලෙස සලකමින් විඳින්නේ කෙසේද යන්න මට අවුරුදු හත අටේදීම මතු වූ පැනයකි. මේ අනුව දුක් පමණක් ඇති තැනක් මඟහැර සැප පමණක් ඇති තැනකට යාම වෙනුවෙන් මහන්සි වීමේ ඕනෑ කමක් ඉතා කුඩා කාලයේදීවත් මට තිබුණේ නැත. එහෙත්, මා ඇතැම් විශේෂ තත්ත්වයන් යටතේදී හැර සම්මත 'නරක වැඩ' කිරීමට පෙළඹුනේද නැත. ඒ එවැනි දෙයින් මට සතුටක් නොලැබුණු බැවිනි.

සත්ත්ව ඝාතනයක් කරනු තබා එවැන්නක් බලා සිටීම පවා මට ඉතා අපහසු දෙයකි. ඒ ප්‍රතිපත්තිමය හේතු මත නොවේ. එහෙත්, කුඩා කළ සිටම සත්ව මාංශ වලට මගේ වූ  කැමැත්ත තවමත් අඩු වී නැත. ඒ නිසා රයිගමගේ බෝර්ෂ් සුප් එක හෝ නලින්ගේ චිකන් සුප් එක රස විඳීමට අවස්ථාවක් ලැබේනම් එය මඟ හැරීම මට පහසු කටයුත්තක් නොවනු ඇත. මේ භෞතිකව සහ සංස්කෘතිකව මා නිර්මාණය වී ඇති ආකාරයයි.

අවුරුදු අටක් හෝ නවයක් වෙද්දී මිනිසා හැදුණේ 'වඳුරන්ගෙන්'යැයි දැනගනිද්දීත් මට ප්‍රශ්න මතු වුණේය. පළමුවැන්න මෙය හරියටම සිදුවුනේ කෙසේද යන්නයි. එය තේරුම් ගැනීමට තවත් අවුරුදු හත අටක් ගත විය. දෙවැනි, අතුරු ප්‍රශ්නයක් වූයේ වඳුරන් කන්නේ කොළ පමණක් නම් මිනිසුන් මස් මාළු කන්නේ ඇයි යන්නයි. මේ දෙක ගලපමින් පොඩි කාලයේදීම මම මගේ ප්‍රශ්න දෙකම විසඳන පිළිතුරක්ද සොයා ගත්තෙමි. මිනිසා වඳුරන්ගෙන් වෙනස්ව බුද්ධිමත් වී ඇත්තේ මස් කෑම නිසා ලැබුණු අමතර පෝෂ්‍ය පදාර්ථයක් හේතුවෙනි.

එක් එක් අයගේ වෙනස් රුචි අරුචිකම් වලට ගරු කිරීමට තරම් පරිණත භාවයක් නොතිබුණු ගැටවර සහ තරුණ වයසේදී ශාක ආහාර වලින් පමණක් යැපෙන මගේ ඇතැම් මිතුරු මිතුරියන්ට එරෙහිව තර්කයක් ලෙස මම මේ මතය ඉදිරිපත් කළ කාලයක් තිබුණේය. මේ මැටි අදහස වෙනත් බොහෝ දෙනෙකුද පිළිගන්නා තර්කානුකුල අදහසක් බව මා දැන ගත්තේ බොහෝ කාලයකට පසුවය.

ආහාර දාමයේ අඩියේම සිටි වානරයින් එහි අඩියේ සිට මුදුන දක්වා වූ පුළුල් පරාසයක් අත් කර ගැනීම මානව පරිණාමයට සමාන්තරව සිදු වී ඇති දෙයකි. මේ අනුව, ශාක භක්ෂක වානරයින් මාංශ ආහාර අනුභවය ඇරඹීම පරිණාමයේ තීරණාත්මක කඩඉමකි. මේ තරමටම, නැත්නම් මෙයටත් වඩා, තීරණාත්මක කඩඉමක් වන්නේ මිනිසා ආහාර පිස ගැනීම ප්‍රගුණ කිරීමයි. බෝර්ෂ් සුප්, චිකන් සුප් හෝ තෙල් පෑදුණු මස් කරියක් දුටු විට මිස අමු කුකුළු මස් හෝ හරක් මස් හෝ පණ ඇති සතෙකු දුටු විට අපේ කටට කෙළ උනන්නේ නැත.

අප යනු අප කන දේවල්යැයි කියමනක් තිබේ (We are what we eat). මෙය ඇත්තක් වන්නේ අපේ උදරයේ සහ අනෙකුත් තැන් වල සමට යටින් තැන්පත් වී ඇති මේද තට්ටු නිසාම නොවේ. ජීව විද්‍යාත්මක සහ සංස්කෘතික පරිණාමයේ අප අද සිටින තැනට පැමිණ සිටින්නේ අවුරුදු ලක්ෂ ගණනක් තිස්සේ අප ආහාරයට ගත් දේවල්ද නිසාය.

සාපේක්ෂව කුඩා මොළයක් ඇති හෝමෝ නැලඩිගේ සංස්කෘතික චර්යාවන් මඟින් තරමක අභියෝගයට ලක් වී ඇතත් මිනිසා අනෙකුත් සතුන්ගෙන් වෙන් කරන ප්‍රධානම සාධකයක් වන්නේ ඔහුගේ ප්‍රමාණයෙන් විශාල මොළයයි. විශාල මොළයක මෙතරම් වැදගත්කමක් ඇත්නම් අනෙකුත් සතුන් පරිණාමය වීමේදී ඔවුන්ට මෙවැනි විශාල මොළයක් නොලැබුණේ ඇයි?

මෙයට හේතුව මේ විශාල මොළය වෙනුවෙන් ගෙවිය යුතු විශාල පිරිවැයයි. ආර්ථික විද්‍යා භාෂාවෙන්නම් 'නොමිලේ දිවාආහාර නොලැබේ'.

මිනිසෙකු කිසිවක් නොකර නිකම් සිටින විට ශරීරය පවත්වා ගැනීම සඳහා වැයවන ශක්තියෙන් විශාල ප්‍රමාණයක් වැයවන්නේ ඔහුගේ මොළය වෙනුවෙනි. මේ වැඩිපුර ශක්තිය සොයා ගත හැකි ක්‍රමයක් නොතිබුණානම් අයවැය හිඟය ක්‍රමයෙන් ඉහළ යෑමෙන් මේ සත්ත්ව විශේෂය වඳවී යා හැකිව තිබුණි.

මොළය හැරුණු විට ශක්තිය වැඩිපුරම අවශ්‍ය වන අනෙක් උපාංගය වනුයේ ආහාර ජීර්ණ පද්ධතියයි. ආහාර පිසගැනීමේ පුරුද්ද නිසා අපට අනෙක් සතුන්ට මෙන් ලොකු ආහාර ජීර්ණ පද්ධතියක් අවශ්‍ය නොවේ. ආහාර පිසගත් විට ඉතා කාර්යක්ෂම ලෙස කෙටි කාලයක් තුල ශරීරයට අවශෝෂණය කරගත හැකිය. මේ අනුව, මොළය ක්‍රමයෙන් විශාල වෙද්දී ආහාර ජීර්ණ පද්ධතිය ඒ හා සමාන්තරව කෙටි වීම නිසා අපට ශක්ති හිඟයකට මුහුණ පෑමට සිදුනොවීය. ඒ නිසා අපේ ශක්ති අවශ්‍යතා වෙනුවෙන් අපට දැන් පැය විසි හතරම උලාකමින් ගත කිරීමට අවශ්‍ය නොවේ.

මෙසේ වඩා කාර්යක්ෂම වන සේ පරිණාමය වී ඇති අපි සාමාන්‍යයෙන් අමු මස් වලට වඩා බෝර්ෂ් සුප් වලට කැමතිය. අමු වෙරළු ගැට වලට වඩා වෙරළු අච්චාරු වලට කැමැත්තෙමු.

ගාලික් බ්‍රෙඩ් සුදුළූනු ගඳ ඇයි?

ප්‍රශ්නය මල්මිගේය. සුදුළූනු පොඩි නොකර උත්තරයක් දෙන්නට බැරි කමක් නැත. ගාලික් බ්‍රෙඩ්වලින් එන්නේ ඒවා හැදී ඇති දේවල්වල ගඳයි. මේ කරුණ හා අදාළව හෝමෝ සේපියන්ස්ලා ගාලික් බ්‍රෙඩ් වලින් වෙනස් වන්නේ නැත.

වෙරළු ගැට වලට සහ අමු මස් වලට වඩා කැමති හෝමෝ සේපියන්ස්ලාද අප අතර සිටිති.

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

Sunday, September 20, 2015

කතෘ ප්‍රකාශන රාක්ක වල යට තට්ටුවට යන්නේ ඇයි?

පෙර ලිපියකට ප්‍රතිචාර දක්වමින්, කතෘ ප්‍රකාශන වලට පොත් වෙළෙන්දන්ගෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි ගැන නලින් මගේ අවධානය යොමුකරවූවේය. හරී විසින් පෙන්වූ පාරක ගොස් කියවූ අරුණිගේ පැරණි ලිපියක් අනුව "අළුත් කර්තෘවරයෙක් විසින් ලියන ලද අළුත් පොතක් නම් කල පොත් කඩයට බාරදුන් පොත හොයා ගන්නට සර්ච් පාටියක් ද රැගෙන යා යුතු වන්නේය. අහවල් කඩ‍යට පොත් දැම්මා එතැනින් ගන්න කියා සල්ලි රැගෙන පොතක් ලබාගන්න යවන අයව එහෙම පොතක් මෙහෙ නැහැ කියා හරවා යවන කඩ සේවකයෝ සිටිති"

පොතක් ලිවීමේ සිට එය පාඨකයකුගේ අතට ලැබෙන තුරු සිදුවන ක්‍රියාදාමය පිළිබඳව මගේ දැනුම පරිපුර්ණ එකක් නොවේ. මා මෙහිදී බොහෝ දුරට උපයෝගී කරගත්තේ අරුණිගේ හා රසිකගේ ලිපිවලත් නලින්ගේ කොමෙන්ටුවේත් ඇති කරුණුය. කෙසේවුවද, විශ්ලේෂණයක් කිරීමට මේ කරුණු ප්‍රමාණවත්ය.

කතාව පටන්ගන්නට පෙර නොදන්නා අය සඳහා නිදන්ගත පිරිවැය (sunk cost) යන සංකල්පය පහදා දීමට සිදුවේ. රසිකගේ කොමෙන්ටුවක්ට අනුව ඔහුගේ කවිපොත නිෂ්පාදනය කිරීමේ විචල්‍ය පිරිවැය රුපියල් 100කි. රුපියල් 150කට මිල කර ඇති මේ පොත පොත් වෙළෙන්දෙකුට 40%ක වට්ටමක් සහිතව රුපියල් 90කට ලබා දිය යුතුය. මේ අනුව, විකිණෙන පොතකින් රසිකට රුපියල් 10ක් පාඩු වේ.

එසේනම් රසික විසින් මේ පොත් නොවිකිණිය යුතුද?

පොත මුද්‍රණය කිරීමෙන් පසුව ඒ සඳහා වැයකළ රුපියල් 100 නිදන්ගත පිරිවැයකි. පොත නොවිකුණුවත් ඒ මුදල ආපසු නොලැබේ. එවිට සිදුවන්නේ පාඩුව රුපියල් 100ක් වීමයි. පොත විකිණීමෙන් මේ පාඩුව රුපියල් 10ක් දක්වා අඩුකර ගත හැකි බැවින් අනෙක් විකල්පයට සාපේක්ෂව පොත විකිණීමෙන් රුපියල් 90ක වාසියක් සැලසේ.

දැන් අපි පොත් වෙළෙන්දෙකු සතු විකල්ප දෙකක් සසඳමු.

a . ලේඛකයෙකු ඔහුගේ පොතක් කිසිදු අත්තිකාරමක් නොලබා පොත් වෙළෙන්දාට දෙයි. පොතේ මිල රුපියල් 150කි. එය විකිනුණහොත් වෙළෙන්දාට රුපියල් 60ක ලාභයක් ලැබිය හැකිය. නොවිකුණහොත් සෘජු පාඩුවක් සිදු නොවේ. පොත විකිණූ විට එය නොවිකිණීමට සාපේක්ෂව ලැබෙන වාසිය රුපියල් 60කි.

b. පොත් ප්‍රකාශකයකුගෙන් මේ වෙළෙන්දාම රුපියල් 90ක් ගෙවා පොතක් මිලදී ගනී. පොතේ මිල රුපියල් 150කි. එය විකිනුණහොත් වෙළෙන්දාට රුපියල් 60ක ලාභයක් ලැබිය හැකිය. නොවිකුණහොත් රුපියල් 90ක පාඩුවක් සිදුවේ. රුපියල් 90 නිදන්ගත පිරිවැයක් වී අවසාන නිසා පොත විකිණූ විට එය නොවිකිණීමට සාපේක්ෂව ලැබෙන වාසිය රුපියල් 150කි.

දැන් මේ විකල්ප දෙක අතරින් වඩා වාසිදායක විකල්පය b බව පැහැදිලිය.

පොතක් පේන්නට තැබූ විට විකිණීමට ඇති ඉඩකඩ වැඩිය. ප්‍රකාශකයාගේ පොත විකිණීම වඩා වාසිදායක නිසා එය රාක්කයේ උඩට යයි. කතෘ ප්‍රකාශනය යටට යයි.

යම් ලේඛකයෙක් තමන් විසින්ම පොතක් ප්‍රකාශ කිරීමට පෙළඹෙන්නේ ඇයි?

මේ සඳහා විවිධ හේතු තිබිය හැකිය.

- ප්‍රකාශකයෙකු අදාළ පොත භාරගැනීමට ඉදිරිපත් නොවීම එක් හේතුවකි. මෙසේ වන්නේ ප්‍රකාශකයාට අනුව මේ පොත අලෙවි කිරීම අපහසු පොතක් බැවිනි. කතෘ ප්‍රකාශන අතර මෙවැනි පොත් යම් ප්‍රමාණයක් ඇති බව පොත් වෙළෙන්දා දනී. ප්‍රකාශකයෙකුගේ පොතක්නම් සාමාන්‍යයෙන් විකිණිය හැකි එකක් විය යුතුය. රාක්කයේ උඩ තට්ටුවේ විකිණෙන පොතක් තැබූ විට ඉතා ඉක්මණින් තවත් පොතකට ඒ ඉඩ හිමිවේ. නොවිකිණෙන පොතක් තැබූ විට එය සිදු නොවේ. මෙවැනි 'නොවිකිණෙන' පොතකට අත්තිකාරමක් ගෙවීමට පොත් වෙළෙන්දා සූදානම් නැත.

- ලේඛකයාට තමන්ගේ හිත මිතුරන්ට පිටපත් නොමිලයේ දීමට අවශ්‍ය විය හැකිය. මෙවැන්නෙකු පොත විකිණීමෙන් ලැබෙන මුදල් ලාභය වැඩිපුර නොතකයි.  මෙවැනි ලේඛකයෙකු අත්තිකාරම් නොලබා පොත පොත් හලට දැමීමට අකැමැත්තක් නොදක්වයි.

- ලේඛකයාට තමාගේ පොත විකිණිය හැකි බව හොඳටම සහතික නිසා එයින් වැඩිම ලාභයක් ගැනීමට උත්සාහ දරනවා විය හැකිය. මගේ අදහස අනුව, අරුණිගේ පියා සිටින්නේ මේ ගොඩේය. ඇත්තටම, ඔහු අරුණි සඳහන් කර ඇති පරිදි ලාභ ලබා ඇත්තේ ලේඛකයෙකු වශයෙන්ම නොවේ. පොත් නිෂ්පාදන සහ බෙදාහැරීම් ක්‍රියාවලියේ ඉදිරි පියවර සියල්ල අතට ගැනීම මඟින් 'සිරස් අනුකලනය' (vertical integration) කිරීම මඟිනි. ඔහු ලබන ලාභය ඔහු ලේඛකයෙකු වශයෙන් ලබන ලාභයේත්, ආයෝජකයෙකු, අතරමැදියෙකු සහ ව්‍යවසායකයෙකු ලෙස ලබන ලාභයේත් එකතුවයි.

අරුණිගේ පියාගේ කෘති මාද කලෙක කියවූ ඉතා ජනප්‍රිය පොත් වූ බව අවිවාදිතය. එසේ වුවද, මේ පොත් මිලදී ගැනීමට සමඟි පෙරමුණු රජය කාලයේ පාන් ගැනීමට සිටියාක් මෙන් පොත් සාප්පු ඉදිරිපිට පාඨකයින් පෝලිම් ගැසී සිටියේ නැත. ඒ පොත් විකිණීමටද යම් කාලයක් ගතවන බැවින් අතරමැදියා ලබන 40% ශුද්ධ ලාභයක් නොවේ.

අනෙක් පොත් වලින් නොලැබෙන විශාල ලාභයක් මේ පොත් වලින් අතරමැදියාට ලැබුනේනම් ඔහුට යම් අත්තිකාරමක් ලබාගැනීමට හෝ 40% වට්ටම අඩු කර ගැනීමට පොත් වෙළෙන්දන් සමඟ එකඟතාවකට පැමිණීමේ අවස්ථාව පැවත තිබේ.

Friday, September 18, 2015

කොයිසිටදෝ අපි එන්නේ? කොයිබටදෝ අපි යන්නේ?

හෝමෝ සේපියන්ලා වන අපේ ආරම්භය කොතැනද? ඉදිරියේදී හෝමෝ සේපියන්ලා වන අපට කුමක් වේද?

මේ ප්‍රශ්න කාලයක් තිස්සේම අප විසින් විසඳා ගැනීමට උත්සාහ ගනිමින් සිටිමු. සහශ්‍ර ගනනක් තිස්සේ විවිධ ආගම් හා දර්ශන මඟින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට උත්සාහ කර තිබේ. පසුගිය ශතවර්ෂ කිහිපය තුළ මේ අඛණ්ඩ උත්සාහය ඉදිරියට ගෙන ගියේ පරිණාමවාදීන්, පුරා විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් වැනි අයයි. මෑතකදී ජාන විශ්ලේෂකයින්ද මේ පිරිසට එකතු වූහ.

ඉතා මෑතක් වනතුරුම අපට සිතාගත හැකිව තිබුණු හොඳම පරිණාමයේ කතන්දරය උඩින් ඇති රූපයේ දැක්වෙන ආකාරයේ එකකි. මේ කතාවේ හැටියට වානරයෙකුගේ සිට නූතන මිනිසා දක්වා අප ක්‍රමයෙන් 'රේඛීයව' පරිණාමය වී තිබේ. කතාවේ මුල සිටින ඒක සෛලිකයෙකුගේ සිට වානරයා දක්වාද මේ රේඛාව දික් වේ. මේ අනුව, අප දැනටත් උපයෝගී කරගන්නා පරිණාම ආකෘතිය ගසක් වැනි එකකි. එහි කඳෙන් ලොකු අතුත්, ලොකු අතු වලින් පොඩි අතුත්, පොඩි අතු වලින් ඊටත් වඩා පොඩි අතුත් බෙදේ. ඒවායින් කුඩා රිකිලි බෙදී යයි.

මේ එක් එක් රිකිල්ල අග වෙනස් ජීවී විශේෂයක් සිටී. අප සිටින කුඩා රිකිල්ලේ සිට සිට ආපසු ගිය විට අප වෙනත් ජීවී විශේෂ වලින් වෙන්වූ මං සන්ධි හමුවේ. මේ ආකෘතිය අනුව බෙදී යන රිකිලි දෙකක් නැවත එක්වී අත්තක් වන්නේ නැත.

ඉහත ආකෘතියේ එක් එක් අදියරේදී අප පසු කළ මං සලකුණු ගැන හරියටම දැන ගැනීම සඳහා අපට පොසිල සාක්ෂි උපකාරී විය. එහෙත්, මේ පොසිල එකතු වල අඩුපාඩු තිබුණු නිසා ආකෘතිය සම්පුර්ණ කර ගැනීමට අපට වැඩි වැඩියෙන් පොසිල අවශ්‍ය විය. කෙසේ වුවද, අළුතෙන් හමුවන සංකීර්ණ පොසිල සාක්ෂි වලින් අපේ දැනුම වැඩි වෙද්දී අප දැන සිටි ආකෘතිය වඩාත් ප්‍රශ්නකාරී වී තිබේ.

දැනට වඳ වී ගොස් ඇති වෙනත් මිනිස් වර්ගයක් වන නියන්ඩතාල්ලා ගැන අඩු වශයෙන් සියවස් එකහමාරක සිට අපි දැන සිටියෙමු. ඔවුන් ගැන මෑතකදී අප දැනගත් කරුණු වන්නේ ඔවුන්ද හෝමෝ සේපියන්ස්ලා මෙන්ම දියුණු බුද්ධියක් ඇති කොටසක්ව සිට ඇති බවයි. හෝමෝ සේපියන්ස්ලා අප්‍රිකාවේ සිට මැදපෙරදිග හරහා ආසියාවට සහ යුරෝපයට සංක්‍රමණය වෙද්දී ඒ ප්‍රදේශ වල පැතිරී සිටියේ හෝමෝ නියන්ඩතාලන්සිස්ලාය. ඔවුහු යුරෝපයේ ශීත දේශගුණයට ඔරොත්තු දිය හැකි පරිදි විශාල ශරීර මෙන්ම හෝමෝ සේපියන්ස්ලාටත් වඩා විශාල මොලයක්ද සහිතව සිටි අතර හෝමෝ සේපියන්ස්ලා මෙන්ම ආයුධ තැනීම වැනි කටයුතුද කර තිබේ.

මෑතකාලීනව මේ ක්ෂේත්‍රයේ සිදුවූ අළුත් පොසිල සොයාගැනීම් සමඟ සේපියන්ස්ලාට අමතරව නියන්ඩතාල්ලා වැනි හෝමෝ ගණයේ වෙනත් විශේෂ දුසිමක් පමණ මිහිමත ජීවත් වී ඇති බව දැන් පෙනීයයි. 2010 වසරේදී සයිබීරියාවේ සේපියන්ස්ලා සහ නියන්ඩතාල්ලාද වාසය කළ ගුහාවකින් සොයාගත් ඩෙනිසෝවියන් මානවයා උදාහරණයකි.

මේ වෙනස් මිනිස් විශේෂ කලින් කලට ඔවුන් ජීවත් වූ ප්‍රදේශ වලට උචිත ලෙස අනුවර්තනය වූ අයයි. බාහිර ලෝකය සමඟ සම්බන්ධ නොවී ඉන්දුනීසියාවේ කුඩා දුපතක වෙනම පරිණාමය වූ හෝමෝ ෆ්ලොරසියෙන්සිස් වසර 12,000කට පමණ පෙර වඳ වන විට කිලෝග්‍රෑම් 25 කට වඩා බර නැති අඩි තුනහමාරක් පමණ උස මිනිස් විශේෂයකි. පරිභෝජනය සීමා කර, දිවයින තුළ ඇති සීමිත සම්පත් වලින් යැපීමට හැකි පරිදි කුඩා සිරුරු සහිතව ඔවුහු පරිණාමය වූහ.

මේ කණ්ඩායමට හෝමෝ නැලඩි දැන් අළුතින්ම එකතු වී සිටී. වසර දෙකකට පමණ පෙර දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් පොසිල මත පදනම්ව මේ මානවයා ගැන තොරතුරු පසුගිය සතියේ එළිදැක්වුනේය.

හෝමෝ සේපියන් මොළයක ප්‍රමාණයෙන් අඩකටත් වඩා කුඩා මොලයක් හිමි හෝමෝ නැලඩි ඔස්ට්‍රලොපිතකස් මෙන් වානරයෙක් ලෙස නොව මිනිස් විශේෂයක් ලෙස වර්ග කෙරී ඇත.

දැනට හමු වී ඇති පොසිල සැකිලි පහළොවක පමණ ප්‍රමාණය සමඟ වෙනත් සතුන්ගේ පොසිල මුසු වී ඇත්තේම නැති තරම්ය. එමෙන්ම, මේ සැකිලි වල වයස් සීමා සුසාන භූමියක ඇති සැකිලි වල වයස් සීමා සමඟ සැසඳේ. ඒවා එකවර තැන්පත් වූ ඒවා හෝ වතුරෙන් ගසාගෙන විත් තැන්පත් වූ ඒවාද නොවේ. මේ අනුව මේ සිරුරු සිතා මතාම එක් තැනෙක තැන්පත් කළ ඒවා බැව් අදහස් කෙරේ. මෙය සාපේක්ෂව දියුණු සමාජ ලක්ෂණයකි.

මින් පෙර මෙවැනි අවමංගල චාරිත්‍ර දක්නට ලැබී ඇති පැරණිම කාලය වසර ලක්ෂයකට පෙරය. ඒ නියන්ඩතාල්ලාගේය. හෝමෝ නැලඩි සැකිලි මීට වඩා බොහෝ පැරණියයි අදහස් කෙරේ. කෙසේ වුවද, දැනට දන්නා තොරතුරු අනුව හෝමෝ හෙවත් මිනිස් කුලයේ පළමු සාමාජිකයා ලෙස සැලකිය හැකි හෝමෝ නැලඩි ජීවත් වූ කාලය තවමත් හරියටම නිශ්චය කර නැත. රේඩියෝ කාබන් ක්‍රමයෙන් කාලය නිශ්චය කිරීමටද නොහැකි තරම් මේවා පැරණි වීම එක් හේතුවකි.

කෙසේ වුවද සාපේක්ෂව විශාල මොළයක් නැති, මෙතරම් කලකට ඉහත මිහිමත සිටි ජීවී විශේෂයකගෙන් අවමංගල චාරිත්‍ර වැනි සංකීර්ණ චර්යාවන් දක්නට ලැබීම පර්යේෂකයින්ව විමතියට පත් කර තිබේ. මේ ඇතැම් විද්‍යාඥයින් සිතන්නේ අප දැනට භාවිතා කරන අතු බෙදුණු ගසක් වැනි පරිණාමික ආකෘතිය තව දුරටත් ප්‍රමාණවත් නොවන බවයි.

දැන් පෙනෙන පරිදි පරිණාමයේදී අතු රිකිලි වී බෙදීමට අමතරව රිකිලි එකතු වී අතු නිර්මාණය වීමද සිදු වී තිබේ. අපි කිසිවෙකු කලින් සිතා සිටි පරිදි පිරිසිදු හෝමෝ සේපියන්ස්ලා නොවේ. නියන්ඩතාල්, ඩෙනිසෝවියන් වැනි ජානද අඩු වැඩි වශයෙන් අපට මුසුවී තිබේ. මේ හේතුව සහ වෙනත් හේතුන්ද නිසා අපි උපදින්නේම හරියටම සමාන පුද්ගලයින් ලෙස නොවේ.

ඒ නිසා අපට වෙනස් රුචි අරුචිකම් තිබීමද විය යුත්තකි.

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

Wednesday, September 16, 2015

"පොඩිනම, දැන්නම් නරක දේත් හොඳවන වෙලාව!"


"පොඩිනම, දැන්නම් නරක දේත් හොඳවන වෙලාව!"

ජනවහරේ එන කතාවක ගුරු හාමුදුරුවෝ ඇතැම් දරුණු දේ කළ හැකි මන්ත්‍ර ගුරුකම් දැන සිටියත්, පවු සිදුවන බැවින් සාමාන්‍යයෙන් මේ දැනුම භාවිතයට නොගත් බව කියවේ. එහෙත් ඔහු සිය ගෝල හාමුදුරුවන්ටද මේ දැනුම ලබා දී තිබුණේය. කතාවේ කියවෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට නොගත් මේ දැනුම එහි නරක ආනිසංශ ගැන නොතකා ප්‍රයෝජනයට ගැනීමට සිදුවූ අවස්ථාවක් පිළිබඳවය. එසේ කිරීමට සිදුවන්නේ අවසාන වශයෙන් හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනි.

අවසාන ප්‍රතිඵලය හොඳක් වේනම් ඒ වෙනුවෙන් නරක දෙයක් කළ යුතුද යන්න සංකීර්ණ ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයට මගේ පෞද්ගලික පිළිතුර වනුයේ 'වෙනත් කිසියම් හෝ ප්‍රායෝගික විකල්පයක් ඇත්නම්' එසේ නොකළ යුතු බවයි. හොඳ හා නරක යන සංකල්ප වුවද පුද්ගලයාට, කාලයට සහ සමාජයට සාපේක්ෂ වීම ප්‍රශ්නය වඩාත් සංකීර්ණ කරයි.

මේ දිනවල මරණ දඬුවම දීම පිළිබඳව අළුතින් සංවාදයක් ඇතිවී තිබේ. මේ සම්බන්ධව ලියවී ඇති දේ කියවීමෙන් මා තේරුම් ගත් ප්‍රධානම දෙය වූයේ, මා කලින් සිතා සිටි පරිදි, මා නියෝජනය කරන්නේ සමාජයේ බොහෝ දෙනෙකුගේ මතය නොවන බවයි.

අනෙක් ඕනෑම පුද්ගලයෙකුට වඩා කිසිදු විශේෂ වැදගත් කමක් නොමැති සාමාන්‍ය පුද්ගලයෙකු වන මට වෙනත් කෙනෙකු 'හොඳ මඟට' ගැනීමට හෝ උපදේශකයෙකු වීමට අවශ්‍ය නැත. එහෙත්, මා අනෙක් අය තරමට වැදගත් නොවන අයෙකු ලෙසද මා සලකන්නේ නැත. ඒ නිසා මා සිතන ආකාරය වෙනත් 'වැදගත්' පුද්ගලයෙකු සිතන ආකාරයට වඩා නොවැදගත් වීමටත් හේතුවක් නැත.


මගේ අදහස් කිසිදා වෙනස් නොවන නිශ්චිත අදහස් නොවේ. මා කියවන, අසන, අත්දකින දේ අනුව මගේ අදහස්ද පරිණාමය වේ. මගේ අදහස් වෙනත් කෙනෙකු මත පැටවීමට මට අවශ්‍ය නොවන එක් හේතුවක් වන්නේ එයයි. බ්ලොග් වල ලියවෙන වෙනත් අයගේ අදහස් සහ තොරතුරු මගේ සිතීමේ අවකාශය පුළුල් කර ගැනීමට ඉඩ සලසයි. එය මට වඩා හොඳ තීරණ ගැනීමට යම් පිටිවහලක් සපයයි. මා සිතන ආකාරය මා ලියන්නේද වෙනත් අයෙකුට එවැනි ඉඩකඩක් සැලකීමට යම් දායකත්වයක් දීම සලකමිනි.

මරණ දඬුවම සම්බන්ධව අජිත් පැරකුම්, රසික, සහ නොදන්න මගුල් ලියන ලේඛකයා ලියා ඇති දේ සමඟ  මා සිතන ආකාරය බොහෝ දුරට සම්පාත වන නිසා මා ඒවා නැවත ලියන්නේ නැත. මේ අදහස් සමඟ ගැටෙන ලිපියක් රූපේ විසින් පළ කර තිබේ. මේ ලිපිය වටිනා ලිපියකි. එමඟින් සමාජයේ බොහෝ දෙනා සිතන ආකාරය ගැන දැන ගැනීමට කවුළුවක් විවෘත කර දී තිබේ.

මේ අවස්ථාවේදී මරණ දඬුවම දිය යුතුද යන කරුණ ගැන සිතීමට යොදවන කාලය වැදගත් දෙයක් ලෙස මට නොපෙනුණු බැවින් මා මේ ගැන අදහස් නොදැක්වූයෙමි. ඒ තක්සේරුවට හේතු වූයේ මගේ තීරණය මත මරණ දඬුවම දීම හෝ නොදීම තීරණය වීමේ ඉඩකඩක් ළඟපාතක නොපෙනුණු බැවිනි. ඇතැම් විට එවැනි අවස්ථාවක් ඉදිරියේදී මට ලැබෙන්නට වුවද පුළුවන (ඡන්දය ප්‍රකාශ කිරීමක් වැනි). නිහඬව සිටීමෙන් මධ්‍යස්ථ මතයක් පිළිබිඹු වන නිසාත්, මේ සම්බන්ධව මගේ මතය එක් අන්තයකට බරව ඇති බව පෙනෙන නිසාත් එය ප්‍රකාශ කිරීමේ වැදගත් කමක් ඇතැයි සිතේ.


මරණ දඬුවම දීමට පක්ෂව ඉදිරිපත් කෙරී තිබුණු ජනප්‍රිය අදහසක් වූයේ මෙවැනි දෙයක් තමන්ට සිදුවුවහොත් කිසිවකු මෙසේ නොකියනු ඇති බවයි. මගේ සමීපතමයෙකුට මෙවැනි දෙයක් සිදුවුවහොත් එය කළ තැනැත්තාව "කෑලි කෑලි වලට කැපීමෙන්" මට සිදු වූ පාඩුව කිසිසේත්ම සමනය වන්නේ නැත. එහෙත්, එවැනි අවස්ථාවක එසේ ක්‍රියා කිරීමට මා වුවද නොපෙළඹෙනු ඇතැයි මට සහතික විය නොහැකිය. නොදන්නා මඟුල් ලිපියේ පැහැදිලි කර ඇති පරිදි, මෙහිදී සිදුවන්නේ අපේ ආවේග මඟින් අපව පෙළඹවීමයි. මෙවැනි පළිගැනීමකට යොමුවන අයෙකු පසුකාලීනව ඒ ගැන පසුතැවීමටද ලොකු ඉඩක් තිබේ.

මරණ දඬුවම නොදිය යුත්තේ ඇයි යන කරුණ ඉහත ප්‍රතිචාරය තුළම තිබේ. තට්ට සෝමේ අහිංසක මගේ සමීපතමයෙකුට දරුණු දෙයක් කරයි. ආවේගයට පත් වන මා තට්ට සෝමේව කෑලි කෑලි වලට කපයි. දැන් මිනීමරුවා මාය. මට මරණ දඬුවම හිමි වේ. එහෙත්, ආවේගයට මිනීමැරුමක් කළත් නිදහස් වී පැමිණියහොත් මා නැවතත් මිනී නොමරනු ඇත.

මා දුටු තවත් අදහසක් වූයේ මරණයට පත් කිරීම ජීවිතාන්තය දක්වා සිර කර තැබීමට වඩා මානුෂික බවයි. තෝරාගැනීමක් ඇත්නම් යමෙකු මේ දෙකෙන් මරණ දඬුවම තෝරා ගැනීමට ඇත්තේ ඉතා අඩු ඉඩකඩක් බව මගේ අදහසයි.

ඇතැම් අය ආගමික පදනමකින් මරණ දඬුවමට එරෙහිව අදහස් දක්වා තිබේ. උදාහරණයක් ලෙස, මේ පිළිබඳව මඩිහේ පඤ්ඤාසීහ හිමිගේ මතය අතුල සිරිවර්ධන විසින් ඉදිරිපත් කර තිබේ.

ඇතැම් අය මරණ දඬුවමට එරෙහි වන්නේ කිසියම් වරදකින් නිවැරදිකරුවෙකු පෝරකයට යාමේ ඉඩකඩ ගැන සලකමිනි. මෙයින් අනියමින් අදහස් වන්නේ මිනීමරුවා හරියටම හඳුනාගත හැකිනම් මරා දැමීම සුදුසු බවද? එසේ කිරීමෙන් පොදු සමාජයට මිනීමැරීම් නොකිරීමට බලපෑමක් කෙරේද?

මරණ දඬුවම දීමෙන් අපරාධ අඩුවේද? මෙය දත්ත පරීක්ෂා කිරීමෙන්ම නිගමනය කළ යුතු දෙයකි.

ලෝකයේ රටවල් 141ක මේ වන විට මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ (2010 දත්ත අනුව) චීනය, ඉරානය, උතුරු කොරියාව, යේමනය සහ ඇමරිකා එක්සත් ජනපදයයි. විමධ්‍යගත පාලනයක් ඇති ඇමරිකාවේ ප්‍රාන්ත 31ක මරණ දඬුවම ක්‍රියාත්මක වන අතර ප්‍රාන්ත 19ක එය ක්‍රියාත්මක නොවේ. දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ මරණ දඬුවම නැති ප්‍රාන්ත වල මිනීමැරුම් සිදුවීම වඩා අඩු බවයි. ප්‍රගීත් ලියනආරච්චි විසින් මේ දත්ත ඇතුළු වෙනත් තොරතුරු රැසක් ඉදිරිපත් කර ඇති නිසා මා ඒවා නැවතත් එකතු කරන්නේ නැත.

ඇමරිකාව තුල මරණ දඬුවම ක්‍රියාත්මක වීම නීතිය තුල ක්‍රමයෙන් ඉවත්වෙමින් යන දෙයකි. මෑතකාලීනව නෙබ්‍රස්කා (2015), මේරිලන්ඩ් (2013), කනෙක්ටිකට් (2012), ඉලිනෝයි (2011), නිවු මෙක්සිකෝ (2009), නිවු ජර්සි (2007), නිවු යෝර්ක් (2007) ආදී ප්‍රාන්ත වල නීතියෙන් මරණ දඬුවම ඉවත් වූ අතර ඉදිරි වසර තුල මේ රැල්ල ඉතිරි ප්‍රාන්ත කරාද පැතිරෙනු ඇත. මා මෙසේ කියන්නේ සමීක්ෂණ ප්‍රතිඵල අනුව ඇමරිකානුවන්ගෙන් 88%ක් මරණ දඬුවමින් අපරාධ අඩු නොවන බව විශ්වාස කරන බැවිනි.

නිශ්චිත පිළිතුරක් දීම අපහසු ප්‍රශ්නයක් වන්නේ අපරාධකරුවෙකු පුනරුත්ථාපනය කිරීම සහ සිරගත කොට තබා ගැනීම සඳහා යන වියදම පිලිබඳ ප්‍රශ්නයයි. මෙවැනි දෙයක් සමාජයක් ලෙස පොදුවේ තීරණය කළ යුතු දේශපාලනික කරුණකි. යම් හෙයකින් ඉතා පහසුවෙන් පැතිරෙන, මාරාන්තික රෝගයක් පැතිරුනහොත් මේ රෝගය වැළඳුනු පිරිස් එක් තැනෙක රඳවා තබා ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීම හෝ ඉතිරි පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් මරා දැමීම විකල්ප දෙකකි.

රෝගයක් පැතිරීම මිනීමැරුමකට වඩා අහඹු දෙයක්යැයි යමෙකුට කිව හැකිය. මිනීමරුවෙකුද එක් ආකාරයක රෝගියෙකි. අනෙක් අතට, මා මිනීමරුවකු නොවන්නේ මා එවැන්නකට පෙළඹෙන අවස්ථාවකට මුහුණ නුදුන් නිසා විය හැකිය. ඕනෑම කෙනෙකු ඇතැම් තත්ත්වයන් යටතේදී පොදු සමාජයට හානිකර පුද්ගලයෙකු බවට පත් විය හැකිය. මේ හානියෙන් පොදු සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා මිලක් ගෙවීමට සිදුවේ. එය පොදු සමාජයේ දේශපාලනික තීරණයකි. කෙසේ වුවද, ඒ මිල කැමැත්තෙන්ම ගෙවීමට සුදානම් වීමට සමාජයක් පරිණාමය විය යුතුය. (ඇමරිකාව තුලදීනම් මරණ දඬුවම දීමේ සමස්ත ක්‍රියාවලිය වඩා වියදම් අධික බව පෙන්වා දී තිබේ.)

අජිත් පැරකුම්ගේ වචන වලින් කියවෙන 'පුද්ගලයින්ට මෙන් ම සමාජයට හෝ ආණ්ඩුව වැනි සමාජ සංවිධානයකට හෝ පවා මිනීමැරීමට අයිතියක් නැති බව'  යන්නට 'වෙනත් කිසියම් හෝ ප්‍රායෝගික විකල්පයක් ඇති විට' යන්නද එකතු විය යුතුය. වැඩි යහපත වෙනුවෙන් මිනී මැරීම හැර වෙනත් විකල්පයක් නැති අවස්ථා තිබිය හැකිය. උදාහරණයක් ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තම ඉලක්කය සපුරා ගැනීමට සැරසෙන මොහොතේ ක්ෂණිකව ඔහුව හෝ ඇයව මරා දැමීමෙන් ජීවිත ගණනක් බේරාගත හැකිනම් එයින් වෙන්නේ යහපතකි. මෙහිදී බෝම්බකරුගේ (හෝ බෝම්බකාරියගේ) ජීවිතය කොහොමටත් විනාශ වන නිසා මේ මිනීමැරුමෙන් සිදුවන වැඩි අයහපතක් නැත. එහෙත්, බොහෝ විට තත්ත්වය මේ තරම් සරල නැත.

ඇතැම් අවස්ථාවලදී ජීවිත බේරාගැනීම සඳහා වෙනත් ජීවිත විනාශ කිරීම හැර විකල්පයක් නැති විය හැකිය. මෙවැනි අවස්ථාවක කළ හැකි හොඳම දෙය සෑම ජීවිතයක්ම එක සේ වටිනා ලෙස සලකා අඩුම හානියක් සිදුවන පරිදි කටයුතු කිරීමයි. යුද අත්දැකීම් ඇති විචාරක විසින්ම පෙන්වා දී ඇති පරිදි මානව හිමිකම් සියල්ල හැමවිටම අකුරටම රකිමින් යුද්ධ කරන්නට නොහැකිය. හොඳම යුද්ධයට වඩා නරකම සාමය හොඳ වන්නේ ඒ නිසාය.

එහෙත්, මරණ දඬුවම වෙනුවටනම් ඉතා පැහැදිලි විකල්පයක් තිබේ. 

(ඡායාරූපය: එංගලන්තයේ නොටිංහැම්හි පිහිටි galleries-of-justice කෞතුකාගාරයේ ඇති එල්ලුම්ගසක්. එහි පිවිසෙන අයෙකුට ඩමියක් යොදවා මෙය ක්‍රියාත්මක කරන ආකාරය නැරඹිය හැකිය.)

Sunday, September 13, 2015

සෝවියට් වරුන් විසින් ඝාතනය කෙරුණු සිංහල ලේඛකයෝ


සෝවියට් දේශය බිඳ වැටෙන තුරුම රුසියන් මෙන්ම සෝවියට් පොත් වල සිංහල පරිවර්තන අපට අඩු මිලට ලැබුණේය. මේ පොත් පෞද්ගලිකව මට ලැබුණු වාසියකි. වෙනත් පොතක් මිලදී ගැනීම සඳහා වැය කළ යුතු වූ මුදලට මට සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගත හැකි විය. මෙය මගේ පොත් රාක්කය පුරවා ගැනීම පහසු කළේය.

සෝවියට් පොත් අඩු මිලට විකිණීමට හැකි වූයේ ඔවුන්ගේ නිෂ්පාදන තාක්ෂනය දියුණු, අඩු වියදම් එකක් වූ නිසාමයැයි මා සිතන්නේ නැත. එය තරමක් දුරට එසේ විය හැකි වුවත් ප්‍රවාහන වියදම්ද සැලකූ පසු මේ පොත් බොහොමයක් වැයකළ පිරිවැයටත් වඩා අඩුවෙන් මිල කෙරී තිබුණු බව තේරුම් ගැනීම අපහසු නැත. එසේනම් මේ වියදම යම් කිසිවෙකු විසින් දැරිය යුතුය.

මා සෝවියට් පොතක් අඩු මිලට ලබා ගන්නා හැම විටකම සිදුවූයේ එහි 'නියම' මිලෙන් කොටසක් වෙනත් අයෙකු විසින් දැරීමයි. මෙහිදී මේ පිරිවැය දැරුවේ සෝවියට් දේශයේ සාමාන්‍ය මහජනතාවයි. මෙහිදී සිදුවුනේ තිලකේ හෝ රසික ඔවුන්ගේ පොතක් මිතුරෙකුට තෑගි කරන විට සිදුවන දෙයට සම්පුර්ණයෙන්ම නොවෙතත් තරමක් සමාන දෙයකි. මේ පොත් අපට ලැබුනේ 'සල්ලි එක්ක'ය.

රසික ඔහුහේ රුපියල් දෙසීයකට මිල කර ඇති පොතක් දන්නා කෙනෙකුට නොමිලේ දෙනවිට මේ දන්නා කෙනා රුපියල් දෙසීය ගෙවා පොත මිල දී ගැනීමත් රසික ඔහුට වෙනම රුපියල් දෙසීයක් දීමත් දෙකම එක වර සිදුවේ. මෙහිදී කාර්යක්ෂමතා හානියක් සිදුවිය හැකිය. රසිකට දෙසීයක පාඩුවක් වෙද්දී දන්නා කෙනාට ලැබෙන වාසිය දෙසීයට අඩු විය හැකිය. දෙසීයේ පොත රසික වෙනත් අයෙකුට තුන්සීයකට විකිණුවහොත්, පොත මිල දී ගන්නා තැනැත්තා එය කරන්නේ ස්වේච්ඡාවෙන්නම් දෙදෙනාටම වෙන්නේ වාසියකි.

'නියම' මිල රුපියල් දහයක් විය යුතු බරීස් පලෙවොයිගේ සැබෑ මිනිසෙකුගේ කතාවක්හි සිංහල පරිවර්තනය මා විසින් රුපියල් පහකට මිල දී ගන්නා විට උස්බෙකිස්තානයේ ඉවාන්ලාට සහ සයිබීරියාවේ ඇනාලාට ඉතිරි රුපියල් පහ ගෙවන්නට සිදුවේ. සෝවියට් රාජ්‍යය මඟින් ඉටු කර ඇත්තේ එහි පොදු ජනතාවගේ අවශ්‍යතාවය නොවිය හැකි බව මුඛ්‍ය කරුණට අදාල නොවන නිසා අමතක කළහොත් ඔවුන් මේ පිරිවැය කැමැත්තෙන්ම දරන්නේ ඉන්දියානු සාගරය මැද කුඩා දුපතක ජීවත් වන නොදන්නා කොලු ගැටයෙකු මේ පොත කියවනු දැකීම ඔවුන්ගේ සතුටට හේතුවන නිසාය. රසික දන්නා කෙනෙකුට ඔහුගේ පොතක් තෑගි කරන්නේත් මේ හේතුව නිසාය. ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ස්කොට් සහ හෙදර් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් බණ්ඩාරවෙලදී නොමිලේ බෙදාහරින ආගමික ප්‍රකාශන වල පිරිවැය දරන්නේත්, කොටුව දුම්රියපල ඉදිරිපිට 'කම්කරු පුවත්' විකුණන විකොස පූර්ණකාලිකයෙකු අව්වේ කට්ට කන්නේත්, මා පාතරාසයවත් නොගෙන මේ බ්ලොග් කටුව කොටන්නේත් එකම හේතුවකටය. අපිට අවශ්‍ය දේවල් කියවීමට වෙනත් අයව පෙළඹවීමෙන් අපට සතුටක් ලැබේ.

වෙනත් යමෙකුට කියවීම සඳහා මාව පෙළඹවීමට ඇවැසි වී මගේ වියදමින් කොටසක් එවැනි අයෙකු දරද්දී මගේ කියවීමේ අවශ්‍යතාව ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාව සමඟ සම්පාත වූ විට මට ලැබෙන්නේ විශාල වාසියකි. රසිකගේ පොත කීයක් හෝ දී කියවීමට බලාගෙන ඉන්නා කෙනෙකුට ඔහුගෙන් පොතක් තෑගී ලැබුණොත් සිදුවන්නේ මෙවැන්නකි. (එතරම් යෝග්‍ය විහිළුවක් නොවුවත්) එවිට සිදුවන්නේ සරසවියේ අවසාන වසරේ සිසුවියකගෙන් වෙලාව ඇසූ විට වෙන දෙයමය. මෙහි ඇති ප්‍රශ්නය අවශ්‍යතා සම්පාත වන බව මෙසේ තහවුරු කර ගත නොහැකි වීමයි. නොමිලේ බෙදන ආගමික ප්‍රචාරක පත්‍රිකා කුණු කූඩ වලට යන්නේ මේ නිසාය.

මගේ ගැටවර වියේදී අඩුමිලට වුවත් මා බොහෝ විට මිලදී ගත්තේ මා කැමති සෝවියට් පොත්ය. එහෙත්, මෙය හැම විටම ඒ අයුරින්ම සිදුවුණේ නැත. මා ප්‍රාග්ධනය පොත නොකියවූයේ ඒ නිසාය. මෙහිදී ඒ වෙනුවෙන් පිරිවැය දැරූ ඉවාන්ගේ සහ ඇනාගේ අරමුණ ඉටු වී නැත.

කෙසේ වුවද සමස්තයක් වශයෙන් සෝවියට් පොත් සහනාධාර වලින් මට මෙන්ම වෙනත් බොහෝ අයට යම් වාසියක් සැලසෙන්නට ඇත. එහෙත්, මෙසේ හොඳ ලෙස පෙනෙන බොහෝ දේ වල වෙනත් පැතිද තිබේ.

වෙනත් පොතක් වෙනුවට සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගැනීම මට හොඳ විකල්පයක් විය. එහෙත් මෙසේ සෝවියට් පොත් දෙකක් හෝ තුනක් මිලදී ගන්නා හැම විටකම වෙනත් සිංහල පොතක් මිල දී ගැනීමේ අවස්ථාව මගෙන් ගිලිහුණේය. ඒ සමඟම පොතක් විකුණාගැනීමේ අවස්ථාව සිංහල ලේඛකයෙකුට නැති වී ගියේය. මේ අයුරින් සෝවියට් පොත් අඩුමිලට දීමෙන් සෝවියට් නොවන පොත් වාරණයක්ද අනියමින් ක්‍රියාත්මක කෙරුණේය.

මේ කාලයේදී විකිණුනු සෝවියට් පොත් ප්‍රමාණය සහ සිංහල පොත් වෙළඳපොලේ ඇති ආකෘතිමය සීමාවන් සැලකූ විට මල්වර වන්නට සිටි සිංහල ලේඛකයින් කොපමණ ප්‍රමාණයක් ලාබෙට විකිණුනු සෝවියට් පොත් වලට යටවී තිඹිරිගෙයිම මියගියේදැයි සොයන්නටනම් කාලය යොදවා පර්යේෂණයක්ම කළ යුතුය.

Friday, September 11, 2015

පොත් ප්‍රකාශනයේදී අතරමැදියා ගසා කනවාද?



සිංහල ලේඛකයින් පොත් ලිවීම අධෛර්යය වීමට එක් හේතුවක් වන්නේ පොත් ලිවීමෙන් ලාභයක් නොමැති වීම බවට බොහෝ තැන් වල අදහස් පල වී ඇත. මේ සම්බන්ධ ජනප්‍රිය අදහසක් වන්නේ සිංහල පොත් වෙළඳපලේ ලාභය ගන්නේ අතරමැදි පොත් අලෙවිකරුවන් බවයි.

මේ සම්බන්ධව මටනම් පළමෝත අත්දැකීම් නැත. එහෙත්, කිහිප තැනකින් දැකගත හැකි පරිදි පොතක් අලෙවි කිරීමෙන් ලැබෙන මුදල සාමාන්‍යයෙන් බෙදීයන්නේ පහත පරිදිය.

ලේඛකයා 10%
ප්‍රකාශකයා 50%
අතරමැදි අලෙවිකරුවා 40%

මේ විග්‍රහය තුළ පාඨකයා නැත. කෙසේ වුවද, පාඨකයාද මේ සමස්ත ව්‍යාපෘතියේ කොටස්කරුවෙකි.

පළමුව අපි පොත් ප්‍රකාශනයේදී පොතක් වෙළඳපොලට සැපයීම සඳහා දායක වන පාර්ශ්ව තුනම එක් ඒකකයක් ලෙස සලකමින් මේ තිදෙනාටම ලබා ගත හැකි මුළු මුල්‍ය ලාභය ගැන සලකමු. ගොඩවල් තුනට කුමන අයුරින් හෝ බෙදෙන්නේ මේ ලාභයයි.

සැපයුම් පාර්ශ්වකරුවන්ගේ ශ්‍රමය හා වක්‍ර වියදම් ඉවත් කළත් පොත මුද්‍රණය කිරීමට සෘජුව වැයවෙන කඩදාසි, තීන්ත, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය බලශක්තිය ආදිය මුද්‍රණය කරන පිටපත් ගණන අනුව වෙනස් වන විචල්‍ය පිරිවැයකි. එක් පොතක් 'නිෂ්පාදනය කිරීම' සඳහා මෙසේ වැයවෙන විචල්‍ය පිරිවැයට වඩා අඩුවෙන් පොතක් විකිණිය නොහැක.

අනෙක් අතට පොතක අවසාන වටිනාකම තීරණය කරන්නේ එය 'පරිභෝජනය කරන' පාඨකයාය. එක් එක් පාඨකයාට එකම පොතේ ඇත්තේ වෙනස් වටිනාකම්ය. මේ වටිනාකම පොතේ මිලට වඩා වැඩිනම් යමෙක් පොතක් මිලදී ගනු ඇත. මේ අනුව, පොතක් විකිණිය හැකි උපරිම මිල ඒ සඳහා කිසියම් පාඨකයෙකු ලබා දෙන වැඩිම වටිනාකමයි.

මේ අනුව පොතක මිල වියයුත්තේ එහි විචල්‍ය නිෂ්පාදන පිරිවැය සහ පාඨකයකුගෙන් ඒ සඳහා ලැබෙන වටිනාකම අතර අගයකි.

තිලකසිතේ මිල ලංකාවේදීනම් රුපියල් 400කි. මේ පොතට මා ලබාදෙන වටිනාකම මෙයට වඩා වැඩිය. මේ පොතම කප්රුකේ විකිණෙන්නේ ඇමරිකානු ඩොලර් 4.73ක මුදලකටය. මෙය රුපියල් 650ක පමණ මුදලකි. තිලකසිත අයිති කර ගැනීම සඳහා මේ මුදල ගෙවීමටද මා සූදානම්ය. එහෙත් මේ පොත අන්තර්ජාලය හරහා ගෙන්වා ගැනීමට යන තැපැල් ගාස්තුව එක් වූ විට පොතේ මිල රුපියල් දෙදහස ඉක්මවයි. මේ මිල මා අධෛර්යය කරවන්නකි.

මා තිලකසිත වැනි සාහිත්‍ය කෘතීන් සඳහා දායක වී නැති නමුත් පොත් දෙකක් සඳහා දායකත්වය සපයා තිබේ. මේ පොත් දෙකෙන් එකකවත් මුද්‍රිත පිටපත් මා සතුව නැත්තේ ඒ පොත් මිල දී ගැනීමට මා වැය කළ යුතු වූ මුදල පොතක මුද්‍රිත පිටපතක් සඳහා මා ලබාදුන් වටිනාකමට වඩා වැඩි වූ නිසාය. එක්තරා ආයතනයක සේවය කරද්දී තවත් ලේඛිකාවන් දෙදෙනෙකු සමඟ ලියා, සෝදුපත් බලා අවසන් කළ මෙයින් එක් පොතක් මුද්‍රණයෙන් පිටවී ඇති බව අහම්බෙන් මා දැනගත්තේ ශ්‍රී ලංකාව හා අදාලව ලියවුනු පොත් පිළිබඳව ඇමරිකානු විශ්ව විද්‍යාලයක පුස්තකාල වෙබ් අඩවියේ අන්තර්ජාල සෙවීමක් කරද්දීය. රුපියල් 300කට මිල කර තිබුණු මේ පොත ඇමරිකානු ඩොලර් තුනකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සඳහා තැපැල් ගාස්තු ලෙස තවත් ඩොලර් පහළොවක් ගෙවිය යුතු වීම නිසා ලංකාවෙන්ම පොත ගැනීමට සිතා වැඩේ අතහැරියත් මා ලංකාවට යනවිට එහි එක් පිටපතක් හෝ නොවිකිණී ඉතිරිව තිබුණේ නැත.

තිලකසිතේ විචල්‍ය පිරිවැය රුපියල් 200ක් යැයි අපි සිතමු. රුපියල් 400කට මේ පොත විකිණීමෙන් රුපියල් 200ක ලාභයක් ලැබේ. (ඇත්තටම මෙය නියම 'ආර්ථික' ලාභය නොවේ. අපි දැනට එසේ සිතමු.) පොත් 1000ක් විකිණුවහොත් මුළු ලාභය රුපියල් 200*1000 = 200,000කි.

රුපියල් 400 පොතේ 'නියම' මිලයැයි අපි සිතමු. තිලකසිතට රුපියල් 500ක් ගෙවීමට වුවද කැමති මා වැනි අය සිටිති. එසේනම්, පොතේ මිල ඉහළ නංවා ලාභය වැඩි කර ගත නොහැකිද?

මෙය කළ නොහැක්කේ ලාභය නිෂ්පාදකයාට තනිව තීරණය කළ නොහැකි දෙයක් බැවිනි. තිලකසිතේ වටිනාකම රුපියල් 400ට වැඩියැයි සිතන අය 1000ක් සිටිති. ඒ නිසා ඒ මිලට පිටපත් 1000ක් විකිණිය හැකිය. එහෙත් මේ පාඨකයෝ සියළු දෙනාම පොතේ වටිනාකම රුපියල් 500කට වඩා වැඩියැයි නොසිතති. එසේ සිතන පිරිස 600ක් යැයි සිතමු. දැන් එක් පොතකින් ලාභය රුපියල් 300ක් වුවත් මුළු ලාභය රුපියල් 300*600 = 180,000ක් පමණි. ඒ නිසා පොතේ මිල වැඩිකිරීමෙන් ලාභය වැඩි කරගත නොහැක.

එතකොට අඩුවට දුන්නොත්? පොත රුපියල් 300කට විකිණුවහොත් එක් පොතකින් ලාභය රුපියල් 100ක් පමණි. එහෙත් පොත් වැඩි ප්‍රමාණයක් අලෙවි කර ගත හැකිය. මිල රුපියල් 300ක් දක්වා අඩු කළ විට පොතේ වටිනාකම රුපියල් 300 සිට 400 දක්වා වූ  මුදලක් ලෙස සිතන පාඨකයින්ද තිලකසිත මිල දී ගනු ඇත. මේ පිරිස අඩුවශයෙන් 1000ක්නම් මිල අඩුකිරීමෙන් ලාභය වැඩි වේ. එසේ නැත්නම් මිල අඩුකිරීම අවාසිදායකය. පොතේ මිල රුපියල් සියයකින් අඩුකළ විට එය මිල දී ගැනීමට සූදානම් පිරිස දෙගුණයක් වේයැයි සිතීම අපහසුය. ඒ නිසා ලාභය අඩුවනු ඇත.

රුපියලක් වැනි සුළු ගණනකින් මෙසේ මිල වැඩි කළත්, අඩු කළත් ලාභය වැඩි නොවේනම් ඒ මේ පොතේ 'නියම' මිලයි.

මෙතෙක් සරලව කතා කළත් පොතේ 'ලාභය' පාර්ශ්ව තුනක් අතර බෙදේ. මේ මුළු ලාභය තීරණය වන්නේ පොතට වටිනාකමක් දීමට සිටින පාඨකයින් ගණන අනුවය. සිංහල නොදන්නා අයෙකුට සිංහල පොතක වටිනාකමක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා සිංහල පොතකට වටිනාකමක් දිය හැකි අය සොයන්නට වෙන්නේ සිංහල කියවන පිරිස් අතරෙනි. මේ අය පොතේ අන්තර්ගතයටද කැමති විය යුතුය.

පොතක අන්තර්ගතය එකම වුවත් ඉංග්‍රීසියෙන් ලියවුනු පොතකට වටිනාකමක් දීමට සූදානම් පිරිස එවැනිම සිංහල පොතකට වටිනාකමක් දෙන පිරිසට වඩා බොහෝ වැඩි නිසා ඉංග්‍රීසියෙන් ලියන කෙනෙකුට ලාභ ලැබීමට වැඩි ඉඩකඩක් ඇත. සිංහල භාෂාවට වඩාත්ම සමාන උතුරු ඉන්දීය බස සේ මා සලකන වංග බසින් ලියවෙන පොත් කියවන්නට සිටින පිරිස සිංහල පාඨක පිරිස මෙන් 13 ගුණයකි. වංග සාහිත්‍යය සිංහල සාහිත්‍යය අභිබවා ඉදිරියට යාමට ප්‍රධානම හේතුව මේ සාධකයයි. පාර්ශ්වකරුවන් අතර කවර ආකාරයෙන් බෙදාගන්නට හෝ සිංහල පොතකින් ලැබෙන්නේ සීමිත ලාභයකි.

පොත් ප්‍රකාශකයෙකු කරන්නේ සාපේක්ෂව සරල නිෂ්පාදන කාර්යයකි. එමෙන්ම, මූලිකවම මුද්‍රණ කරුවෙකු වන 'අත්පිටපත් අමුද්‍රව්‍ය ලෙස ගන්නා මුද්‍රිත පොත් නිෂ්පාදකයෙකුට' කළ හැකි එකම කටයුත්ත පොත් නිෂ්පාදනය නොවේ. පෝස්ටර්, ප්‍රචාරක පත්‍රිකා වැනි බොහෝ මුද්‍රණ විකල්ප ඔහු සතුය. මුද්‍රණ තාක්ෂනය ඉගෙන ගැනීමට බොහෝ සේ අපහසු තාක්ෂණයක්ද නොවේ. මේ නිසා අවශ්‍ය ප්‍රාග්ධනය ඇති අයෙකුට මුද්‍රණ කර්මාන්තයට ඇතුළු වීමට විශාල බාධකයක් නැත. මුද්‍රණ කර්මාන්තයෙන් විශාල ලාභ ලැබිය හැකිනම් බොහෝ දෙනා මේ කර්මාන්තයට අලුතින් එක් වනු ඇත. එසේ එක් නොවන්නේ එවැනි අධික ලාභ මෙහි නොමැති නිසාය. අනෙක් අතට මුද්‍රණකරුවෙකුට කියවීම ප්‍රවර්ධනය කිරීම සඳහා පාඩුවට පොත් මුද්‍රණය කර දී සතුටක් ලබන්නට තර්කානුකූල හේතුවක්ද නැත. මේ නිසා මගේ අදහස පරිදි ලංකාවේ පොත් ප්‍රකාශකයෙකු ලබන්නේ කර්මාන්තය සඳහා යොදවන සම්පත් වෙනුවෙන් ලැබිය යුතු 'නියම' ලාභයයි.

නලින් සඳහන් කර ඇති පරිදි පොතක මිලෙන් 50%ක් ලබා ගන්නා පොත් ප්‍රකාශකයෙකුගේ මුද්‍රණ වියදම පොතේ මිලෙන් 40%ක් පමණ වේ. මෙය එපමණ  වියයුතු බව මගේද අදහසයි. මේ අනුව, රුපියල් 400කට මිල කෙරෙන පොතක විචල්‍ය පිරිවැය ඉවත් කළ විට ප්‍රකාශකයාට රුපියල් 40ක්, එනම් පොතේ මිලෙන් 10%ක්, ඉතිරි වේ. පොත් මුද්‍රණයේදී ප්‍රකාශකයා විශේෂ අවදානමක් නොගනී. බොහෝ විට පොත් මුද්‍රණයට පෙර ප්‍රකාශකයා අත්තිකාරම් මුදලක් ලබා ගනු ඇති බවත්, මුද්‍රිත පොත් බැහැර දීමට පෙර ඉතිරි මුදලද අය කර ගනු ඇති බවත් මගේ උපකල්පනයයි. එසේනම්, මේ රුපියල් 40 ප්‍රකාශකයාගේ ලාභයද?

මෙය ප්‍රකාශකයාගේ ගිණුම්කරණ ලාභය විය හැකිය. එහෙත්, මෙය ඔහුගේ හෝ ඇයගේ ආර්ථික ලාභයනම් නොවේ.

විචල්‍ය පිරිවැය හැරුණු විට ප්‍රකාශකයා දරන ස්ථිර පිරිවැය තිබේ. මුද්‍රණාලය පිහිටි ගොඩනැගිල්ලේ කුලිය, විදුලි බිල්, දුරකථන බිල් ආදිය ගෙවිය යුතුය. මුද්‍රණ යන්ත්‍ර ගැනීමේදී බැංකු ණය ලබාගෙන ඇත්නම් ඒ සඳහා පොලිය ගෙවිය යුතුය. මුද්‍රණ කාර්යයට කෙලින්ම සම්බන්ධ නොවන පිළිගැනීමේ නිලධාරිනියන් වැනි අයගේ වේතනද ඇතුළුව සියළු වේතනද ගෙවිය යුතුය. මේ සියළු වියදම් වලට අමතරව ඔහු හෝ ඇය වැය කරන තමන්ගේ ශ්‍රමයේ වටිනාකම සඳහාද කිසිවක් ඉතිරි නොවේනම් මේ බිස්නස් එක කිරීමෙන් වැඩක් නැත. විචල්‍ය පිරිවැය ඉවත් කළ විට ඉතිරිවන රුපියල් 40 ප්‍රමාණවත් වන්නේ යන්තමින් මේ වියදම් පියවා ගැනීමට පමණි. ඉතිරි වන යම් මුදලක් ඇත්නම් ඒ තමන්ගේ ශ්‍රමයේ වටිනාකමයි. මේ අනුව ගිණුම්කරණ ලාභය කෙසේ වෙතත් ප්‍රකාශකයා ආර්ථික ලාභයක් නොලබයි.

තරඟකාරී වෙළඳපොලක ව්‍යාපාරයක් කිරීමෙන් ආර්ථික ලාභයක් ලැබිය නොහැක. ව්‍යාපාරයෙන් අතට කිසිම මුදලක් නොලැබෙන බව එයින් අදහස් නොකෙරේ. මුදලක් ලැබේ. එහෙත් ඒ මුදල දීර්ඝකාලීනව තමන්ට වෙනත් තැනක වැඩකර ලබාගත හැකි වැටුපේත්, ආයෝජනය කර ඇති මුදල වෙනත් තැනක ආයෝජනය කර ලබා ගත හැකි පොලියේත්, ගොඩනැඟිල්ල තමාගේමනම් එය වෙනත් අයෙකුට කුලියට දීමෙන් ලබාගත හැකි කුලියේත් එකතුවට වඩා විශාල ලෙස වෙනස් විය නොහැක.

කෙසේ වුවද, කෙටිකාලීනව යම් කර්මාන්තයකින් මෙවැනි 'සුපිරි' ලාභයක් ලැබීමට බැරිකමක් නැත. මේ කර්මාන්තය රජයේ නියාමනයට යටත් නැත්නම් සහ වෙනත් කෙනෙකුට ඉගෙන ගත නොහැකි තරමට මෙහි තාක්ෂනය සංකීර්ණ නැත්නම් (සහ වෙනත් එවැනි කරුණු සමහරක් නිසා නොවේනම්) මේ  'සුපිරි' ලාභය දකින වෙනත් අය මේ කර්මාන්තයට ආකර්ශනය වනු ඇත. එවිට තරඟකාරීත්වය වැඩිවී ලාභය අඩුවනු ඇත. අවසානයේදී, මේ කර්මාන්තය අලුතෙන් පිවිසෙන්නෙකුට ආකර්ෂණීය නොවී යනු ඇත.

ඇතැම් කාල වල රැල්ලට සිදු වූ පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ, චීන අවන්හල් සහ කමියුනිකේෂන් ආයෝජනයන් ටික කලකින් නැවතී ගියේ මේ අනුවය.

ප්‍රකාශකයා සුපිරි ලාභයක් නොලබයි. එසේනම් ලේඛකයා?

ලංකාවේ සාමාන්‍යයෙන් ලේඛකයින් ලාභ නොලබන බව පොදු මතයයි. මෙය වැරදි අදහසක් නොවන බවට හොඳම නිදසුන බොහෝ සිංහල ලේඛකයින් වෘත්තීය ලේඛකයින් නොවීමයි.

රසිකගේ සිවු වසරක් මරදානේ පොත අලෙවිකර ඇත්තේ රුපියල් දෙසීයකටය. (මේ ගණන් නිවැරදි නොවූවත් එයින් මා කියන කරුණ වෙනස් වන්නේ නැත.) ඉහත සුත්‍රය අනුව පොතකින් රසිකට රුපියල් 20ක් ලැබේ. පොත් 1000ක් විකිණුවහොත් රුපියල් 20,000කි. මේ රසිකගේ ලාභයද?

මෙය රසික බදු ගෙවීමේදී පෙන්විය යුතු ඔහුගේ ගිණුම්කරණ ලාභය විය හැකිය. එහෙත්, මේ ඔහුගේ ආර්ථික ලාභය නොවේ.  ආර්ථික ලාභය ගණනය කිරීමට මේ ලාභයෙන් ඔහුගේ ආවස්ථික පිරිවැය අඩු කළ යුතුය. මේ පොත ලිවීම සඳහා ගත කළ කාලය වෙනත් වැඩකට යෙදවූවානම් ඔහුට උපයාගත හැකිව තිබුණු වැඩිම මුදල කීයද?

පොත් ලියා, පුත්තු හැදුවාට ගස් හිටවා නැති රසික මේ කාලය ඇපල් ගස් කිහිපයක් හිටවීමට යෙදවූවානම් ඔහුට නොමිලේ ශාරීරික ව්‍යායාම සමඟ ඇපල් විකුණා ගාණක් හොයා ගැනීමට හැකිවනු ඇත. මේ ගණන රුපියල් 20,000ට වැඩිදැයි මා දන්නේ නැත. මේ කාලය උපදේශන සේවා සැපයීමක් වැනි වෙනත් කටයුත්තකට යෙදවූවානම් ඔහුට ඉහත මුදලට වඩා මුදලක් උපයා ගැනීමට තිබිණි. මෙය රසිකට පමණක් නොව පොත් ලියා ඇති තිලකේ, කුරුටු වැනි වෙනත් අයටත් මේ ආවස්ථික පිරිවැය සහ එයින් වන පාඩුව සලකා වැඩේ අතහැර දමන මාතලන් වැනි අයටත් පොදුය. මේ අනුව, බොහෝ ලේඛකයින් පොත් ලියන්නේ අතින් කයිට් කරගෙනය. ඒ ඇයි?

ලේඛකයෙකු පොත් ලියන්නේ පොත විකිණීමෙන් ලැබෙන මුදල් ලාභය පමණක්ම බලාගෙනනම් ඔහු හෝ ඇය කළ යුත්තේ වැඩිම ඉල්ලුමක් ඇති වර්ගයක පොතක් ලිවීමයි. එසේ කරන ලේඛකයෝද සිටිති. උදාහරණයක් ලෙස 'මල්' පොත් වලට පසුගිය දශක කිහිපයේම හොඳ ඉල්ලුමක් තිබුණේය. මේ පොත් විකිණීමෙන්නම් ලේඛකයින් පාඩුවක් නොලබන්නට ඇත.

කෙසේ වුවද, තිලකේ හෝ රසික ලියා ඇත්තේ මල් පොත් නොවේ. ඒ ඇයි?

මෙතැනදී වෙන්නේ තරමක් සංකීර්ණ දෙයකි. තිලකේ සහ රසික වැනි අය එකවරම නිෂ්පාදකයෝද, පාරිභෝගිකයෝද වෙති. ඔවුහු පොත් විකිණීමෙන් කිසියම් මුදල් ලාභයක් බලාපොරොත්තු වෙති. එමෙන්ම, තමන් කැමති දෙයක් ලිවීමෙන් සහ එය වෙනත් අය කියවනු සහ අගය කරනු දැකීමෙන් ලබන සතුට තුලින් පාරිභෝගිකයෝද වෙති. මෙසේ තමාගේම නිෂ්පාදනයට වටිනාකමක් දෙමින් ඔවුහු එහි 'මිල' ගෙවති. මෙහිදී පොත් ලියා විකිණීමේ සමස්ත ක්‍රියාදාමය තුල ලබන මුල්‍ය පාඩුවට වඩා ඔවුන් පාරිභෝගිකයින් ලෙස ලබන තෘප්තිය ඉහළය. ඔවුන් දන්නා කියන අයට පාඩුපිට පොත් නොමිලේ බෙදන්නේත්, ඒ පොත් නොකියවා පැත්තකට විසි කර තිබෙනු දැක පසුතැවෙන්නේත් ඒ නිසාය. නොකියවන එකා සල්ලි එක්ක දුන්නත් නොකියවන බව කණගාටුවෙන් කියන්නේ ඒ නිසාය.


ඇත්තටම සල්ලි එක්ක පොත් දීමෙන් පොත් නොකියවන අය පොත් කියවීමට පෙළඹවීම බැරි දෙයක් නොවේ. හැබැයි ටිකක් වැඩිපුර දිය යුතුය. කිසියම් පොතක් විභාගයක් සඳහා නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් වූ විට එය මිලදී ගැනීම මෙන්ම කියවීමද විශාල ලෙස වැඩි වන්නේ ඒ නිසාය. මෙහිදී ලැබෙන මුදල විභාගය සමත් වූ පසු හොඳ රැකියාවක් ලැබීමෙන් ඉහළ යන අනාගත ආදායමයි. විභාග වලට පොත් නිර්දේශකර ගැනීම සඳහා අතයටින් මුදල් මාරු වීමද මෙයට සම්බන්ධ දෙයකි.


මෙසේ තමාගේ සතුට වෙනුවෙන් ලිවීම දුලභ දෙයක් නොවේ. බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ ජෝජ් මැක්ෆ්ලයි විද්‍යා ප්‍රබන්ධ ලියා ඒවා කිසිවෙකුට නොපෙන්වන්නේ ඔහු මෙහිදී පාරිභෝගිකයෙකු පමණක් වන නිසාය. ඔහුට නිෂ්පාදකයෙකුද විය හැකි බව කියාදෙන්නට ඔහුගේ අනාගත පුතු වන මාටිට කාලය හරහා පැමිණීමටම සිදුවන්නේ පාරිභෝගිකයෙකු ලෙස ඔහු ලබන සතුට ඉතා විශාල නිසාය. ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිධරයෙකු වන හඳගම පාඩුවට චිත්‍රපට හදන්නේ මේ නිසාය. බොහෝ දෙනා බ්ලොග් ලියන්න්නේත් මේ නිසාය.

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු මූලික උපාධියක් හෝ පශ්චාත් උපාධියක් හැදෑරීම වෙනුවෙන් කාලය සහ මුදල් යොදවන්නේ අනාගතයේදී ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් ආයෝජනයක් වශයෙනි. එහෙත්, පශ්චාත් උපාධි තුන හතරක් ඇති කෙනෙකු තවත් එකක් කිරීමෙන් එවැනි වාසියක් නොලැබේ. මෙහිදීද සිදුවන්නේ අධ්‍යාපනය ලැබීම පරිභෝජන භාණ්ඩයක් වීමයි.

අවසාන වශයෙන් සිටින්නේ පොතේ මිලෙන් 40%ක් ඩැහැගන්නා අතරමැදියාය. මේ අතරමැදියා සුපිරි ලාභයක් ලබනවාද?

අතරමැදියන්  'අයුතු' හෝ 'අසාධාරණ' ලාභයක් ලබන්නේය යන්න ජනප්‍රිය අදහසකි. මෙයට එක් හේතුවක් වන්නේ අතරමැදියෙකුගේ 'ලාභය' නිෂ්පාදකයෙකුගේ හෝ පාරිභෝගිකයෙකුගේ ලාභයට වඩා පාරදෘශ්‍ය වීමයි. අතරමැදියාගේ කාර්යය වන්නේම නිෂ්පාදකයකුගෙන් අඩුමිලට ලබා ගන්නා භාණ්ඩයක් වැඩිමිලට විකිණීම නිසා මේ දෙක අතර වෙනස පැහැදිලි වුවත් අතරමැදියෙකුගේ වියදම් ඒ තරමටම පැහැදිලි නැත.

පොත් වෙළඳාමේදී අතරමැදියා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මට ඇත්තේ දළ අදහසක් නිසා පහත ඇතැම් වියදම් අදාළ නැති විය හැකි වුවත් මා සිතන පරිදි ලේඛකයාට සහ ප්‍රකාශකයාට සාපේක්ෂව සාමාන්‍යයෙන් අතරමැදියෙකුගේ වියදම් සකස් වනු ඇත්තේ මෙසේය.


-අතරමැදියෙකු භාණ්ඩයක් මිලදී ගැනීමේදී මුදලක් ආයෝජනය කළ යුතුය. රුපියල් 200කට මිල කෙරෙන පොතක් වෙනුවෙන් මේ ආයෝජනය ප්‍රකාශකයාට ගෙවන මුදල රුපියල් 100ක් යැයි සිතමු. පොත විකිණුනොත් ලේඛකයාට රුපියල් 20ක් ගෙවා ඉතිරිය අතරමැදියාට ළඟ තබා ගත හැකිය. නොවිකිණුනොත්? එවිට අතරමැදියාට තමා අපේක්ෂා කළ ලාභය පමණක් නොව ආයෝජනය කළ මුදලද ආපසු නොලැබේ. සාපේක්ෂව, ප්‍රකාශකයාට සහ ලේඛකයාට සාමාන්‍යයෙන් මෙවැනි ආයෝජනය අහිමිවීමේ අවදානමක් නැත.

-භාණ්ඩය විකිණෙන තුරු මෙසේ ආයෝජනය කර ඇති මුදල වියදමකි. ඒ මුදල බැංකු ගිනුමක තබා ගැනීමෙන් ලැබෙන පොලිය අතරමැදියා නැති කර ගනී.

-භාණ්ඩයක් ගබඩා කර තබා ගැනීම වියදම් යන වැඩකි. නොවිකිණෙන පොත් වට්ටම් දී 'කීයකට හෝ' විකුණා දමන්නේ ඒ නිසාය.

-මෙයට අමතරව අතරමැදියා දරන ස්ථිර වියදම් බොහෝය. මෙය ප්‍රකාශකයාගේ වියදම් ගැන කතා කරද්දී විස්තර කළ දේවලට සමානය.


කෙසේ වුවද, මේ සියළු වියදම් පියවා ගැනීමට පොතක මිලෙන් 40%ක් අවශ්‍යද යන ප්‍රශ්නයට පිළිතුරක් මෙහි නොමැති බැවින් ඒ පිළිතුර සොයා ගත යුතු වන්නේ වෙනත් නිරීක්ෂණ තුලිනි.

පොත් වෙළඳාමේ අතරමැදියකු වීමට සුවිශේෂී හැකියාවක් අවශ්‍ය නොවේ. ආයෝජනය සඳහා අවශ්‍ය මුදල් තිබීම ප්‍රමාණවත්ය. එමෙන්ම, එවැනි මුදලක් ඇති අයෙකුට පොත්ම විකුණන්නට අවශ්‍යතාවක් නැත. ගෘහ විද්‍යුත් උපකරණ, නිමි ඇඳුම් වැනි වෙනත් දෙයක්ද විකිණීමට පුළුවන. පොත් වෙළඳාමෙන් සුපිරි ලාභයක් ලැබිය හැකිනම් බොහෝ දෙනා මේ ව්‍යාපාරයට අළුතින් එකතු විය යුතුය. එහෙත්, පොත් වෙළඳාමේ අතරමැදියන් අතර පසුගිය දශක කිහිපය තුළ බිහිවුණු එවැනි 'වීර චරිත' නැත.

පොත් වෙළඳාමෙන් පසුගිය කාලයේදී ව්‍යාපාරික දැවැන්තයින් බිහි වී නැතත්, එවැනිම වෙනත් අංශ වල අතරමැදියන් වූ ව්‍යාපාරික දැවැන්තයින් පසුගිය කාලයේ බිහිවී තිබේ. හොඳම උදාහරණය නිමි ඇඳුම් වෙළඳාමයි.

මැද පෙරදිග සුළු රැකියාවක් කර ඉතිරි කරගන්නා මුදලක් ආයෝජනය කර නුවරඑළිය පොළේ බඩු විකුණන මුබාරක්ට ප්‍රංශ මුළු වලින් එළියට පැමිණ සීමා අතික්‍රමණය කරන්නට පුළුවන. ගෙදර ඉස්තෝප්පුවෙන් එළියට බහින සුමනපාලට සහ ධර්මලතාට ගාලු කොටුවේ බැම්ම උඩින් පියඹා කොළොම්තොට කූඩු හදන්නට පුළුවන. වැල්ලවත්තේ පදික වේදිකා පියමං කර ඩුප්ලිකේෂන් පාර හරහා පැමිණෙන ප්‍රීතිට සහ නීලාට දකුණු ආසියාවේම ලොක්කෙකු වන්නට පුළුවන. මෝටර් රථයේ ඩිකියෙන් එළියට බහින ඔටාරාගේ අයියා ඒ වන විටත් දැවැන්තයෙකු වී සිටීම නිසා ඇගේ කතාව වීර කාව්‍යයක් නොවන්නේ නැත. තිලකවර්ධනලා සහ සුබියාන්ලා ඇතුළු මේ ගොඩට දැමිය හැකි වීරයෝ තවත් බොහෝ සිටිති.


මේ අය මෙසේ ඉහළට මතුවුණේ ඔවුන්ගේ ව්‍යාපාරික දක්ෂතාවය නිසායැයි යමෙකු කිවහොත් එය බොරුවක් නොවේ. ඔවුන් සියළු දෙනාටම 'සුපිරි ලාභ' ඇති තැන අනිත් අයට කලින් අල්ලා ගැනීමේ 'ඉව' තිබුණේය. මේ අය පොත් විකිණීමට නොසිතා ඇඳුම් වැඩේට බහින්නේ ඒ නිසාය. එමෙන්ම, තමන්ගේ පාරිභෝගිකයන් හඳුනාගැනීමේ හැකියාවද මේ අය සතු විය. ප්‍රීති, නීලමනී සහ සුජීව වැල්ලවත්තෙන් ඩුප්ලිකේෂන් පාරට එන විටත් තමන්ගේ පාරිභෝගිකයින්ට ෆිටෝන් කාමරයකින් නිසි ප්‍රයෝජනය පමණක් ගැනීමට ඇති සංයමය පිළිබඳව නිවැරදි තක්සේරුවක් ඔවුන්ට තිබුණේය. එහෙත්, මූලික කරුණනම් නිමි ඇඳුම් වෙළඳාමේ අතරමැදියෙකුට ලබා ගත හැකි  'සුපිරි ලාභ' තිබීමයි. මේ ක්ෂේත්‍රයේ සුපිරි ලාභ තවමත් පිරිහී නොමැති බව මගේ අදහසයි.

පොත් ක්ෂේත්‍රයේනම් මෙවැනි තත්ත්වයක් යාන්තමින්වත් පෙනෙන්නට නැත. ඒ පොත් වෙළඳාමෙන් අතරමැදියා සුපිරි ලාභයක් නොලබන බැවිනි. එසේ වුවද ඔවුන් පාඩුවක්ද නොවිඳ නිසි ලාභයක් ලබති. දිගුකාලීනව ව්‍යාපාරය අත් හැර නොයන්නේ ඒ නිසාය.

සිංහල කියවන්නන්ගේ ප්‍රමාණය විශාල නොවීමේ පාඩුව ප්‍රකාශකයා හෝ අතරමැදියා නොදරන බැවින් අවසාන වශයෙන් එය දරන්නට වෙන්නේ ලේඛකයින්ටය. කෙටිකාලීනව මේ වෙළඳපොළ පුළුල් වන බවක් පෙනෙන්නට නොමැති නිසා මුදල් ලාභයම සලකා 'විකිණෙන පොත්' ලිවීමට නොසිතන ලේඛකයින්ට තවත් කාලයකට මේ කටයුත්තට දායක වීමට සිදුවනු ඇත්තේ මුදල් ලාභ ගැන ලොකු බලාපොරොත්තුවකින් තොරව තමන්ගේම සතුට වෙනුවෙනි.

(මෙයට පෙර මා ලියූ සටහන කිසියම් තාක්ෂණික හේතුවක් නිසා සින්ඩි වල සහ රෝල් වල අප්ඩේට් වුණේ නැත.)

(Photo credit: archives.dailynews.lk)

Tuesday, September 8, 2015

මා ප්‍රාග්ධනය උපයාගත් හැටි...

සරල, නිහතමානී පුද්ගලයෙකු ලෙස හැඳින්විය හැකි මගේ පියාගේ මට වැඩිපුර ඇල්ලුවේ නැති එක් දෙයක් වූයේ වරින් වර දාන ලොකු ටෝක්ය. මෙවැනි සමහර ප්‍රකාශ ලොකු ටෝක් ලෙස තීරණය කර තිබීම ඇත්තටම මගේ අවබෝධයේ අඩුකමක් බව මට තේරුණේ බොහෝ කලකට පසුවය.

මා කුඩා කළ මෙසේ ඔහු නිතර නිතර දැමූ එක් ලොකු ටෝක් එකක් වූයේ මහා ගොඩක් නොවූ  සිය දෙමවුපියන්ගේ ඉඩකඩම් දේපොළ ඔහුගේ පවුලේ දරුවන් අටදෙනෙකු අතර බෙදන සුවිශේෂී අවස්ථාවේදී ඔහුට වඩා වැඩිමහළු සොයුරන් අසාධාරණ හා ආත්මාර්ථකාමී ඉල්ලීම් වෙනුවෙන් සටන් කරද්දී මගේ පියා වීරයෙකු මෙන් සිදුකළ "අයියණ්ඩිය, බිය නොවන්න!" මාදිලියේ ප්‍රකාශයයි. ඔහු නිතර නිතර කියූ පරිදි "දෙමවුපියන්ගේ දේපොළ සත පහක්වත් එපා!" කියමින් ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන් සමඟ වූ කිසියම් නොමනාපයක් නිසා නොවේ. ඔහු කිසිදා මේ තීරණයට හේතුව පැහැදිලි කළේ නැතත් සැබෑ හේතුව සිය දෙමවුපියන්ගෙන් මූල්‍ය ස්වාධීනත්වය ලබා ගැනීමට වූ අවශ්‍යතාව බව මගේ අදහසයි.

කෙසේ හෝ මේ කතාව නිතර ඇහෙද්දී, කාටවත් නොකිවුවත්, මාත් හිතාගත්තේ මගේ පියාගේ දේපොළ බෙදන දවසට මාද මෙවැනි ප්‍රකාශයක් කර වීරයෙකු වන බවයි. ඒත් පොඩි පරහකුත් තිබුණේය.

මගේ පියා දඬුවම් මාරු සහ එසේ නොවන සාමාන්‍ය ස්ථාන මාරු ලබමින් මා ඔහුත් සමඟ ගතකළ වසර දහඅට තුළ පදිංචිය වෙනස් කළ අවස්ථා දහතුනෙන් මට මතක නැති මුල් අවස්ථා තුන ඉවත් කළ විට ඉතිරි අවස්ථා වලදී වඩාත්ම සැලකිල්ලෙන් ප්‍රවාහනය කළ ලොකු තොම්සන් බිත්ති ඔරලෝසුව, පියාගේ දේපොළ එපා කිවුවත් ඔහුගේ පියාගෙන් ලබා ගෙන තිබුණු කැටයම් දැමූ පතරොම් තුවක්කුව වගේම යුනික් රේඩියෝව වැනි වටිනා වස්තු අමාරුවෙන් වුවත් අමතක කළ හැකි විය. එහෙත් ඔහුගේ පොත් රාක්කයේ ඇති පොත් වලින් ලොකු පොත් කිහිපයක්නම් නොගෙන ඉන්නට හිත හදා ගැනීම පහසු කටයුත්තක් වුනේ නැත.

මගේ පියා සතුව තිබුණු වටිනාම ද්‍රව්‍යමය දේපොළ වූයේ ඔහුගේ මේ ප්‍රකාශන එකතුවයි. මෙය පුළුල් විෂය පරාසයක පැතිරුණු පොත් එකතුවක් නොවූ අතර බොහෝ දුරට ඔහු විසින් උනන්දුවක් දැක්වූ විෂය ක්ෂේත්‍ර කිහිපයකට සීමා විය. මේ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අළුත් හෝ පැරණි පොතක් ගැන දැනගත් විට එය කෙසේ හෝ අයිති කරගන්නා තුරු ඔහුට ඉවසිල්ලක් තිබුණේ නැත.

පඩි දිනයේ දියර වර්ග රැගෙන නොආවත් පොත් කිහිපයක්නම් ඔහු නොවරදවා රැගෙන ආවේය. මෙයට අමතරව සෑම සතියකම ඉරිදා පත්තර කිහිපයක් සහ සතිපතා පත්තර කිහිපයක්ම මිල දී ගැනීමට ඔහු වැය කළ මුදල අපේ පවුලේ මුළු ආදායම සැලකූ විට විශාල මුදලකි. ඇතැම් පුවත්පත් වල මංගල කලාපයේ සිට සියළුම කලාප ඔහු සතුව තිබුණේය.

ටික ටික ලොකු වෙන විට පොඩි කාලේ ඇති පොඩි තණ්හාවල් ලොකු තණ්හාවල් බවට පත් වේ. මේ ධර්මතාවය අනුව මට ලොකු වී මගේ පියාට වඩා ලොකු පෝසතෙක් වීමටත් අවශ්‍ය විය. ඒ සඳහා ඔහු සතු පොත් ගොඩ පරදවන ලොකු පොත් ගොඩක් අවශ්‍ය වේ. ඒ පොත් තියන්නට ලොකු පොත් රාක්කයක්ද අවශ්‍ය වේ. එවිට මටත් පොර සේ ඔහුගේ දේපොළ කිසිවක් අවශ්‍ය නැති බව කියන්නට පුළුවන. මේ වැඩේ කළ යුත්තේ පියාගේ උදවු නොලබමිනි.

රොබට් කියෝසාකි කියා ඇති විදිහට ආයෝජනය පටන් ගත යුත්තේ හැකි තරම් කුඩා කාලයේදීය. පොඩි පරහකට තියෙන්නේ ආයෝජනය කිරීමට මුදල් අවශ්‍ය වීමයි. වයස අවුරුදු එකොළහක් වෙන තුරු එවැනි ස්ථිර ආදායම් මාර්ගයක් මට තිබුණේ නැත. කළ හැකි වූ එකම දෙය නිවසට එන නෑදෑයෙකු "ටොපී කෑමට" අතේ මිට මොළවන මුදල් එකතු කර පොතක් මිල දී ගැනීමයි.

එසේ වුවත්, මගේ වයස අවුරුදු නවයකට ආසන්න වෙද්දී සිදුවූ පදිංචිය වෙනස් වීමක් සමඟ අර්ධ කාලීන රැකියා කර කිසියම් මුදලක් සොයා ගැනීම සඳහා අවස්ථා කිහිපයක් උදාවිය. මෙවැනි එක් රැකියාවක් වූයේ පොල්කටු ගණන් කිරීමයි. ඒ දිනවල අපි සිටි නාගරික ප්‍රදේශයක පාරක් අයිනේ පිහිටි නිවසට නිවෙස් දෙකක් එහායින් සිල්ලර කඩයක් තිබුණේය. අපේ අසල්වාසීන් සහ පවුලේ හිතවතුන් වූ මේ අය පොල්කටු ව්‍යාපාරයක්ද කළේය. ගෙවල් වලින් පොල්කටු මිල දී ගැනේ. පිරිමි පොල්කට්ටක් සතයකි. ගෑණු පොල්කට්ටක් සත බාගයකි. පිරිමි පොල්කටු රබර් වතු වලටත් ගෑණු පොල්කටු අඟුරු සෑදීම සඳහා ලංගම ඩිපෝව ඇතුළු කම්මල් වැඩ කරන තැන් වලට විකිණේ. ඔවුන්ට මගේ සේවය අවශ්‍ය වූයේ ලොකු ඕඩරයක් පැමිණි විට එය නිසි පරිදි පිළියෙළ කිරීමටය. මා පරීක්ෂාවෙන් සිටින විට ගණන් නොවරදින බව ඔවුන්ගේ විශ්වාසය විය.

පොල්කට්ටෙන් පටන් ගත් වැඩේ ටික දවසකින් කඩේ වැඩ කිරීම දක්වා ව්‍යාප්ත විය. එහෙත් මට කරන්නට තිබුණේ සීනි කිරීම වැනි සරල කටයුත්තක් නොවේ. සීනි කිරන්නට ඇති පදං කට්ටිය කඩේ සිටියේය. කර ගන්නට අමාරුව තිබුණු කාරිය ගාණ හදා ගැනීමය. කඩය කළ මව සහ සොයුරු සොයුරියෝ කිසිවෙකුට මේ වැඩේ සීනි කිරන තරමට පහසු වුනේ නැත. ගණක යන්ත්‍ර නොතිබුණු මේ යුගයේ මගේ රාජකාරිය වුණේ ගණක යන්ත්‍රයක කාර්යයයි. බඩු ටික කිරා අවසන් වන විට මා හිතින් ගාණ හදා අවසානය.

මේ ගණන් කවදාවත් වැරදුණේ නැති බැවින් මේ රැකියාවට තිබුණු ඉල්ලුම අඩු නොවුණත් මේ සඳහා මේ අසල්වැසියන්ට අපේ ගෙදරින් අවසර ලබා ගත හැකි වුණේ අතරින් පතර දවසක නිසා මට ලබා ගත හැකි වූයේ සීමිත ආදායමක් පමණි. මේ වැඩෙන් සහ වෙනත් මෙවැනි 'රැකියා' කිහිපයකින් මට යම් මුදලක් උපයාගත හැකි වූ අතර මෙමඟින් ඉඳහිට පොතක් මිලදී ගෙන හෙමින් හෙමින් වුවත් මගේ ඉලක්කය කරා ගමන ඇරඹිය හැකි විය.

ඔය අතර එක්වර වැඩි මුදලක් උපයාගත හැකි වන අවස්ථාද පැමිණුනේය. අවුරුදු කාලයේ වැඩිහිටියන්ට බුලත් දී වැඳීම හොඳ ආදායම් මාර්ගයකි. බුලත්අත ආපහු ලැබෙන්නේ රුපියලක් හෝ දෙකක් සමඟය. අපේ ගෙදරට අමුත්තන්ගෙන් අඩුවක් නොතිබුණු නිසා මේ වැඩේ කිසිම අමාරුවක් තිබුණේ නැත. අවුරුදු කාලයෙන් පසුව වුවද ඉඳහිට මෙවැනි අවස්ථා හිමිවේ. පාසැලට හෝ දහම් පාසැලට ආධාර පිණිස ලැබෙන 'කොටු කොළ' මහඟු ආදායම් මාර්ගයකි. ගෙදරට එන සමහර අමුත්තන්ට මගෙන් මේ කොටුකොළය සමඟ මුලින්ම පෑනක් වෙනුවට ලැබෙන්නේ අල්පෙනිත්තකි. සත පනහක් දී කොටුවක් හිල් කළ හැකිය. සතපනහ ගෙන කොටු කොළය අනෙක් පස හරවා නියපොත්ත ඇතිල්ලූ විට හිල නොපෙනී යයි.

මගේ සම්පත් දායකයින්ට පැන්සලක් ලැබෙන්නේ මෙසේ කොටුවකට හිල් දෙක තුනක් වැදුණු පසුවය. කොටු කොළයේ ඉටිපන්දමක් අතුල්ලා ඇති නිසා කතිරය වැදෙන්නේ යන්තමිනි. එය නියපොත්තෙන් සූරාදැමීම අපහසු නැත. අපේ ගෙදරට අමුත්තන්ගෙන් අඩුවක් නොවූ නිසා මෙවැනි කොටුකොළයකින් සෑහෙන ආදායමක් උපයා ගත හැකිය.

පොල්කටු ව්‍යාපාරය තිබුණු ප්‍රදේශයේද අප සිටියේ වසර දෙකකට අඩු කාලයකි. යූඇන්පී කාරයෙකු වීම නිසා සමඟි පෙරමුණු රජය කාලයේ ළඟ ළඟ ස්ථාන මාරු ලැබූ මගේ පියාගේ දේශ සංචරණය ආණ්ඩුව මාරු වූ පසු වෙනස් වූයේ නැත. ආණ්ඩු මාරුවෙන් පසු මාරුවීම් ලැබුණේ ශ්‍රී ලංකා කාරයෙකු වී සිටීම නිසාය.

ඇත්තටම ඔහු මේ කාලයේදී මේ මොන කාරයෙක්වත් වී නොසිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරඹුණු කාලයේදී සිය යූඑන්පී ඥාති සමූහයෙන් පිටමං වී සක්‍රිය ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයෙකුව සිට තිබුණේ වුවද රජයේ නිලධාරියෙකු වූ පසු ඔහු ක්‍රියා කළේ මනුතාපයේ ජන්තුටත් වඩා අකුරටම නීතිය ක්‍රියාත්මක කරන්නෙකු ලෙසිනි. ප්‍රදේශයේ ස්වභාවික ආපදාවකට ලක්වූ පිරිසකට බෙදීම සඳහා බේකරියකින් උණු උණුවේ බෑ පාන් රාත්තල් පන්සීයක් නිවසේ ඉදිරිපස කොටසේ ගොඩ ගැහෙද්දී ඒ කටයුත්ත වෙනුවෙන්ම මුළුතැන්ගෙයි පිසෙන ලොකු පරිප්පු හොද්ද හැඳිගාමින් සිටි සිය ගැබ්බර බිරිඳට උණු උණුවේ පාන් කෑල්ලක් කන්නට ඇති වුණු දොළදුක සංසිඳුවා ගැනීමට ඔහුගෙන් අවසරයක් නොලැබුණු බව ඇය නිතර නිතර මතක් කරයි.

ඔහුව මුලින්ම යූඑන්පී කාරයෙකු ලෙස නම් කර රටවටේ යවා තිබුණේ හැත්තෑ එකේදී චේගුවේරා ලේබලය ගසා යූඑන්පී තරුණයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ මන්ත්‍රී වරයෙකු වූ, ප්‍රගතිශීලී දේශපාලනඥයෙකු කළ ඉල්ලීම නොසලකා හැරීම නිසාය. මගේ පියාගේ ඥාතියෙකුද වූ මේ ප්‍රසිද්ධ දේශපාලනඥයා ආණ්ඩුව මාරුවන තුරුම මේ වාඩුව අත ඇරියේ නැත.

ධුරාවලිය අනුව වැඩි වැදගත් කමක් නැති තනතුරක් දැරු මගේ පියා අවශ්‍ය අවස්ථා වලදී හැමවිටම තමාගේ රැකියාවේ ධාරිතාවට වඩා විශාල පරාසයක වැඩ කළ අයෙකි. "කැපවීමෙන් අකුරටම වැඩ කරන අවංක නිලධාරියෙකු" ලෙස ඉහළ නිලධාරීන්ගේ ඇගයීමට ලක්ව සිටීම නිසා මගේ පියාට දුෂ්කර පළාතකට මාරුවක් ලබා වැඩි කල් සිටීමට ඉඩ ලැබුණේද නැත. ඔහුගේ "වැඩ වලින්" ලකුණු දමාගෙන රැකියා බේරාගත් සහ උසස්වීම් ලබාගත් බොහෝ ඉහළ නිලධාරීන් සිටි නිසා ඉතා ඉක්මණින් ඔහුට නැවත කැඳවීමක් ලැබේ. එහෙත්, පෙර කී දේශපාලඥයා මෙය දැනගත් වහාම ඔහුට නැවතත් දුර බැහැරක යාමේ අවස්ථාව උදාවේ. සමඟි පෙරමුණු රජය පෙරළෙන තුරුම මෙය සිදුවිය.

කෙසේ වුවද හැත්තෑ හතේ පෙරළියෙන් අනතුරුව ශ්‍රී ලංකා කාරයින්ගෙන් පලිගැනීම වැලැක්වූ නිසා ඔහුට ශ්‍රී ලංකා කාරයින්ට ලැබෙන පලිගැනීම් මාරුද හිමි වුණේය. තමන්ගේ සේවා කොන්ත්‍රාත්තුව අනුව "ලංකාවේ හතර දිග් බාගේ ඕනෑම කියන තැනකට" යාමට සූදානමින් සිටි ඔහු හැමවිටම කළේ ඔහු සිතූ පරිදි නිවැරදි දෙයයි. කවර දුෂ්කරතා තිබුණත් ඔහු "මාරුව හදා ගැනීම" සඳහා දේශපාලඥයින් හෝ ඉහළ නිලධාරීන් පසු පස ගියේ නැත.

කෙසේ වුවද, හැත්තෑ හතේදී යූඑන්පියෙන් ඉල්ලා රැල්ලට ගොඩගිය පෙර කී වාමාංශික දේශපාලනඥයාගේ හිටපු පුද්ගලික ලේකම් වරයා මගේ පියාව හොඳින් දැන සිටි කෙනෙකි. මගේ පියා එවකට රජරට-උතුරු පළාත් මායිමේ දුෂ්කර ප්‍රදේශයක අඹු සුතනුවන්ගෙන් දුරස්ථව "දුක් විඳින" බව කෙසේ හෝ දැනගත් ඔහු මගේ පියාව තමාගේ ප්‍රදේශයට කැඳවා ගත්තේය. මේ දේශපාලනඥයා වෙනත් වැරදි කර තිබුණත් මගේ පියාගෙන්නම් කිසිදු ප්‍රතිඋපකාරයක් ඉල්ලා නැත. බොහෝ දෙනා යෝජනා කළත්, හිතා ගත හැකි පරිදිම, මගේ පියා මේ දේශපාලනඥයාට ස්තුති කරන්නට ගියේත් නැත.

අකුරටම වැඩකළ මගේ පියා ඔහුගේ මේ ප්‍රතිපත්තියෙන් බැහැරව "හොර වැඩ" කළ වෙලාවල්ද තිබුණේය. මගේ වයස යාන්තම් එකොළහක් වෙද්දී වයස දහසයක් සේ "හොරට කොළ පුරවා" අවට තිබූ පුස්තකාල කිහිපයකම සාමාජිකත්වය රැගෙන දීම මෙවැනි හොර වැඩකි. මේ හොරකම පේනවාටත් වඩා ලොකු හොරකමක් වන්නේ ඒ වන විට මේ පුස්තකාල තිබුණේ ඔහුගේම අධීක්ෂණය යටතේ බැවිනි. කෙසේ හෝ, මේ නිසා සතියකට පොත් දහයක් දොළහක් කියවීමේ අවස්ථාව මට ලැබුණේය. ඇත්තටම මේ කාලයේදී මා කළ ප්‍රධානම කටයුත්ත පොත් කියවීමයි.

සමහර පොත් කියවූ පසු ඒවා අයිති කර ගැනීමේ ආශාවක්ද ඇතිවේ. ආතර් සී ක්ලාක්ගේ පොත් වල පරිවර්තන, කොවූර්ගේ පොත් සහ සරච්චන්ද්‍රගේ සහ නවගත්තේගමගේ නවකතා මෙසේ මුල් කාලයේදී මට "කෙසේ හෝ" අයිති කර ගැනීමට අවශ්‍ය වූ පොත් අතර තිබුණේය. මේ අනුව, මේ කාලයේදී මගේ පොත් එකතුව ටික ටික ලොකු විය.

පොත් ගොඩක් තිබුණු පලියටම හෝ පොත් ගොඩක් කියවා තිබුණු පලියටම කෙනෙක් උගතෙක්, බුද්ධිමතෙක් හෝ "පොරක්" වන්නේ නැත. ඒ සඳහා කාටත් පේන්නට මේ පොත් තැබිය හැකි ලොකු පොත් රාක්කයක්ද අවශ්‍යය.

අපේ මීළඟ වාසස්ථානය පිහිටියේ පාසැලක් ඉදිරිපිටය. මේ කාලයේදී මේ පාසැලේ මහපොළ ප්‍රදර්ශනයක් පැවැත්වුනේය. මෙය ආදායම් උපයාගැනීම සඳහා තවත් අනගි අවස්ථාවක් විය. අපේ නිවසේ මිදුලේ වාහන නැවැත්වීමට ඉඩදීමෙන් යම් මුදලක් සොයා ගත හැකි විය. එහෙත් මේ මුදල අපේ නිවසේ නැවතී පාසැල් ගිය මගේ පියාගේ මිතුරෙකුගේ දරුවකු වූ "පන්ති සගයෙකු" සහ මගේ බාල සොයුරා සමඟ බෙදාගත යුතුවිය.

ප්‍රදර්ශනය සඳහා පාර හරහට ලොකු තොරණක් ඉදි වුණේය. එහි ජේආර්ගේ, ප්‍රේමදාසගේ සහ ඇතුලත්මුදලිගේ රූප තිබුණේය. ප්‍රදර්ශනය අවසානයේදී මේ තොරණ ඉවත් කරන විට එය සෑදීමට යොදාගත් ඇල්බීසියා ලෑලි ප්‍රදර්ශනය සඳහා ගෙනැවිත් තිබුණු අසල වූ ලොකු කුණු බක්කියකට දැමීමට සූදානම් වනු දුටු මා වහාම ඉදිරිපත් වී මේ ලෑලි ඉල්ලා සිටියෙමි. ලොකු පොත් රාක්කයක් සාදාගැනීමට මේ ලෑලි ප්‍රමාණවත් විය.

යකඩ ඇණ සහ ලැකර් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනය මා සතුව ඒ වන විටත් තිබුණේය. යාබද නිවසින් කියතක් ඉල්ලාගත් මා ඇල්බීසියා ලෑලි වල පැන්සලකින් කැපුම් ලකුණු කර ඒවා නිසි පරිදි කපා ගැනීමට හැදුවත් මේ කාර්යය හිතූ තරම් පහසු වූයේ නැත. කෙසේ වුවද, කිසියම් කාර්යයකට මගේ පියා හමුවීමට පැමිණ ඔහු එනතුරු බලා සිටි වඩු වැඩ දත් වැඩිහිටියෙකුගේ උදවුව ලැබුණු නිසා වැඩි අපහසුවකින් තොරව මගේ පියාගේ පොත් රාක්කය තරම්ම විශාල තට්ටු පහක ලොකු පොත් රාක්කයක අයිතිකරුවා වීමට මට හැකිවිය.

මීළඟ ප්‍රශ්නය මතුවූයේ රාක්කයේ පොත් ඇහිරීමෙන් පසුවය. මා ඒ වන විට එක් රැස් කරගෙන සිටි මහා වස්තු සම්භාරයම මේ විශාල රාක්කයේ තට්ටුවකින් අඩකට වඩා පිරවීමට ප්‍රමාණවත් නොවීය.

එක් එක් පුද්ගලයා ජීවිතයේ එක් එක් කාලයේදී "පීක්" වන බව කොහේ හෝ ලියවී තිබුණේය. මතක හැටියටනම් දැනට විවෘතව නොපවතින චානුක වත්තේගමගේ සිහි සටහන් බ්ලොගයේ විය යුතුය. මේ කාලය සාමාන්‍ය පෙළ, උසස් පෙළ, පහේ ශිෂ්‍යත්වය හෝ වෙනත් අවස්ථාවක් විය හැකිය. මා සම්බන්ධව මෙය ඇතැම් විටෙක සිළුමිණ වැනි "ලොකු පත්තර" කියවීම ඇරඹු වයස තුනක පමණ කාලය හෝ පහේ ශිෂ්‍යත්වය ලියූ වයස දහයේ කාලය විය යුතුය.

ශිෂ්‍යත්වයෙන් ලබා ගත හැකි මුළු ලකුණු ගණනට ඉතා කිට්ටු ගණනක් ගෙන දිවයිනේ ඕනෑම පාසැලකට පහසුවෙන් ඇතුළත් වීමේ අවස්ථාව ලබා ගත්තත් කොළඹ බෝඩිමකට වැයවෙන අමතර පිරිවැය දැරීමේ හැකියාවක් මගේ පියාට නොවූ නිසාත්, මුදල් ආධාරයක් ලබා ගැනීමට නොහැකි තරමට ඔහුගේ ආදායම ලොකු වැඩි වූ නිසාත් ශිෂ්‍යත්වය සමත් වීමට මා දැරූ (ඇත්තටම මහ ලොකුවට නොදැරූ) උත්සාහය වතුරේ ගියේ නැත. මගේ වයස අවුරුදු එකොළහක් වන විට, මා හය වන ශ්‍රේණියට ඇතුළත් වන විට, පුද්ගලික උපකාරක සේවා ලබා දීම සඳහා ලැබුණු ඉල්ලුම ඉන්පසු අඩු වුණේම නැත.

මේ අනුව පසු කාලයේදී ස්වේච්ඡා, අර්ධ කාලීන මෙන්ම ස්ථිර හා පූර්ණ කාලීන පදනමින් මා කලින් කලට කළ මගේ මුල්ම "ස්ථිර" රැකියාවට පදනම වැටුණේය. මෙයින් ලැබුණු ආදායම ගෙවත්තේ ලිඳ අසල ලොකු කංකුන් පාත්තියක් දමා කන්කුන් මිටි විකිණීමෙන් හෝ බුලත් අතක් සමඟ තුටුපඬුරක් ගෙන මගේ පියාගෙන් අකුරු කියවා ගැනීමට ළමුන් ගෙන එන පාරිභෝගිකයින්ගෙන් කොටසක් "කඩා ගැනීමෙන්" ලැබුණු ආදායම මෙන් නොව, මාස්පතා ලැබුණු ස්ථිර ආදායමකි.

දෙමවුපියන්ගේ උපකාරයකින් තොරව වෙනත් පුද්ගලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහාද කිසියම් මුදලක් වැය කළත්, මේ මුදල් මා ප්‍රධාන වශයෙන්ම වැය කළේ පොත් ගැනීම සඳහාය. එහෙත්, රාක්කයනම් පිරෙන පාටක්වත් පේන්නට තිබුණේ නැත.

රාක්කය පුරවා ගැනීම සඳහා තරමක් පහසු ක්‍රමයක් වූයේ ලොකු කැමැත්තක් නැතත් නොමිලේ හෝ අඩු මිලට ලැබෙන පොත් හෝ ප්‍රකාශන ලබා ගැනීමයි. නොමිලේ රාක්කය පුරවා ගැනීමට ප්‍රධාන මාර්ග දෙකක් තිබුණේය.

පළමුවැන්න, නොමිලේ ලැබෙන සෝවියට් දේශය සඟරාවන්ය. මට වඩා වසර ගණනක් වැඩිමල් දුරින් ඥාතියෙකු වූ තරුණයෙකු ගෙන්වා ගත් මේ සඟරාවක අවසාන පිටුවේ ඇති ෆෝරමයක් පුරවා යැවූ විට මාස දොළහක් තුල මේ සඟරාවේ කලාප දොළහක් නොමිලේ ලැබුණේය. මෙය දිගටම ලබා ගැනීම සඳහා කළ යුතු වූයේ වසරකට වරක් මෙසේ ෆෝරමයක් පුරවා යැවීම පමණි.

අනෙක් මාර්ගය වූයේ නොමිලේ ලැබෙන බයිබල් කොටස් ඇතුළු ක්‍රිස්තියානි ප්‍රකාශන ලබා ගැනීමයි. රසික කළාක් මෙන් මා කෙතරම් අකැමැති පොතක වුවද පිට කවරය ඉරීමට තබා පාඩම් පොතක ඉරක් ඇඳීමට තරම්වත් ධෛර්යයක් නැති මට මේ ප්‍රකාශන වල අන්තර්ගතය ප්‍රශ්නයක් වුනේ නැත.

පොත් මිලදී ගැනීමේදී මා කැමති පොත් බොහෝ තිබුණත් අතේ වූ සීමිත මුදලට වැඩිම පොත් ගණනක් ගැනීමටනම් මිලදී ගත යුතු වූයේ ලාබෙට තිබුණු සෝවියට් පොත්ය. වෙනත් එවැනි ප්‍රමාණයේම පොතක මිලට වඩා බාගයක හෝ තුනෙන් එකක මිලට කියවන්නට ආසා හිතෙන සෝවියට් පොතක් මිල දී ගත හැකි විය. ප්‍රගති ප්‍රකාශක මන්දිරයේ පොත් සමඟ මහජන ප්‍රකාශකයින් ප්‍රදර්ශන තබමින් රට වටා යද්දී මා උපයාගන්නා මුදල් ඔවුන්ට දෙමින් මම මගේ පොත් රාක්කය ලස්සන කර ගත්තෙමි.

සෝවියට් පොත් අතරත් කතා පොත් වලට වඩා විශාල ලෙසින් මිල අඩු, ඉතාම සුළු මුදලකට අලෙවි කළ පොත් කිහිපයක්ද තිබුණේය. මාක්ස්, එංගල්ස්, සහ ලෙනින් පොත් ත්‍රිත්වය විකිණුනේ එකක් රුපියල බැගිනි. ඒ වන විට වෙනත් සෝවියට් පොතක් වුවද අඩුම වශයෙන් තුනයි පනහක්වත් විය. කැමති පොතක් මිලදී ගැනීමටනම් රුපියල් පහක්වත් වැය කළ විය යුතුය. සෝවියට් දේශයේ පස් අවුරුදු සැලසුම් ගැන පොතක්ද මෙසේ අඩු මිලට විකුනුණේය. මෙසේ වයස අවුරුදු එකොළහක කාලයේදී රුපියලක් ගෙවා මා ලාබෙට මිලදී ගත් එක් පොතක් 'ප්‍රාග්ධනය යනු කුමක්ද?' නම් වූවකි. මෙය ප්‍රාග්ධනය පොතේ සංක්ෂිප්ත අනුවාදයක් හෝ එක් වෙළුමක් විය යුතුය.


විශාල ආශාවක් නොතිබුණත් මෙසේ අමාරුවෙන් උපයාගත් මුදල් වැය කර මිලදීගත් මේ පොත් මා අමාරුවෙන් හෝ කියවා දැම්මෙමි. එහෙත්, ප්‍රාග්ධනය පොතනම් කියවන්නට ගත් නමුත් ඒ වයසේදී කියවන්නට කිසිම ආසාවක් ඇතිවුණේ නැත. ලාබෙට ලැබුණු නිසා මගේ පොත් රාක්කය ලස්සන කරන්නට මිල දී ගත් මේ පොත මා තවමත් සම්පූර්ණයෙන් කියවා අවසන් කර කියවා නැත.

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Sunday, September 6, 2015

මයිකල් ජැක්සන් සහ මැයි විරුවෝ



අද (සඳුදා) උතුරු ඇමරිකානු මහාද්වීපය තුළ කම්කරු දිනය සැමරේ. ආරම්භක අභිප්‍රායයන් කවරෙක් වුවද, මේ වන විටනම්, ග්‍රීෂ්ම සෘතුවේ අවසාන දීර්ඝ සති අන්තය වන කම්කරු දිනයේදී බොහෝ දෙනා මේ නිවාඩුව ප්‍රයෝජනයට ගන්නේ කාලගුණය වෙනස් වීමට පෙර එළිමහනේ විනෝද වීම සඳහාය. බොහෝ සුපිරි වෙළඳසැල් වල කම්කරු දිනය වෙනුවෙන් අඩු මිලට බඩු විකිණීමද සාමාන්‍ය දෙයකි.

ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව හැරුණු විට ලංකාව ඇතුළු ලෝකයේ අනෙකුත් සෑම රටක්ම පාහේ කම්කරු දිනය සමරන්නේ ජාත්‍යන්තර කම්කරු දිනයද වන මැයි පළවෙනිදාටය. මෙහි විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස මැයි පළවෙනිදා යොදාගැනීමට පාදක වූ සිදු වීම සිදුවුණේ ඇමරිකාවේදී වීමයි.

1884 දී රැස්වුණු ඇමරිකාවේ සහ කැනඩාවේ කම්කරු සංගම් සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ සමුළුවකදී 1886 මැයි පළමුවෙනිදා සිට පැය අටේ වැඩ දිනය සම්මතයක් විය යුතුයයි සම්මුතියකට පැමිණි අතර මේ දිනය ලං වෙද්දී මේ ඉල්ලීම ලබාගනු පිණිස මහා වැඩ වර්ජනයක්, විරෝධතා රැළි සහ පෙළපාලි ඇතුළු උද්ඝෝෂණ ව්‍යාපාරයක් කැඳවනු ලැබිණි. ඇමරිකාවේ බොහෝ නගර වල පැවති මේ විරෝධතා ව්‍යාපාර වලින් විශාලම එක වූයේ චිකාගෝහි පැවති විරෝධතාවයි. මේ සඳහා සහභාගී වූ පිරිස 90,000 ඉක්මවීයැයි ඇස්තමේන්තු කර ඇත.

විරෝධතා ව්‍යාපාරය දින කිහිපයක් දිග්ගැස්සෙද්දී මැයි 3 වන දින එය මැඩ පැවැත්වීම සඳහා වූ පොලිස් මැදිහත්වීම කෙළවර වූයේ පොලිස් වෙඩි පහරින් විරෝධතාවට එක්වූ මැක්කෝර්මික් සමාගමේ සේවකයින් දෙදෙනෙකු (විකිපීඩියා අනුව, වෙනත් ඇතැම් මූලාශ්‍ර අනුව සිවු දෙනෙකු හෝ හය දෙනෙකු විය හැක.) මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබීමෙනි.

දැනටත් බොහෝ විට සිදුවන පරිදිම, මේ මරණ වෙන්දේසි කරමින්, පසුදින සැලකිය යුතු පිරිසකගේ සහභාගිත්වයෙන් ඉහත වෙඩි තැබීම සිදුවූ තැනට ආසන්නව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කෙරිණි. සාමකාමීව පැවැත්වුණු මේ රැස්වීම නවත්වන ලෙස පොලීසියෙන් විධාන කෙරුණද ඒ වන විට විරෝධතාකරුවන් අමතමින් සිටි කථිකයා එයට එකඟ වූයේ නැත. මෙහිදී සිදුවූ බහින්බස් වීම අතරතුර හඳුනා නොගත් විරෝධතාකරුවෙකු පොලීසිය දෙසට බෝම්බයක් දමා ගැසීය. මෙයින් එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් හය දෙනෙකු මරණීය තුවාල ලැබීය. මෙහිදී පොලීසිය විසින් පෙරලා වෙඩි තැබීමේදී තවත් බොහෝ මරණ සහ තුවාල සිදුවිය. (මුලින්ම සිදුවූයේ පොලිස් වෙඩි තැබීම බවද එක් මතයකි.)

මේ සිද්ධිය සම්බන්ධව විරෝධතාව සංවිධානය කළ කම්කරු නායකයින් ඇතුළු අට දෙනෙකුට චෝදනා ඉදිරිපත් විය. ඔවුන්ගෙන් හත් දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර එක් අයෙකු නඩු විභාගය ඇරඹෙන දින ස්වේච්ඡාවෙන් භාර විය. මේ විවාද සම්පන්න නඩු විභාගයේදී මේ කිසිවෙකුට බෝම්බය දමා ගැසීම පිළිබඳව චෝදනා ඉදිරිපත් නොවූ අතර ඉදිරිපත් කළ චෝදනාව වූයේ මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවට අනුබල දෙමින් කුමන්ත්‍රණයක් කිරීමයි. මේ සම්බන්ධ මූලාශ්‍ර අන්තර්ජාලයේ ඇති නිසාත්, ඒවායේ අපැහැදිලි හා විවාද සම්පන්න තැන් බොහෝ ඇති නිසාත් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට මා කාලය මිඩංගු කරන්නේ නැත.

කුමන්ත්‍රණය ඔප්පු කිරීම සඳහා මුද්‍රණාලයක් වටලා සොයාගත් ප්‍රචණ්ඩකාරීත්වය වපුරන පෝස්ටර්, බෝම්බ සෑදීමට යොදාගන්නා උපකරණ ආදිය උපයෝගී කර ගැනුණු අතර තවත් සැකකරුවෝ කිහිප දෙනෙකු රජයේ සාක්ෂිකරුවෝ වූහ.ඔවුන්ට චෝදනා ඉදිරිපත් නොකෙරිණි. අපක්ෂපාතීත්වය පිළිබඳව බොහෝ විවේචන එල්ල වී ඇති, මේ සැකකරුවන්ට එරෙහිව පැවති නඩු විභාගයේදී මේ අට දෙනාගෙන් හත් දෙනෙකුටම මරණ දඬුවම හිමිවිය. එයින් දෙදෙනෙකුගේ දඬුවම අභියාචනාධිකරණයේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා වෙනස් කෙරුණේය.

මරණ දඬුවම නියම වූ පස් දෙනාගෙන් එක් අයෙකු දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර දින සවස් වරුවේ සියදිවි නසා ගත්තේය. අනෙක් සිවුදෙනාව 1887 නොවැම්බර් 11 වැනි දින එල්ලා මරා දමන ලදී. ඔවුන් විප්ලවීය ගීත ගයමින් පෝරකයට ගිය බව පැවසේ.

මෙසේ පැය අටේ වැඩමුරයක් වෙනුවෙන් ජීවිතය කැපකළ මේ පස් දෙනාගේ සිරුරු විරෝධතාව සිදුවූ ස්ථානයට ආසන්නව චිකාගෝහි ෆොරස්ට් පාර්ක් ප්‍රදේශයේ ඩෙස්ප්ලේන්ස් වීදියේ පිහිටි මේ වනවිට ෆොරස්ට් හෝම් සුසාන භූමියේ කොටසක් වන, එවකට ජර්මන් වෝල්ඩ්හයිම් සුසාන භූමියේ තැන්පත් කෙරිණි. (මේ බොහෝ දෙනෙකු ජර්මන් සම්භවයක් ඇති අයයි.) මොවුන් ඉතා ඉක්මණින්ම ඇමරිකාවේ මෙන්ම ලෝකය පුරා කම්කරුවන් ඇතුළු වැඩකරන ජනතාවගේ වීරයන් බවට පත් වූහ. ඔවුන්ගේ සිරුරු මිහිදන් කෙරුණු තැන විරු ස්මාරකයක් ඉදිවූ අතර සිද්ධියට සම්බන්ධ ඉතිරි තිදෙනෙක්ද මියයාමෙන් පසු සිරුරු මිහිදන් කෙරුණේ මේ ස්ථානයට ආසන්නවය. 1997 වසරේදී මේ ස්මාරකය ඇමරිකාවේ ජාතික ඓතිහාසික ස්මාරකයක් ලෙස නම් කෙරුණේය.


රතු ඉර වදින්නට පෙර (දැන්නම් විද්‍යුත් කාලසටහන් යන්ත්‍ර) කන්තෝරුවට යාන්තම් රිංගාගන්නට දඟලන, තුනහමාරේ සිට ඔරලෝසුව දෙස බලමින් සිටින ලංකාවේ බොහෝ දෙනෙකුට දැනෙන පැය අටේ වැඩ දිනයේ වැදගත්කම එදා කෙසේ වෙතත් අදනම් ඇමරිකාවේ සාමාන්‍ය වැඩකරන ජනතාවට ඇඟට දැනෙන දෙයක් නොවේ.

මධ්‍යම පාන්තික රැකියා කරන බොහෝ දෙනෙකුට නිවසේම සිට වැඩකිරීමේ හෝ තමන්ට අවශ්‍ය විචල්‍ය වැඩමුරයක් තෝරා ගැනීමේ අවස්ථාව හිමිවී ඇති අතර ඔවුන්ගේ වේතන තීරණය වන්නේ කරන කාර්යයේ ඵලදායීතාව අනුව මිස වැඩ කරන පැයගණන අනුව නොවේ. පැයේ රේට්ටුවට පහළම මට්ටමේ රැකියා කරන සේවකයින්ගේ අපේක්ෂාවද රැකියා දෙකක් හෝ කරමින් වැඩි ආදායමක් ලබා ගැනීම මිස තම වැඩ දිනය පැය අටකට සීමා කර ගැනීම නොවේ.

අක්කර විශාල ගණනක පැතිරුණු සුසාන භූමි සංකීර්ණයක පිහිටි ලොකු කුඩා ස්මාරක දහස් ගණනක් අතරින් ඓතිහාසික මැයි විරු ස්මාරකය සොයා ගැනීම පහසු වැඩක් නොවේ. එහෙත්, මේ අවට ජීවත් වන අය හෝ මේ සුසාන භූමි සංකීර්ණය ඉදිරිපිට ඇති වෝල්මාර්ට් වෙළඳසැලේ අවම වැටුපට වැඩ කරන ඩිමිටායි ඩෙමෝර්ලා පාරෙන් අනෙක් පැත්තේ ඇමරිකාවේ ජාතික ඓතිහාසික ස්මාරකයක් ඇති බව වුවද දන්නේ නැත. ජාත්‍යන්තර කම්කරු දිනයේදී චිකාගෝහිදීද ලොකු සහභාගිත්වයක් නොමැතිව සැමරුමක් සිදුවූවත් මේ සඳහා සහභාගී වන බොහෝ දෙනෙකු ලතින් ඇමරිකානු රටවලින් මෑතකදී පැමිණි සංක්‍රමණිකයින්ය

මේ ස්ථානයේ සිට සැතපුම් 42ක් දුරින් අඩු ආදායම්ලාභී කළු ජාතිකයින් බහුලව වෙසෙන පෙදෙසක මයිකල් ජැක්සන් උපන් කුඩා නිවස පිහිටා තිබේ. කටු මැටි ගසා, පිදුරු සෙවිලි කර නැතත් මේ නිවස ඇමරිකාවට සාපේක්ෂව දුගී නිවසකි. වසා දමා ඇති මේ නිවෙස ඉදිරිපිට ඉදිකර ඇති ස්මාරකයක් හැරුණු විට මෙහි නරඹන්නට විශේෂ දෙයක් නැති මුත් පැය භාගයක් පමණ කාලයක් තුළ අඩු වශයෙන් කණ්ඩායම් හතරක් පහක් එහි පැමිණෙනු දැකිය හැකිය. මේ බොහෝ දෙනා කළු ජාතිකයින්ය.


ඇමරිකාවේ වත්මන් ජනාධිපතිවරයා කළු ජාතිකයෙකු වුවත් ජනවර්ගයක් වශයෙන් ආදායම හා අධ්‍යාපන මට්ටම අනුව තවමත් ඇමරිකාවේ කළු ජාතිකයින් සිටින්නේ සාමාන්‍ය ඇමරිකානුවෙකුට වඩා පසුපසිනි. එහෙත් ක්‍රීඩා සහ සංගීත ක්ෂේත්‍ර වල ජනගහණ සංයුතියට සාපේක්ෂව ඔවුන්ගේ දායකත්වය විශාලය. දැනටත් බොහෝ කළු ජාතිකයින්ගේ සිහිනය ඔවුන්ගේ දරුවන් ගායකයින් හෝ බේස්බෝල් ක්‍රීඩකයින් කිරීමයි. මයිකල් ජැක්සන් මේ සිහිනයේ සංකේතයකි. වීරයෙකි.

වීරයින් මෙන්ම ද්‍රෝහීන්ද බිහිවන්නේ නිරපේක්ෂ කාල-අවකාශයන්හි නොවේ.

Friday, September 4, 2015

හතරේ සීමාව සහ හයේ සීමාව

ඒ ලංකාවේ ක්‍රිකට් වංශ කතාවේ ලොකුම ශිඛර දෙකක අතරමැද වූ කාලයකි. පළමු ශිඛරය වූයේ ලංකාවට 1981දී ටෙස්ට් තත්ත්වය හිමි වීමයි. දෙවැන්න 1996 ලෝක කුසලාන ජයග්‍රහණයයි.

විප්ලවකාරී ව්‍යාපාරයේ නායකයින් වැඩි දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබ හෝ මරා දමනු ලැබ තිබුණත් භීෂණයේ ගිණිදළු සම්පූර්ණයෙන් නිවී ගොස් නොතිබුණේය. අපි අපේ විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය සඳහා සූදානම් වෙමින් සිටියෙමු.

බස්නාහිර පළාතේ වැට අද්දරම දුෂ්කර පාසැලක් තිබීම කිසියම් පරිපාලන වරදක් විය හැකියැයි සිතා සිටි මගේ ඒ අදහස නිවැරදි නොවන බව වැටහුණේ සේවයට වාර්තා කළ මුල් දිනයේදීමය.

මා වැනි තරුණ ගුරුවරයෙකුගේ පැමිණීම විශ්‍රාම යාමට ආසන්නව සිටි විදුහල්පති මෙනෙවියට මෙන්ම එවැනිම වයසක සිටි උප විදුහල්පති වරයාටත් (ශ්‍රේණිය අනුව නොවූවත් තනතුරේ වැඩ බැලීම අනුව), විශ්‍රාම යාමට තරම්ම වයසක නොසිටි අනෙකුත් ගුරු මෙනෙවියන් හතර පස් දෙනාටත් විශාල ආශ්වාදයක් ගෙන දුන්නේය. අධ්‍යාපන කන්තෝරුවට ගොස් වැඩක් කර ගැනීමට හැකි තරම් පණ ඇති කෙනෙකු සිටීම ලොකු වාසියකි. කෙසේ වුවද, මගේ පැමිණීමෙන් වඩාත්ම ආශ්වාදයට පත් වුනේ මා සේවයට පැමිණීමට වසර දෙක තුනකට පමණ පෙර මේ විදුහලට පැමිණ සිටි තරුණ ගුරු යුවලයි. ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි ප්‍රතිසංස්කරණ යෝජනා සඳහා තවත් ඡන්දයක් වැඩි වීම ඔවුන්ගේ අමන්දානන්දයට හේතු විය.

මා ඉහළ පන්තියකට අළුතින් පැමිණුනු සිසුවෙකු නොවන බව පැහැදිලි කිරීමට තරමක වේලාවක් ගත වුණත්, සේවයට වාර්තා කළ දිනම මට ලැබුණේ ඉතා ඉහළ පිළිගැනීමකි. හතේ අටේ පන්තියක කොළු ගැටයෙකු ඉස්කෝල වත්තේ පොල් ගසකට යවා සංග්‍රහය සඳහා කුරුම්බා සපයා ගැනීම කිසිවෙකුට විශේෂ දෙයක් වුණේ නැත. විදුහල්පතිනියගේ මේ පුරුද්ද ගැන සිය නොමනාපය පසු දිනෙක හොරෙන් මෙන් මට ප්‍රකාශ කළ පෙර කී යුවලේ තරුණ විද්‍යා ගුරුවරයාද වඩාත්ම විවේචනය කළේ පොඩි ළමයින් යොදවා පාසල් වත්තේ කොස් පොල් කඩා ගැනීම නොවේ. ඇගේ ගෙදර වත්තේ පොල් කැඩීම සඳහා පාසැල් එන සිසුන්ව පිටත් කර හැරීමයි.

මගේ පැමිණීම කාගේත් සතුටට හේතු වූ ප්‍රධාන කරුණු අතර දෙවැන්න වූයේ මගේ පත්වීම් කඩදාසියේ වූ ඉංග්‍රීසි විෂය හැරුණු විට ගණිතය සහ විද්‍යාව වැනි කවුරුත් උගන්වන්නට බය වූ වෙනත් විෂයයන්ද ඉගැන්වීමට මගේ වූ කැමැත්තයි. ඇත්තටම මේ පාසැලේ ඉංග්‍රීසි විෂය ඉගැන්වීමනම් එතරම් සංකීර්ණ කාර්යයක් වූයේ නැත. තුනේ පන්තියේ සිට දහවන ශ්‍රේණිය දක්වා සියල්ලන්ටම උගන්වන්නට තිබුණේ එකම මට්ටමින් නිසා වෙන වෙනම සූදානම් වීමක් අවශ්‍ය වූයේ නැත.

හයවන ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල කොහොමටත් හිටියේ ළමුන් දෙදෙනෙකු නැත්නම් තිදෙනෙකි. ගොයම් කැපූ පසු ටික කාලයක් මේ පන්ති හිස් නිසා නොමිලේ ඕෆ් පීරියඩ් ලැබේ. එය එසේ වන්නේ මේ කාලයේදී පුරන්වන කුඹුරු වල මැණික් ගැරීම ජයටම සිදුවන නිසාය.

සිසුවෙකු ලේසියෙන් සාපෙළ සමත් නොවූ නිසා දහවන ශ්‍රේණියේනම් විවිධ වයස් වල ළමයින් හත් අට දෙනෙකු සිටියහ. වෙනත් විදුහල් වලින් ඉගෙන දෙවරක් සාපෙළ අසමත් වූ අයද මේ පාසැලට ඇතුළත්ව මේ අයුරින් දහවන ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියේය. මේ ඇතැම් සිසුන් මගේ වයසට ආසන්නව සිටි නිසාත්, සේවයට වාර්තා කළ පළමු දින මා ඇඳ සිටියේ සුදු කමිසයක් සහ ඉතා ලා පැහැති කලිසමක්ද නිසාත් විදුහල්පතිවරිය සිතා සිටියේ මාද වෙනත් විදුහලකින් එසේ පැමිණි සිසුවෙකු බවයි.

ගුරු මණ්ඩලයේ කවුරුත් මුලින්ම මට පැහැදිලි කර දුන් වැදගත්ම කරුණ වූයේ උගන්වන්නට ඒ හැටි මැරෙන්නට අවශ්‍ය නොවන බවයි. තරුණ විය ඉක්මවමින් සිටි ගුරුවරියන් කණ්ඩායමට අවශ්‍ය වූයේ පාසැල් කාලය තුළ මගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නටය. සිසුන්ට වතුවැඩ විෂය ඉගෙනගැනීමට ඉඩ සලසා මේ ගුරුවරියන්ට මෙන්ම මටත් ඉංග්‍රීසි පන්තිය සඳහා කාලය වෙන්කර දීමට තරම් විදුහල්පතිනිය කාරුණික වුවත් මා ඒ සඳහා කැමැත්තක් නොදැක්වූ හෙයින් මේ නොමිලේ ඉංග්‍රීසි පංතිය පැවැත්වුණේ හවස් වරුවේදීය. ඔවුන්ට අමතරව පන්සලේ හාමුදුරුවන්ද මේ පන්තියට එක් විය.

විදුහල්පතිනිය පාසැල් වත්තේත්, ඇගේ ගෙදර වත්තේත් එළවළු කොටු හැදීම වැනි කටයුතු සඳහා පාසැල් සිසුන්ව පාසැල් කාලය තුළ යොදා ගැනීමට තමාගේ ඇති විරුද්ධත්වය ප්‍රසිද්ධියේ නොවූවත්, රහසින් හෝ මට ප්‍රකාශ කළ තරුණ විද්‍යා ගුරුවරයාද එසේ පවසා ඇත්තේ අවංකව නොවන බව වටහා ගැනීමට මට වැඩි කාලයක් නොගියේය.

අනෙකුත් ගුරුවරුන් දැන සිටි පරිදි අධ්‍යාපන කන්තෝරුවේ මා දන්නා හඳුනන 'ලොක්කන්' සිටියේය. මේ උසස්වීම් ලබා සිටි මගේ පැරණි ගුරුවරුන් සහ මගේ පියාගේ පාසැල් මිතුරන් හෝ සමකාලීනයන්ය. මේ නිසා ඔවුන්ට වසර ගණනාවක් තිස්සේ කර ගැනීමට නොහැකිව තිබුණු ඇතැම් වැඩ ඔවුන්ගේ ඉල්ලීම් පරිදි දවසින් කර දීමට මට හැකි විය. ඇත්තටම මා එවැනි ඇතැම් දේ කළේ මේ දැනහැඳුනුම් කම් උපයෝගී කරගෙනම නොවේ. නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීමෙනි. මා මේ ලොක්කන්ට කේලම් කියා විදුහල්පතිනිය ඇතුළු අනෙකුත් ගුරුවරුන් අමාරුවේ වැටෙන විට තමන් පමණක් ඇඟ බේරාගැනීමට විද්‍යා ගුරුවරයා කලින්ම උපාය මාර්ගයක් ගෙන තිබුණේය.

මා ලොක්කන්ට කේලම් කියන්නට ලෑස්ති වී සිටින ඔත්තු කාරයෙක් නොවන බව වැඩි කල් නොගොස්ම මේ විද්‍යා ගුරුවරයා ඇතුළු ගුරු මණ්ඩලයටම අවබෝධ විය. අමතර ආදායමක් ලබා ගත හැකි ක්‍රමයක් පිලිබඳව මා දැනුවත් කර ඒ සඳහා මට උදවු කිරීමට ඇති කැමැත්ත මේ ගුරුවරයාගෙන් ප්‍රකාශ වුනේ ඉන් පසුවය. පාසැල් සිසුන් පුරන් වූ කුඹුරු වල මැණික් ගැරීම සඳහා යෙදවීම ඉතාමත්ම වාසිදායක කටයුත්තකි. ඔහුට අනුව පාසැලේ නාමලේඛනයේ එක වැටීමද සිදුවන නිසා මේ සිසුන්ගේ දෙමවුපියන්ද ගුරුවරුන් සමඟ හවුලේ මේ කටයුත්ත කිරීමට දැක්වූයේ විශාල කැමැත්තකි.

පාසැලේ සිටි පිරිමි ළමුන් ටික දෙනාට වතු වැඩ සහ පතල් වැඩ විෂයයන් ඉගැන්වීම සම්බන්ධව විදුහල්පතිවරිය සහ මේ ගුරුවරයා අතර තරඟයක් පැවතී ඇති බව මේ අනුව මට පැහැදිලි විය. කෙසේ වුවද, මේ ගුරු මණ්ඩලයේ මට සිටි ළඟම මිතුරා මේ විද්‍යා ගුරුවරයාය. ඔහුගේ තරුණ බිරිඳ හැරුණු විට ගුරු මණ්ඩලයේ අනෙකුත් ගුරුවරුන් සහ මා අතර වයසින් මෙන්ම අදහස් අතින්ද තිබුණේ විශාල පරතරයකි.

මේ සිසුන් මේ කාලයේදී සැතපුම් හත අටක් දුර පාසැල් වල සිසුන් කළාක් මෙන් 'කොළඹට කිරි- අපිට කැකිරි' කියා සටන් පාඨ කියමින් කෑගැසුවේ නැත. එසේ කළේ සාපේක්ෂව මීට වඩා හොඳ සමාජ තත්ත්වයක් තිබුණු නිවෙස් වල හැදුණු දරුවන් ඉගෙනගත් පාසැල් වල සිසුන්ය. මේ සිසුන් තමන්ට ලැබෙන්නේ කැකිරි බව හෝ වෙනත් අයට ලැබෙන කිරි ගැන හාන්කවිසියක්වත් දැනගෙන හිටියේ නැත.

ක්‍රිකට් උණ ලංකාවේ ගම් දනවු සිසාරා වසංගතයක් මෙන් පැතිරෙමින් තිබුණු මේ කාලයේ බස්නාහිර පළාතේ වැට අද්දර තිබුණු මේ පාසැලේ සිසුන් අඩුගානේ ක්‍රිකට් ගැනවත් දැන සිටියේ නැත. මෙවර පාසැලේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේ තරඟ ඉසවුවක් ලෙස අළුතින් ක්‍රිකට් එකතු කරන්නට විද්‍යා ගුරුවරයා යෝජනා කළේ ඒ සඳහා මගේ සහයෝගයද ලැබෙන බැවින් බය වෙන්නට දෙයක් නැති බවට විශ්වාසය තහවුරු කරමිනි. අපි ක්‍රීඩාවේ මූලික කරුණු සහ තරඟ නීති පිළිබඳව ඒ ගැන තරමක උනන්දුවක් දැක්වූ උප විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයට විස්තර කළෙමු. (මා ක්‍රිකට් කාරයෙක් නොවුණත් තරඟ නීති වගේම තරඟ වාර්තා ආදියත් ඔය කාලයේ කට පාඩම්ය.)

පිට්ටනිය විශාල හෝ සමමිතික නොවූ නිසා සීමා ලකුණු කිරීම පහසු කටයුත්තක් නොවීය. දෙපැත්තකින්ම ළඟ ළඟ තිබුණු රබර් ගස් නිසා 'ගස් කැච්' ආදිය සම්බන්ධව තරඟ නීති අළුතින් සාදා ගත යුතු විය. ඒ මදිවට එක පැත්තක කණ්ඩියකි. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මේ කණ්ඩිය උඩද සිටීමට සිදුවනු ඇත.

ක්‍රීඩා කිරීම සඳහා මූලික උපකරණ හෝ සපයාගත යුතුවිය. පාසැල් වත්තේ අඹ, පොල් සහ සිසුන් යොදවා වගා කර තිබුණු එළවළු සහ බුලත් විකිණීමෙන් යම් මුදලක් එකතු කර ගත හැකිවිය. මේ කටයුත්තේදී මමත්, විද්‍යා ගුරුවරයාත් දෙදෙනා අපේ නොමසුරු දායකත්වයද  ලබා දුන් නිසා ගැටළුව පහසුවෙන් විසඳා ගත හැකි විය.

විද්‍යා ගුරුවරයා සිසුන් යොදවා තණ තිල්ල සකස් කර විකට් සිටවීය. අටේ පන්තියේ සිසුවෙකුද සමඟ තණතිල්ලේ දිග මැන පරීක්ෂා කරමින් අපේ උපවිදුහල්පති වරයාත් මේ අළුත් වැඩේට දායකත්වය සැපයූවේ විශාල උනන්දුවකිනි.

ලොකු ගල් ඉවත් කළ නොහැකි වුවත් තල්ලු කළ හැකි ප්‍රමාණයේ ගල් සිසුන් යොදවා තරමක් ඈත් කර පිට්ටනිය සකස් කෙරිණි. මේ අළුත් ක්‍රීඩාව ඉගෙන ගැනීමට සිසුන්ගේ වූයේ විශාල උනන්දුවකි. දැන් අපි සිසුන් කිහිප දෙනෙකු සමඟ පිට්ටනිය වටේ හතරේ සීමාව ලකුණු කරමින් සිටිමු.

හිස ඔසවා බලන විට අපේ උප විදුහල්පතිවරයා සිසුන් කිහිප දෙනෙක්ද සමඟ අප ලකුණු කරන මායිමට පිටින්, රබර් වත්තේ තරමක් ඈතින් වෙනම කූඤ්ඤ පේලියක් හිටවමින් යයි. විද්‍යා සර්ට මළ පැන්නේය.

"අර බලන්ඩකෝ, සර්. අර දෙවෙනි සර් මොකක්ද කරන්නේ? මෙතන බවුන්ඩරිය නියම ගාණටම ලකුණු කරන්න ඉඩ නෑ කියල තේරෙන්නේ නැද්ද?"

හෙමින් පැවසූ ඔහු තරමක් හඬින් කෑගසා මෙසේ අසයි.

"දෙවෙනි සර්, ඔය මොකද කරන්නේ? අපි මේ මෙහේ හතරේ සීමාව ලකුණු කරනවා."

ඔහුගේ පිළිතුරත් එවැනිම හඬකින් දැන් ඇසේ.

"හරි හරි, සර්ලා ඔය වැඩේ කරගෙන යන්න. මම මේ හයේ සීමාව ලකුණු කරනවා."

හතරේ සීමා, හයේ සීමා වගේ කොයි සීමාත් තියෙන්නේ අපෙන් බාහිරව පිට්ටනි වලම නොවන බව මේ කාලයේදී මා හරියටම අවබෝධ කරගෙන හිටියේ නැත.

(මෙය යථාර්තයට කිට්ටු නැති ප්‍රබන්ධයක්යැයි ඔබට සිතේනම් එසේ සිතාගත්තාට මගේ අකැමැත්තක් නැත. ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

Wednesday, September 2, 2015

එහෙනං මං මේක ඔන් කරන්නෙයි?

පසුගිය සතියේ පුවත් මැවූ සිදුවීමක් වූයේ මොහොමඩ් අබාඩ්ගේ අළුත් බයෝනික් පුරුෂ ලිංගයයි. අබාඩ්ට මොනවා හරි කරගන්නට හිතුණුවිට දැන් කරන්නට ඇත්තේ ඔහුගේ වෘෂණ කෝෂයේ ඇති ස්විච්චයක් ඔන් කිරීමයි. ඒ සමඟම ඔහුගේ අඟල් අටක් දිග බයෝනික් පුරුෂ ලිංගයේ ඇති නාල දෙකක් තුළින් රුධිරය ගලා විත් මේ බයෝනික් අවයවය ප්‍රාණවත් වනු ඇත. වැඩේ කර අවසන් වූ පසු ස්විච්චය ඕෆ් කළ යුතුය. එවිට කොල්ලා නැවත නිදා ගනු ඇත.

තෙසාලිස් වියැති අබාඩ් ස්කොට්ලන්තයේ, එඩින්බරෝහි පදිංචි කරුවෙකි. කුඩා කාලයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් පුරුෂ ලිංගය අහිමි කරගත් අබාඩ් කසාදයක් කර ගන්නා විට මේ කතාව එළියට දැම්මේ නැත. මංගල රාත්‍රියේදී වැඩේ මාට්ටු විය.

පසුගිය වසර තුන තිස්සේ ශල්‍ය කර්ම 119කට මුහුණ දෙමින් අන්තිමේදී වැඩේ ගොඩදාගන්නා තුරු අබාඩ්ගේ බිරිඳ බලා සිටිනු ඇතැයි ඔහු සිතා සිටියත් ඇය පසුගිය වසරේ අබාඩ්ගෙන් දික්කසාද විය. දැන් මේ තනිකඩ ආරක්ෂක නිලධාරියා තමන්ගේ බ්‍රෑන්ඩ් නිවු අවයවය ටෙස්ට් රන් එකකට යැවීමට අවකාශයක් සොයමින් සිටී. ස්කොට්ලන්තයේ සීතල රාත්‍රියක මේ බයෝනික් අවයවයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්නට කැමති කෙනෙක් සිටීනම් දැන්මම අයදුම්පතක් යැවිය හැකිය.

බයෝනික් අත් සහ බයෝනික් ඇස් ගැන මා පෙරද කතා කර තිබේ. හෝමෝ සේපියන්ස්ලාට 'අමරණීයත්වය' කරා ලඟා වීම ගැන සිතිය හැකි එක් පාරක් වැටී ඇත්තේ මෙවැනි කෘතීම අවයව නිෂ්පාදනය හරහාය. මේ වන විටත් අපේ බොහෝ අවයව වෙනුවට මෙවැනි කඩෙන් ගත හැකි ස්පෙයා පාර්ට්ස් තිබේ. මේ ඇතැම් අවයව කාබනික නොවන ද්‍රව්‍ය උපකාරයෙන් නිෂ්පාදනය කෙරෙන අතර කෘතීම රුධිරය වැනි වෙනත් ස්පෙයා පාර්ට්ස් හදා ගන්නේ පියවි සෛල තාක්ෂණය (නොදැන සිටි මේ වචනය අල්ලාගත්තේ අපේ මධ්‍යස්ථ මතධාරියාගෙනි) උපයෝගී කර ගනිමිනි.

මා පෙර ලිපියක කතා කළ 'හරක් නැතුව හදන හරක් මස්' හදා ගන්නේද මේ පියවි සෛල තාක්ෂණය උපයෝගී කර ගනිමිනි. මේ සම්බන්ධව මධ්‍යස්ථ මතධාරියාත් ලියා තිබේ.

කෙසේ වුවද මේ පියවි සෛල තාක්ෂණ පර්යේෂණ මේ වන විට ප්‍රධාන වශයෙන්ම සිදු කෙරෙන්නේ මස් හැදීම අරමුණු කරගෙන නොව මිනිස් අවයව සැදීම අරමුණු කරගෙනය. මේ තාක්ෂනය තවදුරටත් දියුණු වූ විට පියවි සෛල උපයෝගී කරගනිමින් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකින් අවශ්‍ය කරන මිනිස් අවයව මුද්‍රණය කර ගැනීමට හැකි වනු ඇත. ටූකෑන් කුරුල්ලෙකුගේ කැඩුණු හොටක් වෙනුවට බද්ධ කෙරුණු මෙවැනි කෘතීම හොටක් ගැන පසුගිය සතියේ අරුණි ශපිරෝද ලියා තිබුණි.

කෘතීම අවයව නිෂ්පාදන තාක්ෂණයේ මේ සාර්ථකත්වය මඟින් පෙන්නුම් කරන්නේ අපි පරිණාමයේ වෙනස්ම අදියරක් කරා ලඟා වෙමින් සිටින බවයි. මේ අළුත් අදියරේදී කාබනික ජීවියාගේ පරිණාමය සිදුවුණු පසුගිය වසර බිලියන තුනහමාර තුළ පැවති මූලික නීති පවා වෙනස් විය හැකිය. ස්වභාවික පරිණාමය වෙනුවට පැමිණීමට නියමිතව ඇත්තේ සැලසුම් කළ පරිණාමයක් සිදුවන යුගයකි.

සිතුවිලි වලින් ක්‍රියා කරන කෘතීම අත් ඇති ජෙසී සුලිවන් සහ එවාන් රෙනෝල්ඩ්ස්, කෘතීම ඇසකින් ලෝකය දකින ෂෙරී රොබට්සන් මෙන්ම ඔන්-ඕෆ් කළ හැකි පුරුෂ ලිංගයක් ඇති මොහොමඩ් අබාඩ්ද අපි වැනිම සාමාන්‍ය මිනිසුන් ලෙස සලකන්නට අපට අපහසුතාවයක් නොමැත. අද වන විට තමන්ට උපතින් නොලැබුණු මෙවැනි කිසියම් අවයවයක් භාවිතා කරන හෝමෝ සේපියන්ස්ලා ගණන සුළු ප්‍රමාණයක් නොවේ.

දැනට වසර දෙකකට පමණ පෙර පැවති විද්‍යා ප්‍රර්ශනයක් සඳහා මෙසේ මිනිසුන් දැනටත් භාවිතා කරන කෘතීම අවයව එකතු කර 'ෆ්‍රෑන්කන්ස්ටයින්' මාදිලියේ  බයෝනික් මිනිසෙකු නිර්මාණය කෙරිණි. මේ 'නිර්මාණයේ' විශේෂත්වය වනුයේ 'ෆ්‍රෑන්ක්' ලෙස නම් කෙරුණු මේ බයෝනික් මිනිසාගේ හෘදය වස්තුව, රුධිරය ඇතුළු සියළුම කොටස් පාහේ යම් මිනිසෙකු විසින් භාවිතා කෙරෙන ආකාරයේ ඒවා වීමයි. අඩුවකට තිබුණේ සම, ආහාර ජීර්ණ පද්ධතිය සහ මොළය වැනි අවයව කිහිපයක් පමණි.


'ෆ්‍රෑන්ක්' යනු මිනිසෙකුයැයි කිසිවකු නොසලකනු ඇත. එසේනම්, මිනිසාගේ මිනිස්කම ඇත්තේ කොහේද? මිනිස් මොළයේද?

මිනිස්කම ඇත්තේ මිනිස් මොළයේනම් මොළය ක්‍රියාකාරී නොවන කෙනෙක් මිනිසෙකු නොවේද? එතකොට මොළය පාවිච්චියට නොගෙන බ්‍රෑන්ඩ් නිවු ලෙසම තියාගෙන ඉන්න අය?

(මොහොමඩ් අබාඩ්ගේ ඡායාරූපය ගත්තේ: http://www.mirror.co.uk/news/uk-news/man-who-lost-penis-horrific-6330448 වෙබ් පිටුවෙනි. මගේ විෂය ක්ෂේත්‍රයට කෙළින්ම අදාළ දෙයක් නොවන නිසා මා මෙහි සියුම් විස්තර නොදන්නා නමුත් මගේ අදහස පරිදි මාධ්‍ය ප්‍රචාරයට සාපේක්ෂව අබාඩ්ගේ ශල්‍ය කර්මය තාක්ෂණයේ මහා ලොකු පිම්මක් නොවේ. මට අවශ්‍ය මෙහි හිතන්නට ඇති දේවලට අවධානය යොමු කරන්නටය.)
There was an error in this gadget