වෙබ් ලිපිනය:

Sunday, September 6, 2015

මයිකල් ජැක්සන් සහ මැයි විරුවෝ



අද (සඳුදා) උතුරු ඇමරිකානු මහාද්වීපය තුළ කම්කරු දිනය සැමරේ. ආරම්භක අභිප්‍රායයන් කවරෙක් වුවද, මේ වන විටනම්, ග්‍රීෂ්ම සෘතුවේ අවසාන දීර්ඝ සති අන්තය වන කම්කරු දිනයේදී බොහෝ දෙනා මේ නිවාඩුව ප්‍රයෝජනයට ගන්නේ කාලගුණය වෙනස් වීමට පෙර එළිමහනේ විනෝද වීම සඳහාය. බොහෝ සුපිරි වෙළඳසැල් වල කම්කරු දිනය වෙනුවෙන් අඩු මිලට බඩු විකිණීමද සාමාන්‍ය දෙයකි.

ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව හැරුණු විට ලංකාව ඇතුළු ලෝකයේ අනෙකුත් සෑම රටක්ම පාහේ කම්කරු දිනය සමරන්නේ ජාත්‍යන්තර කම්කරු දිනයද වන මැයි පළවෙනිදාටය. මෙහි විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස මැයි පළවෙනිදා යොදාගැනීමට පාදක වූ සිදු වීම සිදුවුණේ ඇමරිකාවේදී වීමයි.

1884 දී රැස්වුණු ඇමරිකාවේ සහ කැනඩාවේ කම්කරු සංගම් සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ සමුළුවකදී 1886 මැයි පළමුවෙනිදා සිට පැය අටේ වැඩ දිනය සම්මතයක් විය යුතුයයි සම්මුතියකට පැමිණි අතර මේ දිනය ලං වෙද්දී මේ ඉල්ලීම ලබාගනු පිණිස මහා වැඩ වර්ජනයක්, විරෝධතා රැළි සහ පෙළපාලි ඇතුළු උද්ඝෝෂණ ව්‍යාපාරයක් කැඳවනු ලැබිණි. ඇමරිකාවේ බොහෝ නගර වල පැවති මේ විරෝධතා ව්‍යාපාර වලින් විශාලම එක වූයේ චිකාගෝහි පැවති විරෝධතාවයි. මේ සඳහා සහභාගී වූ පිරිස 90,000 ඉක්මවීයැයි ඇස්තමේන්තු කර ඇත.

විරෝධතා ව්‍යාපාරය දින කිහිපයක් දිග්ගැස්සෙද්දී මැයි 3 වන දින එය මැඩ පැවැත්වීම සඳහා වූ පොලිස් මැදිහත්වීම කෙළවර වූයේ පොලිස් වෙඩි පහරින් විරෝධතාවට එක්වූ මැක්කෝර්මික් සමාගමේ සේවකයින් දෙදෙනෙකු (විකිපීඩියා අනුව, වෙනත් ඇතැම් මූලාශ්‍ර අනුව සිවු දෙනෙකු හෝ හය දෙනෙකු විය හැක.) මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබීමෙනි.

දැනටත් බොහෝ විට සිදුවන පරිදිම, මේ මරණ වෙන්දේසි කරමින්, පසුදින සැලකිය යුතු පිරිසකගේ සහභාගිත්වයෙන් ඉහත වෙඩි තැබීම සිදුවූ තැනට ආසන්නව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කෙරිණි. සාමකාමීව පැවැත්වුණු මේ රැස්වීම නවත්වන ලෙස පොලීසියෙන් විධාන කෙරුණද ඒ වන විට විරෝධතාකරුවන් අමතමින් සිටි කථිකයා එයට එකඟ වූයේ නැත. මෙහිදී සිදුවූ බහින්බස් වීම අතරතුර හඳුනා නොගත් විරෝධතාකරුවෙකු පොලීසිය දෙසට බෝම්බයක් දමා ගැසීය. මෙයින් එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් හය දෙනෙකු මරණීය තුවාල ලැබීය. මෙහිදී පොලීසිය විසින් පෙරලා වෙඩි තැබීමේදී තවත් බොහෝ මරණ සහ තුවාල සිදුවිය. (මුලින්ම සිදුවූයේ පොලිස් වෙඩි තැබීම බවද එක් මතයකි.)

මේ සිද්ධිය සම්බන්ධව විරෝධතාව සංවිධානය කළ කම්කරු නායකයින් ඇතුළු අට දෙනෙකුට චෝදනා ඉදිරිපත් විය. ඔවුන්ගෙන් හත් දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර එක් අයෙකු නඩු විභාගය ඇරඹෙන දින ස්වේච්ඡාවෙන් භාර විය. මේ විවාද සම්පන්න නඩු විභාගයේදී මේ කිසිවෙකුට බෝම්බය දමා ගැසීම පිළිබඳව චෝදනා ඉදිරිපත් නොවූ අතර ඉදිරිපත් කළ චෝදනාව වූයේ මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවට අනුබල දෙමින් කුමන්ත්‍රණයක් කිරීමයි. මේ සම්බන්ධ මූලාශ්‍ර අන්තර්ජාලයේ ඇති නිසාත්, ඒවායේ අපැහැදිලි හා විවාද සම්පන්න තැන් බොහෝ ඇති නිසාත් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට මා කාලය මිඩංගු කරන්නේ නැත.

කුමන්ත්‍රණය ඔප්පු කිරීම සඳහා මුද්‍රණාලයක් වටලා සොයාගත් ප්‍රචණ්ඩකාරීත්වය වපුරන පෝස්ටර්, බෝම්බ සෑදීමට යොදාගන්නා උපකරණ ආදිය උපයෝගී කර ගැනුණු අතර තවත් සැකකරුවෝ කිහිප දෙනෙකු රජයේ සාක්ෂිකරුවෝ වූහ.ඔවුන්ට චෝදනා ඉදිරිපත් නොකෙරිණි. අපක්ෂපාතීත්වය පිළිබඳව බොහෝ විවේචන එල්ල වී ඇති, මේ සැකකරුවන්ට එරෙහිව පැවති නඩු විභාගයේදී මේ අට දෙනාගෙන් හත් දෙනෙකුටම මරණ දඬුවම හිමිවිය. එයින් දෙදෙනෙකුගේ දඬුවම අභියාචනාධිකරණයේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා වෙනස් කෙරුණේය.

මරණ දඬුවම නියම වූ පස් දෙනාගෙන් එක් අයෙකු දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර දින සවස් වරුවේ සියදිවි නසා ගත්තේය. අනෙක් සිවුදෙනාව 1887 නොවැම්බර් 11 වැනි දින එල්ලා මරා දමන ලදී. ඔවුන් විප්ලවීය ගීත ගයමින් පෝරකයට ගිය බව පැවසේ.

මෙසේ පැය අටේ වැඩමුරයක් වෙනුවෙන් ජීවිතය කැපකළ මේ පස් දෙනාගේ සිරුරු විරෝධතාව සිදුවූ ස්ථානයට ආසන්නව චිකාගෝහි ෆොරස්ට් පාර්ක් ප්‍රදේශයේ ඩෙස්ප්ලේන්ස් වීදියේ පිහිටි මේ වනවිට ෆොරස්ට් හෝම් සුසාන භූමියේ කොටසක් වන, එවකට ජර්මන් වෝල්ඩ්හයිම් සුසාන භූමියේ තැන්පත් කෙරිණි. (මේ බොහෝ දෙනෙකු ජර්මන් සම්භවයක් ඇති අයයි.) මොවුන් ඉතා ඉක්මණින්ම ඇමරිකාවේ මෙන්ම ලෝකය පුරා කම්කරුවන් ඇතුළු වැඩකරන ජනතාවගේ වීරයන් බවට පත් වූහ. ඔවුන්ගේ සිරුරු මිහිදන් කෙරුණු තැන විරු ස්මාරකයක් ඉදිවූ අතර සිද්ධියට සම්බන්ධ ඉතිරි තිදෙනෙක්ද මියයාමෙන් පසු සිරුරු මිහිදන් කෙරුණේ මේ ස්ථානයට ආසන්නවය. 1997 වසරේදී මේ ස්මාරකය ඇමරිකාවේ ජාතික ඓතිහාසික ස්මාරකයක් ලෙස නම් කෙරුණේය.


රතු ඉර වදින්නට පෙර (දැන්නම් විද්‍යුත් කාලසටහන් යන්ත්‍ර) කන්තෝරුවට යාන්තම් රිංගාගන්නට දඟලන, තුනහමාරේ සිට ඔරලෝසුව දෙස බලමින් සිටින ලංකාවේ බොහෝ දෙනෙකුට දැනෙන පැය අටේ වැඩ දිනයේ වැදගත්කම එදා කෙසේ වෙතත් අදනම් ඇමරිකාවේ සාමාන්‍ය වැඩකරන ජනතාවට ඇඟට දැනෙන දෙයක් නොවේ.

මධ්‍යම පාන්තික රැකියා කරන බොහෝ දෙනෙකුට නිවසේම සිට වැඩකිරීමේ හෝ තමන්ට අවශ්‍ය විචල්‍ය වැඩමුරයක් තෝරා ගැනීමේ අවස්ථාව හිමිවී ඇති අතර ඔවුන්ගේ වේතන තීරණය වන්නේ කරන කාර්යයේ ඵලදායීතාව අනුව මිස වැඩ කරන පැයගණන අනුව නොවේ. පැයේ රේට්ටුවට පහළම මට්ටමේ රැකියා කරන සේවකයින්ගේ අපේක්ෂාවද රැකියා දෙකක් හෝ කරමින් වැඩි ආදායමක් ලබා ගැනීම මිස තම වැඩ දිනය පැය අටකට සීමා කර ගැනීම නොවේ.

අක්කර විශාල ගණනක පැතිරුණු සුසාන භූමි සංකීර්ණයක පිහිටි ලොකු කුඩා ස්මාරක දහස් ගණනක් අතරින් ඓතිහාසික මැයි විරු ස්මාරකය සොයා ගැනීම පහසු වැඩක් නොවේ. එහෙත්, මේ අවට ජීවත් වන අය හෝ මේ සුසාන භූමි සංකීර්ණය ඉදිරිපිට ඇති වෝල්මාර්ට් වෙළඳසැලේ අවම වැටුපට වැඩ කරන ඩිමිටායි ඩෙමෝර්ලා පාරෙන් අනෙක් පැත්තේ ඇමරිකාවේ ජාතික ඓතිහාසික ස්මාරකයක් ඇති බව වුවද දන්නේ නැත. ජාත්‍යන්තර කම්කරු දිනයේදී චිකාගෝහිදීද ලොකු සහභාගිත්වයක් නොමැතිව සැමරුමක් සිදුවූවත් මේ සඳහා සහභාගී වන බොහෝ දෙනෙකු ලතින් ඇමරිකානු රටවලින් මෑතකදී පැමිණි සංක්‍රමණිකයින්ය

මේ ස්ථානයේ සිට සැතපුම් 42ක් දුරින් අඩු ආදායම්ලාභී කළු ජාතිකයින් බහුලව වෙසෙන පෙදෙසක මයිකල් ජැක්සන් උපන් කුඩා නිවස පිහිටා තිබේ. කටු මැටි ගසා, පිදුරු සෙවිලි කර නැතත් මේ නිවස ඇමරිකාවට සාපේක්ෂව දුගී නිවසකි. වසා දමා ඇති මේ නිවෙස ඉදිරිපිට ඉදිකර ඇති ස්මාරකයක් හැරුණු විට මෙහි නරඹන්නට විශේෂ දෙයක් නැති මුත් පැය භාගයක් පමණ කාලයක් තුළ අඩු වශයෙන් කණ්ඩායම් හතරක් පහක් එහි පැමිණෙනු දැකිය හැකිය. මේ බොහෝ දෙනා කළු ජාතිකයින්ය.


ඇමරිකාවේ වත්මන් ජනාධිපතිවරයා කළු ජාතිකයෙකු වුවත් ජනවර්ගයක් වශයෙන් ආදායම හා අධ්‍යාපන මට්ටම අනුව තවමත් ඇමරිකාවේ කළු ජාතිකයින් සිටින්නේ සාමාන්‍ය ඇමරිකානුවෙකුට වඩා පසුපසිනි. එහෙත් ක්‍රීඩා සහ සංගීත ක්ෂේත්‍ර වල ජනගහණ සංයුතියට සාපේක්ෂව ඔවුන්ගේ දායකත්වය විශාලය. දැනටත් බොහෝ කළු ජාතිකයින්ගේ සිහිනය ඔවුන්ගේ දරුවන් ගායකයින් හෝ බේස්බෝල් ක්‍රීඩකයින් කිරීමයි. මයිකල් ජැක්සන් මේ සිහිනයේ සංකේතයකි. වීරයෙකි.

වීරයින් මෙන්ම ද්‍රෝහීන්ද බිහිවන්නේ නිරපේක්ෂ කාල-අවකාශයන්හි නොවේ.

7 comments:

  1. ඇතමෙකුට විරුවා තවකෙකුට ද්‍රෝහියෙක්. ද්‍රෝහියාත් වීරයාත් බිහිවන්නේ තම තමන්ගේ මති මතාන්තර අනුවය. නිරපේක්ෂ කාල - අවකාශයන්හි නොවේ සත්‍යයකි. අගනා සටහනක්.

    ReplyDelete
  2. වීරයෝ උනත් සදාකාලික නැහැ නොවේද?අවශ්‍යතාව අනුව බිහිවෙන වීරයෝ ඒ අවශ්‍යතව ඉටු වූ පසු ඔවුන්ගේ ලංසුවත් පහල බසිනවා.

    ReplyDelete
  3. පැය අටේ කතාව ගැන ලංකාවේ හා දැන් ඇමෙරිකාවේ ආකල්පය ඉතාමත් වැදගත්.. දැන් ලංකාවෙත් පය අට කියන්නේ නීතියට අනුව තියෙන එකක් විතරයි. ප්‍රයිවෙට් සෙක්ටර් එකේ එහෙම ගොඩක්ම සැලරි හදන්නේ පැය අටෙන් පස්සේ වැඩ කරන උන්ට වාසි වෙන විදියට. බේසික් අවර්ස් හා ඕවර්ටයිම් දාල.. තවම ලංකාවේ දියුණු කරන්න බැරි උනේ කරන වැඩේ ඵලදායිතාව අනුව ගෙවන සිස්ටම් එක තමයි. තියෙනවා බොහොම ප්‍රථමික මට්ටමේ. එහෙම උනානම් හැබැයි අපි උනත් මිට වඩා කාලයෙන් වැඩ ගන්නවා..

    ReplyDelete
    Replies
    1. කොයි රටක වුනත් පෞද්ගලික අංශයට සෘජුව හෝ වක්‍රව ඵලදායීතාව මත ගෙවීම් පදනම් කරන්න වෙනවා. ඒත් රාජ්‍ය අංශයේ ඒක ඒ විදිහටම වෙන්නේ නැහැ. රාජ්‍ය අංශය ලොකු වැඩි වුණාම පෞද්ගලික අංශයටත් රාජ්‍ය අංශයේ සිදුවන අසමතුලිතතා වල බලපෑමෙන් මිදෙන්න අමාරු වෙනවා.

      Delete
    2. අනෙත් කරුණ කණ්ඩායමක වැඩකරන තනි පුද්ගලයින්ගේ ඵලදායීතාවය නිරීක්ෂණය කිරීමට අපහසු වීම සහ ලංකාවේ වැඩ සංස්කෘතිය තුළ එය ඉතාම අපහසු වීම. නිශ්චිත කාලයක් වැඩ කරන වෙනස් පුද්ගලයින්ගේ ඵලදායීතාවයන් ස්වභාවිකවම වෙනස්. කණ්ඩායම් හැඟීම ලෙස අපි වැරදියට හඳුනාගෙන තියෙන ආකල්පය නිසා අපි මේ අඩු ඵලදායිත්වයක් ඇති අයව 'පාවා නොදී' ආවරණය කරනවා. ඒ නිසා ඒ අයට ඵලදායීතාවය වැඩි කර ගැනීමට ඇති (පුහුණු වැඩසටහන් වැනි) අවස්ථා අහිමි වෙද්දී අපිට වැඩ වැඩි වෙනවා. එතකොට අපි මේ වැඩි වැඩ වලට වැඩි යමක් බලාපොරොත්තු වෙනවා.

      ඵලදායීතාවය අඩු අයව අපි ආවරණය කරන නිසා එලියට පෙන්නේ කණ්ඩායමේ සාමාන්‍ය ඵලදායීතාවය. ඒ නිසා හැමෝටම ලැබෙන්නේ එහි වටිනාකම. මේක ඵලදායීතාවය අඩු අයට ඕනෑවටත් වඩා දෙයක් වුණත් ඵලදායීතාවය වැඩි අයට සතුටු වීමට ප්‍රමාණවත් නැති දෙයක්. ඒ නිසා ඒ අයත් හිතනවා ඇයි අපි විතරක් නිකං මැරෙන්නේ කියලා. අවසාන ප්‍රතිඵලය වන්නේ කණ්ඩායමේ හැමෝගෙම ඵලදායීතාවය එහි ඵලදායීතාවය අඩුම කෙනාගේ මට්ටමට වැටීම සහ වැටුප්ද ඒ මට්ටමටම වැටීම.

      පන්තියක එක ළමයෙක් විසිල් ගහනවා. අනිත් අය ඇයව පාවාදෙන්නේ නැති නිසා පන්තියම ගුටිකනවා. පාවාදුන්නත් නැතත් විසිල් ගහපු ගෑල්ලමයා කොහොමටත් ගුටිකනවා. දැන් පන්තියේ අනිත් අයත් නිකං ගුටිකනවා.

      ඔය අතරේ අනුන්ගේ වැඩ වලින් ලකුණු දාගන්න අයත් ඉන්නවා. ඒ අය නැති ඵලදායීතාවයක් පෙන්වලා ප්‍රතිලාභ ලබාගන්නවා. අපි ඌට තැන තැන බනිනවා. ඒත් ඌව පාවල දෙන්නේ නැහැ. අන්තිමට ඌට ලැබෙන්නේ මට ලැබිය යුතු දෙයක්. මම බනින්නේ ලොක්කට. ඒත් ලොක්කා අහිංසකයි.

      Delete
    3. මේක බැලුවම වෙනම ලිපියක් දෙකක් ලියන්න කතාවක් නේද? නරකද ඒ අදහස? 'හොඳයි' කියල හිතාගෙන ඉන්න මේ පුරුදු වලිනුත් අන්තිමේ නරකක් වෙන්නේ බැලුවම ..

      Delete
  4. අගනා ලිපියක් ජීවිතයට බොහෝයි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: