පසුගිය ජන හා නිවාස සංගණනයේ දත්ත මත පදනම්ව සිදු කර තිබෙන ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය 1.3 දක්වා පහත වැටී තිබෙනවා. කිසියම් ජනගහණයක් ස්ථාවරව පැවතීම සඳහා අවශ්‍ය වන අවම සාඵල්‍යතා අනුපාතය 2.1ක් ලෙස සැලකෙන අතර ඉහත අගය එම අගයට වඩා බෙහෙවින්ම අඩු අගයක්.
Wednesday, April 22, 2026
සාඵල්‍යතා අනුපාතය සහ ජනවිකාශ ප්‍රවණතා
පසුගිය ජන හා නිවාස සංගණනයේ දත්ත මත පදනම්ව සිදු කර තිබෙන ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය 1.3 දක්වා පහත වැටී තිබෙනවා. කිසියම් ජනගහණයක් ස්ථාවරව පැවතීම සඳහා අවශ්‍ය වන අවම සාඵල්‍යතා අනුපාතය 2.1ක් ලෙස සැලකෙන අතර ඉහත අගය එම අගයට වඩා බෙහෙවින්ම අඩු අගයක්.
Sunday, November 16, 2025
ලංකාවේ ජනගහණය උපරිම මට්ටම පහු කරලා ඉවරද?
පසුගිය (2024) වසරේ දෙසැම්බර් 19 වන දින "සංගණන මොහොතේදී" ලංකාවේ ජනගහණය ලෙස පුද්ගලයින් 21,781,800 දෙනෙකු ගණන් කර තිබෙනවා. ඊට පෙර 2012 සංගණන මොහොතේදී ලංකාවේ ජනගහණය ගණන් ගැනුණේ 20,359,439ක් ලෙසයි. මේ අනුව, වසර දොළහක පමණ කාලයක් තුළ ලංකාවේ ජනගහණයේ වර්ධනය 1,422,361ක් පමණයි.
වඩා වැදගත් කරුණක් වන්නේ මේ වර්ධනයෙන් 79.8%කටම දායක වී තිබෙන්නේ වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් ගණන 1,135,151කින් ඉහළ යාම වීමයි. මීට සාපේක්ෂව වයස අවුරුදු 15 නොඉක්මවූ ජනගහණය 5,131,666 සිට 4,506,839 දක්වා 20.7%කින් අඩු වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි.
වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයෙක් කියන්නේ 1959දී හෝ ඊට පෙර උපන් අයෙක්. 1959 වන විට ලංකාවේ උපත් අනුපාතිකය දහසකට 37.0ක් වැනි ඉතා ඉහළ මට්ටමක තිබුණා. 1960 පමණ සිට මෙම අනුපාතිකය ක්‍රමක්‍රමයෙන් අඩු වන්නට පටන් ගත්තා. 2024 වන විට ලංකාවේ උපත් අනුපාතිකය දහසකට 9.6 දක්වා අඩු වී තිබුණා.
එහෙත් මරණ අනුපාතිකය 1959 වන විටද දහසකට 9.1 මට්ටම දක්වා පහත වැටී තිබුණු බැවින් මරණ අනුපාතිකයෙහි ඊට සමාන්තර වේගවත් අඩු වීමක් සිදු වීමේ අවකාශයක් තිබුණේ නැහැ. එම අනුපාතිකය අඩු වූයේ සෙමෙන්. ඒ නිසා, උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර පරතරය ක්‍රමක්‍රමයෙන් අඩු වුනා. 2024 වන විට ලංකාවේ මරණ අනුපාතිකය දහසකට 7.8ක් වූ අතර උපත් හා මරණ අනුපාතික අතර වෙනස දහසකට 1.8 දක්වා අඩු වී තිබුණා.
ලංකාවේ ජනගහණය දිගින් දිගටම වර්ධනය වීමට හේතු වූයේ උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර වූ වෙනසයි. එම වෙනස ක්‍රමක්‍රමයෙන් අඩු වෙද්දී ජනගහණ වර්ධන වේගයද ක්‍රමයෙන් අඩු වුනා. මේ වන විට ලංකාවේ උපත් හා මරණ අනුපාතික අතර වෙනස රටේ ශුද්ධ සංක්‍රමණ අනුපාතිකයද ඉක්මවා පහත වැටී තිබෙනවා. එහි ප්‍රතිඵලය වනුයේ රටේ ජනගහණය ක්‍රමක්‍රමයෙන් අඩු වීමයි.
ලංකාවේ උපත් අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක පැවති 1960ට පෙර කාලයේදී ඉපදුනු අය මේ වන විට වයස අවුරුදු 65 ඉක්මවා සිටින අයයි. ලංකාවේ අපේක්ෂිත ආයු කාලය ආසන්න වශයෙන් වසර 78ක් පමණ වන බැවින් ඉදිරි කාලයේදී මරණ අනුපාතිකය ක්‍රමයෙන් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර වෙනස ඉදිරි වසර කිහිපය තුළ තවත් අඩු විය හැකියි. එමෙන්ම, ශුද්ධ සංක්‍රමණ අනුපාතිකයද තවත් කාලයක් යන තුරු ධන අතට හැරීමේ විභවයක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, පසුගිය සංගණනයේදී ගණන් ගැනුණු ලංකාවේ ජනගහණය බොහෝ විට ලංකාවේ සංගණනයකදී ගණන් ගැනුණු වැඩිම ජනගහණය විය හැකියි.
සංගණනය පැවැත්වූ දින සිට 2025 ජූනි 30 දක්වා වූ මාස හයකට මදක් වැඩි කාලය ඇතුළත රට තුළ උපත් 110,652ක් හා මරණ 95,181 සිදු වෙද්දී, ශුද්ධ වශයෙන් 41,002 දෙනෙකු රටෙන් පිටතට සංක්‍රමණය වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංගණන මොහොතේ සිට 2025 ජූනි 30 දක්වා කාලය ඇතුළත ලංකාවේ ජනගහණය 25,531කින් පහත වැටී තිබෙනවා.
Friday, October 31, 2025
ලංකාවේ වාර්ගික හා ආගමික සංයුතිය
පසුගිය (2024) වසරේදී පැවැත්වුණු ජන හා නිවාස සංගණනයේ ප්රතිඵල අනුව, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සහ ආගමික සංයුතිය පිළිබඳ යාවත්කාලීන දත්ත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2012 සංගණන අවස්ථාවේදී පැවති තත්ත්වයට සාපේක්ෂව, සිංහල ප්‍රතිශතය 0.8%කින් අඩු වී, මුස්ලිම් ප්‍රතිශතය 1.2%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අතරම, ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය 1.2%කින් ඉහළ ගොස් ඉන්දියානු දෙමළ ප්‍රතිශතය 1.3%කින් පහත වැටී තිබෙනවා. කෙසේ වුවද, දෙමළ කණ්ඩායම් දෙක අතර මෙම වෙනසට හේතුව සේ පෙනෙන්නේ මීට පෙර ඉන්දියානු දෙමළ සේ තමන්ව හඳුනාගත් සැලකිය යුතු පිරිසක් මේ වන විට තමන්ගේ අනන්‍යතාවය ශ්‍රී ලාංකික දෙමළ සේ සැලකීම බවයි පෙනී යන්නේ. කොටස් දෙකම සැලකූ විට දෙමළ ප්‍රතිශතයේ ලොකු වෙනසක් දැකිය නොහැකියි.
පහත තිබෙන්නේ මේ වන විට ලංකාවේ වාර්ගික සංයුතියයි.
සිංහල - 74.1%
ශ්‍රී ලංකා දෙමළ - 12.3%
ඉන්දියානු දෙමළ - 2.8%
මුස්ලිම් - 10.5%
වෙනත් - 0.3%
ආගමික සංයුතියේ වෙනස් වීම පිරික්සද්දී, බෞද්ධ ප්‍රතිශතයේ 0.3%ක අඩු වීමක්ද, රෝමානු කතෝලික ප්‍රතිශතයේ 0.8%ක අඩුවීමක්ද දැකිය හැකියි. හින්දු ප්‍රතිශතයෙහි වෙනසක් සිදු වී නොමැති අතර ඉස්ලාම් ප්‍රතිශතය 1.0%කින් ඉහළ ගොස් තිබෙනවා.
බෞද්ධ - 69.8%
හින්දු - 12.6%
ඉස්ලාම් - 10.7%
රෝමානු කතෝලික - 5.6%
වෙනත් ක්‍රිස්තියානි - 1.3%
ඉහත රටාවන් දිස්ත්‍රික්ක මට්ටමෙන්ද එලෙසම මෙන් නිරීක්ෂණය කළ හැකියි. අදාළ සංඛ්‍යලේඛන මේ සමඟ පළ කෙරෙන වගු දෙකෙහි තිබෙනවා.
Tuesday, April 8, 2025
සංගණන ප්‍රතිඵල සහ ඒක පුද්ගල ආදායම
පසුගිය වසර අවසානයේදී පැවති ජන හා නිවාස සංගණනයේ ප්රතිඵල අනුව 2024 දෙසැම්බර් 19 දිනය උදා වන මොහොතේ (එනම් 2024 දෙසැම්බර් 18 මධ්‍යම රාත්‍රිය පසු වූ මොහොතේ) ලංකාවේ ජනගහණය 21,763,170ක් ලෙස ගණනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි සංගණනයක් පවත්වන්නේ වසර 10කට පමණ කාලාන්තරයකට පසුවයි. මීට පෙර මෙවැනි සංගණනයක් පැවැත්වූයේ 2012 මාර්තු 20 දිනයි (2012 මාර්තු 19 මධ්‍යම රාත්‍රිය පසු වූ මොහොතේ). ඒ වන විට ලංකාවේ ජනගහණය 20,359,439ක්.
අන්තර් සංගණන වර්ෂ වලදී රටේ ජනගහණය ඇස්තමේන්තු කරන්නේ උපත් හා මරණ ලියාපදිංචි කිරීම් සහ ශුද්ධ විදේශගත වීම් සැලකිල්ලට ගනිමිනුයි. මේ අනුව, උපත් හා ආගමන ප්‍රමාණයෙන් මරණ හා විගමන ප්‍රමාණය අඩු කළ පසු ලැබෙන පිළිතුර ජනගහණයේ වෙනස සේ සැලකෙනවා. එහෙත් මෙම නිල සංඛ්‍යාලේඛණ සියයට සියයක්ම නිවැරදි නොවන නිසා වසර දහයක් පමණ ගොස් සංගණනයක් කළ විට දැන ගන්නට ලැබෙන රටේ සැබෑ ජනගහණයේ ප්‍රමාණය ඉහත ඇස්තමේන්තුවට හරියටම සමාන වන්නේ නැහැ.
සංගණන ප්‍රතිඵල නිකුත් වීමට පෙර සකස් කර තිබුණු ඇස්තමේන්තු අනුව 2024 වසර මැද ලංකාවේ ජනගහණය ආසන්නව 21,916,000ක්. එහෙත්, සංගණන ප්‍රතිඵල අනුව පෙනී යන්නේ ජනගහණය ඊට වඩා ලක්ෂ එක හමාරකින් පමණ අඩු බවයි. මෙය 0.7%ක පමණ අඩුවක්. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,516ක් සේ ගණනය කර තිබුණේ ජනගහණය 21,916,000ක් යන පදනම මතයි. රටේ ජනගහණය 21,763,170ක් සේ සැලකුවහොත්, ඒක පුද්ගල ආදායම ඩොලර් 4,548ක් පමණ විය යුතුයි.