වෙබ් ලිපිනය:

Friday, September 29, 2023

ස්ථායීකරණ වැඩ පිළිවෙළේ ප්‍රගතිය හා අනාගතය


ලංකාව වසරක පමණ කාලයක් තිස්සේ බලා සිටි ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදලද සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ එකඟතාවය පසුගිය මාර්තු මාසයේදී ඇති කරගනු ලැබුවා. ඒ සමඟම ණය මුදලේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක්ද ලැබුණා. මේ හා අදාළ පුවත් නිවේදනය නිකුත් වීමෙන් පසුව, අදාළ ස්ථායීකරණ වැඩ පිළිවෙළ සාරාංශගත කරමින් සහ එය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දිය යුතු අභියෝග හතරක් ගැන පැහැදිලි කරමින් 2023 මාර්තු 20 දින අප විසින් ලිපියක් පළ කළා. 

ලිපිය ලියන විට අදාළ වැඩ පිළිවෙළෙහි සාරාංශයක් හැර විස්තරාත්මක වැඩ පිළිවෙළ ප්‍රකාශයට පත් කර තිබුණේ නැහැ. එම වැඩිමනත් තොරතුරු දැනගත හැකි වුනේ දිනකට හෝ දෙකකට පසුව නිසා මේ ලිපියේ ඇති ඇතැම් කරුණු පාදක වූයේ ඒ වන විට දැනගත හැකි වූ සීමිත තොරතුරු මත වුවත්, මෙම ලිපියෙහි හඳුනාගෙන ඇති ප්‍රධාන අභියෝග හතරේ වලංගු භාවය යම් එකතු කිරීම් සහිතව තව දුරටත් එලෙසම තිබෙනවා. එමෙන්ම, මේ වන විට අවසන්ව තිබෙන පළමු සය-මාසික සමාලෝචනය හා අදාළ පුවත් නිවේදනය තුළද ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. 

"මේ වැඩ සටහන සාර්ථක වෙයිද?

වැඩ සටහනෙහි මූලික කුළුණු දෙකක් වන රාජ්‍ය ආදායම් ඉලක්ක හා අපනයන ආදායම් ඉලක්ක ඉතාම අභියෝගාත්මක ඉලක්කයි. මෙම ඉලක්ක දෙස මා අසුබවාදී ලෙස නොබලන නමුත් ප්‍රායෝගිකව එම ඉලක්ක ලඟා කරගන්නා ආකාරය මට පැහැදිලි නැහැ. රාජ්‍ය ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ප්‍රාථමික අයවැය ඉලක්ක වලට යන්න බැහැ. අපනයන ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට යන්න බැහැ. ප්‍රාථමික අයවැය ඉලක්ක වලට සහ ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට ගියේ නැත්නම් අරමුදලේ වාරික දිගටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉදිරි වසර හතර රට පාලනය කරන කවර හෝ රජයකට ලේසි වෙන අවුරුදු හතරක් නෙමෙයි. 

ඉතා ඉක්මනින් ඩොලර් බිලියන පහකට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ලබා ගැනීම ක්ෂණික අභියෝගයක්. ඇතැම් විට මෙම මුදල ලබා ගැනීම සඳහා දැනටමත් කටයුතු සිදු වෙනවා විය හැකියි.

මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්ෂණික අභියෝගයක් ලෙස තිබෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් අඩක් පමණ ලබා ගැනීමට ඔවුන් කැමති විය යුතු බවකුයි මට පෙනෙන්නේ. එසේ නැත්නම් මේ ඉලක්ක වලට යන්න බැහැ. මෙම අභියෝගය, මගේ අදහස අනුව, ඉහත කී අභියෝග දෙක තරම් අමාරු නැහැ. වඩාත්ම අමාරු ඉහත කී රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සහ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ අභියෝගයයි."

උපුටා ගැනීම: "ඩොලර් බිලියන තුනක IMF ණය අනුමත වේ!" - මාර්තු 20, 2023.

ඉහත උපුටා දක්වා ඇති කොටසේ විස්තර කර ඇති පරිදි, අප විසින් මාස හයකට පෙර හඳුනාගත් ක්ෂණික අභියෝග දෙක සහ මැදිකාලීන අභියෝග දෙක මේවායි.

1. වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම

2. ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම 

3. වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය රාජ්‍ය ආදායම් ඉලක්කය වෙත යාම 

4. වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය විදේශ ආදායම් ඉලක්කය වෙත යාම 

දැන් අපි ඉහත අභියෝග හමුවේ කටයුතු සිදු වී ඇති ආකාරය පිළිබඳව සමාලෝචනයක් කරමු.

වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම:

දිනක් හෝ දෙකක් ඇතුළත වැඩිමනත් තොරතුරු දැනගන්නට ලැබුණු නිසා, තරමක් සංශෝධනය විය යුතු වුවත් අප විසින් මේ හා අදාළව මුලින් ලියා ඇති දේ පහත එලෙසම උපුටා දක්වනවා. 

"විදේශ සංචිත 

මෙම වසර අවසානයේදී ඩොලර් බිලියන 4.43 දක්වාත්, 2026 වන විට ක්‍රමයෙන් ඩොලර් බිලියන 10.89 දක්වාත් වර්ධනය කර ගත යුතුයි. මගේ ඇස්තමේන්තුව මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.5-2.6 ආසන්න මට්ටමක ඇති බවයි. අරමුදලේ පළමු වාරික දෙක ඩොලර් මිලියන 666ක් සේ සැලකුවොත්, සැප්තැම්බරයේ බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 200 ගෙවීමෙන් පසුව, ඩොලර් බිලියන 3ක් පමණ දක්වා සංචිත මුදල් ඉහළ යනවා. ඩොලර් බිලියන 4.43 දක්වා සංචිත වැඩි කර ගැනීමටනම් මහ බැංකුවට වසර තුළ ඩොලර් බිලියන 1.4ක් පමණ වෙළඳපොළෙන් මිල දී ගැනීමට සිදු වෙනවා. පොලී ගෙවීම් හැර ජංගම ගිණුම් ශේෂයෙහි ඩොලර් මිලියන 150ක පමණ අතිරික්තයක් තිබිය යුතු නිසා, අවම වශයෙන් වසර තුළ ඩොලර් බිලියන 1.5ක පමණ ශුද්ධ විදේශ ණය ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා. ඊට අමතරව වසර තුළ ගෙවිය යුතු විදේශ ණය හා පොලී ගෙවීම සඳහා ඩොලර් බිලියන 3.2ක් පමණ අවශ්‍ය නිසා මේ ඉලක්කයට යාමටනම් ඩොලර් බිලියන 4.7ක පමණ විදේශ ණය අවශ්‍යයි. එම ණය ප්‍රමාණය ලබා ගැනීම සඳහා සැලසුම් රජය සතුව තිබෙනවා විය හැකියි."

ඉහත ලිපිය පළ කළ මාර්තු මාසය අවසන් වන විට, මා හිතන පරිදි අරමුදලේ පළමු වාරිකයද ඇතුළත්ව, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,694ක්ව පැවතුණා. අගෝස්තු මාසය අවසානයේදී, මා හිතන පරිදි බංග්ලාදේශයට ගෙවිය යුතු වූ ණය මුදල ගෙවීමෙන් පසුව, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,600 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අරමුදලේ දෙවන වාරිකය වසර තුළ ලැබුණහොත් මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 3,934ක් පමණ දක්වා ඉහළ යනවා. 

අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, වසර අවසාන වන විට මහ බැංකුව විසින් ඩොලර් මිලියන 4,431 දක්වා සංචිත වර්ධනය කර ගත යුතුයි. ඒ අනුව, අරමුදලේ දෙවන වාරිකය ලබා ගැනීමෙන් පසුවද, වසරේ අවසන් මාස හතර තුළ වෙළඳපොළෙන් තවත් ඩොලර් මිලියන 500කට ආසන්න විදේශ විණිමය ප්‍රමාණයක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් මිල දී ගත යුතුව තිබෙනවා. 

ඉහත සටහනෙහි සඳහන් වසර තුළ ගෙවිය යුතු වූ විදේශ ණය හා පොලී ප්‍රමාණයෙන් කොටසක් මේ වන විට ගෙවා අවසන්ව ඇති අතර තවත් කොටසක් ගෙවීම පැහැර හරිනු ලැබ හෝ කල් දමා තිබෙනවා. අගෝස්තු, සැප්තැම්බර් හා නොවැම්බර් මාස වල ආපසු ගෙවිය යුතු ණය වාරික හා පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 310ක් පමණයි. දෙසැම්බර් මාසයේදීද යම් ප්‍රමාණයක් ගෙවන්නට තිබෙනවා විය යුතු වුවත්, විදේශ අංශයේ දැනට පවතින තුලනය අනුව මේ ප්‍රමාණය ආපසු ගෙවීම විශාල ප්‍රශ්නයක් විය නොහැකියි. 

මේ අනුව, අප විසින් හඳුනාගත් පළමු අභියෝගය මේ වන විට සෑහෙන තරම් සාර්ථක ලෙස ජයගෙන ඇති නමුත් තවමත් අභියෝගය අවසන්ව නැහැ. ණය වාරික හා පොලී ගෙවීම සඳහා අවශ්‍ය වන මුදල රජයට අලුත් ණය ලෙස ලැබෙන්නට ඉඩ ඇතත්, සංචිත ඉලක්කයට යාම සඳහා මහ බැංකුව විසින් තවත් ඩොලර් මිලියන 500ක් පමණ මිල දී ගත යුතුයි. රජය විසින් වසර තුළ ආපසු ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් විදේශ ණය ලබා ගැනීමට සමත් වුවහොත් මෙය පහසු කටයුත්තක් විය හැකියි. එසේ නොවුවහොත් සංචිත මිල දී ගැනීම හෝ විණිමය අනුපාතය පවතින මට්ටමෙහි පවත්වා ගැනීම යන ඉලක්ක දෙකෙන් එකක් අත හරින්නට සිදු වෙනවා. 

අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 170.5ක සංචිත ප්‍රමාණයක් විකුණා තිබෙනවා. ඊට පෙර, ජූලි මාසය තුළද මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 12.5ක් විකුණා දමා තිබුණා. අපට පෙනී යන්නේ ඩොලරයක මිල රුපියල් 330 සීමාවට කිට්ටු වෙද්දී මහ බැංකුව නොසන්සුන් වන බවකුයි. මෙම 330 අංකය ඩොලරය මත වූ විචලන සීමාවන් ඉවත් කරන්නට පෙර මහ බැංකු අධිපතිවරයාගේ කටින් එළියට පැන්න අගයක්. පුද්ගලික විනිශ්චයන් මත පදනම් වූ මෙවැනි සීමාවන් සවිඥානිකව හෝ අවිඥානිකව මහ බැංකුවේ මැදිහත්වීම් කෙරෙහි බලපානවා විය හැකියි. 200 වගේම 330 කියන්නේත් නිකම්ම අංකයක් පමණයි!

අරමුදලේ පුවත් නිවේදනයේද මේ ගැන සඳහනක් දැකිය හැකියි.

"Reserve accumulation has slowed in recent months."

“Against continued uncertainty, it also remains important to rebuild external buffers by strong reserves accumulation."

වර්ෂාවසාන සංචිත ඉලක්කයට යාම තවමත් නොකළ හැක්කක් නෙමෙයි. එහෙත්, ඩොලරයක මිල ඉහළ යාම ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වෙන්න ගියොත් ඉලක්කය වරදින්න පුළුවන්. පාලිත පාවෙන විණිමය අනුපාත ක්‍රමයේ ප්‍රශ්නය සවිඥානිකව හෝ අවිඥානිකව ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ විනිශ්චයන් විණිමය අනුපාතය කෙරෙහි බලපෑම් කිරීමයි. එම විනිශ්චයන් පහසුවෙන්ම වැරදෙන්න පුළුවන්. 

ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම:

පහත උපුටා දක්වන්නේ මාස හයකට පෙර මේ ගැන අප විසින් ලියා ඇති දෙයයි. 

"මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්ෂණික අභියෝගයක් ලෙස තිබෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් අඩක් පමණ ලබා ගැනීමට ඔවුන් කැමති විය යුතු බවකුයි මට පෙනෙන්නේ. එසේ නැත්නම් මේ ඉලක්ක වලට යන්න බැහැ. මෙම අභියෝගය, මගේ අදහස අනුව, ඉහත කී අභියෝග දෙක තරම් අමාරු නැහැ."

මෙහි අප විසින් කර තිබෙන ණය වලින් අඩක් (50%ක්) කපා හැරීමේ අවශ්‍යතාවය පදනම් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවන්නේය යන උපකල්පනය මතයි. විදේශ ණය හා අදාළව එවැනි ණය කපා හැරීමක් සිදු වීනම්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය විය නොහැකිව තිබුණා. 

කෙසේ වුවත්, දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කර අවසන්. එයින් අදාළ කාලය තුළ දදේනියෙන් 1.5%ක පමණ ණය බර අඩුවීමක් අපේක්ෂා කර තිබුණා. අදාළ විදේශ ණය වලින් 30%ක් කපා හැරීම මගින් අදාළ කාලය තුළ ණය බරෙහි දදේනියෙන් 2.6%ක අඩුවීමක් අපේක්ෂා කෙරෙනවා. යම් හෙයකින් අදාළ විදේශ ණය වලින් 50%ක් කපා හැරිය හැකි වීනම්, ඒ මගින් පමණක් දදේනියෙන් 4.3%ක පමණ ණය සහනයක් ලැබෙන නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. 

අර්බුදයෙන් පසුව ස්වෛරිත්ව බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම 50% මට්ටමෙන් පහතට පැමිණ තිබුණු නිසා 50%ක ණය කප්පාදුවක් වුවද කළ නොහැක්කක් නොවූ බව මගේ අදහසයි. එයින් අදහස් වන්නේ මෙවැන්නක් ආතතියක් නැතිව, පහසුවෙන් කළ හැකි වූ බව නෙමෙයි. නමුත්, යම් උත්සාහයක් දැරිය හැකිව තිබුණා. එය කළ නොහැකි වන්නට හේතුව විය හැක්කේ ද්විපාර්ශ්වික ණයයි. වාණිජ ණය හා අදාළව මෙවැනි සහනයක් අපේක්ෂා කරන්නේනම්, ද්විපාර්ශ්වික ණය හා අදාළවද ඊට සමාන ආකාරයකින් සැලකිය යුතුව තිබුණා.

මේ වන විට ඉලක්කය විදේශ ණය වලින් 30%ක් කපා හැරීම වුවත්, මෙම කටයුත්ත තවමත් අවසන් නොවීමෙන් පෙනෙන්නේ එය හිතන තරම් පහසු නැති බවයි. ප්‍රධාන බාධකය චීනය බවද පෙනෙන්නට තිබෙනවා. චීන ණය ද්විපාර්ශ්වික ණය ගොඩේ වගේම වාණිජ ණය ගොඩේද තිබීම විශේෂත්වයක්. මේ අනුව, වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළවද සීමාකාරී සාධකය වී තිබෙන්නේ චීනයයි. 

ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූ ප්‍රධාන ප්‍රශ්නය විදේශ ණය ප්‍රශ්නයයි. එම ප්‍රශ්නය නොවිසඳා දේශීය ණය පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මූලික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. කලින්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදුව තිබෙන්නේ අමාරු වැඩේ පැත්තකින් තියා ලේසි වැඩේ කලින් කිරීමක්. බදු පදනම් වැඩි කර ගැනීම වෙනුවට දැනටම බදු ගෙවන අයගේ බදු අනුපාතික වැඩි කිරීම වගේම තමයි. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වන විට සාර්ථක ලෙස අවසන් කර තිබෙනවා. එහෙත්, එයින් ණය තිරසාරත්වය ඇති වන්නේ ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම හා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කරුණු දෙක ඉටු වුවහොත් පමණයි. මේ මොහොත වන විටද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නය එලෙසම තියෙනවා. එම ප්‍රශ්නය එලෙසම තිබියදී සාර්ථක ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අලියා ගන්නට පෙර හෙණ්ඩුව මිල දී ගැනීමක් පමණයි. 

වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය රාජ්‍ය ආදායම් ඉලක්කය වෙත යාම:

පළමු සය-මාසික සමාලෝචනයෙන් පසුව සිදු කළ නිවේදනයෙහි රාජ්‍ය ආදායම් ඉලක්ක සම්බන්ධව විශාල අවධානයක් යොමු කර තිබෙනවා. පහත තියෙන්නේ පසුගිය මාර්තු මාසයේදී අප විසින් ඒ සම්බන්ධව ලියා ඇති දෙයයි.

"පසුගිය (2022) වසරේ දදේනියෙන් 8.5%ක් වූ රාජ්‍ය ආදායම 2026 වන විට දදේනියෙන් 15.0% දක්වා වර්ධනය කර ගත යුතුයි. මෙය රුපියල් බිලියන 1,900 මට්ටමේ සිට රුපියල් බිලියන 5,600 මට්ටම දක්වා රජයේ ආදායම් වැඩි කර ගැනීමක්. ඒ ගැන ඊට වඩා කියන්න යන්නේ නැහැ."

ශ්‍රී ලංකා රජය විසින් හැමදාමත් ආකර්ශනීය ආදායම් ඉලක්ක ඉදිරිපත් කරන නමුත් මතක ඇති කාලයක එම ඉලක්ක ලඟා කරගෙන නැහැ. දැනට වුනත්, මේ තත්ත්වයේ වෙනසක් නැහැ. බදු අනුපාතික වැඩි කරගැනීම මගින් රජයේ ආදායම් වැඩි කරගෙන ඇතත් ඉලක්ක මට්ටමට බදු ආදායම් වැඩි කරගෙන නැහැ. 

පළමු සය-මාසික සමාලෝචනයේදී සලකා බලනු ලැබුවේ ජූනි මස අවසානයේ තත්ත්වයයි. වසරේ පළමු මාස හය තුළ රජයේ බදු ආදායම වූයේ රුපියල් බිලියන 1,198.85ක් පමණයි. අරමුදල සමඟ එකඟ වී තිබුණු ඉලක්කය වූයේ රුපියල් බිලියන 1300ක්. මේ අනුව, රජයේ ආදායම ඉලක්කයට වඩා 7.8%කින් අඩුයි. අරමුදල විසින් පුරෝකථනය කර තිබෙන්නේ මෙම වෙනස වසර අවසාන වන විට 15% දක්වා ඉහළ යනු ඇති බවයි. 

කෙසේ වුවද, ණය තිරසාරත්වය සඳහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වූයේ ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය ළඟා කර ගැනීමයි. ආදායම් ඉලක්කය අවශ්‍ය වූයේ එයට උදවුවක් ලෙසයි. අරමුදල සමඟ වූ එකඟතාවය අනුව, පළමු මාස හය අවසානයේදී ප්‍රාථමික අයවැය ශේෂය රුපියල් බිලියන 113ක හිඟයක් ඉක්මවිය නොහැකිව තිබුණා. රජය විසින් රුපියල් බිලියන 30.7ක අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. මෙය කර තිබෙන්නේ ආදායම ඉලක්කයට වඩා රුපියල් බිලියන 101.15කින් අඩු වෙද්දී, වියදම ඉලක්කයට වඩා රුපියල් බිලියන 244.85කින්, එනම් 17.3%කින් අඩු කිරීම මගින්. 

මගේ අදහසනම් ආදායම් ඉලක්කය කරා යා නොහැකි බව රජය මුල සිටම දැන සිටි දෙයක්. නමුත්, යා හැකි මට්ටමට වඩා වැඩි ඉලක්කයක් ලබා නොදුනහොත් අදාළ ආයතන/ නිලධාරීන් යා හැකි මට්ටමටවත් යන්නේ නැහැ. මෙය ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක්. ඉලක්කයෙන් 92.2%ක් දක්වා යාම ලංකාවේ පසුබිමේදී නරක දෙයක් කියා මම හිතන්නේ නැහැ. 

මගේ මතකය පරිදි පසුගිය මාර්තු මාසය ආසන්නයේදී භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මේ පිළිබඳ අදහස් දැක්වීමක් සිදු කළා. එහිදී ඔහු විසින් අරමුදලේ මෙහෙයුම් ඉලක්කය ප්‍රාථමික අයවැය ශේෂය බවත්, ආදායම් ඉලක්ක වලට යා නොහැකි වුවහොත්, වියදම් සීමා කිරීම මගින් ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය කරා යාමට කටයුතු කරන බවත් එහිදී පැහැදිලිව සඳහන් කළා. මගේ මතකය නිවැරදිනම් මේ සාකච්ඡාවට මහ බැංකු අධිපතිද සහභාගී වුනා. මේ වන විට භාණ්ඩාගාරය පැත්තෙන් මේ අවශ්‍ය දේ සිදු වී තිබෙනවා.

කෙසේ වුවත්, අරමුදලේ නිවේදනය අනුව පෙනෙන්නේ රජයේ වියදම් කැපීම සාධනීය දෙයක් ලෙස නොව නිශේධනීය දෙයක් ලෙස ඔවුන් විසින් සලකා ඇති බවයි. ඔවුන්ගේ නිවේදනයෙන් පෙනී යන්නේ මොන විදිහකින් හෝ ආදායම් වැඩි කර ගත යුතු බව කියා සිටීමක්. මෙය එක අතකින් මස් රාත්තලම ඉල්ලීමක්. මීට පෙර මහ බැංකු අධිපතිවරයා විසින්ද රජයේ ආදායම් ඉලක්ක ලඟා කර නොගැනීම ගැන බර තබා කතා කර තිබුණා.

දිගුකාලීනව හා මැදිකාලීනව කෙසේ වුවත් වසර තුළ රජයේ ආදායම් ඉලක්ක ලඟා කර ගත නොහැකි වීමට සිදු වීම තනිකරම රජයේ වරදකින් සිදු වන දෙයක් නෙමෙයි. උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවා පහත වැටීම මෙයට ප්‍රධාන හේතුවක්. 

අරමුදල සමඟ එකඟ වී සකස් කරගත් ස්ථායීකරණ වැඩපිළිවෙළ අනුව වසර අවසානයේ උද්ධමනය පැවතිය යුතු වූයේ 12%-18% පරාසය තුළයි. එහෙත්, මේ වන විට උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබෙනවා. උද්ධමනය අඩු වීම හොඳ දෙයක් වුනත්, මෙහිදී සිදු වී තිබෙන්නේ වැඩ සටහනේ ඉලක්ක වලින් පිට පැනීමක්. වැඩ සටහන අනුව වසර අවසානයේදී උද්ධමනය 12% මට්ටමට වඩා අඩු විය යුතු නැහැ. 

ස්ථායීකරණ වැඩපිළිවෙළ පැත්තකින් තිබ්බත් මහ බැංකුවේ දිගුකාලීන ප්‍රකාශිත ඉලක්කය උද්ධමනය 4%-6% මට්ටමේ තියා ගැනීමයි. වැඩ සටහන තුළ ඉලක්ක කළේ වැඩ සටහන් කාලය අවසන් වෙද්දී උද්ධමනය මෙම මට්ටම දක්වා අඩු කිරීමයි. මෙවැනි ප්‍රකාශිත ඉලක්කයක් තිබියදී උද්ධමනය ඊට වඩා අඩු වීම සාර්ථක මුදල් ප්‍රතිපත්ති කළමනාකරණයක් ලෙස හඳුන්වන්න බැහැ. මිල ස්ථායීතාවය යන්නේ අදහස් වන්නේ උද්ධමන ඉලක්ක කලින් ප්‍රකාශයට පත් කර එම ඉලක්ක ලඟා කර ගැනීමයි. උද්ධමනය ඉලක්ක සීමාවෙන් උඩට යාම වගේම පහළට යාමද මිල ස්ථායීතාවය නෙමෙයි. පහළ අගයක් කලින්ම ඉලක්කය සේ ඉදිරිපත් කළානම් එය වෙනම කතාවක්.

උද්ධමනය මෙසේ ඉලක්ක මට්ටමට වඩා අඩුවීම ගැන අරමුදල කතා කරන්නේ, මහ බැංකුව මෙන්ම, විශාල ජයග්‍රහණයක් ලෙසයි.

"These efforts are bearing fruit as the economy is showing tentative signs of stabilization. Inflation is down from a peak of 70 percent in September 2022 to below 2 percent in September 2023..."

මෙහි තිබෙන ප්‍රශ්නය උද්ධමනය ඉලක්කය ඉක්මවා ඉහළ ගිය විට මෙන්ම පහළ ගිය විටද පුද්ගලයින්ගේ හා ආයතන වල ආර්ථික තීරණ කෙරෙහි එයින් නිශේධනාත්මක බලපෑමක් සිදු වීමයි. වසර මුල රජයේ ආදායම් ඉලක්ක සකස් කරන විට එම ඉලක්ක සකස් කරන්නට ඇත්තේ වසර අවසානයේදී උද්ධමනය 15%කට ආසන්න මට්ටමක පවතිනු ඇතැයි සලකමිනුයි. සමාගම් වල ආදායම් ඇස්තමේන්තු ආදිය කෙරෙහිද මෙය මෙලෙසම බලපානවා.

වැට් වැනි බදු අය කෙරෙන්නේ විකිණුම් මිල මතයි. උද්ධමනය නිසා මිල ඉහළ යද්දී බදු ආදායම්ද ඉහළ යනවා. උද්ධමනය අඩු වෙද්දී අපේක්ෂිත බදු ආදායම් අඩු වෙනවා. ඒ වගේම, උද්ධමනය වැඩි වෙද්දී බොහෝ දෙනෙකුගේ ආදායම්ද වැඩි වෙනවා. ඒ මත අය කෙරෙන බදු ප්‍රමාණය ඉහළ යනවා. උද්ධමනය අඩු වෙද්දී මෙම බදු ආදායම් අපේක්ෂිත මට්ටමට වඩා අඩු වෙනවා.

උද්ධමනය මේ තරම් පහළට ඇවිත් තියෙන්නේ මුදල් සැපයුම සීමා කිරීම නිසා පමණක් නෙමෙයි. ඩොලරයක මිල අඩු වීම ආනයනික මිල ගණන් සැලකිය යුතු ලෙස පහත දමා තිබෙනවා. ඩොලරයක මිල අහම්බයක් නෙමෙයි. මහ බැංකුවේ මැදිහත්වීම් වල බලපෑම මෙහි තිබෙනවා. අරමුදලේ වැඩ සටහන සකස් කරන විට උපකල්පනය කර තිබුනේ වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 390ක් පමණ වනු ඇති බවයි. එය එසේ නොවී කාලයක් පැවති 360 මට්ටමෙන්ද පහළට ආවේ තවමත් දිගටම ක්‍රියාත්මක වන ආනයන සීමාවන් හා මහ බැංකුවේ මැදිහත්වීම් වල සීමාවන් නිසායි. ඩොලරයක මිල ඉලක්ක මට්ටමට වඩා පහළ යාමද රජයේ බදු ආදායම් කෙරෙහි නිශේධනාත්මක බලපෑමක් සිදු කරනවා. මේ තත්ත්වයන් තුළ මුල් බදු ආදායම් ඉලක්ක ලඟා කර ගැනීම කළ නොහැක්කක්.

සමාලෝචනය සිදු කළ අරමුදලේ නිලධාරීන් විසින් සිදු කර තිබෙන වැරැද්ද උද්ධමනය හා ඩොලරයක මිල අඩු වීම නිසා රජයේ බදු ආදායම් කෙරෙහි වූ බලපෑම නොසලකා හරිමින් ආදායම් අඩු වීම ගැන පමණක් බර තබා කතා කිරීමයි. අනෙක් අතට උද්ධමනය හා ඩොලරයක මිල අඩු වෙද්දී රජයේ වියදම්ද ඉලක්ක මට්ටමට වඩා පහළින් පවත්වා ගත හැකි වෙනවා. රජය විසින් එය එසේ කර තිබෙනවා. ඒ නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව, රාජ්‍යමූල්‍ය කළමනාකරණය පැත්තෙන් ස්ථායීතාවය තර්ජනයට ලක් කිරීමට ක්‍රියා කර නැහැ. 

කෙටිකාලීනව ප්‍රශ්නයක් නැතත්, මැදිකාලීනව ප්‍රශ්නය එලෙසම තිබෙනවා. පසුගිය මාර්තු මාසයේදීම සටහන් කළ පරිදි, දදේනියෙන් 8.5%ක් වූ රාජ්‍ය ආදායම 2026 වන විට දදේනියෙන් 15.0% දක්වා වර්ධනය කර ගත යුතුයි. නමුත්, මෙය කරන්න වෙන්නේ බදු අනුපාතික වැඩි නොකර බදු පදනම පුළුල් කර ගැනීමෙන්. බදු අනුපාතික දැනටමත් වැඩි කර අවසානයි. තවත් කරන්නට තිබෙන්නේ වත්කම්/ ධන බද්ද පැනවීම පමණයි. එයින් බදු ආදායම් වල විශාල වැඩි වීමක් වෙන්නේ නැහැ. 

විපක්ෂයේ සිට ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායම් විසින් රජයේ ආදායම් වැඩි කර ගන්නා ආකාරය නිශ්චිතව පෙන්වා දී නැතුවා වගේම ආණ්ඩුව විසින්ද මේ වැඩේ කරන විදිහ නිශ්චිතව පෙන්වා දී නැහැ. අවශ්‍ය ආදායම් ඉලක්ක වලට නොගියහොත් ප්‍රාථමික අයවැය අතිරික්තය පවත්වා ගැනීම සඳහා දිගින් දිගටම වියදම් සීමා කරන්න සිදු වෙනවා. ආණ්ඩුවේ උපාය මාර්ගය එය වෙන්න පුළුවන්. කොහොම වුනත්, වැඩ සටහන අවසන් වන තුරු අවශ්‍ය ප්‍රාථමික අයවැය අතිරික්තය පවත්වා ගත නොහැකි වුවහොත් ණය තිරසාරත්වය ඇති වන්නේ නැහැ. මෙම අභියෝගය 2027 පමණ දක්වා පවතින අභියෝගයක්. 

වැඩ සටහන් කාලය අවසාන වන විට අවශ්‍ය විදේශ ආදායම් ඉලක්කය වෙත යාම:

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය වන්නේ රටක අවම විදේශ සංචිත අවශ්‍යතාවය මෙන් 100%-150% අතර ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගත යුතු බවයි. ඩොලර් මිලියන 14,208 යනු (2027දී) මෙම අවම ප්‍රමාණයයි. එනම්, 100% මට්ටමයි. 150% මට්ටම යනු ඩොලර් මිලියන 21,312ක්. 

ලංකාව මෙම අවම මට්ටම දක්වා ක්‍රමයෙන් සංචිත ගොඩ නගා ගත යුත්තේ පහත ආකාරයෙනුයි.

2023 අවසානය - ඩොලර් මිලියන 4,431 දක්වා 

2024 අවසානය - ඩොලර් මිලියන 6,128 දක්වා 

2025 අවසානය - ඩොලර් මිලියන 8,520 දක්වා 

2026 අවසානය - ඩොලර් මිලියන 10,888 දක්වා 

2027 අවසානය - ඩොලර් මිලියන 14,208 දක්වා"

"සංචිත වැඩි කර ගැනීමේ අභියෝගය" - ජූලි 12, 2023.

මේ ඉලක්ක වලට යාම සඳහා රජය සතු වැඩ පිළිවෙළ කුමක්ද? ආණ්ඩුව සතු වැඩ පිළිවෙළ කුමක්ද? අනෙකුත් විපක්ෂ කණ්ඩායම් සතු වැඩ පිළිවෙළ මොනවාද?

(මගේ යෝජනා මොනවාද කියලා අහන්න එපා. මා සතුව එවැනි යෝජනා නැහැ.)

ලොකුම ප්‍රශ්නය මෙයයි. මොන විදිහකින් හෝ මේ වසර අවසානයේදී ඩොලර් මිලියන 4,431 ඉලක්කයට ගියා කියමු. ඔය සංචිත ප්‍රමාණය 2027 අවසානය වන විට ඩොලර් මිලියන 14,208 දක්වා උස්සන්න තරම් ඩොලර් ප්‍රවාහයක් රටට එන්නේ කොහෙන්ද? මටනම් එහෙම එන ක්‍රමයක් පේන්න නැහැ. 

මේ අවුරුද්ද අවසාන වන විට අපනයන ආදායම් ඉලක්කය ඩොලර් මිලියන 13,106ක්. මෙය 2027 වන විට ඩොලර් මිලියන 16,869 දක්වා ඉහළ යා යුතුයි. ජූලි මාසය අවසන් වන විට අපනයන ආදායම ඩොලර් මිලියන 6,891.5ක් පමණයි. මෙය පසුගිය 2022 වසරේ පළමු මාස හතට සාපේක්ෂව 10.3%ක අඩු වීමක්. මේ යන විදිහට ගියොත් ඩොලර් බිලියන 12 සීමාවට යන්නත් අමාරුයි. පසුගිය වසරේ ඩොලරයක මිල ඉහළ යාම අපනයන වලට සාධනීය ලෙස බලපාන්න ඇති. ඩොලරයක මිල පහළ යද්දී ඒ තත්ත්වය කණපිට හැරෙනවා. 

සංචිත ඉලක්ක වලටද යමින්, අපනයන ආදායම් වැඩි කර ගනිමින් ආනයන සීමා කර ගන්නනම් ඩොලරයක මිල ගැන වෙනස් විදිහකට හිතන්න වෙනවා. ඩොලරයක මිල ඉහළ යද්දී ආනයනික භාණ්ඩ මිල වැඩි වී උද්ධමනය ටිකක් ඉහළ යයි. දැන් පවතින මට්ටම එක්ක එය ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. විණිමය අනුපාතයේ උදවුවෙන් උද්ධමනය පහළින් තියා ගැනීම කියන්නේ දිගින් දිගටම අත් හදා බලලා අසාර්ථක වූ ක්‍රමය. ඒ ක්‍රමය නැවත පරීක්ෂා කළ යුතු ක්‍රමයක් නෙමෙයි. ඩොලරයක මිලත් පහළින් තියාගෙන රටට ඩොලර් එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවානම් කවුරු හෝ විසින් ඒ ක්‍රමය ඉදිරිපත් කළ යුතුයි. එහෙම ක්‍රමයක් ගැන කවුරුවත් නිශ්චිතව විස්තර කරලා නැහැ. 

Wednesday, September 27, 2023

උද්ධමනය 1.3% වෙද්දී IMF වාරිකය ප්‍රමාද වෙයි!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබෙනවා. වසරකට පෙර, ඉතිහාසයේ වාර්තාගත ඉහළම මට්ටම වූ 69.8% ලෙස පැවති මෙම අගය මාස දොළහක කාලයක් තුළ මෙපමණ පහත වැටීම සුවිශේෂී තත්ත්වයක්. මීට පෙර අවසන් වරට උද්ධමනය මෙවැනි පහළ මට්ටමක පැවතුනේ 2015 වසරේදීයි. 

කෙසේ වුවද, අපගේ ඇස්තමේන්තුව වනුයේ උද්ධමනය පහත වැටීමේ ප්‍රවණතාව මෙම මාසයෙන් නවතින බවයි. ඉදිරි මාසයේදී උද්ධමනය 2% පමණ දක්වා ඉහළ යා හැකියි. 

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී මට්ටමේ විමර්ශනය සිදු කර අවසන්ව ඇති නමුත් දෙවන ණය වාරිකය ලබා දීම පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නැහැ. එය යම් තරමකින් ප්‍රමාද විය හැකි බව පෙනෙන්නට තිබෙනවා. මෙහිදී තීරණාත්මකම සාධකය වනු ඇත්තේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියයි. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව බාධකය වී තිබෙන්නේ චීනය බව පෙනෙන්නට තිබෙනවා. මෙම කටයුත්ත ඉදිරි මාසය හෝ දෙක තුළ සිදු වුවහොත් වැඩ සටහනේ ඉලක්ක සමඟ රැඳී සිටීමට විශාල අපහසුතාවයක් නැතත්, ඊටත් වඩා කල් ගියහොත් යම් අතුරු ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ අතරින් ප්‍රධානම ප්‍රශ්නයක් වනු ඇත්තේ විදේශ සංචිත ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීමයි. 

දැනටමත් රජයේ ආදායම් ඉලක්ක මග හැරෙමින් ඇති අතර පසුගිය දෙමස තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් සංචිත යම් ප්‍රමාණයක් විකුණා තිබෙනවා. මෙම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානයට යොමු වී තිබෙනවා. 

අරමුදලේ වැඩ සටහන සමඟ දිගටම රැඳී සිටීමටනම් රජයට බදු යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, හිඟ බදු අය කර ගැනීම සහ බදු නිදහස් කිරීම් ඉවත් කිරීම ගැන මෙන්ම රාජ්‍ය අංශයේ අනෙකුත් ප්‍රතිසංස්කරණ ගැනද මීට වඩා බරපතල ලෙස සිතන්නට සිදු වෙනවා. ඒ වගේම, මහ බැංකුවට විණිමය අනුපාතය දැනට පවත්වාගෙන යන මට්ටමෙන් ඉහළට යාම මානසික බාධකයක් කර නොගෙන සංචිත එකතු කරගන්නට සිදු වෙනවා.

Tuesday, September 26, 2023

ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යයි!


ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන රුපියල් ණය වල, එනම් භාණ්ඩාගාර බැඳුම්කර වල, අවදානම් ශ්‍රේණිය CCC+ කාණ්ඩය දක්වා ඉහළ දමා තිබෙනවා. මෙම තීරණයට හේතු වී තිබෙන්නේ සාර්ථක ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය තිරසාරත්වය ඇති වීමයි. 

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම වර්ගීකරණය "තෝරාගත් ණය පැහැර හරිනු ලැබූ (selective default)" යටතට දමනු ලැබූ අතර ඊට පෙරද වර්ගීකරණය වී තිබුණේ CC කාණ්ඩය යටතේයි. දැන් ලංකාව තබා තිබෙන්නේ ඊට කට්ට තුනක් උඩිනුයි. 

ශ්‍රී ලංකා රජයේ විදේශ ණය තවමත් තිබෙන්නේ "තෝරාගත් ණය පැහැර හරිනු ලැබූ (selective default)" වර්ගීකරණය තුළයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන ආකාරය අනුව, එයින් පසුව ලංකාව CCC හෝ B- කාණ්ඩයක තැබීමට ඉඩ තිබෙන බවද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනය විසින් සඳහන් කර තිබෙනවා. 

බැඳුම්කර ගනුදෙනු


භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික හා ඵලදා අනුපාතය අතර වෙනස ගැන කිහිප වරක්ම පැහැදිලි කර ඇතත්, ගොඩක් අයට තවමත් හරි අවබෝධයක් නැති නිසා උදාහරණයක් අරගෙන පුලුවන් තරම් සරලව පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නම්. මේ ලිපිය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන හෝ සේවක අර්ථ සාධක අරමුදල ගැන කතා කරන ලිපියක් නෙමෙයි.

මේ වන විට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග අතරින් වැඩිම කූපන් පොලියක් සහිත බැඳුම්කර නිකුත් කළේ පසුගිය වසර මුල. එම කූපන් පොලිය 22.5%ක්. මෙවැනි එක් කූපන් බැඳුම්කරයක් 2023 ජනවාරි 12 දින වෙන්දේසි කළා. එය කල් පිරෙන්නේ 2026 මැයි 15 දින. 

ප්‍රාථමික වෙන්දේසියෙන් මේ බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත අගයක් මිල දී ගත් අයෙකුට 2023 ජනවාරි 12 දින බැඳුම්කරය කල් පිරෙන තුරු රුපියල් 22.50ක වාර්ෂික පොලියක් ලැබෙනවා. නමුත්, බැඳුම්කරයක් කියන්නේ ස්ථිර තැන්පතුවක් වැනි දෙයක් නොවන නිසා මෙම කූපන් පොලිය 22.5% වාර්ෂික පොලියක් ලැබෙන ස්ථිර තැන්පතුවකට සමාන කරන්න බැහැ. 

රුපියල් 100ක ස්ථිර තැන්පතුවක් දමන කෙනෙක් ඒ වෙනුවෙන් රුපියල් 100ක මුදලක් වැය කළ යුතුයි. ස්ථිර තැන්පතු පොලිය 22.50%නම් වාර්ෂිකව රුපියල් 22.50ක් ලැබෙන්නේ ඒ විදිහට රුපියල් 100ක් යට කළාට පස්සේ. නමුත් බැඳුම්කර ආයෝජන ඊට වඩා වෙනස්. වෙන්දේසියෙන් බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් මිල දී ගැනීම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ට සහ බැංකු වලට ලන්සු තියන්න පුළුවන්. මහ බැංකුව විසින් ලංසුව පිළිගත්තොත්, තමන් ලන්සු තැබූ මුදලට බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත වටිනාකමක් මිල දී ගන්න ඉඩ ලැබෙනවා. ඒ ගණන රුපියල් 100ට අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. 

ඉහත හේතුව නිසා, බැඳුම්කර ආයෝජනයක් කරද්දී එහි කූපන් පොලිය කියන්නේ නිකම්ම අංකයක් පමණයි. තමන්ට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ බැඳුම්කරය මිල දී ගැනීම සඳහා යට කළ මුදල අනුවයි. හරියටම රුපියල් 100ක් ගෙවලා බැඳුම්කරය ගත්තානම් පමණක් ලැබෙන ප්‍රතිලාභය කූපන් පොලියට සමානයි. නමුත් කලාතුරකින් හැර බැඳුම්කරයක මිල හරියටම කූපන් පොලියට සමාන වෙන්නේ නැහැ.

බැංකු, ප්‍රාථමික අලෙවිකරුවෝ හෝ වෙනත් අය වෙන්දේසියෙන් මිල දී ගන්න බැඳුම්කර කල් පිරෙන තුරු අතේ තියාගෙන ඉන්නේ නැහැ. අනෙක් පැත්තට වෙනත් අයට විකුණනවා. මේ විදිහට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කරයක් මිල දී ගනිද්දී වුනත් කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ එය මිල දී ගැනීම සඳහා යෙදවූ මුදල අනුවයි. කූපන් පොලිය කීයද කියන එක වැඩක්ම නැති දෙයක්. 

දැන් මේ 2023 ජනවාරි 12 දින වෙන්දේසි කළ, 2026 මැයි 15 දින කල් පිරෙන, 22.5% කූපන් පොලියක් සහිත, එකම බැඳුම්කරය ප්‍රාථමික වෙන්දේසියෙන් විවිධ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් විසින් මිල දී ගන්නේ වෙනස් මිල ගණන් වලට. ඒ අනුව, ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයද වෙනස් වෙනවා. සාමාන්‍ය අගයක් ලෙස ගත්තොත් එදින බැඳුම්කරයක් විකිණී තියෙන්නේ රුපියල් 88.10ක් පමණ මිලකට. ඒ මිලට, මේ බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත අගයක් මිල දී ගත් අයෙකුට මාස හයකට වරක් ලැබෙන රුපියල් 11.25ක කූපන් පොලියට අමතරව කල් පිරීමේදී අමතර රුපියල් 11.90ක වාසියකුත් ලැබෙනවා. ඒ බැඳුම්කරය ගත් මිල සහ එහි මුහුණත අගය අතර වෙනස. මේ සියලු ලැබීම් සැලකූ විට එය යට කළ මුදල වෙනුවෙන් කල් පිරෙන තුරු 30.85%ක පොලියක් ලැබෙන එකට සමානයි. සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට වෙන්දේසියෙන් මෙම බැඳුම්කරය මිල දී ගත් කෙනෙකුගේ ප්‍රතිලාභය මීටත් වඩා වැඩියි. සාමාන්‍ය මිලට වඩා වැඩියෙන් ගෙවුවානම් ප්‍රතිලාභය අඩුයි. 

මාස හයකට පස්සේ මේ බැඳුම්කරයේ වටිනාකම රුපියල් 108.63ක් දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ, ඒ මිලට ද්වීතියික වෙළඳපොළේ විකිණිය හැකි පරිදි අර්පණ ඉදිරිපත් වෙනවා. ඒ අනුව, මාස හයකට කලින් වෙන්දේසියෙන් මේ බැඳුම්කරය රුපියල් 88.10කට මිල දී ගත් කෙනෙකුට එය රුපියල් 108.63කට විකුණා රුපියල් 20.53ක ප්‍රාග්ධන ලාබයක් ලබන්න පුළුවන්. ඊට අමතරව ඔය කාලය ඇතුළත කූපන් පොලී විදිහට තවත් රුපියල් 11.25ක් ලැබිලා. එකතුව රුපියල් 31.78ක්. 

දැන් මේ රුපියල් 31.78ක මුදල ලැබෙන්නේ රුපියල් 88.10ක ආයෝජනයක් වෙනුවෙන් මාස හයක කාලයකදී. ඒ කියන්නේ මාස හයකට 36.07%ක ප්‍රතිලාභයක්. මෙය 85.16%ක වාර්ෂික ප්‍රතිලාභයකට සමානයි!

වසරකට 85% ඉක්මවන ප්‍රතිලාභයකට සමාන මේ තරම් විශාල ප්‍රතිලාභයක් බැඳුම්කර ආයෝජකයින්ට ලබාගත හැකි වුනේ බැඳුම්කරයේ කූපන් පොලිය 22.5%ක් වූ නිසාද? කොහෙත්ම නැහැ. ආයෝජකයෙකුට ඔය මාස හය ඇතුළත මේ තරම් විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වුනේ පොලී අනුපාතික විශාල ලෙස පහළ ගිය නිසා.

අපි හිතමු ඔය 22.5% කූපන් පොලී බැඳුම්කරය වෙනුවට ඔය දවසේම ද්වීතියික වෙළඳපොළෙන් අඩු කූපන් පොලියක් සහිත බැඳුම්කරයක් මිල දී ගත්තා කියලා. 2027 කල් පිරෙන 7.8% කූපන් පොලී බැඳුම්කරයක් ඔය දවසේදී අලෙවි වුනේ රුපියල් 49.91කට. මාස හයක් යද්දී එය රුපියල් 76.36ක් වෙලා. එතකොට මාස හයට ප්‍රාග්ධන ලාබය රුපියල් 26.45ක්. කූපන් පොලිය රුපියල් 3.90ක්. එකතුව රුපියල් 30.35ක්. රුපියල් 49.91ක ආයෝජනයකට මාස හයකට රුපියල් 30.35ක් කියන්නේ 60.88%ක්. එය 158.60%ක වාර්ෂික ප්‍රතිලාභයකට සමානයි. 

මේ උදාහරණ වල තියෙන්නේ ඇත්තම ගණන්. ඒ කියන්නේ ඔය මාස හයක කාලය ඇතුළත බැඳුම්කර ආයෝජකයෙකුගේ ඇත්තම ලාබය. ලාබය තීරණය වී තියෙන්නේ කූපන් පොලිය මත නොවන බව ඔය ගණන් දෙක සංසන්දනය කළත් අනිවාර්යයෙන්ම පැහැදිලි විය යුතුයි. 7.8% කූපන් බැඳුම්කරයෙන් ලබා ගත හැකි වූ ප්‍රතිලාභය 22.5% කූපන් බැඳුම්කරයේ ප්‍රතිලාභය වගේ දෙගුණයකට ආසන්නයි.

ඒ වගේම, ඔය දෙකෙන් කොයි එක ගත්තත්, බැඳුම්කර මිල දී ගනිද්දී පෙනෙන්න තිබුණු ඵලදා අනුපාතික සහ මාස හයකට පසුව ඇත්තටම ලැබුණු ප්‍රතිලාභ අනුපාතික අතරත් සම්බන්ධයක් නැහැ. ජනවාරි මාසයේදී 22.5% කූපන් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 31%ක් පමණ. 7.8% කූපන් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 28%කට ආසන්නයි. ඇත්තටම ලැබුණු ප්‍රතිලාභය ඒ වගේ කිහිප ගුණයක්. 

නැවත 22.5% කූපන් බැඳුම්කරය වෙත ගියොත්, රුපියල් 88.10ක් වූ එහි මිල මාස හයකට පසුව රුපියල් 108.63ක් දක්වා ඉහළ යනවා කියන්නේ ඒ මිල ගෙවා එය මිල දී ගන්නා අයෙකුගේ ඵලදා අනුපාතිකයද මුල් අනුපාතයට වඩා ගොඩක් අඩු වෙනවා කියන එක. එය 31.25% සිට 16.78%ක් දක්වා පහත වැටෙනවා. 

බැඳුම්කරය අලුතෙන් මිල දී නොගත්, මුල සිටම තමන් සතු වූ අයෙකුගේ ඵලදා අනුපාතය වුවත් ඕකම තමයි. මොකද එහි මිල රුපියල් 108.63 දක්වා ඉහළ යාමේ ලාබය දැනටමත් අතේ තියෙන එකක්. ඉදිරි කාලයේදී ලැබෙන්න තියෙන්නේ ඔය 16.78%. මෙයින් පැහැදිලිව පෙනෙන පරිදි බැඳුම්කරයක් මිල දී ගනිද්දී පෙනෙන ඵලදා අනුපාතිකය බැඳුම්කරය කල් පිරෙන තුරුම දවසින් දවස වෙනස් වෙනවා. එය වෙන්නේ වෙළඳපොළ තත්ත්වයන් අනුව මිසක් ආරම්භයේදී පැවති ඵලදා අනුපාතය හෝ කූපන් පොලී අනුපාතය අනුව නෙමෙයි. 

සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම පාරිතෝෂික අරමුදල් විසින් කළ බැඳුම්කර හුවමාරුවේ ලාබ පාඩු සලකා බැලිය හැක්කේත් ඔය පදනමේ සිටයි. බැඳුම්කර වල කූපන් පොලිය හෝ ආරම්භක ඵලදා අනුපාතය ඒ තරම් අදාළ දෙයක් නෙමෙයි. බැලිය යුත්තේ හුවමාරුව සිදු වූ දින අදාළ බැඳුම්කර වල ඵලදා අනුපාතික කොපමණ වීද කියන එකයි. එහෙම නැත්නම් අලුතෙන් ලැබුණු බැඳුම්කර වල ඵලදා අනුපාතික සමඟ කරන සංසන්දනය නිවැරදි සංසන්දනයක් නෙමෙයි. ඒවායේ කූපන් පොලී අනුපාතික එක්ක ආරම්භක ඵලදා අනුපාතික සංසන්දනය කරන එකනම් කොහොමටවත්ම නිවැරදි නැහැ. 

ඉහත උදාහරණ දෙස බැලූ විට කෙනෙකුට පෙනෙනවා ඇති බැඳුම්කර ආයෝජන කරන අයට කොයි තරම් විශාල ලාබ ගන්න පුලුවන්ද කියන එක. නිකමට හිතන්නකෝ මාස හයකට 61%ක ප්‍රතිලාභයක් කියන්නේ කොයි තරම් විශාල ප්‍රතිලාභයක්ද කියලා. නමුත්, පාඩු වෙද්දී පාඩු වෙන්නෙත් ඔය විදිහටම තමයි. 

මෙතැනින් එහාට මෙය සරල ලෙස පැහැදිලි කිරීම සඳහා පමණක් මම තාක්ෂණික ලෙස සියයට සියයක් නිවැරදි නැති උදාහරණයක් ගන්නම්. අපි හිතමු යම් කෙනෙක් වසර 10කින් කල් පිරෙන බැඳුම්කරයක් මිල දී ගනිද්දී එහි ඵලදා අනුපාතිකය 15%ක් කියලා. දැන් මේ ඵලදා අනුපාතිකය 15% වෙද්දී එහි කූපන් පොලිය 25% හෝ 5% වැනි ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. එය අදාළ නැහැ. මොකද කූපන් පොලිය කීය වුනත් ඵලදා අනුපාතිකය වෙළඳපොළ ඵලදා අනුපාතිකයට සමාන වෙන විදිහට මිල සකස් වෙනවා. 

දැන් මේ බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 15%ක් කියන එකෙන් අදහස් වෙන්නේ ස්ථිර තැන්පතුවකට වගේ වාර්ෂිකව 15%ක පොලියක් ලැබෙනවා කියන එක නෙමෙයි. වාර්ෂිකව ලැබෙන ප්‍රතිලාභය එහි කූපන් පොලිය අනුව වෙනස් වෙනවා. නමුත් වසර 10ක කාලය අවසානයේදී ලැබෙන මුළු ප්‍රතිලාභය සාමාන්‍ය අගයක් විදිහට ගත්තහම 15%ක ස්ථිර තැන්පතුවකට සමානයි. 

ඔය විදිහේ වසර 10ක බැඳුම්කරයක් කල් පිරෙන තුරු එක් අයෙක් අතේම තියෙන්න අවශ්‍ය නැහැ. බැඳුම්කරය අතින් අත මාරු වෙනවා. එසේ මාරු වෙද්දී එහි ප්‍රතිලාභද පුද්ගලයින් හෝ ආයතන අතර බෙදී යනවා. ඒ සියල්ල එකතු කළ විට සාමාන්‍ය අගයක් ලෙස 15% වුනත් ඇතැම් අයට ඊට වඩා අඩුවෙනුත් තවත් අයට වැඩියෙනුත් ලැබෙනවා. ඒක වෙන්නේ වෙළඳපොළ පොලී අනුපාතික (ඵලදා අනුපාතික) අඩු වැඩි වෙන ආකාරය අනුව.

බැඳුම්කරය මිල දී ගනිද්දී වසර-10 කල් පිරීමක ඵලදා අනුපාතිකය 15%යි. වසරකට පසුව මේ බැඳුම්කරය සමාන වෙන්නේ වසර-9ක කල් පිරීමකට. අපි හිතමු ඒ වෙද්දී වසර-9 කල් පිරීමක ඵලදා අනුපාතය 14% දක්වා අඩු වෙලා කියලා. එහෙම වෙද්දී, මේ බැඳුම්කරයේ ඵලදා අනුපාතයද 14% වෙන විදිහට එහි මිල ඉහළ යනවා. ඒ කියන්නේ, එහි අනාගත ප්‍රතිලාභ වසරකට 1% බැගින් අඩු වෙනවා. මෙම අඩු වීම 9%ක්. (තාක්ෂණිකව මෙය මීට වඩා සංකීර්ණයි. ඒ නිසා මේ ගණන මීට වඩා වෙනස් වෙනවා. මෙහෙම කියන්නේ පැහැදිලි කිරීමේ පහසුවට). මෙසේ වෙද්දී බැඳුම්කරයේ අනාගත ප්‍රතිලාභ වලින් අඩු වෙන කොටස වන 9% එහි වෙළඳපොළ මිලට එකතු වී මිල 9%කින් ඉහළ යනවා. මේ අනුව, පළමු වසර අවසානයේදී බැඳුම්කරය විකුණන කෙනෙකුගේ ප්‍රතිලාභය 15% + 9% = 24%ක් දක්වා ඉහළ යනවා. කල් පිරීමේ කාලය දිගු වෙන තරමට සහ පොලී අනුපාතික අඩු වෙන තරමට මේ ලාබය ඉහළ යනවා. 

ඉහත උදාහරණයෙන් පැහැදිලිව පෙනෙන පරිදි දිගුකාලීන ආයෝජනයක් කරන කෙනෙක් එහි ප්‍රතිලාභ ලබා ගන්න කල් පිරෙන තුරු ඉන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම පොලී අනුපාතික අඩු වෙන කාල වකවානු වලදී, දිගුකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් කෙටිකාලයකින් විශාල ලාබයක් ලබා ගන්න පුළුවන්. පර්පෙචුවල් ට්‍රෙෂරීස් වැනි සමාගම් කෙටි කාලයකින් විශාල ලාබ ලැබුවේ මේ ක්‍රමයට. පැහැදිලි කිරීම සඳහා පමණක් කරන දළ ගණනයක් ලෙස, වෙළඳපොළ ඵලදා අනුපාතික 1%කින් පහළ යද්දී වසර 30ක බැඳුම්කරයක මිල 29%කින් පමණ ඉහළ යනවා. ඔය මිල ඉහළ යාම සතියක් වගේ කාලයක් ඇතුළත වුනත් වෙන්න පුළුවන්. 

හැබැයි මේ ඉහළ ප්‍රතිලාභ වගේම මෙහි ඉහළ අවදානමකුත් තියෙනවා. වෙළඳපොළ ඵලදා අනුපාතික 1%කින් ඉහළ ගියොත්, ඔය ක්‍රමයටම වසර 30ක බැඳුම්කරයක මිල 29%කින් පමණ පහළ යනවා. එවිට, 15% වාර්ෂික ප්‍රතිලාභයෙන් පසුවත් 14%ක් පාඩු වෙලා. ඒ නිසා, මෙය අවදානමක් නැති ලාබයක් නෙමෙයි. 

මේ විදිහට ඵලදා අනුපාතික ඉහළ ගොස් මිල අඩු වෙද්දී ඔය විදිහේ පාඩුවක් වෙන්නේ මිල අඩු වූ වෙලාවේ බැඳුම්කරය විකුණුවොත්නේ. එහෙම නොවිකුණා තියා ගන්න බැරිද?

බැරිකමක් නැහැ. නමුත් එහෙම තියාගත යුතුද නැත්නම් පාඩුවට විකිණිය යුතුද කියන එක තීරණය වෙන්නේ තමන් හිතන විදිහට ඉදිරියේදී පොලී අනුපාතික වලට කුමක් වෙයිද කියන එක මත. අපි හිතමු දැනට පාඩුව 14%ක් කියලා. ඉදිරි සතියේ පොලී අනුපාතික තවත් 1%කින් වැඩි විය හැකි බවයි පේන්න තියෙන්නේ. එහෙම වුනොත් මිල තවත් 29%කින් පහළ ගොස් පාඩුව 43%ක් වෙනවා. දැන්ම බැඳුම්කරය විකිණුවොත් 29%ක පාඩුවක් බේරගන්න පුළුවන්. ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවේදී වුනේ ඔය වගේ වැඩක්. වඩා වැඩි පාඩුවක් වලක්වා ගැනීම සඳහා මහ බැංකුව ග්‍රීක බැඳුම්කර පාඩුවට විකිණුවා. මේක ඕනෑම ආයෝජකයෙක් විසින් කරන දෙයක්. 

අනෙක් අතට ඵලදා අනුපාතික පහළ ගිහින් පළමු වසරේ ලාබය විශාල ලෙස ඉහළ ගිය පමණින්ම ආයෝජකයෙක් විසින් එම බැඳුම්කරය විකුණා ලාබය මුදල් කර ගන්නේ නැහැ. ඒක තීරණය කරන්නෙත් අනාගතයේ පොලී අනුපාතික වලට කුමක් වෙයිද කියන එක අනුව. ඵලදා අනුපාතික තවත් පහළ යා හැකි බව පෙනේනම් බැඳුම්කරය විකුණන්නේ නැතිව තියාගෙන ඉන්න එකෙන් දැනටම එකතු වී තිබෙන විශාල ලාබය තවත් වැඩි කරගන්න පුළුවන්. දැනට ලොකු ලාබයක් එකතු වී තිබුණත්, පාඩුවක් එකතු වී තිබුණත්, බැඳුම්කරය විකිණිය යුත්තේ ඒ මත පදනම්ව නෙමෙයි. ඉදිරියේදී ඵලදා අනුපාතික වලට වෙන්න ඉඩ තියෙන දේ අනුව. 

ඵලදා අනුපාතික අඩු වෙන බව පේනවානම් විකුණන එක පාඩුයි. තවත් මිල දී ගන්න එක ලාබයි. ඵලදා අනුපාතික වැඩි වෙන බව පේනවානම් විකුණන එක ලාබයි. මොකද දැන් අතේ තියෙන බැඳුම්කර පාඩුවට හෝ ලාබයට විකුණා මුදල් කර ගත්තොත් ඒ බැඳුම්කරම වුනත් වඩා අඩු මිලකට මිල දී ගන්න පුළුවන්. මේ කිසිම දේකට කූපන් පොලී අනුපාතික හෝ බැඳුම්කර මිල දී ගනිද්දී තිබුණු ඵලදා අනුපාතික අදාළ නැහැ. අදාළ වෙන්නේ ඵලදා අනුපාතික වල අපේක්ෂිත වෙනස. මේ වෙනස නිවැරදිව පුරෝකථනය කර ගන්න පුළුවන් අයට බැඳුම්කර ගනුදෙනු කිරීමෙන් විශාල ලාබ ලබන්න පුළුවන්. හැබැයි අවදානමක් ගන්න වෙනවා. 

මේ අවදානම ගන්න සූදානම් නැති කෙනෙකුට අතරමැද ගනුදෙනු නොකර කල් පිරෙන තුරු බලා සිට මුලින් අපේක්ෂා කළ ඵලදා අනුපාතය ලබා ගන්න පුළුවන්. හැබැයි එවැනි අයෙකුට කල් පිරෙන තුරු වරින් වර මිල ඉහළ පහළ යද්දී ඉවසිල්ලෙන් බලා ඉන්න වෙනවා. එහෙම දිගු කාලයක් බලා සිටිය හැක්කේ විශ්‍රාම වැටුප් අරමුදල් වැනි කිසිම සල්ලි හදිස්සියක් නැති ආයෝජකයෙකුට පමණයි.

Saturday, September 23, 2023

ණය ප්‍රතිව්‍යුහගතකරණය - අප කී දේ හා නොකී දේ


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දැන් අවසන්. හරි වැරැද්ද, සාධාරණත්වය වගේ දේවල් මොනවා වුනත් මේ වෙද්දී ආණ්ඩුව සාර්ථක ලෙස වැඩේ අවසන් කරලා තියෙනවා. මේ හා අදාළව පසුගිය කාලය තුළ අප විසින් ලියා හෝ කියා ඇති දේවල් සහ එසේ ලියා හෝ කියා නැති දේවල් නැවත කෙටියෙන් මතක් කරන්නම්.

- මේ හා අදාළව ප්‍රචාරය කෙරුණු ඇතැම් දේවල් පට්ටපල් බොරු. ඒ කියන්නේ කරුණුමය වැරදි. ණය හුවමාරුව සිදු කිරීමෙන් පසුවත් දිගින් දිගටම දදේනියෙන් 0.5%කට සමාන මුදලක් වාර්ෂිකව අරමුදලෙන් කපා ගන්නවා කියන එක එක උදාහරණයක්. අරමුදල ටිකෙන් ටික අඩු වෙලා යනවා කියන එක ඔය වගේම තවත් බොරුවක්. තව ඔය විදිහේ බොරු ගණනාවක් ප්‍රචාරය කෙරුණා. ඒ බොරු ප්‍රචාරය කළ අය එසේ කළේ කාගේ උවමනාවටද කියා මම දන්නේ නැහැ. නමුත් ඔය වගේ දේවල් ලෙලි නොගහා අමුවෙන්ම ගිලින අය තවමත් ඕනෑ තරම් ඉන්නවා.

- අරමුදලේ වත්මන් අගය බාගයකින් පමණ (47%කින්) අඩු වෙනවා කියන එක ඉහත දේවල් වැනි පට්ටපල් බොරුවක් නෙමෙයි. මම හිතන විදිහට හදිසි වැඩිකමට සිදු වූ අත් වැරැද්දක් නිසා ඉදිරිපත් කළ වැරදි ඇස්තමේන්තුවක්. මේ ඇස්තමේන්තුව වැරදි වන්නේ එය සකස් කිරීමේදී කළ උපකල්පන වැරදි නිසා නෙමෙයි. එම උපකල්පන යටතේම වුවත් ඇස්තමේන්තුව වැරදියි. මේ බව අප විසින් විස්තර සහිතව හා අදාළ තාක්ෂණික කරුණුද සමඟ පැහැදිලි කර තිබෙනවා. කෙසේ වුවද, අත්වැරැද්දක් සේ සැලකිය හැකි මෙම වරද වෙනුවෙන් යමෙකු විසින් දිගින් දිගටම පෙනී සිටින්නේනම් එහි ප්‍රශ්නයක් තිබෙනවා. 

- මුල සිටම මෙන් අප විසින් දිගින් දිගටම කීවේ 47%ක පාඩුවක් කිසිසේත්ම සිදු නොවෙතත්, සේවක අර්ථසාධක අරමුදලට මෙම ණය හුවමාරුව නිසා යම් පාඩුවක් විය හැකි බවයි. මුලදී අපගේ දළ ඇස්තමේන්තුව වූයේ මෙම පාඩුව රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් විය හැකි බවයි. වෙළඳපොළ අර්පණ දත්ත ප්‍රකාශයට පත් වීමට පෙර අපගේ දළ ඇස්තමේන්තුව වූයේ හුවමාරු කරන බැඳුම්කර වල වටිනාකමෙන් 7%-15% පරාසයේ පාඩුවක් සිදු විය හැකි බවයි. රුපියල් වලින් කතා කළත්, ප්‍රතිශතයක් ලෙස කතා කළත්, අප මෙහිදී කතා කළේ අරමුදලේ වත්මන් අගය ක්ෂණිකව පහළ යාමේ ඉඩකඩ ගැනයි. මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබුණේ මෙම පාඩුව 5%ක් පමණ වනු ඇති බවයි. 

- හුවමාරුවෙන් පසුව මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ ද්වීතියික වෙළඳපොළ අර්පන මිල ගණන් අනුව හුවමාරුවට පෙර හා පසු ආයෝජන කළඹයන්හි වෙළඳපොළ වටිනාකම් පැවතුණේ ආසන්නව සමාන මට්ටමකයි. එයින් අදහස් වුනේ හුවමාරුවේදී රජයට ආපසු ලබා දුන් බැඳුම්කර වෙනුවෙන් ඊට ආසන්නව සමාන වටිනාකමක් තිබෙන වෙනත් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරුවට සහභාගී වූ අයට ලැබී ඇති බවයි. ඒ කියන්නේ එදින පැවති වෙළඳපොළ තත්ත්වයන් තුළ කිසිදු පාර්ශ්වයකට සැලකිය යුතු පාඩුවක් සිදුව නැති බවයි. වෙළඳපොළ වටිනාකම් සමාන වුවද, මෙම ආයෝජන කළඹ දෙකෙහි කල් පිරීමේ කාලයන් අසමාන නිසා ඵලදා අනුපාතික අතර වෙනස්කම් තිබිය හැකියි. සාමාන්‍ය මූලධර්මයක් ලෙස, අහම්බයකින් මිස ඵලදා වක්‍රයක් තිරස් රේඛාවක් නොවන නිසා වෙනස් කල් පිරීම් සහිත ආයෝජන කළඹ දෙකක ඵලදා අනුපාතික සමාන වන්නේ නැහැ. එය මේ විෂය පිළිබඳ මූලික දැනුමක් තිබෙන ඕනෑම කෙනෙකු දන්නා සාමාන්‍ය කරුණක්. ආයෝජන කළඹ දෙකෙහි සංරචක වල කල් පිරීමේ කාල ගැලපුවහොත් ඵලදා අනුපාතිකද ආසන්නව සමාන විය යුතුයි. 

- පැරණි ආයෝජන කළඹේ මෙන්ම අලුත් ආයෝජන කළඹේද වෙළඳපොල වටිනාකම තීරණය වන්නේ අනාගතය පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවන් මතයි. යම් හෙයකින් අපේක්ෂිත අනාගත වෙළඳපොළ පොලී අනුපාතික දැනට අපේක්ෂිත මට්ටමට වඩා පහළ ගියහොත් මෙම වටිනාකම ඉහළ යනවා මෙන්ම අපේක්ෂිත අනාගත වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගියහොත් මෙම වටිනාකම අඩු වෙනවා. ඒ අනුව, හුවමාරුව සිදු වන විට පැවති තත්ත්වයන් ඉදිරියේදී වෙනස් විය හැකියි. එවැනි වෙනස්වීමක් හොඳ අතට හෝ නරක අතට සිදු විය හැකියි. මෙවැනි වෙනසක් ඉදිරි සතියේදී හෝ සති කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළත වුවද සිදු විය හැකියි. 

- මෙම ණය ප්‍රතිව්‍යුගතකරණයේ සාධාරණත්වය පිළිබඳව අප විසින් කිසිදු අවස්ථාවක මතයක් පළ කර නැහැ. මෙම ප්‍රශ්නය අපගෙන් අසනු ලැබූ වාර ගණනාවකදීම අප විසින් පැහැදිලි ලෙස මේ පිළිබඳ අපගේ අදහස ඉදිරිපත් කර තිබෙනවා. සාධාරණත්වය යන්නට ලාබ පාඩු වලට මෙන් බොහෝ දෙනෙකුට පහසුවෙන් එකඟ විය හැකි නිශ්චිත තාක්ෂණික අර්ථකථනයක් දිය නොහැකියි. එය යමෙකු පැවතිය යුතු තත්ත්වය දකින ආකාරය අනුව වෙනස් වන සාපේක්ෂ දෙයක්. මේ හේතුව නිසාම සාධාරණත්වය පිළිබඳ විසංවාදයක් ඇති විටෙක තීරකයා වන්නේ අධිකරණයයි. ණය ප්‍රතිව්‍යුගතකරණයේදී රජයට හා මහ බැංකුවට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ මෙය කරන්නට යන ආකාරය අසාධාරණ බවයි. කෙසේ වුවත්, පාර්ශ්ව දෙකක් මැදිහත් වී අධිකරණය හරහා රජය හා මහ බැංකුව මෙම චෝදනාවෙන් නිදහස් කළා. එහිදී මෙය අසාධාරණ වන්නේ ඇයි කියන එක සම්බන්ධව මෙම පාර්ශ්ව දෙක විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව වෙනත් පාර්ශ්ව විසින් එය එසේ නොවන බව පෙන්වා දුන්නා. මුල් පෙත්සම්කරුවන් විසින් එම පාර්ශ්ව වල තර්ක ප්‍රතික්ෂේප කරමින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේ නැහැ. ඒ අනුව, අධිකරණය පෙත්සම්කරුවන්ගේ මුල් තර්ක ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ලබා දුන්නා. එයින් රජයට මෙම ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම වඩා පහසු වුනා. අප දැනට වුවද මේ කාරණයේදී පැත්තක් ගන්නේ නැහැ. 

ඉහත කරුණු වලට අමතරව මේ ගැන කතා කරද්දී විවිධ අය සේවක අර්ථසාධක අරමුදල හා අදාළව විවිධ විවේචන සිදු කළා. එම විවේචන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සෘජුව අදාළ දේවල් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ප්‍රශ්න ලෙස අරමුදල ආරම්භ කළ අවස්ථාවේ සිටම පැවති ප්‍රශ්න. එයින් ප්‍රධානම ප්‍රශ්නය සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ තිබීම නිසා ඇතිවන මෙම බැඳියා පිළිගැටුමයි. යම් හෙයකින් මෙහිදී මහ බැංකුව විසින් කළ දෙය අසාධාරණ සේ සැලකිය හැකිනම්, ඒ අසාධාරණය සිදු වුණේ සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ පැවති නිසයි. එමෙන්ම, අරමුදලේ ප්‍රතිලාභ වෙළඳපොළ ප්‍රතිලාභ වලට වඩා අඩුනම් එයට එක් හේතුවක් වන්නේද බැඳියා පිළිගැටුමයි. සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ පවතින තාක් කල් සිදු වීමට ඉඩක් තිබෙන අසාධාරණකම් හෝ පාඩු ගැන කතා කිරීම හෝද හෝදා මඩේ දැමීමක් පමණයි. අවශ්‍ය වන්නේ මෙම අරමුදල මහ බැංකුවෙන් ඉවත් කර වෙනම ස්වාධීන ආයතනික ව්‍යුහයක් යටතට ගැනීමයි. එය කවර ආකාරයේ එකක් විය යුතුද යන්න ගැන පසුව වෙනත් ලිපියකින් කතා කරමු.

Thursday, September 21, 2023

දේශීය ණය ප්‍රශස්තකරණය මුළුමනින්ම අවසන්!


දේශීය ණය ප්‍රශස්තකරණ වැඩ පිළිවෙළෙහි තෙවන හා අවසන් අදියර ලෙස මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් හා අත්තිකාරම් ණය වෙනුවට දිගුකාලීන රාජ්‍ය සුරැකුම්පත් ලබා දීම මේ වන විට අවසන් වී තිබෙනවා. මේ යටතේ වර්ග 10කින් රුපියල් බිලියන 2,492.3ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් මහ බැංකුව වෙත ලබා දී ඇති අතර එම බැඳුම්කර 2029 සිට 2038 දක්වා එක් එක් වසර තුළ කල් පිරෙනවා. 

මීට අමතරව, මේ වසරේ කල් පිරෙන රුපියල් බිලියන 220.8ක තවත් භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙනුවට ඉදිරි වසරේදී කල් පිරෙන බිල්පත් ලබා දී ඇති අතර එම බිල්පත් කල් පිරීමේදී ලැබෙන ආදායම සංචිත තර කර ගැනීම සඳහා ඩොලර් මිල දී ගැනීමට යෙදවීම සැලසුම විය හැකියි.  

මේ හා සමගම රජයට අලුතෙන් ණය ගැනීම සඳහා වන අවශ්‍යතාවය විශාල ලෙස පහළ යනවා. එය ඉක්මණින්ම පොලී අනුපාතික කෙරෙහි යම් සාධනීය බලපෑමක් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. අද දිනයේ ප්‍රකාශයට පත් කෙරුණු ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු අගෝස්තු මාසයේ උද්ධමනය 2.1% දක්වා පහත වැටී ඇති අතර එයද මේ සඳහා උපකාරී වනු ඇතැයි සිතිය හැකියි. 

කෙසේ වුවද, රටේ ආර්ථිකය නැවත නිසි මාර්ගයට අවතීර්ණ කර ගැනීම සඳහා අවශ්‍යම දෙය වන විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය තවමත් අවසන් වී නැහැ. එය අවසන් වන තුරු සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් තව දුරටත් ඉතිරි වෙනවා. 

මේ මාසයේදී උද්ධමනය තව දුරටත් පහත වැටෙනු ඇති අතර ඉන් පසුව උද්ධමන ප්‍රවණතාව වෙනස් වී ක්‍රමයෙන් ආපසු හැරීමට නියමිතයි. දැනට උද්ධමනය පවතින්නේ දිගුකාලීනව පැවතිය හැකි මට්ටමට වඩා පහළ මට්ටමකයි. එහෙත් පොලී අනුපාතික දැනට පවතින්නේ දිගුකාලීනව පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ මට්ටමකයි.

Sunday, September 17, 2023

බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද?


මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා. 

බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

බැඳුම්කරයක් කියන්නේ කිසියම් රජයක් හෝ සමාගමක් විසින් නිකුත් කරන ණය උපකරණයක්. මෙවැන්නක් වෙළඳපොළේ විකිණීම මගින් රජයක් හෝ සමාගමක් විසින් තමන්ගේ අරමුදල් හිඟ පියවා ගන්නවා. ඕනෑම බැඳුම්කරයක "මුහුණත අගයක්" සහ "කල් පිරෙන දිනයක් තිබෙනවා".

මුහුණත අගය - කල් පිරෙන දිනයේදී බැඳුම්කරයේ අයිතිකරුට ලැබෙන මුදලක් 

කල් පිරෙන දිනය - බැඳුම්කරකරයේ අයිතිකරුට එහි මුහුණත අගයට සමාන මුදලක් ආපසු ලැබෙන අනාගත දිනයක්.

කූපන් බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

කූපන් රහිත බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට අනාගතයේදී ලැබෙන්නේ එහි මුහුණත වටිනාකම පමණයි. එහෙත්, කූපන් බැඳුම්කර සඳහා කල් පිරෙන දිනය දක්වා කිසියම් "කූපන් පොලියක්" ලැබෙනවා. මෙම කූපන් පොලිය බැඳුම්කරයක මුහුණත වටිනාකමේ ප්‍රතිශතයක්. සාමාන්‍යයෙන් වසරකට දෙවරක් කූපන් පොලී ගෙවනවා. මෑතකදී සිදු වූ බැඳුම්කර හුවමාරුවට පෙර ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබුණු ස්වෛරිත්ව බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර සියල්ලද, සංවර්ධන බැඳුම්කර වලින් වැඩි ප්‍රමාණයක්ද නිකුත් කර තිබුණේ ස්ථාවර හා කාලයත් සමඟ වෙනස් නොවන කූපන් පොලියක් යටතේයි. 

උදාහරණයක් ලෙස, 2015 මාර්තු 1 දින රුපියල් මිලියන 10,058ක මුහුණත වටිනාකමැති භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලැබුවා. මෙම බැඳුම්කර කල් පිරෙන්නේ වසර 30කට පසුව 2045 මාර්තු 1 දිනයි. එම කාලය අතරතුර බැඳුම්කරහිමියන්ට 12.5%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙනවා. රුපියල් සියයක මුහුණත් අගයක් සඳහා වරකට රුපියල් 6.25 බැගින් වසරකට දෙවරක් මෙම කූපන් පොලී ආදායම ඔවුන්ට ලැබෙනවා. බැඳුම්කරයක් නිකුත් කිරීමෙන් පසුව එහි මුහුණත අගය, කල් පිරෙන දිනය හෝ කූපන් පොලිය ගෙවන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. 

ඇතැම් බැඳුම්කර සඳහා ලබා දෙන කූපන් පොලිය කල් පිරෙන කාලය තුළ වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස හුවමාරු පදනම මත පසුගිය සතියේදී නිකුත් කළ 2027 මාර්තු 15 දින කල් පිරෙන බැඳුම්කර සඳහා වසර තුනක් යන තුරු 12%ක කූපන් පොලියක්ද අවසන් වසරේදී 9%ක කූපන් පොලියක්ද හිමිවෙනවා. මෙය ස්ථාවර, එහෙත් කාලයත් සමඟ වෙනස් (අඩු) වන කූපන් පොලී ක්‍රමයක්. 

ඇතැම් විට විචල්‍ය කූපන් පොලී යටතේද බැඳුම්කර නිකුත් කරනවා. ඇතැම් සංවර්ධන බැඳුම්කර නිකුත් කර තිබුණේ මෙම ක්‍රමයටයි. සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරුවට මෑතකදී නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළේද විචල්‍ය කූපන් පොලියක් යටතේයි. එම බැඳුම්කර වෙනුවෙන් ලැබෙන කූපන් පොලිය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව වෙනස් වෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත හැක්කේ කෙසේද?

වාණිජ බැංකු වලට, ප්‍රාථමික අලෙවිකරුවන්ට හා සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන වලට භාණ්ඩාගාර බැඳුම්කර මුලින්ම වෙළඳපොළට නිකුත් කරන විට තරඟකාරී මිලකට වෙන්දේසියෙන් ඒවා මිල දී ගත හැකියි. මෙය භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවශ්‍යනම් බැංකුවක් හෝ ප්‍රාථමික අලෙවිකරුවෙකු හරහා ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත හැකියි. ඉදිරියේදී වෙනස් වීමට නියමිතව ඇතත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ අයුරින් භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොළට නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.

අයුරින් කවුරු හෝ විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බැඳුම්කරයක් අවශ්‍යනම් කල් පිරෙන තුරු තියා ගන්න පුළුවන්. එසේ නැත්නම්, කල් පිරෙන්නට පෙර වෙනත් අයෙකුට විකුණන්න පුළුවන්. බැඳුම්කරයක් කල් පිරෙද්දී එහි මුහුණත අගය ලැබෙන්නේ අවසන් අයිතිකරුටයි. මෙසේ කලින් මිල දී ගත් බැඳුම්කර ගනුදෙනු වන වෙළඳපොළ භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. මෙය වාහන වල "සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක" වැනි ඉතා සක්‍රිය වෙළඳපොළක්. කෙසේ වුවද, මෙවැනි ද්වීතියික වෙළඳපොළ ගනුදෙනු සිදුවන්නේද බැංකු හෝ ප්‍රාථමික අලෙවිකරුවන් හරහායි. එම ගනුදෙනු සියල්ල එසැණින් මහ බැංකුවේ සටහන් වන නිසා අයිතිය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයන් ඇති වන්නේ නැහැ. කූපන් පොලී ගෙවන කිසියම් දිනයක බැඳුම්කරයක නීත්‍යනුකූල අයිතිකරුට එහි කූපන් පොලී ආදායම ලැබෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභය එහි කූපන් පොලියද?

ස්ථිර තැන්පතු ගිණුමක ප්‍රතිලාභය එහි පොලී අනුපාතයට සමානයි. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කරයක අයිතිකරුට ලැබෙන ප්‍රතිලාභය එහි කූපන් පොලියට සමාන නැහැ. ප්‍රතිලාභය තීරණය වන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල මතයි. 12%ක වාර්ෂික කූපන් පොලියක් ගෙවන බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් රුපියල් 100 බැගින්ම මිල දී ගත් අයෙකුට හරියටම 12%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙත්, බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක වෙළඳපොළ මිල හරියටම රුපියල් 100ක් වීම ඉතා කලාතුරකින් පමණක් සිදු වන දෙයක්.

බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක් රුපියල් 80කට (අවමිලට) මිල දී ගත් අයෙකුට මෙන්ම එයම රුපියල් 120කට (අධිමිලට) මිල දී ගත් අයෙකුටද කූපන් පොලී ලෙස වසරකට ලැබෙන්නේ රුපියල් 12ක එක සමාන මුදලක්. පළමුවැන්නාට මෙහි 15%ක ප්‍රතිලාභයක් ඇති නමුත් දෙවැන්නාගේ ප්‍රතිලාභය 10%ක් පමණයි. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභ ලබා ගැනීමට එය කල් පිරෙන තුරු සිටිය යුතුද?

ඉහත පැහැදිලි කළ පරිදි කූපන් සහිත භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත් දින සිටම මාස හයකට වරක් කූපන් පොලී ආදායම් ලැබෙනවා. එහෙත්, එහි මුහුණත අගය ලැබෙන්නේ කල් පිරුණු විටයි. බැඳුම්කරය මිල දී ගෙන තිබෙන්නේ අධිමිලටනම් එහිදී ආපසු ලැබෙන්නේ යට කළ මුදලට වඩා අඩු මුදලක්. අවමිලට මිල දී ගත් අයෙකුට එහිදී වැඩි මුදලක් ආපසු ලැබෙනවා. කෙසේ වුවත්, බැඳුම්කර හිමිකරුවෙකුට බැඳුම්කරයක් කල් පිරෙන්නට පෙර ඕනෑම වෙලාවක එය ද්වීතියික වෙළඳපොළේ විකුණා මුදල් කළ හැකියි. එහිදී සිදුවන ලාබය හෝ අලාබය තීරණය වන්නේ ඒ මොහොතේ වෙළඳපොළ මිල සහ තමන් මිල දී ගත් මිල මතයි. මෙය අලුත් හෝ පරණ වාහනයක් මිල දී ගෙන නැවත විකිණීමට සමාන දෙයක්. 

භාණ්ඩාගාර බැඳුම්කර වල වෙළඳපොළ මිල වෙනස් වෙන්නේ කොහොමද?

සාමාන්‍ය මූලධර්මයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. මෙය තේරුම් ගන්න අපහසු නැහැ. භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ලැබෙන කූපන් පොලිය 12%ක් කියා අපි හිතමු. වෙළඳපොළ පොලී අනුපාතික 10% දක්වා අඩු වුනොත්, ඊට වඩා වැඩි කූපන් පොලියක් ගෙවන 12% බැඳුම්කර සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඒ අනුව, එහි මිල ඉහළ යනවා. වෙළඳපොළ පොලී අනුපාතික 15% දක්වා වැඩි වුනොත්, 12% කූපන් බැඳුම්කර වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. 

බැඳුම්කරයක කූපන් පොලිය කීයක් වුනත් ඉහත සංසිද්ධියේ වෙනසක් නැහැ. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. කෙටි කාලයක් තුළ විශාල ලෙස පොලී අනුපාතික ඉහළ ගිය නිසා 2022 වසර අවසන් වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් මිල දී ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බැඳුම්කර තොගයේ වටිනාකම 40%කින් අඩු වී තිබුණා. බැංකු ඇතුළු අනෙකුත් ආයතන සතු වූ බැඳුම්කර වල මිලද මේ අයුරින්ම පහත වැටී තිබුණා. එය වාහන මිල අඩු වෙද්දී කොයි වාහනයේ මිලත් අඩු වෙනවා වගේ වැඩක්. කෙසේ වුවත්, උද්ධමනය අඩු වෙද්දී සහ දේශීය ණය ප්‍රසස්ථකරණ යෝජනා ප්‍රකාශයට පත් වෙද්දී ද්වීතියික වෙළඳපොළෙහි බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ ගියා. 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී සිදු වුනේ කුමක්ද?

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක මුහුණත අගය කප්පාදු කරනු ලැබුවේ නැහැ. එමෙන්ම, දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක කූපන් පොලී කප්පාදු කරනු ලැබුවේද නැහැ. කවුරු හෝ එසේ කියනවානම් එය දැන හෝ නොදැන ප්‍රචාරය කරන වැරදි තොරතුරක්. මෙහිදී ඇත්තටම සිදු වුනේ දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර ස්වේච්ඡාවෙන් අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමක්. මේ වන විට මෙම හුවමාරුව අවසන් වී තිබෙනවා. 

මෙම හුවමාරුව සිදු කිරීම නිසා එසේ කළ අයට පාඩුවක් වී තිබේද?

හුවමාරු කර ගැනීමේදී රජයට ආපසු භාර දුන් සියලුම බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,002.7ක්. නිකුත් කර තිබූ බැඳුම්කර සියල්ලම රජය විසින් ආපසු ලබාගත්තේනම් අපට හුවමාරුවෙන් පසුව එම බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න ලැබෙන්නේ නැහැ. කළ හැක්කේ උපකල්පන කිරීම පමණයි. සංවර්ධන බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ එවැන්නක්. නමුත්, මෙහිදී හුවමාරු කර ගැනුණේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 37%ක් පමණක් නිසා එසේ හුවමාරු කර ගැනුණු බැඳුම්කර සියල්ලෙන්ම යම් ප්‍රමාණයක් (සමස්තයක් ලෙස බැඳුම්කර වලින් 63%ක්) තවමත් වෙළඳපොළේ තිබෙනවා. ඒ නිසා, අපට පහසුවෙන්ම මේ අයුරින් රජය විසින් ආපසු ලබාගත් බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න පුළුවන්. එම වටිනාකම (හුවමාරුව සිදුවීමෙන් පසුව) රුපියල් බිලියන 3,002.7ක්. ඒ වෙනුවට, අලුතෙන් ලැබුණු බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,007.1ක්. ඒ අනුව, මෙම හුවමාරුවෙන් එම හුවමාරුවට එකඟ වූ පාර්ශ්ව වලට කිසිදු පාඩුවක් වී නැති බව ඉතාම පැහැදිලියි.

සරල උදාහරණයක් ගත්තොත් රජය විසින් කළේ වෙළඳපොළේ තිබුණු තැඹිලි අරගෙන ඒ වෙනුවට කුරුම්බා දෙනවා වගේ වැඩක්. රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කරගත්තානම් එම තැඹිලි වල දැන් මිල කීයක් විය හැකිව තිබුණාද යන්න ගැන උපකල්පන කරමින් විවිධ අයට පාඩුව ගණන් හැදිය හැකිව තිබුණා. විගණකාධිපති විසින් 2015 බැඳුම්කර නිකුතුවේ පාඩුව ගණන් හැදුවේ මේ විදිහට. මේ වගේ අවස්ථාවක කවුරු හෝ විසින් කරන උපකල්පන වැරදි බව ඉතා පැහැදිලි වුනත් එය ඔප්පු කරන්න අමාරුයි. නමුත් බැඳුම්කර හුවමාරුවේදී රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කර නොගත් නිසා දැන් අපට තැඹිලි මිල මෙන්ම කුරුම්බා මිලද පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව, ලාබ පාඩු බලා ගත හැකියි. ඒ සඳහා, තැඹිලි මිල කීයක් විය හැකිව තිබුනාද කියා උපකල්පනය කරන්න අවශ්‍ය නැහැ. 

හුවමාරුවෙන් පාඩුවක් වුනේ නැත්නම් බැංකු හා අනෙකුත් ආයතන තමන්ගේ බැඳුම්කර හුවමාරු කරගන්න ඉල්ලුම් නොකළේ ඇයි?

බැඳුම්කර ලෙස පොදුවේ කතා කළත් සියලුම බැඳුම්කර සමාන නැහැ. ලිපියේ මුලින්ම විස්තර කළ පරිදි, බැඳුම්කර ඒවායේ කල් පිරීමේ කාලය අනුව එකිනෙකට වෙනස් වෙනවා. වෙළඳපොළේ වූ බැඳුම්කර 2023 සිට 2045 දක්වා කල් පිරෙන ඒවා. 

ඕනෑම විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් විසින් බැඳුම්කර මිල දී ගන්නේ දිගුකාලීන ආයෝජනයක් ලෙසයි. ඒ නිසා, ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ හැකි තරම් දිගු කාලයකට ආයෝජනය කරන්නයි. එයින් වෙනස්ව, බැංකු විසින් කරන්නේ හදිසියකට මුදල් කිරීම සඳහා වසර කිහිපයකට බැඳුම්කර වල ආයෝජනය කරන එකයි. හුවමාරුවේදී අලුතෙන් නිකුත් කෙරුණු බැඳුම්කර වර්ග 12 කල් පිරෙන්නේ 2027 සිට 2038 දක්වා කාලය තුළයි. එම කාලය රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ආදායම් වැඩි කරගෙන ණය ආපසු ගෙවිය හැකි කාලයයි. 

තමන්ගේ අරමුදල් ආපසු ලබා ගැනීම සඳහා වසර 3 සිට වසර 15 දක්වා කාලයක් (සාමාන්‍ය වශයෙන් වසර 9ක කාලයක්) බලා සිටීම විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, බැංකු වලට හා අනෙකුත් ව්‍යාපාරික ආයතන වලට කොයි තරම් ඉහළ ප්‍රතිලාභයක් ලැබුනත් තමන්ගේ මුදල් එවැනි දීර්ඝ කාලයකට හිර කිරීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව, මෙම හුවමාරුවෙන් පාඩුවක් වේද නොවේද යන්න පිළිබඳව හුවමාරුවට පෙර හරියටම දැනගත හැකි ක්‍රමයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ යමෙක් අවදානමක් ගන්නේ කලාතුරකින්. දැන් තත්ත්වය අනුව බැලුවත්, පාඩුවක් සිදු වී නැතත් ගිණිය හැකි තරමේ ලාබයක්ද සිදු වී නැහැ.

ගහේ තැඹිලි වල්ල මෝරන තුරු සිට තැඹිලි-පොල් පොල් විදිහට ප්‍රයෝජනයට ගන්න ඉන්න කෙනෙක් අකැමැත්තක් නැතුවම තමන්ගේ තැඹිලි වල්ල පොල් වෙනුවට හුවමාරු කර ගන්නවා. නමුත්, තැඹිලි වල්ල මෝරන්න කලින් බාගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට තැඹිලි වෙනුවට මෝරපු පොල් වැඩක් නැහැ. 

පාඩුවක් නැතිව හුවමාරුව කළ හැකි වීනම් රජය විසින් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් මත 30% බද්දක් පැනවූයේ ඇයි?

මෙය ඔවුන්ව පොළඹවා ගැනීම සඳහා කළ දෙයක් බව ඉතාම පැහැදිලියි. මෙම බද්ද පැනවුයේ නැතත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් විසින් යම් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනවා. බද්ද පැනවීමෙන් පසුවද බදු සහනය ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම හුවමාරු කළ යුතු නැති බැඳුම්කර වර්ග ගණනාවක්ද හුවමාරු කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් අරමුදල් හා වෙනත් අය විසින් අයැදුම් කර තිබීමෙන් එය පැහැදිලි වෙනවා. එසේ වුනානම් ඔවුන් කරන්නේ වැඩි වෙළදපොළ මිලක් තිබෙන බැඳුම්කර ඉතිරි කරගෙන අඩු මිලක් ඇති ඒවා පමණක් හුවමාරු කර ගැනීම සඳහා අයැදුම් කරන එකයි. එය ලොකු තැඹිලි තියාගෙන පොඩි තැඹිලි පමණක් කුරුම්බා සමඟ හුවමාරු කරගන්නවා වගේ වැඩක්. එවැන්නක් වුනානම්, එයින් රජයට විශාල පාඩුවක් වෙනවා. 30% බද්ද පැනවීම මගින් රජය කළේ අයැදුම් කිරීමට පෙර එසේ "බැඳුම්කර තේරීම" පාලනය කරන එකයි. 

අනාගතයේ පොලී අනුපාතික ඉහළ ගියොත් මේ හුවමාරුව කළ අයට පාඩුවක් වෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. නමුත්, එය දිගුකාලීන ආයෝජන කිරීමේදී ගන්න වෙන සාමාන්‍ය අවදානමක් මිසක් බැඳුම්කර හුවමාරුව නිසා සිදු වන පාඩුවක් නෙමෙයි. දැනට පවතින වෙළඳපොළ මිල කියන්නේ අනාගතයේ සිදු විය හැකි ලාබ පාඩු සියල්ල පිළිබඳ මේ මොහොතේ තිබෙන නිවැරදිම පිළිබිඹුවයි. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගියහොත් හුවමාරුවට ලැබුණු බැඳුම්කර වල මිල පහත වැටිය හැකියි. වෙළඳපොළ පොලී අනුපාතික පහළ ගියහොත් එම මිල ඉහළ යා හැකියි. පොලී අනුපාතික ඉහළ යා හැකි බව පෙනේනම් මේ අවස්ථාවේදී මෙම බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා මුදල් කිරීම මගින් අනාගතයේ සිදු විය හැකි පාඩුව වලක්වා ගත හැකියි. නමුත් යම් හෙයකින් පොලී අනුපාතික අඩු වුවහොත් ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයයි. 

විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වලට පාඩුවක් වී නැත්නම් රජයේ ණය අඩු වුනේ කොහොමද?

බැඳුම්කර හුවමාරුව නිසා රජයේ ණය අඩු වෙන්නේ නැහැ. එය වැරදි අවබෝධයක් හෝ බොරු කතාවක්. සිදු වෙන්නේ ණය බර අඩුවීමක් මිසක් ණය අඩු වීමක් නෙමෙයි. ඔබේ වැටුප රුපියල් 25,000ක්නම්, නිවාස ණය වාරිකය රුපියල් 10,000ක් නම්, බැංකුව සමඟ කතා කර එම ණය වාරිකය රුපියල් 8,000ක් කර ගත් විට ඔබේ ණය බර අඩු වෙනවා. නමුත්, එයින් ඔබේ ණය අඩු වෙන්නේ නැහැ. ඔබට එම වාරිකය වැඩි කාලයක් ගෙවන්න සිදු වෙනවා. ඒ නිසාම, බැංකුවට පාඩුවක් වෙන්නෙත් නැහැ. 

මේ වැඩේට සේවක අර්ථසාධක අරමුදල පමණක් ගාව ගත්තේ ඇයි?

අසත්‍ය ප්‍රකාශයක්. හුවමාරු කෙරුණු රුපියල් බිලියන 3,264.5ක බැඳුම්කර ප්‍රමාණයෙන් සේවක අර්ථසාධක අරමුදලේ කොටස රුපියල් බිලියන 2,667.5ක් පමණයි.

මීට අමතරව ඉදිරියේදී වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් කපනවද?

පට්ටපල් බොරුවක්. දැන් භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව සිදු කර අවසානයි. මීට අමතරව, අනාගතයේදී අරමුදලින් එක සතයක්වත් කැපීමේ සැලසුමක් නැහැ. 

ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල් ටිකෙන් ටික අඩු වී යනවාද?

කිසිසේත්ම නැහැ. සේවක අර්ථසාධක අරමුදල අඩු වශයෙන් තව වසර 20-30ක්වත් යන තුරු වසරින් වසර වර්ධනය වෙනවා. අලුතෙන් ලැබෙන දායක මුදල් එයට එක හේතුවක් වුනත්, එම දායක මුදල් කොටස ඉවත් කළත් අරමුදල වර්ධනය වෙනවා. හුවාමාරු කළ බැඳුම්කර කොටස පමණක් සැලකුවත්, 2023, 2024, 2025 හා 2026 පළමු අර්ධය තුළ 12%ක කූපන් පොලියක් අරමුදලට ලැබෙනවා. එයින් පසුව 9%ක් ලැබෙනවා. මේ අනුව, අරමුදල දිගින් දිගටම ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ වලට කුමක් වෙයිද?

සේවක අර්ථසාධක අරමුදලේ සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ තීරණය වන්නේ අරමුදලේ ආයෝජන වලට ලැබෙන ප්‍රතිලාභ අනුවයි. 2026 දක්වා හුවමාරු කළ බැඳුම්කර වෙනුවෙන් 12%ක කූපන් පොලියක් ලැබෙනවා. මුලින් පැහැදිලි කළ පරිදි මෙම කූපන් පොලිය ගණනය කරන්නේ බැඳුම්කර වල මුහුණත අගය මතයි. හරියටම ගණන් දන්නේ නැතත්, සේවක අර්ථසාධක අරමුදල විසින් බැඳුම්කර බොහොමයක් මිල දී ගෙන තිබෙන්නේ අවමිලට නිසා අරමුදලට ලැබෙන සැබෑ ප්‍රතිලාභය 12%ට වඩා වැඩියි. 2026න් පසු කාලය සැලකුවද 9%ට වඩා වැඩියි. එහෙත්, සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවන්නට පෙර රජයට 14%ක් බද්දක් ගෙවිය යුතුයි. මෙම කරුණු සැලකිල්ලට ගත් විට 2027 වසර පමණ දක්වා සාමාජික ශේෂ මත 9%ක ප්‍රතිලාභ ලබා දීමේ ඉඩක් තිබෙන නමුත් ඉන් පසුව එම අනුපාතය තරමක් අඩු විය හැකියි. මෙය තීරණය වන්නේ රටේ පවතින උද්ධමනය හා පොලී අනුපාතික මතයි. උද්ධමනය අඩු වෙද්දී පොලී අනුපාතික අඩු වෙනවා. පොලී අනුපාතික විශාල ලෙස අඩු වුවහොත් අලුතෙන් එකතු වන දායක මුදල් සහ ආයෝජන ආදායම් නැවත ආයෝජනය කරන්න වෙන්නේ අඩු පොලියකටයි. ඒ අනුව, සාමාජික ප්‍රතිලාභද අඩු විය හැකියි. උද්ධමනය හා පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබුණොත් ලැබෙන ප්‍රතිලාභයද ඉහළ යයි. එහෙත්, එය අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන සැබෑ වාසියක් නෙමෙයි. සැබෑ වාසිය වන්නේ උද්ධමනයට වඩා වැඩියෙන් ලැබෙන ප්‍රමාණයයි. උද්ධමනය 5% ලෙස තිබියදී 8%ක ප්‍රතිලාභයක් ලැබිය හැකිනම් එය උද්ධමනය 13% මට්ටමේ තිබියදී 15%ක ප්‍රතිලාභයක් ලැබෙනවාට වඩා වාසිදායකයි. 

Friday, September 15, 2023

"පාඩුව" හරියටම මෙන්න!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර යටතේ මේ වන විට නිකුත් කර ඇති සහ වෙළඳපොළ තුළ හුවමාරු වන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 61ක් අලුත් බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබූ අතර ඒ සඳහා ලැබුණු අයැදුම්පත් අනුව එම බැඳුම්කර වර්ග 61න් වර්ග 49කින් යම් කොටසක් බැගින් අලුත් බැඳුම්කර වර්ග 12 සමඟ හුවමාරු කෙරුණා. මෙම අලුත් බැඳුම්කර වර්ග 12 මෙන්ම ඒ වෙනුවෙන් හුවමාරු කෙරුණු බැඳුම්කර වර්ග 49හි හුවමාරු නොකළ කොටසද මේ වන විට ද්වීතියික වෙළඳපොළෙහි සක්‍රිය ලෙස අලෙවි වනවා.

කිසියම් භාණ්ඩයක "නියම" මිල සේ සැලකිය හැක්කේ එම භාණ්ඩය වෙළඳපොළ තුළ විකිණිය හැකි මිලයි. මෙම නියමය භාණ්ඩාගාර බැඳුම්කර වලටද වලංගුයි. එම පදනම මත, හුවමාරු කිරීමේදී රජයට ආපසු ලබාදුන් බැඳුම්කර වල නියම වටිනාකම මෙන්ම ඒ වෙනුවෙන් ආපසු ලැබුණු බැඳුම්කර වල නියම වටිනාකමද දැන් අපට පහසුවෙන්ම ගණනය කළ හැකියි. මෙම මිල ගණන් අතර වෙනස හුවමාරුව නිසා සිදු වූ ලාබය හෝ පාඩුවයි.

අලුත් බැඳුම්කර නිකුත් කරනු ලැබ වෙළඳපොළ තුළ ඒවා හුවමාරු වන තුරු මෙම හුවමාරුවේ ලාබ හෝ පාඩු පිළිබඳව කිසිවකුට නිවැරදිව කිව හැකි වූයේ නැහැ. වෙළඳපොළ මිල කියන්නේ නිරීක්ෂණය කළ යුතු දෙයක් මිස කලින් හරියටම පුරෝකථනය කළ හැකි දෙයක් නෙමෙයි. 

මෙම හුවමාරුව සිදු වීමට පෙර මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබුණේ එයින් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වලට 4.8%ක අපේක්ෂිත පාඩුවක් සිදු විය හැකි බවයි. වෙනත් අය මෙය 47% දක්වා වන අපේක්ෂිත පාඩුවක් ලෙස ගණන් බලා තිබුණා. අපගේ පෞද්ගලික අදහස වූයේද මහ බැංකුවේ ඇස්තමේන්තුව ඉක්මවන  7%-15% පරාසයේ අපේක්ෂිත පාඩුවක් සිදු විය හැකි බවයි. 

කෙසේ වුවද, අලුත් බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ තුළ හුවමාරු වීමෙන් පසුව පෙනී යන පරිදි මෙම හුවමාරුවෙන් ඒ සඳහා අයැදුම් කළ පාර්ශ්ව වලට කිසිදු අලාබයක් සිදු වී නැහැ. සමස්තයක් ලෙස මෙම හුවමාරුව නිසා එයට සහභාගී වූ අයගේ වත්කම් සුළු වශයෙන් (රුපියල් බිලියන 4.9කින් හෙවත් 0.16%කින්) ඉහළ ගොස් තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදල හා අදාළව වෙනම ගණන් බැලීමක් කිරීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නැතත්, එම අරමුදලේ ලාබ පාඩු පිළිබඳ තත්ත්වයද මීට වඩා ලොකුවට වෙනස් වීමේ ඉඩක් නැහැ. 

හුවමාරු කළ බැඳුම්කර එසේ හුවමාරු නොකළේනම්, ඒවා අතරින් වැඩි කූපන් පොලියක් සහිත බැඳුම්කර මේ වන විට රුපියල් 123.45 දක්වා වන මිලකට විකිණිය හැකිව තිබුණත්, අඩු කූපන් පොලී සහිත බැඳුම්කර රුපියල් 74.18 දක්වා වන අඩු පොලියකට විකුණන්නට සිදු වෙනවා. සමස්තයක් ලෙස මෙසේ හුවමාරු කළ බැඳුම්කර සියල්ලම "තොගයක් ලෙස" විකිණුවේනම් විකුණන්නට වෙන්නේ රුපියල් 93.69ක මිලකටයි. මේ වෙනුවෙන් ලැබුණු අලුත් බැඳුම්කර "තොගයක් ලෙස" රුපියල් 93.84කට විකිණිය හැකියි. වෙනත් විදිහකින් කියනවානම්, හුවමාරුවට සහභාගී වූ අයෙකුට අවශ්‍යනම් හුවමාරුවේදී අලුතින් ලැබුණු බැඳුම්කර වෙළඳපොළෙහි විකුණා කලින් තමන් සතු වූ බැඳුම්කර වර්ග වලින් එම ප්‍රමාණ මිල දී ගන්න පුළුවන්. 

මේ සමඟම, බැංකු කඩා වැටීමේ කතාව වගේම, මේ හා අදාළව ප්‍රචාරය වූ ප්‍රවාද, දුස්තොරතුරු මෙන්ම අපගේ පූර්ව ඇස්තමේන්තුද ඇතුළු ඇස්තමේන්තු සියල්ල තේරුමක් නැති දේවල් බවට පත් වෙනවා. කතාව සංකීර්ණ වැඩිනම්, සරලව, මෙම හුවමාරුව නිසා සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වල කිසිම දැනෙන වෙනසක් සිදු වී නැහැ. ඒ කතාවත් මෙතැනින් සමාප්තයි!

ආර්ථික වර්ධනය- 2023 දෙවන කාර්තුව

 


කාර්තු තුනක් තිස්සේ එක දිගටම ඉලක්කම් දෙකේ ප්‍රතිශත අගයකින් හැකිළුණු ශ්‍රී ලංකා ආර්ථිකය 2023 දෙවන කාර්තුවේදීද පෙර වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව හැකිළී ඇතත්, එම හැකිලීම 3.1%කට සීමා වී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ මෙම කාර්තුවේදී, එනම් 2023 තෙවන කාර්තුවේදී, ආර්ථිකයේ යම් හෝ වර්ධනයක් ඇති වීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි බවයි. 

පෙර කාර්තුවේදී 5.0%කින් හැකිළුණු සේවා අංශයේ හැකිලීම 0.8%කට සීමා වී ඇති අතර, පෙර කාර්තුවේදී 23.4%කින් හැකිළුණු කර්මාන්ත අංශය 11.5%කින් හැකිළී තිබෙනවා. පෙර කාර්තුවේදී 0.8%කින් වර්ධනය වූ කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී තිබෙනවා. 

කෙසේ වුවද, 2023 දෙවන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරකම් සිදුව ඇත්තේ වසර පහකට පෙර, එනම් 2018 දෙවන කාර්තුවේදී පැවති මට්ටමට වඩා 16.8%ක් අඩුවෙන්. ආර්ථිකය නැවත වර්ධනය වීමට පටන් ගත්තේ වුවද එසේ වර්ධනය වනු ඇත්තේ අහිමි වූ දශකයක හානිය සමඟයි. වෙනත් විදිහකින් කිවුවොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී ඇති ස්ථායීකරණ වැඩ සටහන තුළ ආර්ථිකය නැවතත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වුවද, 2028 වන විට නැවත යා හැකි වනු ඇත්තේ වසර දහයකට පෙර 2018දී සිටි තැනටයි. 

Thursday, September 14, 2023

සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව?


මහ බැංකුව විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර දැනුම් දී ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල සතු වූ රුපියල් බිලියන 3,220ක භාණ්ඩාගාර බැඳුම්කර වලින් රුපියල් බිලියන 2,667.5ක ප්‍රමාණයක් අලුතෙන් නිකුත් කර තිබෙන බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. එම ප්‍රමාණයට 14% බදු සහනය දිගටම පවත්වා ගැනීම සඳහා හුවමාරු කළ යුතු වූ අවම ප්‍රමාණය (78%ක්) මෙන්ම ඊට අමතරව රුපියල් බිලියන 149.9ක බැඳුම්කර ප්‍රමාණයක්ද ඇතුළත්. අමතර ප්‍රමාණයද සමඟ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 83%ක් අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. 

මීට දින දෙකකට පෙර නිකුත් කළ මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති නිවේදනය අනුව, සමස්තයක් ලෙස විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු වූ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් 84%ක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනු ලැබ එම අයැදුම්පත් පිළිගෙන තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ අනෙකුත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් බොහොමයක්ද සේවක අර්ථසාධක අරමුදල විසින් හුවමාරු කරගත් බැඳුම්කර ප්‍රතිශතයට නොඅඩු ප්‍රතිශතයක් අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන ඇති බවයි. ඊට අමතරව, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් නොවන අනෙකුත් ආයතන විසින්ද යම් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කරගෙන තිබෙනවා විය හැකි වුවත්, එසේ කර ඇත්නම් එම ප්‍රමාණය සාපේක්ෂව සුළු ප්‍රමාණයක් විය යුතුයි.

මේ සමඟ පළ කර තිබෙන වගුවෙහි පෙන්වා තිබෙන්නේ බැඳුම්කර හුවමාරුවෙන් පසු රජයේ මුදල් ප්‍රවාහ වෙනස් වන ආකාරයයි. රජය විසින් 2023-2043 කාලය තුළ ආපසු ගෙවිය යුතුව තිබුණු ආපසු ලබාගත් බැඳුම්කර වල මුහුණත අගය වන වන රුපියල් බිලියන 3,204.5ක මුදල, අලුත් බැඳුම්කර වල මුහුණත අගය ලෙස එලෙසම ආපසු ගෙවිය යුතු වුවත්, එම මුදල් ප්‍රමාණය දැන් ආපසු ගෙවන්නට වෙන්නේ 2027-2038 කාලය තුළ සමාන වාරික වලින් බැවින් එහි සහනය රජයට ලැබෙනවා. 

ආපසු ලබාගත් බැඳුම්කර වෙනුවෙන් රජය විසින් කූපන් පොලී ලෙස රුපියල් බිලියන 2,055.8ක් ගෙවිය යුතුව තිබුණා. හුවමාරුවෙන් පසුව, රජයට අලුත් බැඳුම්කර වල කූපන් පොලිය ලෙස ඊට වඩා රුපියල් බිලියන 771.7ක් වැඩියෙන් ගෙවන්නට සිදු වෙනවා. එහෙත්, ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ වීමට සාපේක්ෂව මෙම අමතර කූපන් පොලිය ගෙවීම රජයට වාසියක්. හරියටම කිවුවොත් අපේක්ෂිත වාසියක්. එම අපේක්ෂිත වාසිය කුමක්ද යන්න තීරණය වන්නේ බැඳුම්කර හුවමාරුව නිසා ශුද්ධ මුදල් ප්‍රවාහයන්හි (net cashflow) සිදුව ඇති වෙනස මතයි. එම වෙනස වගුවෙහි අවසාන සිරස් තීරුවේ පෙන්වා තිබෙනවා. 

ඉහත ශුද්ධ මුදල් ප්‍රවාහයේ වත්මන් අගය (present value) ශුන්‍ය වීමටනම් 5.5% වැනි වට්ටම් අනුපාතිකයක් (discount factor) යොදා ගෙන මුදල් ප්‍රවාහ වට්ටම් කළ යුතුයි. එහෙත්, එම අගය ලංකාවේ කිසිවෙකු විසින් ප්‍රමාණවත් සේ සලකන ප්‍රතිලාභ අනුපාතයක් නොවන නිසා හුවමාරුවට සම්බන්ධ වූ අරමුදල් වල වත්මන් වටිනාකමෙහි අපේක්ෂිත වෙනස අඩු වීමක් මිස වැඩි වීමක් අපේක්ෂා කළ නොහැකියි. වට්ටම් අනුපාතිකය 9% ලෙස සැලකුවහොත්, අරමුදල් වල වත්මන් අගය 7.8%කින් පමණ අඩු වෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ අපේක්ෂිත ප්‍රතිලාභ සම්බන්ධව මහ බැංකුව විසින් අද (සැප්තැම්බර් 14) දින ඉදිරිපත් කර තිබෙන තොරතුරු මත පදනම්ව අප විසින් සිදු කළ ගණනය කිරීම් වලට අනුව, 2038 දක්වා කාලය තුළ අරමුදලට සිදු වන සමස්ත අලාභය 7.8%ක්. හුවමාරුව නොකර 30% අනුපාතයෙන් බදු ගෙවීමට තීරණය කළේනම් මෙම අලාභය 20.8%ක්. මුදලින් රුපියල් බිලියන 209ක් පමණ වන ඉහත 7.8% අලාභය ගැලපෙන්නේ 9%ක වට්ටම් අනුපාතයක් සමඟයි. එහෙත්, මේ වන විට වෙළඳපොල විසින් අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය 13% තරම් විශාල විය හැකියි. 

අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වෙළඳපොළ තුළ හුවමාරු වෙද්දී එම බැඳුම්කර වල වත්මන් වෙළඳපොළ වටිනාකම හරියටම දැනගන්නට ලැබෙනවා. මේ අනුව, අපට අපේක්ෂිත අලාභය පිළිබඳව වෙළඳපොළ මත පදනම් වූ ඇස්තමේන්තුවක් සකස් කිරීමට ඉඩ ලැබෙනවා. වෙළඳපොළ අපේක්ෂාවන් කිසිසේත්ම සියයට සියයක් නිවැරදි නැතත්, තනි පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ඇස්තමේන්තු විශ්වාස කරනවාට වඩා වෙළඳපොළ විශ්වාස කිරීම වඩා සාර්ථක ප්‍රවේශයක්. අපගේ අදහස වනුයේ වෙළඳපොළ මත පදනම් වන සේවක අර්ථසාධක අරමුදල ඇතුළු බැඳුම්කර හුවමාරුවට සම්බන්ධ වූ අයගේ අලාභය මහ බැංකුවේ ඇස්තමේන්තුවට වඩා වැඩි විය යුතු බවයි. 

පවතින වෙළඳපොළ අපේක්ෂාවන් අනුව, මෙම අපේක්ෂිත අලාභය 12%කට ආසන්න අලාභයක් විය හැකියි. වැඩි දවසක් නොගොස් හරියටම බලා ගන්නට ඉඩ ලැබෙන නිසා මෙම අපේක්ෂිත අලාභය ඇස්තමේන්තු කිරීමට හදිසි විය යුතු නැහැ.

Tuesday, September 12, 2023

හුවමාරු කළ බැඳුම්කර ආපසු ගෙවන හැටි!



කලින්ම හිතාගත හැකි වූ පරිදිම, භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයැදුම් කර තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් බව පෙනී යනවා. අනෙකුත් ආයතන විසින් අයදුම් කර ඇත්නම් එම ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක් විය යුතුයි. විශ්‍රාම පාරිතෝෂික අරමුදල් මේ සඳහා පෙළැඹී තිබෙන්නේ 14% බදු සහනය වෙනුවෙන් බවද පෙනී යනවා. කෙසේ වුවත්, ණය හුවමාරුවට අයැදුම් කළ ආයතන සම්බන්ධ නිශ්චිත තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නැහැ. 

මේ සමඟ පළ කෙරෙන ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කර තිබෙන්නේ හුවමාරුවට පෙර හා හුවමාරුවෙන් පසු අදාළ මුදල ආපසු ලැබෙන ආකාරයයි. මෙහිදී ණය කප්පාදුවක් සිදු වී නැති නිසා, රුපියල් බිලියන 3,204.5ක් වන හුවමාරු කළ බැඳුම්කර වෙනුවෙන් ලැබිය යුතු මුදල සතයක්වත් අඩු නැතුව ආපසු ලැබෙන නමුත් එසේ ලැබෙන්නේ මුලින් මුදල් ආපසු ලැබිය යුතුව තිබුණු දවස් වලදීම නෙමෙයි.

බැඳුම්කර හුවමාරුව සිදු නොවුනානම්, 2025-2028 වසර වලදී රජයට විශාල මුදලක් ආපසු ගෙවන්නට සිදු වෙනවා. පැවති තත්ත්වය තුළ රජයට එම මුදල් ආපසු ගෙවාගත නොහැකි වී ණය පැහැර හරින්නට සිදු වීමේ අවදානමක් තිබුණා. ණය තිරසාරත්වය නැති වීම යන්නෙන් අදහස් වන්නේ එයයි. එසේ වීනම්, මේ වන විට සිය බැඳුම්කර හුවමාරු කරගැනීම සඳහා ඉල්ලා ඇති අයට මෙන්ම අනෙකුත් අයටද තමන්ගේ මුදල් ආපසු නොලැබිය හැකිව තිබුණා.

හුවමාරුව සිදු වීමෙන් පසුව එක් එක් වසර තුළ රජයට ආපසු ගෙවන්නට සිදු වන්නේ දරාගත හැකි ණය ප්‍රමාණයක්. ඒ වගේම, එසේ ණය ආපසු ගෙවීම සඳහා අරමුදල් සොයා ගැනීමට ප්‍රමාණවත් කාලයක් රජයට ලැබෙනවා. මෙම කාලයේ වාසිය අරගෙන පැහැර හැරි බදු අය කර ගැනීම, හොරකම් කළ සල්ලි එකතු කර ගැනීම, පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන බවට පත් කිරීම, එම ආයතන විකිණීම වැනි මේ ආණ්ඩුවේ හා ඉදිරි ආණ්ඩු වල ප්‍රතිපත්ති වලට ගැලපෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන්. 

මෙන්න තවත් ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිඵලයක්!


රුපියල් බිලියන 3,208.1ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම සඳහා එම බැඳුම්කරහිමියන් විසින් අර්පණය කර ඇති අතර එම අර්පණ වලින් රුපියල් බිලියන 3,204.5ක ප්‍රමාණයක් පිළීගෙන තිබෙනවා. මෙම ප්‍රමාණය හුවමාරුව සඳහා සුදුසුකම් ලත් බැඳුම්කර ප්‍රමාණයෙන් 37%ක් වන අතර, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු වූ සුදුසුකම් ලත් බැඳුම්කර වලින් 84%ක් සඳහා අර්පණයන් පිළිගෙන තිබෙනවා. අදාළ හුවමාරුව අනිද්දා (සැප්තැම්බර් 14) සිදු චෙනවා.

වැඩි විස්තර පසුවට.

Sunday, September 10, 2023

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම- අලුත්ම තත්ත්වය


මෙම ලිපිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව පසුගිය සතිය තුළ සිදු වූ දේවල් පිළිබඳව මෙන්ම මෙම සතිය තුළ සිදු විය හැකි දේවල් පිළිබඳව කෙරෙන සමාලෝචනයක්. ලිපියෙන් බොහෝ දුරට කෙරෙන්නේ දැනටමත් පොදු අවකාශයේ ඇති තොරතුරු සාරාංශගත කර නැවත ඉදිරිපත් කිරීමක්.

පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතේ පළමුවන උපලේඛනය සංශෝධනය කෙරුණා. ඒ අනුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF), අනුමත කරනු ලැබූ අර්ථසාධක හෝ විශ්‍රාම වැටුප් අරමුදල්, හා අනුමත කරනු ලැබූ සමාපන අරමුදල් (termination funds) මත අය කෙරෙන ආදායම් බදු අනුප්‍රමාණය 30% දක්වා වැඩි කෙරුණු අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වන අරමුදල් සඳහා අදාළ වන ආදායම් බදු අනුප්‍රමාණය තවදුරටත් 14% ලෙසම පවත්වාගනු ලැබෙනවා. මෙම වෙනස්කම් 2023 සැප්තැම්බර් 1 දින සිට ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. 

ඉහත සංශෝධනය මේ වන විට රටේ නීතිය බවට පත් වී අවසානයි. ඒ අනුව, අදාළ සංශෝධනයේ පසුබිම කුමක් වුවත්, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු වෙනත් ඕනෑම අයෙකුට එම නීතියට යටත්ව කටයුතු කිරීමට සිදු වෙනවා. 

ඉහත නීතිය අනුව, "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීම" යන්නෙන් අදහස් වන්නේ සුදුසුකම් ලත් අරමුදලක් සතුව තිබෙන 2023 වසර තුළ කල් පිරෙන සුදුසුකම් ලත් බැඳුම්කර අතරින් එක් එක් ශ්‍රේණියේ බැඳුම්කර වලින් අවම වශයෙන් 50%ක් සහ 2024-2032 කාලය තුළ (එම වර්ෂ දෙකද ඇතුළුව) කල් පිරෙන බැඳුම්කර සියල්ල අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අර්පණය කිරීම සහ එම අර්පණයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පිළිගනු ලැබීමයි.

ඉහත සඳහන් සුදුසුකම් ලත් අරමුදල් යන්නට සේවක අර්ථසාධක අරමුදලද ඇතුළත්. අර්පණයන් ඉදිරිපත් කිරීම සඳහා හෙට (සැප්තැම්බර් 11) දින පස්වරු 4 දක්වා කාලය ලබා දී ඇති අතර පසු දින (සැප්තැම්බර් 12) ප්‍රතිඵල නිවේදනය කෙරෙනවා. 

සේවක අර්ථසාධක අරමුදලෙහි භාරකරු වන ශ්‍රී ලංකා මහ බැංකුවට එම අරමුදල් වලට "අත නොතබා" සිටිය නොහැකියි. ඔවුන්ගේ වගකීම වනුයේ සාමාජිකයින්ට වැඩිම ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම අරමුදල් ආයෝජනය කිරීම සහ එම ආයෝජන කල් පිරෙන විට එලෙසම නැවත නැවත ආයෝජනය කිරීමයි. 

මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන ඇස්තමේන්තු අනුව, ඉහත සඳහන් බදු සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස 2038 දක්වා වන කාලය තුළ සේවක අර්ථ සාධක අරමුදලේ බැඳුම්කර ආයෝජන වල වටිනාකම 21.6%කින් අඩු වෙනවා. ඒ අනුව, සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 7.7% දක්වා අඩු වෙනවා. එහෙත්, "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීම" මගින් ඉහත අලාභය 4.8% දක්වා අඩු කරගත හැකි අතර සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 9.1% මට්ටමෙහි පවත්වා ගත හැකියි.

මහ බැංකුවේ ගණන් බැලීම් අනුව සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීමට නියමිත බව ඉතාම පැහැදිලියි. ඇතැම් බාහිර විශ්ලේෂකයින් විසින් මේ අයුරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී වීම සේවක අර්ථසාධක අරමුදලට අවාසිදායක බව පෙන්වීමට උත්සාහ කර ඇතත් අපගේ අදහස වනුයේ එම ඇස්තමේන්තු දෝෂ සහගත බවයි. එමෙන්ම, මෙම බැඳුම්කර හුවමාරු ක්‍රියාවලිය නිසා අරමුදලේ බැඳුම්කර ආයෝජන වල වටිනාකම 47%කින් අඩු වන බවද එම බාහිර විශ්ලේෂකයින් විසින් පෙන්වා දී තිබෙනවා.

ණය හුවමාරුව සඳහා අර්පණයන් ඉදිරිපත් වී, එම අර්පණයන් සියල්ලම හෝ කොටසක් මහ බැංකුව විසින් භාර ගැනීමෙන් අනතුරුව සැප්තැම්බර් 14 දින බැඳුම්කර හුවමාරුව සිදු වෙනවා. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී වන ආයතන එදින අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වර්ග 12ක හිමිකරුවන් බවට පත් වෙනවා. ඔවුන්ට පසු දින සිටම මෙම බැඳුම්කර වෙනත් අයට විකිණීම සඳහා අර්පණය කළ හැකියි. වෙනත් අයට මෙම අලුත් බැඳුම්කර මිල දී ගැනීම සඳහා අර්පණය කළ හැකියි. ඒ අනුව, දෙපාර්ශ්වයේ එකඟත්වය මත මෙම බැඳුම්කර විකිණීම හා මිල දී ගැනීම මගින් හුවමාරු කරගත හැකියි. 

ඉහත සඳහන් පරිදි අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වල මිල වෙළදපොළ තුළ තීරණය වෙද්දී එම බැඳුම්කර වෙනුවෙන් අනාගතයේදී ලැබෙන මුදල් ප්‍රවාහ වල වත්කම් වටිනාකමද වෙළඳපොළ තුළ නිර්ණය වී දෘශ්‍යමාන වෙනවා. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලට හෝ වෙනත් එවැනි අරමුදලකට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හේතුවෙන් සිදු වූ පාඩුව නිශ්චිත ලෙස ගණන් බැලීමට ඉඩ සැලසෙනවා. ඒ නිසා, එම පාඩුව මහ බැංකුවේ ඇස්තමේන්තුව වන 4.8% වඩා කිට්ටු වේද එසේ නැත්නම් වෙරිටේ රිසර්ච් ඇස්තමේන්තුවට (47%) වඩා කිට්ටු වේද යන්න දැක බලාගැනීම සඳහා බලා සිටිය යුත්තේ වැඩිම වුනොත් තවත් දෙසතියකට නොවැඩි කාලයක් පමණයි. එම පාඩුව දැක ගැනීමෙන් පසුවම ඒ ගැන වැඩිපුර කතා කරමු. 

පාඩුව කොපමණ වුවත්, අපේක්ෂිත පාඩුවක් සිදු වන බව පොදු පිළිගැනීමයි. එමෙන්ම, මෙවැනි පාඩුවක් නොවැලැක්විය හැකි වූ බවද පොදු පිළිගැනීමක්. එහෙත්, මේ පාඩුවේ බර සේවක අර්ථසාධක අරමුදල ඇතුළු "සුදුසුකම් ලත් අරමුදල්" මත පමණක් නොපටවා සියලු බැඳුම්කර හිමියන් අතර බෙදා හැරිය යුතු වූ බව සැලකිය යුතු පිරිසකගේ අදහසක්. 

මෙම අදහස දැරූ ඇතැම් අය සාධාරණත්වය සොයා අධිකරණය වෙත ගියා. එවැනි එක් අයෙක් චතුරංග අබේසිංහ. ඔහු මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ බදු සංශෝධනයෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වන බව සඳහන් කරමින් අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළා (S.C. (SD) No.63/2023). ස්වස්තිකා අරුලිංගම් හා ජයන්ත දෙහිඅත්තගේ විසින් තවත් මෙවැනිම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අතර (S.C. (SD) No.6412023) පෙත්සම් දෙකෙහි කරුණු වල සමානත්වය සලකා බලමින් මෙම පෙත්සම් දෙකම එක වර විභාගයට ගැනුණා. පෙත්සම් දෙකෙහිම වග උත්තරකරු වූයේ නීතිපතිවරයායි. 

ජනාධිපති නීතිඥ බුවනෙක අළුවිහාරේ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වූ ඉහත මූලික අයිතිවාසිකම් නඩුවට මැදිහත්කරුවෙකු ලෙස පෙත්සමක් ඉදිරිපත් කරමින් ලංකා බැංකුවද සම්බන්ධ වුනා. මහ බැංකු අධිපති විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා. මෙහිදී සලකා බලනු ලැබූ මූලික කරුණ වූයේ බැඳුම්කර හිමියන් අතරින් තෝරාගත් පිරිසකට පමණක් වෙනස් ලෙස සැලකීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙහි සඳහන් නීතිය ඉදිරියේ සියල්ලන්ටම සමාන ලෙස සැලකිය යුතුය යන මූලධර්මය කඩ වී ඇත්ද යන්නයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කළේ ඉහත බදු සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය හෝ වෙනත් කිසිදු වගන්තියක් උල්ලංඝනය වී නොමැති බවයි. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගත හැකි බවයි. මෙය මේ වන විට සිදු වී තිබෙනවා.

මෙම නඩුව වැදගත් නඩුවක් සේ සැලකිය හැකියි. එහිදී ඉදිරිපත් වූ හා සලකා බලනු ලැබූ කරුණු අප කෙටියෙන් විමසා බලමු.

තෝරාගත් පිරිසකට පමණක් බද්දක් පැනවීම නීතිය ඉදිරියේ සියල්ලන්ටම සමාන ලෙස සැලකිය යුතුය යන මූලධර්මය උල්ලංඝනය කිරීමක්ද?

අධිකරණයේ මතය අනුව, නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන ලෙස සැලකිය යුතුය යන්නෙන් අදහස් වන්නේ සියලුම නීති වල සියලුම කොටස් වලින් සියලුම පුද්ගලයින් එක ලෙස ආවරණය විය යුතු බව නොවේ. තර්කානුකූල හේතුවක් මත කිසියම් නීතියක් මගින් පුද්ගල වර්ගීකරණයක් කිරීම සඳහා රාජ්‍යය සතු බලය එමගින් ඉවත් නොකරයි.

Article 12(f) of the Sri Lankan Constitution does not insist that every piece of legislation must have universal application and it does not take away from the State the power to classify persons for the purposes of legislation, but the classification must be rational.

මෙහිදී අදාළ නීතිය පරීක්ෂාවන් දෙකක් සමත් කළ යුතුයි. පළමුවැන්න, මෙහිදී සිදු කෙරෙන වර්ගීකරණය පැහැදිලිව හඳුනාගත හැකි වෙන් කිරීමක්ද යන්නයි. දෙවැන්න, එසේ වෙන් කිරීම මගින් කිසියම් නීතියකින් අපේක්ෂා කරන අරමුණ ඉටු වේද යන්නයි. 

කිසියම් පුද්ගලයෙකු මත බද්දක් පැනවීමේදී එසේ කිරීම සඳහා අනෙකුත් සියල්ලන් මතද එවැනිම බද්දක් පැනවිය යුතු නැති බව තීතිය තුළ මැනවින් ස්ථාපනය වී ඇති මූලධර්මයකි. ඒ නිසා, බද්දක් පැනවීමේදී පුද්ගල වර්ගීකරණය මගින් වෙනස් කොට සැලකීම ඒ හේතුව නිසාම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සිදු නොකරයි.

මේ අනුව, අධිකරණය විසින් සලකා බැලිය යුතු වූයේ මෙම නීතියේ උපකාරයෙන් බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් හා අනෙකුත් බැඳුම්කරහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් බැහැර කිරීම සඳහා තර්කානුකූල හේතු තිබේද යන්නයි.

මහ බැංකු අධිපති විසින් අධිකරණය වෙත කර ඇති කරුණු දැක්වීම අනුව විශාල විනාශයක් වලක්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු වන අතර පෙත්සම්කරුවන් විසින් මෙය නොපිළිගනිමින් කරුණු ඉදිරිපත් කර නැහැ. මෙම කරුණු අප විසින් පෙර විස්තර කර ඇති රටේ ආර්ථික අර්බුදය පිළිබඳ සවිස්තරාත්මක කරුණු බැවින් මා මෙම කරුණු නැවත විස්තර කරන්නේ නැහැ.

බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් හා අනෙකුත් බැඳුම්කරහිමියන් මත පැටවෙන බර සුදුසුකම් ලත් අරමුදල් මත පැටවෙන බර හා සසඳමින් ලංකා බැංකුව විසින් පහත කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කාර පාර්ශ්ව වෙතින් මෙම කරුණු වලට ප්‍රතිපක්ෂව කරුණු ඉදිරිපත් කිරීමක් සිදු වී නැහැ. 

බැංකු වලට සිදුව ඇති හා සිදු වන පාඩුව:

-බැංකු විසින් දැනටමත් 50% ඉක්මවන බදු ගෙවයි. මේ අනුව, බැංකු වල ලාබයෙන් එම බැංකු විසින් ලබා ගන්නා ලාබයටද වඩා වැඩි කොටසක් රජය විසින් දැනටමත් ලබා ගනී. 

-මේ හරහා බැංකු විසින් රජයේ රාජ්‍යමූල්‍ය ස්ථායීකරණ වැඩ පිළිවෙළට සහාය වී ඇත.

-මහ බැංකුවේ නියමය මත වසංගත සමයේදී බැංකු විසින් ණයහිමියන්ට ණය ආපසු ගෙවන කාලය කල් දමන්නට ඉඩ දී ඇත. 

-බැංකු වල ආපසු නොලැබෙන ණය අනුපාතය විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඒ නිසා, සුළු වෙනසකින් රටේ මූල්‍ය ස්ථායීත්වය බිඳ වැටිය හැකියි.

-බැංකු පද්ධතිය හොඳින් ක්‍රියාත්මක නොවුනහොත් රටේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමද අපහසු වේ.

-රටේ බැංකු ගිණුම් මිලියන 57.2ක් ඇති අතර එම බැංකු ගිණුම් වල ඇති අරමුදල් සුරක්ෂිතව පවත්වා ගැනීම ඉතා වැදගත්ය.

-බැංකු පද්ධතිය බිඳ වැටුනොත් සිදු වන්නේ ඉතා විශාල විනාශයකි.

-සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසාත්, ඉදිරියේදී ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසාත්, බැංකු වලට විශාල පාඩුවක් සිදු වේ.

ප්‍රාථමික අලෙවිකරුවන් සහ අනෙකුත් සමාගම්:

-මොවුන් දැනටමත් 30%ක ආදායම් බද්දක් ගෙවයි. ඒ හරහා, රජයේ රාජ්‍යමූල්‍ය ස්ථායීකරණ වැඩ පිළිවෙළට සහාය වී ඇත.

-ඔවුන් සතු මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 153ක් පමණක් වන අතර රක්ෂණ සමාගම් සතුව තවත් රුපියල් බිලියන 322ක බැඳුම්කර ඇත. මෙම ප්‍රමාණය රුපියල් බිලියන 8,722ක මුළු බැඳුම්කර ප්‍රමාණයට සාපේක්ෂව සුළු ප්‍රමාණයක් වුවත් එම ප්‍රමාණය ආයතන 380ක් අතර බෙදී ගොස් ඇත. මෙම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ණය සේවා අවශ්‍යතාවයට සිදුවන නොගිණිය හැකි තරමේ බලපෑමට සාපේක්ෂව අදාළ පරිපාලන කටයුතු වෙනුවෙන් විශාල කාලයක් යොදවන්නට සිදුවන නිසා මෙම කණ්ඩායම් ඇතුළත් කර ගැනීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වේ. එම ප්‍රමාදය නිසා සිදු වන අවාසියට සාපේක්ෂ ලැබෙන වාසිය ප්‍රමාණවත් නැත. 

-එමෙන්ම, ආර්ථිකය සංකෝචනය වීම නිසා ඉහත සමාගම් වලටද සැලකිය යුතු පාඩුවක් සිදු වී ඇත.

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාර අරමුදල:

-දැනට ගෙවන්නේ 14%ක බද්දක් පමණයි.

-මෙම අරමුදල් වල ඇති තැන්පතු ක්ෂණිකව ඉවත් කරගැනීමේ අවදානම නීති මගින් වලක්වා ඇති නිසා ද්‍රවශීලතා අවදානමක් නැත.

-මෙම අරමුදල් ස්වෛරිත්ව බැඳුම්කර වල හෝ සංවර්ධන බැඳුම්කර වල ආයෝජනය කර නොමැති බැවින් එම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාඩුවක් සිදු නොවේ. 

මෙම සංසන්දනයන්ට හා තොරතුරු එරෙහිව පෙත්සම්කාර පාර්ශ්ව විසින් කරුණු ඉදිරිපත් කිරීමක් කර නැහැ. ඒ අනුව, "සුදුසුකම් ලත් අරමුදල්" වලට වෙනස් ලෙස සැලකීම සඳහා රජයට තර්කානුකූල හේතු ඇති බවත්, එසේ කිරීමෙන් ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් අධිකරණයේ මතයයි.

From the foregoing reasons that we have adumbrated in the determination, we proceed to hold that neither the Bill nor any of its provisions is inconsistent with Article 12 or any provisions of the Constitution. 

Friday, September 8, 2023

මහ බැංකුව එ. වෘත්තීය සමිති


දින තුනකට පෙර පැවැත්වුණු මහ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාව පිළිබඳව අදහස් පළ කර ලිපියක් ලියන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම් සිදු නොවුනද මේ ගැන කොහොමටත් අදහස් පළ කරන්න අවශ්‍යව තිබුණත්, වෙනත් වැදගත් වෘත්තීය කටයුතු කිහිපයක් වෙනුවෙන් කාලය යෙදවිය යුතු වූ නිසා එය මීට කලින් කරන්නට ඉඩක් ලැබුණේ නැහැ.

ඉහත හමුව සිදු වීමට දින කිහිපයකට පෙර ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදු කරන මහ බැංකු අධිපතිවරුන්ගේ කාර්ය සාධනය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් අනුව වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට A- ශ්‍රේණිය හිමි වී තිබුණා. අප විසින් මෙවැනි ශ්‍රේණිගත කිරීම් වලට ඕනෑවට වඩා බර තබන්නේ නැතත්, පසුගිය කාලය තුළ මහ බැංකු අධිපති ලෙස ඔහුගේ කාර්ය සාධනය මෙවැනි ඇගයීමකට පාත්‍ර වීම සිදු විය යුත්තක්. ඒ පිළිබඳව මීට පෙර ඔහුට සුබ පතන්නට නොහැකි වූයේද අපගේ කාර්ය බහුලත්වය ඊට හරස් වූ නිසයි. 

මීට පෙර අජිත් නිවාඩ් කබ්රාල්ට මෙන්ම ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිටද ඉහත සඟරාවෙන් B හා B+ මට්ටම් වල ශ්‍රේණිගත කිරීම් ලැබී තිබුණු අතර 2021 වසරේදී මහාචාර්ය ඩබ්ලියු ඩී ලක්ෂමන්ගේ කාර්ය සාධනය ඉදිරියේ සටහන් වුනේ C+ මට්ටමයි. මහ බැංකු අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මුහුණ දුන් අභියෝග හා එම අභියෝග හමුවේ කටයුතු කළ ආකාරය අනුව කබ්රාල් හා කුමාරස්වාමි වැනි පෙර අධිපතිවරුන්ද ශ්‍රේණිගත කෙරුණු B+ මට්ටමට වඩා එක් කට්ටයක් ඉහළට අධිපති නන්දලාල් වීරසිංහව ඔසොවා තැබීම විශේෂ දෙයකට වඩා අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක්. ඒ පිළිබඳව මෙන්ම වැඩ භාරගත් දින සිට ඔහුගේ කාර්ය සාධනය පිළිබඳවද ඔහුට ප්‍රමාද වී හෝ සුබ පතමින් මහ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව වෙත අපගේ අවධානය යොමු කරමු. 

මා පෞද්ගලිකව මහ බැංකු ස්වාධීනත්වය ඉතා වැදගත් සේ සලකනවා. මහ බැංකු ස්වාධීනත්වය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ රටේ මුදල් ප්‍රතිපත්තිය රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියෙන් ස්වාධීන වීමයි. එම සීමාවෙන් එහාට මහ බැංකුවට හෝ එහි ඉහළ නිලධාරීන්ට හිතුමතේ කටයුතු කළ හැකි බවක් එයින් අදහස් වන්නේ නැහැ. 

මහ බැංකු ස්වාධීනත්වය ඉහළ යන තරමටම මහ බැංකුවක් රටේ ජනතාවට වගවීමද අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මහ බැංකුවක කටයුතු පරීක්ෂාවට ලක්වන්නේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය හරහායි. එහෙත්, රාජ්‍යයේ එම කොටස් තුනම යම් සීමාවන් තුළ මහ බැංකු ස්වාධීනත්වයට ගරු කරන පසුබිමක රටක මහ බැංකුවද විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තරමටම නොවුනත් රාජ්‍යයේ තවත් කොටසක් බවට පත් වෙනවා. ඒ නිසා, මහ බැංකුවක් විසින් රටේ ජනතාවටද සෘජුව වගවීම යම් තරමකින් හෝ සිදු විය යුතුයි.

කෙසේ වුවද, මහ බැංකුවක් විසින් රටේ ජනතාවට වගවීම යන්නෙන් හැම කොල්ලෙකුගේ හා බල්ලෙකුගේම විවේචන වලට සෘජුව ප්‍රතිචාර දැක්විය යුතු බවක් අදහස් වන්නේ නැහැ. මහ බැංකුවක් රටේ ජනතාවට විවෘත වීම සාමාන්‍යයෙන් සිදු වන්නේ මාධ්‍ය වෙත ප්‍රමාණවත් තරමින් නිරාවරණය වීම හරහායි. වගවීම අතින් ඉහළම මහ බැංකුවක් වුවත් ඒ සීමාව පැන සෘජුව ජනතාව වෙත ප්‍රවේශ වන්නේ නැහැ. 

මෙම සන්දර්භය තුළ මහ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව සුවිශේෂී අවස්ථාවක්. මෙය මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් තමන් වටා ඇඳ ගන්නා සීමා ඉර පැන යාමක්. ඉදිරි ආරක්ෂක වළල්ල ඉවත් කර ප්‍රතිවාදියාට සම්මුඛ වීමක්. මේ හරහා මහ බැංකුව (මහ බැංකු අධිපතිවරයා) අපේක්ෂා කළේ කුමක්ද යන්න හරියටම පැහැදිලි නැහැ. 

පොදු අරමුණක් වෙනුවෙන් එක්ව සිටින කණ්ඩායම් හතළිහක පමණ එකතුවක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා මෙම පිරිස අපි වයි කණ්ඩායම ලෙස හඳුන්වමු. එය අපේ පහසුව වෙනුවෙන් පමණක්ම යොදා ගන්නා නාමකරණයක්. හරියටම නමක් නැති නිසාත්, එක්ස් අකුර ලංකාවේ දේශපාලනය තුළ කලින්ම පේටන්ට් කර ඇති නිසාත් අපි මොවුන්ව මේ නමින් හඳුන්වමු. කණ්ඩායමේ ක්‍රියාකාරකම් වල ස්වභාවය අනුව අවශ්‍යනම් මෙය Y කණ්ඩායම ලෙස නැතිව why කණ්ඩායම ලෙස කියවාගන්න වුනත් පුළුවන්. එසේ නැතුව Y වර්ණදේහය සමඟ සම්බන්ධ කර මේ නම කියවා ගත්තත් ප්‍රශ්නයක් නැහැ.

දැන් මුලින්ම සිදුවන්නේ මෙම වයි කණ්ඩායම විසින් සමාජ ජාලා හරහා මෙන්ම කොටුව දුම්රියපොළ ඉදිරියේදීද තමන්ට පිළිතුරු දෙන මෙන් මහ බැංකු අධිපතිවරයාට අභියෝග කිරීමයි. මෙවැනි විරෝධතාකරුවන් පිරිසක් විසින් මේ ආකාරයේ අභියෝගයක් යමෙකුට කරන්නේ එම අභියෝගය භාරගනු ඇතැයි යන අපේක්ෂාවෙන්ම නෙමෙයි. ඔවුන්ට බොහෝ විට අවශ්‍ය වන්නේ "අපේ ප්‍රශ්න වලට තවම පිළිතුරු ලැබී නැහැ" කියා දිගටම කියන්නට පමණයි. ඉලක්කය වන්නේම අදාළ තැනින් පිළිතුරු නොදීම බැවින් මෙවැනි කණ්ඩායමකට පිළිතුරු දී සතුටු කිරීම ප්‍රායෝගිකව ඉතාම අසීරු වැඩක්. 

මෙම ඉල්ලීම හමුවේ මහ බැංකු අධිපතිවරයා විසින් කරන්නේ බොහෝ විට වයි කණ්ඩායම විසින් අපේක්ෂා නොකළ දෙයක්. ඔහු ඉල්ලූ සාකච්ඡාව වහාම ලබා දෙනවා. මහ බැංකුව පැත්තෙන් එවැන්නක් සිදු වූයේ ඇයිද යන්න සිතිය යුතු දෙයක්. සමාජ ජාලා වල ඇති තොරතුරු අනුව පෙනී යන පරිදි වයි කණ්ඩායම විසින් පිළිතුරු ඉල්ලා ඇති ප්‍රශ්න වලට කිට්ටුවෙන් යන ප්‍රශ්න ටිකක් ජවිපෙ/ජාජබ පක්ෂ වලට සම්බන්ධ පිරිස් විසින්ද ඉදිරිපත් කර ඇතත් වයි කණ්ඩායමට ලැබුණු අවස්ථාව තවමත් ඔවුන්ට ලැබී නොතිබීමද විශේෂත්වයක්. 

මෙහිදී මහ බැංකුව විසින් කළේ සීමාවෙන් එළියට පැන අහක යන පන්දුවකට පහර දීමක්. මහ බැංකුවක් සාමාන්‍යයෙන් ආරක්ෂක ස්ථාවරයක සිටිනු මිස ප්‍රහාරක ස්ථාවරයකට යන්නේ නැහැ. පසුව මොනවා කිවුවත් මේ අනපේක්ෂිත ප්‍රහාරයෙන් වයි කණ්ඩායම අන්දමන්ද වෙනවා. ඔවුන් පසු බසිනවා. එහෙත්, මහ බැංකුව පැත්තෙන් එතැනින් වැඩේ නවතින්නේ නැහැ. සිදු වූ දෙය ගැන නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව විසින් කරන්නේ "ගනු කඩුව එනු සටනට" කියා පසු බැස ගිය සතුරාව සටනට කැඳවීමයි. 

මේ වගේ තත්ත්වයක් යටතේ වයි කණ්ඩායමට අභියෝගය භාර නොගෙන සිටීමේ හැකියාවක් නැහැ. මහ බැංකුව තමන්ව සටනට කැඳවන්නේ තාක්ෂණික ආයුධ වලින් සන්නද්ධව බව ඔවුන් දන්නවා. ඒ නිසා, ඔවුන්ට "පණ බේරා ගැනීම" සඳහා වුවත් හැකි උපරිමයෙන් සූදානම් වෙන්නට සිදු වෙනවා. මගේ අදහස ඔවුන් අවශ්‍ය පමණ සූදානම්ව සිටි බවයි. ආයුධ රැස් කර ගැනීම සඳහා වයි කණ්ඩායමට ප්‍රමාණවත් කාලයක් ලැබුණා.

මීට සාපේක්ෂව මහ බැංකුව පැත්තෙන් අවශ්‍ය තරමේ සූදානමක් සිදුව ඇති බවක් පෙනෙන්නේ නැහැ. මහ බැංකුව තමන් ගැන අධි තක්සේරුවක සිට ඇති අතර ප්‍රතිවාදියාව අවතක්සේරු කර තිබෙනවා. ඒ නිසා, අවසාන වශයෙන් මේ හමුව හරහා මහ බැංකුව විසින් අපේක්ෂා කළ යමක් වී නම් එය ඉටු නොවූ බව මගේ අදහසයි. කෙසේ වුවත්, හමුව අවසන් වන්නේ දෙපාර්ශ්වයටම තමන් ජයගත් බව සිතන්නට ඉඩ සලසමිනුයි. හමුවෙන් පසුව දෙපාර්ශ්වයේම හැසිරීම් වලින් ඒ බව ප්‍රදර්ශනය වෙනවා. 

මහ බැංකුවට සාමාන්‍යයෙන් සම්මුඛ වන්නේ බැංකුකරුවන්, අනෙකුත් මූල්‍ය ආයතන, රජයේ නිලධාරීන් හා දේශපාලනඥයින් යන අයයි. මේ අතරින් මුල් කණ්ඩායම් තුනේම ඉන්නේ එකම භාෂාව කතා කරන පිරිසක්. එමෙන්ම එම කණ්ඩායම් සමඟ සාකච්ඡා සිදුවන්නේ නිශ්චිත ආචාර ධාර්මික රාමුවක් තුළයි. දේශපාලනඥයින් සම්මුඛ වීමේදී මහ බැංකුවට තාක්ෂණික දැනුමේ වාසිය ප්‍රයෝජනයට ගැනීමට ඉඩ ලැබෙනවා. ඒ නිසා, ඒ එකදු කණ්ඩායමකින් හෝ මහ බැංකුවට ලොකු අභියෝගයක් එන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයා මහ බැංකුවට පැමිණි අවස්ථාව එසේ නොවූ සුවිශේෂී අවස්ථාවක්. 

මේ හැරුණු විට මහ බැංකුව ප්‍රශ්න කරන අනෙක් පිරිස වන්නේ මාධ්‍යවේදීන්. එහෙත් ලංකාවේ මාධ්‍යවේදීන් මහ බැංකුවෙන් වයි කණ්ඩායම විසින් ඇසූ ආකාරයේ "බරපතල" ප්‍රශ්න අහන්නේ නැහැ. ඇහුවත් අහන්නේ නිශ්චිත ආචාර ධාර්මික රාමුවක් තුළ සිටයි. මේ අනුව, මහ බැංකුවේ පැත්තෙන් බැලූ විට වයි කණ්ඩායමේ හැසිරීම බරපතල කම්පනයක්.

එහෙත් මෙවැනි පිරිසක් සටනට කැඳවීමට පෙර මහ බැංකුව විසින් මේ තත්ත්වය අපේක්ෂා කළ යුතුව තිබුණා. වයි කණ්ඩායමේ පැත්තෙන් බැලූ විට ඔවුන්ට සාපේක්ෂව ඔවුන් ආචාර ධාර්මික සීමාවන් බිඳින්නේ නැහැ. වෘත්තීය සමිති හා හාම්පුතුන් අතර සිදුවන සාකච්ඡාවක් මෙවැනි ස්වරූපයක් ගැනීම අමුතු දෙයක් නෙමෙයි. තමන්ගේ නියෝජිතයින් කේක් කෑල්ලක් කා, කිරි තේකක් බී, පූස් පැටවුන් මෙන් හාම්පුතුන් කියන දේ අහගෙන ආපසු ආවොත් ඔවුන්ව තවදුරටත් තමන්ගේ නියෝජිතයින් සේ තියා ගන්නට කිසිවකු කැමති වෙන්නේ නැහැ. 

මේ සාකච්ඡාව තනිකරම බොරු සාකච්ඡාවක් බවත්, එයින් මෙලෝ වැඩක් සිදු නොවන බවත් දෙපාර්ශ්වයම පැහැදිලිව දන්නවා. සාකච්ඡාව පැවැත්වෙන විටද බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය අධිකරණ අනුමැතිය ලැබී අවසන්ව තිබුණු අතර පාර්ලිමේන්තුවේ පැවති බල තුලනය අනුව එහිදී සිදු වන දෙය පිළිබඳව සැක කරන්නට කිසිදු හේතුවක් තිබුණේ නැහැ. මේ අනුව, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇති අතර එහි ප්‍රතිඵල ඉදිරි සතිය තුළ දැනගන්නට ලැබීමට නියමිතයි. මහ බැංකුව හා වයි කණ්ඩායම අතර සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක් වුවත් ඉහත තත්ත්වය වෙනස් වීමේ කිසිදු ඉඩක් තිබුණේ නැහැ. 

වයි කණ්ඩායමට අවශ්‍යව තිබුණේ අවධානයයි. එය දේශපාලන ක්‍රියාකාරිකයින්ට බොහෝ සේ වටිනවා. මහ බැංකුව මැදිහත් වී කළේ එම අවශ්‍ය අවධානය වයි කණ්ඩායමට ලබා දීමයි. අනිවාර්ය ප්‍රතිඵලය වයි කණ්ඩායමට ඔවුන් සොයන අවධානය ලැබීම බව දැන දැනම මහ බැංකුව විසින් මෙවැනි හමුවක් කරා ඔවුන්ව තල්ලු කරනු ලැබුවේ එක්කෝ ඔවුන්ව පරාජය කර නැති කර දැමීමේ අපේක්ෂාවෙන් විය යුතුයි. එසේ නැත්නම් වෙනත් සැඟවුණු අරමුණකින් විය යුතුයි. අරමුණ පළමුවැන්න වීනම් මහ බැංකුවේ සූදානම මීට වඩා ඉහළ මට්ටමක තිබිය යුතුයි. එහෙත්, මහ බැංකුවට වයි කණ්ඩායම තලා පෙළා දැමීමේ උවමනාවක් තිබුණු බවක් පැහැදිලිව පෙනෙන්න තිබුණේ නැහැ. යම් හෙයකින් එවැනි උවමනාවක් වීනම් ඒ වෙනුවට ඇත්තටම සිදු වුනේ මහ බැංකුව විසින් ඉල්ලන් කෑමක් පමණයි. 

මෙම හමුවේදී කුමක් සිදු වුවද වයි කණ්ඩායමේ පැත්තෙන් එය ඔවුන්ගේ ජයග්‍රහණයක්. ඒ නිසා, අදාළ රැස්වීම සඳහා ඔවුන් යන විටම ඔවුන් ජයග්‍රාහකයින් වී අවසානයි. ඔවුන් දෙස බලාගෙන සිටින, ඔවුන්ට වැදගත් පිරිසට තාක්ෂණික පැහැදිලි කිරීම් තේරෙන්නේ නැහැ. ඔවුන් බලා සිටින්නේ තමන්ගේ නියෝජිතයින් බය නැතුව මහ බැංකුවෙන් ගේම ඉල්ලුවාද කියන එක පමණයි. දැන් මේ කණ්ඩායම අදාළ සාකච්ඡාවේ තමන්ට අවශ්‍ය කොටස් පෙන්වමින් සිටින්නේ මෙම ඉලක්ක කණ්ඩායමටයි. වයි කණ්ඩායම මහ බැංකුවට යන්නේ තමන්ගේ ප්‍රශ්න වලට මහ බැංකුවට පිළිතුරු නැති බව ඔවුන්ගේ ඉලක්ක කණ්ඩායමට පෙන්වීමේ අරමුණින් මිසක් එම ප්‍රශ්න වලට ඇත්තටම මහ බැංකුවෙන් උත්තර ලබා ගැනීමේ අරමුණෙන් නෙමෙයි.

අනෙක් පැත්තෙන් මහ බැංකුව මේ පිරිසට ආරාධනා කරන්නේ ඔවුන් තමන් කියන දේ අහගෙන පූස් පැටවු මෙන් කරබාගෙන ආපසු යයි කියා හිතාගෙන වෙන්න බැහැ. මහ බැංකු අධිපතිවරයා ඒ තරම්ම නොදරුවෙක් වෙන්න විදිහක් නැහැ. මහ බැංකුව වයි කණ්ඩායමට මහ බැංකුවට ආරාධනා කරන්නේ තමන් බය නැතුව ඔවුන්ට සම්මුඛ වූ බව පෙන්වන්න. හැබැයි එහෙම පෙන්නන්න යන්නේ වයි කණ්ඩායමේ ඉලක්ක පිරිසට නෙමෙයි. වෙනම පිරිසකට. ප්‍රශ්නය තියෙන්නේ මහ බැංකුවට ඒ වැඩේවත් හරියට කරගන්න පුළුවන් වුනාද කියන එකයි. මහ බැංකුව විසින් අදාළ රැස්වීමේ තමන්ට අවශ්‍ය කොටස් නැවත ප්‍රචාරය කරන විදිහෙන් පෙනෙන්නේ මහ බැංකුව විසින් මේ රැස්වීම තමන්ගේ ජයග්‍රහණයක් සේ සලකන බවයි. මහ බැංකුව විසින් වැඩේ වරද්දාගත් බව මහ බැංකුව තවමත් හරියටම තේරුම් අරගෙන නැහැ. 

මහ බැංකුව කළේ වවුලාගේ මගුල් ගෙදර යාම කෙසේ වුවත් වවුලාට තමන්ගේ මගුල් ගෙදරට ආරාධනා කරන එකයි. වවුල්ලු මගුල් ගෙදර ඇවිත් වහලේ එල්ලී සිටිනවා මිසක් මේසෙට වාඩි වෙන්නේ නැහැ. ඒක කලින් තේරුම් ගන්න බැරි වුන එක මහ බැංකුවේ ප්‍රශ්නයක් මිසක් වයි කණ්ඩායමේ ප්‍රශ්නයක් නෙමෙයි. වයි කණ්ඩායම මහ බැංකුවේ සම්මත අනුව පිළිවෙලකට හැසිරෙන්නේ නැහැ. නමුත්, සභාව හරියට පාලනය කර ගත නොහැකි වීමත් මහ බැංකුවේම අඩුපාඩුවක්. 

කණ්ඩායම විශාල වීම නිදහසට කාරණයක් නෙමෙයි. මහ බැංකුව පැත්තෙත් ඒ තරමේම කණ්ඩායමක් ඉන්නවා. නමුත්, ඒ අය අතරින් කටක් අරින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරිය පමණයි. එය ආයතනික ධුරාවරියක් ඇතුළේ ඉන්න පිරිසක් හා කණ්ඩායමක් අතර සාකච්ඡාවකදී ඇති විය හැකි තත්ත්වයක්. වයි කණ්ඩායමේ හැමෝම සමානයි. ස්වාධීනයි. මහ බැංකු කණ්ඩායම එහෙම එකක් නෙමෙයි. 

වයි කණ්ඩායමේ පිරිස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ද කියා ඇසීමෙන් මහ බැංකු අධිපති වැඩේ පටන් ගනිද්දීම අවුලක් හදාගන්නවා. හැබැයි දෙපාර්ශ්වය අතර මුලින්ම ආතතියක් ඇති වෙන්නේ මුලින්ම තමන්ව හඳුන්වා දුන් නීතිඥවරියගේ ප්‍රකාශයක් නිසා. ඇය තමන්ගේ පාර්ශ්වයට වාසිදායක බොරුවක් කියලා මහ බැංකු අධිපති එම බොරුව පෙන්වා දෙන්න යද්දී ස්ථාවර දෙකක වෙනසක් ලෙස හඳුන්වමින් එම බොරුව යට ගහන්න හදනවා. මෙය වාමාංශික කණ්ඩායම් වල සාමාන්‍ය උපක්‍රමයක්.

"හරකෙකුට කකුල් හතරක් තියෙනවා" කියන එකත් "හරකෙකුට තියෙන්නේ කකුල් තුනයි" කියන එකත් එකම සංසිද්ධිය දැකිය හැකි වෙනස් ආකාර දෙකක් නෙමෙයි. කකුලක් කැඩුණු හරකෙක්ව පෙන්නන්න පුළුවන් වුනා කියලා දෙවැනි ප්‍රවාදය පළමු ප්‍රවාදය තරමටම නිවැරදි එකක් වෙන්නේ නැහැ. නමුත්, වාමාංශික අදහස් දරන ඇතැම් අය වෙළඳපොළ වැනි දේ ගැන කතා කරද්දී පෙන්වන්න හදන්නේ කකුල් තුනේ හරක් කියන එකත් කකුල් හතරේ හරක් වගේම එක සමාන විය හැකියාවක් කියලා. සමහර වෙලාවට ඔය කතාව දාර්ශනික විදිහට කියනවා. "පරිණාමයේදී හරක් කකුල් හතරක් නැතිව කකුල් තුනක් තියෙන සත්තු විදිහට පරිණාමය විය හැකිව තිබුණා" වගේ කතා. 

මෙතැනදීත් වෙන්නේ ඔය වගේ දෙයක්. මහ බැංකුවට කතා කරලා පස් දෙනෙක්ට එන්න ඉල්ලලා තියෙනවා. මහ බැංකුව ඊට අවස්ථාව දුන් පසු එය ප්‍රතික්ෂේප කර තියෙනවා. මහ බැංකුවට එන දුරකථන ඇමතුම් සියල්ල පටිගත වෙනවා. මහ බැංකු අධිපති කතා කළේ සාක්කි අතේ තියාගෙන. පසුව වයි කණ්ඩායමේ අදාළ දුරකථන ඇමතුම දුන් පුද්ගලයා මහ බැංකු අධිපති නිවැරදි බව තහවුරු කළා. 

කොහොම වුනත්, ඉන් පසුව වැඩේ ඇනුවේ මහ බැංකු අධිපතිවරයා. සාකච්ඡාව අර්ථසාධක අරමුදල ගැන නිසා එයට සහභාගී විය යුත්තේ අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන පිරිසක්. එවැන්නෙක් එක්කෝ අරමුදලේ සාමාජිකයෙක් විය යුතුයි. එහෙම නැත්නම් අරමුදලේ සාමාජිකයින්ගේ නියෝජිතයෙක් විය යුතුයි. ඔය දෙකම වෙන්න අවශ්‍ය නැහැ. මහ බැංකු අධිපති විසින් ඇසිය යුතුව තිබුණු නිවැරදි ප්‍රශ්නය "ඔබ මෙහි ඇවිත් තියෙන්නේ අරමුදලේ සාමාජිකයෙක් ලෙසද නැත්නම් ඔවුන්ගේ නියෝජිතයෙක් ලෙසද?" කියන එකයි. ඇවිත් තියෙන්නේ නියෝජිතයෙක් විදිහටනම් සාමාජිකයෙක්ද නැද්ද කියන එක අදාළ නැහැ. අනෙක් අතට මේක ප්‍රශ්නයක්නම් ඒ ගැන පරීක්ෂා කළ යුතුව තිබුණේ රැස්වීමට කලින් නම් ලැයිස්තුව අරගෙන ආරාධනා කරන්න කලින්. ආරාධනා කරලා රැස්වීමට ආවට පස්සේ ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ආචාර ධාර්මිකව වුනත් නිවැරදි නැහැ. 

ඇත්තටම හඳුන්වා දීමේදී ඔය වගේ දෙයක් අහපු එකේ වුනත් විශාල වැරැද්දක් නැහැ. වැරැද්ද මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේදී යම් ආතතියක් ඇති වීමෙන් පසුවද දිගින් දිගටම ඔය පස්සේ පන්නපු එක. 

ඊට පස්සේ වුනත් මහ බැංකු අධිපතිවරයා විසින් තමන් විසින්ම යෝජනා කළ නීති කඩනවා. වයි කණ්ඩායමට මුලින්ම දෙන්න පොරොන්දු වූ මිනිත්තු පහළොව ගන්න ඔවුන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ කාලය අරගෙන ඔවුන් කතා කරන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් බව ඇත්ත. නමුත් ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. කියන මගුලක් කියන්න දීලා ඉවසිල්ලෙන් බලා ඉඳලා තමන්ගේ මිනිත්තු පහළොව ගත්තානම් අවුලක් වෙන්නේ නැහැ. ඊටත් වඩා සාර්ථක මහ බැංකුව විසින් කලින්ම කෙටි ප්‍රසන්ටේෂන් එකක් කරලා ඊට පස්සේ ප්‍රශ්න අහන්න ඉඩ දුන්නානම්. රැස්වීම මාළු කඩයක් කළේ වයි කණ්ඩායම වුනත් එය එහෙම වීමට මහ බැංකු අධිපතිවරයාගේ හැසිරීමත් හේතු වුනා. 

මහ බැංකු අධිපතිවරයා විසින් වයි කණ්ඩායම විසින් ඇසූ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දුන්නා. වයි කණ්ඩායම රැස්වීම එක ගාලගෝට්ටියක් කරන අවු අස්සේ "මතු ප්‍රයෝජනය" ගැන හිතලා තමන්ට කියන්න අවශ්‍ය දේවල් ටික මහ බැංකු අධිපතිවරයා විසින් කොහෙන් හෝ ඔබා ගත්තත් ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ අහුකොන් ඉතුරු කරලා. පහසුවෙන් පිළිතුරු දිය හැකිව තිබුණු ප්‍රශ්න ඒ විදිහට මග හැරියේ ඇයි කියන එක පැහැදිලි නැහැ. 

වයි කණ්ඩායම විසින් දිගින් දිගටම අහපු ප්‍රධානම ප්‍රශ්නයක් වුනේ සේවක අර්ථසාධක අරමුදලට සිදුවෙන පාඩුව හරියටම කීයද කියන එක. වයි කණ්ඩායමට අවශ්‍ය වුනේ කුමක් හෝ පිළිතුරක්. ඒ පිළිතුර කීය වුනත් පිළිතුර ලැබෙන විටම වයි කණ්ඩායම දිනලා. ඊට පස්සේ ඔවුන්ගේ සටන් පාඨය වෙන්නේ "මහ බැංකු අධිපති කියන විදිහටම EPF එකේ පාඩුව ___ක්" කියන එක. මම හිතන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් පිළිතුරක් නොදී දිගින් දිගටම මග හැරියේ මේ හේතුව නිසා.

රැස්වීම දෙන කොටම ඔය ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් වන බව මහ බැංකු අධිපතිවරයා දැනගන්න ඕනෑ. සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් වෙන බව මේ වෙද්දී කවුරුත් දන්නා දෙයක්. හරියටම නොදන්නේ ගාණ කීයද කියන එකයි. මේ සම්බන්ධව මහ බැංකුවේ ඇස්තමේන්තුවක් තිබෙනවා. නමුත්, මහ බැංකු අධිපතිවරයා කෙලින් කට ඇරලා ඒ ගණන කිවුවේ නැහැ. ඊට පස්සේ හර්ෂ ද සිල්වා ඔය ප්‍රශ්නයම අහද්දීනම් පිළිතුරු දී තිබෙනවා. 

සේවක අර්ථසාධක අරමුදලට වෙන පාඩුව වයි කණ්ඩායමේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. ඔවුන් විසින් නියෝජනය කරන හා නොකරන විශාල පිරිසකගේ ප්‍රශ්නයක්. ඒ පිරිස අතර ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් දෙක වන සජබ හා ජාජබ පිරිස් වගේම පක්ෂයකට ලොකු බැඳීමක් නැති අයත් ඉන්නවා. මහ බැංකු අධිපතිට ඒ සියල්ලන් වෙනුවෙන් කෙළින් පිළිතුරක් දිය හැකිව තිබුණා. 

දැන්නම් මේ පිළිතුර ඒ තරම් වැදගත් නැහැ. තව වැඩිම වුනොත් සති දෙකක් යද්දී ප්‍රශ්නයට පිළිතුර වෙළඳපොළ විසින්ම ලබා දෙයි. එම ඇස්තමේන්තුව කිසිසේත්ම වෙරිටේ රිසර්ච් එකේ 37% හෝ 47% තරමේ එකක් විය නොහැකි වුවත් මහ බැංකුවේ 4.8% ඉක්මවන එකක් වෙන්න බැරිකමක් නැහැ. ඒ එක්කම දදේනියෙන් 0.5% ප්‍රශ්නයටත් පිළිතුරු ලැබෙනවා. මම හිතන්නේ ඒ ප්‍රශ්නයනම් අඩු වශයෙන් මහ බැංකු අධිපතිවරයා විසින් තේරුම් ගත්තේවත් නැහැ. ප්‍රශ්නය හෝ තේරුම් ගන්නනම් මහ බැංකුව විසින් වයි කණ්ඩායමේ ෆේස්බුක් පෝස්ට් කලින් බලලා කියන දේ ගැන තේරුම් ගත යුතුව තිබුණා. වයි කණ්ඩායමට අවශ්‍ය වුනේ තමන්ට අවශ්‍ය පිළිතුර ලබා ගන්න මිසක් ප්‍රශ්නය පැහැදිලි කරන්න නොවූ නිසා ඔවුන් ඒ සඳහා මහන්සි වුනේ නැහැ. ඒකත් මහ බැංකුවේ ප්‍රශ්නයක් මිසක් ඔවුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. එන්නේ මොකාටද කියන එක මහ බැංකුව විසින් තේරුම් ගත යුතුව තිබුණා. 

මිස් ඉන්වොයිසින් කතාවටනම් මහ බැංකු අධිපතිවරයා සෘජුව හා නිරවුල්ව පිළිතුරු දුන්නා. ඒ සඳහා ඔහු කලින් සූදානම් වෙලයි සිටියේ. නමුත් මේ ප්‍රශ්නය වයි කණ්ඩායමේ එක් සාමාජිකයෙකුගේ ප්‍රශ්නයක් මිසක් කණ්ඩායමේ පොදු ප්‍රශ්නයක් බව පෙනෙන්න තිබුණේ නැහැ. හැබැයි ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙද්දී වුනත් පහසුවෙන් පිළිතුරු දිය හැකි වූ පොඩි කොණක් ඉතිරි කරගත්තා. 

රටක මහ බැංකු අධිපතිවරයෙක් කිසිසේත්ම මේ විදිහට මේ වගේ කණ්ඩායමක් හමු විය යුතු නැහැ. නමුත් ඒ මහ බැංකු අධිපතිවරයා රටේ මුදල් ප්‍රතිපත්ති තීරකයා පමණක් ලෙස සැලකුවොත්. ලංකාවේ මහ බැංකු අධිපතිවරයා ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදලේද භාරකරුවෙක්. සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුවෙකුට මේ වගේ අවස්ථාවක එහි සාමාජිකයින්ගෙන් එන මේ වගේ ඉල්ලීමක් අහක දමන්න බැහැ. ඔය ඔලු දෙකේ ප්‍රශ්නය නිසාම, මහ බැංකු අධිපතිවරයාට මේ කණ්ඩායම මග හරින්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු මහ බැංකුවට සම්බන්ධ නැති වෙනම පුද්ගලයෙක්නම් මේ වගේ වෙලාවක කරන්න වෙන දෙය ඉතාම පැහැදිලියි. 30% බද්ද ගෙවන එක සාමාජිකයින්ට පාඩුයි. ණය ප්‍රතිව්‍යුහගත කරන එක ඊට වඩා ලාබයි. ඒ අනුව, මහ බැංකු අධිපතිගේ පිළිතුර නිවැරදියි සහ පැහැදිලියි. නමුත් මෙහි තියෙන අවුල සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුට තවත් ඔලුවක් තිබීම. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම හදන්න ඒ අනෙක් ඔලුව සම්බන්ධ වෙනවා. වයි කණ්ඩායමේ වගේම තවත් අයගේ ප්‍රශ්නය තිබෙන්නේ මෙතැන. මම හිතන්නේ වයි කණ්ඩායමෙන් පිටත වෙනත් කණ්ඩායම් මේ ප්‍රශ්නය වඩා නිරවුල්ව අහනවා. එහෙත් මේ ප්‍රශ්නයට මහ බැංකුව විසින් නිසි පිළිතුරක් දී නැහැ. සමහර විට අධිකරණයට කළ කරුණු ඉදිරිපත් කිරීම් වල අවශ්‍ය පිළිතුර තිබෙනවා වෙන්න පුළුවන්. 

නොගෙවූ බදු වගේ අනෙකුත් දේවල්නම් කිසිසේත්ම මහ බැංකුවට අදාළ නැති දේවල්. වයි කණ්ඩායමට මේ අවස්ථාව ලබා දීම හරහා මහ බැංකු අධිපති විසින් උත්සාහ කළේ මහ බැංකුවට අදාළ නොවන වෙනත් දේවල් එම කණ්ඩායමේ උදවුවෙන් උලුප්පවන එකද?

මහ බැංකු අධිපතිට තව වසර පහක පමණ කාලයක් තියෙනවා. නමුත්, ඊට කලින්, ඉතා ඉක්මණින් ප්‍රධාන මැතිවරණ එනවා. වයි කණ්ඩායම ඇතුළේ පෙසප නියෝජනය වුනත් වයි කණ්ඩායම පෙසප නෙමෙයි. ඒ වගේම පෙසප මැතිවරණයකදී ආණ්ඩු බලය ගන්නෙත් නැහැ. ආණ්ඩු බලය හා හැක්කේ පොහොට්ටු-එජාප, සජබ හෝ ජවිපෙ/ජාජබ යන කඳුවුරු තුනෙන් එකකට. යම් හෙයකින් ආණ්ඩුව මාරු වුනොත්, දැන් ආණ්ඩුවේ හා විපක්ෂයේ භූමිකාත් මාරු වෙනවා. පත්වන කවර හෝ ආණ්ඩුවකට ආර්ථිකය ස්ථායීව පවත්වා ගැනීමේ බරට කර ගහන්න වෙනවා. එවිට මහ බැංකුවට හිටගන්න වෙන්නේ කවුරු හෝ බලයේ ඉන්න ආණ්ඩුවේ පැත්තේ. ආණ්ඩුව වෙනස් වී වෙනත් කණ්ඩායමක් බලයට ආවොත් දැන් විපක්ෂයේ ඉඳිමින් ආණ්ඩුවට කරන්න කියන දේවල් කිරීමේ බර වැටෙන්නේ එම කණ්ඩායම මත. ඒ වෙනුවෙන් දිගටම පීඩනයක් එල්ල කිරීමේ හැකියාවක් තියෙන්නේ වයි කණ්ඩායම වගේ කණ්ඩායම් වලට. 

මහ බැංකු අධිපති විසින් ගොඩක් දුර බලා ගේමක් ගැහුවාද? එහෙම නැත්නම් දුර නොබලා ගේමක් ගසා ඇන ගත්තාද? පසුගිය කාලයේ ඔහුගේ කාර්ය සාධනය අනුව, A- එකක් නොව A එකක්ම ලබන්නට වුවත් ඔහු සුදුසුයි. එහෙත්, මහ බැංකු අධිපතිට එසේ හොඳින් ක්‍රීඩා කළ හැක්කේ තමන්ගේ පිට්ටනිය තුළයි. පිට්ටනියේ සීමාවෙන් ඔබ්බේදී තමන්ට විශේෂ වාසියක් නැති බව ඔහු අමතක නොකළ යුතුයි.

වෙබ් ලිපිනය: