වෙබ් ලිපිනය:

Wednesday, April 10, 2024

ඩොලරය බැහැලා ඉවරද?


මහ බැංකුව විසින් මාර්තු මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 715.1ක් මිල දී ගෙන තිබෙනවා. මෙය ඉතිහාසයේදී මහ බැංකුව විසින් මාසයක් තුළ මිල දී ගත් වැඩිම ඩොලර් ප්‍රමාණය විය යුතුයි. 

පසුගිය (2023) වසර අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 4,392ක විදේශ සංචිත තිබුණත් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 6,081ක විදේශ ණය ගෙවිය යුතුව තිබුණා, මේ අතර වෙනස ඩොලර් මිලියන 1,688ක්.

මෙම වසර තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,200ක් මිල දී ගෙන තිබෙනවා.

ජනවාරි - ඩොලර් මිලියන 245.3

පෙබරවාරි - ඩොලර් මිලියන 239.5

මාර්තු - ඩොලර් මිලියන 715.1

එකතුව - ඩොලර් මිලියන 1199.9

මේ අනුව, මාර්තු අවසාන වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,592 දක්වා වැඩි විය යුතු වුවත් ඇත්තටම වැඩි වී තිබෙන්නේ ඩොලර් මිලියන 4,951 දක්වා පමණයි. ඒ අනුව, මෙම ගණන් දෙක අතර වෙනස වන ඩොලර් මිලියන 641 හෝ ඊට ආසන්න මුදලක් මහ බැංකුවේ ණය ගෙවීම සඳහා යොදවා ඇති බව පැහැදිලියි.

ඉහත ප්‍රමාණයට සමාන ණය මුදලක් මහ බැංකුව විසින් ආපසු ගෙව්වේනම් මේ වන විට මහ බැංකුවේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,440 දක්වාත් ශුද්ධ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 488 දක්වාත් අඩු වී තිබිය යුතුයි. IMF තෙවන වාරිකයද ලැබෙන නිසා, එම අඩුවද මේ (2024 අප්‍රේල්) මාසය තුළ ආවරණය වනු ඇතැයි සිතිය හැකියි.

රජය විසින් මෙම වසර අවසන් වන තුරු වාහන ආනයනයට ඉඩ දෙන බවක් පෙනෙන්නට නැහැ. මෙය දේශපාලනික තීරණයක්. දේශපාලන තීරණ බොහෝ විට හසුරුවනු ලබන්නේ ජනමතය විසිනුයි.

ආර්ථික අර්බුදය අවස්ථාවේ උද්ධමනය 70% මට්ටමට ගියත් ඉන් පසුව 5% සීමාවෙන්ද පහළට වැටුණා. මේ හේතුවෙන් ජනමතයේ යම් වෙනසක් සිදුවුවත්, විශාල වෙනසක් සිදු වූයේ නැහැ. බොහෝ දෙනෙකුගේ චෝදනාව හා කණස්සල්ලට හේතුව වූයේ උද්ධමනය අඩු වුවද ඉහළ ගිය බඩු මිල අඩු නොවීමයි. 

උද්ධමනය ඉහළ යද්දී යම් පිරිසකගේ, විශේෂයෙන්ම භාණ්ඩ හෝ සේවාවන් නිපදවන අයගේ, ආදායම්ද ඉහළ යනවා. උද්ධමනය අඩු වූ විට එම ආදායම්ද එසේ ඉහළ ගිය මට්ටමෙන් පහළට වැටෙන්නේ නැහැ. එහෙත්, බඩු මිල අඩු වුවහොත්, විශේෂයෙන්ම රටේ නිපදවන බඩු වල මිල අඩු වුනොත්, භාණ්ඩ හෝ සේවාවන් නිපදවන අයගේ ආදායම්ද පහත වැටෙනවා. 

උද්ධමනය අඩු වුවද ඉහළ ගිය බඩු මිල අඩු වී නැති බව චෝදනාවක් සේ ඉදිරිපත් කරන්නේ මාසික වැටුප් ලබා ගන්නා අයයි. ඔවුන්ගේ වැටුප් උද්ධමනයට අනුරූපව ඉහළ ගියේ නැහැ. ඊට අමතරව ඒ අතරින් වැඩි වැටුප් ලබන අයට බදු ලෙසද වැඩි මුදලක් ගෙවන්නට සිදු වී තිබෙනවා. මෙම පිරිස රටේ ජනමතය හසුරුවන, දේශපාලන බලයක් ඇති පිරිසක්. ඒ නිසා, දේශපාලනය හරහා ප්‍රායෝගිකව ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු වෙනවා. 

ඩොලරයක මිල පහත වැටෙන්නට සැලැස්වීමෙන් ආනයනික බඩු මිල පහත දැමිය හැකියි. වාහන ආනයනය කල් දැමීමෙන් ඩොලරයක මිල දිගින් දිගටම පහත වැටෙන්නට ඉඩ සැලැස්විය හැකියි. මහ බැංකුව විසින් ඩොලර් මිලියන 715.1ක අති විශාල විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමෙන් පසුවද මාර්තු මාසය තුළ ඩොලරයක මිල රුපියල් 9කින් පමණ පහත වැටී තිබෙනවා. 

විශාල ලෙස ඉහළ ගොස් ඇති සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ ඉදිරි මාස වලදීද ඒ ආකාරයෙන්ම ගලා නොඒමට හේතුවක් නැහැ. ඒ නිසා, වාහන ආනයනයට ඉඩ දෙන තුරු ඩොලරයේ ගමන පල්ලමටම තමයි. මෙය ආණ්ඩුවට දේශපාලනික ලෙසද වාසිදායක නිසා මැතිවරණ පැවැත්වෙන තුරු ඔය ප්‍රවණතාව වෙනස් නොවෙන්න පුළුවන්.

3 comments:

  1. //ඒ නිසා, වාහන ආනයනයට ඉඩ දෙන තුරු ඩොලරයේ ගමන පල්ලමටමට තමයි. මෙය ආණ්ඩුවට දේශපාලනික ලෙසද වාසිදායක නිසා මැතිවරණ පැවැත්වෙන තුරු ඔය ප්‍රවණතාව වෙනස් නොවෙන්න පුළුවන්.//එකඟයි . මැතිවරණයෙන් පස්සේ වෙනස් වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අජිත් මොකද ලංකාවේ මෙවර මැතිවරණ ගැන හිතන්නේ? මැතිවරණ තියේවි ද කියලත් සමහරුන්ට ගැටලුවක් රනිල් වික්‍රමසිංහ ගැන ගොඩක්ම අය හිතන්නේ සටකපට ගේම් කාරයෙක් කියලා, නමුත් ඇත්තටම ඔහු මේ වසරේ එතරම්ම නරක වැඩ කරයි කියල නම් මට හිතෙන්නේ නෑ, ඒත් අජිත් අපට ලංකාවේ තත්ත්වය ගැන පේන විදියට දූෂිත අශ්ලීල රාජපක්ෂ චෞර පවුල මේ මොහොතේ ටිකක් පසු බැහැලා තමන්ට වාසි අවස්ථාව එනතෙක් කල් මරන බව පැහැදිලියි. රනිල් 2010 ෆොන්සේකා කියන පින් ගොනා කඩේ යවලා ෂේප් වුණ ආකාරය සහ 2015 සිරිසේන කියන දාර පඹයා දාගෙන රට පාලනය කරපු ආකාරයෙන් ඔවුන් පාඩම් ඉගෙන ගෙන ඇති. නාමලා පක්ෂය සාමාන්‍ය මට්ටමකට තව ටික කාලයක් අල්ලගෙන ඉඳලා මෙවර නැතුව ඊටපසු එන මැතිවරණයකදී අවස්ථාව ආවම ලොකු කැම්පේන් එකක් දියත් කරන්න හිතාගෙන ඇති වසර කීපයකට පසුව එන ඉදිරි මැතිවරණයකදී

      මෙවර 2024 දී ඔවුන් එජාපය සහ තවත් කුඩා පක්ෂ සමග සාමූහිකව සංධානගතවී රනිලා හෝ පොහොට්ටුවට වෙන අලුත්ම මුහුණක් ලෙස ධම්මික පෙරේරා වගේ කෙනෙක් දාල උත්සාහ කරල බලාවි, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා තියරි එක. ආවොත් බලය ගියොත් මිනිහෙක්.

      දැනට විපක්ෂ නායක හැටියට ඉන්න සජිත් ප්‍රේමදාස කියල කියන්නේ බහුතර ජනතාවට බොහොම අප්‍රිය වුණ විකට චරිතයක්, ඔහුට වඩා ඔය පොහොට්ටු පක්ෂයේ ඉන්න නාකි හැත්තට උනත් මිනිස්සුන්ට යම් තරමකට ප්‍රසන්න බවක් තියෙනවා, සජිත්ට ඕන නම් සජබයි හාඩ් කෝ වහලුන්ගේ ඡන්ද 2020 ටත් වඩා අඩු ප්‍රමාණයක් ලැබේවි, ඕන නම් උපරිම ලක්ෂ විස්සක් විතර. බොහොම දුරට විපක්ෂ නායක කමත් මේ සැරේ නැති වේවි. සජබට ලැබුණ පාවෙන ඡන්ද මාලිමාවට යන බව පේනවා

      මාලිමාව යටතේ NPP එක විශාල ලෙස කැම්පේන් කරාට මම හිතන්නේ ඒ අය ඳඟලන තරමින් 25%ක වත් ප්‍රතිඵලයක් නොලැබෙන බව, ඔවුන්ගේ මහන්සියට කිසිසේත්ම සරිලන ආකාරයක ප්‍රතිලාභයක් නොලැබෙන නිසා මාලිමාවට සම්බන්ධව සෑහෙන මහන්සි වෙලා වැඩ කරන අයට ඉක්මනට Frustration දැඩි අපේක්ෂා භංගත්වයට පත්වීම ඉක්මනින්ම දැකගන්න ලැබේවි අවාසනාවකට. යම් තරමකට 2019 සහ 20 හැටනව ලක්ෂයේ පාවෙන ඡන්ද වලින් යම් තරමක ඡන්ද ලබාගැනීමට පුළුවන් වේවි. නමුත් අංක එකට එන්න අමාරුයි. අංක තුන වගේ වෙන්න පුළුවන් කොච්චර දැඟලූවත්.

      අනුර කියන්නෙත් පවතින දේශපාලන සංස්කෘතියේම තවත් එක ත්‍රාඩ දේශපාලනඥයකු විතරයි. අනික් එවුනුත් එහෙමම නිසා මොකා තෝරගත්තත් එකයි කියලා දැන් ලංකාවේ බහුතරය හිතෙනවා. විකල්ප ලෙස ආපු අලුත් තරුණ කණ්ඩායම් වලටත් විකල්ප පෙරමුණක් තාම ගොඩ නගාගන්න බැරි බව පේනවා. උවිඳු විජේවීර සෑහෙන මහන්සි වෙනවා, නමුත් ඔහුටත් වීරවංශ ඇතුලු සම්ප්‍රදායික දේශපාලක පිරිස එකතු කර නොගෙන ගොඩ දාගන්න අමාරු බවයි පේන්නේ. මේ අපට දුරින් පේන දේ, ලංකාවේ අයට මීට වඩා පැහැදිලිව පේනවා ඇති.

      අජිත් ලංකාවේ සියලුම පුරවැසියන් අද මාලිමාවට සපෝට් කරලා හෙට රනිල්ටත් අනිද්දා සජිත්ටත් ඊගාව දවසෙ නාමල්ටත් සපෝට් කරත් කිසි වැරද්දක් නෑ. තමන්ට ස්වාධීන දේශපාලන මතයක් දරන්න සෑම මිනිහෙක්ටම අයිතියක් තියෙනවා කියලයි මම හිතන්නේ.

      හැම දේශපාලන පක්ෂයම සහ දේශපාලන ව්‍යාපාරයම ගැන අධ්‍යයනය කර බලලා වැඩ කරලා මේවා සේරගෙන්ම මෙන්න මෙතන හොඳයි වගේ කියලා එතන නැවතිල බලන්න මිනිහෙක්ට අයිතියක් තියෙනවා. ඒවට ඉතිං කාටවත් විරුද්ධ වෙන්න බෑ. ඒක මගේ මතය.

      Delete
  2. ඉකොනෝ මොකෝ මේ නිව්ස් එක ගැන හිතන්නේ

    //කාමර උෂ්ණත්වයේදී ක‍්‍රියාත්මක වන සුපිරි සන්නායකයක් සොයාගත්තේ යයි පැවසූ ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර ඔහු මහාචාර්යවරයකු ලෙස සේවය කල රොවෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාලය සූදානම් වන බව නේචර් සඟරාව වාර්තා කරයි.මෙම පර්යේෂණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හා දත්ත ලබා දී වෙනත් අයකුගේ පර්යේෂණ දත්ත සොරාගෙන ඇතැයි විමර්ශනයකින් හෙළි වීම මීට හේතුව වී ඇත.

    අසත්‍ය තොරතුරු ඇතුලත් කර විද්‍යාත්මක විෂමාචාරයක් කර ඇතැයිද නේචර් සඟරාව වාර්තා කර ඇත.

    අදාල පර්යේෂණය ගැන විමර්ශනය කිරීමට පත්කළ විද්‍යාඥයන් කණ්ඩායමේ අවසන් විමර්ශන වාර්තාව උපුටමින් නේචර් සඟරාව මෙම වාර්තාව පල කර තිබේ.

    රංග ඩයස් මහතාට එල්ල වූ චෝදනා 16ක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය කර ඇත.//

    මේ ලින්ක් එක බලන්න

    https://www.nature.com/articles/d41586-024-00976-y

    ලංකාවේ ඉන්න බොහෝ ආචාර්ය මහාචාර්ය කට්ටිය බොරු වාර්තාවලින් කප් ගහපු අය තමා. නැතිනම් ඔය කරන පර්යේෂණ වල හැටියට කොච්චර නිර්මාණ එලීදකින්න ඕනද. උදාහරණයක් ලෙස පොල් පර්යේෂණ ආයතනය ගනිමු. පර්යේෂණ කරල මර්දනය කල එකම ලෙඩක් වත් තියනවද? වසංගත නිසා ගස් කපා ඉවත්කර දැමීම තමයි දෙන එකම විසඳුම, ආචාර්ය රංග ඩයස් මාලිමාවට නැත්නම් ජාතික ජන බලවේගයේ විදේශ අංශයට සම්බන්ධ බවට එල්ලවන මඩ ප්‍රහාර නම් සත්‍ය නොවන බවයි මට හිතෙන්නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: