Friday, January 19, 2018

දඩ කොළය සමඟ උසාවියට...


මේ අවුරුද්ද පටන් ගන්න වුනේම උසාවියෙනි. මේ මා චුදිතයෙකු ලෙස උසාවියකයට ගිය පළමු අවස්ථාවයි. ඇමරිකාවේදී තබා ලංකාවේදීවත් මීට පෙර චුදිතයෙකු ලෙස උසාවියකට ගොස් නැත.

උසාවි යන්නට වුනේ රථවාහන වරදකට චෝදනා ලැබුවෙකු වශයෙනි. මේ මා එසේ රථවාහන වරදකට චෝදනා ලැබූ පළමු අවස්ථාව නොවේ. එහෙත්, පෙර එසේ චෝදනා ලැබූ අවස්ථා වලදී වරද පිළිගෙන දඩ මුදල ගෙවා දැමූ බැවින් උසාවි යන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

ඒ පසුගිය ඔක්තෝබර් මාසයේ මුල් සතියයි. හරියටම කියනවානම් පස්වන බ්‍රහස්පතින්දාය. මේ සතිය ඉතාම කාර්ය බහුල සතියක් විය. විශේෂයෙන්ම මේ කියන බ්‍රහස්පතින්දා දිනය ඉතාම කාර්ය බහුල දවසක් විය. උදේ සිටම වරින් වර පුද්ගලයින් ගණනාවක් සමඟ එකිනෙකට වෙනස් ඔලුව කුරුවල් වන දේවල් සාකච්ඡා කරමින් ගත වුනු මේ දිනය අවසන් වන විට මා සිටියේ පුදුම වෙහෙසකිනි.

හවස හයහමාරට පමණ නිවෙස බලා ආපසු යාම සඳහා මා කාර්යාලයෙන් පිට වුනෙමි. පස්වන මහලේ පිහිටි මගේ කාර්යාලයේ සිට පාරෙන් අනෙත් පස ගොඩනැගිල්ලේ ගරාජයේ සිවුවන මහලේ නවත්වා ඇති මෝටර් රථයට යන්නට බිම් මහලට ගොස් පාර පනින්නට අවශ්‍ය නැත. මේ ගොඩනැගිලි දෙක සම්බන්ධ කරමින් පාරට උඩින් තනා ඇති අහස් උමගකින් අනෙක් පැත්තට යා හැකිය.

මෝටර් රථය වෙත ළඟා වුනු මම එය ගරාජයෙන් පිටතට ගෙන පාරට දැම්මෙමි. පාරේ මේ කොටස අපේ ආයතනයට අයත් නොවූවත් ආයතන භූමිය ඇතුළේම ඇති කොටසකි. මේ වන විට බොහෝ දෙනෙක් වැඩ අවසන් කර ගෙවල් වලට ගොස් අවසන් නිසා පාරේ වෙනත් වාහන හෝ මිනිසුන් වැඩිපුර දකින්නට නොහැකි වූ බව මතකය. තෙවසරකට වඩා වැඩි කාලයක් තිස්සේ ගමන් කරන මේ මාර්ගයේ මා වාහනය එළවාගෙන ආවේ පුරුද්දෙන් මිස සවිඥානකව නොවේ.

මගේ ඔලුවේ තිබුණේ ගෙදර ගිය වහාම දරුවෙකුව විෂය බාහිර කටයුත්තක් සඳහා රැගෙන යා යුතු බව හා හෙට දිනයේත් කරන්නට වැඩ ගොඩක් ඇති බව පමණි. වාහනය එළවමින් මම මනසින් මේ වැඩ කටයුතු සැලසුම් කරමින් සිටියෙමි. සාමාන්‍යයෙන් මා මෙහි ලියන ලිපි මනසින් සැලසුම් කෙරෙන්නේද මෙසේ වාහනය එළවන අතරතුරදීය.

ගරාජයෙන් වාහනය එළියට ගැනීමෙන් පසු ළඟ ළඟම ට්‍රැෆික් ලයිට් කිහිපයක් පසු කළ යුතුය. ඒ නිසා එතරම් වේගයෙන් වාහනය ධාවනය කළ නොහැකිය.

වැඩිදුරක් යන්නට ලැබුණේ නැත. පසුපසින් එන පොලිස් මෝටර් රථයක් නිවෙන දැල්වෙන විදුලි සංඥා වලින් වාහනය පැත්තකට ගෙන නවත්වනන්නට සංඥා කරයි.

සාමාන්‍යයෙන් නොකරන දෙයක් නොවුවත්, මේ වෙලාවේ නියමිත වේගය ඉක්මවා රථය ධාවනය නොකළ බව ස්ථිරය. එසේනම් වාහනය නවත්වන්නට සංඥා කරන්නේ ඇයි? ඇමරිකාවේදී සාමාන්‍යයෙන් කිසියම් වරදක් කළොත් මිස හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට හෝ ලයිසන් ඉන්ෂුවරන්ස් පරීක්ෂා කිරීමට නිකරුණේ වාහනය නවත්වන්නේ නැත.

ඇතැම් විට පොලිස් වාහනයට හදිසි වැඩකට යන්නට මාර්ගයේ ඉඩ ලබා ගැනීම සඳහා අනෙක් වාහන පැත්තකට ගන්නට කියා මෙසේ සංඥා කරයි. ඒ නිසා, කෝකටත් කියා මම පැත්තකට කර වාහනය නැවැත්වූයෙමි.

පොලිස් මෝටර් රථයද නැවැත්වීය. එසේනම් මා කිසියම් වරදක් කර තිබේ. ඇතැම් විට තිරිංග හෝ සංඥා විදුලි බුබුලක් දැවී ගොස් විය හැකිය. මෙවැනි අවස්ථා වලද පොලීසිය වාහනය නවත්වයි. විදුලි බුබුල දැවී ගොස් ඇති බව දැන නොසිටි බව කියූ විට අවවාදයක් පමණක් ලබා ගැලවී යා හැකි අතර දඩ කොළයක් ලැබෙන්නේ මේ ගැනම මීට පෙරද පොලිස් නිලධාරියෙකු විසින් අවවාදයක් දී ඇති බව සටහන් වී ඇත්නම් පමණි.

වාහනය නැවැත්වූ මම විදුලි පහන් නිසි ලෙස ක්‍රියාත්මක වේදැයි බැලීමට එළියට බැස්සෙමි. මෙය අවිඥානකව මෙන් සිදු වූ දෙයකි. පොලිස් නිලධාරියෙකු විසින් වාහනය නැවැත්වූ විට වාහනයෙන් නොබැස වීදුරුව පාත් කර දෙඅත් සුක්කානම මත තබාගෙන සිටිය යුතුය. ඒ වාහනයේ ගිණිඅවි තිබිය හැකි නිසා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. මා කළ අයුරින් එළියට පැමිණි විට පොලිස් නිලධාරියාට සැක හිතුණොත් ඔහුගේ ගිණි අවිය මා වෙත එල්ල විය හැකිය. ඒ වෙලාවේ මෙය මට අමතක විය. මේ සියල්ල මට මතක් වුනේ වාහනයට වී සිටින ලෙස පොලිස් නිලධාරියා කෑ ගැසූ විටය.

පොලිස් නිලධාරියා වාහනය වෙත පැමිණ පළමුව මගේ රියදුරු බලපත්‍රය හා වාහන ලියාපදිංචි කිරීමේ සහතිකය ඉල්ලා සිටියේය. ඉන් පසු, ඔහුගේ අතේ ඇති විද්‍යුත් උපකරණයෙන් ඒවායේ බාර්කෝඩ් ස්කෑන් කර දත්ත ඇතුළත් කර ගෙන ඒවා ආපසු දුන්නේය. මෙතෙක් මා පුන පුනා බලා සිටි චෝදනාව ඉදිරිපත් කළේ ඉන් පසුවය.

"රෙඩ් ලයිට් තියෙද්දී ආව නේද?"

එහෙම දෙයක් කළ බවක් මට මතක නැත.

"කොතනද?"

"xxx ස්ට්‍රීට් එකට හැරෙන හන්දියේදී..."

මේ වන විටත් මා සිටියේ මේ කියන තැනට යාර පණහක් පමණ දුරිනි.

"එහෙම කළ බවක් මට මතක නැහැ. මම සාමාන්‍යයෙන් කවදාවත් එහෙම කරන්නේ නැහැ."

මා කිවුවේ බොරු නොවේ. රතු සංඥාව වැටී තියෙද්දී දිගටම පැමිණි බවක් මට ඇත්තටම මතක නැත. කිසිදිනක හිතාමතා එසේ පැමිණද නැත. කෙසේවුවත්, බර කල්පනාවක සිටි නිසා රතු සංඥාව අවධානයට ලක් නොවී එසේ පැමිණියා වන්නට ඇති ඉඩ බැහැර කළ නොහැකිය.

මෙවැනි වැරදීම් මට සිදු නොවනවා නොවේ. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වල රතු සංඥාව වැටී තියෙද්දී වාහනය දකුණට හැරවිය හැකිය. එහෙත්, ඊට පෙර වාහනය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය. මෙසේ මගේ ඉදිරියෙන් නවත්වා ඇති වාහනයක් දකුණට හැරවූ විට ඇතැම් විට ඔළුවට යන්නේ ඉදිරියේ වූ වාහනය ධාවනය කළේ කොළ පත්තු වූ බැවින් බවයි. එවැනි ඇතැම් අවස්ථා වල වාහනය ඉදිරියට ගැනීමෙන් පසු කොළ පත්තුවෙන තුරු තවදුරටත් නවත්වා ගෙන සිටිය යුතු බව අමතක වෙන්නට ඉඩක් තිබේ.

"රෙඩ් ලයිට් එකේ වාහනය නැවැත්තුව බව මතකද?"

මම කල්පනා කළෙමි. රතු සංඥාව වැටී තිබුණු බවක්වත්, වාහනය නැවැත්වූ බවක්වත් මට මතක නැත. ඇත්තටම වැටී තිබුණේ මොන පාට එළියක්ද කියාවත් මට මතක නැත.

"ඔබ වාහනය රෙඩ් ලයිට් එකේ නවත්වලා කොළ වැටෙන්න පෙර ඉදිරියට ධාවනය කළා!"

"මම කවදාවත් එහෙම දෙයක් හිතාමතා කර නැහැ. ඇත්තටම එහි වැටී තිබුණේ මොන පාට එළියක්ද කියාවත් මට මතක නැහැ. මේක මම හැමදාම වාහනය එළවන සාමාන්‍ය පාර. මේ හරියෙදී වාහනය එළවෙන්නේ මොළය ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහට අවිඥානිකව වගේ. කොහොම වුවත් ඔබ කියන වැරැද්ද මගේ අතින් වුණේ කොහොමද කියන එක මට හිතා ගන්නවත් බැහැ."

මම ඔහුට කිවුවේ සම්පූර්ණ ඇත්තයි.

"මට ඉදිරියෙන් රෙඩ් ලයිට් එකේ වෙනත් වාහනයක් නවත්වල තිබුණද?"

"ඒක මම දන්නෙ නැහැ"

සාමාන්‍යයෙන් ඇමරිකාවේ පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරියට අදාළ නොවන මෙවැනි ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත.

"රතු ලයිට් එකේ ධාවනය කරමින් ඔබ කළේ අවදානම් සහගත වැඩක්. ඒ නිසා ඔබට දඩ කොළයක් දෙන්න වෙනවා. ඔබ වරද පිළිනොගන්නවානම් දින 90ක් ඇතුළත ඒ බව දැනුම් දිය යුතුයි. වරද පිළිගන්නවානම්, සති දෙකක් ඇතුළත මෙහි විස්තර ඇතුළු කිරීමෙන් පසුව අන්තර්ජාලය හරහා දඩය ගෙවිය හැකියි. එසේ නැත්නම් දුරකථනයෙන් හෝ තැපැල් මාර්ගයෙන් දඩය ගෙවන්නත් පුළුවන්!"

ඇමරිකාවේදී දඩ කොළයක් ලැබුණු පසු පොලිස් නිලධාරියා සමඟ වාද කර පලක් නැත. එක්කෝ වරද පිළිගෙන දඩය ගෙවිය යුතුය. නැත්නම් උසාවි යා යුතුය.

පෙර කී පරිදි, මේ මට රථවාහන වරදකට දඩකොළයක් ලැබුණු පළමු අවස්ථාව නොවේ. තෙවන අවස්ථාවයි. ඊට අමතරව අඩු වශයෙන් තවත් දෙවරක්වත් අවවාද ලැබී තිබේ. එහෙත්, ඒ සියල්ල වෙනත් ප්‍රාන්ත වලදීය. මේ අවවාද රථවාහන කාර්යාංශයේ දත්ත වලට එකතු නොවෙතත් පොලිස් දත්ත වලට යයි.

අවසන් වරට දඩ කොළයක් ලැබුණේ වසර දෙකහමාරකට පමණ පෙරය. ඒ ප්‍රාන්ත කිහිපයක් පසුකරමින් කැනඩාව දක්වා දිගු මාර්ග චාරිකාවක යෙදෙද්දීය. විනාඩි දෙක තුනක් කලින් යන්නටනම් පිස්සුවෙන් වාගේ වාහනය එළවීමේ කිසිම තේරුමක් නැතත්, දවසකට සැතපුම් පන්සීයක් හයසීයක් පමණ යන්නට ඉලක්කයක් ඇති විට තරමක් වේගයෙන් යාමේ සැලකිය යුතු වාසියක් තිබේ. ඒ නිසා, විශේෂයෙන්ම මෙවැනි දිගු මාර්ග චාරිකාවක යෙදෙද්දී උපරිම සීමාවට වඩා තරමක් වැඩියෙන් වාහනය ධාවනය කරන්නට මා පැකිළෙන්නේ නැත. උපරිම සීමාවට වඩා සැතපුම් පහක් හයක් වැඩියෙන් ධාවනය කළා කියා බොහෝ විට පොලීසියෙන් නවත්වා දඩ කොළයක් දෙන්නේ නැත. එහෙත්, එසේ කරන අවස්ථාද නැතුවා නොවේ.

මේ කියූ පෙර අවස්ථාවේදී වාහනය ධාවනය කරමින් සිටියදී ප්‍රාන්ත සීමාවක් පසු වූ අතර ඒ සමඟම උපරිම වේග සීමාව සැතපුම් දහයකින් අඩු විය. මේ බව අවධානයට ලක් වුවත්, පැය දෙකතුනක් වැඩි වේගයකින් රථය ධාවනය කිරීමෙන් පසුව එක වරම වේගය අඩු කරන්නට ටිකක් කම්මැලි හිතේ. මේ වගේ වෙලාවට සාමාන්‍යයෙන් මගේ පුරුද්ද තිරිංග නොයොදා ඇක්සලරේටරය පාලනය කිරීමෙන් හෙමිහිට වේගය අඩු කිරීමයි.

කොහොම වුනත්, ප්‍රාන්ත සීමාව පසු කර වැඩි දුරක් යන්නට හෝ වේගය අඩු කරන්නට පෙරම පොලිස් මෝටර් රථයක විදුලි ආලෝක සංඥා දැල්වුනේය. එවිට, පරක්කු වැඩිය. සිදුවිය යුතු පරිදිම, දඩ කොළයක් ලැබුණේය.

ඉහත අවස්ථාවේ වරද පිළිගෙන දඩ මුදල ගෙවනු හැර වෙනත් විකල්පයක් තිබුනේම නැත. පළමුව, මේ වරද මා කළ වරදකි. එය ස්ථිරය. දෙවනුව, වරද පිළිනොගෙන නිවසෙන් සැතපුම් සියගණනක් ඈත පිහිටි වෙනත් ප්‍රාන්තයක උසාවියකට නියම කරන දිනක යාම ප්‍රායෝගිකව කළ නොහැකි, එමෙන්ම කාලය හා මුදල් වැය වන කටයුත්තකි. තෙවනුව, එසේ ගියද බොහෝ විට පොලිස් නිලධාරියා සතුව වරද ඔප්පු කළ හැකි සාක්ෂි තිබෙනවා විය යුතුය. ඒ නිසා, වරද පිළිගෙන දඩමුදල ගෙවා දැම්මෙමි.

අපේ ප්‍රාන්තය ඇතුළු ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත වල මෙවැනි රථවාහන වරදකට වරදකරු වූ විට දඩ මුදලට අමතරව තවත් වැඩිපුර මුදලක් ගෙවා හෝ නොගෙවා මේ වරද රථවාහන කාර්යාංශයෙන් හා රක්ෂණ සමාගමෙන් සැඟවිය හැකිය. එවිට රියදුරු බලපත්‍රයට පොයින්ට්ස් එකතු වෙන්නේ හෝ රක්ෂණ වාරිකය ඉහළ යන්නේ නැත. මේ අවස්ථාව ලැබෙන්නේ නිශ්චිත අවුරුදු ගණනක් තුළ වෙනත් රථවාහන වරදකට වැරදිකරු වී නැති අයට පමණි. මේ වෙනුවෙන් අමතර මුදලක් අය කිරීම එක්තරා ආකාරයකින් ආණ්ඩුව විසින්ම නීත්‍යානුකූල ලෙස පගාව ගැසීමකි.

මීට පෙර, වෙනත් ප්‍රාන්තයකදී මගේ පළමු රථවාහන වැරදි දඩය ගෙවන විට මම ඩොලර් පණහක් වැඩිපුර ගෙවා ඉහත විකල්පයෙන් ප්‍රයෝජන ගත්තෙමි. ඒ ප්‍රාන්තයේ නීතියෙන් මේ අවස්ථාව ලැබෙන්නේ වසර හතකට එක් වරක් පමණි. එමෙන්ම, ඉන්පසුව ගෙවෙන වසරක කාලය තුළ දෙවැනි වරටත් වරදක් සිදුවුවහොත් ඩොලර් 50 ගෙවා තිබුණත්, පෙර වරද හා අලුත් වරද යන දෙකම රථවාහන කාර්යාංශයට වාර්තා කෙරේ. එවිට එය පොදු තොරතුරක් බවට පත්වන නිසා රක්ෂණ වාරික සැලකිය යුතු ලෙස ඉහළ යයි.

එහෙත්, දෙවන අවස්ථාවේදී අදාළ උසාවියේ නිලධාරීන් විමසු විට දැනුම් දුන්නේ එම ප්‍රාන්තයේ එවැනි නීතියක් නොමැති බවයි. ඒ නිසා, ඉහත දඩය ගෙවා වරද පිළිගැනීමෙන් පසු රක්ෂණ වාරිකය සුළු වශයෙන් ඉහළ ගිය අතර රථවාහන කාර්යාංශයේ රියදුරු වාර්තාවේ පොයින්ට්ස් දෙකක් සටහන් විය. තෙවන දඩකොළය ලැබෙන විටත් මේ පොයින්ට්ස් දෙක රියදුරු වාර්තාවෙන් ඉවත්ව තිබුණේ නැත.

අලුත් දඩකොළය ලැබීමෙන් පසු වාහනය එළවාගෙන ගෙදරට එද්දී මේ සියලු දේ මතක් වුණත් ඒ වන විට පරක්කු වැඩිය. හරියටම මතක නැතත්, මගේ අතින් මේ  කියන වරද සිද්ධ වූවා වන්නට විශාල ඉඩක් තිබේ. ඇමරිකාවේ පොලිස් නිලධාරීන් සාමාන්‍යයෙන් ගාණක් කඩා ගන්නට හෝ තරහක් පිරිමහගන්නට දඩ කොළ ලියන්නේ නැත. මා විසින් රථවාහන වරදක් නොකළේනම් මා පෞද්ගලිකව නොහඳුනන මේ පොලිස් නිලධාරියාට නිකරුණේ දඩ කොළයක් ලියන්නට හේතුවක් නැත.

මෙයින් අදහස් වන්නේ ඇමරිකාවේ පොලිස් නිලධාරීන් යනු කිසිදු වරදක් නොකරන සර්ව සාධාරණ පුද්ගලයින් බව නොවේ. සාමාන්‍ය පුද්ගලයෙකු වන පොලිස් නිලධාරියෙකු විසින් කිසියම් අයෙකුට නඟන චෝදනාවක් ඔහුගේ දැනුමට හා සංස්කෘතියට සාපේක්ෂ පූර්ව නිගමන වලින් වියුක්ත නැත. ඒ නිසා, කිසියම් පොලිස් නිලධාරියෙකු අතින් එක සමාන වරදක් කරන දෙදෙනෙකු අතරින් එක් අයෙකුට දඩ කොළයක් ලැබෙන්නට වැඩි සම්භාවිතාවක් තිබිය හැකි වුවත්, එවැනි නිලධාරියෙකුගේ නිගමනයට අනුව වරදක් නොකළ අයෙකුට දඩ කොළයක් දෙන්නට විශාල සම්භාවිතාවක් නැත.

අපේ ප්‍රාන්තය තුළදී සුළු රථවාහන වරදකට දඩ කොළයක් ලැබුණු විට ප්‍රතිචාර දැක්විය හැකි විකල්ප ක්‍රම කිහිපයකි. පළමු විකල්පය වන්නේ වරද පිළිගෙන දඩ මුදල ගෙවා දැමීමයි. එවිට මේ තොරතුර රථවාහන කාර්යංශයට වාර්තා කෙරෙන නිසා රියදුරු බලපත්‍රයට පොයින්ට්ස් එකතු වන අතර, රක්ෂණ වාරිකයද ඉහළ යයි. දෙවන විකල්පය වන්නේ වරද පිළි නොගන්නා නමුත් තීන්දුව පිළිගනිමින් දඩ මුදල ගෙවා දමා තීන්දුවට එරෙහිව උසාවි යාමට ඇති අයිතිය අත හැරීමයි. එවිට ලැබෙන ප්‍රතිඵලයද පළමු ප්‍රතිඵලයට වඩා වෙනස් නැත. තෙවන විකල්පය වන්නේ වරද පිළිනොගෙන පැමිණිලිකරුට, එනම් ප්‍රාන්ත රජයට, අභියෝග කරමින් උසාවි යාමයි.

මෙවැනි රථවාහන වරදක් ප්‍රාන්තයට එරෙහි නීතිමය වරදක් ලෙස සැලකෙන බැවින් වරද ඔප්පු කිරීමේ වගකීම ප්‍රාන්තය සතුය. මෙහිදී ප්‍රාන්තය නියෝජනය කරන්නේ අදාළ පොලිස් නිලධාරියාය. ඔහු හෝ ඇය වෙනුවට වෙනත් පොලිස් නිලධාරියෙකු උසාවි එන අවස්ථාද තිබෙන්නට පුළුවන. උසාවි යාමෙන් පසුවද වරදකරු වුවහොත් මුල් දඩමුදලට අමතරව නඩු ගාස්තුද ගෙවන්නට සිදු විය හැකිය. පොලිස් මෝටර්රථ වල සාමාන්‍යයෙන් ඩෑෂ්බෝඩ් කැමරා තිබෙන අතර බොහෝ විට මෙවැනි අවස්ථාවක සිදු වූ දෙය ගැන විද්‍යුත් සාක්ෂි පොලිස් නිලධාරියා සතුව ඇති නිසා පොලිස් නිලධාරියෙකුගේ තීන්දුවකට අභියෝග කිරීම අවදානම් සහගත කටයුත්තකි.

දඩ කොළය ලැබෙන විට මගේ වාහනයේ සිටියේ මා පමණක් නිසා මට කිසිදු සාක්ෂිකරුවෙකුගේ උදවුවක් නැත. පොලිස් නිලධාරියාටද සාක්ෂිකරුවන් නැතත්, සාමාන්‍යයෙන් උසාවියේ පූර්ව නිගමනය වන්නේ පොලිස් නිලධාරියාගේ සාක්ෂි වඩා විශ්වාසදායක බවයි. ඒ පූර්ව නිගමනය බිඳ හෙළන්නටනම්, පොලිස් නිලධාරියාට තමන්ගේ රාජකාරිය නිසි පරිදි කළ හැකි ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් නොතිබුණු බව ඔප්පු කරන්නට සිදු වේ. මේ කටයුත්තේ ඇති අමාරුවත්, කියන දවසක අනෙක් වැඩ අතපසු කර උසාවි ගොස් පැය ගණනක් රස්තියාදු වන්නට වීමේ අපහසුතාවයත් සැලකූ විට අන්තර්ජාලය හරහා  දඩමුදල ගෙවා දැමීම හොඳම විකල්පය බව පෙනී ගියේය.

දඩ කොළයේ තොරතුරු අන්තර්ජාලයෙන් පරීක්ෂා කළ හැකි පරිදි දත්ත ඇතුළු කරන්නට දෙසතියක් දක්වා කාලයක් ගත විය හැකිය. එහෙත්, දෙසතියකට ආසන්න වුවත් දඩ කොළයේ තොරතුරු අන්තර්ජාලයේ දකින්නට නැත. මගේ වාසනාවට පොලිස් නිලධාරියාට මේ කටයුත්ත අමතක වූවාවත්ද?

මීට පෙර වෙනත් ප්‍රාන්තයකදී දඩකොලයක් ලැබුණු අවස්ථාවේදීද මෙවැනි තත්ත්වයක් ඇති වූ විට දඩකොලයේ වූ උපදෙස් පරිදි අදාළ උසාවියට දුරකථන ඇමතුමක් දීමෙන් පසු සොයාගත හැකි වුණේ උසාවියේ ලිපිකරු විසින් දඩකොලයේ තොරතුරු අන්තර්ජාලයට ඇතුළත් කිරීමේදී මගේ වාසගමෙහි අකුරක් වරද්දා ඇති බවයි. ඇමරිකාවට නුහුරු හා ඉතා දිගු ලංකාවේ නම් වල අකුරු වැරැද්දීම මෙහිදී කලාතුරකින් සිදුවන දෙයක් නොවේ. මෙවරද සිදු වී ඇත්තේ මේ දෙයම විය හැකිය.

කෙසේ වුවද, අපේ ප්‍රාන්තයේ අදාළ වෙබ් අඩවියෙන් දඩ කොළයේ අනු අංකය ඇතුළු කිරීමෙන්ද විස්තර පරීක්ෂා කළ හැකිය. ඒ නිසා මම ඒ සඳහා දඩ කොළය අතට ගත්තෙමි. මේ කටයුතු සිදුවන්නේ දඩ කොළය ලැබී සතියකට පමණ පසුවය.

වැරැද්ද අහු විය. වාසගම වරද්දා තිබෙන්නේ උසාවියේ ලිපිකරු විසින් නොවේ. දඩ කොළය ලියූ පොලිස් නිලධාරියා විසින්මය. එය ඔහුගේ නොසැලකිල්ලයි. ලාංකිකයින්ගේ නම් ඉතා දිගුවීම හෝ ඇමරිකානුවන්ට නුහුරු වීම රථවාහන පොලිස් නිලධාරියෙකුට ඉදිරිපත් කළ හැකි නිදහසට කරුණක් විය නොහැකිය. රියදුරු බලපත්‍රයේ ඇති නම ඇතුළු තොරතුරු දඩ කොළයේ නිසි ලෙස සටහන් කිරීම ඔහුගේ රාජකාරියේ කොටසකි. ඔහුට එය නිවැරදිව කළ නොහැකිනම් එය රාජකාරිය කිරීමට ඔහුට ඇති යෝග්‍යතාවයේ අඩුවකි.

මේ වැරැද්ද අල්ලා ගැනීමෙන් පසු, දඩ කොළය තවදුරටත් පරීක්ෂා කරන විට තවත් වැරැද්දක් අහු විය. එහි මගේ ජාතිය ඉදිරිපිට පොලිස් නිලධාරියා විසින් "W" අකුරක් ලකුණු කර තිබේ. ආසියානු (Asian) යන්න W ලෙස කෙටිකරන්නට විදිහක් නැත. මේ පොලිස් නිලධාරියා විසින් W අකුර සටහන් කර ඇත්තේ සුදු (White) යන්න හැඟෙන්නටය. මේ වෙලාවේ මට මතක් වුණේ මීට පෙර ලැබුණු දඩකොලයේද මේ අයුරින්ම ජාතිය W ලෙස සටහන්ව තිබූ බවයි.

ඉඳහිට වුවත් සුද්දන් තරමටම වාගේ සුදු හමක් තිබෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇත්තෝ සිටිති. එහෙත්, මා එවැනි අයෙකු නොවේ. මගේ හම සුදුහමක් නොවන බව සිහි බුද්ධිය තිබෙන ඕනෑම කෙනෙකුට තේරේ. වාසගම වැරදීම පොලිස් නිලධාරියාගේ නොසැලකිල්ල නිසා සිදු වූවක් බව පෙනෙතත් මේ දෙවන වරද එවැන්නක් නොව චේතනාන්විතවම කර ඇති වරදකි.

සුදු ජාතිකයින් නොවන්නන්ට ජාතිවාදී පදනමකින් වැඩිපුර චෝදනා ගොනු කරන බව ඇමරිකාවේ පොලිස් නිලධාරීන්ට කෙරෙන චෝදනාවකි. රථවාහන දඩ කොළ වලින් චුදිතයින්ගේ ජාතිය පිළිබඳ දත්ත එකතු කරන්නට එක් හේතුවක් වන්නේ එම දත්ත පරීක්ෂා කර එවැනි වෙනස් ලෙස සැලකීමක් සිදුවන්නේදැයි පරීක්ෂා කළ හැකි වීමයි. ඇමරිකාවේදී ජාතිය යනු ශරීරයේ භෞතික ස්වරූපය හා සම්බන්ධ දෙයක් නිසා මෙය චුදිතයෙකු හඳුනා ගැනීමටද ඉවහල් වන්නකි. සුළු රථවාහන වැරදි කරන සුදු ජාතිකයින් නොවන අයගේ ජාතිය සුදු ලෙස සටහන් කිරීම මඟින් මේ පොලිස් නිලධාරියා මෙන්ම එවැනි වෙනත් පොලිස් නිලධාරීන් විසින්ද උත්සාහ කරන්නේ වෙනස් ලෙස සැලකීම පිළිබඳ චෝදනා වලින් ගැලවෙන්නටය. කොහොම වුණත්, අපේ බදු මුදලින් යැපෙන මේ පොලිස් නිලධාරියා මේ වෙලාවේ කර ඇත්තේ ප්‍රාන්ත රජයට වැරදි තොරතුරු වාර්තා කිරීමකි. එවැන්නෙකු පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සෙකි.

අද අපේ ජීවිත බොහෝ දුරට තීරණය කරන්නේ දත්ත මඟිනි. මේ වියුණුවේ ලිපි තුළ වුවත් බොහෝ විට මා කරන්නේ දත්ත මත පදනම්ව නිගමන වලට පැමිණීමයි. සාමාන්‍යයෙන් විද්‍යාත්මක ක්‍රමය ලෙස සැලකෙන්නේද එයයි. ඇත්තටම පදනමක් නැති හිතළු මත නිගමන වලට පැමිණෙනවාට වඩා දත්ත මත පදනම් වීම සාර්ථකය.

කෙසේ වුවත්, දත්ත කියන්නේ පරම සත්‍යයන් නොවේ. අපට හමුවන දත්ත වල බොහෝ වැරදි තිබේ. මේ වැරදි අහඹු වැරදිනම් එවැනි දත්ත මත පදනම්ව කරන නිගමන එතරම්ම වරදින්නේ නැත. එහෙත්, වැරදි සිදු වන්නේ නිශ්චිත රටාවකටනම් එම දත්ත මත පදනම්ව කරන නිගමන වලට සිදුවන්නේ විශාල බලපෑමකි. මේ පොලිස් නිලධාරියා වැනි පොලිස් නිලධාරීන් සුදු නොවන ඇමරිකානුවන්ගේ ජාතිය සුදු ලෙස සටහන් කළත් එය අනිත් පැත්තට කරන්නේ නැත. මගේ අදහස මෙය සුදු පොලිස් නිලධාරීන් විසින් හිතාමතාම කරන දෙයක් බවයි. අලුත් පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් රස්සාව පරිස්සම් කර ගැනීමට උදවුවන මෙවැනි "ට්‍රික්ස්" උගන්වනවා විය හැකිය.

දඩ කොළය ලියූ පොලිස් නිලධාරියාට සිය රාජකාරිය කරන්නට සුදුසු වන තරමේ ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් හා/හෝ අවංක කමක් නොතිබුණු බව දැන් මට තර්ක කළ හැකිය. ඒ අනුව, වරද පිළි නොගන්නා බව දන්වමින් නඩු විභාගයක් ලබා දෙන මෙන් මම ඉල්ලා සිටියෙමි.

පළමුව, දඩ කොළයේ සඳහන් පුද්ගලයා මා නොවේ. එහි වාසගම පමණක් නොව ජාතියද මගේ එම තොරතුරු සමඟ නොසැසඳේ. ඒ නිසා, නම නිවැරදි කරන තුරු අඩු වශයෙන් උසාවියේදී මුලින්ම දෙන දිවුරුම හෝ මට දිය නොහැකිය.

අපේ ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රයක නම යටතේ මුලින්ම ලොකු කැපිටල් අකුරින් මුද්‍රණය කර ඇත්තේ වාසගමයි. රථවාහන පොලිස් නිලධාරියෙකු මෙය හොඳින්ම දැන සිටිය යුතුය. එය නිසි පරිදි දඩ කොළයට පිටපත් කළ නොහැකිනම් එය පොලිස් නිලධාරියාගේ (නො)සැලකිල්ල හෝ (අ)යෝග්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයකි. තමන්ගේ රැකියාව හා අදාළ වගකීම් නිසි පරිදි ඉටු කිරීමට තරම් ශාරීරික හා/හෝ මානසික යෝග්‍යතාවයක් නැති පොලිස් නිලධාරියෙකුගේ නිගමන නිවැරදි නොවන්නට ඉඩ තිබේ.

දෙවනුව, පොලිස් නිලධාරියා විසින් මගේ ජාතිය වැරදියට සටහන් කර තිබේ. ඒ පහත හේතුවක් නිසා විය හැකිය.

1. ඔහුට වර්ණ හඳුනා ගැනීමේ අපහසුවක්, එනම් ශාරීරික දුර්වලතාවයක් තිබුණාදැයි මා දන්නේ නැත. එසේනම්, සංඥා විදුලි එළියේ රතු පැහැය ලෙස ඔහු දැක්කේ කොළ පැහැයදැයි මා දන්නේ නැත. මා වාහනය ඇතුළේ සිටියානම් ඔහුට මගේ හමේ පැහැය පහසුවෙන් හඳුනාගත නොහැකි වීම පිළිගත හැකි වුවත්, මේ අවස්ථාවේදී මා වාහනයෙන් එළියට පැමිණීම නිසා මගේ වාසියට තවත් තර්කයක් එකතු කළ හැකිය. පොලිස් නිලධාරියාගේ ශාරීරික දුර්වලතාවයේ අඩුපාඩුව වෙනුවෙන් මා කළාදැයි හරියටම ස්ථිර නැති වරදකට මා දඩ ගෙවිය යුතු නැත.

2. ඔහුට ඒ අවස්ථාවේ කිසියම් මානසික ප්‍රශ්නයක් තිබුණාද කියා මම දන්නේ නැත. පුද්ගලයෙකුගේ හමේ පැහැය නිවැරදිව නිර්ණය කළ හැකි තරම් යහපත් මානසික තත්ත්වයක නොසිටි පොලිස් නිලධාරියෙකුට වාහනය ඉදිරියට ධාවනය කරන මොහොතේ සංඥා පුවරුවේ දැල්වී තිබුණේ කවර පාටක එළියක්ද යන්න නිගමනය කිරීමේදීද වරදින්නට පුළුවන. පොලිස් නිලධාරියාගේ මානසික දුර්වලතාවයේ අඩුපාඩුව වෙනුවෙන් මා කළාදැයි හරියටම ස්ථිර නැති වරදකට මා දඩ ගෙවිය යුතු නැත.

3. මේ පොලිස් නිලධාරියා යහපත් මානසික හා ශාරීරික යෝග්‍යතාවයකින් සිටියානම්, ඔහු ප්‍රාන්ත රජයට දැන හෝ නොදැන වැරදි තොරතුරු වාර්තා කිරීමට ඉඩක් ඇති අයෙක් විය හැකිය. එසේනම්, ඔහුගේ නිගමන අපක්ෂපාත හා අවංක නිගමන ලෙස සැලකිය නොහැකිය. මගේ බදු මුදලින් යැපෙන පොලිස් නිලධාරියෙකු ප්‍රාන්ත රජයට වැරදි තොරතුරු වාර්තා කරයිනම් එය ඉතා බරපතල තත්ත්වයකි.

පොලිස් නිලධාරීන් විසින් මේ අයුරින් වැරදි දත්ත වාර්තා කිරීම ඉතා බරපතල තත්ත්වයක් බව වෘත්තියෙන් මෙවැනි දත්ත විශ්ලේෂණය කර නිගමන ඉදිරිපත් කරන්නෙකු වන මට ඉඳුරාම කිව හැකිය. දැන් මේ දත්ත විශ්ලේෂණය කරන අයෙකුට පෙනෙන්නේ සුදු ජාතිකයින් රථවාහන වැරදි කරන්නට වැඩියෙන් ඉඩ ඇති බවත්, ආසියානුවන් වැරදි කරන්නට අඩුවෙන් ඉඩ ඇති බවත්ය. ඒ අනුව තීරණ ගන්නා රක්ෂණ සමාගම් සුදු ජාතිකයින්ගේ රක්ෂණ වාරික නියම මිලට වඩා ඉහළ දමා ආසියානු ජාතිකයින්ගේ රක්ෂණ වාරික නියම මිලට වඩා පහළ දමයි. මේ නිසා රක්ෂණ සමාගම් වල ලාභ අඩු වේ. රටේ ආර්ථිකයට නරක බලපෑමක් සිදු වේ. ඉඳහිට පොලිස් නිලධාරියෙකු අතින් සිදුවන අහඹු වැරදීමක් නිසා එසේ වන්නට ඉඩක් නැතත්, බොහෝ පොලිස් නිලධාරීන් විසින් පුරුද්දක් වශයෙන් මෙය කරන්නේනම් එයින් විශාල අයහපත් බලපෑමක් සිදු විය හැකිය.

දැන් මට අපේ ප්‍රාන්ත නීතිය අනුව දඩ මුදලක් ගෙවන්නට නියම වී ඇත්තේ රතු එළියේ වාහනය ධාවනය කිරීමේ වරදටය. එහෙත්, ඒ හේතුවෙන් කිසිවෙකුට හානියක් වූයේ නැත. එය නීතියෙන් වරදක් ලෙස සැලකෙන්නේ එසේ කිරීමෙන් අනතුරක් සිදුවී ජීවිත හා දේපොළ හානි සිදුවන්නට ඉඩක් ඇති බැවිනි. එසේනම්, පොලිස් නිලධාරියා විසින් නොසැලකිල්ල මත හෝ ශාරීරික හෝ මානසික යෝග්‍යතාවයක් නැති කම මත හෝ හිතාමතාම ප්‍රාන්ත රජයට වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමද විශාල පිරිසකට අයපතක් වීමට තුඩු දෙන දෙයකි. එසේ ක්‍රියා කරන පොලිස් නිලධාරියෙකු විසින් වාර්තා කරන තොරතුරු මත මා කළාදැයි හරියටම ස්ථිර නැති වරදකට මා දඩ ගෙවිය යුතු නැත.

විනිසුරු වෙත ඉදිරිපත් කළ හැකි තර්ක සියල්ල ගොඩ නඟා ගැනීමෙන් පසු මම වරදට අදාළ ප්‍රාන්ත නීති, පොලිස් නිලධාරීන් වෙනුවෙන් සකසා ඇති මාර්ගෝපදේශ, අදාළ ස්ථානයේ සිතියම් ආදියද සොයාගෙන ගොනු කර ගත්තෙමි.

නඩු විභාගය පැවතුණේ අවුරුද්දේ ආරම්භයේදීමය. රැකියාව හා අදාළ කටයුතු කල් දමන්නට අවශ්‍ය නොවන දිනයක් වීම නිසා හිතට වද දුන් තවත් ප්‍රශ්නයක් විසඳුනේය.

පැය තුන හතරක් රස්තියාදු විය. කොහොම වුණත් ගත් අවදානමෙන් පාඩුවක් වුණේ නැත. ගෙවිය යුතුව තිබුණු දඩ මුදල ඉතිරි වුණා පමණක් නොව රියදුරු වාර්තාවට එකතු විය හැකිව තිබුණු පොයින්ස් හතරක්ද එකතු වීම වලක්වා ගත හැකි විය. ඒ නිසා ඇමරිකාවේදී පමණක් නොව ජීවිත කාලයටම ලැබූ පළමු උසාවි අත්දැකීම කෙළවර වුණේ නරක විදිහට නොවේ.

Monday, January 15, 2018

රනිල් මෛත්‍රී දීගය කැඩිලාද?


පළාත් පාලන මැතිවරණයට පෙර රනිල්-මහින්ද හෝ මහින්ද-මෛත්‍රී සන්ධානගත නොවූයේ ඇයිද යන්න තේරුම් ගැනීම අපහසු නැත. එහෙත්, රනිල්-මෛත්‍රී සන්ධානයක් ඇති නොවූයේ ඇයි?

ප්‍රශ්නයට පිළිතුර තිබෙන්නේ අලුත් මැතිවරණ ක්‍රමයේය.

අපි මුලින්ම පසුගිය 2015 අගෝස්තු මැතිවරණ ප්‍රතිඵලයෙන් කතාව පටන් ගනිමු. එම මැතිවරණයේදී, උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක හැර ඉතිරි දිස්ත්‍රික්ක 17න් නවයක වැඩිම ඡන්ද ලබාගත්තේ එජාපයයි. ඉතිරි දිස්ත්‍රික්ක අටෙහි වැඩි ඡන්ද ගත්තේ එජනිසයයි. මේ මැතිවරණයේදී එජාපය විසින් ඉහත අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට ඉතා ආසන්න ප්‍රතිශතයක් ලබා ගන්නට ඉඩ තිබේ. ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ ලෙස බෙදී සිටින එජනිස කොටස් දෙක විසින් එකතුව වැඩිම වුණොත් ලබා ගනු ඇත්තේ එම මැතිවරණයේදී එක් එක් දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතයයි.

පෙර ලිපියකින් පැහැදිලි කළ පරිදි, වැඩිම කොට්ඨාශ ප්‍රමාණයක වැඩි ඡන්ද ලබාගත හැකි පක්ෂයට අලුත් මැතිවරණ ක්‍රමය වාසිදායකය. සිංහල බහුතරයක් ජීවත් වන කොට්ඨාශ වල වැඩිම ඡන්ද ලබාගැනීමේ ශක්‍යතාවයක් ඇත්තේ එජාපයට හා පොදුජන පෙරමුණට පමණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෛත්‍රීපාල සිරිසේනගේ බලකේන්ද්‍ර තුළ වුවද ශ්‍රීලනිපයට පළමු තැනට එන්නට ලොකු ඉඩක් ඇති බව නොපෙනේ.

ශ්‍රීලනිපය බෙදී නොතිබුනත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය පළමු තැනට පැමිණි ප්‍රදේශ වල වැඩිම ඡන්ද ලබා ගැනීමට ඉඩ තිබෙන්නේ එජාපයයි. එහෙත්, එජාපයට පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසය පළමු තැනට පැමිණි ප්‍රදේශ වල වැඩිම ඡන්ද ලබා ගැනීමටනම් එම ප්‍රදේශ වලදී පොදුජන පෙරමුණ අභිබවන්නට සිදු වේ. එජනිසයේ ඡන්ද පදනම සමස්තයක් ලෙස තරමක් අඩු වීමට ඇති ඉඩකඩ පැත්තකින් තිබ්බොත්, මෙහිදී වැදගත්ම සාධකය වන්නේ මෛත්‍රීපාල පාර්ශ්වයට එජනිස ඡන්ද පදනමින් කොපමණ හිමිවේද යන්නයි.

මේ ප්‍රමාණය එජනිස ඡන්ද වලින් 30-35%ක් පමණ වන්නට බොහෝ දුරට ඉඩ ඇති අතර එම ඡන්ද වලින් 65-70%ක් පමණ පොදුජන පෙරමුණ වෙත කැඩී යන්නට ඉඩ තිබේ. එහෙත්, ශ්‍රීලනිපය තනිව තරඟ නොකර එජාපය සමඟ සන්ධානගත වූයේනම් බොහෝ විට එජනිස ඡන්ද 80-85% පමණම පොදුජන පෙරමුණ වෙත යන්නටත් 15-20%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණක් එජාප-ශ්‍රීලනිප සන්ධානය වෙත ලැබෙන්නටත් ඉඩ තිබුණේය.

ශ්‍රීලනිප හා එජාපය වෙනම තරඟ කරද්දී, එජාපය හා එජනිසය අතර පාර්ලිමේන්තු මැතිවරණයේදී වූ ඡන්ද පරතරය නැති වී එජාපය මුල් තැනට එන්නටනම්, අඩු වශයෙන් එම ඡන්ද වෙනසට සමාන ඡන්ද ප්‍රමාණයක් ශ්‍රීලනිපය වෙත ලැබිය යුතුය. එහෙත්, එජාප හා ශ්‍රීලනිප සන්ධානගත වූයේනම් ඒ සඳහා අවශ්‍ය වන්නේ පෙර කී ඡන්ද වෙනසින් අඩක් පමණි. ඒ, මෙහිදී පොදුජන පෙරමුණේ ඡන්දයක් අඩුවීමත් එජාප-ශ්‍රීලනිප පෙරමුණේ ඡන්දයක් වැඩිවීමත් යන කරුණු දෙකම එකවර සිදුවන බැවිනි. කෙසේ වුවත්, මේ අවස්ථා දෙකේදී ඡන්දදායකයින් හැසිරෙන්නට ඉඩ ඇති ආකාරයන්ගේ වෙනස්කම් සැලකූ විට මේ විකල්ප දෙකේ වැඩි වෙනසක් ඇති බවක් නොපෙනේ.

පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසය මුල් තැනට පැමිණි දිස්ත්‍රික්ක අටෙන් පහකදීම එජනිසය හා එජාපය අතර වූයේ 8% නොඉක්මවූ ඡන්ද ප්‍රතිශතයකි. මේ ඡන්ද ප්‍රතිශතය මෙවර මැතිවරණයේදී ශ්‍රීලනිපය විසින් ලබා ගන්නා බව ඉතා පැහැදිලි කරුණකි. එමෙන්ම, එජාපය මුල් තැනට පැමිණි දිස්ත්‍රික්ක වල එජනිසය මුල්තැනට පැමිණි ආසන වල (උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ප්‍රදේශ වල) පැවති ඡන්ද ප්‍රතිශතයද මීට වඩා විශාල නැත.

කෙසේ වුවද, හම්බන්තොට, මාතර හා මොනරාගල දිස්ත්‍රික්ක වලදී එජනිසය පිළිවෙලින් 18.2%කින්, 13.4%කින් හා 10.6%කින් එජාපයට වඩා ඉදිරියෙන් සිටියේය. මේ පරතරය නැති නොවන්නටනම් පොදුජන පක්ෂය විසින් එජනිස ඡන්ද පදනමෙන් පිළිවෙලින් 2/3ක්, 3/4ක් හා 4/5ක් ආකර්ෂණය කර ගත යුතුය. මාතර හා මොනරාගල කෙසේ වුවත් අඩු වශයෙන් හම්බන්තොටදී පොදුජන පෙරමුණට කොට්ඨාශ කිහිපයක වැඩිම ඡන්ද ලබා ගන්නට හැකි වන්නට ඉඩ තිබේ. එය වැළැක්විය හැක්කේ ශ්‍රීලනිපයට එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 35%ක් රඳවාගත හැක්කේනම් පමණි. මෙය සිදුවන්නට හෝ නොවන්නට පුළුවන. අනෙක් අතට එජාපය හා ශ්‍රීලනිපය හවුලේ ඡන්දයට ඉදිරිපත් වුවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ කිහිපයක වැඩිම ඡන්ද එම හවුලට නොලැබී යාමේ අවදානම නැති වන්නේ නැත. ඒ හැරුණු විට, මේ මැතිවරණයේදී සිංහල බහුතරයක් සිටින අනෙකුත් ප්‍රදේශ වල මුල් තැනට එන්නට එජාපයට බාධාවක් ඇති බවක් නොපෙනේ.

රනිල්-මෛත්‍රී සන්ධානගත වීම හා නොවීම යන විකල්ප දෙකේ වෙනස කැපී පෙනෙන්නේ අලුත් ක්‍රමයට මන්ත්‍රී ධුර බෙදී යන ආකාරය පරීක්ෂා කිරීමේදීය.

මෙය පැහැදිලි කර ගැනීම සඳහා උදාහරණයක් ලෙස අපි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ගනිමු. අලුත් බෙදීම අනුව, එහි කොට්ඨාශ මන්ත්‍රීධුර 13කි. ඊට අමතරව ලැයිස්තුවෙන් අවම වශයෙන් තවත් මන්ත්‍රීවරු 8 දෙනෙකු පත් විය යුතු අතර මැතිවරණ ප්‍රතිඵලය අනුව මේ ගණන ඉහළ යා හැකිය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තිස්සමහාරාම ආසනය තුළ ඡන්ද බෙදී ගියේ පහත පරිදිය.

එජනිස- 51.31%
එජාප- 38.66%
ජවිපෙ- 9.65%
වෙනත්- 0.38%

මෙවර තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ එජාප හා ජවිපෙ ඡන්ද ප්‍රතිශත මේ ගණන් වලට වඩා වැඩි වන්නට ඉඩ තිබේ. අපි ඒ බව අමතක කර, එජාප හා ජවිපෙ ඡන්ද ප්‍රතිශත එසේම තිබෙනු ඇති බවත්, එජනිස ඡන්ද වලින් 2/3ක් පොදුජන පෙරමුණටත් ඉතිරි 1/3 ශ්‍රීලනිප වෙතටත් යනු ඇතැයි උපකල්පනය කරමු. එවිට ඡන්ද බෙදීම පහත පරිදිය.

එජාප- 38.66%
පොපෙ- 34.21%
ශ්‍රීලනිප- 17.10%
ජවිපෙ- 9.65%
වෙනත්- 0.38%

මේ ආකාරයෙන් සමස්ත ඡන්ද බෙදී ගියොත් බොහෝ විට එජාපයට තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොට්ඨාශ 13 තුළම වැඩි ඡන්ද ලබා ගැනීමට හැකි වේ. ඒ අනුව, එජාපයට මන්ත්‍රීධුර 13ක් හිමි වේ. සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීධුර 21 බෙදී යා යුත්තේ පහත පරිදිය.

එජාප- 8
පොපෙ- 7
ශ්‍රීලනිප- 3
ජවිපෙ- 2

එහෙත්, එජාපය දැනටම මන්ත්‍රීධුර 13ක් හිමි කරගෙන ඇති නිසා මුළු මන්ත්‍රීධුර ගණන 25 දක්වා ඉහළ යයි. ඒ මෙසේය.

එජාප- 13
පොපෙ- 7
ශ්‍රීලනිප- 3
ජවිපෙ- 2

මේ අනුව මුළු ඡන්ද වලින් 38.66%ක් පමණක් ලබාගත් එජාපය ශ්‍රීලනිපය නැතුවම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බහුතර බලය ලබාගෙන තිබේ.

යම් හෙයකින් ශ්‍රීලනිපය එජාපය හා එක්ව තරඟ කර ශ්‍රීලනිප ඡන්ද සියල්ලම එජාපයට එකතු වුවහොත් සිදුවන්නේ කුමක්ද?

එවිට ඡන්ද ප්‍රතිශත පහත පරිදිය.

එජාප/ශ්‍රීලනිප - 55.76%
පොපෙ- 34.21%
ජවිපෙ- 9.65%
වෙනත්- 0.38%

මෙහිදී, කොට්ඨාශ මන්ත්‍රීධුර 13ම එජාප-ශ්‍රීලනිප හවුලට හිමිවනු ඇති අතර නාමයෝජනා පිළියෙළ කරන විට එයින් 2ක් හෝ 3ක්වත් ශ්‍රීලනිපයට ලබා දෙන්නට එජාපයට සිදුවනු ඇත. දැන් සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීධුර බෙදීයන්නේ පහත පරිදිය.

එජාප/ශ්‍රීලනිප - 11
පොපෙ- 7
ජවිපෙ- 2

එහෙත්, එජාප-ශ්‍රීලනිප හවුල මන්ත්‍රීධුර 13ක් දැනටමත් ලබාගෙන ඇති නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ අවසන් සංයුතිය පහත පරිදි වනු ඇත.

එජාප/ශ්‍රීලනිප - 13
පොපෙ- 7
ජවිපෙ- 2

හවුලේ ඉල්ලා එජාපයට හා ශ්‍රීලනිපයට ලැබී ඇත්තේ මන්ත්‍රීධුර 13ක් පමණි. එහෙත්, වෙන වෙනම ඉල්ලුවානම් මේ පක්ෂ දෙකට මන්ත්‍රීධුර 16ක් ලැබෙනු ඇත. අවස්ථා දෙකේදී උපකල්පිත එජාප-ශ්‍රීලනිප හවුලකට ප්‍රතිපක්ෂ පොදුජන පෙරමුණේ හා ජවිපෙ මන්ත්‍රීධුර ගණන් වෙනස් වී නැත. ඒ අනුව, වෙන්ව තරඟ කිරීම නිසා, එජාප-ශ්‍රීලනිප  පක්ෂ දෙක එකතුව ලබාගන්නා මන්ත්‍රීධුර ගණන මුළු මන්ත්‍රීධුර ගණනේ ප්‍රතිශතයක් ලෙස 59% සිට 64% දක්වා ඉහළ යයි. ඒ මේ පක්ෂ දෙකේ ඡන්ද ප්‍රතිශත වල එකතුව 55.76% පමණක්ව තිබියදීය.

යම් හෙයකින් එජනිස ඡන්ද වලින් 80%ක්ම පොදුජන පෙරමුණට ලැබී සියලුම කොට්ඨාශ වල වැඩි ඡන්ද එම පක්ෂය විසින් හිමි කර ගත්තොත් සිදුවන්නේ කුමක්ද?

එවිට ඡන්ද බෙදී යන්නේ පහත පරිදිය.

පොපෙ- 41.05%
එජාප- 38.66%
ශ්‍රීලනිප- 10.26%
ජවිපෙ- 9.65%
වෙනත්- 0.38%

සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීධුර පහත පරිදි බෙදී යයි.

පොපෙ- 8
එජාප- 8
ශ්‍රීලනිප- 2
ජවිපෙ- 2

එහෙත්, කොට්ඨාශ සියල්ල ජයග්‍රහණය කර ඇත්තේ පොදුජන පෙරමුණ නිසා අවසන් සංයුතිය පහත පරිදි වේ.

පොපෙ- 13
එජාප- 8
ශ්‍රීලනිප- 2
ජවිපෙ- 2

මේ අවස්ථාවේදී, මුළු ඡන්ද වලින් 41.05%ක් ලබාගත් පොදුජන පෙරමුණට වෙනත් කිසිදු පක්ෂයක උදවු නොලබා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්නට ඉඩ ලැබේ.

එහෙත්, මේ අවස්ථාවේදී එජාප-ශ්‍රීලනිප හවුලක් තිබුණානම් පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර ගණන 13 සිට 8 දක්වා අඩුවී එජාප-ශ්‍රීලනිප හවුලේ මන්ත්‍රීධුර ගණන 10 සිට 13 දක්වා ඉහළ යනු ඇත. ඒ අනුව, එජාප-ශ්‍රීලනිප හවුලට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්නට ඉඩ ලැබෙනු ඇත.

යම් හෙයකින් එජනිස ඡන්ද වලින් 75%ක් පමණ පොදුජන පෙරමුණට ලැබී ඉතිරිය ශ්‍රීලනිපයට ලැබුණොත් මේ දෙක අතර අතරමැදි තත්ත්වයක් ඇති වී කොට්ඨාශ මන්ත්‍රීධුර 13 එජාපය හා පොදුජන පෙරමුණ අතර බෙදී යා හැකිය. එවිට එජාපයේ හා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශත ආසන්නව සමාන නිසා කොට්ඨාශ මන්ත්‍රීධුරද බොහෝ දුරට ආසන්න ලෙස, එනම්, 6:7 හෝ 5:8 ලෙස බෙදී යනු ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ මන්ත්‍රීධුර බෙදී යන්නේ පහත පරිදිය.

පොපෙ- 8
එජාප- 8
ශ්‍රීලනිප- 3
ජවිපෙ- 2

මේ තෙවන අවස්ථාවේදී එජාපයට හෝ පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවිය නොහැකි වන අතර ශ්‍රීලනිපයට දුරස්ථ පාලකය හිමි වේ.

මෙහිදී තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හා අදාළව සිදුවිය හැකි තත්ත්වයන් තුනක් අපි හඳුනාගත්තෙමු.

1. එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 30-35% පමණ ප්‍රමාණයක් ශ්‍රීලනිපය විසින් ලබාගත්තොත් එජාපයට තනිව බලය පිහිටුවිය හැකිය. ඒ නිසා, මැතිවරණ සන්ධානයකින් එජාපයට විශේෂ වාසියක් නොලැබේ.
2. එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 25% පමණ ප්‍රමාණයක් ශ්‍රීලනිපය විසින් ලබාගත්තොත් එජාපයට ශ්‍රීලනිපය සමඟ හවුලේ බලය පිහිටුවිය හැකිය. මේ අනුව, මැතිවරණ සන්ධානයක් තිබුණද නොතිබුණද සිදුවන්නේ එකම දෙයයි.
3. එජනිස ඡන්ද වලින් 20% පමණ දක්වා ශ්‍රීලනිප ඡන්ද පදනම අඩු වුවහොත්, පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවිය හැකිය. එහෙත්, එජාප-ශ්‍රීලනිප මැතිවරණ සන්ධානයක් තිබුණානම් එම සන්ධානයට බලය පිහිටුවන්නට ඉඩ ලැබිය හැකිව තිබුණි.

මේ අනුව, අඩු වශයෙන් ඉහත 3 වන තත්ත්වය යටතේදී එජාප-ශ්‍රීලනිප සන්ධානයක් තිබීම එජාපයට වාසිදායකය.

කෙසේ වුවද, ඉහත 3 තත්ත්වය ඇති විය හැක්කේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව වැනි සීමිත තැන් කිහිපයකදී පමණි. එනම්, එජනිස කණ්ඩායම් දෙකේ ඡන්ද ප්‍රතිශත එකතුව 50% මට්ටම ඉක්මවන හෝ ඊට ආසන්න හා එජාප ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු වශයෙන් 10%ක් පමණවත් වැඩි තැන් වලදීය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසය විසින් එවැනි වැඩි ඡන්ද පරතරයක් පවත්වාගත් ප්‍රදේශ ලෙස හෝමාගම, කැස්බෑව, ගම්පහ, දොම්පේ, බණ්ඩාරගම, හොරණ, ලග්ගල, බලපිටිය, කරන්දෙණිය, බෙන්තර-ඇල්පිටිය, රත්ගම, හබරාදූව, හක්මන, අකුරැස්ස, කඹුරුපිටිය, දෙවිනුවර, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාමය, ගල්ගමුව, ආනමඩුව, වැල්ලවාය, කලවාන, කොළොන්න මැතිවරණ බලප්‍රදේශ හඳුනාගත හැකිය. මේ ආසන බොහොමයකද එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 20-25% ප්‍රමාණයක්වත්, එනම් මුළු ඡන්ද වලින් 10-12% ප්‍රමාණයක්වත් මෙවර මැතිවරණයේදී ශ්‍රීලනිපය විසින් ලබාගන්නා බව ස්ථිරය. ඒ නිසා, හෝමාගම, කැස්බෑව, ගම්පහ, දොම්පේ, බණ්ඩාරගම, ලග්ගල, බලපිටිය, කරන්දෙණිය, බෙන්තර-ඇල්පිටිය, හක්මන, කලවාන වැනි ආසන වලද කොට්ඨාශ මන්ත්‍රීධුර වැඩි ගණනක් මෙවර එජාපයට හිමි වන්නට ඉඩ තිබේ.

එහෙත්, හොරණ, රත්ගම, හබරාදූව, අකුරැස්ස, කඹුරුපිටිය, දෙවිනුවර, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාමය, ගල්ගමුව, ආනමඩුව, වැල්ලවාය, කොළොන්න වැනි තැන් වලදී පොදුජන පෙරමුණ කොට්ඨාශ මන්ත්‍රීධුර ලබාගැනීම සිදු නොවන්නටනම් එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 35% පමණ, එනම් මුළු ඡන්ද වලින් 18-20% පමණ, ශ්‍රීලනිපය වෙත රැඳිය යුතුය. අකුරැස්ස, කඹුරුපිටිය, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, වැල්ලවාය හා කොළොන්න වැනි තැන් වල එය එසේ නොවන්නට පුළුවන. එහෙත්, එය එසේ එසේ වී එම ප්‍රදේශ වල මුල් තැනට පොදුජන පෙරමුණ පැමිණේනම්, එජාප-ශ්‍රීලනිප සන්ධානගත වුවද තත්ත්වය වෙනස් නොවිය හැකිය.

අවසාන වශයෙන් කිව හැක්කේ එජාප-ශ්‍රීලනිප මැතිවරණ සන්ධානයකින් එම පක්ෂ දෙකෙන් එකකටවත් ලොකු වාසියක් ලැබීමට ඉඩක් නොතිබුණු බවයි.

වාසියක් නැත්නම් එවැනි සන්ධානයක අවාසි තිබේද?

අලුත් මැතිවරණ ක්‍රමය පෙර ක්‍රමයට සාපේක්ෂව පක්ෂයට වඩා පුද්ගලයාට තැන දෙන ක්‍රමයකි. එමෙන්ම, අලුත් කොට්ඨාශ බෙදීම් නිසා සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකටම ග්‍රාමීය මට්ටමේ නායකයින් අලුතින් බිහි කරගන්නට සිදු වී තිබේ. සෑහෙන කලක් විපක්ෂයේ සිටීම නිසා එජාපයේ ග්‍රාමීය නායකයින් ක්‍රමයෙන් ක්ෂය වී ගොස් ඇති අතර ශ්‍රීලනිප ග්‍රාමීය නායකයින් දෙපිලකට බෙදී ඇත. ඒ නිසා, එම පක්ෂ තුනටම අලුත් ග්‍රාමීය නායකයින් බිහි කරගන්නට සිදුවී තිබේ. පළාත් පාලන මැතිවරණ බල ප්‍රදේශ වල කොට්ඨාශ අපේක්ෂකත්වය හරහා මේ පක්ෂ තුනෙන්ම අලුත් පිරිසකට ග්‍රාමීය නායකයින් ලෙස ඉදිරියට එන්නට අවස්ථාව සැලසී තිබේ.

එජාපය හා ශ්‍රීලනිපය සන්ධානගත වුවහොත් කිසියම් පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාශ වලින් යම් ගණනක අපේක්ෂකත්වය ශ්‍රීලනිපයට පිරිනමන්නට එජාපයට සිදුවන අතර ප්‍රධාන වශයෙන්ම එජාප ඡන්ද වල පිහිටෙන් එම අපේක්ෂකයින් ජයග්‍රහණය කරනු ඇත. ඉන්පසුව, මෙවැනි ජයග්‍රාහී අපේක්ෂකයින් එම කොට්ඨාශ තුළ ඡන්ද පදනමක් හදාගෙන බලය තහවුරු කරගැනීම දිගුකාලීනව එජාපයට අවාසියකි. මෙය ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර ගණනක් වෙන් කිරීමට වඩා වෙනස් තත්ත්වයකි. එමෙන්ම, එවිට එවැනි කොට්ඨාශයක එජාප අපේක්ෂකයෙකුට මේ මැතිවරණය හරහා මතු වන්නට ඇති අවස්ථාවද නැති වී යයි. ශ්‍රීලනිපය පැත්තෙන් ගත්තත් එක් පැත්තකින් එජාපයේත්, අනෙක් පැත්තෙන් පොදුජන පෙරමුණේත් දේශපාලන බලය හමුවේ සිය බිම් මට්ටම ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව කැපී පෙනේ. වෙනම තරඟ කිරීම මෙයට උදවුවකි.

මීට අමතරව මෙවර මැතිවරණ සන්ධාන ඇති නොවීමට ප්‍රධානම හේතුවක් වන්නේ දෙකට බෙදුණු එජනිසයේ එක් එක් කණ්ඩායමේ ශක්තිය ගැන කිසිවෙකුටත් නිවැරදි තක්සේරුවක් නොමැති වීමයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරඟ කර තමන්ගේ ශක්තිය හරියටම දැනගැනීම වඩා වැදගත් මැතිවරණයකදී අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ හෙට්ටු කිරීම පහසු කරයි.

මේ සියලු කරුණු අනුව, පළාත් පාලන මැතිවරණ වලට පෙර එජාප-ශ්‍රීලනිප සන්ධානයක් ඇති නොවීම තේරුම් ගත හැකිය. මේ වන විට මෛත්‍රී ප්‍රධාන ශ්‍රීලනිපය හා එජාපය වෙන වෙනම පළාත් පාලන ආයතන වලට තරඟ කරයි. ඒ අතර, මෛත්‍රී පාර්ශ්වය බැඳුම්කර ගනුදෙනුව ඇතුළු ආණ්ඩුවටට එරෙහිව ඇති දූෂණ චෝදනා ඉස්මතු කරයි. මෙයින් අදහස් වන්නේ රනිල් මෛත්‍රී සැබෑ විරසකයක්ද? එසේනම්, මැතිවරණයෙන් පසුව ආණ්ඩුවේ පාර්ශ්ව දෙක දෙමඟක යයිද?

පෙර විස්තර කළ කරුණු අනුව පැහැදිලි වන පරිදි මේ වෙලාවේ එජාපයට අවශ්‍ය වන්නේ එජනිස ඡන්ද හැකිතාක් සමානව පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය අතර බෙදීමයි. මැතිවරණ ප්‍රතිඵල ගණිතය අනුව මෙන්ම දිගුකාලීනවද එජාපයට වාසිදායක වන්නේ එවැනි බෙදීමකි. එමඟින් එජාපයට දිවයිනේ සියලුම සිංහල බහුතර ප්‍රදේශ වල කොට්ඨාශ මන්ත්‍රීධුර හිමිකර ගැනීමට ඉඩ සලසයි. එජනිස ඡන්ද අතිමහත් බහුතරයක් පොදුජන පෙරමුණ වෙත යාම මෙන්ම එසේ නොගොස් ශ්‍රීලනිපය වෙත රැඳීමද එජාපයේ යහපතට හේතු වන්නේ නැත. කෙසේවුවද, ප්‍රායෝගිකව සිදුවන්නට ඉඩ ඇත්තේ ප්‍රදේශ වැඩි ගණනක එජනිස ඡන්ද වලින් වැඩි කොටස මහින්ද පාර්ශ්වයට ලැබීම නිසා මේ වෙලාවේ මේ අපේක්ෂිත තුලනය සිදුවන්නේ මෛත්‍රී පාර්ශ්වය එජනිස ඡන්ද වලින් හැකිතාක් වැඩි ප්‍රමාණයක් ලබාගත් තරමටය.

අනෙක්  අතට, ශ්‍රීලනිපය සමස්තයක් ලෙස මෙවර තෙවන තැනට පැමිණෙන බව පැහැදිලිය. එහෙත්, ඇතැම් තැන් වලදී එම පක්ෂය පොදුජන පෙරමුණ අභිබවා දෙවන තැනට පැමිණෙන්නටත්, තවත් ඇතැම් තැන් වලදී ජවිපෙටද වඩා අඩුවෙන් ඡන්ද ගනිමින් සිවුවන තැනට වැටෙන්නටත් ඉඩ තිබේ. මොනවා කිවුවත් ධුර කාලය අවසානයේදී සම්පූර්ණයෙන්ම දේශපාලනය අතහැර ගෙදරට වී සිටින්නට සූදානමක් ඇති බවක් නොපෙනෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පමණක් නොව ඔහු සමඟ තවදුරටත් රැඳී  සිටින ප්‍රාදේශීය නායකයන්ගේද අනාගතය තීරණය වන්නේ මෙවර ශ්‍රීලනිපය විසින් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය මත නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේද කෙසේ හෝ එජනිස ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමටය. හැකි කමක් ඇත්නම්, මුල් තැනට පැමිණීම කෙසේ වුවත්, පොදුජන පෙරමුණ අභිබවා දෙවන තැනට හෝ එන්නටය.

පසුගිය ජනාධිපතිවරණයට පෙර මහින්ද ආණ්ඩුවේ හොරකම් ගැන විශාල ලෙස කතා කළත් ඒ හොරකම් ඇල්ලුවේ නැති නිසා මෛත්‍රීපාලට මේ මැතිවරණදී මහින්දගේ හොරකම් ගැන නැවත කතා කළ නොහැකිය. එහෙත්, බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කිරීම හරහා ඔහු කරන්නේ ඡන්දදායකයින්ට පසුගිය ආණ්ඩුවේ හොරකම් ගැනද වක්‍ර ලෙස මතක් කිරීමයි.

මෙයින් ශ්‍රීලනිපයට ලැබෙන වාසි කිහිපයකි. එක පැත්තකින් ඔහු පෙන්වන්නට හදන්නේ රනිල් සමඟ ඉන්නේද මහින්ද සමඟ සිටි ආකාරයේම හොරු රැළක් බවයි. අනෙක් අතට ඔහු පෙන්වන්නේ මහින්දගේ හොරකම් අල්ලන්නට ඔහුට ප්‍රමාණවත් ඉඩක් නොලැබුණේ තවත් හොරු කණ්ඩායමක් වන එජාපය නිසා බවයි. මෙසේ පැරණි දූෂණ විරෝධී සටන් පාඨය ප්‍රතිචක්‍රීකරණය කරමින් ඔහු හදන්නේ දූෂණ විරෝධී ඡන්ද තමන්ගේ ගොඩට දමා ගැනීමටය.

කෙසේ වුවත්, සම්ප්‍රදායික ශ්‍රීලනිප පාක්ෂිකයාට පමණක් නොව සම්ප්‍රදායික ග්‍රාමීය එජාප පාක්ෂිකයාටද මහින්දගේ හොරකම් හෝ බැඳුම්කර හොරකම ප්‍රශ්නයක් නොවේ. ඒ නිසා, මේ කණ්ඩායම් හා අදාළව මෛත්‍රීගේ උත්සාහයෙන් වැඩක් වෙන්නේ නැත. නාගරික එජාප ඡන්දදායකයා බැඳුම්කර සිදුවීමට සංවේදී වුවත් එය ඔවුන්ට එජාපයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට හේතුවක් නොවේ. දූෂණ විරෝධයට සංවේදී වන්නේ සාම්ප්‍රදායික එජාප පාක්ෂිකයින් හෝ ශ්‍රීලනිප පාක්ෂිකයින් ලෙස සැලකිය නොහැකි, එහෙත් පසුගිය ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේනටත් මහා මැතිවරණයේදී එජාපයටත් ඡන්දය දුන් නාගරික හා අර්ධ නාගරික ඡන්දදායකයින් පිරිසයි. මේ කොටස ප්‍රමාණාත්මකව විශාල නොවූවත් ඔවුන්ගේ මතය ලංකාවේ දේශපාලනයට තීරණාත්මක ලෙස බලපායි.

මේ වෙලාවේ බැඳුම්කරය ගැන කතා කිරීම සම්ප්‍රදායික එජාප ඡන්ද අඩුවීමට හේතුවක් වන්නේ නැත. ඒ හරහා සිදුවන්නේ යහපාලන ආණ්ඩුව බිහිකිරීම වෙනුවෙන් දායක වුවත් මේ වන විට ආණ්ඩුව සමඟ කළ කිරී සිටින, නිර්පාක්ෂික හෝ දැඩි පාක්ෂිකත්වයක් නැති  ඡන්දදායකයින් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීම හෝ ජවිපෙ වෙත ආකර්ශනය වීම හැකිතාක් වළක්වමින් එම ඡන්ද මෛත්‍රීගේ ශ්‍රීලනිපය තුළ රඳවා ගැනීමයි. එය එජාපයට වක්‍ර වාසියකි.

මැතිවරණයෙන් පසු රනිල්-මෛත්‍රී සම්බන්ධතාවයට කුමක් වෙයිද? ලිපිය දැනටමත් දිග වැඩි නිසා එය අපි පසුව කතා කරමු.

Wednesday, January 10, 2018

අළුත් මැතිවරණ ක්‍රමය


පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ගැන කතා කරන්නට පෙර අලුත් මැතිවරණ ක්‍රමය ගැන පැහැදිලි කිරීමක් කළ යුතුය. පළමුවෙන්ම කියන්නට තිබෙන්නේ මේ අලුත් මැතිවරණ ක්‍රමය, ලංකාවේ සාමාන්‍ය ඡන්දදායකයෙකුට තේරුම් ගැනීමට ඉතා  අපහසු, සංකීර්ණ ක්‍රමයක් බවයි. මෙයට ආසන්නව සමාන මැතිවරණ ක්‍රම තිබෙන්නේ ජර්මනිය, නවසීලන්තය, බොලීවියාව හා ලෙසෝතෝ වැනි සීමිත රටවල් ගණනක පමණක් වන අතර එම රටවලද මේ මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙනු ලැබ විශාල කාලයක් ගත වී නැත. එමෙන්ම, ලංකාවේ ක්‍රමය පෙර කී කිසිදු රටක පවතින ක්‍රමයකට හරියටම සමානද නැත.

තවමත් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මැතිවරණ ක්‍රමය කොට්ඨාශ ක්‍රමයයි. මේ ක්‍රමයේදී කිසියම් මැතිවරණ බල ප්‍රදේශයකින් වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයා තනතුරට තේරී පත් වේ. මෙය දේශපාලන පක්ෂ වලට වඩා අපේක්ෂකයින්ට ප්‍රමුඛත්වය ලැබෙන ක්‍රමයකි.

ලංකාවට සර්වජන ඡන්දය හඳුන්වා දුන් තැන් සිට ජේආර් ජයවර්ධන විසින් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙන තුරු ලංකාවේ මැතිවරණ පැවැත්වුණේ කොට්ඨාශ ක්‍රමයටය. මැතිවරණ හඳුන්වා දුන් මුල් කාලයේදී ලංකාවේ බොහෝ දෙනෙකුට දේශපාලන පක්ෂ එතරම් වැදගත් නොවූ අතර වඩා වැදගත් වූයේ මැතිවරණය සඳහා ඉදිරිපත් වන පුද්ගලයා කවුද යන්නයි. එහෙත්, කාලයත් සමඟ පුද්ගල සාධකය ඉක්මවා පක්ෂ සාධකය ඉස්මතු විය. කොට්ඨාශ ක්‍රමයට පැවැත්වුණු අවසන් පාර්ලිමේන්තු මහ මැතිවරණය වූ 1977 මැතිවරණයේදී එජාප ලකුණින් තරඟ කළ බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුවට ගියේ එම පක්ෂයේ නියෝජිතයා වීම නිසා මිස පුද්ගලයෙකු ලෙස ලැබූ ඡන්ද නිසා නොවේ. එහෙත්, ඉන් පසුව ජේආර්ගේ කාලයේදීම  ඇතැම් තැන් වල කොට්ඨාශ ක්‍රමයට පැවැත්වුණු අතුරු මැතිවරණ වලදීත් පුද්ගල සාධක වලට සැලකිය යුතු තැනක් ලැබුණේය.

ජේආර්ගේ ආණ්ඩුව විසින් හඳුන්වා මුලින්ම දෙනු ලැබූ සමානුපාතික නියෝජන ක්‍රමය තනිකරම පක්ෂයට මුල් තැන දෙන, පුද්ගල සාධකයට කිසිදු වැදගත් කමක් නොතිබුණු ක්‍රමයකි. මේ ක්‍රමය මුලින්ම හඳුන්වා දෙන විට එහි මනාප ගැසීමක් තිබුණේ නැත. එමෙන්ම, මන්ත්‍රීවරයෙකුට පක්ෂය මාරු කිරීමේ හැකියාවක් තිබුණේද නැත. කෙසේ වුවද, 1981 සංවර්ධන සභා මැතිවරණයෙන් පසු, ප්‍රධාන මැතිවරණයක් පවත්වන්නට පෙරම සමානුපාතික නියෝජන ක්‍රමය සංශෝධනය වී පක්ෂය මඟින් තීරණය කරන ලැයිස්තු අනුපිලිවෙල වෙනුවට මනාප ක්‍රමය ආදේශ විය. එමෙන්ම සල්ලන් වීමට අවශ්‍ය ප්‍රතිශතයද 12.5% සිට 5% දක්වා අඩු විය. මනාප ක්‍රමය නිසා පුද්ගල සාධකයට කිසියම් තැනක් ලැබුණත්, කිසියම් ආසනයකට නිශ්චිත මන්ත්‍රී වරයෙකු නොසිටීම මේ ක්‍රමයේ තිබුණු අඩුපාඩුවකි.

ජේආර් ජයවර්ධන විසින් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නේ එජාපයට "සදහටම" බලයේ සිටින්නට එමඟින් ඉඩ ලැබේයැයි අපේක්ෂා කරමිනි. එයට හේතු වුනේ ඒ දක්වා පවත්වා තිබුණු මැතිවරණ වලදී ඡන්ද වැටී තිබුණු රටාවයි. නිදහසින් පසු 1977 දක්වා පැවති මැතිවරණ එකකදී හැර අනෙක් සියලේදීම තනි පක්ෂයක් ලෙස රටේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ලබා තිබුණේ එජාපය වුවත්, කොට්ඨාශ ක්‍රමය යටතේ එජාපයට ආණ්ඩු කරන්නට අවස්ථාව ලැබී තිබුණේ ඒ කාලයෙන් අඩකදී පමණි. යම් හෙයකින් කොට්ඨාශ ක්‍රමය වෙනුවට සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මකව තිබුණේ වීනම් එය එසේ විය නොහැකිව තිබුණි.

සමානුපාතික ක්‍රමයේ උදවුවෙන් එතෙක් පැවති තට්ටුමාරු ආණ්ඩු වෙනස්වීම් රටාව නැවතී එජාපයට වසර දාහතක් බලයේ සිටින්නට ඉඩ සැලසුණේය. එහෙත්, එජාපයේ වාසනා චක්‍රය දිගටම කැරකුණේ නැත. ඉන් පසුව, ඊටත් වැඩි කාලයක් එජාපයට විපක්ෂයේ සිටින්නට සිදු විය.

ඉහළක ඇති ජල ස්කන්ධයක් පහළට වැටීම ප්‍රවාදයක් ඇසුරින් අපට පැහැදිලි කළ හැකිය. ඒ ප්‍රවාදය යොදා ගනිමින් ජල විදුලිය නිපදවීම වැනි ප්‍රයෝජනයක් ගන්නටද පුළුවන. ප්‍රවාදයක් හැදුවා කියා හෝ ප්‍රවාදය යොදා ගනිමින් ජලය සතුව තිබූ ශක්තිය "සූරාකෑවා" කියා ජලය දන්නේ නැත. ඒ නිසා, ජල ස්කන්ධය මේ ක්‍රියාවට එරෙහිව විරෝධතාවයක් හෝ වෙනත් ප්‍රතිචාරයක් දක්වන්නේද නැත.

මිනිසුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරමින්ද මේ අයුරින්ම ප්‍රවාද හදන්නට පුළුවන. ඒ ප්‍රවාද යොදාගෙන මිනිසුන්ගේ තේරීම් මත පදනම් වන ඇතැම් ප්‍රතිඵල වෙනස් කරන්නටද පුළුවන. එහෙත්, අජීවී ජල ස්කන්ධයක් මෙන් නොව මිනිසුන් මෙවැනි වෙනස්කම් වලට ප්‍රතිචාර නොදක්වා සිටින්නේ නැත. මෙය ස්වභාවික විද්‍යාවන්ගේ විධික්‍රම සමාජ විද්‍යාවන්ට ආදේශ කරන්නට යාමේදී ඇති වන ප්‍රශ්නයකි. මැතිවරණ ක්‍රමය වෙනස් කර මැතිවරණ ප්‍රතිඵල වෙනස් කළ හැකි වුවත්, වැඩි කලක් නොයා මේ වෙනස ඡන්දදායකයින්ට අවබෝධ වෙයි. එවිට ඔවුන් ඡන්දය පාවිච්චි කරන රටාවද වෙනස් වෙයි. කොට්ඨාශ ක්‍රමයෙන් සමානුපාතික ක්‍රමයට මාරු වී ටික කලක් යන විට සිදු වුණේද මෙයයි.

දැන් හඳුන්වා දී ඇති ක්‍රමය කොට්ඨාශ ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමයේ මිශ්‍රණයකි. ඊට අමතරව, සල්ලන් අවශ්‍යතා නැති වීම හා කාන්තාවන්ට 25%ක නියෝජනයක් ලබා දෙන්නට උත්සාහ දැරීම වැනි තවත් ලක්ෂණ එයට එකතු වී තිබේ. අලුත් ක්‍රමයේ පෙර වූ බෝනස් ආසනද නැත.

සාමාන්‍යයෙන් මැතිවරණයක ප්‍රතිඵලය අවිනිශ්චිත වුවත් පත්වන නියෝජිතයින් සංඛ්‍යාව නිශ්චිතය. එහෙත්, අලුත් මැතිවරණ ක්‍රමය අනුව පත් වන නියෝජිතයින් ගණනද අවිනිශ්චිතය. බොහෝ මාධ්‍ය වල කතා කරන අට දහස් ගණනක් වූ නියෝජිතයින් ගණන මෙහි අවම සීමාවයි. මැතිවරණ ප්‍රතිඵල පිට වන තුරු පත් වන නියෝජිත සංඛ්‍යාව හරියටම කියන්නට මැතිවරණ කොමසාරිස්ට තබා සක්කරයාගේ පුතා වයිමාටවත් නොහැකිය. සෛද්ධාන්තිකව මේ ගණන නවදහස් හෝ දසදහස් ගණනක් වුවද විය හැකිය. විශේෂයෙන්ම පවතින බල තුලනය අනුව මන්ත්‍රී ධුර ප්‍රමාණය විශාල ලෙස වැඩි වන්නට ඉඩ තිබේ.

මේ මැතිවරණයේදී මුළු නියෝජිත සංඛ්‍යාවෙන් ආසන්න වශයෙන් 60%ක් හෝ අඩු ගණනක් තේරෙන්නේ කොට්ඨාශ ක්‍රමයටය. ආසන්න වශයෙන් 40%ක් හෝ වැඩි ගණනක් තේරෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයටය. නිවැරදිම අනුපාතය මැතිවරණ ප්‍රතිඵල පිටවන තුරු හරියටම කියන්නට නුපුළුවන.

ඉහත අනුපාතය 60:40ට ආසන්න වන තරමට මැතිවරණ ක්‍රමය පූර්ණ සමානුපාතික නියෝජන ක්‍රමයකට ආසන්න වේ. එසේ නොවන විට, මෙය වැඩිම ඡන්ද ලබන පක්ෂයට වාසිදායක ක්‍රමයකි. වෙනත් අයුරකින් කියනවානම්, වැඩිම ඡන්ද ලබන පක්ෂයට මුළු ඡන්ද වලින් 60%කට වඩා ලැබේනම් ඒ පක්ෂයට මේ ක්‍රමය පෙර ක්‍රමයට වඩා අවාසිදායකය. වැඩිම ඡන්ද ලබා ගන්නා අතරම ලැබෙන ඡන්ද ප්‍රතිශතය අඩුවන තරමට අලුත් ක්‍රමය වාසිදායකය.

මැතිවරණ ක්‍රමය සැලසුම් කර ඇති ආකාරය අනුව කාන්තා නියෝජනයේ බරද සෑම දේශපාලන පක්ෂයක් මතම සමානව නොවැටේ. ඡන්ද අනුව ඉදිරියෙන්ම සිටින පක්ෂයට හා පසුපසින්ම සිටින පක්ෂ වලට 25%කට වඩා අඩු කාන්තා නියෝජනයක් පවත්වා ගනිමින් නීතියෙන් ගැලවෙන්නට හැකි වුවත් දෙවැනි තැනට පැමිණෙන දේශපාලන පක්ෂයට බොහෝ විට 25%ක අවම කාන්තා නියෝජනයේ බර දරන්නට සිදු වේ. දැනට පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය 2%ටද අඩුය. ස්වභාවික සමතුලිත තත්ත්වය එසේ තිබියදී, කාන්තා නියෝජනය 25% මට්ටමට කෘතීම ලෙස ඉහළ නැංවීම දේශපාලන පක්ෂයකට විශාල බරක් බව නොකිව මනාය.

නිවැරදි විශ්ලේෂණයක් පිණිස මේ කරුණු ඉරිදිපත් කළත් 25% කාන්තා නියෝජනය පිළිබඳව හෝ අලුත් මැතිවරණ ක්‍රමය පිළිබඳව පෞද්ගලිකව මගේ කිසිදු නිශේධනීය ආකල්පයක් නැති බවද කිව යුතුය.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පෙර ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි නියෝජිතයින් ගණනක් තේරී පත්වනු ඇතත් එය එසේ සිදුවන්නේ ඇතැම් තැන්වල ලියැවී ඇති පරිදි එක් එක් පළාත් පාලන ආයතනයේ නියෝජිතයින් ගණන 40% කින් හෝ වෙනත් එවැනි නිශ්චිත ප්‍රතිශතයකින් ඉහළ දැමීම නිසා නොවේ. ජනගහණ ව්‍යාප්තියේ මෑතකාලීන වෙනස්වීම් සලකමින් එක් එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශය නියෝජනය කළ යුතු මන්ත්‍රීවරුන් ගණන නැවත ගණනය කිරීම නිසාය.

අලුත් ගණනය කිරීම් අනුව කොළඹ මහ නගර සභා බලප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණන 53 සිට 110 දක්වා දෙගුණය ඉක්මවා ඉහළ ගොස් ඇති අතර, අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධුර ගණන 7 සිට 8 දක්වා එකකින් පමණක් වැඩි වී තිබේ. වෙනත් තැන්වලද මේ අයුරින්ම මන්ත්‍රීධුර ප්‍රමාණ වෙනස් කර ඇත්තේ ජනගහණය, භූමි ප්‍රමාණය හා ජන සංයුතිය වැනි කරුණු සලකමින් මිස මෙතෙක් පැවති මන්ත්‍රී ධුර ප්‍රමාණය පදනම් කරගනිමින් නොවේ.

දේශපාලන පක්ෂ විසින් කිසියම් මැතිවරණ බලප්‍රදේශයක ඇති සෑම කොට්ඨාශ හයකින් එකකට කාන්තා අපේක්ෂිකාවක් ඉදිරිපත් කළ යුතු අතර සමානුපාතික නියෝජනයෙන් තෝරා ගැනෙන අපේක්ෂකයින්ගේ ලැයිස්තුවේ දෙදෙනෙකුගෙන් එක් අයෙක් කාන්තාවක් විය යුතුය. හැකි සෑම විටකම 25%ක කාන්තා නියෝජනයක් පවත්වා ගැනීමට උත්සාහ දැරිය යුතු වුවත්, මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 20%කට  අඩුවෙන් ලබාගත් හෝ මන්ත්‍රී ධුර 3කට අඩුවෙන් ලබාගත් දේශපාලන පක්ෂ මේ අවශ්‍යතාවයෙන් නිදහස් වේ. එමෙන්ම, කොට්ඨාශ ක්‍රමයට පිරිමි අපේක්ෂකයින් වැඩි ප්‍රතිශතයක් දැනටමත් පත් වී ඇත්නම් හා එම මන්ත්‍රී ධුර වලින් කිසියම් දේශපාලන පක්ෂයකට හිමි මන්ත්‍රීධුර ගණන දැනටමත් පිරී ඇත්නම් එවිටද අවශ්‍ය කාන්තා නියෝජනය පවත්වා ගැනීමට ඉඩක් නොලැබේ.

මැතිවරණ ක්‍රමය ගැන හොඳින් තේරුම් ගැනීම සඳහා අපට උදාහරණ කිහිපයක් දෙස බැලිය හැකිය.

අක්කරපත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය එහි ජනගහණය මත පදනම්ව කොට්ඨාශ 5කට බෙදා ඇති අතර මේ එක් එක් කොට්ඨාශය නියෝජනය කිරීම සඳහා වැඩිම ඡන්දයෙන් නියෝජිතයෙකු තෝරා පත් වේ. මෙසේ කොට්ඨාශ ක්‍රමයට තේරී පත් වන නියෝජිතයින් ගණන අඩු වශයෙන් මුළු නියෝජිතයින් ගණනෙන් 60%කට සමාන වන පරිදි අවම නියෝජිතයින් ගණන නිර්ණය කෙරේ. මේ ගණන යනු අක්කරපත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කොට්ඨාශ මන්ත්‍රීධුර ප්‍රමාණය 0.6න් බෙදූ විට ලැබෙන පූර්ණ සංඛ්‍යාවයි. මෙය 8.33ක් (=5/0.6) නිසා අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවට කොට්ඨාශ ක්‍රමයට හා සමානුපාතික ක්‍රමයට තේරී පත් වන අවම මන්ත්‍රීවරුන් ගණන 8කි. එහෙත්, ලැබෙන ප්‍රතිඵලයේ ස්වභාවය අනුව මන්ත්‍රීධුර ගණන මීට වඩා වැඩි විය හැකිය.

අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවට කොට්ඨාශ ක්‍රමයට මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පත් වන නිසා සමානුපාතික ක්‍රමයට අවම වශයෙන් මන්ත්‍රීවරුන් 3 දෙනෙකු තේරී පත් විය යුතුය. එක් එක් දේශපාලන පක්ෂය විසින් මේ ප්‍රමාණයට වඩා 3කින් වැඩි ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතු අතර එයින් අඩක් කාන්තාවන් විය යුතුය. මේ අනුව අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරන දෙවන ලැයිස්තුවේ කාන්තාවන් තිදෙනෙකු ඇතුළත්ව 6 දෙනෙකුගේ නම් තිබිය යුතුය. අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවේ කොට්ඨාශ ගණන 6කට අඩු නිසා (අවම මන්ත්‍රීධුර ගණන 10කට අඩු නිසා) කොට්ඨාශ සඳහා කාන්තා නියෝජනයක් තිබීම අනිවාර්ය නැත.

අවසන් වරට පැවති පළාත් පාලන මැතිවරණයේදී අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵලය පහත පරිදි වූවකි.

ජාතික කොන්ග්‍රසය                     2,261 (72.82%)
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය       775 (24.96%)
ස්වාධීන කණ්ඩායම 2                         56 (1.80%)
එක්සත් ජාතික පක්ෂය                        7 (0.23%)
ස්වාධීන කණ්ඩායම 1                           6 (0.19%)
වලංගු ඡන්ද                                       3,105 (100%)

පැරණි ක්‍රමය අනුව මන්ත්‍රීධුර 7න් 6ක් ජාතික කොන්ග්‍රසයටද, ඉතිරි මන්ත්‍රී ධුරය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයටද හිමිවිය. හරියටම සමානුපාතිකව බෙදුවේනම් මන්ත්‍රීධුර ලැබිය යුතුව තිබුණේ 5:2 අනුපාතයට වුවත්, පැරණි ක්‍රමයේ වූ බෝනස් මන්ත්‍රීධුර ක්‍රමය නිසා මේ අනුපාතය 6:1 ලෙස වෙනස් විය. 

යම් හෙයකින් ඉහත මැතිවරණය පැවැත්වුණේ අලුත් ක්‍රමයටනම්, අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධුර 8 බෙදී යන්නේ කොහොමද?

එසේනම් සිදුවනු ඇත්තේ ජාතික කොන්ග්‍රසයට මන්ත්‍රීධුර 6ක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට මන්ත්‍රීධුර 2ක් ලෙස මන්ත්‍රීධුර 8 බෙදී යාමයි. ජාතික කොන්ග්‍රසයට අක්කරපත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති කොට්ඨාශ පහෙන් අවම වශයෙන් තුනක වැඩිම ඡන්ද හිමි වී ඇති බව උපකල්පනය කර තිබේ. බොහෝ විට, එම පක්ෂය ආසන පහේම වැඩිම ඡන්ද ලබා තිබෙනවා විය හැකිය. එමෙන්ම, ජාතික කොන්ග්‍රසයට අවම වශයෙන් එක් කාන්තා මන්ත්‍රීවරියක් ලැයිස්තුවෙන් පත් කරන්නට සිදු වනු අතර ඒ අනුව අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවේ කාන්තා නියෝජනය 25%ක් නොවී 12.5%ක් විය හැකිය.

අලුත් ක්‍රමය අනුව, අක්කරපත්තුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ ඉදිරියෙන්ම සිටින පක්ෂය වන  ජාතික කොන්ග්‍රසයට මුළු මන්ත්‍රීධුර ගණනින් 75%ක් හිමි වේ. මෙය එම පක්ෂය ලැබූ 72.83%ක ඡන්ද ප්‍රතිශතයට බොහෝ ආසන්නය. එහෙත්, පැවති ක්‍රමය යටතේ එම පක්ෂයට මුළු මන්ත්‍රීධුර ගණනින් 85.71%ක් හිමි විය. මේ අනුව, අලුත් ක්‍රමය ජාතික කොන්ග්‍රසයට අවාසිදායකය. මුළු ඡන්ද වලින් 24.96%ක් ලබා ගත්, ඒ වෙනුවෙන් පෙර මෙන් 14.29%ක නියෝජනයක් නොව 25%ක නියෝජනයක් ලැබූ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට වාසිදායකය. ඊට අමතරව කාන්තා නියෝජිතයෙකු පත් කිරීමේ බර වැටී ඇත්තේද ජාතික කොන්ග්‍රසය මතය.

ඉහත උදාහරණයෙන් පෙනෙන පරිදි, කිසියම් මැතිවරණ බලප්‍රදේශයක් තුළ 60% ඉක්මවා ඡන්ද ලබන දේශපාලන පක්ෂයකට පැරණි ක්‍රමයට සාපේක්ෂව අලුත් ක්‍රමය අවාසිදායකය.

දැන් අපි කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට යමු. එහි කොට්ඨාශ ගණන 41ක් වන අතර ඒවායින් 19ක් බහු-නියෝජිත කොට්ඨාශයි. මේ 19න් 13ක් ද්වි-මන්ත්‍රී කොට්ඨාශ බවත්, ඉතිරි 6 ත්‍රි-මන්ත්‍රී කොට්ඨාශ බවත් මගේ අදහසයි. මේ අනුව, එළඹෙන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත් වීමට නියමිත කොට්ඨාශ නියෝජිතයින් ගණන 66කි. මේ ගණන 0.6න් බෙදූ විට ලැබෙන 110 එහි අවම මන්ත්‍රීධුර ගණනයි. ඒ අනුව, ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් අවම වශයෙන් 44 දෙනෙකු තේරී පත් විය යුතුය.

කිසියම් දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් කොළඹ නගර සභාවට ඉදිරිපත් කරන කොට්ඨාශ අපේක්ෂකයින් අතරින් 11 දෙනෙකු (= 66/6) කාන්තා අපේක්ෂිකාවන් විය යුතු අතර සමානුපාතික නියෝජන ලැයිස්තුවේ නම් 47න් (= 44+3) අඩක් (දශම අතහැර), එනම් 23 දෙනෙකු කාන්තාවන් විය යුතුය.

පහතින් ඇත්තේ පසුගිය මැතිවරණයේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලයයි. ඒ වන විට මන්ත්‍රීධුර ගණන 53ක් පමණක් විය.

පක්ෂය      ඡන්ද  මන්ත්‍රීධුර 
එජාපෙ  101,920 43.0% 24 45.28%
එජනිස  77,089 32.5% 16 30.19%
ප්‍රජපෙ  26,229 11.1% 6 11.32%
ශ්‍රීලමුකො  9,979 4.2% 2 3.77%
ප්‍රඑස  7,830 3.3% 2 3.77%
ස්වාධීන 2 4,085 1.7% 1 1.89%
ජවිපෙ  3,162 1.3% 1 1.89%
ස්වාධීන 1 2,962 1.2% 1 1.89%
ස්වාධීන 9 1,968 0.8% 0 0.80%
ස්වාධීන 8 1,133 0.5% 0 0.46%
වෙනත්  619 0.3% 0 0.25%
වලංගු ඡන්ද  236,976 100.0% 53 100.00%

ඉහත මැතිවරණය පැවැත්වුණේ අලුත් ක්‍රමයටනම් මන්ත්‍රීධුර බෙදී යා හැකිව තිබුණේ කෙසේද?

එජාපෙ ලබා ඇති ඡන්ද ප්‍රතිශතය අනුව සමානුපාතිකව එම පක්ෂයට හිමිවිය යුත්තේ මන්ත්‍රීධුර 47ක් පමණි. එහෙත්, කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොට්ඨාශ මන්ත්‍රීධුර 66න් සියල්ලම හෝ ඉතා ආසන්න ගණනක වැඩි ඡන්ද එම පක්ෂයට හිමි වී තිබුණා වන්නට ඉඩ තිබේ. එසේ වී නම්, එම පක්ෂය දැනටමත් ඔවුන්ගේ සමානුපාතික කෝටාව ඉක්මවා මන්ත්‍රීධුර හිමි කරගෙන අවසානය. ඒ නිසා, එජාපයට ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කරන්නට ඉඩක් නැත. එමෙන්ම, එම පක්ෂයට වැඩියෙන් ලැබුණු මන්ත්‍රීධුර 19 කිසියම් අයුරකින් සමතුලිත විය යුතුය.

එජාපය වැඩියෙන් ලබාගත් ආසන වල මිල මුලින්ම ගෙවන්නට වෙන්නේ "කොට වලින්" ගොඩ යන්නට බලා සිටි කුඩා පක්ෂ වලටය. ඔවුන්ට මන්ත්‍රීධුර නොලැබී යයි. මේ මඟින් මන්ත්‍රීධුර 6ක් අඩු කළ හැකි වුවත්, ඉතිරි මන්ත්‍රීධුර 13 එසේ අඩු කළ නොහැකිය. ඒ නිසා, සිදුවන්නේ කොළඹ නගර සභාවේ මන්ත්‍රීධුර ගණන 110 සිට 123 දක්වා ඉහළ යාමයි. අවසන් මන්ත්‍රීධුර බෙදීම පහත පරිදිය.

පක්ෂය ඡන්ද  මන්ත්‍රීධුර 
එජාපෙ  101,920 43.0% 66 53.66%
එජනිස  77,089 32.5% 35 28.46%
ප්‍රජපෙ  26,229 11.1% 12 9.76%
ශ්‍රීලමුකො  9,979 4.2% 4 3.25%
ප්‍රඑස  7,830 3.3% 3 2.44%
ස්වාධීන 2 4,085 1.7% 1 0.81%
ජවිපෙ  3,162 1.3% 1 0.81%
ස්වාධීන 1 2,962 1.2% 1 0.81%
ස්වාධීන 9 1,968 0.8% 0 0.00%
ස්වාධීන 8 1,133 0.5% 0 0.00%
වෙනත්  619 0.3% 0 0.00%
වලංගු ඡන්ද  236,976 100.0% 123 100.00%

බෝනස් ක්‍රමය නිසා පැරණි ක්‍රමය යටතේද 43.0%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් එජාපයට මන්ත්‍රීධුර වලින් 45.28%ක් හිමි විය. මෙය වාසියක් වුවත් විශාල වාසියක් නොවීය. එහෙත්, අලුත් ක්‍රමයට එජාපයට මන්ත්‍රීධුර වලින් 53.66%ක් ලැබී තිබේ. අලුත් ක්‍රමය යටතේ කිසියම් මැතිවරණ බලප්‍රදේශයක කොට්ඨාශ සියල්ලේම වැඩි ඡන්ද ලබාගත හැකි දේශපාලන පක්ෂයකට බලය පිහිටුවීම සඳහා අවශ්‍ය වන්නේ 40%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. එම ඡන්ද ප්‍රතිශතය වෙනුවෙන් අවම වශයෙන් මන්ත්‍රීධුර වලින් 50%ක් හිමි වේ.

ඉහත උදාහරණයේ එජාපය විසින් පත් කළ යුත්තේ අවම වශයෙන් කාන්තා මන්ත්‍රීවරියන් 11ක් පමණි. ඒ කොට්ඨාශ ජයග්‍රහණය කර ඇති මන්ත්‍රීවරියන්ය. මෙය 25%ට වඩා අඩු, 16.67%ක ප්‍රතිශතයකි. ප්‍රජපෙ, ශ්‍රීලමුකො, ප්‍රඑස, ස්වාධීන 2, ජවිපෙ, ස්වාධීන 1 යන පක්ෂ හා කණ්ඩායම් විසින් ලබා ඇත්තේ 20%කට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් නිසා ඔවුන් කාන්තා නියෝජිතවරියන් පත් කිරීම අනිවාර්ය නැත. මේ අනුව, 25%ක කාන්තා නියෝජනයේ බර පැටවෙන්නේ දෙවැනි තැනට පැමිණි එජනිසයට පමණි.

අක්කරපත්තුව ප්‍රාදේශීය සභාව හා කොළඹ නගර සභාව උදාහරණ ලෙස ගනිමින් ඉහත විස්තර කළ තත්ත්වයන් එම පළාත් පාලන ආයතන වලට සුවිශේෂී තත්ත්වයන් නොවේ. අලුත් මැතිවරණ ක්‍රමය යටතේ, කිසියම් මැතිවරණ බලප්‍රදේශයක කොට්ඨාශ සියල්ලේම වැඩිම ඡන්ද ලබාගන්නා පක්ෂයට 40%ක ඡන්ද වලින් 50%ක මන්ත්‍රීධුර හිමිකරගෙන වෙනත් පක්ෂ වල උදවු නැතිව බලය පිහිටුවන්නට හැකි වීමත්, කාන්තා නියෝජනය 16.7%කට සීමා කරන්නට හැකි වීමත් මේ අලුත් මැතිවරණ ක්‍රමයේ ලක්ෂණයකි. පවතින දේශපාලන බලතුලනය අනුව, මෙහි වාසිය ලබන්නේ එක්සත් ජාතික පක්ෂයයි. අවාසිය ඉතිරි පක්ෂ අතර බෙදී යයි.

අලුත් මැතිවරණ ක්‍රමය හා එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අතර ඇති සම්බන්ධය ගැනත්, මැතිවරණය හමුවේ දේශපාලන පක්ෂ වල උපාය මාර්ගික හැසිරීම් ගැනත් ඉදිරි ලිපියකින් කතා කරමු.

Monday, January 8, 2018

පුංචි ඡන්දයේ ලොකු ප්‍රතිඵල


අවුරුද්දේ පළමු දින අටම ඉතාම කාර්යබහුල ලෙස ගෙවී ගිය නිසා, ලියන්නට දේවල් කප්පරක් තිබුණත් වියුණුව යාවත්කාලීන කරන්නට ඉසිඹුවක් ලැබුණේම නැත. මහින්ද රාජපක්ෂව පරාජය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කෙරුණු ජනාධිපතිවරණයේ තෙවන සංවත්සරය එළඹෙද්දී, කලකට පසු නැවත වරක් ලංකාවේ දේශපාලන බලතුලනය පරීක්ෂා කෙරෙන පළාත් පාලන මැතිවරණ සඳහා දින නියම වී තිබේ. අලුත් අවුරුද්දේ කතා කරන්නට ඇති මාතෘකා අතරින් පුංචි ඡන්දය ඉදිරියට පැමිණීම නොවැලැක්විය හැකිය.

පළාත් පාලන මැතිවරණ වල ප්‍රතිඵල සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසුන්ගේ ජන ජීවිතයට විශාල බලපෑමක් කරන්නේ නැත. ඒ නිසා, පළාත් පාලන මැතිවරණ ලංකාවේ ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ වලට සාපේක්ෂව ජනතාවගේ හෝ මාධ්‍ය වල අවධානය දිනාගන්නේ නැත. ලංකාවේ මෑතකාලීන පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දදායකයින් විසින් ඡන්දය ප්‍රකාශ කිරීමට දක්වා ඇත්තේද සාපේක්ෂව අඩු උනන්දුවකි.

කෙසේ වුවත්, අනාගතය යනු අතීතයේ සිට වර්තමානය දක්වා කරුණු සිදුවී ඇති ආකාරයේ රේඛීය දිගුවක් නොවේ. කරුණු කිහිපයක්ම නිසා, විශේෂයෙන්ම ප්‍රධාන වෙනස්කම් දෙකක් නිසා, මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල ලංකාවේ අනාගත දේශපාලනයට තීරණාත්මක බලපෑමක් කරන්නට සැලකිය යුතු ඉඩක් තිබේ.

පළමුව, මේ මැතිවරණය පැවැත්වෙන්නේ අලුත්ම හා වෙනස්ම ක්‍රමයකටය. ඉතා සංකීර්ණ ක්‍රමයක් වන මේ අලුත් මැතිවරණ ක්‍රමය ගැන නිසි අවබෝධයක් වැඩි දෙනෙකුට නැති නිසා ඒ හේතුවෙන් සමස්ත ප්‍රතිඵලයට මෙන්ම දිගුකාලීනව ලංකාවේ දේශපාලනයටද සිදුවිය හැකි බලපෑම පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු වී නැත.

දෙවනුව, ලංකාවේ මේ වන විට පවතින දේශපාලන බලතුලනය අඩු වශයෙන් නමසිය හැත්තෑ හතෙන් පසුව මේ අයුරින් පැවතී නැත. පසුව පැහැදිලි කෙරෙනු ඇති පරිදි, මේ දෙවන කරුණ පළමු කරුණට සම්පූර්ණයෙන් පරිබාහිර කරුණක්ද නොවේ.

සාකච්ඡාව ඉදිරියට ගෙනයාමට පෙර ඉහත කරුණු දෙකටද වක්‍ර ලෙස සම්බන්ධ නිරීක්ෂණ කිහිපයක්ද ඉදිරිපත් කළ යුතුය.

1. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු 2015 අගෝස්තුවෙන් පසු වසර දෙකහමාරක කාලය තුළ ලංකාවේ මැතිවරණයක් පැවැත්වී නැත.

2. පළාත් පාලන මැතිවරණ සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙර ලංකාවේ මේ වන විට ඉදිරියෙන්ම සිටින දේශපාලන කණ්ඩායම් තුන ලෙස සැලකිය හැකි එජාප ප්‍රමුඛ එජාපෙ, අලුතින් පිහිටවූ පොදුජන පක්ෂය හා ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය යන බලවේග තුන අතර ඇති විය හැකිව තිබුණු සෛද්ධාන්තික ද්විපාර්ශ්වික මැතිවරණ හවුල් තුනම බිහි වීමේ ඉඩකඩ පිළිබඳ ඉඟි වරින් වර පළ කෙරුණත් එවැනි කිසිදු සන්ධානයක් ඇති වූයේ නැත.

ඉහත නිරීක්ෂණ දෙකම ඉතා පහසුවෙන් පැහැදිලි කළ හැකිය. කෙසේ වුවද, ඊට පෙර අප තරමක් මුලට යා යුතුය.

ලංකාවේ දේශපාලනය තුළ දේශපාලන පක්ෂ වල උපායමාර්ගික හැසිරීම් වල බලපෑම ඇතැම් විට රටේ මිනිසුන්ගේ කැමැත්ත වෙනස්වීමටද වඩා වැඩිය. සාමාන්‍ය භාවිතයේදී "ඩීල්" ලෙස හැඳින්වෙන කොටසද මේ උපායමාර්ගික හැසිරීම් වල කොටසකි.

රාජපක්ෂ පාලනය බිඳ වැටීමට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේද රටේ ඡන්දදායකයින්ගේ හැසිරීමේ සිදු වූ ක්ෂණික වෙනස්වීමකට වඩා රාජපක්ෂ විරෝධී බලවේග වල උපායමාර්ගික හැසිරීමයි. 2015 ජනාධිපතිවරණය සඳහා දින නියම කෙරෙන විට ලංකාවේ දේශපාලන බලය බොහෝ දුරට රාජපක්ෂ පවුල වටා කේන්ද්‍රගතව තිබුණේය යන්න නිවැරදිය. එකිනෙකට විරුද්ධ දේශපාලන අදහස් දරන එජාප හා ජවිපෙ මෙන්ම, දෙමළ හා මුස්ලිම් ජනවාර්ගික ඡන්ද පදනමක් ඇති දේශපාලන පක්ෂත්, ශ්‍රිලනිපයේම ඇතැම් කොටසුත් මේ තත්ත්වය තුළ දැඩි අසහනයකින් සිටියත් ජනාධිපතිවරණය ආසන්න වන තුරුම පෙනෙන්නට තිබුණේ රාජපක්ෂ පාලනය බිඳ නොවැටෙනු ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණයට දින නියම වන විට රාජපක්ෂවාදීන්ට මෙන්ම රාජපක්ෂ විරෝධී කණ්ඩායම් වලටද ආණ්ඩු වෙනසක සේයා පෙනෙන්නට තිබුණේ නැත. රාජපක්ෂවරුන් ප්‍රධාන එජනිස ඡන්ද පදනම ප්‍රධාන වශයෙන්ම සිංහල බෞද්ධ ඡන්දදායකයින් අතර පැතිර තිබූවක් වුවත්, ඒ පදනම සුළු ජාතික ඡන්ද වලින් පරාජය කිරීමට අපහසු තරමේ පුළුල් එකක් විය.

රාජපක්ෂ ආණ්ඩුව තුළ සිට එළියට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම නිසා ඒ වන විට පැවති සමතුලිතතාවය යම් තරමකින් වෙනස් විය. එහෙත්, මෛත්‍රීපාල සිරිසේනගේ පොදු අපේක්ෂකත්වය රාජපක්ෂවාදීන් බිය ගන්වන්නට හෝ රාජපක්ෂවිරෝධීන්ට නිසැක ජයග්‍රහණයක් තහවුරු කරන්නට තරම් ප්‍රමාණවත් වූයේ නැත. අඩු වශයෙන් මෛත්‍රීපාල සිරිසේන සමඟ ආණ්ඩුවෙන් එළියට එනු ඇතැයි අපේක්ෂා කෙරුණු පිරිසෙන් බොහෝ දෙනෙකු එසේ ආණ්ඩුවෙන් එළියට ආවේද නැත. ඒ නිසා, ජනාධිපතිවරණ ප්‍රතිඵල පිටවන තුරුම රාජපක්ෂවාදීන් සිටියේ ජයග්‍රාහී මානසිකත්වයකිනි.

ජනවාරි 8 වෙනසට මුල් වුනේ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස පිල් මාරු කිරීම නිසා වෙනස් වූ සුළු ඡන්ද ප්‍රතිශතය නොවේ. සිංහල බෞද්ධ නාගරික ඡන්ද වල වෙනස්වීම, දශක ගණනක් තිස්සේ භාවිතා නොවුණු උතුරේ ඡන්ද හා සාමාන්‍යයෙන් නොවැටෙන පාවෙන ඡන්ද යම් ප්‍රමාණයකි. මහින්ද රාජපක්ෂ සතුව තිබූ සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ඒ වන විටද නොසෙල්වී තිබුණේය.

උතුරේ ඡන්ද ප්‍රමාණවත් තරම් ප්‍රකාශ වුවහොත් රාජපක්ෂ පාලනය බිඳ වැටෙන බව ගණිතමය යථාර්තයක් වුවත්, ඡන්දයට පෙර රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාව ගැන එජාපයට පැහැදිලි විශ්වාසයක් තිබුණේ නැත. ඊට වසර කිහිපයකට පෙර එජාපය මුල්ව රාජපක්ෂ විරෝධීන් එකතු කරගනිමින් සරත් ෆොන්සේකා යොදා ගෙන කර තිබුණු පරීක්ෂණයද අසමත් පරීක්ෂණයක්ව තිබුණේය. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම හා බදු අඩු කර අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීම වැනි රාජ්‍ය වියදම් තවත් පුළුල් කෙරෙන, තමන්ගේ ආර්ථික වැඩපිළිවෙළට සම්පූර්ණයෙන්ම පටහැනි ඡන්ද පොරොන්දු දීමට එජාපය යොමු වුණේ මැතිවරණ ජයග්‍රහණය ගැන ඒ වන විටද ඔවුන්ට විශ්වාසයක් නොතිබුණු බැවින් මිස රාජපක්ෂ විරෝධී කඳවුරේ සිටි "සමාජවාදීන්ගේ" බලපෑම හේතුවෙන් නොවේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ඒ, ප්‍රධාන වශයෙන්ම එජාපයේත්, දෙවනුව දෙමළ හා මුස්ලිම් ජනවාර්ගිකයින්ගේත්, තෙවනුව ජවිපෙයේත් ඡන්ද වලිනි. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රීලනිප ඡන්ද නොලැබුණු තරම්ය. ශ්‍රීලනිප ඡන්ද අතිමහත් බහුතරය තවදුරටත් ලබාගත්තේ මහින්ද රාජපක්ෂ විසිනි.

එහෙත්, ජනාධිපතිවරණයෙන් පසුව "අමුතු දෙයක්" සිදු විය. මහින්ද රාජපක්ෂ විසින් කැමැත්තෙන්ම ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන වෙත පැවරුවේය. එහෙම වුණේ ඇයි?

එජාප, ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය ඇතුළු ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන සමඟ සිටි කණ්ඩායම් වලට මෛත්‍රීපාල සිරිසේනව යොදා ගන්නට අවශ්‍ය වුණේ මහින්ද රාජපක්ෂව පරාජය කිරීම සඳහා පමණි. බොහෝ විට රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව වන්නට ඇත්තේ ජනාධිපතිවරණයෙන් තෙවසරකට පසුව දැන් සිදු වී ඇති පරිදි, ශ්‍රීලනිපය දෙකඩ කිරීමයි. මහින්ද රාජපක්ෂ විසින් කැමැත්තෙන්ම ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන වෙත නොපැවරුවේනම් ඒ අවස්ථාවේදීම එය සිදු විය හැකිව තිබුණි.

ජනාධිපතිවරණය දක්වාම ශ්‍රීලනිපය තුළ මෛත්‍රීපාල සිරිසේනට සැලකිය යුතු බලයක් නොතිබුණත්, මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ තත්ත්වය වෙනස් වෙමින් තිබුණේය. ඒ නිසා, ඒ අවස්ථාවේදී ශ්‍රීලනිප අයිතිය පිළිබඳ ගැටුමක් ඇති වූයේනම් ශ්‍රීලනිපය දෙකඩ විය හැකිව තිබුණු අතර, එයින් වඩා විශාල කණ්ඩායම තවදුරටත් මහින්ද රාජපක්ෂ සමඟම සිටිය හැකිව තිබුණත්, රාජ්‍ය බලය අහිමි මහින්ද රාජපක්ෂ සමඟ ඉතිරිවන කණ්ඩායම ක්‍රමයෙන් රාජ්‍ය බලය වෙත ආකර්ෂණය විය හැකිව තිබුණේය.

ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රීලනිපය දෙකඩ වෙන්නට හැර එහි ලොකු කෑල්ල අයිති කරගත්තත්, මාස කිහිපයකට පසුව පිහිටුවීමට නියමිතව තිබුණු එජාප ආණ්ඩුවක් හා ශ්‍රීලනිපයේ අනෙක් පාර්ශ්වය නියෝජනය කරන ජනාධිපතිවරයෙකු බලයේ සිටියදී මේ ලොකු කෑල්ල උපයෝගී කරගෙන නැවත රාජ්‍ය බලය ඇල්ලීම පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම, මහින්ද රාජපක්ෂ සමඟ සිටින ශ්‍රීලනිප පිරිස් එසේ සිටින්නේ ඉතා ඉක්මණින් නැවත රාජ්‍ය බලය ලබාගැනීමේ සිහිනය දකිමින් නිසා, එය පමා වන තරමට සිදුවන්නේ මේ කණ්ඩායම තවත් දුර්වල වීමයි.

ඉහත කරුණු සලකා බැලූ විට මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රීලනිප නායකත්වය පිරිනැමීම ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ විසින් ගත් තර්කානුකූල තීරණයකි. ඒ හරහා, රාජ්‍ය බලයේ වාසි තකමින් හෝ දඬුවම් ලැබීමේ තර්ජනය වලක්වා ගැනීමට මහින්ද රාජපක්ෂ හැර දමා ආණ්ඩුවේ පාර්ශ්වයක් සමඟ එකතු විය හැකිව තිබුණු පිරිස් තමන් සමඟ රඳවා ගන්නට මහින්ද රාජපක්ෂට හැකි විය.

අනෙක් පැත්තෙන්, ශ්‍රීලනිප නායකත්වය භාර ගැනීම මෛත්‍රීපාල සිරිසේනටද වාසිදායක තීරණයක් විය. ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රීලනිප නායකත්වය ලබා නොදුන්නේනම් මෛත්‍රීපාල සිරිසේනට ඒ සඳහා සටන් කර ශ්‍රීලනිප පළුවක් ගලවාගන්නට සිදුවන අතර මේ පළුව ශ්‍රීලනිප ලොකු පළුව නොවේ. වඩාත් වැදගත් කරුණ වන්නේ ඒ පොඩි පළුවට වුවද පාර්ලිමේන්තුව තුළ පැවති බලතුලනය සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකිව තිබුණත්, මැතිවරණයකදී ශ්‍රීලනිප ඡන්ද පදනම කෙරෙහි ලොකු බලපෑමක් කළ හැකිව නොතිබීමයි. ඒ වෙලාවේ මෛත්‍රීගේ ශ්‍රීලනිප පිලට කළ හැකිව තිබුණේ ශ්‍රීලනිප ඡන්ද වලින් කිසියම් ප්‍රතිශතයක් කඩමින් මහින්ද පිල දුර්වල කිරීම පමණි.

මහින්ද මෛත්‍රී පිල් ලෙස බෙදුණු ශ්‍රීලනිප කණ්ඩායම් දෙකක් හා එජාපය අතර සිදුව හැකිව තිබුණු මහමැතිවරණ සටනක වාසිය ලැබිය හැකිව තිබුණේ එජාපයටය. එවැනි තත්ත්වයක් යටතේදී, මෛත්‍රී පිළ වෙත කැඩෙන ශ්‍රීලනිපයේ ඡන්ද හේතුවෙන් 2015 අගෝස්තු මැතිවරණයේදී එජනිසය මුල් තැනට පැමිණි දිස්ත්‍රික් ගණනාවක මුල් තැන සමඟ බෝනස් ආසන එජාපයට ලැබීමටත්, ඒ අමතර මන්ත්‍රීධුර කිහිපයේ උදවුවෙන් ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ හෝ සහාය නොලබමින් ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එජාපයට ලැබෙන්නටත් ඉඩ තිබුණේය. එජාපය ඒ අවස්ථාවේදී එවැනි ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවූයේනම්, එජනිසයේ මන්ත්‍රීවරුන් විශාල ගණනක්ද ඒ ආණ්ඩුවට  ස්වේච්ඡාවෙන්ම එකතු විය හැකිව තිබුණේය. එවැනි වාතාවරණයක් යටතේ වුවද, ශ්‍රීලනිප මෛත්‍රී පිල ආණ්ඩුවේ කොටසක් වනු ඇතත් මෛත්‍රීට දැනට තිබෙන හෙට්ටු කිරීමේ හැකියාව නැති වී ඔහු නාමික ජනාධිපතිවරයෙකුගේ තත්ත්වයට පත් විය හැකිව තිබුණේය. එමෙන්ම, මහමැතිවරණයෙන් වැඩි කලක් යන්නට පෙර පවත්වන ප්‍රාදේශීය මැතිවරණ හරහා එජාපය රට පුරා බලය තහවුරු කර ගැනීමද සිදු විය හැකිව තිබුණේය. එසේ වීනම් එය මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන මරණයයි.

මේ අනුව පැහැදිලි වන පරිදි, මහින්ද විසින් මෛත්‍රීට ශ්‍රීලනිපය භාර දීම නිසා ඒ වෙලාවේ මහින්ද-මෛත්‍රී දෙපක්ෂයටම සිදුවුණේ වාසියකි. අප දන්නා පරිදි කොහොමටත් ස්වේච්ඡා ගණුදෙනුවක් සිදුවන්නේ ගණුදෙනුවට එළඹෙන පාර්ශ්ව දෙකටම කිසියම් හෝ වාසියක් ඇත්නම් පමණි. මහින්ද හා මෛත්‍රී අතර සිදු වූ ගණුදෙනුව නිසා අවාසියක් වූයේ එජාපයටය. වඩා නිවැරදිව කියනවානම් එජාපයට සිදු වුණේ ලැබිය හැකිව තිබුණු උපක්‍රමික වාසියක් නොලැබී යාමයි. එහෙත්, ඒ සම්බන්ධයෙන් එජාපයට ඒ අවස්ථාවේදී කළ හැකි දෙයක් තිබුණේද නැත.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප නායකත්වයට පත්වීම නිසා ශ්‍රීලනිපය ඒ වෙලාවේ දෙකඩ වුණේ නැත. ඒ නිසා එජාපයට අගෝස්තු මහමැතිවරණයේදී අපේක්ෂිත වාසිය ලැබුණේද නැත. එහෙත්, ජනාධිපතිවරණයේ සිට ගත වූ මාස අටක කාලය තුළදී පවා එජනිස ඡන්ද පදනම සැලකිය යුතු ලෙස නාය ගියේය. මේ මාස අට තුළ, දකුණේ නාගරික දිස්ත්‍රික්ක වලදී 14-17% පමණ ප්‍රමාණයක්ද, ග්‍රාමීය දිස්ත්‍රික්ක වලදී 19-24% දක්වාද, නැගෙනහිරදී 22-26% දක්වාද, උතුරේදී 30% ඉක්මවාද එජනිස ඡන්ද අඩුවිය.

කෙසේවුවත්, ඉහත කී පරිදි එජනිසයෙන් ගිලිහුණු ඡන්ද වලින් එජාපය වෙත සම්ප්‍රේෂණය වී තිබුණේ සීමිත ප්‍රතිශතයක් පමණි. එජනිසයෙන් ගිලිහුණු ජනවාරි ඡන්ද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේදී එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී තිබුණේ ඉතාමත්ම සුළුවෙනි. මහනුවර, මාතලේ, අම්පාර, කුරුණෑගල හා අනුරාධපුරදී 1-2% ප්‍රමාණයකුත්, ගාල්ල, මාතර හා රත්නපුරේදී 3-4% ප්‍රමාණයකුත්, කෑගල්ලේදී 5% පමණත් මෙසේ එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී තිබුණු අතර හම්බන්තොට, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක වලදී මේ ප්‍රතිශතය 11-12% තරම් ඉහළ අගයක් ගත්තේය. ඉතිරි ඡන්ද භාවිතා වී නොතිබුණේය.

ඉහත නිරීක්ෂණය ලංකාවේ ඡන්ද පක්ෂ අතර මාරු වන සාමාන්‍ය රටාව සමඟ ඉතා හොඳින් ගැලපේ. මැතිවරණ වලදී "පරීක්ෂණ කරන" නාගරික උගත් ඡන්දදායකයින් රැළි ඇති කිරීමට හා වෙනස්කිරීමට පුරෝගාමී කාර්යයක් කළත්, මැතිවරණයකදී සංඛ්‍යාත්මක බලපෑමක් කළ හැකි ප්‍රධානම කණ්ඩායම සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්දදායක පිරිසයි. මේ පිරිස බොහෝ විට ඡන්දය දෙන්නේ රැල්ල හමන අත බලාගෙනය. එය සිදුවන්නේ කිසියම් කාලපමාවක් සහිතවය. සිංහල බෞද්ධ ඡන්දදායකයින්ගේ පාක්ෂිකත්වය වෙනස්වන සාමාන්‍ය රටාව පහත පරිදි විස්තර කළ හැකිය.

1. පවුලකට කිසියම් පාක්ෂිකත්වයක් තිබේ. මෙය එක්කෝ එජාපයයි. නැත්නම් ශ්‍රීලනිපයයි. මේ පාක්ෂිකත්වය වෙනස් වන්නේ ඉතා හෙමිනි. (පවුලේ තරුණ සාමාජිකයින් මේ පාක්ෂිකත්වය තුළ රැඳී නොසිටින්නට පුළුවන.)

2. තමන්ගේ පක්ෂය දිනන්නට ඉඩ වැඩිනම් පාක්ෂිකයෝ සියල්ලෝම වාගේ ඡන්දය භාවිතා කරති. තමන්ගේ පක්ෂය පරදින්නට ඉඩ වැඩිනම් පාක්ෂිකයන්ගෙන් සැලකිය යුතු කොටසක් ඡන්දය භාවිතා නොකරති.

3. බොහෝ විට එපාප හා ශ්‍රීලනිප පාක්ෂිකත්වයන් ඇති කණ්ඩායම් දෙකේම පූර්ව උපකල්පනය වන්නේ දැනට බලයේ සිටින පක්ෂයම ජයග්‍රහණය කරනු ඇති බවයි. එහෙත්, ආණ්ඩුව වෙනස් වෙන්නට යන බව නාගරික ඡන්දදායකයින්ට ග්‍රාමීය ඡන්දදායකයින්ට වඩා කලින් තේරේ.

4. ආණ්ඩු මාරුවක් සිදු වූ විට බොහෝ ඡන්දදායකයින්ට තමන්ගේ උපකල්පනය වැරදුනු බව තේරුම් යයි. ඒ නිසා, ආණ්ඩු මාරුවකින් පසුව එන මැතිවරණයකදී බලයට පත් වූ පක්ෂයේ පාක්ෂිකයින්ගේ නොවැටුණු ඡන්ද වැටෙන්නට පටන් ගනී. පැරදුණු පක්ෂයේ පාක්ෂිකයින්ගේ වැටුණු ඡන්ද නොවැටී යන්නට පටන් ගනී.

5. ආණ්ඩුවක් දිගින් දිගටම බලයේ සිටිද්දී පැරදුණු පක්ෂයට ඡන්දය භාවිතා කරමින් සිට පසුව ඡන්දය දීමෙන් වැලකී සිටි අය ක්‍රමයෙන් බලයේ සිටින පක්ෂය වෙත පාක්ෂිකත්වය වෙනස් කරයි. තවදුරටත් පැරදුණු පක්ෂයට ඡන්දය භාවිතා කළ අය ඡන්දය දීමෙන් වැළකෙන්නට පටන්ගනී.

ඉහත රටාවට හේතුද පැහැදිළි කළ හැකි වුවත් මා ඒ සඳහා කාලය මිඩංගු කරන්නේ නැත. වැදගත්ම කරුණ වන්නේ බලයේ සිටින හා දිනන්නට වැඩිම ඉඩක් ඇති පක්ෂයේ ග්‍රාමීය ඡන්ද පදනම ක්‍රමයෙන් ඉහළ යාමත්, කලින් බලයේ සිටි පක්ෂයේ ඡන්ද පදනම ක්‍රමයෙන් පහළ යාමත් සිදුවන බවය. මෙය වෙනස් වන්නේ පළමුව නාගරික ප්‍රදේශ වල ඡන්ද රටාවේ වෙනසක් සිදුවී කලක් ගත වීමෙන් පසුවය. එමෙන්ම, නාගරික ඡන්දදායකයින් විසින් කරන ඇතැම් "පරීක්ෂණ" නිසා ඇති වන රැළි ග්‍රාමීය පෙදෙස් වලට සම්ප්‍රේෂණය වන්නට පෙර එම රැළි වල සැර බාල වී යන අවස්ථාද සුලභය.

පසුගිය අගෝස්තු මැතිවරණයේදී මහින්ද පාර්ශ්වය විසින් මෛත්‍රීව යොදාගත්තේ රාජ්‍ය බලය තවදුරටත් තමන් සතුව තිබෙන බව ග්‍රාමීය ඡන්දදායකයින්ට ඒත්තු ගැන්වීමටය. මැතිවරණය ආසන්නව මෛත්‍රී විසින් ලියූ විවෘත හසුන හා වෙනත් හේතු නිසා ඒ උත්සාහය එතරම් සාර්ථක වූයේ නැත. 2015 ජනවාරි සිට අගෝස්තු දක්වා ගත වූ මාස අට තුළදී එජනිස ඡන්ද ප්‍රමාණය ලක්ෂ 58ක සිට ලක්ෂ 47ක් දක්වා පහත බැස්සේය. ඉතා සුළු වශයෙන් වුවත්, එජාපයේ ඡන්ද පදනම ඉහළ ගියේය.

ආණ්ඩුවක ජනප්‍රියත්වය බොහෝ විට බලයට පත්වී දෙවසරකට පමණ පසුව අඩු වන්නට පටන් ගනී. ඒ නිසා, ප්‍රධාන මැතිවරණයකින් බලයට පත්වන ආණ්ඩුවක් බොහෝ විට උත්සාහ ගන්නේ හැකි ඉක්මණින් ප්‍රාදේශීය මැතිවරණ පවත්වා තමන්ගේ බලය තහවුරු කර ගැනීමටය. එහෙත්, එජාපය එසේ නොකරමින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කල් යවමින් සිටියේය. ඒ ඇයි?

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කල් යැවීමට එජාපයට අඩු වශයෙන් උපාය මාර්ගික හේතු දෙකක් තිබුණේය. පළමුව, අපේක්ෂා කළ පරිදි මහා මැතිවරණයට පෙර සිදු නොවුණත්, ශ්‍රීලනිපය දෙකඩ වීම ඉදිරි කාලය තුළ අනිවාර්යයෙන්ම සිදු වන බව එජාපය දැන සිටියේය. දෙවනුව, අලුත් මැතිවරණ ක්‍රමය හරහා එජාපයට වාසිදායක පිටියක් නිර්මාණය කර ගත හැකිව තිබුණේය. (දෙවන කරුණ පසුව විස්තරාත්මක ලෙස පැහැදිලි කෙරෙනු ඇත.) මේ දෙකම මේ වන විට සිදුවී තිබේ.

එජාපයට ඉහත වාසි ලැබෙද්දී එජාපයේ ජනප්‍රියත්වය විශාල ලෙස පහත වැටී ඇති බව ඇතැම් අය කියන්නට පුළුවන. එහෙත්, මැතිවරණ ප්‍රතිඵලයකට ඇති බලපෑම සැලකූ විට පෙනෙන්නේ වෙනස් තත්ත්වයකි.

යහපාලන ආණ්ඩුව පත් කර ගන්නට මහන්සි වූ, දූෂණ විරෝධය ප්‍රමුඛ කරගෙන කටයුතු කළ නාගරික ඡන්දදායකයින් අතර යහපාලන ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී ඇති බව ඇත්තකි. ඔවුන්ට අනුව ආණ්ඩුව කලින් කියූ ලෙස හොරු අල්ලා දඬුවම් කර නැතුවා පමණක් නොව, බැඳුම්කර ගණුදෙනුව හරහා ඔවුන් වෙත තැබූ විශ්වාසය පලුදු කරගෙනද ඇත. අන්තර්ජාලය නිතර පරිශීලනය කරන, මේ වියුණුව ඇතුළු අන්තර්ජාල වියුණු සටහන් කියවන නාගරික පාඨකයින් බොහෝ දෙනෙක් ඉන්නේ මේ ගොඩේ වුවත්, මේ පිරිසට ලංකාවේ මැතිවරණයකදී ප්‍රමාණාත්මකව විශාල බලපෑමක් කළ නොහැකිය. එවැනි, බලපෑමක් කිරීමේ හැකියාව ඇති ග්‍රාමීය ඡන්දදායකයින්ට බැඳුම්කර ගණුදෙනුව හෝ හොරු නොඇල්ලීම විශාල ප්‍රශ්න නොවේ. හැන්ද ඇති අය බෙදාගැනීම හා ආණ්ඩුවේ ලොක්කන් හොරකම් කිරීම ඔවුන්ගේ ඇඟටම පත්තියම් වී ඇති "කවුරුත් දන්නා" සාමාන්‍ය දේවල් මිස මැතිවරණයක් ආසන්නව තිගැස්මක් ඇති කරවන දේවල් නොවේ. පොල් මිල ඉහළ යාම වැනි සිල්ලර ප්‍රශ්නයක් ඔවුන්ට ඊට වඩා විශාල ප්‍රශ්නයකි.

ආණ්ඩු බලය ශ්‍රීලනිපයෙන් එජාපය වෙත මාරු වූ බව අගෝස්තු මහමැතිවරණය වන විටද ලංකාවේ ග්‍රාමීය ඡන්දදායකයින් බොහෝ දෙනෙකුට දැනී නොතිබුණේය. එහෙත්, මේ වන විට බොහෝ දෙනෙකුට ඒ අවබෝධය ලැබී ඇති අතර වසර දෙකහමාරක් යනු ලංකාවේ ග්‍රාමීය ඡන්දදායකයාට සිය පාක්ෂිකත්වය මාරු කිරීම සඳහා හිත හදාගන්නට ප්‍රමාණවත් කාලයකි. රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළ ගොස් ඇති අතර, මිල වැඩි බවට කවදත් නැගෙන මැසිවිලි අඩුවක් නැතත් බඩු මිල සාපේක්ෂව ස්ථාවරව පවතී. ඩොලරය ඉහළ යාමේ වාසියද අපනයන කර්මාන්ත වල නියැලෙන හා ශ්‍රමික ප්‍රේෂණ වලින් යැපෙන ග්‍රාමීය පවුල් වලට ලැබී තිබිය යුතුය. ලංකාවේ ග්‍රාමීය ඡන්දදායකයින්ට ආණ්ඩුව එපා වෙන්නට තරම් මහා පරිමාණ හානියක් ආණ්ඩුවෙන් මෙතෙක් සිදු වී නැත. ඒ නිසා, පසුගිය වසර දෙකහමාර තුළ ග්‍රාමීය ඡන්ද වෙනස් වී ඇත්තේ සුළු වශයෙන් හෝ එජාපයේ වාසියට හා ශ්‍රීලනිපයේ අවාසියට මිස අනෙක් අතට නොවේ.

අනෙක් අතට ආණ්ඩුව සමඟ සිටි නාගරික ඡන්දදායකයින් රැසකට ආණ්ඩුව එපා වී තිබුණත්, මේ ආණ්ඩුව ඉවත්වී පසුගිය ආණ්ඩුවේ ටීම් එක නැවතත් බලයට පැමිණෙනු දැකීම ඔවුන්ගේ අභිප්‍රාය නොවේ. පළාත් පාලන මැතිවරණ වලදී ඔවුන්ගේ හැසිරීම කෙසේ වේදැයි ස්ථිරවම කියන්නට නුපුළුවන. මේ අයගෙන් කොටසක් කලකිරීම් හමුවේ වුවත් තවදුරටත් එජාපය වෙතම ඡන්දය භාවිතා කරනු ඇති අතර, එජාපයෙන් ගිලිහෙන නාගරික ඡන්ද වලින් කොටසක් මෛත්‍රීපාලගේ ශ්‍රීලනිපය විසින් ලබාගනු ඇත. මෛත්‍රීපාල සිරිසේන විසින් නැවතත් දූෂණ විරෝධය කරලියට ගෙනෙන්නේ මෙසේ එජාපයෙන් ගිලිහෙන ඡන්ද රඳවා ගැනීම සඳහාය. ඊට අමතරව, ආණ්ඩුව සමඟ කලකිරී සිටින්නන්ගේ ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ජවිපෙ විසින්ද ලබාගනු ඇත. වැදගත්ම කරුණ වන්නේ යහපාලනය පිහිටුවීම සඳහා දායක වී දැන් ආණ්ඩුව සමඟ කලකිරී සිටින්නන්ගේ ඡන්ද මේ මැතිවරණයෙදී මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණු කරා සම්ප්‍රේෂණය නොවන බවයි.

පසුව වඩා විස්තරාත්මක ලෙස සංඛ්‍යානුසාරයෙන් පෙන්වා දෙනු ඇති පරිදි, එජාපයේ නාගරික ඡන්ද වලින් කොටසක් ගිලිහී ගියත් එජාපයට තව දුරටත් එම ප්‍රදේශ වල වැඩිම ඡන්ද දිනාගැනීම අපහසු නොවනු ඇත. ඒ අතරම, එජාපයට ග්‍රාමීය පෙදෙස් වල වැඩිම ඡන්ද ලබා ගැනීම පහසු කරමින් ශ්‍රීලනිප ඡන්ද වලින් විශාල කොටසක් පොදුජන පෙරමුණ වෙත විතැන් වනු ඇත. මෙහි ක්ෂණික ප්‍රතිඵලය වන්නේ රටේ සිංහල බහුතරයක් සිටින මැතිවරණ බල ප්‍රදේශ අතිමහත් බහුතරයක කොට්ටාශ නියෝජනය එජාපය වෙත හිමි වීමයි.

පළාත් පාලන මැතිවරණ වලින් පසුව ප්‍රධාන දේශපාලන බලවේග තුන අතර කවර ආකාරයේ සන්ධානයක් ඇතිවේද යන්න විවෘත ප්‍රශ්නයකි. ඒ ගැන සාකච්ඡා කිරීමට පෙර කතා කළ යුත්තේ මැතිවරණයට පෙර එවැනි සන්ධාන නොහැදුණේ ඇයිද යන කරුණයි.

මාධ්‍ය වලින් මොනවා කිවුවත් එජාපය හා මහින්ද පාර්ශ්වය අතර මැතිවරණ සන්ධානයක් බිහිවීම අවම සම්භාවිතාවක් තිබුණු දෙයකි. ඒ නිසා, ඒ ගැන කතා කරන්නට වැඩි කාලයක් මිඩංගු කළ යුතු නැත. ඇති වීමට වැඩි ඉඩකඩක් තිබුණේ මහින්ද-මෛත්‍රී සන්ධානයක් හෝ එජාප-මෛත්‍රී සන්ධානයකි. මෙවැනි සන්ධානයක් ඇති විය හැක්කේ එහි පාර්ශ්ව දෙකටම එයින් වාසි ලැබේනම් පමණි.

අලුත් මැතිවරණ පැවැත්වෙන ක්‍රමය අනුව කිසියම් කොට්ටාශයක වැඩිම ඡන්ද ලබන දේශපාලන පක්ෂයට සාපේක්ෂ වාසියක් තිබේ. ඉතා පැහැදිලිවම, පවතින බෙදීම් අනුව, මේ පළාත් පාලන මැතිවරණයේදී සිංහල බහුතරයක් සිටින ප්‍රදේශ අති මහත් බහුතරයක වැඩිම ඡන්ද ලබාගන්නට ඉඩ තිබෙන්නේ එජාපයයි. දෙවෙනි තැනට පත් වන්නට වැඩි ඉඩක් ඇත්තේ මහින්දගේ පොදුජන පෙරමුණයි.

ශ්‍රීලනිපයේ මහින්ද-මෛත්‍රී කණ්ඩායම් එකතු වූයේනම් ඔවුන්ට රටේ ප්‍රදේශ සැලකිය යුතු ගණනක වැඩි ඡන්ද ලබාගැනීමට ඉඩක් තිබුණේය. එහෙත්, මෛත්‍රී කණ්ඩායමට වෙන්ව තරඟ කර පළමු තැනට එන්නට හැකියාවක් ඇත්තේම නැති තරම් වන අතර මහින්ද කණ්ඩායමට වුවද එවැනි හැකියාවක් ඇත්නම් ඒ සීමිත ප්‍රදේශ ගණනක පමණි. ඒ නිසා, මෙවැනි එකතුවක් පැහැදිලිවම මහින්ද පාර්ශ්වයට වාසිදායකය.

යම් හෙයකින් මහින්ද-මෛත්‍රී කණ්ඩායම් එකතු වූයේ වුවද ඔවුන් එකතුව වැඩිම ඡන්ද ලබාගන්නා ප්‍රදේශ ගණනට වඩා වැඩි ගණනක වැඩිම ඡන්ද එජාපය විසින් ලබා ගන්නට ඉඩ තිබේ. මෙය මහින්ද පාර්ශ්වයට ප්‍රශ්නයක් නොවූවත් මෛත්‍රී පාර්ශ්වයට ප්‍රශ්නයකි. රටේ කිසියම් හෝ පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය ලබාගැනීම පොදුජන පක්ෂය විසින් ලැබිය හැකි ජයග්‍රහණයක් වුවත්, රටේ දෙවන තැනට වැටෙන සන්ධානයක දෙවන තැනට වැටෙන්නට මෛත්‍රී පාර්ශ්වයට අවශ්‍ය නැත. ඒ නිසා, මහින්ද-මෛත්‍රී සන්ධානයක් ඇති වුණේද නැත.

එසේනම්, එජාප-මෛත්‍රී සන්ධානයක් ඇති නොවුණේ ඇයි?

අලුත් මැතිවරණ ක්‍රමය ගැනත්, මේ මැතිවරණයේ අපේක්ෂිත ප්‍රතිඵල ගැනත්,  එජාප-මෛත්‍රී සන්ධානයක් ඇති නොවීමට හේතු ගැනත්, අලුත් මැතිවරණ ක්‍රමය නිසා දිගුකාලීනව ලංකාවේ දේශපාලනය තුළ සිදුවිය හැකි වෙනස්කම් ගැනත් අපි දෙවන කොටසකින් කතා කරමු.