Tuesday, October 17, 2017

සමන්තභද්‍ර හිමි දමනය වුනාද?


පිටිදූවේ සිරිධම්ම නොහොත් සමන්තභද්‍ර හිමි යනු පසුගිය වසර කිහිපය මුළුල්ලේම කලින් කලට පුවත් මැවූ අයෙකි. ඔහු ජනප්‍රිය වන්නට පටන් ගත්තේ සමන්තභද්‍ර වන්නට පෙර සිරිධම්ම කාලයේදීමය. එහෙත්, තමන් රහත් භාවයට පත්ව සිටින බව ප්‍රකාශ කිරීමෙන්  අනතුරුව මේ ජනප්‍රියත්වය විශාල ලෙස ඉහළ ගියේය. මේ කාලය තුළ සමන්තභද්‍ර හිමිගේ ප්‍රසිද්ධිය ඔහුගේ ජනප්‍රියත්වයටත් වඩා වේගයෙන් ඉහළ ගියේය.

සමන්තභද්‍ර හිමි රහත් වී සිටීද යන්න පෞද්ගලිකව මට කිසිසේත්ම වැදගත් කරුණක් නොවේ. එය මට පරීක්ෂා කර නිගමනය කළ හැකි දෙයක්ද නොවේ. වෙනත් අයෙකුට එසේ කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේද නැත. එසේ කිරීමේ හැකියාවක් ඇත්නම් ඒ හැකියාව හේතුවෙන්ම එසේ පරීක්ෂා කරන දෙය රහත් භාවය නොවන වෙනත් දෙයක් බවට පත් වේ.

සමන්තභද්‍ර හිමි යනු එක්තරා ආකාරයක කැරලිකරුවෙකි. ඔහු මේ කැරැල්ල ගැසුවේ ලංකාවේ සියවස් ගණනක් තිස්සේ ස්ථාපිත වී තිබුණු ආයතනික ව්‍යුහයකට විරුද්ධවය. මෙය සටනක් නොවී කැරැල්ලක් වන්නේ ඔහු සටන් කළේ මේ ආයතනික ව්‍යුහය ඇතුළේම සිට මිස එයින් පිටතට බැස නොවූ බැවිනි.

සමන්තභද්‍ර හිමිගේ කැරැල්ලේ පැත්තකට වී බලා සිටින්නට තරම් දෙයක් තිබුණේය.

පිටිදූවේ සිරිධම්ම හිමි යනු විද්‍යා උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව, දැනුම් තේරුම් ඇති තරුණ වයසේදී පැවිදි දිවියට ඇතුළු වූ අයෙකි. මේ වන විට මා පෞද්ගලිකව දැන සිටි ඉංජිනේරු උපාධිධාරීන්ද කිහිප දෙනෙක්ම පැවිදි දිවියට ඇතුලත්ව ජනප්‍රිය ධර්ම දේශකයන්ව සිටියත් දශක කිහිපයකට පෙර විද්‍යා උපාධිධාරියෙකු පැවිදි දිවියට ඇතුළත් වීම හෝ තරුණ වයසේ අය පැවිදි දිවියට ඇතුළු වීම සුලභ සිදුවීම් නොවීය.

මා කුඩා කාලයේ දැන සිටි බොහෝ බෞද්ධ භික්ෂූන් ඉතා කුඩා කාලයේදී පැවිදි දිවියට ඇතුළු වූ අයයි. එසේ නැත්නම්, ගිහි සැප විඳ මහළු වයසේ පැවිදි වූ අයයි. තරුණ වයසේ අයෙකු පැවිදි වීම සිදු වුණේ ඉතා කලාතුරකිනි. අපේ දහම් පාසැලේ භක්ති ගීත කණ්ඩායමට සංගීතය පුහුණු කළ ප්‍රසන්න අයියා (සැබෑ නම නොවේ) මෙසේ තරුණ වයසේදී පැවිදි වූ, එවකට මා දැන සිටි එකම පුද්ගලයාය. ඒ දින වල අසන්නට ලැබුණු පරිදි, ඔහු පැවිදි වීමට හේතු වුනේ පෙම් සබඳතාවක් බිඳ වැටීම නිසා ඇති වූ කලකිරීමයි.

ඒ කාලයේ, මේ අයුරින් කුඩා කාලයේදී පැවිදි වූ බොහෝ හිමිවරුන් උසස් අධ්‍යාපනය ලැබීමට සරසවියට ඇතුළු වුවත් ඒ කලා අංශයකින් මිස විද්‍යා අංශයෙන් නොවේ. එසේ ඇතුළු වූ අයගෙන් විශාල පිරිසක්ද උපාධිය හා රජයේ රැකියාවක් , බොහෝ විට ගුරු පත්වීමක්, ලබා ගැනීමෙන් අනතුරුව, ඇතැම් විට ඊටත් පෙරම, උපැවිදි වූහ. මෙයට ප්‍රධාන වශයෙන්ම ආර්ථික හා සමාජයීය කරුණු මුල් වන්නට ඇති බව කියන්නට බැරි නැතත් වැඩිදුර අධ්‍යාපනයට සමාන්තරව ලැබෙන "විද්‍යාත්මක අවබෝධය" හා පෙර පැවති ආගමික විශ්වාස අතර ගැටුමද මෙයට හේතුවක් වන බව  සිතිය හැකිය.

උපාධියක් ලබා ගැනීමෙන් පසුව, විශේෂයෙන්ම විද්‍යා උපාධියක් ලබාගැනීමෙන් පසුව තරුණයෙක් පැවිදි බිමට පිවිසීම දශක දෙක තුනකට පෙර දැන් තරම්වත් සාමාන්‍ය සිදුවීමක් වූයේ නැත. එවැනි පසුබිමක, විද්‍යා උපාධිධාරී තරුණයෙක් පැවිදි වූ විට ඔහුට පෙනෙන, වෙනත් අයට නොපෙනෙන "සිරා දෙයක්" එහි ඇති බව සිතන්නට බොහෝ දෙනෙකු පෙළඹීම තේරුම් ගන්නට අපහසු නැත. සාමාන්‍යයෙන් බණ අහන්නට උනන්දුවක් නොදක්වන මගේ ඇතැම් මිතුරන් පවා මෙවැනි උපාධිධාරී හා තරුණ වියේදී පැවිදි වූ හිමිවරුන්ට ආකර්ෂණය විය.

මා එක් වරක් පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනයකට සවන් දී තිබේ. ඒ ඔහු සමන්තභද්‍ර වන්නට පෙරය. ඒ කාලයේ ඔහුගේ ධර්ම දේශනා වෙනත් අයගේ ධර්ම දේශනා වලින් වෙනස් වුණේ අන්තර්ගතයේ වූ "විද්‍යාත්මක" ගතිය නිසාය. මේ ධර්ම දේශනා හරහා පිටිදූවේ සිරිධම්ම හිමි වටා පිරිසක් එකතු වුවත්, එසේ එකතු වුනේ විද්‍යාව විශ්වාස කළ අයයි.

විද්‍යාවට හා ආගමික විශ්වාස වලට එක්ව ගමනක් යා හැකි නිශ්චිත සීමාවක් තිබේ. මේ සීමාව විසින් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගමනාන්තයද සලකුණු කළේය. සිරිධම්ම හිමිගේ අනුගාමිකයින්ට (එවැනි ස්ථිර පිරිසක් සිටියේනම්) ඔහුගේ ධර්ම දේශනා තමන්ගේ "විද්‍යාත්මක" විශ්වාස වලට අනුපූරකයක් වූවා මිස විකල්පයක් වුණේ නැත. ඒ නිසා, ලංකාවේ සංඝ සමාජය ප්‍රමුඛ බෞද්ධ ආයතනික ව්‍යුහය සමඟ ඔහුගේ ගැටුමක් තිබුණේද නැත.

පිටිදූවේ සිරිධම්ම හිමි සිරි සමන්තභද්‍ර ලෙස රූපාන්තරණය වන්නේ මෙවැනි පසුබිමකය. මේ සමඟම ඔහු විසින් ප්‍රකාශයට පත් කළේ මෙතෙක් ලංකාවේ බෞද්ධ ආයතනික ව්‍යුහය තුළ කිසිවෙකුට ලඟා කරගත නොහැකි වූ ඉලක්කයක් වූ රහත් භාවය තමන් විසින් ලබාගෙන සිටින බවයි.

සිංහල බෞද්ධයින් යනු නිවන් දකින්නට බලාගෙන සිටින පිරිසකි. එහෙත් ඒ නිවන කොහේවත් පෙනෙන්නට නැත. නිවන් දුටු අය ගැන ඔවුන් අසා ඇතත් එවැනි අය අහල පහළ දකින්නටද නැත. ඒ නිසා, නිවන ගැන එක් එක් පුද්ගලයාට තිබෙන්නේ තමන්ට සාපේක්ෂ අදහසක් පමණි.

අතුරු කතාවක් ලෙස, ඇතැම් අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ නිවන් දකින පුද්ගලයෙකු නොසිටීනම් නිවන් "දකින්නේ" කවුද යන්නයි. ආගමික කරුණු පැහැදිලි කිරීම මගේ වපසරියෙන් පිටත දෙයක් වුවත්, මා මේ සංකල්පය තේරුම් ගන්නා ආකාරය අනුව නිවන් දකින්නේ සෝවාන් වූ පුද්ගලයාය. සෝවාන් වන තුරු පෘතග්ජන පුද්ගලයෙකුට නිවන "දැකිය" නොහැකිය. එතෙක් දුර යා යුත්තේ ශ්‍රද්ධාවෙනි. රහත් වූ පසු "නිවන් සැප විඳින" පුද්ගලයෙක් නැත. ඒ නිසා නිවන් දැකීම යනු සෝවාන් වීම විය යුතුය.

තමන්ට දැකිය නොහැකි, හරියටම නොදන්නා දෙයක් හඹා යන පුද්ගලයෙකුට ඒ සඳහා අවශ්‍ය වන විශ්වාසය ඇති කර ගැනීම පහසු කරුණක් නොවේ. එහෙත්, එසේ කළ හැකි බොහෝ අය සිටිති. පවතින සමාජයට වඩා සාධාරණයයි තමන් විශ්වාස කරන, සුළු පිරිසක් විසින් බහුතරයකගේ කැමැත්ත නොතකා සැලසුම් කරන සමාජයක් කෘතීම ලෙස හදන්නට මහන්සිවන සමාජවාදීන් උදාහරණ ලෙස දැක්විය හැකිය. ලෝකයේ කිසිදිනක පැවතී නැති, සාධාරණ සමාජයක් හදන්නටයයි කියමින් වෙනත් අයගේ නිදහස පැහැරගන්නට එවැනි අය පැකිලෙන්නේ නැත.

කෙසේවුවද, මිනිසුන්ට විශ්වාස අවශ්‍යය. හෘද සැත්කමකට මුහුණ දෙන රෝගියෙකු ජීවිත අවදානමක් ගන්නේ එයින් තමන්ට යහපතක් සැලසෙනු ඇතැයි යන විශ්වාසයෙනි. සරසවියක වෛද්‍ය විද්‍යා හෝ ඉංජිනේරු විද්‍යා පාඨමාලාවක් හැදෑරීම සඳහා සිය ජීවිත කාලයෙන් වසර ගණනාවක් කැප කරන අයෙකු ඒ සඳහා පෙළඹෙන්නේ එමඟින් සිය අනාගත ජීවිතය යහපත් වනු ඇතැයි යන විශ්වාසයෙනි.

සමාජවාදය නිසා අමාරුවේ වැටුණු රටවල් මිස ගොඩ ගිය රටවල් නැතත්, හෘද සැත්කම් අසාර්ථක වී මිය ගිය අය මෙන්ම  සුවය ලැබූ අයද පෙනෙන්නට සිටිති. මිය ගිය ගණනට වඩා සුවය ලබන අය වැඩි බව පෙනෙන්නට තිබේ. වෛද්‍ය විද්‍යා හෝ ඉංජිනේරු විද්‍යා පාඨමාලාවක් හැදෑරීමෙන් පසුවද ජීවිත සාර්ථක කර නොගන්නා අය සිටියත්, එවැනි පාඨමාලාවක් හදාරන බොහෝ දෙනෙකු ජීවිත සාර්ථක කරගන්නා බව පෙනෙන්නට තිබෙන දෙයකි.

ස්වර්ගයේදී ලැබෙන කන්‍යාවන් හෝ මනෝරාජික සමාජවාදී රාජ්‍ය මෙන් නොව සරසවි පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව හෝ හෘද සැත්කමකින් පසු ලැබෙන සාර්ථකත්වය සඳහා උදාහරණ පෙනෙන්නට තිබේ. ඒ නිසා, එවැනි දේවල් ගැන ගැන විශ්වාස කිරීම තමන්ට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම අපහසු අයටද කළ හැකිය.

සමන්තභද්‍ර හිමි විසින් තමන් රහත් භාවයට පත් වූ බව ප්‍රකාශ කිරීම නිසා සිංහල බෞද්ධ සමාජයේ ඇති වූ කම්පනය තේරුම් ගත යුත්තේ මේ සන්දර්භයේය. මෙතෙක් කල් තමන් දැක නැති, දුටු අයෙකුද දැක නැති නිවන පසුපස හඹා ගිය බොහෝ දෙනෙකු ඉදිරිපිට දැන් හදිසියේම තමන්ට දැකිය නොහැකි නිවන දුටු අයෙකු සිටී. මෙය සමාන කළ හැක්කේ සුව කළ නොහැකි  ලෙස සැලකෙන රෝගයකින් සුවය ලැබූ පුද්ගලයෙකු පළමු වරට දකින්නට ලැබීමටය. එහි වැදගත්කම මිනිය නොහැකි තරම්ය.

කෙසේ වුවත් මෙහි පොඩි පරහක්ද තිබේ. ලෙඩා ඇත්තටම සුව වූවාද යන්න වෙනත් අයට පරීක්ෂා කළ නොහැකිය. එයද විශ්වාස කළ යුත්තකි. සමන්තභද්‍රවාදීන් හා සමන්තභද්‍ර විරෝධීන් දෙපිල බෙදෙන්නේ මේ කරුණේදීය.

රහත් භාවය යනු, අර්ථදැක්වීම අනුවම, සාමාන්‍ය පුද්ගලයෙකුට සිය ඉන්ද්‍රිය පද්ධතිය හරහා ග්‍රහණය කරගත නොහැකි සංකල්පයකි. එසේ කළ හැකිනම් එය රහත් භාවය විය නොහැකිය. ඒ නිසා, කෙනෙකුගේ රහත් භාවය වෙනත් අයෙකුට පරීක්ෂා කළ නොහැකිය. මේ සංකල්පීය උගුලේ වාසිය සමන්තභද්‍ර හිමියන්ට ලැබුණේය. ටික කලකට පෙර සමන්තභද්‍ර හිමිගේ රහත් භාවය පරීක්ෂාවට ලක් කරන්නට ගිය සංසරණී බ්ලොග් අඩවිය ලියන අතුල සිරිවර්ධන වැනි අය මේ උගුලේ හිරවුණේය. සමන්තභද්‍ර හිමිගේ ප්‍රකාශය විශ්වාස කළේයැයි සිතිය නොහැකි බොහෝ බෞද්ධ භික්ෂූන් ඔහුට අභියෝග කරන්නට පෙරට නොපැමිණියේ උගුලේ ස්වභාවය ගැන මනා අවබෝධයක් තිබුණු නිසායැයි සිතිය හැකිය.

සියවස් ගණනක් තිස්සේ නිවන සොයා යන්නට පුහුණු කර ඇති සමාජයක් තුළ නිවන සාක්ෂාත් කරගත් අයෙකු හොයා ගන්නට ඉල්ලුමක් ඇතිවීම ස්වභාවිකය. සිංහල බෞද්ධ සමාජය විසින් කලින් කලට නිවන් මාර්ගයට පිවිසි අයෙකු ලෙස තමන් විසින් හඳුනා ගන්නා සංකල්පීය පුද්ගලයා සමඟ ආසන්න ලෙස සමපාත වන පුද්ගලයින් වෙත සෝවාන් තත්ත්වය හෝ රහත් තත්ත්වය ආරෝපණය කරන්නට උනන්දු වූයේය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි වැනි අය උදාහරණයි. එහෙත්, ඒ කිසිවෙකු සමන්තභද්‍ර හිමි මෙන් තමන්ගේ රහත් භාවය ප්‍රකාශයට පත් කළේ නැත.

පිටිදූවේ සිරිධම්ම හිමි සමන්තභද්‍ර ලෙස රූපාන්තරණය වීම ලංකාවේ බෞද්ධ සමාජයේ සිදුවූ එක්තරා ආකාරයක සුසමාදර්ශීය වෙනසකි. බොහෝ දෙනෙකු විසින් සොයමින් සිටින, එහෙත් හරියටම කුමක්දැයි නොදන්නා සංකල්පීය ඔසුව ගැන හරියටම දන්නා බව කියන, පළමෝත අත්දැකීම් ඇති අයෙකු ලෙස පෙනී සිටින අයෙකු දැන් පෙනෙන්නට සිටී. ඔහුව පිළිගැනීම හෝ නොගැනීම එක් එක් පුද්ගලයාගේ කාර්යයකි.

මෙතැනදී සමන්තභද්‍රවාදීන් හා සමන්තභද්‍ර විරෝධීන් දෙපිල බෙදෙන්නේ රහත් භාවයට පැමිණි පුද්ගලයෙකු ලෙස තමන් තුල සිටින සංකල්පීය පුද්ගලයා කවුද යන්න මතය. සිංහල බෞද්ධයන් බොහෝ දෙනෙකුට අනුව මේ පුද්ගලයා සන්සුන් ගමන් ඇති, සන්සුන් කතා ඇති, අල්පේච්ඡ ජීවන රටාවක් ඇති, සුපේශල ශික්ෂාකාමී භික්ෂුවකි. සමන්තභද්‍ර චරිතය මේ ආකෘතිය සමඟ ගැටෙන තැන් බොහෝ තිබුණේය.

සමන්තභද්‍ර හිමි තමන් රහත් තත්ත්වයට පත්වූ බව ප්‍රකාශ කරනවාට අමතරව තවත් බොහෝ දේද කළේය. මේ බොහෝ දේ, සමස්තයක් ලෙස, ලංකාවේ කාලයක් තිස්සේ පැවති බෞද්ධ ආයතනික ව්‍යුහයට පහර දීමක් ලෙස සැලකිය හැකිය. වෙනත් බොහෝ බෞද්ධ භික්ෂූන් රහසිගතව කරන දේවල් වලින් කොටසක් ඔහු ප්‍රසිද්ධියේම කරන්නට පටන් ගත්තේය. ඇතැම් අයගේ මනසේ සිටි රැස් විහිදෙන, අහසින් යන, දහ අට රියන් බුදුන් සමන්තභද්‍ර හිමියන් විසින් මහ පොළොවට ගෙනාවේය. මෙහිදී, සමන්තභද්‍ර හිමි කටයුතු කළ ආකාරය පිටිදූවේ සිරිධම්ම කාලයේදී කළ දෙයෙහිම දිගුවක් ලෙස සැලකිය හැකිය.

පරීක්ෂා කර බැලීමේ හැකියාවක් කිසිවෙකුට නැති රහත් භාවය වැනි කරුණු පැත්තකින් තිබ්බොත් සමන්තභද්‍ර හිමිගේ විවේචන බොහොමයකට කිසියම් පදනමක් තිබුණේය. ඔහුගේ විවේචකයින්ට පවා ඔහු කියන ඇත්ත බැහැර කර සිටින්නට නොහැකි විය. සිය ස්වයං ප්‍රකාශිත රහත් භාවය නිසා සමන්තභද්‍ර හිමිගේ විවේචන වලට කිසියම් වලංගු භාවයක් ලැබුණේය. සාමාන්‍ය භික්ෂුවක ලෙස බෞද්ධ ආයතනික ධුරාවලියේ පහළ තැනක සිටි ඔහුට සිය ස්වයං ප්‍රකාශිත රහත් භාවය හරහා එහි ඉහළටම එසවෙන්නට හැකි විය. එහෙත්, එය කළ හැකි වූයේ ඔහුගේ සීමිත, එහෙත් භක්තිවන්ත අනුගාමික පිරිස හමුවේදී පමණි.

කෙසේ වුවද, එක දෙයක් විශේෂයෙන්ම කිව යුතුය. කෙතරම් රැඩිකල් බව පෙනෙන්නට තිබුණත් සමන්තභද්‍ර හිමි හැමදාමත් හිටියේ සිංහල බෞද්ධ ආයතනික ව්‍යුහය ඇතුළේය. ඔහු එහි පරිධියට මිස එයින් පිටතට ගියේ නැත.

සමන්තභද්‍ර හිමි බෞද්ධ ධර්ම ග්‍රන්ථ හොඳින් පරිශීලනය කර ඒවායේ අන්තර්ගතය අවබෝධ කරගෙන තිබුණේය. ඔහු ඒ ධර්ම ග්‍රන්ථ හෝ බෞද්ධ ධර්මයේ මූලික කරුණු විවේචනය කළේනම් ඒ ඉතා සැලකිල්ලෙනි. ඔහු බොහෝ විට විවේචනය කළේ වත්මන් ආයතනික ව්‍යුහය හෝ භාවිතාවයි. එහිදී හැමවිටම වාගේ ඔහු භාවිතයේ ඇති ධර්ම ග්‍රන්ථ වල ඇති කරුණු මූලාශ්‍ර කර ගත්තේය. ඔහු සිය ශ්‍රාවකයින්ව නිවන් මඟට යොමු කරනවා මිස (ඒ මඟ කුමක් වුවත්) වෙනත් ලෞකික අරමුණු කෙරෙහි යොමු නොකළේය.

ජනාධිපතිවරයාගේ චර්යාවක් වරක් විවේචනය කළත් සාමාන්‍යයෙන් සමන්තභද්‍ර හිමි දේශපාලනයට මැදිහත් වුණේ නැත. "නිදහස් අධ්‍යාපනය රැකගැනීම", "සාධාරණ සමාජයක් හැදීම" වැනි අරමුණු වලට තබා  "රට ජාතිය බේරාගැනීම" වැනි අරමුණු වලට හෝ ඔහු ඔහුගේ ශ්‍රාවකයින්ව යොමු නොකළේය. ඔහුගේ එකම ප්‍රකාශිත අරමුණ වුනේ සිය ශ්‍රාවකයින්ට නිවන් දකින්නට උදවු කිරීමයි. මෙය බෞද්ධයෙකුගේ මූලික අරමුණයි.

නිවන් දකින්නට බලාපොරොත්තුවෙන් සිටින සිය ශ්‍රාවකයින්ට සමන්තභද්‍ර හිමි විසින් ලබා දුන්නේ ඉන්ස්ටන්ට් රෙසිපියකි. මේ රෙසිපිය අනුගමනය කරන අය සිය අරමුණ සාක්ෂාත් කරගන්නට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බලා සිටින්නට අවශ්‍ය නැත. ඔහුගේ බොහෝ අදහස් ඕෂෝගේ අදහස් වලට කිට්ටුවෙන් ගියේය. ඇතැම් අදහස් මහායානික අදහස් මෙන් පෙනෙන්නට තිබුණේය. එහෙත්, හැම විටකම වාගේ ඔහු තමන්ගේ දේශනා ලංකාවේ ප්‍රධාන ධාරාව තුළ පිළිගැනෙන ථෙරවාද බෞද්ධ ධර්මය සමඟ ගැලපීමට සැලකිලිමත් විය.

සිංහල බෞද්ධයින් අතරද නිවන් දැකීමේ අපේක්ෂා හා අදාළව, හරියටම ඉරකින් බෙදිය හැකි නොවුවත්, කොටස් දෙකක් සිටී. එයින් බහුතරයට නිවන් දකින්නට හදිස්සියක් නැත. ඒ අයට, අවශ්‍ය වන්නේ හැකි තරම් දෙවු මිනිස් සැප වළඳා ඔහේ පුළුවන් වූ දවසක නිවන් දකින්නටය. ඒ නිසා, පන්සලේ පින්කමට සහභාගී වී පැමිණ හවසට සෙට් වෙන එක, දිනපතා ගන්නා අල්ලස් මුදලින් අට පිරිකරක් මිලදී ගෙන පූජා කිරීම හෝ රට ජාතිය වෙනුවෙන් මිනියක් දෙකක් මැරීම වුවත් ඒ තරම්ම ලොකු ප්‍රශ්න නොවේ. ඔය හැම එකම හරියටම කරන්නට පුහුණු වන්නට කල්ප ගනනක කාලයක් තිබේ.

කෙසේ වුවද, ඔය අස්සේ හදිස්සි කාරයෝ කොටසක්ද සිටිති. ඒ අයට, නිවන් දකින්නට ඔය තරම් කාලයක් බලා ඉන්නට පුළුවන් කමක් නැත. විප්ලව වලින් සමාජය ක්ෂණිකව වෙනස් කරන්නට බලා සිටින අය මෙන්ම ෂෝට් කට් වලින් නිවන් යන්නට කැමති පිරිස්ද ලංකාවේ සිටිති.

සමන්තභද්‍ර හිමි වටා එකතු වන්නේ මෙහි සඳහන් දෙවන පිරිසයි. එයට අමතරව, පවතින ආයතනික ව්‍යුහය සමඟ ප්‍රශ්න ඇති, එහෙත් ඒ තුළම රැඳී සිටින්නටද අවශ්‍ය පිරිස්ද සමන්තභද්‍ර හිමි වටා එකතු වේ. මේ අය අතර ලංකාවේ කතෝලික ආයතනික ව්‍යුහය සමඟ ප්‍රශ්න ඇති කිතුණුවෝ වැනි අය පවා සිටිති.

මෑතකදී කතාබහට ලක්වුණු ඉරාජ් වීරරත්න සමන්තභද්‍ර හිමිගේ අනුගාමිකයින් සඳහා උදාහරණයකි. ඔහුට ලංකාවේ ස්ථාපිත ආයතන සමඟ මෙන්ම පොදුවේ ලංකාවේ සංස්කෘතිය සමඟත් ප්‍රශ්න තිබේ. ඔහු එම සංස්කෘතිය තුළම රැඳෙමින් එහි අධිපති මතවාදයන්ට එරෙහිව කැරලි ගසයි. එහෙත්, ඔහුටද සමන්තභද්‍ර හිමිට මෙන්ම මේ සංස්කෘතියේ හා ආයතනික ව්‍යුහයන්හි පරිධියට මිස එයින් ඔබ්බට යන්නට තරම් ධෛර්යයක් නැත. ඒ නිසා, මේ දෙදෙනාම කලක සිට කරමින් ඉන්නේ තමන් රැඳී සිටින සංස්කෘතික වපසරියේ පරිධිය විශාල කිරීමයි.

මේ කටයුත්ත අවදානම් සහගත වැඩකි. තමන් ඇතුළු සමාජය රැඳී සිටින ඉඩකඩ පුළුල් කිරීම ඕනෑවට වඩා වේගයෙන් සිදු කරන අයෙකු නොදැනීම එයින් ඔබ්බට විසි වී කිසිදු වටිනාකමක් නැති, සමාජයට පිටින් සිටින හුදෙකලා පුද්ගලයෙකු වන්නට ඉඩ තිබේ. ඉරාජ් වීරරත්න මෙන්ම සමන්තභද්‍ර හිමිද මේ ගැන මනා අවබෝධයකින් සිටියේය. ඔවුන් හැමවිටම වාගේ පසුපස පාදය ඉදිරියට ගත්තේ ඉදිරිපස පාදය ස්ථාවර ලෙස රඳවා ගැනීමෙන් පසුවය.

සමන්තභද්‍ර හිමි සෑහෙන කාලයක් පරිස්සමෙන් ක්‍රීඩා කළේය. ඒ නිසා, සමන්තභද්‍ර විරෝධීන් අතරත් ඔහුට කිසියම් තැනක් තිබුණේය. එවැන්නන්ට ඔහුගේ රහත් භාවය ප්‍රශ්න කළ හැකි වුවත් භික්ෂු භාවය ප්‍රශ්න කිරීමට වලංගු පදනමක් නොතිබුණු බැවින් බෞද්ධ ආයතනික ව්‍යුහය තුළ ඔහුට අයිති වූ කිසියම් නිශ්චිත ඉඩක් තිබුණේය. ඒ ඉඩ නැති කර නොගැනීමට ඔහු සැලකිලිමත් විය. ඔහුගේ සියලු ප්‍රහාර එල්ල කෙරුණේ මේ ඉඩ නැති වීමේ අවදානම ගැන සැලකිලිමත් වෙමිනි.

සමන්තභද්‍ර හිමි විසින් පරිධියේ සිට පරිධිය දිගින් දිගටම විශාල කිරීම කේන්ද්‍රයේ රැඳී සිටි අයට ප්‍රශ්නයක් විය. පරිධිය ඈතට යන විට කේන්ද්‍රය ආසන්නයේ සිටින පිරිස් ක්‍රමයෙන් කේන්ද්‍රයෙන් ඈත් වේ. ඒ නිසා, මේ කටයුත්තට තිරිංග දැමීමට ඔවුන්ට අවශ්‍ය විය. එහෙත්, සමන්තභද්‍ර හිමිගේ උපක්‍රමික චලනයන් හමුවේ එය කිරීම පහසු වූයේ නැත. පහසු නොවූවද, කිසියම් මොහොතක එය සිදු විය යුතුව තිබුණි.

අන්තිමේදී ඒ අවස්ථාව එළැඹී තිබේ. තමන් රහත් භාවයට පත්ව සිටීයැයි කලක් තිස්සේ ප්‍රකාශ කරන, රජෙක් මෙන් සිංහ සෙය්යාවෙන් වැජඹුණු සමන්තභද්‍ර හිමියන් විසින් දැන හෝ නොදැන කළ ප්‍රකාශයක් වෙනුවෙන් ලිඛිතව හා වාචිකව සමාව ගනිමින් මහනායක හිමිවරුන් අභියස පසඟ පිහිටුවා තෙවරක් වැඳ වැටීම තුළ ප්‍රකාශ වන්නේ සිංහල බෞද්ධ ආයතනික ව්‍යුහය තුළම රැඳෙමින් එයට අභියෝග කළ හැකි උපරිම සීමාවයි. සමන්තභද්‍ර හිමියන් විසින් පසුව කවර පැහැදිලි කිරීමක් කළත් ඒ සීමාව දැන් සටහන් වී අවසන්ය.

මේ ආකාරයෙන්ම සංගීතය හරහා පවතින සම්ප්‍රදායට අභියෝග කරමින් කිසියම් ආකාරයක සීමා පුළුල් කිරීමක් කළ ඉරාජ් වීරරත්නද එහි ආන්තික සීමාවට පැමිණ හිර වී වැඩි දවසක් නැත. සමන්තභද්‍ර අනුගාමිකයෙකු වන ඉරාජ් දැන් මාධ්‍ය හමුවට පැමිණ කියන්නේ ඔහුගේ වීඩියෝවේ කෙසෙල් ගෙඩි පෙන්වන්නේ කෙසෙල් වල පොටෑසියම් තිබෙන නිසා බවයි. සමන්තභද්‍ර හිමි මාධ්‍ය වලට කියන්නේ ඔහු දළදා වහන්සේට අපහාස නොකළ බව හා ඔහුගේ කතාවෙන් කොටසක් මාධ්‍ය මඟින් උලුප්පා පෙන්වූ බවයි.

ළඟ ළඟ සිදු වූ මේ සිදුවීම් දෙක සම්බන්ධයක් නැති අහඹු සිදුවීම් දෙකක්ද?

සමන්තභද්‍ර හිමි මෙන්ම ඉරාජ් වීරරත්නද කැරලි ගැසූ අයයි. ඔවුහු කාලයක් දිගින් දිගටම ඉදිරියට ගියහ. මට තේරෙන හැටියටනම් දැන් ඒ ගමන් තීරණාත්මක ලෙස නැවතී හෝ ආපසු හැරී තිබේ. මෙයින් සංකේතවත් වන දේශපාලනය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.

59 comments:

  1. හොඳ විශ්ලේෂණයක් ඉකෝන්...

    ගෝලයො මොන විදිහෙ දේවල් කිව්වත් මම හිතන්නෙ සිරිධම්ම හිමිගෙ රැඩිකල් ගමන මෙතනින් ඉවරවෙයි. තර්කානුකූල ඊලඟ පියවර ඒ කියන්නෙ පරිධියෙන් ඔබ්බට පියවර තබන්නට ඔහුට නොහැකිබවයි පෙනෙන්නට තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් ඔහුගේ සීමාව මෙතැන කියලයි.

      Delete
  2. මහත්මයා වෙනින් රටක නේද පදිංචිය? හෙනං මොකද මේ ලංකාවේ වෙන දේවල්, ලංකාවේ යන නාට්ටි අනං මනං ගැන බැල්ම දාගෙන ඉන්නේ? ඔය රටේ වෙන දෙයක් බලං කාලා ඇදලා ඉන්නවකෝ හලෝ.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ නැද්ද හලෝ මේ පුක හෝදන්නේ නැති සුද්දෝ හදපු ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ. මොනවා හරි කියන්න තියනවනම් නියම හෙල සිරිතට අණ් බෙරයක් එවනවකෝ

      Delete
    2. AnonymousOctober 17, 2017 at 12:28 PM
      ඇනෝ, සැප දුක හොයා බලනවට බොහොම ස්තුතියි! කන අඳින එකනම් ප්‍රශ්නයක් නැහැ. කාලා, ඇඳලා, මේ රටේ වෙන දේවල් බලලා, වෙන රටවල දේවල් ගැනත් හොයන්න පුළුවන් තරමේ නිදහසක් මේ රටේ තියෙනවා. අපි ඒ නිදහස භුක්ති විඳිනවා.

      Delete
  3. මගේ මතය මෙයයි. අශෝක විසින් දර්ශනය ආගමක් කරගත් පසු එය යම් රටාවක් තුල හැදුනි. සමන්ත මෙම රටාවට අභියෝගකරන තුරු ඒ ගැන සිතන්නටවත් ඇතමෙකුට නිනව්වක් නොවීය. අප දන්නා බෞද්ධයා අල්පේච්ඡය .බුදුන් අල්පේච්ඡද . බුදුන් සිටියේ මහා ප්‍රාසාද වලය. සමන්තත් ප්‍රාසාද හදාගෙන ඇලී නොසිටියේය. බුදුන් රජුන් සිටුවරුන් ඇසුරු කලේය. සමන්තත් එසේම කලේය. බුදුන් රාජකීය ය. කුනු සරීරය ( ශ්‍රී දේහය ) සක්විති රජෙකුගේ මෙන් ආදාහනය කරන ලෙස කීවේය.

    බුදුන් යනු කවුද . අප ගේ ස්ත්හි මැවෙන මහා අද්භූත රුවද . කරත්ත රෝදෙන් හෑරුන වලෙන් වතුර බී හති ඇර ඇර ගමන් ගිය රෝගී මහල්ලා සමන්ත ගෙන හැර දැක්වීය.

    කෙසේ වෙතත් සමන්ත යනු මාටින් ලූතර කෙනෙක් නෙමේ. සමන්තට ගමක් ගමක් ගානෙ ගොස් බන කියන්නවත් බැරිය. ඔහුගේ ගෝලයේ කී බෝඩ් වීරයෝය. අසපුව වැටලූ විට ඔහු සැගවිනි. සංස්ථාපිත ආගම හා ගැටීමේ උපරිමය ඔහු පෙන්වා තිබේ. මාටින් ලූතරට සහායට ජර්මන් කුමාරවරු සිටියේය. බුකියේ ඇතැම් රැඩිකල් පොරවල් සමන්තගෙන් මාටින් ලූතර පන්නයේ හැසිරීමක් බලාපොරොත්තු වූහ. ඔවුහු ඉච්ඡා භංගත්වයටපත්ව සිටිති.

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඔහුට ඒ තරම්ම විභවයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ.

      Delete
    2. //මධ්‍යස්ථ මතධාරියාOctober 17, 2017 at 12:36 PM//

      නියමයි බං

      Delete
  4. දන්ත ධාතුව පිළිබඳ සැක හැර දැනගැනීමට කලයුතු එකම දෙය එය ආවරණය කර ඇති සළුපිළි උනා ඍජුවම මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමය. මෙය පහසුවෙන් කල හැකි දෙයකි.
    සමන්තබද්‍රගේ රහත්භාවය පරික්ෂා කළහැකි වන්නේද බුදුන්ට ගල් පෙරලූ දෙව්දත් තෙර ආභාශයට ගැනීමෙනි. පෙරලන්නට ගල් සොයාගැනීමට අපහසු මෙකල ඒ සඳහා ගල් කටස් එකක් වුවද පාවිච්චි කලහැක.

    ReplyDelete
    Replies
    1. ඔය දෙකෙන් එකක්වත් කරන්න අවශ්‍ය නැහැ, ඇනෝ. ධාතු කියා සිතා භක්තියෙන් කුමකට හෝ වඳින කෙනෙකුට එය ඇත්තටම ධාතුද කියා පරීක්ෂා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ගැන සැක හිතන ගොඩක් අය සැකය නැති වුනා කියා එයට වඳින්න යන්නෙත් නැහැ. සමන්තභද්‍ර හිමි රහත්ද කියන එක හොයන ගොඩක් අය එසේ කරන්නෙත් එය හොයා ගැනීමෙන් ප්‍රයෝජනයක් ලැබෙන නිසා නෙමෙයි. තේරුමක් නැති මහන්සියක්.

      Delete
  5. සමන්ත භද්‍ර යනු

    http://transyl2014.blogspot.ca/2017/05/blog-post_3.html

    ReplyDelete
    Replies
    1. ලිපිය පළවූ දින කියෙවුවා. කරුණු වලට එකඟයි.

      Delete
  6. මට සමන්ත භද්‍ර සිරිධම්මට කැමැත්තක් ඇතිවුණේ මෑතක දී යි. ඒ ඔහු බුඩ්ඩාගම් සංස්ථාවට දක්වන විරෝධය නිසයි.

    ළඟදී ඔහු සිඩ්නි නුවරට එන බව සැලවී ඇත. ඒ දේශනාව ශයවනය කිරීමට යාමට අදහස් කරමි.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී ඒ විරෝධයට කුමක් වෙයිද කියා බලා සිටිමු.

      Delete
    2. @රසිකොලොජිස්ට් - Rasikologist
      රසික වලස්මුල්ල අභය හිමිත් එනවා එයා
      http://www.nirapekshathwayemaga.com/
      එයා peradeniya engineering 84 BATCH එයත් සමන්ත බදු වහරක හාමුදුරැවන් OKKOMA KIYANNE EKAMA BANA TIKKA

      Delete
    3. ඔහු හිටියේ E/87 කණ්ඩායමේ.

      Delete
  7. Replies
    1. ඊළඟ පෝස්ට් එක දාන්නේ කවදද? ලියන්න ඕනෑනම් ඔය තියෙන්නේ මාතෘකා!

      Delete
  8. ඉංජිනේරු උපාධිය ලබා මහණ වූ කිහිප දෙනෙකු ගැන විස්තර. මින් එක් අයෙකු ගැන ඉකොනොමැට්ටාත් දන්නවා නේද?

    ඉංජිනේරු හාමුදුරුවරු ගැන අසා නෑ නේද? - Fake monks and the real ones
    http://rasikalogy.blogspot.com/2016/02/fake-monks-and-real-ones.html

    ReplyDelete
    Replies
    1. ඔව්. අන්තිමට ලංකාවට ගිය වෙලාවේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ පැවැත්වුණු ඔහුගේ ධර්ම දේශනාවකටත් ගියා. රසිකගේ ලිපියේ පහළ කමෙන්ට් වල නම් සඳහන් තවත් දෙදෙනෙක් අපට සමකාලීනව හිටපු අය.

      Delete
  9. ප්‍රායෝගික විශ්ලේෂණයක්. මේ සම්බන්ධයෙන් මටත් තිබෙනවා අදහස් දැක්වීම් කිහිපයක්. අඩක් ලියා ඇති ලිපියක් සම්පූර්ණ කල යුතුව ඇත.

    ReplyDelete
  10. https://astro.temple.edu/~arcc/tissa.htm

    ReplyDelete
    Replies
    1. Interesting. At least he has not accepted death until he was almost killed.

      Delete
  11. ඉතාම හොද විශ්ලේශනයක් ඉකෝ
    ඇත්තම කතාව කිවුවොත් 2005 මම උන්වහන්ගේග පලමු දේශයන අහපු දවස ඉදන් මේ තප්පරය දක්වාම සමන්තබද්‍ර අනුගාමිකයෙක්,මම හිතන්නේ නැ මල්වතු මහනායක හිමියන් ඉදිරියේ වන්දනාකිරිම මේ ගමනක අවසානය කියල.ඇත්තම කිවුවොත් වඩාම වැදගත් හිමිගේ දේශනා මිස රහත් ද නැත්ද
    රැඩිකල් උනාද නැත්ද කියන එක නෙම්
    අනික මෙච්චර තිරිසන් වැඩ කරන හාමුදුරුවරු එක්ක නැති වෛරයක් සමන්තබද්‍ර සමග ඇතිවුනේ කොහාමද
    එකම දේ ඔහු අර බත්ගිලින ශ්‍රමනයින්ට අභියෝගයක් විමයි...ලංකාවේ ගොඩක් තරුන ස්වාමින් වහන්සේලා ඒ දේශනා යුටියුබ් හරහා බලන එක රහසක් නෙවේ ,අනික සාසනෙන් එලෙවුවත් මම හිතන්නැ ඒක එතනින් එහාට ප්‍රශ්නයක් වෙයි කියල වෙන එකම දේ තමයි සාසානය දෙකඩ වෙන එක

    ReplyDelete
    Replies
    1. සමන්තභද්‍ර හිමි වටා විවිධ හේතු මත එකතු වූ අය සිටිනවා. මේ අය එකතු කළ හැකි පොදු කුලකය වන්නේ පවතින රාමුව සමඟ කිසියම් ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න තිබීම හා ඒ වුවත් ඒ රාමුව තුළම කෙසේ හෝ රැඳී සිටීමේ අවශ්‍යතාවය. නමුත් සියල්ලන්ටම තිබෙන්නේ එකම ප්‍රශ්නය නෙමෙයි. මේ අයගෙන් කොටසක් සමන්තභද්‍ර හිමි වෙත ආකර්ෂණය වී තිබෙන්නේ ඔහු විසින් ප්‍රකාශ කරන රහත් බව නිසා නෙමෙයි. ඒ නිසා ඒ අයට මෙය ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්.

      Delete
    2. සමන්තබද්‍රගේ ගමනෙ...ඉවර වෙන්න දෙයක් නෑ... විප්ලවයක් ඇති වෙන්න පටන් අරන් ඉවරයි

      Delete
  12. මොහු තරකානුකූල දේ කිව්වත් මොන පම්පෝරි ගැහුවත්, අන්තිමේදී සිවුර ගලවනවා කිව්වම කුක්ක වගේ නැට්ට අකුලාගෙන ගිහින් වැඳල ආව නේද අන්තිමට :-D

    අනික අපිම ගෙනාපු යහපාලනය මහා බැංකුව සුද්ද කරනවා, බදුර්දීන් නානා විල්පතුවට කෙළිනවා, සංවර්ධන ව්‍යාපෘති මග එහෙව් ලංකාවෙ මේවත් ප්‍රශ්නද අප්පා ?

    ReplyDelete
    Replies
    1. කණ්ඩෝ,

      // යහපාලනය මහා බැංකුව සුද්ද කරනවා, බදුර්දීන් නානා විල්පතුවට කෙළිනවා, සංවර්ධන ව්‍යාපෘති මග එහෙව් ලංකාවෙ මේවත් ප්‍රශ්නද අප්පා ?//

      නිකන් මෝඩ කතා කියන්න එපා හලෝ, ඔබට මතක නැත්ද 2005-2015 කාලෙ තිබ්බ අන්ත දූෂිත පාදඩ කාලකණ්ණි මළපෙරේත අසික්කිත හිරිකිත රාජපක්ෂ රෙජීමයේ වසර 9 ක අන්ත අගතිගාමී දූෂිත මෘග යුගයේදී ඒ රෙජීමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනවාරි 8 වෙනිදා දක්වාම කුලියට කැස්ස පඩත්තර නූගත් අවස්ථාවාදියෙක් වගේ විකාර දොඩවන විට පාඨක අපට තරහ යනව ඕයි.

      ලංකාවේ දුප්පත් අහිංසක ජනයාට හිමි ඇමරිකන් ඩොලර් ට්‍රලියන 18කට වැඩි මුදලක් (US $ 18 trillion +) හොරා කෑ දූෂිත රාජපක්ෂ හොර හැත්ත සමග බලද්දි මේ වත්මන් රජය අතිශ්‍රේශ්ටයි. එදා රාජපක්ෂ මෘග චෞර පාලනය විසින් නුසුදුසු තම ඥාති ඝනයාගෙන් ද, දේශපාලන හෙංචයියන්ගෙන්ද, තම පුතුන් අනාථ කළ තරුණියන්ගෙන්ද විදේශ සේවයේ තනතුරු පුරවා තිබිණ. එනිසාම රටේ ප්‍රතිරූපය ජාත්‍යන්තරව සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. යහපාලන රජයේ විදේශ ඇමැති මංගල සමරවීර මහතා විසින් එම වරද නිවැරදි කරමින් විදේශ සේවයට අයත් නොවී එවැනි දේශපාලන පත්වීම් ලද සියළු දෙනාම පාහේ යළි කැඳවා තිබේ.

      රාජපක්ෂ රෙජීමය විසින් නිල් බලකාය නමැති කුප්‍රකට සන්නාහ සන්නද්ධ මැර හමුදාව යොදවා රැකියා ලබාදෙන බවට රවටා කුඩා දැරියන්/ කාන්තාවන් මිලියන 2.5කට අධික පිරිසක් අමානුෂික ලෙස දූෂණය කරා.

      උතුරේ දේශපාලන නිදහස ඉල්ලා අරගල කල සටන්කාමී තරුණියන් මිලියන ගණනනින් දූෂණය කර උතුරේ අහිංසක මිනිසුන් මිලියන 5ක් පමන සමූලඝාතනය කළ බව අමතකද?

      ජනතා පරමාධිපත්‍යය අනුව මහජන ඡන්දයෙන් තෝරා පත් කරගනු ලබන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද ප්‍රතිඵලය විකෘති කොට හමුදා බලයෙන් රට ලේ විලක් කිරීමේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ අපරාධයට මාධ්‍ය සහාය ලබා දීමට 2015 ජනවාරි 8 දා රාත්‍රී අරලියගහ මැදුරේ රැඳී සිටි මහින්ද රාජපක්ෂගේ සට්ටැඹි හිටපු අග විනිසුරු මොහාන් පීරිස්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු විදේශ ඇමති ජී. ඇල්. පීරිස්, වාසුදේව, බූරුවංස වැනි කාලකණ්ණින් මෙම කුමන්ත්‍රණ චෝදනාවෙහි ඍජු විත්තිකරුවන් වශයෙන් නම්කර ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරෙනු ඇත. එදා රාත්‍රී අරලිය ගහ මැදුරේ කුමන්ත්‍රණයට සහාය දී ඇත්තේ මව්බිම කර්තෘ තුෂාර ගුණරත්න, ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත, ඉරිදා දිවයින කර්තෘ අනුර සොලමන්ස් (මොහු රාජපක්ෂගේ ජනාධිපති උපදේශකයෙක්ද වේ) දේශය කර්ත‍ෘ රංජිත් අනන්ද ජයසිංහ සහ ගුවන් විදුලි නාලිකාවක හේමන්ත නමැති පුද්ගලයෙක් බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දුන් අනෙකුත් පිරිස් විසින් සඳහන් කර ඇත.

      ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පැවැතියදී හදිසි නීතිය පනවා ජනාධිපතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ජනාධිපතිවරණය පැවැතිය දා අරලියගහ මැදුරේ දී රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබූ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන පරීක්ෂණයට අදාළව පුද්ගලයින් රැසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන සියල්ල සූදානම් කර ඇත.

      නමුත් ජනවාරි 8 වෙනිදා ජනතාව විජයග්‍රහණය කළ යහපාලන මතවාදයේ වසර 9 ක් පුරා පහරා ගඳ ගැස්සූ නීච පාහර අවස්ථාවාදී ජාතිවාදී නරුමයෙක් මෙන් කතාකිරීම හිරිකිතයි නේද?

      කොළඹ පෝර්ට් සිටි හෙවත් කොළඹ වරාය නගරය නමැති රාජපක්ෂ චෞරයන් චීන චෞරයන් සමග කරන ලද අශුද්ධ ගණුදෙනුව රටවල් දෙකක් අතර ගණුදෙනුවක් බවට පත් කර ඇති තත්ත්වයේ ගැටළුව නිරාකරණය කිරීමේ වගකීම ගැන අතුගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහසකින් මාගේ මේ කරුණු දැක්වීම අවසන් කරන්නම්.

      “ජනතා විශ්වාසය සහ සහයෝගය දිනා ගත හැක්කේ සාධාරණ ලෙස බලය භාවිත කෙරෙන, පිරිසිදු සහ අවංක යහපාලනයකින් පමණයි. බලය භාවිත කිරීම නිරන්තර පරීක්‍ෂාවට සහ නිරීක්‍ෂණයට ලක් කිරීම වැඩි දියුණු කොට, බලය සීමා කරලීමේ ක්‍රමවේදය සහතික කළ යුතුයි. දූෂණය නිවාරණය සඳහා දඬුවම් පැමිණවීමේ යාන්ත්‍රණයක්, දූෂණය වැළැක්වීම සඳහා අනතුරු හැඟවීමේ යාන්ත්‍රනයක් සහ දූෂණය මැඬලීම සඳහා ඇපකැපවීමේ යාන්ත්‍රනයක් ස්ථාපිත කළ යුතුයි.”

      Delete
  13. මොකෝ ඇනෝ මේ භූමිතෙල් ගහපු ගැරඬිය වගේ දඟලන්නෙ, ඔය කිව්ව අටෝරාසියක් මගෝඩි වැඩ නිසානේ හැමදාම ඉන්න හිතපු රජතුමාව ගෙදර යැව්වෙ. එතකොට මේ ආණ්ඩුව දීපු පොරොන්දු ඉෂ්ඨ නොකරන එක ගැන කාටවත් ප්‍රශ්න කරන්න බැරිද? ඒක මෝඩකමක්ද?

    ReplyDelete
  14. Excellent! The whirlwind is calmed down I suppose.. He or someody else to come up with something new..

    ReplyDelete
    Replies
    1. You are correct. As long as a demand is there, there's room for a newcomer.

      Delete
  15. ලස්සනට බණ පදයක් කියාගන හිටපු මිනිහට මක් උනාද මන්දා

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔහුගේ පීඩනයට ඔරොත්තු දීමේ ආන්තික සීමාවට ඔහු ලඟා වුනා.

      Delete
  16. That's a super analysis, what I feel is their actions or move to challenging existing system are not planned , they are random incidents. I may not be correct probably.

    ReplyDelete
    Replies
    1. You maybe correct. There was a demand and his random acts supplied what was demanded which generated some equilibrium. But, he doesn't seem to be a determined supplier.

      Delete
  17. නිවන නම් අවබෝධ කරගන්නා දෙයක්, එය ජීවිත කාලය තුලදීම විඳින දෙයක්, මේ ගැන ගොඩක් හිමිවරු බුදුන්ගේ දේශනාව සයිට් කරලා දේශනා කරනවා.. ඒක නිසා ඒ දේ ගැන සොයා දැනගන්න.. අනිත් මූලික කාරනාවට එකඟයි. මේක ඩවුන්ලෝඩ් කරල යන එන ගමන් අහන්න..
    https://www.youtube.com/watch?v=6E_olMQqsO8

    ReplyDelete
  18. සැමදාම බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව, කියවන අපිට ඉගෙන ගැනීමට යමක් සහිතව සිය ලිපි සම්පාදනය කරන මගේ ප්‍රියතම බ්ලොග් ලේකඛයෙකු වන ඉකොනොමැට්ටා මෙවර ලිපියේදී තමන් නොදන්නා බුදු දහමක් ගැන කොහෙන් හෝ අසා දැන ගත දේ තම මතය අනුව ලිවීමට ගොස් තමන් බුදු දහම නොදන්නා බවත් නොදන්නා බවවත් නොදන්නා බවත් ඉතා හොඳින් පැහැදිලිකර තිබීම ගැන මා හුදෙක් කනගාටු වෙමි.

    එසේම ඒ නොදන්නා කමින් ලියූ ලියවිල්ල දැක උදම් වුනු මගේ තවත් ප්‍රිය ලොග් ලේකඛයෙකු වන "මධ්‍යස්ථ මත ධාරියා", සුපුරුදු පරිදි සංස්කෘතියට හා දහමට පහරදීමේදී සිය "අන්තවාදී" මත ධාරීත්වය මැනැවින් පෙන්වා ඇත.

    ඔහුගේ මේවන් කථා වලට මා දැන් දැන් මුනිවතම පිළිතුර ලෙස දක්වන නිසා වැඩි යමක් කීමට නොයමි.

    එහෙත් යමක් හදාරා ලිපි ලියන ඉකොනො වෙනුවෙන් මෙසේ අදහසක් පමණක් දැක්වීමි.

    ඉකොනො කැමැතිනම් මෙය ගලවාදැමුවාට කමක් නැත (මට කල හැකි බිබික්කමක් නැත )

    ReplyDelete
    Replies
    1. ඔබේ විවේචනය ඉතාම ස්තුතිපූර්වකව භාරගන්නවා.

      //සැමදාම බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව, කියවන අපිට ඉගෙන ගැනීමට යමක් සහිතව සිය ලිපි සම්පාදනය කරන//
      පළමුව කියන්න තියෙන්නේ මේ කරුණත් සාපේක්ෂ දෙයක් බවයි. ඔබ වැඩිදුර හදාරා නැති විෂයක් හා අදාළව මා ලියන දේවල් බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව ලියන දේ මෙන් ඔබට පෙනෙන්න පුළුවන්. එහෙත්, අදාළ විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තිබෙන කෙනෙක්ට එය එසේ නොවන සේ පෙනෙන්න පුළුවන්. මා ලියන විවිධ විෂයයන් සම්බන්ධව මට වඩා දැනුමක් තිබෙන අය කියවන්නන් අතර සිටින අවස්ථා ඉතාම සුලභයි. එවැනි අය දමන ප්‍රතිචාර වලින් මා බොහෝ දේ ඉගෙන ගෙන තිබෙනවා. මේ ලිපිය පමණක් නෙමෙයි මම ලියන හැම දෙයක්ම ලියන්නේ මගේ දැනුමේ සීමාවට යටත්ව.

      //තමන් නොදන්නා බුදු දහමක් ගැන කොහෙන් හෝ අසා දැන ගත දේ තම මතය අනුව ලිවීමට ගොස් තමන් බුදු දහම නොදන්නා බවත් නොදන්නා බවවත් නොදන්නා බවත් ඉතා හොඳින් පැහැදිලිකර තිබීම ගැන මා හුදෙක් කනගාටු වෙමි.//
      එය එසේ වෙන්න පුළුවන්. මට මා නොවන වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටින්න බැහැ. මගේ අඩුපාඩුවක් හෝ දුර්වලතාවයක් මේ ලිපියෙන් පිළිබිඹු වෙනවානම් එය වහන්න මට අවශ්‍යත් නැහැ. මා විශ්වාස නොකරන, නොපිළිපදින දේ විවිධ හේතු මත විවේචනය නොකර සිටින්නට මට හැකි වුණත් එවැනි දේ වෙනුවෙන් සෘජුව පෙනී සිටීමේ හැකියාවක් මට නැහැ.

      //"මධ්‍යස්ථ මත ධාරියා", සුපුරුදු පරිදි සංස්කෘතියට හා දහමට පහරදීමේදී//
      බොහෝ බ්ලොග්කරුවන් සමඟ මට එකඟ විය හැකි කිසියම් පරාසයක් වගේම එකඟ විය නොහැකි කොටසකුත් තිබෙනවා. මට සම්පූර්ණයෙන්ම එකඟ විය හැකි අදහස් පළකරන හෝ කිසිසේත්ම එකඟ විය නොහැකි අදහස් පළකරන බ්ලොග්කරුවන් මට හමු වී නැහැ. මධ්‍යස්ථ මතධාරියා මෙහි ලියා ඇති දේ සමඟ සමස්තයක් ලෙස මට එකඟ විය හැකියි. මේ අදහස් ඔහුගේ නිවහල් අදහස් මිස සංස්කෘතියට හා දහමට පහරදීමේ අරමුණින් ලියූ දේ කියා මම හිතන්නේ නැහැ. ඒ වගේම මට සාපේක්ෂව ඔහුගේ අදහස් අන්තවාදී නැහැ. කිසියම් අයෙක්ට තමන්ගේ විශ්වාස අනුව එසේ පෙනෙන්න පුළුවන්.

      //ඉකොනො කැමැතිනම් මෙය ගලවාදැමුවාට කමක් නැත//
      ඔබ යහපත් අරමුණකින් කරන බව පෙනෙන මේ යෝජනාවට ස්තුතියි! නමුත්, මේ ලිපියේ ඇති කිසිවක් මා විසින් අත් වැරදීමකින් හෝ නොසැලකිල්ල නිසා හදිසියට ලියා පළ කළ දේ නෙමෙයි. මෙහි තිබෙන හැම දෙයක්ම මගේ දැනුම් හා විශ්වාස වලට සාපේක්ෂව මම ඇත්තටම හිතන විදිහ. මට මගේ සැබෑ ස්වභාවය මිස වෙනත් ස්වභාවයක් පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ලිපිය ඉවත් කර ගැනීමට දැනටනම් මගේ අදහසක් නැහැ.

      ඔබ කියන "තමන් නොදන්නා බුදු දහමක් ගැන කොහෙන් හෝ අසා දැන ගත දේ" කියන කොටස නිවැරදි වෙන්න පුළුවන්. ඔබ බුදුදහම ගැන සෑහෙන තරමේ හැදෑරීමක් කළ අයෙක් වෙන්න ඇති. මම වසර තිහකට පමණ පෙර හැදෑරූ දේ මිස දිගින් දිගටම සක්‍රිය ලෙස එවැනි හැදෑරීමක් කළ අයෙක් නෙමෙයි. එහිදී ඔබ කියන කරුණ ඇත්ත. ශාස්ත්‍රාලීය අරමුණු වෙනුවෙන් මිස වෙනත් අධ්‍යාත්මික අරමුණු වෙනුවෙන් ආගම් ගැන හැදෑරීමට කාලය මිඩංගු කිරීම දැනට මගේ ප්‍රමුඛතාවයක් නෙමෙයි.

      ඔබ දන්නා බුදුදහම අනුව මෙහි ඇති වැරදි දේ ගැන ඔබට අවශ්‍යනම් මෙහි ප්‍රතිචාර සටහන් කළ හැකියි. එය මා ධනාත්මක ලෙස මිස නිශේධනාත්මක ලෙස සලකන්නේ නැහැ.

      Delete
    2. ඔය මනුස්සය ගලවන්න කියා තිබෙන්නේ එයාගේ කොමෙන්ට් එක ගැන මිසක් ඔයාගේ ලිපිය ගැන නෙවෙයි වෙන්න ඕනේ.

      ඔය කොමෙන්ට් එක ගැන කියන්න දෙයක් තිබුනත් පස්සේ "දැඩි ප්‍රහාරයකට ලක් වුනාය" කියල අදෝවැඩියා අහන්න ඕනේ නෑනේ. විවේචන සහ ප්‍රහාර වෙන්කර අදුනගන්න බැරි මිනිස්සු අනුන්ගේ ලිපි විවේචනය කිරීමේදී චුට්ටක් කල්පනාකාරී වෙන එක සුදුසුයි මොකවුනත්.

      Delete
    3. පලමුදේ ඇනෝ නිවැරදියි මා කැමතිනම් ගලවා දමන්න කීවේ මගේ කමෙන්ට් එක මිස ඉකොනො ගේ ලිපිය නෙවෙයි.
      ලිපිය ඉවත් කරන්න යෝජනා කරන්න මට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.

      අනික ඇනෝ සහෝදරයා, ඔබ මා වෙත කල විවේචනයකට මම දැඩි පහර දීමක් කියා කීවානම් (වරක් ඇනෝ කෙනෙකුට එසේ කීවා මතකයි, ඒ ඔබ විය යුතුයි ) එය තරහින් කියූවක් නොවෙයි. එසේම මා එම විවේචනයට පිළිතුරු දුන්නා මතකයි.

      Delete
    4. ඉකොනෝ, දැනුමේ පරිමාව සාපේක්ශයි. එහෙත් දැනුමේ අන්තර්ගතයේ නිරවද්‍ය තාවය සාපේක්ශ වන්නේ මූලික දැනුම් පද්ධතියට මිස පුද්ගලයින්ට නොවෙයි කියන එකයි මම සිතන්නේ.
      ඔබ ලියන දේ වලින් මා ප්‍රිය කරන විශයයන් යටතේ ලියැවෙන ලිපි මා නොවරදවාම කියැවීමට පෙළබී ඇති ඔබේ රසිකයෙක්. මම හිතන්නේ ඒ නිසාම ඔබ විවේචනය කිරීමට මට අයිතියක් තියෙනවා, ඔබ එය පිළිගත්තත් නැතත්.

      ඔබ ඉතා නිවැරදිව කියනවා වගේ ඔබ විශ්වාස නොකරන දෙයක් වෙනුවෙන් ඔබට පෙනී සිටීමට අවශ්‍යතාවයක් නැහැ කීම මා එකඟ වන දෙයක් එහෙත් ඔබ පිළිනොපදින, ඔබ විශ්වාස නොකරන දෙයක් මූලික හරයන්ට ඉඳුරා පටහැනි අගක් මුලක් නැති තැනෙකින් ගෙන කොටින් ම නිවැරදි මූලික දැනුම නොවන දෙයක් ඒ මූලික දැනුම ලෙස ගෙන මූලික දැනුම නිරර්ථක බවට වාද ගොඩ නැගීම නොතරම් වූ දෙයක් නිසා ඔබට මෙවැනි පිළිතුරක් ලිව්වේ.
      ඔබ හා ගැටීමට හෝ වාදයක පැටලීමට කිසිම අදහසක් නැහැ.
      හැකි සැම විටම මා ඔබේ රසිකයෙක් වීමෙහි බාධාවක් එනිසා හට ගන්නේත් නැහැ.

      Delete
    5. //මා කැමතිනම් ගලවා දමන්න කීවේ මගේ කමෙන්ට් එක මිස ඉකොනො ගේ ලිපිය නෙවෙයි.//
      මේ කමෙන්ට් එක වැනි එකක් ඉවත් කරන්න කිසිම සාධාරණ හේතුවක් මට පෙන්නේ නැහැ. දැනට ඉවත් කර තිබෙන සීමිත ප්‍රතිචාර ප්‍රමාණය ඉවත් කර තිබෙන්නේ ඉතා අප්‍රියජනක අසභ්‍ය වචන යොදා ගැනීම, තෙවන පාර්ශ්වයන්ට පදනම් විරහිත අපහාස කිරීම හා ලිපියේ කරුණු වලට කිසිදු අදාලත්වයක් නැති වීම වැනි හේතු මතයි. ඒවාත් වැඩි ප්‍රමාණයක් ස්පෑම් ෆෝල්ඩර් එකේ සුරක්ෂිතව තියෙනවා. ඔබේ ප්‍රතිචාරය ලිපියට අදාළ හා මා අපේක්ෂා කරන මට්ටමට සංයමයෙන් යුතුව ලියූ එකක්. එහි මධ්‍යස්ථ මතධාරියා ගැන විවේචනයක් තිබුණත් එය ඔහුගේ අදහස් විවේචනය කිරීමක් මිස පුද්ගලයෙක් ලෙස ඔහුව විවේචනය කිරීමක් කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා ඔබේ ප්‍රතිචාරයේ මට ප්‍රශ්නයක් පෙනෙන්නේ නැහැ.

      //එහෙත් දැනුමේ අන්තර්ගතයේ නිරවද්‍ය තාවය සාපේක්ශ වන්නේ මූලික දැනුම් පද්ධතියට මිස පුද්ගලයින්ට නොවෙයි කියන එකයි මම සිතන්නේ.//
      මෙහි ප්‍රශ්නය තිබෙන්නේ මූලික දැනුම් පද්ධතිය කියන එකත් හැම දෙනෙක්ම තේරුම් ගන්නේ එකම විදිහට නොවීමයි. කෙසේ වුවත්, පුළුල් ලෙස ඔබ සමඟ එකඟයි.

      //මම හිතන්නේ ඒ නිසාම ඔබ විවේචනය කිරීමට මට අයිතියක් තියෙනවා, ඔබ එය පිළිගත්තත් නැතත්.//
      පැහැදිලිවම එවැනි විවේචන කිරීම ඔබේ අයිතියක් වනවා මෙන්ම එවැනි විවේචන මම අගය කරනවා. ඔබ වැනි අය බොහෝ විට කරන අගය කිරීම් වලට වඩා මට ප්‍රයෝජනවත් වන්නේ මෙවැනි ද්වේශ සහගත නොවන ලිපියේ අන්තර්ගතය හා අදාළ විවේචනයි.

      //ඔබ හා ගැටීමට හෝ වාදයක පැටලීමට කිසිම අදහසක් නැහැ.//
      වාද වර්ග දෙකක් තියෙනවනේ, සංවාද හා විවාද කියලා. අපට පාසැලේදී පමණක් නොව දහම් පාසැලේදී පවා පුහුණු කරන්නේ විවාද කරන්නයි. විවාදයකදී උත්සාහ කරන්නේ කෙසේ හෝ තමන්ගේ මතය ජයගැනීම. එය එතරම් තේරුමක් ඇති දෙයක් නෙමෙයි. මම ඔබව තර්කයෙන් පැරැද්දුවා කියා ඔබ මගේ අදහස් පිළිගන්නේ නැහැ. ඔබ මාව තර්කයෙන් පැරැද්දුවා කියා මම ඔබේ අදහස් පිළිගන්නෙත් නැහැ. එය නිකම් කාලය කා දැමීමක් පමණයි. නමුත්, සංවාද එසේ නැහැ. සංවාදයක අරමුණ වඩා නිවැරදි දෙය මතු කර ගැනීමයි. ඒ නිසා, සංවාද කියන්නේ නරක දෙයක් නෙමෙයි.

      //ඔබ පිළිනොපදින, ඔබ විශ්වාස නොකරන දෙයක් මූලික හරයන්ට ඉඳුරා පටහැනි අගක් මුලක් නැති තැනෙකින් ගෙන කොටින් ම නිවැරදි මූලික දැනුම නොවන දෙයක් ඒ මූලික දැනුම ලෙස ගෙන මූලික දැනුම නිරර්ථක බවට වාද ගොඩ නැගීම නොතරම් වූ දෙයක් නිසා//
      මේ චෝදනාවේ ප්‍රශ්නයක් නැති වුනත් එයින් එතරම් වැඩක් නැහැ. ඒ ඔබ "නිවැරදි මූලික දැනුම නොවන දෙයක් ඒ මූලික දැනුම ලෙස ගෙන" කියා කිවුවත් මෙහි වැරදි හා නිවැරදි දෙය කුමක්ද කියා පැහැදිලි කර නැති නිසා. ඒ නිසා, ඔබේ ප්‍රතිචාරයෙන් මට ප්‍රයෝජනයක් ගන්න බැහැ. ඔබ මෙය පැහැදිලි කරන්න කාලය යෙදෙවුවත් මම මගේ අදහස් වෙනස් කර නොගන්න ඉඩ තිබෙනවා. එහෙත්, පැහැදිලි කිරීමක් නැතුව එය සිදුවෙන්න කිසිදු ඉඩක් නැහැ. නිවැරදි මූලික දැනුම කියා මම වෙනත් දෙයක් ගැන හිතා ඉන්න බව ඔබට මට ඒත්තු ගැන්විය හැකිනම් මම ඒ වැරදි දෙය වෙනුවට හරි දෙය ගන්න පැකිලෙන්නේ නැහැ.

      මෙහි ඇති ප්‍රතිචාරය අනුව "වැරැද්ද" පිළිබඳව මට කිසිදු අදහසක් නොතිබුණත් "ඔබ ශ්‍රද්ධාව ගැන කී කථාවට වඩා ඉකොනොමැට්ටා නිවන ගැන කල කථාව වෙනස් වන්නේ නැහැ." යනුවෙන් ඔබ යකාගේ අඩවියේ දමා තිබෙන ප්‍රතිචාරය අනුව පෙනෙන්නේ මේ ප්‍රශ්නය තිබෙන්නේ නිවන කියන සංකල්පය හා අදාළව බවයි. මෙහි තිබෙන වැරැද්ද සරල ලෙස පැහැදිලි කරන්න ඔබට හෝ වෙනත් අයෙකුට අසීරු විය හැකි බව මම පිළිගන්නවා. එහෙත්, අඩු වශයෙන් මේ ඔබ කියන මූලික වැරැද්ද කුමක්ද කියා සොයා ගන්න උදවු විය හැකි නිශ්චිත මූලාශ්‍ර ටිකක්වත් තිබෙනවානම් එය පහසුවක්. මොකද ත්‍රිපිටකය වුවත් මුළුමනින්ම හැදෑරීම විශාල කාලයක් ගතවන, ඒ සඳහාම කැප වුනු අයෙකුට මිස කිරීමට අපහසු දෙයක් නිසා. එසේ නැත්නම් මා ඉදිරියේදී ලියන්නට ඉඩ ඇති දෙයක් වුවත් ලියනු ඇත්තේ ඔබ කියන "නිවැරදි මූලික දැනුම නොවන දෙයක් ඒ මූලික දැනුම ලෙස" ගනිමිනුයි.

      Delete
    6. ඔබ ඉතා සංයමයෙන් හා පැහැදිලිව කරුනු දක්වමින් මේ ලියා ඇති පිළිතුර නිසා යමක් කියන්නම්.
      සංවාදය ගැන ඔබ මතු කල අදහස ආකර්ශනීයයි. එහෙත් සංවාදයක යෙදීමට දෙදෙනාටම එකම ආකාරයේ වුවමනාවක් හා විවේක මනසක් තිබීම වැදගත් වෙනවා.

      මිනිසා කියන්නේ දහමේ කියන ලෙස නානාත්ත කායා නානාත්ත සංඥා සත්ත්වයෙක්. මේ සංඥා කියන එක අපේ තුල ඇති අපිට ආවේනික දැනුම් පද්ධතියයි. එසේ වූ විට අනෙකෙකු කියන දෙය අපි වටහා ගන්නේ අපේ දැනුම් පද්ධතියට සාපේක්ශව වීමයි ගැටළුව. ඒ නිසා අපි වටහා ගන්නා දෙය සැම විටම කියන්න කිවූ දෙයම නෙවෙයි. එහෙත් එය අනෙකකුත් නෙවෙයි. එය කිවූ දෙය යම් ප්‍රථිශටයකින් ඊට ආසන්නව තේරුම් ගැනීමකුයි අප කරනුයේ.
      අන්න ඒ නිසා අපි මාර්ග ඵල, නිවන වැනි වචනයෙන් පැහැදිලි කිරීම අපහසු මාතෘකා පැහැදිලි කිරීමේදී එයට විශාල කාලයක් කැප කිරීමට වෙනවා. ඒ ගැන බොහෝ දෑ කියවා ඇති ඒ වෙනුවෙන් කාලය වැය කර ඇති මා සතුවත් ඒ ගැන පූර්ණව වැටහීමක් නැති නිසා එය මා වටහාගත් දුරට හෝ තවකෙකුට වටහා දීමට විශාල කාලයක් ගත කල යුතු වෙනවා.

      ඉතින් ඔබ විසින් එවැනි වෙහෙසක් දරා නැති බව පිළිගනිමින්ම මග පල යනු මෙයයි, නිවන යනු මෙයයි වශයෙන් දැක්වීමේදී ඔබ අතින් විය හැකි වරද බොහෝයි.

      නිවන් දකින්නෙකු නැති නිසා කියා ඔබ සඳහන් කර ඇති මුත් බුදු දහම අනුව නිවන් දකින්නෙකු නැතැයි කියනවානම් එය බුදුන් විසින් ප්‍රථික්ඛේප කල උච්චේද වාදයයි. එය බුදු දහම අනුව වන්නේ කෙසේද?
      නැත යැයි ගැනීමත් ඇත යැයි ගැනීමත් අන්ත දෙකක් ලෙසයි බුදු හිමියන් දේශනා කර ඇත්තේ.
      ඔබ ඇතැම් විට කියන්නට ඉඩ තිබෙනවා එවැන්නක් මහා යාන දහමෙහි තිබෙන වග හා නිවැරදි බුදු දහම එයද මෙයද කියා සොයා ගන්නේ කෙසේද කියා.
      ඔව් එය ප්‍රශ්නයක් තමයි. එයට පිළිතුරු දහම හැදේරීමෙන්ම සොයා ගත හැකි බවයි මම දකින්නේ.
      වඩා හොඳින් දහම හා ගැලපෙන්නේ කුමක්දැයි කියා සොයා ගත හැකියි.

      Delete
    7. //සංවාදයක යෙදීමට දෙදෙනාටම එකම ආකාරයේ වුවමනාවක් හා විවේක මනසක් තිබීම වැදගත් වෙනවා//
      මෙය ඇත්ත. මෙතැනදී මගේ පැත්තෙන් වුවමනාවක් ඇත්තටම තිබුණත් එහි සීමාවන් තිබෙනවා. විශේෂයෙන්ම දෙවන කරුණ නිසා.

      ඔබේ මේ ප්‍රතිචාරය නිසා ප්‍රශ්නය තවත් ටිකක් පැහැදිලි වුණා. මෙය නිවන හා අදාළ දෙයක් බව කලින්ම තේරුණත් මම කලින් සිතා සිටි ප්‍රශ්නයම නොවන බවයි දැන් පෙනෙන්නේ.

      ඔබ ලියා ඇති ගොඩක් දේවල් අලුත් දේවල් නොවුණත් (මෙයින් ලියා ඇති දේවල් අවතක්සේරු කිරීමක් කරනවා නෙමෙයි) අලුතින් හිතන්න යොමු කරන කොටසකුත් මෙහි තියෙනවා.

      //අන්න ඒ නිසා අපි මාර්ග ඵල, නිවන වැනි වචනයෙන් පැහැදිලි කිරීම අපහසු මාතෘකා පැහැදිලි කිරීමේදී එයට විශාල කාලයක් කැප කිරීමට වෙනවා. ඒ ගැන බොහෝ දෑ කියවා ඇති ඒ වෙනුවෙන් කාලය වැය කර ඇති මා සතුවත් ඒ ගැන පූර්ණව වැටහීමක් නැති නිසා එය මා වටහාගත් දුරට හෝ තවකෙකුට වටහා දීමට විශාල කාලයක් ගත කල යුතු වෙනවා.//

      මගේ එක් ගැටලුවක් මෙතැනම තිබෙනවා. මේ ගැන කොයි තරම් හැදෑරුවත් නිවන කියන්නේ කුමක්ද කියා ඔබට හෝ මට හරියටම තේරුම් ගත හැකියි කියා මම හිතන්නේ නැහැ. එසේ යමෙකුට හරියටම තේරුම් ගත හැකිනම් ඒ කියන්නේ ඔහු හෝ ඇය සෝවාන් වී ඇති බවයි. අපට කළ හැක්කේ බුද්ධ දේශනා ඇසුරෙන් ආසන්න අදහසක් ගැනීම පමණයි. තාක්ෂණික වචන භාවිතා කරනවානම් අපට මේ ගැන ලබාගත හැක්කේ අනුබෝධ ඥානය පමණයිනේ. පටිවේද ඥානය ලබාගන්න අඩු වශයෙන් සෝවාන් වෙන්නවත් වෙනවා.

      මෙහිදී ඔබට හෝ මට වඩා කරුණු හැදෑරූ කෙනෙක්ට මේ ගැන මට වඩා හොඳ අදහසක් තිබිය හැකියි කියන එකත්, ඒ අදහස් දැන ගැනීමෙන් මගේ අදහස් වඩා නිරවුල් විය හැකි බවත් මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත්, ඔබ ඇතුළු කාගෙන් ඇහුවත් මට දැනගන්න වෙන්නේ තමන්වත් හරියටම නොදන්නා දෙයක් ගැන කියන දෙයකුයි. බුද්ධ කාලයේදී ජීවත් වුනානම් හෝ පටිවේද ඥානය තිබෙන රහත් කෙනෙක් ළඟපාතක හිටියානම් තත්ත්වය වෙනස්. සමන්තභද්‍ර හිමි හා අදාළව තියෙන ගැටලුවත් මෙයයි. ඔහු කියනවනම් තමන් රහත් වී සිටින බව මට එය නිශ්චිත ලෙස එය ප්‍රතික්ෂේප කිරීම අමාරුයි. මොකද තමන් නිවන් අවබෝධ කළ බව "ඔප්පු කිරීම" බුදු හාමුදුරුවන්ටත් මුහුණ දෙන්න සිදුවුණු ප්‍රශ්නයක් නිසා.

      තත්ත්වය වඩා අමාරු වෙන්නේ නිවන ලෙස විවිධ අය පෙන්වන දේ එක සමාන නොවන නිසයි. මෙයට උදවුවක් ලෙස බුද්ධ දේශනා මූලාශ්‍ර කර ගැනීමත් අංග සම්පූර්ණ පිළියමක් නොවන්නේ බුද්ධ දේශනා ලෙස දැනට තිබෙන දේ කාලයත් සමඟ වරින් වර සංශෝධනය වී තිබෙන නිසා සහ ඒවායේ විවිධ වර්ෂන් තිබෙන නිසා. ඒ නිසා ඒ අතරින් හරි එක තෝරා ගැනීම ගැටලුවක්. මම මේ කියන්නේ මට තිබෙන ප්‍රායෝගික ගැටළු. ඒ මිසක් ඔබ සමඟ විවාද කිරීමක් නෙමෙයි.

      Delete
    8. //ඔබ ඇතැම් විට කියන්නට ඉඩ තිබෙනවා එවැන්නක් මහා යාන දහමෙහි තිබෙන වග හා නිවැරදි බුදු දහම එයද මෙයද කියා සොයා ගන්නේ කෙසේද කියා.//
      උඩින් කියපු විදිහට මෙහි ප්‍රශ්නයක් තියෙනවා තමයි. නමුත්, ඔබේ විවේචනයට පිළිතුරක් ලෙස මේ ප්‍රශ්නය යොදාගැනීම නිවැරදියි කියා මම හිතන්නේ නැහැ. මොකද මට අවශ්‍ය වන්නේ තර්ක කර දිනන්නට නොවන නිසා.

      මම හිතන්නේ නිවැරදි බුදු දහම කුමක්ද කියන එක හරියටම සොයාගැනීම කළ නොහැකි දෙයක් බවයි. එසේ හිතන්න පදනම උඩින් පැහැදිලි කර තිබෙනවා. බුදුන් දෙසූ දහම එකක් ලෙස සැලකුවත් අද වන විට බුදු දහම් ගණනාවක් තිබෙනවා. ඒ එක් බුදුදහමක් ගත්තත් එය පිළිගන්නා එක් එක් පුද්ගලයා එය තේරුම් ගන්නේ එකම විදිහට නෙමෙයි. කොහොම වුණත් මේ අය අතරින් විශාල පිරිසකට එකඟ විය හැකි පොදු කුලකයක් තියෙනවා. මම බුදු දහමේ හරය කියා ගන්නේ එයයි.

      මේ අතරිනුත් ථෙරවාද හා මහායාන සම්ප්‍රදායන් අතර සැලකිය යුතු වෙනස්කම් තියෙනවා. මේ දෙකටම නැති තවත් සම්ප්‍රදායනුත් තිබෙනවා. මේවා අතරින් වඩා නිවැරදි එක කුමක්ද කියන ප්‍රශ්නය පැත්තකින් තියලා අපට ඔබ කියන මූලික හරය ගැන කතා කළ හැකියි.

      වැඩේ සරල කර ගැනීමට අපි ලංකාවේ භාවිතා වන ප්‍රධාන ධාරාවේ බුද්ධ ධර්මයට යොමුවෙමු. මහායාන ඇතුළු අනිත් සම්ප්‍රදායන් පැත්තකින් තියමු. එවිට අපට මේ බුද්ධාගමේ හරය ලෙස සිංහල බෞද්ධයින් එකඟ වෙන පොදු කරුණු සැලකිය හැකියි. මම එය නොසලකා හරිනවානම් එහි වැරැද්දක් තිබෙනවා. මේ පොදු කරුණු මට පිළිගත හැකිද කියන ප්‍රශ්නය අමතක කරල ඒ පදනම මත ඉදිරියට යන්න මම කැමතියි. එසේ නොකරනවානම් ඔබේ විවේචනය සාධාරණයි. වෙනත් විෂයයක් ගැන කතා කරද්දී වුවත් (උදාහරණයක් ලෙස ජ්‍යෝතිෂය ගැන) මම සාකච්ඡා කර තිබෙන්නේ හැකිතාක් දුරට එම විෂයේ මූලධර්ම මත පදනම් වෙමින් මිස වෙනත් කෝණයකින් බලමින් හෝ මගේ විශ්වාස මත පදනම්ව නෙමෙයි.

      මට වැදගත්ම කොටස ඔබේ ප්‍රතිචාරයේ පහත කොටසයි.

      //නිවන් දකින්නෙකු නැති නිසා කියා ඔබ සඳහන් කර ඇති මුත් බුදු දහම අනුව නිවන් දකින්නෙකු නැතැයි කියනවානම් එය බුදුන් විසින් ප්‍රථික්ඛේප කල උච්චේද වාදයයි. එය බුදු දහම අනුව වන්නේ කෙසේද?
      නැත යැයි ගැනීමත් ඇත යැයි ගැනීමත් අන්ත දෙකක් ලෙසයි බුදු හිමියන් දේශනා කර ඇත්තේ.//

      මම උච්ඡේදවාදය තේරුම් ගන්නා විදිහටනම් මම කතා කර තිබෙන්නේ උච්ඡේදවාදයක් ගැන නෙමෙයි. මම දන්නා තරමින් සියලුම සම්මුති මනස විසින් සංස්කරණය කරගන්නා දේවල්. මම කියන පුද්ගලයාත් එවැනි සම්මුතියක්. රහත් භාවය කියන සංකල්පය ගැන මගේ තියෙන සීමිත දැනුම අනුව රහත් කෙනෙක් කියන්නේ සම්මුති වශයෙන් නොව පරමාර්ථ වශයෙන් ලෝකය දකින කෙනෙක්. එහෙමනම් මෙහි "විඳින" පුද්ගලයෙක් සිටිය නොහැකියි. මොකද පුද්ගලයා කියන්නෙම සංස්කරණය කරගන්නා දෙයක් නිසා. ඔබ කියන්නේ මෙය මහායාන අදහසක් බවද? මම කියන්නේ ශුන්‍යතාවය ගැන නෙමෙයි. ලංකාවේ ප්‍රධාන ධාරාවේ බුද්ධාගම අනුව මේ අදහස සැලකෙන්නේ උච්ඡේදවාදයක් ලෙසද? ඔබේ අදහස හරියටම දැනගන්නයි අහන්නේ. නැතුව අභියෝගයක් නෙමෙයි.

      Delete
    9. ඉකොනො, ඔබ පැහැදිලි කරගැනීමට කැමතියැයි කී නිසා තව දුරටත් මා දන්නා තරමින් පැහැදිලි කරන්නම්.
      1, නිවන් දකින්නෙකු නැත. පුද්ගලයා යනු සංස්කරණය කරන ලද සංකල්පයකි.
      මෙන්න මේ නිසා තමයි දහම තුල සම්මුති හා පරමාර්ථ වශයෙන් දෙකක් සඳහන් වන්නේ
      මෙහිදී අප පරමාර්ථය සම්මුතිය තුල පැහැදිලි කිරීමට යාමෙන් තමයි ගැටළුව හට ගන්නේ.
      එසේනම් අප කථාකරන කාරනා සම්මුතිය තුලද පරමාර්ථය තුලද යන්න අප පැහැදිලිව දත යුතුයි.

      සෝවාන් මගට පත්වන පුද්ගලයා,
      සෝවාන් මගට පිලි නොපන් පුද්ගලයා පෘතග්ජන කියන නාමයෙන් හඳුනවනවා.
      පෘතග්ජනයා යනු කෙලෙස්ධර්ම නිසා භවය හෙවත් කාලය (මගෙ අදහසකි) නිමවමින් ගෙවාදමමින් සිටින සත්ත්වයෙකි.
      මේ සත්ත්වයා පුද්ගලයා යැයි පවතින සංකල්පයක් දකිමින් ඒ සංකල්පය මමත්වයෙන් වැලඳ ගනිමින් පවතී.

      යන් තැනකදී මේ සත්ත්වයා මම කියන සංකල්පය පරමාර්ථ වශයෙන් දකිනවා අන්න එයට සක්කාය දිට්ටිය බිඳ හෙලීම යැයි කියනවා.
      එසේම මේ සත්ත්වයා පින් කුසල් යැයි කියමින් නිරර්ථක පුද පූජා ඇදහීම් යැදීම් පිදීම් වැනි වෘත හා ව්‍යාජ නිරරුත් සීල සමාදන් ව්මෙහි ව්‍යාජය නිරර්ථක භාවය වටහා ගන්නවා. මෙය සීලබ්බත පරාමාසය බිඳහෙලීම ලෙස දක්වනවා .

      එසේම මේ පුද්ගලයා බුද්ධ යන සංකල්පය අවබොඑධයෙන් දකිමින් එය වටහා ගන්නවා අන්න එයට විචිකිච්චා දුරුකිරීම ලෙස දක්වනවා .

      මෙන්න මේ සංයෝජන ධර්ම තුන දුරු කල පුද්ගලයා සෝවාන් වූවකු ලෙස හඳුනා ගන්නවා.
      මේ අහසින් යන නොපෙනීයන භූතයෙකු නොවෙයි ඔබ මා වගේම කෙලෙස් සහිත භවය තනමින් ජීවත් වන සත්ත්වයෙකි.
      ඔහු පරමාර්ථය හා සම්මුතිය පැහැදිලිව දනී. ඒත් සම්මුතිය පිටුනොදැක පරමාර්ථය වටහා ගැනීමේ ශක්‍රතියෙන් යුක්තයි .
      එනිසා ඔහු නිවන් මගට පිළිපන්නෙක් මිස නිවන සාක්ෂාත් කර ගත්තෙක් නොව.
      එමනිසා සෝවාන් වීම යනු නිවනයි යන ඔබගේ මූලික ප්‍රකාශය සදොස් වේ.


      එසේ

      Delete
    10. //එමනිසා සෝවාන් වීම යනු නිවනයි යන ඔබගේ මූලික ප්‍රකාශය සදොස් වේ.//
      මෙහි ඇති මූලික කරුණු ටිකත් මම දන්නවා, නයනේ. වසර තිහකට පමණ පෙර වුවත් මේවා දහම් පාසැලේ අවසාන හා ධර්මාචාර්ය පන්ති වල සිසුන්ට කලක් ඉගැන්වූ දේවල්. මම තවමත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඔබ දකින වැරැද්ද කුමක්ද කියන එකයි. සමහර විට එය වැරදි අවබෝධයක් වෙන්න පුළුවන්. සෝවාන් වීම යනු නිවන කියා මම කියා නැහැ. එය කවුරුත් වගේ දන්න තනිකරම වැරදි කතාවක්නේ.

      ඔබ මේ කියන්නේ මම ලියා තිබෙන පහත කොටස ගැන විය යුතුයි.

      "මා මේ සංකල්පය තේරුම් ගන්නා ආකාරය අනුව නිවන් දකින්නේ සෝවාන් වූ පුද්ගලයාය. සෝවාන් වන තුරු පෘතග්ජන පුද්ගලයෙකුට නිවන "දැකිය" නොහැකිය."

      මෙහිදී මම කියා තිබෙන්නේත් ඔබ කියන දෙයම තමයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන තිබෙන තුරු නිවන කියන්නේ කුමක්ද කියා අනුමානයෙන් මිස (අනුබෝධ ඥානයෙන්) කිසිවෙකුට හරියටම (පටිවේද ලෙස) දැන ගත නොහැකි බවයි. එනම්, නිවන් අවබෝධයට පෙර නිවන යනු හරියටම දැන ගැනීමට පවා සෝවාන් තත්ත්වයට පත් විය යුතු බවයි. මට දැන් මූලාශ්‍ර මතක නැති වුණත් වලාවකින් වැසුණු පුන්සඳ වළාව ඉවත්වන විට ක්‍රමයෙන් පෙනෙන්නට ගන්නා වගේ උපමාවකුත් තියෙනවනේ. තවත් ඇතැම් තැන් වල මා කියවා ඇති පරිදි පුබ්බේනිවාසානුස්සති ආදී ඥානයන් පහළ වී භවය හා සංසාර ගමන ප්‍රත්‍යක්ෂයෙන් දකින තුරුම පුනර්භවය ගැන ඇති සැකය මුළුමනින්ම පහවන්නේ නැහැ. ඒ නිසා, ථෙරවාද ඉගැන්වීම් අනුව සෝවාන් වන තුරු පෘතග්ජන පුද්ගලයෙක්ට නිවන යනු කුමක්දැයි හරියටම "දැකිය" හැකියි කියා මම හිතන්නේ නැහැ. ඒ වගේම, මම දන්නා තරමින්, උද්ධම්භාගීය සංයෝජන පහ දුරලන තුරු නිවන කරා ළඟා වී නැති නිසා නිවන "දකිනවා" පමණයි. සියළුම සංයෝජන දුරු කිරීමෙන් පසු නිවන "දකින්න" අවශ්‍ය වෙන්නේ නැහැ. එමෙන්ම සක්කාය දිට්ඨිය දුරු වීමෙන් පසු මම නම් වූ පුද්ගලයෙක් සංස්කරණය කර නොගන්නා නිසා "නිවන් සැප විඳින" පුද්ගලයෙකුත් නැති බවයි මගේ මගේ අදහස. වැරැද්දක් තිබිය හැකි වුවත් එය කුමක්ද කියන එක තවමත් මට හරියටම පැහැදිලි නැහැ.

      Delete
    11. මම යනු ජීවිතයට එක් දිනක්වත් දහම් පාසැල් නොගිය, අද තව වන තුරු සිල් රෙද්දක් කර දරා පන්සලක සිල් සමාදන් නොවූ පුදගලයෙකු බව පවසමින් මේ කතාව නවතා දමමු.
      ඉහත ඔඅබ මා කතා කල සියළු කරුනු දෘශ්ඨි වශයෙන් හා අවබෝධ වශයෙන් එක් එක් පුද්ගලයාට දැරීමට හැකි බව අපි වටහා ගනිමු.

      Delete
    12. මල්ලි, මුලින්ම නම්බර් දෙක හුවමාරු කරගනිල්ලා, ඊට පස්සේ මේ වගේ දේවල් ටෙලිෆොන් 1න් කතා කරපල්ලා

      Delete
    13. @ Rayantha,

      ඒක නම් නොදැනුවත්කම නිසා කී කතාවක්. බ්ලොග් තියෙන්නේ මේ වගේ සාකච්ඡා කරන්න තමයි. මේ ප්‍රතිචාර නිසා පාඨකයින් (me included) යම් යම් දේ ඉගෙන ගන්නවා.

      Delete
  19. සිරිධම්ම හාමුදුරුවොගේ බණ මං අහනවා. අන්තගාමී නෑ. මාර්කටිනං වලට අහු වෙන්නෙත් නෑ. හැබැයි උන්නාන්සේ කියන දේවල් වල පොයින්ට් එකක් තියෙනවා. ඒක සම්ප්‍රදායට දිරවන්නේ නෑ.

    සමාව ගත්ත එකනං තනිකර ප්‍රෝඩාවක්..

    ReplyDelete
  20. සමන්තබද්‍ර සාම්ප්‍රදායික සිංහල බෞද්ධයන්ගේ ආතල් කුඩු කලා. ඔහු ගැන මා තුල යම් කැමැත්තක් තිබ්බේ ඒ නිසා. සහ ඔහු කතා කරද්දි කාලය යනව තේරෙන්නෑ. සමහර කරුණු වලට එකඟ නැතත් අහගෙන ඉන්න හිතෙනවා. ඔහුගේ ගමන මේ විදියට නතර වෙනව නම් අපරාදෙ. මොකද ඔහු රඟපාපු චරිතය මෙතෙක් කිසිවෙක් රඟනොපෑ චරිතයක්

    ReplyDelete
    Replies
    1. සමන්තබද්‍රගේ ගමනෙ...ඉවර වෙන්න දෙයක් නෑ... විප්ලවයක් ඇති වෙන්න පටන් අරන් ඉවරයි

      Delete
    2. හසිත කියන දෙයෙහිත් හිතන්න දෙයක් තිබෙනවා. කොහොම වුනත් මෙය ඔහුගේ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක්.

      Delete
  21. සමන්තබද්‍ර නිසා සිවුරු හොරුන්ට... තමන්ගේ බොරුව දිගටම කරගෙන යන්න බැරි වුනා... සිවුරට බය වෙලා මොනවත් නොකියපු මිනිස්සුත්... සිවුරු හොරුන්ව විවේචනය කරන්න පටන් ගත්තා...සිවුර ඇඳන් ගෑනු තියන් ඉන්න උන්ට... බේබද්දන්ට... දේශපාලනය කරන උන්ට... ජාතිවාදය අවුස්සන උන්ට කරකියාගන්න දෙයක් නැති වුනා... ඔය සමාව ගත්ත එක නම් Script එකේ පොඩි කෑල්ලක් විතරයි... :-) අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget