වෙබ් ලිපිනය:

Tuesday, February 28, 2023

මිරිස් සහ ගම්මිරිස්


කලින් ලිපිය ලිවීම සඳහා පාදක කරගත් පාඨක ප්‍රතිචාරයේ සඳහන්ව තිබුණු පරිදි ලංකාව විසින් වසරකට මිරිස් මෙට්‍රික් ටොන් 50,000ක් පමණ ආනයනය කරනවා. ඒ වෙනුවෙන්, ඩොලර් මිලියන 110ක් පමණ වැය කරනවා. 

ලිපිය ලියන්නට පෙර මම මේ ගණන් පරීක්ෂා කළේ නැහැ. ඒ බව ලිපියේ සඳහන් කළා. එසේ පරීක්ෂා නොකළේ බැලූ බැල්මටම එම ගණන් වල වරදක් පෙනෙන්නට නොතිබුණු නිසයි. ඒ වගේම, අදාළ ප්‍රතිචාරය වගකීමකින් යුතුව දැමූ ප්‍රතිචාරයක් බව පෙනෙන්නට තිබුණු නිසා. මීටත් අමතරව, ප්‍රශ්නය ඇසීමේදී දැනගන්නට අවශ්‍යව තිබුණු බව පෙනුණේ සංකල්පීය කරුණු නිසා මේ ගණන් වල එතරම් වැදගත් කමක් තිබුණේ නැහැ. 

ඉහත ගණන් නිවැරදි බව පරීක්ෂා කිරීමේදී තහවුරු වුනා. 2021 වසර තුළ ලංකාව විසින් ආනයනය කර තිබෙන වියලි මිරිස්, වියලි මිරිස් කුඩු, වියලි ගම්මිරිස් හා වියලි ගම්මිරිස් කුඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 50,205,561 හෙවත් මෙට්‍රික් ටොන් 50,206ක්. ඒ වෙනුවෙන් වැය වී ඇති මුදල ඩොලර් 99,621,105ක් හෙවත් ඩොලර් මිලියන 99.6ක්. මෙම කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ වියලි මිරිස්. 

කොහොම වුනත්, වැදගත්ම කරුණ මේකයි.  එම (2021) වසර තුළදීම ලංකාව විසින් වියලි මිරිස්, වියලි මිරිස් කුඩු, වියලි ගම්මිරිස් හා වියලි ගම්මිරිස් කුඩු කිලෝග්‍රෑම් 18,571,166ක් හෙවත් මෙට්‍රික් ටොන් 18,571ක් අපනයනය කර ඩොලර් 124,459,116ක හෙවත් ඩොලර් මිලියන 124.5ක මුදලක් උපයා තිබෙනවා. මෙහි මිරිස් හා මිරිස් කුඩු යම් ප්‍රමාණයක් තිබුණත් වැඩි වශයෙන්ම තිබෙන්නේ ගම්මිරිස්.

ඉන්දියාව ලෝකයේ මිරිස් නිපදවන ප්‍රධානම රටයි. කවර හෝ හේතු නිසා ඉන්දියාවට තරඟකාරී ලෙස මිරිස් නිපදවිය හැකියි. ඇතැම් විට ඉන්දීය රජයේ සහනාධාරද එයට උදවු වෙනවා විය හැකියි. ප්‍රතිචාරයේ එම කොටස මම පරීක්ෂා කර බලා නැහැ. එය එසේනම්, එම හේතුව නිසා, ලංකාවේ රජයත් මිරිස් වැවීමට සහනාධාර දිය යුතුද? එසේ නැත්නම් ඉන්දීය මිරිස් සඳහා තීරු බදු දැමිය යුතුද? 

මගේ අදහසනම් මිරිස් වගාව සඳහා යොදාගත හැකි ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් ලංකාවේ විශාල වශයෙන් නැති බවයි. මිරිස් වගාව අත හරින ගොවියෙකු බොහෝ විට වෙනත් වගාවකට යොමු වෙනවා. එය සහනාධාර නොලබා ලාබ ලැබිය හැකි වගාවක් වීමට ඉඩකඩ වැඩියි. මිරිස් වගාවට සහනාධාර දීම මගින් ඔවුන්ව නැවත මිරිස් වගාව වෙත තල්ලු කළ විට සිදුවන්නේ අදාළ ඉඩම් වල එතෙක් වවනු ලැබු වඩා ලාබදායක වෙනත් බෝගයක නිෂ්පාදනය පහත වැටීමයි.

ලංකාවට මිරිස් වලින් ඉන්දියාව සමඟ තරඟ කළ නොහැකි වුවත්, ගම්මිරිස් වලින් ලෝකය සමඟ තරඟ කළ හැකියි. එසේනම්, ලංකාවට වඩා වාසිදායක ගම්මිරිස් අපනයනය කර උපයන මුදලින් මිරිස් ආනයනය කරන එකද? එසේ නැත්නම්, ගම්මිරිස් ගලවා මිරිස් වවන එකද? 

ඉන්දියාව මිරිස් වලට සහනාධාර දෙනවානම්, ඒ නිසා ලංකාවට අඩුවට මිරිස් එනවානම්, ලංකාවට කළ හැකි වාසිදායකම දෙය ඉන්දියාවේ මිරිස් සමඟ අමාරුවෙන් තරඟ කරන්නට මහන්සි නොවී පහසුවෙන් සල්ලි ඉපැයිය හැකි ගම්මිරිස් වෙත අවධානය යොමු කරන එකයි. බොහෝ විට එකම ඉඩම් ප්‍රමාණය හා ශ්‍රමය යොදාගෙන ගම්මිරිස් වැවීමෙන් වැඩි වාසියක් ගන්න පුළුවන්. 

මිරිස් වවන එක නවතා ගම්මිරිස් වැවිය යුතු බව මෙයින් අදහස් වන්නේ නැහැ. බොහෝ විට මිරිස් සඳහා සුදුසු ඉඩම් හා ගම්මිරිස් සඳහා සුදුසු ඉඩම් එකිනෙකට ආදේශක නෙමෙයි. තමන්ගේ ඉඩමේ වැවිය යුතු වාසිදායක බෝගය මිරිස්ද නැත්නම් ගම්මිරිස්ද කියා මිනිස්සු තීරණය කරයි. පැත්තක ඉන්න ගොවීන් විසින් ඔවුන්ට අනවශ්‍ය දේ වවා රට ස්වයංපෝෂණය කරනු දැකීමේ මධ්‍යම පාන්තික සිහිනය වෙනුවෙන් රටද ණය කර, ගොවීන්ගේ ජීවිත බිලි දිය යුතු නැහැ. 

Monday, February 27, 2023

මිරිස් ගොවියාගේ කතාවස්තුව


මේක පොරොන්දුවක් ඉටු කරන්න ලියන සටහනක්. හරියටම කියනවානම්, පහත ප්‍රශ්නයට පිළිතුරක්.

 "ආර්ථික විද්‍යාව දන්නෙ නැති මට පොඩි ප්‍රශ්නයක් ආවා අද මිරිස් ගැන ප්‍රවෘත්තියක් දැකලා. මේක වීඩියෝවට අදාල ඇති. ලංකාවට මිරිස් ටොන් 55000 ඕන වෙනවා අවුරුද්දට, අපි 5000 නිෂ්පාදනය කරනවා. 50000 පිට රටින් ගේනවා.(වැඩිම හරියක් ඉන්දියාවෙන්). වියදම ඩොලර් මිලියන 110 විතර.ඒ කියන්නෙ අර trade deficit එකෙන් බිලියන 2 කට කිට්ටුයි.

ඉන්දියාව ගොවීන්ට විශාල වශයෙන් සහනාධාර දෙනවා. අපනයනය කරනවනම් වැඩියෙන් සහනාධාර දෙනවා.( ඉන්දියාවෙ GDP එකෙන් 2% ගොවි සහනාධාර)

බොහෝ විද්වතුන් මේ දවස්වල කියන විදිහට අපි ගොවීන් ආරක්ෂා කරන්න තීරු බදු දාන්න නරකයි. සහනාධාර දෙන්නත් නරකයි. අපේ මිරිස් ගොවීන් ඉන්දියාවෙ ආණ්ඩුවේ සහය ලබන ගොවීන් සමග සහයක් නැතිව තරඟ කරන්න ඕන.බැරිනම් ගොවිතැන අතාරින්න ඕන.

අන්තිමට ගොවියට වෙන්නෙ බිරිඳ, දුව මැද පෙරදිග යවලා ලැබෙන රියාල් දීල මිරිස් ගන්න.

මට හිතෙන්නෙ මෙතන යම් නොගැලපීමක් තියනවා කියලයි. දන්නෙ නැති නිසයි අහන්නේ. පහදා දුන්නොත් කෘතඥ වෙමි.

ස්තූතියි."

පිළිතුර ලිවීමේදී මම ඉහත ප්‍රශ්නය ඇතුළේ තිබෙන කරුණු පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඇතැම් විට මේ ඇතැම් කරුණු නිවැරදි නොවෙන්න පුළුවන්. මම එය අදාළ කරගන්නේ නැහැ. මොකද මේ කතාවම ප්‍රබන්ධයක් වුනත් (මම එහෙම කියන්නේ නැහැ) අහලා තිබෙන ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්. 

පළමු ගැටළුව මෙහි තිබෙන "නොගැලපීම" කුමක්ද? 

මේ "නොගැලපීම" හිටපු ගොවියාගේ බිරිඳ, දුව මැද පෙරදිග ගිහින් එවන රියාල් වලින් හිටපු ගොවියා කඩෙන් මිරිස් ගන්න එකනම්, ඒකේ මට ප්‍රශ්නයක් පේන්නේ නැහැ.

මට අවශ්‍යනම් වත්තේ මිරිස් වවාගන්න පුළුවන්. නමුත් මම වත්තේ මිරිස් වවන්නේ නැහැ. සල්ලි දීලා කඩෙන් මිරිස් ගන්නවා. මම හිතන විදිහට ඒකේ කිසිම නොගැලපීමක් නැහැ. 

මම වත්තේ මිරිස් නොවවා කඩෙන් මිරිස් මිල දී ගන්නේ ඇයි?

පළමුව, මට කඩෙන් මිරිස් ගන්න සල්ලි තිබෙන නිසා. දෙවනුව, වත්තේ මිරිස් වවලා ඒ මිරිස් ගස් නඩත්තු කරන්න යන කාලය කඩෙන් මිරිස් ගන්න යන මුදලට වඩා වටින නිසා. 

දැන් ඔය කතාවම අර ගොවි පවුලටත් ආදේශ කරන්න පුළුවන්. ඔය ගොවියා මිරිස් වවන්න කාලය නොයොදවා බිරිඳ හෝ දුව එවන සල්ලි වලින් කඩෙන් මිරිස් මිල දී ගනිද්දී වෙන්නෙත් මම කඩෙන් මිලදී ගනිද්දී සිදුවන දෙයම තමයි. මම මොන හේතුවක් නිසා හෝ මිරිස් වවන්න කැමති නැත්නම්, ඒ කතාවම වෙන කෙනෙකුටත් අදාළ නොවෙන්න හේතුවක් නැහැනේ.

අපි මෙහෙම පටන් ගනිමු. දඹුල්ල, කුරුණෑගල වගේ පැත්තක මිරිස් වන ගොවි පවුලක් ඉන්නවා. ගොවි පවුලේ දුව ඉගෙනගෙන ගණකාධිකාරිනියක් වෙලා කොළඹ පෞද්ගලික සමාගමක හොඳ වැටුපක් ගන්න රස්සාවකට යනවා. ඉගෙන ගන්න වියදම් කරන්නේ දෙමවුපියන් විසින් මිරිස් වවලා හම්බ කරපු සල්ලි. රස්සාවට ගියාට පස්සේ දැන් මේ දුව දෙමවුපියන්ට කියනවා මිරිස් වවන්න මහන්සි නොවී විවේකයෙන් ඉන්න කියලා. මාස්පතා දෙමවුපියන්ගේ නඩත්තුවට මුදලක් එවනවා. අවුලක් තියෙනවද?

ඔහොම ඉන්න අතරේ දුවට මැදපෙරදිග රැකියාවක් ලැබෙනවා. දැන් දුව ගෙදරට රියාල් එවනවා. කලින් වැඩේම වෙනවා. දෙමවුපියන් මිරිස් වවන එක නවතිනවා. අවුල්ද? අර දුවත් දෙමවුපියන් වගේම මිරිස් වවන එකම කළ යුතුද?

ඔහොම වෙන්නේ නැතිව දුව ඇඟලුම් කම්හලක රැකියාවට ගියා කියමු. එහෙම නැත්නම් දුව හෝ බිරිඳ මැද පෙරදිග ගෘහ සේවිකා රැකියාවකට ගියා කියා හිතමු. ඒත් ඕකේ ආකෘතිමය වෙනසක් නැහැනේ. එහෙම වෙනසක් පේනවානම් ඒ පේන්නේ සමහර රැකියා පහත් රැකියා ලෙස දකින නිසා පමණයි. 

සමහර විට මැද පෙරදිග රැකියා වලට යාම නිසා ඇතිවන වෙනත් අතුරු ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත්, ඒවා මිරිස් කතාවට අදාළ නැහැ. 

දෙවන ප්‍රශ්නය ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බදු නොගහන නිසා ලංකාවේ මිරිස් ගොවියාගේ තරඟකාරිත්වය නැති වෙලාද කියන එක. ප්‍රශ්නයේම තියෙන තොරතුරු අනුව, අවුරුද්දකට මිරිස් ටොන් 5000ක් ලංකාවේ නිෂ්පාදනය කරනවා. එහෙම කරන්නේ මිරිස් විකුණලා ලාබයක් ලබා ගන්න පුළුවන් නිසා. ඒ විදිහට මිරිස් වවන අයට ඉන්දියාවෙන් එන මිරිස් එක්ක තරඟ කරන්න පුළුවන්. ඒ නිසා, මෙතැන ප්‍රශ්නය ඉන්දියාවේ මිරිස් නෙමෙයි.

දැන් ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බද්දක් දැම්මහම වෙන්නේ කුමක්ද? ඉන්දියාවෙන් එන මිරිස් ගණන් යනවා. ඒ එක්කම ලංකාවේ මිරිසුත් ගණන් යනවා. මිරිස් වවන එකේ ලාබ වැඩි වෙන නිසා මිරිස් වවන ප්‍රමාණය ටිකක් ඉහළ යයි. ඉන්දියාවෙන් මිරිස් එන එක ටිකක් අඩු වෙයි. සමහර විට මිරිස් ගොවියාගේ බිරිඳට මැදපෙරදිග යන්න අවශ්‍ය නැති වෙයි.

දැන් මිරිස් ආනයන වෙනුවෙන් රටින් යන ඩොලර් ටිකක් ඉතිරි වෙලා. නමුත්, අනෙක් පැත්තෙන් මැදපෙරදිගින් එන රියාල් අඩු වෙලා නිසා රටට වාසියක් නැහැ. ඒ වගේම ගොවි පවුලේ ජීවන තත්ත්වය ඉහළ ගිහිනුත් නැහැ. කලින් වෙනත් රැකියාවක් කරලා හොයපු මුදල දැන් මිරිස් වලින් හොයනවා. එච්චරයි.

අන්තිමට රටට ඩොලර් ඉතිරියක් හෝ ගොවි පවුලේ ආදායම් වැඩි වීමක් ලොකුවට නැහැ. නමුත් පාරිභෝගිකයින් විසින් මිරිස් වලට ගෙවිය යුතු මිල වැඩි වෙලා. හැබැයි රජයේ පැත්තෙන්නම් වාසියක් තිබෙනවා. මිරිස් වලට වැට් වගේ බද්දක් ගහලා රජය විසින් පාරිභෝගිකයින්ගෙන් මුදලක් එකතු කරගත්තා වගේ වැඩකුයි වෙලා තියෙන්නේ. බදු මුදල් වලින් රජය නඩත්තු කරන්න පුළුවන්. 

එතකොට ඉන්දියාව ගොවීන්ට සහනාධාර දෙනවානම් ලංකාවත් ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගන්න සහනාධාර දිය යුතු නැද්ද?

ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගත යුතු ඇයි? ගොවීන්ට කළ හැකි විකල්ප රැකියාවක් නැත්නම්, ඒ නිසා ඔවුන්ව රජයෙන් නඩත්තු කරන්න වෙනවානම්, ගොවීන්ගේ රැකියා සුරක්ෂිත කරන එකේ තේරුමක් තියෙනවා. එහෙම නැතුව ගොවි පවුලේ කවුරු හෝ මැද පෙරදිග ගිහින් හෝ රට ඇතුළේම වෙනත් රැකියාවක් කරලා සල්ලි හොයනවානම් ඔවුන්ව මිරිස් හේනටම හිරකරලා තියන්න හිතන එක වුනත් අන්ත පසුගාමී අදහසක්. 

ඉන්දියාව මොකක් හෝ හේතුවක් නිසා ඉන්දියාවේ ගොවීන්ට සහනාධාර දෙනවානම් එය ඉන්දියාවේ ප්‍රශ්නයක්. ඒ මිරිස් ලංකාවට ලාබෙට එනවානම්, එයින් අදහස් වෙන්නේ ඉන්දියාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් ලංකාවේ පාරිභෝගිකයා සුබසාධනය කෙරෙන බව. ඉතිං කොයි තරම් හොඳද? ඕක වෙනස් කරන්න මහන්සි විය යුත්තේ ඇයි? 

ඔය විදිහට ගියොත් රටේ කිසිම නිෂ්පාදනයක් වෙන එකක් නැහැනේ. හැමදේම පිටරටින්ම ගේන්න වෙනවානේ!

ඉතිං මොකක්ද අවුල? කොළඹ නගර සභා සීමාව වගේ කොටසක් ගත්තොත්, ඔය කොටසේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවෙන තරම්. නමුත්, වැඩිපුරම බඩගින්නේ ඉන්නේ ඒ අයද නැත්නම් මිරිස් වවන පැති වල අයද? 

හැමදේම පිටරටින්ම ගේන්න තරම් ආදායමක් මොන විදිහකින් හෝ ලැබෙනවානම්, එහෙම ගේන එකේ අවුලක් නැහැ. ලංකාවේ ප්‍රශ්නය ණය වෙවී ආනයනය කරන එක. ඇත්ත ප්‍රශ්නය ණය මිසක් ආනයන නෙමෙයි. රජය ණය වෙන්නේ නැත්නම්, ආනයන කරන්න වෙන්නේ උපයන මුදල් වලින්. ආනයන කරන්නේ මොන විදිහෙන් හෝ උපයන මුදල් වලින්නම් එහි ගැටලුවක් නැහැ. 

මිරිස් ගොවීන් සුබසාධනය කරන්නනම් වෙන කාගෙන් හරි ඒ මුදල බදු විදිහට අය කරන්න වෙනවා. තීරුබදු අවසාන වශයෙන් ගෙවන්නේ පාරිභෝගිකයා. සුබසාධනය මගින් ගොවියා ගොවිතැන ඇතුළේම හිර කරලා තියන්න පුළුවන්. එයින් වෙන්නේ ඔවුන් විකල්ප රැකියා වලට යන එක වලක්වනු ලැබීම සහ සමස්තයක් ලෙස රටේ ආදායම් වර්ධනය සීමා වීම. 

ලොකු වාසියක් නැතිකමටත් වඩා මෙහි තිබෙන ප්‍රශ්නය රජය විසින් සුබසාධනය කරන්න කැමති තරමට මිනිස්සු බදු ගෙවන්න කැමති නැති වීම. එවිට සුබසාධනය කරන්න වෙන්නේ ණය වලින්. එහෙම ණය අරගෙන තමයි මේ දැන් වෙලා තිබෙන අවුල වෙලා තියෙන්නේ.

ගොවීන්ට ජීවත් වෙන්න ආදායමක් නැත්නම්, කරන්න වෙන රැකියාවකුත් නැත්නම්, අවුලක් නැද්ද?

අනිවාර්යයෙන්ම ඒකේනම් අවුලක් තිබෙනවා. කරන්න වෙන රැකියා නැත්තේ ඇයි? රටේ ප්‍රමාණවත් තරමින් රැකියා නොහැදෙන නිසා. රැකියා හැදෙන්නනම් ආයෝජන ඉහළ යා යුතුයි. ආයෝජන කරන්නේ සමාගම් විසින්. සමාගම් වලට වැඩියෙන් ආයෝජන කළ හැක්කේ ලාබ වැඩි වෙන තරමටයි. එම ලාබ මත වැඩියෙන් බදු ගහන තරමට ආයෝජන අඩු වෙලා, රැකියා අවස්ථා අඩුවෙනවා.

සමාගම් විසින් වැඩියෙන් ලාබ උපයන එක අසාධාරණ නැද්ද? එයින් ආදායම් විෂමතා වැඩි වෙන්නේ නැද්ද?

කිසිසේත්ම නැහැ. සමාගම වැඩියෙන් ලාබ උපයන තරමට රැකියා අවස්ථා වැඩි වී ආදායම් විෂමතා අඩු වෙන එකයි වෙන්නේ. සමාගම් කියන්නේ නෛතික පුද්ගලයින් මිසක් සැබෑ පුද්ගලයින් නෙමෙයි. සැබෑ පුද්ගලයින්ට මෙන් නෛතික පුද්ගලයින්ට පරිභෝජනය කරන්න බැහැ. හැබැයි සමාගම් අයිතිකාරයින්ට පරිභෝජනය කරන්න පුළුවන්. ඔවුන්ගේ ආදායම් වැඩි වෙද්දී ආදායම් විෂමතා වැඩි වෙනවා. ආදායම් විෂමතා අඩු කරන්නනම් කළ යුත්තේ සමාගම් වලට බදු නොගසා සමාගම් වල අයිතිකාරයින්ට බදු ගහන එකයි. ඒ කියන්නේ ආයතනික ආදායම් බදු වෙනුවට පුද්ගල ආදායම් බදු වැඩියෙන් අය කරන එක ලංකාවේ වෙන්නේ එහි අනෙක් පැත්ත. රැකියා හොයා ගෙන රටින් යන්න වෙන එකත් මෙහි ප්‍රතිඵලයක්.

Thursday, February 23, 2023

චීන කැමැත්ත නැතුව IMF යන්න බැරිද?


අපි කලින් කතා කර තිබෙන, දන්න දේවල් වලින් පටන් ගත්තොත්, IMF අරමුදල් ලබා ගැනීම සඳහා දැනට තිබෙන එකම බාධාව චීනයයි. තව පොඩි පොඩි බාධා තිබිය හැකි වුනත් චීනය පැත්තෙන් තිබෙන බාධාව හා සැසඳූ විට ඒවා බාධා නෙමෙයි. 

අරමුදලේ සල්ලි ලබා ගැනීම පිණිස ලංකාවේ රජය හා මහ බැංකුව විසින් ගොඩක් දේවල් කළා. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහන එක නවත්වලා පොලී අනුපාතික ඉහළින් තියා ගත්තා. සල්ලි අච්චු ගැසිය නොහැකි තත්ත්වයක් තුළ රජය විසින් බදු, විදුලි ගාස්තු, ඉන්ධන ගාස්තු වැඩි කළා. වර්තන වියදම් දැඩි ලෙස සීමා කළා. මේ එකක්වත් ජනප්‍රිය තීරණ නෙමෙයි. ඔය හැම දෙයකින්ම වුනේ ජනතාව පීඩාවට පත් වෙන එක බව ඉතාම පැහැදිලි දෙයක්. එහෙම තත්ත්වයක් තුළ මේ දේවල් කරන්න සිදු වුනේ වෙන යා හැකි මගක් නැති නිසා. 

අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවය පරිදි අදාළ, කළ යුතු දේවල් දේවල් කිරීමෙන් පසුව, චීනය හැර අනෙක් ණයහිමියන් විසින් අරමුදලේ සල්ලි නිදහස් කිරීම සඳහා අනුමැතිය ලැබෙන පරිදි තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමැත්ත ලබා දී තිබෙනවා. එහෙත් චීනයේ කැමැත්ත තවමත් ලැබී නැහැ. 

මේ තත්ත්වය තුළ අරමුදලේ සල්ලි නැතිව ලංකාවට ලොකු කාලයක් ඇදගෙන යන්නත් බැහැ. මේ බාධාව හමුවේ අරමුදල විසින් ලංකාවට අලුත් පාරක් පෙන්නා තිබෙනවා. ඒ චීනය අතහැර, චීනය මගහැර ඉදිරියට යාමයි. 

මෙතෙක් කතාව ඕකයි. මේ අනුව, දැන් ලංකාව දෙමං හන්දියකට ඇවිත් තිබෙනවා. හන්දියෙන් පාර බෙදුණත් ඒ විදිහට බෙදී යන පාරවල් දෙකම අවසාන වශයෙන් යන්නේ අරමුදල වෙතයි.

1. චීන පාර - මේ පාරේ යන්නනම් චීනයේ කැමැත්ත අවශ්‍යයි. ගේට්ටුව අරින යතුර තියෙන්නේ චීන ගේට්ටුපල්ලා ළඟ.

2. චීනය නැති පාර - මේ පාරේ යනවානම් නිකම්ම ගේට්ටුව තල්ලු කරගෙන යන්න පුළුවන්. ගේට්ටුව ළඟ ගේට්ටුපල්ලෙක් නැහැ.

බැලූ බැල්මටම පේන්නේ ඉහත දෙවැනි පාර වඩා පහසු, ලේසි පාරක් බවයි. නමුත්, ඇත්තටම ඒක එහෙම නැහැ. එය ඉතාම භයානක පාරක්. මගේ අදහස අවසාන වශයෙන් ලංකාව පළමු පාරේම යයි කියන එකයි. හැබැයි චීන ගේට්ටුව ඇරෙන එක පහුවෙන තරමට ලංකාවට දෙවන පාරට හැරෙන්න වෙන අවදානම ටිකෙන් ටික ඉහළ යනවා. මොකද ඔය පාරවල් දෙකෙන් එකකවත් නොයා දැන් ඉන්න තැන වැඩි කාලයක් ඉන්න බැහැ. 

පළමු පාරේ යන්න චීනය විසින් අවස්ථාව නොදෙන්නේ ඇයි?

මේ පාරේ යන්න චීනය විසින් ලංකාවට පහසුවෙන්ම අවස්ථාව දෙනවා කියන්නේ චීනය පැත්තෙන් ලොකු මිලක් ගෙවන්න සිදු වෙන වැඩක්. මොකද ලංකාවට දෙන සහනයක් පසුකාලීනව තවත් රටවල් වලට දෙන්න චීනයට සිදු වෙනවා. එහෙම දිගටම සහන දෙන එක චීනයේ දිගුකාලීන ආර්ථික හා භූ දේශපාලනික උපාය මාර්ගයට බාධාවක්. 

චීනය විසින් කාලයක සිටම කරමින් සිටින්නේ සංවර්ධිත ලෝකය තුළ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල් වලත් චීන වෙළඳපොළ පුළුල් කර ගැනීමක්. 

පෙර යූටියුබ් වීඩියෝවක පෙන්වා ඇති පරිදි, 2005-2021කාලය තුළ චීන ආනයන වෙනුවෙන් ලංකාව වැය කර ඇති මුදල ඩොලර් මිලියන 45,072ක්. නමුත්, එම කාලය තුළ චීනය විසින් ලංකාවේ ලංකාවේ අපනයන වෙනුවෙන් ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 2,545ක් පමණයි. ඒ අනුව, මෙම කාලය තුළ ශුද්ධ වශයෙන් ලංකාවෙන් චීනයට ගොස් ඇති විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 42,527ක්.

රටකට මේ තරම්ම අවාසිදායක වෙළඳ හිඟයක් දිගින් දිගටම පවත්වාගෙන යන්නනම් ඒ රටට කොහෙන් හෝ විදේශ විණිමය එන ක්‍රමයකුත් තිබිය යුතුයි. එහෙම නැත්නම් ආනයන සිදුවෙන්න ක්‍රමයක් නැහැ. 

චීනය සමඟ ලංකාවේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය විශාල ලෙස ඉහළ ගියේ 2010 වසරින් පසුවයි. සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව ලංකාවේ වෙළඳ ශේෂ හිඟය විශාල ලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම දායක වුනේ ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමයි. 2010-2021 වසර දහය සැලකුවොත් ලංකාවේ වෙළඳ ශේෂ පරතරය පුළුල් වීමට 100%ක්ම දායක වී තිබෙන්නේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ශේෂ පරතරය විශාල ලෙස පුළුල් වීමයි.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව ද්විපාර්ශ්වික වෙළඳාම කියා කිවුවත්, සංඛ්‍යාලේඛණ දෙස බැලු විට පැහැදිලිව පෙනෙන්නේ චීනය සමඟ ලංකාව කරන වෙළඳාම බොහෝ දුරට ඒකපාර්ශ්වික වෙළඳාමක් බවයි. චීනයට සිදු කෙරෙන ලංකාවේ අපනයන චීන ආනයන වලින් 6%ක් පමණයි. ඉතිරි 94%ම වෙනත් ක්‍රමයකින් උපයන හෝ ණයට ගන්නා විදේශ විණිමය.

වර්ෂය - 2010

චීන ආනයන - ඩොලර් මිලියන 1,240

අපනයන - ඩොලර් මිලියන 72 (6%)

ද්විපාර්ශ්වික වෙළඳ හිඟය - ඩොලර් මිලියන 1,168 (94%)


වර්ෂය - 2021

චීන ආනයන - ඩොලර් මිලියන 4,756

අපනයන - ඩොලර් මිලියන 277 (6%)

ද්විපාර්ශ්වික වෙළඳ හිඟය - ඩොලර් මිලියන 4,479 (94%)


2010-2021 අතර චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය වැඩිවීම - ඩොලර් මිලියන 3,311


වර්ෂය - 2010

සමස්ත ආනයන - ඩොලර් මිලියන 13,451

අපනයන - ඩොලර් මිලියන 8,626

සමස්ත වෙළඳ හිඟය - ඩොලර් මිලියන 4,825


වර්ෂය - 2021

සමස්ත ආනයන - ඩොලර් මිලියන 20,637

අපනයන - ඩොලර් මිලියන 12,499

සමස්ත වෙළඳ හිඟය - ඩොලර් මිලියන 8,139


2010-2021 අතර සමස්ත වෙළඳ හිඟය වැඩිවීම - ඩොලර් මිලියන 3,314

ඉහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට කතාව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. ජාත්‍යන්තර වෙළඳාම තුළ ලංකාවේ වෙළඳ ශේෂය සෘණ පැත්තේ තිබීම අලුත් දෙයක් නෙමෙයි. රටවල් අතර ද්විපාර්ශ්වික වෙළඳ ශේෂයන් පැවතීම අසාමාන්‍ය දෙයකුත් නෙමෙයි. නමුත්, 2004-2014 කාලය තුළ ලංකාවේ වෙළඳ ශේෂය ඩොලර් මිලියන 2,242 සිට ඩොලර් මිලියන 8,287 දක්වා ඉහළ යාම නිදහසින් පසු ලංකාවේ ආර්ථික ඉතිහාසය සැලකූ විට සාපේක්ෂව අලුත් තත්ත්වයක්. මේ අලුත් වැඩිවීම තුළ චීනය සමඟ කළ වෙළඳාමේ බලපෑම කැපී පෙනෙනවා.

විදේශ ණය ගැනීම ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නමුත් චීනයෙන් ණය ගැනීම සාපේක්ෂව අලුත් දෙයක්. 2006දී චීන ණය ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 0.46%ක් පමණයි. ද්විපාර්ශ්වික ණය වලින් 1.1%ක් පමණයි. මේ වෙද්දී ද්විපාර්ශ්වික ණය වලින් 43.3%ක් සහ සමස්ත ණය ප්‍රමාණයෙන් අඩුම වශයෙන් 20%ක් පමණ චීන ණයයි. මේ අනුව, චීන ණය ඉහළ යාම හා චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය ඉහළ යාම අතර සම්බන්ධය පැහැදිලිව දක ගත හැකියි. 

චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය ඉහළ යාම සමස්ත වෙළඳ හිඟය ඉහළ යාමට දායක වූ අයුරින්ම, චීන ණය රටේ සමස්ත විදේශ ණය ඉහළ යාමට විශාල ලෙස දායක වී තිබෙනවා. සහනදායී නොවන ව්‍යාපෘති ණය හා වාණිජ ණය ස්වෛරිත්ව බැඳුම්කර වලට වඩා භයානකයි. 

ස්වෛරිත්ව බැඳුම්කර මගින් එකතු කර ගන්නා විදේශ විණිමය පරණ ණය හා පොලී ආපසු ගෙවීම වෙනුවෙන් යොදා ගත හැකියි. එහෙත්, ව්‍යාපෘති ණය හා වාණිජ ණය අදාළ කර්තව්‍යය වෙනුවෙන්ම යොදා ගත යුතු නිසා බොහෝ විට සිදුවන්නේ එම විදේශ විණිමය නැවත ණය දුන් රටටම ආපසු යාමයි. 

මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස රටේ විදේශ ණය ඉහළ යාම නොවැලැක්විය හැකියි. ස්වෛරිත්ව බැඳුම්කර මගින් එකතු කර ගන්නා විදේශ විණිමය වුවද, වෙළඳපොළේ විකුණා රුපියල් කර රජයේ අයවැය හිඟය පියවීම පිණිස වැය කරන්නේනම් අවසාන වශයෙන් සිදු වන්නේ එම විදේශ විණිමය ප්‍රමාණය ආනයන වියදම් ලෙස රටින් පිටව ගොස් වෙළඳ හිඟය පුළුල් වීමයි.

චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට චීන ණය ආපසු ගෙවීම සඳහා තව තවත් ණය දීමට චීනය කැමැත්තෙන්ම ඉදිරිපත් වීම තේරුම් ගන්න අපහසු නැහැ. තවතවත් ණය දීම මගින් චීනයට ද්විපාර්ශ්වික වෙළඳාමේ වාසිය දිගටම පවත්වා ගන්න පුළුවන්. යෝජිත ස්ථායිකරණ වැඩ පිළිවෙළ තුළ දිගුකාලීනව සිදුවීමට නියමිතව තිබෙන්නේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය තවතවත් පුළුල් වීම නැවතීමයි. ඇතැම් විට වෙළඳ හිඟය අඩු වීමයි. 

ස්ථායිකරණ වැඩ පිළිවෙළ තුළ ලංකාවේ ජංගම ගිණුම් ශේෂ හිඟය දදේනියෙන් 1.2% දක්වා අඩු කර ඒ මට්ටමේ තිබා ගත යුතුයි. එයින් අදහස් වන්නේ දැනට ලබා ගෙන තිබෙන විදේශ ණය හා පොලී ආපසු ගෙවන්නට මිස වෙනත් කටයුතු සඳහා අළුතෙන් විදේශ ණය ගැනීමක් සිදු නොවන බවයි. ඒ කියන්නේ ණයට ආනයන සිදු කිරීමේ ඉඩක් තව දුරටත් ලංකාවට නැති බවයි. මේ තත්ත්වය තුළ වුවද චීනයට ලංකාව සමඟ වාසිදායක වෙළද ශේෂයක් පවත්වා ගත හැකි වුවත් එය දිගින් දිගටම පුළුල් වීමේ ඉඩ ඇහිරෙනවා. චීනයේ ප්‍රතිරෝධයට මෙයද හේතුවක්. 

චීනයේ ආර්ථික හා භූ දේශපාලනික ඉලක්ක තුළ චීනයට තමන්ගේ වෙළඳපොළ පුළුල් වනු දකින්නට අවශ්‍යයි. වාසිදායක වෙළඳ ශේෂයක් දිගටම පවත්වා ගැනීමේදී රට තුළ විදේශ විණිමය ගොඩ ගැහෙනවා. ඒ නිසා, ඒ විදේශ විණිමය රටෙන් පිටතට යැවෙන යාන්ත්‍රණයක් අවශ්‍යයි. එක්කෝ ණය විදිහට මේ අරමුදල් රටින් පිටතට යා යුතුයි. නැත්නම් රටින් පිටත මූර්ත වත්කම් එක්රැස් විය යුතුයි. ඔය දෙවැන්නට ලංකාව වැනි රටවල තියෙන්නේ විශාල ප්‍රතිරෝධයක්. 

සරලව කියනවානම් දෙවැන්නෙන් අදහස් වන්නේ චීනය විසින් ලංකාව තුළ වත්කම් මිල දී ගන්නවා කියන එකයි. මම දකින විදිහටනම් ණය ගැනීමට සාපේක්ෂව මෙය නරක දෙයක් නෙමෙයි. ලංකාව විසින් චීනයෙන් ණය ගනිද්දී එම අරමුදල් පරිපාලනය කරන්නේ ලංකාවේ රජයයි. ඒ කටයුත්ත තුළ පාඩු සිදු වුනත්, ලාබ සිදුවුනත් චීනයට පොරොන්දු වූ ප්‍රතිලාභ (පොලී) ගෙවිය යුතුයි. චීනය විසින් ලංකාවේ කිසියම් වත්කමක් මිල දී ගත් විට සිදු වන්නේද චීනය විසින් සිය ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ ලංකාවෙන් පිටතට ගෙනයාමම වුවත්, එහිදී සිදු වන්නේ චීනය විසින්ම අදාළ වත්කම කළමනාකරණය කර උපයා ගන්නා ප්‍රතිලාභ රටින් පිටතට රැගෙන යාමයි. 

පළමු විකල්පයේදී සිදු වන්නේ ලංකාව විසින් නූපයන ආදායමක් චීනයට ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස ගලා යාමයි. දෙවැනි විකල්පයේදී අඩුම වශයෙන් චීනය වෙත ගලා යන ප්‍රතිලාභ චීනය විසින්ම ලංකාව තුළදී උපයා ගන්නවා. සාමාන්‍යයෙන් මෙහිදී ලංකාවටත් යම් හෝ ප්‍රතිලාභයක් ලැබෙනවා. චීනය වෙනුවට ඉන්දියාව හෝ වෙනත් රටක් ආදේශ කළත් තත්ත්වය එයයි. කොහොම වුනත් ලංකාවේ ජනප්‍රිය මානසිකත්වය තුළ "රට විකිණෙන එක" වඩා ලොකු ප්‍රශ්නයක් නිසා ණය එකතු කරගෙන පොලී ගෙව ගෙවා ඉන්න "දේශීය විසඳුම" මගින් තමන්ගේ ප්‍රතිලාභ එකතු කර ගන්න එක චීනයට වඩා පහසු වී තිබෙනවා. 

චීනයට ඔවුන්ගේ පැත්තෙන් බැලුවහම ඔවුන්ට ලැබිය යුතු ප්‍රතිලාභ ලේසියෙන් අතාරින්න බැහැ. චීන සහයෝගය නැතිව ලංකාවට පළමු පාරෙන් ඉස්සරහට යන්නත් බැහැ. පළමු පාරෙන් ඉස්සරහට යන්නනම් චීනයටත් පාඩුවක් නොවී ලංකාවට වාසියක් ලබා ගන්න පුළුවන් විකල්ප ගැන හිතන්න වෙනවා. 

කලින් කිවුවා වගේම, චීනය ලංකාව එක්ක කරන හෙට්ටු කිරීමේදී පාඩුවක් කර ගන්නවා කියන්නේ එතැනින් නවතින දෙයක් නෙමෙයි. ඒ පාඩුවට අමතරව ලෝකය පුරා පෙරමුණු ගණනාවකදී චීනයට පාඩු විඳින්න වෙනවා. අනෙක් අතට ලංකාව හිර වෙලා ඉන්නෙත් ඒ වගේම උගුලක. ලංකාව චීනය වෙනුවෙන් යමක් අත අරිනවා කියන්නේ ඒ වගේ කිහිප ගුණයක පාඩුවක් විඳින්න වෙනවා කියන එක. මොකද පැරිස් සංසදය හා ඉන්දියාව  ලංකාවට සහනයක් දෙන්න කැමැත්තෙන් ඉන්නේ චීනයෙනුත් ඊට සමාන සහනයක් ලැබෙනවානම් පමණයි. ඒ නිසා, චීනයෙන් අඩු දෙයක් ගන්න එකඟ වුනොත් ඒ එක්කම අනෙක් රටවල් වලින් ලැබෙන සහන වලින් විශාල කොටසකුත් නැතුව යනවා. 

පළමු පාරේ චීන ගේට්ටුවෙන් එහාට යාම සඳහා අවශ්‍ය සම්මුතියේදී ලංකාවට වගේම චීනයත් සිදුවන පාඩු සෘජු පාඩු වලින් ඔබ්බට යන නිසා මේ එකඟතාවය ඇතිකර ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. එහෙමනම් විකල්පය දෙවන පාරද?

දෙවන පාරේ යනවානම් දැනට මාර්ග බාධක නැහැ. කෙළින්ම ගේට්ටුව අරගෙන යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න එන්නේ ඊට පස්සේ. මොකද පිට පාරෙන් යන්න ඇරලා චීනය ඇස් කණ වහගෙන බලා ඉන්නේ නැහැ. එතැනින් එහාට චීනය ලංකාවේ හතුරෙක් වෙනවා. ලංකාවට බටහිර ඉත්තෙක් වෙන එක හැර වෙන විකල්පයක් නැතිව යනවා. 

ඔය දෙවන මාර්ගයේ යාම සරලව පැහැදිලි කළොත් මෙහිදී වෙන්නේ චීන ණය නොගෙවන්න ලංකාව ඒකපාර්ශ්විකව තීරණයක් ගැනීම. ඒකපාර්ශ්විකව කිවුවත් බටහිර රටවල අනුමැතිය එක්ක. නමුත් ඔය වගේ තීරණයකට චීනය කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒකෙන් ලංකාවට සිදුවන පාඩු මොනවාද?

මේ වගේ තත්ත්වයක් තුළ ලංකාවට පැමිණිය හැකි චීන ආයෝජන නවතිනවා. ලංකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමට බාධා පැමිණෙනවා. හැබැයි කලින් කිවුවා වගේම ඔය දේවල් වලින් වැඩි පාඩුව චීනයටමයි. ලංකාවට මේ දෙවන විකල්පය දීලා තියෙන්නෙම ඔය හේතුව නිසා. මොකද දැන් ලංකාවට ඔය දෙවන විකල්පය පෙන්නලා චීනය පළමු විකල්පයට ඉක්මණින් කැමති කරගන්න අවස්ථාවක් තිබෙනවා.

මම හිතන්නේ මේ වැඩේ වෙයි කියලා. මොකද දෙවන විකල්පය අවසාන වශයෙන් චීනයේ පැත්තෙන් බැලුවත්, ලංකාවේ පැත්තෙන් බැලුවත් හොඳ විකල්පයක් නෙමෙයි. රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වලදී ගොඩක් වෙලාවට කියන දේවල් ඇත්තටම කරන්නේ නැහැ. නමුත්, සමහර වෙලාවට නොකරන්න හිතාගෙන කියන දේවල් නොකර ඉන්න බැරි තැනකට තල්ලු වෙනවා. මේ කාරණයේදී වුනත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුනොත් ලංකාව හමුවේ තිබෙන්නේ වඩා දුෂ්කර මාර්ගයක්.

Sunday, February 19, 2023

චීන සහාය නැතුවම IMF සල්ලි ලැබෙයිද?


දැන් පෙනෙන විදිහට චීනයේ සහයෝගය නැතිවම ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙන්නට ඉඩ ඇති බවක් පේනවා. එහෙම වුනොත් අදාළ ණය වාරිකය ලැබෙන්නට වැඩි කාලයක් යන එකක් නැහැ. මේක වෙන්නේ කොහොමද?

මේ ලංකාව අරමුදල වෙත ගිය 17 වන වාරයයි. අරමුදල වෙත යන රටකට අරමුදල සමඟ සාර්ව ආර්ථික වැඩපිළිවෙළකට එකඟ වෙන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි වැඩ පිළිවෙලක් ජනප්‍රිය සාහිත්‍යය තුළ අරමුදල විසින් කොන්දේසි දැමීමක් ලෙස හැඳින්වෙනවා.

අරමුදල සමඟ සාර්ව ආර්ථික වැඩපිළිවෙලකට එකඟ වීමේදී අරමුදල විසින් කොන්දේසි දමනවා කියන එක යම් ආකාරයක අර්ධ සත්‍යයක් පමණයි. මෙහිදී ඇත්තටම සිදුවෙන්නේ වැඩසටහන් කාලය තුළ ආර්ථිකයේ මූලික ප්‍රශ්න වලට පිළියම් යොදාගෙන වැඩ සටහන අවසන් වෙද්දී අරමුදලේ ණය ආපසු ගෙවිය හැකි පරිදි ආර්ථිකය පිළිසකර කර ගන්නා ආකාරය අදාළ රට විසින් පැහැදිලි කිරීම සහ අදාළ වැඩ පිළිවෙළෙහි ශක්‍යතාවය පිළිබඳව අරමුදල විසින් සොයා බලා එකඟ වීමයි. 

අරමුදල වෙත නොගොස් ආර්ථිකය ගොඩ දමා ගන්නට බැරි මට්ටමට එන රටක් ඒ වන විට ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට සහ රාජ්‍ය මූල්‍යනය පිළිබඳ ප්‍රශ්න වලට මුහුණ දී තිබීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා, මේ අර්බුද වලින් ගොඩයාම සඳහා බදු වැඩි කිරීම, රාජ්‍ය වියදම් කැපීම, විණිමය අනුපාතය නිදහස් කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වීමද සාමාන්‍ය තත්ත්වයක්. අරමුදල වෙත නොගියත් මේ දේවල් කරන්නම වෙනවා. 

අරමුදලේ සහයෝගය නැතිව තනිව අර්බුදයෙන් ගොඩ යාමට සාපේක්ෂව, අරමුදල වෙත යාමේදී අමතර වාසි කිහිපයක් ලැබෙනවා. පළමු හා ප්‍රධානම වාසිය ගොඩ යා හැකි සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් හදා ගැනීම සඳහා අදාළ රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ලැබෙන තාක්ෂණික සහයෝගයයි.

අරමුදලෙන් ලැබෙන ණය වාරික සැලකිය හැක්කේ දෙවන වාසිය ලෙසයි. එය ප්‍රධානම වාසිය නෙමෙයි. සාමාන්‍යයෙන් මේ ණය වාරික ලැබෙන්නේ රටේ මහ බැංකුවටයි. එම මුදල් සංචිත වලට එකතු වන අතර, රජයට වියදම් කිරීමේ හැකියාවක් නැහැ. එමෙන්ම, අරමුදල සමඟ සාමාන්‍යයෙන් එකඟ වන කොන්දේසි අනුව, මහ බැංකුවට එම අරමුදල් විකුණා නාස්ති කිරීමේ හැකියාවක්ද නැහැ. 

තෙවන හා වැදගත්ම වාසිය මෙසේ අරමුදල සමඟ ඇතිකරන්නා එකඟතාවය හේතුවෙන් රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසනීයත්වය ගොඩ නැගීමයි. ඉහත මුල් වාසි දෙක මෙන් සෘජු වාසියක් නොවුනත්, වඩාත්ම ප්‍රතිඵලදායක දෙය මෙම වක්‍ර වාසියයි.

නැවතත් කිව යුත්තේ ඉහත සාමාන්‍ය තත්ත්වය තුළ සිදු වන දෙය අරමුදල විසින් කොන්දේසි දැමීමක් නොවන බවයි. එහෙත්, අදාළ රට විසින් අරමුදලේ තාක්ෂණික සහයෝගයද ලබාගෙන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සකස් කර එම වැඩ පිළිවෙළ මත පදනම්ව අරමුදලෙන් ණය ලබා ගනිමින් අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව අදාළ එකඟතාවය පිළිපැදීම කොන්දේසියක් බවට පත් වෙනවා.

මෙවර තත්ත්වය ඉහත සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස්. අරමුදලේ සහයෝගය ලබා ගැනීම සඳහා ණය තිරසාරත්වය ඇති කර ගැනීම මූලික කොන්දේසියක්. මෙය නිර්දේශයක් නෙමෙයි. අදාළ කොන්දේසිය නොසපුරා අරමුදලේ මූල්‍ය සහයෝගය ලබා ගැනීමේ හැකියාවක් නැහැ.

මේ වෙනසට හේතුව අරමුදල වෙත යන විටද ලංකාව ණය පැහැර හැර අවසන්ව ඇති, ඊටත් පෙර සිටම ණය තිරසාරත්වය නැති කරගෙන සිටි, රටක් වීමයි. ඒ නිසා, පැවති තත්ත්වය තුළ, පෙර අවස්ථා වලදී මෙන් වැඩසටහන් කාලය අවසන් වන විට ණය ආපසු ගෙවීම සහතික කෙරෙන සාර්වආර්ථික වැඩපිළිවෙළක් පිළියෙළ කිරීමේ කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. 

ප්‍රායෝගිකව, ණය තිරසාරත්වය ඇති කරගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍යව තිබුණා. මෙවැන්නක් කිරීම කල් ගත වන, අසීරු දෙයක්. ඒ නිසාම, අරමුදල විසින් ගිවිසුම අත්සන් කර පළමු ණය වාරිකය ලබා දීමේ කොන්දේසියක් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළ යුතුයැයි ඉල්ලා සිටියේ නැහැ. ඔවුන් ඉල්ලා සිටියේ මුළු ණය ප්‍රමාණයෙන් කොටසක් වූ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූලික එකඟතාවයක් ඇති කරගෙන, වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් ගත යුතු බව පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම සඳහා ඉන්පසුවද කාලය වෙන්ව තිබුණා. 

පසුගිය කාලය පුරාම ලංකාවේ අවධානය වැඩි වශයෙන්ම යොමු වී තිබුණේ හැකි ඉක්මනින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙතයි. මේ හා අදාළව පෙර ලිපි කිහිපයකම වැඩි විස්තර ලියා තිබෙනවා. 

පසුගිය (2022) සැප්තැම්බර් අවසානයේදී පැවති තත්ත්වය අනුව, ශ්‍රී ලංකා රජයේ සෘජු ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 10,814ක්. රජය විසින් ඇප වී ඇති රාජ්‍ය ව්‍යවසාය වල ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය මෙයට ඇතුළත් නැහැ. මහ බැංකුවේ ණයද මෙහි නැහැ. මෙම ප්‍රමාණය මධ්‍යම රජයේ මුළු විදේශ ණය ප්‍රමාණය වූ ඩොලර් මිලියන 35,347න් 31%ක්. ඉතිරි කොටසින් 27%ක් බහුපාර්ශ්වීය ණය වන අතර 42%ක් වාණිජ ණයයි. 

ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් අතර රටවල් 22ක් සිටිනවා. මෙම රටවල් අතරින් රටවල් 15ක් පැරිස් සංසදයේ රටවල්. පැරිස් සංසදය තුළ සිටින්නේ සම්ප්‍රදායිකව දිළිඳු රටවල් වලට ණය දුන් සල්ලි තිබෙන රටවල්. ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල් මෙන්ම රුසියාව, දකුණු කොරියාව, ජපානය වැනි රටවල්ද පැරිස් සංසදය තුළ සිටිනවා. කෙසේ වුවත්, ලංකාවට විශාල ලෙස ණය දී තිබෙන චීනය, ඉන්දියාව හා මැදපෙරදිග රටවල් පැරිස් සංසදය තුළ නැහැ. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සංගමයේ භූමිකාව ඉතා ප්‍රබලයි. ඔවුන් මෙහිදී කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. පැරිස් සංගමයේ රටවල් අතරින් ලංකාවට විශාල ලෙස ණය ලබා දී තිබුණු එකම රට ජපානයයි. ජපානය විසින් ලංකාවට ඩොලර් මිලියන 2,464ක ණය ලබා දී තිබෙනවා. එය සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 22.8%ක්. පැරිස් සංසදයේ අනෙකුත් රටවල් 14ක් විසින් ලබා දී ඇති ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,710ක් (ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 15.8%ක්). මුළු එකතුව ඩොලර් මිලියන 4,174ක් හෙවත් සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 38.6%ක්.

කෙසේ වුවත්, චීන ණය ප්‍රමාණය ඉහත රටවල් 15කම ණය ප්‍රමාණයට වඩා වැඩියි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 4,678ක් හෙවත් මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 43.3%ක්. 

ඉතිරි කොටසින් ඩොලර් මිලියන 1,652ක් හෙවත් මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 15.3%ක් ඉන්දියානු ණයයි. සවුදි අරාබිය, කුවේට්, ඉරානය, හංගේරියාව හා පකිස්ථානය යන රටවල්ද ලංකාවේ ණයහිමියන් අතර සිටිනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් එකඟ වී ඇති ලංකාවේ ණය තිරසාරත්වය නැවත ඇති කරන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ඉලක්ක හා අනුගත වන පරිදි සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාව මුලින්ම නිල අනුමැතිය ලබා දුන්නා. ඉන් පසුව, පැරිස් සංසදයේ රටවල් වලින්ද මෙම අනුමැතිය ලැබුණා. එම අනුමැතිය ලබා දුන් පැරිස් සංසදයේ ජනවාරි 25 රැස්වීමට ඉන්දියාව මෙන්ම හංගේරියාව, සවුදි අරාබිය හා කුවේට් යන රටවල්ද සහභාගී වුනා. හංගේරියාව සෘජුවම පැරිස් සංසදයේ තීරණය සමඟ රැඳී අතර සවුදි අරාබිය හා කුවේට් රටවල තීරණ හා වලද ලොකු ප්‍රශ්නයක් ඇති බවක් පෙනෙන්නට නැහැ. 

ඉහත තීරණ වලින් පසුව, චීනය හැර ඉතිරි වන අනෙක් රටවල් දෙක ඉරානය හා පකිස්ථානයයි. ඉරාන අපනයන සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 32.9ක් වන අතර පකිස්ථාන රජයෙන් ලබා දී ඇත්තේ ඩොලර් මිලියන 2.1ක් පමණයි. මේ ගොඩවල් දෙක එකතු කළත් මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 0.3%ක් පමණයි. ඒ නිසා, ප්‍රායෝගිකව ඉතිරි වී තිබෙන එකම ප්‍රශ්නය චීනයේ කැමැත්තයි. 

ඩොලර් මිලියන 4,678ක් වන චීන ණය වලින් ඩොලර් මිලියන 4,005.8ක්ම චීන එක්සිම් බැංකුව විසින් ලබා දී ඇති අතර, චීන සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 535.2ක ණය මුදලක්ද, චීන රජය විසින් සෘජුවම ඩොලර් මිලියන 14.0ක මුදලක්ද ලංකාවට ණය ලෙස ලබා දී තිබෙනවා. මීට පෙර චීන එක්සිම් බැංකුව විසින් දැනුම් දුන්නේ ඔවුන්ගේ ණය ආපසු ගෙවීම සඳහා දෙවසරක් දක්වා කාලය ලබා දිය හැකි බවයි. එම දෙවසරෙන් වසරකට ආසන්න කාලයක් මේ වන විටද ගෙවී අවසන්. ඉතිරි වසරක කාලය තුළ ඉහත ණය ආපසු ගෙවිය හැකි තරමට රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ හැකියාවක් ලංකාවට නැහැ.

බටහිර රටවල් හා චීනය අතර සීතල යුද්ධයක් පවතින බවත්, ඉන්දියාවද මෙම යුද්ධය තුළ බටහිර රටවල පාර්ශ්වකරුවෙකු බවත් කවුරුත් දන්නා කරුණක්. ලංකාවද කාලයක සිටම මේ සීතල යුද්ධයේ පොර පිටියක්ව තිබෙන අතර, ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය තුළද අඩු වැඩි වශයෙන් ඉහත කඳවුරු වල අවශ්‍යතා නිරූපණය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන තුළ දේශපාලන බලය තිබෙන්නේ බටහිර රටවල් සතුවයි. ඒ නිසා, එම සංවිධාන බොහෝ විට කටයුතු කරන්නේ බටහිර රටවල දේශපාලනික අරමුණු හා අනුගත වන පරිදියි.

ලංකාවේ ආර්ථික අර්බුදය තුළ මුල සිටම ඉහත සීතල යුද්ධයේ පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරිත්වය දැක ගත හැකිව තිබුණා. චීනය විසින් ලංකාව ණය උගුලක පැටලවූ බව ප්‍රචලිත අදහසක්. මෙම අදහස ඇමරිකාව විසින් ජනගත කළ බව කීවොත් එහි ලොකු වැරැද්දක් නැහැ. ට්‍රම්ප් රජයේ උප ජනාධිපති වූ මයික් පෙන්ස් විසින් වසර කිහිපයකට පෙර මේ බව සෘජුවම කිවුවා. ඉහත ප්‍රවාදය පිළිබඳව චීනය මුල සිටම ඔවුන්ගේ නොසතුට නොපැකිළ පෙන්නුවා. ලංකාවේ ණය අර්බුදයට ඇත්ත හේතුව ස්වෛරිත්ව බැඳුම්කර බව චීනය විසින් සැලසුම්සහගතව ජනගත කළ අදහසක්. චීනයට මෙම මතය ලෝක මට්ටමින් ජනගත කළ නොහැකි වුනත්, එම මතය ලංකාව තුළ සාර්ථක ලෙස ජනගත කිරීමට චීනය සමත් වුනා. දැන හෝ නොදැන මේ එක් එක් කඳවුර නියෝජනය කර ඇති ශ්‍රී ලාංකීය දේශපාලනඥයින් හඳුනා ගැනීම අපහසු නැහැ.

ඇත්තම කතාවනම් ලංකාව ණය උගුලක සිර වීමේ වගකීම චීනය වෙත හෝ වෙනත් රටක් වෙත පැටවිය නොහැකි බවයි. මේ කිසිදු රටක් ලංකාවට බලෙන් ණය දුන්නේ නැහැ. අදාල ණය ගිවිසුම් වලට එළැඹුණේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ රටේ නීත්‍යානුකූල පාලකයින්. ඒ අනුව, මෙය අවසාන වශයෙන් රටේ මහජනතාව විසින්ම කරගත් දෙයක්. දැන් ඒ වෙනුවෙන් ඔවුන්ට වන්දි ගෙවීමට සිදු වී තිබෙනවා. කෙසේ වුවත්, රටේ ආර්ථිකය නැවත ස්ථායී කරගැනීමේ ක්‍රියාවලිය තුළ ලංකාවට ඉදිරියට යාමට සිදුව ඇත්තේ ඉහත සඳහන් චීන-බටහිර සීතල යුද්ධයේ සෙවණැලි අතර සැරිසරමිනුයි. මෙහි බලපෑම රටේ අභ්‍යන්තර දේශපාලනය තුළද දැකිය හැකියි.

පැරිස් සංසදය විසින් මුලින්ම ලංකාව වෙත ඉතා සහනදායී පැකේජයක් යෝජනා කරමින් සිදු කළේ චීනය වෙත පන්දුව දමා ගැසීමක්. මේ ගැන පෙර ලිපි වල ලියා ඇති නිසා නැවත එම විස්තර සියල්ල ලියන්නේ නැහැ. මෙසේ කිරීම මගින් චීනය අකැමැති, චීනයට අවාසිදායක කොන්දේසි වලට චීනය කෙසේ හෝ කැමති කර ගැනීම සඳහා ලංකාවට බල කෙරුණා. 

බටහිර රටවල් හා ඉන්දියාව විසින් නොපැකිළ උදවු කරද්දී, චීනය විසින් ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා නොදුනහොත් දිගු කලකට නැවත ප්‍රකෘතිමත් කරගත නොහැකි පරිදි  චීන-ලංකා මිත්‍රත්වය පලුදු විය හැකි නිසා චීනය විසින් යම් අවාසිදායක තත්ත්වයක් යටතේ වුවද බටහිර කොන්දේසි වලට එකඟ වීමේ හැකියාවට බටහිර රටවල් විසින් ඔට්ටු දැම්මා වෙන්න පුළුවන්. චීනයේ අනාගත භූ දේශපාලනික සැලසුම් තුළ ලංකාව කොයි තරම් වැදගත්ද යන කරුණ මත මෙය තීරණය විය හැකිව තිබුනා. 

චීනය මේ කොන්දේසි වලට එකඟ වූවානම් එය බටහිර හමුවේ දණ නැමීමක් මෙන්ම ලංකාවේ පෙරමුණට අමතරව වෙනත් පෙරමුණු ගණනාවකදී අනාගත පරාජය සලකුණු කර ගැනීමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා බටහිර රටවල් විසින් යෝජනා කළ කොන්දේසි වලට චීනය නැමුනේ නැහැ. මෙම තීරණය ගැනීමේදී ලංකාවේ හොඳහිත පලුදු වීම පිළිබඳව චීනය වැඩි බරක් තැබුවේ නැහැ.

මේ තත්ත්වය තුළ සිදු විය හැකි දේවල් දෙකක් තිබුණා. පළමුවැන්න, චීනයේ සහයෝගය නැති කමින් ලංකාවේ ආර්ථිකය දිගින් දිගටම අස්ථායී තත්ත්වයක පවතින බව ලෝකයට පෙන්වීමට ඉඩ සලස්වමින් බටහිර රටවල් විසින් කල් මැරීමයි. දෙවැන්න, චීනය හමුවේ පරාජය භාර ගනිමින්, චීනයේ සහයෝගය නැතිව බටහිර රටවල් මුල් වී ලංකාවේ ආර්ථිකය ස්ථායී කිරීමයි. 

දෙවැන්න සිදු වූවානම් එය ලෝක මට්ටමේදී චීනය ලබන ජයග්‍රහණයක්. මෙහිදී චීනයට ඔවුන්ගේ ණය දීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යාම සඳහා යම් ආකාරයක ලෝක අනුමැතියක් ව්‍යංගයෙන් ලැබෙනවා. අනෙක් අතට පළමුවැන්න සිදු වූවානම්, ඒ හරහා ලංකාවේ සිදුවන දේශපාලන අස්ථාවරත්වය බටහිරට එරෙහි හා චීනයට වඩා නැඹුරු අභ්‍යන්තර දේශපාලන බල තුලනයක් කරා ලංකාව තල්ලු කරනු ඇතැයි චීනය ගණන් හැදුවා වෙන්න පුළුවන්. 

දැන් මේ අභියෝගය හමුවේ බටහිර රටවල් විසින් චීනයට නැවතත් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙහිදී ඔවුන් ලංකාවේ ආර්ථික ස්ථායීත්වය තුළින් හැදෙන දේශපාලන බලතුලනය තමන්ට වඩා වාසිදායක සේ ගණන් බලා ඇති බව පෙනෙනවා. ඒ අතර, ලෝක මට්ටමේදී චීනයට නොනැමී මේ වැඩේ කරගන්නට තරම් බටහිර රටවල් උපක්‍රමික වී තිබෙනවා. මෙහි අවසාන ප්‍රතිඵලයක් ලෙස ලංකාවට දිගින් දිගටම චීනය සමඟ ගැටෙන්නට සිදු වීම මග හැර යා නොහැකි එකම විකල්පය බවට පත් කර තිබෙනවා. 

දැනට පවතින තත්ත්වය තුළ සිදුව ඇත්තේ චීනයේ කැමැත්ත නැතිවම චීනය වෙනුවෙන් බටහිර රටවල් විසින් තීන්දුවක් ගැනීම හා සමාන දෙයක්. ලංකාවට සිදුව ඇත්තේ චීනය අරභයා එම බටහිර තීන්දුව ක්‍රියාත්මක කරන්නටයි. මේ අනුව, චීනය හැර අනෙකුත් රටවල ණය ආපසු ගෙවීම සඳහා එම රටවල් විසින් එකඟ වී ඇති සහන කාලය ලංකාවට ලැබෙනු ඇති අතර, අදාළ සහන කාලය තුළ, චීනය කැමති වුනත් නැතත්, ලංකාවට චීන ණය ආපසු ගෙවිය නොහැකියි. එසේ ණය ගෙවීම පැහැර හැරීම මගින් රටේ ණය තිරසාරත්වය ඇති කර ගත හැකි නිසා ලංකාවට අරමුදලේ වාරිකද ලබා ගත හැකියි. 

මේ මුෂ්ඨි ප්‍රහාරයට චීනය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද? එම ප්‍රතිචාර කවර ස්වරූපයක් ගත්තත්, කෙරෙන දෙයක් කෙරෙනු ඇත්තේ අභ්‍යන්තර දේශපාලනය තුළ චීනයට කළ හැකි බලපෑම්ද උපරිම වශයෙන් භාවිතයට ගනිමිනුයි. එය සිදුවන ආකාරය ඉදිරි කාලය තුළ නිරීක්ෂණය කරන්නට හැකි වෙයි.

Saturday, February 18, 2023

විදුලි ගාස්තු හා උද්ධමනය


කෙටි කාලයක් තුළ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන වචන දෙකකින් කතා කරනවානම් එය එඩිතර තීරණයක්. මේ හරහා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ ඓතිහාසික වැරැද්දක් නිවැරදි වෙනවා. හැබැයි මේ තීරණය තුළින්, නොවැලැක්විය හැකි පරිදි, රටේ විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වන බවත් ඒ එක්කම සටහන් කළ යුතුයි. 

විදුලි ගාස්තු සංශෝධනය වැඩිපුරම දැනෙනු ඇත්තේ විදුලිය අඩුවෙන්ම පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ටයි. මේ වටයේදී කර්මාන්ත වලට ගෙවන්නට සිදු වන විදුලි ගාස්තුව ඉහළ ගොස් තිබෙන්නේ සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින්. මසකට කිලෝවොට් පැය 100ක් පරිභෝජනය කරන ලංකාවේ "සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ" විදුලි බිල ආසන්න වශයෙන් 100%කින් පමණ ඉහළ යනවා. උද්ධමන මිනුම් කෙරෙහි එහි සෘජු බලපෑමක් තිබෙනවා. 

විදුලි ගාස්තු ඉහළ දැමීම සාධාරණද කියන එක පහසුවෙන් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක්. විදුලි ගාස්තු ඉහළ දැමීමේ ආර්ථික බලපෑම් ගැන කතා කරන එක ඊට වඩා පහසුයි.

ලංකාවේ විදුලිබල කර්මාන්තය රාජ්‍ය ඒකාධිකාරයක්. එවැනි රාජ්‍ය ඒකාධිකාරයකට කැමති පරිදි මිල වැඩි කිරීමට බාධාවක් නැහැ. මිල වැඩි කිරීම මගින් කර්මාන්තයේ අකාර්යක්ෂමතාවයන් වල පාඩුව යටපත් කරගන්න පුළුවන්. ඒ අතින්, විදුලි ගාස්තු ඉහළ දැමීම තුළ අකාර්යක්ෂමතාවයන්ට දිරි දීමක් සිදුවන බව යමෙකුට තර්ක කළ හැකි වුවත්, තරඟයක් නැති පසුබිමක විදුලි ගාස්තු අඩු කළා හෝ වැඩි කළා කියා කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ නැහැ. 

ඉහත ප්‍රශ්නයට විසඳුම කර්මාන්තය ප්‍රතිනියාමනය කර තරඟකාරිත්වයක් ඇති කිරීමයි. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නෙමෙයි. එය විස්තරාත්මක ලෙස කතා කළ යුතු දෙයක්. මේ ගැන ලිපි පෙළක් පටන් ගත්තත් එම ලිපි පෙළ අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නැහැ. එහෙත්, එවැන්නක් වන තුරු, කර්මාන්තයේ අකාර්යක්ෂමතාවයේ බර සෘජුවම පාරිභෝගිකයින් වෙත පැටවීම කෙටිකාලීනව කළ හැකි හොඳම දෙයයි. එසේ නොකරන තාක්, එම බර වක්‍ර ලෙස ඔවුන් වෙතම පැටවෙන අතර වෙනත් ආර්ථික හානි ගණනාවක්ද සිදු වෙනවා. 

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසුව විදුලි කප්පාදුව නැවැත්විය හැකි බවද පැවසෙනවා. මා හිතන පරිදි මෙය කළ හැකි දෙයක්. විදුලි කප්පාදුවට හේතුව ලෙස විවිධ තාක්ෂණික හේතු ඉදිරිපත් කළ හැකි වුවත්, ඒ පසුබිමේ පැවති ආර්ථික සාධකය වූයේ විදුලි කප්පාදුව හරහා ලංවිම පාඩු සීමා කරගත හැකි වීමයි.

මාස ගණනාවකට පෙර කෙසේ වුවත්, මෑතකාලීනව විදුලිය කප්පාදු කිරීමට අවශ්‍ය වූයේ ඩොලර් නැතිකම නිසා නෙමෙයි. මේ කරුණ හා අදාළව ඩොලර් ප්‍රශ්නය මාස කිහිපයකට පෙරම විසඳී අවසන්. ඇත්තටම තිබුණු ප්‍රශ්නය රුපියල් ප්‍රශ්නයයි. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් එම ප්‍රශ්නය විසඳෙනවා. 

ලංකාවේ විදුලිබල නිෂ්පාදන ප්‍රභව වල සංයුතිය අනුව, නිෂ්පාදනය ඉහළ යද්දී ඒකක පිරිවැයද (unit cost) ඉහළ යනවා. විදුලි ඒකකයක ආන්තික පිරිවැය (marginal cost) ඇතැම් විට රුපියල් 150-200 වැනි ඉහළ මිලක් වුවත් විය හැකියි. නමුත්, විදුලි ඒකකයක මිල නියම කෙරෙන්නේ සාමාන්‍ය පිරිවැය (average cost) මත පදනම්ව මිස ආන්තික පිරිවැය මත පදනම්ව නෙමෙයි. 

ඉහත තත්ත්වය තුළ විදුලි ඒකකයක් වෙනුවෙන් එකම නිශ්චිත මිලක් අය කළහොත් වැඩියෙන් විදුලිය නිපදවා විකුණන තරමට නිෂ්පාදකයාගේ ලාබ අඩු වීම හෝ පාඩු ඉහළ යාමද සිදුවන නිසා, එයට විසඳුමක් ලෙස විදුලි පරිභෝජනය ඉහළ යද්දී ඒකක පිරිවැයද ඉහළ යන ගාස්තු ආකෘතියක් හඳුන්වා දී ඇතත්, එම ගාස්තු ආකෘතිය බලපාන්නේ එක් එක් පාරිභෝගිකයාගේ ඉල්ලුම මතයි. 

තරඟකාරිත්වයක් නැති පසුබිමක, විදුලිබල සැපයුම් වක්‍රයේ හැඩය තනිකරම තීරණය වන්නේ රජයේ විදුලි උත්පාදන නිෂ්පාදන ආකෘතිය (composition of sources) මතයි. පාරිභෝගික මට්ටමේදී විදුලි පරිභෝජනය ඉහළ යද්දී ඒකක පිරිවැයද ඉහළ යන ගාස්තු ආකෘතියක් හඳුන්වා දීම මගින් එක් එක් පාරිභෝගිකයාගේ ඉල්ලුම් වක්‍රය (individual demand curve) මතද රජයට බලපෑමක් හැකියි. මේ හරහා වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය (market demand curve) වෙනස් කළ හැකියි. එහෙත් එක් එක් පාරිභෝගිකයා විදුලි ගාස්තු ඉහළ දැමීමට ප්‍රතිචාර දක්වන ආකාරයද මේ කෙරෙහි බලපානවා. මිල ඉහළ යද්දී ඉල්ලුම සීමා කරන ආන්තික පාරිභෝගිකයා (marginal consumer) කවුද?

මම හිතන විදිහට පැවති මෙන්ම දැනටද පවතින ගාස්තු ආකෘතිය තුළ වඩාත්ම මිල සංවේදී පාරිභෝගික කාණ්ඩය වන්නේ අඩුම පරිභෝජනයක් කරන ගෘහස්ථ පාරිභෝගිකයින් පිරිස මිස වැඩි පරිභෝජනයක් කරන වාණිජ හෝ කාර්මික අංශ වල පාරිභෝගිකයින් නෙමෙයි. ඒ නිසා, විදුලි කප්පාදුවකින් ලැබුණු ආර්ථික වාසිය (cost saving) විදුලිබල නිෂ්පාදනය අඩු වූ ප්‍රතිශතයට වඩා ගොඩක් වැඩියි. විදුලිබල කප්පාදුව නොවන්නට එම අවාසිය ලංවිම පාඩු වලට එකතු වී අවසාන වශයෙන් රාජ්‍ය අයවැය මත වැය බරක් වෙනවා. 

මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගෘහස්ථ විදුලිබල පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු විය හැකියි. මෙහිදී මිල අධික ආන්තික නිෂ්පාදනයද අඩු වන නිසා සාමාන්‍ය පිරිවැය පහළ යාමක්ද සිදු වෙනවා. ඒ හරහා, විදුලි බල මණ්ඩලයේ අලාභය විශාල ලෙස පහළ යනවා. 

විදුලි කප්පාදුව තුළද ගෘහස්ථ ඉල්ලුමේ යම් අඩුවීමක් සිදුවුනත්, ගෘහස්ථ පාරිභෝගිකයින් විසින් විදුලි කප්පාදු කාල සටහනට අනුරූපව තමන්ගේ විදුලි පරිභෝජන කාල රටාව වෙනස් කරගන්නා නිසා කප්පාදු කාලයට අනුපාතිකව විදුලි ඉල්ලුම පහළ යන්නේ නැහැ. එහෙත්, කාර්මික හා වාණිජ පාරිභෝගිකයින්ට මෙවැන්නක් කළ නොහැකියි. ඔවුන්ට අදාළ කාලය තුළ විකල්ප බලශක්ති ප්‍රභවයක් භාවිතයට ගන්නට සිදු වෙනවා. බොහෝ විට ඒ සඳහා වැඩි පිරිවැයක් දරන්නට සිදු වෙනවා. 

ගාස්තු ඉහළ දැමීම නිසා ගෘහස්ථ පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලි පරිභෝජන කාල රටා වෙනස් කර ගැනීම වෙනුවට සෘජු ලෙසම පරිභෝජනය සීමා කිරීමට පෙළඹුමක් ඇති කෙරෙනවා. එයින් විදුලි ඉල්ලුම පහත වැටෙනවා. එමගින් කප්පාදුවක් නැතිව විදුලිය සැපයීමේ හැකියාව ඉහළ යනවා.

වෙනත් විකල්පයක් නැතිකම නිසා විදුලි කප්පාදු කාලය තුළ විකල්ප විදුලි ජනන ප්‍රභව භාවිතා කළ වාණිජ හා කාර්මික පාරිභෝගිකයින්ට, තරමක් වැඩි මිලකට වුවත්, කප්පාදු කාලය තුළ නොලැබුණු විකල්පයක් දැන් ලැබෙනවා. ඒ නිසා ඇතැම් වාණිජ හා කාර්මික පාරිභෝගිකයින් හා අදාළව මේ වැඩි වූ ගාස්තු යටතේ වුවත්, පිරිවැය අඩුවීමක් සිදු විය හැකියි. එය එසේ නොවන්නේනම් ඔවුන්ට තව දුරටත් කප්පාදු කාලය තුළ භාවිතා කළ බලශක්ති ප්‍රභවම භාවිතා කරමින් පිරිවැය ඉහළ යාම වලක්වාගත හැකියි.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තවත් වාසියක් වන්නේ සූර්ය පැනල ඇතුළු විකල්ප බලශක්ති ප්‍රභව වෙනුවෙන් සිදු කරන ආයෝජන දිරිමත් වීමයි. එමගින්ද සම්ප්‍රදායික බලශක්ති ප්‍රභව සඳහා වන ඉල්ලුම පහළ ගොස් සාමාන්‍ය ඒකක පිරිවැය අඩු විය හැකියි. 

මේ සියල්ලෙහිම ප්‍රතිඵලය වනුයේ රාජ්‍ය අයවැය මත පීඩනය අඩු වීමයි. ඊට අමතරව මේ ක්‍රියාමාර්ගය නිසා විදේශ අංශය මත පීඩනයද යම් තරමකින් හෝ අඩු වෙනවා. මේ හේතු නිසා, උද්ධමනය කෙරෙහි විදුලි ගාස්තු ඉහළ යාමේ සැලකිය යුතු ද්වීතියික බලපෑමක් (spillover effect) සිදු වන එකක් නැහැ.

විදුලි ගාස්තු සංශෝධනය නිසා කෙටිකාලීනව කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මත 2.6%ක පමණ උඩුකුරු තෙරපුමක්ද, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත 1.3%ක පමණ උඩුකුරු තෙරපුමක්ද ඇති වෙනවා. උද්ධමනය පහළ මට්ටමක පැවතියේනම් මේ බලපෑම් විශාල බලපෑම් සේ සැලකිය හැකි වුවත් පවතින ඉහළ උද්ධමන මට්ටමට සාපේක්ෂව මෙය විශාල බලපෑමක් නෙමෙයි. 

ඉහත බලපෑම පෙබරවාරි හා මාර්තු මාස තුළ උද්ධමන දර්ශක කෙරෙහි බලපෑමක් සිදු කරන බැවින්, එම දෙමස තුළ උද්ධමනය අඩු නොවීමට හෝ සුළු වශයෙන් ඉහළ යාමට ඉඩක් ඇතත්, අප විසින් පෙර පුරෝකථනය කර ඇති පරිදි, අප්‍රේල් මාසයේ සිට වේගයෙන් උද්ධමනය අඩු වී වසර අවසන් වෙද්දී උද්ධමනය තනි අංකයක් වීම පිළිබඳ අපේක්ෂාවන් වලට මෙම විදුලි ගාස්තු සංශෝධනය බාධාවක් නෙමෙයි.

Thursday, February 16, 2023

ආණ්ඩුවට ඇත්තටම සල්ලි නැද්ද?


රජය සතුව ප්‍රමාණවත් අරමුදල් නැතිවීම මේ වෙද්දී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කෙරෙහි බලපා තිබෙනවා. මේ ගැන දැනට වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. කෙටියෙන් කියන්න තියෙන්නේ මැතිවරණ කල් දැමීම රටේ ආර්ථික ස්ථායීත්වය කෙරෙහි ඇතැම් විට කෙටිකාලීනව වාසිදායක බලපෑමක් කළ හැකි වුවත්, එහි දිගුකාලීන බලපෑම කිසිසේත්ම හොඳ එකක් නොවනු ඇති බවයි. ඒ වගේම, මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවයි. මැතිවරණයෙන් පටන් ගත්තත්, ලිපිය ඒ ගැන නෙමෙයි. 

රජය සතුව අරමුදල් නැත්තේ ඇයි? රජය විසින් එකතු කර ගන්නා බදු මුදල් වලට වෙන්නේ කුමක්ද?

මේ ගැන කතා කරන්න කලින් රජයේ ආදායම ගැන කතා කර පටන් ගනිමු. දැනට විස්තරාත්මක සංඛ්‍යාලේඛණ තියෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා පමණයි. පසුගිය වසරේ පළමු මාස නවය තුළ රජයේ ආදායම රුපියල් බිලියන 1,448.5ක්. 

මෙය පෙර වසර වලට සාපේක්ෂව හොඳ තත්ත්වයක්. 2020 වසර තුළ රජය විසින් ඉපැයූ ආදායම රුපියල් බිලියන 1,373.3ක් පමණයි. 2021දී රජයේ ආදායම තරමක් ඉහළ ගියත් එම වසර තුළ රජය ඉපැයූ ආදායමද රුපියල් බිලියන 1,463.8ක් පමණයි. මේ අනුව, 2022 පළමු මාස නවය තුළ පමණක් රජය විසින් 2020 වසරේ සමස්ත ආදායම ඉක්මවන සහ 2021 වසරේ සමස්ත ආදායමට ආසන්න ආදායමක් උපයා තිබෙනවා. 

කෙසේ වුවත් ඉහත ආදායම රජයේ වියදම් සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් වී නැහැ. වසරේ පළමු මාස නවය තුළ රජයේ වියදම රුපියල් බිලියන 2,694.8ක්. මෙම වියදමට පොලී ගෙවීම් ඇතුළත් වුවත් ණය ආපසු ගෙවීම් ඇතුළත් නැහැ. පහළින් තියෙන්නේ රජය ඉහත මුදල වැය කළ ආකාරයයි. වරහන් තුළ තියෙන්නේ අදාළ වියදම ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්නයි.

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් = රුපියල් බිලියන 942.9 (65.1%)

පොලී ගෙවීම් = රුපියල් බිලියන 927.4 (64.0%)

අනෙකුත් වර්තන වියදම් = රුපියල් බිලියන 429.9 (29.7%)

අනෙකුත් ප්‍රාග්ධන වියදම් = රුපියල් බිලියන 394.6 (27.2%)

එකතුව = රුපියල් බිලියන 2,694.8 (186.0%)

ඔක්තෝබර් හා නොවැම්බර් දෙමස තුළ තවත් රුපියල් බිලියන 361.2ක් ආදායම් ලෙස එකතු වී ඇතත්, රුපියල් බිලියන 644.8ක වර්තන වියදමක් හා රුපියල් බිලියන 71.4ක ප්‍රාග්ධන වියදමක් දරන්නට සිදු වී තිබෙනවා. වර්තන වියදම් ඉහළ යාමට හේතුව පොලී අනුපාතික ඉහළ යාම විය යුතුයි. මේ අනුව, එම දෙමස තුළ වියදම ආදායම මෙන් 198%ක්. 

ඉහත අරමුදල් හිඟය පියවා ගැනීමට අමතරව, ණය ආපසු ගෙවීම සඳහාද සැලකිය යුතු මුදලක් අළුතෙන් ණය ලෙස ලබා ගත යුතු නිසා, පොලී වියදම් නොදරා සිටිය නොහැකියි. පොලී වියදම් වලට අමතරව විශාලම වියදමක් වන්නේ තවමත් කප්පාදු කර නැති රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් කොටසයි. ප්‍රාග්ධන වියදම් වලින් සැලකිය යුතු කොටසක් කලින් ඇති කරගත් එකඟතා මත ලැබෙන ණය නිසා බොහෝ විට එම අරමුදල් වෙනත් කටයුතු සඳහා වැය කිරීමේ හැකියාවක් නැහැ. අනෙකුත් වර්තන වියදම් වලින් වැඩි කොටසක් වෛද්‍ය සැපයුම් (ඖෂධ), සමෘද්ධි දීමනා ඇතුළු සහනාධාරයි. 

පසු ගිය වසරේ මුල් මාස නවය තුළ පැවති තත්ත්වය අනුව, පොලී වියදම් ඉවත් කළද, ආදායම මෙන් 122%ක මුදලක් වැය වී තිබෙනවා. පොලී ගෙවීම සඳහා නැවත ණය ගැනීම තිරසාර ලෙස කළ හැකි වුවත්, ණය හා පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් වියදම් වෙනුවෙන් දිගින් දිගටම දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම තිරසාර ලෙස කළ හැකි දෙයක් නෙමෙයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ඉක්මණින් ලැබුනොත් මෙම තත්ත්වය කළමණාකරණය කර ගත හැකි වුවත්, එසේ නොවුවහොත් මේ කාර්යය ඒ තරම් පහසු වන්නේ නැහැ. බදු ආදායම් වල යම් ඉහළ යාමක් සිදු විය හැකි වුවත්, එය එසේ නොවන්නේනම් ප්‍රතිඵලය විය හැක්කේ සාමාන්‍යයෙන් කැපිය නොහැකි වියදම්ද කපන්නට සිදු වීමයි. අරමුදල් නැතිකමින් මැතිවරණ ක්‍රියාදාමය පවා අඩපණ වී ඇති පසුබිමක, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වුවද අපේක්ෂිත පරිදි නොලැබුණහොත් එය පුදුමයක් නෙමෙයි. 

Saturday, February 11, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන වරින් වර අහන්නට ලැබෙනවා. තොරතුරු සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කර නැතත්, ශ්‍රී ලංකා බලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී නිලධාරී මට්ටමේ එකඟතාවයක් ඇති කරගත් බව අපි දන්නවා. මේ එකඟතාවය කුමක්ද?

මේ හා අදාළව යම් තොරතුරු ප්‍රමාණයක් මුදල් අමාත්‍යංශය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ ඇසුරෙන් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "කොන්දේසි" පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. මේ කොන්දේසි මොනවාද?

කොන්දේසි කියා කිවුවත්, මෙයින් ඇතැම් ඒවා ඉලක්ක හා ඇස්තමේන්තු ලෙස හැඳින්වීම වඩා නිවැරදියි. 2027 වසර දක්වා වන කාලය සඳහා මෙවැනි ඉලක්ක, ඇස්තමේන්තු හා කොන්දේසි හතරක් ප්‍රකාශිතව තිබෙනවා. ඒවානම්,

- උද්ධමන ඉලක්ක, 

- ආර්ථික වර්ධන ඉලක්ක,

- ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක, හා 

- ජංගම ගිණුම් ශේෂ ඉලක්කයි.


උද්ධමන ඉලක්ක 

2022 - 48.2%

2023 - 29.5%

2024 - 6.0%

2025 - 5.9*

2026 - 5.2%

2027 - 5.0%


ආර්ථික වර්ධන ඉලක්ක 

2022 - (-8.7)%

2023 - (-3.0)%

2024 - 1.5%

2025 - 2.6%

2026 - 3.0%

2027 - 3.1%


ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක

2022 - (-4.0)%

2023 - (-0.7)%

2024 - 0.8%

2025 - 2.3%

2026 - 2.3%

2027 - 2.3%


ජංගම ගිණුම් ශේෂ ඉලක්ක

2022 - (-3.4%

2023 - (-2.0)%

2024 - (-1.2)%

2025 - (-1.2)%

2026 - (-1.2)%

2027 - (-1.2)%

මෙම ඉලක්ක 2027 දක්වා කාලය සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික ලැබීමට නියමිතව ඇත්තේ වසර හතරක කාලයක් තුළ නිසායි. මෙම 2023 වසරේ මුල් භාගය තුළ අරමුදලේ පළමු වාරිකය ලැබුණොත්, 2026දී අවසන් වාරිකය ලැබෙනවා. එහෙත්, ඒ සඳහා මෙම වසර හතර තුළම ඉහත සඳහන් ඉලක්ක තුළ රැඳී සිටිය යුතුයි. එසේ රැඳී සිටියහොත් 2027 වන විට ප්‍රකාශිත ඉලක්ක වෙත ගොස්, ආර්ථිකය නැවතත් 2019 මට්ටමට ඔසොවා, එතෙක් නොගෙවා පැහැර හැර ඇති ණය ගෙවන්නට පටන් ගත හැකියි. 

ඉහත ඉලක්ක අතරින් ප්‍රමුඛ ඉලක්කය වන්නේ උද්ධමන ඉලක්කයයි. 2022 අවසන් වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 46.4%ක්. මෙය ඉලක්කගත මට්ටම වූ 48.2%ට වඩා තරමක් හොඳ මට්ටමක්. එහෙත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ එම අගය 50.4% මට්ටමේ පැවතුණා. එය ඉලක්කයට වඩා ඉහළ මට්ටමක්. 

මෙම 2023 වසර අවසන් වෙද්දී වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 29.5% දක්වා අඩු වීමටනම් වසර අවසන් වෙද්දී උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටිය යුතුයි. ඉහත ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක හා ජංගම ගිණුම් ශේෂ ඉලක්ක ලඟා කර ගත හැකිනම්, ආර්ථික වර්ධනය පසුපස පන්නන්නේ නැත්නම්, මුදල් ප්‍රතිපත්ති කලට පෙර ලිහිල් නොවේනම්, වසරේ මුල් භාගය තුළ අරමුදලේ සහාය ලැබේනම්, වසර අවසන් වන විට අපේක්ෂිත උද්ධමන ඉලක්කය කරා යා හැකියි. එසේ යා හැකිනම්, ඉදිරි වසර හතර තුළද අදාළ ඉලක්ක තුළ රැඳී සිටිය හැකියි. 

ආර්ථික වර්ධන ඉලක්ක අනුව, මුල් වසර දෙක තුළ ප්‍රමුඛ අවධානය යොමු කෙරෙන්නේ උද්ධමනය පාලනය කිරීම වෙතයි. එහිදී ආර්ථිකය සංකෝචනය වීම වැළැක්වීමේ හැකියාවක් නැහැ. පවතින අර්බුදය තුළ ආර්ථිකය කොහොමටත් හැකිළෙන නමුත් එසේ සිදු වන වෙනත් අවස්ථාවකදී මෙන් ලිහිල් මුදල් ප්‍රතිපත්ති වල උදවුවෙන් (සල්ලි අච්චු ගසා) එය වැළැක්වීමේ හැකියාවක් මේ වන විට නැති නිසා, ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන්නට සිදු වන්නේ උද්ධමනය පාලනය වීමෙන් පසුවයි. ඉන් පසුව වුවද ඉලක්ක කර තිබෙන්නේ ශ්‍රී ලංකාවට ප්‍රායෝගිකව ළඟා කරගත හැකි 3%ක පමණ වූ ආර්ථික වර්ධන ඉලක්කයක්. මෙම ඉලක්කයට වුවද යා හැක්කේ ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක හා ජංගම ගිණුම් ශේෂ ඉලක්ක මෙන්ම උද්ධමන ඉලක්කද සපුරා ගත හැකිනම් පමණයි. 

අසන්නට ලැබී ඇති නිල නොවන තොරතුරු අනුව, 2022දී ආර්ථිකය හැකිළී තිබෙන්නේ ඉහත ඇස්තමේන්තු වල ඇති 8.7%ට වඩා අඩුවෙන්. එහෙත්, එම අඩුව මේ වසරට එකතු වී මේ වසර තුළ ආර්ථිකය 3.0%ට වඩා තරමක් වැඩියෙන් හැකිළීමට නියමිතයි.

ඉහත ඉලක්ක ඒ අයුරින්ම සපුරා ගතහොත්, 2027 වසර වන විට රටේ දළ දේශීය නිෂ්පාදිතය 2017දී පැවති මට්ටම ආසන්නයට එනවා. එම මට්ටම ඉක්මවන්නේ 2028 වසරේදී. ඒක පුද්ගල ආදායම 2017 මට්ටමට එන්නට තවත් වසර තුන හතරක්වත් යා හැකියි. ඒ කියන්නේ දළ වශයෙන් 2030 පමණ වෙනවා. කෙසේ වුවත්, ඉහත ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක හා ජංගම ගිණුම් ශේෂ ඉලක්ක ලඟා කර ගත නොහැකි වුවහොත් ආර්ථිකය 2017 පැවති මට්ටමට පැමිණෙන්නට මීටත් වඩා කාලයක් යා හැකියි. මෙම ප්‍රකාශය කරන්නේ පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ පහත සඳහන් යාවත්කාලීන දත්තද සැලකිල්ලට ගනිමිනුයි.

2018 - 2.3%

2019 - (-0.2%)

2020 - (-3.5%)

2021 - 3.3%

2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය - (-7.1%)

අරමුදලේ කොන්දේසි ගැන කතා කරනවානම්, ප්‍රධානම කොන්දේසිය වන්නේ ඉහත සඳහන් පරිදි ප්‍රාථමික අයවැය ශේෂය 2025 වසර වන විට දදේනියෙන් 2.3%ක අතිරික්තයක් බවට පත් කොට එම මට්ටමේ හෝ ඊට ඉහළින් දිගටම පවත්වා ගත යුතු බවයි. අරමුදල වෙත නොගියත්, රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අනිවාර්යයෙන්ම මෙවැන්නක් කළ යුතුයි. බදු වැඩි කිරීම් හා වියදම් කැපීම් අවශ්‍ය වන්නේ මෙම ඉලක්කයට යාමටයි. 

විපක්ෂ දේශපාලන පක්ෂ විසින් වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය විවේචනය කරමින් විකල්ප ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. මෙවැනි විකල්ප බදු ප්‍රතිපත්තියක් අරමුදල විසින් සාධනීය ලෙස භාර ගැනීමේ ඉඩක් තිබෙනවා. එහෙත් එසේ වනු ඇත්තේ අදාළ විකල්පය ශක්‍ය විකල්පයක් වන්නේනම් පමණයි. 

රජයේ ආදායම් වැඩි කරගත යුත්තේ කෙසේද යන්නත්, වියදම් කැපිය යුත්තේ කෙසේද යන්නත් අරමුදල විසින් දමා ඇති කොන්දේසි නෙමෙයි. එහෙත්, මොන විදිහකින් හෝ ආදායම් වැඩි කරගෙන, වියදම් සීමා කර, ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය කරා යාම අරමුදලේ කොන්දේසියක්. දැනට සිදු කර ඇති බදු වැඩි කිරීම් හා වියදම් සීමා කිරීම් වලින් පසුවද, පසුගිය වසරේ ප්‍රාථමික අයවැය ශේෂය 0.7%ක හිඟයක්. එය මෙම වසරේදී 0.8%ක අතිරික්තයක් බවට පත් විය යුතු අතර 2023 වන විට 2.3%ක අතිරික්තයක් විය යුතුයි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

මෙම (2023) වසර තුළදී මෙන්ම ඉදිරි (2024) වසර තුළදීද දදේනියෙන් 1.5%කට සමාන වියදම් කැපීමක් හෝ ආදායම් ඉහළ යාමක් සිදු විය යුතුයි. මෙය කරන ආකාරය දේශපාලන අධිකාරියට තීරණය කළ හැකියි. එහෙත්, කෙසේ හෝ ඉලක්කයට යා යුතුයි.

දැනටමත් විශාල ලෙස ඉහළ දමා ඇති බදු අනුපාතික තව දුරටත් ඉහළ දැමීමේ හැකියාවක් ප්‍රායෝගිකව නැහැ. එමෙන්ම ආර්ථිකය තව දුරටත් හැකිලෙද්දී එහි ප්‍රතිඵලයක් ලෙසද බදු ආදායම් වල අඩු වීමක් සිදු වෙනවා. රජයේ වියදම් බොහෝ දුරට රාජ්‍ය සේවකයින් ගණනට සමානුපාතිකයි. රාජ්‍ය සේවකයින් ප්‍රමාණය ඉහළ යද්දී ඔවුන්ගේ වැටුප් වලට අමතරව, ගමන් වියදම්, නිල ඇඳුම් දීමනා, ලිපි ද්‍රව්‍ය හා අනෙකුත් කාර්යාල උපකරණ, කාර්යාල පහසුකම්, විදුලි හා ජල බිල්පත්, දුරකථන බිල්පත් ආදී අනෙකුත් වර්තන වියදම්ද සමානුපාතික ලෙස ඉහළ යනවා. 

රාජ්‍ය සේවකයින් ප්‍රමාණය අඩු වෙද්දී ඉහත අනෙකුත් වියදම්ද අඩු වෙනවා. එහෙත් රාජ්‍ය සේවකයින් ප්‍රමාණය ක්‍රමිකව මිස එකවර අඩු කිරීම ප්‍රායෝගිකව නොකළ හැක්කක් නිසා රජයේ වියදම් තවදුරටත් අඩු කිරීමද අසීරු කාර්යයක්. ඉහත සඳහන් ක්‍රම දෙකට අමතරව, වසරකට දදේනියෙන් 1.5%කින් ප්‍රාථමික අයවැය ශේෂය අඩු කර ගැනීම සඳහා තිබෙන එකම ක්‍රමය රාජ්‍ය වත්කම් විකිණීමයි. 

ඉදිරි වසර දෙක තුළ මේ ආණ්ඩුව විසින් වසරකට දදේනියෙන් 1.5% බැගින් ප්‍රාථමික අයවැය ශේෂය අඩු කර කර ගන්න යන්නේ කෙසේද කියා මම දන්නේ නැහැ. එය කරන්න යන්නේ කෙසේ වුවත්, අදාළ සැලසුම අරමුදල වෙත ඉදිරිපත් කර අරමුදලේ අනුමැතිය ලබා ඇති බව පැහැදිලියි. මේ තත්ත්වය තුළ දැනට ඉහළ දමා ඇති බදු අඩු කිරීම ප්‍රායෝගිකව කිරීම ඉතාම අසීරුයි. එවැන්නක් යෝජනා කරන අයෙකුට අනිවාර්යයෙන්ම අදාළ තීරණය නිසා පුළුල් වන ප්‍රාථමික අයවැය ශේෂය නැවත ඉලක්ක මට්ටම දක්වා අඩු කර ගන්නා ආකාරයද අරමුදලට පැහැදිලි කරන්නට සිදු වෙනවා. එසේ නොකර අරමුදලේ වැඩසටහන සමඟ රැඳී සිටීමේ හැකියාවක් නැහැ. මෙවැනි විකල්ප තිබිය නොහැකි බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. 

කෙසේ වුවද, ප්‍රාථමික අයවැය ශේෂය දදේනියෙන් 2.3%ක අතිරික්තයක් වුවද, එම අතිරික්තය ණය වාරික හා පොලී ගෙවීම සඳහා ප්‍රමාණවත් නැහැ. ප්‍රාථමික අයවැය හිඟය 4%ක්ව පැවති 2022දී වාර්ෂික ණය අවශ්‍යතාවය දදේනියෙන් 37.9%ක් වුනා. එයින් අදහස් වන්නේ, පරණ ණය හා පොලී ගෙවීම සඳහා පමණක් දදේනියෙන් 33.9%කට සමාන අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වූ බවයි. වෙනත් අයුරකින් කිවහොත්, ණය හා පොලී ගෙවන්නට අලුතෙන් ණය නොගෙන ඉන්නටනම් 33.9%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් අවශ්‍ය වූ බවයි. 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් මේ වැඩේට හැරෙන්නවත් මදි!

පසුගිය ජූනි මාසය අවසන් වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය දදේනියෙන් 145.0%ක්. මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පමණක් දදේනියෙන් 127.2%ක්. ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල (12.0%) සහ මහ බැංකුවේ (5.8%) ණය. ස්ථායිකරණ වැඩ පිළිවෙළ හදද්දී උපකල්පනය කර තිබෙන පරිදි පොලී අනුපාතික 10% ලෙස සැලකුවොත්, මධ්‍යම රජයේ ණය වෙනුවෙන් පොලිය ගෙවන්න පමණක් දදේනියෙන් 12.7%ක් අවශ්‍ය වෙනවා. ණය වල සාමාන්‍ය පරිණත කාලය වසර 5ක් සේ සැලකුවොත්, ඒ කියන්නේ තියෙන ණය වලින් ආසන්න වශයෙන් 20%ක් වසරක් තුළ ගෙවිය යුතු සේ සැලකුවොත්, එම ප්‍රමාණය දදේනියෙන් 25.4%ක්. ඔය කොටස් දෙක එකතු කළාම දදේනියෙන් 37.1%ක් වෙනවා. 2.3%ක ප්‍රාථමික අතිරික්තය මේ වැඩේට යොදා ගත්තට පස්සේ පරණ ණය හා පොලී ගෙවන්න දදේනියෙන් 34.8%ක් අලුතෙන් ණය ගන්න වෙනවා. පොලී අනුපාතික 10%ට තියා ගන්න බැරි වුනොත්, ණය ප්‍රමාණය තවත් ඉහළ ගියොත්, ඔය අවශ්‍යතාවය තවත් ඉහළ යනවා.

අරමුදලේ ඇස්තමේන්තුව අනුව ශ්‍රී ලංකා රජයට වසරකට ඔය මට්ටමේ ණය ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, ගත් ණය ආපසු ගෙවීමේ හැකියාවකුත් නැහැ. ණය තිරසාරත්වය නැති වෙලා කියා කියන්නේ ඔය හේතුව නිසා. 

ණය තිරසාරත්වය නැති වෙලා නිසා අරමුදලේ අනෙක් ඉලක්ක ඒ විදිහටම ළඟා කර ගත්තත්, ආර්ථිකය ස්ථාවර කර ගන්න බැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ ඔය හේතුව නිසා. ඉහත සඳහන් දදේනියෙන් 127.2%ක් වන මධ්‍යම රජයේ ණය වලින් 58.8%ක් දේශීය ණය. තව 17.4%ක් බහුපාර්ශ්වීය ණය. ඉතිරි 51.0% දැනට ගෙවීම පැහැර හැර තිබෙන ද්විපාර්ශ්වීය සහ වාණිජ ණය. ඒ කොටස පැත්තකින් තිබ්බොත්, ඒ කියන්නේ ද්විපාර්ශ්වීය සහ වාණිජ ණය හා පොලිය ගෙවන එක අමතක කළොත්, දදේනියෙන් 127.2%ක් වන මධ්‍යම රජයේ ණය ප්‍රමාණය දදේනියෙන් 76.2% දක්වා අඩු වෙනවා. වසරක් තුළ මේ ණය වලින් 20%ක් ආපසු ගෙවිය යුතු ලෙසත්, පොලිය 10% ලෙසත් සැලකුවොත් දදේනියෙන් 22.9%ක්. 2.3%ක ප්‍රාථමික අතිරික්තය ඔය වෙනුවෙන් වෙන් කළාට පස්සේ තවත් 20.6%ක අඩුවක් ඉතිරි වෙනවා. 

ඒ කියන්නේ ඔය උපකල්පන යටතේ වුවත්, දදේනියෙන් 20.6%ක දළ අරමුදල් අවශ්‍යතාවයක් තව දුරටත් ඉතිරි වෙනවා. ශ්‍රී ලංකා රජයට අඩු වශයෙන් ඔය ප්‍රමාණයට ණය ගන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ දළ අරමුදල් අවශ්‍යතාවය ආසන්න වශයෙන් දදේනියෙන් 20% මට්ටමට ආවොත් ණය තිරසාරත්වය ඇති වූ සේ සැලකිය හැකිද?

මේ කාරණයේදී වැදගත් වෙන්නේ අරමුදලේ මතය. පසුගිය කාලයේ අරමුදල සමඟ වැඩ සටහන් වලට ගිය වෙනත් රටවලට එම රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් දීමේදී අරමුදල විසින් දළ අරමුදල් අවශ්‍යතාවය අඩු කරගත යුතු මට්ටම පිළිබඳ විවිධ ඉලක්ක ලබා දී තිබෙනවා. එම ඉලක්ක ලබා දී තිබෙන්නේ අදාළ රටවල පැවති තත්ත්වයන් මත පදනම්ව.

ආජන්ටිනාව - 5%

ඉක්වදෝරය - 6%

යුක්‍රේනය - 10%

බාබඩෝස් - 15%

ලංකාවට ලබා දී තිබෙන දළ අරමුදල් අවශ්‍යතා ඉලක්කය හා අදාළව මහ බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය විසින් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැහැ. මෑතකදී ස්වෛරිත්ව බැඳුම්කර හිමියන් කණ්ඩායමක් විසින් අරමුදල ලෙස යවා ඇති ලිපියෙහි උපකල්පනය කර තිබෙන්නේ ඉහත අනුපාතය 13% ලෙසයි. 

අරමුදලේ අනෙකුත් ප්‍රධාන කොන්දේසිය වන්නේ ජංගම ගිණුමේ හිඟය දදේනියෙන් 1.2% මට්ටම දක්වා අඩු කරගෙන ඒ මට්ටමේ පවත්වාගත යුතු බවයි. මෙයින් දළ වශයෙන් අදහස් කරන්නේ උපයන විදේශ විණිමය පමණක් වියදම් කළ යුතු බවයි. වැඩ සටහන යටතේ වුවත්, විදේශ ණය හා පොලී ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්නට සිදු වෙනවා.

දදේනියෙන් 1.2%ක හිඟයක් යන්නෙන් ආසන්න වශයෙන් අදහස් වන්නේ දැනට ලංකාවේ ආයෝජනය කර ඇති විදේශ ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජකයින් විසින් ලබා ගන්නා ප්‍රතිලාභ වලට ආසන්න මුදලක්. එම ප්‍රතිලාභ බොහෝ විට නැවත රට තුළම ආයෝජනය වන නිසා ජංගම ගිණුමේ මෙම හිඟය ප්‍රාග්ධන ගිණුමේ එවැනිම අතිරික්තයකින් තුලනය වෙනවා. ඒ නිසා, මේ හිඟයෙන් විණිමය වෙළඳපොල තුලනය කෙරෙහි බලපෑමක් වෙන්නේ නැහැ. 

මේ වන විට ලංකාවේ විදේශ අංශය හා අදාළ ආර්ථික ප්‍රතිපත්තිය වී තිබෙන්නේ රටට ලැබෙන විදේශ විණිමය පමණක් වියදම් කිරීමයි. අරමුදලේ සහාය ලැබුණද එම තත්ත්වයේ වෙනසක් සිදු වීමේ ඉඩක් නැහැ. ණයට ගෙන පරිභෝජනය කළ යුගය අවසන් වුනේ සදහටම මිස තාවකාලිකව නෙමෙයි. එවැනි යුගයකට නැවත යාම සිදුවිය නොහැක්කක් නොවුනත්, එය දුරස්ථ ඉලක්කයක්. 

අරමුදලේ වැඩසටහන තුළ කෙටිකාලීනව සිදු වනු ඇත්තේ අලුතෙන් ලැබෙන අරමුදලේ ණය ඇතුළු බහුපාර්ශ්වීය ණය වලින් දැනට ගෙවිය යුතු බහුපාර්ශ්වීය ණය හා පොලිය දිගටම ගෙවාගෙන යන එක පමණයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී එකඟ වෙන ණය පමා කාලය අවසන් වී, නැවත වාණිජ හා ද්විපාර්ශ්වීය ණය ගෙවන්නට සිදු වූ විට එය කරන්නට සිදු වන්නේ අලුතෙන් වාණිජ හෝ ද්විපාර්ශ්වීය ණය ලබා ගැනීම මගිනුයි. 

ආනයන ඇතුළු රටේ විදේශ විණිමය අවශ්‍යතා සඳහා යොදා ගැනෙනු ඇත්තේ රටට ලැබෙන විදේශ විණිමය නිසාත්, ජංගම ගිණුමේ ශේෂය පියවීමට පුනර්-ආයෝජන ලැබීම් හැර වෙනත් ලැබීම් යොදා නොගැනෙනු ඇති නිසාත්, වැඩසටහන තුළ විණිමය අනුපාතය බොහෝ දුරට ස්ථාවර මට්ටමක පැවතෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. උද්ධමන ඉලක්කය 5% වීමත්, ඇමරිකාවේ උද්ධමන ඉලක්කය 2% වීමත් සැලකූ විට ඩොලරයක මිල දිගුකාලීනව 3%කින් ඉහළ යන්නට සැලැස්වීම ප්‍රශස්ත තත්ත්වය වුවත්, මහ බැංකුව සිතන පරිදි මේ වන විට රුපියල ඕනෑවට වඩා අවප්‍රමාණය වී ඇති නිසා එසේ සුළු වශයෙන් රුපියල අවප්‍රමාණය වීමේ අවශ්‍යතාවය නොසලකා හරින්නට ඉඩ තිබෙනවා. 3%ක අවප්‍රමාණය වීමක් සිදු වුවත්, එය වසරකට රුපියල් 10ක පමණ වූ සාපේක්ෂව සුළු වැඩිවීමක් පමණයි. ඒ නිසා, වැඩ සටහන තුළ යම් මොහොතක ආනයන සීමා ඇතුළු සීමාවන් ඉවත් කරනු ලැබුවද ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් නැහැ. 

අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට තිබෙන බාධාව චීනයේ සහයෝගය නොලැබීමයි. චීන සහයෝගය ලැබෙන තුරු මේ කටයුත්ත සිදු වන්නේ නැහැ. අධ්‍යක්ෂ්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ඉලක්ක දළ අරමුදල් අවශ්‍යතාවය ගැන හරියටම දැනගන්නට ලැබෙයි. එම ඉලක්කය 20% වැනි මට්ටමක තිබුණොත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. එහෙත්, එම ඉලක්කය 13% වැනි මට්ටමක් වුවහොත් දේශීය ණය වල පොලී කපා හැරීමක් හෝ ආපසු ගෙවීමේ කාලය දිගු කිරීමක් සිදු විය හැකියි. 

Friday, February 10, 2023

විදේශ අංශය යහපත් අතට!

ගෙවුණු ජනවාරි මාසය තුළ නිල සංචිත වල කැපී පෙනෙන ඉහළ යාමක් දකින්නට පුළුවන්. දෙසැම්බර් මාසය අවසානයේදී ඩොලර් මිලියන 1,896ක් ලෙස පැවති නිල රටේ නිල සංචිත ප්‍රමාණය ජනවාරි මාසය අවසාන වෙද්දී ඩොලර් මිලියන 2,120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 224ක ඉහළ යාමක්. 

මීට වඩා අඩුවෙන් වුවත්, නොවැම්බර් හා දෙසැම්බර් මාස වලද සංචිත ඉහළ ගියා. ඔක්තෝබර් මාසය අවසන් වන විට පැවති සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,704ක් පමණක් වූ බව සැලකූ විට පසුගිය තෙමස තුළ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 416කින් ඉහළ ගොස් තිබෙනවා. 

මෙහි විශේෂත්වය වන්නේ මහ බැංකුව විසින් මේ අයුරින් සංචිත වර්ධනය කර ගෙන තිබෙන්නේ ඩොලරයක මිලද ස්ථාවරව පවත්වා ගනිමින් වීමයි. ඔක්තෝබර් අවසාන වෙද්දී අන්තර් බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල රුපියල් 363.30 මට්ටමේ පැවති අතර මේ වන විට එම මිල රුපියල් 361.92 දක්වා පහත වැටී තිබෙනවා. 

මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ පසුගිය තෙමස තුළ රටට පැමිණි විදේශ විණිමය ප්‍රමාණය ආනයන ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමෙන් පසුව රට තුළ ඩොලර් මිලියන 416ක් ඉතිරිව ඇති බවයි. එම ඩොලර් ප්‍රමාණය මහ බැංකුව විසින් මිල දී නොගත්තේනම් ඩොලරයක මිල මීට වඩා පහත වැටිය හැකිව තිබුණා. 

කෙසේ වුවත්, මෙයින් අදහස් වන්නේ ඉදිරි කාලය තුළ ඩොලරයක මිල විශාල ලෙස පහත වැටෙනු ඇති බව හෝ එසේ පහත වැටෙන්නට ඉඩ දිය යුතු බව නෙමෙයි. නිල සංචිත ප්‍රමාණවත් තරමකට වර්ධනය කර ගන්නා තුරු විණිමය අනුපාතය පහත වැටෙන්නට ඉඩ නොදිය යුතුයි. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම මගින් ඩොලරයක මිල ආසන්න වශයෙන් දැන් පවතින මට්ටමේ පවත්වා ගන්නට පුළුවන්.

මෙසේ කළ යුත්තේ, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,120 දක්වා ඉහළ ගොස් ඇතත්, මහ බැංකුවේ විදේශ වගකීම් ප්‍රමාණය ඊට වඩා වැඩි නිසයි. මේ සංචිත ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1,470ක් පමණ චීනයෙන් ලබාගත් මුදල් හුවමාරු පහසුකමයි. එවිට ඉතිරිය ඩොලර් මිලියන 650ක් පමණයි. එයින් ඩොලර් මිලියන 200ක් මහ බැංකුව විසින් බංග්ලාදේශයට ගෙවිය යුතුයි. එවිට ඉතිරි වන්නේ ඩොලර් මිලියන 450ක් පමණයි. 

මීට අමතරව ඉන්දියාවට ඩොලර් බිලියන 2.4ක පමණ මුදලකුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත තවත් ඩොලර් බිලියනයක පමණ මුදලකුත් මහ බැංකුව විසින් ගෙවිය යුතුව තිබෙන නිසා ඇත්තටම මහ බැංකුව තවමත් ඉන්නේ නහයට උඩින් වතුර ගොස් ඇති සීමාවේ වුවත්, ඉන්දියාව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ආපසු ඉල්ලා ලංකාව හිර කරන්නට ඉඩක් නැති බැවින් සංචිත තර කරගෙන එම ණය ගෙවා දමන තුරු විදේශ අංශය ස්ථාවරව තබා ගැනීම අපහසු නැහැ.

ගොඩ ගත නොහැකි තරමටම දුර්වල වී තිබුණු රටේ විදේශ අංශය මේ මට්ටමින් ශක්තිමත් වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබෙන්නටත් පෙර වීම විශේෂත්වයක්. අරමුදල් නොලැබුණත්, මේ සාර්ථකත්වයට හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතාවයයි. 

අදාළ එකඟතාවය අනුව රජයට ආදායම් ඉක්මවා වියදම් කළ හැකි සීමාව පාලනය වී තිබෙනවා. ඒ හේතුව නිසා, රටේ මුදල් සංසරණය සීමා වී ඩොලර් ඉල්ලුමද පහත වැටී තිබෙනවා. අනෙක් පැත්තෙන් ඉහළ පොලී අනුපාතික හේතුවෙන්ද මෙයට උදවුවක් ලැබී තිබෙනවා. 

වෙබ් ලිපිනය: