මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික දෙක සම්බන්ධව තීරණය මැයි 27 ලැබෙනවා. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ අනුමැතියට මේ වගේ දෙයක් දමන්නේ යටින් අවශ්‍ය එකඟතා ඇති කර ගැනීමෙන් පසුවයි. මේ වෙද්දී මැයි 27 දිනය අධ්‍යක්ෂ මණ්ඩල කැලැන්ඩරයට දමලා තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 700ක මුදලක් බොහෝ විට එදින ලැබෙනවා. ඒ මුදලින් දැනට තිබෙන කෙටිකාලීන ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. දිගුකාලීන ප්‍රශ්න වෙනම විසඳිය යුතුයි.
මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ඇතුළේ සිටියදී මේ වගේ අවුලක් ඇති වුනේ කොහොමද?
පසුගිය මාර්තු 20 දින ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය ගනිද්දී මිල සූත්‍රය අනුව පිරිවැය තීරණය කළ ආකාරය රජය විසින් ප්‍රසිද්ධ කළේ නැහැ. මේ වෙද්දී එය ප්‍රසිද්ධ කර තිබෙනවා.
පහත තිබෙන්නේ පසුගිය මාර්තු 1-20 අතර කාලය මත පදනම්ව ගණනය කර තිබෙන තෙල් සංස්ථාවේ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක පිරිවැය.
ගොඩබෑමේ පිරිවැය (V1) = රුපියල් 425.70
සැකසුම් පිරිවැය (V2) = රුපියල් 13.83
සංචිත පවත්වා ගැනීමේ පිරිවැය (V3) = එකතු කර නැත
බදු (V4) = රුපියල් 138.39
අනෙකුත් වියදම් (V5) = රුපියල් 8.65
ලාභ ආන්තිකය (V6) = එකතු කර නැත
පිරිපහදු නිෂ්පාදන පිරිවැය වෙනස සමග ගැලපීම (V7) = සිදු කර නැත
මුළු පිරිවැය = රුපියල් 586.56
නමුත් මාර්තු 21 දින සිට ඩීසල් ලීටරයක මිල පැවතුනේ රුපියල් 382 ලෙසයි. පසුව, මැයි 3 දින සිට මිල රුපියල් 392 කළත්, ඒ වෙද්දී පිරිවැය රුපියල් 749.70 දක්වා ඉහළ ගිහින්.
මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව, ඉන්ධන මිල හා විදුලි ගාස්තු පිරිවැය හා ගැලපිය යුතුයි. යම් හෙයකින් එසේ නොකරන්නේනම්, වෙනස රජය මගින් ගෙවිය යුතුයි.
රජය මේ වෙනසින් රුපියල් 100ක මුදලක් තෙල් සංස්ථාවට සහ අනෙක් සැපයුම්කරුවන්ට දුන්නා. එහෙම කරපු එකේ හොඳ නරක පැත්තකින් තිබිබොත්, ඒ රුපියල් 100 දුන්නට පස්සෙත් පිරිවැය ගැලපීමක් වෙන්නේ නැහැ. මාර්තු 20 වන විට පිරිවැය වෙනස රුපියල් 200කට කිට්ටුයි. මැයි වෙද්දී රුපියල් 350කටත් වඩා වැඩියි. ඒ කියන්නේ මාර්තු 20 සිට රජය විසින් මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි කඩ කරලා තිබෙනවා.
මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි කඩ කළ කළ නිසා අරමුදලේ වාරික ලැබෙන එක ප්‍රමාද වී තිබෙනවා. මෙය අදාළ වන්නේ ඉන්ධන මිල ගණන් වලට පමණක් නෙමෙයි. විදුලි ගාස්තු හා අදාළ තත්ත්වයද මෙයම තමයි. විදේශ අංශයේ අස්ථාවරත්වයට ප්‍රධානම හේතුව මේ විදිහට ආණ්ඩුව විසින් මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි වලින් පිට පැනීම.
ආණ්ඩුව මේ විදිහට කොන්දේසි වලින් පිට පැන්නේ ඇයි?
ආණ්ඩුවට මූල්‍ය අරමුදල එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න කිසිම උවමනාවක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුවට "ඔලු දෙකේ" ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආණ්ඩුව දිගින් දිගටම පෙන්වන්න උත්සාහ කරන්නේ රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂමව පවත්වා ගෙන යන්න පුළුවන් කියලා. ප්‍රශ්නය තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අහිමි වීම කියලා කෙළින්ම කියන අයත් ඉන්නවා.
මේ පිරිවැය තෙල් සංස්ථාවේ පිරිවැය. ගොඩක් වෙලාවට අනෙක් තරඟකාරී සමාගම් වල පිරිවැය මීට වඩා අඩුයි. අඩු වශයෙන් සමහර සමාගම් වල. තෙල් සංස්ථාව විසින් හරියටම මිල ගැලපුවානම් අනෙකුත් සමාගම් වලට විශාල ලාබයක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම ලාබ ලබද්දීත් තෙල් සංස්ථාවට ලාබ ලබන්න බැරි වුනොත් තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය පැහැදිලිව පේනවා.
ඊළඟ ප්‍රශ්නය තෙල් මිල ගලපද්දී විදුලිය නිපදවීමේ පිරිවැය විශාල ලෙස ඉහළ යාම. බාල ගල් අඟුරු ප්‍රශ්නයත් එක්ක විදුලිය නිපදවීම පිණිස ඉන්ධන අවශ්‍යතාවය විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා පිරිවැය ගලපන්නනම් විදුලි ගාස්තු විශාල ලෙස වැඩි කරන්න වෙනවා. එවිට ආණ්ඩුවට ගල් අඟුරු වංචා චෝදනා වලට මුහුණ දෙන්න වෙනවා.
මේ තත්ත්වයන් එක්ක, මම හිතන විදිහට, ආණ්ඩුව විසින් උත්සාහ කර තිබෙන්නේ ලෝක තෙල් මිල ඉක්මණින් පහත වැටෙයි කියන උපකල්පනය මත, පොඩ්ඩක් කාලය ගන්න. තෙල් මිල ඉක්මණින් අඩු වුනානම් ඔය කරපු වැරැද්ද ලේසියෙන්ම වහලා දමන්න පුළුවන්කම තිබුණා.
නමුත් ඔය විදිහට වෙළඳපොළ එක්ක ඔට්ටු දමන එක ඉතාම අවදානම් සූදුවක්. මිල අඩු වෙයිද වැඩි වෙයිද කියන එක කාටවත්ම හරියටම පුරෝකථනය කරන්න බැහැ. ඒ ඒ වෙලාවේ පවතින පිරිවැය අනුව මිල ගැලපීම හොඳම විසඳුම වන්නේ ඒ නිසා.
ආණ්ඩුවේ උපක්‍රමය වූ බව පෙනෙන්නේ මුලින් පාඩුව දරාගෙන පසුව මිල අඩු වෙද්දී ඒ පාඩුව ආවරණය කර ගන්න එකයි. නමුත් දැන් වෙලා තියෙන්නේ මිල වැඩි වී පිරිවැය තවත් වැඩි වී පාඩුව තවතවත් වැඩි වෙන එකයි.
ආර්ථික අර්බුදයට කලින් වුනෙත් ඔය වැඩේමයි. පිරිවැය වැඩි වෙද්දී මිල වැඩි නොකර පිරිවැය අඩු වෙනකම් බලා හිටියට ඒ වැඩේ කවදාවත් වුනේ නැහැ. අන්තිමට මිල හා පිරිවැය අතර වෙනස ටිකෙන් ටික වැඩි වෙලා එකවර ප්‍රායෝගිකව ගැලපීමක් කළ නොහැකි මට්ටමකට ආවට පස්සේ කොහොමටවත් මිල ගැලපීමක් කරන්න බැරිව යනවා. ඔය තත්ත්වය කෙළවර වෙන්නේ විශාල අර්බුදයකින්. 2022දී එකවර විශාල ලෙස ඉන්ධන, විදුලි ගාස්තු වැඩි කරන්න වුනෙත්, ඩොලරයක මිල එකවර ඉහළ ගියෙත් ඔන්න ඔය හේතුව නිසා.
මූල්‍ය අරමුදල විසින් මිල ගැලපීම දැඩි කොන්දේසියක් ලෙස ඉදිරිපත් කරන්නේ ඔන්න ඔය හේතුව නිසා. එසේ නොකරන්නේනම්, බදු මුදල් යොදවා සුබසාධනය කරන්න වෙනවා. ඒ කියන්නේ වෙනත් ක්‍රමයකින් ඒ මුදල් හොයා ගන්න වෙනවා. ඒ නිසා පාඩු දිගින් දිගටම තියා ගන්න එක සීමා වෙනවා. දැන් වුනත් ආණ්ඩුවට අවශ්‍යනම් රුපියල් 100 වෙනුවට රුපියල් 350ක් සැපයුම්කරුවන්ට ගෙවලා ඩීසල් අඩු මිලට විකුණන්න බාධාවක් නැහැ. නමුත් ඒ මුදල වෙනත් බද්දක් විදිහට එකතු කරගන්න වෙනවා. ඒ නිසා ඒ වැඩේ වෙන්නේ නැහැ. ආණ්ඩු කැමති පාඩු අනාගත බදු ගෙවන්නට ඉතිරි කරන පහසු ක්‍රමයට. දැන් මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමක ඉන්න නිසා ආණ්ඩුවට ඒ වැඩේ කරන්න බැහැ.
කොහොම වුනත්, අවසාන වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ලංකාවේ ණය වාරිකය අනුමත කරන්න දමලා කියන්නේ ලංකාවේ රජය මිල ගලපන්න එකඟ වෙලා කියන එකයි. ඒ වැඩේ ඉදිරි සති වල වෙයි.
දැන් ඔය ඩොලර් මිලියන 700 ලැබෙන එකේ වාසිය ඒ මුදල පමණක් නෙමෙයි. රජය ඉන්ධන, විදුලි ගාස්තු මිල ගැලපීමක් කරන බවත්, අනෙකුත් ආදායම් හා වියදම් ඉලක්ක අත හරින්නේ නැහැ කියන එකත් පිළිබඳ සහතිකයත් ඒ එක්කම ලැබෙනවා. ඒ කියන්නේ රජයේ ණය අවදානම අඩු වීම පිළිබඳවද සහතිකයක්. මෙය විදේශ අංශයේ ස්ථාවරත්වයට උදවු වෙනවා.
මෙයින් අදහස් වන්නේ ඩොලරය ඉහළ යන එක නවතියි කියන එක නෙමෙයි. ඩොලරයක මිල ඉහළ යාමේදී වෙන්නෙත් එක්තරා ආකාරයක පිරිවැය ගැලපීමක්. ඒ ගැලපීම වුනේ නැත්නම්, ඩොලරයක් ඉපැයීමේ පිරිවැය සහ ඩොලරයක මිල අතර පරතරය ටිකෙන් ටික වැඩි වෙලා යම් අවස්ථාවක විශාල කඩා වැටීමක් සිදු වෙනවා. 2022දී සිදු වුනේ එයයි. බොහෝ විට මහ බැංකුව විසින් කරනු ඇත්තේ පවතින නරක තත්ත්වය වෙනස් වන තුරු යම් පාලනයක් ඇතිව ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ අරින එකයි. ඒ වෙනුවෙන් යම් සංචිත ප්‍රමාණයක් විකුණන්න වෙන්නත් පුළුවන්. මේක සංචිත වලට ලොකු හානියක් කර ගන්නේ නැතිව, ඩොලරයක මිලද අයාලේ යන්න නොදී පරිස්සමෙන් ගහන්න තියෙන ගේමක්.
කෙටිකාලීන විසඳුමක් විදිහට ඉන්ධන හා විදුලි ගාස්තු වලට සහනාධාරයක් දෙන එක රජය විසින් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වූ ආණ්ඩුවකට ඒ වගේ දේශපාලන තීරණ ගන්න අයිතියක් තියෙනවා. මූල්‍ය අරමුදල ඒ වගේ තීරණයකට විරුද්ධ වෙන එකක් නැහැ. නමුත් රජයට සමස්තයක් ලෙස ආදායම් හා වියදම් ගලපගන්න වෙනවා.
පසුගිය කාලයේ පැවති යහපත් රාජ්‍යමූල්‍ය තත්ත්වයේ උදවුවෙන් යම් මට්ටමක සහනාධාරයක් කෙටිකාලීනව ලබා දිය හැකි වුවත්, එවැන්නක් කළ හැකි සීමාවක් තිබෙනවා. තෙල් මිල කාලයක් ඉහළ මට්ටමක තිබුණොත් හෝ තවත් ඉහළ ගියොත් කොහොමටත් මිල වැඩි කරන්න වෙනවා. එවිට වෙන්නේ එළුවාගේ බෙල්ල කපලා මුට්ටියත් බිඳින්න වුනා වගේ වැඩක්. කොහොම වුනත් එය ආණ්ඩුවට අයිති දේශපාලනික තීරණයක්.
දැන් පවතින තත්ත්වයත් එක්ක උද්ධමනය ඉහළ යාමේ අවදානම පැහැදිලියි. මේ විදිහට උද්ධමනය ඉහළ යාමට හේතුව බාහිර කම්පනයක් වුවත්, ඒ කම්පන තත්ත්වය එක දිගට පවතිද්දී එය ඉල්ලුම ඉහළ දැමීමටද හේතු වෙනවා. ඒ නිසා, මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති දැඩි කරන්න සිදු වෙනවා. වෙනත් විදිහකට කිවුවොත්, ආර්ථික වර්ධනය සීමා වෙන ක්‍රියාමාර්ග ගන්න වෙනවා. මේ තත්ත්වය රජයේ ආදායම් කෙරෙහි නරක විදිහට බලපානවා වගේම වියදම් වැඩි කරනවා. ඒ නිසා, කලින් පැවති යහපත් රාජ්‍යමූල්‍ය තත්ත්වය ඒ විදිහටම පවත්වා ගැනීම වඩා අසීරු වෙනවා. ඒ වගේ තත්ත්වයක් පේන්න තියෙද්දී වැඩි වැඩියෙන් සහනාධාර දෙනවා කියන්නේ දැළි පිහියෙන් කිරි කෑමක්.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.