Tuesday, June 18, 2019

කන්ටේනර් ටෝක්!


හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහගේ ප්‍රකාශයක් වෙත ඇනෝ කෙනෙක් විසින් අවධානය යොමු කරලා තිබුණා. ඔහුගේ ප්‍රකාශයේ සාරාංශය ගත්තොත් එය මෙවැන්නක්. කතාවේ තිබෙන අවශේෂ කරුණු ගැන මම කතා කරන්න යන්නේ නැහැ.

"රජයේ දවසක ආදායම රුපියල් බිලියන පහක්. වියදම රුපියල් බිලියන හතක්. බදු අනුපාතික ඉහළ නොදමා රජයේ ආදායම දවසකට රුපියල් රුපියල් බිලියන හයක් හතක් දක්වා ඉහළ දැමීම පහසුවෙන් කළ හැකි දෙයක්. ඒ වගේම වියදම රුපියල් බිලියන පහක් දක්වා අඩු කරන එකත් පහසුවෙන් කළ හැකි බව ඔප්පු කර තිබෙන දෙයක්."

දැන් මේ ප්‍රකාශය අනුව, දවසකට රුපියල් බිලියන දෙකක් වන රජයේ අයවැය හිඟය රුපියල් බිලියන දෙකක අතිරික්තයක් කර ගැනීම ඉතාම පහසු වැඩක්. මේ කතාව ඇත්තද? නැත්නම්, මේකත් තවත් ගැලරි ටෝක් එකක් විතරද?

ගාමිණි විජේසිංහගේ ප්‍රකාශය සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි සරල ප්‍රකාශයක්. ඒ නිසා, අපි මුලින්ම ඔහු කියන සංඛ්‍යාලේඛණ වලින්ම පටන් ගනිමු. ඔහුගේ ප්‍රකාශයේ තිබෙන විදිහට රජයේ දවසක ආදායම හා වියදම බිලියන වලින් බැලූ විට ගොඩක් දෙනෙකුට කතාව තේරුම් ගන්න පහසුයි.

රජයේ දවසක ආදායම (2018දී රුපියල් බිලියන වලින්) - 5,260
රජයේ දවසක වියදම (2018දී රුපියල් බිලියන වලින්) - 7,379

මේ අනුව, මේ ගණන් රුපියල් බිලියන වලින් 5,000 හා 7,000 ලෙස සඳහන් කිරීමේ වැරැද්දක් නැහැ. 2018දී රුපියල් බිලියන වලින්ම මේ වියදම් මොනවාද කියා අපි වැඩි දුරටත් හොයා බලමු.

රජයේ දවසක වියදම (2018දී රුපියල් බිලියන වලින්)
ප්‍රාග්ධන වියදම්- 1,678
පුනරාවර්තන වියදම්- 5,725

මෙයින් පුනරාවර්තන වියදම් වැඩි දුරටත් පහත ආකාරයට කොටස් කළ හැකියි.
රාජ්‍ය සේවක වැටුප්- 1,715
පොලී වියදම්- 2,335
සහනාධාර- 1,182
භාණ්ඩ හා සේවා මිල දී ගැනීම්- 493

දවසකට රුපියල් බිලියන 2,000කින් රජයේ වියදම අඩු කරන ආකාරය ගාමිණි විජේසිංහගේ කතාවේ උපුටා දක්වා ඇති කොටසේ නැහැ. ඔහු ඒ බව පෙන්වා ඇති තැනක් ඇත්නම් ඒ ගැන වැඩිදුර කතා කළ හැකියි. මගේ පෞද්ගලික අදහසනම් කවුරු මුදල් අමාත්‍යාංශය භාර ගත්තත් ගාමිණි විජේසිංහ කියන ආකාරයට දවසකට රුපියල් බිලියන 2,000කින් රජයේ වියදම අඩු කළ නොහැකි බවයි.

යහපාලන ආණ්ඩුව යටතේ පසුගිය වසර හතර ඇතුළත ප්‍රාග්ධන වියදම් විශාල ලෙස කප්පාදු කර තිබෙනවා. ඇතැම් විට මේ වසර හතර ඇතුළත ක්ෂය වූ ප්‍රාග්ධනයේ ප්‍රමාණයටවත් අලුතින් ප්‍රාග්ධන ආයෝජන සිදු කර නැති වෙන්න පුළුවන්. රටේ පාරවල් දිහා බැලූ විට මේ බව පෙනෙනවා. බොහෝ පාරවල් 2014 අගදී තිබුණු මට්ටමට නඩත්තු වී නැහැ.

ප්‍රාග්ධන වියදම් මීටත් වඩා අඩු කළොත් වෙන්නේ ක්‍රමක්‍රමයෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය වී යාම පමණයි. රෝහල් වල උපකරණ කැඩෙන විට ඒවා පිළිසකර කළ යුතුයි. ගොඩ දාන්න බැරි මට්ටමට ආ විට අලුත් උපකරණ මිල දී ගත යුතුයි. එසේ නොකළොත්, සෞඛ්‍ය සේවකයින් සිටි පමණින් නිසි පරිදි ප්‍රතිකාර කළ නොහැකි වෙනවා. රජයේ කාර්යාල වල පරිගණක කල් ඉකුත් වන විට අළුත් පරිගණක මිල දී ගත යුතුයි. පරිගණකයක් නැතිව පරිගණක ක්‍රියාකරුවෙකුට කළ හැකි දෙයක් නැහැ. වාහන අබලන් වන විට අළුත් වාහන මිල දී ගන්න වෙනවා. වාහනයක් නැතිව රියදුරෙකුට වැටුප් ගෙවා නඩත්තු කළා කියා කිසිදු නිෂ්පාදනයක් සිදු වෙන්නේ නැහැ. දවසකට ප්‍රාග්ධන වියදම් සේ වැය කරන රුපියල් බිලියන 1,678 තවදුරටත් කප්පාදු කිරීමෙන් වෙන්නේ රාජ්‍ය අංශයේ සේවකයින් සෑහෙන පිරිසකට වැඩක් නොකර වැටුප් ගන්න වෙන එකයි. එවැනි කප්පාදුවක් දිගුකාලීනව එය රටට බොහෝ හානිකර විය හැකියි.

පොලී වියදම් වලින් සතයක්වත් අඩු කරන්න අමාරුයි. දැනටම අරගෙන තිබෙන ණය වලට කලින් පොරොන්දු වී ඇති පොලී ගෙවන්නම වෙනවා. ඒ වගේම, රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන්න බැහැ. රාජ්‍ය සේවකයින් සේවයෙන් ඉවත් කරන්නත් බැහැ. දැනට සිටින රජයේ සේවකයින් ප්‍රමාණයට සාපේක්ෂව රජය විසින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කරන්නේ ඉතා අඩු මුදලක්. ප්‍රාග්ධන වියදම් මෙන්ම මේ වියදම්ද තවත් අඩු කරන්න අමාරුයි. රජයේ කාර්යාල වල කටයුතු අවම මට්ටමින් හෝ කරන්න ලිපි ද්‍රව්‍ය, ඉන්ධන ආදී විවිධ වියදම් දරන්නම වෙනවා. මේ වියදම් තවත් කැපුවොත් වෙන්නේ රජයේ සේවකයින්ට වැටුප් ගෙන වැඩක් නොකර ඉන්න වෙන එකයි.

හැබැයි එකවර විශාල රාජ්‍ය සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීම වැනි දෙයක් කළොත්නම්, සමානුපාතිකව ඇතැම් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වෙනුවෙන් යන වියදම් හා ප්‍රාග්ධන වියදම් කප්පාදු කළ හැකියි. එවැන්නක් කරන්න කිසිදු ආණ්ඩුවක් පෙළඹෙයි කියා හිතන්න බැහැ.  ගාමිණි විජේසිංහ එවැන්නක් යෝජනා කරනවා කියා මා හිතන්නේත් නැහැ.

මේ සියල්ලට අමතරව ඉතිරිව තිබෙන්නේ විවිධ සහනාධාර සඳහා යන වියදම්. වියදම් අඩු කරනවානම් සාපේක්ෂව පහසුම දේ මේ ඇතැම් සහනාධාර නොදී ඉන්න එකයි. ගාමිණි විජේසිංහ විසින් යෝජනා කරන්නේ එවැන්නක්ද? එසේනම්, ඒ විදිහට කපා දැමිය යුත්තේ කවර සහනාධාරද?

ප්‍රකාශයේ තිබෙන විදිහට රජයේ දවසක වියදමෙන් රුපියල් බිලියන 2,000ක් අඩු කරන එක මටනම් හිතාගන්නවත් අමාරු දෙයක්. රුපියල් බිලියන දෙතුන් සීයක්නම් කොහොම හරි අඩු කර ගන්න උත්සාහ කළ හැකියි. නමුත්, රජයේ වියදම් දවසකට රුපියල් බිලියන 5,000 දක්වා අඩු කරනවා කියන එක රුපියල් 2,500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියනවා වගේ කතාවක්.

අපි ආදායම් පැත්තත් බලමු. ආදායම් වැඩි කිරීම හා අදාළව ඔහු සතුව යෝජනාවක් තිබෙන බව පේනවා. ඔහුගේ ප්‍රකාශය අනුව, ලංකාවට දවසකට එන කන්ටේනර් 1,500කින් පරීක්ෂාවට ලක්වන්නේ 100ක් පමණයි. මෙසේ කීමෙන් ඔහු අදහස් කරන්නේ මේ කන්ටේනර් 1,500ම පරීක්ෂාවට ලක් විය යුතු බව වෙන්න පුළුවන්.

වරායේදී කන්ටේනර් පරීක්ෂා කරන ක්‍රමවේදය ගැන මම හරියටම දන්නේ නැහැ. නමුත්, මේ වගේ තැනකදී අහඹු නියැදියක් පරීක්ෂාවට ලක් කිරීම සම්මත ක්‍රමයක්. ප්‍රසස්ථ ක්‍රමය වන්නේද එසේ නියැදි පරීක්ෂාවක් කිරීමයි. මේ ගණන් නිවැරදියි කියා උපකල්පනය කළොත් ඕනෑම කන්ටේනරයක් පරීක්ෂාවට ලක් වෙන්න 1/15ක සම්භාවිතාවක් තිබෙන නිසා බොහෝ දෙනෙක් බදු වංචාවක් කිරීමට පෙර ඒ ගැන හිතා බලනවා. ඒ වගේම, "දැක්කොත් බුවා නොදක්කොත් එබුවා" කියා පරීක්ෂාවට ලක් නොවෙන්න 14/15ක සම්භාවිතාවක් තිබීමේ වාසිය ගන්න අයත් ඉන්න පුළුවන්.

අවුරුදු විස්සකට පමණ පෙර මා අසා තිබුණා බදු නොගෙවා ලංකාවට පාවහන් ගෙන්වන ආනයනකරුවෙක් පිළිබඳ කතාවක්. තායිලන්තයෙන් පාවහන් මිල දී ගන්නා ඔහු මේ පාවහන් ලංකාවට එවන්න කලින් ඒවා දකුණු හා වම් කකුල් පාවහන් ලෙස ගොඩවල් දෙකකට වර්ග කරනවා. ඉන් පසු, මේ වර්ග දෙක වෙන වෙනම නැව්ගත කරනවා. බොහෝ විට මේ පාවහන් පරීක්ෂාවට ලක් වන්නේ නැහැ. වෙන වෙනම එන තොග ලංකාවට ලැබුණු පසු ලංකාවේදී දකුණු හා වම් කකුල් එකතු කර ගන්නවා.

සමහර වෙලාවට පාවහන් තොගයක් රේගු නිලධාරීන්ට අහු වෙනවා. එවිට මේ ආනයනකරු දඩමුදල් ගෙවා පාවහන් නිදහස් කරගන්න යන්නේ නැහැ. පාවහන් තොගය රාජසන්තක වෙනවා. ඉන් පසු මේ පාවහන් වෙන්දේසියේ දමනවා. නමුත්, කවුරුත් ලන්සු තියන්නේ නැහැ. එක කකුලක් විතරක් මොකටද? අන්තිමට අර මනුස්සයාම ගිහිං පොඩි ගාණකට වෙන්දේසියෙන් පාවහන් තොගය ගන්නවා. අරගෙන තමන් ළඟ තිබෙන අනික් කකුල සමඟ මැච් කර ගන්නවා. ඔය කතාව ඇත්තක් වුනත් බොරුවක් වුනත් ආනයනික භාණ්ඩ තොග සියල්ලම පරික්ෂා කරනවානම් ඔය වගේ සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ.

අපි හිතමු ගාමිණී විජේසිංහ කියනවා වගේ රේගුව කන්ටේනර් සියල්ල පරික්ෂා කරන්න පටන් ගත්තා කියලා. වැඩේ පටන්ගත් අලුත, බදු වංචා කරුවන් ගණනාවක් අහු වෙයි. නමුත්, ඒ වෙනුවෙන් දැනට වඩා විශාල රේගු නිලධාරීන් පිරිසක් අවශ්‍ය වෙනවා. අනෙක් වියදම්ද සමානුපාතිකව ඉහළ යනවා. එවැනි වියදමක් දරා බදු වංචාකරුවන් අල්ලා ගත්තා කියා කියමුකෝ. එයින්, පසුව ඒ අය දිගින් දිගටම බදු ගෙවමින් කලින් වගේම භාණ්ඩ ආනයනය කරයිද?

ඇතැම් අය අවදානමක් ගෙන බදු වංචා කර භාණ්ඩ ආනයනය කරන්නේ ඒ භාණ්ඩ විකුණා ලාබයක් ලබන්නයි. මේ වගේ භාණ්ඩ සාමාන්‍යයෙන් විකිණෙන්නේ අඩු මිලකටයි. හරියට බදු ගෙවුවොත් ඔවුන්ට එවැනි අඩු මිලකට බඩු විකුණන්න බැහැ. මිල වැඩි කළොත් මේ භාණ්ඩ විකිණෙන්නේ නැහැ. මෙවැනි ආනයනකරුවන් වැඩේට අත ගහන්නේම බදු නොගෙවා භාණ්ඩ රට ඇතුළට පන්නා ගැනීම පිළිබඳව තිබෙන විශ්වාසය මතයි. ඒ නිසා, ගාමිණී විජේසිංහ යෝජනා කරන විදිහට රේගුවේ හිල් සියල්ලම වැහුවොත් වෙන්නේ එවැනි අය බොහෝ දෙනෙක් වැඩේ නවත්වන එකයි. එවිට, බදු වංචා නැවතුණත් ඔහු අපේක්ෂා කරන ආකාරයට රජයේ ආදායම වැඩි වෙන්නේ නැහැ. අමතර රේගු නිලධාරීන් පිරිසක් නඩත්තු කරන්න සිදුවීම නිසා වියදම වැඩි වෙන එක සැලකූ විට අන්තිමට රජයේ ආදායම වැඩි වනවාට වඩා වියදම වැඩි වෙන්නත් පුළුවන්.

පොදුවේ රටේ ආර්ථිකය ගැන සැලකුවාම කන්ටේනර් සියල්ලම පරීක්ෂා කරන්න යාමේ විශාල ආර්ථික පිරිවැයක්ද තිබෙනවා. පරීක්ෂාව සඳහා ගත වන කාලය තුළ ඇතැම් භාණ්ඩ නරක් වෙන්න පුළුවන්. ඇතැම් භාණ්ඩ විකුණා ගැනීමට තිබෙන අවස්ථාව ගිලිහෙන්න පුළුවන්. ඒ වගේම, භාණ්ඩ වෙළඳපොළට එන්න කලින් සිදුවන පැයක හෝ ප්‍රමාදයක් කියන්නේ විශාල ප්‍රමාදයක්. මේ වගේ යෝජනාවක වක්‍ර ආර්ථික පිරිවැය විශාලයි. මේ හේතුව නිසා ආනයන වෙළඳාම අධෛර්යමත් වීමෙන් රජයේ බදු ආදායමට යම් සෘණාත්මක බලපෑමක්ද විය හැකියි. මෙවැනි යෝජනාවක් කවදාවත් බදු වංචා කරන්න නොහිතන ආනයනකරුවෙකුගේ හෝ සතුටට හේතු වෙන්නේ නැහැ.

කන්ටේනර් පරීක්ෂා කිරීමේදී 1/15ක් පමණක් පරීක්ෂා කිරීම ප්‍රසස්තම මට්ටමද කියා මා දන්නේ නැහැ. නමුත්, කන්ටේනර් සියල්ලම පරීක්ෂා කිරීමනම් කාර්යක්ෂම ක්‍රමවේදයක් නෙමෙයි. ආදායම් බදු ආදිය හා අදාළවත් තත්ත්වය මෙවැන්නක්. නියැදි පරීක්ෂාවන් කළ යුතු ආකාරය ගැන මනා දැනුමක් තිබෙන නිලධාරීන් අදාළ ආයතන වල ඉන්න නිසා ඔවුන් මේ වැඩේ සම්පූර්ණයෙන්ම අනාගෙන ඉන්නවා කියා හිතන්න අමාරුයි.

පැත්තක ඉඳන් විවේචනය කරන එක පහසුයි. නමුත්, වැඩක් කරන එක ඒ තරම්ම ලේසි නැහැ.


Monday, June 17, 2019

රාජ්‍ය වියදම් අඩු කිරීමේ අභියෝගය

කාලයක් තිස්සේ ලංකාව හිර වී සිටින ණය උගුලෙන් රට ගොඩගන්න යහපාලන ආණ්ඩුව සමත් වී නැති බව පැහැදිලි කරුණක්. වැඩි විස්තර පෙර ලිපියේ ලියා තිබෙනවා. යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති උපාය මාර්ග පෙර ආණ්ඩුවේ උපායමාර්ග වලින් වෙනස් වුවත්, රට පැටලී සිටින ණය උගුල හා අදාළව සැලකූ විට පසුගිය සිවුවසර ඇතුළත අමුතු ප්‍රගතියක් අත් වී නැහැ.

යහපාලන ආණ්ඩුවට තිබෙන එක් "චෝදනාවක්" වන්නේ එම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් බවයි. මේ කතාවට පදනමක් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාමාන්‍යයෙන් නිර්දේශ කරන ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් සෑහෙන තරමකින් සමපාත වූවා තමයි.

ලංකාව හෝ වෙනත් රටක් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ වඩා හොඳ ප්‍රතිපත්ති විකල්පයක් තියෙද්දී නරක ප්‍රතිපත්ති විකල්පයක් තෝරා ගත්තේනම් එසේ කිරීමයි.

මේ ආණ්ඩුව වගේම රාජපක්ෂ ආණ්ඩුව විසිනුත් වරින් වර ආර්ථික අර්බුද හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට සොයා ගොස් තිබෙනවා. රටක් ඒ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ රටකට ඊට වඩා හොඳ විකල්පයක් නැති වූ විටයි. ලංකාව හැම විටකම වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට සොයා ගොස් තිබෙන්නේ ගෙවුම් ශේෂ අර්බුද වල හිර වීමෙන් පසුවයි.

රටක් ගෙවුම් ශේෂ අර්බුදයක පැටලී සිටින විට එවැනි රටක රජයකට විදේශ ණය ලබා ගැනීම ඉතා අසීරු වෙනවා. එසේ වෙන්නේ එවැනි රජයකට ණය දීම බොහෝ අවදානම් සහගත කටයුත්තක් නිසයි. රටේ ආර්ථිකය බිඳ වැටුණොත් දුන් ණය ආපසු ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ණය ලබා දෙන අය ඒ අවදානමට සරිලන ඉතා ඉහළ පොලී අනුපාතිකයක් නැතුව ණය දෙන්නේ නැහැ. මෙවැනි ඉහළ පොලී අනුපාතිකයකට ණය ගෙන තාවකාලිකව ප්‍රශ්නය යටපත් කර ගත හැකි වුවත්, ණය ආපසු ගෙවන්න යාමේදී ගෙවුම් ශේෂ අර්බුදය වඩාත් දරුණු විදිහට මතු වෙනවා.

මේ වගේ වෙලාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල විසින් සහනදායී පොලී අනුපාතිකයකට ණය ලබා දෙනවා. නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එසේ කළ හැක්කේ කවර හෝ ආකාරයකින් රටේ ආර්ථිකය බිඳ වැටීමේ අවදානම අඩු වෙනවානම් පමණයි. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ විදිහට සහනදායී පොලී අනුපාතිකයකට ණය දෙන්නේ රටේ ආර්ථිකය බිඳ වැටීමේ අවදානම අඩු කෙරෙන නිර්දේශ සමඟයි. අදාළ ණය මුදල ලබා ගන්නනම් රජයකට මේ කොන්දේසි වලට එකඟ වෙන්න වෙනවා.

මේ වගේ වෙලාවක කිසියම් රටක් වෙනුවෙන් නිර්දේශ සකස් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය වන්නේ ඔවුන් ලබා දෙන ණය මුදල ආපසු ගෙවන තුරු රටේ ආර්ථිකය බිඳ නොවැටෙන බව තහවුරු කර ගැනීමයි. සෘජුව ප්‍රකාශ නොකළත්, එතැනින් එහාට රටේ ආර්ථිකය සැලසුම් කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතාවයක් නෙමෙයි. මේ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය බොහෝ විට අවුරුදු තුනක සිට පහක පමණ කාලයකින් ආපසු ගෙවිය යුතුයි. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බොහෝ විට ඉලක්ක කරන්නේ එවැනි කාල සීමාවක් තුළ ආර්ථිකය කඩා නොවැටෙන පරිදි ස්ථාවර කිරීමටයි.

අනෙක් අතට රටක ආණ්ඩුවක පැත්තෙන් ගත් විට, රටක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින විට ආණ්ඩුවේ ක්ෂණික ඉලක්කය වන්නේ රටේ ආර්ථිකය ඉතා කෙටි කාලයක් ඇතුළත බිඳ වැටෙන්න තිබෙන අවදානම අඩු කර ගන්න එක මිසක් දිගුකාලීන ආර්ථික වර්ධන ඉලක්ක පසුපස හඹා යන එක නෙමෙයි. ඒ නිසා, බොහෝ විට එවැනි අවස්ථා වලදී ආණ්ඩුවක හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සමපාත වෙනවා. ඒ නිසා, එවැනි අවස්ථාවකදී ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගැනීම ගොඩක් අසීරු වෙන්නේ නැහැ.

මේ ආණ්ඩුව හා පසුගිය ආණ්ඩු යටතේ ලංකාව ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දුන් හැම විටකම වාගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවුවෙන් එම අර්බුද වලින් ගොඩ ගිහින් තිබෙනවා. ඒ කිසිදු අවස්ථාවක ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණේ නැහැ. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ වලින් රටට හානියක් වුණා කියා කියන්න බැහැ. පැවති ආණ්ඩු විසින් අදාළ කොන්දේසි පිළිගැනීම ඒ ඒ අවස්ථා වල ඉතිරිව තිබූ හොඳම විකල්ප බව කීමේ වැරැද්දක් නැහැ.

ආර්ථික අර්බුදයක් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවුවෙන් ක්ෂණික හානියක් වලක්වා ගත්තට පස්සේ එවැනි අර්බුදයකට තුඩුදුන් ආකෘතිමය හේතු වලට විසඳුම් සොයා ගැනීම රටේ ආණ්ඩු වල වැඩක්. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩක් නෙමෙයි. මත්පැන් ඇබ්බැහිය හේතුවෙන් අක්මාව හානි කරගත් අයෙකු රෝහල්ගත වූ විට ඔහුට වෛද්‍ය ප්‍රතිකාර දී ක්ෂණිකව මරණයට පත් වීම වලක්වා ගෙදර යැවීමෙන් පසුව නැවතත් මත්පැන් පානය කර රෝගී වුවහොත් එහි වරද වෛද්‍යවරයාගේ නෙමෙයි.

වෛද්‍ය ප්‍රතිකාර වලින් ක්ෂණික මරණය වලක්වා ගැනීමෙන් පසුව නැවත මත්පැන් බී රෝගී වීම කිහිප වරක් සිදු වූ පසු අන්තිමේදී මත්පැන් පානයෙන් වැලකුණත් අක්මාවේ ප්‍රශ්නය නැවත මතු වෙන්න පුළුවන්. එයත් වෛද්‍යවරයාගේ වරදක් නෙමෙයි. ලංකාවේ ණය ප්‍රශ්නයත් දැන් තිබෙන්නේ මේ වගේ අදියරකයි. අක්මාවට දැනටමත් හානි වෙලා තිබෙන තරම අනුව, දැන් මත්පැන් පානය නොකළා කියා රෝගය සුවවන්නේ නැහැ.

රටක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිරේදේශ කරන ක්‍රියාමාර්ග අතර ඉහළින්ම තිබෙන්නේ විණිමය අනුපාතිකය නිවැරදි කර ගැනීමයි. දෙවන නිර්දේශය රජයේ අයවැය හිඟය අඩු කර ගැනීමයි. අයවැය හිඟය ඉහළ යන තරමට වාර්ෂිකව වැඩි වැඩියෙන් ණය ගන්න සිදුවීම එයට හේතුවයි.

රජයේ අයවැය හිඟය අඩු කරගත යුතු බව මේ ආණ්ඩුව, පෙර ආණ්ඩුව මෙන්ම ඊටත් පෙර ආණ්ඩුවත් ප්‍රතිපත්තියක් ලෙස පිළිගත් කරුණක්. ප්‍රශ්නය තිබෙන්නේ මේ වන විට පවතින තත්ත්වයන් යටතේ රජයේ අයවැය හිඟය අඩු කරගැනීම හිතන තරම් පහසු කරුණක් නොවීමයි.

රජයේ අයවැය හිඟය කියන්නේ රජයේ ආදායම් හා වියදම් අතර වෙනසයි. ආදායම් කියන්නේ ප්‍රධාන වශයෙන්ම බදු ආදායම්. මගේ අදහස අනුව, අඩු වශයෙන් පසුගිය අවුරුදු පහළොවක පමණ කාලය තුළ රජයේ බදු ආදායම් වාර්ෂිකව හැකි උපරිම තරමින් වැඩි කරගෙන තිබෙනවා. රජය මීටත් වඩා බදු ගහන්නේ නැත්තේ බදු අනුපාතික තවත් වැඩි කළොත් බදු පදනම් (tax bases) පහළ ගිහින් ආදායම් අඩු විය හැකි නිසයි. උදාහරණයක් විදිහට වාහන මත පනවන බදු 10%කින් වැඩි කළ විට වාහන අලෙවිය 15%කින් අඩු වුනොත් වෙන්නේ රජයේ බදු ආදායම තවත් අඩු වෙන එකයි. ඒ නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිවුවත්, ආණ්ඩුව එකඟ වුනත්, රජයේ බදු ආදායම් තවත් වැඩි කර ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි.

ආදායම් වැඩි කර ගැනීම අසීරුනම් අයවැය හිඟය අඩු කර ගන්න වියදම් අඩු කර ගත යුතුයි. මේ කරුණේදී යහපාලන ආණ්ඩුව කටයුතු කළේ රාජපක්ෂ ආණ්ඩුවෙන් වෙනස් ආකාරයකටයි. ආණ්ඩුවකට ප්‍රායෝගිකව කරන්න පුළුවන් උපරිම තරමටම වගේ යහපාලන ආණ්ඩුව විසින් ආණ්ඩුවේ වියදම් සීමා කළා. දේශපාලනික වශයෙන් මෙය කොයි තරම් හානිකරද කියන එක ගැන නොතකා යහපාලන ආණ්ඩුව විසින්, වඩාත් නිවැරදිව කියනවානම් එහි රනිල් පාර්ශ්වය විසින්, මේ කටයුත්ත කළා. වියදම් සීමා කිරීම කියන කරුණ හා අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආණ්ඩුවට කෙටිකාලීනව කළ හැකි වෙනත් නිර්දේශ තියෙනවද කියන එකත් සැකයි.

රාජපක්ෂ ආණ්ඩුව මේ විදිහට කටයුතු කළේ නැහැ. යහපාලන ආණ්ඩුව යටතේ 2018 අවසානය දක්වා සිදු වූ 10.66%ක වාර්ෂික රාජ්‍ය වියදම් වර්ධන වේගයට වඩා ගොඩක් වැඩියෙන්, 14.18%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකින් රාජපක්ෂ දශකයේදී රාජ්‍ය වියදම් ඉහළ ගියා. මේ වගේ වේගයකින් ඉහළ යමින් තිබූ රාජ්‍ය වියදම් වර්ධනය සීමා කර රාජ්‍ය ආදායම් වර්ධන වේගය වැඩි කර ගැනීම යහපාලන ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වූ විශාල අභියෝගයක්.

යහපාලන ආණ්ඩුවේ රනිල් පාර්ශ්වය මේ අභියෝගයට නිර්භයව මුහුණ දුන්නා කියා කියන්න පුළුවන්. නිර්භයව කියා කියන්නේ මේ කටයුත්ත දේශපාලනික වශයෙන් ඉතා හානිකර වූවක් නිසයි. සමහර විට මේ ආකාරයට රාජ්‍ය වියදම් සීමා කිරීම "ලෙඩා මැරුණත් බඩ සුද්දයි" මට්ටමට ගියාද කියන එකත් විමසා බැලිය යුතු කරුණක්.

පොදුවේ 14.18% සිට 10.66% මට්ටමට රාජ්‍ය වියදම් වර්ධනය අඩුවුවත්, මේ අඩු වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වුනේ ප්‍රාග්ධන වියදම් වර්ධනය සීමා කිරීමයි. පුනරාවර්තන වියදම් වර්ධනයේ එවැනි කැපී පෙනෙන අඩුවක් වුනේ නැහැ.

රාජපක්ෂ දශකයේදී රජයේ පුනරාවර්තන වියදම් 13.00%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකිනුත්, ප්‍රාග්ධන වියදම් 18.56%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකිනුත් වැඩි වුනා. ඒ කාලය ගැන කතා කරද්දී ගොඩක් අය සඳහන් කරන "ඇහැට පෙනෙන" සංවර්ධනයට හේතු වුනේ මේ වේගවත් ප්‍රාග්ධන වියදම් වර්ධනයයි. රාජපක්ෂ යුගයේදී සිදු කෙරුණු මහාපරිමාණ ප්‍රාග්ධන ආයෝජන ගැන අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. මේ ප්‍රාග්ධන ආයෝජන වල ඵලදායීතාව ගැන මම මෙහි සාකච්ඡා කරන්නේ නැහැ.

පසුගිය සිවුවසර ඇතුළත සාමාන්‍ය ප්‍රාග්ධන වියදම් වර්ධන වේගය 7.43%ක් පමණයි. මෙය විශාල අඩු වීමක්. නමුත්, පුනරාවර්තන වියදම් ඒ විදිහට අඩු වුනේ නැහැ. පසුගිය වසර හතර ඇතුළතත් රජයේ පුනරාවර්තන වියදම් 12.11%ක සාමාන්‍ය වර්ධන වේගයකින් ඉහළ ගියා. යහපාලන ආණ්ඩුව රාජ්‍ය වියදම් සීමා කිරීම කියා කළේ ප්‍රාග්ධන වියදම් සීමා කිරීම බව පැහැදිලි කරුණක්.

ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ අනාගත ආදායම් ඉහළ දමන වියදම්. හැබැයි මේ වියදම් කරන්නේ ණයට ගත් අරමුදල් යොදාගෙනනම්, ආදායම් වැඩි වෙද්දී පොලී ගෙවීම් ලෙස අනාගත වියදම්ද වැඩි වෙනවා. අපේක්ෂිත ආදායම් වලට වඩා ගෙවිය යුතු පොලී වියදම් වැඩිනම් ප්‍රාග්ධන ආයෝජනයකින් දිගුකාලීනව සිදුවෙන්නේ අවාසියක්. රාජපක්ෂ කාලයේ සිදු කළ ඇතැම් ආයෝජන හා අදාළව මේ විවේචනය තිබෙන නමුත් ඉහත කී ප්‍රාග්ධන වියදම් හේතුවෙන් රටේ ආර්ථික වර්ධනයට තල්ලුවක් සැපයුණු බවත්, ඉහළ දළ ජාතික නිෂ්පාදිතය නිසා රාජ්‍ය ආදායම් ඉහළ ගිය බවත් පැහැදිලිව පෙනෙන දෙයක්.

බදු අනුපාතික ඉහළ නොදැම්මත්, බදු පදනම් ඉහළ යන විට බදු ආදායම් ඉහළ යනවා. යහපාලන ආණ්ඩුව යටතේ සෑහෙන මහන්සියකින් පවත්වාගත් 12.58%ක සාමාන්‍ය වාර්ෂික රාජ්‍ය ආදායම් වර්ධන වේගය ඉක්මවන 14.39%ක සාමාන්‍ය වාර්ෂික රාජ්‍ය ආදායම් වර්ධන වේගයක් පවත්වා ගන්න රාජපක්ෂ ආණ්ඩුවට හැකි වුණේ ඒ නිසයි. රාජ්‍ය වියදම් වර්ධන වේගයන්ගේ වෙනසට වඩා රාජ්‍ය ආදායම් වර්ධන වේගයන්ගේ වෙනස ගොඩක් අඩු බවත් ඒ එක්කම නිරීක්ෂණය කළ යුතු දෙයක්. එයින් අදහස් වන්නේ ලැබූ ආදායම් වර්ධනය වෙනුවෙන් සාපේක්ෂව බොහෝ විශාල මිලක් ගෙවා තිබෙන බවයි.

ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළවල් ආදිය හදන්න කරන වියදම් පමණක් නෙමෙයි. රජයේ කාර්යාලයකට ගන්න පරිගණකයක් හෝ මේසයක් පුටුවක් කියන්නෙත් ප්‍රාග්ධන වියදමක්. මේ ආකාරයේ ප්‍රාග්ධන භාණ්ඩයක් කියන්නේ අනාගත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ නංවන නිෂ්පාදන සාධකයක්. ප්‍රාග්ධන භාණ්ඩ වල තිබෙන එක් ලක්ෂණයක් වන්නේ ඒවා කාලයත් සමඟ ක්ෂය වී යාමයි. එවිට ප්‍රාග්ධන සංචිතය පහළ ගිහින් නිෂ්පාදන ශක්‍යතාවය අඩු වෙන එක වලක්වා ගැනීමටනම් ඒ විදිහට ක්ෂය වන ප්‍රාග්ධන සම්පත් නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුයි. පාරවල් හැදුවත් කලක් යද්දී නැවත කැඩෙනවා. පරිගණක කල් ඉකුත් වෙනවා.

සමස්තයක් ලෙස රටක ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය ඉහළ නොදැම්මත්, දැනට තිබෙන මට්ටමේම පවත්වා ගැනීම සඳහා වුවත් සැලකිය යුතු මුදලක් වාර්ෂිකව වැය කළ යුතුයි. ඒ මට්ටම දක්වා ප්‍රාග්ධන ආයෝජන කළා කියා රටේ නිෂ්පාදිතය වැඩි වන්නේ නැති වුවත්, එපමණටවත් ප්‍රාග්ධන ආයෝජන නොකළොත් රටේ දළ දේශීය නිෂ්පාදිතය පහළ යනවා. රාජ්‍ය අංශය රටේ සමස්ත ආර්ථිකයෙන් කොටසක් පමණක් වුවත්, රාජ්‍ය අංශයේ නිෂ්පාදිතය හා අදාළවත් මේ තත්ත්වය බලපානවා. මූලික රෝහලක තිබෙන එකම එක්ස්රේ යන්ත්‍රය ප්‍රයෝජනයට ගත නොහැකි තරමට අබලන් වීම වැනි අවස්ථාවක් ගැන හිතුවොත් මේ කරුණ පැහැදිලි වෙයි. යහපාලන ආණ්ඩුව විසින් පසුගිය වසර ඇතුළත මේ අවම මට්ටම කිට්ටුවටම වගේ ප්‍රාග්ධන වියදම් සීමා කර ඇති බව පෙනෙනවා.

යහපාලන ආණ්ඩුව විසින් ප්‍රාග්ධන වියදම් මෙන් කැපී පෙනෙන සේ පුනරාවර්තන වියදම් අඩු කර නැහැ. මේ පුනරාවර්තන වියදම් මොනවාද කියා බැලූ විට, ඒ ඇයි කියන එක පැහැදිලි වෙනවා. පසුගිය ලිපියේත් සඳහන් කළ පරිදි, 2018දී රජයේ සමස්ත ආදායමෙන් 44.4%ක්ම වැය වුනේ පොලී වියදම් ගෙවන්නයි. පොලී වියදම තීරණය වන්නේ ගෙවිය යුතු සාමාන්‍ය පොලී අනුපාතිකය හා මුළු රාජ්‍ය ණය ප්‍රමාණය මතයි.

ලංකාවේ රාජ්‍ය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතිකය පසුගිය දශක තුනක පමණ කාලය තුල සාමාන්‍ය වශයෙන් 6.5% මට්ටමේ ස්ථාවරව තිබී ඇති බව පෙනෙනවා. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්ගේ ව්‍යාපාර චක්‍ර වල බලපෑම මත මේ අනුපාතිකය 5.5%-7.5% අතර විචලනය වුවත් සාමාන්‍ය මට්ටම වෙනස් වී නැහැ. ලංකාවේ ආණ්ඩුවකට, ආණ්ඩුව කුමක් වුවත්, මේ පොලී අනුපාතිකය දැනෙන තරමකින් වෙනස් කර ගැනීමේ හැකියාවක් නැහැ. එය තීරණය වන්නේ ජාත්‍යන්තර සාධක මතයි.

පොලී අනුපාතිකය වෙනස් නොවන නිසා පොලී වියදම් සීමා කරගත හැකි එකම ක්‍රමය මුළු රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කර ගැනීමයි. නමුත්, රාජ්‍ය අයවැය හිඟය පවතින තුරු මුළු රාජ්‍ය ණය ප්‍රමාණය තවත් වැඩි වනවා මිස අඩු වන්නේ නැහැ. රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වන අනුපාතයට වාර්ෂික පොලී වියදම්ද වැඩි වෙනවා. ඒ තරමට ආදායම් වැඩි නොවුනොත්, අයවැය හිඟය තවත් වැඩි වෙනවා. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සීමාවන් ගැන පෙර කතා කළා. මේ කරුණු අනුව බැලූ විට රජයේ සමස්ත ආදායමෙන් 45%ක් පමණ පොලී වියදම් සේ වැය කරන්නට වීම වලක්වා ගැනීම පහසු නැහැ. එවිට ඉතිරි වන්නේ තවත් 55%ක් පමණයි.

පොලී ගෙවීමෙන් පසුව, රජයේ සමස්ත ආදායමෙන් 42.7%ක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. රාජ්‍ය සේවක වැටුප් පහත හෙළීම හෝ රජයේ සේවකයින් සේවයෙන් දොට්ට දැමීම කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, මේ කැටගරියේ වියදම් පාලනය කර ගත හැකි ආකාර වන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරීම හා අලුතින් සේවකයින් බඳවා නොගැනීමයි. මේ සීමා කිරීම් දෙක වුවත් කළ හැක්කේ යම් මට්ටමකට පමණයි. මා හිතන විදිහට, යහපාලන ආණ්ඩුව විසින් හැකි උපරිම මට්ටමට මේ කැටගරියේ වියදම්ද සීමා කර තිබෙනවා.


රාජපක්ෂ දශකය රාජ්‍ය අංශයේ ඔළුගෙඩි ගණන සැලකිය යුතු ලෙස ඉහළ දමනු ලැබූ කාලයක්. එම දශකය තුළ මේ ඔළුගෙඩි ගණන 19.05%කින් ඉහළ ගියා. රාජ්‍ය අංශයේ සේවකයින් ප්‍රමාණය ඉහළ යාමෙන් රටේ නිෂ්පාදිතය ඉහළ යාමක් අදහස් වන්නේ නැහැ. බොහෝ විට වෙන්නේ එහි අනික් පැත්තයි. ඒ, පෞද්ගලික අංශයේ සේවක සංඛ්‍යාව අඩුවීමේ හරහා. රාජපක්ෂ දශකය තුළ පෞද්ගලික අංශයේ සේවක ප්‍රමාණය 11.98%කින් පහළ ගියා.


රාජ්‍ය අංශයේ වැටුප් තීරණය වන්නේ පෞද්ගලික අංශයේ මෙන් ඵලදායීතාවය මත නෙමෙයි. නමුත්, පෞද්ගලික ආයතනයකට සේවකයෙකු බඳවා ගන්නේ එසේ කිරීමෙන් ලාබයක් ලැබිය හැකිනම් පමණයි. ශ්‍රම බලකායෙන් වැඩි කොටසක් රාජ්‍ය අංශය වෙත අවශෝෂණය කරගත් විට ශ්‍රම වෙළඳපොළේ ශ්‍රම සැපයුම පහළ ගිහින් මිල ඉහළ යනවා. එවිට, පෞද්ගලික අංශයට බඳවා ගන්න බැරි තරමට සේවකයකුගේ මිල ඉහළ යාම නිසා පෞද්ගලික අංශය හැකිලෙනවා. රාජපක්ෂ දශකය තුළ සිදු වුනේ එයයි. යහපාලන කාලය තුළ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යන තරමට අලුතින් සේවකයින් බඳවා නොගත් නිසා රාජ්‍ය සේවයේ ඔළුගෙඩි ගණන 2.51%කින් අඩු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ සේවා නියුක්තිය 10.58%කින් වැඩි වී තිබෙනවා.

ඉදිරි ආණ්ඩුවක් විසින්ද යහපාලන ආණ්ඩුව විසින් කළාක් මෙන් රාජ්‍ය සේවක වැටුප් වියදම් සීමා කරන්නට උත්සාහ දැරුවත් උපරිම වශයෙන් කළ හැක්කේ විශ්‍රාම යන සේවක සංඛ්‍යාවට වඩා බොහෝ අඩුවෙන් සේවකයින් අලුතින් බඳවා ගැනීම මඟින් හා රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකර සිටීමෙන් වියදම් අඩු කිරීම පමණයි. එසේ කළත්, රජයේ සමස්ත ආදායමෙන් 42.7%ක් වන රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ආදායමෙන් 35%ක පමණ මට්ටමට හෝ අඩු කර ගැනීම ඉතා අසීරු කටයුත්තක්.

එසේ කළා කියා අපි හිතමු. එවිට, ඒ 35%ට පොලී වියදම් 45% එකතු කළ විට රාජ්‍ය ආදායමෙන් 80%ක් ඉවරයි. අනෙකුත් අත්‍යවශ්‍ය පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සඳහා ආදායමෙන් ඉතිරි 20% ප්‍රමාණවත් නොවන නිසා රජයේ වියදම් කොයි තරම් දුරකට පාලනය කළත්, අඩු ගානේ තවත් අවුරුදු පහළොවක් විස්සක්වත් යනකම් වාර්ෂිකව තවතවත් ණය නොගෙන අයවැය සමතුලිත කරගැනීමේ හැකියාවක් ලංකාවේ ආණ්ඩුවකට නැහැ.

කලින් උදාහරණයට නැවත ආවොත්, මේ වන විටත් අක්මාවට හානි වෙලා තියෙන තරම අනුව, දැන් බොන එක නැවැත්වුවා කියලත් කලින් තත්ත්වයට එන එක පහසු නැහැ. එයින් කියන්නේ නොබිවුවත් ප්‍රතිඵලයක් නැති නිසා ඔන්න ඔහේ දිගටම බොමු කියන එක නෙමෙයි.

ඇතැම් අය කියන විදිහට නාස්තිය හා දූෂණය වලක්වලා රට ගොඩ ගන්නවා කියන එක විහිළු කතාවක්. එයින් කියන්නේ නාස්තිය හා දූෂණය ප්‍රවර්ධනය කළ යුතු බව නෙමෙයි. නාස්තිය හා දූෂණය වැළැක්වීම අවශ්‍ය සාධකයක් වුවත් කිසිසේත්ම ප්‍රමාණවත් සාධකයක් නෙමෙයි. පෙර සඳහන් කළ විදිහට, රජයේ ආදායමෙන් 90%ක් පමණම වැය වන්නේ පොලී වියදම්, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. නාස්තිය හා දූෂණය අඩු කළා කියා ඔය කැටගරි දෙකේ වියදම් අඩු වෙන්නේ නැහැ. ඉතාම සරල කරුණක් විදිහට ඔය කැටගරි දෙකේ වියදම් අඩු නොවන තාක් රජයේ අයවැය හිඟය නැති කරන්න බැහැ.

අනෙක් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෝකටත් තෛලයට නැවත ආවොත්, රාජ්‍ය වියදම් අඩු කිරීම කළ යුතු දෙයක් තමයි. නමුත්, මේ වන විට ලංකාවේ රජය වියදම් කැපිය හැකි අවම සීමාව කිට්ටුවටම ඇවිත් ඉවරයි. ඒ නිසා, දැන් ඉන්න තැනින් එහාට යන්න කුමක් හෝ වෙනස් ක්‍රමෝපායක් අවශ්‍යයි. එහිදී වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ආදායම් වැඩි කරගැනීම පැත්තටයි.

රජයේ ආදායම් වැඩි කර ගැනීම පිණිස යහපාලන ආණ්ඩුවේ උපාය මාර්ගය වුණේ බදු අනුපාතික ඉහළ දැමීමයි. ඒ ක්‍රමෝපායයේ සීමාවන් දැන් පැහැදිලියි. ඒ නිසා, බදු අනුපාතික වෙනුවට බදු පදනම් ඉහළ දමා ගැනෙන ක්‍රියාමාර්ග අවශ්‍යයි. මෙයින් මා අදහස් කරන්නේ බදු පදනම් පුළුල් කෙරෙන තාක්ෂණික ක්‍රියාමාර්ග නෙමෙයි. ස්වභාවික ක්‍රියාමාර්ගයි. මේ ඉලක්කය කියන තරම් පහසු ඉලක්කයක් නෙමෙයි.

රාජපක්ෂ ආණ්ඩුව ආර්ථික වර්ධනය කියන කරුණේදී සාර්ථක වූ බව පැහැදිලි කරුණක්. රාජ්‍ය සේවය පුළුල් කළ විටත් කිසියම් පිරිසකගේ අතට මුදල් ලැබී සමස්ත ඉල්ලුම ඉහළ යනවා. නමුත්, ඒ ඉල්ලුමට සරිලන පරිදි දේශීය නිෂ්පාදිතය ඉහළ නොයන නිසා විදේශ අංශය සමතුලිතව තිබුණොත් පුළුල් වූ රාජ්‍ය සේවයේ බර පැටවෙන්නේ පෞද්ගලික අංශය මතයි. පෞද්ගලික අංශයේ ඉපැයීම් රාජ්‍ය අංශය වෙත විතැන් වෙනවා හැර, සමස්තයක් ලෙස රටේ ආදායම් වර්ධනයක් වෙන්නේ නැහැ.

රාජපක්ෂ යුගයේදී රාජ්‍ය අංශයට පිටින් සිටි අයට එවැනි බරක් නොදැනුණේ ආනයන අපනයන පරතරය පුළුල් වෙන්න හරිමින් විදේශ අංශය අසමතුලිතව පවත්වාගත් නිසයි. රටේ වැඩි වූ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් රට ඇතුළේ සිදු නොවුණත්, ආනයන නිසා රට ඇතුළේ භාණ්ඩ හා සේවා සැපයුම ඉහළ මට්ටමක තිබුණා. විණිමය අනුපාතිකය කෘතිමව පහළින් තබාගත් නිසා ආනයනික භාණ්ඩ රට ඇතුළේදී අඩු මිලකට විකිණුනා. ඒ ක්‍රමයට එක දිගට වැඩි කලක් යන්න බැහැ. එහෙම යන්නනම් පිරමිඩ් ක්‍රමයකදී වගේ දිගින් දිගටම වැඩි වැඩියෙන් විදේශ ණය ලබාගත යුතුයි. කොයි වෙලාවකදී හෝ කඩා වැටෙනවා. රාජපක්ෂ ආණ්ඩුවේ අන්තිම කාලයේදී මේ ක්‍රමයට යන්න පුළුවන් උපරිම සීමාවට ඇවිල්ලයි තිබුණේ. ඒ නිසා, ඒ ක්‍රමෝපායය වෙත ආපසු හැරීම විසඳුමක් නෙමෙයි.

හැම පැත්තම සමතුලිත කරගෙන ඉස්සරහට යන්නනම් රටේ අපනයන ආදායම විශාල ලෙස වැඩි කරගත යුතුව තිබෙනවා. අපනයනය කරන්නේ භාණ්ඩද සේවාවන්ද කියන එක වැදගත් නැහැ. සේවා අපනයන පැත්තෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීම වඩා පහසුයි.

රටේ අපනයන ආදායම වැඩි කරගත යුතු බව අලුත් අදහසක් නෙමෙයි. මේ ආණ්ඩුව වගේම කලින් ආණ්ඩුවත් මෙහි වැදගත්කම ගැන කතා කර තිබෙනවා. එහෙත්, කලින් ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් රටේ අපනයන වර්ධනය කෙරෙන විදේශ විණිමය ප්‍රතිපත්තියක් වෙත යොමු වී නැහැ. එයට හේතුව දේශපාලනිකයි.

Saturday, June 8, 2019

විස්සෙන් පස්සේ විස්ස පර නොවන්නට...

ජනාධිපති සිරිසේනගේ ධුර කාලය අවසන් වෙන්න තවත් තිබෙන්නේ මාස හයක් පමණයි. ඉන් පසුව, එළැඹෙන මැතිවරණ වල ප්‍රතිඵල ගැන අනාවැකි කියන්න තවමත් කල් වැඩියි. මැතිවරණවලට ඉදිරිපත් විය හැකි අපේක්ෂකයින් සම්බන්ධව වගේම ඇති විය හැකි මැතිවරණ සන්ධාන පිළිබඳවත් තවමත් තිබෙන්නේ අවිනිශ්චිත භාවයක්. අඩු වශයෙන් ප්‍රධාන මැතිවරණ පෙල ගැසෙන අනුපිළිවෙල ගැන හෝ ස්ථිරව කියන්න පුළුවන්කමක් නැහැ.

මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී වසර හතරහමාරක් වෙනවා. මහ මැතිවරණය පැවැත්වුණේ ඉන් මාස ගණනාවකට පසුව වුවත්, යහපාලන ආණ්ඩුවට මේ වන විට වසර හතර හමාරක් වයසයැයි සැලකීමේ වැරැද්දක් නැහැ. මම හිතන්නේ යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන පසු විපරමක් කරන්න මෙය හොඳ අවස්ථාවක්.


රාජපක්ෂ දශකය තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6.4%ක්ව පැවතියා. වසර විසිහයක් පැවති සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව රටේ ජාතික ආර්ථිකය සමඟ කාලයක් තිස්සේ බද්ධ වී නොතිබුණු බිම් කොටස් වල සිදුවන ආර්ථික කටයුතු ජාතික ආදායම් ඇස්තමේන්තු වලට නැවත ඇතුළත් වීම හා අදාළ කාලපරිච්ඡේදයේ අවසන් කාලයේ ආර්ථික වර්ධනය අඩු මට්ටමක පැවතීම වැනි කරුණු සැලකිල්ලට ගත්තත් මේ ආර්ථික වර්ධන වේගය නිදහසින් පසු ලංකාවේ කවර හෝ ආණ්ඩුවක් යටතේ දැකිය හැකි වූ වේගවත්වත්ම ආර්ථික වර්ධනය යන කරුණ බැහැර කරන්න බැහැ.

පසුගිය සිවු වසර තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යාන්තම් 4.0%ක් පමණයි. මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය මේ මට්ටමටවත් පැමිණෙයි කියා හිතන්න අමාරුයි. 1977න් පසු කවර හෝ ආණ්ඩුවක් යටතේ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය මෙතරම් අඩු වී නැහැ. ඊට පෙරද කිසිදු එජාප ආණ්ඩුවක් යටතේ ආර්ථික වර්ධනය මෙතරම් අඩු වී නැහැ. එසේ ආර්ථික වර්ධන වේගය අඩු වී තිබෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ 1956-64 හා 1970-77 වකවානු වලදී පමණයි. ඒ අනුව, රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රධානම නිර්ණායකය වන ආර්ථික වර්ධනය පිළිබඳව සැලකූ විට යහපාලන ආණ්ඩුවේ අසමත්කම කැපී පෙනෙනවා.

කොහොම වුනත්, යහපාලන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව මෙන් රටේ ආර්ථික වර්ධනය ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති ඉලක්කය සේ නොසැලකු බව අපට මෙහිදී නොසලකා හරින්න බැහැ. යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති ඉලක්කය වූයේ ආර්ථික ස්ථාවරත්වයයි. ඔවුන් ඒ වෙනුවෙන් ආර්ථික වර්ධනය අඩාල කෙරෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්න පැකිළුනේ නැහැ. යහපාලන ආණ්ඩුවේ වචන වලින්ම කියනවානම් ඔවුන්ගේ ඉලක්කය වූයේ පළමුව "රාජපක්ෂ ණය" ගෙවා ණය උගුලින් මිදී දෙවනුව ආර්ථික වර්ධනය ගැන හිතීමයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට ලංකාව ණය උගුලක පැටලී සිටි බව බොරුවක් නෙමෙයි. රාජපක්ෂ දශකය තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,139.5 සිට රුපියල් බිලියන 7,390.9 දක්වා 3.45 ගුණයකින් ඉහළ ගියා. මෙය 13.2%ක වාර්ෂික වර්ධනයක්. කෙසේ වුවත්, මේ ණය වර්ධනය ලංකාව පිළිබඳව සැලකූ විට අසාමාන්‍ය ණය වර්ධනයක් නෙමෙයි. නිදහසින් පසු බලයට පත් වූ සෑම ආණ්ඩුවක් යටතේම වගේ අඩු වශයෙන් 12-13% පමණ වේගයකින් වාර්ෂිකව රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ ගියා. ඒ නිසා, ලංකාව ණය උගුලක පැටළුනේ රාජපක්ෂ දශකය ඇතුළත බව කියන්න බැහැ. මේ බව මා මීට පෙර කරුණු සහිතව පෙන්වා දී තිබෙනවා.

රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වන විටත් ලංකාව හිටියේ මේ ණය උගුලේ පැටලිලයි. ණය උගුලෙන් ගොඩයාම පිණිස රාජපක්ෂ උපාය මාර්ගය වුණේ රජයේ වියදම් අඩු කිරීම වෙනුවට රාජ්‍ය ආයෝජන වෙනුවෙන් තවත් වියදම් වැඩි කර ඒ හරහා රටේ ජාතික ආදායම වැඩි කිරීමෙන් ණය ගෙවීමේ හැකියාව වැඩි කර ගැනීමයි. ණය ගෙවීමේ හැකියාව වැඩි වුනාද නැද්ද යන්න විවාදිත කරුණක්. එහෙත්, මේ උපාය මාර්ගය හේතුවෙන් රටේ ජාතික ආදායම් ඉහළ ගියා. ඒ නිසා, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය පහළ ගියා.

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති උපාය මාර්ගය වුණේ තනිකරම එහි අනිත් පැත්තයි. ඒ රජයේ ප්‍රාග්ධන වියදම් කපා හැර අළුතින් ණය ගැනීමේ අවශ්‍යතාවය සීමා කර ගැනීමයි. රාජ්‍ය වියදම් අඩු කිරීම කියා කිවුවත්, ඇත්තටම අඩු කළේ රජයේ ප්‍රාග්ධන වියදම්. රජයේ පුනරාවර්තන වියදම් එතරම් අඩු කෙරුණේ නැහැ. ඒ එක්කම, රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා බදු ඉහළ දැමීම කෙරෙහිත් යහපාලන ආණ්ඩුව යොමු වුණා. මේ හැම දෙයක්ම රටේ ආර්ථික වර්ධනය අඩාල කරන්න හේතු වුණා.

දැන් අප විමසා බැලිය යුත්තේ ආර්ථික වර්ධනය පැත්තෙන් මේ තරම් පාඩුවක් කරගෙන පසුගිය සිවුවසර තුළ රාජ්‍ය ණය කෙතරම් දුරකට අඩු කරගන්න යහපාලන ආණ්ඩුව සමත් වුණාද කියන එකයි. කලින් සටහන් කළ පරිදි, 2014 අවසානයේදී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9ක්. 2018 අවසන් වන විට රුපියල් බිලියන 11,977.5ක්. මෙය 12.8%ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයක්. රාජපක්ෂ දශකයේ 13.2%ක ණය වර්ධන වේගයට වඩා අඩු යාන්තමිනුයි. මේ අනුව, පෙනෙන්නේ ආර්ථික වර්ධනය විශාල සේ අඩාල කෙරෙන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුවත්, ණය අඩු වීම කෙසේ වෙතත්, රාජපක්ෂ දශකයේ ණය වැඩි වූ වේගයටම කිට්ටු වේගයකින් පසුගිය වසර හතර ඇතුළතත් ලංකාවේ රාජ්‍ය ණය ඉහළ ගොස් තිබෙන බවයි.

ආර්ථික වර්ධන වේගය විශාල ලෙස අඩු වෙද්දී ණය වර්ධන වේගය ඉතා සුළුවෙන් පමණක් අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් සේ ගත් විට ලංකාවේ රාජ්‍ය ණය ඉහළ යමින් තිබෙනවා. රාජපක්ෂ දශකය තුළ සිදු වුණේ එහි අනිත් පැත්තයි.

රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාවය මේ ආණ්ඩුව විසින් පුන පුනා කිවූ දෙයක්. ඒ වෙනුවෙන් විවිධ බදු හඳුන්වා දෙන්න ආණ්ඩුව පැකිළුනේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ ආදායම් කොතරම් වැඩි වී තිබෙනවද? 2014-2018 කාලය ඇතුළත රජයේ බදු ආදායම් 13.00%ක සාමාන්‍ය වේගයකින් හා සමස්ත ආදායම් 12.58%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වී තිබෙනවා. නමුත්, රාජපක්ෂ දශකය හා සැසඳූ විට මෙහි විශාල ප්‍රගතියක් පෙනෙන්න නැහැ. 2004-2014 කාලයේදී රජයේ බදු ආදායම් 14.07%ක සාමාන්‍ය වේගයකින් හා සමස්ත ආදායම් 14.39%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වුණා.

රාජපක්ෂ දශකයේදී රජයේ බදු ආදායම් වඩා වේගයෙන් ඉහළ ගොස් ඇතත් හැම දෙයකටම බදු ගහන බව කියන්නේ යහපාලන ආණ්ඩුවයි. එහෙම වුණේ කොහොමද?

බදු අනුපාතික ඉහළ යවන හැම විටම රජයේ බදු ආදායම් ඉහළ යන්නේ නැහැ. ඉහළ දැමූ බදු නිසා කිසියම් භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ ගිය විට ඉල්ලුම අඩුවී විකිණෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙන නිසා අවසානයේදී රජයේ බදු ආදායම පහළ වැටෙන්න පුළුවන්. මේ ආණ්ඩුව විශාල සේ බදු වැඩි කළ අවස්ථා කිහිපයකදීම එවැනි තත්ත්වයක් දකින්න ලැබුණා. නිසි අධ්‍යයනයකින් තොරව බදු අනුපාතික ඉහළ දැමූ විට වෙන්නේ ආණ්ඩුවේ ජනප්‍රිතාවය අඩුවන නමුත් අවශ්‍ය ප්‍රතිඵලය වන රජයේ ආදායම් ඉහළ යාම සිදු නොවීමයි. එවිට, සැලසුම් කළ පරිදි රජයේ අයවැය හිඟය අඩු කරන්න හෝ ණය ගෙවන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අනෙක් අතින් රාජපක්ෂ දශකයේ පැවති ඉහළ ආර්ථික වර්ධන වේගය නිසා බදු අනුපාතික වැඩි නොකළත් රජයේ බදු ආදායම් ඉහළ ගියා.
 

රට හිරවී සිටින ණය උගුල සැළකු විට පසුගිය වසර හතර ඇතුළත අමුතු දෙයක් සිදු වී නැහැ. තවමත් වාර්ෂිකව 13%ක පමණ වේගයකින් රටේ ණය ඉහළ යනවා. මේ ණය වෙනුවෙන් ලංකාවේ ආණ්ඩුව විසින් වාර්ෂිකව ගෙවිය යුතු පොලී අනුපාතිකය වසරින් වසර විචලනය වුවත් දිගුකාලීනව බැලූ විට එය ස්ථාවර එකක්. සාමාන්‍යයක් ලෙස 6.5%ක පමණ වාර්ෂික පොලියක්. ඒ නිසා, රාජ්‍ය ණය ඉහළ යාමට අනුරූපීව වාර්ෂික පොලී වියදමත් වැඩි වෙනවා (රූප සටහන 2).

පසුගිය වසරේදී ලංකාවේ රජය රාජ්‍ය ණය වෙනුවෙන් පොලී ලෙස ගෙවූ මුදල පමණක් රුපියල් බිලියන 852.2ක්. මේ මුදල රජයේ සමස්ත බදු ආදායමෙන් 49.8%ක්. රජයේ සමස්ත ආදායමෙන් 44.4%ක්. රජයේ බදු ආදායමෙන් බාගයක්ම පොලී විදිහට ගෙවුවට පස්සේ රජයකට කලින් ගත් ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ. ඉතිරි කොටස රජයේ වියදම් වලටත් මදි නිසා තවත් ණය ගන්නම වෙනවා. රටේ ණය කාලයක් තිස්සෙම වාර්ෂිකව 13%කින් පමණ ඉහළ යන්නේ ඒ නිසයි. රටේ ණය 13%කින් වැඩි වන විට වාර්ෂික පොලී වියදමත් 13%කින් වැඩි වෙනවා.

ලංකාවේ පවතින තත්ත්වයන් යටතේ රජයේ බදු ආදායම් වසරකට 13%කට වඩා වැඩි වේගයකින් ඉහළ දමාගන්න අමාරුයි. ඒ මට්ටම තමයි ප්‍රශස්ත මට්ටම. රජයේ බදු ආදායම් ඉහළ දමා ගන්න කියලා බදු අනුපාතික ඕනෑවට වඩා වැඩි කළොත් වෙන්නේ ලැබෙන ආදායම තවත් අඩු වෙන එකයි. ඒ නිසා, මේ වර්ධන වේගය උපරිම සීමාවක්. මේ ආණ්ඩුව විසින් මේ කරුණ තහවුරු කරලා තිබෙනවා.

අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුව ප්‍රාග්ධන වියදම් සීමා කළත් පුනරාවර්තන වියදම් සීමා කරන්න සමත් වී නැහැ. එයත් ප්‍රායෝගිකව කරන්න අමාරු දෙයක්. රජයේ පුනරාවර්තන වියදම් වලින් වැඩි කොටසක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්. පසුගිය වසරේදී මේ වියදම් වල එකතුව රුපියල් බිලියන 820.5ක්. මේ මුදල රජයේ සමස්ත බදු ආදායමෙන් 47.9%ක්. සමස්ත අදායමෙන් 42.7%ක්. මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රාජ්‍ය සේවය විශාල කිරීමක් ලොකුවට සිදු නොකළත් රජයේ ආදායමෙන් පොලී ගෙවා ඉතිරිවන කොටසින් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවුවට පස්සේ අනික් හැම වියදමක් වෙනුවෙන්ම ඉතුරු වෙන්නේ බදු ආදායමෙන් 2.3%ක් පමණයි. සමස්ත ආදායමෙන් වුවත් 12.9%ක් පමණයි.

ඒ සොච්චම් මුදලෙන් ණය ගෙවන්න කලින් කරන්න තව කොයි තරම් දේවල් තියෙනවද? ප්‍රාග්ධන වියදම් සම්පූර්ණයෙන්ම අමතක කළත් රජයේ අනෙක් සියළු මිල දී ගැනීම්, සමෘද්ධි, පොහොර සහනාධාර වගේ තව කොයි තරම් වියදම් තියෙනවද? ඒ නිසා, ප්‍රාග්ධන වියදම් සම්පූර්ණයෙන්ම කපා හැරියත් (එහෙම කරන්න බැහැ. අපි නිකමට එහෙම හිතමු.) ලංකාවේ ආණ්ඩුවකට අලුත් ණය නොගෙන දැනට තියෙන ණය ගෙවන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අඩු ගණනේ අලුත් ණය නොගෙන ඉන්න එකවත් කරන්න පුළුවන්කමක් නැහැ.


ඒ නිසා දැනට තිබෙන ලංකාවේ රාජ්‍ය ණය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්න පුළුවන් ආකාරයක් පෙනෙන්නවත් නැහැ. මේ විදිහට වසරින් වසර ණය වැඩි වෙද්දී සමස්ත රාජ්‍ය ආදායමෙන් පොලී වියදම් ලෙස වෙන් කළ යුතු ප්‍රතිශතයත් වසරින් වසර වැඩි වෙනවා. පොලී අනුපාතික වෙනස් වීම අනුව විචලනය වීම් සිදු වුවත් පසුගිය දශක තුනක කාලයේ මේ ප්‍රතිශතය වෙනස් වීමේ ප්‍රවණතාවය දෙස බැලූ විට (රූප සටහන 3) මේ කරුණ පැහැදිලි වෙනවා. ලංකාව පැටලිලා ඉන්න ණය උගුල ඔයාකාරයේ එකක්. මෙහි කෙළවර කොතැනද?

ඉදිරි මැතිවරණයකදී කවුරු බලයට පත් වුණත් භාර ගන්න වෙන්නේ මේ විදිහේ ගොඩ යන්න බැරි ණය උගුලක පැටලී තිබෙන ආර්ථිකයක්. රජයේ ප්‍රාග්ධන වියදම් වැඩි කරලා ඒ හරහා ආදායම් වැඩි කරගෙන ණය උගුලෙන් ගොඩයන්න රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කළා. නමුත්, ඒ උපාය මාර්ගය හරිගියේ නැහැ. ණය බර තවත් වැඩි වුණා. ප්‍රාග්ධන වියදම් කපා හැරලා රජයේ අයවැය හිඟය අඩු කරගෙන උගුලෙන් ගොඩයන්න යහපාලන ආණ්ඩුව උත්සාහ කළා. ඒත් හරි ගියේ නැහැ. ණය කලින් ආකාරයටම වැඩි වෙද්දී ආර්ථික වර්ධනයත් අඩාල වුන එක විතරයි වුණේ.

ලංකාවේ ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වී බලය ලබා ගන්න බලාගෙන ඉන්න අයට ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන නිසි අවබෝධයක් තිබෙනවාද? එහෙමනම්, රට හිර වී තිබෙන උගුලෙන් ගොඩගන්න ඒ අයගේ උපාය මාර්ග මොනවාද? පැරණි රාජපක්ෂ උපාය මාර්ගයමද? නැත්නම් යහපාලන උපාය මාර්ගයද? එහෙමත් නැත්නම් මේ දෙකම නොවන වෙනත් කවර හෝ විකල්ප උපාය මාර්ගයක් තියෙනවද?