වෙබ් ලිපිනය:

Showing posts with label මුදල් සැපයුම. Show all posts
Showing posts with label මුදල් සැපයුම. Show all posts

Thursday, January 8, 2026

රුපියල ශක්තිමත් වෙන්නේ කොහොමද?


ඇමරිකන් ඩොලරය, යුරෝව ආදිය ශක්තිමත් මුදල් ඒකක. ලංකාවේ රුපියල එවැනි ශක්තිමත් මුදල් ඒකකයක් නෙමෙයි. මෙය කවුරුත් දන්නා දෙයක් නිසා අමුතුවෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ.

කිසියම් රටක මුදල් ඒකකයක් ශක්තිමත් කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් මෙයින් අදහස් වෙන්නේ අදාළ මුදල් ඒකකය නිකුත් කරන රටින් පිටතද එම මුදල් වර්ගයට සැලකිය යුතු ඉල්ලුමක් තිබෙනවා කියන එකයි. දුර්වල මුදල් ඒකකයකට එවැනි ඉල්ලුමක් තිබෙන්නේ එම මුදල් ඒකකය නිකුත් කරන රට ඇතුළේ පමණයි. 

කිසියම් මුදල් ඒකකයක් ශක්තිමත් වෙනවා කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද?

මෙයින් අදහස් වන්නේ එම මුදල් ඒකකය සඳහා වන ඉල්ලුම සාපේක්ෂව ඉහළ යනවා කියන එකයි. මෙහිදී සාපේක්ෂව ඉල්ලුම ඉහළ යාම දෙස දෙයාකාරයකින් බලන්න පුළුවන්. ඒ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමට සාපේක්ෂව සහ වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂවයි.

ඕනෑම මුදල් ඒකකයකට එය නිකුත් කරන රට තුළ, භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව යම් හෝ ඉල්ලුමක් තිබෙනවා. එවැනි ඉල්ලුමක් නැති මට්ටමට මුදල් ඒකකයක් දුර්වල වුවහොත් ඒ මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්ව යනවා. මුදල් ඒකකයක ශක්තිය මූලික වශයෙන්ම තීරණය කරන්නේ මෙම දේශීය ඉල්ලුමයි. අවසාන වශයෙන්, වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව මනින මුදලක බාහිර ඉල්ලුම තීරණය කරන්නේද මුලින් මේ අයුරින් රට තුළ මුදලක ශක්තිය ඉහළ යාමයි.

මුදල් කියන්නේ හුවමාරු මාධ්‍යයක් පමණයි. ඒ හැර, මුදල් වලට එහිම වූ නෛසර්ගික වටිනාකමක් නැහැ. නමුත් භාණ්ඩ හා සේවා වලට නෛසර්ගික වටිනාකමක් තිබෙනවා. කිසියම් මුදල් ඒකකයක ශක්තිය වන්නේ එම මුදල් ගෙවා මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා වල වටිනාකම නිසා ලැබෙන ශක්තියයි. 

ආදායම් ඉපදවීම කියා කියන්නේ, අවසාන වශයෙන්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමයි. ඇතැම් අය එසේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කරනවා. තවත් සමහර අය තමන් නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වැඩියෙන් පරිභෝජනය කරනවා. එසේ කරන්නේ වෙනත් අයගෙන් ණයට ගැනීම මගින්. මුදල් භාවිතයක් නැත්නම්, මෙසේ ඉතිරි කරන හා ණයට ගන්නා භාණ්ඩ හා සේවා අතර තුලනයක් තිබිය යුතුයි.

මුදල් භාවිතය තුළ, පරිභෝජනය කර ඉතිරි කරන්නන් විසින් තමන් සතු අතිරික්තය මුදල් බවට පරිවර්තනය කරනවා. එසේ කරන්නේ එම මුදල් වලටද භාණ්ඩ හා සේවා වලට මෙන් වටිනාකමක් ඇතැයි විශ්වාස කරමිනුයි. මේ විශ්වාසය වැඩි වන තරමට කිසියම් මුදලක් සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් එම මුදල ශක්තිමත් වෙනවා. 

අනෙක් අතට, ණය ගන්නා අය කරන්නේ තමන් සතුව "නැති මුදල්" භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරමින් තමන්ගේ ආදායම ඉක්මවා පරිභෝජනය කිරීමයි. ඔවුන්ට ඒ වෙනුවෙන් පොලියක් ගෙවන්නට සිදු වෙනවා. සංසරණය වන මුදල් ප්‍රමාණය වෙනස් නොවේනම්, රටක සියල්ලන්ටම ලබා ගත හැකි සමස්ත ණය ප්‍රමාණය සහ රටේ සියල්ලන්ගේම සමස්ත ඉතිරි කිරීම් ප්‍රමාණය සමාන විය යුතුයි. එසේ නොවන්නේනම්, ණය ඉල්ලුම සහ ණය සැපයුම තුලනය වන්නේ නැහැ.

යම් හෙයකින් ණය ඉල්ලුම ණය සැපයුමට වඩා වැඩිනම්, ඉතිරි කරන්නන්ට හෙට්ටු කර වැඩි පොලියක් ඉල්ලා සිටිය හැකි නිසා, පොලී අනුපාතික ඉහළ යනවා. ඒ විදිහටම, ණය ඉල්ලුම ණය සැපයුමට වඩා අඩුනම්, පොලී අනුපාතික පහළ යනවා. 

ලංකාවේ සමාජය කාලයක් තිස්සේම තමන්ගේ ආදායම ඉක්මවා පරිභෝජනය කරන්න හුරු වී සිටින සමාජයක්. ණය ගන්න බලාගෙන ඉන්න පිරිස වැඩියි. ඊට සාපේක්ෂව ඉතිරි කිරීම් අඩුයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ණය ඉල්ලුම සහ සැපයුම තුලනය වීම සඳහා පොලී අනුපාතික සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතිය යුතු වීමයි. 

චීනයේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය 43.4%ක්. දකුණු කොරියාවේ 34.0%ක්. සිංගප්පූරුවේ 57.9%ක්. දැන් දේශීය ඉතිරි කිරීම් අනුපාතය පහත වැටී තිබුණත්, 1970දී ජපානයේ ඉතිරි කිරීම් අනුපාතය 43.3%ක්. මේ රටවල් වේගයෙන් දියුණු වුණේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය වැඩි කර ගෙන කාලයක් එසේ පවත්වා ගැනීම මගිනුයි. 

එහෙත් ලංකාවේ ඉතිරි කිරීම් අනුපාතය 24.3%ක් පමණයි. රටක ඉතිරි කිරීම් අනුපාතය අඩුනම්, ඒ හා ගැලපෙන පරිදි ස්වභාවික ලෙසම පොලී අනුපාතික ඉහළ යනවා. ආයෝජන සීමා වෙනවා. ඒ මගින්, විභව දළ දේශීය නිෂ්පාදිතයද සීමා වෙනවා. 

රටක මහ බැංකුවට මැදිහත් වී පොලී අනුපාතික පහත දමන්න පුළුවන්. එහි අරමුණ වන්නේ ආයෝජන දිරිමත් කර ආර්ථික වර්ධනය වේගවත් කිරීමයි. එහෙත් පොලී අනුපාතික ඒ අයුරින් පහත දමද්දී ණය ඉල්ලුම රටේ ඉතිරි කිරීම් ඉක්මවා ඉහළ යනවා. පොලී අනුපාතික අඩු මට්ටමක තියාගන්නනම් මේ අඩුව පිරවෙන පරිදි මුදල් සැපයුම ඉහළ යාමට ඉඩ හරින්න වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනයක් ඇති වෙනවා. 

ඇමරිකාවේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය 17.1%ක් පමණයි. මෙය ඉතා අඩු මට්ටමක්. එහෙත් ඇමරිකාවේ පොලී අනුපාතික ලංකාවේ තරම් ඉහළ නැහැ. ඊට හේතුව විදේශිකයින්ගේ ඉතිරි කිරීම්ද ඇමරිකාවට පැමිණීමයි. ශක්තිමත් මුදල් ඒකක තිබෙන රටවලට මේ වාසිය තිබෙනවා. ඒ නිසා, එවැනි රටවල් බොහොමයක් උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගන්නවා. නමුත් මෙවැනි විශේෂ වාසියක් නැති ලංකාව වැනි රටක් උද්ධමනය 5% වැනි වඩා ඉහළ මට්ටමක තබා ගැනීමට ඉලක්ක කළද, පොලී අනුපාතික ඇමරිකාවේ මට්ටමට අඩු වෙන්නේ නැහැ. ඉහළ පොලී අනුපාතික ආයෝජන සීමා කර එමගින් ආර්ථික වර්ධනයද සීමා කරනවා. චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව හා ජපානය වැනි රටවල් මේ අහියෝගය ජයගෙන කෙටිකාලයක් තුළ වේගයෙන් දියුණු වුනේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තබා ගැනීම මගිනුයි.

විදේශ ණය ගැනීමත් මේ ප්‍රශ්නයට පිළියමක් වුවත්, එහිදී සිදු වන්නේ අනාගතය උගසට තබා පරිභෝජනය වැඩි කර ගැනීමක්. ඇමරිකාව විසින් විදේශිකයින්ගේ ඉතිරි කිරීම් ආකර්ශනය කර ගැනීමේදී සහ ලංකාව විසින් විදේශ ණය ගැනීමේදී සිදු වන්නේ එකම දෙයක් නෙමෙයි. පොලී අනුපාතික අඩු වීම, ආයෝජන ඉහළ යාම සහ එමගින් ආර්ථික වර්ධනය ඉහළ යාම හා අදාළව වෙනසක් නැති වුනත්, ඇමරිකාව ණය ගන්නේ ඔවුන්ගේම මුදල් ඒකකයෙන්. ඒ නිසා, ඇමරිකාවට මුදල් සැපයුම වැඩි කර පහසුවෙන්ම එම ණය ආපසු ගෙවන්න පුළුවන්. 

ලංකාවේ රුපියල ඇමරිකන් ඩොලරය මෙන් ශක්තිමත් මුදල් ඒකකයක් නොවන නිසා ලංකාවට ණය ගන්න වෙන්නේ වෙනත් රටක මුදල් ඒකකයකින්. ඒ මගින් පොලී අනුපාතික අඩු කරගෙන, ආයෝජන ඉහළ දමා, ආර්ථික වර්ධන වේගයද වැඩි කර ගත හැකි නමුත් මේ සියල්ල තාවකාලිකයි. ණය ආපසු ගෙවන්න සිදු වූ විට ලබාගත් ජයග්‍රහණ ආපසු හැරවෙනවා. ඒ නිසා, විදේශ ණය වල උදවුවෙන් පොලී අනුපාතික අඩු කරගෙන එමගින් ආර්ථික වර්ධන වේගය වැඩි කරගැනීම ලංකාව වැනි රටකට තිරසාර ක්‍රමෝපායක් නෙමෙයි. 

වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව කිසියම් මුදල් ඒකකයක ශක්තිය තීරණය වන්නේ මුදල් ඒකකයක බාහිර ඉල්ලුම මතයි. ශ්‍රී ලංකා රුපියලේ බාහිර ඉල්ලුම ඉහළ යන්නේ රට තුළ නිපදවන භාණ්ඩ හා සේවා සඳහා බාහිර ඉල්ලුම ඉහළ යන තරමටයි. එම ඉල්ලුම ඉහළ යන තරමට රුපියල ශක්තිමත් වෙනවා. එහෙත්, රට තුළ ආනයන ඉල්ලුම වැඩි වන තරමට රුපියල දුර්වල වෙනවා. 

ලංකාවෙන් පිටත ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා තිබෙන ඉල්ලුමට සාපේක්ෂව ලංකාව තුළ ආනයන ඉල්ලුම වැඩියි. මෙවැනි වෙනසක් ඇති විට එය තුලනය වන්නේ රුපියලේ බාහිර අගය අඩු වීම හරහායි. ඩොලරයක රුපියල් මිල නිරන්තරයෙන් ඉහළ යාම මගින් මෙය පිළිබිඹු වෙනවා. ආනයන ඉල්ලුම වැඩි වෙද්දී, ඊට අනුරූපව රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ නොයන්නේනම්, විදේශ විණිමය ඉපැයීම් හා සමාන මට්ටමක් දක්වා ආනයන ඉල්ලුම අඩු වන තෙක් ඩොලරයක මිල ඉහළ යා යුතුයි. 

රටේ මුදල් සැපයුම ඉහළ යද්දී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන සඳහා වන ඉල්ලුම මෙන්ම ආනයන ඉල්ලුමද ඉහළ යනවා. මෙහිදී දේශීය භාණ්ඩ හා සේවා සැපයුම ඊට අනුරූපව ඉහළ නොයාමේ ප්‍රතිඵලයක් ලෙස එම භාණ්ඩ වල මිල ඉහළ යන නමුත් ආනයන වලට එවැනි සැපයුම් සීමාවක් නැති නිසා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය දේශීය නිෂ්පාදන වලට සාපේක්ෂව ආනයන වඩා ලාබ වී ආනයන ඉල්ලුම තවත් වැඩි වීමයි. 

මේ ආකාරයෙන් රටේ මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වී, ආනයන ඉල්ලුමද වැඩි වී, ඩොලර් ඉල්ලුම ඉහළ ගිය විට අවසාන වශයෙන් ඩොලරයක මිලද ඉහළ යනවා. එමගින් ආනයන ඉල්ලුම නැවත පෙර පැවති මට්ටම දක්වා අඩු වෙනවා.

මෙහිදී රුපියල දුර්වල වන්නේ ඩොලරයක මිල ඉහළ යන අවස්ථාවේදී නෙමෙයි. මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වන විට රුපියල දුර්වල වී අවසානයි. ඊට අනුරූප ලෙස ඩොලරයක මිලද ඉහළ නොගියහොත් සිදු වන්නේ දිගින් දිගටම ආනයන ඉහළ ගොස් රුපියල තව තවත් දුර්වල වීමයි. ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් එසේ රුපියල දිගින් දිගටම තව තවත් දුර්වල වීම වැළකෙනවා. 

මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වන වී රුපියල දුර්වල වීමෙන් පසුව ඩොලරයක මිල ඉහළ යාම වලක්වා ගත හැකි එකම ක්‍රමය මහ බැංකුව මැදිහත් වී සංචිත විකිණීමයි. එහෙත් මෙසේ ඩොලරයක මිල ඉහළ යාම වලක්වා ගැනීමට හෝ සීමා කිරීමටනම් මුලින්ම සැලකිය යුතු විදේශ සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගෙන තිබිය යුතුයි. 

විදේශ සංචිත රැස් කරද්දී වෙළදපොළේ ඩොලර් සැපයුම අඩු වෙනවා. රුපියල් සැපයුම වැඩි වෙනවා. ඒ හරහා රුපියල දුර්වල වී ඩොලරය ශක්තිමත් වන බවක් පෙනෙනවා. නමුත් සංචිත ඉහළ යාම නිසා අනාගතයේදී රුපියල දුර්වල නොවී ශක්තිමත්ව තබා ගැනීමේ හැකියාව ඉහළ යනවා. ඒ නිසා, දිගුකාලීනව බලද්දී ඇත්තටම මෙහිදී සිදු වන්නේ රුපියල ශක්තිමත් වීමක් මිසක් දුර්වල වීමක් නෙමෙයි. 

ලංකාව දැන් ඉන්නේ දිගුකාලීනව රුපියල ශක්තිමත් කර ගැනීමේ ඉලක්කයකයි. ඒ සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත එක්රැස් කරගත යුතුයි. මෙය කරන ආකාරය පිළිබඳ සැලසුමක් තිබෙනවා. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා අතරතුරේ ඩොලරයක මිලද ඉහළ යන්නේනම් එමගින් සිදු වන්නේ ආනයන ඉල්ලුම අඩු වීමක් සහ රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය සීමාවීමක්. ඩොලර් ඉල්ලුම අඩු වීමක්. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වීමක්.

සංචිත විකුනමින් හෝ විදේශ ණය ගනිමින් ඩොලරයක මිල පහතින් තියාගනිද්දී ඇත්තටම සිදු වන්නේ කිහිප ආකාරයකින්ම රුපියල දුර්වල වීමයි. එක පැත්තකින් ආනයන ඉල්ලුම ඉහළ ගොස් ඩොලර් රටින් යනවා. ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. අනෙක් පැත්තෙන් අනාගතයේ ණය ආපසු ගෙවීමේ අවදානම සහ රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් යොදා ගත හැකි සංචිත නොමැති වීමේ අවදානම ඉහළ යනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ රුපියල දුර්වල වීමයි. 

සාරාංශයක් ලෙස, රුපියල ශක්තිමත් වීම කියා කියන්නේ ඩොලරයක මිල අඩු වීම නෙමෙයි. සමස්තයක් ලෙස රටේ විදේශ අංශය ශක්තිමත් වීමයි. සමස්තයක් ලෙස රටේ විදේශ අංශය ශක්තිමත් වීම නිසා ඩොලරයක මිල අඩු වේනම් එය හොඳ තත්ත්වයක්. ඩොලරයක මිල වැඩි වන අතර විදේශ අංශය ශක්තිමත් වේනම් එයද හොඳ තත්ත්වයක්. ඒ වගේම, රටේ විදේශ අංශය දුර්වල කරමින්, විදේශ ණය ගැනීම හා සංචිත විකිණීම මගින් ඩොලරයක මිල පහතින් තියා ගනිද්දී ඇත්තටම සිදු වන්නේ රුපියල දුර්වල වීමක් මිසක් ශක්තිමත් වීමක් නෙමෙයි.

Tuesday, September 2, 2025

මුදල් සැපයුම තීරණය කරන්නේ කවුද?

උද්ධමනය, අවධමනය, සාමාන්‍ය මිල මට්ටම, දළ දේශීය නිෂ්පාදිතය, මුදල් සැපයුම වගේ ආර්ථික විද්‍යාවේදී කතා කරන ගොඩක් දේවල් වියුක්ත සංකල්ප. මේ වගේ වියුක්ත සංකල්ප ඇසුරෙන් ආර්ථික විද්‍යා ප්‍රවාද ගොඩ නගන්න පුළුවන්. ඒ ප්‍රවාද ඇසුරෙන් නිගමන වලට එළැඹෙන්නත් පුළුවන්. නමුත්, එවැනි නිගමන නිවැරදි බවක් එයින් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ නැහැ. ප්‍රවාදයක් හෝ ප්‍රවාදයක් අනුව යමින් එළැඹුණු නිගමන නිවැරදි බව තහවුරු කරගන්නනම් සැබෑ ලෝකය තුළ ඒ ප්‍රවාද පරීක්ෂාවට ලක් විය යුතුයි.

මුලින් වියුක්තව ඉදිරිපත් කෙරෙන සංකල්පයක් සැබෑ ලෝකය හා ගැලපීම සඳහා යම් නිශ්චිත අර්ථ දැක්වීමක් අවශ්‍ය වෙනවා. එසේ නොකර මිනුම් හෝ නිරීක්ෂණ ලබා ගන්න බැහැ. නිරීක්ෂණ ලබා නොගෙන ප්‍රවාදයක් සැබෑ ලෝකය තුළ පරීක්ෂාවට ලක් කරන්න බැහැ. 

වියුක්ත සංකල්පයක් සැබෑ ලෝකය තුල නිරීක්ෂණය කළ හැකි මිනුමක් සේ අර්ථ දක්වන්න උත්සාහ කරද්දී ඇති වන මූලිකම ගැටලුවක් වන්නේ අදාළ වියුක්ත සංකල්පය හා හරියටම ගැලපෙන ප්‍රපංචයක් සැබෑ ලෝකයේ දකින්න නොලැබීමයි. ඒ නිසා, වඩාත්ම ගැලපෙන තෝරා ගැනීමක් කරන්න වෙනවා. මෙය කියන තරම්ම පහසු නැහැ. බොහෝ වෙලාවට මුලින්ම තෝරා ගැනෙන හොඳම මිනුමට වඩා හොඳ මිනුම් ඇති බව පසුව පැහැදිලි වෙනවා. 

හේතු දෙකක් නිසා මෙවැන්නක් සිදු වෙන්න පුළුවන්. පළමුව, මුලින්ම තෝරාගත් මිනුම හෝ අර්ථදැක්වීම ඒ මොහොතේ වුවත් හොඳම මිනුම නොවූ නිසා. ඒ කියන්නේ විනිශ්චයේ ප්‍රශ්නයක් නිසා. දෙවනුව, එය ඇත්තටම ඒ මොහොතේ පැවති තත්ත්වයන් තුළ හොඳම මිනුම වුවත් පසුකාලීනව ඒ තත්ත්වයන් වෙනස් වීම නිසා.

මුදල් සැපයුම කියන වියුක්ත සංකල්පය ඇසුරෙන් මේ කරුණ පැහැදිලි කරන්න පුළුවන්. මුදල් සැපයුම ගැන ගොඩක් අය කතා කරනවා. කතා කරද්දී මුදල් සැපයුම වගේ වචන දෙකක් භාවිතා කරන එක ඕනෑම කෙනෙකුට කළ හැකි පහසු වැඩක්. එසේ කිරීම සඳහා මුදල් සැපයුම කියන්නේ කුමක්ද කියා නිශ්චිතව දැන ගන්න අවශ්‍යම නැහැ. නමුත් තමන් කතා කරන මුදල් සැපයුම කියන්නේ කුමක්ද කියා නිදහසේ හිතා බැලුවොත්, පහසුවෙන්ම තමන්ගේ අර්බුදය තේරුම් ගන්න පුළුවන්. ඇතැම් විට තමන් කලින් ඉගෙන ගෙන තිබෙන හෝ කට පාඩම් කර තිබෙන අර්ථ දැක්වීමක් මතක් කරගෙන අර්බුදයෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත් මුදල් සැපයුම වගේ දෙයක් සැබෑ ලෝකය තුළ අර්ථ දක්වන එක පෙනෙන තරම්ම පහසු වැඩක් නෙමෙයි. 

ලංකාවේ සන්දර්භයට ආවොත්, අඩු වශයෙන් අසූව දශකය වන තුරු, ලංකාව තුල සිදු වන ගනුදෙනු පියවීම සඳහා තිබුණේ ප්‍රධාන ක්‍රම දෙකක් පමණයි. පළමු ක්‍රමය නෝට්ටු හා කාසි. දෙවන ක්‍රමය චෙක්පත්. නෝට්ටු හා කාසි වලින් ගෙවීමක් පියවද්දී අදාළ වත්කම වන නෝට්ටුව හා කාසිය සෘජුවම හුවමාරු වෙනවා. චෙක්පතකින් පියවීමේදී සිදු වන්නේ තරමක් වෙනස් දෙයක්. චෙක්පතක් කියන්නේ මූල්‍ය වත්කමක් නෙමෙයි. එය මූල්‍ය වත්කමකින් ගෙවීම පියවීම සඳහා තමන්ගේ බැංකුවට කරන දැනුම් දීමක්. මෙහිදී අවශ්‍ය පියැවීම සිදු කෙරෙන්නේ තමන්ගේ ජංගම ගිණුමක තිබෙන ශේෂයෙන්.

ඉහත හේතුව නිසා නෝට්ටු හා කාසිත්, ජංගම ගිණුම් තැන්පතුත්, කියන සංරචක දෙක මුදල් සැපයුමෙහි කොටස් සේ සැලකුණා. අනෙකුත් බොහොමයක් රටවල මුදල් සැපයුම අර්ථ දක්වනු ලැබුවේද සංසරණයේ ඇති නෝට්ටු හා කාසි ප්‍රමාණයේත්, ජංගම ගිණුම් තැන්පතු වලත් එකතුව ලෙසයි. 

ජංගම ගිණුම් වලට අමතරව ඉතිරි කිරීමේ ගිණුම් ආදියේත් මිනිසුන්ගේ මුදල් තිබුණා. ඒවාත් මූල්‍ය වත්කම්. එහෙත්, මෙවැනි අනෙකුත් මූල්‍ය වත්කම් මුදල් සේ සැලකීමට හේතුවක් තිබුණේ නැහැ. ඊට හේතුව ඉතිරි කිරීමේ ගිණුමක ඇති මුදල් වලින් සෘජුවම ගෙවීම් කිරීමේ හැකියාවක් නොතිබීමයි. එසේ කිරීමටනම් මුලින්ම වැඩ කරන දිනක බැංකුවට ගොස් මුදල් ලබා ගත යුතුයි. ජංගම ගිණුම් හා අදාළව මෙවැනි සීමාවක් තිබුණේ නැහැ. තමන් සතුව චෙක් පොතක් ඇත්නම්, ඕනෑම මොහොතක චෙක්පතක් ලියා එමගින් ගෙවීමක් කළ හැකියි. 

ලෝකයේ අනෙකුත් බොහොමයක් රටවල් සැලකුවත්, පසුගිය සියවසේ තුන් වන කාර්තුව පමණ දක්වා මුදල් ලෙස සැලකිය හැකි වූයේ ඉහත සංරචක දෙක පමණයි. මෙම සංරචක දෙක අතරින් පළමු සංරචකය වන නෝට්ටු හා කාසි ප්‍රමාණය තීරණය කිරීමේ හැකියාව මහ බැංකුවක් සතුයි. 

ඉතිහාසයේ යම් යුග වල විවිධ රටවල විවිධ පාර්ශ්ව විසින් කාසි හා නෝට්ටු නිකුත් කර තිබෙනවා. ඇමරිකාවේ වගේම ලංකාවේත් පෞද්ගලික වාණිජ බැංකු විසින් මුදල් නෝට්ටු නිකුත් කළ කාලයක් තිබුණා. නමුත් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපනය කිරීමෙන් පසුවත්, ලංකාවේ මුදල් මණ්ඩලය පිහිටුවීමෙන් පසුවත්, රට තුල මුදල් නෝට්ටු නිකුත් කිරීම සිදු වූයේ එක් තැනකින්. ලංකා මහ බැංකුව (පසුව ශ්‍රී ලංකා මහ බැංකුව) පිහිටුවීමෙන් පසුව, ලංකාව තුළ කාසි හා නෝට්ටු නිකුත් කිරීම සිදු කරන්නේ එම ආයතනය විසින් පමණයි. ඒ නිසා, මුදල් සැපයුමෙහි එම සංරචකය මහ බැංකුවට තීරණය කළ හැකියි.

කෙසේ වුවද, අප පෙර කතා කළ, මුදල් සැපයුමෙහි අනෙක් සංරචකය වන ජංගම ගිණුම් ශේෂය තීරණය කරන්නේ මහ බැංකුව විසින් නෙමෙයි. එම සංරචකය මත මහ බැංකුවේ සෘජු පාලනයක් නැහැ. මෙය තීරණය වන්නේ වාණිජ බැංකු වල සහ ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ ක්‍රියාකාරකම් මතයි. සමාජවාදී රටවල හැර, මහ බැංකුවක් තිබුණු සෑම රටකම මෙන් පැවතුණේ මේ තත්ත්වයයි.

ආර්ථික විද්‍යා ආකෘති වල රටක මුදල් සැපයුම තීරණය කරන්නේ මහ බැංකුව විසින්යැයි සරලව උපකල්පනය කරනවා. එහෙත් ඇත්තටම, මහ බැංකුවක් විසින් සෘජුව තීරණය කරන්නේ මුදල් සැපයුමෙහි එක් සංරචකයක් පමණයි. මහ බැංකුවකට මුදල් සැපයුම මුළුමනින්ම තීරණය කළ හැක්කේ නියාමන කාර්යයක් පමණක් වන මහ බැංකුවක සාමාන්‍ය කාර්යයට අමතරව වාණිජ බැංකු කටයුතු හා අදාළවද මහ බැංකුවට ඒකාධිකාරයක් තිබේනම් පමණයි. සමාජවාදී රටවල එවැනි තත්ත්වයක් පැවතුණා.

කොමියුනිස්ට් ප්‍රකාශනය මගින් රජයක් නැති කොමියුනිස්ට් සමාජයක් කරා යාමේ අතරමැදි පියවරක් ලෙස සමාජවාදී රාජ්‍ය ක්‍රමයක් යෝජනා කරද්දී එහි එක් අංගයක් ලෙස රටේ සමස්ත ණය දීමේ ක්‍රියාවලිය එක් රාජ්‍ය බැංකුවක් මගින් සිදු කිරීම යෝජනා වුනා. සෝවියට් දේශය පිහිටුවීමෙන් පසුව මෙවැනි එක් මධ්‍යගත බැංකුවක් පිහිටවනු ලැබුවා. මෙම බැංකුව (එක්සත් සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බැංකුව) සෝවියට් මධ්‍යගත ආර්ථික සැලසුම් ක්‍රමයේ එක් ප්‍රධාන කුළුණක්ව පැවතුණා. සෝවියට් දේශය බිඳ වැටීමට ආසන්න කාලයේදී පෙරස්ත්‍රොයිකා ප්‍රතිසංස්කරණ සිදු වන තුරුම පැවතුණේ මෙම මධ්‍යගත ආකෘතියයි. 

චීනයේ මුලින් පැවතුනේද ඉහත ක්‍රමයයි. චීන මහජන බැංකුව මුල් කාලයේදී මහ බැංකු කටයුතු මෙන්ම වාණිජ බැංකු කටයුතුද මධ්‍යගත ලෙස සිදු කළා. එහෙත්, පසුව එම බැංකුවේ අනෙකුත් කාර්යයන් එකින් එක ඉවත් කිරීමෙන් පසුව, මේ වන විට එම ආයතනය සාමාන්‍ය මහ බැංකුවක් පමණයි. අනෙකුත් සමාජවාදී රටවලද මෙවැනි තත්ත්වයක් පැවතුනත්, මේ වන විට මෙවැනි මධ්‍යගත බැංකු ක්‍රමයක් (monobank system) පවතින්නේ උතුරු කොරියාවේ පමණයි. කියුබාව පවා, රාජ්‍ය අයිතිය යටතේම වුවත්, මහ බැංකු කටයුතු සහ වාණිජ බැංකු කටයුතු වෙන් කර තිබෙනවා. 

ආර්ථික විද්‍යාව යනුවෙන් අප මෙම ලිපි වල සඳහන් කරද්දී එයින් අදහස් කරන්නේ ධනවාදී ආර්ථික විද්‍යාවයි. මිල වෙනස් වීම මගින් ඉල්ලුම හා සැපයුම ගැලපීමට ඉඩකඩ ඇති ඕනෑම ආර්ථිකයක් ධනවාදී ආර්ථික විද්‍යාව ඇසුරෙන් විස්තර කළ හැකියි. එසේ නොවන ආර්ථිකයන් ලෙස වත්මන් ලෝකය තුළ හඳුනා ගත හැක්කේ උතුරු කොරියාව වැනි සීමිත රටවල් කිහිපයක් පමණයි. 

අප නිතර කතා කරන උද්ධමනය, අවධමනය, සාමාන්‍ය මිල මට්ටම, දළ දේශීය නිෂ්පාදිතය වැනි සංකල්ප වලට අර්ථයක් තිබෙන්නේ මිල වෙනස් වීම මගින් ඉල්ලුම හා සැපයුම ගැලපීමට ඉඩකඩ ඇති වෙළඳපොළ ආර්ථිකයක් තුළ පමණයි. මේ සංකල්ප කිසිවක් ශුද්ධ විද්‍යා වල ඇති සංකල්ප මෙන් විශ්වීය සංකල්ප නෙමෙයි. ඒ නිසා, මධ්‍යගත ආර්ථික සැලසුම් ක්‍රමයක් තුළ මේ වචන වලට අර්ථයක් නැහැ. උද්ධමනයක් හෝ අවධමනයක් පැවතිය හැක්කේ වෙළඳපොළ අර්ථක්‍රමයක් පවතින්නේනම් පමණයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ භාණ්ඩ හිඟය හෝ අතිරික්තය ප්‍රශ්නයක් විය හැකි නමුත් උද්ධමනය හෝ අවධමනය ප්‍රශ්නයක් වන්නේ නැහැ. 

උද්ධමනය හා අවධමනය වරින් වර ඇති වීම වෙළඳපොළ ආර්ථික ක්‍රමයක ස්වභාවික ලක්ෂණයක්. මීට හේතුව, වෙළඳපොළ ක්‍රමය තුළ අනෙක් භාණ්ඩ හා සේවාවන් වල මිල මෙන්ම මුදල් වල මිලද ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වීමයි. මහ බැංකුවක් විසින් කරන්නේ නියාමනය මගින් මෙම විචලනයන් පාලනය කිරීමයි. මුදල් වල මිල විචලනය වීම ධනවාදී ක්‍රමයේ ප්‍රශ්නයක් බැවින් මිල නියාමනයක් අවශ්‍ය වන්නේද ධනවාදී අර්ථ ක්‍රමයක් පවතින්නේනම් පමණයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ එම කාර්යය සඳහා මහ බැංකුවක් අවශ්‍ය වන්නේ නැහැ. එවැනි රටවල පැවති මධ්‍යගත සැලසුම් බැංකු මගින් සිදු වූයේ ඊට වඩා පුළුල් වෙනත් කාර්යයයක්. 

කාලයක්ම මුදල් සැපයුමේ ප්‍රධාන සංරචක දෙක වූ මුදල් නෝට්ටු සහ ජංගම ගිණුම් ශේෂ වලින් එක් කොටසක් මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි වුවත්, දෙවන කොටස එසේ සෘජුව පාලනය කළ හැකි වූයේ නැහැ. එහෙත්, මුදලේ මිල නියාමනය කිරීම සඳහා එම දෙවන කොටසද කිසියම් ආකාරයකින් පාලනය කළ යුතු වුනා. මහ බැංකු විසින් මේ සඳහා ප්‍රයෝජනයට ගත් උපකරණය වූයේ සංචිත අවශ්‍යතාවයයි. මේ අනුව, නියාමන අධිකාරිය වන මහ බැංකුවට වාණිජ බැංකු මත අවම සංචිත අවශ්‍යතාවයක් නියම කිරීමට බලය ලැබුණා.

සාමාන්‍යයෙන් මෙම සංචිත අවශ්‍යතාවය පනවනු ලැබූයේ ජංගම ගිණුම් ශේෂ මතයි. ලංකාවේදී මෙය ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය සේ හැඳින්වුනා. මේ මගින්, මහ බැංකුවකට ජංගම ගිණුම් ශේෂ ප්‍රමාණය තීරණය කළ නොහැකි වුවත්, ඒ මත බලපෑමක් කිරීමට හැකි වුනා. ඒ මගින් සහ නෝට්ටු සැපයුම පාලනය කිරීම මගින් මුදල් සැපයුම මත සැලකිය යුතු බලපෑමක් සිදු කළ හැකි වුනා.

ලංකාවේ සන්දර්භයට නැවත පැමිනුණහොත්, අසූව දශකයේ මැද භාගයේදී ලංකාවට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හඳුන්වා දෙනු ලැබුවා. අනූව දශකයේදී මේ යන්ත්‍ර රට පුරා ව්‍යාප්ත වුනා. මේ එක්කම, මුදල් සැපයුම පිළිබඳ අර්ථකථනය ගැන නැවත සිතීමේ අවශ්‍යතාවයක් ඇති වුනා. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පැමිණීමත් එක්කම වාණිජ බැංකු නිරන්තරව විවෘතව තිබීම වැනි තත්ත්වයක් ඇති වෙනවා. අවශ්‍ය අයෙකුට තමන්ගේ ගිණුමෙන් මුදල් ආපසු ගැනීම සඳහා බැංකුවට යන්න අවශ්‍ය වන්නේ නැහැ. ජංගම ගිණුම් වලින් වගේම ඉතිරි කිරීමේ ගිණුම් වලිනුත් අවශ්‍ය වෙලාවක මුදල් ලබා ගන්න පුළුවන්.

ඉන් පසුව, ඩෙබ්ට් කාඩ් ක්‍රමය හඳුන්වා දෙනු ලබනවා. සංකල්පීය වශයෙන් ඩෙබ්ට් කාඩ් එකකින් වෙන්නෙත් චෙක්පතකින් සිදු වන දෙයම වුවත්, මුදල් සම්ප්‍රේෂණය එසැණින් සිදු වන නිසා චෙක්පත් ගෙවීම් වල මෙන් අවදානමක් නැහැ. ඒ වගේම, ලංකාවේ බැංකුවක ජංගම ගිණුමක් විවෘත කර ගැනීම ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක් වී තිබුණේ නැහැ. නමුත්, ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම ඩෙබ්ට් කාඩ් එකක් ලබා ගන්න පුළුවන් වුනා. 

ඊටත් පස්සේ ජංගම දුරකථන ගෙවීම්, අන්තර්ජාල ගෙවීම් ආදිය හඳුන්වා දෙනු ලැබුවා. මේ එක්ක බැංකුවට යාම කියන සංකල්පය අහෝසි වුනා. දැන් බැංකුව තියෙන්නේ තමන්ගේම අතේ. අඩු වැඩි වශයෙන් පසුගිය දශක කිහිපය තුළ මේ දේවල් ලෝකය පුරාම සමාන්තරව සිදු වුනා.

දැන් අපි ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ මිනුම් කිහිපයක් දෙස බලමු.

M0 - සංචිත මුදල් = මහ බැංකුවට සෘජුව සැපයුම පාලනය කළ හැකි මුදල් 

M1 - පටු මුදල් සැපයුම = සංසරණයේ ඇති මුදල් සහ ජංගම ගිණුම් තැන්පතු 

M2 - පුළුල් මුදල් සැපයුම = M1 + ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථිර තැන්පතු 

M2b - පුළුල් මුදල් සැපයුම = M2 + විදේශ විණිමය තැන්පතු වලින් කොටසක් 

මේ මිනුම් අතරින්, M1 කියන්නේ මුදල් වල සම්ප්‍රදායික අර්ථකථනය. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආදිය පැමිණීමට පෙර කාලයට ඒ අර්ථකථනය ගැලපෙනවා. ඒ කාලයේදී උද්ධමනයට හෝ අවධමනයට බලපෑවේ මේ පටු මුදල් සැපයුම. නමුත් ඒ කාලයේදී වුවත් මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි වූයේ එම පටු මුදල් සැපයුමෙන් එක් කොටසක් පමණයි. කෙසේ වුවත්, ඒ කොටස සැලකිය යුතු කොටසක්.

මුදල් සැපයුම පිළිබඳ ඉහත අර්ථ දැක්වීම පසුකාලීනව ප්‍රමාණවත් වුණේ නැහැ. පසුකාලීනව මහ බැංකුව විසින් ඉලක්ක කළේ M2b පුළුල් මුදල් සැපයුමයි. 2010 පමණ වන තුරු M2b පුළුල් මුදල් සැපයුමේ වර්ධනය නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය එක්ක සෑහෙන තරම් හොදින් ගැලපුනා. නමුත්, සංචිත මුදල් වර්ධනය හෝ පටු මුදල් සැපයුමේ සැපයුමේ වර්ධනය එසේ ගැලපුනේ නැහැ. ඊට හේතුව එම අර්ථකතන ඒ වෙද්දී ඕනෑවට වඩා සීමාකාරී වී තිබීමයි.

මේ සමඟ පළ කරන ප්‍රස්ථාරයෙහි දැකිය හැක්කේ 1950 සිට එක් එක් දශකයේදී මුදල් සැපයුම පිළිබඳ විවිධ මිනුම් වල සහ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස් වීම. 1950 සහ 1960 දශක වලදී මුදල් සැපයුමේ වර්ධන වේගය අඩුයි. ඉන් පසු කාලයේදී එම වර්ධන වේගය වැඩියි. කවර මිනුම දෙස බැලුවත් මේ කරුණ පැහැදිලිව පෙනෙනවා. මෙය මුදල්වාදීන්ගේ තර්කය හා ගැලපෙනවා. දළ අදහසක් ලෙස මුදල්වාදීන්ගේ තර්කය නිවැරදියි. එහෙත්, වඩා විමසුම් සහගත ලෙස බලද්දී එක් එක් නිර්ණායකයේ වෙනස් හැසිරීම් දැක ගන්න පුළුවන්. 

ඔබට සිදු කළ හැකි සාමාන්‍ය නිරීක්ෂණයක් ලෙස, සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය, සංචිත මුදල් සහ පටු මුදල් සැපයුම බොහෝ දුරට එකට යන බව දකින්න පුළුවන්. එයින් අදහස් වන්නේ මහ බැංකුවේ සෘජු පාලනය යටතේ ඇති සංචිත මුදල් සැපයුම පාලනය කිරීම මගින් පටු මුදල් සැපයුම පාලනය කිරීමට මහ බැංකුවට හැකි වී ඇති බවයි. එහෙත්, පුළුල් මුදල් සැපයුමේ හැසිරීම ඊට වඩා වෙනස්. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයුම වෙනස් වී තිබෙන්නේ බොහෝ දුරට මහ බැංකුවේ පාලනයකින් තොරව කියන එකයි. විශේෂයෙන්ම 1990 හා 2000 දශක තුළ මේ තත්ත්වය දැකිය හැකියි. 1990 දශකය මුල M2b පුළුල් මුදල් සැපයුම හඳුන්වා දීමට හේතු වන්නේද පෙර භාවිතා කළ අර්ථකථන අනුව මනින මුදල් සැපයුමේ වෙනස නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා නොගැලපීමයි. M2b පුළුල් මුදල් සැපයුමෙහි එවැනි ගැලපීමක් දැකිය හැකිව තිබුණා.

කෙසේ වුවද, 2010 වසරෙන් පසු කාලය සැලකුවහොත් පෙනී යනු ඇත්තේ M2b පුළුල් මුදල් සැපයුමෙහි වර්ධනය වුවද නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා නොගැලපෙන බවයි. මීට එක් හේතුවක් වන්නේ 2010 වසරෙන් පසුව විනිමය අනුපාතය පාලනය කිරීම මගින් උද්ධමනය යටපත් කරනු ලැබීම සහ පසුව එය පුපුරා යාමයි. 2020-2024 කාලය තුළ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, කවර මිනුම සලකා බැලුවද, මුදල් සැපයුමේ වර්ධනය ඉක්මවා යන්නක්. මෙසේ නාමික දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වී තිබෙන්නේ උද්ධමනය නිසා මිස මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය නිසා නොවන බව අප දන්නා කරුණක්. උද්ධමනයට හේතුව මුදල් සැපයුමේ වර්ධනය පමණක් නොවන බව ප්‍රස්ථාරය දෙස බලද්දී පැහැදිලිව පෙනෙනවා.

මෙතෙක් විස්තර කළ කරුණු අනුව පැහැදිලි විය යුත්තේ මුදල් සැපයුම වැඩි වීම උද්ධමනය කෙරෙහි බලපාන නමුත් එය සරල රේඛීය සම්බන්ධයක් නොවන බවයි. මුදල් සැපයුම වැඩි වීම උද්ධමනය කෙරෙහි බලපාන ප්‍රධානම හේතුව වුවත්, වෙනත් කරුණු ගණනාවක්ද ඒ කෙරෙහි බලපෑම් කරනවා. නූතන මහ බැංකුවකට උද්ධමනය පාලනය කිරීමට සිදු වන්නේ එම සියලු කරුණු විමසා බලමින් ආර්ථිකයේ සමස්ත චිත්‍රය නිරීක්ෂණය කිරීමෙන් පසුවයි. එමෙන්ම මහ බැංකුවක් විසින් මේ කාර්යය කරන්නේ සරල ආර්ථික විද්‍යා ආකෘතියක ඇති අයුරින් මුදල් සැපයුම පාලනය කිරීම මගින් පමණක් නෙමෙයි. 

පසුගිය වසර 34ක කාලය, එනම්, M2b පුළුල් මුදල් සැපයුම හඳුන්වා දීමෙන් පසුව ගත වූ කාලය සැලකුවහොත්, මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි සංචිත මුදල් සැපයුම 4.23 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. එම කාලය තුළ M2b පුළුල් මුදල් සැපයුම 11.90 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. සංචිත මුදල් සැපයුම හා පුළුල් මුදල් සැපයුම අතර සම්බන්ධය පැහැදිලි කෙරෙන මුදල් ගුණකය ලෙස හැඳින්වෙන සංකල්පයක් තිබෙනවා. එයින් අදහස් කෙරෙනුයේ පුළුල් මුදල් සැපයුම සංචිත මුදල් සැපයුමෙහි අනුපාතයක් බවයි. මුදල් ගුණකය යනු මෙම අනුපාතයයි.

මුදල් ගුණකය නියතව පැවතියේනම් පුළුල් මුදල් සැපයුම වර්ධනය විය යුත්තේද සංචිත මුදල් සැපයුම වර්ධනය වන වේගයෙන්මයි. එහෙත් එය එසේ සිදු වී නැහැ. එයින් පෙනී යන්නේ මුදල් ගුණකයද කාලයත් සමඟ ඉහළ ගොස් ඇති බවයි. මුදල් ගුණකය කෙරෙහිද මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග බලපෑම් කරන නමුත් අවසාන වශයෙන් මුදල් ගුණකය තීරණය වන්නේ වාණිජ බැංකු වල සහ ඔවුන්ගේ පාරිභෝගිකයන්ගේ හැසිරීම මතයි. තාක්ෂනය වැඩි දියුණු වීමද මේ කෙරෙහි බලපානවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන විට, 1950දී, සංචිත මුදල් ප්‍රමාණය පුළුල් මුදල් සැපයුමෙන් (M2) 54.5%ක්. ඒ කියන්නේ මුදල් සැපයුමෙන් එපමණ පංගුවක් සෘජුව පාලනය කළේ මහ බැංකුව විසින්. 1991දී M2b පුළුල් මුදල් සැපයුම හඳුන්වා දෙන විටද, එම මුදල් සැපයුමෙන් 33.3%ක්ම සංචිත මුදල්. එහෙත්, 2024 වන විට මහ බැංකුවේ සංචිත මුදල් යනු M2b පුළුල් මුදල් සැපයුමෙන් 10.7%ක් පමණයි. වෙනත් විදිහකින් කිවුවොත්, මේ වෙද්දී රටේ මුදල් සැපයුමෙන් 90%ක්ම තීරණය වන්නේ මහ බැංකුවෙන් බාහිරවයි. 

ලෝකයේ අනෙකුත් රටවල් වල ප්‍රවණතා දෙස බලද්දී වුවත් මේ තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. වර්තමාන සන්දර්භයේදී මහ බැංකුවක කාර්ය භාරය වී තිබෙන්නේ මුදල් සැපයුම නිර්ණය කිරීම නොව මහ බැංකුවෙන් බාහිරව සිදු වන මුදල් සැපයුමේ වර්ධනය නියාමනය කිරීමයි. මේ නියාමනය නිසියාකාරයෙන් සිදු වන්නේද යන්න විමසා බැලීමටනම් මුදල් සැපයුම දෙස නොව උද්ධමනය දෙස කෙළින්ම බලන්නට සිදු වෙනවා.

උද්ධමනය කියන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක සාමාන්‍ය අංගයක් මිසක් මහ බැංකු පැවතීමේ ප්‍රතිඵලයක් නෙමෙයි. උද්ධමනය යන්නට අවධමනයද ඇතුළත්. රටක මහ බැංකුවක් තිබුණත් නැතත්, වෙළඳපොළ අර්ථ ක්‍රමයක් ඇත්නම්, චක්‍රීය ලෙස උද්ධමනය සහ අවධමනය ඇති වෙනවා. මහ බැංකුවක් කරන්නේ නියාමනය මගින් මේ චක්‍රීය විචලනයන්ගේ අහිතකර ප්‍රතිඵල සීමා කර ආර්ථිකය ස්ථාවර කිරීමයි. එය එසේ සිදු නොවන්නේනම්, එයින් අදහස් වන්නේ මෙම නියාමනය නිසියාකාරයෙන් සිදු නොවන බවයි. එය එසේ සිදු වන්නේනම්, එය මහ බැංකුවක කාර්ය සාධනය පිළිබඳ දර්ශකයක්. 

Sunday, August 3, 2025

මුදල් සැපයුම වැඩි වුන හැටි...


ගෙවුණු 2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය තුළ පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 1,427.9කින් වැඩි වී තිබෙනවා. මෙය 10.4%ක වර්ධනයක්. අපට මුදල් සැපයුමෙහි මෙම වර්ධනය ඊට පෙර අදාළ කාල පරිච්ඡේද සමඟ සංසන්දනය කළ හැකියි.

2018 ජූනි සිට 2019 ජූනි දක්වා - 8.7%

2019 ජූනි සිට 2020 ජූනි දක්වා - 14.0%

2020 ජූනි සිට 2021 ජූනි දක්වා - 21.5%

2021 ජූනි සිට 2022 ජූනි දක්වා - 17.1%

2022 ජූනි සිට 2023 ජූනි දක්වා - 5.2%

2023 ජූනි සිට 2024 ජූනි දක්වා - 9.8%

2024 ජූනි සිට 2025 ජූනි දක්වා - 10.4%

මේ අනුව, ආර්ථික අර්බුදයට ආසන්න පෙර වසර වලදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් මුදල් සැපයුම වැඩි වේගයකින් ප්‍රසාරණය වූ ආකාරයත්, ඉන් පසුව මහ බැංකුව විසින් දැඩි මුදල් ප්‍රතිපත්තියකට මාරු වීමෙන් පසුව මුදල් සැපයුමේ වර්ධන වේගය අඩු වූ ආකාරයත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. මහ බැංකුව විසින් නැවතත් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පුළුල් මුදල් සැපයුමෙහි වර්ධන වේගය නැවතත් තරමක් ඉහළ ගොස් තිබෙනවා.

සියයට පහකට ආසන්න මූර්ත ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන අතරතුර මහ බැංකුවට ලබා දී තිබෙන 5%ක උද්ධමන ඉලක්කය වෙත යාම සඳහා 10%ක පමණ වේගයකින් මුදල් සැපයුම වර්ධනය වීමේ ප්‍රශ්නයක් නැතත්, මෙම වර්ධන වේගය මීටත් වඩා වැඩි වුවහොත් එහි ප්‍රතිඵලය උද්ධමන ඉලක්කය ඉක්මවීම වෙන්න පුළුවන්. 5%ක ආර්ථික වර්ධන වේගයක් සැලකිය හැක්කේ අපේක්ෂා කළ හැකි උපරිම වර්ධන වේගයක් ලෙසයි. සැබෑ ආර්ථික වර්ධන වේගය ඊට වඩා අඩු මට්ටමක පවතින්නට වැඩි ඉඩක් තිබෙනවා. 

පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකුව විසින් පොලී අනුපාතික වෙනස් කළේ නැහැ. එමෙන්ම, වාහන ආනයනය කිරීම් හා අදාළව සීමා දැඩි කිරීම සැලකිය යුත්තේ මුදල් සැපයුමේ වර්ධනය පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. එනම් දැඩි මුදල් ප්‍රතිපත්තියක අංගයක් ලෙසයි. මේ අනුව පෙනී යන්නේ මුදල් සැපයුමේ අපේක්ෂිත වර්ධන වේගය සහ එහි බලපෑම් පිළිබඳව මහ බැංකුව නිවැරදි තක්සේරුවක සිටින බවයි.

නිල දර්ශකය අනුව තවමත් තිබෙන්නේ අවධමන තත්ත්වයක්. එහෙත් එයට ප්‍රධාන හේතුව ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්ව පැවතීමයි. ඇමරිකන් තීරුබදු හේතුවෙන් විණිමය අනුපාතය හා ආර්ථික වර්ධන වේගය කෙරෙහි යම් නිශේධනාත්මක බලපෑමක් ඇති විය හැකිව තිබුණත්, මේ වන විට එම අවදානම පහව ගොස් තිබෙනවා. ඇමරිකන් තීරුබදු ප්‍රශ්නය ආණ්ඩුව විසින් සාර්ථක ලෙස විසඳාගත් "සැබෑ ප්‍රශ්නයක්" ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා, මුදල් සැපයුමේ වර්ධනය පාලනය වන අතරතුර විණිමය අනුපාතය මත ඇති වන  ආතතිය හේතුවෙන් උද්ධමනය සීමාව ඉක්මවා ඉහළ යාමේ අවදානමද මේ වන විට පාලනය වී තිබෙනවා.

පුළුල් මුදල් සැපයුමේ වර්ධනයට කරුණු දෙකක් හේතු වෙනවා. ඒ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුමෙහි සිදු වන වර්ධනය, එනම් සල්ලි අච්චු ගැසීම, සහ වාණිජ බැංකු විසින් සිදු කරන මුදල් මැවීමයි. ගෙවුණු 2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 242.5කින් වැඩි වී තිබෙනවා. මෙය 17.1%ක වර්ධනයක්. පුළුල් මුදල් සැපයුමෙහි රුපියල් බිලියන 1,427.9ක වර්ධනයෙන් 17.0%කට පමණ හේතුව සංචිත මුදල් සැපයුම ඉහළ යාමයි. වාණිජ බැංකු වල මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා මෙසේ අලුතෙන් එකතු වූ මුදල් ප්‍රමාණය හය ගුණයකින් පමණ වර්ධනය වී තිබෙනවා. 

Thursday, February 1, 2024

2023 සංචිත මුදල් සැපයුම


සල්ලි අච්චු ගැසීම ගැන පසු ගිය කාලයේ රටේ බොහෝ දෙනෙක් කතා කළා. මෙසේ කතා කළ ඇතැම් අයට සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය ගැන නිරවුල් අවබෝධයක් නොතිබූ බැවින් අප විසින් වරින් වර මේ හා අදාළ තාක්ෂණික කරුණු පැහැදිලි කර තිබෙනවා. 

සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගැසීම යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. එය සිදු වන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය, මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර රජයට ණය ලෙස ලබා දීමයි. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් මෙන්ම සෘජුව රජයට ණය දීම වැනි වෙනත් ක්‍රම හරහාද මෙය සිදු වෙනවා. සංචිත මුදල් ඉහළ යා හැකි දෙවන ආකාරය මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර එම මුදල් වලින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමයි.

ඉහත ක්‍රම දෙක අතරින් වැඩි දෙනෙකුගේ කතාබහට හා විවේචන වලට බඳුන් වන්නේත්, වඩා හානිකර වන්නේත් පළමු ක්‍රමයයි. ඊට හේතුව මහ බැංකුව විසින් විදේශ විණිමය මිල දී ගැනීමේ හැකියාව රටේ විදේශ විණිමය සැපයුම හරහා නෛසර්ගික ලෙස පාලනය වන නමුත් රජය විසින් ලබා ගන්නා ණය හා අදාළව එවැනි පාලනයක් නොමැති වීමයි. අලුත් මහ බැංකු පණත මගින් ඉලක්ක කළේ මෙම පාලනය ඇති කිරීමටයි. 

ඉහත ප්‍රධාන ආකාර දෙකට අමතරව තවත් විවිධ ආකාර වලින් සංචිත මුදල් සැපයුම වෙනස් වන නිසා සංචිත මුදල් වෙනස් වීමට හේතු වන එක් සාධකයක් දෙස පමණක් බලා එය සල්ලි අච්චු ගැසීමක් සේ අර්ථ දැක්විය නොහැකි වුවත්, ඇතැම් අය මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය වැඩි වන විට ඊට සමාන සල්ලි අච්චු ගැසීමක් සිදුව ඇති බව ප්‍රචාරය කරනු අපට දැක ගත හැකි වුනා. 

ලංකාවේ උද්ධමනය ඉතිහාසයේ කිසිදා නොපැවති ඉහළ මට්ටමක් දක්වා වැඩි වීමට මුදල් සැපයුමෙහි සිදු වූ විශාල ඉහළ යාම හේතු වූ බව ප්‍රචලිත කරුණක්. රටේ මුදල් සැපයුම ඉහළ යාමට හේතු වන ප්‍රධානම සාධකයක් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. 

විශේෂයෙන්ම 2021 වසර තුළ සංචිත මුදල් සැපයුමෙහි 35.4%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා වුනා. එම වසර තුළ මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණයද ඉක්මවූ අතර මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ පැත්තට හැරුණා. ඒ කියන්නේ අලුතෙන් සල්ලි අච්චු ගසා රජයට ණය දෙනවාට අමතරව මහ බැංකුව ණය වී ලබා ගත් මුදල්ද රජයට ණය ලෙස ලබා දුන්නා. මෙය උද්ධමනය විශාල ලෙස ඉහළ යාමට මෙන්ම විණිමය අනුපාතය කෙරෙහි වූ මහ බැංකුවේ පාලනය ගිලිහීමටද හේතු වුනා.

කෙසේ වුවත්, 2022 වසර තුළ මහ බැංකුවේ ඉහළ පුටු මාරු වීමෙන් පසුව තත්ත්වයේ වෙනසක් දැකිය හැකි වුනා. එම වසරේ මුල් මාස වලදීද සංචිත මුදල් ඉහළ ගිය නමුත් පසුව එම ප්‍රවණතාව ආපසු හැරවුණු නිසා වසර තුළ සංචිත මුදල් ඉහළ ගියේ 3.3%කීන් පමණයි.

ගෙවුණු 2023 වසර තුළ සංචිත මුදල් කොපමණ ඉහළ ගොස් ඇත්ද? වෙනත් විදිහකින් කිවුවොත් ගෙවුණු වසර තුළ මහ බැංකුව විසින් කොපමණ සල්ලි අච්චු ගසා ඇත්ද?

පසුගිය වසර තුළ ඇත්තටම සිදු වී තිබෙන්නේ සංචිත මුදල් සැපයුම 1.5%කින් පහළ යාමක්. ඒ කියන්නේ පෙර වසර වල අච්චු ගැසූ සල්ලි වලින් කොටසක් සංසරණයෙන් ඉවත් කිරීමක්. මීට පෙර 2019 වසර තුළද මෙවැනි තත්ත්වයක් දැක ගත හැකි වුනා. පහත තිබෙන්නේ පසුගිය වසර කිහිපය තුළ සංචිත මුදල් වෙනස් වූ ආකාරය.

2017 අවසානයේදී - රුපියල් බිලියන 939.8

2018 අවසානයේදී - රුපියල් බිලියන 961.1

2019 අවසානයේදී - රුපියල් බිලියන 932.6

2020 අවසානයේදී - රුපියල් බිලියන 964.4

2021 අවසානයේදී - රුපියල් බිලියන 1,305.8

2022 අවසානයේදී - රුපියල් බිලියන 1,349.4

2023 අවසානයේදී - රුපියල් බිලියන 1,328.7

දිගින් දිගටම අලුතෙන් සල්ලි අච්චු ගැසීම නැවතී ඇතත්, 2021දී අලුතෙන් අච්චු ගසා සංසරණයට එකතු කළ මුදල් ප්‍රමාණය බොහෝ දුරට තවමත් එලෙසම ඇති බවත්, 2017-2020 පැවති මට්ටමට සාපේක්ෂව 2021-2023 සංචිත මුදල් මට්ටම වෙනම, ඉහළ මට්ටමක් බවත් ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. උද්ධමනය, එනම් මිල ඉහළ යන වේගය, අඩු වී ඇතත් මිල මට්ටම අඩු වී නැත්තේ ඇයි කියන එකත් මේ ඇසුරෙන් තේරුම් ගැනීමට හැකි විය යුතුයි.

පසුගිය වසර තුළ රුපියල් බිලියන 20.7කින් සංචිත මුදල් අඩු වී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 සිට රුපියල් බිලියන 2,376.2 දක්වා රුපියල් බිලියන 1,056.3කින් පහළ යාමයි. 2019 අවසානය වන විට මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 363.0ක් පමණක් වුවත්, 2022 වසර අවසන් වන විට එම ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 දක්වා ඉහළ ගොස් තිබුණා.

මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය අඩු වී තිබෙන්නේ රජය විසින් එම ණය මහ බැංකුවට ආපසු ගෙවා ඇති නිසා. එසේ රජය විසින් මහ බැංකුවට ණය ආපසු ගෙවීමේදී කලින් මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් මහ බැංකුවට ආපසු ලැබෙනවා. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම පිණිස වැය කර තිබෙන්නේ එසේ ආපසු ලැබුණු රුපියල් බැවින් වසර තුළ වෙළඳපොළෙන් විශාල ලෙස විදේශ විණිමය මිල දී ගෙන ඇතත් ඒ හේතුවෙන් සංචිත මුදල් වැඩි වී නැහැ. 

ආර්ථික අර්බුදයට පෙර, 2019 වසර අවසානයේදී, මහ බැංකුව සතුව රුපියල් බිලියන 896.0ක වටිනාකමැති ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් තිබුණා. එහෙත්, 2022 වසර අවසන් වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 1,613.7ක සෘණ අගයක්, එනම් එපමණ ශුද්ධ විදේශ බැරකමක් ලෙස වෙනස් වී තිබුණා. මහ බැංකුව විසින් පසුගිය වසර තුළ විදේශ විණිමය එකතු කර ගැනීම නිසා වසර අවසාන වන විට ඉහත විදේශ වත්කම් හිඟය රුපියල් බිලියන 837.3 දක්වා අඩු වී තිබෙනවා. 

මේ සමඟ තිබෙන ප්‍රස්ථාරයේ ඔබට දැකිය හැක්කේ සංචිත මුදල් සැපයුම සහ රටේ නිවාස ඒකකයක සාමාන්‍ය මාසික වියදම (ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසේ වියදම) විචලනය වී ඇති ආකාරයයි.

Thursday, January 19, 2023

උද්ධමනය පාලනය කිරීමට පොලී අනුපාතික වැඩි කරන්නේ ඇයි?

මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනයට හේතු වන බව අපි දන්නවා. උද්ධමනය පාලනය කිරීමට මුදල් සැපයුම පාලනය කළ යුතු බවත් දන්නවා. එහෙමනම්, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකු විසින් පොලී අනුපාතික වැඩි කරන්නේ ඇයි? පොලී අනුපාතික හා මුදල් සැපයුම අතර සම්බන්ධය කුමක්ද? පොලී අනුපාතික වැඩි නොකර උද්ධමනය පාලනය කරන්න බැරිද? 



Wednesday, December 7, 2022

සල්ලි අච්චු ගහන හැටි...


සල්ලි අච්චු ගහනවා කියන කතාව දැන් ලංකාවේ ගොඩක් ජනප්රියයි. නමුත්, මේ ගැන සද්දෙන් කතා කරන ගොඩක් අය සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය පිළිබඳ මූලික අවබෝධයක් නැති අය. මේ ගැන විවිධ අය වරින් වර අපෙනුත් ප්රශ්න අහනවා. මේ වීඩියෝ එකේ අදාළ මූලික සංකල්ප පිළිබඳ පැහැදිලි කිරීමක් තිබෙනවා.

Tuesday, May 24, 2022

මහ බැංකුව කඩා කරන්සි බෝඩ් එකක් හැදීම


කරන්සි බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය අහලා තිබුණා. මේ ගැන ගොඩක් අයට කුතුහලයක් ඇති වුනේ ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසුරුවා හැරලා කරන්සි බෝඩ් එකක් හැදිය යුතු බව ට්විටර් හරහා ප්‍රචාරය කළාට පස්සේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙවුවේ 1950දී. ඊට කලින් ලංකාවේ තිබුණේ කරන්සි බෝඩ් එකක්. මහ බැංකුවක් හා කරන්සි බෝඩ් එකක් අතර වෙනස කුමක්ද?

කරන්සි බෝඩ් එකකින් කරන්නෙත් මහ බැංකුවකින් වගේම රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිකුත් කරන එක. හැබැයි කරන්සි බෝඩ් එකකට හිතේ හැටියට සල්ලි අච්චු ගහන්න බැහැ. පැහැදිලි කිරීමේ පහසුවට මම සරල කරන්සි බෝඩ් ආකෘතියක් ගැන කතා කරන්නම්. වඩා සංකීර්ණ ආකෘති තිබෙනවා. හැන්කි කතා කරන්නෙත් සරල ආකෘතියක් ගැන.

මහ බැංකුවක් වුනත්, කරන්සි බෝඩ් එකක් වුනත්, සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට නිකම් බෙදාගෙන යන්නේ නැහැ. සල්ලි ආර්ථිකයට මුදා හරින ක්‍රමවේදයක් තියෙනවා. හැන්කි යෝජනා කරන ආකෘතිය ඇතුළේ ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුවොත් මේ විදිහට රුපියල් නිකුත් කරන්නේ ඩොලර් එක්ක හුවමාරුවට. ඒ වැඩේ කරන්න මුලින්ම විණිමය අනුපාතයක් නියම කරන්න වෙනවා. ඊට පස්සේ ඒ විණිමය අනුපාතය වෙනස් කරන්නේ නැහැ.

අපි හිතමු ඩොලර් එකක් රුපියල් 400යි කියලා නියම කළා කියලා. දැන් ඕනෑම කෙනෙකුට මහ බැංකුවට ඩොලර් එකක් දීලා රුපියල් 400ක් ලබා ගන්න පුළුවන්. මහ බැංකුවට දීලා කිවුවත් බැංකුවක් හරහා වක්‍ර ලෙස ඔය වැඩේ වෙන්න පුළුවන්. ඒ වගේම රුපියල් 400 දීලා ඩොලර් එකක් ආපහු ගන්නත් පුළුවන්. 

දැන් මේ ක්‍රමයට හැම වෙලාවේම මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් සංචිත විදිහට තිබෙනවා. මහ බැංකුවේ ඩොලර් සංචිත අඩු වුනොත් රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණයත් අඩු වෙනවා. වැඩි වුනොත් වැඩි වෙනවා.

මේ ක්‍රමය යටතේ රටේ බඩු මිල ඉහළ යන්නේ ජාත්‍යන්තර ලෙස බඩු මිල ඉහළ යන විදිහටයි. වඩා නිවැරදිව කිවුවොත් ඇමරිකාවේ බඩු මිල ඉහළ යන විදිහටයි. ඇමරිකාවේ තෙල් මිල ඉහළ යද්දී ලංකාවේ තෙල් මිලත් ඒ අනුපාතයෙන්ම ඉහළ යනවා. අඩු වෙද්දී අඩු වෙනවා. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනයත් ඇමරිකාවේ උද්ධමනයට සමානයි (විවිධ හේතු නිසා මේක වෙනස් වෙනවා. දැනට ඒ දේවල් නොසලකා හරිමු).

වෙනත් විදිහකින් කිවුවොත් රුපියල බාල්දු වෙන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වුනොත් විතරයි. විණිමය අනුපාතය වෙනස් වෙන්නේ නැත්නම් එහෙම වෙන්න ඕනෑනේ. බඩු මිල කීය වුනත් රුපියලට සත සීයයි වගේ ඩොලරයට රුපියල් හාර සීයයි.

මහ බැංකුවක් කරන්සි බෝඩ් එකකින් වෙනස් වෙන්නේ කොහොමද?

ඔය කලින් විස්තර කරපු කරන්සි බෝඩ් එකක් කරන හැම දෙයක්ම මහ බැංකුවත් කරනවා. ඒ කියන්නේ ඩොලර් දුන්නොත් රුපියල් දෙනවා. හැබැයි ඊට අමතරව මහ බැංකුවක් විසින් රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවෙනුත් රුපියල් දෙනවා. කරන්සි බෝඩ් එකක් ඔය වැඩේ කරන්නේ නැහැ.

කවුරුහරි ඩොලර් දීලා රුපියල් ගන්නම් ඒ ඩොලර් මොන විදිහකින් හෝ උපයන්න වෙනවා. ඒ නිසා, කරන්සි බෝඩ් ක්‍රමයේදී රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ යන්නේනම් පමණයි. නමුත් මහ බැංකු ක්‍රමයේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. රජයට ආදායම ඉක්මවා වියදම් කරලා අඩුව පුරවා ගන්න මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්න පුළුවන්. "සල්ලි අච්චු ගැසීම" කියා කියන්නේ ඔය වැඩේට. 

මේ ක්‍රමයේදී රටේ සංසරණය වන රුපියල් ප්‍රමාණය මහ බැංකුවේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණයේ රුපියල් වටිනාකමට වඩා ඉහළ යනවා. ඒ කියන්නේ රටේ හැමෝම තමන් අතේ තිබෙන රුපියල් දීලා මහ බැංකුවෙන් ඩොලර් ඉල්ලුවොත් දෙන්න ඩොලර් මහ බැංකුවේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලරයක මිල ඉහළ යන්න දෙන්න වෙනවා. රජය මහ බැංකුවට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී ඩොලරයක මිලත් තව තව ඉහළ යනවා. උද්ධමනයත් වැඩි වෙනවා.

හැන්කි මහ බැංකුව විසුරුවලා කරන්සි බෝඩ් එකක් හදන්න කියන්නේ මේ ප්‍රශ්න විසඳගන්න. ඒ කියන විදිහට කරන්සි බෝඩ් එකක් හැදුවොත් විසඳෙන ප්‍රශ්න මොනවාද?

- ඩොලරයක මිල වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරව තිබෙනවා 

- උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වෙන්නේ නැහැ 

- "සල්ලි අච්චු ගැසීමක්" නැති නිසා රජයට ආදායම හා වියදම ගලපා ගන්නම වෙනවා


වැඩේ හොඳයි. හැබැයි ප්‍රශ්නය ඕක කරන්නේ කොහොමද කියන එකයි. මේ වගේ වැඩක් කළ හැකි ක්‍රම දෙයක් තිබෙනවා.

- දැන් තියෙන මහ බැංකුව කරන්සි බෝඩ් එකක් බවට පරිවර්තනය කිරීම 

- අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හැදීම 


ඔය විකල්ප දෙක ගැන අපි වෙන වෙනම කතා කරමු.

පළමු විකල්පයේදී දැන් සංසරණයේ තිබෙන රුපියල් වල වටිනාකම එලෙසම ඉතිරි වෙනවා. දැනට මහ බැංකුව විසින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 1,500ක් පමණ නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මහ බැංකුව කරන්සි බෝඩ් එකක් කරන්නනම් මේ රුපියල් ප්‍රමාණයට අනුරූප ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුවට සංචිත තියා ගන්න වෙනවා. ඩොලර් ප්‍රමාණය තීරණය වෙන්නේ නියම කරන විණිමය අනුපාතය මත.

මේ විණිමය අනුපාතය රුපියල් 375ක් කියා අපි හිතමු. ඒ කියන්නේ ඩොලර් බිලියන 4ක් තියෙනවානම් වැඩේ කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය මේ වන විට මහ බැංකුව සතු සංචිත කිසිවක් නැති වීමයි. මහ බැංකුව තවත් ඩොලර් බිලියන 4ක් ණයයි (දැන් මේ ගණන මීට වඩා වැඩි වෙන්න පුළුවන්). ඒ කියන්නේ, ඩොලරයක මිල රුපියල් 375 මට්ටමේ තියාගෙන ඔය වැඩේ කරන්නනම් මහ බැංකුවට ඩොලර් බිලියන 8ක් හොයා ගන්න වෙනවා. 

අපි හිතමු ඩොලරයක මිල රුපියල් 750 වෙන්න ඇරලා වැඩේ පටන් ගන්නවා කියලා. දැන් සංචිත අවශ්‍ය වෙන්නේ ඩොලර් බිලියන 2ක් පමණයි. හැබැයි ණය ටිකත් එකතු කළාම ඩොලර් බිලියන 6ක් ඕනෑ වෙනවා. ඩොලර් මිලියන 78ක කූපන් පොලී ගෙවාගන්න බැරුව, වරායට ඇවිත් තියෙන නැව් වල තියෙන තෙල් වලට ගෙවන්න ඩොලර් නැතුව ඔය වැඩේ කරන්නේ කොහොමද? මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රමයක් මටනම් තේරෙන්නේ නැහැ.

දෙවෙනි ක්‍රමය අලුතෙන්ම කරන්සි බෝඩ් එකක් හදන එක. කැමති වුනත්, නැති වුනත්, වෙන්න තියෙන නරකම දේ වුනොත් ඊට පස්සේ කොහොමටත් කරන්න වෙන්නේ ඔය වැඩේ තමයි. 

වෙන්න තියෙන නරකම වැඩේ කියලා මම කිවුවේ සිම්බාබ්වේ වල වුනා වගේ රුපියල් වල කිසිම වටිනාකමක් නැති වීම. ඒ කියන්නේ මහ බැංකුව කොහොමත් කඩා වැටිලා. මිනිස්සු රුපියල් වෙනුවට ගනුදෙනු සඳහා වෙන වෙන දේවල් භාවිතා කරනවා. ඔය වගේ තැනකට වැටුනොත් ආපහු මුල ඉඳන් පටන් ගන්න වෙන්නේ කරන්සි බෝඩ් එකකින්. කාට හරි රුපියල් අවශ්‍යනම් මොනවා හෝ අපනයනය කරලා ඩොලර් හොයන්න වෙනවා. 

බය කරන්න හදනවා නෙමෙයි. ළඟ පාතක වෙන්න තියෙන දේකුත් නෙමෙයි. හැබැයි කොහෙත්ම වෙන්න බැරිම දේකුත් නෙමෙයි. අපි හිතමු රුපියල වැඩකටම නැති වුනා කියලා. ලංකාවේ මිනිස්සු ගනුදෙනු සඳහා මොනවා යොදා ගනියිද? 

ඔය වගේ දෙයක් වුනොත් ලංකාවේ රුපියල් වෙනුවට ඇමරිකන් ඩොලර් ආදේශ වෙන්නේ නැහැ. චීන යුවාන් ආදේශ වෙන්නෙත් නැහැ. ඔතැනට අනිවාර්යයෙන්ම ආදේශ වෙන්නේ ඉන්දියානු රුපියල්. රුපියල බිංදුවටම කඩා නොවැටුණත්, තව ටිකක් දුර්වල වුනොත් ලංකාවේ සංසරණයට ඉන්දියානු නෝට්ටු එන්නේ නැද්ද කියලා බලන්න. සමහර විට ඉන්දියාව දැනටමත් ඒ තරමටම දුර බලලා වෙන්න පුළුවන්. යම් විදිහකින් ලංකාවේ කරන්සි බෝඩ් එකක් හැදුනත් ප්‍රායෝගිකව ලංකාවේ රුපියල අමුණන්න වෙන්නේ ඉන්දියාවේ රුපියලට.

Wednesday, April 6, 2022

සල්ලි පන්නන්නේ කටුනායකින්ද?


දිගට ඇදෙන අරගලය තුළ අරගලකරුවන් පාරට බැස ඉල්ලා සිටින්නේ කුමක්ද කියන එක වෙනම ලිපියකින් කතා කළ යුතු පුළුල් කරුණක්. අරගලය තවමත් ඉදිරියට ඇදෙනවා. එය මෙතෙක් අල නොවීමට ප්‍රධාන හේතුව සාපේක්ෂ සාමකාමීත්වයයි. එක පැත්තකින් නෙමෙයි දෙපැත්තෙන්ම. මුලින්ම ප්‍රචණ්ඩකාරී වන පාර්ශ්වයේ අවාසියට අවසානය තීන්දු වන බව දෙපාර්ශ්වය විසින්ම නිවැරදිව අවබෝධ කර ගෙන ඉන්නවා. 

මෙහිදී ආණ්ඩුව සතු මර්දනය මුදා හැරීමේ හැකියාව දෙපැත්තකින් සීමා වී තිබෙනවා. එක පැත්තකින් ලෝකය, විශේෂයෙන්ම බටහිර රටවල්, ආණ්ඩුව දෙස බලා ඉන්නවා. මෙහිදී ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පරණ වාර්තා නරක ලෙස බලපා තිබෙනවා. අනෙක් පැත්තෙන් පාලන යාන්ත්‍රණයක් නැතිව යන රැල්ලේ වේගයට මර්දනය ඉක්මන් කිරීම කියන්නේ ආණ්ඩුව විසින් වචනාර්ථයෙන්ම සිය දිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්.

අරගලය තුළ දේශපාලන නායකත්වයක් නැත්තේම නැහැ. එය සියුම් ලෙස ක්‍රියාත්මක වන බවකුයි පෙනෙන්නේ. ජීවිත හා දේපොළ හානි සිදුවන තැනකට අරගලය පීලි පැන්නොත් ඒ වහාම ජනමතය මෙන්ම අරගලකරුවන්ද දෙපිල බෙදී ආණ්ඩුවට අරගලය පාලනය කිරීම සඳහා අවකාශයක් විවෘත වෙනවා. 

මේ අරගලයේ වූ සාධනීයම දෙය එයට දේශපාලන නායකත්වයක් නොතිබීමයි. එමෙන්ම, අවසාන වශයෙන් සිදු විය හැකි නරකම දෙය එයට දේශපාලන නායකත්වයක් ලැබීමයි. අවශ්‍ය වන්නේ අරගලකරුවන්ගේ ඉල්ලීම් සඳහා දේශපාලන නියෝජනයක් මිසක් ඔවුන්ව ඉස්සරහට දමා තමන්ගේ අරමුණු ඉටු කර ගන්නට උත්සාහ කරන දේශපාලන නායකත්වයක් නෙමෙයි. එහෙත්, ස්වාධීන ජනමතය කණ්ඩායමකගේ සැලසුම්සහගත මතයට යටපත් වීමේ අවදානම හැම විටම තිබෙන දෙයක්. 

අරගලකරුවන්ගේ ඉල්ලීම් පරිණාමය වන කිසියම් රටාවක් තිබෙනවා. මේ වන විට "අපේ සල්ලි අපිට දීලා යන්න" කියන එක ප්‍රමුඛ සටන් පාඨයක් වෙලා. ඇතැම් අය සල්ලි බෑග් වල දාගෙන රටින් පනින්න හදන අය අල්ල ගන්න කටුනායක පාරේ රැකවල් දාගෙන ඉන්නවා. ඒ ගොඩක් අය එය කරන්නේ අවංකව හා කැපවීමෙන්. හැබැයි සල්ලි පන්නන්න අවශ්‍ය අය සල්ලි රටින් පන්නන්නේ මේ දවස් වල විකාශනය වන "පාර වසා ඇත" ටෙලිනාට්‍යයේ ක්‍රමයට නෙමෙයි!

මෙයටම සම්බන්ධ තවත් කරුණක් ලෙස ඇතැම් අය උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන්න එපා කියලා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ දෙක අතර සම්බන්ධය මම පැහැදිලි කරන්නම්.

පසුගිය දෙවසර තුළ විශාල වශයෙන් සල්ලි අච්චු ගැසූ බව මේ වෙද්දී කවුරුත් දන්නා කරුණක්. 2020 වසර ආරම්භ වන විට රටේ සාමාන්‍ය ජනතාව අතේ සංසරණය වූ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 494,208ක්. 2021 අවසාන වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 784,441ක්. දෙවසරක් තුළ රුපියල් මිලියන 290,233ක වැඩිවීමක්. 

මම මේ කතා කරන්නේ මුදල් සැපයුම ගැන නෙමෙයි. මුදල් සැපයුමට අයත් වන්නේ කාසි හා නෝට්ටු පමණක් නොවන බව කලින් ලිපි වල විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. මේ කතා කරන්නේ කෙළින්ම මුදල් නෝට්ටු ගැන. මුළුමනින්ම වගේ රුපියල් 5000 නෝට්ටු ගැන. කාසි හා පොඩි නෝට්ටු ප්‍රමාණයේ විශාල වෙනසක් වී නැහැ. 

ඒ වගේම මේ ගණන් වලට බැංකු වල තිබෙන සල්ලි හෝ රජය සතු සල්ලි ඇතුළත් නැහැ. මේ කියන්නේ ගෙවල් වල සහ මුදලින් ගනුදෙනු කරන බැංකු නොවන ව්‍යාපාරික ආයතන වල තිබෙන මුදල් නෝට්ටු ප්‍රමාණය ගැන. පසුගිය මාස තුන තුළ ඔය ප්‍රමාණය තවත් වැඩි වෙලා ඇති. 

දෙවසරක වැඩිවීම රුපියල් බිලියන 300ක් කියා ගනිමු. ලංකාවේ නිවාස ඒකක ගණන මිලියන 5ක් වගේනේ. ඒ කියන්නේ, සාමාන්‍ය වශයෙන් එක ගෙදරක මේ වන විට 2020 මුලදී තිබුණාට වඩා රුපියල් 60,000ක් තියෙන්න ඕනෑ. බැංකු වල නෙමෙයි. අතේ. ලංකාවේ ගෙවල් කීයකට මේ කතාව වලංගුද? 

මුදල් නෝට්ටු වලින්ම තමන්ගේ වත්කම් තියාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවා. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නෙමෙයි. ගොඩක් වෙලාවට මේ විදිහට මුදල් නෝට්ටු වලින්ම තියා ගන්නේ ඉපැයූ විදිහක් පෙන්නන්න බැරි වත්කම්. කාලයකට පෙර කෝටි තිස් ගණනක මුදල් නෝට්ටු දමා මැසූ මෙට්ටයක් ගැන කතාවක් අහපු අය ඇතිනේ. 

දැන් අපි උන්ඩියල් වලට එමු. පෙනෙන විදිහට මේ වෙද්දී උන්ඩියල් කරුවෝ ඩොලරයට රුපියල් 450 දක්වා විශාල මුදල් ගෙවනවා. බැංකු වලද ඩොලරයක මිල වේගයෙන් ඉහළ යනවා තමයි. අද වන විට ඩොලරයක් රුපියල් 320 දක්වා ඉහළ ගිහින්. එහෙත් උන්ඩියල් මිල ඊට වඩා ගොඩක් වැඩියි.

උන්ඩියල් වෙළඳපොළ කියා කියන්නෙත් නිදහස් වෙළඳපොළක්. සාමාන්‍යයෙන් උන්ඩියල් හරහා ආවත් ඒ මුදල් රටට එනවා. නිල සංඛ්‍යාලේඛණ වල නැති එක විතරයි වෙනස. නමුත්, මේ වෙලාවේ තියෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. එහෙම නැත්නම් උන්ඩියල් මිල සහ බැංකු වල මිල අතර මේ තරම් විශාල පරතරයක් හැදෙන්නේ නැහැ. 

උන්ඩියල් වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? උදාහරණයක් ලෙස මම ඇමරිකාවේ උන්ඩියල් කරුවෙකුට ඩොලර් 100ක් දෙනවා. ලංකාවේ ඔහුගේ නියෝජිතයෙක් ඩොලරයට රුපියල් 400 බැගින් ගණන් හදා අපේ ගෙදරට රුපියල් 40,000ක් දෙනවා. ඕකනේ වෙන්නේ. 

දැන් ඔය වැඩේ දිගටම වෙද්දී දිගින් දිගටම රුපියල් වලින් ගෙවන්න ලංකාවේ නියෝජිතයාට සල්ලි කොහෙන්ද? ඒ සල්ලි කොහෙන් හරි ලැබෙන්න ඕනෑනේ. සාමාන්‍ය තත්ත්වය යටතේනම් වෙන්නේ ඔහු අනෙක් පැත්තට රුපියල් 410 බැගින් අර ඩොලර් ටික විකුණන එක. එවිට ඔහුට රුපියල් 41,000ක් අතට ලැබෙනවා. ඔහුගේ නියෝජිතයා අනෙක් පැත්තෙන් ඩොලර් ටික අවශ්‍ය තැනට යවනවා. ඩොලර් 100 ලංකාවට ආවේ නැතත් ඇවිත් ආපහු ගියා වගේම වැඩක් තමයි වෙන්නේ. බැංකු ක්‍රමය ඇතුළේ වෙන්නෙත් ඕකම තමයි. වෙනස සමතුලිත මිල පොඩ්ඩක් උඩින් තියෙන එක පමණයි. 

නමුත් ලංකාවේ කිසියම් පිරිසකට විශාල කළු සල්ලි ප්‍රමාණයක් ඉතා ඉක්මණින් ඩොලර් කර රටින් පන්නන්න අවශ්‍ය වූ විට ඉහත තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? 

දැන් මේ කොණේ රුපියල් ප්‍රශ්නයක් නැහැ. අනෙක් කොණෙන් ඩොලර් ලැබෙනවානම් ඒ වෙනුවෙන් ගෙවන්න රුපියල් නෝට්ටු ඕනෑ තරම් මේ කොණේ තිබෙනවා. ඒ නිසා, උන්ඩියල්කරුවන්ට ඩොලර් අනෙක් අතට ලංකාවේ කාට හරි විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගන්න පුළුවන් හැම ඩොලරයක්ම නොවටිනා ගානක්‌ දීලා හරි ගන්න බලාගෙන මේ කොණේ පිරිසක් ඉන්නවා. 

ඩොලරයක උන්ඩියල් මිල රුපියල් 450-500 දක්වා ගිහින්නම් එයින් පෙනෙන්නේ යම් පිරිසක් තමන්ගේ රුපියල් ඩොලර් කර හැකි ඉක්මණින් රටින් පන්නා ගැනීමට පිස්සුවෙන් මෙන් දඟලන බවයි. තව දවසක් දෙකක් යද්දී මෙවැනි අයෙක් ඩොලරයකට රුපියල් දාහක් දෙදාහක් වුනත් ගෙවන්න සූදානම් වෙන්න පුළුවන්. මොකද රුපියල් වලින් තිබෙන කළු සල්ලි නැති වීමේ අවදානම හමුවේ කීයක් දී හෝ මිල දී ගන්න ඩොලර් එක වටින නිසා.

මේ වැඩේ මෙවැනි ගෙවුම් ශේෂ අර්බුද ඇති වුනු වෙනත් රටවලත් වුනු දෙයක්. අන්තිමට IMF එකෙන් ලැබුණු සල්ලි පවා ඔය ක්‍රමයට රටින් එළියට ගිය අවස්ථා තිබෙනවා. නිදහස් ගනුදෙනු කියන්නේ නරක දෙයක් නෙමෙයි. එහෙත් සදාචාරාත්මක ගනුදෙනු කියා ජාතියකුත් තියෙනවා. මගේ ඇස් පනාපිට අල්ලපු වත්තට පැන හොරකම් කරන බඩුවක් අඩුවට ලැබුනා කියලා එය ගන්න එක හරිද? 

මෙතැන ප්‍රශ්නය හොර ගනුදෙනු වුනත් නිදහස් ගනුදෙනු නිසා මේවා පාලනය කරන්න අමාරු වීමයි. සමහර විට පුළුල් ජනතා ක්‍රියාකාරිත්වයක් මේ වැඩේට උදවුවක් වෙන්න පුළුවන්. කවුරු හරි රුපියල් 450ක් ගෙවා ඩොලර් ගන්නවානම් ඒ ගන්නේ මොකටද? ඒ වෙනුවෙන් රුපියල් හොයාගත්තේ මොන විදිහටද? මේවා නීතිය ක්‍රියාත්මක කරන අයගේ සහ ජනතා ක්‍රියාකාරිකයන්ගේ වපසරියට අයිති දේවල්.

Thursday, March 24, 2022

බැංකු කඩා වැටෙන්නද යන්නේ?

 

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා. 

මහ බැංකුව විසින් මීට මහජනතාව වෙත කළ මෙවැනි ඇතැම් දැනුම්දීම් නිවැරදි නොවූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ හේතුව මත මහ බැංකුවට මේ වෙලාවේ "කොටියා ආවෝ" ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මේ වෙලාවේ මහ බැංකුව ඇත්ත කිවුවත් මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ නිසා, පැහැදිලි කිරීමක් කරන එක පැත්තක සිටින අප වැනි අයගේ වගකීමක් කියා මම හිතනවා. 

වාණිජ බැංකු විසින් කරන්නේ පොලියක් ගෙවා තැන්පතු සේ එකතු කරගන්නා මුදල් වැඩි ඊට වඩා පොලියකට ණය සේ ලබා දී ලාබයක් ලබන එකයි. ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතියම මෙය නිසා ලෝකයේ කිසිම බැංකුවක් තැන්පතු සේ එකතු කරගන්නා මුදල්  සියල්ල බැංකුවේ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලන අයට ලබා දීමට ප්‍රමාණවත්යැයි ඇස්තමේන්තු කරන මුදලක් අතේ තියාගෙන ඉතිරි සල්ලි ණයට දෙනවා.

සියලුම තැන්පතුකරුවන් එකවර පැමිණ බැංකුවේ තිබෙන තමන්ගේ සල්ලි මුදල් නෝට්ටු වලින් ඉල්ලා සිටියොත් ලෝකයේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා. එහෙම ගෙවන්න සල්ලි බැංකුවේ නැහැ. බැංකුවේ විතරක් නෙමෙයි රටෙත් නැහැ. මම පළමුව ඇමරිකාවේ දත්ත පෙන්වන්නම්. 

ඇමරිකානුවන් සතු මුළු මුදල් ප්‍රමාණය, එහෙමත් නැත්නම් මුදල් සැපයුම, කොපමණද?

පහත තිබෙන්නේ 2022 පෙබරවාරි අවසානයේ ඇමරිකාවේ M1 මුදල් සැපයුම හා එහි සංරචකයි.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - ඩොලර් බිලියන 2,141.8යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - ඩොලර් බිලියන 4,695.3යි.

අනෙකුත් ද්‍රවශීල තැන්පතු (ඉතිරි කිරීමේ ගිණුම් ආදිය) - ඩොලර් බිලියන 13,723.7යි.

එකතුව - ඩොලර් බිලියන 20,560.8යි. 

දැන් මේ අනුව රටේ මිනිස්සුන්ගෙන් සල්ලි වලින් 90%ක් පමණම තියෙන්නේ බැංකු වලයි. එහෙමයි කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවේ ගොඩක් අය ගනුදෙනු කරන්නේ කාඩ්පත් වලින් හා වෙනත් විද්‍යුත් ක්‍රම වලින් මිසක් මුදල් නෝට්ටු වලින් නෙමෙයි. ලෝකයේ වෙනත් බොහෝ දියුණු රටවලත් තත්ත්වය එවැන්නක්.

දැන් මෙහි සඳහන් ඩොලර් බිලියන 20,560.8ක් වන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩොලර් බිලියන 18,419ක්ම තියෙන්නේ බැංකු වල. මිනිස්සු එක පාරටම ඒ සල්ලි ඉල්ලුවොත් දෙන්න සල්ලි බැංකු වල තියෙනවද?

පෙබරවාරි අවසන් වෙද්දී ඇමරිකාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු ප්‍රමාණයම ඩොලර් බිලියන 2,235.5ක් පමණයි. එයින් බිලියන 2,141.8ක්ම මිනිස්සු අතේ. එතකොට බැංකු වල තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 93.7ක් පමණක් බව ගණන් හදා ගන්න පුළුවන්නේ. 

බැංකු වල ඩොලර් නෝට්ටු තිබෙන්නේ මෙපමණක් වුවත්, ඔය බැංකු විසින් සංචිත බැංකුවේ ගිණුම් වල දමපු සල්ලි තිබෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවක ඒ සල්ලි මුදල් නෝට්ටු ලෙස ආපසු ගන්න පුළුවන්. එම ප්‍රමාණය ඩොලර් බිලියන 3,804.5ක්. ඒ කියන්නේ තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලුවොත් ඩොලර් බිලියන 3,898.2ක් දක්වා මුදලක් ප්‍රශ්නයක් නැතුව ආපසු ගෙවන්න පුළුවන්.

ඇමරිකාවේ බැංකු වල තිබෙන මුළු තැන්පතු ප්‍රමාණය ඩොලර් බිලියන 18,419ක්. ඒ කියන්නේ හදිසියකදී ගෙවන්න පුළුවන් ඔය ප්‍රමාණයෙන් 21%ක් පමණයි. ඊට වඩා ඉල්ලුවොත් බැංකු කඩා වැටෙනවා. 

දැන් අපි ලංකාවට එමු. 2021 ජූනි අවසානයේදී ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අයිති වූ මුදල් ප්‍රමාණය හා එහි සංරචක පහත තිබෙනවා.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු - රුපියල් බිලියන 711.9යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) - රුපියල් බිලියන 581.5යි.

ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු - රුපියල් බිලියන 7,842.9යි.

එකතුව - රුපියල් බිලියන 9,136.3යි. 

දැන් පේනවනේ. මිනිස්සුන්ගේ සල්ලි වලින් 92%ක්ම තියෙන්නේ බැංකු වල. සමහර විට ඔය ප්‍රතිශතය මේ වෙද්දී ටිකක් අඩු වෙලා ඇති. නමුත්, 90%කට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. බැංකු වල තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8,424.4ක්. ඔය සල්ලි ඔක්කොම එක වර ගෙවන්න බැංකු වලට පුළුවන්ද?

ඔය දවස වෙද්දී බැංකු සතුව මුදල් ලෙස තිබුණේ රුපියල් බිලියන 238.2ක් පමණයි. තව රුපියල් බිලියන 115.0ක් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. එතකොට එකතුව රුපියල් බිලියන 253.2ක් පමණයි. ඒ කියන්නේ මහජන තැන්පතු ප්‍රමාණයෙන් 3%ක් පමණයි. මේ ප්‍රතිශතය ඇමරිකාවේ 21%ට වඩා ගොඩක් අඩුයි. ඔය වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු එකවර බැංකු වලින් සල්ලි අදින්න ගත්තොත් රටේ බැංකු පද්ධතියම ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු ජංගම ගිණුම් වල තියෙන සල්ලි ගනුදෙනු සඳහා වියදම් කරන නමුත් ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි හොල්ලන්නේ නැහැ. ඔය කියන දවස වන විට ජංගම ගිණුම් වල තිබුණු සල්ලි වලින් 43.5%ක් එකවර ඉල්ලුවත් ගෙවන්න ප්‍රමාණවත් සල්ලි ලංකාවේ බැංකු සතුව තිබුණා. ඒ නිසා, මිනිස්සු ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ආපසු නොගන්නා තුරු බැංකු පද්ධතිය කඩා වැටීමේ කිසිම අවදානමක් නැහැ.

පවතින ඉහළ උද්ධමනය හමුවේ බැංකු විසින් තැන්පතුකරුවන්ට ප්‍රමාණවත් තරම් ඉහළ පොලියක් ගෙවන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මිනිස්සු තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ඇදලා රත්තරන් වැනි දේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. පුළුවන් අය ඩොලර් ගන්නවා. තව අය ඉඩම් වාහන වගේ දේවල් ගන්නවා. මේ තත්ත්වය තුළ බැංකු වලින් එළියට යන තරමට ඇතුළට සල්ලි එන්නේ නැහැ. ඊයේ (මාර්තු 23) වන විට බැංකු පද්ධතිය ඇතුළේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 585.95ක්. හැබැයි මහ බැංකුව විසින් 7.5% පොලියට ණය දීලා ඔය හිඟය පුරවනවා. අවදානම් පැත්තකින් තිබ්බොත්, මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න පුලුවන් නිසා ඔය වැඩේ දිගටම වුනත් කරන්න පුළුවන්. 

ඔය ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳා බැංකු පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොලී අනුපාතික වැඩි කරන එකයි. එතකොට මිනිස්සු බැංකු වලින් සල්ලි අදින එක නවතිනවා.

පෙනෙන විදිහට යම් කතාවක් පැතිරී තිබෙන්නේ මහජන බැංකුවේ ස්ථාවරත්වය පිළිබඳවයි. රොයිටර් වාර්තා කර තිබෙන විදිහට සංවර්ධන බැඳුම්කරයක් වෙනුවෙන් මහ බැංකුව විසින් මහජන බැංකුවට ගෙවිය යුතු වූ මුදලක් නියම වෙලාවට ගෙවලා නැහැ. එම මුදල නොලැබුණු නිසා මහජන බැංකුව විසින් තවත් වාණිජ බැංකු දෙකකට ගෙවිය යුතු වූ මුදල් ගෙවන්න බැරි වෙලා. ඔය වගේ පරක්කු වන එක ගෙවීමක් ක්ෂණිකව බැංකු පද්ධතියේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැබැයි මතක තියා ගන්න මේ හිරවීම් සියල්ල සිදුවන්නේ ඩොලර් ගනුදෙනු හා අදාළවයි. ඒ හේතුව නිසා බැංකු පද්ධතියේ අස්ථාවරත්වයක් ඇති වුනත්, මහජනතාවගේ රුපියල් තැන්පතු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් රුපියල් ප්‍රමාණයක් නැත්තේ එම රුපියල් වැඩි පොලියකට රජයට ණයට දීලා නිසා. හරියටම කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා නිසා. බැංකු අතේ රුපියල් වලින් සල්ලි නැතත් මේ භාණ්ඩාගාර බිල්පත් තිබෙනවා. ඒ නිසා, ඕනෑ වෙලාවක ඒ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියලා මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ගන්න පුළුවන්. 

තවත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ බැංකු වල තිබෙන රුපියල් තැන්පතු වලට කිසිම අවදානමක් නැහැ. හැබැයි හැමෝම බය වෙලා සල්ලි අදින්න ගත්තොත්නම් විශාල ප්‍රශ්නයක් වෙයි. එය කෙසේවත් නොකළ යුතු දෙයක්. මම හිතන්නේ ලංකාවට දැනට තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති!

Sunday, March 20, 2022

තාමත් සල්ලි අච්චු ගහනවද?

 


දෙරණට අනුව පසුගිය අඟහරුවාදා (මාර්තු 15) මහ බැංකුව විසින් අලුතෙන් රුපියල් කෝටි 8,300ක් සල්ලි අච්චු ගහලා තිබෙනවා. මගෙන් එක් හිතවතෙක් මේ ගැන විමසීමක් කරමින් මේ විදිහට සල්ලි අච්චු ගහද්දී රුපියල පාවෙන්න ඇරපු එකේ තේරුමක් තියෙනවද කියලා අහනවා.

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ සඳහා වැඩි මුදලක් ගෙවන එක නවත්වා තියෙනවා. එය හොඳ තීරණයක්. එකම ඩොලරය සඳහා තෝරාගත් පිරිසකට පමණක් වැඩි මිලක් ගෙවීමෙන් වෙන්නේ ඩොලරය පිළිබඳ මිල අපේක්ෂාවන් සීමා කර ගැනීම වඩා අපහසු වීමයි. මේ වෙද්දී ඩොලරය එහි නියම අගය දක්වා අවප්‍රමාණය වී අවසන් නිසා අපේක්ෂාවන් ඉහළ නොයන්නේනම් ඩොලරයේ මිල මේ සතිය තුළ ස්ථායී විය යුතුයි. ඒ සමඟම, තාවකාලිකව වුවත්, ප්‍රශ්නයෙන් සැලකිය යුතු කොටසක් විසඳෙනවා.

කෙසේ වුවත්, වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ ඩොලරයේ නියම අගය තව තවත් ඉහළ යනවා කියන එකයි. එවිට ඩොලරයේ මිලෙන් එම අගය පිළිබිඹු වීමට ඉඩ හරින්න වෙනවා. මෙය වලක්වා ගත හැක්කේ සල්ලි අච්චු ගහන එක පාලනය කිරීමෙන් පමණයි.

දැන් අපි දෙරණ පුවත වෙත යමු. 

"ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,627.00 ක් බව ඊයේ අඟහරුවාදා (15) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඊට පෙර දින එනම් සඳුදා (14) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ක් බව මීට පෙර සටහන්ව තිබීමයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඊයේ දිනය තුළ දී රු. බිලියන 83.03 කින් වැඩි වී ඇත.

එනම් රු. බිලියන 83.03 ක හෙවත් රු. කෝටි 8,303 ක නව මුදල් ප්‍රමාණයක් ඊයේ දින රටට මුදා හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවයි.

මෙලෙස නව මුදල් නිකුත් කිරීම සඳහා මුදල් අච්චු ගැසීම යන සාමාන්‍ය ව්‍යවහාරය ද භාවිත වේ."

මෙහි මුල් කොටසේ සඳහන් සංඛ්‍යාලේඛණ සියල්ල නිවැරදි වුවත් අවසන් වාක්‍ය දෙකෙහි සඳහන් කරුණු නිවැරදි නැහැ. මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක්. පෙර දින එම අගය රුපියල් බිලියන 1,543.97ක්. ඒ අනුව, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 83.03කින් හෙවත් රුපියල් කෝටි 8,303කින් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා මුදල් ගෙවද්දී අලුත් මුදල් සංසරණයට එකතු වී සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. සංචිත මුදල් සැපයුම ඉහළ යාම සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගැසීම ලෙස හැඳින්වෙනවා.

කෙසේ වුවත්, මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් එහි මුහුණත වටිනාකම ගෙවන්නේ නැහැ. මුහුණත වටිනාකම කියන්නේ බිල්පත්/ බැඳුම්කර කල් පිරීමේදී ගෙවන මුදලයි. මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් ගෙවන්නේ එහි වෙළඳපොළ වටිනාකමයි.

වැඩිපුර තොරතුරු අවශ්‍යනම් පහත ලිපි කියවන්න.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (තෙවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (සිවුවන කොටස)

මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක් වුවත් එම බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 1,567,26ක් පමණයි. පෙර දින එම අගය රුපියල් බිලියන 1,492,42ක්. මේ අනුව, මහ බැංකුව සතු වූ බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 74.85කින් හෙවත් රුපියල් කෝටි 7,485කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ කියන්නේ, දවසක් ඇතුළත එපමණ මුදලක් සල්ලි අච්චු ගහලද?

මහ බැංකුව විසින් මුදල් ගෙවා භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගත් පමණින්ම සංචිත මුදල් සැපයුම ඉහළ යාමක්, එනම් සල්ලි අච්චු ගැසීමක්, සිදු වන්නේ නැහැ. මහ බැංකුවෙන් එළියට යන සල්ලි නැවත මහ බැංකුව වෙතම එන ක්‍රම ගණනාවක් තිබෙනවා. වත්මන් සන්දර්භය තුළ මේ සඳහා හොඳම උදාහරණය සංචිත විකිණීමයි. 

මහ බැංකුව විසින් ඩොලරයක් විකුණන හැම විටෙකම එහි රුපියල් වටිනාකම මහ බැංකුවට ලැබෙන නිසා යම් මුදල් ප්‍රමාණයක් සංසරණයෙන් ඉවත් වී නැවත මහ බැංකුව වෙත එනවා. එහිදී සංචිත මුදල් සැපයුම පහළ යනවා. සංචිත මුදල් විකුණා උපයන රුපියල් බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා යෙදෙවුවොත්, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඉහළ යන නමුත් සංචිත මුදල් වැඩි වෙන්නේ නැහැ. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය තීරණය කෙරෙන නිර්ණායක ගණනාවක් අතරින් එකක් පමණයි.

මාර්තු 9 දින සිට මාර්තු 16 දක්වා සතියක කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,357.10 සිට රුපියල් බිලියන 1,370.50 දක්වා රුපියල් බිලියන 13.40 කින් හෙවත් රුපියල් කෝටි 1,340කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව අදාළ සතියේ එක් දිනක් තුළ රුපියල් කෝටි 8,303ක් සල්ලි අච්චු ගසා තිබීම විය නොහැක්කක්. එහෙත්, සල්ලි අච්චු ගැසීමේ ප්‍රශ්නයක් තිබෙනවා. 

Saturday, February 26, 2022

අච්චු ගහපු සල්ලි මා ළඟයි!


උද්ධමනයට හේතු වෙන්නේ මුදල් සැපයුම ඉහළ යාම බව මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙක් න්‍යායාත්මකව පමණක් නෙමෙයි අත්දැකීමෙන්ම දන්නවා. පසුගිය ජනවාරි මාසයේදී ලංකාවේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 14.2% දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 16.8% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ විදිහට උද්ධමනය ඉහළ යාම කොතැනකින් නවතියිද?

ඊට පෙර ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් ලෙස, පසුගිය වසර දෙකක කාලය තුළ ලංකාවේ මුදල් සැපයුම කොපමණ ඉහළ ගිහින්ද?

ලංකාවේ මුදල් සැපයුම මනින නිර්ණායක කිහිපයක්ම තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවේ හෝ වෙනත් රටක මුදල් සැපයුම ගැන කරන කතාබහක් ආරම්භ කළ යුත්තේ සංචිත මුදල් වලින්. සංචිත මුදල් ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුවේ වගකීම්. මහ බැංකුව විසින් අච්චු ගසා කෙළින්ම සංසරණයට එකතු කරන මුදල්. සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යාමයි. මුදල් පදනම, පාදක මුදල්, M0 ආදී නම් වලින් හැඳින්වෙන්නේත් මේ සංචිත මුදල්මයි.

පසුගිය දෙවසර තුළ, එනම් 2019 අවසානයේ සිට 2021 අවසානය දක්වා කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 932.6 සිට රුපියල් බිලියන 1,305.8 දක්වා 40.0%කින් ඉහළ ගොස් තිබෙනවා. 

රටක මහ බැංකුව විසින් "අච්චු ගහන" මුදල් ප්‍රමාණය එම රටේ වාණිජ බැංකු පද්ධතිය විසින් ගුණනය කිරීමක් කරනවා. එකම රුපියල නැවත නැවත කිහිප දෙනෙකුට ණයට දීම හරහා සිදුවන මෙම ක්‍රියාවලිය තුළ මහ බැංකුව විසින් අච්චු ගහන එක රුපියලක් රුපියල් කිහිපයක් බවට පත් වෙනවා. මෙය හැඳින්වෙන්නේ මුදල් මැවීම ලෙසයි. මුදල් සැපයුම ලෙස හැඳින්වෙන්නේ මේ අයුරින් ගුණනය වූ සංචිත මුදල් ප්‍රමාණයයි. එයට මහ බැංකුවේ වගකීම් මෙන්ම වාණිජ බැංකු වල වගකීම්ද ඇතුළත් වෙනවා.

ලංකාවේ මුදල් සැපයුම මනින M1, M2 හා M2b ලෙස හැඳින්වෙන නිර්ණායක තුනක් තිබෙනවා. M1 යන්න පටු මුදල් සැපයුම ලෙසද හැඳින්වෙනවා. එයට සංසරණයේ ඇති නෝට්ටු හා කාසිත්, වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ජංගම ගිණුම් තැන්පතුත් ඇතුළත්. පුළුල් මුදල් සැපයුම ලෙස හැඳින්වෙන M2 හා M2b නිර්ණායක වලට මීට අමතරව පුද්ගලයින් විසින් වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ඉතිරි කිරීම් ගිණුම් වල හා ස්ථිර තැන්පතු වල තිබෙන මුදල්ද ඇතුළත් වෙනවා. 

විශාල වෙනසක් නැති, M2 හා M2b අතර තිබෙන වෙනස වන්නේ M2 වලට රුපියල් තැන්පතු පමණක් ඇතුළත් වන නමුත් M2b වලට විදේශ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යන ගිණුම් වල තිබෙන තැන්පතුද ඇතුළත් වීමයි. ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ නිර්ණායක අතරින් හොඳම නිර්ණායකය ලෙස සැලකෙන්නේ M2b පුළුල් මුදල් සැපයුමයි. මීට අමතරව, වාණිජ බැංකු නොවන මූල්‍ය ආයතන වල පවත්වා ගෙන යන තැන්පතුද ඇතුළත් වඩාත් පුළුල් M4 නම් නිර්ණායකයක්ද ඇතත් එය භාවිතා කෙරෙන්නේ අඩුවෙන්. 

පසුගිය දෙවසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 40.0%කින් වැඩි වීමට අනුරූපව M1, M2 හා M2b යන මුදල් සැපයුම් නිර්ණායක තුනමද ඉහළ ගොස් තිබෙනවා. එම කාලය තුළ M1 මුදල් සැපයුම රුපියල් බිලියන 865.5 සිට රුපියල් බිලියන 1,459.9 දක්වා 68.7%කින්ද, M2 මුදල් සැපයුම රුපියල් බිලියන 6,912.7 සිට රුපියල් බිලියන 9,638.9 දක්වා 39.4%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වඩා වැදගත් M2b මුදල් සැපයුම රුපියල් බිලියන 7,624.1 සිට රුපියල් බිලියන 10,647.3 දක්වා 39.7%කින් ඉහළ ගොස් තිබෙනවා.

කවර නිර්ණායකය අනුව බැලුවත් දෙවසරක් තුළ මුදල් සැපයුම 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. මේ අයුරින් මුදල් සැපයුම ඉහළ ගියත් රටේ මුදල් ඉල්ලුමද නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් අනුරූපී ලෙස ඉහළ ගොස් ඇත්නම් මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන්නේ නැහැ. 2020 වසර තුළ රටේ ආර්ථිකය 3.6%කින් හැකිළුනා. 2021 වසර තුළ ආර්ථිකය 3.6%කින් වර්ධනය වීයැයි උපකල්පනය කළද සමස්තයක් ලෙස දෙවසරක කාලය තුළ රටේ නිෂ්පාදනයෙහි වෙනසක් වී නැහැ. ඒ නිසා, මේ අයුරින් 40%කින් පමණ මුදල් සැපයුම ප්‍රසාරණය වීමේ උද්ධමනකාරී බලපෑම වැළැක්විය නොහැකියි. 

පසුගිය දෙවසරක කාලය තුළ (2021 දෙසැම්බර් දක්වා) කොළඹ පාරිභෝගික මිල දර්ශකය 16.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය 19.3%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, මුදල් සැපයුමේ ඉහළ යාමට අනුරූපව මිල මට්ටම් තව දුරටත් 20-25% පමණ ප්‍රමාණයකින් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. තවත් මාස තුන හතරක් යද්දී උද්ධමනය 20% මට්ටම ඉක්මවිය හැකියි. ඒ සමඟම, එයට අනුරූපව විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යාමද නොවැලැක්විය හැකියි.

වඩාත්ම වැදගත් ප්‍රශ්නය මේ වසර තුළ හා ඉදිරි වසර කිහිපය තුළ මුදල් සැපයුම කොයි තරම් දුරකට පාලනය කර ගත හැකිද කියන එකයි. තව දුරටත් මුදල් සැපයුම විශාල ලෙස ඉහළ නොගියහොත් උද්ධමනය 25% පමණ මට්ටමකට ඉහළ ගොස් ඉන් පසු ක්‍රමයෙන් අඩු වෙයි. එහෙත්, සල්ලි අච්චු ගැහිල්ල තව දුරටත් ඉහළ ගියොත් ලංකාවත් වැටෙන්නේ සිම්බාබ්වේ පාරටයි.

බදු වැඩි කර රජයේ ආදායම් වැඩි කර නොගන්නේනම් හා රජයේ වියදම් සැලකිය යුතු ලෙස අඩු කර නොගන්නේනම් විශාල අයවැය පරතරයක් පියවීමේ ප්‍රශ්නයට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙනවා. ආණ්ඩුව මේ වෙද්දී ආදායම් වැඩි කර ගැනීමට හා වියදම් සීමා කිරීමට යම් උත්සාහයන් දරමින් සිටින නමුත් ඒ අතරම එම අරමුණු වලට හාත්පසින්ම එරෙහි දේවල්ද කරනවා. පොලී අනුපාතික දැනට පවතින සීමාවේ නඩත්තු කරමින්, සල්ලි අච්චු නොගසා රජයේ අයවැය හිඟය පියවා ගත හැක්කේ සැලකිය යුතු විදේශ ණය ප්‍රමාණයක්ද රජයට ලැබෙන්නේනම් පමණයි. ඒ නිසා, ඉදිරි කාලයේදී රටේ උද්ධමනය පාලනය කිරීම සඳහාද විදේශ ණය නැතුවම බැහැ. 

Saturday, September 18, 2021

ආර්ථිකය 12.3%කින් වර්ධනය වේ!

 



වසරේ දෙවන කාර්තුව තුළ, පෙර වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ලංකාවේ ආර්ථිකය 12.3%කින් වර්ධනය වී තිබෙනවා. මේ වර්ධනය සිදුව තිබෙන්නේ කෘෂිකාර්මික අංශය 8.1%කින්ද, කාර්මික අංශය 22.1%කින්ද, සේවා අංශය 7.5%කින්ද වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

පසුගිය වසරේ දෙවන කාර්තුව තුළ ලංකාවේ ආර්ථිකය 16.2%කින් හැකිලුනා. ඒ එම කාලය තුළ රටා වසා තැබීම හේතුවෙන්. එහෙත්, මේ වසරේ දෙවන කාර්තුව තුළ රට විවෘතව තිබුණු නිසා රටේ ආර්ථික ක්‍රියාකාරකම් සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතුණා. පෙර වසරේ කඩා වැටීමෙන් මුළුමනින්ම ගොඩ ඇවිත් නැතත්, ආර්ථිකය 12.3%කින් වර්ධනය වී තිබෙන්නේ ඒ නිසා. 

මෙවැනි වර්ධනයක් ලැබීමෙන් පසුවත්, තවමත් ආර්ථිකයේ ප්‍රමාණය 2017 දෙවන කාර්තුවේදී වූ තරමට වඩා අඩුයි. තෙවන හා සිවුවන කාර්තු තුළ රට වසා දැමීම නිසා ආර්ථිකයේ පසුබෑමක් නැවතත් ඇති වනු ඇතැයි පුරෝකථනය කළ හැකියි.

තවත් විශේෂ කරුණක් වන්නේ උද්ධමනය පිළිබඳ වඩා පුළුල් නිර්ණායකයක් වන දදේනි අවධමනකය අනුව, සමස්තයක් ලෙස 7.4%කින් මිල මට්ටම් ඉහළ ගොස් තිබීමයි. කෘෂිකාර්මික අංශයේ මෙම ඉහළ යෑම 11.5%ක්. අදාළ කාලය තුළ M1 මුදල් සැපයුම 29.1% කින් ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ මෙය අනපේක්ෂිත දෙයක් නෙමෙයි. මුදල් සැපයුම සීමා කර ඉදිරි කාලය තුළ උද්ධමනය පාලනය කර ගැනීම මහ බැංකුව හමුවේ තිබෙන අභියෝගයක්. 

Tuesday, September 14, 2021

ගෙදර යන ගමන් ලියූ අවසන් ලිපිය


ශ්‍රී ලංකා මහ බැංකුවේ පහළොස්වන අධිපති සේ කටයුතු කළ මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් අද සිය ධුරයෙන් ඉවත් වෙනවා. ඔහු කියන විදිහට තමන්ට සිදු වූ සිත් රිදීම් මේ තීරණයට හේතු වී තිබෙනවා. ඒ මොනවාද කියා කියා නැහැ.

මහාචාර්ය ලක්ෂ්මන්ගේ ප්‍රකාශය අනුව මහ බැංකු අධිපති සේ ඔහු කටයුතු කර තිබෙන්නේ ආර්ථික විද්‍යාඥයින්ගෙන් බහුතරයක් විසින් නොපිළිගන්නා, සුළුතර ආර්ථික විද්‍යාඥයින් පිරිසක් විසින් පමණක් පිළිගන්නා ආර්ථික විද්‍යාවකට අනුවයි. මහ බැංකුවේ සිටින ආර්ථික විද්‍යාඥයින් බහුතරයක්ද ඔහුගේ ආර්ථික විද්‍යාව පිළිගෙන නැහැ.

මහාචාර්ය ලක්ෂ්මන්ගේ අධිපති ධුර කාලය තුළ අපට පෙනෙන්නට තිබුණේ ඉවක් බවක් නැතිව සංචිත විකුණමින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම, රජය වෙනුවෙන් මහ බැංකුව ලෝකයට ණය වීම, ආනයන පාලනය ආදී දේවලුයි. ඔහු ඒ දේවල් කළේ ඔහු විශ්වාස කළ ආර්ථික විද්‍යාව අනුව වෙන්න ඇති. 

අවසාන වශයෙන් මහාචාර්ය ලක්ෂ්මන් ධුරයෙන් ඉවත් වන්නේ ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුවක් බංකොළොත් කිරීමෙන් පසුවයි. තමන්ගේ මාස විස්සක කෙටි ධුර කාලය තුළ මහ බැංකුව සතු විදේශ වත්කම් එහි විදේශ බැරකම් පියවීමටවත් ප්‍රමාණවත් නොමැති තැනකට මහ බැංකුව තල්ලු කිරීමට මේ අධිපතිවරයා සමත්ව තිබෙනවා. මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඔහුගේ සිත් තැවුල් පහව යනු ඇතත් රටේ මිනිස්සුන්ට සිත් තැවුල් දැනෙන්න පටන් ගනු ඇත්තේ ඔහු අනුගමනය කළ සුළුතර ආර්ථික විද්‍යා න්‍යායයන්ගේ ප්‍රතිඵල තැපෑලෙන් එන කොටයි. 

මහාචාර්ය ලක්ෂ්මන් අධිපති ධුරය අත හැරීමට මසකට පමණ පෙර සිට වාණිජ බැංකු වල ඩොලරයක මිල මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී නිදහසේ පාවෙන්න පටන් ගත්තා. එහෙත්, පසුගිය සතියේ හිටිවනම වාණිජ බැංකු වල ඩොලරයක මිල මහ බැංකුවේ මිලටම පහත වැටුණා. සිදු වුනේ කුමක්ද කියා මේ වෙද්දී අනාවරණය වී තිබෙනවා.

මහ බැංකුවේ සංචිත අඩියටම වගේ හිඳී තියෙද්දීත් ඩොලරයක මිල රුපියල් 200 ආසන්නයේ තියා ගැනීම සඳහා අගෝස්තු මාසය තුළ පමණක් මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 175ක පමණ සංචිත විකුණා තිබෙනවා. මහ බැංකුව ශුද්ධ ණයකරුවෙකු කරමින් මෙපමණ සංචිත විකිණීමෙන් පසුවද වාණිජ බැංකු වල ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වී තිබෙන්නේ රුපියල් 225 පමණ මට්ටමකයි. ඒ, ආනයන පාලන හරහා ඩොලර් ඉල්ලුම සීමා කිරීමෙන්ද පසුවයි.

සංචිත විකිණීමෙන්ද ඩොලරයේ මිල පාලනය කර ගත නොහැකි වීමෙන් පසුව මහ බැංකු අධිපතිවරයා විසින් ගෙදර යන ගමන් හෝ ගෙදර යන්නට පෙර අවසන් කටයුත්තක් ලෙස සියලු වාණිජ බැංකු වල හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීන්ට ලිපියක් ලියමින් ඩොලරයේ මිල මහ බැංකුවට හා රජයට අවශ්‍ය මට්ටමේ තියා ගන්නා ලෙස අවවාද කර තිබෙනවා. එසේ නොකළහොත් පාවිච්චි කළ හැකි මහ බැංකුව සතු ආයුධ ගැනද මේ ලිපියේ සඳහන්ව ඇතත් මහ බැංකුව විසින් මේ වගේ ක්‍රියා මාර්ගයක් ගන්නේ තමන්ගේ ආයුධ ගබඩාවේ ආයුධ සියල්ල අවසන් වීමෙන් පසුව වෙන කළ හැකි දෙයක් නොමැති වූ විට බව රහසක් නෙමෙයි.

මහ බැංකු අධිපතිගේ "නියෝගය" අනුව වානිජ බැංකු විසින් ඩොලරයක විකිණුම් මිල රුපියල් 203 මට්ටමේ පවත්වා ගත යුතුයි. එහෙත්, මේ මිලට විකුණන්නනම් ඊට අඩුවෙන් ඩොලර් මිල දී ගත යුතු නිසා අවසන් ප්‍රතිඵලය වාණිජ බැංකු වල විණිමය අනුපාතයද නමට පමණක් විණිමය අනුපාතයක් වීමයි.

අලුතෙන් ධුරය භාර ගන්නා අධිපතිවරයාද කලින් ධුර කාලයේදී කළාක් මෙන් විණිමය අනුපාතය තිබෙන මට්ටමේම තියා ගන්නට ගැසිය හැකි හැම දහං ගැටයක්ම ගහන බව ස්ථිරයි.

Sunday, September 12, 2021

කලින් වැඩිවුනේ බඩුමිලද ඩොලරයද?


සල්ලි අච්චු ගැසීම සීමා නොකරන තුරු විණිමය අනුපාතය පාලනය කර බඩු මිල අඩු කළ නොහැකි බව මම කලින් ලිපියේ පැහැදිලි කළා. විණිමය අනුපාතය පාලනය කර ආනයනික බඩු වල මිල අඩු කළ හැකි වුවත්, ඒ අඩුවටත් හරියන්න දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යාම නොවැලැක්විය හැකියි. ඒ නිසා, විණිමය අනුපාතය පාලනය කළ පමණින් උද්ධමනය අඩුවීමක් සිදු වෙන්නේ නැහැ.

මෙය ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් නැති අයෙකුගේ තර්ක බුද්ධියට එකවර ගෝචර වන දෙයක් නෙමෙයි. එවැනි පුහුණුවක් නැති අයෙකුට හිතෙන්නේ ඩොලරය ඉහළ යන විට බඩුමිල ඉහළ යන බව හා ඒ නිසාම ඩොලරයේ මිල පාලනය කර උද්ධමනය පාලනය කළ හැකි බවයි.

සාමාන්‍ය පුද්ගලයෙකුට මේ වගේ දෙයක් නොතේරුණා කියා ලොකු ප්‍රශ්නයකුත් නැහැ. තේරුණත්, නොතේරුණත් රටක විණිමය අනුපාතය සාමාන්‍ය අයෙකුට පාලනය කළ නොහැකියි. එය කළ හැක්කේ මහ බැංකුවේ බල අධිකාරයටයි. සාමාන්‍යයෙන් රටක මහ බැංකුව පාලනය කරන කෙනෙකුට මේ වගේ දේවල් අමුතුවෙන් කියා දිය යුතු නැහැ. එවැනි තනතුරකට පත් වෙන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් ඇති අයෙක්. සම්මත ආර්ථික විද්‍යා න්‍යාය ගැන දැනුමක් වගේම විශ්වාසයක්ද ඇති අයෙක්.

කොහොම වුනත්, පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීමට උත්සාහ දැරූ වකවානු අපට දැකිය හැකි වුනා. ඒ හැම විටම, වසර කිහිපයකට පසුව විණිමය අනුපාතයේ එක වර සිදු වන කඩා වැටීමකට මුහුණ දීමටද සිදු වුනා. එහෙම වුනා කියලා වැඩේ නැවතුනේත් නැහැ. කඩා වැටුණු තැන සිට නැවතත් පරණ සෙල්ලමම කෙරුණා. මේ වැඩේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ අපනයන කඩා වැටී, චීන හා ඉන්දියානු ආනයනික භාණ්ඩ රටට ගලා ආවා. චීනය හෝ ඉන්දියාව කවර ආකාරයකින් හෝ ලංකාවේ විණිමය ප්‍රතිපත්තිය පාලනය කරනවාද කියා සැක හිතෙන තරමටම මේ වැඩේ දුරදිග ගියා. ලංකාව අමාරුවෙන් උපයන ඩොලර් වලින් ඉන්දියානු හා චීන නිෂ්පාදකයෝ ගොඩ ගියා. මේ වැඩේ තවමත් සිදු වෙනවා.

පහත වගුවේ තිබෙන්නේ පසුගිය වසර විස්සක කාලය තුළ ඩොලරයක වාර්ෂික සාමාන්‍ය මිල, පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික සාමාන්‍ය අගය හා දදේනි අවධමනකයේ වාර්ෂික සාමාන්‍ය අගය වෙනස් වූ ආකාරයයි.

මහ බැංකුව විසින් 2004-2006 අතර රුපියල් 100 මට්ටමේත් 2007-2011 අතර රුපියල් 110 මට්ටමේත් ඉන් පසුව 2002-2014 අතර රුපියල් 130 මට්ටමේත් ඩොලරයක මිල පවත්වා ගැනීමට උත්සාහ කළා. එහෙත්, මේ එක අවස්ථාවකදීවත් දිගටම ඩොලරයේ මිල එකම මට්ටමක ස්ථිරව තබා ගත නොහැකි වුනා. එසේ කළ උත්සාහයන් හැම විටම අවසන් වුනේ ඩොලරයේ ක්ෂණික කඩා වැටීමකින්. 

මෙසේ ඩොලරයේ මිල ස්ථිරව තබා ගත් කාල වකවානු වල බඩු මිල වැඩි වුනේ නැද්ද? 2007-2011 කාලය තුළ ඩොලරයක වාර්ෂික සාමාන්‍ය මිල වෙනස් නොවුණු තරම්. සාමාන්‍යයෙන් සිදුවන මිල ඉහළ යාම වෙනුවට මේ කාලය තුළ ඩොලරයක මිල -0.05%කින් පහළ ගියා. එහෙත්, ඒ කාලය තුළ පාරිභෝගික මිල දර්ශකයේ අගය 37.2%කින්ද, දදේනි අවධමන දර්ශකය 38.9%කින්ද ඉහළ ගියා. මෙයින් පැහැදිලි වන්නේ උද්ධමනයට හේතු වන්නේ සල්ලි අච්චු ගැසීම මිස විණිමය අනුපාතය නොවන බවයි.

සමස්තයක් ලෙස 2004-2014 දස වසරක කාලය තුළම ඩොලරයේ මිල ඉහළ ගියේ 29.0%කින් පමණයි. එයින්ද 15.4%ක ඉහළ යාමක් සිදු වුනේ 2011-2012 අතර සිදු වූ ක්ෂණික කඩා වැටීමක් ලෙසයි. මෙම දස වසර තුළ පාරිභෝගික මිල දර්ශකයේ අගය 145.6%කින්ද, දදේනි අවධමන දර්ශකය 133.0%කින්ද ඉහළ ගියා. විණිමය අනුපාතයෙහි 15.4%ක ඉහළ යාමක් සිදු වූ 2011-2012 අතර පාරිභෝගික මිල දර්ශකයේ අගය ඉහළ ගියේ 10.8%කින් පමණයි. දදේනි අවධමන දර්ශකය ඉහළ ගියේ ඊටත් අඩුවෙන්, 7.5%කින් පමණයි. මිල මට්ටම් විශාල ලෙස ඉහළ ගියේ විණිමය අනුපාතය එක තැනම වගේ තබාගෙන සිටියදීයි.

මෙයින් වෙනස්ව 2014-2020 අතර ඩොලරයේ මිල 42.1%කින් ඉහළ ගියත්, ඒ හේතුව නිසා බඩු මිල එපමණකින් ඉහළ ගියේ නැහැ. එම කාලය තුළ පාරිභෝගික මිල දර්ශකයේ අගය ඉහළ ගියේ 24.9%කින් පමණයි. දදේනි අවධමන දර්ශකය ඉහළ ගියේ ඊටත් අඩුවෙන්, 26.9%කින් පමණයි. ඩොලරයේ මිල ඉහළ යද්දී බඩු මිල එතරම් ඉහළ නොයනවා කියා කියන්නේ ඩොලර් උපයන අයට වාසිදායක තත්ත්වයක්. එහෙත් ඩොලර් උපයන්නේ නැති, ඩොලර් මිල දී ගෙන වැය කරන අය මෙවැනි තත්ත්වයකට කැමති නැහැ.

උද්ධමනය වැඩි වෙන්නේ ඩොලරයේ මිල ඉහළ යාම නිසා නෙමෙයි. එහෙත් ඩොලරයේ මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා. උද්ධමනය වැඩි වන්නේ සල්ලි අච්චු ගැසීම නිසා. මෙහි කිකිළිද බිත්තරයද වැනි ගැටළුවක් නැහැ.

Saturday, September 11, 2021

ඩොලරයේ මිල හා බඩු මිල


ඩොලරයේ මිල ඉහළ යාම ගැන ලංකාවේ ගොඩක් අයට තිබෙන්නේ විශාල භීතිකාවක්. මේ අයගේ ප්‍රධානම තර්කය වන්නේ ඩොලරයේ මිල ඉහළ ගියාම බඩු ගණන් යනවා කියන එකයි. කතාව ඇත්ත. ආනයනික බඩු වල මිල අනිවාර්යයෙන්ම ඩොලරය ඉහළ යන අනුපාතයට ගණන් යනවා තමයි. ඊට අමතරව ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලත් ඩොලරයක මිල ඉහළ යද්දී ගණන් යනවා. මේවා න්‍යායාත්මකව පැහැදිලි කළ හැකි, ඒ වගේම ප්‍රායෝගිකව මහ පොළොවේ දැකිය හැකි දේවල්

හැබැයි මේ කතාව කියන අය නොකියන හෝ නොදකින දෙය ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යනවා කියන එකයි. එහෙම නොවෙනවා කියා කවුරු හෝ හිතනවාද?

ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යන්නේ ඇයි?

ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. ඒ නිසා, හැම විටම වාගේ පියවිය යුතු රාජ්‍ය අයවැය හිඟයක් ඉතිරි වෙනවා. මේ හිඟය පියවන්න සල්ලි අච්චු ගැසීම නිසා රටේ මුදල් සැපයුම ආර්ථික වර්ධනය ඉක්මවා ඉහළ යනවා. එහිදී රටේ තිබෙන භාණ්ඩ සැපයුම ඉක්මවා භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඇයි මිනිස්සු අතේ වැඩිපුර සල්ලි තියෙනවනේ. 

වැඩි වූ මුදල් අතේ තියෙන මිනිස්සු රටේ නිපදවෙන සීමිත භාණ්ඩ හා සේවා ටික මිල දී ගන්න තරඟ කරද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යාම තුළින්. හැබැයි ඩොලරයේ මිල වෙනස් වෙලා නැති නිසා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලද යම් තරමකින් ඉහළ යනවා. එහෙත්, දේශීය නිෂ්පාදන තරමටම මිල ඉහළ යන්නේ නැහැ. මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ ගියත් ආනයනික භාණ්ඩ වල මිල එලෙසමයි.

මේ විදිහට ආනයනික භාණ්ඩ වල මිල එලෙසම තියෙද්දී දේශීය නිපැයුම් වල පමණක් මිල වැඩි වූ විට මොකද වෙන්නේ? රට ඇතුළේ දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම අඩු වෙනවා. ආනයනික භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. ඔය අතර කවුරු හෝ කෙනෙක් දේශීය නිෂ්පාදන වෙනුවට මිල අඩු ආදේශක කොහෙන් හෝ හොයාගෙන ආනයනය කරනවා. දේශීය නිෂ්පාදකයාට ආනයනික භාණ්ඩ එක්ක තරඟ කළ නොහැකි වී වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

මේ විදිහට දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යද්දී අපනයන වෙළඳපොළ ඉලක්ක කර හදන දේශීය නිෂ්පාදන වල පිරිවැයද ඉහළ යනවා. එහෙත් එම අපනයන විකුණා උපයන ආදායම් වැඩි නොවන නිසා අපනයනකරුවන්ගේ ලාබ අඩුවෙනවා. ඔවුන්ටද වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. 

මේ ආකාරයෙන් ලංකාවේ රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරමින් එය පියවීමට මුදල් අච්චු ගැසීමේත්, ඒ අතර විණිමය අනුපාතය ඉහළ යාම පාලනය කිරීමේත් ප්‍රතිඵලය වන්නේ එක පැත්තකින් ආනයන ඉහළ යන අතර අනෙක් පැත්තෙන් අපනයන කඩා වැටෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ඩොලර් හිඟයක් ඇති වෙනවා. ඩොලර් හිඟය පියවන්න විදේශ ණය අවශ්‍ය වෙනවා. රජය යම් හෙයකින් විදේශ ණය නොගත්තත්, රටේ කාට හෝ විදේශ ණය ගන්නම වෙනවා. ඒ විදිහට කවුරු හෝ ණයට ගන්න ඩොලර් විකුණද්දී ආනයන අපනයන පරතරය නිසා ඇති වී තිබෙන ඩොලර් හිඟය පියවෙන නිසා ඩොලර් එකේ මිල ඉහළ නොගොස් එලෙසම තියෙනවා. දිගින් දිගටම විදේශ ණය ගන්නා තුරු ආනයන අපනයන පරතරයත් එලෙසම තියෙනවා.

විණිමය අනුපාතය එක තැන තියාගෙන සල්ලි අච්චු ගහන තරමට වෙන එකම දෙය ආනයන ඉල්ලුම තව තවත් ඉහළ යන එක පමණයි. මුදල් සැපයුම ඉහළ යාම නිසා ලංකාවේ ආනයන ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩි වුනත් ලෝක මට්ටමේදී සැපයුමට එය දැනෙන්නේවත් නැති නිසා ලංකාවේ ඉල්ලුම වැඩි වුනා කියා ආනයන භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ඉල්ලන තරමට අපනයන ලංකාවට එනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ අපනයන භාණ්ඩ වල මිල වැඩි වීම නිසා අපනයනකරුවන්ට ලෝකයේ අනෙක් රටවල් එක්ක තරඟ කරන්න අසීරු වී අපනයන ප්‍රමාණය පහළ බසින නිසා මිල වැඩිවීමේ වාසිය අපනයනකරුවන්ට ලොකුවට ලැබෙන්නෙත් නැහැ.

සල්ලි අච්චු ගහන අතරම, විණිමය අනුපාතය "අවශ්‍ය පමණ" ඉහළ යන්න ඉඩ දුන්නහම වෙන්නේ කුමක්ද?

දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. නමුත්, ඒ එක්කම කලින් මිල දී ගත් ආනයන භාණ්ඩ ප්‍රමාණය මිල දී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්න වෙන නිසා දේශීය භාණ්ඩ මිල දී ගන්න ලොකු මුදලක් අතේ ඉතිරි වෙන්නේ නැහැ. නමුත්, තව දුරටත් යම් මුදලක් ඉතිරි වෙනවා. ඒ මුදලෙන් දේශීය භාණ්ඩ මිල දී ගනිද්දී දේශීය භාණ්ඩ වල ඉල්ලුමද යම් තරමකින් ඉහළ ගොස් ඒ හේතුව නිසා මිල ඉහළ යනවා. විණිමය අනුපාතය ඉහළ ගිහින් තියෙන්නේ අවශ්‍ය තරමටනම් දේශීය නිෂ්පාදන හා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ එකම තරමින්. එහිදී සල්ලි අච්චු ගැහීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඇති වන නමුත් ආනයන අපනයන පරතරයට බලපෑමක් වෙන්නේ නැහැ. ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.

අලුතෙන් අච්චු ගැසූ සල්ලි ප්‍රමාණයට සාපේක්ෂව විණිමය අනුපාතය ඕනෑවට වඩා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද? මෙහිදී ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන නිසා ආනයන ආදේශක වලට ඉල්ලුම වැඩි වෙනවා. එහෙත්, ආනයන ආදේශක නැති තෙල් වැනි අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ වෙනුවෙන් අතේ තිබෙන සල්ලි ටික වියදම් කළාට පස්සේ අත්‍යාවශ්‍ය නොවන දේශීය නිෂ්පාදන මිල දී ගන්න සල්ලි හිඟ වන නිසා ඒවාට ඉල්ලුම අඩුවී මිල අඩු විය හැකියි. මෙහිදී සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ යන නිසා අපනයන තරඟකාරිත්වය වැඩි වෙන්නේත් නැහැ. ආර්ථිකයට යම් හානියක් විය හැකියි. මේ වගේ තත්ත්වයක් ඇති වන්නේ විණිමය අනුපාතය පාලනය කරන්න ගිහින් අසමත් වීමෙන් පසුව එකවර ක්ෂණිකව විණිමය අනුපාතය කඩා වැටෙන අවස්ථාවකයි.

සල්ලි අච්චු ගහනවානම් ඊට අනුරූපව අවශ්‍ය පමණ විණිමය අනුපාතයද ඉහළ යන්න ඉඩ දිය යුතුයි. එහිදී සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන උද්ධමනය නොවැලැක්විය හැකි නමුත් ගෙවුම් ශේෂයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි සල්ලි අච්චු ගහන අතරම උද්ධමනය පාලනය කරන්න කියලා විණිමය අනුපාතය පාලනය කළ විට සිදු වෙන්නේ ආනයන අපනයන පරතරය ඉහළ ගිහින් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වන එකයි. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොගියත් දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යන නිසා උද්ධමනය පාලනය වෙන්නේ නැහැ.

දැන් මේ වැඩේ වෙන්නේ සල්ලි අච්චු ගැසීම නිසා ඉහළ ගිය ඉල්ලුමට හරියන්න ආනයන කිරීමට ඉඩ ඇරියොත්නේ. ආනයන පාලනය කරලා ප්‍රශ්නය විසඳන්න බැරිද? 

මේකත් විසඳුමක් තමයි. දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොයන නිසා ඉල්ලුම වැඩි වුනත් ආනයන සීමා නිසා මිල දී ගන්න බඩු නැහැ. ඒ නිසා, සල්ලි අතේ ඉතිරි වී දේශීය නිෂ්පාදන සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා. එහිදී දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යනවා. එහෙම වුනා කියලා දේශීය නිෂ්පාදන මිල දී නොගෙන ඉන්නත් බැහැ. මොකද මිල අඩු වුනත් ආනයනික බඩු කඩේ නැහැ. 

මුදල් සැපයුම වැඩි වීම නිසා දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වුනත් දේශීය නිෂ්පාදකයෝ නිෂ්පාදනය වැඩි කර ලාබ ලැබීමේ  අවදානම ගන්න බයයි. මොකද ආනයන පාලන කොයි වෙලාවක හෝ ඉවත් කළ වහාම තමන්ගේ නිෂ්පාදන වලට ඉල්ලුමක් නැති බව පැහැදිලි නිසා. කෙටි කලකින් නිපදවා වෙළඳපොළට දැමිය හැකි දේවල් පමණක් වැඩියෙන් රට ඇතුළේ හැදෙනවා. එහෙත් දිගුකාලීනව රටේ නිෂ්පාදනය ඉහළ යන්නේ නැහැ. අනෙක් පැත්තෙන් රටේ උද්ධමනය අපනයන ආදායමට නරක විදිහට බලපානවා. මේ ප්‍රශ්න තිබුණත් ආනයන පාලනය ඩොලර් හිඟයට තාවකාලික පිළියමක්. හැබැයි ආනයන පාලනය ඉවත් කළ වහාම නැවත හිටපු තැනමයි. 

විණිමය අනුපාතය තිබිය යුතු "නියම තැන" කොතැනද? ලෝකයේ අනෙක් රටවල් සල්ලි අච්චු ගහන වේගයෙන්ම ලංකාවත් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය එක තැනක තියා ගන්න පුළුවන්. අනෙක් රටවලට වඩා අඩුවෙන් සල්ලි අච්චු ගහනවානම්, සිංගප්පූරුවේ වගේ, විණිමය අනුපාතය ශක්තිමත් වෙන්න අරින්නත් පුළුවන්. එහෙත්, ලෝකයේ අනෙක් රටවලට වඩා වේගයෙන් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය දුර්වල වෙන්න අරින්න වෙනවා. නැත්නම් වෙන්නේ ආනයන අපනයන පරතරය ටිකෙන් ටික වැඩි වෙන එකයි.

විණිමය අනුපාතය තියෙන්නේ නියම තැනනම් ආනයන පාලන දමන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

Saturday, July 31, 2021

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත්


මේ වියුණුව හරහා මා පෙර ලිපි ගණනාවකින් රාජ්‍ය ණය සහ විදේශ ණය අතර වෙනස පැහැදිලි කර තිබෙනවා. සියලුම රාජ්‍ය ණය විදේශ ණය නොවනවාක් මෙන්ම සියලුම විදේශ ණය රාජ්‍ය ණයද නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය ණය අඩු වෙද්දී විදේශ ණය ඉහළ යා හැකියි. ඒ වගේම විදේශ ණය අඩු වෙද්දී රාජ්‍ය ණය ඉහළ යා හැකියි. මේ වෙද්දී, අඩු වශයෙන් අපේ වියුණුවෙහි පාඨකයින්ට, රාජ්‍ය ණය සහ විදේශ ණය අතර සම්බන්ධය පිළිබඳ ලොකු ගැටළු නැතැයි මා සිතනවා.

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත් අතර සම්බන්ධයද මෙවැනිම පැටලිලි සහගත දෙයක්. ඒ නිසා, බොහෝ දෙනෙකුට මේ සම්බන්ධය පිළිබඳව විවිධ ගැටළු මතු වෙනවා.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම කිසියම් රටක රජය විසින් ණය ලබා ගන්නා ක්‍රමයක්. එම ණය දේශීය ණය හෝ විදේශීය ණය විය හැකියි. එය තීරණය වන්නේ නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ රට වැසියෙක්ද නැත්නම් විදේශිකයෙක්ද යන්න මතයි. රජයක් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් වලින් යම් කොටසක් එම රටේ මහ බැංකුව විසින්ද මිල දී ගන්නට ඉඩ තිබෙනවා. එහිදී මහ බැංකුව විසින් රජයට ගෙවන්නේ අලුතෙන් මුද්‍රණය කළ මුදල්. ඒ නිසා රටේ මුදල් සැපයුම ඉහළ යනවා. 

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී රටේ මුදල් සැපයුම ඉහළ ගියත්, එම බිල්පත් කල් පිරෙද්දී රජය විසින් ණය ලෙස ලබාගත් මුදල පොලියද සමඟ ආපසු මහ බැංකුවට ගෙවන නිසා කලින් සංසරණයට එකතු වූ මුදල් සංසරණයෙන් ඉවත් වී නැවතත් මහ බැංකුව කරාම පැමිණෙනවා. මෙහිදී මුදල් සැපයුමෙහි අඩු වීමක් සිදු වෙනවා. 

ඉහත පරිදි මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී සංසරණයට එකතු වන මුදල් නැවතත් කෙටි කලකින් මහ බැංකුව වෙතම ආපසු පැමිණියහොත් එයින් රටේ උද්ධමනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු වන්නේ නැහැ. උද්ධමනයට හේතු වන්නේ මුදල් සැපයුම ඉහළ ගොස් දිගු කලක් එම ඉහළ මට්ටමෙහිම පැවති විටයි. මහ බැංකුව සතු රජයේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය මහ බැංකුවේ වත්කමක් වන අතර රජයේ ණයක් හෙවත් බැරකමක්.

මේ ආකාරයෙන් මහ බැංකුව විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ඇතැම් විට මහ බැංකුව විසින් කල් පිරෙන තුරු තබා ගන්නා නමුත් හැම විටම එසේ කරන්නේ නැහැ. කල් පිරෙන්නට පෙර ඒවා බොහෝ විට ද්වීතියික වෙළඳපොළේ විකුණනවා. එවිට මහ බැංකුවට කල් පිරෙන්නට පෙරම මුදල් නැවත ලැබෙනවා. කල් පිරීමේදී රජය විසින් බිල්පතෙහි ඒ වන විට අයිතිකරුට මුදල් ගෙවනවා. මේ ආකාරයෙන්ම මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන කලින් මිල දී ගත් අයෙකුගෙන් මිල දී ගැනීමද කරනවා. 

මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තත්, වෙනත් අයෙකුගෙන් ද්වීතියක වෙළඳපොළෙන් මිල දී ගත්තත් ඒ වෙනුවෙන් ගෙවන්නේ අලුතින් මුද්‍රණය කළ මුදල් නිසා මුදල් සැපයුම ඉහළ යනවා. බිල්පත් කල් පිරීමේදී හෝ ඊට පෙර ද්වීතියක වෙළඳපොළෙහි විකිණීමේදී මුදල් සැපයුම අඩු වෙනවා.

මීට අමතරව භාණ්ඩාගාර බිල්පත් හා අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන තවත් කාර්යයක් තිබෙනවා. ඒ රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කර වෙන්දේසි කිරීමයි. මෙය ඉහත කී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් හා විකිණීමෙන් වෙනස් වෙනම වැඩක්. පළමු කාර්යය ලෝකයේ බොහෝ මහ බැංකු විසින් කරන දෙයක් වුවත් දෙවැන්න එසේ ලෝකයේ අනෙකුත් රටවල සිදුවන සාමාන්‍ය දෙයක් නෙමෙයි. එය තනිකරම රජයේ නියෝජිතයෙකු ලෙස රජය වෙනුවෙන් කරන කාර්යයක්.

මහ බැංකුව විසින් රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කරන විට රාජ්‍ය ණය ඉහළ යනවා. එම බිල්පත් කල් පිරුණු විට රාජ්‍ය ණය පහළ යනවා. මෙසේ රජය වෙනුවෙන් මහ බැංකුව විසින් අලුතෙන් නිකුත් කරන බිල්පත් මහ බැංකුව විසින්ම මිල දී ගත්තොත් හැර එයින් රටේ මුදල් සැපයුමට බලපෑමක් සිදු වන්නේ නැහැ.

මහ බැංකුව වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින්. මෙහි අරමුණ රටේ මුදල් සැපයුම නිසි මට්ටමෙහි ස්ථාවරව තබා ගැනීමයි. එහිදී මහ බැංකුව විසින් ලාබ ඉපැයීම වැනි ඉලක්ක පසුපස යන්නේ නැහැ. මුදල් සැපයුම පාලනය කිරීම හරහා අවසාන වශයෙන් ඉලක්ක කරන්නේ උද්ධමනය පාලනය කිරීමයි.

රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සහ කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින්. වසර කිහිපයකට පෙර බොහෝ කතා බහට ලක්වූ බැඳුම්කර වෙන්දේසිය වැනි වෙන්දේසි පැවැත්වෙන්නේ මෙම දෙපාර්තමේන්තුවේ. එම වෙන්දේසි සහ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය අතර කිසිදු සෘජු සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේ වෙන්දේසියේදී වෙන්දේසි කෙරෙන්නේ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් නෙමෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ බැංකුකරු ලෙසද කටයුතු කරනවා. ඒ අනුව, රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මහ බැංකුව රජයට ණය දෙනවා. දැන්නම් පළමුවැන්න සිදුවන්නේ ඉතා අඩුවෙන්. බොහෝ විට සිදු වන්නේ දෙවැන්නයි. මෙහිදී රජයට දෙන ණය ලෙස හැඳින්වූයේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම පමණක් නෙමෙයි. මහ බැංකුව විසින් රජයට එසේ නැතිවත් ණය දෙනවා. මහ බැංකුව විසින් කවර ආකාරයකින් රජයට ණය දුන්නත් එයින් මුදල් සැපයුම ඉහළ යනවා. 

පසුගිය ජූලි 28 දින වන විට රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල වටිනාකම රුපියල් බිලියන 8,216ක්. එයින් රුපියල් බිලියන 1,136ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල හිමිකරු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මෙය පෙර නොවූ විරූ මට්ටමක් වුවත්, ඒ වගේම යම් තරමක සල්ලි අච්චු ගැසීමක්ද සිදුව තිබුණත්, මෙය බොහෝ දුරට මහ බැංකුව සතු වූ විදේශ සංචිත විකිණීමේ අතුරු ප්‍රතිඵලයක් මිසක් සල්ලි අච්චු ගැසීමක් නෙමෙයි. 

වෙබ් ලිපිනය: