Sunday, October 29, 2017

උතුර දකුණ මාරු වුනොත්...


මේ දවස් වල අපේ දේශගුණය ඉතා සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. ඊයේ රාත්‍රියේ උෂ්ණත්වය බිංදුවෙන් පහළට ගොස් ඇති බව පෙනේ. උණුසුම් කාලය පුරා සරුවට වැවී තිබුණු නිවිති, කන්කුන් පඳුරු, වට්ටක්කා වැල් හා තක්කාලි ගස් ආදිය එක රැයින් මැලවී ගොස් තිබේ. ස්ප්‍රින් අනියන්, බොක් චෝයි වැනි ඇතැම් එළවළු වර්ග වලට පමණක් මේ සෘණ උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නට පුළුවන. වසරේ අඩක් පෘථිවියේ උතුරු අර්ධ ගෝලයට වැඩියෙන් සැලකූ ඉර දැන් වැඩියෙන් සලකන්නේ දකුණු අර්ධ ගෝලයේ ජීවත් වන අයට වුවත් උතුර දකුණනම් මාරු නොවී එසේම පවතී.

අපට උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර වැනි දිශා ගැන කතා කළ හැකි වුවත් ඒ පොළොව මත කිසියම් ස්ථානයකට සාපේක්ෂව මිස නිරපේක්ෂ ලෙස නොවේ. කිසියම් තැනක සිට බටහිරින් ඇති තැනක් පසුකර තවත් බටහිරට ගිය විට කලින් බටහිරින් තිබුණු තැන තිබෙන්නේ නැගෙනහිරින් මිස තව දුරටත් බටහිර දිශාවේම නොවේ. කෙසේ වුවත්, මෙය මෙසේ නොවන තැන් දෙකක් පෘථිවිය මත තිබේ. ඒ උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවයයි.

උත්තර ධ්‍රැවයට උතුරෙන් පොළොව මත වෙනත් තැන් නැත. එමෙන්ම, උත්තර ධ්‍රැවයේදී බටහිර හා නැගෙනහිර සමපාත වන නිසා එහි සිට බටහිරට හෝ නැගෙනහිරට යාමටද නොහැකිය. පොළොවේ සියලු තැන් තියෙන්නේ උත්තර ධ්‍රැවයට දකුණෙනි. මේ අයුරින්ම පොළොව මත පිහිටි සියලු තැන් තිබෙන්නේ දක්ෂිණ ධ්‍රැවයට උතුරෙනි. බටහිර හා නැගෙනහිර දිශා හා අදාළව මෙවැනි සුවිශේෂී තැන් නැත.

බටහිර හා නැගෙනහිර දිශා අතර කිසිදු සුවිශේෂී තැනක් නැති නිසා උතුරේ සිට දකුණට අඳින මධ්‍ය රේඛාවක් පොළොවේ ඕනෑම තැනක් හරහා ඇඳිය හැකිය. පැරණි වෛදිකයන් මේ ඉර ඇන්දේ ලංකාව හා උදේනි නුවර එම ඉර මත පිහිටන අයුරිනි. දැන් අපි බොහෝ විට මේ ඉර අඳින්නට පුරුදු වී සිටින්නේ එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා යන පරිදිය. මෙය ලෝක දේශපාලනය මත මිස භෞතික කරුණක් මත තීරණය වූවක් නොවේ.



ගෝලාකාර පෘථිවියේ ද්විමාන සිතියමක් අඳින විට එහි මධ්‍යය හරහා යන සිරස් රේඛාව ලෙස ඕනෑම තැනක් තෝරාගත හැකි වුවත්, මධ්‍යය හරහා යන තිරස් රේඛාව එසේ පහසුවෙන් වෙනස් කළ නොහැකිය. එවැන්නක් කරන්නේනම් උතුර හා දකුණ යන සංකල්පද, ඒ නිසාම අනෙකුත් දිශාවන් අර්ථ දක්වන ආකාරයද වෙනස් කරන්නට සිදු වේ. කෙසේ වුවත්, දැන් අප කරනවාක් මෙන් මේ නිශ්චිත තිරස් ඉරට උඩින් උතුර ලකුණු කිරීම අවශ්‍යම කරුණක් නොවේ. උතුර පහළින් හා දකුණ ඉහළින් තිබෙන පරිදි වුවද ලෝක සිතියමක් ඇඳිය හැකි අතර එහි කිසිදු වරදක් නැත.

එසේනම්, ලෝක සිතියමේ හෝ වෙනත් සිතියමක ඉහළින් උතුර තිබෙන්නේත්, පහළින් දකුණ තිබෙන්නත් ඇයි? මෙයට සරල හේතුව වන්නේ වත්මන් ලෝක සිතියම ප්‍රචලිත කළේ යුරෝපීයයන් වීමයි. ඔවුන්ට ලෝක සිතියමෙහි තමන්ගේ රටවල් ඉහළින් මිස පහළින් ලකුණු කරන්නට අවශ්‍ය වූයේ නැත. මෙයින් වෙනස්ව පැරණි අරාබි හා චීන සිතියම් වල දකුණ ඉහළින් ලකුණු කර තිබේ.

වත්මන් ලෝක සිතියම අමතක කළත් පැරණි ඉන්දියානුවන්ගේ ලෝකයේද උතුර තිබුණේ දකුණට ඉහළිනි. එයට හේතුවද පෙර හේතුවමය. ඉන්දියානුවන්ගේ ලෝකයේ උතුරෙන් සිටියෝ සුදු ලස්සන ආර්යයෝය. දකුණේ සිටියෝ කළු කැත අනාර්යයයෝය. සුරයන්ට උතුර අයිති වූ අතර දකුණ අයිති වූයේ අසුරයන්ටය.

අපට අවශ්‍යනම් ලෝක සිතියමක් හෝ වෙනත් සිතියමක් උතුර පහළට සිටින සේ සකස් කරන්නට පුළුවන. එතරම් ප්‍රචලිත නැතත් එසේ සකස් කළ සිතියම් තිබේ. කෙසේ වුවද, සිතියමක් එසේ වෙනස් කළ පමණින් උතුර දකුණ මාරු නොවේ. දේශාංශ රේඛා හමුවන තැන් දෙකෙන් එකක් උත්තර ධ්‍රැවය ලෙසත් අනෙක දක්ෂිණ ධ්‍රැවය ලෙසත් නම් කර ඇත්තේ සම්මතයෙන් නිසා භෞතික කරුණු මත මේ උතුර හා දකුණ වෙනස් වන්නේ නැත.

ඉහත උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය මෙන් නොව චුම්භක උතුර හා දකුණ භෞතික සංසිද්ධියක් මත, එනම් පොළොවේ චුම්භක ක්ෂේත්‍රයේ හැසිරීම මත, තීරණය වන්නකි. මේ චුම්භක උතුරද කලින් කලට වෙනස් වන නමුත් එය මාලිමාවක් මඟින් නිරීක්ෂණය කළ හැකි දෙයකි. චුම්භක උතුර යනු දේශාංශ රේඛා හමුවන මනඃකල්පිත උත්තර ධ්‍රැවයම නොවූවත්, ඒ ආසන්නයේ ඇති තැනකි. ඒ නිසා, නාවික ගමනාගමනයේදී උතුර හොයා ගන්නට එයින් පිටිවහලක් ලැබේ. 

මාලිමාවක කටු කැරකෙන්නේ ඕස්ට්‍රේලියාව වැනි රටවල් තිබෙන පැත්තෙන් විරුද්ධ පැත්තටය. කැනඩාව වැනි රටවල් තිබෙන පැත්තටය. චුම්භක උතුරේ පිහිටීම වෙනස් වුවත් උතුර දකුණ මාරු වීම අපට අත්දැකීමක් නැති දෙයකි.

මිනිසුන් පමණක් නොව බොහෝ සතුන් පවා පොළොවේ චුම්භක ක්ෂේත්‍රයට සංවේදීය. බල්ලෙක් මුත්‍රා කරන්නේද පොළොවේ චුම්භක ක්ෂේත්‍රය ගැන සොයා බැලීමෙන් පසුවය. හදිසියේම මේ චුම්භක ක්ෂේත්‍රයේ උතුර හා දකුණ මාරු වුනොත් වෙන්නේ කුමක්ද?

මෙය විකාර කතාවක් නොවේ. පෘථිවිය බිහි වූ දින සිට විශාල වාර ගණනක් පොළොවේ චුම්භක ක්ෂේත්‍රයේ උතුර හා දකුණ මාරු වී තිබේ. මේ උතුර දකුණ මාරු වීම බොහෝ දුරට අහඹු ලෙස සැලකිය හැකි කාලාන්තර වලින් සිදුවන අතර එහි රටාවක් හඳුනා ගැනීම අපහසුය. උතුර දකුණ දකුණ මාරුවීම් දෙකක් අතර කාලය වසර මිලියනයක් තරම් දිගු වීමට මෙන්ම වසරක් හෝ වසර කිහිපයක් වැනි කෙටි කාලයක් වුවද විය හැකිය. උතුර දකුණ මාරුවීම් දෙකක් අතර සාමාන්‍ය කාලය වසර ලක්ෂ දෙක තුනක් පමණ වේ.



අවසන් වරට පෘථිවියේ උතුර දකුණ මාරු වී තිබෙන්නේ වසර ලක්ෂ අටකට පමණ පෙරය. මේ අනුව, මේ වන විට සාමාන්‍යයෙන් උතුර දකුණ මාරුවීමට ගත වන කාලය මෙන් දෙගුණයකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබේ. මෙය අසාමාන්‍ය දිගු කාලයකි. ඇතැම් අය සැක පහළ කරන්නේ මීළඟ උතුරු දකුණු මාරුව නුදුරේදීම සිදුවීමට ඉඩ ඇති බවයි. එසේ සිදු වුවහොත්, මාලිමා කටුවක් හැරෙනු ඇත්තේ දැන් මෙන් කැනඩාව හා යුරෝපය පැත්තට නොව ඕස්ට්‍රේලියාව පැත්තටය.

හදිසියේ උතුර දකුණ මාරු වුවහොත් එයින් ලෝකයට සිදුවන බලපෑම කෙබඳු වේද? පොසිල අධ්‍යයන මඟින් පෙනෙන්නේ මීට පෙර මෙය සිදු වූ අවස්ථා වලදීනම් කිසිදු විනාශයක් හෝ අමුතු දෙයක් සිදු වී නැති බවයි.

Saturday, October 28, 2017

උතුරේ ප්‍රශ්නය හා සැන්ට ක්ලෝස්


උතුරේ ප්‍රශ්නය කියා එකක් ඇතැයි සිතන ඇතැම් අය ඒ ප්‍රශ්නය විග්‍රහ කරන්නටත්, ප්‍රශ්නයට විසඳුම් සොයන්නටත් උත්සාහ කරති. උතුරේ ප්‍රශ්නය කියා එකක් තිබේනම් එයට හේතුව උතුර කියා එකක් තිබීමයි. එහෙම කිවුවත්, උතුර කියා එකක් නොතිබුණානම් ඒ නොතිබීමම ප්‍රශ්නයක් වෙන්නටද ඉඩ තිබුණේය. උතුර කියා නිශ්චිත දෙයක් තිබෙනවාද? එසේනම් ඒ කුමක්ද?

පැරණි ඉන්දියානුවන් (වෛදිකයින්) දැන සිටි ලෝකයේ හරි මැද ලෙස සැලකුණේ ලංකාවයි. සූර්ය සිද්ධාන්තයට අනුව, ඒ ලෝකයේ ලංකාවට උතුරෙන් රෝහිතක, උජ්ජයිනී (උදේනි) හා කුරුක්ෂේත්‍ර යන නගර පිහිටා තිබුනේ හරියටම පොළොවේ මධ්‍ය රේඛාව මතය. මෙසේ මධ්‍ය රේඛාව ලෙස හැඳින්වුණේ ලංකාව හා උත්තර ධ්‍රැවය යා කරන මනඃකල්පිත රේඛාවයි. උත්තර ධ්‍රැවය ලෙස සැලකුණේ පෘථිවියේ වඩාත්ම උතුරෙන් පිහිටි ස්ථානයයි.

නත්තල් සීයා හෙවත් සැන්ට ක්ලෝස් ජීවත් වන්නේද මේ උත්තර ධ්‍රැවයේය. එහි ඔහුගේ නිවස මෙන්ම නත්තල් දවසේ ලොව පුරා මිලියන ගණනක් දරුවන්ට එක රැයින් තෑගි ලෙස බෙදීම සඳහා සෙල්ලම් බඩු නිපදවන කර්මාන්තශාලාවද පිහිටා තිබේ.

උතුරු ඇමරිකාවේ වයස අවුරුදු පහක හයක දරුවෙකුගෙන් ඇසුවොත් ඉහත කතාව බොරුවක් නොවන බව ඔබට සහතික කර කියනු ඇත. රුඩොල්ෆ් නම් රත් නැහැ පිණි මුවා ඇතුළු පිණි මුවන් විසින් එළවන රථයෙන් පැමිණ කුස්සියේ දුම් කවුළුවෙන් බැස නත්තල් දා රැයේ හොරෙන්ම තෑගි බෙදා යන සැන්ට ක්ලෝස් මෙන්ම වැටෙන කිරිදත් වෙනුවෙන් මුදල් ගෙවන ටූත් ෆෙයරිද ඔවුන්ගේ ප්‍රත්‍යක්ෂ්‍ය දැනුමකි.

මේ දරුවෝ බොහෝ දෙනෙකු නත්තලට මාසයකට පමණ පෙර සිට තමන් කැමති තෑගි ගැන සඳහන් කර සැන්ටාට ලිපියක් යවන්නට අමතක කරන්නේ නැත. මේ ලිපි දැමීම සඳහා අපේ සිටි කවුන්සිලයේ විශේෂ තැපැල් පෙට්ටියක් තිබේ. ලිපි සියල්ල එකතු කර උත්තර ධ්‍රැවයේ සිටින සැන්ටා වෙත යවන්නට සිටි කවුන්සිලය කටයුතු කරන අතර ඔවුන් මේ කටයුත්ත නිසි පරිදි කරන බවට කිසිදු සැකයක් නැත්තේ ලිපියට සැන්ටාගෙන් පිළිතුරක් තැපෑලෙන් ලැබෙන බැවිනි.

ළමයින් ඉල්ලා සිටින තෑගි එලෙසම ලැබෙනු ඇති බවට මේ පිළිතුරු ලිපිය මඟින් සැන්ටා විසින් බොහෝ විට දැනුම් දීමක් කරයි. සිය උදවුකරුවන් වන එල්ෆ්ලා කෙසේ වුවත් සැන්ටාගේ නියෝජිතයින් වන ළමයින්ගේ දෙමවුපියන් හරහා සැන්ටා මේ කටයුත්ත කර ගනී. දැන් මා ජීවත් වන නගරය මුළුමනින්ම වාගේ ඉහළ ආදායම් උපයන්නන් ජීවත්වන නගරයක් නිසා සැන්ටාට මේ තෑගි බෙදාදීමේ කටයුත්ත එතරම් අපහසුවකින් තොරව ක්‍රියාත්මක කළ හැකිය.

මීට පෙර මා කලක් ජීවත් වූ, උත්තර ධ්‍රැවයට වඩා ආසන්නව තිබුණු නගරයක මේ කටයුත්ත සිදු වුනේ හරියටම මේ පිළිවෙළටම නොවේ. ඒ නගරයේ සිටි ළමයින්ට සැන්ටා ගෙදරටම තෑගි බෙදුවේ නැති අතර ලියුම විශේෂිත තැපැල් පෙට්ටියට දමා ටික දවසකින් සැන්ටාගෙන් ලැබුණු පිළිතුරු ලිපියේ සඳහන්ව තිබුණු තැනට එහි සඳහන් දිනයට හා වෙලාවට ගොස් සැන්ටාගේ අතින්ම මේ තෑගි ලබාගත යුතු විය. නත්තලට පෙර නගරයේ සුපිරි වෙළඳසැල්, පුස්තකාල, තැපැල් කාර්යාල හා පෞද්ගලික ආයතන ආදියේ වූ නත්තල් ගස් වල එක් එක් දරුවාට අවශ්‍ය තෑග්ග (දරුවාගේ තොරතුරු රහිතව) සඳහන් ටැග් එල්ලා තිබුණු අතර අවශ්‍ය අයෙකුට මේ ටැග් එකක් හෝ වැඩි ගණනක් කඩාගෙන අදාළ තෑග්ග හෝ තෑගිද සමඟ ආපසු භාර දිය හැකි වූ අතර බොහෝ විට නත්තලට සතියකට හෝ දෙකකට පෙර නත්තල් ගස් වල වූ ටැග් අවසන් විය. ඒ නිසා, අඩු ආදායම්ලාභී පවුලක දරුවෙක්ට වුවද තමන් සැන්ටාගෙන් ඉල්ලා සිටි තෑගි නොලැබී ගියේ නැත.


සැන්ටාට ලියන ලිපි විශාල ප්‍රමාණයක් සෑම වසරකම නත්තලට පෙර මෙවැනි විශේෂිත තැපැල් පෙට්ටි වලට අමතරව සාමාන්‍ය තැපැල් පෙට්ටි වලටද වැටේ. ඇමරිකාවේ තැපැල් පෙට්ටි වලට එසේ වැටෙන "නෝර්ත් පෝල්" ලෙස ලිපිනය ලියූ ලිපි විශාල ප්‍රමාණයක් ඇත්තටම "නෝර්ත් පෝල්" තැපැල් කන්තෝරුව දක්වාම යයි. මේ "නෝර්ත් පෝල්" තැපැල් කන්තෝරුව තිබෙන්නේ ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ පිහිටි "නෝර්ත් පෝල්" නගරයේය. මෙහි තැපැල් කේතය 99705යි. ඇලස්කා ප්‍රාන්තයේ මැද හරියේ පිහිටි "නෝර්ත් පෝල්" නගරයේ සැන්ට ක්ලෝස්ගේ නිවසද පිහිටා තිබේ.


"මටයි කියල ඉඩම් අඟලක්වත් නෑ!"

සමහර අය මෙසේ මැසිවිලි කියනු මා අසා තිබේ. තමන්ගේ නිජබිමේ ඉඩම් අඟලක්වත් නැති එහෙම අයට කැමතිනම් ඩොලර් 9.95ක මුදලකට ඇමරිකාවේ නෝර්ත් පෝල් නගරයෙන් ඉඩම් අඟලක් මිලදී ගන්නට පුළුවන්කම තිබේ. ඇමරිකාවෙන් පිටත රටකට ඔප්පුව තැපැල් කර යැවීම සඳහා තවත් ඩොලරයක් අය කෙරේ.

කෙසේ වුවද, බොහෝ දෙනෙක් "නෝර්ත් පෝල්" ලෙස හඳුනාගන්නේ උඩින් කී ඇමරිකානු නගරය නොවේ. දේශාංශ රේඛා ලෙස හඳුන්වන මනඃකල්පිත රේඛා හමුවන මනඃකල්පිත ස්ථාන දෙකෙන් එක් තැනකි. අනිත් තැන සවුත් පෝල් හෙවත් දක්ෂිණ ධ්‍රැවයයි.


දේශාංශ රේඛා හමුවන මනඃකල්පිත උත්තර ධ්‍රැවයේ අයිතිය මතභේදාත්මක එකකි. කැනඩාව, රුසියාව හා ඩෙන්මාර්කය වැනි මෙම ස්ථානයට ආසන්නව පිහිටි රටවල් කිහිපයක්ම උත්තර ධ්‍රැවයට අයිතිය කියයි. විශේෂයෙන්ම උත්තර ධ්‍රැවය ආශ්‍රිතව ඇති ඛනිජ සම්පත් හේතුවෙන් පසුගිය දශකය පුරා මේ මතභේදය වඩාත් තීව්‍ර වෙමින් පවතී.

මෙහි ප්‍රතිඵලයක් ලෙස කැනඩාව විසින් වසර කිහිපයකට පෙර සැන්ට ක්ලෝස් කැනේඩියානු පුරවැසියෙකු බව නිල වශයෙන්ම දැනුම් දුන් අතර පසුව සැන්ට ක්ලෝස්ට හා ඔහුගේ බිරිඳට ලොව වටා ළමුන්ට තෑගි බෙදා ඔහුගේ නිවස පිහිටි කැනඩාවට (උත්තර ධ්‍රැවයට) නැවත පැමිණීමේදී ප්‍රශ්නයක් නොවීම සහතික කරන්නට කැනේඩියානු ගමන් බලපත්‍රද නිකුත් කළේය. කැනේඩියන් ගමන් බලපත්‍රලාභීන්ට ඇමරිකාවට පැමිණෙන්නට වීසා අවශ්‍ය නොවන නිසා ඇමරිකාවේ ළමුන්ට මෙයින් ප්‍රශ්නයක් වී නැත. ඊට අමතරව සැන්ටාට ලියුම් යවා පිළිතුරු ලබාගන්නට කැමති අයට එසේ ලිපි යැවිය හැකි නිල ලිපිනයක්ද කැනඩාවේ තිබේ. කැනඩාව තුළ මේ ලිපි යවන්නට මුද්දර ගාස්තුද අවශ්‍ය නැත.

ඇමරිකාවේ පිහිටි පළමු උත්තර ධ්‍රැවයට මෙන් නොව, මේ දෙවන උත්තර ධ්‍රැවයට කැනඩාව ඇතුළු රටවල් කිහිපයක්ම අයිතිය කිවුවත් එය තහවුරු කර ගැනීම අපහසු කාර්යයයක් වන්නේ මේ ස්ථානය ස්ථිර බිම්කඩක පිහිටා නැති නිසාද බැවිනි. දක්ෂිණ ධ්‍රැවය පිහිටි ස්ථානය මෙන් නොව, උත්තර ධ්‍රැවය පිහිටි ස්ථානය පිහිටා ඇත්තේ පාවෙන අයිස් ස්ථරයක් මත නිසා යම් මොහොතක එහි කොඩියක් වැනි දෙයක් සිටුවා සලකුණු කළත් නැවත එහි එන විට කොඩිය තිබෙන තැන මුල් තැනම නොවේ.

ඉහත කී උත්තර ධ්‍රැව දෙකට අමතරව තෙවන උත්තර ධ්‍රැවයක්ද තිබේ. මේ සියවස් ගණනක් තිස්සේ නාවිකයින් විසින් ප්‍රයෝජනයට ගත්, ඉතා මෑතකදී ජීපීඑස් තාක්ෂනය ව්‍යාප්ත වන තුරුම ලොව පුරා බොහෝ දෙනෙකුට මඟ සොයා ගැනීමට උපකාර කළ මාලිමා යන්ත්‍ර වලින් පෙන්වන චුම්භක උතුරයි. චුම්භක උතුරද දිනපතාම වෙනස් වන දෙයක් මිස පොළොවේ පිහිටි නිශ්චිත ස්ථානයක් නොවේ.

උතුර කියන්නේම මේ තරම් අවිනිශ්චිත දෙයක් නිසා උතුරේ ප්‍රශ්නය ගැන උතුර දකුණ මාරු වන තුරු කල්පනා කරන්නට අවශ්‍ය නැත. උතුර දකුණ මාරුවීම ගැන අපි පසුව වෙනත් ලිපියකින් කතා කරමු.

Tuesday, October 24, 2017

විද්‍යා ගැන දන්නා ඔබ හරිශ්නවී ගැන නොදන්නේද?


සිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය ගැන මාධ්‍ය වල ඕනෑ තරම් කතා වී ඇති නිසා ඒ ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. මෙය ඉතා කණගාටුදායක සිද්ධියකි. විද්‍යා ඝාතකයන්ට මේ වන විට මරණ දඬුවම නියම කර තිබේ.

පසුගිය සෙනසුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විද්‍යා දැරියගේ නිවසට ගොස් ඇගේ ඥාතීන් හමුවී ඇති බවත්, ඇගේ "වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බවට" පොරොන්දු වී ඇති බවත් වාර්තා වී තිබුණේය. මේ ජනාධිපතිවරයා විද්‍යා දැරියගේ පවුලේ අයව හමුවුණු පළමු අවස්ථාව නොවේ. මීට දෙවසරකට පෙර සිද්ධිය වූ අලුතමද ඔහු උතුරේ ආණ්ඩුකාර නිල නිවසේදී ඒ අයව හමු වී තිබුණේය.

ජනාධිපතිවරයා විද්‍යා දැරියගේ ඥාතීන් හමුවීම වාර්තා කර තිබුණු ගොසිප්ලංකා වෙබ් අඩවියේ එම පුවත පළවීමෙන් පසුව පළව තිබුණු ප්‍රතිචාර කිහිපයක් පහත දැක්වේ.

සියාතු මාමා:

"සේයා සදෙව්මි වගේ දකුණේ මේවගේ අපරාධ වලට ලක්වුන ලමයින්වත් බලන්න ගිහින් උන්ගේ ගෙවල්වලටත් සලකන්න පොරොන්දු වුනාද හිටං? 

අඩුම තරමේ තමන්ගේ මලයගේ මල ගෙදරවත්...? 

දෙමළ පත්තර, කැළෑ පත්තරවල හරි කමක් නෑ ෆොටෝ එකක් වැටෙනවනම් කුජීතයා එතන!"

ponil:

"විද්‍යා දැරියගේ නිවසට ගොඩ වැදීම ගැන විවේචනය කරන්න තරම් අපි කුහක නෑ, ඒ වුනාට ඔය වගේම දකුණේ විපතට පත්වුවන්වත් බලන්න ගියානම් තමා හොඳ. විශේෂයෙන් කොළොන්නාවේ කුණු කන්ද කඩා වැටිලා පවුල් පිටින් මැරුණා, දකුණේ ගං වතුරෙන් සිය ගානක් මැරුණා ඒවා බලන්න නොගිය ඔබතුමා මේ කරන්නේ නම් දේශපාලන ගේමක් කියල දකුණේ අපිට නම් හොදින් වැටහෙනවා"

kon kala doni:

"දෙමළ ළමයෙක් නිසා උඩ දාගෙන දුවලා ගිහින් උදව් කරන්න පොරොන්දු වෙලා පොටෝ ගහලා රට පුරා ප්‍රසිද්ධ කරනවා. දකුණෙ ගෑණු ළමයි කී දෙනෙක් දූෂනය කරලා මරා දාලා තියෙනවද? ඒ එකම ගෙදරකට වත් මෙයා ගියාද? කුජීතයි අප්‍රසන්නයි මුගෙ හැම වැඩක්ම."

මේ ප්‍රතිචාර කියවන විට එකවරම ඒ ඇතැම් ප්‍රතිචාර වල ඇති ජාතිවාදී ස්වභාවය අවධානයට ලක් වෙන්නට පුළුවන. එහෙත්, ඊට යටින් පෙනෙන අනෙක් කරුණ "සියල්ලන්ම සමාන වුවත් ඇතැම් අය වඩා සමාන වන්නේ කෙසේද?" යන්නයි.

මේ ප්‍රශ්නය ලංකාවේ බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රශ්නයකි. ප්‍රශ්නයට සිංහල දෙමළ භේදයක් නැත. එහෙත් ප්‍රශ්නයේ පැත්තක දෙමළෙක් සිටින විට බොහෝ සිංහලයින් සිතන්නේ වෙනසට හේතුව එය බවයි. බොහෝ දෙමළුන් සිතන්නේද මේ ආකාරයටමය. "උන්ගේ ළමයින්ට වැඩි සැලකිලි" වැනි සමාජ ආර්ථික තත්ත්වය මත වෙනස් ලෙස සැලකීම ගැන කණස්සල්ල පළ කෙරෙන කතා සිංහල සමාජය තුළ ඇහෙන්නේ මේ "වැඩි සැලකිල්ල" ලැබෙන්නේ සිංහලයෙක්ටම වූ විට පමණි. එසේ නැත්නම් වෙනසට හේතුව ලෙස හඳුනා ගැනෙන්නේ දෙමළෙකු වීමයි. දෙමළ සමාජය පැත්තෙන් ගත්තත් මේ තත්ත්වය මෙසේමය.

විද්‍යා දැරියගේ ඝාතනයෙන් අටමසකට පමණ පසුව සිදුවුණු ගංගාදරන් හරිශ්නවී දැරියගේ ඝාතනය හා අදාළව තමිල්වින් වෙබ් අඩවියේ අද පළ කර ඇති ලිපියකින් පෙනෙන පරිදි උඩින් ඇති මතුපිටින් බැලූ විට ජාතිවාදී ස්වරූපයක් ගන්නා (හා එවැනි ස්වරූපයක් ඇති) ප්‍රතිචාර වලින් මතු කරන අදහස දෙමළ සමාජයටද පොදු අදහසක් බවයි.

මේ වන විට සමාජජාලා හරහා මගේ දෙමළ මිතුරු මිතුරියන් අතර හුවමාරු වෙමින් තිබෙන බව පෙනෙන අදාළ ලිපියේ අසම්පූර්ණ දළ පරිවර්තනයක් පහත පළවේ. මා දෙමළ භාෂාවේ ප්‍රවීණයෙක් නොවන නිසා පරිවර්තනයේ අඩුපාඩු තිබිය හැකිය.

"විද්‍යා ගැන දන්නා ඔබ මැය ගැන නොදන්නේද? සියල්ලන්ටම අමතක වී ඇති කුරිරු ඝාතනයක්...

හරිශ්නවී කියන්නේ  වවුනියාව විපුලානන්ද විදුහලේ ඉගෙනුම ලැබූ 14 වියැති දැරියකි. "හරිශ්වනී? ඒ කවුද?" බොහෝ දෙනෙක් අසනු ඇත. ඇතැම් අයට ඇයව අමතකව ගොස් තිබේ. තවත් අය හරිශ්නවී ගැන දන්නේවත් නැත.

අපට දිනපතා බොහෝ දේ අහන්නට දකින්නට ලැබේ. එහෙත්, මේ හැම දෙයක්ම මතකයේ නොරැඳේ. හරිශ්නවී ඝාතනයද මෙසේ බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇති දෙයකි.

පසුගිය වසරේ ජනවාරි 16 දින [ඉකොනොමැට්ටා: නිවැරදි දිනය පෙබරවාරි 16 විය යුතුය] වවුනියාව උක්කුලන්කුලමේ හතරවන පියවරේ පිහිටි තමන්ගේ නිවසේ තනිව සිටි හරිශ්නවී මියගොස් සිටියේය. ඇය නිවසේ තනිව සිටියදී සේවයට ගිය [ඉකොනොමැට්ටා: විපුලානන්ද විදුහලේම ගුරුවරියක වූ] ඇගේ මව සේවය නිමකර නිවසට පැමිණි විට දකින්නට ලැබුණේ වහලයේ එල්ලී සිටි හරිශ්නවීගේ නිසල දේහයයි.

මේ මරණය සියදිවි නසාගැනීමක් මෙන් පෙනෙන්නට තිබුණත් පසුව පැහැදිලි වූ පරිදි ඇයව දූෂණය කර මරා දැමීමෙන් පසුව සියදිවි නසා ගැනීමක් මෙන් පෙනෙන්නට ඝාතකයින් විසින් මිනිය වහලයේ එල්ලා තිබුණේය. [ඉකොනොමැට්ටා: ඇගේ කලිසම මාරු කර ඇති බවත් එහි බොත්තම් හා සිපරය නිසි ලෙස වසා නැති බවත්, ඇගේ ජංගම දුරකථනය හා මුද්ද අතුරුදහන්ව ඇති බවත් නිරීක්ෂණය වීමෙන් පසු මවට සැක පහළ විය.] මේ සිසුවියගේ ඝාතනය සිදු වූ අළුත ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හා දේශපාලනඥයින්ගේ ප්‍රකාශ අඩුවක් නොතිබුණත් පුදුම සහගත ලෙස දැන් මේ සිදුවීම සියල්ලන්ටම අමතක වී තිබේ.

මේ පිළිබඳ මූලික විමර්ශන සිදු කිරීමෙන් පසුව අසල්වැසි නිවසක පදිංචිකරුවෙකු සැක පිට අත් අඩංගුවට ගැනුණේය. මේ වන විට විමර්ශන ඇරඹී මාස 21ක් ගත වී ඇතත් සිදුවූ දෙයක් පෙනෙන්නට නැත. [ඉකොනොමැට්ටා: මෙහි සැබෑ තත්ත්වය කුමක්දැයි මා ස්ථිරව දන්නේ නැත.]

මේ මිනීමැරුම යාපනයේදී සිදුවුණු මිනීමැරුමකට බොහෝ සමානය. ඒ මිනීමැරුම සිදුවුණේ හරිශ්නවී ඝාතනයට අටමසකට පමණ පෙරය. 2015 මැයි මාසයේදී පුන්කුඩුතිව් සිසුවියක් කුරිරු ලෙස ඝාතනය විය.

මේ සිදුවීම් දෙකෙන් අනතුරුව කටයුතු සිදු වූ ආකාර කෙතරම් වෙනස්ද යන්න ඉතා පැහැදිලිය. විද්‍යා ඝාතනය සිදුවීමේදී මුල සිට අග දක්වා සිදු වුණේ කුමක්ද? ලබාදුන් තීන්දුව කුමක්ද? එහි මහමොළකරුවෝ කවුද?  මේවා නොදන්නා කෙනෙක් නැත. නමුත්, හරිශ්නවී ඝාතන සිද්ධියේ විමර්ශන වල ප්‍රගතිය ගැන දන්නා අය කොපමණ සිටීද? මේ සිද්ධිය ගැන විමර්ශනද කඩිනමින් අවසන් වී ඉක්මණින් තීන්දුවක් ලැබෙනවා දකින්නට අපි කැමැත්තෙමු. මේ කුඩා දැරිය සියල්ලන්ටම අමතකව ඇති බව පෙනීම කණගාටුවට කරුණකි.

මේ හා අදාළව මුලදී පෙනෙන්නට තිබුණු උනන්දුව දැන් නැත. එහෙත්, වින්දිතයින්ට සාධාරණය ඉටු කරගැනීම සඳහා ජීවිත කාලයක් බලා සිටිය නොහැකිය.

මේ විමර්ශන වල වත්මන් තත්ත්වය ගැන අපි විමසීමක් කළෙමු. මේ ලිපිය ලියන්නට අප පෙළඹුණේ විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව අපට සෑහීමකට පත් විය නොහැකි බැවිනි. දෙමසකට පෙර මේ නඩුව උසාවියේදී විභාගයට ගැනුණු අතර උසාවියේ නිගමනය වූයේ සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. විමර්ශන මෙහෙයවන පොලිස් නිලධාරීන්ගෙන් විමසූ විට ප්‍රකාශ කර සිටින්නේ අත් අඩංගුවේ සිටින සැකකරු ඝාතකයා වීමට 99%ක්ම ඉඩ ඇති බව පෙනෙන නමුත් එය තහවුරු කළ හැකි තරමේ සාක්ෂි නොමැති බවයි. සාක්ෂි එකතු කර චෝදනා ගොනු කිරීමට තවත් මාස හතරක් පමණ ගත විය හැකි බවද පැවසුනේය.

ලංකාවේ අධිකරණ අමාත්‍ය ධුරය දරන්නේ කාන්තාවකි. ඇයට මවකගේ දුක නොතේරේද? මාධ්‍ය වලින් පෙනෙන පරිදිනම් ජනාධිපතිවරයා දරුවන් ගැන ලොකු සැලකිල්ලක් දක්වන අයෙකි."

ගොසිප්ලංකා වෙබ් අඩවියේ පාඨක ප්‍රතිචාර වල ඇති ජාතිවාදී මුහුණුවර පැත්තකින් තිබ්බොත් ඒවායේ මූලික අදහස ඉහත තමිල්වින් වෙබ් අඩවියේ පළව ඇති ලිපියේ මූලික අදහසට සමානය. එයින් කියවෙන්නේ "යාපනයට කිරි වවුනියාවට කැකිරි" යන අදහසයි.

ඇතැම් විට හරිශ්නවී ඝාතන විමර්ශන සාමාන්‍යයෙන් එවැනි කටයුතු සිදුවන වේගයෙන් සිදුවනවා විය හැකිය. මෙවැනි වරදකට චෝදනා ගොනු කිරීම පහසු කටයුත්තක් නොවේ. කෙසේ වුවද, මේ ලිපියෙන්ද පැහැදිලි වන පරිදි ලංකාවේ අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව රටේ බොහෝ දෙනෙකු සෑහීමකට පත්ව නොසිටිති.

බොහෝ දෙනෙකු එසේ සෑහීමකට පත්ව නොසිටීමට සාධාරණ හේතු තිබේ. ලංකාවේ අධිකරණ පද්ධතියද වෙනත් බොහෝ අංශ මෙන්ම කාර්යක්ෂම නැත. පසුගිය කාලයේදී මෙහි කිසියම් ප්‍රගතියක් සිදුවී ඇතත් රටේ බොහෝ දෙනෙකුට එය ඇඟට දැනී නැත.

විද්‍යා ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන වලට හෝ හරිශ්නවී ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන වලට රටේ රාජ්‍ය නායකයා මැදිහත් විය යුතු නැත. අධිකරණ ඇමතිවරයා මැදිහත් විය යුතුද නැත. මේවා බරපතල ගණයේ අපරාධ බවට විවාදයක් නැතත් රටක රාජ්‍ය නායකයෙකු මැදිහත් වීම කිසිසේත්ම අවශ්‍ය නොවන සිල්ලර සිදුවීම්ය. එහෙත්, මේ ආකාරයේ සිල්ලර සිදුවීම් වලට පවා රටේ රාජ්‍ය නායකයා මැදිහත් විය යුතු බව සිතන බොහෝ දෙනෙක් ලංකාවේ සිටිති.

එක අතකින් එසේ සිතීමේ වරදක්ද නැත. ලංකාවේ ජනාධිපතිවරුන් විසින් සිල්ලර සිදුවීම් වලට මැදිහත් වෙමින් කාලයක් තිස්සේ පූර්වාදර්ශ දී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙය ලොකුවටම කළ අයෙකි. ඊට පෙර ජනාධිපති ප්‍රේමදාසගේ දින චර්යාවේද මෙවැනි සිල්ලර සිදුවීම් වලට මැදිහත් වීම ප්‍රධාන කටයුත්තක් විය. වත්මන් ජනාධිපති වරයාද මේ පුරුද්දෙන් බැහැර වී නැත.

රාජ්‍ය නායකයෙකු රටේ සිල්ලර සිදුවීම් වලට මැදිහත් වීම තනිකරම සෝබන වැඩක් පමණි. විසි එක් වන සියවසේ රාජ්‍ය නායකයෙකු වෙස් වලාගෙන රෑ කාලයේ ගෙවල් වලට රිංගා ජනතාවගේ ප්‍රශ්න හොයාගත්තේයැයි කියන රජෙක් මෙන් හැසිරිය යුතු නැත. රටේ අධිකරණ පද්ධතිය අකාර්යක්ෂමනම් රාජ්‍ය නායකයෙකු විසින් කළ යුත්තේ එය කාර්යක්ෂම කිරීමට පියවර ගැනීම මිස තෝරාගත් හුදෙකලා සිදුවීම් වෙත අවධානය යොමු කිරීම නොවේ.

විද්‍යා ඝාතන සිද්ධිය වැනි සිද්ධියක විමර්ශන කඩිනම් කිරීමට හෝ ආර්ථික අර්බුද වලින් පෙළෙන කිසියම් කලාකරුවෙකුට නිවසක් ලබා දෙන්නට රටක රාජ්‍ය නායකයෙකු මැදිහත් වන විට මතුපිටින් පෙනෙන්නේ මේ කටයුත්ත අගතියට පත් පාර්ශ්වයකට සාධාරණය ඉටු කිරීමක් ලෙසිනි. එහෙත්, එහිදී ඇත්තටම වෙන්නේ එහි අනිත් පැත්තයි. මේ බොහෝ අවස්ථා වල සමාන තත්ත්වයන්ට මුහුණ දෙන තවත් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවේ.

තෝරාගත් එක් අයෙකුට "සාධාරණයක් ඉටු කරන" හැම විටකම සිදුවන්නේ ඇතැම් අයට "වඩා සමාන ලෙස" සැලකීමකි. මෙය විශාල පිරිසකට පෙනෙන්නේ "එයාට විතරක් කිරි අපිට කැකිරි" ආකාරයෙනි. සැලකිල්ල ලබන්නේ දෙමළෙක් වූ විට සිංහලයන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව දෙමළ වීම බවයි. සැලකිල්ල ලබන්නේ සිංහලයෙක් වූ විට දෙමළුන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව සිංහල වීම බවයි. සැලකිල්ල ලබන්නේ පිරිමියෙක් වූ විට ගැහැණුන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව පිරිමියෙක් වීම බවයි. සැලකිල්ල ලබන්නේ ගැහැණියක වූ විට පිරිමින්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව ගැහැණියක වීම බවයි.

අවශ්‍ය වන්නේ විශේෂ සැලකිලි නොවේ. කිසිවකුට විශේෂ සැලකිලි අපේක්ෂා කිරීමට අවශ්‍ය නොවන වාතාවරණයකි. ඒ නිසා හරිශ්නවීගේ පවුලේ අය ඇතුළු බොහෝ දෙනෙක් ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන හිතන ආකාරය ගැන අවධානය යොමු කරන්නට මිස හරිශ්නවීගේ ඥාතීන්ට පමණක් හැකි ඉක්මණින් සාධාරණය ඉටු කර ගැනීමේ අරමුණින් මා මේ ලිපිය කිසිවකුගේ විශේෂ අවධානයට යොමු කරන්නේ නැත.

Sunday, October 22, 2017

සිසුවිය ගැබ්ගෙන සිටියානම් පාසැල කළ දේ හරිද?


දරිද්‍රතාවය නිසා පාතරාසය නොගෙන පාසැල් පැමිණි දහවන වසරේ දැරියක් පාසැලේදී වමනය කිරීමෙන් පසුව ඇය ගැබිණියක වී ඇතැයි තීන්දු කර පාසැලෙන් අස්කර දැමීමේ පුවතක් ගැන මේ දිනවල සංවාදයක් ඇති වී තිබේ. පසුව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති පරිදි ඇය ගැබ්ගෙන හෝ අතවරයකට ලක්වී නැත. මේ ගැන පළකෙරෙන අදහස් වැඩි ප්‍රමාණයක සාරාංශය වන්නේ දරිද්‍රතාවය නිසා කුසට අහරක් නැතිව පාසැල් පැමිණි දැරියකට බොරු චෝදනාවක් කිරීමේ ඇති වැරැද්දයි.

මෙවැනි සිදුවීම් බොහෝ විට මාධ්‍ය වල වාර්තා වන්නේ අසම්පූර්ණ ලෙස නිසා මේ කතාවේ සැඟවුණු වෙනත් පැති තව ටික දවසකින් එළියට එන්නට පුළුවන. කෙසේ වුවද, මේ සිද්ධිය පසුපස සැඟවුණු වෙනත් කරුණු තිබේද යන්න වැනි දේ වාර්තා වී ඇති සිද්ධිය පාදක කරගෙන කරන සාකච්ඡාවකට බාධාවක් නොවේ.

වාර්තා වී ඇති කතාව අනුව මේ සිද්ධියට මුහුණ දී සිටින වයස අවුරුදු 16ක් පමණ වෙතැයි සිතිය හැකි දැරිය පැය කිහිපයක "නඩු විභාගයකින්" පසුව පාසැලෙන් අස්කර තිබෙන්නේ වැරදි චෝදනාවක් කරමිනි. මට තිබෙන ප්‍රශ්නය වන්නේ ඇය ඇත්තටම ගැබ්ගෙන සිටියානම් මේ අයුරින් පාසැලින් අස්කර දැමීම වැරැද්දක් නොවන්නේද යන්නයි.

ලංකාවේ බාල වයස්කාර දැරියන් විශාල ප්‍රමාණයක් ලිංගික අතවර වලට ලක්වන බව හා ඒ අයගෙන් කොටසක් අනවශ්‍ය ගැබ් ගැනීම් වලට බඳුන් වන බව රහසක් නොවේ. බොහෝ දැරියන් මේ අයුරින් අතවර වලට ලක් වන්නේ පවුලේම ඥාතියෙකු අතිනි. ඇතැම් අනවශ්‍ය ගැබ් ගැනීමක් එවැනි අතවරයක ප්‍රතිඵලයක් නොව, ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වන්නට පුළුවන. එය එවැන්නක් ලෙස සැලකුවද බාලවයස්කාර දැරියක් සමඟ කැමැත්තෙන් සංසර්ගයේ යෙදීම පවා සැලකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසිනි.

පාසැල් දැරියන් අනවශ්‍ය ගැබ්ගැනීම් වලට ලක්වීමට ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් නොලැබීමද එක් හේතුවකි. මේ හා අදාළව විෂය නිර්දේශ වල ඇති ඉතාම සීමිත කොටස් පවා බොහෝ විට පාසැල් වලින් සිසු සිසුවියන් වෙත නොලැබී යයි. කිසියම් අයුරකින් අතවරයකට ලක් වුවහොත් අනවශ්‍ය ගැබ් ගැනීමක් වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන මේ දැරිය වැනි දැරියන්ට ලොකු අවබෝධයක් නැත.

කිසියම් අයුරකින් බාලවයස්කාර දැරියක් ගැබ් ගෙන සිටින බව පාසැලේ ගුරුවරුන්ට හෝ විදුහල්පතිට දැනගන්නට ලැබුණු විට දැරිය පාසැලෙන් අස්කර දෙමවුපියන් ගෙන්වා ඔවුන්ට භාර දීම අධ්‍යාපන පරිපාලන චක්‍රලේඛ අනුව කළ හැකි දෙයක්ද කියා මා දන්නේ නැත. ඇතැම් විට එසේ හැකි වන්නට පුළුවන. නොවන්නටද පුළුවන. මේ දෙකෙන් කුමක් වුවත් මෙහි ලොකු වැරැද්දක් තිබෙන බවනම් ඉතාම පැහැදිලිය.

චක්‍රලේඛ වල තිබුණත් නොතිබුණත් මෙවැනි අවස්ථාවක සිදුවිය යුත්තේ සිද්ධිය දැන ගැනීමෙන් පසු පාසැල් බලධාරීන් විසින් වහාම අනෙකුත් අදාළ අංශ දැනුවත් කිරීම අනිවාර්යය වීමයි.

අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක්වුණු දැරියක යනු විශාල අර්බුදයකට මැදි වී සිටින අයෙකි. එවැනි තැනැත්තියක් සිටින්නේ කායික ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාරද ලැබිය යුතු තත්ත්වයකය. ඒ නිසා, මෙවැනි දෙයක් දැනගත් හෝ සැක කල හැකි අවස්ථාවක පාසැලෙන් පළමුව කළ යුත්තේ ඇයව අදාළ පරීක්ෂා හා ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි. එයට අමතරව මෙවැනි දැරියකට සිදුව ඇති අතවරයක් නීතිමය වරදක් වන නිසා ඒ ගැන විමර්ශනය කිරීමට සඳහාද අදාළ අංශ දැනුවත් කළ යුතුය.

මෙහිදී ඇයව දෙමවුපියන් වෙත භාර දීම, මේ සිද්ධියේදී නොවූවත්, නරියන්ට කුකුළන් භාර දීමක් වන්නට වුවද පුළුවන. යම් හෙයකින් දැරිය පවුලේ අයෙකු අතින් අතවරයට ලක්වී සිටියේනම් මෙසේ කිරීමෙන් වන්නේ සිද්ධිය යටපත් වීමයි.

කෙසේ වුවද, ලංකාවේ පාසැල් වල බොහෝ විට සිදුවන්නේ මේ සිද්ධියේදී මෙන් දැරිය පාසැලෙන් අස් කර වගකීමෙන් ගැලවීම විය හැකිය. සමාජජාලා වල මතය හා චක්‍රලේඛ වල ඇති දේවල් කවරක් වුවත් ගැබ්ගත් දැරියක් පාසැලේ දිගටම තබාගතහොත් බොහෝ විට සිදුවන්නට ඉඩ තිබෙන්නේ කුලියාපිටියේ සිදු වුනු දෙය වැනි දෙයකි. මේ අවස්ථාවේ ජනමතය පාසැලට එරෙහිව තිබෙන්නේ දැරිය සැබෑවටම ගැබ්ගෙන නොසිටි බැවිනි. ඇය සැබෑවටම ගැබ්ගෙන සිටියානම් මෙය "පුවතක්" හෝ නොවිය හැකිව තිබුණි.

Tuesday, October 17, 2017

සමන්තභද්‍ර හිමි දමනය වුනාද?


පිටිදූවේ සිරිධම්ම නොහොත් සමන්තභද්‍ර හිමි යනු පසුගිය වසර කිහිපය මුළුල්ලේම කලින් කලට පුවත් මැවූ අයෙකි. ඔහු ජනප්‍රිය වන්නට පටන් ගත්තේ සමන්තභද්‍ර වන්නට පෙර සිරිධම්ම කාලයේදීමය. එහෙත්, තමන් රහත් භාවයට පත්ව සිටින බව ප්‍රකාශ කිරීමෙන්  අනතුරුව මේ ජනප්‍රියත්වය විශාල ලෙස ඉහළ ගියේය. මේ කාලය තුළ සමන්තභද්‍ර හිමිගේ ප්‍රසිද්ධිය ඔහුගේ ජනප්‍රියත්වයටත් වඩා වේගයෙන් ඉහළ ගියේය.

සමන්තභද්‍ර හිමි රහත් වී සිටීද යන්න පෞද්ගලිකව මට කිසිසේත්ම වැදගත් කරුණක් නොවේ. එය මට පරීක්ෂා කර නිගමනය කළ හැකි දෙයක්ද නොවේ. වෙනත් අයෙකුට එසේ කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේද නැත. එසේ කිරීමේ හැකියාවක් ඇත්නම් ඒ හැකියාව හේතුවෙන්ම එසේ පරීක්ෂා කරන දෙය රහත් භාවය නොවන වෙනත් දෙයක් බවට පත් වේ.

සමන්තභද්‍ර හිමි යනු එක්තරා ආකාරයක කැරලිකරුවෙකි. ඔහු මේ කැරැල්ල ගැසුවේ ලංකාවේ සියවස් ගණනක් තිස්සේ ස්ථාපිත වී තිබුණු ආයතනික ව්‍යුහයකට විරුද්ධවය. මෙය සටනක් නොවී කැරැල්ලක් වන්නේ ඔහු සටන් කළේ මේ ආයතනික ව්‍යුහය ඇතුළේම සිට මිස එයින් පිටතට බැස නොවූ බැවිනි.

සමන්තභද්‍ර හිමිගේ කැරැල්ලේ පැත්තකට වී බලා සිටින්නට තරම් දෙයක් තිබුණේය.

පිටිදූවේ සිරිධම්ම හිමි යනු විද්‍යා උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව, දැනුම් තේරුම් ඇති තරුණ වයසේදී පැවිදි දිවියට ඇතුළු වූ අයෙකි. මේ වන විට මා පෞද්ගලිකව දැන සිටි ඉංජිනේරු උපාධිධාරීන්ද කිහිප දෙනෙක්ම පැවිදි දිවියට ඇතුලත්ව ජනප්‍රිය ධර්ම දේශකයන්ව සිටියත් දශක කිහිපයකට පෙර විද්‍යා උපාධිධාරියෙකු පැවිදි දිවියට ඇතුළත් වීම හෝ තරුණ වයසේ අය පැවිදි දිවියට ඇතුළු වීම සුලභ සිදුවීම් නොවීය.

මා කුඩා කාලයේ දැන සිටි බොහෝ බෞද්ධ භික්ෂූන් ඉතා කුඩා කාලයේදී පැවිදි දිවියට ඇතුළු වූ අයයි. එසේ නැත්නම්, ගිහි සැප විඳ මහළු වයසේ පැවිදි වූ අයයි. තරුණ වයසේ අයෙකු පැවිදි වීම සිදු වුණේ ඉතා කලාතුරකිනි. අපේ දහම් පාසැලේ භක්ති ගීත කණ්ඩායමට සංගීතය පුහුණු කළ ප්‍රසන්න අයියා (සැබෑ නම නොවේ) මෙසේ තරුණ වයසේදී පැවිදි වූ, එවකට මා දැන සිටි එකම පුද්ගලයාය. ඒ දින වල අසන්නට ලැබුණු පරිදි, ඔහු පැවිදි වීමට හේතු වුනේ පෙම් සබඳතාවක් බිඳ වැටීම නිසා ඇති වූ කලකිරීමයි.

ඒ කාලයේ, මේ අයුරින් කුඩා කාලයේදී පැවිදි වූ බොහෝ හිමිවරුන් උසස් අධ්‍යාපනය ලැබීමට සරසවියට ඇතුළු වුවත් ඒ කලා අංශයකින් මිස විද්‍යා අංශයෙන් නොවේ. එසේ ඇතුළු වූ අයගෙන් විශාල පිරිසක්ද උපාධිය හා රජයේ රැකියාවක් , බොහෝ විට ගුරු පත්වීමක්, ලබා ගැනීමෙන් අනතුරුව, ඇතැම් විට ඊටත් පෙරම, උපැවිදි වූහ. මෙයට ප්‍රධාන වශයෙන්ම ආර්ථික හා සමාජයීය කරුණු මුල් වන්නට ඇති බව කියන්නට බැරි නැතත් වැඩිදුර අධ්‍යාපනයට සමාන්තරව ලැබෙන "විද්‍යාත්මක අවබෝධය" හා පෙර පැවති ආගමික විශ්වාස අතර ගැටුමද මෙයට හේතුවක් වන බව  සිතිය හැකිය.

උපාධියක් ලබා ගැනීමෙන් පසුව, විශේෂයෙන්ම විද්‍යා උපාධියක් ලබාගැනීමෙන් පසුව තරුණයෙක් පැවිදි බිමට පිවිසීම දශක දෙක තුනකට පෙර දැන් තරම්වත් සාමාන්‍ය සිදුවීමක් වූයේ නැත. එවැනි පසුබිමක, විද්‍යා උපාධිධාරී තරුණයෙක් පැවිදි වූ විට ඔහුට පෙනෙන, වෙනත් අයට නොපෙනෙන "සිරා දෙයක්" එහි ඇති බව සිතන්නට බොහෝ දෙනෙකු පෙළඹීම තේරුම් ගන්නට අපහසු නැත. සාමාන්‍යයෙන් බණ අහන්නට උනන්දුවක් නොදක්වන මගේ ඇතැම් මිතුරන් පවා මෙවැනි උපාධිධාරී හා තරුණ වියේදී පැවිදි වූ හිමිවරුන්ට ආකර්ෂණය විය.

මා එක් වරක් පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනයකට සවන් දී තිබේ. ඒ ඔහු සමන්තභද්‍ර වන්නට පෙරය. ඒ කාලයේ ඔහුගේ ධර්ම දේශනා වෙනත් අයගේ ධර්ම දේශනා වලින් වෙනස් වුණේ අන්තර්ගතයේ වූ "විද්‍යාත්මක" ගතිය නිසාය. මේ ධර්ම දේශනා හරහා පිටිදූවේ සිරිධම්ම හිමි වටා පිරිසක් එකතු වුවත්, එසේ එකතු වුනේ විද්‍යාව විශ්වාස කළ අයයි.

විද්‍යාවට හා ආගමික විශ්වාස වලට එක්ව ගමනක් යා හැකි නිශ්චිත සීමාවක් තිබේ. මේ සීමාව විසින් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගමනාන්තයද සලකුණු කළේය. සිරිධම්ම හිමිගේ අනුගාමිකයින්ට (එවැනි ස්ථිර පිරිසක් සිටියේනම්) ඔහුගේ ධර්ම දේශනා තමන්ගේ "විද්‍යාත්මක" විශ්වාස වලට අනුපූරකයක් වූවා මිස විකල්පයක් වුණේ නැත. ඒ නිසා, ලංකාවේ සංඝ සමාජය ප්‍රමුඛ බෞද්ධ ආයතනික ව්‍යුහය සමඟ ඔහුගේ ගැටුමක් තිබුණේද නැත.

පිටිදූවේ සිරිධම්ම හිමි සිරි සමන්තභද්‍ර ලෙස රූපාන්තරණය වන්නේ මෙවැනි පසුබිමකය. මේ සමඟම ඔහු විසින් ප්‍රකාශයට පත් කළේ මෙතෙක් ලංකාවේ බෞද්ධ ආයතනික ව්‍යුහය තුළ කිසිවෙකුට ලඟා කරගත නොහැකි වූ ඉලක්කයක් වූ රහත් භාවය තමන් විසින් ලබාගෙන සිටින බවයි.

සිංහල බෞද්ධයින් යනු නිවන් දකින්නට බලාගෙන සිටින පිරිසකි. එහෙත් ඒ නිවන කොහේවත් පෙනෙන්නට නැත. නිවන් දුටු අය ගැන ඔවුන් අසා ඇතත් එවැනි අය අහල පහළ දකින්නටද නැත. ඒ නිසා, නිවන ගැන එක් එක් පුද්ගලයාට තිබෙන්නේ තමන්ට සාපේක්ෂ අදහසක් පමණි.

අතුරු කතාවක් ලෙස, ඇතැම් අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ නිවන් දකින පුද්ගලයෙකු නොසිටීනම් නිවන් "දකින්නේ" කවුද යන්නයි. ආගමික කරුණු පැහැදිලි කිරීම මගේ වපසරියෙන් පිටත දෙයක් වුවත්, මා මේ සංකල්පය තේරුම් ගන්නා ආකාරය අනුව නිවන් දකින්නේ සෝවාන් වූ පුද්ගලයාය. සෝවාන් වන තුරු පෘතග්ජන පුද්ගලයෙකුට නිවන "දැකිය" නොහැකිය. එතෙක් දුර යා යුත්තේ ශ්‍රද්ධාවෙනි. රහත් වූ පසු "නිවන් සැප විඳින" පුද්ගලයෙක් නැත. ඒ නිසා නිවන් දැකීම යනු සෝවාන් වීම විය යුතුය.

තමන්ට දැකිය නොහැකි, හරියටම නොදන්නා දෙයක් හඹා යන පුද්ගලයෙකුට ඒ සඳහා අවශ්‍ය වන විශ්වාසය ඇති කර ගැනීම පහසු කරුණක් නොවේ. එහෙත්, එසේ කළ හැකි බොහෝ අය සිටිති. පවතින සමාජයට වඩා සාධාරණයයි තමන් විශ්වාස කරන, සුළු පිරිසක් විසින් බහුතරයකගේ කැමැත්ත නොතකා සැලසුම් කරන සමාජයක් කෘතීම ලෙස හදන්නට මහන්සිවන සමාජවාදීන් උදාහරණ ලෙස දැක්විය හැකිය. ලෝකයේ කිසිදිනක පැවතී නැති, සාධාරණ සමාජයක් හදන්නටයයි කියමින් වෙනත් අයගේ නිදහස පැහැරගන්නට එවැනි අය පැකිලෙන්නේ නැත.

කෙසේවුවද, මිනිසුන්ට විශ්වාස අවශ්‍යය. හෘද සැත්කමකට මුහුණ දෙන රෝගියෙකු ජීවිත අවදානමක් ගන්නේ එයින් තමන්ට යහපතක් සැලසෙනු ඇතැයි යන විශ්වාසයෙනි. සරසවියක වෛද්‍ය විද්‍යා හෝ ඉංජිනේරු විද්‍යා පාඨමාලාවක් හැදෑරීම සඳහා සිය ජීවිත කාලයෙන් වසර ගණනාවක් කැප කරන අයෙකු ඒ සඳහා පෙළඹෙන්නේ එමඟින් සිය අනාගත ජීවිතය යහපත් වනු ඇතැයි යන විශ්වාසයෙනි.

සමාජවාදය නිසා අමාරුවේ වැටුණු රටවල් මිස ගොඩ ගිය රටවල් නැතත්, හෘද සැත්කම් අසාර්ථක වී මිය ගිය අය මෙන්ම  සුවය ලැබූ අයද පෙනෙන්නට සිටිති. මිය ගිය ගණනට වඩා සුවය ලබන අය වැඩි බව පෙනෙන්නට තිබේ. වෛද්‍ය විද්‍යා හෝ ඉංජිනේරු විද්‍යා පාඨමාලාවක් හැදෑරීමෙන් පසුවද ජීවිත සාර්ථක කර නොගන්නා අය සිටියත්, එවැනි පාඨමාලාවක් හදාරන බොහෝ දෙනෙකු ජීවිත සාර්ථක කරගන්නා බව පෙනෙන්නට තිබෙන දෙයකි.

ස්වර්ගයේදී ලැබෙන කන්‍යාවන් හෝ මනෝරාජික සමාජවාදී රාජ්‍ය මෙන් නොව සරසවි පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව හෝ හෘද සැත්කමකින් පසු ලැබෙන සාර්ථකත්වය සඳහා උදාහරණ පෙනෙන්නට තිබේ. ඒ නිසා, එවැනි දේවල් ගැන ගැන විශ්වාස කිරීම තමන්ට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම අපහසු අයටද කළ හැකිය.

සමන්තභද්‍ර හිමි විසින් තමන් රහත් භාවයට පත් වූ බව ප්‍රකාශ කිරීම නිසා සිංහල බෞද්ධ සමාජයේ ඇති වූ කම්පනය තේරුම් ගත යුත්තේ මේ සන්දර්භයේය. මෙතෙක් කල් තමන් දැක නැති, දුටු අයෙකුද දැක නැති නිවන පසුපස හඹා ගිය බොහෝ දෙනෙකු ඉදිරිපිට දැන් හදිසියේම තමන්ට දැකිය නොහැකි නිවන දුටු අයෙකු සිටී. මෙය සමාන කළ හැක්කේ සුව කළ නොහැකි  ලෙස සැලකෙන රෝගයකින් සුවය ලැබූ පුද්ගලයෙකු පළමු වරට දකින්නට ලැබීමටය. එහි වැදගත්කම මිනිය නොහැකි තරම්ය.

කෙසේ වුවත් මෙහි පොඩි පරහක්ද තිබේ. ලෙඩා ඇත්තටම සුව වූවාද යන්න වෙනත් අයට පරීක්ෂා කළ නොහැකිය. එයද විශ්වාස කළ යුත්තකි. සමන්තභද්‍රවාදීන් හා සමන්තභද්‍ර විරෝධීන් දෙපිල බෙදෙන්නේ මේ කරුණේදීය.

රහත් භාවය යනු, අර්ථදැක්වීම අනුවම, සාමාන්‍ය පුද්ගලයෙකුට සිය ඉන්ද්‍රිය පද්ධතිය හරහා ග්‍රහණය කරගත නොහැකි සංකල්පයකි. එසේ කළ හැකිනම් එය රහත් භාවය විය නොහැකිය. ඒ නිසා, කෙනෙකුගේ රහත් භාවය වෙනත් අයෙකුට පරීක්ෂා කළ නොහැකිය. මේ සංකල්පීය උගුලේ වාසිය සමන්තභද්‍ර හිමියන්ට ලැබුණේය. ටික කලකට පෙර සමන්තභද්‍ර හිමිගේ රහත් භාවය පරීක්ෂාවට ලක් කරන්නට ගිය සංසරණී බ්ලොග් අඩවිය ලියන අතුල සිරිවර්ධන වැනි අය මේ උගුලේ හිරවුණේය. සමන්තභද්‍ර හිමිගේ ප්‍රකාශය විශ්වාස කළේයැයි සිතිය නොහැකි බොහෝ බෞද්ධ භික්ෂූන් ඔහුට අභියෝග කරන්නට පෙරට නොපැමිණියේ උගුලේ ස්වභාවය ගැන මනා අවබෝධයක් තිබුණු නිසායැයි සිතිය හැකිය.

සියවස් ගණනක් තිස්සේ නිවන සොයා යන්නට පුහුණු කර ඇති සමාජයක් තුළ නිවන සාක්ෂාත් කරගත් අයෙකු හොයා ගන්නට ඉල්ලුමක් ඇතිවීම ස්වභාවිකය. සිංහල බෞද්ධ සමාජය විසින් කලින් කලට නිවන් මාර්ගයට පිවිසි අයෙකු ලෙස තමන් විසින් හඳුනා ගන්නා සංකල්පීය පුද්ගලයා සමඟ ආසන්න ලෙස සමපාත වන පුද්ගලයින් වෙත සෝවාන් තත්ත්වය හෝ රහත් තත්ත්වය ආරෝපණය කරන්නට උනන්දු වූයේය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි වැනි අය උදාහරණයි. එහෙත්, ඒ කිසිවෙකු සමන්තභද්‍ර හිමි මෙන් තමන්ගේ රහත් භාවය ප්‍රකාශයට පත් කළේ නැත.

පිටිදූවේ සිරිධම්ම හිමි සමන්තභද්‍ර ලෙස රූපාන්තරණය වීම ලංකාවේ බෞද්ධ සමාජයේ සිදුවූ එක්තරා ආකාරයක සුසමාදර්ශීය වෙනසකි. බොහෝ දෙනෙකු විසින් සොයමින් සිටින, එහෙත් හරියටම කුමක්දැයි නොදන්නා සංකල්පීය ඔසුව ගැන හරියටම දන්නා බව කියන, පළමෝත අත්දැකීම් ඇති අයෙකු ලෙස පෙනී සිටින අයෙකු දැන් පෙනෙන්නට සිටී. ඔහුව පිළිගැනීම හෝ නොගැනීම එක් එක් පුද්ගලයාගේ කාර්යයකි.

මෙතැනදී සමන්තභද්‍රවාදීන් හා සමන්තභද්‍ර විරෝධීන් දෙපිල බෙදෙන්නේ රහත් භාවයට පැමිණි පුද්ගලයෙකු ලෙස තමන් තුල සිටින සංකල්පීය පුද්ගලයා කවුද යන්න මතය. සිංහල බෞද්ධයන් බොහෝ දෙනෙකුට අනුව මේ පුද්ගලයා සන්සුන් ගමන් ඇති, සන්සුන් කතා ඇති, අල්පේච්ඡ ජීවන රටාවක් ඇති, සුපේශල ශික්ෂාකාමී භික්ෂුවකි. සමන්තභද්‍ර චරිතය මේ ආකෘතිය සමඟ ගැටෙන තැන් බොහෝ තිබුණේය.

සමන්තභද්‍ර හිමි තමන් රහත් තත්ත්වයට පත්වූ බව ප්‍රකාශ කරනවාට අමතරව තවත් බොහෝ දේද කළේය. මේ බොහෝ දේ, සමස්තයක් ලෙස, ලංකාවේ කාලයක් තිස්සේ පැවති බෞද්ධ ආයතනික ව්‍යුහයට පහර දීමක් ලෙස සැලකිය හැකිය. වෙනත් බොහෝ බෞද්ධ භික්ෂූන් රහසිගතව කරන දේවල් වලින් කොටසක් ඔහු ප්‍රසිද්ධියේම කරන්නට පටන් ගත්තේය. ඇතැම් අයගේ මනසේ සිටි රැස් විහිදෙන, අහසින් යන, දහ අට රියන් බුදුන් සමන්තභද්‍ර හිමියන් විසින් මහ පොළොවට ගෙනාවේය. මෙහිදී, සමන්තභද්‍ර හිමි කටයුතු කළ ආකාරය පිටිදූවේ සිරිධම්ම කාලයේදී කළ දෙයෙහිම දිගුවක් ලෙස සැලකිය හැකිය.

පරීක්ෂා කර බැලීමේ හැකියාවක් කිසිවෙකුට නැති රහත් භාවය වැනි කරුණු පැත්තකින් තිබ්බොත් සමන්තභද්‍ර හිමිගේ විවේචන බොහොමයකට කිසියම් පදනමක් තිබුණේය. ඔහුගේ විවේචකයින්ට පවා ඔහු කියන ඇත්ත බැහැර කර සිටින්නට නොහැකි විය. සිය ස්වයං ප්‍රකාශිත රහත් භාවය නිසා සමන්තභද්‍ර හිමිගේ විවේචන වලට කිසියම් වලංගු භාවයක් ලැබුණේය. සාමාන්‍ය භික්ෂුවක ලෙස බෞද්ධ ආයතනික ධුරාවලියේ පහළ තැනක සිටි ඔහුට සිය ස්වයං ප්‍රකාශිත රහත් භාවය හරහා එහි ඉහළටම එසවෙන්නට හැකි විය. එහෙත්, එය කළ හැකි වූයේ ඔහුගේ සීමිත, එහෙත් භක්තිවන්ත අනුගාමික පිරිස හමුවේදී පමණි.

කෙසේ වුවද, එක දෙයක් විශේෂයෙන්ම කිව යුතුය. කෙතරම් රැඩිකල් බව පෙනෙන්නට තිබුණත් සමන්තභද්‍ර හිමි හැමදාමත් හිටියේ සිංහල බෞද්ධ ආයතනික ව්‍යුහය ඇතුළේය. ඔහු එහි පරිධියට මිස එයින් පිටතට ගියේ නැත.

සමන්තභද්‍ර හිමි බෞද්ධ ධර්ම ග්‍රන්ථ හොඳින් පරිශීලනය කර ඒවායේ අන්තර්ගතය අවබෝධ කරගෙන තිබුණේය. ඔහු ඒ ධර්ම ග්‍රන්ථ හෝ බෞද්ධ ධර්මයේ මූලික කරුණු විවේචනය කළේනම් ඒ ඉතා සැලකිල්ලෙනි. ඔහු බොහෝ විට විවේචනය කළේ වත්මන් ආයතනික ව්‍යුහය හෝ භාවිතාවයි. එහිදී හැමවිටම වාගේ ඔහු භාවිතයේ ඇති ධර්ම ග්‍රන්ථ වල ඇති කරුණු මූලාශ්‍ර කර ගත්තේය. ඔහු සිය ශ්‍රාවකයින්ව නිවන් මඟට යොමු කරනවා මිස (ඒ මඟ කුමක් වුවත්) වෙනත් ලෞකික අරමුණු කෙරෙහි යොමු නොකළේය.

ජනාධිපතිවරයාගේ චර්යාවක් වරක් විවේචනය කළත් සාමාන්‍යයෙන් සමන්තභද්‍ර හිමි දේශපාලනයට මැදිහත් වුණේ නැත. "නිදහස් අධ්‍යාපනය රැකගැනීම", "සාධාරණ සමාජයක් හැදීම" වැනි අරමුණු වලට තබා  "රට ජාතිය බේරාගැනීම" වැනි අරමුණු වලට හෝ ඔහු ඔහුගේ ශ්‍රාවකයින්ව යොමු නොකළේය. ඔහුගේ එකම ප්‍රකාශිත අරමුණ වුනේ සිය ශ්‍රාවකයින්ට නිවන් දකින්නට උදවු කිරීමයි. මෙය බෞද්ධයෙකුගේ මූලික අරමුණයි.

නිවන් දකින්නට බලාපොරොත්තුවෙන් සිටින සිය ශ්‍රාවකයින්ට සමන්තභද්‍ර හිමි විසින් ලබා දුන්නේ ඉන්ස්ටන්ට් රෙසිපියකි. මේ රෙසිපිය අනුගමනය කරන අය සිය අරමුණ සාක්ෂාත් කරගන්නට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බලා සිටින්නට අවශ්‍ය නැත. ඔහුගේ බොහෝ අදහස් ඕෂෝගේ අදහස් වලට කිට්ටුවෙන් ගියේය. ඇතැම් අදහස් මහායානික අදහස් මෙන් පෙනෙන්නට තිබුණේය. එහෙත්, හැම විටකම වාගේ ඔහු තමන්ගේ දේශනා ලංකාවේ ප්‍රධාන ධාරාව තුළ පිළිගැනෙන ථෙරවාද බෞද්ධ ධර්මය සමඟ ගැලපීමට සැලකිලිමත් විය.

සිංහල බෞද්ධයින් අතරද නිවන් දැකීමේ අපේක්ෂා හා අදාළව, හරියටම ඉරකින් බෙදිය හැකි නොවුවත්, කොටස් දෙකක් සිටී. එයින් බහුතරයට නිවන් දකින්නට හදිස්සියක් නැත. ඒ අයට, අවශ්‍ය වන්නේ හැකි තරම් දෙවු මිනිස් සැප වළඳා ඔහේ පුළුවන් වූ දවසක නිවන් දකින්නටය. ඒ නිසා, පන්සලේ පින්කමට සහභාගී වී පැමිණ හවසට සෙට් වෙන එක, දිනපතා ගන්නා අල්ලස් මුදලින් අට පිරිකරක් මිලදී ගෙන පූජා කිරීම හෝ රට ජාතිය වෙනුවෙන් මිනියක් දෙකක් මැරීම වුවත් ඒ තරම්ම ලොකු ප්‍රශ්න නොවේ. ඔය හැම එකම හරියටම කරන්නට පුහුණු වන්නට කල්ප ගනනක කාලයක් තිබේ.

කෙසේ වුවද, ඔය අස්සේ හදිස්සි කාරයෝ කොටසක්ද සිටිති. ඒ අයට, නිවන් දකින්නට ඔය තරම් කාලයක් බලා ඉන්නට පුළුවන් කමක් නැත. විප්ලව වලින් සමාජය ක්ෂණිකව වෙනස් කරන්නට බලා සිටින අය මෙන්ම ෂෝට් කට් වලින් නිවන් යන්නට කැමති පිරිස්ද ලංකාවේ සිටිති.

සමන්තභද්‍ර හිමි වටා එකතු වන්නේ මෙහි සඳහන් දෙවන පිරිසයි. එයට අමතරව, පවතින ආයතනික ව්‍යුහය සමඟ ප්‍රශ්න ඇති, එහෙත් ඒ තුළම රැඳී සිටින්නටද අවශ්‍ය පිරිස්ද සමන්තභද්‍ර හිමි වටා එකතු වේ. මේ අය අතර ලංකාවේ කතෝලික ආයතනික ව්‍යුහය සමඟ ප්‍රශ්න ඇති කිතුණුවෝ වැනි අය පවා සිටිති.

මෑතකදී කතාබහට ලක්වුණු ඉරාජ් වීරරත්න සමන්තභද්‍ර හිමිගේ අනුගාමිකයින් සඳහා උදාහරණයකි. ඔහුට ලංකාවේ ස්ථාපිත ආයතන සමඟ මෙන්ම පොදුවේ ලංකාවේ සංස්කෘතිය සමඟත් ප්‍රශ්න තිබේ. ඔහු එම සංස්කෘතිය තුළම රැඳෙමින් එහි අධිපති මතවාදයන්ට එරෙහිව කැරලි ගසයි. එහෙත්, ඔහුටද සමන්තභද්‍ර හිමිට මෙන්ම මේ සංස්කෘතියේ හා ආයතනික ව්‍යුහයන්හි පරිධියට මිස එයින් ඔබ්බට යන්නට තරම් ධෛර්යයක් නැත. ඒ නිසා, මේ දෙදෙනාම කලක සිට කරමින් ඉන්නේ තමන් රැඳී සිටින සංස්කෘතික වපසරියේ පරිධිය විශාල කිරීමයි.

මේ කටයුත්ත අවදානම් සහගත වැඩකි. තමන් ඇතුළු සමාජය රැඳී සිටින ඉඩකඩ පුළුල් කිරීම ඕනෑවට වඩා වේගයෙන් සිදු කරන අයෙකු නොදැනීම එයින් ඔබ්බට විසි වී කිසිදු වටිනාකමක් නැති, සමාජයට පිටින් සිටින හුදෙකලා පුද්ගලයෙකු වන්නට ඉඩ තිබේ. ඉරාජ් වීරරත්න මෙන්ම සමන්තභද්‍ර හිමිද මේ ගැන මනා අවබෝධයකින් සිටියේය. ඔවුන් හැමවිටම වාගේ පසුපස පාදය ඉදිරියට ගත්තේ ඉදිරිපස පාදය ස්ථාවර ලෙස රඳවා ගැනීමෙන් පසුවය.

සමන්තභද්‍ර හිමි සෑහෙන කාලයක් පරිස්සමෙන් ක්‍රීඩා කළේය. ඒ නිසා, සමන්තභද්‍ර විරෝධීන් අතරත් ඔහුට කිසියම් තැනක් තිබුණේය. එවැන්නන්ට ඔහුගේ රහත් භාවය ප්‍රශ්න කළ හැකි වුවත් භික්ෂු භාවය ප්‍රශ්න කිරීමට වලංගු පදනමක් නොතිබුණු බැවින් බෞද්ධ ආයතනික ව්‍යුහය තුළ ඔහුට අයිති වූ කිසියම් නිශ්චිත ඉඩක් තිබුණේය. ඒ ඉඩ නැති කර නොගැනීමට ඔහු සැලකිලිමත් විය. ඔහුගේ සියලු ප්‍රහාර එල්ල කෙරුණේ මේ ඉඩ නැති වීමේ අවදානම ගැන සැලකිලිමත් වෙමිනි.

සමන්තභද්‍ර හිමි විසින් පරිධියේ සිට පරිධිය දිගින් දිගටම විශාල කිරීම කේන්ද්‍රයේ රැඳී සිටි අයට ප්‍රශ්නයක් විය. පරිධිය ඈතට යන විට කේන්ද්‍රය ආසන්නයේ සිටින පිරිස් ක්‍රමයෙන් කේන්ද්‍රයෙන් ඈත් වේ. ඒ නිසා, මේ කටයුත්තට තිරිංග දැමීමට ඔවුන්ට අවශ්‍ය විය. එහෙත්, සමන්තභද්‍ර හිමිගේ උපක්‍රමික චලනයන් හමුවේ එය කිරීම පහසු වූයේ නැත. පහසු නොවූවද, කිසියම් මොහොතක එය සිදු විය යුතුව තිබුණි.

අන්තිමේදී ඒ අවස්ථාව එළැඹී තිබේ. තමන් රහත් භාවයට පත්ව සිටීයැයි කලක් තිස්සේ ප්‍රකාශ කරන, රජෙක් මෙන් සිංහ සෙය්යාවෙන් වැජඹුණු සමන්තභද්‍ර හිමියන් විසින් දැන හෝ නොදැන කළ ප්‍රකාශයක් වෙනුවෙන් ලිඛිතව හා වාචිකව සමාව ගනිමින් මහනායක හිමිවරුන් අභියස පසඟ පිහිටුවා තෙවරක් වැඳ වැටීම තුළ ප්‍රකාශ වන්නේ සිංහල බෞද්ධ ආයතනික ව්‍යුහය තුළම රැඳෙමින් එයට අභියෝග කළ හැකි උපරිම සීමාවයි. සමන්තභද්‍ර හිමියන් විසින් පසුව කවර පැහැදිලි කිරීමක් කළත් ඒ සීමාව දැන් සටහන් වී අවසන්ය.

මේ ආකාරයෙන්ම සංගීතය හරහා පවතින සම්ප්‍රදායට අභියෝග කරමින් කිසියම් ආකාරයක සීමා පුළුල් කිරීමක් කළ ඉරාජ් වීරරත්නද එහි ආන්තික සීමාවට පැමිණ හිර වී වැඩි දවසක් නැත. සමන්තභද්‍ර අනුගාමිකයෙකු වන ඉරාජ් දැන් මාධ්‍ය හමුවට පැමිණ කියන්නේ ඔහුගේ වීඩියෝවේ කෙසෙල් ගෙඩි පෙන්වන්නේ කෙසෙල් වල පොටෑසියම් තිබෙන නිසා බවයි. සමන්තභද්‍ර හිමි මාධ්‍ය වලට කියන්නේ ඔහු දළදා වහන්සේට අපහාස නොකළ බව හා ඔහුගේ කතාවෙන් කොටසක් මාධ්‍ය මඟින් උලුප්පා පෙන්වූ බවයි.

ළඟ ළඟ සිදු වූ මේ සිදුවීම් දෙක සම්බන්ධයක් නැති අහඹු සිදුවීම් දෙකක්ද?

සමන්තභද්‍ර හිමි මෙන්ම ඉරාජ් වීරරත්නද කැරලි ගැසූ අයයි. ඔවුහු කාලයක් දිගින් දිගටම ඉදිරියට ගියහ. මට තේරෙන හැටියටනම් දැන් ඒ ගමන් තීරණාත්මක ලෙස නැවතී හෝ ආපසු හැරී තිබේ. මෙයින් සංකේතවත් වන දේශපාලනය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.

Monday, October 9, 2017

බනානා සංගීතය, සමාජ මාධ්‍ය හා ලිංගික අධ්‍යාපනය


ටික කලකට පෙර සිදු වූ වික්ටර් රත්නායකගේ විවාහය සමාජ මාධ්‍ය වල ලොකුවටම හිට් විය. වික්ටර් රත්නායක ප්‍රසිද්ධ, ප්‍රවීණ හා ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගේ විවාහය එයින් පරිබාහිර පෞද්ගලික කටයුත්තක් විය. මේ විවාහය නිසා වික්ටර්ගේ ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය තවත් ඉහළ ගියත් එය නිරායාසයෙන් සිදු වූවක් මිස වික්ටර් විසින් සැලසුම්ගත ලෙස සිදු කළ දෙයක් නොවේ. මෙය විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ලංකාවේ හා ලෝකයේ ඇතැම් කලාකරුවන් තමන්ගේ ප්‍රසිද්ධිය අඩුවන විට එවැනි දේවල් කරන අවස්ථාද දුලබ නැති බැවිනි. වික්ටර් විසින් එසේ කළේනම් වුවද එහි ඇති වැරැද්දක්ද නැත.

වාර්තා වී තිබුණු තොරතුරු අනුව වික්ටර්ගේ විවාහය සිදුව තිබුණේ ක්ෂණික තීරණයක් ලෙස නොවේ. ඔහු විසින් නීත්‍යානුකූල ලෙස විවාහ කරගෙන තිබුණේ වසර ගණනක් තිස්සේ ඇසුරු කරමින් සිටි කාන්තාවකි. කෙසේ වුවද, මේ විවාහය බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. ඒ විවේචන තවත් බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. මේ සංවාදය බොහෝ දුරට සිදුවුණේ සමාජ මාධ්‍ය ඇතුළේය. මේ හේතුවෙන් වික්ටර් රත්නායකගේ ප්‍රසිද්ධිය විශාල ලෙස ඉහළ ගියත් ඔහු ඒ ප්‍රසිද්ධිය මුදල් කරන්නට පෙළඹුණේ නැත. එසේ කළේනම් ඔහුට සැලකිය යුතු මුදලක් උපයාගත හැකිව තිබුණේය.

වික්ටර් රත්නායක විසින් යම් හෙයකින් තමන්ගේ විවාහය හේතුවෙන් ලැබුණු ප්‍රසිද්ධිය මුදල් කළේනම් එය වරදක් වන්නේවත්, එසේ නොකිරීම නිසා ඔහු විශිෂ්ඨයෙකු වන්නේවත් නැත. එය ඔහුගේ පෞද්ගලික තීරණයක් පමණි.

කෙසේ වුවද, වික්ටර් රත්නායකගේ විවාහය නිසා ඔහුට ලැබුණු ප්‍රසිද්ධිය ඔහු විසින් මුදල් කර නොගැනීම නිසා ඇති වුණු නොසන්සිඳුණු ඉල්ලුම සපුරමින් මුදල් හොයන්නට ඉරාජ් ඉදිරිපත් විය. ඇතැම් අය කියන පරිදි ඉරාජ්ගේ ගීතයේ සංවාදයට ලක් වෙන්නේ පොදු ප්‍රශ්නයකි. අමරසිරි පීරිස්ගේ 'මගේ පුංචි රෝස මලේ ගීතයේ' තේමාවද ඉරාජ්ගේ අලුත් ගීතයේ තේමාවට තරමක් ආසන්නය. තේමාව පොදු එකක් වුවත් නොවුවත්, ඉරාජ් විසින් තමන්ගේ අලුත් ගීතය අලෙවි කිරීම සඳහා වික්ටර් රත්නායකට ඔහුගේ විවාහය නිසා ලැබුණු ප්‍රසිද්ධිය ප්‍රයෝජනයට ගෙන ඇති බව පැහැදිලි කරුණකි.

ඉරාජ් කියන්නේද විශාල රසික පිරිසක් සිටින ප්‍රසිද්ධ ගායකයෙකි. වෙනත් බොහෝ ගායකයින්ගේ ගීත මෙන් ඉරාජ්ගේ අලුත් ගීත බොහොමයක් ශ්‍රව්‍ය අත්දැකීමක් ලෙස පමණක් රස විඳිය නොහැකිය. ඉරාජ් විසින් පැකේජ් කර අලෙවි කරන කලා නිර්මාණ බොහොමයක් වීඩියෝවක් ලෙස රස විඳිය යුතු, සාමාන්‍ය ගීතයකට වඩා වැඩි දෙයකි. ඒ නිර්මාණ වල ගීතයේ පද මාලාව, සංගීතය හා ගායනයට අමතරව, බොහෝ විට මේ අංග වලටත් වඩා වැඩියෙන්, රූප රචනය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ කරුණ බැහැර කර ඉරාජ්ගේ නිර්මාණ දෙස බැලිය නොහැකිය.

ඉරාජ් යනු මගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ ඉහළින් සිටින්නෙකු නොවේ. වික්ටර් රත්නායක ඒ ලැයිස්තුවේ සාපේක්ෂව ඉහළින් සිටින ගායකයෙකි. ඒ මගේ රුචිකත්වය සමඟ මේ දෙදෙනාගේ නිර්මාණ ගැලපෙන ආකාරය අනුව මිස ඉරාජ්ගේ නිර්මාණ "බාල" ඒවා ලෙස මා විසින් ලේබල් කරන නිසා නොවේ. කලා නිර්මාණයක ගුණාත්මක භාවය රසිකයාට සාපේක්ෂ දෙයකි.

ඉරාජ්ගේ නිර්මාණ වල ඔහුගේම අනන්‍යතාවයක් තිබේ. ඒ අනන්‍යතාවයට කැමැත්තක් දක්වන විශාල පිරිසක් සිටී. ඔහු වෙනත් ගායකයින් සාමාන්‍යයෙන් කතා නොකරන ලිංගික තේමා ගැන ඔහුගේ නිර්මාණ හරහා කතා කරයි. එම නිර්මාණ වලට යොදා ගන්නා රූප රචනා සන්දර්භයට ගැලපේ. බොහෝ විට මෙවැනි කරුණු ඔහු අමුවෙන්ම කියයි. අමුවෙන්ම පෙන්වයි. ඔහු එසේ කරන හෝ කර ඇති එකම කලාකරුවා නොවේ. කියන්නට තියෙන දෙය අමුවෙන්ම කියා දමන තවත් බොහෝ කලාකරුවෝ අතීතයේ සිටම සිටියහ. දැනුදු සිටිති.

ඉරාජ් මගේ ප්‍රියතම ගායකයෙකු නොවුවත් ඔහුගේ නිර්මාණ රස විඳින්නට මට බැරිකමක් නැත. යම් හේතුවකින් ඔහුගේ ගීත වීඩියෝවක් නැරඹීමට යොමු වූ අවස්ථා කිසිවකදී මා එය සම්පූර්ණයෙන් නරඹන්නේ නැතිව අතරමඟ නවතා නැත. එහෙත්, වරක් ඇසූ හෝ නැරඹු ඉරාජ්ගේ ගීතයක් නැවත අහම්බෙන් රස විඳින්නට නොලැබුණේනම් මා විසින් දිගින් දිගටම තබා දෙවන වරට හෝ අසා/ නරඹා ඇති බවක් මතක නැත. එමෙන්ම ඔහුගේ මුල් කාලයේ නිර්මාණ කිහිපයක් හැර අලුත් නිර්මාණ කිසිවක් මගේ මතකයේ රැඳීද නැත. වරක් ඇසූ ගීතයක් හෝ නැරඹු ගීත වීඩියෝවක් නැවත නැවත රස විඳින්නට මා පෙළඹෙන්නේ එය රස විඳි පළමු වරම කිසියම් කම්පනයක් ඇති කරන්නට සමත් වන්නේනම් පමණි. එවැනි ගීත ඕනෑ තරම් තිබේ. මට නොදැනුනත්, ඉරාජ්ගේ ගීත වලින්ද එවැනි කම්පනයක් දැනෙන අය සිටින්නට පුළුවන.

ඉරාජ්ගේ අලුත් ගීත වීඩියෝව විශාල ලෙස හිට් විය. එමෙන්ම එය සමාජ මාධ්‍ය වල විශාල ලෙස විවේචනයටද ලක් විය. ඒ විවේචනද සමාජ මාධ්‍ය වල විවේචනයට ලක් විය.

ඉරාජ්ගේ වීඩියෝව විවේචනය කළ අය එසේ කිරීමට අඩු වශයෙන් වෙනස් හේතු තුනක් තිබුණේය. පළමුව, මෙය වික්ටර් රත්නායකට මඩ ගැසීමක් ලෙස හැඳින්වුනේය. දෙවනුව, මේ වීඩියෝවේ සංකේතාත්මක ලෙස කෙසෙල්ගෙඩි හා සොසේජස් යොදාගෙන තිබුණු රූප රාමු විවේචනයට ලක් විය. තෙවනුව, මුදල් පිණිස "අම්මා අප්පා වුවත් විකිණීමේ" ප්‍රවේශය විවේචනයට ලක් විය.

මේ වීඩියෝව හිතාමතාම වික්ටර් රත්නායකට මඩ ගැසීම ප්‍රධාන අරමුණ කරගෙන සැදූවක්යැයි මා විශ්වාස කරන්නේ නැත. එමෙන්ම, ඉරාජ්ගේ නිර්මාණ දෙස සමස්තයක් ලෙස බැලූ විට දෙවන කරුණේද අමුත්තක් නැත. අදාළ රූප රාමු ඔහුගේ ශෛලියට ගැලපේ. එහෙත්, තුන් වන කරුණ බොරුවක්ම නොවේ. ඉරාජ් විසින් කර ඇත්තේ වෙළඳපොළ ඉල්ලුම හඳුනාගෙන විකිණිය හැකි දෙයක් නිර්මාණය කිරීමය. එහිදී ඔහු සම්මත සීමාවන් තුළ හිර වී නැත. මේ කටයුත්තේදී වෙළඳපොළ තුළ ඉරාජ් විසින් අපේක්ෂිත ඉලක්කය සපුරාගෙන තිබේ.

ඉරාජ් මෙහිදී වැරැද්දක් කර තිබේද? ඇතැම් අයට අනුව වැරැද්ද තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා ලැබී ඇති අසීමිත නිදහසේය. ඉරාජ් විසින් මේ තත්ත්වය තමන්ගේ වාසියට හරවා ගෙන තිබේ.

ඉරාජ් විසින් සමාජ මාධ්‍ය සිය වාසිය වෙනුවෙන් යොදාගෙන ඇති බව ඇත්තකි. එහෙත් ඔහු විසින් කිසිවක් බලහත්කාරයෙන් කාගේවත් ඇඟේ ගසා නැත. ඔහු විසින් සිදු කර ඇත්තේ පවතින ඉල්ලුමක් සැපිරීමයි.

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත ගැන හාරා අවුස්සන්නට බොහෝ මිනිසුන්ට උනන්දුවක් තිබේ. මේ උනන්දුව සමාජ ජාලා නිසා ඇති වූවක් නොවේ.

වික්ටර්ගේ විවාහය ඇතැම් අයව කම්පනයට ලක් කළේය. ඒ ඔවුන්ගේ සම්මත සමඟ එය නොගැලපුණු බැවිනි. එවැන්නන්ගේ විරෝධය තවත් අයව කම්පනයට ලක් කළේය. මෙවැනි පෞද්ගලික සිදුවීම් මෙන්ම පසුගිය කාලයේ සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විශාල පිරිසක් මිය යාම වැනි ඛේදවාචකද විශාල පිරිසක් කම්පනය කළේය.

ඉරාජ් හෝ වෙනත් අයෙක් විසින් මීතොටමුල්ල සිදුවීම සිදු වූ අලුත ඒ ගැන ගීතයක් නිර්මාණය කළේනම් එයද ජනප්‍රිය විය හැකිව තිබුණේය. එමෙන්ම, මීතොටමුල්ල මරණ විකුණාගෙන කෑම ගැන එවැන්නෙකුට ඇතැම් අයගේ විවේචන එල්ල විය හැකිවද තිබුණේය.

කලකට පෙර ඇන්ටන් ජෝන්ස් විසින් මෙවැනි ඛේදවාචක ගැන 'අමුවෙන්ම' විස්තර කරන ගීත ගණනාවක්ම අවස්ථාව බලා එළියට දමමින් ආර්ථික වාසියක් ලැබුවේය. ඇන්ටන් ජෝන්ස් විසින් එසේ විකිණූ ගීත අතර වන "ප්‍රේමවතී මනම්පේරි තරුණිය",  "කන්දේ හැපුණු මහ වනන්තරේ", "සයුර බලා බඳ ලෙලවා" වැනි ගීත අදටත් ජනප්‍රියව තිබේ. හැත්තෑව දශකය පමණ වන තුරු ලංකාවේ විශාල ලෙස ජනප්‍රියව තිබුණු කවි කොළ වෙළඳපොළ තුළ තනිකරම සිදු වුණේ මෙවැනි එදිනෙදා ජනප්‍රිය සිද්ධි ගැන බොහෝ දෙනෙකුට තිබුණු උනන්දුව මුදල් කර ගැනීමයි. අද සමාජ ජාලා හරහා සිදුවන දෙය ඒ කාලයේදී කවි කොළ වැනි වෙනත් මාධ්‍ය හරහා සිදුවිය.


ඉරාජ් විසින් කළේ පැවති රික්තකයක් පිරවීමයි. වෙනත් අයට පෙර මේ රික්තකය පිරවීම නිසා ඔහුට පුරෝගාමියාගේ වාසිය ලැබුණේය. මෙහිදී සමාජ මාධ්‍ය විසින් ඉටු කළ කාර්ය භාරය වුණේ ඔහුගේ ගීත වීඩියෝව ඒ සඳහා ඉල්ලුමක් ඇති තැන් වලට  යොමු කරන්නට මෙවලමක් වීම පමණි.

සමාජ මාධ්‍ය සැලකිය හැක්කේ අවම පරිපාලන රෙගුලාසි ප්‍රමාණයකට යටත්, වාරණයකින් තොර හෝ වාරණය ඉතාම අඩුවෙන් සිදුවන නිදහස් මාධ්‍ය ලෙසිනි. එවැන්නක් හේතුවෙන් අත්වෙන අවසන් ප්‍රතිඵලය වඩා කාර්යක්ෂම එකක් මිස අකාර්යක්ෂම එකක් වන්නට හේතුවක් නැත. කවර මිනුම් දණ්ඩක් භාවිතා කරමින් නියාමනය කළත් අවසන් වශයෙන් නියාමනය විසින් ඉඩ සලසන්නේ අකාර්යක්ෂමතාවයන්ටය.

ඇතැම් අය සිතන පරිදි ඉරාජ්ට මේ වීඩියෝව ප්‍රචාරණය කරන්නට ඉඩ ලැබීමේ කුමක් හෝ වරදක් තිබේ. මේ වරද නියාමනයක් නැති අසීමිත නිදහසද?

නිදහස් වෙළඳපොලක් මෙන්ම සමාජ මාධ්‍ය වැනි නිදහස් මාධ්‍යද ස්වයං නියාමනයට ලක්වේ. එය ස්වභාවිකවම සිදුවන දෙයක් මිස කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් කළ යුතු දෙයක් නොවේ.

ඉරාජ්ගේ වීඩියෝව නිසා කිසියම් තාවකාලික අසමතුලිතතාවයක් ඇති වූයේනම් ඉතා ඉක්මණින් ස්වභාවික ලෙසම එය නැවත සමතුලිත විය යුතුය. ඒ සඳහා කිසිවකු මැදිහත් වීම අවශ්‍ය නොවේ. ඉරාජ්ට පක්ෂව මෙන්ම ප්‍රතිපක්ෂවද ක්ෂණිකව අදහස් දක්වන්නට බොහෝ දෙනෙකුට ඉඩ සැලසුණේ සමාජ මාධ්‍ය නිසාය.

මේ වීඩියෝව නිසා ඉරාජ්ට එරෙහිව විශාල ජනමතයක්ද ඇති වුණේය. වීඩියෝවේ පෙනී සිටි නිලියකට කොරියාවේදී ප්‍රශ්න වලට මුහුණ දෙන්නටද සිදු වී තිබේ. මේ අනුව, පෙනෙන්නේ ඉරාජ්ගේ වීඩියෝව එළියට දැමීමෙන් පසු ඔහුගේ නිර්මාණ වලට විරුද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ටද ඉල්ලුමක් ඇති වී ඇති බවයි.

ඉල්ලුමක් ඇති වූ විට එහි වෙළඳපොළ අවස්ථාවක්ද තිබේ. මෙවැනි වෙළඳපොළ අවස්ථාවක් මුලින් හෝ පසුව යම් කිසිවකු විසින් හඳුනා ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. මේ වන විට එය සිදු වී තිබේ. දැනටම විශාල ලෙස හිට් වී ඇති අම්බලම වීඩියෝව එයට හොඳම සාක්ෂියයි.

අම්බලම වීඩියෝව එළියට එන්නේ ඉරාජ් විරෝධය අලෙවිකරණ උපායක් ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. මෙයට කැමති නැති අයෙකුට මෙය තනිකරම මඩ වීඩියෝවක් ලෙස හඳුවන්නට පුළුවන. එහෙත්, එයට පක්ෂ අයෙකුට මෙය ලිංගික අධ්‍යාපනය ලබාදෙන, උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන වීඩියෝවක් ලෙස හඳුවන්නට වුවද බැරිකමක් නැත. වීඩියෝවේ පෙන්වන පරිදි උපත් පාලන කොපු යතුරු කැරැල්ල සමඟ එකට සාක්කුවේ දමාගෙන සිටින විට තෙරපුම නිසා එහි කඩතොළු ඇති වී, ඒ හේතුව නිසා ලිංගිකව එක්වන විට පුපුරා යාමෙන් ගැබ් ගැනීම හෝ සමාජ රෝග වැළඳීම වැනි අනපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නට ඇති ඉඩකඩ ඉහළ යා හැකිය යන්න නැවුම් අදහසකි.


සමාජ මාධ්‍ය හරහා එළියට එන්නේ සාමාන්‍ය මිනිසුන් හිතන පතන ආකාරයයි. සමාජ මාධ්‍ය නොතිබුණා කියා හෝ වාරණය කළා කියා මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වන්නේ නැත. කිසියම් කලා නිර්මාණයකට හෝ මතවාදයකට ඉල්ලුමක් තිබේනම් සමාජ මාධ්‍ය නැතත් එය කවර ආකාරයකින් හෝ මතුවීම වැළැක්විය නොහැකිය. මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වේනම් එය සමාජ මාධ්‍ය තුළද ස්වභාවික ලෙසම පිළිබිඹු වනු ඇත.

Tuesday, October 3, 2017

කූඹියන්ගේ ගේම කුමක්ද?


මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශනය කෙරෙන කූඹියෝ ටෙලි නාට්‍යය ගැන විශාල සංවාදයක් ඇති වී තිබේ. මේ සංවාදය බොහෝ දුරට එක් දිශාවකට විහිදුනු එකකි. මේ ටෙලි නාට්‍යය අගය කරන අය මිස විවේචනය කරන අය පෙනෙන්නට නැත. එය එසේ වීමේ පුදුමයක්ද නැත. කෙසේ වුවද, කූඹියෝ ටෙලි නාට්‍යයට පිස්සු වැටී ඉන්නේ සමාජයේ එක් ස්ථරයක් පමණක් වන්නටද පුළුවන.

තවමත් විකාශනය වී තිබෙන්නේ කූඹියෝ ටෙලි නාට්‍යයේ කොටස් දොළහක් පමණි. සම්පූර්ණයෙන් නරඹන්නේ නැතිව මෙවැනි නිර්මාණයක් ඇගයීම හෝ විවේචනය කිරීම එතරම් සුදුසු දෙයක් නොවූවත්, මේ නාට්‍යයේ කොටස් කිහිපයක් හෝ නැරඹු අයෙකු වුවද ඒ ගැන කතා කරන්නට පෙළඹීම තේරුම් ගන්නට අපහසු නැත.

සරලවම කියනවානම් කූඹියෝ පට්ටම පට්ටය. එය අබියස සාපේක්ෂව ජනප්‍රියව පැවති මේ දින වන විකාශනය වන වෙනත් සිංහල ටෙලිනාට්‍ය වොට් සීයේ බල්බයක් අබියස පත්තු කළ ඉටිපන්දම් බවට පත් වී තිබේ. කූඹියෝ ටෙලි නාට්‍යය ලොකු ඉඩෝරයකට පසු වැටුණු මහ වැස්සකි. එහි කතා දෙකක් නැත.

පුරුද්දක් ලෙස සිංහල ටෙලිනාට්‍ය නොබලන, එහෙත් අතරින් පතර බලන මට මෙහි එක් කොටසක් අහම්බෙන් බලන්නට ලැබුණු පසු ක්ෂණිකව ඇති වුනු ඇබ්බැහිය අවසන් වුණේ මෙතෙක් විකාශනය කර ඇති කොටස් සියල්ල එක දිගට බැලීමෙන් පසුවය. මෑත කාලයේදී කිසිදිනෙක සිංහල ටෙලි නාට්‍යයකට මා මෙතරම් ඇබ්බැහි වී නැත.

කූඹියෝ ටෙලි නාට්‍යය අගය කරන බොහෝ දෙනෙකු එසේ කරන්නේ එහි රඟපෑම් ඉතා විශිෂ්ඨ මට්ටමක තිබේය යන පදනමිනි. මෙහිදී වැඩිපුරම අගය කෙරෙන්නේ ප්‍රියන්ත මහඋල්පත චරිතය රඟපාන කලණ ගුණසේකරගේ රඟපෑමයි. ටෙලිනාට්‍යයේ කතානායකයා වන ජෙහාන් ප්‍රනාන්දු හෙවත් සාගරගේ චරිතය රඟපාන තුමිඳු දොඩන්තැන්නගේ රඟපෑම්ද ඊට දෙවෙනි නැත. සෙසු චරිත සඳහාද තෝරාගෙන ඇත්තේම ලංකාවේ දැනට සිටින ප්‍රවීණම නළු නිලියන් නිසා ඔවුන්ගේ රඟපෑම් ගැනද අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. රඟපෑම් වලට අමතරව මෙහි සංගීතය, දෘශ්‍ය උපක්‍රම, දර්ශන පසුබිම් හා කැමරා කෝණ, ආලෝකකරණය ආදියද විශිෂ්ඨ මට්ටමක තිබේ.

කෙසේ වුවද, මටනම් මේ ටෙලිනාට්‍යයේ විශේෂත්වය තිබෙන්නේ මේ එක දෙයක්වත් නොවේ. එහි තිර රචනයේ හා අධ්‍යක්ෂනයේය. එයින්ද, මේ ටෙලිනාට්‍යයේ සාර්ථකත්වය පසුපස ඇති මූලිකම කරුණ එහි තිර රචනයයි. උඩින් කී අනෙක් කරුණු විශිෂ්ඨ මට්ටමක නොතිබුණානම් මේ ටෙලි නාට්‍යය මෙතරම් ජනප්‍රිය නොවිය හැකිව තිබුණේය. එහෙත්, රඟපෑම්, අධ්‍යක්ෂණය ආදිය මෙවැනිම විශිෂ්ඨ මට්ටමක තිබුණේ වුවද තිර රචනය මෙතරම් සාර්ථක එකක් නොවූයේනම් එහි කතා කරන්නට මෙතරම් දෙයක් ඉතිරි නොවිය හැකිව තිබුණි. අනෙක් අතට, මේ තිර පිටපතෙන් ටෙලිනාට්‍යයක් නොහැදී එය මුද්‍රිත පොතක් පමණක් වූයේ වුවද එහි කතා කරන්නට තරම් දෙයක් ඉතිරි වනු ඇත.

කූඹියෝ තේමාව මෙතෙක් සිංහල ටෙලිනාට්‍ය වල සාකච්ඡාවට ලක් වුණු තේමා වලට වඩා මුළුමනින්ම වෙනස් එකකි. එහි කතාව දිවෙන්නේ ගේම් කාරයෙක් වටාය.

ගේම් කාරයින් කියන්නේ පොලිස් කාරයින්, දොස්තරලා හා කොන්දොස්තරලා මෙන්ම ලංකාවට හොඳින් හුරුපුරුදු චරිතයකි. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ හැම එකකම ගේම් කාරයින් ලෙස ප්‍රසිද්ධ වූ පුද්ගලයෝ සිටිති. ව්‍යාපාරික ක්ෂේත්‍රය ගත්තද එසේමය. රජයේ හෝ පෞද්ගලික ආයතනයක් වැනි ඕනෑම තැනක මෙන්ම කලා හා ක්‍රීඩා වැනි ක්ෂේත්‍රයන්හිද ගේම් කාරයින්ගේ අඩුවක් නැත.

ගේම් කාරයෙක් කියන්නේ ඇත්තටම කවුද? ගේම් කාරයින් අතර අපරාධකාරයින් සිටිය හැකිවුවත් හැම විටම ගේම් කාරයෙක් කියන්නේ අපරාධකාරයෙක්ම නොවේ. ඉංග්‍රීසියෙන් "con artist" කෙනෙකු ලෙස හඳුන්වන චරිතය සිංහලෙන් ගේම් කාරයෙකු ලෙස හැඳින්වීම කෙතරම් උචිතද යන්නද සැක සහිතය.

ගේම් කාරයෙකුට වෙනත් අයෙකුගේ තීරණ මත බලපෑම් කිරීමේ සුවිශේෂී දක්ෂතාවයක් තිබේ. එවැන්නෙකු එසේ කරන්නේ විශ්වාසය දිනාගැනීම හරහා මිස බලහත්කාරය යෙදීම මඟින් නොවේ. මේ සඳහා වෙනත් අය හිතන ආකාරය තේරුම් ගැනීමටත්, වෙනත් අයගේ දුර්වල තැන් හඳුනාගැනීමටත් ප්‍රවීණතාවයක් තිබිය යුතුය. දේශපාලන, ව්‍යාපාරික හෝ වෙනත් ඕනෑම අංශයකින් ඉදිරියට එන බොහෝ දෙනෙක් යම් තරමක ගේම් කාරයෝය. ඒ නැතත්, අප කා තුළත් පොඩි හෝ ගේම් කාරයෙක් සිටී. වෙනසක් ඇත්නම් ඒ එක් එක් පුද්ගලයා විසින් සැලසුම් කරන ගේම් වල ස්වභාවයේය. එහෙත්, ගේම් කාරයින් ලෙස සමාජයේ ප්‍රසිද්ධ වන්නේ දිගින් දිගටම සාර්ථක ලෙස ගේම් දී නමක් හදාගන්නා හා ගේම් වලින්ම ජීවත් වීම පුරුද්දක් කරගත් අයයි.

කූඹියෝ කතාව ආරම්භ වන්නේ පෞද්ගලික බස් රථයක් තුළ සිදුවන කතාවේ ප්‍රධාන චරිත තුනේ හමුවකිනි. කොළඹ පිටකොටුවේ ගුණසේන පොත් සාප්පුව කිට්ටුවෙන් පාදුක්ක බස් රථයකට ගොඩවන ජෙහාන් (තුමිඳු දොඩන්තැන්න) අසුන්ගන්නේ රූමත් තරුණියක වුවද වෙනත් බොහෝ සිංහල ටෙලිනාට්‍ය වල දැකිය හැකි මේකප් සුන්දරියක් හෝ ගම්බද ලලනාවක් ලෙස නොව 125 බස් රථයකදී සාමාන්‍යයෙන් හමුවිය හැකි තරුණියක ලෙස නිරූපණය කර ඇති හිරුනි (යුරේනි නොෂිකා) වාඩි වී සිටින අසුනට යාබදවය. ජෙහාන් හිරුනි සමඟ ඉන්දියානු උච්චාරණයෙන් ඉංග්‍රීසියෙන් කතා කර කොළඹ මහජන පුස්තකාලය පිහිටි තැන විමසයි. වැඩිදුර විස්තර අහන හිරුනිට ජෙහාන් තමන්ව හඳුන්වා දෙන්නේ ලංකාවේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන පර්යේෂණයක් කිරීමට පැමිණ සිටින බංග්ලාදේශ ජාතිකයෙකු ලෙසිනි.

අහම්බෙන් හමුවූ පිටරැටියාට උදවු කරන්නට පැනලාම ඉදිරිපත් වන හිරුනි ඉබ්බන්වල හෝ සලාකා හරියේදී බස් එකෙන් බහින්නේ තමන්ගේ දුරකථන අංකයද ජෙහාන්ගේ අතේ තබමිනි. ඉදිරි අසුනේ සිටින තරුණයෙකු (ප්‍රියන්ත) අමතමින් මේ පිටරටින් ආ මහත්තයාට පුස්තකාලය ලඟින් බහින්නට නිවැරදි නැවතුම පෙන්වන මෙන් ඉල්ලීමක් කිරීමටද ඇය අමතක නොකරයි.

ඉදිරි අසුනේ සිටින ප්‍රියන්ත මහඋල්පතගම (කළණ ගුණසේකර) ඇඟලුම් කම්හලක රියදුරු රැකියාවක් කරන්නට ගමෙන් නගරයට පැමිණි, ලොකු උගත්කමක් නැති තරුණයෙකි. ඇඟලුම් කම්හල වසා දැමීම නිසා ඔහුගේ රැකියාව අහිමි වී තිබේ. දැන් ඔහු යන්නේ වෙනත් රැකියාවක් හොයා ගැනීමේ අරමුණින් මහත්තයෙක් හමුවන්නටය. ජෙහාන් හා ප්‍රියන්ත අතර සිදුවන කෙටි පිළිසඳර අවසන් වන්නේ ප්‍රියන්ත ජෙහාන්ගේ සහායකයෙකු බවට පත් වීමෙනි.

ප්‍රියන්තට හමුවන ජෙහාන් සුළු ව්‍යාපාරයක නිරතව සිටින්නෙකි. ජෙහාන්ගේ වචන වලින්ම කියනවානම් ඔහු කරන්නේ සුපිරි වෙළඳසැලකට ගොස් බඩු ගන්නට තරම් විවේකයක් නැති කොළඹ හතේ නෝනලා වෙනුවෙන් ඉංග්‍රීසියෙන් කඩේ යාමයි.

ජෙහාන්ගේ ව්‍යාපාරය තනිකරම වන් මෑන් ෂෝ එකකි. එහෙත්, ඔහුගේ පාරිභෝගිකයින්ට ඒ බව නොපෙන්වීමට ඔහු සැලකිලිමත් වෙයි.

පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් නමින් හඳුන්වන, එහෙත් එනමින් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර නැති, ජෙහාන්ගේ "ආයතනයේ" වෙබ් අඩවිය හරහා හෝ දුරකථන මාර්ගයෙන් පාරිභෝගිකයෙකුට තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය බඩු මෙන්ම එම බඩු මිල දී ගත යුතු සුපිරි වෙළඳසැල හා බඩු අවශ්‍ය වන දිනය දැනුම් දිය හැකි අතර එසේ දැනුම් දීමෙන් අනතුරුව අවශ්‍ය දිනට බඩු ගෙදරටම ලැබේ. පෙනෙන්නට ඇති පරිදි, මෙහිදී පාරිභෝගිකයින් විසින් අවදානමක් නොගන්නා අතර බඩු වෙනුවෙන් මුදල් ගෙවිය යුත්තේ එම බඩු නිසි පරිදි ගෙදරටම ප්‍රවාහනය කර දීමෙන් පසුවය. මේ සේවාව වෙනුවෙන් පාරිභෝගිකයින් විසින් බඩු වල මිලෙන් 10%ක මුදලක් පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් "සමාගමට" ගෙවිය යුතු අතර අඩුම වශයෙන් රුපියල් 3000ක බඩු ඇණවුම් කළ යුතුය. සේවාවේ යම් අඩුපාඩුවක් ඇත්නම් ආයතනයට පැමිණිලි කිරීමටද පුළුවන්කම තිබේ.

ප්‍රියන්තව හමුවන තුරු පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් සමාගමේ ඇණවුම් භාර ගැනීම, භාණ්ඩ මිලදී ගැනීම, ඩිලිවර් කිරීම මෙන්ම පැමිණිලි විභාග කිරීම ඇතුළු සියලු කටයුතු සිදුවන්නේ තනිකරම ජෙහාන්ගේ අතින් වුවත් ඔහු සිය පාරිභෝගිකයින් සතුටු කරමින් ඒ කටයුත්ත ඉතා සැලකිල්ලෙන් හා මහන්සියෙන් කරයි. ආයතනය වෙත අලුත් පාරිභෝගිකයින් ආකර්ශනය වන්නේ එහි සේවාවන්හි ගුණාත්මක භාවය කටින් කට ප්‍රචාරය වීම හරහාය.

බැලූ බැල්මටම පෙනෙන පරිදි මේ ව්‍යාපාරය ඉතා සාධාරණ ව්‍යාපාරයකි. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බොහොමයක කටයුතු සිදුවන ආකාරය මෙහි සිදුවන ආකාරයෙන් විශාල ලෙස වෙනස් නොවේ. කිසියම් ව්‍යාපාරයක් කුඩා "වන් මෑන් ෂෝ" එකක් බව පෙනෙන්නට ඇති විට එවැනි තැනකින් බඩු ගන්නට ලංකාවේ බොහෝ පාරිභෝගිකයින් කැමති නැත. හොඳ වැටුපක් ගෙවුවත් එවැනි තැනක සේවය කරනවාට වඩා, අඩු පඩියක් ගෙවන නමක් ඇති තැනක සේවය කරන්නට බොහෝ දෙනා කැමතිය. ඒ නිසා, බොහෝ කුඩා ව්‍යාපාරික ආයතන වලට පාරිභෝගිකයින් හමුවේ වඩා විශාල ව්‍යාපාරයක් ලෙස පෙනී සිටින්නට සිදුවේ. අඩුම වශයෙන් මා සේවය කර ඇති හෝ සම්බන්ධව සිට ඇති ලංකාවේ හා බංග්ලාදේශයේ කුඩා සමාගම් හෝ ව්‍යාපාර හතරකම තිබුණේ මෙවැනි තත්ත්වයක් නිසා මෙය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් බව මගේ විශ්වාසයයි.

මට පෞද්ගලිකව අත්දැකීම් ඇති ඉහත කී ආයතන කිහිපයේම අයිතිකරුවන් විසින් වරින් වර විවිධ නම් වලින් පාරිභෝගිකයින් ඇමතීම සාමාන්‍ය තත්ත්වයක් විය. ඇතැම් විට, පාරිභෝගික සේවා කළමණාකරු අළෙවි කළමනාකරු වෙත දුරකථන ඇමතුම යොමු කරයි. තවත් විටෙක සාමාන්‍යාධිකාරී වෙත යොමු කරයි. එහෙත්, විවිධ නම් වලින් දුරකතනයට පිළිතුරු දෙන්නේ එකම පුද්ගලයාය. මෙසේ කිරීමෙන් ආයතනයට ඇත්ත ප්‍රමාණයට වඩා ලොකුවට පෙනී සිටින්නට හැකිවීමට අමතරව තවත් වාසි රැසක් ලැබේ.

පළමුව, ඇමතුම ගන්නා විටම ඉල්ලන පුද්ගලයාගේ නම අනුව ඇමතුම එන්නේ කාගෙන්දැයි දැනගෙන සූදානම් වන්නට ඉඩ ලැබේ. දෙවනුව, කිසියම් සිද්ධියක් සම්බන්ධව අසතුටෙන් සිටින පාරිභෝගිකයෙකුගේ පැමිණිල්ල විභාග කර අවශ්‍යනම් පහසුවෙන්ම සේවකයා සේවයෙන් ඉවත් කර දමන්නට වුවද පුළුවන. ඒ සඳහා කළ යුත්තේ නම වෙනස් කිරීම පමණි. ව්‍යාපාරයක් ආරම්භ කරන විටම එය නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි නොකිරීමද ලංකාවේ අසාමාන්‍ය දෙයක් නොවේ. ආරම්භයේදී මෙවැනි දේ කළත්, බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් හා ආයතන විසින් මෙවැනි දේ කරන්නේ ඔලුව උස්සා ගන්නා තුරු පමණි.

කෙසේ වුවද, කිසිසේත්ම විය නොහැකි දේවල් නොවුණත්, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් නොකරන "හොර වැඩ" කිහිපයක්ද ජෙහාන් විසින් කරයි. පළමුව, ඔහු විසින් පදිංචිව සිටින හා ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානය ඔහුට අයිති නැති, ඔහු විසින් කුලියට ගෙනද නැති තැනකි. එහි හිමිකරු කවුදැයි ඔහුවත් නොදනී. මෙය මෙවැනි ව්‍යාපාරික කටයුත්තක යෙදෙන සාමාන්‍ය පුද්ගලයෙකු විසින් නොගන්නා මට්ටමේ අවදානමකි.

ඇතැම් විට, කිසිවෙකු ප්‍රයෝජනයට නොගන්නා "නිකම් තිබෙන" ගොඩනැඟිල්ල රෑට නිදාගන්නටවත් තැනක් නැති ජෙහාන් විසින් ප්‍රයෝජනයට ගැනීමේ කිසිදු සදාචාරාත්මක වරදක් නැතැයි මේ ටෙලිනාට්‍යය නරඹන ඇතැම් ප්‍රේක්ෂකයින්ද සිතනවා විය හැකිය. ලංකාවේ සමාජය දේපොළ අයිතිවාසිකම් ප්‍රමාණවත් තරමින් පිළිගන්නා හෝ තහවුරු කරන සමාජයක් නොවේ.

දෙවනුව, පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් වෙත ලැබෙන ඇණවුම් වෙනුවෙන් බඩු මිල දී ගැනෙන්නේ පාරිභෝගිකයින් විසින් ඉල්ලා සිටින සුපිරි වෙළඳසැල් වලින් නොවේ. එළවළු ආදිය පොළක් වැනි සාමාන්‍ය තැනකින් මිලදී ගන්නා ජෙහාන් එම බඩු ඇත්තටම මිලදී ගත්තේ සුපිරි වෙළඳසැලකින් බව පෙන්වීමට වංචනික ලෙස බිල්පත් මුද්‍රණය කරමින් සිය පාරිභෝගිකයින් රවටයි.

මේ කරුණු දෙකෙන් පෙනෙන්නේ ජෙහාන්ට දක්ෂ ව්‍යාපාරිකයෙකු ලෙස දියුණු වීමේ ශක්‍යතාව තිබුණත් ඔහුට එවැනි දිගුකාලීන අරමුණක් නැති බවයි. ඔහුගේ හැසිරීම වඩා සමාන වන්නේ තමන්ගේ වෙනත් සැබෑ ඉලක්කයක් හඹා යන අතරතුර එය ආවරණය කරගැනීමට කුමක් හෝ දෙයක් තාවකාලිකව කරමින් සිටින දේශපාලන ව්‍යාපාරයක යටිබිම්ගත සාමාජිකයෙකු හෝ රහස් ඔත්තු සේවා සාමාජිකයෙකු වැනි අයෙකුගේ හැසිරීමටය.

ධනවාදී ආර්ථික ක්‍රමයක වාසිය ලබමින් ගොඩ යන්නට හදන තරුණයෙක් බව පෙනුණත් ජෙහාන්ගේ දැක්ම මාක්ස්වාදී එකකි. දෙල්කඳ පොළේ හා ඒ ආසන්නව ඇති කීල්ස් සුපිරි වෙළඳසැලක විකිණීමට තබා ඇති භෞතික වශයෙන් එක සමාන බෝංචි කිලෝ දෙකක් එකිනෙකෙන් වෙනස් වන්නේ කෙසේද යන්න මාක්ස්වාදී ආර්ථික විද්‍යාව විශ්වාස කරන වෙනත් අයෙකුට මෙන්ම ජෙහාන්ටද අවබෝධ කර ගත නොහැකිය. ඒ නිසා, සුපිරි වෙළඳසැලේ බෝංචි කිලෝවක් වෙනුවට පොළේ බෝංචි කිලෝවක් ආදේශ කිරීමේ සදාචාරාත්මක වරදක් නැති බවත්, ඒ නිසා එසේ කිරීමෙන් වාසියක් ලැබීමේ වැරැද්දක් නැති බවත් ඔහු සිතයි.

භාණ්ඩයක මිල තීරණය වන්නේ එහි භෞතික ලක්ෂණ මත පදනම් වූ ප්‍රයෝජ්‍ය අගයක් මත නොව එක් එක් පාරිභෝගිකයා විසින් එයට ලබා දෙන වටිනාකම් අනුව බව තේරුම් ගැනීමට ජෙහාන්ට හැකියාවක් නැත. ඒ නිසා, පාරිභෝගිකයින් විසින් සුපිරි වෙළඳසැලේ විකුණන බෝංචි කිලෝවට වැඩි වටිනාකමක් දීමට හේතු ඔහු බාගෙට විශ්ලේෂණය කර වැරදියට අවබෝධ කරගනී. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස ජෙහාන්ට සිය ඉංග්‍රීසියෙන් කඩේ යාමේ ව්‍යාපාරය වසා දමන්නට සිදුවේ.

එක් ව්‍යාපාරයක් කඩා වැටුණද අනික් අතට තවත් කටයුත්තකට අත ගසන්නට තරම් ව්‍යාපාරික ඥානයක් ජෙහාන්ට තිබේ. ඔහුට දක්ෂ ව්‍යවසායකයෙකු සතු ලක්ෂණ වන අවස්ථා හඳුනා ගැනීමේ හැකියාව, අවදානම් කළමනාකරණ හැකියාව, අඩු පිරිවැයකින් සම්පාදනය කරගත හැකි භෞතික හා මානව සම්පත් හඳුනා ගැනීමේ හැකියාව, ඉවසීම, මහන්සි වී වැඩ කිරීමේ හැකියාව, ප්‍රධාන අරමුණ පැත්තක දමා වෙනත් අරමුණු පස්සේ නොයාම, වඩා වටිනා දෙයක් වෙනුවෙන් අඩුවෙන් වටිනා දේ (බත් පිඟානේ ඇති කරවල කෑල්ලක් වැනි) කැපකිරීමේ හැකියාව ආදී ලක්ෂණ ගණනාවක් තිබේ.

එහෙත්, අවාසනාවකට ජෙහාන්ගේ මාක්ස්වාදී හැදියාව ඔහුගේ ව්‍යවසායකත්වයට බාධා කරයි. වයස අවුරුදු තිස්පහක් වුවත් දෘෂ්ඨිවාදී ලෙස ජෙහාන් ගමකින් නගරයට පැමිණි, තමන්ට භුක්ති විඳිය නොහැකි සම්පත් භුක්ති විඳින පංතියට වෛර කරන, යම්තාක් දුරකට හීනමානයකින්ද පෙළෙන බව පෙනෙන ක්‍රම විරෝධියෙක් වන අතර සරසවියේ කලා පීඨයක දෙවන වසරේ පමණ සිටින ග්‍රාමීය පහළ මධ්‍යම පාන්තික පසුබිමක් ඇති ඉගෙනීම වෙනුවට වෙනත් අරමුණු වලට ප්‍රමුඛතාවය දෙන තරුණයෙකුගෙන් වෙනස් වන්නේ නැත. කතාවේ දැනට විකාශනය වී ඇති කොටස් අනුව ජෙහාන් සරසවියේ ජනසන්නිවේදන උපාධිය හැදෑරීමට අම්පාර දිස්ත්‍රික්කයෙන් පැමිණි අයෙකි.

දැනට කතාව අනුව, නියමිත කාලය අවසන් වෙද්දී ජෙහාන් විසින් උපාධිය සම්පූර්ණ කර නැතත්, වසර තුනකට පසු උපාධිය සම්පූර්ණ කර තිබේ. කතාවේ ස්වභාවය අනුව ඉදිරියේදී ජෙහාන්ගේ අනන්‍යතාවය නැවතත් වෙනස් වෙන්නට වුවද බැරිකමක් නැත. ඒ අනුව, ඔහු උපාධිය සම්පූර්ණ නොකළ අයෙක් හෝ ඇතැම් විට සරසවි සිසුන් ආශ්‍රිතව ජීවත් වූ සරසවි සිසුවෙකු නොවූ අයෙකු වුවද විය හැකිය. ලංකාවේ ආරක්ෂක තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක තිබියදී හමුදාවේ ඉහළ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කිසිදු හැඳුනුම්පතක් නොපෙන්වා ප්‍රධාන හමුදා හා නාවික හමුදා කඳවුරු වල නිලදරු නිවස්න වෙත සතිපතා මෙන් යමින් රිසි සේ රසමසවුලෙන් හා මත්පැනින් සප්පායම් වීමේ හැකියාව තිබුණු පුද්ගලයින් මා පෞද්ගලිකවම ඇසුරු කර තිබේ.

ගේම් කාරයෙකු ලෙස හඳුන්වා දෙනු ලැබුවත් කූඹියෝ ටෙලි නාට්‍යය තුළ ජෙහාන්ගේ චරිතය ගොඩනඟන්නේ ඒ කෙරෙහි කිසියම් වීරත්වයක්ද ආරෝපණය වන පරිදිය. මේ අනුව, එක් වර පෙනෙන්නේ පහළ මධ්‍යම පන්තියෙන් පැමිණි, එහෙත් ඉතා  සුවිශේෂී දක්ෂතා ඇති පුද්ගලයෙකු වන ජෙහාන්ට ගේම් කාරයෙක් වී එදා වේල හොයා ගත්තේ නැත්නම් ගොඩයන්නට ක්‍රමයක් නැති බවයි. අඩු වශයෙන් ඔහුට ඉන්න තැනක් හෝ කන්න විදිහක් නැත. එහෙත්, ඔහුගේ අරමුණ ආර්ථික දියුණුවනම් ඔහුට ඒ කරා යන්නට විශාල බාධාවන් ඇති බවක් නොපෙනේ. ඔහුට දැනටම තිබෙන බව පෙනෙන විශාල සම්බන්ධතා ජාලය පමණක් වුවද ඒ සඳහා ප්‍රමාණවත්ය.

කතාවේ පෙන්වන පරිදි ජෙහාන් යනු "කුරුඳුවත්තේ බැල්ලියන්" රවටා කීයක් හෝ හොයා ගැනීම වරදක් ලෙස නොසිතුවත් තමන්ගේ "පංතියේ" අයට වරදක් නොකරන අයෙකි. ව්‍යාපාරය බිඳ වැටුණත් ඔහු ප්‍රියන්තගේ වැටුප් නොගෙවා සිටින්නේ නැත. වත්තේ කුඩුකාර තරුණ තරුණියන් අළෙවි නිලධාරීන් ලෙස පුහුණු කර ටයි පටි අන්දවා ඔහුගේ සඟරාව විකුණන්නට යවන සමාජ ශෝධකයෙක් හා පහළ පන්තියට සේවය කරන්නෙක් ලෙස ජෙහාන්ගේ චරිතය බැලූ බැල්මට පෙනුණත් ඇත්තටම ඔහු කරන්නේ වෙනත් ශූර ව්‍යාපාරිකයෙකු මෙන් හැකිතරම් අඩු මිලකට ශ්‍රමය මිල දී ගනිමින් ලාබ ලැබීමයි. මෙය ලංකාවේ ඇතැම් වාමාංශික පක්ෂ විසින් මොළ ශෝධනය කිරීම මඟින් අඩු මිලකට හෝ ඇතැම් විට නොමිලේම ශ්‍රම සම්පත් සම්පාදනය කර ගැනීමට සමාන කළ හැකිය.

ජෙහාන් විසින් කරන්නේ, මතුපිටින් පෙනෙන පරිදි, තමන්ගේ ශූර ඥානයෙන් ලොකු සල්ලි ගස් හොලවා වැටෙන සල්ලි තමන්ගේ පංතියේ අය සමඟ බෙදාගැනීම නොවේ. ඇත්තටම සිදුවන්නේ ජෙහාන් විසින් ගේම් කාරයෙකු ලෙස විශාල අවදානමක් ගනිමින්, තමන් සමඟ සිටින ප්‍රියන්ත වැනි වෙනත් අයද අවදානමේ හෙලමින් හා ඒ අවදානමට ගැලපෙන මිලට වඩා අඩු මිලක් ඔවුන්ට ගෙවමින් අඩු මිලට ශ්‍රමය සම්පාදනය කර ගනිමින් කීයක් හෝ හොයා ගන්නා අතර ඉහළ පන්තියේ පුද්ගලයින්ගේ වඩා ලොකු ගේම් වල ඉත්තෙක් වීම පමණි. මෙහි ඇත්තම ගේම් කාරයින් ජෙහාන්ගෙන් සේවය ලබා ගන්නා අයයි. ඔවුහු පැත්තක සිට, ලොකු අවදානමක්ද නොගෙන තමන්ට අවශ්‍ය දේවල් ජෙහාන් ලවා කරවා ගනිති.

කූඹියෝ තිර රචනය තුළ ජෙහාන්ගේ චරිතය හරහා ප්‍රවර්ධනය කෙරෙන වීර චරිතය ඇතැම් දේශපාලන පක්ෂ විසින් ප්‍රවර්ධනය කරන දර්ශීය පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ සමඟ බොහෝ දුරට සමපාත වේ. ජෙහාන් "පරිභෝජනවාදියෙකු" නොවේ. එහෙත්, ඔහු කන බොන මනුස්සයෙකි. ඔහු තමන්ගේ පන්තියට ලැදිය. එමෙන්ම, කෙතරම් වාසි ලැබිය හැකි වුවත් ඉහළ පන්තිය සමඟ ඔහු පෑහෙන්නට නොයයි. තමන්ට සුරක්ෂිත අනාගතයක් තහවුරු කරගැනීමට ප්‍රවේශ මාර්ගයක් ලෙස පෙනෙන "බදුලු කුමාරිය" ජෙහාන් විසින් ප්‍රතික්ෂේප කරන්නේ "මානුෂික සබඳතා" හා "මුදල්" අතර පැහැදිලි ඉරක් ඇති බව එසේ විශ්වාස කරන අයට පෙන්වා දෙමිනි. ඔහුගේ එදිනෙදා ජීවිතය ගෙවෙන්නේ සිය සබඳතා ජාලය පුළුල් කර ගනිමින් හා අදහස් පරාරෝපණය කරමිනි.

නාට්‍යයේ තේමා ගීතය අනුවනම්, ජෙහාන් විසින් කරන්නේ "පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ" රැස් කිරීමකි. ජෙහාන් විසින් මෙසේ මහන්සියෙන් රැස් කරන්නේ මොනවාද? එසේ රැස් කිරීමේ අරමුණ කුමක්ද?

කිසියම් කලා කෘතියක් තුළ නිර්මාණය කෙරෙන චරිතයක පරිකල්පන ශක්තියේ උපරිම සීමාව එහි රචකයාගේ පරිකල්පනයේ උපරිම සීමාවට වඩා වැඩි විය නොහැකිය. කූඹියෝ චරිත සැබෑ වුවත් සංකීර්ණ චරිතයි. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිතය වන ජෙහාන්ට තමන් ඉදිරිපිට සිටින මිනිසෙකු සිතන ආකාරය විශ්ලේෂණය කර උපාය මාර්ගික ප්‍රතිචාර දැක්වීමේ සුවිශේෂී හැකියාවක් තිබේ. ජෙහාන්ට සමාජය විනිවිද දැකිය හැකිය. අවුලක් නැතිව සමාජයේ විවිධ ස්ථර වල සිටින අය ඇසුරු කළ හැකිය. නාගරික වත්තක හැදෙන ජූඩ්ට, මහඋල්පතගම ප්‍රියන්තට මෙන්ම ඉහළ පන්තියේ වෘත්තීයවේදියෙක් හා ව්‍යාපාරිකයෙක් වන අරවින්දට ජෙහාන්ව ඇසුරු කිරීමේදී කිසිදු ආතතියක් නොදැනේ.

මේ ආකාරයේ සංකීර්ණ චරිතයක් නිර්මාණය කළ හැක්කේ අඩුම වශයෙන් ජෙහාන්ගේ තරමට සමාජය විනිවිද දැකිය හැකි හා සමාජ අත්දැකීම් ඇති අයෙකුට පමණි. වෙනත් අයුරකින් කිවහොත් ජෙහාන්ට වඩා හොඳ ගේම් කාරයෙකුට හෝ එවැනි කණ්ඩායමකට පමණි. එසේනම්, කූඹියෝ නිර්මාණය පසුපස ටෙලි නාට්‍යයෙන් ඔබ්බට යන නොපෙනෙන ගේමක් තිබෙනවාද? ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් විකාශනය වී අවසන් වන තුරු නිගමනයකට පැමිණෙන්නට අප හදිස්සි විය යුතු නැත.

Monday, October 2, 2017

දුලබ මිනිස්කම


උපත් පාලනය හා ගබ්සාව ගැන කතා කරන්නට පෙර උපත ගැන කතා කළ යුතුය. උපත ගැන කතා කරන්නටනම් ඉපදෙන පුද්ගලයෙක් සිටිය යුතුය. පුද්ගල අයිතිවාසිකම් ගැන කතා කළ හැක්කේද පුද්ගලයා යනු කවුදැයි අර්ථදැක්වීමෙන් පසුවය. පුද්ගල අයිතිවාසිකම් ඇති පුද්ගලයෙකු යනු කිසියම් කාලයකට හා සමාජයකට සාපේක්ෂ සම්මතයක් පමණක් බව අපි පෙර පැහැදිලි කරගත්තෙමු. මෙසේ පුද්ගලයකු බවට පත් වන තැනැත්තාගේ මූලික අවස්ථාවක් තිබේනම් එය කුමක්ද?

බොහෝ සමාජ වල සම්මතය අනුව හා නීතිය අනුව මේ මූලික අවස්ථාව දරුවෙකු මවුකුසෙන් එළියට පැමිණ ස්වාධීන ජීවියෙකු බවට පත් වන අවස්ථාවයි. එහෙත් මේ සඳහා වෙනස් සම්මත භාවිතා කරන සමාජ හා නීති ක්‍රමද තිබේ. ඒ වෙනස් සම්මත අමතක කර ප්‍රමුඛ සම්මතය අනුව ගියහොත්, යම් කිසිවෙකු මවු කුසෙන් එළියට පැමිණි දරුවෙකු මරා දැම්මොත් එය සැලකෙන්නේ මනුෂ්‍ය ඝාතනයක් වශයෙනි. එහෙත්, ඊට පෙර මවුකුස තුළදී ඒ දරුවා මරා දැම්මොත් එය හඳුන්වන්නේ ගබ්සාවක් වශයෙනි. ගබ්සාවක් ඇතැම් විට මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකෙන්නට පුළුවන.

ලංකාවේ නීතිය ගත්තත් මවුකුසේ සිටින දරුවෙකු හා මවුකුසෙන් එළියට පැමිණි දරුවෙකු අතර නීතිමය ලෙස විශාල වෙනසක් තිබේ. කිසියම් ගර්භණී කාන්තාවක් දරු උපතකට මොහොතකට පෙර විවාහ වුවහොත්, අදාළ කාන්තාව සමඟ විවාහ වන පුද්ගලයා ස්වයංක්‍රීය ලෙසම ඉපදෙන දරුවාගේ නීත්‍යානුකූල බවට පියා බවටද පත් වේ. එහෙත්, ඒ දරුවාව සිසේරියන් ශල්‍ය කර්මයක් මඟින් ටික වෙලාවකට පෙර එළියට ගත්තේනම් එය එසේ නොවේ.

අද මෙන් සිසේරියන් ශල්‍යකර්ම මඟින් නියමිත දිනට සැලකිය යුතු තරම් කලින් දරුවකු මවුකුසෙන් එළියට ගන්නට හැකියාවක් නොතිබුණු, දරු උපතක් සිදුවන මොහොත බොහෝ දුරට අහඹු දිනයක් හා වෙලාවක් වූ කාලයේදීද උපතක් සිදුවන අවස්ථාව කුමක්ද යන ගැටලුව තිබුණේය. ඇතැම් අය මේ අවස්ථාව පෙකණි වැල කපන අවස්ථාව ලෙසත්, තවත් අය දරුවාගේ හිස එළියට පැමිණි වෙලාව ලෙසත්, තවත් අය දරුවා මුලින්ම හුස්මගත් වෙලාව ලෙස හෝ මුලින්ම හඬන ලද මොහොත ලෙසත් සැලකුවේය. වෛද්‍යවිද්‍යාවේ දියුණුව සමඟ දරුවකු ඉපදෙන මොහොත හඳුනාගැනීම වඩාත් සංකීර්ණ වී ඇත. ඒ නිසා, ගබ්සාවක් හා මිනීමැරුමක් ඉරක් ගසා වෙන් කිරීමද සම්මතය මත මිස "නිවැරදි ලෙස" කිරීම අසීරු දෙයකි.

ගබ්සාව හා උපත් පාලනය වෙන් කරන ඉරද මේ ආකාරයේම අවිනිශ්චිත ඉරකි. ඒ ගැන කතා කිරීමට පෙර දරු උපත මෙන්ම අවිනිශ්චිත සංකල්පයක් වන දරුවකු පිළිසිඳගැනීම යනු කුමක්දැයි විමසිය යුතුය.

දරුවෙකු පිළිසිඳගැනීම සඳහා පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් හා ගැහැණියකගේ ඩිම්බයක් එකතු විය යුතුය. සරල ලෙස මෙසේ කිවුවත් මෙයද ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි.

වසර දෙතුන් දහසකට පෙර සිටම මිනිසුන්ට අහසේ ඇති විවිධ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම් ඒවා නොපෙනෙන දවල් කාලයේදී පවා හරියටම කියන්නට පුළුවන් වූ දැනුමක් තිබුණේය. එහෙත්, දරු උපතක් සිදුවන ආකාරය ගැන මිනිසුන් ඉතා මෑතක් වන තුරුම නිවැරදිව දැන සිටියේ නැත. මේ හා අදාළ දැනුම දැනටත් අලුත් වෙමින් පවතින දැනුමකි.

මිනිස් දරුවකු බිහි කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් හා එක් ශුක්‍රාණුවක් පමණි. එහෙත්, පිරිමියෙකු සිය ජීවිත කාලය තුළ ශුක්‍රාණු බිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවයි. මේ විශාල ශුක්‍රාණු ප්‍රමාණයෙන් අවසානයේදී ප්‍රයෝජනයට ගැනෙන්නේ සාමාන්‍ය වශයෙන් ශුක්‍රාණු දෙකකට මදක් වැඩි ප්‍රමාණයක් පමණි. පිරිමියෙකුගේ ජීවිත කාලය ඇතුළත ඔහුගේ සිරුරේ නිපදවෙන ශුක්‍රාණුවක් මිනිසෙකු බිහි කිරීමට දායක වීමට ඇති සම්භාවිතාව ඉතාම අඩු එකක් වන අතර ඉතිරි ශුක්‍රාණු සියල්ල කිසියම් හෝ පෙර අදියරකදී විනාශ වී යයි. කිසියම් කටයුත්තක් සඳහා පෘථිවිය මත ජීවත් වන මිනිසුන් සියලු දෙනා අතරින් අහඹු ලෙස එක් අයෙක් පමණක් ඉතිරිව අනෙක් සියලු දෙනා මරණයට පත් වන ව්‍යසනයකදී එසේ ඉතිරි වන පුද්ගලයා ඔබ වන්නට ඇති සම්භාවිතාව ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ එකතු වීමට ඇති ඉඩකඩ මෙන් 30 ගුණයක් පමණ වේ.

පිරිමියෙකු ශුක්‍රාණු මුදා හරින එක අවස්ථාවකදී වුවත් ශුක්‍රාණු මිලියන 50ක පමණ සිට බිලියනයක් පමණ දක්වා ප්‍රමාණයක් මුදා හරී. ඒවා අතරින් එකකට වැඩි ප්‍රමාණයක් මිනිස් කළලයක් බිහිකරන්නට දායක වන්නේ ඉතාම කලාතුරකින් පමණි. මේ තරම් තරඟකාරී තේරීමක් සිදුවන්නේ වඩාත්ම හොඳ මිනිස් කළල බිහි කිරීම සඳහා සිදුවන ස්වභාව ධර්මයේ උපක්‍රමයක් වශයෙනි. පිරිමියෙකු එක් වර මුදාහරින ශුක්‍රාණු සෛල ගණන මෙතරම් විශාල ප්‍රමාණයක් වී ඇත්තේ පරිණාමය සිදුවන ආකාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ගැහැණියකගේ යෝනි මාර්ගය, ගැබ් ගෙල හා ගර්භාෂය පසුකර පැලෝපීය නාලය කරා ගමන් කරන ශුක්‍රාණු වලින් විශාල ප්‍රමාණයක් මේ දුෂ්කර ගමනේදී ඩිම්බයක් හමුවන්නට පෙර විනාශ වී යයි. ඇතැම් ඒවා වැරදි පාරක ගොස් හෝ අතරමඟ හිරවී විනාශ වෙයි. පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වැඩි වන තරමට ඒවායින් එකක් ඩිම්බයක් සමඟ එකතු වී කළලයක් බවට පත් වීමේ ඉඩකඩ වැඩිවේ. ඒ නිසා, කිසියම් හෝ  ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහරින පිරිමින්ට වැඩි දරුවන් ප්‍රමාණයක් බිහිකරන්නට හැකිවේ. ඔහුගෙන් මෙසේ බිහිවන පිරිමි දරුවන්ටද පියාගේ ජාන නිසා මේ හැකියාවම ලැබුණොත් ඔවුන්ටද වෙනත් අයට වඩා වැඩි දරුවන් ප්‍රමාණයක් බිහි කරන්නට අවස්ථාව ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට ජනගහණයේ සිටින වැඩිපුර ශුක්‍රාණු මුදාහරින පිරිමින් වැඩි වී අවසානයේදී එය සාමාන්‍ය තත්ත්වය බවට පත් වේ.

තවත් කලක් යද්දී මේ අය අතරෙන් එක් පිරිමියෙකුට නැවතත් ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහැරීමේ හැකියාවක් ලැබේ. කලින් ක්‍රියාවලියම පුනරාවර්තනය වීම නිසා ජනගහණයේ පිරිමියෙකු විසින් මුදාහරින ශුක්‍රාණු ප්‍රමාණය තවත් වැඩි වේ.

මිනිස් පිරිමියෙකු දරුවෙකු බිහි කිරීමේ සම්භාවිතාව තනිකරම රඳා පවතින්නේ ඔහු විසින් වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය මතනම් පරිණාමයේ නීති අනුව සිදුවිය යුත්තේ කාලයක් යද්දී ඉතා විශාල වෘෂණ කෝෂ සහිත මිනිසුන් බිහි වීමයි. එහෙත්, මිනිස් පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ඔහුගේ ජාන සහිත ජනිතයෙකු බිහි වීමේ සම්භාවිතාව තීරණය කරන එකම සාධකය නොවේ. සංස්කෘතික සාධක ඇතුළු වෙනත් හේතු නිසා සෑම පිරිමියෙකුටම ගැහැණුන් සමඟ එකතු වීමට සමාන අවස්ථා නොලැබේ. මෙය වෙනත් සතුන්ටද පොදු දෙයකි.

ගෝරිල්ලන් රංචුවක ගැහැණු ගෝරිල්ලන් සියල්ලන්ම සමඟ වාගේ සංසර්ගය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ රැළේ නායකයාට වන අතර අනෙක් බොහෝ ගෝරිල්ලන්ට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබේ. ඒ නිසා, ගෝරිල්ලන් හා අදාළව ගත් විට ජනිතයන් බිහි කිරීමේදී වඩා වැදගත් වන්නේ වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය නොව රැළේ නායකයා වීමට ඇති ඉඩකඩයි. ඒ අවස්ථාව ඉහළ නංවන්නේ ශරීර ප්‍රමාණය වැනි දේ තීරණය කරන වෙනත් ජානයි.

එහෙත්, වඩා "සමාජවාදී" සංස්කෘතියක් ඇති චිම්පන්සින් අතර තත්ත්වය වෙනස්ය. බොහෝ පිරිමි චිම්පන්සින්ට ගැහැණු චිම්පන්සියක සමඟ එකතු වීමට අවස්ථාවන් ලැබෙන නිසා වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වඩා වැදගත් සාධකයක් වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස චිම්පන්සින්ගේ වෘෂණ කෝෂ ශරීර ප්‍රමාණයට අනුපාතිකව ගෝරිල්ලන්ගේ මෙන් පහළොස් ගුණයක් විශාලය. මිනිසුන් සිටින්නේ චිම්පන්සින් හා ගෝරිල්ලන් අතර තැනකය.


කෙසේ වුවද වැදගත්ම කරුණ වන්නේ වැඩිහිටි මිනිස් පිරිමියෙකු ජීවිත කාලය තුළ නිරන්තරව නිපදවන ශුක්‍රාණු විශාල ප්‍රමාණයෙන් එකක් දරුවෙකු බිහි කිරීමට දායක වන විට තවත් ශුක්‍රාණු බිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ වන බවයි. මිනිස් පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් ජනිතයෙකු බිහි කිරීමට දායක වීමේ සම්භාවිතාව එතරම්ම අඩුය.

උපන් අලුත මිනිස් පිරිමියෙකුගේ සිරුරේ ශුක්‍රාණු සෛල හැදෙන්නේ නැත. එය සිදුවන්නට පටන් ගන්නේ වයස අවුරුදු 10-12 පමණ වන විටය. එතැන් සිට මිය යන තුරුම වාගේ මිනිස් පිරිමියෙකුගේ සිරුර ශුක්‍රාණු සෛල නිපදවයි.

ශුක්‍රාණු සෛලයක් නිර්මාණය වීම හා පරිණත වීම (මෙහි විස්තර නොකරන) අදියර හතරකදී පමණ සිදුවන සංකීර්ණ කාර්යයක් වන අතර මේ සඳහා දින 63-75 ක පමණ කාලයක් ගත වේ. මේ කාලය ඇතුළත ඩිම්බයක් කරා යන අසීරු චාරිකාව අරඹන්නට ශුක්‍රාණු සෛල පුහුණු වෙයි. මෙසේ පරිණත වූ ශුක්‍රාණුවක් මුදා හරිනු ලැබුවහොත් ප්‍රසස්ත තත්ත්වයන් යටතේ එයට දින 5-6 ක පමණ දක්වා වන කාලයක් ජීවත් විය හැකිය. මුදාහරිනු නොලැබුවහොත් සති 2-3 කින් පමණ පසුව එය විනාශ වන අතර එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වේ. මේ අනුව ශුක්‍රාණුවක සම්පූර්ණ ජීවිත කාලය මාස තුනකට පමණ සීමා වේ. වැඩිහිටි මිනිස් පිරිමියෙකුගේ සිරුර තුළ ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් අඛණ්ඩව සෑම මොහොතකම නිපදවීමට අවශ්‍ය වන්නේ ඒ නිසාය.

වැඩිහිටි පිරිමියෙකු එක වර මුදා හරින ශුක්‍රාණු එකතුවක ශුක්‍රාණු සෛල මිලියන 40-1500ක් පමණ තිබිය හැකි වුවත් බොහෝ විට මෙය මිලියන 100-300 අතර ප්‍රමාණයකි. මේ සියළු ශුක්‍රාණු සෛල සමාන නැත. එක් ශුක්‍රාණු සෛලයක තිබෙන්නේ පිරිමියෙකුගේ වර්ණදේහ යුගල 23න්, එනම් වර්ණදේහ 46න් 23ක් පමණි. ඒ නිසා එකම පිරිමියෙකුගේ ශුක්‍රාණු අතර ජානමය ලෙස වෙනස් ශුක්‍රාණු වර්ග අඩු වශයෙන් 8,388,608ක් තිබේ. මීට අමතරව විවිධ විකෘතීන් සහිත අසාමාන්‍ය ශුක්‍රාණු සෛල වර්ග විශාල ප්‍රමාණයක්ද තිබිය හැකිය. මේ සංඛ්‍යා සැසඳූ විට පෙනෙන පරිදි පිරිමියෙකු එක වරකදී මුදාහරින ශුක්‍රාණු අතර වුවද ජානමය ලෙස සමාන ශුක්‍රාණු 5-180 අතර ප්‍රමාණයක් තිබිය හැකිය.

කෙසේවුවද එකම වර්ණදේහ සංයුතියකින් යුතුව හැදෙන ශුක්‍රාණු වුවද භෞතික වශයෙන් එකිනෙකට සමාන නැත. ශුක්‍රාණු සෛල වලින් 90%ක් පමණම වලිගය නැති, හිස් දෙකක් සහිත, වලිග පැටලුණු ආදී විවිධ හේතු නිසා ඩිම්බයක් සොයා පිහිනිය හැකි තත්ත්වයක නොපවතී. ඒවා කෙටි කලකින් විනාශ වී යයි.

ශුක්‍රාණුවක දිගට සාපේක්ෂව එයට ඩිම්බයක් සොයා පීනන්නට ඇති දුර සමාන කළ හැක්කේ මිනිසෙකු සැතපුම් 3-4 ක පමණ දුරක් පිහිනීමටය. ශුක්‍රාණු සෛල අතර සිටින දක්ෂම පිහිනුම්කරුවෙකුට මිනිත්තු 45ක පමණ කාලයකදී මේ දුර පිහිනිය හැකි අතර එතරම් දක්ෂ නැති පිහිනුම්කරුවෙකුට මේ සඳහා පැය 12ක පමණ කාලයක් ගත වේ. එහෙත්, මේ ගමන සම්පූර්ණ කරන්නේම සීමිත පිහිනුම්කරුවන් පිරිසක් පමණි.

ශුක්‍රාණු සම්බන්ධ තත්ත්වය මෙසේනම් ඩිම්බ සම්බන්ධ තත්ත්වය කුමක්ද? සෑහෙන තරම් ප්‍රචලිත අදහසක් වන්නේ ශුක්‍රාණු අති විශාල ප්‍රමාණයක් ඩිම්බයක් අයිති කර ගන්නට තරඟ කර අවසානයේදී ඒ අතරින් එක් ශුක්‍රාණුවක් තරඟය ජය ගන්නා බවයි. කෙසේවුවද, මෙය ලොකු කතාවක එක් කොටසක් පමණි.

ශුක්‍රාණු හා ඩිම්බ අතර මූලික වෙනස්කම් ගණනාවක් තිබේ.

පළමුව, මිනිස් ගැහැණියකගේ ඩිම්බයක් නිපදවී පරිණත වීමට වසර 10-50 ක පමණ දීර්ඝ කාලයක් ගත වේ. ඩිම්බයක් පරිණත කර මුදාහැරීම සඳහා අවශ්‍ය වන මූල සෛල නිශ්චිත ප්‍රමාණයක් මිනිස් ගැහැණියකගේ සිරුරේ උපදින විටම පිහිටා තිබේ. මේ හැර මිනිස් පිරිමින්ගේ ශුක්‍රාණු සෛල මෙන් ඩිම්බ සෛල පසුව අලුතින්ම හැදෙන්නේ නැත. (වසර පණහක් පමණ තිස්සේ පිළිගැනෙන මේ ප්‍රවාදය ඇතැම් මෑතකාලීන පර්යේෂණ වලින් අභියෝගයට ලක්වී ඇතත් මා මේ ලිපියේදී ඒ කෙරෙහි  අවධානය යොමු කරන්නේ නැත.)

මිනිස් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ නොමේරූ ඩිම්බ (වඩා නිවැරදිව එහි මූල අවස්ථාවක්) මිලියන 1-2 ක් පමණ ප්‍රමාණයක් තිබුණත් මේ සෛල විශාල ප්‍රමාණයක් වැඩිවිය පැමිණෙන්නටද පෙර ස්වභාවික ලෙසම විනාශ වී යයි. මිනිස් ගැහැණියක වැඩි විය පැමිණෙන විට ඇගේ සිරුරේ තිබෙන්නේ මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල ආසන්න වශයෙන් ලක්ෂ 2-4 ක පමණ ප්‍රමාණයක් පමණි. වැඩිවිය පැමිණීමෙන් පසුවද මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල විශාල ප්‍රමාණයක් මේ අයුරින් සෑම මසකම දිගින් දිගටම විනාශ වෙයි. මේ කරුණට උපත් පාලනය, ගර්භණී වීම හෝ නොවීම, සංසර්ගයේ යෙදීම හෝ නොයෙදීම, මාස් ශුද්ධිය සිදුවීම හෝ නොවීම ආදියේ සම්බන්ධයක් නැත.

මිනිස් ගැහැණියකගේ වයස අවුරුදු පණහක පමණ වන විට ඇයට උපතින් හිමි වුනු ඩිම්බ මිලියන දෙකම, එසේ නැත්නම් වැඩිවිය පැමිණෙන විට ඉතිරිව තිබුණු ලක්ෂ තුනම, විනාශ වී අවසන්ය. මෙය සිදුවන නිශ්චිත වයස කාන්තාවකට උපතින් උරුම වූ ඩිම්බ ගණන මත තීරණය වන අතර ඒ අනුව වසර පහක් හෝ හයක් එහා මෙහා වන්නට පුළුවන. කෙසේවුවද, ආසන්න වශයෙන් වසර පණහකදී පමණ මිනිස් ගැහැණියකගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණය අවසන් වන අතර ඉන් පසුව ඇයට දරුවන් බිහිකිරීමට දායක විය නොහැකිය.

මිනිස් ගැහැණියක විසින් උපතින් උරුම කර ගන්නා මිලියන දෙකක් පමණ වන ඩිම්බ සෛල වලින් මේරූ ඩිම්බ බවට පත්ව මාස්පතා මුදා හරිනු ලැබ දරුවකු බිහි කිරීමට දායක වීමේ ඉඩක් ලබන්නේ ඩිම්බ 400-500 අතර ප්‍රමාණයක් පමණි.

මිනිස් පිරිමියෙකුට මෙන්ම මිනිස් ගැහැණියකටද ජානමය ලෙස එකිනෙකෙන් වෙනස් ඩිම්බ වර්ග 8,388,608ක් නිපදවිය හැකි වුවත් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණයද එයින් හතරෙන් එකක් පමණක් නිසා ජානමය ලෙස සමාන ඩිම්බ දෙකක් අහඹු ලෙස ඇති වීමට ඉඩක් නැති තරම්ය. මේ නිසා, එකම මවකගේ සම-නිවුන් නොවන දරු දෙදෙනෙකුට ඇයගෙන් සමාන වර්ණදේහ ලැබෙන්නට ඉඩක් නැති තරම්ය.

එක් මිනිස් පිරිමියෙකු හා එක් මිනිස් ගැහැණියක විසින් බිහි කළ හැකි ජානමය ලෙස වෙනස් දරුවන් වර්ග ගණන අඩුම වශයෙන් 70,368,744,177,664කි. එනම් බිලියන හැත්තෑ දහසකට අධික සංයෝජන ප්‍රමාණයකි. මෙයට සාමාන්‍ය නොවන විකෘති ජාන සැකසුම් විශාල ප්‍රමාණයක්ද එකතු විය යුතුය. පෘථිවිය මත කෙදිනක හෝ ජීවත්ව සිට ඇති මිනිසුන් ගණන බිලියන සීයකට මඳක් වැඩි ප්‍රමාණයකි. ඒ නිසා, එක මවකගේ දරුවන් ලෙස සම-නිවුන් දරුවන් තරමට සමාන දරුවන් දෙදෙනෙකු කිසිදු කලෙක බිහිව තිබෙන්නට ඉඩක් නැතැයි සැලකිය හැකිය.

මෑතකදී අසන්නට ලැබුණු කතාවකට අනුව ඇතැම් අය සිතා සිටින පරිදි සෑම මිනිසෙකුම එකිනෙකාගෙන් වෙනස් වුවත් අලින්ගේ එවැනි වෙනසක් නැති අතර කොයි අලියාත් සමානය. මෙය වැරදි අදහසකි. මිනිසුන්ගේ වර්ණදේහ යුගල 46ට සාපේක්ෂව අලින්ට වර්ණදේහ යුගල 56ක් ඇති අතර ඒ නිසා එකම අලි ජෝඩුවකගේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වීමෙන් හැදෙන්නට ඉඩ ඇති ජානමය ලෙස වෙනස් අලි පැටවුන් ගණන පමණක් 72,057,594,037,927,936කි. මේ අනුව අලි ජෝඩුවකගේ පැටවුන්ට තිබිය හැකි ජාන විවිධත්වය මිනිස් යුවලකගේ දරුවන්ට තිබිය හැකි ජාන විවිධත්වය මෙන් දහස් ගුණයකි. සෑම අලියාම එක ලෙස පෙනීම අපේ ඉන්ද්‍රිය පද්ධතියේ ඇති සීමාවක් මිස අලින්ගේ විවිධත්වය අඩුකමේ ප්‍රශ්නයක් නොවේ. මේ වැරැද්ද පෙන්වා දුන්නත් ඒ හේතුව නිසා අලින්ට රට භාර දී මිනිසුන් ඉවත් විය යුතුයැයි අප යෝජනා කරන්නේ නැත.

ශුක්‍රාණු හා ඩිම්බ එකතු වී පිළිසිඳගැනීමක් සිදුවන ආකාරයත්, විවිධ උපත් පාලන උපක්‍රම මඟින් එයට බාධා පමුණුවන ආකාරයත් ගැන කතා කිරීම අපි පසු ලිපියකට ඉතිරි කරමු.

දැනට කියන්නට තිබෙන්නේ මිනිස් උපතක් යනු කෙතරම් දුර්ලභ දෙයක්ද යන්නයි. ඔබේ ජීව විද්‍යාත්මක මවගෙන් හා පියාගෙන් බිහිවිය හැකිව තිබුණු භෞතික ලක්ෂණ වලින් එකිනෙකාට වෙනස් දරුවන් ගණන බිලියන හැත්තෑ දහසකට අධිකය. මේ අතරින් එක් අයෙක්, හත් අට දෙනෙක් හෝ වැඩිම වුනොත් දහ පහළොස් දෙනෙක් මිනිස් දරුවන් ලෙස බිහිවන විට, ඔබේ මවට හා පියාට දාව ඉපදීමේ කිසියම් සම්භාවිතාවක් තිබුණු, ඔබේ පවුලේ සාමාජිකයින්ට වඩා වෙනස් භෞතික ශරීර සහිත ඔබේ සොහොයුරන් හෝ සොහොයුරියන් බිලියන හැත්තෑ දහසක් මෙලොවට බිහි වී නැත.

ස්වභාව ධර්මය අලුත් මිනිසෙකු බිහි කරන්නේ මේ තරම් විශාල තේරීමක් කරමිනි. ඔබව නිර්මාණය වීමට දායක වූ ඩිම්බය ඔබේ මව ඉපදෙන විට ඈ සතු වූ ඩිම්බ මිලියන දෙකකින් එකකි. ඔබව නිර්මාණය වීමට දායක වූ ශුක්‍රාණුව ඔබේ පියා ඔහුගේ ජීවිත කාලය තුළ නිපදවන ශුක්‍රාණු බිලියන 500කින් එකකි. ඔබට ඔවුන්ගෙන් ලැබුණු වර්ණදේහ යුගල 23, එසේ ලැබිය හැකිව තිබුණු විවිධ වර්ණදේහ යුගල ට්‍රිලියන 70කින් එකකි. ලෝකයේ ඕනෑම අහඹු පුද්ගලයෙක් ඇමරිකාවේ ජනාධිපති වීමට ඇති ඉඩකඩ ඔබේ භෞතික සිරුර ඔබට හිමිවන්නට තිබුණු ඉඩකඩට වඩා දසදහස් ගුණයකින් වැඩිය. සෑම මිනිසෙකුම සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ එබැවිනි.

(Image: http://www.soc.ucsb.edu/sexinfo/article/biological-steps-becoming-pregnant)
There was an error in this gadget