Monday, October 2, 2017

දුලබ මිනිස්කම


උපත් පාලනය හා ගබ්සාව ගැන කතා කරන්නට පෙර උපත ගැන කතා කළ යුතුය. උපත ගැන කතා කරන්නටනම් ඉපදෙන පුද්ගලයෙක් සිටිය යුතුය. පුද්ගල අයිතිවාසිකම් ගැන කතා කළ හැක්කේද පුද්ගලයා යනු කවුදැයි අර්ථදැක්වීමෙන් පසුවය. පුද්ගල අයිතිවාසිකම් ඇති පුද්ගලයෙකු යනු කිසියම් කාලයකට හා සමාජයකට සාපේක්ෂ සම්මතයක් පමණක් බව අපි පෙර පැහැදිලි කරගත්තෙමු. මෙසේ පුද්ගලයකු බවට පත් වන තැනැත්තාගේ මූලික අවස්ථාවක් තිබේනම් එය කුමක්ද?

බොහෝ සමාජ වල සම්මතය අනුව හා නීතිය අනුව මේ මූලික අවස්ථාව දරුවෙකු මවුකුසෙන් එළියට පැමිණ ස්වාධීන ජීවියෙකු බවට පත් වන අවස්ථාවයි. එහෙත් මේ සඳහා වෙනස් සම්මත භාවිතා කරන සමාජ හා නීති ක්‍රමද තිබේ. ඒ වෙනස් සම්මත අමතක කර ප්‍රමුඛ සම්මතය අනුව ගියහොත්, යම් කිසිවෙකු මවු කුසෙන් එළියට පැමිණි දරුවෙකු මරා දැම්මොත් එය සැලකෙන්නේ මනුෂ්‍ය ඝාතනයක් වශයෙනි. එහෙත්, ඊට පෙර මවුකුස තුළදී ඒ දරුවා මරා දැම්මොත් එය හඳුන්වන්නේ ගබ්සාවක් වශයෙනි. ගබ්සාවක් ඇතැම් විට මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකෙන්නට පුළුවන.

ලංකාවේ නීතිය ගත්තත් මවුකුසේ සිටින දරුවෙකු හා මවුකුසෙන් එළියට පැමිණි දරුවෙකු අතර නීතිමය ලෙස විශාල වෙනසක් තිබේ. කිසියම් ගර්භණී කාන්තාවක් දරු උපතකට මොහොතකට පෙර විවාහ වුවහොත්, අදාළ කාන්තාව සමඟ විවාහ වන පුද්ගලයා ස්වයංක්‍රීය ලෙසම ඉපදෙන දරුවාගේ නීත්‍යානුකූල බවට පියා බවටද පත් වේ. එහෙත්, ඒ දරුවාව සිසේරියන් ශල්‍ය කර්මයක් මඟින් ටික වෙලාවකට පෙර එළියට ගත්තේනම් එය එසේ නොවේ.

අද මෙන් සිසේරියන් ශල්‍යකර්ම මඟින් නියමිත දිනට සැලකිය යුතු තරම් කලින් දරුවකු මවුකුසෙන් එළියට ගන්නට හැකියාවක් නොතිබුණු, දරු උපතක් සිදුවන මොහොත බොහෝ දුරට අහඹු දිනයක් හා වෙලාවක් වූ කාලයේදීද උපතක් සිදුවන අවස්ථාව කුමක්ද යන ගැටලුව තිබුණේය. ඇතැම් අය මේ අවස්ථාව පෙකණි වැල කපන අවස්ථාව ලෙසත්, තවත් අය දරුවාගේ හිස එළියට පැමිණි වෙලාව ලෙසත්, තවත් අය දරුවා මුලින්ම හුස්මගත් වෙලාව ලෙස හෝ මුලින්ම හඬන ලද මොහොත ලෙසත් සැලකුවේය. වෛද්‍යවිද්‍යාවේ දියුණුව සමඟ දරුවකු ඉපදෙන මොහොත හඳුනාගැනීම වඩාත් සංකීර්ණ වී ඇත. ඒ නිසා, ගබ්සාවක් හා මිනීමැරුමක් ඉරක් ගසා වෙන් කිරීමද සම්මතය මත මිස "නිවැරදි ලෙස" කිරීම අසීරු දෙයකි.

ගබ්සාව හා උපත් පාලනය වෙන් කරන ඉරද මේ ආකාරයේම අවිනිශ්චිත ඉරකි. ඒ ගැන කතා කිරීමට පෙර දරු උපත මෙන්ම අවිනිශ්චිත සංකල්පයක් වන දරුවකු පිළිසිඳගැනීම යනු කුමක්දැයි විමසිය යුතුය.

දරුවෙකු පිළිසිඳගැනීම සඳහා පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් හා ගැහැණියකගේ ඩිම්බයක් එකතු විය යුතුය. සරල ලෙස මෙසේ කිවුවත් මෙයද ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි.

වසර දෙතුන් දහසකට පෙර සිටම මිනිසුන්ට අහසේ ඇති විවිධ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම් ඒවා නොපෙනෙන දවල් කාලයේදී පවා හරියටම කියන්නට පුළුවන් වූ දැනුමක් තිබුණේය. එහෙත්, දරු උපතක් සිදුවන ආකාරය ගැන මිනිසුන් ඉතා මෑතක් වන තුරුම නිවැරදිව දැන සිටියේ නැත. මේ හා අදාළ දැනුම දැනටත් අලුත් වෙමින් පවතින දැනුමකි.

මිනිස් දරුවකු බිහි කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් හා එක් ශුක්‍රාණුවක් පමණි. එහෙත්, පිරිමියෙකු සිය ජීවිත කාලය තුළ ශුක්‍රාණු බිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවයි. මේ විශාල ශුක්‍රාණු ප්‍රමාණයෙන් අවසානයේදී ප්‍රයෝජනයට ගැනෙන්නේ සාමාන්‍ය වශයෙන් ශුක්‍රාණු දෙකකට මදක් වැඩි ප්‍රමාණයක් පමණි. පිරිමියෙකුගේ ජීවිත කාලය ඇතුළත ඔහුගේ සිරුරේ නිපදවෙන ශුක්‍රාණුවක් මිනිසෙකු බිහි කිරීමට දායක වීමට ඇති සම්භාවිතාව ඉතාම අඩු එකක් වන අතර ඉතිරි ශුක්‍රාණු සියල්ල කිසියම් හෝ පෙර අදියරකදී විනාශ වී යයි. කිසියම් කටයුත්තක් සඳහා පෘථිවිය මත ජීවත් වන මිනිසුන් සියලු දෙනා අතරින් අහඹු ලෙස එක් අයෙක් පමණක් ඉතිරිව අනෙක් සියලු දෙනා මරණයට පත් වන ව්‍යසනයකදී එසේ ඉතිරි වන පුද්ගලයා ඔබ වන්නට ඇති සම්භාවිතාව ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ එකතු වීමට ඇති ඉඩකඩ මෙන් 30 ගුණයක් පමණ වේ.

පිරිමියෙකු ශුක්‍රාණු මුදා හරින එක අවස්ථාවකදී වුවත් ශුක්‍රාණු මිලියන 50ක පමණ සිට බිලියනයක් පමණ දක්වා ප්‍රමාණයක් මුදා හරී. ඒවා අතරින් එකකට වැඩි ප්‍රමාණයක් මිනිස් කළලයක් බිහිකරන්නට දායක වන්නේ ඉතාම කලාතුරකින් පමණි. මේ තරම් තරඟකාරී තේරීමක් සිදුවන්නේ වඩාත්ම හොඳ මිනිස් කළල බිහි කිරීම සඳහා සිදුවන ස්වභාව ධර්මයේ උපක්‍රමයක් වශයෙනි. පිරිමියෙකු එක් වර මුදාහරින ශුක්‍රාණු සෛල ගණන මෙතරම් විශාල ප්‍රමාණයක් වී ඇත්තේ පරිණාමය සිදුවන ආකාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ගැහැණියකගේ යෝනි මාර්ගය, ගැබ් ගෙල හා ගර්භාෂය පසුකර පැලෝපීය නාලය කරා ගමන් කරන ශුක්‍රාණු වලින් විශාල ප්‍රමාණයක් මේ දුෂ්කර ගමනේදී ඩිම්බයක් හමුවන්නට පෙර විනාශ වී යයි. ඇතැම් ඒවා වැරදි පාරක ගොස් හෝ අතරමඟ හිරවී විනාශ වෙයි. පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වැඩි වන තරමට ඒවායින් එකක් ඩිම්බයක් සමඟ එකතු වී කළලයක් බවට පත් වීමේ ඉඩකඩ වැඩිවේ. ඒ නිසා, කිසියම් හෝ  ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහරින පිරිමින්ට වැඩි දරුවන් ප්‍රමාණයක් බිහිකරන්නට හැකිවේ. ඔහුගෙන් මෙසේ බිහිවන පිරිමි දරුවන්ටද පියාගේ ජාන නිසා මේ හැකියාවම ලැබුණොත් ඔවුන්ටද වෙනත් අයට වඩා වැඩි දරුවන් ප්‍රමාණයක් බිහි කරන්නට අවස්ථාව ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට ජනගහණයේ සිටින වැඩිපුර ශුක්‍රාණු මුදාහරින පිරිමින් වැඩි වී අවසානයේදී එය සාමාන්‍ය තත්ත්වය බවට පත් වේ.

තවත් කලක් යද්දී මේ අය අතරෙන් එක් පිරිමියෙකුට නැවතත් ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහැරීමේ හැකියාවක් ලැබේ. කලින් ක්‍රියාවලියම පුනරාවර්තනය වීම නිසා ජනගහණයේ පිරිමියෙකු විසින් මුදාහරින ශුක්‍රාණු ප්‍රමාණය තවත් වැඩි වේ.

මිනිස් පිරිමියෙකු දරුවෙකු බිහි කිරීමේ සම්භාවිතාව තනිකරම රඳා පවතින්නේ ඔහු විසින් වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය මතනම් පරිණාමයේ නීති අනුව සිදුවිය යුත්තේ කාලයක් යද්දී ඉතා විශාල වෘෂණ කෝෂ සහිත මිනිසුන් බිහි වීමයි. එහෙත්, මිනිස් පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ඔහුගේ ජාන සහිත ජනිතයෙකු බිහි වීමේ සම්භාවිතාව තීරණය කරන එකම සාධකය නොවේ. සංස්කෘතික සාධක ඇතුළු වෙනත් හේතු නිසා සෑම පිරිමියෙකුටම ගැහැණුන් සමඟ එකතු වීමට සමාන අවස්ථා නොලැබේ. මෙය වෙනත් සතුන්ටද පොදු දෙයකි.

ගෝරිල්ලන් රංචුවක ගැහැණු ගෝරිල්ලන් සියල්ලන්ම සමඟ වාගේ සංසර්ගය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ රැළේ නායකයාට වන අතර අනෙක් බොහෝ ගෝරිල්ලන්ට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබේ. ඒ නිසා, ගෝරිල්ලන් හා අදාළව ගත් විට ජනිතයන් බිහි කිරීමේදී වඩා වැදගත් වන්නේ වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය නොව රැළේ නායකයා වීමට ඇති ඉඩකඩයි. ඒ අවස්ථාව ඉහළ නංවන්නේ ශරීර ප්‍රමාණය වැනි දේ තීරණය කරන වෙනත් ජානයි.

එහෙත්, වඩා "සමාජවාදී" සංස්කෘතියක් ඇති චිම්පන්සින් අතර තත්ත්වය වෙනස්ය. බොහෝ පිරිමි චිම්පන්සින්ට ගැහැණු චිම්පන්සියක සමඟ එකතු වීමට අවස්ථාවන් ලැබෙන නිසා වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වඩා වැදගත් සාධකයක් වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස චිම්පන්සින්ගේ වෘෂණ කෝෂ ශරීර ප්‍රමාණයට අනුපාතිකව ගෝරිල්ලන්ගේ මෙන් පහළොස් ගුණයක් විශාලය. මිනිසුන් සිටින්නේ චිම්පන්සින් හා ගෝරිල්ලන් අතර තැනකය.


කෙසේ වුවද වැදගත්ම කරුණ වන්නේ වැඩිහිටි මිනිස් පිරිමියෙකු ජීවිත කාලය තුළ නිරන්තරව නිපදවන ශුක්‍රාණු විශාල ප්‍රමාණයෙන් එකක් දරුවෙකු බිහි කිරීමට දායක වන විට තවත් ශුක්‍රාණු බිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ වන බවයි. මිනිස් පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් ජනිතයෙකු බිහි කිරීමට දායක වීමේ සම්භාවිතාව එතරම්ම අඩුය.

උපන් අලුත මිනිස් පිරිමියෙකුගේ සිරුරේ ශුක්‍රාණු සෛල හැදෙන්නේ නැත. එය සිදුවන්නට පටන් ගන්නේ වයස අවුරුදු 10-12 පමණ වන විටය. එතැන් සිට මිය යන තුරුම වාගේ මිනිස් පිරිමියෙකුගේ සිරුර ශුක්‍රාණු සෛල නිපදවයි.

ශුක්‍රාණු සෛලයක් නිර්මාණය වීම හා පරිණත වීම (මෙහි විස්තර නොකරන) අදියර හතරකදී පමණ සිදුවන සංකීර්ණ කාර්යයක් වන අතර මේ සඳහා දින 63-75 ක පමණ කාලයක් ගත වේ. මේ කාලය ඇතුළත ඩිම්බයක් කරා යන අසීරු චාරිකාව අරඹන්නට ශුක්‍රාණු සෛල පුහුණු වෙයි. මෙසේ පරිණත වූ ශුක්‍රාණුවක් මුදා හරිනු ලැබුවහොත් ප්‍රසස්ත තත්ත්වයන් යටතේ එයට දින 5-6 ක පමණ දක්වා වන කාලයක් ජීවත් විය හැකිය. මුදාහරිනු නොලැබුවහොත් සති 2-3 කින් පමණ පසුව එය විනාශ වන අතර එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වේ. මේ අනුව ශුක්‍රාණුවක සම්පූර්ණ ජීවිත කාලය මාස තුනකට පමණ සීමා වේ. වැඩිහිටි මිනිස් පිරිමියෙකුගේ සිරුර තුළ ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් අඛණ්ඩව සෑම මොහොතකම නිපදවීමට අවශ්‍ය වන්නේ ඒ නිසාය.

වැඩිහිටි පිරිමියෙකු එක වර මුදා හරින ශුක්‍රාණු එකතුවක ශුක්‍රාණු සෛල මිලියන 40-1500ක් පමණ තිබිය හැකි වුවත් බොහෝ විට මෙය මිලියන 100-300 අතර ප්‍රමාණයකි. මේ සියළු ශුක්‍රාණු සෛල සමාන නැත. එක් ශුක්‍රාණු සෛලයක තිබෙන්නේ පිරිමියෙකුගේ වර්ණදේහ යුගල 23න්, එනම් වර්ණදේහ 46න් 23ක් පමණි. ඒ නිසා එකම පිරිමියෙකුගේ ශුක්‍රාණු අතර ජානමය ලෙස වෙනස් ශුක්‍රාණු වර්ග අඩු වශයෙන් 8,388,608ක් තිබේ. මීට අමතරව විවිධ විකෘතීන් සහිත අසාමාන්‍ය ශුක්‍රාණු සෛල වර්ග විශාල ප්‍රමාණයක්ද තිබිය හැකිය. මේ සංඛ්‍යා සැසඳූ විට පෙනෙන පරිදි පිරිමියෙකු එක වරකදී මුදාහරින ශුක්‍රාණු අතර වුවද ජානමය ලෙස සමාන ශුක්‍රාණු 5-180 අතර ප්‍රමාණයක් තිබිය හැකිය.

කෙසේවුවද එකම වර්ණදේහ සංයුතියකින් යුතුව හැදෙන ශුක්‍රාණු වුවද භෞතික වශයෙන් එකිනෙකට සමාන නැත. ශුක්‍රාණු සෛල වලින් 90%ක් පමණම වලිගය නැති, හිස් දෙකක් සහිත, වලිග පැටලුණු ආදී විවිධ හේතු නිසා ඩිම්බයක් සොයා පිහිනිය හැකි තත්ත්වයක නොපවතී. ඒවා කෙටි කලකින් විනාශ වී යයි.

ශුක්‍රාණුවක දිගට සාපේක්ෂව එයට ඩිම්බයක් සොයා පීනන්නට ඇති දුර සමාන කළ හැක්කේ මිනිසෙකු සැතපුම් 3-4 ක පමණ දුරක් පිහිනීමටය. ශුක්‍රාණු සෛල අතර සිටින දක්ෂම පිහිනුම්කරුවෙකුට මිනිත්තු 45ක පමණ කාලයකදී මේ දුර පිහිනිය හැකි අතර එතරම් දක්ෂ නැති පිහිනුම්කරුවෙකුට මේ සඳහා පැය 12ක පමණ කාලයක් ගත වේ. එහෙත්, මේ ගමන සම්පූර්ණ කරන්නේම සීමිත පිහිනුම්කරුවන් පිරිසක් පමණි.

ශුක්‍රාණු සම්බන්ධ තත්ත්වය මෙසේනම් ඩිම්බ සම්බන්ධ තත්ත්වය කුමක්ද? සෑහෙන තරම් ප්‍රචලිත අදහසක් වන්නේ ශුක්‍රාණු අති විශාල ප්‍රමාණයක් ඩිම්බයක් අයිති කර ගන්නට තරඟ කර අවසානයේදී ඒ අතරින් එක් ශුක්‍රාණුවක් තරඟය ජය ගන්නා බවයි. කෙසේවුවද, මෙය ලොකු කතාවක එක් කොටසක් පමණි.

ශුක්‍රාණු හා ඩිම්බ අතර මූලික වෙනස්කම් ගණනාවක් තිබේ.

පළමුව, මිනිස් ගැහැණියකගේ ඩිම්බයක් නිපදවී පරිණත වීමට වසර 10-50 ක පමණ දීර්ඝ කාලයක් ගත වේ. ඩිම්බයක් පරිණත කර මුදාහැරීම සඳහා අවශ්‍ය වන මූල සෛල නිශ්චිත ප්‍රමාණයක් මිනිස් ගැහැණියකගේ සිරුරේ උපදින විටම පිහිටා තිබේ. මේ හැර මිනිස් පිරිමින්ගේ ශුක්‍රාණු සෛල මෙන් ඩිම්බ සෛල පසුව අලුතින්ම හැදෙන්නේ නැත. (වසර පණහක් පමණ තිස්සේ පිළිගැනෙන මේ ප්‍රවාදය ඇතැම් මෑතකාලීන පර්යේෂණ වලින් අභියෝගයට ලක්වී ඇතත් මා මේ ලිපියේදී ඒ කෙරෙහි  අවධානය යොමු කරන්නේ නැත.)

මිනිස් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ නොමේරූ ඩිම්බ (වඩා නිවැරදිව එහි මූල අවස්ථාවක්) මිලියන 1-2 ක් පමණ ප්‍රමාණයක් තිබුණත් මේ සෛල විශාල ප්‍රමාණයක් වැඩිවිය පැමිණෙන්නටද පෙර ස්වභාවික ලෙසම විනාශ වී යයි. මිනිස් ගැහැණියක වැඩි විය පැමිණෙන විට ඇගේ සිරුරේ තිබෙන්නේ මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල ආසන්න වශයෙන් ලක්ෂ 2-4 ක පමණ ප්‍රමාණයක් පමණි. වැඩිවිය පැමිණීමෙන් පසුවද මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල විශාල ප්‍රමාණයක් මේ අයුරින් සෑම මසකම දිගින් දිගටම විනාශ වෙයි. මේ කරුණට උපත් පාලනය, ගර්භණී වීම හෝ නොවීම, සංසර්ගයේ යෙදීම හෝ නොයෙදීම, මාස් ශුද්ධිය සිදුවීම හෝ නොවීම ආදියේ සම්බන්ධයක් නැත.

මිනිස් ගැහැණියකගේ වයස අවුරුදු පණහක පමණ වන විට ඇයට උපතින් හිමි වුනු ඩිම්බ මිලියන දෙකම, එසේ නැත්නම් වැඩිවිය පැමිණෙන විට ඉතිරිව තිබුණු ලක්ෂ තුනම, විනාශ වී අවසන්ය. මෙය සිදුවන නිශ්චිත වයස කාන්තාවකට උපතින් උරුම වූ ඩිම්බ ගණන මත තීරණය වන අතර ඒ අනුව වසර පහක් හෝ හයක් එහා මෙහා වන්නට පුළුවන. කෙසේවුවද, ආසන්න වශයෙන් වසර පණහකදී පමණ මිනිස් ගැහැණියකගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණය අවසන් වන අතර ඉන් පසුව ඇයට දරුවන් බිහිකිරීමට දායක විය නොහැකිය.

මිනිස් ගැහැණියක විසින් උපතින් උරුම කර ගන්නා මිලියන දෙකක් පමණ වන ඩිම්බ සෛල වලින් මේරූ ඩිම්බ බවට පත්ව මාස්පතා මුදා හරිනු ලැබ දරුවකු බිහි කිරීමට දායක වීමේ ඉඩක් ලබන්නේ ඩිම්බ 400-500 අතර ප්‍රමාණයක් පමණි.

මිනිස් පිරිමියෙකුට මෙන්ම මිනිස් ගැහැණියකටද ජානමය ලෙස එකිනෙකෙන් වෙනස් ඩිම්බ වර්ග 8,388,608ක් නිපදවිය හැකි වුවත් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණයද එයින් හතරෙන් එකක් පමණක් නිසා ජානමය ලෙස සමාන ඩිම්බ දෙකක් අහඹු ලෙස ඇති වීමට ඉඩක් නැති තරම්ය. මේ නිසා, එකම මවකගේ සම-නිවුන් නොවන දරු දෙදෙනෙකුට ඇයගෙන් සමාන වර්ණදේහ ලැබෙන්නට ඉඩක් නැති තරම්ය.

එක් මිනිස් පිරිමියෙකු හා එක් මිනිස් ගැහැණියක විසින් බිහි කළ හැකි ජානමය ලෙස වෙනස් දරුවන් වර්ග ගණන අඩුම වශයෙන් 70,368,744,177,664කි. එනම් බිලියන හැත්තෑ දහසකට අධික සංයෝජන ප්‍රමාණයකි. මෙයට සාමාන්‍ය නොවන විකෘති ජාන සැකසුම් විශාල ප්‍රමාණයක්ද එකතු විය යුතුය. පෘථිවිය මත කෙදිනක හෝ ජීවත්ව සිට ඇති මිනිසුන් ගණන බිලියන සීයකට මඳක් වැඩි ප්‍රමාණයකි. ඒ නිසා, එක මවකගේ දරුවන් ලෙස සම-නිවුන් දරුවන් තරමට සමාන දරුවන් දෙදෙනෙකු කිසිදු කලෙක බිහිව තිබෙන්නට ඉඩක් නැතැයි සැලකිය හැකිය.

මෑතකදී අසන්නට ලැබුණු කතාවකට අනුව ඇතැම් අය සිතා සිටින පරිදි සෑම මිනිසෙකුම එකිනෙකාගෙන් වෙනස් වුවත් අලින්ගේ එවැනි වෙනසක් නැති අතර කොයි අලියාත් සමානය. මෙය වැරදි අදහසකි. මිනිසුන්ගේ වර්ණදේහ යුගල 46ට සාපේක්ෂව අලින්ට වර්ණදේහ යුගල 56ක් ඇති අතර ඒ නිසා එකම අලි ජෝඩුවකගේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වීමෙන් හැදෙන්නට ඉඩ ඇති ජානමය ලෙස වෙනස් අලි පැටවුන් ගණන පමණක් 72,057,594,037,927,936කි. මේ අනුව අලි ජෝඩුවකගේ පැටවුන්ට තිබිය හැකි ජාන විවිධත්වය මිනිස් යුවලකගේ දරුවන්ට තිබිය හැකි ජාන විවිධත්වය මෙන් දහස් ගුණයකි. සෑම අලියාම එක ලෙස පෙනීම අපේ ඉන්ද්‍රිය පද්ධතියේ ඇති සීමාවක් මිස අලින්ගේ විවිධත්වය අඩුකමේ ප්‍රශ්නයක් නොවේ. මේ වැරැද්ද පෙන්වා දුන්නත් ඒ හේතුව නිසා අලින්ට රට භාර දී මිනිසුන් ඉවත් විය යුතුයැයි අප යෝජනා කරන්නේ නැත.

ශුක්‍රාණු හා ඩිම්බ එකතු වී පිළිසිඳගැනීමක් සිදුවන ආකාරයත්, විවිධ උපත් පාලන උපක්‍රම මඟින් එයට බාධා පමුණුවන ආකාරයත් ගැන කතා කිරීම අපි පසු ලිපියකට ඉතිරි කරමු.

දැනට කියන්නට තිබෙන්නේ මිනිස් උපතක් යනු කෙතරම් දුර්ලභ දෙයක්ද යන්නයි. ඔබේ ජීව විද්‍යාත්මක මවගෙන් හා පියාගෙන් බිහිවිය හැකිව තිබුණු භෞතික ලක්ෂණ වලින් එකිනෙකාට වෙනස් දරුවන් ගණන බිලියන හැත්තෑ දහසකට අධිකය. මේ අතරින් එක් අයෙක්, හත් අට දෙනෙක් හෝ වැඩිම වුනොත් දහ පහළොස් දෙනෙක් මිනිස් දරුවන් ලෙස බිහිවන විට, ඔබේ මවට හා පියාට දාව ඉපදීමේ කිසියම් සම්භාවිතාවක් තිබුණු, ඔබේ පවුලේ සාමාජිකයින්ට වඩා වෙනස් භෞතික ශරීර සහිත ඔබේ සොහොයුරන් හෝ සොහොයුරියන් බිලියන හැත්තෑ දහසක් මෙලොවට බිහි වී නැත.

ස්වභාව ධර්මය අලුත් මිනිසෙකු බිහි කරන්නේ මේ තරම් විශාල තේරීමක් කරමිනි. ඔබව නිර්මාණය වීමට දායක වූ ඩිම්බය ඔබේ මව ඉපදෙන විට ඈ සතු වූ ඩිම්බ මිලියන දෙකකින් එකකි. ඔබව නිර්මාණය වීමට දායක වූ ශුක්‍රාණුව ඔබේ පියා ඔහුගේ ජීවිත කාලය තුළ නිපදවන ශුක්‍රාණු බිලියන 500කින් එකකි. ඔබට ඔවුන්ගෙන් ලැබුණු වර්ණදේහ යුගල 23, එසේ ලැබිය හැකිව තිබුණු විවිධ වර්ණදේහ යුගල ට්‍රිලියන 70කින් එකකි. ලෝකයේ ඕනෑම අහඹු පුද්ගලයෙක් ඇමරිකාවේ ජනාධිපති වීමට ඇති ඉඩකඩ ඔබේ භෞතික සිරුර ඔබට හිමිවන්නට තිබුණු ඉඩකඩට වඩා දසදහස් ගුණයකින් වැඩිය. සෑම මිනිසෙකුම සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ එබැවිනි.

(Image: http://www.soc.ucsb.edu/sexinfo/article/biological-steps-becoming-pregnant)

4 comments:

  1. සාමාන්‍යයෙන් කවුරුත් දන්න ජානමය පරම්පරාව බිහි වීම සම්භාවිතාවය ඇසුරින් කල පැහැදිලි කිරීම අපූරුයි.

    ReplyDelete
  2. ඉස්සර ශුක්‍රාණු විනාශවීමේ ඉඩ වැඩි නිසා පරිණාමිකව ශුක්‍රානු වැඩි ප්‍රමාණයක් ඇති වූවා විය හැකියි. සමහරු මෙය සොබා දමට වූ වැරදීමක් කියාත් කියනවා නේද. නමුත් වරදින්න බෑ. මොකක් හරි හේතුවක් ඇති.

    ReplyDelete
    Replies
    1. ඉස්සර නෙමෙයි මධ්‍යස්ථ ශුක්‍රාණු විනාශ වීමේ ඉඩකඩ දැනුත් ඉතා විශාලයි. නිකමට හිතන්න රටේ කුඩා දරුවන් හා වයසක අය, ලෙඩුන් ඇතුළු සියල්ලන්ම එක වල මුහුදට දමල සැතපුම් 4ක් පීනන්න කිවුවොත් කී දෙනෙක් ඉලක්කයට යයිද කියල. මේ දුෂ්කර ගමනේදී ශුක්‍රාණු මිලියන ගණනක් විනාශ වෙනවා. මෙය තමයි ඊළඟ පරම්පරාව වඩා හොඳ කිරීමට ස්වභාව ධර්මයේ උපක්‍රමය. උපත් පාලන උපක්‍රම නිසා ඉලක්කයට යාමේ හැකියාව දැන් කලින්ටත් වඩා අඩුයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget