Monday, September 25, 2017

උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය


දෙසතියකට පමණ පෙර පළ කළ ලිපියකට ප්‍රතිචාර දැමූ අජිත් ධර්මා, නයනේ සහ ඇනෝලා එක් අයෙකු හෝ කිහිප දෙනෙකු අතර හොඳ සංවාදයක් ඇති වී තිබුණේය. මුලින්ම මේ සංවාදයට සහභාගී වන්නට හිටියත් පසුව, හේතු සහිතව, එසේ නොකර පැත්තකට වී බලා සිටින්නට තීරණය කළෙමි. ඇත්තටම කියනවානම් ඉහළින් වූ ප්‍රතිචාර කියවීමෙන් පසු ප්‍රතිචාරයක් දමා, පසුව පහළින් වූ ප්‍රතිචාර කියවීමෙන් පසු එය අවශ්‍ය නොවන බව පෙනී ගිය නිසා පසුව එය ඉවත් කර ගත්තෙමි.

මේ ගැන මුලින්ම අදහස් පළ කර තිබුණු අජිත් ධර්මාගේ අදහස් බොහෝ දුරට මගේ අදහස් වලට ආසන්න වූ අතර මුලින්ම හිතුනේ ඇනෝගේ අදහස් එයට ප්‍රතිවිරුද්ධ බවයි. එහෙත්, දිගටම සංවාදය නිරීක්ෂණය කරන විට පෙනී ගියේ ඇනෝද මේ කරුණු ගැන හොඳින් දැනුවත් බවත්, ඔහුගේ හෝ ඇයගේ අදහස්ද කිසිසේත්ම (මට සාපේක්ෂව) අන්තවාදී නොවන බවයි. මා මෙය ලියන්නේ ඇනෝ ප්‍රතිචාර ගණනාවක්ම එක් අයෙකුගේයැයි සිතමිනි. එය එසේ නොවන්නට පුළුවන.

ඇනෝ විසින් ඉතා පැහැදිලිවම සටහන් කර තිබුණු පරිදි ඔහු හෝ ඇය මූලධාර්මික ගබ්සා විරෝධියෙක් නොවේ. ඔහුගේ වචන පහත පරිදිය.

"ගබ්සාවට මමත් විරුද්ධ නැති වුනත්, ගබ්සාව යන අන්තිම විසඳුම විය යුත්තේ වෙන කරන්නම දෙයක් නැති විටෙක පමණයි. ඒ අන්තිම තත්වයට යන්නේ නැතුව ගැබ්ගැනීම වලක්වා ගන්න එකයි වඩා හොඳ. මොනහේතුවක් නිසා හරි ගබ්සාවක් කරගත් ගැහැනියක් ඊට පසුව මානසිකව විඳවන ප්‍රමාණය කොතරම්ද කියා අවබෝධයක් තියෙන නිසා මම ඒ මතයේ ඉන්නේ. නැතුව ඔය විකාර රූපී ආගමික කල්ලි ගබ්සාවට විරුද්ධ නිසා නෙවෙයි."

ඇනෝ සිතන්නේ ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් අනවශ්‍ය ගැබ් ගැනීම් අවම කර ගත යුතු බවයි. එසේ කිරීමෙන් පසුවද අනවශ්‍ය ගැබ් ගැනීම් සිදු වන්නේනම් ගබ්සා වලට ඉඩදීමේ ප්‍රශ්නයක් ඇති බව ඔහු හෝ ඇය සිතන බව නොපෙනේ.

අනික් අතට, විශේෂයෙන් සටහන් කර නැතත්, ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධව අජිත් ධර්මාද එකඟ වන බව මගේ අදහසයි. මෙහිදී උපත් පාලනය ප්‍රචලිත කිරීම කියා සරලව කිවුවත් මා එයින් අදහස් කරන්නේ උපත් පාලන ක්‍රම ගැන දැනුම ප්‍රචලිත කිරීම හා ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ස්වකැමැත්තෙන් මිල දී ගැනීමට ඇති පහසුකම් පුළුල් කිරීම මිස යම් අයෙකු විසින් බිහි කළ යුතු දරුවන් ගණන රජය මඟින් තීරණය කිරීම හෝ බලෙන් උපත් පාලනය කරවීම නොවේ.

අජිත් ධර්මා විසින් ඉදිරිපත් කරන මූලික තර්කය වන්නේ අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් පමණක් අනවශ්‍ය ගැබ් ගැනීම් මුළුමනින්ම වැළැක්විය නොහැකි නිසා එසේ අනවශ්‍ය ගැබ් ගැනීම් වලට මුහුණ දෙන කාන්තාවන්ට තමන්ගේ ගැබ ගබ්සා කර ගැනීමට ඉඩ දිය යුතු බවයි. ඔහුගේ තර්කය ඉතා පැහැදිලිවම නිවැරදිය. ඇනෝ විසින්ද එය එසේ නොවේයැයි කියා නැත.

මට පෙනෙන හැටියටනම් මේ සංවාදයේ පාර්ශ්ව දෙක අතර ඇත්තේ ඉතා කුඩා ප්‍රතිවිරෝධතාවයකි. ඒ ප්‍රතිවිරෝධතාව තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් හා අදාළවය. ඇනෝ සිතන පරිදි ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කරන තුරු නීත්‍යානුකූල ගබ්සා ප්‍රවර්ධනය නොකළ යුතුය. අජිත් ධර්මා සිතන පරිදි ලිංගික අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න ඇතුළු තවත් සමාජයීය ප්‍රශ්න ගණනාවක් තිබෙන නිසා නීත්‍යානුකූල ලෙස ගබ්සා කර ගැනීමට ඉඩක් සැපයිය යුතුය.

උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය යනු ඇමරිකාව ඇතුළු බටහිර සමාජයේ පවා මතවාදී බෙදීම් ඇති කරන විෂයයන්ය. මේ බෙදීම් වලට එක් හේතුවක් වන්නේ මේ විෂයයන් හා අදාළව බොහෝ දෙනෙකු සතු දැනුම සීමිත වීමයි. එමෙන්ම, මේ විෂයයන් ගැන කතා කිරීමේදී ඒවායේ ආගමික හා දාර්ශනික, ජීව විද්‍යාත්මක හා වෛද්‍ය විද්‍යාත්මක, ආර්ථික හා සමාජයීය වැනි එකිනෙකින් වෙනස් මාන වෙත අවධානය යොමු කරන්නට සිදුවේ.

මා මේ ගැන තරමක් දුරට කතා කරන්නට යන්නේ අජිත් ධර්මාට හෝ ඇනෝට ප්‍රතිචාරයක් වශයෙන් නොවේ. ඔවුන්ගේ අදහස් සමඟ මට මූලික ප්‍රතිවිරෝධතා නැත. එමෙන්ම, නැවත නැවතත් කියා ඇති පරිදි ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සිදුවිය ඇති ආකාරය ගැන උපදෙස් දෙන්නටද නොවේ. ඒ නිසා, මා මේ හා අදාළව ලියන ලිපි වල ඇති කරුණු සම්බන්ධව පැහැදිලි කිරීම් කෙරෙනු ඇති නමුත් මගේ අදහස් සමඟ එකඟ නොවන්නන්ට මා මෙහි ප්‍රතිචාර නොදක්වනු ඇත. එහෙත්, කැමති අයෙකුට මෙහි ප්‍රතිචාර පළ කරනු ලැබීමේදී සලකා බලන සීමිත කොන්දේසි වලට යටත්ව තමන්ගේ අදහස් සටහන් කරන්නට කිසිදු බාධාවක් නැත.

මාතෘකාවේ ඇති අනු කොටස් තුනෙන් ලිංගික අධ්‍යාපනය ගැන මුලින්ම කතා කිරීම පහසුය. අනෙක් මාතෘකා දෙක ගැන මා ලියන්නට අපේක්ෂා කරන දේවල් තරමක් දුරට තාක්ෂණික ස්වභාවයකින් යුතු දේවල්ය. ඒ කොටස් අපි දෙවන ලිපියකට ඉතිරි කරමු.

ලංකාව හැරුණු විට මා වැඩිපුරම දන්නා අනෙක් රට වන ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ ලිංගික අධ්‍යාපනයක් නැතැයි කිව හැකි තරම්ය. මෙය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වල ප්‍රශ්නයක්ම නොවේ. බොහෝ දුරට මෙහි ඇත්තේ සංස්කෘතික ප්‍රශ්නයකි. ඇතැම් ප්‍රතිපත්ති තීරණ මඟින් තත්ත්වයේ යම් වෙනසක් කරන්නට උත්සාහ දැරිය හැකි වුවත් එවැනි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක කාර්ය සාධනය සංස්කෘතික සාධක හමුවේ සීමාවීම නොවැලැක්විය හැකිය.

ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට එරෙහි වන්නන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ ඒ හේතුවෙන් කුඩා දරුවන් "නොදන්නා දේවල් අත්හදා බලන්නට" යාම නිසා වැඩි විනාශයක් සිදු විය හැකි බවයි. මේ අදහස දරන්නෝ ඇමරිකාවේද සිටිති. කොළඹ ප්‍රධාන සුපිරි වෙළඳසැල් සංකීර්ණයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයකට පොලීසියෙන් පැන එහි සිටියවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පුවත්පතක පළවීමෙන් පසු ගම්බද පෙදෙස්වල කාන්තාවන් ඒ පුවත දැක එහි සේවයට පැමිණි රටක එවැනි දේ නොවේයැයි කිසිවෙකුට සහතික විය නොහැකිය. එහෙත්, ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සමස්තයක් ලෙස යහපත් ප්‍රතිඵල අත් කර දෙනු ඇති බව මගේ අදහසයි.

හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ගැනත්, ඒඩ්ස් වැනි රෝග ගැනත් මා මුලින්ම දැනගත්තේ අදාළ නිවාරණ වැඩ සටහන් මඟින් සිදුකළ ප්‍රචාර නිසාය. ඒ වන විට මත්ද්‍රව්‍ය හෝ ඒඩ්ස් ලංකාවේ විශාල ලෙස ප්‍රචලිතව නොතිබුණු අතර මා ජීවත් වූ ප්‍රදේශයේ තිබුණේම නැති තරම්ය. ඒ නිසා, මේ දේවල් ගැන දැනුවත් නොවුනත් ඒ කාලයේ මා මත්ද්‍රව්‍ය ලෝලියෙකු හෝ ඒඩ්ස් ආසාදිතයෙකු වීමට ගිණිය හැකි ඉඩක් නොතිබුණේය. අනෙක් අතට නිවාරණය අරමුණු කොට සිදු කෙරුණු ප්‍රචාරණය නිසා මේ දේවල් ගැන වැඩිපුර සොයන්නට කිසියම් "කෘතීම" උනන්දුවක්ද ඇති වුණේය.

නිවාරණ වැඩ සටහන් වලින් ප්‍රචලිත කළ තොරතුරු අනුව මා තේරුම් ගත් පරිදි ඒඩ්ස් හදාගැනීම හා මත්ද්‍රව්‍ය භාවිතය යන දෙකම ආපසු හැරවිය නොහැකි දේවල්ය. ඒඩ්ස් වලට බෙහෙත් නැති අතර රෝගය හැදුනොත් වසර පහක් තුළ අනිවාර්යයෙන් මරණයට පත් වේ. හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය යනු අරක්කු වැනි මත්පැන් හෝ දුම්වැටි මෙන් නොව එක් වරක් භාවිතා කළද ඇබ්බැහි කරවන ද්‍රව්‍යයි. ඒ නිසා, වරක් මත්ද්‍රව්‍ය භාවිතා කළ අයෙකුට ජීවිත කාලය පුරාම එයින් ගැලවීමක් නැත. මේ මා හත්වන ශ්‍රේණියේදී පමණ ලබාගත් දැනුමයි. පළමුවැන්න ඒ කාලයේදී ඇත්තක් වුවත් දෙවැන්න ඇත්තක්ම නොවීය. එහෙත්, දෙවැන්නද තරමක් දුරට ආසන්න ඇත්තක් විය.

මත්ද්‍රව්‍ය හෝ ඒඩ්ස් වැනි අතිශය භයානක කිඹුලන් ගැන මෙන්ම එතරම් භයානක නැති කබරගොයින් වූ මත්පැන්, දුම්වැටි ගැන හා සමාජරෝග ගැනද නිවාරණ වැඩසටහන් වලින් ප්‍රචාරය කළ දේ දැනුමට සැලකිය යුතු යමක් එකතු කළත්, ඒ දේවල් ගැන දැනුම ලබාගත හැකි වෙනත් ක්‍රමද තිබුණේය. මත්පැන් හා දුම්වැටි භාවිතා කරන්නන් ඕනෑ තරම් පෙනෙන්නට සිටි අතර මත්පැන් බී අකල් මරණ වලට පත් වෙන්නෝද අපේ ගම් පළාත් වල දුලබ දසුනක් නොවීය. ඒ අතරම, මත්පැන් දුම්වැටි පානය කළත් යහතින් හිටි අයද ඕනෑ තරම් පෙනෙන්නට හිටියේය. එමෙන්ම, සමාජරෝග හදාගත් අය ගැනද කසුකුසු තිබුණේය.

ගැටවර වියේදී ඕනෑම අලුත් දෙයක් අත්හදා බලන්නට උනන්දුවක් ඇති වේ. නිවාරන වැඩසටහන් හේතුවෙන් මත්පැන් හා දුම්වැටි වල ආදීනව දැන සිටීම ඒවා අත්හදා බලන්නට බාධාවක් වුනේ නැත. එහෙත්, ඇබ්බැහි වීමට ඇති ඉඩ ගැන දැන සිටි නිසා මේ අත්හදා බැලීම් කළේ ඉතා ප්‍රවේශමෙනි. එසේ හෝ අත්හදා බලන්නට යොමුවුණේ මේ දේවල් දිගින් දිගටම ගැනීමේදී මිස වරක් හෝ කිහිප වරක් ගත් පමණින් ඇබ්බැහි නොවන බව දැන සිටි බැවිනි. වෙනත් මත්ද්‍රව්‍ය පිළිබඳව මෙවැනි අත්හදාබැලීමක් හෝ නොකරන්නට ප්‍රධාන හේතුව වුණේ අප හැදුනු ගෘහස්ථ වටපිටාව තුළ එවැනි අවස්ථාවක් කිසි විටෙකත් නොලැබීම වුවත්, යම් හෙයකින් එවැනි අවස්ථාවක් නොලැබුණේ වුවද ඇබ්බැහිවීමේ අවදානම ගෙන මත්ද්‍රව්‍ය අත්හදාබැලීමට ඉඩක් නොතිබුණේ නිවාරණ වැඩ සටහන් හරහා, තරමක අතිශයෝක්තිකින්ද යුතුව, ලැබී තිබුණු දැනුම නිසාය.

ඒඩ්ස් හෝ වෙනත් සමාජරෝග වැළඳීමේ අවදානමක් සහිත ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි යොමු නොවීමට ප්‍රධාන හේතුව වුනේද අවස්ථාවන් නොලැබීමයි. එහෙත්, විධිමත් හා අවිධිමත් ක්‍රම හරහා මේ ගැන දැනසිටි දේවල් වලින්ද එය වැලැක්වූයේය.

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලය වන විට වෙනත් බොහෝ විෂයයන් ගැන වයසට වඩා වැඩි දැනුමක් ලබා සිටියත් ප්‍රජනන සෞඛ්‍යය හා අදාළ මූලික කරුණු හෝ මම දැන නොසිටියෙමි. හයවන ශ්‍රේණියේ අන්තිම වාරයේ දවසකදී කාන්තාවක් ගර්භණී වීම සඳහා පිරිමියෙකු විසින් කළයුතු දෙය මගේ පන්තියේ මිතුරෙක්ගෙන් මුල් වරට අහන්නට ලැබුණේය. මේ කතාව මට කිසිසේත්ම පිළිගත නොහැකි විය. දරුවන් සිටින හැම ගැහැණියක හා පිරිමියෙකුම ඔය කියන 'නරක වැඩේ' කර ඇති බව පිළිගැනීම අපහසු වූ නිසා මම සුපුරුදු පරිදි මේ මිතුරාව තර්කයෙන් පරදවන්නට උත්සාහ කළෙමි.

මේ කාලය වන විට ග්‍රහයින් හා තාරකා අතර වෙනස දැන නොසිටි, පෝය ඇති වන හැටි දැන නොසිටි "මෝඩ" ළමයි ගණනාවක් අපේ පන්තියේ සිටියේය. මෙවැනි කරුණු හා අදාළව වෙනත් සිසුන් සමඟ තර්ක කිරීම ඒ දවස්වල මගේ විනෝදාංශයකි. වාදය නැගලා යන විට තවත් සිසුන් එකතු වේ. අවසානයේදී මෙසේ එකතුවන සිසුන් බහුතරය විසින් මගේ මතය තහවුරු කිරීමෙන් වාදය අවසන් වේ. ඒ දිනවල වෙනත් සිසුන් දෙදෙනෙකු අතර සිදුවන මෙවැනි වාදයකදී වුවද අවසන් තීරණය දෙන්නට බොහෝ විට සිදුවන්නේ මටය.

මේ කියන දවසේනම් බමරය කැරකුණේ මගේ වාසියට නොවේ. එකතුවන සිසුන් සියල්ලන්ම පාහේ ගත්තේ අනෙක් සිසුවාගේ පැත්තයි. දැන් මට ඔවුන් සියල්ලන්ගේම හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නට සිදු වී ඇත.

"හරි, අපි කියන එක වැරදිනම් උඹ කියපං ළමයි හැදෙන්නෙ කොහොමද කියලා.."

කොස්බි ෂෝ එකේ දැරියට මෙන් මටත් පිළිතුරු තිබුණේය.

"සාමාන්‍ය විදිහට"

"මොකක්ද සාමාන්‍ය විදිහ?"

"ගෑණු ළමයි ලොකු වුණාම බඩේ ළමයි හැදෙනවා. හරියට ගස් වල ගෙඩි හැදෙනව වගේ.."

"හරි එහෙමනම් ගෑණුන්ට ළමයි හම්බවෙන්න කසාද බඳින්න ඕනැ වෙන්නෙ මොකද?"

අපේ විස්තීර්ණ පවුලේ මැදිවිය පසුකළ, අවිවාහක සාමාජිකාවන් කිහිප දෙනෙක්ම මට එක වර මතක් විය. කතාව ඇත්තය. ඒ අය කිසිවෙකුටත් දරුවන් නැත. දරුවන් සිටින අවිවාහක කාන්තාවන් ගැන ඒ වන විට මම දැන නොසිටියෙමි. එහෙත්, දරුවන් නැති විවාහක කාන්තාවන් කිහිප දෙනෙක් ගැනම මට මතක් විය.

"හරි එහෙමනම් සමහර ගැණුන්ට කසාද බැඳලත් ළමයි හම්බ වෙන්නෙ නැත්තේ මොකද?"

ප්‍රශ්නයට ප්‍රශ්නයක් දමා ගසා ප්‍රතිවාදී පාර්ශ්වය ගොළු කළ හැකි වුවත් මෙය ප්‍රමාණවත් පිළිතුරක් නොවන බව මටම තේරුණේය. මෙතෙක් මේ ගැන ගැඹුරට සිතා නැති බව මට අවබෝධ විය.

"ඕක වෙන්නේ මෙහෙමයි. දැන් ඔය දූරියන් ගස් වල ගෙඩි හැදෙන්නනම් ගස් දෙකක් එක ළඟ තියෙන්න ඕනැනේ. ඒ වගේ වෙන්න ඇති!"

ප්‍රතිවාදී පාර්ශ්වයෙන් ප්‍රමාණවත් ලෙස මගේ තර්ක විඛන්ඩනය නොකළත්, වටවී සිටි සිසුන්ගේ මුහුණු දෙස බලන විට ඒ කිසිවෙක් මා කියන දෙය විශ්වාස නොකරන බව පැහැදිලිය. මින් පෙර මෙවැන්නක් වී නැත. මේ අතර, මගේ හිතවත්ම මිතුරෙක් මගේ පිටට තට්ටුවක් දැම්මේය.

"මචං, පොඩ්ඩක් පැත්තකට වරෙන්"

මම ඔහුට කීකරු වුනෙමි.

"මචං, උන් කියන එක හරි. උඹ වැරදියි. ඕක අතෑරල දාපං!"

"වෙන්ඩ බෑනේ මචං. එහෙමනම් ගස් වල ගෙඩි හැදෙන්ඩත් ඕක කරන්න ඕනැ වෙන්න එපායැ. එතකොට සත්තුන්ට පැටවු  හැදෙන්නෙත් ඔහොමද?"

"ගස්නම් මං දන්නෙ නෑ. හැබැයි සත්තු පැටවු දාන්නේනම් ඕක කරල තමයි. උඹ අඩුගානෙ බලුපූට්ටුවක්වත් දැකල නැද්ද?"

"දැකල තියෙනවා!"

"ඒක තමයි ඒ.."

"හරි මං කියන්නේ පැටවු හම්බ වෙන්න ඕක කරන්න ඕනැ නෑ කියලයි. අපේ ගෙදර හරකෙක් නැතුව එළදෙනට පැටවු හම්බවුනේ කොහොමද?"

එළදෙනට පැටියා ලැබෙන්නට පෙර පට්ටි ගස්සන්නට වෙනත් නිවසකට ගෙනගිය එක ගැන මට ඒ වන විට හරි අවබෝධයක් තිබුණේ නැත.

"කොහොම වුනත් කමක් නෑ. මම කියන එක අහල ඕක නවත්තල දාපං. නැත්නම් උඹයි අපරාදේ නෝන්ඩි වෙන්නේ.."

මේ මිතුරා විශ්වාසවන්තම මිතුරෙක් වූ බැවින් ඔහුගේ කීම අහක දාන්නට නොහැකි විය. ඒ නිසා, දෙපැත්තට ඇදෙමින් තිබුණු වාදය ජයපරාජයකින් තොරව අවසන් විය. එයින් පසුව, මේ ගැන වැඩි විස්තර හොයා ළමයින් හැදෙන්නටනම් අහවල් දෙය කළ යුතු බව මම තහවුරු කරගත්තෙමි.


අපේ කාලයේදී ප්‍රජනන සෞඛ්‍යය ගැන විධිමත් ලෙස මුලින්ම දැනගන්නට ලැබෙන්නේ නවවන ශ්‍රේණියේ සෞඛ්‍යය පෙළ පොත අතට ලැබුණු පසුවය. මේ පොතේ වූ ප්‍රාණවත් වූ ශිෂ්නයක රූපයක් හා එහි අභ්‍යන්තර අවයව සහිත විස්තරය තිබුණු පිටු අංකය ගැන කළින්ම කණින් කොණින් අහන්නට ලැබී තිබුණු නිසා පොත් ලැබුණු වහාම බොහෝ සිසුන් කළේ හොරෙන්ම මේ පිටුව පෙරළීමයි. කෙසේවුවත්, පෙළ පොතේ පිටු දෙකක පමණ වූ විස්තරය තනිවම කියවනු හැර අමතර දෙයක් අපට ඉගෙන ගන්නට නොලැබුණේ අදාළ විෂය ඉගැන්වූ ගුරුවරයාට ඒ පාඩම ඉගැන්වීම සඳහා ධෛර්යයක් නොතිබුණු බැවිණි. මහලොකු දෙයක් නොතිබුණත් බොහෝ සිසුන් පාඩම් පොතේ මේ පිටුව දෙස බැලුවේද ලිංගික උත්තේජනයක් සපයන දෙයක් ලෙස සලකමිනි.

කෙසේවුවද, පසුව මා ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙස සේවය කළ පාසලේ විද්‍යා හා සෞඛ්‍ය විෂයයන් ඉගැන්වූ තරුණ ගුරුවරයාටනම් අදාළ පාඩම කියා දෙන්නට කිසිදු චකිතයක් තිබුණේ නැත. එම පාසලේ තිබුණේ ගොඩනැගිලි දෙකක් පමණි. එක් ගොඩනැඟිල්ලක ප්‍රාථමික පන්ති පැවැත්වුනේය. අනෙක් ගොඩනැඟිල්ලේ හයවන, හත්වන, අටවන හා දහවන පන්ති පැවැත්වුණු අතර එහිම පැත්තක විදුහල්පති කාමරය හා ගුරු විවේකාගාරය තිබුණේය. අටවන පන්තියේ සිටියේ ළමුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණි. ළමුන් කිසිවකු නොසිටි නිසා නවවන පන්තියක් තිබුණේ නැත. සාමාන්‍යපෙළ සමත් නොවී දිගටම රැඳී සිටීම නිසා දහවන ශ්‍රේණියෙහි වයස් කාණ්ඩ තුනක හෝ හතරකට අයත් එක් සිසුවෙකු හා සිසුවියන් හතර පස් දෙනෙක් සිටියේය.

ප්‍රජනන සෞඛ්‍යය පාඩම අපේ විද්‍යා ගුරුවරයාගේ ජනප්‍රියම පාඩමක් විය. පිටු දෙසීයක පමණ පෙළ පොතේ මේ කොටස පිටු දෙකක් පමණක් වුවත් ඔහු ඒ වෙනුවෙන් කාලපරිච්ඡේද දෙකක් පමණ වෙන් කළේය. ඔහුගේ අරමුණ වූයේ මේ දරු දැරියන්ට ප්‍රජනන සෞඛ්‍යය ගැන හැකිතරම් හොඳින් කියා දීමද, එසේ නැත්නම් අවාරෙට පොල් වැටෙන්නාක් මෙන් පාසැලට එන මේ ළමුන්ට පාසැල් එන්නට උනන්දුවක් ඇති කිරීමද, ඒත් නැත්නම් ඒ දෙකමද කියා මා දන්නේ නැත.

මේ ශාලාවේ පන්ති අතර බාධක තබා වෙන් කර තිබුණේ නැත. අඩු වශයෙන් ගුරු විවේකාගාරය හෝ එසේ වෙන් කර තිබුණේ නැත. ඒ නිසා, මේ දහවන පන්තියේ සෞඛ්‍ය පාඩම කට ඇරගෙන අසා සිටීමේ අවස්ථාව පහළ පන්ති වල සිසුසිසුවියන්ටද ලැබුණේය. ඒ බොහෝ දෙනෙක් අවධානය යොමු කර සිටියේ තමන්ගේ පන්තියේ පාඩමට නොව දහවන පන්තියේ පාඩමටය.

හොඳම කෑල්ල තිබුණේ ගුරු විවේකාගාරයේය. පාසැලේ සිටි අවිවාහක ගුරුවරියන් කිහිප දෙනෙකුමද ගුරු විවේකාගාරයට වී මේ පාඩමට සවන් දුන්නේය. ඔවුන්ගෙන් ඇතැමෙකුගේ මුහුණු රතු වී තිබුණේය. මගේ අදහස අනුව, ප්‍රජනන සෞඛ්‍යය ගැන ඉගැන්විය යුත්තේ මීට වඩා අඩු වයසකදීය. නවවන ශ්‍රේණියට පැමිණෙන විට සිසුසිසුවියන් අවිධිමත් ලෙස ලිංගික අධ්‍යාපනය ලබා අවසන්ය.

ඇමරිකාවේ සිසුවෙකුට ලිංගිකත්වය හා අදාළ මූලික දේ කියා දෙන්නේ පෙර පාසැල් වයසේදීය. දෙවන වසරේදී පමණ ඔවුන්ට සැලකිය යුතු දැනුමක් ලබා දේ. මෙහිදී, ලිංගික අධ්‍යාපනය යනුවෙන් අදහස් කෙරෙන්නේ "ලොකු එක" කරන ආකාරය කියාදීම නොවේ. ඊට වඩා ඉතා සරල දෙයකි. ඇමරිකාවේ ලිංගික අධ්‍යාපනය යනු ඇතැම් අය සිතා සිටින ආකාරයේ "අනවශ්‍ය තොරතුරු" ලාබාල වයසේ සිසුන් මත ඕනෑවට වඩා කලින් පැටවීමක් නොව පුළුල් සන්දර්භයක් තුළ වෙනත් අදාළ දැනුම් සමඟ මුසුකර ක්‍රමානුකූල ලෙස හා වයසට ගැලපෙන ලෙස ලබා දෙන දැනුමකි. වෙනත් බටහිර රටවලද මෙය සිදුවන්නේ මේ අයුරින් බව මගේ අදහසයි.

ඇමරිකාවේ පෙරපාසැල් වයසේ දරුවෙකුට ලබාදෙන ලිංගික අධ්‍යාපනය යනු පෞද්ගලික අයිතිවාසිකම් ගැන ලබා දෙන දැනුමේම කොටසකි. පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු අත් අල්ලාගෙන හෝ කරට අත දමාගෙන යාම ලංකාවේනම් සාමාන්‍ය දෙයකි. එහෙත්, ඇමරිකාවේ එවැනි දෙයක් සාමාන්‍ය දෙයක් නොවේ. ගැටවර වයසේදීනම් එයින් වෙනත් දෙයක් අදහස් වනවා විය හැකිය.

හොඳ යාළුවන් වන පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු මේ අයුරින් සමීපව සිටීම ඉතා අහිංසක දෙයක් හෝ සංස්කෘතියේ කොටසක් බව කෙනෙකුට කියන්නට පුළුවන. ඒ කතාවේ වැරැද්දක්ද නැත. ඇමරිකාවේ මේ ආකාරයේ අත් අල්ලාගැනීම් හෝ කරට අත දමාගෙන යෑම වැනි සමීප සම්බන්ධතා නැත්තේ සිසුන් ඉතා කුඩා වයසකදීම අනෙක් අයගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමට ඔවුන්ට පුරුදු කරන බැවිනි.

මගේ දරුවන්ට පෙර පාසැලේදී මුලින්ම කියාදුන් පාඩමක් වූයේ සෑම අයෙකුටම තමා වටා අදෘශ්‍යමාන බුබුළු අවකාශයක් (bubble space) ඇති බවයි. වෙනත් අයෙකුට ඕනෑවට වඩා සමීප වූ විට මේ බුබුල බිඳෙන්නට පුළුවන. එමෙන්ම, තමන්ගේ බුබුල බිඳෙන තරම් ලඟට එන්නට වෙනත් අයෙකුට ඉඩදිය යුතුද නැත.

මේ බුබුල පෙර පාසැල් වයසේ දරුවෙකුට සිතින් මවාගත හැකි එකකි. වයසින් වැඩෙද්දී එවැනි බුබුලක් සැබෑවටම නැති බව දරුවා තේරුම් ගන්නා නමුත් ඒ වන විට ඔහු හෝ ඇය එහි අදහස උකහාගෙන අවසන්ය.

මේ මඟින් කෙරෙන්නේ දරුවන් අතර ඇතිවන අහිංසක හා සුන්දර සම්බන්ධතා විනාශ කිරීමක්යැයි අයෙකුට සිතෙන්නට පුළුවන. එහෙත්, එහි වැදගත්කම තේරෙන්නේ ඒ හේතුවෙන් පසුකාලීනව වැළකෙන දේ ගැන සිතද්දීය. පිරිමි පාසැල් සිසුවෙකුට තවත් සිසුවෙකුට යාලු කමට පිටට තට්ටුවක් දාගෙන යන්නට ඇති හැකියාවවම ඇතැම් අවස්ථා වලදී කොක්කක් දා ගැනීම සඳහාද උපයෝගී කරගන්නා බව රහසක් නොවේ. මෙවැනි පොඩි තට්ටු දැමීම් හා ඇඟේ හැප්පීගෙන යාම් තවමත් ලංකාවේ පාසැල් වල සාමාන්‍ය දේවල් බව දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඇති එවැනි ජවනිකා සාක්ෂි දරයි. නවක වදයේදී සිදුවන දේවල් වලට සාපේක්ෂව මේවා ගණන් ගත යුතු දේවල් නොවන බව ඇතැමෙකුට කියන්නට පුළුවන.

පෙර පාසැල් වයසේදීම කියා දෙන දෙවැනි දෙය කිසියම් අයෙකුගේ සිරුරේ පෞද්ගලික ප්‍රදේශ මොනවාද යන්නයි. මේ ප්‍රදේශ අතපතගාන්නට වෙනත් අයට කිසිදු අයිතියක් නැති බව ඇමරිකාවේ දරුවෙකු කුඩා කාලයේදීම දැන ගනී. ඒ සමඟම, එසේ කරන්නට අයිතියක් ඇති අය (මව, පියා, වෛද්‍යවරයා) කවුද යන්නත්, ඔවුන්ට වුවත් එසේ කළ හැක්කේ කුමන අවස්ථාවලදීද යන්නත් දරුවා දැන ගනී.

දරුවන් හා අදාළව සිදුවන ලිංගික අපචාර බොහොමයක්ම සිදුවන්නේ වෙනත් ළමා අපචාර වලම කොටසක් වශයෙනි. ඒ නිසා, ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ ළමා අයිතිවාසිකම් පිළිබඳ දැනුමක්ද සමඟය. දෙවන ශ්‍රේණියේදී පමණ ඇමරිකන් දරුවෙකුට මෙවැනි කරුණු ගැන තවත් වැඩිපුර දැනගන්නට ලැබේ.

දරුවෙකු මුලින්ම දැනගත යුත්තේ විශ්වාසනීය වැඩිහිටියෙකු යනු කවුද යන්නයි. එවැන්නන් පස් දෙනෙකු පමණ හඳුනාගන්නට මුලදීම දරුවෙකුට පුහුණු කෙරේ. වෙනත් වැඩිහිටියෙකුගෙන් අසාමාන්‍ය හැසිරීමක් දකින්නට ලැබෙන විට දරුවෙකු මුලින්ම කළ යුත්තේ මේ විශ්වාසනීය වැඩිහිටියන්ගෙන් අයෙක් දැනුවත් කිරීමයි. විශ්වාසනීය වැඩිහිටියා මව, පියා, ගුරුවරයා හෝ වෙනත් සමීප ඥාතියෙකු විය හැකිය.

අප දන්නා පරිදි ලංකාවේ බොහෝ ලිංගික අපචාර ඇතුළු ළමා අපචාර කරන්නේ මේ ආකාරයේ විශ්වාසනීය වැඩිහිටියන් විසින්මය. එසේනම්, මේ පුහුණුව මඟින් එවැනි දේ කෙසේ වැළැක්විය හැකිද?

එක් විශ්වාසනීය වැඩිහිටියෙකුගෙන් අසාමාන්‍ය හැසිරීමක් දකින්නට ලැබෙන විට දරුවකු විසින් කල යුත්තේ වෙනත් විශ්වාසනීය වැඩිහිටියෙකු දැනුවත් කිරීමයි. උදාහරණයක් ලෙස පියාගේ හැසිරීම අසාමාන්‍යනම් කළ යුත්තේ ඒ ගැන වහාම මව සමඟ කතා කිරීමයි. මෙය බොහෝ විට සාර්ථක වන උපක්‍රමයකි. ඇයගෙන්ද සතුටු විය හැකි විසඳුමක් නොලැබේනම් කළ යුත්තේ ගුරුවරයාට දැනුම් දීමයි. එයද සාර්ථක නැත්නම් 911 දුරකථන අංකය අමතා දැනුම් දීමට දරුවන් මුල සිටම පුහුණු කර තිබේ.

ඇමරිකාවේ දරුවන්ගෙන් 40% සම්බන්ධවම කිසියම් අවස්ථාවක බලාධිකාරයකට මැදිහත් වෙන්නට සිදු වී තිබේ. මෙය එකවර විශ්වාස කිරීමට අසීරු තරමේ සංඛ්‍යාලේඛණයකි. එයින් අදහස් වන්නේ ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ ළමා අපචාර සුලභ බව නොවේ. දෙමවුපියන්ගෙන් වරක් හෝ පහරක් කෑ දරුවන් මෙවැනි පැමිණිලි ගොනු කළහොත් ලංකාවේ මේ ප්‍රතිශතය කොපමණ ඉහළ අගයක් ගනු ඇත්දැයි සිතාගන්නට බැරිකමක් නැත.

ඇමරිකාවේ දෙමවුපියන්ගේ හා දරුවන්ගේ කාර්යයන් ඉතා පැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති අතර දෙමවුපියන් විසින් කළ යුතු, කළ හැකි, නොකළ යුතු හා නොකළ හැකි දේවල් ගැන දරුවන්ව කුඩා කාලයේදීම දැනුවත් කෙරේ. ඒ දේවල් ඒ අයුරින් සිදු නොවන්නේනම් ඔවුන්ට පැමිණිලි කළ හැකි තැන් ගණනාවක් තිබේ. මෙවැනි පැමිණිලි විභාග නොවී ඉවත යන්නේ නැත.

ලිංගික අධ්‍යාපනයටත් වඩා ලංකාවට අවශ්‍ය වන්නේ ළමා අයිතිවාසිකම්, ළමා අපචාර ආදිය ගැන කුඩා කාලයේදීම දරුවන් දැනුවත් කිරීම හා එවැනි දේ සිදුවන විට ඒවා කරන අයට ගැලවී යා නොහැකි යාන්ත්‍රණයක් ඇති වීමයි. ඒ දේවල් සිදු නොවී ලිංගික අධ්‍යාපනය පමණක් ලබා දුන් පමණින් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්නට ඉඩතිබේ. මෙයින් කියන්නේ ලිංගික අධ්‍යාපනය ලබා දීම නොවැදගත් බව නොවේ. එය සිදුවිය යුත්තේ වඩා පුළුල් යාන්ත්‍රණයක කොටසක් ලෙස බවයි.

ලිංගික අධ්‍යාපනය ලබාදීම හේතුවෙන් සිදුවන්නේ කුමක්දැයි නොදැන සිය පියා අතින් අපයෝජනය වන දැරියක් සිදුවන දෙය දැනගනු ඇතත්, තමන්ට ආහාර හා ආරක්ෂාව සපයන පියාට එරෙහිව පැමිණිලි කර කබලෙන් ලිපට වැටෙන්නට ඇයට ඇති ස්වභාවික බිය ඒ හේතුවෙන් තුරන් වන්නේ නැත. ඒ නිසා, එසේ පැමිණිලි කිරීමෙන් පසුව ඇගේ අනාගතය වඩාත් සුරක්ෂිත බව ඇයට ඒත්තු ගැන්වීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක්ද රටේ තිබිය යුතුය.

ලිංගික අපචාර සිදු නොවුණත් මවුපියන් හා පවුලේ සමීපතම වැඩිහිටි ඥාතීන් විසින් දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන හෝ වධ හිංසා සිදුකරන, එසේ නැත්නම් ඔවුන්ගෙන් වයසට නොගැලපෙන වැඩ කරවා ගන්නා අවස්ථා එතරම් දුලබ නැත. සංඛ්‍යාලේඛණ මඟින් පෙනෙන්නේ ලිංගික අපචාරයකට ලක්වන දරුවෙකු බොහෝ විට කිසියම් හෝ වෙනත් ආකාරයක අපහරණයකට හෝ අපහරණයන්ට මුලින් ලක්වන බවයි. එසේ නැත්නම්, මෙවැන්නෝ අඩු වශයෙන් දෙමවුපියන් විසින් නොසලකා හරිනු ලැබීමට ලක් වූ අය වෙති.

ලිංගික අධ්‍යාපනයක් ලබා නැති දරුවෙකු තමන් ලිංගික අතවරයකට ලක්වන බව දැන නොසිටීමට සැලකිය යුතු ඉඩක් ඇතත් වෙනත් ආකාරයක ළමා අපචාරයකට, උදාහරණයක් ලෙස පහර දීමකට, නොසලකා හරිනු ලැබීමකට හෝ කළ නොහැකි මට්ටමේ වැඩ කරන ලෙස බල කරනු ලැබීමට ලක්වන විට, තමන්ට නරක ලෙස සලකන බව තේරුම් ගන්නට දරුවෙකුට ස්වභාවික හැකියාවක් තිබේ. එහෙත්, එවැනි දැනුමක් තිබූ පමණින් ලංකාවේ දරුවකුට එය වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත.

මෙවැනි දේවල් ගැන දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට දරුවෙකුට සිටින විශ්වාසවන්තම තැනැත්තා ගුරුවරයාය. ඇමරිකාවේ දරුවෙකුට සිය පාසැල් ජීවිතය ආරම්භයේදීම තමන්ට ඇති මෙවැනි ගැටළු ඇත්නම් ගුරුවරයා සමඟ කතා කරන්නට පුහුණු කෙරේ. දරුවකුට නිවසේදී සිදුවන අතවරයක් ගැන ගුරුවරයෙකුට ඉව වැටුණු පසු දරුවා විසින් කිසිවකුට නොකියන ලෙස ගුරුවරයාව පොරොන්දු කරගෙන සිටියේ වුවද ගුරුවරයා විසින් ගත යුතු නිශ්චිත පියවර ගණනාවක් තිබේ. මේ නීතිය වැඩිහිටි සිසුන් ඇසුරු කරන සරසවි ආචාර්යවරුන් විසින්ද පිළිපැදිය යුතු එකකි. ඒ නිසා, දරුවන්ට නොසලකා හරින ඇමරිකන් වැඩිහිටියෙකු ගන්නේ විශාල අවදානමකි. ලංකාවේ මෙවැන්නක් සිදු නොවනවා පමණක් නොව ඇමරිකානු අර්ථයෙන් දරුවන් අපහරණය කිරීම බොහෝ ගුරුවරුන් සාමාන්‍යයෙන් කරන දෙයකි.

සංක්ෂිප්තව කියනවානම් ලිංගික අධ්‍යාපනය කියන්නේ ප්‍රජනන සෞඛ්‍යය හා අදාළ නිවැරදි තොරතුරු දරුවෙකුට කියා දීම පමණක් නොවේ. එවැනි දැනුමක් පමණක් ලබා දුන්නොත්නම් ඇතැම් විට අවසන් ප්‍රතිඵලය ඇතැම් අය කියන "අත්හදා බැලීම් ඉහළ යාම" පමණක් වුවද විය හැකිය. මේ දැනුම ලබා දිය යුත්තේ පුද්ගල අයිතිවාසිකම් ගැන පුළුල් ලෙස දරුවන් කුඩා කළ සිටම දැනුවත් කිරීමේ අංගයක් ලෙසය. එවැනි දැනුවත් කිරීම් ආරම්භ කරන්නේනම් එයට සමාන්තරව ප්‍රශ්න වලට මුහුණ දෙන දරුවන්ට පහසුවෙන් උදවු ලබාගත හැකි විශ්වාසනීය යාන්ත්‍රණයක්ද ස්ථාපිත කළ යුතුය.

වැඩිදුර කරුණු දෙවන ලිපියකින් කතා කරමු.

17 comments:

  1. කොයිතරම් කරුණු පැහැදිලි කරත් උද්දච්ච අයුරින් තමාගේ මතය හරි කියලා හිතං ඉන්න අජිත් ධර්ම වගේ අය එක්ක සාකච්චා කරලා වැඩක් නැහැ. ඔහු ඔහුගේ වරදක් පිළිගන්න මනුස්සයෙක් නෙමෙයි.

    ReplyDelete
  2. කොයිතරම් කරුණු පැහැදිලි කරත් උද්දච්ච අයුරින් තමාගේ මතය හරි කියලා හිතං ඉන්න මැන්ටල් ඩොකා රුවන් එම් ජයතුංග වගේ අය එක්ක සාකච්චා කරලා වැඩක් නැහැ. ඔහු ඔහුගේ වරදක් පිළිගන්න මනුස්සයෙක් නෙමෙයි ඇනෝ ලගේ තාක් වලට කුජිත වනවා ඒ හින්දා ඇනෝ බ්ලොක් කරලා
    ඉතින් ඇනොලට පාන්ද ?

    ReplyDelete
  3. //ඇනෝ සිතන්නේ ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් අනවශ්‍ය ගැබ් ගැනීම් අවම කර ගත යුතු බවයි. එසේ කිරීමෙන් පසුවද අනවශ්‍ය ගැබ් ගැනීම් සිදු වන්නේනම් ගබ්සා වලට ඉඩදීමේ ප්‍රශ්නයක් ඇති බව ඔහු හෝ ඇය සිතන බව නොපෙනේ.//

    ගබ්සාව ගැන මෑතදී මතුවුණ කතාබහදී සැලකිල්ලක් නොලැබුන ලිංගික අධ්‍යාපනය ගැන මෙලෙස කතා වීමක් ඇති වීම පමණක් සිදු වුවද මගේ අරමුණ ඉටු වීමක් ලෙස මම දකින්නේ.

    ඔබ දක්වන කරුණු ගැන එකඟ නොවෙන්න හේතුවක් පෙනෙන්නේ නැහැ.

    විශාල පරාසයක තරුණයින් මිතුරන් ලෙස ඇසුරු කිරීමෙන් ලැබූ අවබෝධයක් නිසා මම ලිංගික අධ්‍යාපනය රටේ අවශ්‍යතාවක් ලෙස දකිනවා.

    අනපේක්ෂිත ගැබ්ගැනීම් වලට මුහුණ දුන් විවාහක අය අතර සාමාන්‍ය පෙළත් නොලියා පාසල් හැර ගිය අයත්, ජීව විද්‍යා අංශයෙන් මුලික උපාධිය ලබා ඒ අංශයෙන්ම ආචාර්ය උපාධිය හදාරමින් සිටින අයත් මම පුද්ගලික දන්නවා. එම අනපේක්ෂිත ගැබ්ගැනීම් වුනත්, අනවශ්‍ය එකක් නොවී පසුව ඔවුන්ට අවශ්‍ය එකක් බවට පත්වුණ අවස්ථාත් තිබෙනවා. එහෙම නොවුණු අවස්ථාත් තිබෙනවා. සොඳුරු සුව අසපුව කියා ඇති මෙන්ම මගේ මතකයේ හැටියට අජිත් පැරකුම් ද කොතැනක හෝ කියා තිබුණු දෙයක් තමයි ලිංගික හැසිරීම් ගැන ඇති දුර්මත. ගැබ්ගනීමකට වැඩි ඉඩක් ඇති අවස්ථා සහ අඩු ඉඩක් ඇති අවස්ථා ගැනවත් අඩුම තරමේ සැවොම දැනුවත් විය යුතුයි.

    අවිවාහක අය වුවද අවධානම දරාගෙන අනාරක්ෂිත ලිංගික ඇසුරක යෙදෙන්නට ඇති කැමැත්ත ආරක්ෂිතව එසේ කිරීමට ඇති කැමැත්තට වඩා වැඩියි. එය කෙනෙකුගේ පුද්ගලික කැමැත්තක්. එහෙත් කෙනෙකු එසේ කරන්නේ දුර්මත නිසා හෝ දැනගත යුතු යමක් නොදැනීම නිසා නම්, එහි වරදෙන් කොටසක් මටත් ඇති බව මම හිතන්නේ. දැනගෙනත් අවධානම ගන්නවා නම් ඒක ඒ අයගේ කැමැත්ත.

    මගේ ආරක්ෂාව සලසා ගැනීම වෙනුවෙන්, ලිංගාශ්‍රිත සම්ප්‍රේෂණය වන රෝග සහ අසාධන ගැන ඉතාම දීර්ඝ විමර්ශනාත්මක කියවීමක් වසර කිහිපයටක පෙර සිදුකලා. අපට විවෘත්ත වන සමහර ජර්නල හැමෝටම විවෘත්ත නැහැ. ඒ දැනුම ලබාගන්න එතරම් පහසු නැහැ. http://www.medhelp.org/forums/STDs/show/116 එක විවෘත්තව පවතී කාලයේ Dr. Hunter Handsfield වැනි අයගේ විසේෂඥ මත කියවා ඒවා අධ්‍යනය කළා. නමුත් එසේ කරන්නට වෙලාව භාෂා දැනුම සම්පත් ලංකාවේ හැමෝටම නැහැ.

    තෘප්තිමත් සැහැල්ලු සමාජයක පැවැත්මට ලිංගික කාර්යන් ආරක්‍ෂිත වුත් , වින්දනාත්මක වුත්, සුන්දර වුත් එකක් කරගන්නට අවශ්‍ය දැනුම හැමට ලබාදෙන්න අවශ්‍යයි කියන එක විශ්වාස කරන අතර සුදුසු අය මගින් ඒවා සුදුසු ලෙස සමාජ ගත කළහැකි මගක් වෙනුවෙන් මම උත්සාහ කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ගබ්සා ගැන කතා කරාට නොදන්නා දෙය තමයි ලංකාවේ වැඩිපුරම ගබ්සා කරගන්නේ මොන වගේ කාන්තාවන්ද කියන එක. ගොඩක් අය හිතන්නේ ගබ්සා කරගන්නේ ප්‍රේම සබදතා නිසා ගැබ් ගත්තම, දුෂණයට ලක්වෙලා ගැබ් ගත්තම වගේ කියල. එහෙමත් වෙනවා තමයි. හැබැයි ලංකාවේ වැඩිපුරම ගබ්සා කරගන්නේ විවාහක කාන්තාවන්. ඒ අයට ලැබෙන්න ඉන්න දරුවා ජාතක වෙලා ඉන්නෙත් ඇයගේ විවාහක පුරුෂයාටම තමයි.

      ගබ්සා කරගෙන කළලය අයින් කරගන්නේ ස්වාමියා, බිරිඳ දෙන්නටම ඒ දරුවා අනවශ්‍ය නිසා. මා දන්නා විවාහක කාන්තාවක් ගබ්සා තුනක් කරගෙන තියෙනවා. ඒ කාන්තාවන් එහෙම ගබ්සා කරගත්ත කියලා ඒවාට පසුතැවීමක් වෙන්නෙත් නැහැ. මොකද එහෙම පසුතැවෙනවා නං එක් වරක් ගබ්සා කරගත්තම පස්සේ හරි පරිස්සන් වෙන්න එපැයි. එහෙම වෙලත් නෑ.

      විවාහක කාන්තාවන්ට, පුරුෂයන්ට උපත් පාලනය පිළිබද දැනුම අල්ප නිසාද එහෙම වෙන්නේ? ඒක එහෙම්ම කියන්නත් පුළුවන් බෑ කියන්නත් පුළුවන්. කොයිතරම් පරිස්සම් උනත් අතපසුවීමක් වෙන්නත් පුළුවන්.

      කවුරු මොන බයිලා කිව්වත් ගබ්සා කරගන්න ඕනි කෙනා අදත් හෙටත් ඒක කරගන්නවා. මේක ටයිප් කරන මේ මොහොත වෙනකොටත් ලංකාවේ දිනකට ගබ්සා 700 ක් වගේ කරගන්නවා.

      Delete
    2. ස්තුතියි, අදහස් දැක්වීම් වලට. ඉඩ ලැබෙන පරිදි තවත් ලිපි කිහිපයක් දමන්නම්. වැරැද්දක්, අඩුපාඩුවක් හෝ එකඟ නොවන තැන් තිබේනම් කමෙන්ට් දමන්න.

      Delete
  4. //ඇනෝ සිතන පරිදි ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කරන තුරු නීත්‍යානුකූල ගබ්සා ප්‍රවර්ධනය නොකළ යුතුය. //

    එය ඇත්තම මෑත කාලයේ පවතී කතාවට එතරම් අදාළ එකක් නොවේ. අප කැමති වුනත් අකමැති වුනත් ලංකාවේ ගබ්සාවට නීති සැකසීම කතා වන්නේ අවස්ථා දෙකක් සඳහා පමණයි. ඒ දෙකටත් ආගමික කොටස් විරෝධී තිබෙනවා. මෙහිදී ගබ්සාවට අකමැති අය මෙන්ම කැමති අයත් අදහස් දැක්වීමේදී යම් සීමා අතික්‍රමණය කල බව මගේ අදහස. ගබ්සාව එසේ පෙරට තබා යුතු හොඳ දර්ශීය ක්‍රමයක් යයි මම අද දක්වා ලබා ඇති දැනුම ඇතුව විශ්වාස කරන්නේ නැහැ. පලිබෝධනාශක වගේ ප්‍රවේශයෙන් පරිහරණය කලයුතු ක්‍රියාවලියක් එය.

    ඇමෙරිකානු හෝ බටහිර ක්‍රම, ලංකාව වැනි අවිධිමත් කරම්වේධයන් පවතින රටක ස්ථාපනය කිරීමේදී ඒගැන පෙර අධ්‍යාපනය අත්‍යවශ්‍යයි.

    මම කලිනුත් කියා ඇති දෙයක වෙනත් පැත්තක් මේ ගැන උදාහරණයක් ලෙස කියන්නම්. දැන් ECP ඉතා පහසුවෙන් මිලදී ගන්න පුළුවන් හරියට කඩෙන් බනිස් ගන්නවා වගේ. නමුත් මේවා භාවිත කල යුත්තේ සහ නොයුත්තේ කෙසේද කියන ගැන ලොකු දැනුවත් කිරීමක් වෙලා නැහැ. සමහර විශ්විද්‍යාල සිසුන් මේවා එකක් විදියට භාවිත කිරීමෙන් ගැටළු ඇතිකරගෙන තිබෙනවා. අනෙක් එවැනි කොටස වුනේ එකල යුද්ධයට සහභාගී වුන හමුදා සාමාජිකයන්ගේ බිරින්දෑ වරුන්. ඔවුන් මුණගැහුනේ සුමට කාල සටහනකට නොවුන නිසා එවැනි දේ වුණා. මේවා වෛද්‍යවරු ලගට එනවිට බොහෝ වාර සංක්‍යාවක් මේවා ගැනීමෙන් ඇතිවුන ගැටළුත් එක්කයි ආවේ.

    ගැටළු විසඳීමට සුදුසුම මග අධ්‍යාපනය/දැනුවත් කිරීම බව මම සැමවිටම විශ්වාස කරනවා. තිරසාර පිළිතුරු සෑමවිටෙකම මතුවෙන්නේ නිවැරදි දැනුම අධ්‍යාපනය සමග.

    ReplyDelete
    Replies
    1. **සමහර විශ්විද්‍යාල සිසුන් මේවා Regular method එකක් විදියට භාවිත කිරීමෙන්**

      Delete
    2. ECP ඔය තරමටම ප්‍රචලිත බවනම් දැනගෙන හිටියේ නැහැ. අදහස් වලට ස්තුතියි!

      Delete
  5. ECP යනු abortifacient යයි තාක්ෂණිකව තර්ක කරන අයත් ඉන්නවා. ඒ අයට අනුව ගත්තොත් මමත් අජිතුත් ඔබත් වැටෙන්නේ එක පැත්තකට.

    නැවත කියන්නට තිබෙන්නේ (දැනට කතාවෙන කරුණු දෙකට අනුව කොහෙත්ම) ගබ්සාවට විරුද්ධත්වයක් මට නැති බවත්, එසේ වුනත් අතරමග හිටින්නට යනවා වෙනුවට යන කතරගමගක හරි හැටි දැනගෙන යා යුතු බව මම විශ්වාස කරන බවත්.

    ReplyDelete
    Replies
    1. //ECP යනු abortifacient යයි තාක්ෂණිකව තර්ක කරන අයත් ඉන්නවා. ඒ අයට අනුව ගත්තොත් මමත් අජිතුත් ඔබත් වැටෙන්නේ එක පැත්තකට.//
      මේ කරුණ මට පැහැදිලි කරන්න අවශ්‍යව තිබෙන දෙයක්. මෙහිදී මම බලාපොරොත්තු වෙන්නේ තීරණයක් දීමට වඩා සිදුවන දෙය තාක්ෂණික ලෙස පැහැදිලි කරන්නයි.

      Delete
  6. ECP කියන්නේ කොන්ඩම් යැයි සිතනා අජිත් ධර්ම වගේ වැන්නවුන් සමගයි අප මේ සංවාදය කරන්නේ කියන කරුණ මතක තබා ගැනීම ඉතා වැදගත්.

    ReplyDelete
    Replies
    1. ECP කියන්නේ කොන්ඩම් යැයි සිතනා මැන්ටල් ඩොකා රුවන් එම් ජයතුංග වගේ වැන්නවුන් සමගයි අප මේ සංවාදය කරන්නේ කියන කරුණ මතක තබා ගැනීම ඊට වඩා ඉතා වැදගත්

      Delete
    2. # AnonymousSeptember 26, 2017 at 4:20 AM

      අජිත් ධර්ම ඇනෝ ඇවිත් මෝඩ ආතල් දෙනවා.

      Delete
    3. AnonymousSeptember 26, 2017 at 5:03 AM

      මැන්ටල් ඩොකා රුවන් එම් ජයතුංග ඇනෝ ඇවිත් මෝඩ ආතල් දෙනවා මදිවට ලොන්ත පොල් වැඩත් කරනවා

      Delete
  7. සන්නද්ධ අරගලයකින් සමාජවාදය බිහි කරමු ! තෙරුවන් සරණයි ඔයාට !!!

    ReplyDelete
  8. ඉකොනොගේ මේ ලිපිය මාතෘකාව ගැන හොඳ දැනුවත් කිරීමක්.
    අපි මේ වගේ මාතෘකා ගැන සමාජ කතිකාවතක් පෙල ගැසිය යුත්තේ මෙන්න මේ වගේ වැදගත් සාකච්චා ඉන් හටගන්නා නිසා තමයි.

    කෙසේ වෙතත් ඇනෝ කෙනෙකුගේ පහර කෑමට ලක් වීමෙන් අනතුරුවත් මගේ ස්ථාවරය වන්නේ.

    වඩා දියුනු මට්ටමක ලිංගික අධ්‍යාපනය ලබා දීම කල යුතුයි.
    උපත් පාලන ක්‍රම පිළිබඳ දැනුම හා උපකරන හා ඖශධ ලබා ගැනීමේ අවස්ථා පුළුල් විය යුතුයි.
    අනව්ශ්‍ය දරු උපත් සඳහා සේවාවන් රජයේ පාලනයට යටත්ව (එන් ජී ඕ මගින් හෝ) ඇති කල යුතුයි.

    මේ සියල්ලට අමතරව යම් මවක් ගබ්සාවක් කිරීමට තීරණය කරනවානම් දූශනයට ලක් වීම වැනි හේතුවක් නිසා. එයට එරෙහිව බලය යෙදීමට සමාජයට අයිතියක් නැති බව පමණක් මම කියමි.

    ReplyDelete
  9. ඉකොනෝ,

    ඔබ මොකද මේ ගැන කියන්නේ https://www.opensocietyfoundations.org/voices/safe-and-effective-drug-policy-look-dutch

    මෙහි තියන්නේ නෙදර්ලන්තයේ මත්ද්‍රව්‍ය නීති ගත කිරීම මගින් ලෝකයේ වෙනින් රටවලට වඩා මත්ද්‍රව්‍ය බාවිතය අඩුවූ බවයි.

    අතීත ශ්‍රී ලංකාවේ ගංජා භාවිතය පිළිබද නීති නොමැති විට මිනිසුන් ගංජා ගසා පාරේ වැටිසිටි බව සදහන් වෙන්නේ නෑ, එවගෙම මෙය ඉතා වටිනා බෙහෙතක් ලෙස පාවිච්චි කරලා තියනවා. සුදු ජාතිකයන් නීති සම්පාදනයට පසුවයි මෙය තහනම් වන්නේ.

    නරකද මෙය තිතියනුකුල කරලා බැලුවොත් ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget